Friday, December 16, 2016

දේශගුණ පර්යේෂණවලින් මෑතක දී හෙළි වූ කරුණු සමහරක්‌

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 07.12.2016 

(Vidusara, 07.12.2016, Few recent climate research findings)
http://www.vidusara.com/2016/12/07/feature2.html




2016 වර්ෂය දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ලෝකයේ අවධානයට ලක්‌ ව තිබූ වර්ෂයකි. ඒ සඳහා බලපෑ එක්‌ හේතුවක්‌ වූයේ 2015 වර්ෂයේ අගභාගයේ දී එකග වූ පැරිස්‌ දේශගුණ සම්මුතියයි. බරපතළ පාරිසරික ගැටලුවක්‌ බවට අවිවාදිත දේශගුණ වෙනස්‌ වීම වළක්‌වාලීමට ජගත් මට්‌ටමෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක්‌ ඇති එක ම විසඳුම ලෙස ඉදිරිපත් ව ඇති එය ලෝකයේ රාජ්‍ය නායකයන් විසින් අත්සන් කරන ලද්දේ 2016 වර්ෂයේ අප්‍රේල් මාසයේ මැදභාගයේ දී ය. එය සඳහා ලැබී ඇති ප්‍රතිචරය කෙතරම් යහපත් වූයේ ද යත්, පසුගිය ඔක්‌තෝබර් මාසය වන විට එය බලාත්මක තත්ත්වයට පත් වීමට අවශ්‍ය වූ අපරානුමත කිරීම් ප්‍රමාණය ලැබී තිබූ අතර, නොවැම්බර් මස 4 වැනි දා එය බලාත්මක බවට පත් විය. මෙය ක්‍රියාත්මක වනු ඇත්තේ 2020 සිට ය.

එසේ ම මේ වර්ෂය ඇතුළත ලෝකයේ වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ සාමාන්‍යය මිලියනයකට කොටස්‌ 400ක සීමාව ඉක්‌මවා ගියේ ය. ඉන් පෙර එවැන්නක්‌ සිදු වුව ද, වසරේ සාමාන්‍යය එම අගය ඉක්‌මවා යනු ඇත්තේ මේ වර්ෂයේ දී ය. එවැනි මට්‌ටමකට කාබන් සාන්ද්‍රණය ඉහළ ගියේ වසර මිලියන ගණනාවකට පසුව බව විද්‍යාඥයන් ගේ අදහසයි. එසේ ම මේ වර්ෂයේ සාමාන්‍ය උෂ්ණත්වය ලෝකයේ උෂ්ණත්වය පිළිබඳ වාර්තා තබාගැනීම ආරම්භ කළ අවස්‌ථාවේ සිට මේ දක්‌වා වාර්තා වූ ඉහළ ම සාමාන්‍ය උෂ්ණත්වය වනු ඇති බව ද මේ වන විට පෙනෙන්නට තිබේ.

2016 වර්ෂයේ දේශගුණ සමුළුව ආරම්භ වූයේ පසුගිය මාසයේ මුල දී ය. එහි දී ඇති වූ සීමිත වර්ධනය සම්බන්ධව අපි පසුගිය දා සාකච්ඡා කළෙමු. එහෙත් ඒ සමුළුව ආසන්නයේ දී හා ඉන්පසුව වාර්තා වන පර්යේෂණ හා ප්‍රකාශයට පත් වන විවිධ වාර්තා අනුව දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ විවිධ කරුණු ගැන අවධානය යොමු කළ හැකි ය. මේ සතියේ අපේ අවධානය යොමු කරන්නට සිතුයේ ඒ ආකාරයෙන් අනාවරණය වූ කරුණු කිහිපයක්‌ සම්බන්ධයෙනි.

පොළොව උණුසුම් වී කාබන් නිකුත් වීම


ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැමත් සමග භූමියේ උෂ්ණත්වය ඉහළ ගොස්‌ කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන විශාල වශයෙන් නිකුත් වී එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලෝකයේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බව පසුගිය දා වාර්තා වූ අධ්‍යයන වාර්තාවක සඳහන් වේ. ඒ අනුව, ඉහළ උණුසුමක්‌ සහිත ලෝකයක දී වඩාත් අධික කාබන් ප්‍රමාණයක්‌ නිකුත් වීම නිසා වඩා බරපතළ දේශගුණ වෙනස්‌ වීමක්‌ ඇති විය හැකි ය. එහි දී දක්‌වා ඇති ආකාරයට සෙල්සියස්‌ අංශක එකකින් උෂ්ණත්වය ඉහළ ගිය හොත්, 2050 වර්ෂය වන විට කාබන් ටොන් බිලියන 55ක ප්‍රමාණයක්‌ වායුගෝලයට නිකුත් විය හැකි ය. මේ ආකාරයෙන් නිදහස්‌ විය හැක්‌කේ පසේ තැන්පත් ව ඇති කාබන් ය. ලෝකයේ වැඩි ම භෞමික කාබන් ප්‍රමාණයක්‌ සංචිත කර ඇත්තේ පසේ ය. ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැමත් සමග පසේ ජීවත් වන ජීවීන් වඩාත් ක්‍රියාකාරී වීම නිසා වායුගෝලයට කාබන් වැඩි ප්‍රමාණයක්‌ නිකුත් කිරීමේ හැකියාවක්‌ තිබේ. මේ නිසා ලෝකය උණුසුම් වීම තවත් ඉහළ යයි. මේ තත්ත්වය ආපසු හැරවිය නොහැකි තත්ත්වයක්‌ උදා කළ හැකි අතර, මෙතෙක්‌ අවධානය යොමු නො කළ තත්ත්වයකි. උතුරු ඇමෙරිකාව, යුරෝපය හා ආසියාව යන මහාද්වීප තුනේ ස්‌ථාන පනහකට ආසන්න ගණනක සිදු කරන ලද ක්‌ෂේත්‍ර පරීක්‌ෂණවලින් අනතුරුව මේ අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ. (මූලාශ්‍රය: Nature, DOI:10.1038/nature20150)

පාරිසරික ක්‍රියාවලි සඳහා බලපෑම්


ලෝකයේ විවිධ පාරිසරික ක්‍රියාවලීන් 94කින් 77කට හෙවත් 82%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සඳහා උෂ්ණත්ව ඉහළ යැමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඇති වී තිබෙන දේශගුණ වෙනස්‌ වීම බලපා ඇති බව මෑත දී පළ කරන ලද තවත් අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දී ඇත. ඒ අනුව මේ ක්‍රියාවලිවලට කිසියම් ආකාරයක බලපෑමක්‌ ඇති කිරීමට දේශගුණ වෙනස්‌ වීමට හැකියාව ලැබී තිබේ. මේ ක්‍රියාවලීන් ඇති වී ඇති බලපා ඇති පරිසර පද්ධති අනුව සැලකුව හොත්, භෞමික ක්‍රියාවලීන් 32ක්‌ අතරින් 29කට, සාගරික ක්‍රියාවලීන් 21ක්‌ අතරින් 25කට හා මිරිදිය ක්‍රියාවලීන් 31ක්‌ අතරින් 23කට මේ බලපෑම් ඇති වී තිබේ. මේ ක්‍රියාවලීන් අතරින් කිහිපයක්‌ මෙසේ දැක්‌විය හැකි ය. මිනිසුන්ට බලපෑමක්‌ ඇති වන ක්‍රියාවලීන් අතර පළිබෝධයන් වර්ධනය, රෝග ව්‍යාප්ත වීම, මත්ස්‍ය නිෂ්පාදනය අඩු වීම හා කෘෂිකාර්මික අස්‌වැන්න අඩු වීම වැනි කරුණු වේ. සෙසු ජීවීන් ගේ වඩාත් කැපී පෙනෙන වෙනස්‌කම් ඇති වෙමින් පවතී. කෙටි පරම්පරාවක්‌ සහිත ජීවීන් ගේ උෂ්ණත්වය සඳහා වූ ජානමය වෙනස්‌ වීම් ඇති වූ අවස්‌ථා වාර්තා වී තිබේ. දේහ ප්‍රමාණයේ හා හැඩයේ වෙනස්‌ වීම් වැනි කායිකමය වෙනස්‌වීම් ද වාර්තා වී ඇත. කාබනේටමය බාහිර සැකිලි ඇති ජීවීන් ගේ සැකිලි දිය වීම හා තාපය නිසා ඇති වන මරණ වැනි කායික විද්‍යාත්මක වෙනස්‌වීම් සුලබව ඇති වෙමින් පවතී. ශාකවල මල් පිපීමේ හා දලු දැමීමේ කාලය කලින් එළැඹීම මෙන්ම පක්‌ෂි පර්යටනයේ කාල වකවානුවල කැපී පෙනෙන වෙනස්‌ වීම් දැකිය හැකි වීම Rතු විද්‍යාත්මක වෙනස්‌කම් සඳහා නිදසුන් වේ. ඇතැම් ජීවී විශේෂ වඩා ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශ වෙත ව්‍යාප්ත වන අතර තවත් ජීවී විශේෂ ඉහළ අක්‌ෂාංශ සහිත ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් තිබේ. එහෙත් මීට වඩා සංකීර්ණ අවස්‌ථා ද වාර්තා වී ඇති බව සැලකිය යුතු ය. තවත් විශේෂවල ව්‍යාප්තිය වෙනස්‌ වෙමින් ඇති අතර තවත් විශේෂවල වාසස්‌ථාන අහිමි වෙමින් තිබේ. ඉහත දැක්‌වූ සියලු ක්‍රියාවලිවල වෙනස්‌ වීම් සියල්ල ම පාහේ ඇති වී තිබෙන්නේ සෙල්සියස්‌ අංශක එකක පමණ උෂ්ණත්ව ඉහළ යැමක්‌ පවත්නා අතරතුර දී ය. මේ අනුව දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වෙමින් තිබෙන වෙනස්‌ වීම් මේ වන විට ද සිදු වෙමින් තිබෙන බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ. එය හුදෙක්‌ අනාගතයේ ඇති වන බලපෑමක්‌ සේ සලකා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට යැම තත්ත්වය නිසි ලෙස තේරුම් නො ගැනීමකි. (මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.aaf7671)

කොරල්පර මුහුණ දෙන අනතුර


ලෝකයේ වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම ඉහළ යැමත් සමග ඇති වන සාගරයේ උෂ්ණත්වය හා ආම්ලිකතාව ඉහළ යැමේ බලපෑමට ලක්‌ නො වන කොරල්පර ප්‍රමාණය අතලොස්‌සක්‌ පමණ විය හැකි බව මෑතක දී පළ වූ තවත් පර්යේෂණයකින් අනාවරණය වූ කරුණකි. මේ තත්ත්වය වඩාත් බරපතළ වන්නේ මිනිසුන් කොරල්පර මත යෑපීම ඉහළ තත්ත්වයක පවත්නා ප්‍රදේශවල වීම තවත් වැදගත් ය. මේ අනුව මසුන් ගේ වාසස්‌ථාන අහිමි වීම, වෙරළ තීරයේ ආරක්‌ෂාව අහිමි වීම, සංචාරක කර්මාන්තයේ මෙන්ම ආහාර නිෂ්පාදනය අඩපණ වීම නිසා ආර්ථිකමය හානියක්‌ ද ඇති විය හැකි බැවින් 2050 වර්ෂය වන විට ඇති වන මේ තත්ත්වය බරපතළ විය හැකි ය. එහි බලපෑම වඩාත් දැනෙනු ඇත්තේ නොගැඹුරු, උණුසුම් ජලයේ පිහිටි කොරල්පර සහිත බටහිර මෙක්‌සිකෝව, මයික්‍රොනීසියාව, ඉන්දුනීසියාව, බටහිර ඔස්‌ටේ්‍රලියාව, අග්නිදිය ආසියාව වැනි ප්‍රදේශවල පිහිටා ඇති කොරල්පරවලට ය. මේ අතරින් සාගරය ආම්ලිකකරණය නිසා ඇති වන බලපෑම වඩාත් බරපතළ ය. කණගාටුවට කරුණක්‌ වන්නේ මේවා ප්‍රාදේශීය මට්‌ටමේ කළමනාකරණ පියවරවලින් වළක්‌වාගැනීමට අසීරු මට්‌ටමේ ඒවා වීම ය. මේ නිසා එම කොරල්පරවලින් ලැබෙන විවිධ පරිසර පද්ධති සේවා අහිමි වීමේ අවස්‌ථාවක්‌ තිබේ. (මූලාශ්‍රය: PLOS ONE, DOI: 10.1371/journal.pone.0164699) මේ අතර ඔස්‌ටේ්‍රලියාවේ මහා බාධක පරයේ වඩාත් දරුණු ම පර මිය යැම වාර්තා වූයේ පසුගිය නොවැම්බර් මාසයේ අවසන් භාගයේ දී ය.

ස්‌ටර්න් සමාලෝචනයෙන් වසර දහයකට පසු


දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව විසඳුම් අරමුණු කරගනිමින් ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ශ්‍රීමත් නිකොලස්‌ ස්‌ටර්න් විසින් 2006 වර්ෂයේ දී සම්පාදනය කරන ලද ස්‌ටර්න් සමාලෝචනය පළ වී වසර දහයක්‌ සම්පූර්ණ වූයේ පසුගිය මාසයට ය. Stern Review: The Economics of Climate Change නම් එම වාර්තාවෙන් පෙන්වා දුන් වැදගත් ම කරුණ වූයේ දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් මගින් අනාගතයේ දී ලෝක ආර්ථිකයට වාර්ෂිකව 5%-20% අතර හානියක්‌ ඇති විය හැකි බව ය. එසේ ඇති විය හැකි ආර්ථික හානිය පරාසයකින් දක්‌වන ලද්දේ ඇති වන දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රමාණය අනුව එය වෙනස්‌ විය හැකි නිසා ය. එසේ ම එවැනි ආර්ථික හානියක්‌ වළක්‌වාලීම සඳහා කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය සීමා කිරීම අවශ්‍ය වූ අතර, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැප කළ යුතු වූයේ ලෝකයේ සමස්‌ත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1ක්‌ තරම් ප්‍රමාණයක්‌ බව ද එම වාර්තාව මගින් පෙන්වා දෙන ලදි. කිසිවක්‌ නො කර සිටීමෙන් ලෝක ආර්ථිකයට සිදු විය හැකි ඊට වඩා විශාල ප්‍රමාණයේ හානියක්‌ ඇති වීම වළක්‌වාගත හැකි බව ඉන් අවධාරණය කෙරිණි. මේ වාර්තාව විද්‍යාඥයන් අතර පිළිගැනීමට ලක්‌ වූ අතර, දේශගුණ සටනේ අද දක්‌වා පැමිණි ගමන් මගට ඉන් යම් බලපෑමක්‌ වූ බව සැබෑවකි. එහෙත් ප්‍රතිපත්ති සම්පාදක මට්‌ටමින් ඒ සම්බන්ධව ප්‍රමාණවත් පියවරක්‌ ගෙන නොමැත.

මේ පිළිබඳව මෑතක දී පැවැති දේශන කිහිපයක දී අදහස්‌ දක්‌වූ නිකලස්‌ ස්‌ටර්න් පවසා ඇත්තේ ලෝකයේ අනාගත ආර්ථික වර්ධනය සඳහා එක ම මාර්ගය වන්නේ පිරිසිදු හා හරිත ආර්ථික වර්ධනය බවයි. ඔහු පවසා ඇත්තේ මිහිතලයේ උණුසුම් වීම නැවැත්වීම සඳහා පියවර නො ගැනීමේ වියදම ඉහළ ගොස්‌ ඇති බවත් එසේ කිරීමේ වියදම පහළ ගොස්‌ ඇති බවත් ය. නිදසුනක්‌ ලෙස ගත හොත් සූර්යබලය වැනි පිරිසිදු බලශක්‌තියේ වියදම පහළ ගොස්‌ ඇත. එසේ ම මේ වන විට චීනය දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ලෝකයට නායකත්වය දෙමින් සිටින බවට ද ඔහු අදහසක්‌ ඉදිරිපත් කර තිබිණි. ඔහු පවසන ආකාරයට අනාගතය රඳා පවතින්නේ අඩු කාබන් ආර්ථිකයක්‌ මත පමණකි.

http://www.vidusara.com/2016/12/07/feature2.html

ඉරිගු ගෘහාශ්‍රිතකරණයේ සංකීර්ණ බව පිළිබඳ පැහැදිලි කිරීමක්‌

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.11.2016

(Vidusara, 30.11.2016, An explanation of the complexity of the domestication of maize)
(පුවත්පතේ කවරයේ හා ලිපියේ සිරස්තලය වෙනස්ය. බිලොග් ලිපියේ නිවැරදිව යොදා ඇත)
http://www.vidusara.com/2016/11/30/feature2.html




ඉරිගු යනු වර්තමානයේ දී ලෝකය පුරා වගා කරනු ලබන භෝගයකි. එය මූලික වශයෙන් මිනිස්‌ ආහාරයක්‌, සත්ත්ව ආහාරයක්‌ ලෙස මෙන් ම ජෛව ඉන්ධනයක්‌ ලෙස ද භාවිත වේ. ඉරිගු අපේ රටේ ද වගා කරනු ලබන භෝගයක්‌ මෙන් ම ජනප්‍රිය ආහාරයකි.

මෙක්‌සිකෝව නිජබිම කරගත් ඉරිගු ඇමෙරිකාවෙන් පිටත ලෝකයේ සෙසු ප්‍රදේශවලට හඳුන්වා දෙනු ලබන්නේ 15 වැනි සියවසේ දී යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණි පසු ව ය. ආහාර භෝගයක්‌ ලෙස වැදගත් වූ බැවින් හා විවිධ දේශගුණ තත්ත්වයන්ට ගැලපීමේ හැකියාව හා විවිධත්වය නිසා ඉරිගු භෝගය ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත විය.

ඉහත සඳහන් කළ ආකාරයට ඉරිගු ශාකයේ නිජබිම ලෙස සැලකෙන්නේ වර්තමාන මෙක්‌සිකෝවයි. වර්තමානයේ දී අප දකින ඉරිගු ශාකය (Zea mays ssp. mays) ගෘහාශ්‍රිතකරණය කිරීම සඳහා මුල් වූ ශාකය සේ විද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ Zea mays උප විශේෂ දෙකකි. ඉරිගුවල පූර්වජයා (progenitor) ලෙස සැලකෙන මේ පළමු උපවිශේෂය වන්නේ Zea mays ssp. parviglumis නම් උප විශේෂයයි. එය ස්‌වාභාවිකව වැවෙන්නේ මෙක්‌සිකෝවේ බටහිර හා දකුණුදිග පහතරට ප්‍රදේශවල ය. එසේ ම ඉරිගු ශාකයට උස්‌ බිම්වලට අනුවර්තනය වීම සඳහා අවශ්‍ය ලක්‌ෂණ ලැබුණේ Zea mays ssp. mexicana නම් තවත් උප විශේෂයකින් බව පර්යේෂකයන් ගේ අදහසයි. එය දැකිය හැක්‌කේ මෙක්‌සිකෝවේ මධ්‍යම සානුවේ පිහිටා ඇති සිසිල් වියළි උස්‌බිම්වල ය. මේ උප විශේෂ දෙක ම එරට දේශීය ශාක වන අතර, ඒවා පොදුවේ හැඳින්වෙන්නේ තෙයොසින්ටේ තෘණ (teosinte) ලෙස ය. මේ පොදු නමින් හඳුන්වනු ලබන තවත් Zea mays උපවිශේෂයක්‌ ගෝතමාලාවේ ද තිබේ.

මුලින් ම ඉරිගු ගෘහාශ්‍රිතකරණය සිදු වන්නේ ඉහත දැක්‌වූ තෙයොසින්ටේ තෘණ වර්ගය එකතු කිරීම හා ඒවා ආහාරයට ගැනීම ආරම්භ වූ පසු ව ය. මේ අනුව ඉරිගු ගෘහාශ්‍රිතකරණය ආරම්භ වූයේ අදින් වසර 10,000ත් 6,250ත් අතර කාලයකට පෙර බව බොහෝ විද්‍යාඥයන් ගේ පිළිගැනීමයි. මේ තෘණ වර්ගය මිනිසුන් විසින් දිගින් දිගට ම තෝරා වගා කරනු ලැබීමත් සමග ක්‍රමයෙන් අද අප දන්නා ඉරිගු බවට පත් ව ඇති බව සැලකේ. මේ දෙක අතර වෙනස්‌කම් කෙතරම් වී ද යත් මේ තෘණ විශේෂයෙන් ඉරිගු ඇති වූ බව ඇතැම් විට සමහර විද්‍යාඥයන් විශ්වාස නො කළ බව සඳහන් වේ. මේ නිසා ඉරිගු ශාකයේ ගෘහාශ්‍රිතකරණ ක්‍රියාවලිය සංකීර්ණ එකක්‌ වන බව පැහැදිලි ය. මෑතක දී මේ පිළිබඳව සිදු කළ අධ්‍යයනයකින් ඉරිගු ගෘහාශ්‍රිතකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ වැදගත් තෙරතුරු අනාවරණය වී ඇත.

