Wednesday, November 14, 2012

විදුසර ආරම්භ කිරීමට මඟපෑදූ පසුබිම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 07-11-2012
http://www.vidusara.com/2012/11/07/viduindex.htm

මේ වර්ෂයේ නොවැම්බර් මස 4 වැනි දිනට විදුසර පුවත්පත ආරම්භ කර වසර 25ක්‌ සම්පූර්ණ විය. රිදී ජුබිලිය සමරන මේ අවස්‌ථාවේ දී එහි ආරම්භය පිළිබඳව යළි විමසා බැලීමට අප සිතුවේ, පුවත්පතක්‌ වසර විසි පහක්‌ පැවැතීම විශේෂ සිදුවීමක්‌ නිසා ම නො වේ. විදුසරේ ආරම්භය මෙරට විද්‍යා සන්නිවේදනයේ ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌ ද වන නිසා ය.

විදුසරේ ආරම්භය පිළිබඳව මින් ඉහත වරින් වර ලියැවී ඇති අතර ඉන් පුවත්පතේ ආරම්භය පිළිබඳ තොරතුරු රැසක්‌ හෙළි කර තිබේ. එහෙත් එවකට ශ්‍රී ලාංකේය සමාජයේ විද්‍යා සන්නිවේදනය සඳහා තිබූ අවශ්‍යතාව හා විද්‍යා සන්නිවේදනයේ තත්ත්වය කෙබඳු වී ද? විදුසර ආරම්භය සඳහා අවශ්‍ය පදනම සැකසෙන්නේ කෙසේ ද? මෙවැනි කරුණු පිළිබඳව විමසීමක්‌ සිදු කිරීම මේ ලිපියේ අරමුණ වේ.

මේ ලිපිය සැකසෙන්නේ මූලාශ්‍ර කිහිපයක්‌ මත පදනම් ව ය. විදුසරේ ආරම්භය පිළිබඳ ලියෑවුණු ලිපි, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික වාර්තා සහ 1985 සිට 1987 දක්‌වා කාලයේ මෙරට පුවත්පත් කිහිපයක (දිවයින, දි අයිලන්ඩ් හා ඩේලි නිව්ස්‌) පළ වූ පුවත් මේ සඳහා යොදාගත් ලිඛිත මූලාශ්‍ර වේ. එසේ ම විදුසරේ ආරම්භය සඳහා කැපී පෙනෙන දායකත්වයක්‌ දැක්‌වූ පුද්ගලයන් දෙදෙනකු සමඟ කළ සාකච්ඡාවලින් ලබාගත් තොරතුරු මීට විශේෂයෙන් පාදක කරගෙන තිබේ. මේ දෙදෙනා පිළිබඳව විදුසරට වසර දහයක්‌ සම්පූර්ණ වූ අවස්‌ථාවේ පළ වූ සංවත්සර කලාපයට (1997 නොවැම්බර් 5) එහි ආරම්භක කර්තෘ අනුර සිරිවර්ධන මහතා ලියූ ලිපියේ සඳහන් වේ. ඒ ආචාර්ය සුසන්ත ගුණතිලක හා ඡේම්ස්‌ එච්. ලැනරෝල් යන මහත්වරුන් ය. ආචාර්ය ගුණතිලක එවකට මහජන බැංකුවේ පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළේ ය. ඉංජිනේරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු පසු කලක වඩා ප්‍රකට වූයේ සමාජ විද්‍යාඥයකු වශයෙනි. වර්තමානයේ (2012) ඔහු ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ සභාපතිවරයා වේ. එවකට උපාලි පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂවරයා වූ ජේම්ස්‌ එච්. ලැනරෝල් මහතා අද වන විට විශ්‍රාම සුවයෙන් පසු වෙයි.

විද්‍යා සන්නිවේදනය හා විද්‍යාභිවර්ධන සංගමය


1980 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ විද්‍යා සන්නිවේදනය වර්ධනය වෙමින් පැවතිණි. දිනපතා හා සතිපතා පුවත්පත් සමහරක විද්‍යා පිටුවක්‌ දැකිය හැකි විය. මෙරට විද්‍යාඥයන්ගේ ඉහළතම ආයතනය සේ හැඳින්විය හැකි ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පාලක මණ්‌ඩලය, මහජනතාව වෙත නිවැරැදි විද්‍යාත්මක තොරතුරු සිංහල මෙන්ම දෙමළ භාෂා මාධ්‍යවලින් ද සන්නිවේදනය කිරීමේ වැදගත්කම පැහැදිලිව හඳුනාගෙන තිබිණි.

