Showing posts with label Social Issues. Show all posts
Showing posts with label Social Issues. Show all posts

Saturday, May 30, 2026

දන්සැල් විස්තරය

ධනේෂ් විසුම්පෙරුම

(අවසන් යාවත්කාලීන කිරීම: 2026 මැයි 30)

මෙම ලිපිය පසුගිය වසරවල දන්සැල් පිළිබඳව සිදුකරන ලද ෆේස්බුක් සටහන් ද යොදාගනිමින් සකස් කරන විස්තරාත්මක වාර්තාවකි. දන්සැල්  පිළිබඳ 2023 මුල්ම ෆේස්බුක් පෝස්ටුව මෙතැනින් ද, 2024 දී පළ කළ දෙවන පෝස්ටුව මෙතැනින් ද බලාගත හැකි ය.

දන්සැල් දීම 

දන් දීම යනු මෙරට පවත්නා බෞද්ධාගමික සංස්කෘතියේ ඉතා වැදගත් අංගයකි. දානය යනු දස කුසල් මෙන්ම දස පාරමිතාවලට ද අයත් වන බැවින් දන්සැල් දීමෙන් බොහෝ පින් අත්වන කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. 

දන්සැල් යනු එවැනි දානයක් ලබා දෙන ස්ථානයකි. එය නිශ්චිත ස්ථානයකට ගෙන ගොස් දෙන දානයකට වඩා වෙනස් ය. එය පොදුවේ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි යමක් දන් දෙන බොහෝ විට පොදු ස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය.

දන්සැල් වැඩි වශයෙන් පැවැත්වෙන්නේ විශේෂ පෝය දින නිමිති කොටගෙන ය. ඒ් ප්‍රධාන වශයෙන් වෙසක් පෝය සමයේ හා පොසොන් පෝය ආශ්‍රිතව ය. කෙසේ වෙතත්, සෙසු පෝය දිනවල දී මෙන්ම එසේ නොවී ද දන්සල් දිය හැකි ය. ඇතැම් ආයතනවල හා පුද්ගලයන් හා සම්බන්ධ විවිධ දිනවල දී ද දන්සැල් දෙනු දැකිය හැකි ය. ප්‍රීති උත්සව අවස්ථාවල දී ද දන්සැල් ලබා දෙනු ලැබේ. මෙරට බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කළ සමයේ දී, එරට සිටි රජු හෝ රැජිනගේ රාජාභිෂේකය, ජන්ම දිනය වැනි විශේෂ දින ආශ්‍රිතව දන්සැල් දුන් අවස්ථා වාර්තා වේ. 2009 මැයි 19දිනනේ පසු එළැඹි දින කීපයේ දී ද රට පුරා එබඳු දන්සැල් දැකිය හැකි අවස්ථා විය.

දන්සැල් වර්ගීකරණය 

දන්සැල් වර්ගීකරණය කිරීමේ දී ක්‍රම කිහිපයක් යොදාගත හැකිය. ප්‍රධාන ක්‍රම දෙකක් වැදගත් බව පෙනේ.

  1. දායකයා අනුව - දන්සැල් දෙන්නේ කවුරුන් විසින් ද යන්න හා එහි දී භාවිත වන ක්‍රමය අනුව මෙය වර්ග කළ හැකිය.
  2. ලබා දෙන භාණ්ඩ හා සේවාව අනුව -  මෙය සාම්ප්‍රදායික දන්සැල් සහ නව්‍ය/ නූතන/ දන්සැල් ලෙස යළිත් වර්ග කළ හැකි ය.  

(1) දායකයා අනුව

දන්සැල දෙන්නේ කවුරුන් විසින් ද යන්න අනුව වර්ග කිහිපයක් හඳුනාගත හැකි ය. එසේම, ඇතැම් විට එහි දී අවශ්‍ය බරපැන ලබාගැනීම සඳහා භාවිත වන ක්‍රම ද වෙනස් වේ.

i). සම්මාදම් දන්සල්:- මේවා තරුණ පිරිස් හා ගම් මට්ටමේ සමිති ආදිය මගින් ගෙන් ගෙට යමින් මුදල් හා ආහාර ද්‍රව්‍ය එකතු කර දෙනු ලබන දන්සැල් ය. මේවා බොහෝ විට සිදුකරනු ලබන්නේ පෝය දවසේ ය. පසුගිය කාලයේ දී මෙසේ සම්මාදම් කිරීමට පැමිණීම මෙන්ම, එවැනි දන්සැල් ද අඩු වී තිබේ.

ii). සමිති/ කණ්ඩායම් දන්සල්:- මේවා සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශයේ වෙළඳ සමිති, ත්‍රිරෝද රථ සමිති ආදිය මගින් (සමහරවිට දන්සල සඳහාම ඇතිකරගත් සමිතියක් විය හැකිය) මෙන්ම දන්සැල සඳහා සංවිධානය වන කණ්ඩායම් විසින් ද පවත්වනු ලැබේ. එහි දී ඔවුන් අතර සම්මාදමෙන් හා අවට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා ප්‍රභූන්ගේ දායකත්වයෙන් බරපැන දරාගැනේ. මේවා ද බොහෝ විට සිදුකරනු ලබන්නේ පෝය දවසේ හා වෙසක් පෝය නම් පසු දා ද වේ.

iii). ආයතනික දන්සල්:- විවිධ ආයතන මගින් ලබා දෙන මේ දැන්සැල් පොහෝ දින මෙන්ම, පෝය දිනට ආසන්න ඔවුන්ට පහසු වැඩකරන දවසක දී වුව පැවැත්වෙනු දැකිය හැකි ය. ඒ බොහෝ විට අදාළ ස්ථානය අභියස දී ය.  මේ දන්සැල් පෞද්ගලික ආයතන මෙන්ම රජයේ ආයතනවල ද සිදුකරන බව පෙනේ. මනාව සංවිධානගතව ලබා දෙන බත් වැනි දන්සැන් මෙන්ම, කෙටි කෑම ලබා දෙන දන්සැල් ද සුලබ ය. වඩාත් දැකිය හැක්කේ අයිස්ක්‍රීම් හා පාන වර්ග ලබා දෙන දන්සැල් ය.