පැරැණි නිදර්ශකයක්‌ යොදාගත් අධ්‍යයනයක්‌




මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ මෙක්‌සිකෝවේ තෙහුආකාන් (Tehuacan) නිම්නයේ පිහිටා ඇති ගල් ලෙනක සිදු කරන ලද කැණීමකින් ලැබුණු ඉරිගු කරලකි. 1962 පමණ ඈත කාලයේ දී සිදු කරන ලද කැණීමකින් ලැබී තිබූ මේ ඉරිගු කරල ඇමෙරිකාවේ මැසචුසෙට්‌ස්‌ ප්‍රාන්තයේ පිහිටා ඇති රොබට්‌ එස්‌. පීබොඩි කෞතුකාගාරයේ වල් ඉරිගු සඳහා නිදර්ශනයක්‌ ලෙස ප්‍රදර්ශනය කරන ලදි. ඊට ලබා දී ඇති අංකය Tehuacan 162 විය. උපරිම දිග මිලිමීටර් 16.3ක්‌ වූ මේ ඉරිගු කරලේ පළලේ සාමාන්‍යය මිලිමීටර් 3.1ක්‌ පමණ වූ අතර, ඒ අනුව එය වර්තමානයේ දැකිය හැකි ඉරිගු කරලකට වඩා කුඩා ය. මේ ඉරිගු කරල පිළිබඳව සිදු කරන ලද විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව එය අදින් වසර 5,310ක්‌ පමණ පැරැණි බව හෙළි විය. ඒ අනුව ඒ අනු ව එය ලෝකයේ මෙතෙක්‌ හමු වී ඇති ඇති පැරැණි ම ඉරිගු කරල් අතර වේ. මේ නිසා උක්‌ත නිදර්ශකය ඉරිගු ගෘහාශ්‍රිතකරණයේ මුල් අවධියට අයත් නිදර්ශකයක්‌ සේ සැලකිය හැකි බව පසක්‌ වූ බැවින් ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමට අදාළ විද්‍යාඥයන් කණ්‌ඩායම විසින් තීරණය කරන ලදි. එම පර්යේෂණයේ දී අදාළ ඉරිගු කරලේ තිබී පරීක්‌ෂාවට ලක්‌ කළ හැකි ආකාරයේ DNA හමු වීම වැදගත් ඉදිරි පියවරක්‌ විය. එතරම් පැරැණි ශාක ශේෂයක ප්‍රවේණි ද්‍රව්‍ය ශේෂ ව තිබීම ද වැදගත් වේ. මේ නව අධ්‍යයනය සිදු කිරීමට අවස්‌ථාව ලැබුණේ මේ DNA හමු වීම නිසා ය. අධ්‍යයනය සඳහා DNA ලබාගැනීමේ දී ප්‍රවේණික ද්‍රව්‍ය හානි වීම වළක්‌වාගැනීමට උපරිම පියවර ගෙන ඇති අතර, මෙමගින් අදාළ ඉරිගු නිදර්ශකයේ ගෙනෝමය අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබේ. මෙසේ අනාවරණය කරගත් පැරැණි ඉරිගු ගෙනෝමය සමග නූතන ඉරිගු මෙන්ම ඉරිගුවල පූර්වජයා සේ සැලකෙන තොයොසින්ටේ තෘණ ගෙනෝම සමග සංසන්දනය කිරීම පර්යේෂකයන් මීළග පියවර විය.

ඉරිගු පිළිබඳ නව අනාවරණ


එහි දී අනාවරණය වූ ආකාරයට ඉරිගු ඇට වඩාත් මෘදු හා ආහාරයට ගත හැකි තත්ත්වයට පත් වීමට අවශ්‍ය ප්‍රවේණික සාධක උක්‌ත නිදර්ශකයේ දැකිය හැකි විය. එසේ ම වල් තෘණ වර්ගවල දැකිය හැකි දැඩි ආවරණය ද ඒ වන විටත් නැති වී ගොස්‌ තිබීම වැදගත් ය. එසේ ම මේ නිදර්ශකය එහි ඇතැම් ලක්‌ෂණ අතින් නූතන ඉරිගුවලට වඩා එහි පූර්වජයා වූ තෙයෝසින්ටේවලට සමීප බවක්‌ සිතිය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ නිදර්ශකයේ ප්‍රමාණය නූතන ඉරිගු කරලකින් දහයෙන් එකක්‌ පමණ හෙවත් සෙන්ටිමීටර් 2ක්‌ පමණ වේ. එසේ ම පැරැණි ඉරිගු කරලක තිබුණේ පේලි 8ක්‌ පමණක්‌ වන අතර, නූතන ඉරිගු කරලක එමෙන් දෙගුණයක්‌ පමණ තිබේ. මේ සියලු කරුණු අනුව පර්යේෂකයන් දක්‌වන්නේ පරිණාමික ව ගත් විට Tehuacan 162 නිදර්ශකය ඉරිගු ශාකයේ පූර්වජයන් අතරින් යම් පමණකින් හෝ සමීප වන්නේ පහත් ප්‍රදේශවල වැවෙන Zea mays ssp. parviglumis උප විශේෂයට බව ය. එහෙත් එය ඊට වඩා කැපීපෙනෙන වෙනස්‌කම්වලින් යුක්‌ත වන අතර නූතන ඉරිගු ශාකවලට වඩාත් සමීප වේ. වඩාත් පැහැදිලි ව දක්‌වන්නේ නම් මේ නිදර්ශකය මගින් නිරූපණය වන්නේ ඉරිගුවල පැරැණි ආකාරයක්‌ වන අතර, එය සියලු නූතන ඉරිගුවල පූර්වජයාට වඩා සමීප වේ. එහෙත් එය නූතන ඉරිගු භෝගයේ විවිධ දර්ශවල විවිධත්වකරණයට (diversification) පෙර පරිණාමිකව බෙදී ගොස්‌ ඇති බව ද මේ පර්යේෂකයන් ගේ අදහස වේ. මේ පර්යේෂණයෙන් පෙනී යන එක්‌ කරුණක්‌ වන්නේ ගෘහාශ්‍රිතකරණ ක්‍රියාවලියේ දී ඇති වන ව්‍යqහ විද්‍යාත්මක වෙනස්‌කම් සැලකිය යුතු තරම් කැපී පෙනෙන ඒවා විය හැකි බවයි.

අනාගත අධ්‍යයන සඳහා ආරම්භයක්‌


කෙසේ වෙතත් උක්‌ත පර්යේෂණයෙන් අනාවරණය වන්නේ ඉරිගු ගෘහාශ්‍රිතකරණයේ කිසියම් කොටසක්‌ පමණක්‌ බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඉහත දැක්‌වූ ආකාරයට, පුරාවිද්‍යාත්මක හා නූතන DNA සාධක අනුව ඉරිගු ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ අදින් වසර 10,000ත් 6,250ත් කාලයකට පෙර බව විශ්වාස කරන ලදි. එහෙත් මේ ක්‍රියාවලිය සිදු වූ ආකාරය හා එහි දී ඇති වූ සිදුවීම් හා ඒවායේ කාල වකවානු පිළිබඳව සවිස්‌තර දැනීමක්‌ විද්‍යාඥයන්ට නො තිබිණි. එහෙත් මේ නව අධ්‍යයනය මගින් ඒ සඳහා අවස්‌ථාවක්‌ ලැබී ඇති බව පෙනේ.

එසේ ම මේ පර්යේෂකයන් ගේ අදහස අතීතයේ සිටි මිනිසුන් විසින් ඉරිගු භාවිත කරන ලද්දේ අතිරේක ආහාරයක්‌ ලෙස විය හැකි බවයි. ඔවුන් ඒ වන විට ද විවිධ ද්‍රව්‍ය එකතු කරන්නන් මෙන්ම ගොවීන් සේ ජීවිත ගත කළ ද, ඒ වන විට පවා ඔවුන් ගේ ආහාරයේ වැඩි තැනක්‌ හිමි වන්නට ඇත්තේ වනගත ශාක මෙන්ම දඩයමින් ලබාගත් මස්‌ ය. ඊට අමතරව විශේෂයෙන් වසරේ යම් කාලයක දී ඉරිගු ආහාරයක්‌ ලෙස යොදාගෙන ඇති බව දක්‌වා ඇත.

ගෘහාශ්‍රිතකරණය කරන ලද ඉරිගු ඉතා ඉක්‌මනින් ඇමෙරිකාව පුරා භෝගයක්‌ ලෙස ව්‍යාප්ත වී තිබේ. ඒ සඳහා මිනිසුන් බෙහෙවින් හේතු වී ඇත. ඉදිරි අධ්‍යයනවල දී එසේ ඉරිගු භෝගය ව්‍යාප්ත වූ මාර්ග සම්බන්ධව කරුණු සොයාබැලීම ද මේ පර්යේෂකයන් ගේ එක්‌ අරමුණක්‌ වේ. එසේ ම ඉරිගුවල ඇති වැදගත්කම ඇත්තේ එය වර්තමානයේ දී ආහාර භෝගයක්‌ ලෙස යොදාගැනීම පමණක්‌ නො වේ. එය ඇමෙරිකාවේ ස්‌වදේශිකයන් ගේ සංස්‌කෘතික දියුණුවේ මෙන්ම සමාජයීය වර්ධනයේ ද, අධිරාජ්‍ය ඇති වීම දක්‌වා වූ වෙනස්‌කම් සමග ද බද්ධ වුවකි. එහි දී තවත් අවබෝධ කරගත යුතු කරුණු තිබේ. ඒ අතර පෝෂණයේ වෙනස්‌ වීම් මෙන්ම ඉරිගුවල විවිධ ප්‍රභේද විවිධ පරිසරවලට හුරු වූ අකාරය ද වේ.

උක්‌ත අධ්‍යයනයේ ඇති තවත් වැදගත්කමක්‌ වන්නේ පුරාවිද්‍යාත්මක සාධක යොදාගනිමින් සිදු කරන පුරා-ගෙනෝමික හෙවත් ප්‍රවේණික අධ්‍යයන සඳහා තවත් නිදසුනක්‌ සැපයීම ය. මෙවැනි වෙනත් අධ්‍යයන මගින් ද ගෘශාශ්‍රිතකරණය සිදු වූ අකාරය පිළිබඳ කරුණු අනාවරණය වී ඇත.

මූලාශ්‍රය: Cell Biology, DOI: 10.1016/j.cub.2016.09.036 


http://www.vidusara.com/2016/11/30/feature2.html

Wednesday, November 23, 2016

බස් කතා 1: ශ‍්‍රී ලාංකික යන්නෙහි අරුත

අද* හවස 138 බසයක නැගි පසු වාසනාවකට මෙන් අසුනක් ලැබුනෙන් මද නින්දකට සැරසුනෙමි. යාන්තම් නිදිබර වූ මා තිඹිරිගස්යාය හරියෙදී ඇහැරුනේ තරුණයකු හා තරුණියක අතර වූ කතාබහකිනි. මගේ නිදිමත නැති විය.

එ් දෙන්නාගේ කතාබහ විවිධ මාතෘකා ඔස්සේ ඇදී ගියේය. කොළඹ සරසවිය අසලින් බසයට නැගෙන්නට ඇති ඔවුන් එහි සිසුන් බව කැම්පස් කතාවලින් පෙනුණි (එ් ෂෝ එකටදැයි නොදන්නෙමි.) ඔවුන් එකිනෙකාගේ ගම් ප‍්‍රදේශ ගැන දැනසිටියේ මද වශයෙනි. ඒ අනුව ඔවුන් නවක සිසුන් හෝ මෑතදී හඳුනාගත අය විය යුතුය. තරුණයාගේ පියාගේ ගම කුරුණෑගල වූ අතර ඔවුන් දැන් කොළඹ ආසන්නයේ පදිංචි බව පෙනිණි. තරුණියගේ ගම් ප‍්‍රදේශය වේයන්ගොඩ විය. කුරුණෑගල යන විට වේයන්ගොඩ පසුකර යන බවද ඇය සිය මිත‍්‍රයාට පවසා සිටියාය! (මටත් මේ ඔ්පාදූපමයි ලියන්න හිතෙන්නේ, ඔ්න කතාව පැත්තක තිබෙද්දි.)

කතාවේ වැදගත් දේ සිදුවූයේ, ගම්සභා හන්දියේදී තරුණයා බසින්නට සැරසුණු විටය. තරුණිය තරුණයාගෙන් මෙසේ අසා සිටියාය.

තරුණිය - "බස් එකෙන් බැහැලා යන්න දන්නවාද?"

මදක් විපිලිසර වූ තරුණයා මෙසේ කීවේය

"මාව කවුරු වගේද පේන්නේ? මම ශ‍්‍රී ලාංකික කොල්ලෙක්."

මේ අනුව "ශ‍්‍රී ලාංකික" යනු "බස් එකෙන් බැහැල යන්න දැනගැනීම" විය යුතුය.

එය එසේ නම්, ශ‍්‍රී ලාංකික කම යනු අප දන්නා කියන ප‍්‍රදේශවලදී පමණක් ඇති වන තත්ත්වයකි. එ් අනුව අප නොදන්නා තැනක යන විට ශ‍්‍රී ලාංකික කම නැති විය යුතුය. එ් බස් එකෙන් බැහැලා යන්න නොදන්නා නිසාය. පිටරටක ගියාම සමහරුන්ගේ ශ‍්‍රී ලාංකික බව නැත්තටම නැතිවන්නේද මේ නිසා විය යුතුය.

අනේ මංදාය. මේවා ඉගෙන ගන්න මේ කාලේ කැම්පස් යන්නම ඔ්නෑ වගේය. ඔවුන් මොන පීඨයේද යන්න හා 2009ට කලින් උපන් අයද යන්න දැන ගැනීමට මතක් වුනේ පසුවය. අපරාදේ...

(පසු සටහන - අපි කොළඹ කැම්පස් යන කාලයේ මෙවැනි අතිශය ගැඹුරු අර්ථකථන දෙන්නට හැකි අය සරසවියේ සිටියේ නැති වීම ගැන කණගාටුවක් ඇති විය. අපට කලින් කාලයේ එ් තරම් වත් නොසිටින්නට ඇත.) :-D

* 2016 ඔක්. 20

Tuesday, November 22, 2016

යහපත් ලෝකයක්‌ සඳහා වැදගත් ආදර්ශ ව්‍යාපෘති

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 09.11.2016

(Vidusara, 09.11.2016, Model projects for a sustainable world)

http://www.vidusara.com/2016/11/09/feature2.html



තිරසර සංවර්ධනය යනු නූතන ලෝකයේ අනාගතය සඳහා පදනම් කරගත යුතු මාර්ගය ලෙස වඩාත් පුළුල්ව පිළිගැනෙන ක්‍රමවේදයයි. තිරසර සංවර්ධනය සඳහා විවිධ අර්ථදැක්‌වීම් ඇතත්, වඩාත් පිළිගත් අර්ථදැක්‌වීම අනුව තිරසර සංවර්ධනය යනු අනාගත පරපුරේ අවශ්‍යතා සඳහා භාවිත කිරීමට බලපෑමක්‌ නො වන ආකාරයෙන් වර්තමාන අවශ්‍යතා සපුරාලන සංවර්ධනයයි. එය වර්තමාන පාරිසරික අර්බුදය සඳහා විසඳුම ලෙස ලෝකය විසින් අනුමත කරන ලද ක්‍රමවේදයකි. මේ වන විට සියලු ජාත්‍යන්තර සැලසුම් සකස්‌ වන්නේ තිරසර සංවර්ධනය හා ඊට අදාළ වෙනත් සංකල්ප කේන්ද්‍ර කරගෙන ය. තිරසරභාවය යනු ලෝකයේ අනාගතය බව මේ අනුව පැහැදිලි ය.

තිරසර සංවර්ධනය සඳහා යොදාගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න ගැන කලක පටන් ලෝකයේ උනන්දුව යොමු ව ඇත. මේ වන විට දැකිය හැකි ගැටලු සඳහා විසඳුම් ලෙස ලෝකය පුරා විවිධ ස්‌ථානවල විවිධ ආකාරයේ කටයුතු ක්‍රියාත්මක වේ. මේ අතරින් සමහරක්‌ රාජ්‍ය මට්‌ටමින් දියත් කරනු ලබන විවිධ පරිමාණයේ වැඩසටහන් හා ව්‍යාපෘති වේ. එහෙත් ඇතැම් කටයුතු ක්‍රියාත්මක කරනු ලබන්නේ එම ගැටලුවලට මුහුණ දී ඇති ප්‍රජාව විසින් ම ය. ඒවා ප්‍රජා පාදක හෝ ප්‍රජා මූලික ව්‍යාපෘති ලෙස හැඳින්විය හැකි ය.

මේ ආකාරයෙන් අනාගත පරිසරයේ යහපැවැත්ම සඳහා සාර්ථක පූර්වාදර්ශ ලෙස යොදාගත හැකි ප්‍රජා මූලික ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා ගත් උත්සාහයක ප්‍රතිඵල ලෙස පළ වූ පර්යේෂණ පත්‍රිකාවක්‌ පසුගිය දා නිකුත් විය. ඊට අනුව මේ ප්‍රජා මූලික ව්‍යාපෘති අතර ඇති ඵලදායී නිදසුන් යහපත් මානව යුගයේ යහපත් තත්ත්වයක්‌ ඇති කරගැනීම සඳහා යොදාගත හැකි ය.

යහපත් මානව යුගය

මේ අධ්‍යයනයේ යෙදුණු පර්යේෂකයන් විසින් "යහපත් මානව යුගයක බීජ" (seeds of good anthropocene) නම් වෙබ් අඩවියක්‌ වෙත යොමු කරන ලද ලෝකය පුරා ක්‍රියාත්මක වූ විවිධ ප්‍රජා මූලික ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කර ඇත. මේ සඳහා ජාත්‍යන්තර සහභාගිත්ව ක්‍රමවේදයක්‌ අනුව ව්‍යාපෘති තොරතුරු ලබා දිය හැකි ය. එහි දී මේ බීජ නිර්වචනය කර ඇත්තේ වර්තමාන ලෝකයේ ප්‍රමුඛව දැකිය නොහැකි, එහෙත් අවම වශයෙන් මූලාකෘති ලෙස හෝ දැනටමත් ක්‍රියාත්මක වන මුල්පිරීම් (initiatives) වේ. මේවායින් පාරිසරික තත්ත්වයට මෙන්ම මිනිසුන් ගේ යහපැවැත්ම සඳහා ද බලපෑමක්‌ වීම ඒවායේ මූලික සුදුසුකමක්‌ විය. මීට සමාජයීය, තාක්‌ෂණික, ආර්ථික හෝ සමාජ-ආර්ථික ක්‍රමවේද අයත් වන අතර විවිධ දර්ශන, වටිනාකම් හා කලාප නියෝජනය කරන ඒවා ද විය.

මේ වෙබ් අඩවියට ලැබුණු මුල්පිරීම් අතරින් වැඩි ප්‍රමාණය විවිධ ආකාරයේ සමාජ-පාරිසරික ව්‍යාපෘති පිළිබඳ වූ ඒවාය. නිදසුනක්‌ ලෙස ගත හොත්, පාරිසරික පියසටහන අඩු කිරීම සඳහා හේතු වන තාක්‌ෂණය හා සැකසුම, ජෛව විවිධත්ව සංරක්‌ෂණය හා සම්පත් කළමනාකරණයේ තත්ත්වය වැඩි දියුණු කිරීමට හේතු වන ක්‍රියාමාර්ග, ආහාර නිෂ්පාදනයේ තිරසරභාවය ළගා කරන උපක්‍රම ආදිය වඩාත් වැදගත් සේ සැලකිය හැකි ය. එසේ ම සම්පත්, අධ්‍යාපනය හා බලය සඳහා සමාන ප්‍රවේශයක්‌ ඇති කිරීම, තිරසරභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාර, අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ වැනි කරුණු මෙන්ම විවිධ විශේෂිත ගැටලු සඳහා වූ විසඳුම් ආදිය ද මේ මුල්පිරීම් අතරට ඇතුළත් වී ඇත. මේවා ජගත් මට්‌ටමින් ක්‍රියාත්මක වූ ඒවා බැවින් ඒවායේ ඇති පුළුල් ස්‌වභාවය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නො වේ.

