Saturday, September 30, 2017

පැරණි රජයේ ගොඩනැගිලි ආරක්‌ෂා කිරීමට යෝග්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාව

ධනේෂ් විසුම්පෙරුම හා මුදිත කරුණාමුනි


විදුසර, 27.09.2017, පි. 10,19 (Vidusara)

http://www.vidusara.com/2017/09/27/feature3.html



නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල (ඡායාරූපය - මුදිත කරුණාමුනි)

පසුගිය ජුනි මාසයේ දී තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෝ දෙවරක්‌ ම වැඩ වර්ජනය කළ හ. තැපැල් වෘත්තීය සමිතිවලට අනුව ඊට හේතු වූ ප්‍රධාන ඉල්ලීමක්‌ වූයේ තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි කිහිපයක්‌ පෞද්ගලික අංශයට පැවරීමට රජය ගෙන ඇති තීරණයකි. නුවරඑළිය, මහනුවර හා ගාල්ල කොටුව තුළ පිහිටා ඇති ගොඩනැගිලි එසේ පැවරීමට හෝ විකිණීමට හෝ යන ගොඩනැගිලි අතර විය. එම ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමට යන්නේ හෝටල් ආරම්භ කිරීමට ය. රජය මේ ගැන දැරූ ස්‌ථාවරය වූයේ අදාළ ගොඩනැගිලි වෙනත් කාර්යයක්‌ හෝ වෙනත් සංවර්ධන අවශ්‍යතාවන් හෝ සදහා යොදාගැනීමේ දී තවදුරටත් තැපැල් සේවා එම ස්‌ථානවල පවත්වාගෙන යැමේ හැකියාව සැලසෙන පරිදි හා තැපැල් දෙපාර්තමේන්තුවේ අනන්‍යතාව ආරක්‌ෂා වන පරිදි තවදුරටත් අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ඇති කරගනු ලබන එකගතාවන් මත කටයුතු කිරීමයි. අවසානයේ දී ලිත ව ලබා දුන් පොරොන්දුවක්‌ මත වර්ජනය අවසන් කරන ලදි.

ඉහත සඳහන් ගොඩනැගිලි තුන ම රාජ්‍ය ආයතනයක්‌ වන තැපැල් දෙපාර්තමේන්තුව සතු දේපොළ වේ. ගාලු කොටුවේ පිහිටා ඇති පැරැණි ගොඩනැගිල්ලේ ගාලු කොටුව තැපැල් කාර්යාලය පවත්වාගෙන යනු ලැබේ. නුවරඑළියේ පිහිටි ගොඩනැගිල්ල නුවරඑළිය තැපැල් කාර්යාලයයි. මහනුවර පැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ අද වන විට මහනුවර ප්‍රාදේශීය තැපැල් තෝරන මධ්‍යස්‌ථානය, ප්‍රධාන තැපැල් ස්‌ථානාධිපති නිල නිවස, තැපැල්කරු බෙදීම් අංශය හා මහනුවර තැපැල් අභ්‍යාස ආයතනය පවත්වාගෙන යනු ලැබේ.

මේ ගොඩනැගිලිවල පෞරාණික අගය ඉහළ ය. ඒ නිසා පුරාවිද්‍යාත්මකව වැදගත් උරුම ගොඩනැගිලි ලෙස සැලකිය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ගාල්ල කොටුවේ තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල 18 වැනි සියවසේ මුල් භාගයේ දී පමණ ඉදි කරන ලද බව සිතිය හැකි ය. ඡේ. ඩබ්ලිව්. හෙයිඩ්ට්‌ නම් ඕලන්ද ජාතිකයා විසින් 1744 දී රචනා කරන ලද "හෙයිඩ්ට්‌ ගේ ලංකාව" නම් කෘතියේ එක්‌ රූප ඵලකයක මේ ගොඩනැගිල්ලේ මුල් ස්‌වරූපය දැකිය හැකි ය. එකල එම ගොඩනැගිල්ල ලිපි කටයුතු භාර නිලධාරියකු ගේ හෝ සහකාර නිලධාරියකු ගේ හෝ වාසස්‌ථානය ලෙස භාවිත වී ඇත. එහි ආලින්දය පසු කලක එකතු කළ එකක්‌ බව පෙනේ. පසු කලක 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය යුගයේ දී මෙය ගාල්ලේ අණ දෙන නිලධාරියා ගේ වාසස්‌ථානයේ කොටසක්‌ වූ බව සඳහන් වේ. මේ ස්‌ථානයට තැපැල් කාර්යාලය ගෙන එන ලද්දේ 19 වැනි සියවසේ දී බව සිතිය හැකි ය. ගාලු කොටුව තුළ ඇති සෙසු පැරැණි ගොඩනැගිලි මෙන්ම මෙය ද පුරාවිද්‍යා ආඥ පනතේ නියමවලට යටත් ය.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 1894 වර්ෂයේ දී ඉදි කරන ලද්දකි. ඒ වන විට වෙනත් ස්‌ථානයක පිහිටා තිබූ තැපැල් කාර්යාලය වෙනුවට මේ නව ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය පාලන සමයේ දී රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් ඉදි කරන ලදි. එය ඉදිකිරීම සඳහා වසර කිහිපයක්‌ ගත වූ අතර එය ටියුඩර් එඩ්වර්ඩියන් ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත් පිරමිඩාකාර වහල සහිත දර්ශනීය ගොඩනැගිල්ලකි. එය අදත් ක්‍රියාකාරී ව පවත්නා ඔරලෝසුවක්‌ සහිත කුලුනකින් ද සමන්විත ය. මේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පුරාවිද්‍යා ආඥාපනත යටතේ ආරක්‌ෂිත ස්‌මාරකයක්‌ ලෙස 2007 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කර තිබේ.

මහනුවර දුම්රිය ස්‌ථානයට ආසන්න ව පිහිටා ඇති මහනුවර පැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 20 වැනි සියවස ආරම්භයේ දී පමණ රජයට පවරාගත් ගොඩනැගිල්ලකි. ඒ වන විට කුලී ගෙවමින් පවත්වාගෙන ගිය රජයේ ආයතන කීපයක කාර්යාල 1902 දී පමණ මේ ගොඩනැගිල්ලට ගෙන ගොස්‌ තිබේ. තැපැල් කාර්යාලය මේ ස්‌ථානයට ගෙන යැම අවශ්‍ය වී ඇත්තේ එවකට භාවිතයට ගත් තැපැල් කාර්යාල ගොඩනැගිල්ල භාවිතය පිළිබඳ ගැටලු මතු වීම නිසා ය. පසු කලක සෙසු කාර්යාල මේ ගොඩනැගිල්ලෙන් වෙනත් ස්‌ථානවලට ගෙන ගිය අතර තැපැල් කාර්යාලය පමණක්‌ එහි ඉතිරි විය. 1995 දී ඊට යාබදව නව තැපැල් සංකීර්ණයක්‌ ඉදි කිරීමෙන් පසුව මේ ගොඩනැගිල්ල ඉහත සඳහන් වූ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය කිහිපයක්‌ සඳහා භාවිත කරනු ලැබේ.

උරුම ගොඩනැගිලි රැකගැනීමේ අවශ්‍යතාව


අපේ රටේ අතීතයෙන් මේ දක්‌වා ඉතිරි වී ඇති දේ අපේ රටේ ජාතික උරුමයයි. ඈත අතීතයට අයත් විවිධ ඉදිකිරීම් හා ගොඩනැගිලි මෙන් ම මෑත අතීතයට අයත් ඓතිහාසික ගොඩනැගිලි ද මෙහි දී වැදගත් වේ. විශේෂයෙන් පොදු ගොඩනැගිලි හා රජයේ ගොඩනැගිලි ලෙස භාවිත වූ ගොඩනැගිලි අතරින් වසර සියයකට වඩා පැරැණි හා හොඳ තත්ත්වයේ පවත්නා ගොඩනැගිලි ඇත්තේ සීමිත ප්‍රමාණයකි. ඒ අතරින් ද වාස්‌තු විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක්‌ ඇති ගොඩනැගිලි ඇත්තේ තවත් අඩු ගණනකි. නාගරික ප්‍රදේශවල භූමි භාවිතයේ ඇති වී තිබෙන වෙනස්‌කම් මීට හේතුවයි. මෙරට පුරාවිද්‍යා නීතිය අනුව වසර සියයකට වඩා පැරැණි ගොඩනැගිලි හා ස්‌ථාන ආදිය ආරක්‌ෂිත ස්‌මාරක ලෙස ප්‍රකාශයට පත් කළ හැකි ය.

කෙසේ වෙතත් දිගුකාලීන වශයෙන් ගත් විට එවැනි ගොඩනැගිලි ආරක්‌ෂා කිරීමට හා නඩත්තු කිරීමට අධික මුදලක්‌ වැය විය හැකි ය. එවැනි නඩත්තුවක්‌ සඳහා වියදම් කිරීමට රජයේ ආයතනවලට මුදල් හිග වීම පුදුමයට කරුණක්‌ නො වේ. අනෙකක්‌ තබා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගොඩනැගිලි හා ස්‌මාරක හා ඔවුන් ගේ පරීක්‌ෂාව යටතේ ඇති ආරක්‌ෂිත ස්‌මාරකවල නඩත්තුව සඳහා ද ඇත්තේ සීමිත ප්‍රතිපාදන ප්‍රමාණයක්‌ බව රහසක්‌ නො වේ.