iv). තනි පුද්ගල දන්සල්:- මේවා ව්‍යාපාරිකයෙකු වැනි තනි පුද්ගලයෙකු විසින් තම ධනය යොදා සිදුකරන දන්සැල් ය. එසේ දෙන ඇතැම් දන්සල් පිසූ ආහාර දන්සල් විය හැකි අතර, තවත් අවස්ථාවල වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම දැක තිබේ. ඇතැම් අවස්ථාවල ඇඳුම්, ඉන්ධන ආදිය ද ලබා දී තිබේ. එවැනි අවස්ථා පහත සඳහන් වේ.

(2) දන්සැලේ දී ලබා දෙන භාණ්ඩ හා සේවාව අනුව


2.1 සාම්ප්‍රදායික දන්සැල් 

මෙවැනි දන්සැල්වල දී ලබා දෙන භාණ්ඩය හා සේවාව කලක් තිස්සේ ලබා දී ඇති භාණ්ඩයක් බැවින් සාම්ප්‍රදායික ලෙස මෙහි දී හඳුන්වන ලදි. මෙවැනි ‍‍‍‍‍‍‍‍දන්සැල්වල දී ලබා දෙනු ලබන්නේ ඒ දිනයේ දී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් හෝ සේවාවකි. 

i). ආහාර පාන දන්සැල්:- වැඩි වශයෙන්ම දැකිය හැකි හා අත්‍යාවශ්‍යම දන්සැල් වර්ගය වන ආහාරපාන දන්සැල් විවිධ ය.
  • පිසූ ආහාර දන්සල් (සාමාන්‍ය):- බොහෝ විට සමිති හා කණ්ඩායම් ලෙස එකතු වී දෙනු ලැබේ. ඒ කණ්ඩායමේ අය ඔවුන් විසින්ම කෑම පිසිනු ලබන අවස්ථා මෙන්ම, දැන් දැන් කෝකිවරුන්ගේ සේවය ලබාගැනීම ද දැකිය හැකි ය. ගම්වල ද සාමූහිකව පිස දෙන දන්සැල් දැක තිබේ. මේවායේ දී බොහෝ විට සංග්‍රහ කරනු ලබන්නේ සාමාන්‍ය බත් වේලක් වන අතර දිවා කාලයේ වඩාත් සුලබ ය. ඇතැම් විට කහබත්, දුන්තෙල් බත් වැනි උත්සවාශ්‍රිත බත් ද දැකිය හැකි ය. එසේම, පෙරවරුවේ කිරිබත් ද දැකිය හැකි ය. ඇතැම් විට වෙනත් ආහාරයක් ද විය හැකිය. පාන් සමඟ සීනි සම්බල්, මංඤොක්කා, කඩල ආදිය එවැනි ජනප්‍රිය ආහාර වර්ග වේ. මේවා පෙරවරුවේ හෝ සවස හා රාත්‍රි කාලයේ පැවැත්වීම ද සුලබ ය. මේ දන්සැල් බොහෝ විට සරසන ලද සාමාන්‍ය මඩුවක් විය හැකිය. පෝලිම් දැකිය හැකිය. එසේම 2022 වර්ෂයේ සිට එක් ව්‍යාපාරික ආතයනයකින් සංවිධානය කර තිබු රාමෙන් (කොරියානු ආහාරයක්) දන්සැලක තුත්වැන්න පිළිබඳව හිතවතෙකු දැනුවත් කර තිබිණි (මෙතැනින් බලන්න, ප්‍රදේශය සඳහන් නොවේ. එසේම, 2026 වර්ෂයේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ බෞද්ධාගමික මධ්‍යස්ථානයක් මුල්කරගෙන පැවැත්වෙන, දවසේ එක් එක් කාලසීමාවක දී එකක් බැගින් ලෙස පෙ.ව. 11.30 සිට රාත්‍රී 9 දක්වා ආහාර වර්ග 7ක් ලබා දෙන දන්සැලක් පිළිබඳව ද දුටුමි.
  • පිසූ ආහාර දන්සල් (නවීන):- ප්‍රයිඩ් රයිස් වැනි නවීන හා නාගරික පන්නයේ ආහාර මේ දන්සල්වල සංග්‍රහ කරනු ලැබේ. මේවා බොහෝ විට සංවිධානය කරන්නේ ව්‍යාපාරික ආයතනවලින් වුව ද, දැන් දැන් කණ්ඩායම් හා සංවිධාන මගින් සංවිධානය කරන ඒවා ද ඉහළ යමින් තිබේ. ආහාර ගැනීමට සකස් කර ඇති ස්ථානය මෙන්ම ආසන හා ඇතැම්විට මේස ද නවීන ලෙස සකස් කරනු ලැබේ. මේවායේ ආහාර කේටරින් සේවාවලින් ඇණවුම් කරන ලද ඒවාය. මේවාට බොහෝ පිරිස් ඇඳී එන බැවින් පෝලිමක් දැකිය හැකි අතර, ඒ ආහාර ඉක්මනින් අවසන් විය හැකි ය.
  • පාන දන්සල්:- මේවායේ සිසිල් බීම, සව් කැඳ, කෝපි, බෙලිමල් ආදිය වඩා ප්‍රචලිතය. සමිති/ කණ්ඩායම් මෙන්ම දන්සැල සඳහාම එකතු වන කණ්ඩායම් (ගම්වල තරුණ කැලක්, හන්දිවල තුන්රෝද රථ හිමියන් ආදි) හා සම්මාදම් දන්සල් අතර මේවා ඉතා සුලබ ය. ‌පෝය දා සවසට හා වෙසක් පෝයට පසු දා ද සුලභ ය.
  • අතුරුපස දන්සල්:- මේවා අතර වඩාත් ප්‍රචලිත වන්නේ අයිස්ක්‍රීම් දන්සැල් ය. මේවා ද ආයතනික දන්සැල් අතර මෙන්ම සමිති/කණ්ඩායම් දන්සල් අතර සුලබ ය. කොළඹ වැනි නගරවල මේවා වැඩි වශයෙන් පැවැත්වෙන්නේ පෝයට පෙර දින දී ය. ඒ, එදින වැඩ කරන දිනයක් වන නිසා වන නිසා ය.
  • වියළි ආහාර දන්සල්:- මේවා බොහෝ විට සංවිධානය කරනු ලබන්නේ තනි පුද්ගලයන් හා ව්‍යායාපාරිකයන් විසිනි. සහල්, පොල්, කල්තබාගත හැකි ආහාර ද්‍රව්‍ය ඇතුළත් ආහාර පාර්සලයක් සාමාන්‍යයෙන් ලබා දේ. ඒවා ලැබිය යුතු පිරිස් වෙනුවෙන් සංවිධානය කරන නමුත් යමක් කමක් ඇති පිරිස් ද මේ දන්සල්වල පෝලිමේ සිටිනු දැකිය හැකි ය.
ii). මල් දන්සැල්:- මල් දන්සැල් ඇතැම් විහාර ආශ්‍රිතව සංවිධානය කරනු ලැබේ. මෙම දන්සැල් සඳහා සැලකිය යුතු අතීතයක් ඇති අතර, අදින් වසර සියයකට පමණ ඉහත දී ඇතැම් නගර හා විහාරවල ක්‍රියාත්මක වූ පුෂ්පදාන සමිතිවල එක් අරමුණක් වුයේ ඒ විහාරය වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ට මල් ලබා දීම ය. වෙනත් පූජා භාණ්ඩ ද ලබා දුන් අවස්ථා තිබේ. අද වන විට ඇතැම් මල්  ව්‍යාපාරිකයන් ද මල් දන්සැල් ලබා දෙන බවක් පෙනේ.