මෙසේ ලැබුණු මුල්පිරීම් සියයක්‌ පිළිබඳව මේ පර්යේෂකයන් පිරිස විශ්ලේෂණය කළ අතර එහි දී හෙළි වූ කරුණු අනුව මේ ප්‍රජා මූලික ව්‍යාපෘතිවලින් යහපත් ආදර්ශයක්‌ ලෙස යොදාගත හැකි ආකාරයේ ව්‍යාපෘති හඳුනාගෙන තිබේ. මේ ආදර්ශ ලෙස යොදාගත හැකි ව්‍යාපෘති අයත් වන මූලික විෂය හයක්‌ මෙහි දී ඔවුන් හඳුනාගෙන ඇත.

01. කෘෂි පරිසර විද්‍යාව (Agroecology) - මෙවැනි ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක කරන්නේ සමාජ-පාරිසරික විද්‍යාත්මක ප්‍රවේශයක්‌ මගින් ආහාර නිෂ්පාදනය කිරීමයි. මේ සඳහා නිදසුනක්‌ ලෙස ජපානයේ ක්‍රියාත්මක සටොයාමා (Satoyama) ව්‍යාපෘතිය දක්‌වා ඇත. අදාළ ව්‍යාපෘතියේ දී නාගරික ප්‍රජාව ග්‍රාමීය ප්‍රජාව හා එක්‌ ව ඌන භාවිතයක්‌ ඇති කෘෂි පරිසර පද්ධති වගාව සඳහා උපරිම වශයෙන් යොදාගැනීම සිදු වේ. එහි දී මූල්‍ය සහාය, ස්‌වෙච්ඡා දායකත්වය හා ගොවිපොළේ නැවතී සේවය කිරීම වැනි පියවර යොදාගෙන ඇත.

02. හරිත නාගරිකත්වය (green urbanism) - මෙවැනි ව්‍යාපෘතිවල දී සිදු කරන්නේ නාගරික ප්‍රදේශවල ස්‌වාභාවිකත්වය හා ජීවත්වීමට ඇති හැකියාව (Iiveability) ඉහළ නංවන ව්‍යාපෘති ය. මේවාට නිදසුනක්‌ ලෙස ඔවුන් දක්‌වා ඇත්තේ නිව්යෝක්‌හි ක්‍රියාත්මක කර ඇති ව්‍යDපෘතියකි. එහි දී සිදු කර ඇත්තේ අත්හැර දමන ලද දුම්රිය මාර්ගයක දේශීය ශාක විශේෂ වගා කරමින් සෞන්දර්යය, අධ්‍යාපනය හා විවේකය සඳහා වූ පරිසරයක්‌ නිර්මාණය කරන ලද ව්‍යාපෘතියකි.

03. අනාගත දැනුම (future knowledge) - මෙහි දී අදහස්‌ කරනු ලබන්නේ නව දැනුම හා අධ්‍යාපනය වෙත යොමු ව ඇති ව්‍යාපෘති වේ. උදාහරණයක්‌ ලෙස දක්‌වා ඇති, දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්‌ මගින් ප්‍රථම උපාධි මට්‌ටමේ දී සංරක්‌ෂණය පිළිබඳව කුසලතා ලබා දීම සිදු කරනු ලැබේ.

04. නාගරික පරිවර්තනය (urban transformation) - නාගරික පරිවර්තනය යන්නෙන් අදහස්‌ කරන්නේ නාගරික අවකාශය තුළ නව්‍ය වූ සමාජ පාරිසරික සම්බන්ධතා ඇති කිරීම අරමුණු කරගත් ව්‍යDපෘති වේ. මේ සඳහා නිදසුනක්‌ ලෙස දක්‌වා ඇත්තේ හිමාලය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ව්‍යDපෘතියකි. එය සුක්‌නා නම් විලක්‌ ගොඩ වීම වළක්‌වා ලූ අතර, වැසි ජලය රැස්‌ කිරීම වැනි කටයුතු ගැන අවධානය යොමු කරන ලද ප්‍රකට ව්‍යාපෘතියකි.

05. සාධාරණ අනාගතය (fair futures) - මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ තීරණ ගැනීමේ දී වඩාත් සාධාරණ වූ තත්ත්වයක්‌ ඇති කිරීම සඳහා ය. ජර්මනියේ පිහිටි ලුනේබර්ග් නම් වූ නගරයක්‌ ජීවත් විය හැකි, තිරසර හා සාධාරණ නගරයක්‌ බවට පත් කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක්‌ මේ සඳහා නිදසුන් සේ දක්‌වා ඇත.

06. තිරසර අනාගතය (sustainable futures) - මේ වර්ගයට අයත් ව්‍යාපෘති ලෙස දක්‌වා ඇත්තේ වඩා සාධාරණ හා තිරසර අනාගතයක්‌ නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක සමාජ ව්‍යාපාර ය. මීට නිදසුනක්‌ ලෙස, ඇමෙරිකාවේ 2010 දී ආරම්භ කරන ලද ෆාම් හැක්‌ ව්‍යාපෘතිය දක්‌වා ඇත. එහි දී ආහාර නිෂ්පාදනය සම්බන්ධ හා තිරසර කෘෂිකර්මය හා සම්බන්ධ නව්‍ය යෙදවුම් ආදිය පිළිබඳව අදහස්‌ හුවමාරු කරගැනීම සඳහා අන්තර්ජාලය යොදාගැනීම සිදු වේ.

මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ අපේ අනාගතය අයහපත් හා අසුබවාදී එකක්‌ ලෙස පෙනුණ ද, අපට අනාගතය ගැන සුබවාදී අපේක්‌ෂාවක්‌ තබාගත හැකි ආකාරයේ මුල්පිරීම් ද ලෝකයේ දැකිය හැකි බවයි. මේවායේ ඇති තවත් වැදගත්කමක්‌ වන්නේ ඒවා බිම් මට්‌ටමෙන් ආරම්භ වී ඇති දේ වීම නිසා ය. එහෙත් ඒවාට අප සිතන, අප කරන කටයුතු, හා ඒ කටයුතු සිදු කරන ආකාරය වෙනස්‌ කිරීමේ හැකියාවක්‌ තිබේ. මේවා ආදර්ශයට ගැනීමෙන් මිනිසුන් හා පරිසරය අතර වර්තමානයේ ඇති නිෂේධනීය සම්බන්ධතාව වෙනස්‌ කිරීමට හැකියාව ඇති බව මේ පර්යේෂකයෝ පෙන්වා දෙති. ඔවුන් ගේ අදහස වන්නේ මෙවැනි ව්‍යාපෘතිවල ඇතැම් අංශ එක්‌ ව හෝ තනි තනියෙන් හෝ යොදාගැනීමෙන් වඩා යහපත් හා තිරසර වූ අනාගතයක්‌ ගොඩනැගිය හැකි බව ය.

මිනිසුන් හා සොබාදහම අතර වඩා යහපත් සම්බන්ධයක්‌ ඇති කරගැනීමේ ක්‍රමවේද, අලුතින් සිතීම හා නව්‍ය වූ අදහස්‌ සහිත මුල්පිරීම් හා ආදිය ඇති වන්නේ වර්තමාන අර්බුදයෙන් ජයගැනීම සඳහා වූ විසඳුම් ලෙස ය. මේ නව දැක්‌මක්‌ සහිත නිර්මාණ තිරසරභාවය සඳහා පරිවර්තනය වීමේ දී අතිශයින් වැදගත් වූ කාර්යයකි. මේ ආකාරයෙන් නව්‍ය ක්‍රමවේද හෝ නිදසුන් ලෙස ඉදිරිපත් ව ඇත්තේ ඇතැම් විට අතීතයේ පැවැති ක්‍රමවේදයක්‌ හෝ නිදසුනක්‌ හෝ විය හැකි ය. මේවා ගැන අවධානය යොමු කිරීම වැදගත් ලෙස මේ පර්යේෂකයන් විසින් දක්‌වන්නේ මේ වන විට ද ක්‍රියාත්මක කර ඇති එවැනි නිදසුන් වර්ධනය කිරීම, අප තවමත් නො දන්නා අයහපත් බලපෑම්වලට විසඳුම් සෙවීමට වඩා ප්‍රායෝගික වන නිසා ය. උක්‌ත මුලපිරීම් "යහපත් මානව යුගයක බීජ" ලෙස ඔවුන් හඳුන්වා දී ඇත්තේ ඒ නිසා ය.

තිරසරභාවයේ ආදර්ශ ලෙස

මේ අධ්‍යයනයෙන් පෙනී යන්නේ මෙවැනි යහපත් හා ඵලදායක ලෙස යොදාගත හැකි මුල්පිරීම් ලෝකය පුරා ම ක්‍රියාත්මක වන බවයි. ඒවා ලෝකයේ වෙනත් ප්‍රදේශවල ද ආදර්ශ ලෙස යොදාගත හැකි ඒවා ය. එහෙත් උක්‌ත අධ්‍යයනයේ දී අවධානය යොමු කර ඇත්තේ එවැනි මුල්පිරීම් කිහිපයක්‌ පිළිබඳව පමණක්‌ බව පෙනේ. ලෝකයේ විවිධ රටවල මෙවැනි සාර්ථක මුල්පිරීම් සාර්ථක ලෙස දියත් කර ඇති බවට සැකයක්‌ නැත. එසේ ම ඇතැම් එවැනි ව්‍යාපෘතියක්‌ අදාළ රටවල පවත්නා දේශීය තත්ත්වයට සරිලන ආකාරයෙන් සැලසුම් කරන ලද ව්‍යාපෘති වේ. ඒවා වෙනත් රටකට හෝ සමාජයකට නො ගැලපිය හැකි ය. අනෙක්‌ අතට ලෝකයේ එක්‌ තැනක සාර්ථකව දියත් කරන ලද ව්‍යාපෘතියක්‌ තවත් තැනක ඒ ආකාරයෙන් ම සාර්ථකව දියත් කිරීමට නොහැකි විය හැකි ය.

මේ ආකාරයට තිරසරභාවය සඳහා හේතු වන නව්‍ය හා තිරසර ආකාරයේ ආදර්ශ ලෙස සැලකිය හැකි ප්‍රජා මූලික වැඩසටහන් හා ව්‍යDපෘති අපේ රටේ ද ක්‍රියාත්මක ව ඇත. එවැනි ඇතැම් කටයුතු අතීතයේ පටන් මෙරට පැවැති දේ නැවතත් යොදාගැනීමකි. මේ සඳහා ඇති හොඳ ම නිදසුන වන්නේ අපේ රටේ අතීතයේ පටන් පැවැති ගොවිතැන් ක්‍රම හා පැරැණි භෝග වර්ග යළිත් යොදාගැනීමයි. එහෙත් ඒවා හඳුන්වා දීම සඳහා "කාබනික" ගොවිතැන වැනි නවීන වදන් භාවිතයට ගෙන ඇත. අද ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් ඇති මේ ගොවිතැන් ක්‍රම නැවත පුනරුදයක්‌ ලබන්නේ වැඩි වශයෙන් ප්‍රජා මූලික කටයුතු හා ව්‍යාපෘති ලෙස ය. ගොවිතැන හැර විවිධ විෂය හා සම්බන්ධ ව ද මෙවැනි ව්‍යාපෘති දියත් ව ඇතත්, එහෙත් ඒවා සම්බන්ධ ව රටේ අවධානය යොමු ව ඇත්තේ අඩු වශයෙනි. අනෙක්‌ අතට, එවැනි ඇතැම් ව්‍යාපෘතිවලින් හඳුන්වා දුන් කටයුතු අඛණ්‌ඩව ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති වූ අවස්‌ථා ද ඇති බව අප අමතක නො කළ යුතු ය.

මූලාශ්‍රය : පර්යේෂණ පත්‍රිකාව - Frontiers in Ecology and the Environment, DOI: 10.1002/fee.1309

"යහපත් මානව යුගයක බීජ" වෙබ් අඩවිය - https://goodanthropocenes.net

http://www.vidusara.com/2016/11/09/feature2.html

Thursday, November 17, 2016

ට්‍රම්ප් ගේ ආගමනය හා දේශගුණ සටනේ අනාගතය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 16.11.2016, පි. 5

(Vidusara, 16.11.2016, Trump and the future of the effort to combat climate change)

http://www.vidusara.com/2016/11/16/feature2.html

පසුගිය දා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත්තේ රිපබ්ලිකන් පාක්‌ෂික අපේක්‌ෂක ඩොනල්ඩ් ඡේ. ට්‍රම්ප් ය. එය බොහෝ දෙනා අපේක්‌ෂා නො කළ ප්‍රතිඵලයකි. ඇමෙරිකානු හා වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය මගින් මෙන්ම ජනමත විමසුම් මගින් ද පෙන්වා දී තිබුණේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්‌ පක්‌ෂයේ අපේක්‌ෂිකාව වූ හිලරි ක්‌ලින්ටන් ජයග්‍රහණය කරනු ඇති බව ය. එහෙත් ඒ සියල්ල අසත්‍ය කරමින් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ. මේ අනුව ඔහු ලබන ජනවාරියේ දී එරට 45 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිත ය.

ට්‍රම්ප් ගේ ජයග්‍රහණය සම්බන්ධව විවිධ විචාර දේශීය විදේශීය ජනමාධ්‍යවල පසුගිය දින කිහිපය පුරා දැකිය හැකි විය. ඇමෙරිකාවේ සුදු ජාතිකයන් අතරින් බහුතරයක්‌ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ට වන අතර, එරට වෙසෙන සුළු ජාතිකයන් වැඩි දෙනා ඡන්දය ප්‍රකාශ කර තිබුණේ හිලරි ක්‌ලින්ටන්ට ය. එසේ ම ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ඇමෙරිකානු ජාතිකවාදයේ ජයග්‍රහණයක්‌ ලෙස සැලකේ. එය ලෝකයේ මේ වන විට වර්ධනය වෙමින් පවත්වා ජාතිකවාදී ප්‍රවාහයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ වීමට ද හැකි ය.

කෙසේ හෝ වේවා ට්‍රම්ප් මේ වන විට ලෝකයේ බලවත් ම රාජ්‍යයක මිළග ජනාධිපතිවරයා බවට පත් වී ඇත. ඒ අනුව අනාගත ලෝකයේ පරිසරය හා සම්බන්ධ කරුණුවල දී ලෝකයට කටයුතු කිරීමට සිදු වන්නේ ඔහු ගේ ප්‍රතිපත්ති සමග ය. ඇමෙරිකාව මෑත කාලයේ දී පරිසරය පිළිබඳව, විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව යම් යම් සාධනීය පියවර ගෙන තිබේ. එහෙත් ඔබාමාට වඩා වෙනස්‌ ප්‍රතිපත්ති සහිත ට්‍රම්ප් ගේ පාලනය යටතේ පරිසරය පිළිබඳ ප්‍රතිපත්ති කෙබඳු වනු ඇති ද යන්න විමසා බැලීමට වටියි. මේ සටහන ඒ වෙනුවෙනි.

ට්‍රම්ප් ගේ දේශගුණ ප්‍රතිපත්තිය


ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති තුළ දේශගුණ වෙනස්‌ වීමට හිමි වන තැන සලකා බැලුව හොත්, දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ විද්‍යාව චීනය විසින් කරන ලද රැවටීමක්‌ (hoax) බව ඔහු 2012 වර්ෂයේ දී පමණ සිය ට්‌විටර් ගිණුමේ සටහන් කර ඇත. දේශගුණ වෙනස්‌ වීම ඉදිරියට ගෙන ඇත්තේ ඇමෙරිකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සෙසු රටවල් හා තරගකාරී නො වන මට්‌ටමකට ගෙන ඒමට බව ද හෙතෙම පවසා ඇත. තමා බලයට පත් වූ පසු දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පැරිස්‌ සම්මුතියෙන් ඉවත් වීමට හෝ ඒ ගැන යළි සාකච්ඡා කිරීමට හෝ කටයුතු කරන බව ඔහු පැවසුවේ සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර පසුගිය මැයි මාසයේ දී ය. එසේ ම ගල් අගුරු කර්මාන්තය, තෙල් හා ගෑස්‌ කර්මාන්තය ව්‍යාප්ත කිරීමට ට්‍රම්ප් පොරොන්දු වී තිබේ. මේ වන විට ලෝකය අපේක්‌ෂා කරන්නේ ෆොසිල ඉන්ධන භාවිතය සීමා කිරීමට ය. මීට සාපේක්‌ෂව ගත් විට ප්‍රතිවාදී අපේක්‌ෂකයා වූ හිලරි ක්‌ලින්ටන් දේශගුණ වෙනස්‌ වීම හා ඒ පිළිබඳ විද්‍යාත්මක දැනුම පිළිගත් අයෙක්‌ විය.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් ට්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යDපාරය තුළ ඇතැම් අවස්‌ථාවල පරිසරය හා සම්බන්ධ මෙන්ම පොදු විද්‍යාත්මක දැනුම අවතක්‌සේරු කළ අවස්‌ථා හෝ අනවබෝධය පෙන්වූ අවස්‌ථා රැසක්‌ ද දැකිය හැකි විය. එසේ ම ට්‍රම්ප් එරට පරිසර ආරක්‌ෂක ඒජන්සිය සඳහා තෝරාගෙන ඇත්තේ දේශගුණ වෙනස්‌ වීම ප්‍රතික්‌ෂේප කරන්නකු වන මයිරන් එබෙල් නැමැත්තා බව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් විය.

කෙසේ වෙතත්, දැන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ කිසියම් පමණක සංශයවාදියෙක්‌ ඇමරිකාවේ ජනාධිපති බවට පත් වී ඇත. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග මේ පිළිබඳව Scientific American සගරාවට අදහස්‌ දැක්‌වූ විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දී තිබුණේ දේශගුණ වෙනස්‌ වීම, පරිසරය වෙනත් විද්‍යාව හා සම්බන්ධ විෂයයන්වලට පහරක්‌ වැදී ඇති බවයි. ට්‍රම්ප් පමණක්‌ නො ව ඔහු ගේ සමීපතමයන් අතරින් සැලකිය යුතු පිරිසක්‌ ද දේශගුණ වෙනස්‌ වීම ප්‍රතික්‌ෂේප කරන හෝ බරපතළ ලෙස විවේචනය කරන හෝ පිරිසක්‌ වීම විශේෂත්වයකි.

ට්‍රම්ප් ගේ මේ ප්‍රතිපත්ති ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ද බලපාන්නට ඇති බව අපට සිතේ. බ්‍රෙක්‌සිට්‌ හෙවත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා බ්‍රිතාන්‍යයේ මෑත දී පැවැති ජනමත විචාරණයේ දී ද මීට තරමක්‌ සමාන සිදුවීමක්‌ සිදු විය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වුව හොත් දේශගුණ වෙනස්‌ වීම, පරිසරය වැනි (හා තවත්) අංශවලට ඇති විය හැකි නිෂේධනීය බලපෑම ගැන බොහෝ පුද්ගලයන් හා සංවිධාන විසින් පෙන්වා දෙන ලද නමුත්, අදාළ ජනමත විචාරණයේ දී ජනතාවට පරිසරය පිළිබඳ කරුණුවලට වඩා වෙනත් කරුණු වැදගත් විය. මේ නිසා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු යෑයි ජනමත විචාරණයේ දී තීරණය විය. (මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග මගින් ඒ තීරණය ගැන මතභේදාත්මක තත්ත්වයක්‌ ඇති වී තිබේ.) බ්‍රිතාන්‍යයේ එසේ වී නම්, දේශගුණ වෙනස්‌ වීම සැක කරන පිරිස්‌ වඩා අධික වන ඇමෙරිකාවේ සිදුවිය හැකි දේ ගැන අප පුදුමයට පත් විය යුතු නැත.

ඇමෙරිකාව පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වේ ද?


දැන් ට්‍රම්ප් ජනාධිපති වීමට නියමිත ය. ඒ පිළිබඳව කණගාටුවට හා බියට පත් විය යුතු කරුණු අතරින් එකක්‌ ලෙස දේශගුණ වෙනස්‌ වීම දක්‌වා ඇත. දේශගුණ වෙනස්‌ වීම පසුපස ඇති විද්‍යාව රැවටීමක්‌ හෝ මිථ්‍යාවක්‌ ලෙස සිතන අයකු ජනාධිපති වීම ඊට හේතුවයි.