1986 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රධාන සභාපති තනතුර දැරූ ආචාර්ය සුසන්ත ගුණතිලක, විද්‍යා සන්නිවේදනය දියුණු කිරීම සඳහා විශේෂයෙන් මුල් වී ක්‍රියා කළ අයෙකි. ඒ වර්ෂය ඇතුළත සංගමය සිදු කළ කටයුතු විමසීමේ දී මේ කටයුතුවල සාර්ථකත්වය පෙනේ.

විද්‍යාභිවර්ධන සංගමය මෙරට ජනමාධ්‍ය ප්‍රධානීන් සමග, විද්‍යා සන්නිවේදනය පිළිබඳව පුළුල් සාකච්ඡාවක්‌ පවත්වන ලද්දේ මේ කාලයේ දී ය. ඊට එවකට මෙරට ක්‍රියාත්මක වූ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් බොහෝ දෙනකු සම්බන්ධ වී තිබේ. (ඒ කාලයේ මෙරට පැවැතියේ රජයට අයත් විද්‍යත්  මාධ්‍ය පමණක්‌ වූ අතර ප්‍රධාන පෙළේ මුද්‍රිත පුවත්පත් පැවතියේ ද අදට වඩා බොහෝ අඩු ප්‍රමාණයකි). ඒ සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවල විද්‍යා වාර්තාකරණයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා කළ හැකි දේ පිළිබඳව සාකච්ඡා කිරීම ය. මේ සඳහා සම්බන්ධ වූ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතරින් උපාලි පුවත්පත් සමාගමේ ජේම්ස්‌ ලැනරෝල්, ලේක්‌හවුස්‌ ආයතනයේ රණපාල බෝධිනාගොඩ හා ජාතික රූපවාහිනියේ එම්. ජේ. පෙරේරා යන මහත්වරුන් ඒ ගැන විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ බව ආචාර්ය ගුණතිලක පවසයි. (විදුසර පුවත්පත එළිදක්‌වා මාස කිහිපකට පසු, එනම් 1988 ජූනි මාසයේ දී, 'විදුරැස' නමින් සතිපතා විද්‍යා පුවත්පතක්‌ ලේක්‌හවුස්‌ ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. පසුව එහි නම විදුනැණ ලෙස වෙනස්‌ කෙරිණි.)

විද්‍යා වාර්තාකරණයේ යෙදෙන හොඳ ම මාධ්‍ය සඳහා සම්මාන ලබා දීමේ වැඩපිළිවෙළක්‌ විද්‍යාභිවර්ධන සංගමය පළමුවරට 1986 වර්ෂයේ දී දියත් කළේ ය. මේ සඳහා යොදාගත් නිර්ණායක අතර නිවැරැදිව විද්‍යා පුවත් පළ කිරීම, දේශීය විද්‍යා පුවත් පළ කිරීම වැනි කරුණු සඳහා මුල් තැනක්‌ දී තිබිණි. ඒ අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් විද්‍යා පුවත් හා විද්‍යා ලිපි පළ කරන හොඳ ම පුවත්පත් සඳහා සම්මාන ලබා දී තිබේ. ඒ වර්ෂයේ හොඳ ම සිංහල පුවත්පත සේ සම්මාන ලැබුවේ උපාලි පුවත්පත් සමාගමේ 'දිවයින' පුවත්පත ය. විදුසරේ ආරම්භක කර්තෘවරයා වූ අනුර සිරිවර්ධන මහතා ඒ වන විට සේවය කළේ ද දිවයින පුවත්පතේ වන අතර, ඒ මහතා අතින් දිවයින විද්‍යා පිටුව සංස්‌කරණය විය. (දිවයින 1986-12-08 හා 1986-12-08, ද අයිලන්ඩ්, 1986-12-08).