iii). ප්‍රවාහන සේවා දන්සැල්:- විහාරස්ථාන වන්දනාවට යෑම මෙන්ම නගරයේ වෙසක් සිරි නැරඹීමට යෑම සඳහා ප්‍රවාහන සේවා සැපයීම ද කලක පටන් සිදු කරනු ලැබේ. මෙය බොහෝ විට අදාළ ප්‍රවාහන සේවා හිමියන් විසින් සිදුකරනු ලැබේ. මෙය බස්රථයක් හෝ වෙනත් මගීන්ට යා හැකි රථයක් වුව ද විය හැකි ය.

iv). මුදල් දන්සැල්:- අතීතයේ මෙන්ම මෑත කාලයේ දී ද ඉඳහිට දැකිය හැකි දන්සැල් වර්ගයකි. 

2.2 නව්‍ය/ නුතන දන්සැල් 

මෙහි දී ලබා දෙන භාණ්ඩය හා සේවාව නූතන ජීවන රටාවට ගැළපෙන ඒවා වන අතර. මෑත කාලයේ සිට දන්සැල්වල ලබා දෙන දේ වේ. ඒවා බොහෝ විට ඒ අවස්ථාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් නොවිය හැකි ය. මේ ඇතැම් දන්සැල් ශ්‍රමය හෝ අදාළ පුද්ගලයා හෝ පුද්ගලයින්ගේ දැනුම බෙදා දෙන ඒවාය. ඇතැම් දන්සැල් තාක්ෂණික ක්‍රම සමඟ බද්ධ වී තිබේ. අප නිරීක්ෂණට කළ පහත දන්සැල් අකාරාදි පිළිවෙලට සකස් කර ඇත.

i). ඉන්ධන දන්සැල්:- භූමිතෙල්, පෙට්‍රල් හා ඩීසල් දන්සැල් දැන් සැලකිය යුතු තරම් සුලබව දැකිය හැකි වේ. මේවා වැඩි වශයෙන් සංවිධානය කර තිබෙනු දැක ඇත්තේ ඉන්ධන පිරවුම්හල් මගිනි. කෙසේ වෙතත්, ලබාදෙන තෙල් ප්‍රමාණයට සීමාවක් විය.

ii). කෑෂ්බැක් දන්සැල්:- ඇතැම් බැංකුවලින් ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව අධිවේගී හෙවත් එක්ස්ප්‍රස් වේ ගාස්තුව අදාළ බැංකුවේ මොබයිල් ඇප් එකෙන් ගෙවන්නේ නම්, ඒ ගෙවු මුදලින් කොටසක් ආපසු ලැබෙන කෑෂ්බැක් දන්සැලක් 2024 දී නිරීක්ෂණය කළෙමි. එය දින කිහිපයක කාලයක් සඳහා දක්වා වලංතු වී තිබිණි. මෙසේ අධිවේගී මාර්ග ගාස්තුවලින් කොටසක් ආපසු ගෙවීම සිංහල අලුත් අවුරුද්ද, අලුත් අවුරුද්ද වැනි උත්සව කාලවල දී ද ක්‍රියාත්මක කිරීම දැක තිබේ. 

iii). ටැටූ දන්සැල්:- නිකවැරටියේ දී 2023 දී පැවති ටැටූ දන්සැලක් පිළිබඳ සටහනක් එක් හිතවතියක් කමෙන්ට් කර තිබිණි. මෙසේ ශරීරයේ ටැටූ ගැසීම වර්තමාන තරුණ පරපුර අතර දැකිය හැකි ය.