ඔහු ප්‍රකාශ කළ පරිදි පැරිස්‌ සම්මුතියෙන් ඉවත් වීම කළ හැකි වුව ද එය කඩිනමින් කළ හැකි දෙයක්‌ නො වේ. සම්මුතිය බලාත්මක තත්ත්වයට පත් වී වසර තුනකට පසුව පාර්ශ්වකරුවන්ට ඉන් ඉවත් වීමේ නිවේදනය ලබා දී තවත් වසරකින් ඉන් ඉවත් වීමට හැකි ය. ඒ අනුව ඊට අවම වශයෙන් වසර හතරක පමණ කාලයක්‌ ගත වේ. ඔවුන් අදාළ ගිවිසුමේ පාර්ශ්වකරුවකු වන නිසා ඊට අදාළ වගකීම්වලින් එතෙක්‌ බැඳී සිටිනු ඇත. මේ අනුව ගිවසුමෙන් ඉවත් වීම ක්‌ෂණිකව කිරීම අපහසු බව පැහැදිලි ය. (ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඔබාමා ගිවිසුම අත්සන් කිරීමට මෙන්ම අපරානුමත කිරීමට කඩිනමින් කටයුතු කළේ මේ නිසා බව සිතිය හැකි ය.)

එහෙත් ඇමෙරිකාව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියෙන් (UNFCCC) ඉවත් වන්නේ නම් එය වසරක කාලයකට පෙර දැනුම් දීම ප්‍රමාණවත් ය. ඒ සමග ම පැරිස්‌ සම්මුතියෙන් ද එරට ඉවත් වේ. අනෙක්‌ අතට පැරිස්‌ සම්මුතියෙන් ඉවත් නො වී, එරට හරිතාගාර වායු විමෝචන අඩු කිරීමෙන් වැළකී, පැනවූ නීති ක්‍රියාත්මක නො කර හෝ ආපසු හැරවීමට ද ඔහු පියවර ගත හැකි ය.

පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීමට අවශ්‍ය නම්, ට්‍රම්ප් මේ කුමන ක්‍රමයක්‌ තෝරාගනු ඇති දැයි දැන් ම පැවසිය නොහැකි ය. එහෙත් ට්‍රම්ප් ගන්නා පියවරට එරෙහි විය හැකි ව්‍යවස්‌ථාපිත ආයතනයක්‌ එරට නො තිබීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වේ. ඇමෙරිකාවේ සෙනෙට්‌ මණ්‌ඩලය, සාමාන්‍යයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිගැනීමට අදිමදි කරන රිපබ්ලිකන් පාක්‌ෂික බහුතරයකින් යුක්‌ත ය. ජනාධිපතිවරයා ගේ ඇතැම් කටයුතු නැවැත්වීමට හෝ පමා කිරීමට හෝ සෙනෙට්‌ මණ්‌ඩලයට හැකි වුව ද, දැන් එය ද එක ම පක්‌ෂයේ වීම නිසා ට්‍රම්ප් ගන්නා දේශගුණ හා පරිසර විරෝධී පියවරවලට ඔවුන් ගේ සහාය ලැබීමට ඉඩ තිබේ. මේ වන විට ඇමෙරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ බලය ඇත්තේ ද එම පක්‌ෂයට ය. වර්තමාන ජනාධිපති බැරැක්‌ ඔබාමා ගත් දේශගුණ වෙනස්‌ වීම, පරිසරය හා වෙනත් එවැනි විෂයයන් සම්බන්ධ ඵලදායී යහපත් පියවර නැවැත්වීමට හෝ ඊට බාධා කිරීමට හෝ රිපබ්ලිකන් පාක්‌ෂික බහුතරයකින් යුක්‌ත සෙනෙට්‌ සභාව කටයුතු කළ අවස්‌ථා ගණනාවක්‌ ම මෑත අතීතයේ වාර්තා විය.

ට්‍රම්ප් ගන්නා කවර නිෂේධනීය ක්‍රියාවක වුව ප්‍රතිඵලය වර්තමාන දේශගුණ සටනට බරපතළ විය හැකි ය. ඇමෙරිකාව මේ වන විට පොරොන්දු වී ඇති දේශගුණ ඉලක්‌කය අත්පත් කරගැනීම සඳහා දැනට සිදු කරන කටයුතු ප්‍රමාණවත් නො වන බව විද්‍යාඥයන් මේ වන විට ද පෙන්වා දී ඇත. එසේ තිබිය දී ඇමෙරිකානු රජය පැරිස්‌ සම්මුතිය නො සලකා හැරීම හෝ ඉන් ඉවත් වීම හෝ සිදුවීම සම්මුතියේ සාර්ථකත්වයට බලපෑ හැකි ය. එවැනි පියවරක්‌ දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමේ සටනට යම් බලපෑමක්‌ කළ හැකි ය. විශේෂයෙන් පැරිස්‌ සම්මුතිය යටතේ ගන්නා පියවර බොහෝ දුරට ස්‌වෙච්ඡා දායකත්වයක්‌ වන බැවින් ඇමෙරිකාවේ නිෂේධනීය තීරණයකින් කිසියම් බලපෑමක්‌ සිදු විය හැකි ය. අද ලෝකයේ දෙවැනි වැඩි ම හරිතාගාර වායු ප්‍රමාණය විමෝචනය කරන්නේ ඇමෙරිකාව ය.

මීට වසර කිහිපයකට පෙර, විශේෂයෙන් රිපබ්ලිකන් පාක්‌ෂික ජනාධිපති ජෝර්ඡ් බුෂ් ගේ පාලනය යටතේ, ඇමෙරිකාව දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමට ගත් ජගත් උත්සාහයට බාධා කරමින් සිටියේ ය. 1997 දී සම්මත වූ කියෝටෝ සන්ධානය බලාත්මක වීම ප්‍රමාද වීමට හා බලාත්මක වුව ද එය අසාර්ථක වීමට ඇමෙරිකාවේ සහයෝගය නොමැති වීම ද හේතු විය. දේශගුණ සටනට එරට දායක වන්නේ ඔබාමා ගේ පාලන සමයේ ය. ඔබාමා යටතේ ඇමෙරිකානු දේශගුණ ප්‍රතිපත්තිවල සැලකිය යුතු වෙනසක්‌ ඇති වූ අතර ඔවුන් පැරිස්‌ සම්මුතියට අත්සන් තබා එය අපරානුමත කිරීමට ද පියවර ගෙන ඇත. එවැනි තත්ත්වයක දී මේ ගමන්මෙගන් ඇමෙරිකාව ඉවත් වුව හොත් එය ඛෙදජනක කරුණකි.

තත්ත්වයේ බරපතළකම

එවැනි තත්ත්වයක්‌ ඇති වුව හොත් ඇති වන ප්‍රතිඵලයේ තරම සම්බන්ධව ද මේ වන විට අවධානය යොමු ව තිබේ. එක්‌ ගණනය කිරීමකට අනුව, ඉදිරියේ දී ඇමෙරිකාව පැරිස්‌ සම්මුතිය අනුව කටයුතු නො කළ හොත්, ට්‍රම්ප් ගේ දෙවැනි පාලන සමය (ඔහු දෙවරක්‌ පත් වුව හොත්) අවසන් වන විට ඇමෙරිකාවේ හරිතාගාර විමෝචන අදට වඩා 16%ක්‌ පමණ ඉහළ යැමේ අවදානමක්‌ පවතී. ට්‍රම්ප් ගේ ජයග්‍රහණයත් සමග එරට ගල්අගුරු සමාගම්වල කොටස්‌ මිල ඉහළ ගිය බව ද මාධ්‍ය ඔස්‌සේ වාර්තා විය. එසේ ම හිලරි ක්‌ලින්ටන් ජනාධිපති වූයේ නම්, ඇය ගැනීමට සිටි පියවර මගින් එරට විමෝචන ප්‍රමාණය අඩු වීමට නියමිත වූ බව අප අමතක නො කළ යුතු කරුණකි.

මේ අතර දේශගුණ වෙනස්‌ වීම යථාර්ථයක්‌ බව ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීම සඳහා ලෝකයේ ප්‍රකට විද්‍යාඥයන් හා පරිසරවේදීන් පිරිසක්‌ නව ව්‍යාපාරයක්‌ ආරම්භ කර තිබේ. මේ සඳහා ආයතන කිහිපයක්‌ ම මැදිහත් වී ඇති බව පෙනේ. ඇමෙරිකාවේ සියෙරා සමිතිය, ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මේ අතර වේ. ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිවල කිසියම් වෙනසක්‌ ඇති කිරීමට අපේක්‌ෂා කරන ඔවුන් ගේ අදහස වන්නේ ලෝකය මේ විනාශයෙන් ගලවාගැනීමයි. එය එසේ සිදු වනු ඇති ද යන්න වැඩි දවසක්‌ යැමට පෙර අපට දැනගත හැකි වනු ඇත.

අවසන් වශයෙන් එක්‌ ලේඛකයකු පැවසූ කරුණක්‌ සඳහන් කළ හැකි ය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය නම් ජනාධිපති වූ පසුව ඇමෙරිකානු නීති වෙනස්‌ කළ හැකි ය. එහෙත්, දේශගුණ වෙනස්‌ වීමට ඇමෙරිකානු නීති අදාළ නො වේ. ඊට අදාළ වන්නේ භෞතික විද්‍යාවේ නීති ය.

http://www.vidusara.com/2016/11/16/feature2.html

Friday, November 11, 2016

විදුලි අර්බුදය හා ඒ සඳහා වන විකල්ප

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.11.2016, පි. 2 

(Vidusara, 02.11.2016, Power crisis and alternatives for that)

http://www.vidusara.com/2016/11/02/news1.html

පසුගිය දා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අක්‍රිය වීම නිසා රට පුරා විදුලිය අත්හිටුවීමට සිදු වන බවට අනතුරු හැගවීම් නිකුත් කරන ලදි. එම බලාගාරය බිඳ වැටීමත් සමග මෙරට ජාතික විදුලිබල පද්ධතියට සැපයුණු මෙගවොට්‌ 900ක ධාරිතාවක්‌ අහිමි වීම ඊට හේතු විය. කෙසේ වෙතත්, අදාළ විදුලි කප්පාදුව ඇති වන කාලය පසුව අඩු කරන ලද අතර, එය ක්‍රියාත්මක වූයේ දින කීපයක්‌ පමණි. එසේ ම ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක්‌ සිදු කරන ලද්දේ ද නැත.

විදුලි සැපයුමට සම්බන්ධ එක්‌ බලාගාරයක්‌ හෝ කිහිපයක්‌ හෝ අක්‍රිය වීමත් සමග රටේ විදුලි ඉල්ලුමට අවශ්‍ය විදුලිය සැපයීමට වෙනත් විදුලි බලාගාර තිබීම අඛණ්‌ඩ විදුලි සැපයුමක්‌ සඳහා අවශ්‍ය බව මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වන සැම විටක ම පැහැදිලි වේ. එවැනි සැපයුමක්‌ නොමැති අවස්‌ථාවක දී විදුලි කප්පාදුවක්‌ සිදු විය හැකි ය.

පාරිභෝගික විදුලි ඉල්ලුම ඉහළ යැමත් සමග රටේ විදුලි සැපයුම ද ඊට සාපේක්‌ෂව ඉහළ යා යුතු වේ. එය ප්‍රමාණවත් විදුලි ධාරිතාවක්‌ සහිත නව බලාගාර හා නව විදුලි බල ප්‍රභව යොදාගනිමින් මනාව සැලසුම් කළ යුතු දෙයකි. මෙරට විදුලි බලධාරීන් විසින් කලක පටන් එවැනි සැලසුම් සකස්‌ කරන ලද නමුත්, ඒවායේ ඇතුළත් යෝජිත බලාගාර ඉදි කිරීම විවිධ හේතු මත ප්‍රමාද වීම නිසා රටේ විදුලිය ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක්‌ ලබා දිය නොහැකි තත්ත්ව කලින් කල ඇති වී තිබේ. ජල විදුලි බලය නිපදවීම සීමා සහිත වන වියළි කාලවල දී මේ තත්ත්වය වඩාත් උග්‍ර වේ.

1980 දශකයේ දී මහා පරිමාණ ජලවිදුලි බලාගාර ඉදි කරන ලද කාලයේ ලංකාවේ විදුලි ධාරිතාව වේගයෙන් ඉහළ ගියේ ය. අපට ඉන්දියාවට ද විදුලිය දිය හැකි යෑයි පැවසෙන ප්‍රකට කියමන පවසන ලද්දේ මේ කාලයේ දී බව කියෑවේ. ඒ ජල විදුලිය මගින් ඒ වන විට මෙරට පැවැති විදුලි ඉල්ලූම සැපයීමෙන් පසුව අතිරික්‌ත විදුලියක්‌ ජනනය කළ හැකි වෙතැයි යන විශ්වාසය නිසා ය. එහෙත් කාලයත් සමග මෙරට විදුලි ඉල්ලුම ඉහළ ගිය අතර, සැපයුම ඊට සාපේක්‌ෂව සැලසුම් කළ ආකාරයෙන් ඉහළ නො ගියේ ය. පෙර සඳහන් කළ පරිදි බලාගාර ඉදි කිරීම පමා විය. මේ තත්ත්වය හමුවේ විදුලි ඉල්ලුම සැපයීම සඳහා තාප විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට රජයට සිදු වූ අතර, එමගින් විදුලි ඒකකයක මිල ඉහළ ගියේ ය. එසේ ම, ඒ වියදම විදුලිබල මණ්‌ඩලයට දරාගැනීමට සිදු වූ බැවින්, මණ්‌ඩලය ණය වූ අතර පාඩු ද ලැබුවේ ය. මේ තත්ත්වය යම්තාක්‌ හෝ විසඳුණේ ගල්අගුරු බලාගාරය ඉදි කළ පසු ව ය. නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක වන විට මෙරට විදුලි සැපයුමෙන් ආසන්න වශයෙන් හරි අඩක්‌ පමණ සැපයෙන්නේ එම ගල්අගුරු බලාගාරයෙන් බව පෙනේ.

මේ අතර ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිය ලබා දීමට සූදානම් ය යන ප්‍රකාශය පසුගිය දා ඉන්දියාවෙන් අසන්නට ලැබිණි.

ඉන්දියාවෙන් විදුලිය ලබාගැනීමේ යෝජනාව


ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලිය සැපයීම පිළිබඳව ඉන්දියාවේ මධ්‍යම රජයේ බලශක්‌ති අමාත්‍යංශය විසින් සලකා බැලෙමින් ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ ඉකුත් ඔක්‌තෝබර් මස මුල දී ය. ඒ අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය ව ඇති මෙගවොට්‌ 500ක විදුලි සැපයුම ලබා දීම සඳහා ඉන්දියාවට හැකියාව තිබේ. ඒ සඳහා මුහුද යටින් දිවෙන කේබල් මාර්ගයක්‌ ස්‌ථාපිත කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබිණි. එම නිලධාරියාට අනුව, මීට පෙර මේ යෝජනාව පිළිබඳව සලකා බලන ලද නමුත් කේබල් යෙදීම පිළිබඳ තාක්‌ෂණය ශක්‍ය නො වූ නිසා එම යෝජනාව ක්‍රියාත්මක කර නොමැත. මේ වන විට ඒ සඳහා නව තාක්‌ෂණයක්‌ සොයාගෙන ඇති බැවින් එය ඉදි කළ හැකි එකක්‌ බව ද මේ හින්දු පුවත්පතේ වාර්තාවේ සඳහන් වේ.

එහෙත් මේ පිළිබඳව ශ්‍රී ලංකාව පැත්තෙන් කිසිදු නිල ප්‍රතිචාරයක්‌ වාර්තා නො වූ තරම් ය.

බොහෝ දෙනාට මේ කතාව අලුත් දෙයක්‌ වූ බව මේ සම්බන්ධව සමාජ ජාල ඔස්‌සේ ඇති වූ සංවාද අනුව පෙනේ. මෑත භාගයේ දී සාකච්ඡා නො වූ බැවින් බොහෝ දෙනාට මෙය අලුත් දෙයක්‌ වුව ද, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලිය හුවමාරු කිරීම පිළිබඳ යෝජනාවට සැලකිය යුතු අතීතයක්‌ තිබේ. මේ යෝජනාව මුලින් ම ඉදිරිපත් වන්නේ 1970 දශකයේ දී පමණ බව වාර්තා වෙතත් ඊට මූලාශ්‍රයක්‌ නොමැති බව ද 2002 USAID වාර්තාවේ සඳහන් වේ. (මේ පිළිබඳව 2002 වර්ෂයේ දී ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්‌සත් ජනපද නියෝජිතායතනය (USAID) ආයතනය මගින් Viability of developing a transmission
system interconnection between India and Sri Lanka: Technical options and investment requirements නමින් පූර්ව-ශක්‍යතා වාර්තාවක්‌ සකස්‌ කර තිබේ). 2006 වර්ෂයේ දී ඉන්දියානු සමාගමක්‌ වන Power Grid Corporation India Limited මගින් එම අධ්‍යයනය සමාලෝචනය කර යාවත්කාලීන කර තිබේ.

මේ අතර දෙරට අතර විදුලිබල පද්ධති සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්‌ සිදු කිරීම සඳහා 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්‌ ද අත්සන් කර ඇත. ඒ මෙගවොට්‌ 1000ක විදුලිබල පද්ධති සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම අරමුණු කරගත්තකි. එම අධ්‍යයනය සිදු කරන ලද්දේ ලංකා විදුලිබල මණ්‌ඩලය හා ඉන්දියාවේ Power Grid Corporation India Limited ආයතනය විසිනි. පසුගිය පෙබරවාරි මාසය වන විට මේ වාර්තාව සකස්‌ කර අවසන් බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා පුවත්පත්වලට පවසා තිබිණි.

ඒ අනුව ඉන්දියාවේ මදුරයි සිට ශ්‍රී ලංකාවේ අනුරාධපුරය දක්‌වා වූ සම්ප්‍රේෂණ මාර්ගයක්‌ ඉදි කිරීමට යෝජනා විය. එය ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් හා මුහුද යටින් දිවෙන කිලෝමීටර් 50ක්‌ දිග කේබල් මාර්ගකින් ද යුක්‌ත ය. එය මෙගවොට්‌ 500ක්‌ සඳහා සැලසුම් කර තිබුණ ද, මෙගවොට්‌ 1000ක්‌ දක්‌වා දියුණු කළ හැකි ලෙස සැලසුම් කර තිබේ. කිලෝ වොට්‌ 400ක විදුලියක්‌ සම්ප්‍රේෂණය කරන මේ සම්ප්‍රේෂණ මාර්ග අධි වෝල්ටීයතා සරල ධාරා (highvoltage, direct current - HVDC) ක්‍රමයට අයත් ය. මෙය දිගු දුරක්‌ විදුලිය සම්ප්‍රේෂණය සඳහා යොදාගන්නා ක්‍රමවේදයකි.

2015 වර්ෂයේ දී ලංකා විදුලිබල මණ්‌ඩලය මගින් ප්‍රකාශයට පත් කර ඇති දිගුකාලීන උත්පාදන ව්‍යාප්ති සැලසුම 2015-2034 (Long Term Generation Expansion Plan 2015-2034) නම් වාර්තාවේ ද සම්මත උත්පාදන විකල්ප (Conventional Generation Options) අතර ඉන්දියා-ශ්‍රී ලංකා විදුලිබල පද්ධති සම්බන්ධතාවක්‌ ඇති කරගැනීමේ විකල්පය පිළිබඳව සඳහන් කර ඇත.

රටවල් දෙක අතර මෙවැනි සම්බන්ධතාවක්‌ ඇති විට ශ්‍රී ලංකාවට අඩු මිලට විදුලිය ලබාගැනීමට මෙන්ම අතිරික්‌ත විදුලියක්‌ ඉන්දියාවට විදුලිය අපනයනය කිරීමට ද හැකි ය. මේ ගැන මහජන උපයෝගිතා කොමිසන් සභාවේ නිලධාරියකු මාධ්‍යවලට පවසා තිබුණේ එමගින් අපේ රට විශාල බලශක්‌ති වෙළෙඳපොළකට විවෘත කරන බව හා තරගකාරී මිලකට විදුලිය මිල දී ගැනීමට හැකි වන බවයි.