මේ හේතුව නිසා පැරැණි ගොඩනැගිලි රජයේ පාලනය යටතේ පවත්වාගැනීම අසීරු කරුණක්‌ බව ඇතැම් අවස්‌ථාවල දී රජයේ බලධාරීන් පවසනු දැකිය හැකි ය. මේ නිසා එවැනි ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමට යෝජනා කිරීම එතරම් පුදුමයට කරුණක්‌ නො වේ. එහි අරමුණ වන්නේ ලාභ උපයන කාර්ය සඳහා මෙවැනි ගොඩනැගිලි භාවිත කිරීමට යොමු කිරීම හා එමගින් ඒවායේ ප්‍රතිසංස්‌කරණය, නඩත්තුව සඳහා අරමුදල් උපයාගැනීම ය. එවිට එවැනි ගොඩනැගිලි ආරක්‌ෂා කරගත හැකි ය. මෙවැනි ප්‍රවණතාවක්‌ මෙරට මෙන්ම ලෝකයේ ඇතැම් රටවල ද දැකිය හැකි ය. එහෙත් එය කෙතරම් සාර්ථක ද යන්න ගැන ලෝකය පුරා විද්වතුන් විසින් සිදු කරනු ලැබ ඇති අධ්‍යයන හා විචාරවල සාකච්ඡා වී තිබේ.

මේ පිළිබඳව වැදගත් වන විචාරයක්‌ ලෙස පුරාවිද්‍යා සංරක්‌ෂණය හා ස්‌ථාන කළමනාකරණ සැලසුම් පිළිබඳ විශේෂඥයකු වන ගෙටානෝ පලුම්බෝ (Gaetano Palumbo) 2006 වර්ෂයේ දී ලියූ ලිපියක්‌ දැක්‌විය හැකි ය. යුරෝපයේ පෞද්ගලිකකරණය කරන ලද රජයට අයත් සංස්‌කෘතික උරුම පිළිබඳව අධ්‍යයනය කළ ඔහු දිගුකාලීන වශයෙන් ගත් විට, මෙසේ සංස්‌කෘතික උරුමය භාවිතය පිළිබඳ සංකල්ප දෙකක්‌ හදුනාගනියි.

ඉන් පළමුවැන්න වන වෙළෙඳපොළ අරමුණු කරගනිමින් පෞද්ගලික අංශයට සංස්‌කෘතික උරුමයන් ලබා දීම හෙවත් සංස්‌කෘතික උරුමය සූරාකෑමක්‌ (cultural heritage exploitation) ලෙස ඔහු නම් කරයි. එහි අරමුණ වන්නේ ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීම වන බැවින් අදාළ හිමිකරු ගේ අවධානය යොමු වන්නේ අදාළ උරුමයේ සෞන්දර්යාත්මක හෝ වාස්‌තුවිද්‍යාත්මක ස්‌වභාවය හා ඓතිහාසික වශයෙන් එම ස්‌ථානයට ඇති වැදගත්කම පිළිබඳව ය. එහි ඓතිහාසික භාවිතය පිළිබඳව එහි දී අවධානයක්‌ යොමු නො වන නිසා එය හුදකලා වූ ස්‌මාරකයක්‌ ලෙස ඔහු සලකයි. එසේ ම මෙවැනි අවස්‌ථාවල දී අඛණ්‌ඩව එම ස්‌ථානය ආරක්‌ෂා කිරීම සඳහා ආයෝජන සිදුවීමේ ගැටලු ඇති වී තිබෙන බව බොහෝ විචාරකයන් දක්‌වා ඇත. නිදසුනක්‌ ලෙස අදාළ පෞද්ගලික ආයතන එම ගොඩනැගිලි නඩත්තුව හා සංරක්‌ෂණය සඳහා කරනු ලබන වියදම් සීමා කළ අවස්‌ථා සුලබ ය. නඩත්තු හා සංරක්‌ෂණ වියදම් ඔවුන් ගේ ලාභයට වඩා අඩු වූ අවස්‌ථාවල දී එම ගොඩනැගිලි නො සලකා හැරීම සිදු විය හැකි ය. එසේ ම පෞද්ගලික අංශය මගින් එවැනි ගොඩනැගිලිවල සිදු කරන ලද නො ගැළපෙන වෙනස්‌කම් නිසා මෙන්ම භාවිතයේ වෙනස්‌කම් නිසා අදාළ ගොඩනැගිල්ලේ හෝ ස්‌මාරකයේ ඇති තථ්‍යභාවය (Authenticity) අහිමි වීමේ හැකියාවක්‌ ද ඇත. එවිට උරුමයක්‌ ලෙස එය තවදුරටත් හැෙගන්නේ ද යන්න ගැටලුවකි.

අනෙක්‌ සංකල්පය වන්නේ සංස්‌කෘතික උරුමයේ සමාජමය වටිනාකම් ඉස්‌මතු කිරීමේ අරමුණින් සිදු කරනු ලබන ප්‍රවේශයක්‌ හෙවත් සංස්‌කෘතික උරුම භාවිතයයි (cultural heritage use). එහි අවධානය යොමු වන්නේ අදාළ උරුමයේ වැදගත්කම හා එමගින් සමාජයට සිදු කළ හැකි කාර්යභාරය පිළිබඳ ව ය. එහි දී ආර්ථික ප්‍රතිලාභ මුල් තැනක්‌ නො ගන්නා අතර, එහි දී සෞන්දර්යාත්මක, වාස්‌තුවිද්‍යාත්මක හා ඓතිහාසික ආදි අංශ මෙන් ම එම උරුමයේ ඇති සමාජමය වැදගත්කම ද තහවුරු කරයි. භෞතික ගොඩනැගිල්ලක වුව ද භාවිතය හා සමග ඇති කරගන්නා යම් සමාජයීය වැදගත්කමක්‌ පවතී. මෙවැනි ප්‍රවේශයක දී අදාළ උරුමය බොහෝ විට මහජනතාව ගැවසෙන හා මහජන අවශ්‍යතා සඳහා තවදුරටත් භාවිත වන්නකි.

ඇතැම් අවස්‌ථාවල දී එහි අතීත භාවිතය සඳහා ම හෝ ඒ හා සමාන වූ භාවිතයක්‌ සඳහා යොදාගත හැකි ය. මෙවැනි භාවිතයක්‌ සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම මෙන් ම ප්‍රජාව ගේ දායකත්වය ද වැදගත් බව පැහැදිලි ය.

මේ කරුණු අනුව රාජ්‍ය අංශය මෙවැනි උරුම ගොඩනැගිලි සම්බන්ධව සිය අයිතිය අත්හැර විකිණීමේ හෝ පැවරීමේ හෝ ප්‍රතිපත්තිය එතරම් සාර්ථක එකක්‌ නො වන බව උක්‌ත විචාරයේ දී දක්‌වා ඇත.

සාධාරණ භාවිතයක්‌ සඳහා යොදාගැනීම


අපේ උරුමයක්‌ වන පැරැණි ගොඩනැගිලි රජයේ පාලනයේ හෝ පෞද්ගලික අංශය යටතේ හෝ පවත්වාගත්ත ද, ඒවා කුමන භාවිතයක්‌ සඳහා යොදාගන්නේ ද යන්න වැදගත් බව මෙයින් පෙනේ. මේ සඳහා මනා නිදසුන් දෙකක්‌ අපට ලංකාවෙන් දැක්‌විය හැකි ය. මේ අවස්‌ථා දෙකෙහි දී ම අදාළ ගොඩනැගිල්ල අඛණ්‌ඩව භාවිතයට ගැනීම හා නඩත්තු වීම සිදු වී ඇතත්, එක්‌ අවස්‌ථාවක දී එහි පැරැණි භාවිතයේ ස්‌වරූපය අහිමි වී ඇති අතර, අනෙක්‌ අවස්‌ථාවේ දී පැරැණි ස්‌වරූපය ඉස්‌මතු වන ආකාරයේ භාවිතයක්‌ සිදු වී ඇත.

පැරැණි ගොඩනැගිල්ලක්‌ වන කොළඹ කොටුවේ පිහිටි ඕලන්ද රෝහල එක්‌ නිදසුනකි. එම ගොඩනැගිල්ල මනාව සිදු කරන ලද ප්‍රතිසංස්‌කරණයකින් පසුව මේ වන විට ආරක්‌ෂිත තත්ත්වයක ඇත. එය මේ වන විට රජයට අයත් ගොඩනැගිල්ලක්‌ වුව ද පෞද්ගලික වෙළෙඳ සංකීර්ණයක්‌ ලෙස ක්‍රියාත්මක වේ. එය රජයේ අයිතියේ පවතින අතර ම ආර්ථික අරමුණු මුල් කරගත් භාවිත සදහා යොදාගෙන ඇත. ගොඩනැගිල්ලේ ස්‌වරූපයේ වෙනස්‌කමක්‌ සිදු වී නැතත් එය පැරණි ඕලන්ද රෝහල යෑයි සිතෙන්නේ නැති තරමට එහි භාවිතයේ ස්‌වරූපය වෙනස්‌ වී තිබේ. එහි පැමිණෙන්නන් එම ගොඩනැගිල්ලේ ඇති ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක හෝ වැදගත්කම පහසුවෙන් තේරුම්ගන්නා බවක්‌ සිතීම අසීරු ය.