යුනෙස්‌කෝ සංවිධානය හා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය එක්‌ ව විද්‍යා සන්නිවේදකයන් සඳහා වූ පුහුණු වැඩසටහනක්‌ 1986 වර්ෂයේ දෙසැම්බර් මස 15-19 අතර පවත්වන ලදි. 'විද්‍යා මාධ්‍යවේදීන් සඳහා වූ ජාතික වැඩමුළුව' (National Workshop for Science Journalists) නම් මේ වැඩමුළුවට දේශීය විද්‍යාඥයන් රැසක්‌ මෙන්ම විදේශීය නියෝජිතයන් කිහිප දෙනකු ද සම්බන්ධ වී ඇත. මෙරට විද්‍යා සන්නිවේදනය ළදරු අවධියක පවත්නා නිසා එවැනි වැඩමුළුවක්‌ අත්‍යවශ්‍ය වූ බව එය අමතමින් ආචාර්ය සුසන්ත ගුණතිලක පැවසී ය. යුනෙස්‌කෝවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රාජ් බන්ඩාරි, ප්‍රකට විද්‍යා ලේඛකයන් වූ ආචාර්ය එස්‌. රාමචන්ද්‍ර හා ආචාර්ය ශයිවත්නා කුප්‍රටුකුලා මේ වැඩසටහනට සහභාගි වූවන් අතර වූ හ. වෙනත් රටවල අනුගමනය කරනු ලබන ආකෘති පදනම් කර නො ගෙන, තමන් ගේ ම වූ විද්‍යා වාර්තාකරණ ක්‍රමයක්‌ හා සංස්‌කෘතියක්‌ ශ්‍රී ලංකාව ඇති කර ගත යුතු බව මෙහි දී ඇති වූ පොදු එකඟතාවකි. ඊට හේතුව වන්නේ මෙරට ජනතාව අතර පැවැති ඉහළ සාක්‌ෂරතාවයි. මේ වැඩමුළුව සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික වාර්තාවේ ද දැක්‌වේ.

මෙරට විද්‍යා වාර්තාකරණයේ වර්ධනය සඳහා බලපෑ තවත් වැඩසටහනක්‌ 1985 වර්ෂයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිත ව දියත් වී ඇත. ඒ අනුව විද්‍යාඥයන් හා මාධ්‍යවේදීන් අතර මාසිකව හමුවීම් සංවිධානය කර ඇති අතර මේ කාලය තුළ විද්‍යා මාධ්‍යවේදීන් ගේ ශ්‍රී ලංකා සංගමය (Sri Lanka Association of Science Journalists) නම් සංගමය ද බිහි වී ඇති බව පෙනේ. (ද අයිලන්ඩ්, 1986-12-18 හා ඩේලි නිව්ස්‌ 1986-12-23)

1987 වර්ෂයේ දී විදුසර බිහි වන්නේ මෙවැනි පසුබිමක්‌ යටතේ ය.

විදුසරේ ආකෘතිය සැකසීම

උපාලි පුවත්පත් සමාගම විද්‍යා පුවත්පතක්‌ පළ කිරීම සඳහා තීරණය කළ අවස්‌ථාවේ දී ඒ සඳහා වූ ආකෘතියක්‌ සකස්‌ කිරීම සඳහා ආචාර්ය සුසන්තා ගුණතිලක, ජේම්ස්‌ ලැනරෝල් හා එඩ්මන්ඩ් රණසිංහ (එවකට උපාලි පුවත්පත් සමාගමේ ප්‍රධාන කර්තෘ) යන මහත්වරුන් සම්බන්ධ වූ බව ඊට සම්බන්ධ වූ අනුර සිරිවර්ධන මහතා සඳහන් කර තිබේ. (විදුසර, 1997-11-05). විදුසර පුවත්පතේ ආකෘතිය සඳහා ආචාර්ය සුසන්ත ගුණතිලක විසින් යෝජනා කරන ලද්දේ ඔහු විසින් 1970 දශකයේ මැද භාගයේ දී ආරම්භ කරන ලද, මහජන බැංකුව මගින් ප්‍රකාශයට පත් කරන 'ආර්ථික විමසුම' සඟරාවයි. ඒ අනුව පුවත්පතට කාණ්‌ඩ තුනක ලිපි අන්තර්ගත විය යුතු විය. ඒවා නම්, සාමාන්‍ය ජනතාව ඉලක්‌ක කරගත් ලිපි, විද්‍යා පුවත් වාර්තා හා වඩා ඉහළ විද්‍යාත්මක ලිපි ය. එසේ ම පොදුවේ ගත් කල පුවත්පත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මට්‌ටමේ සිට ඉහළ පාඨක පිරිසක්‌ ඉලක්‌ක කරගත යුතු බවට ද එකඟතාවක්‌ විය.