iv). ටෙම්පර්ඩ් ග්ලාස් දන්සැල්:- මෙවැන්නක් මා පළමුවරට දුටුවේ 2026 වර්ෂයේ දී ය. එය සංවිධානය කර තිබුණේ වෙසක් දින සවස් කාලයේ පැලවත්ත ප්‍රදේශයේය.

v). ඩිජිටල් වෙසක් දන්සැල:- ඩේටා, කෝල් හා එස්එම්එස් ලබාදෙන දන්සැලකි. මෙරට ජංගම දුරකථන සේවා ලබාදෙන එක් ආයතනයක් මෙවැනි දන්සැලක් සංවිධානය කර ඇත්තේ 12 වැනි වරට බව ඔවුන්ගේ පාරිභෝගිකයෙකු වී ගත වන පළමු වර්ෂය වන 2026 දී දැනගතිමි. එය දින හතක් පමණ කාලයක් තිස්සේ සක්‍රිය (activate) කර ගත හැකි ය. අදාළ දත්ත, ඇමතුම් කාලය හා කෙටිපණිවුඩ දින හතක් සඳහා වලංගු වේ.

vi). බතික් දැනුම දන්සැල:- මාර්ගගතව පැවැත්වුණ බතික් දැනුම දන්සැල 2024 මැයි 24 දා පැවැත්වීමට නියමිතව තිබිණි. මෙය අදාළ කලාව පිළිබඳ දැනුම ලබා දීම සඳහා සංවිධානය කරන ලද්දකි.

vii). බැනර් දන්සැල්:- බැනර් සකස් කර අලෙවි කරන ආයතනයක් විසින් සංවිධානය කළ මෙවැන්නක් 2024 පොසොන් සමයේ කිරිබත් කුඹුරේ පැවති බව හිතවතෙකු අප එවා තිබිණි. එහි දී ගමේ දන්සැල් සඳහා අඩි 3 x 2 ප්‍රමාණයේ බැනරයක් නොමිලේ සකස් කර දෙන ලදි (බලන්න මෙතැනින්).

viii). වයරින් කර දීම:- හෝමාගම විදුලිබල මණ්ඩල සේවක පිරිස විසින් දිළිඳු නිවාස නොමිලේ වයරින් කර දීම වසර ගණනාවකට පෙර දී වසර කීපයක්ම සිදුකර ඇති බව අප හිතවත්ත පියසිරි මාතරගේ මහතා සටහන් කර තිබිණි (මෙතැනින්).

ix). සැලෝන් දන්සැල් - මෙය සැලෝන් මගින් ලබා දෙන සේවාව ලබා දෙන දන්සැලකි. මේවා විවිධ සැලෝන් මගින් දැන් කලක පටන් සිදුකරනු ලැබෙයි. මෙය කාන්තා හා පිරිමි සැලෝන් වර්ග දෙකෙහි ම දැකගත හැකි ය.


විශේෂ ස්තුතිය - ඔවුන් දුටු දන්සැල් පිළිබඳව අපව දැනුම්වත් කළ සියලු හිත මිතුරන්ට සහ, විශේෂයෙන් දන්සැල් ඔත්තු ගණනාවක් ලබා දුන් දර්ශන වීරසේකර මහතාට.

Sunday, August 31, 2025

රාමායණයේ රාවණ සෙවීම!

ධනේෂ් විසුම්පෙරුම සහ මුදිත කරුණාමුනි

දිවයින ඉරිදා සංග්‍රහය, 2025-08-31

(අවසන් යාවත්කාලීන කිරීම - 2025-10-08)

රාවණ ගැන අපේ රටේ යළිත් කතාබහක් ඇති වූයේ මීට දෙසතියකට පමණ පෙර දී ය. ඒ එක්තරා රජයේ ආයතනයක් මගින් රාවණ රජුගේ ගුවන් යානා ඇති ස්ථානවලින් ඒවා ගොඩ ගැනීම සඳහා පර්යේෂණ කරන්නට යන බව සඳහන් පුවතක් ඇතැම් පුවත්පතක පළ වූ අවස්ථාවේ දී ය. මේ පුවත පිළිබඳව ඇති වූ සංවාදය හමුවේ එය අසත්‍යයක් බව සඳහන් පෞද්ගලික ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත් මීට වර්ෂ කීපයකට පෙර ඒ පිළිබඳව පර්යේෂණ සිදුකරන බව සඳහන් කරමින් අදාළ ආයතනය මගින් දැන්වීමක් පළ වූ බව අපට මතක ය. ඒ මෑත කාලයේ රාවණ පිළිබඳ ඇති වූ සමාජ කථිකාවේ උපරිමයක් සේ සැලකිය හැකි සිදුවීමයි.

රාවණ හා රාමායණය සම්බන්ධව මෑත දශක එකහමාරකට මදක් වැඩි කාලයේ ඇති වී තිබෙන උනන්දුව හා රජයේ ආයතන විසින් ගත් පියවර ඒ පිළිබඳව තතු දත්තවුන්ට රහසක් නම් නොවේ. වාල්මිකී විසින් රචිත ප්‍රබන්ධයක් වන රාමායණයේ සඳහන් පරිදි ලංකාපුරයේ විසූ රාවණ නම් රජු අද අප වාසය කරන ශ්‍රී ලංකාවේ විසූ ඓතිහාසික රජෙකු යැයි පවසන්නට මෙන්ම ඒ සඳහා සාධක දක්වන්නට ගත් ප්‍රයත්න රැසක් දැකිය හැකි විය.