කෙසේ වෙතත් රජයේ අයිතිය යටතේ ඇති කොළඹ පිටකොටුවේ පිහිටි ඕලන්ද යුග කෞතුකාගාරය පවත්වාගෙන යන පැරැණි ගොඩනැගිල්ල මීට වඩා වෙනස්‌ ය. එය ප්‍රතිසංස්‌කරණය කිරීමෙන් පසුව එම ගොඩනැගිල්ල ඒ සඳහා ම ගැළපෙන ආකාරයේ භාවිතයක්‌ සඳහා යොදාගෙන තිබේ. ඒ කෞතුකාගාරයක්‌ ලෙස ය. එය සමාජමය වශයෙන් වැදගත් කාර්යයක්‌ ද ඉටු කරයි. එහි පුරාවිද්‍යාත්මක අගය රැකී ඇති අතර, ඒ බව එය භාවිත කරන්නවුන්ට පහසුවෙන් අවබෝධ වේ.

මේ අනුව පැහැදිලි ව පෙනෙන කරුණක්‌ වන්නේ පැරැණි ගොඩනැගිලි ආරක්‌ෂා කරගැනීමේ දී එහි අතීත භාවිතය මෙන් ම අනාගත භාවිතය සම්බන්ධව ද සැලකිලිමත් විය යුතු බවයි. එවැනි ගොඩනැගිලි ආරක්‌ෂා කරගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මගින් ඒවායේ අතීත භාවිතය පිළිබඳ පෙනුම හෙවත් උරුමයේ ස්‌වභාවය හෝ සජීවී බව අහිමි වී යන්නේ නම්, පුරාවිද්‍යාත්මක උරුමයක්‌ ලෙස එහි අගයේ අඩු වීමක්‌ සිදු විය හැකි බව ය.

මේ අනුව වඩාත් සාර්ථක වන්නේ භාවිතය මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියකට යැම බව අපට පෙනේ. එහි දී පැරැණි රජයේ ගොඩනැගිලි තවදුරටත් රාජ්‍ය අංශය සතු ව තිබීම වැදගත් වන්නේ එමගින් අදාළ උරුමයේ පැවැත්ම තහවුරු වන නිසා ය. එසේ ම එම උරුමය එහි මුල් භාවිතය මත ම පදනම් වන්නේ නම් එහි සජීවී බව තවදුරටත් රැකේ. අවශ්‍ය නම් පෞද්ගලික අංශය සමග හවුල්කාරීව වුව ද එය සිදු කළ හැකි ය. එම හවුල්කාරීත්වය පිළිබද ඉතා හොද නිදසුනක්‌ ලෙස 1906 දී විදුලිසංදේශ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ඉදි කරන ලද වර්තමානයේ කුරුදුවත්ත තැපැල් කාර්යාලය ලෙස භාවිත වන ගොඩනැගිල්ල සම්පත් බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් පෞරාණික අගය කිසිදු වෙනස්‌ කිරීමකින් තොර ව සංරක්‌ෂණය කිරීම දැක්‌විය හැකි ය. එසේ ම කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන මැදිරි නවීකරණය කිරීම සඳහා තවත් බැංකුවක්‌ වන හොංකොං හා ශැංහයි බැංකුවේ අනුග්‍රහය ලබාගැනීම ද මෙවැනි හවුල්කාරිත්වයක්‌ සඳහා තවත් නිදසුනක්‌ වේ.

http://www.vidusara.com/2017/09/27/feature3.html

Tuesday, September 26, 2017

අලි-මිනිස්‌ ගැටුම වැළැක්‌වීමට අලින් අල්ලා විකිණීම විසඳුමක්‌ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.09.2017. පි. 11 (Vidusara)

http://www.vidusara.com/2017/09/20/feature3.html


අලි පිළිබඳව කිසියම් දේශපාලනමය කතාබහක්‌ යළිත් ආරම්භ වී තිබේ.

'කැළෑ ප්‍රමාණයේ හැටියට ලංකාවට අවශ්‍ය අලි හාර දාහයි' යනුවෙන් හා අලි බෝ වීම පාලනය කිරීමට කටයුතු කළ යුතු යෑයි පාලක පක්‌ෂයේ දේශපාලනඥයකු පැවසූ කතාවක්‌ මේ සාකච්ඡාව සඳහා මූලික හේතුව විය. ඒ සමග තවත් අදහස්‌ සමූහයක්‌ මතු ව ඇත්තේ වනජීවී-මිනිස්‌ ගැටුමට හේතු වන හානි කරන ඌරන්, රිලවුන් වැනි වෙනත් සතුන් සම්බන්ධව ද ගත යුතු පියවර ද මේ ප්‍රකාශයට ඈඳීමත් සමග ය.

මේ ප්‍රකාශය පිළිබඳව විවිධ අදහස්‌ පළ වී ඇත. ඉන් සමහරක්‌ පළ වී ඇත්තේ ඉහත කී ප්‍රකාශයට පක්‌ෂ ව ය. සමහරක්‌ ඊට විපක්‌ෂ ව ය. මේ අදහස්‌ මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම සමාජ ජාලවල හා වෙනත් වෙබ් අඩවිවල ද පළ වී තිබේ. මේ සමහර අය ගේ අදහස්‌ හාස්‍යජනක වන්නේ ඉන් ඔවුන් ගේ අලින් හා වනජීවීන් පිළිබඳ දැනුම ද ප්‍රශ්න කෙරෙන නිසා ය. නිදසුනක්‌ ලෙස ඇතැමුන් අලි රංචුවක නායකත්වය දරන ඇත් රජු ගැන ද කතා කර තිබිණි. ආසියානු අලි රංචුවක නායකත්වය දරන්නේ වැඩිමහල් ගැහැනු අලියකු බව නො දන්නා අය තවමත් සිටිති. තවත් සමහරුන්ට අනුව ලංකාවේ අලින් ඉන්නේ 2000-2500ක්‌ අතර ප්‍රමාණයක්‌ පමණි.

මෙරට අලි ගහනය කොපමණ ද?


මෙරට වෙසෙන අලි ගහනය පිළිබඳව ද ගැටලුවක්‌ ඇති බව පෙනේ. මෙරට අලි ගහනය පිළිබඳව ඇති වඩාත් පිළිගත හැකි ගණනය කිරීම වන්නේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් ව 2011 වර්ෂයේ දී සිදු කරන ලද අලි සංගණනයයයි. එහි වාර්තාව The First Island Wide National Survey of Elephants in Sri Lanka 2011 යනුවෙන් 2013 වර්ෂයේ දී පළ විය. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට මේ වන විට අලි 5,879ක්‌ පමණ මෙරට වාසය කරති. අප මාතෘකා කරගත් ඉහත කී දේශපාලනඥයා ගේ කතාවේ දී ඔහු මෙරට අලි 6,000ක්‌ සිටිනවා යෑයි පවසන්නේ මේ මත පදනම් ව විය යුතු ය.

මේ ගණන විශාල සංඛ්‍යාවක්‌ බැවින් ඇතැම් අය මේ සංගණනය පිළිබඳව සැක කරන ආකාරයක්‌ ද දැකිය හැකි ය. එහෙත් ස්‌වාධීන ව සිදු කර ඇති අධ්‍යයනවලින් ද ඇතැම් ප්‍රදේශවල අලි ගහන සම්බන්ධව හෙළි වී ඇති සංඛ්‍යාලේඛන මීට සමාන ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ශර්මින් ද සිල්වා සහ තවත් අය විසින් 2011 දී Biological Conservation සගරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව උඩවලව ජාතික වනෝද්‍යානය පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව එහි වාසය කරන අලින් ගණන 804-1,160 අතර බව ගණන් බලා ඇත. (DOI: 10.1016/j.biocon.2011.03.011) කෙසේ වෙතත් 2011 දෙපාර්තමේන්තු සංගණනයේ දී උඩවලව පමණක්‌ නො ව, රුහුණ, ලුණුගම්හෙහෙර හා බුන්දල යන ජාතික උද්‍යාන මෙන්ම ඉන් පිටත ප්‍රදේශ ද ඇතුළත් දකුණු වනජීවී කලාපයෙන් ම (එවකට දකුණු කලාපය) වාර්තා වන, වන අලින් ගණන 1,086ක්‌ පමණි.

අනෙක්‌ අතට මෙරට වාසය කළ හැකි අලින් කොපමණ ප්‍රමාණයක්‌ ද යන්න පිළිබඳව ප්‍රාමාණික අධ්‍යයන සිදුව තිබේ ද යන්න සැකසහිත ය. එසේ සිදු ව ඇතත්, 'අවශ්‍ය' යෑයි අලින් ප්‍රමාණයක්‌ නියම කිරීමට මිනිසුන්ට සදාචාරාත්මක අයිතියක්‌ තිබේ ද යන්න ගැටලුවකි. අලින් යනු ද ස්‌වාභාවික පරිසරයේ මිනිසුන් මෙන්ම ජීවත් වීමේ අයිතියක්‌ ඇති ජීවීන් කොට්‌ඨාසයකි.

පර්යේෂකයන් පෙන්වා දී ඇති ආකාරයට මෙරට අලි ගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාසය කරන්නේ ආරක්‌ෂිත ප්‍රදේශවලින් බාහිර ව ය. ඇතැම් විට කැළෑවලින් ද බැහැර ව යමිනි.

අලි ඉන්නේ කැළෑවල පමණක්‌ ද?


ඇතැමුන්ට අනුව අලින් ඉන්නට ඕනෑ කැළේ හෝ ආරක්‌ෂිත ප්‍රදේශවල පමණකි. එහෙත් මිනිසුන් මෙසේ සීමා පනවා ඇති බව අලින් දන්නේ නැත. එසේ ම අලින් ගේ වාසස්‌ථාන වූ ප්‍රදේශ මේ වන විට මිනිසුන් සිය වගා කටයුතු හා ජනාවාස සඳහා යොදාගෙන ඇත. ආහාර මෙන්ම ජලය ද අලින් ගේ අවශ්‍යතාවකි. ජල මාර්ග සොයා ඇතැම් අවස්‌ථාවල දී මානව ජනාවාස සහිත ප්‍රදේශ හරහා ගමන් කිරීමට අලින්ට සිදු ව තිබේ. එසේ ම දික්‌ගැසුණු නියගය වැනි සුවිශේෂ තත්ත්වවල දී ආහාර හා ජලය පිළිබඳ ගැටලුව තවදුරටත් උග්‍ර වේ.

පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි අලි ඇත්තු ආහාර සොයා හේන් ආශ්‍රිත ව මෙන්ම වැව් පිටි ආශ්‍රිත ව ගැවසෙති. අලි හේන්වල භෝග අස්‌වැන්න නෙළාගත් පසුව ඉතිරි භෝග හා ඉන්පසුව වැවෙන ශාකවලට රුචිකත්වයක්‌ දක්‌වති. රුහුණ ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති නිමලව ප්‍රදේශයට උතුරින් පිහිටි හේන් වගා කළ ප්‍රදේශ ආශ්‍රිත ව සිදු වූ සිදුවීම මේ සඳහා දැක්‌විය හැකි යෝග්‍යතම නිදසුනකි. එහි දී පෙනී ගිය පරිදි රුහුණ ජාතික වනෝද්‍යානයේ වාසය කළ අලින් වියළි කාලයේ දී යාබදව පිහිටා ඇති හේන් පිහිටා තිබූ ප්‍රදේශවලට පැමිණ අස්‌වනු නෙළාගෙන තිබූ හේන්වල ඉතිරි ව තිබූ භෝග ශේෂ හා සෙසු ශාක ආහාරයට ගැනීම සිදු කර ඇත. එහෙත් යළි වර්ෂා සමය එළැඹීමත් සමග මේ අලින් අතරින් වැඩි ප්‍රමාණයක්‌ යළිත් වනෝද්‍යානය තුළට හා වෙනත් වගා නොකරන ප්‍රදේශවලට පිවිසි බව රේඩියෝ කොලර් යොදාගනිමින් කළ අධ්‍යයනයකින් හෙළි වූ බව ඊ. ඩී. වික්‍රමනායක හා තවත් අය පළ කර ඇති පර්යේෂණ වාර්තාවකින් දක්‌වා ඇත. මෙය වැදගත් වන්නේ වර්ෂා සමයේ දී මේ ප්‍රදේශවල හේන් වගාව සිදු කරන නිසා ය. ඒ කාලයේ දී අලින් ගේ ගැවසීම අඩු වීම නිසා අලි-මිනිස්‌ ගැටුම් අවම වීමට මේ තත්ත්වය හේතු විය. මේ නිසා සාම්ප්‍රදායික ජීවනෝපාය ක්‍රම මනා පාලනයකින් යුක්‌ත ව භාවිත කිරීම අලි සංරක්‌ෂණය මෙන්ම අලි-මිනිස්‌ ගැටුම අවම කිරීම සඳහා යොදාගත හැකි උපක්‍රමයක්‌ බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, 2000 වර්ෂයෙන් පසුව පමණ මෙසේ, කලින් කලට ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් දිවි ගෙවූ අලින් රුහුණු ජාතික උද්‍යාන ප්‍රදේශයට සීමා කරමින් විදුලි වැටක්‌ ඉදි කිරීමෙන් පසුව එම අලින් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ අකාලේ මිය ගිය බව වාර්තා වී තිබේ.

අලින් සමග දිවි ගෙවීම


මිනිසුන් හා අලින් අතර සහයෝගී පැවැත්මක්‌ පිළිබඳව යම් අදහසක්‌ පවත්වාගත නොහැකි ද යන්න සිතා බැලිය යුතු දෙයකි. ඒ සඳහා බහු පාර්ශ්වීය ප්‍රවේශයක්‌ අවශ්‍ය බව සැබෑ ය. සංවර්ධනය හා මිනිසුන් ගේ අවශ්‍යතා සොයාබැලීම හා ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීම මෙන්ම වනජීවීන් උදෙසා අවශ්‍ය බිම් ප්‍රමාණය තබාගැනීම රටක්‌ ලෙස වැදගත් ය. වනජීවී කළමනාකරණය මෙහි දී වැදගත් වේ. මේ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීමට සිදු විය හැකි ය. විදුලි වැට, ජීව වැට, අගල්, ගැටලුකාරී අලින් ඇල්ලීම, අලින් එළවීම ආදි විවිධ උපක්‍රම මේ සඳහා භාවිත වේ. මේ අතරින් වඩාත් වැදගත් වන්නේ මිනිසුන් හා අලින් අතර සහයෝගී පැවැත්මක්‌ සිදු කළ හැකි ආකාරයේ විසඳුම් ය. එවැනි විසඳුම් සාර්ථකව ක්‍රියාත්මක කළ අවස්‌ථා තිබේ. අලින් ගේ සංචරණයට ද අවස්‌ථාව ලබා දෙමින් ගම් වටා විදුලි වැට යෙදවූ අවස්‌ථා මේ සඳහා නිදසුනකි.

අනාදිමත් කාලයක සිට පැවත එන අලි-මිනිස්‌ ගැටුම අලින් ගේ හා මිනිසුන් ගේ මරණවලට මෙන්ම දේපොළ හා වගාහානිවලට හේතු වන කරුණක්‌ බව සැබෑවකි. මෙය කඩිනමින් විසඳුමක්‌ සෙවිය යුතු ගැටලුවක්‌ ද වේ. එසේ ම මෙය රටේ සැම තැනකට ම එක ම ආකාරයේ විසඳුමක්‌ ලබා දිය හැකි ගැටලුවක්‌ නො වේ. එයට හේතුව ගැටලුවට බලපා ඇති හේතු විවිධ ප්‍රදේශවල දී වෙනස්‌ වීම ය. මේ අනුව මෙය විවිධ ආකාරයේ විසඳුම් ලබා දිය යුතු ආකාරයේ ගැටලුවක්‌ බව බලධාරීන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් ද වටහාගත යුතු වේ. එහෙත් මේ ගැටලුවට විසඳුම අලි ඇල්ලීම හෝ විකිණීම නම් නො වේ.

හීලෑ අලින් අවශ්‍ය කුමකට ද?

අලි-මිනිස්‌ ගැටුමට විසඳුම් ලෙස ඉදිරිපත් වන යෝජනාව අතරට අලින් අල්ලා විකිණීම නම් ඇතුළත් විය යුතු යෑයි ක්‌ෂේත්‍රයේ කිසිදු විද්වතකු පවසනු ඇතැයි අප සිතන්නේ නැත. ඉන් පළමු කරුණ වන්නේ අලින් අද අවශ්‍ය වන්නේ කුමක්‌ සඳහා ද යන්නයි. සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා විදේශ රටවලට යෑවූ අලින් පත් ව ඇති ඉරණම විදේශීය මාධ්‍ය ඔස්‌සේ වාර්තා වේ.

සාම්ප්‍රදායික දැනුමක්‌ ලෙස සැලකිය හැකි අලි හීලෑ කිරීම පිළිබඳ මෙරට ඉතිහාසය බොහෝ පැරැණි ය. එහෙත් අද වන විට හීලෑ අලින් අවශ්‍ය වන්නා වූ ප්‍රධානතම කාර්යය වන්නේ සංස්‌කෘතික වශයෙන් වැදගත්කමක්‌ ඇති පෙරහැර පමණකි. ඇතැමුන් ඊට විරුද්ධ වුව ද පෙරහැර යනු අනාදිමත් කාලයක සිට පැවත එන සංස්‌කෘතික අංගයකි. මෙය බුදුදහම මෙරටට හඳුන්වා දුන් කාලයේ සිට පැවත එන්නක්‌ බව මහාවංසය අනුව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මෙරට පළමු ස්‌තූපය වන ථූපාරාමය නිර්මාණය කළ අවස්‌ථාවේ දී එහි තැන්පත් කිරීම සඳහා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා සංවිධානය කරන ලද පෙරහැරේ දී ධාතූන් වහන්සේලා වැඩමවීම සඳහා ඇතකු යොදාගැනීම මීට නිදසුනකි.

කෙසේ වෙතත් පෙරහැර සඳහා අලින් ලබාගැනීම සඳහා වුව ද පෞද්ගලික අයිතියට ලබා දීම ප්‍රවර්ධනය කිරීම නො කළ යුතු බව අප ගේ අදහසයි. ඉහත කී ආකාරයට පෙරහැර සඳහා අලි ඇතුන් සැපයීම රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් සිදු කළ හැකි ය. එවැන්නක්‌ සඳහා යම් ආරම්භයක්‌ පසුගිය දිනක පැවැත්වුණු බවක්‌ වාර්තා විය. එය යම් ආකාරයකින් සතුටට හේතු වන කරුණකි.

පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය නො කළ යුතු යෑයි අප සඳහන් කරන්නේ එමගින් අලින් යොදාගෙන මුදල් ඉපැයීම අරමුණු කරගත් නව ධනපති පංතිය නිසා අලින් පත් ව ඇති අසරණ තත්ත්වය අද අප ගේ ඇස්‌ හමුවේ දිස්‌ වන නිසා ය. මෙරට තුළ අලින් යොදාගෙන වැඩ ගැනීම දැන් අවම මට්‌ටමකට පත් ව තිබේ. එය තවදුරටත් අඩු වෙමින් පවතින්නකි. සෆාරි සඳහා යොදාගැනීම අලින් පත් විය හැකි දරුණුතම තත්ත්වයක්‌ වන්නේ එය හුදෙක්‌ මුදල් අරමුණු කරගෙන කරන්නක්‌ බව පෙනෙන නිසා ය. සංචාරක අධිකාරීන් ඒ සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා මේ වන විට සෆාරි කාර්යයේ යොදාගන්නා අලින් සම්බන්ධව ක්‍රියාත්මක නො වන බව ක්‌ෂේත්‍රයට සමීප පිරිස්‌වල මතය වේ. අලින් ගේ සුබසාධනය සම්බන්ධව මේ පිරිස්‌වල අවධානය අවම ය. මේ නිසා පෞද්ගලික අයිතියට අලින් ලබා දීම නො කිරීම වඩාත් හොඳ ය.

http://www.vidusara.com/2017/09/20/feature3.html

Thursday, September 14, 2017

බස් කතා 4: අාසන වෙන් කරන අලුත්ම ක්‍රමය

​ඊයෙ වැස්සෙම පුරහල කිට්ටුවෙන් 138 කට නැග්ගෙ නුගේගොඩට වෙලාවට යන්න. යාලුවෙක් හමුවෙන්න. කාර්යාල වෙලාව හින්ද බස් එකේ හිස් අසුන් තිබුනේ දෙකතුනයි. ඉස්සරහ පූජ්‍ය පක්ෂයේ අසුනේ එක් අසුනක් හිස්ව තිබුනා. එ්ත් එහි ජනේලය ළඟ හිඳ සිටි තරුණිය හිස් අසුනේ ඇයගේ තෙත් කුඩය තබා තිබුනා. මේක මම හැමදාම යන 138 බස්වල කවදාවත් දැක නොතිබූ දෙයක්. එසේම ඇය සිටියේ හරිම පහසුවෙන් වාඩිවීගෙන, ජනේලයෙන් පිටත අනන්තය බලාගෙන. හරියට බස් එකේ නෙවේ ගෙදර සාලෙ වගෙ. මොහොතක් නතර උනත්, කුඩේ ගන්න එයාගෙ අවධානය යෙමු වන බවක් නොපෙනුන හින්ද මම හිස්ව තිබු මැද අසුනකින් ඉද ගත්තා.

එ්ත් එ් සමඟම බසයට නැගණු තරුණියකට හිඳගැනීමට අන් අසුනක් නොවූ බැවින් ඒ ඉදිරි අසුන අසල නතර වුනා. ඒත් අර හිඳ සිටි තරුණිය කුඩය ඉවත් කළේ නෑ. සිටගෙන සිටි තරුණිය ඇයට කතා කර කුඩය පෙන්වූ විට එය ඉවත් කරගත්තත් යම් කරුණක් නිසා සිටගෙන උන් තරුණිය එහි හිඳ ගත්තේ නෑ. පසු අසුනක සිටි කාන්තාවක හා පිරිමියෙකු ඒ ගැන විමසූ විට පෙනුනේ වතුර ඇති නිසා බවයි. ඉන්පසු පසු අසුනක උන් එ් මහත්මයා නැගිට ඔහුගේ අසුන ඇයට අසුන ලබාදී අර තෙමී තිබූ ඉදිරි අසුනේ හිද ගත්තා. ඇන්දක්ද සහිත ඒ අසුනේ තරබාරු ඒ මහත්මයා හිදගැනීමෙන් අර මුල් තරුණියගේ පහසු ඉරියව්වට අැති වූ අපහසුතාවය එයාට ලැබුණු දඬුවම වෙන්න අැති.

පේන විදියට මේක තවත් ආසන වෙන් කිරීමේ ක්‍රමයක්. වැස්ස දවසට තමයි කළ හැක්කේ. එ්ත් ඊයෙ කාන්තාවක් විසින්ම තවත් කාන්තාවකටම අසාධාරණයක් සිදුකිරීම තමයි කණගාටුව.

14.09.2017

පරණ බස් කතා https://dhaneshw.blogspot.com/search/label/%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F

Tuesday, September 12, 2017

පෙර පරපුරේ හා අද පරපුරේ රංගන ශිල්පීන්

මෑත දවසක් උදේ දෙරණ "ලෝකය සහ ලෝකයා" එකේ සුමින්ද සිරිසේන කවුද කියලා සාමාන්‍ය ජනතාවගෙන් ඇසූ විට ඔවුන් දුන් පිළිතුරු පෙන්වූවා. දහදෙනෙකුගෙන් පමණ ඔහුව දැන සිටියේ තිදෙනයි. බහුතරය ඔහුව දැන සිටියේ නැහැ. එය අතිශය කණගාටුවට කරුණක් වන්නේ ඔහු අයත් වන්නේ ප්‍රතිභාපූර්ණ ශිල්පි පරපුරට නිසා. ඒ වේදිකාවේ වගේම ටෙලි නාට්‍යයේ.

හුදෙක් රූපය නිසාත්, මවුපියන් ශිල්පීන් වූ නිසාත්, මුදල් නිසාත් (සහ තවත් දේ නිසාත්) නළු නිළියන් වී සිටින අද පරපුරේ ඇතැමුන් සමග බැලූ විටයි පෙර පරපුරේ වෙනස පෙනෙන්නේ. අද බහුතරයකට රඟපාන්න බෑ. අද යන ටෙලි නාට්‍ය දෙක තුනක් විතර බැලුවත් (සමහර විට ඇහුවත්) කලිනුත් නම් දන්නා අය මිස, ඒවයේ රගපාන අන් අයගේ නම් මම දන්නේ නෑ. දැන ගන්න ඕනත් නෑ. මොකද ඔවුන් වැඩිදෙනෙක්ගේ මතක තියා ගන්න තරම් රංගන හැකියාවක් නෑ.

ඒකත් අද පරපුරේ ගායක ගායිකාවන් හා සමානයි.

මේ ගැන හි තැබූ සටහන හා එහි දැක්වූ ප්‍රතිචාර සඳහා - https://web.facebook.com/dhanesh.wisumperuma/posts/10203642615262722

Sunday, September 10, 2017

කුණාටු හා දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ යළි කතාබහක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 06.09.2017, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2017/09/06/feature4.html



පසුගිය මාසයේ ඇති වූ නිවර්තන කුණාටුවක්‌ වූ හාවි කුණාටුව (Hurricane Harvey) මගින් මධ්‍යම හා උතුරු ඇමරිකාවට දැඩි බලපෑම් සිදු විය. අගෝස්‌තු 17 මුලින් ම ආරම්භ වූ මේ කුණාටුව 4 වැනි කාණ්‌ඩයේ කුණාටුවක්‌ සේ සැලකේ. එය මේ වර්ෂයේ කුණාටු සමයේ මුලින් ම ඇති වූ කුණාටුව වේ. පළමුව මධ්‍යම ඇමෙරිකානු රටවල් ගණනාවකට බලපෑම් ඇති කළ එය ඇමෙරිකාවට ළගා වූයේ සතියකට පමණ පසු ව ය. මේ ලිපිය ලියන මොහොත වන විට ද මේ කුණාටුව සක්‍රිය තත්ත්වයක පැවතිණි.

මේ වන විට වාර්තා වන පරිදි හාවි කුණාටුව මෑත කාලයේ දී ඇමෙරිකාවට පැමිණි වඩාත් ප්‍රබල ම කුණාටව වේ. තවත් රටවල් ගණනාවකට එමගින් හානි සිදු වී ඇතත් වඩාත් බරපතළ ම හා අවධානයට යොමු වී ඇති හානිය සිදු වී ඇත්තේ ඇමෙරිකාවට ය. එය 2005 වර්ෂයේ දී ඇමෙරිකාවට බලපෑම් සිදු කළ විල්මා හා කැත්‍රිනා කුණාටුවලින් පසුව දැඩි වර්ෂාපතනයක්‌ හා දැඩි හානියක්‌ ඇති කළ කුණාටුව සේ සැලකෙන්නේ මේ කුණාටව ය. දින හතරක්‌ වැනි කාලයක්‌ ඇතුළත ඇති වූ මිලිමීටර් 1000කට (අගල් 49.2ක්‌ පමණ) අධික වූ වාර්තාගත වර්ෂාපතනය හමුවේ ඇමෙරිකාවේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේ නැෙගනහිර ප්‍රදේශය නො සිතූ ආකාරයේ ජලගැලීමකට ලක්‌ විය. ඇමෙරිකාවේ සිව්වැනි විශාලතම නගරය වන හූස්‌ටන් නගරය ආශ්‍රිත ප්‍රදේශයට ද මේ කුණාටුවෙන් විශාල හානියක්‌ සිදු ව ඇත.

මේ කුණාටුව නිසා ඇති වූ හානිය ගැන තවමත් අවසන් නිගමනයකට පැමිණීමට කල් මදි බව පෙනේ. කෙසේ වෙතත් සැප්තැම්බර් මස 1 වැනි දින වන විට ඇමෙරිකාවේ පමණක්‌ ජීවිත 40ක්‌ අහිමි වී තිබුණු අතර, සිදු වී ඇති දේපොළ හානිය ද ඉතා විශාල ය. (එහෙත් 2005 දී ලුසියානා ප්‍රාන්තයට බලපෑ කැත්‍රිනා කුණාටුව නිසා අහිමි වූ ජීවිත ගණන 1800කට අධික ය.) වාර්තා වන පරිදි ටෙක්‌සාස්‌ ප්‍රාන්තය තුළ පමණක්‌ හැත්තෑ දහසක පමණ පිරිසක්‌ මේ නිසා අවතැන් වී ඇත. ඉන් විශාල පිරිසකට අනිවාර්යයෙන් ඉවත් වීමට සිදු වූ අතර ඇතැම් පිරිස්‌ සහන සේවකයන් හා ස්‌වෙච්ඡා සේවකයන් විසින් බේරාගන්නා ලදි. මෙයින් ඇති වූ සම්පූර්ණ අලාභය කෙතරම් ද යන්න ගැන තවමත් අවසන් නිගමනයක්‌ ඇති බවක්‌ නො පෙනේ. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 70ත් 125ත් අතර විය හැකි බව වාර්තා අනුව පෙනේ. මේ දෙවැනි අගය ගත හොත් මෙය එරටට වැඩි ම ආර්ථික හානියක්‌ සිදු කළ කුණාටු අතරින් එකක්‌ වීමේ ඉඩක්‌ පවතී.