ජාත්‍යන්තර විදුලි වෙළෙඳාම හා ඉන්දියාව


මේ ආකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් විදුලිය වෙළෙඳාම් කිරීම ලෝකයේ රටවල් අතර දැකිය හැකි ය. එහි දී විදුලි අවශ්‍යතාව ඇති රටට වෙනත් රටකින් විදුලිය අලෙවි කිරීම සිදු වේ. යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවල ද මෙය දැකිය හැකි ය. ඉන්දියාව මේ වන විට නේපාලයට, බංග්ලාදේශයට හා මියන්මාරයට විදුලිය අපනයනය කරන අතර භූතානයෙන් විදුලිය ලබාගනියි. සාක්‌ රටවල් සියල්ල ම පාහේ එක්‌ව පිහිටුවනු ලබන සාක්‌ විදුලිබල පද්ධතියක්‌ සම්බන්ධව ද මේ පිළිබඳ විශේෂඥයන් ගේ අදහස්‌ ප්‍රකාශ වී ඇත. එහි අරමුණ මේ රටවල් අතර අවශ්‍යතාව අනුව විදුලිය වෙළෙඳාම් කිරීම ය. එය දූපත් රාජ්‍ය අතර පවා සිදු වන්නේ මුහුද යටින් දිවෙන කේබල් මාර්ගයෙනි.

කෙසේ නමුත් තම රටේ තවමත් විදුලිය නොමැති විශාල ජනතාවක්‌ සිටිය දී වෙනත් රටවලට විදුලිය අපනයනය කරන්නට යන ඉන්දියාව සමග විදුලිය ගනුදෙනු කිරීමේ දී සැලකිල්ලෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. ඉන් පළමු කරුණ වන්නේ මිල දී ගන්නා විදුලිය ලාබදායක විය යුතු ය යන්න ය. එහෙත් ඒ හැර තවත් වැදගත් කරුණක්‌ තිබේ. ඒ ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේ දී එරට හුදෙක්‌ වාණිජමය පරමාර්ථයෙන් පමණක්‌ කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම ය. ඉන්දියාවේ වෙළෙඳ කටයුතුවලට එරට විදේශ ප්‍රතිපත්තිය ගාවාගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති බව අප අමතක නො කළ යුතු ය. නේපාලයත් සමග ඉන්දියාව ගැටලු ඇති කරගත් 2015 වර්ෂයේ අගභාගයේ දී ඉන්දියාවෙන් නේපාලයට තෙල් හා වෙනත් භාණ්‌ඩ සැපයීම පමා වීමක්‌ සිදු වූ අවස්‌ථාව මීට නිදසුනකි. ඊට තම රජයේ සම්බන්ධයක්‌ නැතැයි ඉන්දියාව නිල වශයෙන් කියා සිටිය ද, බොහෝ විචාරකයන් ගේ මතය අනුව නේපාලයේ නව ව්‍යවස්‌ථාව සම්මත කිරීමේ දී ඉන්දියාව දැක්‌වූ අසතුට හා නේපාලයට ඉන්දියාවේ සිට භාණ්‌ඩ සැපයීමේ ඇති වූ අවහිරතාව ඇති වූ කාලවකවානුව අතර මනා ගැලපීමක්‌ තිබේ.

ඉන්දියාව සමග අපේ අත්දැකීම් ද එතරම් යහපත් ඒවා නො වේ. එය නිදහසින් පසු හැම දා ම පාහේ දැකිය හැකි විය. 1980 දශකයේ ශ්‍රී ලංකාවේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය කෙරේ ඉන්දියාව දැක්‌වූ අකැමැත්ත මත මෙරට පැවැති ඊනියා ජනවාර්ගික ගැටලුව කෙරේ ඉන්දියාවේ මැදිහත් වීම තීරණය වූ ආකාරය බොහෝ දුරට සාකච්ඡා වී ඇත. එසේ ම ඉන්දීය ධීවරයන් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ මසුන් මැරීම සම්බන්ධව ඉන්දියාව දරන්නේ අධිපතිවාදී ආකල්පයකි. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරය වූ අබ්දූල් කලාම් ඒ සඳහා විසඳුමක්‌ ලෙස වරක්‌ යෝජනා කළේ ඉන්දීය ධීවරයන්ට සතියකට දින තුනක්‌ ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට අවසර දිය යුතු බවකි. ඉන්දියානු මානසිකත්වය තේරුම්ගැනීමට එය මනා නිදසුනකි. මේ වන විට ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ඇති කරගැනීමට උත්සාහ කරන ආර්ථික හා වෙළෙඳ ගිවිසුම (එට්‌කා) සම්බන්ධව ඔවුන් දරන ආකල්ප ද අපේ අවධානයට යොමු විය යුතු කරුණු වේ.

විශේෂයෙන් විදුලිබලය වැනි අත්‍යවශ්‍ය අංශයක්‌ සම්බන්ධව අප කෙතෙක්‌ දුරට මෙවැනි අසල්වැසි රාජ්‍යයක්‌ මත යෑපිය යුතු ද යන්න සිහිනුවණින් විමසා බැලිය යුතු කරුණකි. ඒ, තීරණාත්මක අවස්‌ථාවක රටේ විදුලිය බිඳවැටීමක්‌ සිදු වුව හොත් එය අංශ ගණනාවක ම කඩා වැටීම විය හැකි නිසා ය. මේ නිසා අපේ රටේ විදුලිබල ඉල්ලුම සපුරාලීමට මෙරට තුළ ම බලශක්‌තිය නිපදවීම සඳහා ප්‍රමුඛතාව දීම අවශ්‍ය ය. ඒ සඳහා වන සැලසුම් පිළිබඳව බලධාරීන් ගේ අවධානය යොමු විය යුත්තේ බලශක්‌ති සුරක්‌ෂිතභාවය හා ස්‌වෛරීභාවය ද රටකට වැදගත් වන බැවිනි.

http://www.vidusara.com/2016/11/02/news1.html

Monday, October 24, 2016

මිශ්‍ර ප්‍රතිඵල අත් කර දුන් CITES සමුළුව

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 19.10.2016

(Vidusara, 19.10.2016, CITES Summit resulted mixed results)
http://www.vidusara.com/2016/10/19/feature1.html




CITES හෙවත් තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂයන්ට අදාළ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ (Convention on the International Trade in Endangered Species of Wild Fauna and Flora) අරමුණ වන්නේ වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම ය. වර්තමාන ලෝකයේ මුල් පෙළේ නීති විරෝධී ව්‍යාපාරයක්‌ ලෙස හැඳින්වෙන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම, ඒ ජීවී විශේෂවල වඳ වී යැම වළක්‌වා සංරක්‌ෂණය කිරීම සඳහා වැදගත් බව මේ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.

මේ සම්මුතියේ වසර තුනකට වරක්‌ පැවැත්වෙන එහි පාර්ශ්වකරුවන් ගේ සමුළුව පසුගිය සතියේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්‌බර්ග් නගරයේ දී අවසන් විය. එම සමුළුවේ දී ඇති කරගත් එකගතා පිළිබඳව සැලකූ විට පෙනෙන්නේ ඇතැම් ජීවී විශේෂයන්හි ආරක්‌ෂාව පිළිබඳව සතුටුදායි ප්‍රතිඵල අත්පත් කර දුන්න ද, තවත් ජීවී විශේෂ සම්බන්ධව එතරම් සතුටුදායක ප්‍රතිඵල අත්පත් කරගෙන නොමැති බවයි. මේ ලිපිය CITES සමුළුව පිළිබඳව සිදු කරන විමසා බැලීමකි.

වැඩි ආරක්‌ෂාවක්‌ ලැබුණු ජීවීන්


මේ සමුළුවේ දී සම්මත වූ යෝජනාවලට අනුව මේ වන විට නීති විරෝධී වෙළෙඳාම නිසා තර්ජනයට ලක්‌ ව සිටින විශේෂ ගණනාවකට

රැකවරණයක්‌ ලැබී තිබේ. මීට ඈයන්, රෝස්‌වුඩ් ශාක හා මෝරුන් හා මඩු විශේෂ වැනි සත්ත්ව කාණ්‌ඩ ඇතුළත් වේ.

අද ලෝකයේ වැඩි වශයෙන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරනු ලබන සත්ත්ව විශේෂ අතර ඈයන් මුල් තැනක්‌ ගනියි. ඒ, ඈයන් ගේ මස්‌, ශල්ක හා ඔසුවක්‌ ලෙස භාවිත කිරීම සඳහා වෙනත් දේහ කොටස්‌ යොදාගැනීම නිසා ය. මේ සඳහා වැඩි ම ඉල්ලුම ඇත්තේ චීනයේ හා වියට්‌නාමයේ ය. පසුගිය දශකයක කාලය ඇතුළත ඈයන් මරා දැමීම ඉහළ ගොස්‌ ඇත. මේ වන විට ආසියාවේ ජීවත් වන ඈයන් විශේෂ හතර ම දැඩි තර්ජනයකට ලක්‌ ව ඇති අතර, ජාවාරම්කරුවන් ගේ අවධානය දැන් අප්‍රිකාව වෙත යොමු වී තිබේ. වාසනාවකට මෙන් උක්‌ත සමුළුවේ දී ඈයන් වෙළෙඳාම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව ඈයන් සම්මුතියේ I වැනි උපලේඛනයට මේ විශේෂ ඇතුළත් කිරීමෙනි.

රෝස්‌වුඩ් ලෙස පොදුවේ හඳුන්වනු ලබන රතු පැහැති දැව ලබාගන්නා ශාක විශේෂ ද මෑත කාලයේ දී අධික ලෙස හෙළන ලද ශාක අතර වේ. ගෘහභාණ්‌ඩ සෑදීම සඳහා යොදාගැනීමට ඇති ඉල්ලුම නිසා ලෝකයේ රටවල් ගණනාවක දැකිය හැකි මේ ශාක දැඩි ලෙස තර්ජනයට ලක්‌ ව තිබේ. අග්නිදිග ආසියානු රටවල වනාන්තරවල මේ ශාක අධික තර්ජනයට ලක්‌ ව ඇති අතර, වෙනත් රටවල් 80ක පමණ දැකිය හැකි මේ ශාක පිළිබඳව නීති විරෝධී ජාවාරම්කරුවන් ගේ අවධානය මේ වන විට යොමු වී ඇත. මේ ගෘහභාණ්‌ඩ සඳහා අධික ඉල්ලුමක්‌ ඇත්තේ චීනයේ වන අතර මේ දැව නිෂ්පාදන ඉහළ මිල ගණන්වලට අලෙවි වේ. මෙවර සමුළුවේ දී සම්මත වූ යෝජනාවකට අනුව රෝස්‌වුඩ් ලෙස හඳුන්වන ශාක විශේෂ 300ක්‌ පමණ වෙළෙඳාම පාලනය සඳහා පියවර ගෙන ඇත. මේ අනුව නීති විරෝධී ලෙස හෙළන ලද දැව නීතිමය ආකාරයෙන් ප්‍රවාහනය කිරීම තහනම් වේ.

මේ අතර මෝර විශේෂ දෙකක්‌ හා මඩු විශේෂයක්‌ ද මෙවර සමුළුවේ දී වැඩි ආරක්‌ෂාවක්‌ ලබා ඇත. ආහාරය සඳහා වරල් ලබාගැනීම පිණිස මෝරුන් දඩයම් කරනු ලැබේ. ඒ සඳහා ඉහළ ඉල්ලුමක්‌ ඇත්තේ ද ආසියානු කලාපයේ ය. මේ නව යෝජනාවට අනුව මෝර වරල් ලබාගැනීමට දඩයම් කරනු ලබන මෝරුන් අතරින් 20%ක්‌ පමණ දැන් පාලනයට ලක්‌ වී තිබේ. මේ අනුව මෝර මසුන් ගේ අස්‌වනු පාලනයකට යටත් වන ඇති අතර, නිරීක්‌ෂණය කරනු ලැබේ. ඒවා තිරසර ආකාරයෙන් ලබාගත හැකි ද යන්න මෙහි දී අවධානයට ලක්‌ ව ඇත.

සුරතල් සතුන් ඇති කිරීම සඳහා අල්ලාගැනීම නිසා ස්‌වාභාවික පරිසරයේ දැඩි ලෙස තර්ජනයට ලක්‌ ව ඇති අප්‍රිකානු අළු ගිරවා සඳහා ද මෙවර සමුළුවේ දී දැඩි ආරක්‌ෂාවක්‌ ලැබී ඇත.

අසාර්ථක වූ ප්‍රයත්න


කෙසේ වෙතත් ඇතැම් යෝජනා සාර්ථක නො වූ බව ද සඳහන් කළ යුතු වේ.

අලි ඇතුන් සම්බන්ධව ඉදිරිපත් වූ යෝජනා මේ සමුළුවේ වැදගත් ම මාතෘකාවක්‌ විය. සිය රටවල අලි ගහනය යථා තත්ත්වයට පත් ව ඇති බැවින් ඇත් දළ වෙළෙඳාම සිදු කිරීමට අවස්‌ථාව ලබා දෙන මෙන් අප්‍රිකානු රටවල් හතරක්‌ යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබිණි. මේ රටවල අලි ඇතුත් ඇතුළත් වන්නේ සම්මුතියේ II වැනි උපලේඛනයට ය. එනම් අඩු ආරක්‌ෂාවක්‌ ඇති ලේඛනයට ය. මේ යෝජනාවේ ප්‍රකාශිත අරමුණ වූයේ ඉන් ලැබෙන මුදල් සංරක්‌ෂණ අවශ්‍යතා සඳහා යොදාගැනීම ය. ඒ අතර අප්‍රිකානු රටවල් 29ක්‌ ඉදිරිපත් කළ තවත් යෝජනාවකින් ඉල්ලා තිබුණේ සමස්‌ත අප්‍රිකාවේ ම වෙසෙන අලි ඇතුන්ට වැඩි ආරක්‌ෂාවක්‌ ලබා දීම සඳහා සම්මුතියේ I වැනි උපලේඛනයට ඇතුළත් කිරීම ය. අප්‍රිකා මහාද්වීපයේ ම රටවල් කිහිපයක අඩු ආරක්‌ෂාවක්‌ තිබීම සංරක්‌ෂණයට උදෙසා වැදගත් බව ඔවුන් ගේ අදහස විය. විශේෂයෙන් මෑත වසර කිහිපයක කාලයේ දී ඇත් දළ ලබාගැනීම සඳහා විශාල ලෙස මරාදැමීම නිසා අප්‍රිකානු අලි ගහනය විශාල ලෙසින් අඩු වී ඇති බව දක්‌වා තිබිණි. කෙසේ වෙතත් අවසානයේ දී මේ යෝජනා දෙක ම සමුළුවේ දී පරාජයට පත් විය. දෙවැනි යෝජනාව සම්බන්ධයෙන් ගෙන ආ තර්කයක්‌ වූයේ යහපත් ගහනයක්‌ ඇති රටවල අලින් වැඩි ආරක්‌ෂාවක්‌ ඇති කාණ්‌ඩයට ඇතුළත් කිරීම සම්මුතියේ ප්‍රතිපත්තිවලට ගැටලුවක්‌ ඇති කරන්නක්‌ වීම ය.

එසේ ම සියලු ම අප්‍රිකානු සිංහයන් සඳහා වැඩි ආරක්‌ෂාවක්‌ ලබා දීමට ගෙන ආ යෝජනාවක්‌ මේ සමුළුවේ දී පරාජයට පත් විය. මේ වන විට පවත්නා නීති අනුව ස්‌වාභාවික පරිසරයේ වෙසෙන සිංහයන් ගේ ශරීර කොටස්‌ වෙළෙඳාම් කිරීම නීතියෙන් තහනම් වුව ද ඇති කරනු ලබන සිංහයන් සඳහා එය අදාළ නො වේ.

කෙසේ වෙතත් අලි ඇතුන් සම්බන්ධව වැදගත් යෝජනාවක්‌ මෙවර සමුළුවේ දී සම්මත විය. ඒ දේශීය ඇත් දළ වෙළෙඳපොළ වසා දැමීය යුතු ය යන යෝජනාවයි. දේශීය වෙළෙඳපොළ පාලනය කරන ලද්දක්‌ වුව ද, එමගින් නීති විරෝධී ඇත්දළ වෙළෙඳාමට අවස්‌ථාවක්‌ සැපයීම නිසා මෙය වැදගත් තීරණයකි. ලෝකයේ ඇත් දළ සඳහා ඇති ඉහළ ම වෙළෙඳපොළක්‌ වන චීනය ද සිය දේශීය වෙළෙඳපොළ වසා දැමීම පිළිබඳව ඉදිරියේ දී කටයුතු කරනු ඇතැයි අපේක්‌ෂිත ය. ඒ අනුව ඇත් දළ වෙළෙඳාම පාලනය කිරීමට මේ යෝජනාව වැදගත් වනු ඇති බව සිතිය හැකි ය.

සාර්ථක සංරක්‌ෂණ ප්‍රයත්න


මෙවර සමුළුවේ දී සාර්ථක සංරක්‌ෂණ පියවර කිහිපයක්‌ ද අවධානයට ලක්‌ විය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇමෙරිකාවේ බයිසන් උප විශේෂයක්‌ වන වුඩ් බයිසන් ගහනය මේ වන විට යථා තත්ත්වයට පත් ව ඇති බැවින් ආරක්‌ෂිත ලේඛනයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාවක්‌ මෙවර සම්මත වී තිබේ.

එසේ ම දකුණු අප්‍රිකාව විසින් කේප් කඳුකර සීබ්‍රා සතුන් සඳහා මෙතෙක්‌ පැවැති දැඩි ආරක්‌ෂාව ඉවත් කරන මෙන් ඉල්ලා තිබූ අතර, ඒ යෝජනාව ද සම්මත වී තිබේ. මේ වන විට උක්‌ත සතුන් ගේ ගහනයේ වර්ධනයක්‌ දැකිය හැකි ය. විනෝදය සඳහා දඩයම් කිරීමට (trophy hunting) මේ සතුන් යොදාගැනීම තහනම ඉවත් කිරීම සඳහා කළ ඉල්ලීමට හේතුවකි. එය විශේෂයෙන් පෞද්ගලික ආරක්‌ෂිත ප්‍රදේශවල සිදු කරන සංරක්‌ෂණ කටයුතු සඳහා උපකාරී වන බව මේ රටවල අදහසයි.

CITES සම්මුතිය හා එහි උපලේඛන


1973 වර්ෂයේ දී ඇති කරගත් CITES සම්මුතියේ අරමුණ වන්නේ ස්‌වාභාවික පරිසරයේ වෙසෙන සතුන් හා ශාක ජාත්‍යන්තර වෙළෙඳාම එම ජීවීන් ගේ පැවැත්මට බලපෑමක්‌ නො වන බව තහවුරු කිරීමයි. මේ වන විට ලෝකයේ රටවල් 183ක්‌ මේ සම්මුතියට එක්‌ වී තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳාම නිසා දැඩි ලෙස තර්ජනයට ලක්‌ ව ඇති විවිධ සත්ත්ව විශේෂ 5,600ක්‌ පමණ හා ශාක විශේෂ 35,000ක්‌ පමණ ප්‍රමාණයකට සම්මුතියෙන් විවිධ මට්‌ටමේ ආරක්‌ෂාවක්‌ ලබා දී තිබේ. ඒ උපලේඛන තුනක්‌ ඔස්‌සේ ය. ඉන් වඩාත් වැදගත් වන්නේ I හා II වැනි උපලේඛන ය. මේ උපලේඛනවලට ජීවීන් ඇතුළත් කිරීම හා ඒවා අතර හුවමාරු කිරීම සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ සමුළුවල දී සම්මත වන යෝජනා අනුව සිදු කරනු ලැබේ.

I වැනි උපලේඛනය - මේ උපලේඛනයට අයත් වන්නේ මිහිතලයෙන් වඳ වී යැමේ ඉහළ ම තර්ජනයට ලක්‌ ව ඇති ශාක හා සත්ත්ව විශේෂ ය. වාණිජමය අවශ්‍යතා සඳහා මේ විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම තහනම් වේ. කෙසේ වෙතත් විද්‍යාත්මක අවශ්‍යතා වැනි සුවිශේෂ අවශ්‍යතා සඳහා මේ විශේෂ වෙළෙඳාම කළ හැකි ය. ඒ සඳහා අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද ආනයන බලපත්‍රයක්‌ හා අපනයන බලපත්‍රයක්‌ යන දෙක ම අවශ්‍ය ය.