එනිසා රාමායණය, සෘජුව ශ්‍රී ලංකා ඉතිහාසයට අතිරේක ගැළපීම් කරමින් නිගමනයන් ගන්නා ව්‍යාපාරයන්ට මානව විද්‍යාත්මක විමසීමෙන් පිළිතුරු සැපයීම අපගේ වගකීම වේ. මේ ලිපිය එම විමසීම උදෙසා තර්කසාධක, භාෂා, ඉතිහාස හා පුරාවිද්‍යා සාධක එකතු කරමින්, ජනප්‍රිය ප්‍රවාදය හා විද්‍යාත්මක සත්‍යය අතර සීමා ඉතා පැහැදිලිව වෙන් කර දැක්වීමට ගන්නා උත්සාහයකි.

 

රාමායණය ප්‍රබන්ධයකි

රාමායණය යනු ජනප්‍රියතාවක් ගොඩනඟාගෙන තිබූ කාව්‍ය ප්‍රබන්ධයකි. එය සම්ප්‍රදායගත පුරාණ, ජනකතා සහ ආගමික නියෝජන එකතු වෙමින් විවාදයට පණ පුරන විශාල කථාවකි. ඒ කෘතිය සඳහා ඉන්දියාවේ පැවති විවිධ 'ජන කතා' පාදක කොට ගෙන තිබේ. අග්නි පුරාණ, කුර්ම පුරාණ, විෂ්ණූ පුරාණ, භාගවත පුරාණ, පද්ම පුරාණ වැනි කෘතිවල රාමායණ කතාව ඇතුළත් වෙයි. දසරථ ජාතකය ම හෝ, එම ජාතක කතාවට මුල් වූ ජන කතාව හෝ දෙකෙන් එකක් හෝ රාමායණයට වස්තු වී ඇති බව  පෙන්වා දී ති‌බේ.

විවිධ උගතුන්ගේ අවධාරණය අනුව රාමායණයේ විවිධ ‘ස්වරූප’ සම්පාදනය වන්නේ වරින් වර කොටස් එකතු කරමින් ය. වාල්මිකි විසින් හෝ වාල්මිකි නමින් වූ කොටසක් ඇතැයි බොහෝ දෙනා පිළිගත්තත්, මුළු කථාවම දිගු කාලයක් තිස්සේ මුවින් මුවට ගිය ජනප්‍රවාද ගහනයකින් හා පූජනීය සංකල්පවල ප්‍රචාරයෙන් සෑදුනු බව පෙනේ. දැනට පිළිගැනෙන සාධක අනුව කාව්‍ය සංස්කෘතය හෙවත් ලෞකික සංස්කෘතය ක්‍රි.පූ. තෙවන සියවසින් ඈතට නොයන අතර, සංස්කෘතය විධිමත් රීති මාලාවක් අනුව විග්‍රහ කළ පාණිනී විසූ කාලය ක්‍රි.ව. සිවු වන සියවස පමණ වෙයි. එසේ නම් රාමායණය ක්‍රිස්තු වර්ෂ ආරම්භක සියවස් දෙක, තුන ඇතුළත රචනා වූවක් විනා, දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කෘතියක් නොවන බව සැලකිය යුතු වෙයි. 

රාමායණයේ එන ‘ලංකාපුරය’ පිළිබඳ සංකල්පය ද නාමික සමානතාවක් හේතුවෙන් වර්තමාන ශ්‍රී ලංකාවට සෘජුව සම්බන්ධ කිරීම කර තිබුණ ද, රාමායණයේ සඳහන් ලංකා පිහිටා ඇත්තේ ත්‍රිකූට නමින් පුරාණෝක්තික පර්වතයක මස්තකයේ බව ද, එය විශ්වකර්ම විසින් නවරත්නයෙන් ගොඩනඟන ලද අති අලංකාර නගරයක් ලෙස ද වර්ණනය වීම මේ කථා පුවතේ කල්පිත භාවය පැහැදිලි කරයි. එමෙන්ම රාමායණයෙහි දැක්වෙන සෙසු ස්ථාන නාම සියල්ල ම පාහේ ගැළපෙනුයේ භාරතීය භූ දර්ශනයට විනා අපේ දිවයිනේ පරිසරයට නම් නො වේ. එවැනි පුරාණ අලංකාර ලෝකය කාව්‍ය නිමාව සඳහා යෙදූ ‘පසුබිමක්’ බව පෙන්වයි. භූගෝලීය හා පුරාවිද්‍යාත්මක අර්ථයෙන් සත්‍ය වස්තූන්ට සෘජු සමානතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩ නොදෙන ලංකාපුරය හුදෙක් කවි කල්පිතයක් පමණක් විනා ශ්‍රී ලංකාව නො වන බව පැහැදිලි ය.

 

ශ්‍රී ලංකාවේ දී රාමායණය

රාමායණය ශ්‍රී ලංකාවේ සාහිත්‍යයේ දැක්වෙන ආකාරය පිළිබඳව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ චාල්ස් ගොඩකුඹුර මහතා විසින් ලියන ලදුව, The Ramayana Tradition in Asia නම් ලිපි සංග්‍රහයේ පළ වී ඇති ලිපිය වැදගත් ය. එහි දී මෙරට සාහිත්‍යයේ හා ජන කතා ආදියේ රාමායණය පෙන්වා දී ඇති ආකාරය විස්තර කර ඇත.

අනුරාධපුර යුගයේ සිට රාමායණය උගතුන් වියතුන් අතර සම්භාව්‍ය ග්‍රන්ථයක් ලෙස සම්මානයට ලක් වූ බව පැහැදිලි වන්නේ ඒ පිළිබඳව ඇතැම් කෘතිවල සඳහන් වන නිසාය. මෙරට රජකම් කළ කුමාරදාස රජු විසින් කළ ජානකීහරණ කාව්‍යයේ වස්තුබීජය වූයේ ද රාමායණ කතාවයි. කෙසේ වෙතත් ඒ සියල්ලේ රාමායණය සාහිත්‍ය කෘතියක් වූ බව පෙනේ. මේ කතා කෝට්ටේ කාලය වන විට සාමාන්‍ය ජනතාව අතර ද තිබූ බව පෙනේ. ගිරා සංදේශයේ සඳහන් වන අම්බලමේ දී ඇති වන කතා අතර, රාම සීතා කතා තිබීම මීට නිදසුනකි.