ටෙක්‌සාස්‌ ප්‍රාන්තය ඇමෙරිකාවේ ආර්ථිකය සම්බන්ධව වැදගත් වන ප්‍රාන්තයකි. නිදසුනක්‌ ලෙස ගත හොත් එරට තෙල් කර්මාන්තයේ දී ද ටෙක්‌සාස්‌ ප්‍රාන්තය වැදගත් තැනක්‌ ගනියි. මේ වන විට ගංවතුර බැස යන තුරු බොහෝ කටයුතු නැවතී ඇති බවක්‌ පෙනෙන්නට තිබේ. එසේ ම එම ප්‍රාන්තයේ ප්‍රවාහන පද්ධතියට සැලකිය යුතු බලපෑමක්‌ ද සිදු වී ඇත. හානි වූ නිවාස හා වෙනත් යටිතල පහසුකම් ප්‍රතිස්‌ථාපනය කිරීම සඳහා යම් කාලයක්‌ ගත විය හැකි බව අසන්නට ලැබේ.

කෙසේ වෙතත් මේ ගංවතුර ආපදාවෙන් සිදු වූ හානිය සම්බන්ධව ජනතාව ගේ ක්‍රියාකාරිත්වයේ යම් බලපෑමක්‌ ඇති බව පැහැදිලි ය. හූස්‌ටන් නගරයේ ජනගහනය සම්බන්ධව සැලකුව හොත්, එහි ජනගහනය 1980 වර්ෂයෙන් පසුව 40%කින් පමණ ඉහළ ගොස්‌ ඇත. මේ අතරින් සැලකිය යුතු පිරිසක්‌ මෙවැනි කුණාටු බලපෑ හැකි අවදානම් කලාපයේ පදිංචි ව සිටි පිරිස්‌ ය. ඒ අතරින් සැලකිය යුතු පිරිසක්‌ රක්‌ෂණාවරණයක්‌ නොමැති අය හෝ හදිසි ඉවත් වීමක්‌ සිදු කිරීමට තරම් ආර්ථික අතින් ශක්‌තියක්‌ නොමැති ව සිටි ජනතාවක්‌ බව සඳහන් වේ. එසේ ම ජනාවාස සඳහා නුසුදුසු ස්‌ථානවල ජලාශවල ජල සීමාව රදා පවත්නා ප්‍රදේශවල නිවාස තනා තිබූ අවස්‌ථා ද පැවැති බව වාර්තා වේ. එය මේ ව්‍යසනයේ හානිය බරපතළ කිරීමට හේතු වී ඇති බව සඳහන් වේ. මෙය සංවර්ධිත රටක්‌ සේ සැලකෙන ඇමෙරිකාව සම්බන්ධව තරමක්‌ විස්‌මයජනක තත්ත්වයකි.

මෙවැනි නිවර්තන කුණාටු ස්‌වාභාවිකව ඇති වන සංසිද්ධියකි. කෙසේ වෙතත් මෙවැනි කුණාටුවල තීව්‍රතාව අධික වීමට හා අධික වර්ෂාපතනය සඳහා දේශගුණ වෙනස්‌ වීමේ යම් බලපෑමක්‌ ඇති බවට සාකච්ඡාවක්‌ හාවි කුණාටුවට පසුව ඇති වී තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එය හෙට දවසේ ලෝකයේ දේශගුණය තීරණය කරනු ඇති බැවිනි.

මෙවැනි කුණාටු දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ ද?


මේ සම්බන්ධව විද්‍යාඥයන් පෙන්වා දෙන සාධකය වන්නේ උෂ්ණත්වයෙන් ඉහළ වායුගෝලයක වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක්‌ පැවතීමයි. ක්‌ලෝසියස්‌-ක්‌ලැපේරොන් නියමය හෝ සමීකරණය (Clausius-Clapeyron equation) ලෙස හඳුන්වන නීතිය අනුව යම් උෂ්ණත්වයක දී ඇති ජලවාෂ්ප පීඩනය දන්නේ නම් වෙනත් උෂ්ණත්වයක දී ඇති වන ජලවාෂ්ප පීඩනය ගණනය කළ හැකි ය. මේ වන විට පෙන්වා දී ඇති ආකාරයට, උෂ්ණත්වයේ ඉහළ යන යැම සෙල්සියස්‌ අංශකයක්‌ සඳහා ම වායුගෝලයේ රඳවාගත හැකි ජල ප්‍රමාණය 6%කින් පමණ ඉහළ යයි. මේ නිසා කුණාටු හෝ වර්ෂාපතන තත්ත්ව ඇති වන අවස්‌ථාවල දී වර්ෂාව ලෙස පතිත වන ජල ප්‍රමාණය අධික වේ. එනම් වර්ෂාව වඩාත් තීව්‍ර (intensity) විය හැකි ය.

මේ වන විට හරිතාගාර ආචරණ ක්‍රියාවලිය හේතුවෙන් ඉහළ ගොස්‌ ඇති උෂ්ණත්වය නිසා වැඩි ජල ප්‍රමාණයක්‌ වායුගෝලයේ පවතී. එබැවින් අධික වර්ෂාපතනයක්‌ පතිත වන සිදුවීම් හෙවත් ආන්තික වර්ෂාපතන තත්ත්ව ඇති වීම අනාගතයේ දී ඉහළ යා හැකි ය.

අනෙක්‌ අතට සාගර ජලයේ උෂ්ණත්වය ද මේ තත්ත්වයට බලපෑමක්‌ ඇති කරයි. ඇමෙරිකාවට නුදුරු ව පිහිටා ඇති මෙක්‌සිකෝ බොක්‌ක ප්‍රදේශයේ ද මෙවැනි තත්ත්වයක්‌ පවතී. එහි ඇති ජලයේ උෂ්ණත්වය 1980-2010 අතර කාලයේ දී පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අංශක 1.5කින් පමණ ඉහළ ය. ඒ අනුව සාගර ජලය ද පහසුවෙන් වාෂ්ප වීමට ලක්‌ වන බව පැහැදිලි ය. මේ අනුව ශක්‌තිමක්‌ කුණාටුවක්‌ ඇති වීමට හැකියාව ඇති බව ඇතැම් විද්‍යාඥයන් ගේ මතය වේ. මෙසේ සාගරයේ උෂ්ණත්වය ඉහළ යැම සඳහා මිහිතලය උණුසුම් වීම බලපාන බව පැහැදිලි කරුණකි.

2014 වර්ෂයේ දී පළ වූ ජාතික දේශගුණ ඇගයීම (National Climate Assessment) නම් ෆෙඩරල් ආණ්‌ඩුවේ ප්‍රකාශන පෙළේ නවතම ප්‍රකාශනයේ දැක්‌වෙන ආකාරයට ඇමෙරිකා එක්‌සත් ජනපදය හරහා හමා යන ආන්තික කුණාටුවල ඉහළ යැම හා මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යැම සිදු ව ඇත්තේ සමාන ව ය. මේ ආකාරයෙන් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම දිගට ම සිදු වුව හොත් ආන්තික වර්ෂාපතන තත්ත්වය ඇති වීමේ අවස්‌ථා ගණන ඉහළ යා හැකි බව දක්‌වා ඇත. එසේ ම සමස්‌ත වර්ෂාපතනය අඩු වනු ඇතැයි අපේක්‌ෂිත ප්‍රදේශවල පවා ආන්තික වර්ෂාපතන තත්ත්ව ඇති විය හැකි බව පෙන්වා දී තිබේ. ඇතැම් ප්‍රදේශවල ආන්තික තත්ත්ව ඉහළ ගොස්‌ ඇති බව ද දක්‌වා ඇත. එසේ ම හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා යම් පියවරක්‌ නො ගන්නේ නම්, ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල අද ඇති වන අධික වැසි ප්‍රමාණය මෙන් පස්‌ ගුණයක පමණ අධික වැසි ප්‍රමාණයක්‌ මේ සියවස අවසානය වන විට පමණ ඇති විය හැකි ය. මෙයින් පෙනෙන්නේ මේ වර්ෂයේ පිහිටුවූ වාර්තාව වැඩි කාලයක්‌ නො පැවතිය හැකි බව යෑයි ඇතැම් පුවත්පත් සඳහන් කරයි.

මේ තත්ත්වය නිවර්තන කුණාටුවලට මුහුණ දෙන ලෝකයේ සෙසු රටවලට ද බොහෝ සේ එක සමාන ය. මෙවැනි සිදු වීම් පුරෝකථනය කිරීම අසීරු වන අතර ම, ඉන් බැට කන දියුණු වන රටවල ජනතාව දරිද්‍රතාවෙන් පෙළෙන පිරිසක්‌ වීම තවත් අවාසනාවකි.