II වැනි උපලේඛනය - වෙළෙඳාම පාලනය නො කරන ලද්දේ නම් වඳ වීමේ තර්ජනයට ලක්‌ විය හැකි, එහෙත් ඒ වන විට වඳ වීමේ තර්ජනයක්‌ නොමැති සතුන් හා ශාක මීට අයත් ය. මේ ජීවී විශේෂ වෙළෙඳාම් කිරීම අපනයන බලපත්‍රයක්‌ හෝ ප්‍රති-අපනයන බලපත්‍රයක්‌ මගින් සිදු කළ හැකි ය. එවැනි බලපත්‍රයක්‌ නිකුත් කළ යුත්තේ එම වෙළෙඳාම මේ ජීවීන් ගේ ස්‌වාභාවික පරිසරයේ පැවැත්මට හානියක්‌ නො වන්නේ නම් පමණි.

III වැනි උපලේඛනය - මේ උපලේඛනයට යම් විශේෂයක්‌ එක්‌ කරන්නේ එහි වෙළෙඳාම පාලනය කරනු ලබන යම් රටක්‌ එම විශේෂයේ පැවැත්ම උදෙසා වෙනත් රටවල සහාය ලබාගැනීම අවශ්‍ය බව පෙන්වා දුන් විට ය.

http://www.vidusara.com/2016/10/19/feature1.html 

Saturday, October 1, 2016

මිනිසුන් අප්‍රිකාවෙන් කලින් නික්‌මුණු බවට ප්‍රවේණික සාධක තිබේ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 28.09.2016

(Vidusara, 28.09.2016, Is there genetic evidence to an early Out of Africa event?)

http://www.vidusara.com/2016/09/28/feature3.html




නූතන මානවයා හෙවත් Homo sapiens මානවයා අදින් වසර 200,000ක්‌ පමණ කාලයකට පෙර පරිණාමය වී මිහිතලයේ ජනිත වූ අතර, ඔවුන් අප්‍රිකාවෙන් නික්‌මුණේ අදින් වසර 60,000කට (වඩා පුළුල්ව ගත හොත්, වසර 50,000-75,000 අතර කාලයකට) පමණ පෙර බව විද්‍යාඥයන් අතර දැනට ඇති පුළුල් ම පිළිගැනීමයි.

එහෙත්, එක්‌ වරක්‌ නො ව කීප වතාවක්‌ නූතන මිනිසුන් අප්‍රිකාවෙන් නික්‌මී ලෝකයේ විවිධ ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවට මතයක්‌ මෑත කාලයේ දී සිදු කරන ලද පර්යේෂණවල සාධක අනුව ඉදිරිපත් ව ඇත. ඉහත සඳහන් වැඩි පිළිගැනීමක්‌ ඇති කාලයට වඩා පෙර එවැනි නික්‌මීමක්‌ සිදු ව ඇති බව ඒ අනුව යෝජනා කර තිබේ. මෙතෙක්‌ ලැබී ඇති මානව ෆොසිල සාධක මෙන්ම මැදපෙරදිග ප්‍රදේශයෙන් ලැබුණු ශිලා මෙවලම් අනුව නූතන මිනිසුන් වසර 100,000ත් 125,000ත් අතර කාලයක දී අප්‍රිකාවෙන් නික්‌මී ඇති බව අදහස්‌ කර තිබේ. එසේ ම මෑත කාලයේ දී චීනයේ ඩාඕක්‌සියාන් පළාතෙන් ලැබුණු වසර 80,000ක්‌ පමණ පැරැණි මානව දත් නූතන මානවයා ගේ දත් බව පෙන්වා දී ඇත. එසේ ම වෙනස්‌ මානව විශේෂයක්‌ වන නියෑන්ඩර්තාල් මානවයන් හා නූතන මිනිසුන් මිශ්‍ර වූ බවට ද ප්‍රවේණික සාධක ඇති බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. ඒ ප්‍රවේණික මිශ්‍ර වීම අදින් වසර 100,000කට පමණ පෙර කාලයක දී සිදු වන්නට ඇති බව ඒ පර්යේෂකයන් ගේ අදහසයි.

කෙසේ වෙතත්, මෙසේ පැමිණි මුලින් නික්‌මුණවුන් පසුව වඳ වී ගොස්‌ ඇති බව පසුකාලීන නික්‌මීමක්‌ පිළිබඳ අදහස්‌ දක්‌වන විද්‍යාඥයන් ගේ නිගමනයයි. එවැන්නකට වැඩි ඉඩක්‌ ඇත්තේ මානව ප්‍රවේණි ද්‍රව්‍ය සම්බන්ධව මෙතෙක්‌ සිදු කර ඇති පර්යේෂණවලින් අනාවරණය වී ඇති සාධක අනුව අප්‍රිකාවෙන් නූතන මිනිසුන් නික්‌මී ඇත්තේ අදින් වසර 60,000ක්‌ පමණ කාලයකට පෙර බවට වන මතය තහවුරු වන නිසා ය. මේ නිසා මේ පසු කාලයකට අයත් නික්‌මීම ප්‍රධාන නික්‌මීම සේ ද සැලකේ.

මේ පිළිබඳව මෑතක දී සිදු කරන ලද ප්‍රවේණික අධ්‍යයන කීපයකින් ලැබෙන සාධක මෑතක දී ප්‍රකාශයට පත් විය. ඒ අධ්‍යයනවලින් උක්‌ත මතවාද තවදුරටත් සංකීර්ණ වන්නේ ඉන් එක්‌ පර්යේෂණයකින් අප්‍රිකාවෙන් කලින් නික්‌මීමක්‌ ගැන සාධක සැපයීම හා අනෙක්‌ අධ්‍යයන දෙකක්‌ ම පසුව සිදු වූ එක්‌ නික්‌මීමක්‌ පිළිබඳව සාධක ලැබෙන නිසා ය.

කලින් නික්‌මුණු බවට ප්‍රවේණික සාධක


Nature සගරාවේ පළ වූ එක්‌ පර්යේෂණ වාර්තාවකින් දැක්‌වෙන්නේ ලෝකයේ විවිධ මානව ගගහන 148කින් ලබාගත් මානව ගෙනෝම 483ක්‌ පිළිබඳ අධ්‍යයනයක ප්‍රතිඵල ය. මෙහි දී මානව ගහන වෙන් වී යැම් හඳුනාගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක්‌ යොදාගෙන තිබේ. එහි දී පෙනී ගොස්‌ තිබුණේ බොහෝ යුරේසියානුවන් ගේ (Eurasian) DNA පිළිබඳ අධ්‍යයනයවලට අනුව ඔවුන් අප්‍රිකානුවන් ගෙන් ප්‍රවේණිකව වෙන් වී ගොස්‌ තිබුණේ අදින් වසර 75,000ක්‌ තරම් ඉහත කාලයක දී බවයි. එහෙත් පැපුවා නව ගිනියාවේ වෙසෙන පිරිසක ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විශ්ලේෂණයේ දී මේ වෙන් වී යැම ඊට වඩා පෙර කාලයක දී සිදු ව ඇති බවක්‌ පෙනී ගොස්‌ ඇත.

මේ වන විට ද දන්නා පරිදි මේ පැපුවා නව ගිනියාවේ හා ඕෂනියාවේ ඇතැම් දූපත්වල ද වෙසෙන ජනතාව ගේ DNAවලින් සුළු ප්‍රතිශතයක්‌ නියෑන්ඩර්තාල් මානවයාට සමකාලීන මානවයකු වන ඩෙනිසෝවානුවන් ගේ DNA බවයි. එහෙත් මේ ගෙනෝම කොටස ඉවත් කළ පසුව ද පර්යේෂකයන්ට තුන්වැනි ගෙනෝම කොටසක්‌ හමු වී ඇත. මේ ගෙනෝම කොටසේ බහුතරය අදින් වසර 60,000කට පමණ පෙර සිදු වූ අප්‍රිකාවෙන් නික්‌මීම හා යම් ගැලපීමක්‌ දැකිය හැකි විය. මේ පර්යේෂකයන්ට අනුව, එම කොටස අතරමැදි ලක්‌ෂණ පෙන්වන අතර, එය වසර 120,000ක්‌ පමණ කාලයකට පෙර අප්‍රිකාවෙන් නික්‌මුණු මිනිසුන් පිරිසක්‌ හා සම්බන්ධ බවට සාධකයක්‌ ලෙස මේ පර්යේෂකයන් නිගමනය කර තිබේ.

එහෙත් මේ ගෙනෝම ප්‍රමාණය වර්තමාන පැපුවා නව ගිනියානුවන් ගේ සමස්‌ත ගෙනෝමයෙන් 2%ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. ඒ නිසා එය කලින් අප්‍රිකාවෙන් සිදු වූ නික්‌මීමක්‌ පිළිබඳව දුර්වල සංඥාවක්‌ සේ මේ පර්යේෂකයන් සලකා ඇත. ඒ පැපුවා නව ගිනියානුවන් ගේ ගෙනෝමයෙන් අතිශය බහුතර ප්‍රතිශතයක්‌ අයත් වන්නේ අප්‍රිකාවෙන් පසුව නික්‌මුණු ප්‍රධාන නික්‌මීමට අදාළ නූතන මානවයාට වීම නිසා ය. මේ අනුව අදාළ සුළු ගෙනෝම කොටස අයත් එසේ අප්‍රිකාවෙන් කලින් නික්‌මුණු මානව කොටසක්‌ වී නම්, ඔවුන් අද වන විට වඳ වී ගොසිනි. එහෙත් එම සුළු ප්‍රවේණික ද්‍රව්‍ය කොටස ද අද වෙසෙන පැපුවා නව ගිනියානුවන් අතර දැකිය හැකි බැවින් අප්‍රිකාවෙන් මුලින් නික්‌මුණවුන් ගෙන් පැවත ආ පිරිසක්‌ එම ප්‍රදේශයට නූතන මානවයා ගේ පසුකාලීන පැමිණීම දක්‌වා ඉතිරි ව සිටි බව පිළිගත හැකි ය. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature19792)

තනි නික්‌මීමකට සාධක සපයන පර්යේෂණ දෙකක්‌


කෙසේ වෙතත් Nature සගරාවේ ම පළ වූ තවත් ප්‍රවේණික අධ්‍යයන දෙකකින් පැවසෙන්නේ නූතන මිනිසුන් අප්‍රිකාවෙන් නික්‌මී ඇත්තේ එක්‌ වරක්‌ පමණක්‌ බවයි.

මින් පළමු අධ්‍යයනය සඳහා අදාළ පර්යේෂකයන් යොදාගෙන ඇත්තේ ලෝකය පුරා වෙසෙන විවිධ කුඩා ජන කණ්‌ඩායම් 142ක්‌ පමණ පිරිසක ගේ ගෙනෝම 300ක්‌ පමණ ප්‍රමාණයකි. මේ ජන කණ්‌ඩායම් මෙතෙක්‌ ප්‍රවේණික වශයෙන් අඩුවෙන් අධ්‍යයනය කර තිබූ මානව ගහන වේ. මේ අධ්‍යයනයේ එක්‌ නිගමනයක්‌ වන්නේ අද වෙසෙන අප්‍රිකානු නො වන සියලු මිනිස්‌ ගහන පැවත එන්නේ අප්‍රිකාවෙන් නික්‌මුණු තනි ගහනයකින් බවයි. ඔවුන් එසේ පවසන්නේ, අප්‍රිකාවෙන් කලින් නික්‌මුණු පිරිසක්‌ සම්බන්ධව ප්‍රවේණික සාධක නොමැති නිසා ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, වඩා කලින් අප්‍රිකාවෙන් මුල් නික්‌මීමක්‌ සිදු වුව ද ඒ මිනිසුන් ගෙන් වර්තමාන මානව ගහනයට සැලකිය යුතු ප්‍රවේණික බලපෑමක්‌ සිදු වී නොමැත. එසේ ම ඔස්‌ටේ්‍රලියානු, නව ගිනියානු හා අන්දමන් ආදිවාසි ජනතාව ගේ ප්‍රවේණික ද්‍රව්‍ය අනුව ඔවුන් එවැනි මුල්කාලීන නික්‌මීමකින් පිට වුණු මිනිසුන් ගෙන් පැවත එන බවට සැලකිය යුතු තරම් සාධක මේ අධ්‍යයනයෙන් ලැබී නොමැත. එසේ ම ඔවුන් ගේ නූතන මානවයාට ඇති සම්බන්ධය සෙසු අප්‍රිකානු නො වන මිනිසුන් මෙන්ම එක ම ප්‍රභවයකින් පැවත එන බවට සාධකයකි (මූලාශ්‍රය: Nature, 2016; DOI:10.1038/nature18964).

මේ විෂය පිළිබඳව සිදු කර ඇති තවත් අධ්‍යයනයකින් පෙනී ගොස්‌ ඇත්තේ ද තනි ව්‍යාප්තියක්‌ පිළිබඳව ඇති සාධකවලට වැඩි තැනක්‌ හිමි වන බවයි. එහි දී අවධානය යොමු කර තිබුණේ ඔස්‌ටේ්‍රලියාවේ වෙසෙන ආදිවාසීන් 83ක ගේ හා පැපුවා නව ගිනියාවේ වෙසෙන ආදීවාසින් 25 දෙනකු ගේ ගෙනෝම පිළිබඳ ව ය. මේ අනුව අදාළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ කණ්‌ඩායම ද අප්‍රිකාවෙන් නික්‌මුණු එක ම පිරිසක ගෙන් පැවත එන බවයි. ඔවුන් අප්‍රිකාවෙන් නික්‌මුණු සෙසු යුරේසියානුවන් ගෙන් වෙන් වී ගොස්‌ ඇත්තේ අදින් වසර 51,000ත් 72,000ත් අතර කාලයක දී ය. එනම් නූතන මිනිසුන් අප්‍රිකාවෙන් පිටතට පැමිණ කෙටි කාලයක්‌ ඇතුළත ය. එම වෙන් වීමට හේතු වන්නට ඇත්තේ පාරිසරික සාධක බව පෙන්වා දී තිබේ. එසේ වෙන් ව ගිය පිරිස ඉන් පසුව ඒ වන විට සිටි වෙනත් පැරැණි මානව ගහන හා මිශ්‍ර වී ඇති බවට ද සාධක දක්‌වා ඇත. එසේ ම ඔස්‌ටේ්‍රලියානු හා නව ගිනියානු මානවයන් එකිනෙකා ගෙන් වෙන් වී ඇත්තේ අදින් වසර 10,000ත් 32,000ත් අතර කාලයේ දී ය. (ඔස්‌ටේ්‍රලියාව හා පැපුවා නව ගිනියාව භූගෝලීය වශයෙන් වෙන් වන්නේ අදින් වසර 10,000කට පමණ ඉහත දී ය). එසේ ම මේ වෙන් වීමෙන් පසුව ඔස්‌ටේ්‍රලියානු ආදිවාසීන් අතර ඉහළ ප්‍රවේණික විවිධත්වයක්‌ ඇති වී තිබේ. (මූලාශ්‍රය:Nature, 2016; DOI: 10.1038/nature18299)

සමාලෝචනය


මේ පර්යේෂණ වාර්තා තුන සමාලෝචනය කළ විට අපට පෙනෙන්නේ වර්තමානයේ අප්‍රිකාවෙන් පිටත වෙසෙන නූතන මිනිසුන් එක්‌ වරක්‌ අප්‍රිකාවෙන් නික්‌මුණු මිනිසුන් පිරිසක ගෙන් පැවත එන්නවුන් බව ය. මේ ලිපියේ සඳහන් වන මුල් ම පර්යේෂණයේ දැක්‌වෙන පරිදි, නූතන මිනිසුන් අප්‍රිකාවෙන් කලින් නික්‌මුණු බවට ප්‍රවේණික සාධක ඇතත් ඒවා අදාළ ජන කොටසේ සමස්‌ත ගෙනෝමයෙන් 2%ක්‌ තරම් සුළු ප්‍රමාණයකි. එම පැරැණි නික්‌මීමට අදාළ මිනිසුන්ට සම්බන්ධ ප්‍රවේණික සාධක අද වෙසෙන මිනිසුන් අතර අඩු වශයෙන් හමු වීමෙන් පෙනෙන්නේ පසු කලක එම කණ්‌ඩායම මුළුමනින් ම වඳ වී ගිය බවයි. එම පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයෝ ද මේ අදහස පිළිගනිති. අනෙක්‌ අතට ඉහත දැක්‌වූ අනෙක්‌ ප්‍රවේණික පර්යේෂණ දෙකෙන් ම පෙන්වා දෙන්නේ ද නූතන මිනිසුන් අප්‍රිකාවෙන් එක්‌ වරක්‌ පමණක්‌ නික්‌මුණු පිරිසක ගෙන් පැවත එන බවයි.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ඉහත දැක්‌වූ පර්යේෂණ වාර්තා තුනෙන් ම පැහැදිලි වන්නේ අද අප්‍රිකාවෙන් පිටත වෙසෙන මිනිසුන් අප්‍රිකාවෙන් නික්‌මී ඇත්තේ එක්‌ වරක දී බවට ඇති මතවාදය තවදුරටත් වලංගු වන බවයි. ඒ අනුව අද වෙසෙන නූතන මිනිසුන් අදින් වසර 60,000කට පමණ පෙර (වඩා පුළුල් ව ගත් විට වසර 50,000-75,000 අතර කාලයේ දී) අප්‍රිකාවෙන් නික්‌මී ඇත.

http://www.vidusara.com/2016/09/28/feature3.html

Tuesday, September 27, 2016

The Date of the Martello Tower in Hambantota

Citation: Dhanesh Wisumperuma, The Date of the Martello Tower in Hambantota, Journal of the Royal Asiatic Society of Sri Lanka, Vol 60, Part 1, 2015, pp. 62-76.

Abstract

The Martello Tower in Hambantota in southern Sri  Lanka is the sole example of this fortification type in the country. It is a two storied, round gun-tower on a small hill, designed to be used as a defence structure. Although many agree that this is a British construction, the precise date of this tower was not known mainly due to the lack of records and the fact that several dates between 1796 and 1803 were proposed by various authors. The first mention of its existence was a record from 1806. This  paper attempts to present documentary evidence for the date of the construction of the tower. According to records, the construction of the Martello Tower in  Hambantota commenced after September 1804 and it was still under construction by May 1805. The construction of the tower was an idea of Major General  D.D. Wemyss, Commander of the Forces in Ceylon, who ordered Lt. William Gosset of the Royal Engineers to construct a round tower to accommodate fifty people. It is evident that this tower was not used by the British for defence from the attacks of the Kandyans in Hambantota in 1803, and in fact, the need for such a defensive structure was prompted by those attacks. It appears that this tower has not been tested for enemy attacks.


Full paper (PDF): https://www.academia.edu/12628783/The_Date_of_the_Martello_Tower_in_Hambantota  

Monday, September 19, 2016

ලෝක මානව පියසටහන ඉහළට

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 14.09.2016

(Vidusara, 14.09.2016, Global human footprint increases)

http://www.vidusara.com/2016/09/14/feature2.html


ජනගහනයේ වර්ධනයත් සමග පරිසරයට මිනිසුන් ගෙන් සිදු වන බලපෑම ඉහළ යන බව අමුතුවෙන් පැවසිය යුතු නැත. මානව අවශ්‍යතා සමග පරිසරයට සැලකිය යුතු බලපෑමක්‌ ඇති වේ. මිනිස්‌සු පරිසරයෙන් විවිධ ස්‌වාභාවික සම්පත් උකහාගනිති. එසේ ම පරිසරයට විවිධ දේ බැහැර කරති. මේ බලපෑම නිසා ස්‌වාභාවික පරිසර පද්ධතිවලට ඇති වන බලපෑම අහිතකර එකක්‌ විය හැකි ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජෛව විවිධත්වයට ද යම් අහිතකර බලපෑමක්‌ ඇති වීමේ අවදානමක්‌ ද පවතී.

ගෝලීය මානව පියසටහන (Global Human Footprint&) යනු මිනිසුන් විසින් පරිසරයට ඇති කරනු ලබන බලපෑම පෙන්වා දෙන එක්‌ සංකල්පයක්‌ හෙවත් සිතියමක්‌ ලෙස දැක්‌විය හැකි ය. එම සිතියමේ එක්‌ එක්‌ වර්ණවලින් අදාළ බලපෑමේ තරම දැක්‌වේ. 2002 වර්ෂයේ දී පළමුව හඳුන්වා දෙන ලද මේ සංකල්පයට අනුව, පරිසරය පිළිබඳව මිනිසුන් ගේ පීඩනය පෙන්වා දෙන භෞමික දත්ත අතර වැදගත් එකතුවක්‌ සේ සැලකිය හැකි එකකි. (මේ සංකල්පය හා මිනිසුන් විසින් පොළොවේ පරිසර පද්ධති මත ඇති කරනු ලබන බලපෑම පිළිබඳ මිනුමක්‌ වන පාරිසරික පියසටහන (ecological footprint) යනු වෙනස්‌ සංකල්ප දෙකකි.)