රාමායණය ඒ අයුරින් මෙරට සාමාන්‍ය ජනතාව අතර පැලපදියම් වන්නට ඇත්තේ ඒ කාලයේ දී දකුණු ඉන්දියානු රාජ්‍ය සමඟ ඇති වූ ඇසුර හා සංක්‍රමණිකයන් සමඟ විය හැකි බව පෙනේ. ඉහත අම්බලමේ කතා පිළිබඳ සඳහන් කරන ගොඩකුඹුර මහතා මේ අම්බලම් යනු විදේශීයයන් ද නවාතැන් ගත් තැන් බව සඳහන් කරයි.

දකුණු ඉන්දියාවේ වෙනත් කෘති සිංහල බසට නැගීම පිළිබඳ නිදසුන් කෝට්ටේ හා මහනුවර සමයේ දී සැලකිය යුතු කරම් දැකිය හැකි නමුත් රාමායණය කෘතියක් ලෙස සිංහල බසින් මුලින්ම පළ වී ඇත්තේ ක්‍රි.ව. 1841 දී පමණ බව පී.බී. සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශය කෘතියේ සඳහන් වේ. ඒ ‘සිංහල රාමායණය’ හෙවත් ‘රාවණ සංහාරය’ නමිනි. එසේම 1880 දී පමණ මේ ඇසුරින් ජෝන් ද සිල්වා විසින් සකස් කරන ලද රාමායන නාටකය මෙරට ජනතාව තුළ රාමායණ කතාව පිළිබඳ යළි පිබිදීමක් ඇති කරන්නට ඇති බව සිතිය හැකිය. මේ බව පෙනෙන්නේ උක්ත, 1841 දී පළ වූ සිංහල රාමායණය කෘතියේ අයිතිය මිලට ගත් සී දොස් බස්තියන් එයට ශූද්ධියක් එක් කොට පළ කළ නිසා ය.

සාමාන්‍ය ජනතාව ඇතැම් ඉතිහාස කරුණු පිළිබඳ විශ්වාස කරන්නේ ඇතැම් ජනප්‍රිය නවකතාවල පැවසෙන කරුණු අනුව වීම අද දවසේ අප නිතර දකින තත්ත්වයකි. ඒ අනුව ඉහත කී ආකාරයේ කෘති හා නාට්‍ය මගින් මෙරට ජනතාවට ඇති වූ බලපෑම සුළු කොට තැකිය නොහැකිය.

21 වන සියවස පුරා රාමායණය පිළිබඳව ලියූ ලිපි, කෘති ආදියේ දී මෙරට රාමායණයට සම්බන්ධ කිරීම සඳහා ගත් ප්‍රයත්න දැකිය හැකි විය. ඒවා සමහරක් ස්ථාන නාම පදනම් කරගත් බව පෙනේ. මේ පිළිබඳව ද ගොඩකුඹුර මහතා සිය ලිපියේ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. නිදසුනත් ලෙස ගතහොත් ‘සීතා’ හා සම්බන්ධ කර ඇති ස්ථාන නාම ආදියේ දී ශීතල හඳුන්වන ‘සීත’ යන්න පසුව සීතා යනුවෙන් ගෙන ඇති බව ඔහු දක්වා ඇත. එසේම රාවණ යන නාමය ඇතුළත් ඇතැම් ස්ථානවලට ඒ නම ලැබී ඇත්තේ ඒ නමින් හඳුන්වනු ලබන ජලජ බෙල්ලෙකුගෙන් බව ඔහු පෙන්වා දී තිබේ.

 

රාමායන මංපෙත’

මෑත කාලයේ දී රාමායනය හෝ රාවණ පිළීබඳව තිබූ උනන්දුව වෙනත් මගක් ගත්තේ 2000 දශකයේ අග භාගයේ දී පමණ රාමායනය පදනම් කරගත් සංචරණයක් ආරම්භ කිරීම හා සමඟ ය. ‘රාමායන මංපෙත’ හෙවත් Ramayana Trail නම් වූ මේ උත්සාහයේ අරමුණ වූයේ ඉන්දියානු සංචාරකයන් ආකර්ෂණය කරගැනීමයි. ඒ සම්බන්ධව ඉන්දියානු හා ශ්‍රී ලංකා බලධාරීන් විසින් කළ සාකච්ඡා පිළිබඳව තොරතුරු ඉන්දියානු පුවත්පත් ආදියේ හා වෙබ් අඩවිවල අදත් දැකිය හැකි ය.

ඒ සඳහා එවකට රජයේ ආයතන ද උනන්දුවක් දැක්වූ බව රහසක් නොවේ. සංචාරක කර්මාන්තයට අදාළ ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ඒ සඳහා පිටු පවා වෙන්ව තිබිණි. කෙසේ වෙතත් පසුකාලයක දී ඒවා වෙබ් අඩවිවලින් ඉවත් කරන්නට කටයුතු කර තිබිණි.

රාමායණයට සම්බන්ධ ස්ථාන පාදක කරගත් සංචරණ කටයුතු එසේ සිදුවෙමින් තිබිය දී රාවණ පිළිබඳ සෙවීමේ උනන්දුවක් මෙරට තුළ යළිත් ඇති විය. ඒ රාවණ යනු මෙරට විසූ රජෙකි යන්න උත්කර්ෂයට නගමිනි. එය ඉහත කී රාමායණ සංචරණයේ බලපෑමෙන් සිදුවූවක් විය හැකි බවක් අපට සිතෙන්නේ එවැනි සුවිශේෂි උනන්දුවක් ඊට පෙර ඒ තරම් පැතිර නොතිබූ නිසාය. ඒ සමඟ රාවණ සම්බන්ධ පොතපත, සාකච්ඡා කණ්ඩායම් ආදිය ද ක්‍රමයෙන් දැකිය හැකි විය. ඒ සමඟ මේ මතයට පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර වූ වාද විවාද ද ජනමාධ්‍ය ඔස්සේ දැක ගත හැකි විය.

මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය 2010 වර්ෂයේ දී සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය. ඒ සම්මන්ත්‍රණයේ දී රාමායනය යනු ප්‍රබන්ධයක් යන්න මෙන්ම රාමායනය හා සම්බන්ධ කර ඉදිරිපත් කරන ලද විවිධ සාධක පදනමක් නොමැති බවත් පෙන්වා දෙන ලද්දේ ඒ පිළිබඳ ප්‍රවීණයන් වූ විද්වතුන් විසිනි.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළින් පුරාවිද්‍යාත්මක දත්ත, ලේඛන, අභිලේඛන හා භාෂා සාධක සෙවීමේදී ද, රාවණා නම් ඓතිහාසික අයෙකු හෝ ‘රාවණ රාජධානිය’ක් පිළිබඳ විශ්වාසදායක සලකුණු සොයාගත නොහැකි වී ඇති බව පෙන්වා දෙන ලදි. ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට සියවස් කිහිපයක කාලය ආවරණය කරන බ්‍රාහ්මී ලිපි ගණනාවක් අතර ‘රාවණ’ යන පුද්ගල නාමය හෝ අද කියන වෘත්තාන්ත සම්බන්ධ සටහන් හමුවී නොමැති වීම, අද මට්ටමින් ප්‍රචලිත වන ව්‍යාජ-පුරාවිද්‍යාත්මක ප්‍රයත්නයන්වලට (උදා: සීගිරිය/ඉසුරුමුණි ආශ්‍රිත වැරදි සම්බන්ධකම්) විවේචනාත්මක අර්ථකථන අවශ්‍ය කරයි. 

එසේම රාවණට හෝ රාමායණයට සම්බන්ධ යැයි හුවා දැක්වෙන යුදගනාව, උස්සන්ගොඩ වැනි ස්ථානවල දැකිය හැක්කේ ස්වාභාවික භූදර්ශන බව පෙන්වා දී තිබේ. ඒවා ඇති වීමට බලපා ඇති හේතු නූතන විද්‍යාව මගින් පැහැදිලි කර තිබේ.

‍මේ සියලු කරුණු කාරනා සලකා බලන විට, අවසාන වශයෙන් කිව යුත්තේ රාමායණය කියවිය යුත්තේ වචනාර්ථයෙන් පමණක් නොව සංකේතාර්ථ, ආගමික සංකල්ප හා සාහිත්‍යය යථාර්ථයන් එකලස් කළ කාව්‍යයක් ලෙස ය. එහි චරිත වන රාම, සීතා, රාවණ ආදිය භාරතීය භූසමාජීය දර්ශනයක් තුළ ගොඩනඟා ඇති කල්පිත නාට්‍යාකාර පරපුරකි. මේ සැකෙවින් ගෙනහැර පෑ කරුණුවලින් සනාථ වන්නේ රාමායණය ප්‍රබන්ධයක් බවත් එහි දැක්වෙන ලංකාපුරය මේ දිවයිනට සම කළ හැක්කේ නාමික වසයෙන් පමණක් බවත් ය. මෙහි හමු වන චරිත සත්‍ය වසයෙන් ජීවත් වූ චරිත නොව කවියකුගේ මනසෙහි පහළ වුණු මනස් පුතුන් පමණක් බවත් ය.

Tuesday, February 25, 2025

ඔබටත් සවන් දෙන්න කෙනෙක් ඉන්නව ද?

මේ අදට අවුරුදු තිහකට විතර කලින් වූ සිදුවීමක්. ඒත් ඒක කවදාවත් මට අමතක නොවන්නක්. 

මේ කතාව කී කෙනා එතකොටත් තරමක් වියපත් අයෙක්. විවිධ ලිපි ලියූ ශාස්ත්‍රවන්තයෙක් ලෙසයි මම හඳුනාගත්තෙ. එක දවසක් ඔහුගෙ නිවසේ දී ඔහු මට මෙහෙම කීවා.

"අර x දන්නව නේද?"

"ඔව්. අහල තියනවා" මම කීවා. ඒ කියන අනෙක්‌ කෙනාව මම හඳුනන්නේ නැතත් ශාස්ත්‍රීය කටයුතුවල යෙදුන කෙනෙක් නිසා නමින් දැනගෙන හිටියා.

"දවසක් එයා මට කතා කරල කීවා, වැදගත් දේකට අද හමු වෙන්න පුලුවන් ද කියලා. අපි කාලයක ඉදලා දන්න අයනෙ." දැන් ඔහු විස්තර කියනවා.

ඔහු තවදුරටත් මෙහෙම කීවා.

"ඒත් එදා හොඳ වෙලාවට මට යන්න හිතුනෙ නෑ..." එසේ කියද්දි ඔහුගේ මුවේ මදහසක් මම දුටුවා.

මම මොකුත් අහන්න පෙරම ඔහු හේතුවත් කීවා.

"ඊට දවසකට පස්සෙ තමයි X සුවිසයිඩ් කරගත්තේ. වෙඩි තියාගෙන."

"එදා මං ගියා නං මමත් කරදරේ වැටෙන්න ඉඩ තිබ්බා." ඔහු වැඩිදුරටත් කීවා.

මට කියන්න දෙයක් හිතට ආවෙ නෑ. මොහොතක් හිත නතර උනා.