මිනිස්‌ ක්‍රියාකාරිත්ව දායකත්වය ප්‍රමාණනය කිරීම


මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වය නිසා ඇති වී තිබෙන දේශගුණ වෙනස්‌ වීම මෙවැනි ආපදා තත්ත්වවලට හේතු වන බව පෙන්වා දෙමින් යම් යම් අවස්‌ථාවල දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. එහෙත් ඒ ගැන මෙතෙක්‌ ගෙන තිබෙන නෛතික ක්‍රියාමාර්ග මේ වන විට වැඩි වශයෙන් අසාර්ථක වී ඇත.

එහෙත් මේ පිළිබඳව Nature Geoscience සගරාවට මෑතක දී අදහස්‌ පළ කර ඇති විද්‍යාඥයන් පිරිසකට අනුව හරිතාගාර වායු විමෝචන නිමා කිරීමට කටයුතු නො කරන රටවලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය. ඔවුන් මෙහි දී සඳහන් කරන්නේ දැනුම පිළිබඳ නව අංශයක්‌ සේ සැලකෙන ආරෝපණ විද්‍යාව (Attribution science) නම් විෂයයේ වර්ධනය සමග මෙවැනි අවස්‌ථාවක්‌ ලැබී ඇති බවයි. එමගින් ආන්තික කාලගුණ තත්ත්ව සඳහා මානවමූලික දේශගුණ වෙනස්‌ වීමේ ඇති දායකත්වය තීරණය කිරීමට ඇති හැකියාව ඉහළ ගොස්‌ ඇත. මේ අනුව ඒ පිළිබඳව වැඩි විශ්වසනීයත්වයකින් යුතු ව තීරණ ගැනීමට අධිකරණයකට හැකියාවක්‌ ඇති බව ඔවුන් ගේ අදහස වේ. (DOI: 10.1038/ngeo3019)

ඒ අනුව අනාගතයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ලෝකයේ සෙසු රටවල් සාමූහිකව කටයුතු කරන අතර ඇතැම් රාජ්‍ය හා විවිධ ආයතන තම විමෝචන අඩු නො කළ හොත් ඒ බව අධිකරණය හමුවේ සාර්ථක ලෙස අභියෝගයට ලක්‌ කිරීමට වැඩි අවස්‌ථාවක්‌ ද ඇති බව මේ පිළිබඳ විචාරකයන් ගේ අදහස වේ.

http://www.vidusara.com/2017/09/06/feature4.html

Thursday, September 7, 2017

පුරාඋද්භිදවිද්‍යාත්මක සාධකවලින් හෙළි වන අග්නිදිග ආසියානුවන් මැඩගස්‌කරයට ගිය කාලය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 30.08.2017, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2017/08/30/feature5.html




මැඩගස්‌කරය යනු අප්‍රිකා මහාද්වීපයට නුදුරුව, ඊට කිලෝමීටර 500ක්‌ පමණ නැෙගනහිර දිශාවෙන් ඉන්දියානු සාගරයේ නිරිතදිග කෙළවරට වන්නට පිහිටා ඇති දූපතකි. මැඩගස්‌කර වැසියන් භාවිත කරන මලගාසි භාෂාව අයත් වන්නේ ඔස්‌ට්‍රොනීසියානු (Austronesian) භාෂා පවුලට ය. මේ භාෂා පවුලට අයත් භාෂා කතා කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් අග්නිදිග ආසියානු ප්‍රදේශවල හා පැසිෆික්‌ ප්‍රදේශයේ දුපත් රාජ්‍යවල ය. ඊට නිදසුන් ලෙස හවායි දූපත් වාසීන් ගේ භාෂාව, මාඕරිවරුන් ගේ භාෂාව, සැමෝවා භාෂාව හා මැලේ භාෂාව දැක්‌විය හැකි ය. ඒ අනුව ඔස්‌ට්‍රොනීසියානු භාෂා කතා කරන ආසන්න ම ප්‍රදේශ පිහිටා ඇත්තේ මැඩගස්‌කරයට වඩා අවම වශයෙන් කිලෝමීටර 6,000ක්‌ පමණ ඈතින් වීම කිසියම් ආකාරයකට කදිම සිදුවීමකි.

මෙසේ අග්නිදිග-ආසියාවෙන් පැමිණි ජනතාව මෙන්ම අප්‍රිකානුවන් ද නූතන මලගාසි ජනතාව ගේ ප්‍ර්‍රවේණික පසුබිම සඳහා දායක වී ඇති බව මේ අනුව පැහැදිලි ය. එහෙත් මැඩගස්‌කර වැසියන් හා ඊට ආසන්න ව පිහිටා ඇති අප්‍රිකානු ජනතාව අතර යම්කිසි වෙනසක්‌ ඇති බව වෙනත් සාධකවලින් ද හෙළි වී තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ප්‍රවේණික හා සංස්‌කෘතික සාධක අනුව පෙනී ගොස්‌ ඇත්තේ මැඩගස්‌කරය අතීතයේ කිසියම් අවස්‌ථාවක ඔස්‌ට්‍රොනීසියානු භාෂා කතා කරන ජන පිරිසක්‌ මගින් ද ජනාවාසකරණය වී ඇති බවයි. වාග්විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී ඇති කරුණු අනුව එම ජනාවාස වීම සිදු වන්නට ඇත්තේ පළමු සහස්‍රකය ඇතුළත බව යෝජනා කර තිබේ. ඒ අනුව එම කාලයේ දී අග්නිදිග ආසියානු ප්‍රදේශවලින් මැඩගස්‌කරයට ජන සංක්‍රමණයක්‌ සිදු වී තිබේ ය යන අදහස පර්යේෂකයන් අතර කලක පටන් පැවතියේ ය. මෙය ලෝකයේ මානව භූගෝල විද්‍යාව සම්බන්ධයෙන් ඇති විස්‌මයජනක සිදුවීමක්‌ ලෙස අතැම් අවස්‌ථාවල දී දක්‌වා ඇත.

අග්නිදිග ආසියාවෙන් සංක්‍රමණය වූ පිරිසක්‌ මැඩගස්‌කර දූපත ජනාවාස වීමක්‌ සිදු වූ බව මෙවැනි සාධක මත දැන සිටිය ද, එය සිදු ව ඇත්තේ කවදා ද යන්න ගැන තොරතුරු මෑතක්‌ වන තුරු නිශ්චිතව අනාවරණය වී තිබුණේ නැත. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක හමු වී නැති වීම ඒ සඳහා හේතු විය. මැඩගස්‌කරයේ සිදු කර ඇති පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණවල දී දූපත ජනාවාස වීම පිළිබඳ සාධක විශාල ප්‍රමාණයක්‌ හමු වී ඇත. එම සාධක මගින් වඩා සමීප ව පිහිටා ඇති අප්‍රිකා මහාද්වීපයේ සිට පැමිණි දඩයම්කරුවන්-ඵලවැල රැස්‌ කරන කණ්‌ඩායම් වැනි පිරිස්‌ පොදු වර්ෂ පූර්ව පළමු හෝ දෙවැනි සහස්‍රකයේ පමණ සිට එම දූපතේ වාසය කර ඇති බව හෙළි වී ඇත. එහෙත් අග්නිදිග ආසියානුවන් හෙවත් ඔස්‌ට්‍රොනීසියානුවන් විසින් ඇති කරන ලද ජනාවාස පිළිබඳ සාධක හමු වී නොමැත.

කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ දී ප්‍රකාශයට පත් කළ පර්යේෂණයකින් මේ ගැටලුව සාර්ථක ආකාරයෙන් විසඳා තිබේ. ඒ අනුව මැඩගස්‌කරය ජනාවාස කළ අග්නිදිග ආසියාවෙන් පැමිණි ඔස්‌ට්‍රොනීසියන් භාෂාවක්‌ කතා කරන ජන කොටස්‌ එම ප්‍රදේශය ජනාවාස කරගෙන ඇති කාලය පිළිබඳව ද නිශ්චිත සාධක අනාවරණය කරගැනීමට පර්යේෂකයන් පිරිසක්‌ සමත් ව තිබේ. ඒ පුරාඋද්භිදවිද්‍යාත්මක (paleobotanical) සාධක ආශ්‍රයෙනි.

පුරාඋද්භිදවිද්‍යාත්මක සාධක


මැඩගස්‌කරයේ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක අධ්‍යයනවල දී මෙතෙක්‌ අඩු අවධානයකට ලක්‌ ව ඇති අංශයක්‌ ලෙස ශාක පිළිබඳ සාධක දැක්‌විය හැකි ය. මැඩගස්‌කරයේ වර්තමානයේ දැකිය හැකි ශාක අතරින් 10%ක්‌ පමණ ප්‍රමාණයක්‌ ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් එම දූපතට හඳුන්වා දී ඇති බව උද්භිද විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇති කරුණකි. මෙසේ හඳුන්වා දුන් ශාක අතර සැලකිය යුතු ප්‍රමාණයක්‌ ආසියානු සම්භවයක්‌ ඇති භෝග වර්ග, කුළුබඩු, වගා භූමිවල වැවෙන වල් පැළෑටි ආදිය තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, කෙසෙල් (Musa විශේෂ), අල වර්ග (Dioscorea alata හා Colocasia esculenta වැනි), පොල් (Cocos nucifera) වැනි අග්නිදිග ආසියානු භෝග වර්ග මෙන්ම, නැෙගනහිර හා දකුණු ආසියානු සම්භවයක්‌ ඇති ආසියානු වී (Oryza sativa) ද දැක්‌විය හැකි ය. මුං (Vigna radiata) හා ආසියානු කපු (Gossypium arboreum) ද මැඩගස්‌කරයේ වගා කරනු ලබන භෝග අතර වේ. මේ භෝග වර්ග මැඩගස්‌කරයට හඳුන්වා දුන් කාලය එම රටට ඔස්‌ට්‍රොනීසියානු සංක්‍රමණ ඇති වූ කාලය හා සමපාත වීමට ඉඩ ඇති බව මෙහි දී අනුමාන කර ඇත. ඒ පැසිෆික්‌ ප්‍රදේශවලට මෙවැනි භෝග හඳුන්වා දීම හා සංක්‍රමණ අතර සම්බන්ධයක්‌ ඇති බව මීට පෙර සිදු කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී ඇති නිසා ය.

