Monday, September 19, 2016

වසර 700කට පෙර කජු කන්න ශිලා මෙවලම් භාවිත කළ කපුචින් වඳුරෝ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.08.2016, පි. 5

(Vidusara, 24.08.2016, Capuchin monkeys used stone tools 700 years ago to eat cashew)

http://www.vidusara.com/2016/08/24/feature2.html




මිනිසුන් හැර වෙනත් සතුන් විවිධ කාර්ය සඳහා විවිධ ආකාරයේ මෙවලම් භාවිත කිරීම පිළිබඳව ලෝකය පුරා සත්ත්ව විද්‍යාඥයන් ගේ අවධානය යොමු වී ඇත්තේ බොහෝ කාලයක පටන් ය. මේ අතරින් පරිණාමිකව මිනිසුන්ට වඩාත් සමීප වඳුරන් ගේ හා වානරයන් ගේ මෙවලම් භාවිතය වඩාත් වැදගත් වේ. මේ පිළිබඳ වැදගත් පර්යේෂණයක තොරතුරු පසුගිය මාසයේ දී වාර්තා විය. එනම්, අප්‍රිකාවෙන් පිටත දී මෙවලම් භාවිත කරන ලද වඳුරන් පිළිබඳව මෙතෙක්‌ වාර්තා වී ඇති පැරැණි ම සාධක සම්බන්ධ ව ය.

ඊසානදිග බ්‍රසීලයේ වෙසෙන කපුචින් වඳුරන් ලෙසින් පොදුවේ හඳුන්වන වඳුරු විශේෂය (Brazilian bearded capuchin monkeys - Sapajus libidinosus) විවිධ අවශ්‍යතා සඳහා ගල් හා කෝටු ආදිය මෙවලම් ලෙසින් භාවිත කරන ආකාරය මෑත කාලයේ දී සත්ත්ව හැසිරීම පිළිබඳව අවධානය යොමු කළ විද්‍යාඥයන් ගේ අවධානයට ලක්‌ වූ කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, සෙරා ඩි කැපිවාරා ජාතික උද්‍යානයේ මේ වඳුරන් වාසය කරන ප්‍රදේශයේ දැකිය හැකි කජු ගෙඩි තලා විවෘත කිරීම සඳහා තරමක්‌ විශාල ගල්, මෙවලමක්‌ ලෙස යොදාගැනීම මේ වඳුරන් ගේ සිරිතක්‌ විය. මේ සතුන් කජු ගෙඩි තලාගැනීම සඳහා ශිලා මෙවලම් හෙවත් ගල් ආයුධ යොදාගත් බව පැහැදිලිව පෙනිණි.

කපුචින් වඳුරන් ගේ මේ හැසිරීම තවදුරටත් නිරීක්‌ෂණය කළ විද්‍යාඥයන්ට තවත් අපූරු කරුණු හෙළිදරව් විය. ඒ අනුව, වඳුරන් මේ ආකාරයෙන් කජු ආහාරයට ගැනීම සඳහා අවශ්‍ය මෙවලම් ලෙස භාවිත කරන ගල් වෙනත් තැන්වල සිට ගෙන එන ඒවා ය. ඒ සඳහා ගල් ලබාගෙන ඇති Rතුමය ගංගාවක්‌ ද අධ්‍යයනයට ලක්‌ කළ ස්‌ථානය ආසන්නයෙන් හඳුනාගැනීමට හැකි වී තිබේ. මෙහි දී ආකාර දෙකක මෙවලම් භාවිත කර ඇති අතර ඒ මිටි (hammer) හා කිණිහිර (anvil) ආකාරයේ මෙවලම් ය. සාමාන්‍යයෙන් මිටියක්‌ ලෙස භාවිත කරන ලද ගලක්‌ එම පරිසරයේ ස්‌වාභාවිකව හමු වූ ගලකට වඩා සිව් ගුණයක්‌ පමණ බර ය. එසේ ම කිණිහිර ලෙස භාවිත කළ ගලක්‌, මිටියකට වඩා සිව් ගුණයක්‌ පමණ බරින් අධික වී තිබේ. එසේ ම දැඩි ගල් වර්ග මිටි සඳහා භාවිත කර ඇති අතර, එතරම් දැඩි නො වූ ගල් වර්ගයක්‌ කිණිහිර ගල සේ යොදාගෙන තිබේ.