1987 වර්ෂයේ මැදභාගයේ දී විදුසර පුවත්පත ආරම්භ කිරීමට තීරණය කිරීමේ දී උපාලි පුවත්පත් සමාගම අරමුණු තුනක්‌ හඳුනාගෙන තිබූ බව එවකට සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂවරයා ව සිටි ජේම්ස්‌ එච්. ලැනරෝල් මහතා පවසයි.

ඉන් පළමුවැන්න වූයේ පුවත්පත අතිරේක අධ්‍යාපන මාධ්‍යයක්‌ ලෙස භාවිත කළ හැකි වීම ය. උපකාරක පංති වර්ධනය වෙමින් පැවැති ඒ කාලයේ, ඒ පහසුකම් නොමැති දුෂ්කර පළාත්වල සිසු සිසුවියන් සඳහා මෙවැනි පුවත්පතකින් සැලකිය යුතු මෙහෙයක්‌ කළ හැකි බව පැහැදිලි විය. ඒ අනුව පාසල් විෂයමාලාවට අදාළව ලිපි මාලා පළ කිරීම විදුසර ආරම්භයේ පටන් ම සිදු කර ඇත. දෙවැනි අරමුණ වූයේ වැඩි වශයෙන් ඉංග්‍රීසි බසින් ඇති විද්‍යාත්මක දැනුම සිංහල භාෂාවෙන් ජනතාව අතරට ගෙන යැම ය. ශ්‍රී ලංකාවේ සාක්‌ෂරතාව ඉහළ වූ බැවින් විද්‍යාත්මක දැනුම වැඩි පිරිසකට ලබා දීමට මෙය යෝග්‍ය පියවරක්‌ විය. තෙවැනි අරමුණ වූයේ ඕනෑ ම අයකුට එදිනෙදා ජීවිතයේ දී ප්‍රායෝගිකව යොදාගත හැකි විද්‍යා දැනුම ලබා දීම ය. නිදසුනක්‌ ලෙස කෘෂිකාර්මික දැනුම දැක්‌වීමට පුළුවන.

මේ අනුව විදුසර සම්බන්ධ කටයුතු ආයතනික මට්‌ටමින් 1987 ජුලි මාසයේ දී ආරම්භ වූ අතර, ඊට සම්බන්ධ වූ කර්තෘ මාණ්‌ඩලිකයන්, ලේඛකයන් හා වෙනත් පිරිස්‌ පිළිබඳ වත් ඔවුන් ගේ දායකත්වයත් අනුර සිරිවර්ධන මහතා ගේ පෙර සඳහන් ලිපියෙහි සවිස්‌තරව දක්‌වා ඇත. මේ සියලු දෙනා ගේ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස 1987 නොවැම්බර් මස 4 වැනි දා විදුසර පළමු කලාපය එළිදක්‌වන ලදි. කෙටි කාලයක්‌ ඇතුළත විශාල පිටපත් ගණනක්‌ අලෙවි වන පුවත්පතක්‌ බවට පත් වීමට විදුසරට හැකියාව ලැබිණි. දකුණු ආසියාවේ ඉංග්‍රීසි නො වන භාෂාවකින් පළ වන විද්‍යා පුවත්පත් අතර වැඩි ම අලෙවිය තිබූ පුවත්පත බවට විදුසර පත් වීම ඊට සාධකයකි.

(විදුසරට ජගත් පරිසර විමසුම නමින් සතිපතා විචාරාත්මක පරිසර පිටුවක්‌ සපයන ලේඛකයා නිදහස්‌ විද්‍යා ලේඛකයකු, පරිසරවේදියකු හා ස්‌වාධීන පර්යේෂකයකු ලෙස කටයුතු කරන්නෙකි.)

http://www.vidusara.com/2012/11/07/viduindex.htm

No comments:

Post a Comment