එබැවින් උක්‌ත අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ කර තිබුණේ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් අනාවරණය වන පුරාඋද්භිදවිද්‍යාත්මක ශේෂ පිළිබඳ කරුණු සම්බන්ධයෙනි. ඒ සඳහා මැඩගස්‌කර් දූපතේ, ඒ ආසන්නයේ ඇති දූපත්වල හා කෙන්යාවේ හා ටැන්සානියාවේ නැෙගනහිර අප්‍රිකානු වෙරළ තීරය ආශ්‍රිත ස්‌ථාන 18ක සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ලැබුණු සාධක විමසීමට ලක්‌ කර ඇත. පුරාවිද්‍යාත්මක ස්‌තරවල ඇති තැන්පතු පරීක්‌ෂා කිරීමෙන් මෙසේ ශාකවල ශේෂ ලබාගෙන ඇති අතර, එමගින් විවිධ ශාක ශේෂ 2,443ක්‌ පමණ ප්‍රමාණයක්‌ හඳුනාගෙන තිබේ.

මෙසේ හඳුනාගත් භෝග ශාක අතරින් වගා කර ඇත්තේ කුමන කාලයක දී ද යන්න විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව සොයාගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව හඳුනාගත් භෝග වර්ග වගා කළ කාලය තීරණය කිරීමට ද පර්යේෂකයන්ට අවස්‌ථාව ලැබී ඇත. එසේ ම මේ භෝග අප්‍රිකානු භෝග විශේෂ ද, නොඑසේ නම් වෙනත් ප්‍රදේශවලින් හඳුන්වා දුන් භෝග ද යන්න ඔවුන් ගේ අවධානයට ලක්‌ වූ තවත් කරුණකි.

එහි දී උක්‌ත පර්යේෂකයන්ට මේ දෙවර්ගයට ම අයත් භෝග අදාළ ජනාවාසවල ව්‍යාප්ත ව තිබූ ආකාරය පිළිබඳ කැපී පෙනෙන රටාවක්‌ හඳුනාගැනීමට ද ඔවුන්ට හැකියාව ලැබී ඇත. අප්‍රිකානු ශාකවල ශේෂ ප්‍රධාන වශයෙන් හමු වී ඇත්තේ අප්‍රිකානු වෙරළ තීරයේ හා අප්‍රිකානු මහාද්වීපයට වඩාත් ආසන්නව පිහිටා ඇති දූපත්වල ය.

එහෙත් මැඩගස්‌කරයේ දී මෙන්ම ඊට වඩා සමීප ව පිහිටා ඇති කොමොරොස්‌ දූපත්වල දී ඔවුන්ට හමු වී ඇත්තේ ආසියානු භෝග වර්ගවල ශේෂ ය. මෙසේ කැණීම්වලින් ලැබී ඇති වැදගත් ම සාධක වී ඇත්තේ ආසියානු වී ප්‍රභේද හා මුං ශාකවල ශේෂ හමු වීමයි. මේ ශාක අග්නිදිග ආසියාවේ මෙන්ම දකුණු ආසියාවේ ද අතීතයේ දී වගා කර තිබේ. එසේ ම මැඩගස්‌කරයෙන් හා කොමොරෝස්‌ දූපත්වලින් ආසියානු කපු ශාකයේ ශේෂ ද ඔවුන්ට හමු වී ඇත. මේ භෝග වර්ග මැඩගස්‌කරයට හා යාබද ව පිහිටා ඇති කොමෝරෝස්‌ දූපත්වලට හඳුන්වා දී ඇත්තේ 8 9 සියවස්‌වල පමණ බව කාල නිර්ණයෙන් තහවුරු වී තිබේ.

මේ තොරතුරු අනුව අදාළ කාලයේ දී එහි විසූ ජනතාව ගේ යෑපුම් භෝග ලෙස භාවිත වී ඇත්තේ ආසියානු භෝග වර්ග බව පර්යේෂකයන් ගේ අදහස වේ. එසේ නම් අග්නිදිග ආසියාවේ සිට මේ ප්‍රදේශවලට ඔස්‌ට්‍රොනීසියානු භාෂා කතා කරන ජනතාව සංක්‍රමණය වී ජනාවාස පිහිටුවාගෙන ඇත්තේ පළමු සහස්‍රකයේ අවසන් සියවස්‌වල දී බව මේ පර්යේෂකයන් ගේ නිගමනය වේ. ඒ සඳහා ලැබී ඇති පළමු පුරාවිද්‍යාත්මක සාධකය ලෙස මේ සාධක දක්‌වා ඇත.

අග්නිදිග ආසියානුවන් ගේ ජනපද


මේ අනුව අග්නිදිග ආසියාවේ සිට මැඩගස්‌කරයට පැමිණි පිරිස්‌ ඔවුන් සමග මේ භෝග වර්ග රැගෙන පැමිණ, ඔවුන් ගේ නව වාසස්‌ථානයේ ඒවා වගා කර ඒවා මත යෑපුණු බව විද්‍යාඥයන් ගේ අදහස වේ. මෙසේ භෝග ශාක පිළිබඳ සාධක මත පදනම් ව දූපතේ අතීතය විමසා බැලීමට හැකියාව ලැබීම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් කරුණකි. එසේ ම අප්‍රිකානු ජනපද, අග්නිදිග ආසියානු ජනපදවලින් වෙන් කරගැනීමට මෙමගින් හැකියාවක්‌ ලැබීම මැඩගස්‌කරය පිළිබඳව සිදු කරන අධ්‍යයනවලට වැදගත් වේ. අනෙක්‌ අතට අතීතයේ සිදු වූ සංක්‍රමණ ගැන මෙතෙක්‌ නිසි අවබෝධයක්‌ නො තිබූ කරුණු මෙමගින් අනාවරණය වී ඇත.

මැඩගස්‌කරය මෙන්ම ඊට බටහිරින් පිහිටා ඇති කොමොරෝස්‌ දූපත් ජනාවාසකරණය සඳහා අග්නිදිග ආසියානු ජනතාව දායක වී තිබීම ද මේ අධ්‍යයනයේ දී අනාරවණය වූ වැදගත් සිදුවීමකි. එම දූපත්වල සිදු කරන ලද කැණීම්වලින් ලැබී ඇති ප්‍රමුඛ භෝග වර්ග ද ආසියානු සම්භවයක්‌ ඇති භෝග වීම මීට හේතුවයි. කෙසේ වෙතත්, එම දූපත්වල වෙසෙන ජනතාව භාවිත කරන භාෂා අප්‍රිකානු භාෂා වන අතර, ඔවුන් අතර මැඩගස්‌කරවාසීන් මෙන් අග්නිදිග ආසියානු ජනතාවට ප්‍රවේණික සම්බන්ධයක්‌ හෝ ඥාතිත්වයක්‌ හෝ දක්‌වන ලක්‌ෂණ නොමැති වීම මේ පර්යේෂකයන් ගේ විස්‌මයට හේතු විය. එහෙත් කොමොරෝස්‌ දූපත් වාසීන් ගේ භාෂාව පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවල දී මීට පෙර වාග්විද්‍යාඥයන් දක්‌වා ඇති අදහසකින් ඒ පිළිබඳ සැකය දුරු වී ඇත. ඒ කොමොරෝස්‌ දූපත්වාසීන් ද අග්නිදිග ආසියානු ජනතාව විසින් පිහිටුවන ලද ජනපදයකින් පැවත එන්නන් විය හැකි බවට අදහස්‌ පළ වී තිබීම නිසා ය. එහෙත් පසු කාලයක ඇති වූ අප්‍රිකානු ජන සංක්‍රමණ හා වහල් වෙළෙඳාම නිසා ඇති වූ වෙනස්‌වීම් හේතුවෙන් කොමොරෝස්‌ දූපත්වාසී ජනතාව ප්‍රවේණික හා වාග්විද්‍යාත්මක අතින් අප්‍රිකානුවන්ට වඩාත් සමීප වන්නට ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ.

එසේ ම මේ කැණීම්වලින් ලැබී ඇති තොරතුරු අනුව නැෙගනහිර අප්‍රිකානු වෙරළ තීරයට ආසන්න ප්‍රදේශවල මෙන්ම අප්‍රිකා මහාද්වීපයට ආසන්න ව පිහිටා ඇති සැන්සිබාරය හා මෆියා වැනි දූපත්වල දැකිය හැකි භෝග ශේෂ අතර සුලබ වූයේ අප්‍රිකානු සම්භවයක්‌ සහිත ශාක ය. මේවා අතර ඉදල් ඉරිගු, මිලට්‌ වර්ග හා බැඕබැබ් වැනි ශාක විය. එම දූපත් අප්‍රිකාවට වඩා සමීප ව පිහිටීම පිළිබඳව සැලකූ විට එය සිදු විය හැකි කරුණකි.

(මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1522714113)


http://www.vidusara.com/2017/08/30/feature5.html