මේ ශිලා මෙවලම් වඳුරන් කජු ගස්‌ වෙත ගෙන එන අතර, භාවිතයෙන් පසුව ඒවා කජු ගස්‌ පාමුල අත්හැර දමා හෝ ගස්‌ අතු අතර තබා යන ආකාරය ද නිරීක්‌ෂණය කළ හැකි වී තිබේ. ඒවා යළි යළිත් භාවිත කළ බවක්‌ සිතිය හැකි ය. මෙවැනි කජු ගස්‌ ගොමු සහිත ස්‌ථාන කපුචින් වඳුරන් ගේ කජු සැකසුම් ස්‌ථාන (cashew processing sites) ලෙස මේ පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

වඳුරන් ගේ ශිලා මෙවලම් භාවිතයේ අතීතය


මෙහි දී පර්යේෂකයන් පිරිසකට පැනනැගුණු අපූරු පර්යේෂණ ගැටලුවක්‌ වූයේ මේ කපුචින් වඳුරන් කෙතරම් ඈත කාලයක සිට මෙසේ කජු තලා ආහාරයට ගැනීමට ශිලා මෙවලම් භාවිත කරන්නට ඇති ද යන්න ය. ඒ සඳහා වර්තමානයේ කජු තැලීමට වඳුරන් එන ගස්‌ සහිත ස්‌ථාන හතරක කැණීම් සිදු කිරීමට එම පර්යේෂකයන් කටයුතු කර තිබේ. වර්ගමීටර 35ක ප්‍රදේශයක්‌ මීටර් 0.72ක්‌ පමණ ගැඹුරට කැණීමෙන් පස්‌වලට යට වී තිබුණු එවැනි ශිලා මෙවලම් 69ක්‌ හඳුනාගැනීමට මේ පර්යේෂකයන්ට අවස්‌ථාව ලැබී ඇත.

මේ මෙවලම් ද කජු තැලීම සඳහා යොදාගත් බව හඳුනාගැනීමට බහුවිධ සාධක යොදාගෙන තිබේ. එම ශිලා මෙවලම්වල මතුපිට දැකිය හැකි වූ අඳුරු පැහැගත් ශේෂ කජු ශේෂ නිසා ඇති වූ ඒවා බව ස්‌කන්ධ වර්ණාවලීක්‌ෂ ක්‍රමය මගින් තහවුරු කරගෙන තිබේ. එසේ ම භාවිතය නිසා මෙවලම්වල ඇති වූ හානි හා ගෙවුණු ස්‌වභාවය ද වර්තමානයේ වඳුරන් භාවිත කරන්නා වූ මෙවලම් හා සමාන ය. එසේ ම එම ස්‌ථානවල දැකිය හැකි ස්‌වාභාවික තැන්පතු හා සංසන්දනය කළ විට ඒවායේ දැකිය හැකි නො ගැලපෙන බව ද වර්තමාන මෙන්ම පැරැණි මෙවලම්වලට පොදු කරුණකි. එසේ ම මේ මෙවලම් දෙවර්ගය ම පරිසරයේ තැන්පත් වී තිබූ ආකාරයේ ඇති විසිරුණු ස්‌වභාවය නූතන මෙවලම් මෙන්ම පැරැණි මෙවලම් තැන්පතුවල ඇති තවත් සමානකමකි.

මේ මෙවලම් ලැබුණු ස්‌ථානවලින් ලැබුණු කාල නිර්ණ අතරින් පර්යේෂකයන්ට තවත් තොරතුරු ගෙනැවිත් තිබේ. කැණීම් සිදු කළ එක්‌ ස්‌ථානයකින් ලැබුණු විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව පෙනී ගොස්‌ ඇත්තේ වඩාත් පහළ මට්‌ටමකින් ලැබුණු ශිලා මෙවලම් හමු වී ඇත්තේ වර්ෂ 1266ත් 1423ත් අතර කාලයකට අයත් පස්‌ ස්‌තරයකින් බවයි. ඒ අනුව මේවා අදින් වසර 600-700ක්‌ අතර කාලයකට පමණ ඉහත දී පමණ භාවිත කළ මෙවලම් බවට සැක කළ හැකි ය.

මේ සොයාගැනීමේ වැදගත්කම


මේ සොයාගැනීමේ ඇති වැදගත්කම වන්නේ දකුණු ඇමෙරිකාවේ වෙසෙන වඳුරන් අතරින් මෙවලම් භාවිත කරන එක ම වඳුරු විශේෂය කපුචින් වඳුරන් වීම නිසා ය. එසේ ම අප්‍රිකාවෙන් පිටත ප්‍රදේශයක මිනිසුන් නො වන වෙනත් සතකු මෙවලම් භාවිත කිරීම පිළිබඳව ඇති පැරැණි ම සාධකය මෙය බව මේ පර්යේෂකයන් ගේ මතයයි. මීට පෙර ඇති

පැරැණි ම සාධකය වන්නේ වානරයන් ගේ මෙවලම් භාවිතය සම්බන්ධව වන, වසර 1,300ත් 4,300ත් අතර කාලයක්‌ පමණ පැරැණි අප්‍රිකාවේ බටහිර චිම්පන්සින් ගේ මෙවලම් භාවිතය පිළිබඳ සාධකයකි. මේ අනුව මානව-චිම්පන්සි පවුලේ නො වන සත්ත්වයකු විසින් මෙවලමක්‌ භාවිත කරන ලද පළමු අවස්‌ථාව වේ.