ගෝලීය මානව පියසටහනේ මෑතකාලීන වර්ධනය පිළිබඳව විමර්ශනය කරමින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට මෙහි නිෂේධනීය බලපෑමක්‌ ඇති වී තිබෙන බව සත්‍ය වුව ද, මේ සම්බන්ධයෙන් දැකිය හැකි යම් යම් වර්ධනයක්‌ ද නැතිවා ම නො වේ.

මේ අධ්‍යයනයේ දී මානව පියසටහන විදහා දැක්‌වෙන සිතියමක්‌ සකස්‌ කර තිබේ. ඒ කරුණු අටක්‌ සම්බන්ධව දත්ත එක්‌ කිරීමෙනි. මෙහි දී මානව පරිසරය, වගා බිම්, තෘණ භූමි, මානව ජන ඝනත්වය, රාත්‍රී ආලෝකය. දුම්රිය මාර්ග, මහා මාර්ග හා යාත්‍රා කළ හැකි ජලමාර්ග යන විචල්‍යයන් පිළිබඳ දත්ත පිළිබඳව දුරස්‌ථ සංවේදනය මගින් ලබාගන්නා ලද දත්ත හා භූමියේ සිදු කරන ලද සමීක්‌ෂණ මගින් ලබාගත් දත්ත යොදාගෙන ඇත. එම දත්ත 1993 වර්ෂයේ දී සිදු කරන ලද සමීක්‌ෂණයකින් හා 2009 වර්ෂයේ දී සිදු කරන ලද සමීක්‌ෂණයකින් ලබාගත් දත්ත වේ.

වෙනස්‌කම් බරපතළයි, එහෙත්...


මේ සමග පළ වී ඇති 1 වැනි සිතියමේ දැක්‌වෙන්නේ මානව පියසටහනේ 2009 දී පැවැති තත්ත්වයයි. එහි දී 0 සිට 50 දක්‌වා වන වර්ණ පරිමාණයක්‌ යොදාගෙන තිබේ. 0ට ආසන්න අගයකින් දැක්‌වෙන්නේ පියසටහන අඩු අගයක්‌ ගන්නා බව වන අතර, එහි අදහස මානව බලපෑම අඩු ය යන්න ය. ක්‍රමයෙන් 50 දක්‌වා ඉහළ යැමෙන් පැවසෙන්නේ පියසටහනේ අගය ඉහළ යන බව හෙවත් මානව බලපෑම ඉහළ යන බවයි. ඒ අනුව ලෝකයේ විවිධ ප්‍රදේශවල මානව පියසටහන හඳුනාගත හැකි ය. එසේ ම 2 වැනි සිතියමේ දැක්‌වෙන්නේ 1993-2009 අතර කාලයේ දී මානව පියසටහන වෙනස්‌ වී ඇති ආකාරයයි.

මෙහි දී හෙළි ව ඇති පරිදි, 1993 හා 2009 අතර කාලයේ දී ගෝලීය මානව පියසටහන 9%ක්‌ පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇත. එහි අර්ථය වන්නේ මිනිසුන් පරිසරයට සිදු කරන බලපෑම ඉහළ ගොස්‌ ඇත යන්න ය. වාසනාවකට මෙන් මානව පියසටහන වර්ධනය වී ඇති වේගය ජනගහනය වර්ධනය වූ වේගය තරම් ම වේගවත් නැත. 1993-2009 අතර කාලයේ දී මානව ජනගහනය 23%ක්‌ පමණ ප්‍රමාණයකින් වර්ධනය වී ඇති අතර, ආර්ථිකය 153%කින් පමණ වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත්, ලෝකයේ සියලු පරිසර කලාප අතරින් 71%ක්‌ පමණ ප්‍රමාණයක මානව පියසටහන කැපී පෙනෙන ලෙස, එනම් 20%කට අධික ප්‍රමාණයකින්, ඉහළ ගොස්‌ තිබේ. එනම්, ඒ ප්‍රදේශවල පරිසරයට ඇති වන මානව පීඩනය ඉහළ ගොස්‌ ඇත. මේ මානව පියසටහන වර්ධනය වී ඇති ආකාරයේ ලෝකයේ තැනින් තැනට ස්‌ථානීය වශයෙන් විශාල වෙනස්‌කම් දැකිය හැකි ය. වැඩි ම බලපෑමක්‌ ඇති බියෝම වන්නේ බටහිර යුරෝපයේ, නැෙගනහිර ඇමෙරිකාවේ හා චීනයේ දැකිය හැකි පළල් පත්‍ර සෞම්‍ය කලාපීය වනාන්තර, ඉන්දියාවේ හා බ්‍රසීලයේ ඇතැම් ප්‍රදේශවල දැකිය හැකි නිවර්තන වියළි වනාන්තර හා අග්නිදිග ආසියාවේ දැකිය හැකි තෙත් නිවර්තන වාන්නතර ය.

එසේ ම අඩු ම මානව බලපෑමක්‌ ඇති කලාප ප්‍රමාණය මෑත කාලයේ දී විශාල වශයෙන් අඩු වී ඇති අතර, මානව බලපෑමේ අඩු වීමක්‌ හෙවත් පියසටහනේ 20%ට වඩා අඩු වීමක්‌ දැකිය හැකි වී ඇත්තේ 3%ක්‌ පමණ ප්‍රමාණයක පමණි. මේ වන විට දැකිය හැක්‌කේ මධ්‍යාක්‌ෂාංශ හා තුන්ද්‍රd බියෝමවල, සහරා, ගෝබි හා ඔස්‌ටේ්‍රලියානු කාන්තාරවල හා ඇමසන් හා කොංගෝ නිම්නයේ වඩාත් දුෂ්කර ව පිහිටා ඇති නිවර්තන තෙත් වනාන්තර ප්‍රදේශවල ය. (මෙහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල මානව පියසටහන 32%ක්‌ දක්‌වා අඩු වී තිබේ).

එසේ ම, උක්‌ත අධ්‍යයනයේ දී හෙළි ව ඇති ආකාරයට ජෛව විවිධත්වයෙන් ඉහළ ස්‌ථානවල මේ මානව පියසටහන ඉහළ ගොස්‌ ඇති බව ද පෙනේ. විශේෂයෙන් ජෛව විවිධත්වය අතින් උණුසුම් ස්‌ථානවලට (biodiversity hotspots) ඇති මානව පීඩනය ඉහළ ගොස්‌ ඇති බව මෙහි දී අනාවරණය වී ඇති එක්‌ කරුණකි. එසේ ම තර්ජනයට ලක්‌ වූ පෘෂ්ඨවංශී විශේෂ වාසය කරන ප්‍රදේශ ද මේ ආකාරයෙන් ම දැඩි ලෙස තර්ජනයට ලක්‌ වූ ප්‍රදේශ අතර වේ. මානව බලපෑමක්‌ නැති ප්‍රදේශවලින් ආවරණය වන ප්‍රදේශ ඇත්තේ ලෝකයේ උණුසුම් ස්‌ථාන අතරින් 3%කටත් අඩු ප්‍රදේශයකි. එම බලපෑමට ලක්‌ ව නැති ප්‍රදේශ දැකිය හැක්‌කේ ඉතා දුෂ්කර ප්‍රදේශවල වීම විශේෂ සිදුවීමකි.

දේශපාලනයේ බලපෑම


මේ අධ්‍යයනයේ දී ජනිත සිතියම්වලින් හෙළි වන තවත් අපූරු කරුණු වන්නේ මේ තත්ත්වය සඳහා බලපා ඇති කිසියම් ආකාරයක දේශපාලනයක්‌ ද ඇති බවයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, දියුණු කාර්මික රටවල මානව පියසටහන අඩු මට්‌ටමක ඇති අතර, ස්‌වාභාවික පරිසර පද්ධතිවලට හා ජෛව විවිධත්වයට ඇති වී තිබෙන බලපෑම අඩු ය. එසේ ම, දූෂිත නො වන පාලන තන්ත්‍රයත් ඇති රටවල හෙවත්, දූෂණය පාලනය කර ඇති රටවල තත්ත්වය ද යහපත් බව හෙළි වී ඇත. ඒ අනුව මේ රටවල මානව පියසටහනේ ඉහළ යැමක්‌ සිදු ව තිබේ නම් එය සිදු ව ඇත්තේ වඩාත් සෙමින් බව පෙනේ. ඒ අනුව පෙනෙන්නේ නීතිය මනාව ක්‍රියාත්මක වීම මගින් මානව පියසටහනේ යම් සාධනීය තත්ත්වයක්‌ ඇති වන බවයි.

කෙසේ වෙතත්, මේ දියුණු රටවල වැසියන් ගේ ඒකපුද්ගල සම්පත් පරිභෝජනය ඉතා ඉහළ මට්‌ටමක පවතී. ඒ සඳහා ඔවුන් ගේ මානව පියසටහන වෙනත් රටවල නිෂ්පාදනය කරන භාණ්‌ඩ මත යෑපෙන බවත් ඒ අනුව ඔවුන් ගේ පියසටහන ලෝකයේ වෙනත් රටවල් කරා ද ව්‍යාප්ත වී ඇති බව අමතක කළ නොහැකි කරුණකි. මෙය උක්‌ත අධ්‍යයනයේ දී එතරම් අවධානයකට ලක්‌ කර නොමැත. අප ඉහත සඳහන් කළ පාරිසරික පියසටහන සංකල්පය සත්‍ය තත්ත්වය වඩාත් හොඳින් පෙන්වා දෙන වඩාත් සාධාරණ සංකල්පයක්‌ වන්නේ ඒ නිසා ය.

අනෙක්‌ අතට දුප්පත් රටවල් හා දුර්වල පාලන තන්ත්‍ර ඇති රටවල මානව පිටසටහන ඉහළ වේගයක්‌ ගන්නා බව ද පැවසේ. කෙසේ වෙතත්, මේ රටවල ඒක පුද්ගල සම්පත් පරිභෝජනය පිළිබඳ දත්ත ගත් විට පෙන්වන තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක මේ රටවල් තිබිය හැකි බව පැහැදිලි ය.

මේ සියල්ලෙන් මතු වන පණිවිඩය වන්නේ ලෝකයේ යහපත උදෙසා මානව ජනගහන වේගය පාලනය කළ යුතු බව හා පරිභෝජන රටාව වෙනස්‌ කළ යුතු බවයි. ජනගහන වර්ධන වේගය අඩු කළ යුත්තේ විශේෂයෙන් වේගවත් ජනගහන වර්ධනයක්‌ සහිත අප්‍රිකාවේ හා ආසියාවේ ඇතැම් කලාපවල ය. එසේ ම ඒක පුද්ගල පරිභෝජනයෙන් ඉහළ මට්‌ටමක පසු වන දියුණු රටවල පරිභෝජන රටාව වෙනස්‌ කර පරිභෝජනය අඩු කළ යුතු වේ. (මූලාශ්‍රය: Nature Communications, DOI: 10.1038/ncomms12558, Link)


1වන රූපය - 2009 මානව පියසටහන - (සිතියමේ වර්ණවලින් පියසටහනේ අගය අගය 0 (නිල්) සිට 50 (රතු) දක්‌වා ඉහළ යන අයුරු දැක්‌වේ. පියසටහන අඩු යනු 0ට ආසන්න වීමයි)




2වන රූපය - මානව පියසටහනේ වෙනස්‌ වීම (1993-2009) (මෙහි දී දියුණු වීම යනු යහපත් අතට සිදු වන වර්ධනයක්‌ හෙවත් පියසටහනේ අඩු වර්ධනයකි)

Improve - දියුණු වී ඇත
Slightly mprove- මදක්‌ දියුණු වී ඇත
Slightly degrade - මදක්‌ පිරිහී ඇත
Degraded - පිරිහී ඇත
Highly Degrade - තදින් පිරිහී ඇත


http://www.vidusara.com/2016/09/14/feature2.html

වසර 700කට පෙර කජු කන්න ශිලා මෙවලම් භාවිත කළ කපුචින් වඳුරෝ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.08.2016, පි. 5

(Vidusara, 24.08.2016, Capuchin monkeys used stone tools 700 years ago to eat cashew)

http://www.vidusara.com/2016/08/24/feature2.html




මිනිසුන් හැර වෙනත් සතුන් විවිධ කාර්ය සඳහා විවිධ ආකාරයේ මෙවලම් භාවිත කිරීම පිළිබඳව ලෝකය පුරා සත්ත්ව විද්‍යාඥයන් ගේ අවධානය යොමු වී ඇත්තේ බොහෝ කාලයක පටන් ය. මේ අතරින් පරිණාමිකව මිනිසුන්ට වඩාත් සමීප වඳුරන් ගේ හා වානරයන් ගේ මෙවලම් භාවිතය වඩාත් වැදගත් වේ. මේ පිළිබඳ වැදගත් පර්යේෂණයක තොරතුරු පසුගිය මාසයේ දී වාර්තා විය. එනම්, අප්‍රිකාවෙන් පිටත දී මෙවලම් භාවිත කරන ලද වඳුරන් පිළිබඳව මෙතෙක්‌ වාර්තා වී ඇති පැරැණි ම සාධක සම්බන්ධ ව ය.

ඊසානදිග බ්‍රසීලයේ වෙසෙන කපුචින් වඳුරන් ලෙසින් පොදුවේ හඳුන්වන වඳුරු විශේෂය (Brazilian bearded capuchin monkeys - Sapajus libidinosus) විවිධ අවශ්‍යතා සඳහා ගල් හා කෝටු ආදිය මෙවලම් ලෙසින් භාවිත කරන ආකාරය මෑත කාලයේ දී සත්ත්ව හැසිරීම පිළිබඳව අවධානය යොමු කළ විද්‍යාඥයන් ගේ අවධානයට ලක්‌ වූ කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, සෙරා ඩි කැපිවාරා ජාතික උද්‍යානයේ මේ වඳුරන් වාසය කරන ප්‍රදේශයේ දැකිය හැකි කජු ගෙඩි තලා විවෘත කිරීම සඳහා තරමක්‌ විශාල ගල්, මෙවලමක්‌ ලෙස යොදාගැනීම මේ වඳුරන් ගේ සිරිතක්‌ විය. මේ සතුන් කජු ගෙඩි තලාගැනීම සඳහා ශිලා මෙවලම් හෙවත් ගල් ආයුධ යොදාගත් බව පැහැදිලිව පෙනිණි.

කපුචින් වඳුරන් ගේ මේ හැසිරීම තවදුරටත් නිරීක්‌ෂණය කළ විද්‍යාඥයන්ට තවත් අපූරු කරුණු හෙළිදරව් විය. ඒ අනුව, වඳුරන් මේ ආකාරයෙන් කජු ආහාරයට ගැනීම සඳහා අවශ්‍ය මෙවලම් ලෙස භාවිත කරන ගල් වෙනත් තැන්වල සිට ගෙන එන ඒවා ය. ඒ සඳහා ගල් ලබාගෙන ඇති Rතුමය ගංගාවක්‌ ද අධ්‍යයනයට ලක්‌ කළ ස්‌ථානය ආසන්නයෙන් හඳුනාගැනීමට හැකි වී තිබේ. මෙහි දී ආකාර දෙකක මෙවලම් භාවිත කර ඇති අතර ඒ මිටි (hammer) හා කිණිහිර (anvil) ආකාරයේ මෙවලම් ය. සාමාන්‍යයෙන් මිටියක්‌ ලෙස භාවිත කරන ලද ගලක්‌ එම පරිසරයේ ස්‌වාභාවිකව හමු වූ ගලකට වඩා සිව් ගුණයක්‌ පමණ බර ය. එසේ ම කිණිහිර ලෙස භාවිත කළ ගලක්‌, මිටියකට වඩා සිව් ගුණයක්‌ පමණ බරින් අධික වී තිබේ. එසේ ම දැඩි ගල් වර්ග මිටි සඳහා භාවිත කර ඇති අතර, එතරම් දැඩි නො වූ ගල් වර්ගයක්‌ කිණිහිර ගල සේ යොදාගෙන තිබේ.

මේ ශිලා මෙවලම් වඳුරන් කජු ගස්‌ වෙත ගෙන එන අතර, භාවිතයෙන් පසුව ඒවා කජු ගස්‌ පාමුල අත්හැර දමා හෝ ගස්‌ අතු අතර තබා යන ආකාරය ද නිරීක්‌ෂණය කළ හැකි වී තිබේ. ඒවා යළි යළිත් භාවිත කළ බවක්‌ සිතිය හැකි ය. මෙවැනි කජු ගස්‌ ගොමු සහිත ස්‌ථාන කපුචින් වඳුරන් ගේ කජු සැකසුම් ස්‌ථාන (cashew processing sites) ලෙස මේ පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

වඳුරන් ගේ ශිලා මෙවලම් භාවිතයේ අතීතය


මෙහි දී පර්යේෂකයන් පිරිසකට පැනනැගුණු අපූරු පර්යේෂණ ගැටලුවක්‌ වූයේ මේ කපුචින් වඳුරන් කෙතරම් ඈත කාලයක සිට මෙසේ කජු තලා ආහාරයට ගැනීමට ශිලා මෙවලම් භාවිත කරන්නට ඇති ද යන්න ය. ඒ සඳහා වර්තමානයේ කජු තැලීමට වඳුරන් එන ගස්‌ සහිත ස්‌ථාන හතරක කැණීම් සිදු කිරීමට එම පර්යේෂකයන් කටයුතු කර තිබේ. වර්ගමීටර 35ක ප්‍රදේශයක්‌ මීටර් 0.72ක්‌ පමණ ගැඹුරට කැණීමෙන් පස්‌වලට යට වී තිබුණු එවැනි ශිලා මෙවලම් 69ක්‌ හඳුනාගැනීමට මේ පර්යේෂකයන්ට අවස්‌ථාව ලැබී ඇත.

මේ මෙවලම් ද කජු තැලීම සඳහා යොදාගත් බව හඳුනාගැනීමට බහුවිධ සාධක යොදාගෙන තිබේ. එම ශිලා මෙවලම්වල මතුපිට දැකිය හැකි වූ අඳුරු පැහැගත් ශේෂ කජු ශේෂ නිසා ඇති වූ ඒවා බව ස්‌කන්ධ වර්ණාවලීක්‌ෂ ක්‍රමය මගින් තහවුරු කරගෙන තිබේ. එසේ ම භාවිතය නිසා මෙවලම්වල ඇති වූ හානි හා ගෙවුණු ස්‌වභාවය ද වර්තමානයේ වඳුරන් භාවිත කරන්නා වූ මෙවලම් හා සමාන ය. එසේ ම එම ස්‌ථානවල දැකිය හැකි ස්‌වාභාවික තැන්පතු හා සංසන්දනය කළ විට ඒවායේ දැකිය හැකි නො ගැලපෙන බව ද වර්තමාන මෙන්ම පැරැණි මෙවලම්වලට පොදු කරුණකි. එසේ ම මේ මෙවලම් දෙවර්ගය ම පරිසරයේ තැන්පත් වී තිබූ ආකාරයේ ඇති විසිරුණු ස්‌වභාවය නූතන මෙවලම් මෙන්ම පැරැණි මෙවලම් තැන්පතුවල ඇති තවත් සමානකමකි.

මේ මෙවලම් ලැබුණු ස්‌ථානවලින් ලැබුණු කාල නිර්ණ අතරින් පර්යේෂකයන්ට තවත් තොරතුරු ගෙනැවිත් තිබේ. කැණීම් සිදු කළ එක්‌ ස්‌ථානයකින් ලැබුණු විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව පෙනී ගොස්‌ ඇත්තේ වඩාත් පහළ මට්‌ටමකින් ලැබුණු ශිලා මෙවලම් හමු වී ඇත්තේ වර්ෂ 1266ත් 1423ත් අතර කාලයකට අයත් පස්‌ ස්‌තරයකින් බවයි. ඒ අනුව මේවා අදින් වසර 600-700ක්‌ අතර කාලයකට පමණ ඉහත දී පමණ භාවිත කළ මෙවලම් බවට සැක කළ හැකි ය.

මේ සොයාගැනීමේ වැදගත්කම


මේ සොයාගැනීමේ ඇති වැදගත්කම වන්නේ දකුණු ඇමෙරිකාවේ වෙසෙන වඳුරන් අතරින් මෙවලම් භාවිත කරන එක ම වඳුරු විශේෂය කපුචින් වඳුරන් වීම නිසා ය. එසේ ම අප්‍රිකාවෙන් පිටත ප්‍රදේශයක මිනිසුන් නො වන වෙනත් සතකු මෙවලම් භාවිත කිරීම පිළිබඳව ඇති පැරැණි ම සාධකය මෙය බව මේ පර්යේෂකයන් ගේ මතයයි. මීට පෙර ඇති

පැරැණි ම සාධකය වන්නේ වානරයන් ගේ මෙවලම් භාවිතය සම්බන්ධව වන, වසර 1,300ත් 4,300ත් අතර කාලයක්‌ පමණ පැරැණි අප්‍රිකාවේ බටහිර චිම්පන්සින් ගේ මෙවලම් භාවිතය පිළිබඳ සාධකයකි. මේ අනුව මානව-චිම්පන්සි පවුලේ නො වන සත්ත්වයකු විසින් මෙවලමක්‌ භාවිත කරන ලද පළමු අවස්‌ථාව වේ.

මේ අනුව, කපුචින් වඳුරන් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ - ඇතැම් විට වසර සිය ගණනක්‌ තිස්‌සේ - කජු ආහාරයට ගැනීම සඳහා මෙවලම් භාවිත කිරීමේ යෙදී ඇති බව හෙළි වී තිබේ. ඒ පිළිබඳ ඇති පැරැණි ම කාල වකවානු සැලකූ විට ඒවා යුරෝපීයයන් ඇමෙරිකාව යටත්විජිතයක්‌ කිරීමට පවා පෙර කාල වකවානුවයි. මේ වඳුරු විශේෂය අදත් මේ ආකාරයෙන් කජු ගෙඩි තලා මද ආහාරයට ගැනීම දැකිය හැකි ය.



මේ අනුව එදා සිට මේ දක්‌වා කපුචින් වඳුරු පරම්පරා 100ක්‌ වත් මේ ආකාරයෙන් මෙවලම් භාවිත කර තිබේ. එහෙත් මේ දක්‌වා ශිලා මෙවලම් භාවිතයේ ඇති වී ඇති වෙනස්‌කම් ප්‍රමාණය අල්ප ය. අතීතයේ ඔවුන් තෝරාගත් ද්‍රව්‍ය හා බර ප්‍රමාණ පිළිබඳව සැලකූ විට එදාත් අදත් මෙවලම්වල වෙනස්‌කම් සිදු ව නොමැති තරම් ය. මේ අනුව වඳුරන් ඔවුන් ගේ තාක්‌ෂණය වෙනස්‌ කර නොමැති බවක්‌ පෙනෙන බව පර්යේෂකයන් ගේ අදහස වේ. එහෙත් වඳුරන් ගේ පරම්පරා 100ක කාලය හා සමාන වූ මානව පරම්පරා ගණනක දී ශිලා මෙවලම් හෝ වෙනත් තාක්‌ෂණයක ඇති වන වෙනස්‌කම් හා සංසන්දනය කිරීමේ දී කපුචින් වඳුරන් ගේ කිසිදු තාක්‌ෂණික වර්ධනයක්‌ ඇති වී නොමැති බව පෙනේ.

මේ පර්යේෂකයන් ප්‍රශ්න කරන තවත් අපූරු කරුණක්‌ තිබේ. එනම්, කජු ආහාරයට ගැනීමේ මිනිසුන් ගේ පුරුද්ද කපුචින් වඳුරන් කජු කෑම නිරීක්‌ෂණයෙන් ආරම්භ වූයේ ද යන්න ය. මිනිසුන් කජු ආහාරයට ගැනීම පිළිබඳ සාධක ලැබෙන්නේ වසර 7000ක්‌ පමණ කාලයකට පමණ පෙර සිට පමණ ය. එහෙත් ඒ සාමාන්‍යයෙන් ගින්නේ පලහා ලීමෙන් කජුවල ඇති විෂ සහිත රසායනික අක්‍රිය කිරීමෙනි. මෙවලම් භාවිතයෙන් කජු ආහාරයට ගැනීමට සකසා ගැනීමක්‌ මිනිසුන් අතර අතීතයේ දැකිය නොහැකි වූ බව පැවසේ. මෙවැනි ආවරණයක්‌ සහිත මෙන්ම විෂ සහිත ආහාර ද්‍රව්‍ය සකස්‌ කිරීමේ අවශ්‍යතාව මිනිසුන් අතර ශිලා මෙවලම් තාක්‌ෂණයේ වර්ධනය සඳහා ද හේතු වී ද යන්න විමසිය යුතු බව පර්යේෂකයන් ගේ අදහස ය.

අවසානයේ දී පැවසිය යුතු තවත් අපූරු කරුණක්‌ තිබේ. කපුචින් වඳුරන් අදින් වසර 700කට පමණ පෙර ශිලා මෙවලම් භාවිත කරමින් කජු මද කෑවේ, අද ලෝකයේ විශාල ප්‍රදේශයක වැසියන් ගේ මුතුන්මිත්තන් කජු පිළිබඳව දැනගැනීමට පවා පෙර කාලයක දී බවයි. මක්‌ නිසා ද යත්, ඇමෙරිකාව නිජබිම් කරගත් කජු ශාකය ලෝකයේ සෙසු ප්‍රදේශවලට හඳුන්වා දෙනු ලැබූයේ යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණීමෙන් පසුව හෙවත් 15 වැනි සියවසෙන් පසුව නිසා ය. කජු යුරෝපයට හා ආසියාවට හඳුන්වා දෙන ලද්දේ ඊටත් පසු කාලයක දී ය. අද වන විට ලෝකයේ කජු වගාවේ ප්‍රමුඛයකු වන ඉන්දියාවට කජු හඳුන්වා දෙනු ලැබෙන්නේ 16 වැනි සියවසේ දී පමණ ය. එහෙත්, අඩු වශයෙන් ඊටත් සියවස්‌ දෙක තුනකට පමණ පෙර කපුචින් වඳුරන් කජු තලා කෑ බවට දැන් සාධක තිබේ. (මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2016.05.046, Link)

http://www.vidusara.com/2016/08/24/feature2.html

දේශගුණ වෙනස්‌ වීම, ආහාර නිෂ්පාදනය හා සෞඛ්‍යය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.08.2016

(Vidusara, 03.08.2016, Climate Change, Food production and Health)

http://www.vidusara.com/2016/08/03/feature1.html

ආහාර නිෂ්පාදනය හා දේශගුණය එකිනෙක හා බොහෝ සේ සම්බන්ධ වී ඇති අංශ දෙකකි. එයට හේතුව වන්නේ කෘෂිකාර්මික භෝග වගාවට බලපාන සාධක අතරින් දේශගුණය යනු වැදගත් සාධකයක්‌ වන නිසා ය. අද ලෝකය හමුවේ ඇති බරපතළ පාරිසරික ගැටලුවක්‌ වන දේශගුණ වෙනස්‌ වීම මෙතෙක්‌ පැවැති පාරිසරික තත්ත්වයන් වෙනස්‌ කරමින් ඇති බව පැහැදිලි ය. ඒ අනුව ලෝකයේ කෘෂිකර්මයට හා ඒ නිසා ම ආහාර නිෂ්පාදනයට මෙය කිසියම් බලපෑමක්‌ ඇති කරයි.

මෙය වැදගත් වන්නේ ලෝකය මේ වන විට ද ආහාර නිෂ්පාදනය පිළිබඳ අභියෝගයකට මුහුණ දී ඇති නිසා ය. ලෝකයේ ජනගහනය තවදුරටත් වර්ධනය වෙමින් පවතියි. ලෝකයේ ජනගහන වර්ධන වේගය අතීතයට සාපේක්‌ෂව අඩු වී ඇති බව සත්‍යයකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 1995 වර්ෂයේ දී 1.55%ක්‌ පමණ වූ ලෝකයේ ජනගහන වර්ධන වේගය 2015 වන විට 1.18% දක්‌වා මේ වන විට අඩු වී තිබේ. එහෙත් ලෝක ජනගහනය තවමත් ඉහළ යමින් ඇති අතර, එය 2050 වන විට බිලියන 9.7 දක්‌වා ද, 2100 පමණ වන විට බිලියන 11.2ක්‌ පමණ දක්‌වා ද ඉහළ යනු ඇති බව මේ පිළිබඳව ඇති පුරෝකථන අනුව පෙනේ.

මේ ඉහළ යන ජනගහනය සඳහා අවශ්‍ය තරම් වන ආහාර සැපයුමක්‌ ලබා දීම ලෝකය හමුවේ ඇති අභියෝගයයි. විශේෂයෙන් භූමිය හා ජලය වැනි සම්පත් සීමාසහිත වූ තත්ත්වයක්‌ හමුවේ අස්‌වැන්න ඉහළ නැංවීම සැලකිය යුතු අභියෝගයකි. එවැනි පසුබිමක දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ඇති වන බලපෑම හේතුවෙන් තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි ය. මේ ලිපිය ඒ පිළිබඳ විමසුමකි.

කෘෂිකර්මයට හොඳ ද? නරක ද?


පොදුවේ ගත් විට දේශගුණ වෙනස්‌ වීම කෘෂිකර්මයට හා ආහාර නිෂ්පාදනයට ඇති කරන බලපෑම තරමක්‌ සංකීර්ණ කරුණකි. ඉහළ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ පැවතීම නිසා භෝග ශාකවල අස්‌වැන්න ඉහළ යා හැකි ය. ඒ ප්‍රභාසංශ්ලේෂණ වේගය ඉහළ යැම නිසා ය. එහෙත් අධික උෂ්ණත්වය නිසා ඇතැම් ශාකවල අස්‌වැන්නට හානිකර බලපෑමක්‌ ද ඇති විය හැකි බව මෑත කාලයේ දී සිදු කරන ලද අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.

අනෙක්‌ අතට දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි ආන්තික කාලගුණ තත්ත්ව නිසා භෝග වගාබිම්වලට විශාල ලෙසින් හානි සිදු විය හැකි ය. ඒ නිසා භෝග අස්‌වනු පාලු වීමෙන් ආහාර නිෂ්පාදනය අඩාළ වීම අතීතයට වඩා සුලබ විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ගංවතුර හා නියග වැනි තත්ත්ව අතීතයට වඩා සුලබ වීමත් සමග අස්‌වනු පාලු වීම සඳහා ඇති අවස්‌ථා වැඩි වේ. (මෑත කාලයේ දී ලෝකයේ රටවල් ගණනාවක එවැනි තත්ත්ව ඇති වූ බව වාර්තා විය) එවැනි අවස්‌ථා නිවර්තන කලාපීය රටවල වඩාත් සුලබව දැකිය හැකි ය. අනෙක්‌ අතට ඇතැම් පළිබෝධයන්, වල් පැළෑටි ආදිය වඩා උණුසුම් තත්ත්ව යටතේ වඩාත් හොඳින් ව්‍යාප්ත වීම නිසා ද භෝග අස්‌වනු හානියට පත් වීම නිසා ද ආහාර නිෂ්පාදනයේ යම් අඩාළ වීමක්‌ ඇති විය හැකි ය.

මේ අතර මෑතක දී වාර්තා වූ පර්යේෂණයකට අනුව ඉහළ යන කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයෙන් ලැබෙන තවත් අතුරු ඵලයක්‌ ගැන වාර්තා වේ. ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්‌සයිඩ් වායුව අවශ්‍ය වන අතර ශාක පත්‍රවල පූටිකා විවර හොඳින් විවෘත වී කාබන් ඩයොක්‌සයිඩ් ශාක පත්‍රය තුළට ලබාගැනේa. එහෙත් වායුගෝලයේ අධික කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ ඇති විට මේ පූටිකා එතරම් විවෘත වීම අවශ්‍ය නො වේ. මේ නිසා පූටිකා හරහා සිදු වන උත්ස්‌වේදනය මගින් ශාක පත්‍ර මගින් ජලය හානි වීම ද අඩු වේ. මේ අනුව අධික කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ ඇති පරිසරයක දී ශාකවල ජල භාවිතය කාර්යක්‌ෂම වන බව මේ පර්යේෂණය මගින් අනාවරණය වී ඇත. මේ අනුව දේශගුණ වෙනස්‌ වීමත් සමග ඇති වන ජල ආතතියට මුහුණ දීමට හැකියාවක්‌ ශාකවලට මින් ලැබේ. (Nature Climate Change, DOI: 10.1038/nclimate2995)

කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය


කෙසේ වෙතත් විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් ව, 2014 වර්ෂයේ දී නිකුත් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලයේ (IPCC) පස්‌ වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවට අනුව දේශගුණ වෙනස්‌ වීම කෘෂිකර්මය සඳහා බලපාන ආකාරය අනුව එය ආහාර නිෂ්පාදනය සඳහා බලපාන්නේ කෙසේ ද යන්න මෙසේ සැකෙවින් දැක්‌විය හැකි ය.

පොදුවේ ගත් විට දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි නිෂේධනීය බලපෑම් සාධනීය බලපෑම්වලට වඩා අධික ය. ලෝකයේ ප්‍රධාන භෝග තුනක්‌ වන තිරිඟූ, වී හා ඉරිඟු යන භෝග අස්‌වනු සම්බන්ධව ගත හොත්, නිවර්තන හා සෞම්‍ය කලාපයේ දී ඇති වන බව දක්‌වා ඇති නිශේධනීය බලපෑම් සුබවාදී බලපෑම්වලට වඩා සුලබ වනු ඇත. මේ භෝග හා සම්බන්ධ අස්‌වැන්න පිළිබඳ ගැටලු 2030 වර්ෂය පමණ පටන් ඇති විය හැකි බව පෙන්වා දී ඇත. ඒ අනුව භෝග අස්‌වැන්න දශකයකට 2%ක පමණ ප්‍රමාණයකින් අඩු වීමට ඉඩක්‌ තිබේ. සාධනීය බලපෑම් යෑයි සඳහන් වන බලපෑම් දැකිය හැක්‌කේ ඇතැම් ඉහළ අක්‌ෂාංෂ කලාපවල හෙවත්, සෞම්‍ය කලාපීය ප්‍රදේශවලට වන්නට ය. එහෙත් මේ ප්‍රදේශවල පවා අහිතකර බලපෑම් ඇති නො වන්නේ නො වේ.

භෝග නිෂ්පාදනයේ දී පමණක්‌ නො ව ආහාර නිෂ්පාදනයට අදාළ වෙනත් අංශවලට ද දේශගුණය වෙනස්‌ වීමෙන් බලපෑම් ඇති විය හැකි ය. මත්ස්‍ය නිෂ්පාදනය එවැනි එක්‌ අංශයකි. ලෝකයේ ධීවර කර්මාන්තය සඳහා වැදගත් වන මත්ස්‍ය විශේෂ ගණනාවක්‌ මේ වන විට ද ධ්‍රැව ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් ඇති අතර, නිවර්තන කලාපීය ප්‍රදේශවල මත්ස්‍ය අස්‌වැන්න අඩු වෙමින් පවතී. මේ සිදුවීම් දෙකට ම සාගරයේ ඇති වී තිබෙන වෙනස්‌වීම්වල යම් බලපෑමක්‌ ඇති බව පිළිගැනේ. එසේ ම පශු පාලනය සඳහා ද දේශගුණ වෙනස්‌ වීම නිසා සැලකිය යුතු බලපෑමක්‌ ඇති වන බව පැහැදිලි ය. නියගය, තාප ප්‍රවාහ මෙන්ම ගංවතුර වැනි ආන්තික දේශගුණික තත්ත්ව සත්ත්ව පාලනය සඳහා සීමාකාරී ලෙස බලපෑ හැකි කරුණු අතර වේ. මේ සියල්ල ලෝකයේ එක්‌ එක්‌ ප්‍රදේශවලට වෙනස්‌ ආකාරයෙන් බලපෑම් කරන ආකාරයක්‌ දැකගත හැකි ය.

සෞඛ්‍යය කෙරෙහි බලපෑම


කෙසේ වෙතත් භෝග නිෂ්පාදනයට ඇති වන බලපෑම හේතුවෙන් ආහාර නිෂ්පාදනයටත් ඒ නිසා මිනිසුන් ගේ පෝෂණයට හා සෞඛ්‍යයටත් ඇති විය හැකි බලපෑම සම්බන්ධව ඇති වී ඇත්තේ අඩු අවධානයකි. (වෙනත් ආකාරවලින් සෞඛ්‍යයට එය බලපාන ආකාරය පිළිබඳව වැඩි සාකච්ඡාවක්‌ සිදු වී තිබේ.) මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිකුත් වී ඇති අධ්‍යයනයක්‌ මේ වසර මුල් භාගයේ දී The Lancet සගරාවේ පළ විය. දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම හේතුවෙන් ඇති වන භෝග ඵලදායකත්වය අඩු වීමෙන් මිනිසුන් ගේ ආහාර වේලේ ඇති වන වෙනස්‌කම් ගැන අදහසක්‌ ඉන් ලබාගත හැකි ය.

ආකෘතික අධ්‍යයනයක්‌ වන මේ පර්යේෂණයට අනුව ප්‍රක්‌ෂේපණය කර ඇති අනාගත ආහාර සුලබතාවෙන් තුනෙන් එකක්‌ පමණ ප්‍රමාණයක්‌ අඩු කිරීමට දේශගුණ වෙනස්‌ වීම හේතු විය හැකි ය. මේ අනුව ඒක පුද්ගල ආහාර සුලබතාව 3.2%කින් ද, පලතුරු හා එළවළු පරිභෝජනය 4%කින් ද, මස්‌ පරිභෝජනය 0.7%කින් ද අඩු වීමේ අවදානමක්‌ පවතී. ඒවැනි තත්ත්වයක්‌ නිසා ඇති වන පෝෂණ ඌනතා හා ශරීරයේ බර පිළිබඳ ගැටලු වැනි කරුණු නිසා ලෝකය පුරා වැඩිහිටියන් අවම වශයෙන් 314,000ක්‌ හා උපරිම වශයෙන් 736,000ක්‌ අතර පිරිසක්‌ 2050 වර්ෂය වන විට මිය යා හැකි බව එම අධ්‍යයනය මගින් ගණන් බලා තිබේ. එහි සාමාන්‍යය දැක්‌වෙන්නේ 529,000ක්‌ පමණ පිරිසක්‌ ලෙස ය. මේ පිරිස ගේ මරණ දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධයක්‌ ඇති මරණ සේ දැක්‌වේ. මේ සංඛ්‍යාව වැදගත් වන්නේ මෑතක දී නිකුත් වූ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවකට අනුව 2050 වර්ෂය වන විට අඩු පෝෂණය නිසා සිදු විය හැකි මරණ ගණන ගණන් බලා තිබුණේ 85,000ක්‌ පමණ ලෙස නිසා ය.

මෙසේ ඇති විය හැකි මරණ අතරින් වැඩි ප්‍රමාණයක්‌ ඇති විය හැක්‌කේ බටහිර පැසිµssක්‌ හා ගිනිකොන ආසියාතික කලාපයේ රටවල බව ද පෙන්වා දී ඇත. මේ අතරින් වැඩි ප්‍රමාණයක්‌ අඩු හා මධ්‍ය ආදායම් රටවල ඇති වන අතර, සමස්‌ත මරණ ගණනින් හතරෙන් තුනක්‌ පමණ ම ඇති විය හැක්‌කේ චීනයේ හා ඉන්දියාවේ විය හැකි වීම ද විශේෂ සිදුවීමකි. දේශගුණ අවදානම වැඩි වශයෙන් ඇත්තේ දියුණු වන රටවලට බව යළිත් තහවුරු වීමක්‌ ලෙස මෙය සැලකිය හැකි ය. අනෙක්‌ අතට මෙමගින් පැවසෙන අවදානම නිවැරැදි නම්, එය කල් තබා වටහාගෙන අවශ්‍ය පියවර ගැනීම අදාළ රටවල වගකීම වේ. දේශගුණ වෙනස්‌ වීම නිසා ලෝක ආහාර නිෂ්පාදනයට ඇති විය හැකි බලපෑමේ බරපතළකම මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙයි. (මූලාශ්‍රය( The Lancet, DOI: 10.1016/S0140-6736(15)01156-3)

http://www.vidusara.com/2016/08/03/feature1.html