මේ අනුව, කපුචින් වඳුරන් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ - ඇතැම් විට වසර සිය ගණනක්‌ තිස්‌සේ - කජු ආහාරයට ගැනීම සඳහා මෙවලම් භාවිත කිරීමේ යෙදී ඇති බව හෙළි වී තිබේ. ඒ පිළිබඳ ඇති පැරැණි ම කාල වකවානු සැලකූ විට ඒවා යුරෝපීයයන් ඇමෙරිකාව යටත්විජිතයක්‌ කිරීමට පවා පෙර කාල වකවානුවයි. මේ වඳුරු විශේෂය අදත් මේ ආකාරයෙන් කජු ගෙඩි තලා මද ආහාරයට ගැනීම දැකිය හැකි ය.



මේ අනුව එදා සිට මේ දක්‌වා කපුචින් වඳුරු පරම්පරා 100ක්‌ වත් මේ ආකාරයෙන් මෙවලම් භාවිත කර තිබේ. එහෙත් මේ දක්‌වා ශිලා මෙවලම් භාවිතයේ ඇති වී ඇති වෙනස්‌කම් ප්‍රමාණය අල්ප ය. අතීතයේ ඔවුන් තෝරාගත් ද්‍රව්‍ය හා බර ප්‍රමාණ පිළිබඳව සැලකූ විට එදාත් අදත් මෙවලම්වල වෙනස්‌කම් සිදු ව නොමැති තරම් ය. මේ අනුව වඳුරන් ඔවුන් ගේ තාක්‌ෂණය වෙනස්‌ කර නොමැති බවක්‌ පෙනෙන බව පර්යේෂකයන් ගේ අදහස වේ. එහෙත් වඳුරන් ගේ පරම්පරා 100ක කාලය හා සමාන වූ මානව පරම්පරා ගණනක දී ශිලා මෙවලම් හෝ වෙනත් තාක්‌ෂණයක ඇති වන වෙනස්‌කම් හා සංසන්දනය කිරීමේ දී කපුචින් වඳුරන් ගේ කිසිදු තාක්‌ෂණික වර්ධනයක්‌ ඇති වී නොමැති බව පෙනේ.

මේ පර්යේෂකයන් ප්‍රශ්න කරන තවත් අපූරු කරුණක්‌ තිබේ. එනම්, කජු ආහාරයට ගැනීමේ මිනිසුන් ගේ පුරුද්ද කපුචින් වඳුරන් කජු කෑම නිරීක්‌ෂණයෙන් ආරම්භ වූයේ ද යන්න ය. මිනිසුන් කජු ආහාරයට ගැනීම පිළිබඳ සාධක ලැබෙන්නේ වසර 7000ක්‌ පමණ කාලයකට පමණ පෙර සිට පමණ ය. එහෙත් ඒ සාමාන්‍යයෙන් ගින්නේ පලහා ලීමෙන් කජුවල ඇති විෂ සහිත රසායනික අක්‍රිය කිරීමෙනි. මෙවලම් භාවිතයෙන් කජු ආහාරයට ගැනීමට සකසා ගැනීමක්‌ මිනිසුන් අතර අතීතයේ දැකිය නොහැකි වූ බව පැවසේ. මෙවැනි ආවරණයක්‌ සහිත මෙන්ම විෂ සහිත ආහාර ද්‍රව්‍ය සකස්‌ කිරීමේ අවශ්‍යතාව මිනිසුන් අතර ශිලා මෙවලම් තාක්‌ෂණයේ වර්ධනය සඳහා ද හේතු වී ද යන්න විමසිය යුතු බව පර්යේෂකයන් ගේ අදහස ය.

අවසානයේ දී පැවසිය යුතු තවත් අපූරු කරුණක්‌ තිබේ. කපුචින් වඳුරන් අදින් වසර 700කට පමණ පෙර ශිලා මෙවලම් භාවිත කරමින් කජු මද කෑවේ, අද ලෝකයේ විශාල ප්‍රදේශයක වැසියන් ගේ මුතුන්මිත්තන් කජු පිළිබඳව දැනගැනීමට පවා පෙර කාලයක දී බවයි. මක්‌ නිසා ද යත්, ඇමෙරිකාව නිජබිම් කරගත් කජු ශාකය ලෝකයේ සෙසු ප්‍රදේශවලට හඳුන්වා දෙනු ලැබූයේ යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණීමෙන් පසුව හෙවත් 15 වැනි සියවසෙන් පසුව නිසා ය. කජු යුරෝපයට හා ආසියාවට හඳුන්වා දෙන ලද්දේ ඊටත් පසු කාලයක දී ය. අද වන විට ලෝකයේ කජු වගාවේ ප්‍රමුඛයකු වන ඉන්දියාවට කජු හඳුන්වා දෙනු ලැබෙන්නේ 16 වැනි සියවසේ දී පමණ ය. එහෙත්, අඩු වශයෙන් ඊටත් සියවස්‌ දෙක තුනකට පමණ පෙර කපුචින් වඳුරන් කජු තලා කෑ බවට දැන් සාධක තිබේ. (මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2016.05.046, Link)

http://www.vidusara.com/2016/08/24/feature2.html

No comments:

Post a Comment