ඒත් මට හිතුනෙ, ඔහු කලක් දන්නා හිතවතාගේ ජීවිතය බේරාගැනීමට තිබ්බ අවස්ථාවක් නේද ඒ නැති උනේ කියලයි... ඒ දිවි නසාගත් තැනැත්තාට හිතවතෙකු හා කතා කරන්න ලැබුනා නම්, ඔහු ඒ තීරණය නොගන්නට තිබුණා නේද?

එහෙම මිතූරෙකු ඔබටත් මටත් කතා කරන්න පුළුවන්. එහෙම උනොත් ඇහුම්කන් දෙන්න.
මොකද දවසක අපි උනත් ඒ වගේ තීරණාත්මක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්... එදාට අපට සවන් දෙන්න මිතුරෙක් නැති වෙන්න පුළුවන් නිසාම.

ධනේෂ් විසුම්පෙරුම
2025-02-24

Wednesday, July 31, 2024

අපේ පුස්තකාලවල ඉරණම

ධනේෂ් විසුම්පෙරුම

2024-07-31

කලක් තිස්සේ ටික ටික ලියමින් සිටි මේ සටහන අවසන් කිරීමට මට සිතුනේ මෑත දිනයක මගේ මිතුරෙකු පැවසූ කරුණක් නිසාය. ඔහු කී පරිදි, ඔහු "දැන් පොත් ගන්නේ අඩුවෙන්"ය. ඊට හේතුව ලෙස ඔහු කීවේ, ඔහුගෙන් පසුව පොත්වලට කුමක් වේද යන්න නොදන්නා බවයි. පරිසරය මෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂය පිළිබඳ උනන්දුවක් දක්වන හා විශිෂ්ට දැනුමකින් යුක්ත ඔහුගේ දරුවන්‌ උනන්දුවක් දක්වන අංශ ඊට වඩා වෙනස් බව මම දැන සිටියෙමි.

මම පොත් ගැනීම අඩු කර දැන් කලක් ගත වී තිබේ. මම උනන්දුවක් දක්වන අංශවල වුවත් මගේ විශේෂිත උනන්දුවක් ඇති මාතෘකාවලට අදාළ පොත් මිස සෙසු පොත් දැන් මිලට ගන්නේ නැති තරම්ය. ඒ සඳහා මූලික හේතුව ඉඩ නොමැති වීම වන අතර, දෙවැනි හේතුව වන්නේ ආයතනික පුස්තකාල පරිහරණයට මට ඕනෑ තරම් අවස්ථාව තිබීමයි.

අපි බොහෝ දෙනා පෞද්ගලික පුස්තකාල නඩත්තු කරන්නෙමු. එසේම පොත්වලට ප්‍රේම කරන්නෙමු. අප මෙතරම් ප්‍රේම කරන පොත්වලට, අපෙන් පසුව අනාගතයේ දී අත්වන ඉරණම කෙබඳු විය හැකිදැයි අපි සිතා බැලිය යුතුය. 

පෙර සඳහන් කළ පරිදි මේ ගැන කලක සිට ලිවීමට සිතා සිටියේ සිදුවීම් දෙකක් නිසාය.

ගංවතුරින් පාලනය වූ පොත්


මට මුලින්ම මේ ගැන සිතුනේ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි පැරණි සිවිල් නිලධාරියෙකු සතු වූ පුස්තකාලයට සිදුවන දේ පිළිබඳව ඔහුම පැවසු කරුණක් නිසාය. ඒ වසර පහලොවකට පමණ පෙර මා ඔහුගේ නිවසට ගිය අවස්ථාවක දී ය. ඔහු සතුව 1950 දශකයේ පමණ සිට එකතු කළ පොත් එකතුවක් විය. ඒ එකතුව දෙස බලමින් ඔහු පැවසුවේ අපේ පොත්වලට අනාගතයේ දී සිදුවන දේ ගැන කලින් සිතිය යුතු බවයි. ඔහුගේ දූ දරුවන් ඒ පොත් පත් පරිශීලනය නොකරන බව ඔහු කීවේ කම්පාවක් නොමැතිවයි. එසේම ඔහු මද සිනහවකින් කීවේ, "මගේ නං පොත් ටික ටික අවුරුදු කීපයකට වරක් නැතිවෙනවා" කියාය. ඒ කෙසේදැයි ඇසු විට ඔහු කීවේ පොත් රාක්කවල පහළ තට්ටුවල පොත් ගංවතුර නිසා විනාශ වී ඉවතලන්නට සිදුවන බවයි. ඒ නිවස පිහිටි අතුරු මාවත බරපතළ ගංවතුර අවස්ථාවල දී වතුරට යටවේ. ඔහු ඒ පොත්වලට කළේ කුමක්දැයි නොදනිමි. අද වන විට ඔහු ඒ පොත්-පත් පමණක් නොව ගිහි ජීවිතයෙන් ද ඇත්ව මහණ දම් පුරන්නෙකි.



නොදන්නා අත්වලට යන පොත්


තවත් අප දන්නා වියතකුගේ වසර හැට හැත්තෑවක් පමණ කාලයක් තිස්සේ එකතු වු පොත් එකතුව ඔහු මියගිය පසු නිවසේ උදවිය විසින් වෙනත් අයට රැගෙන යන්නට දී ඇත. ඔහුගේ දූ දරුවන් අතර ඔහුගේ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන්නවුන් නොවිණි. මට දැනගන්නට ලැබුනු ආකාරයට පොත්වලින් කොටසක් හිතවත් අයෙකුගේ මැදිහත්වීමෙන් රජයේ විශ්ව විද්‍යාලයකට ලබා දී ඇත. එහෙත් අනෙක් පොත් විවිධ පුද්ගලයින් විසින් පැමිණ රැගෙන ගොස් තිබේ. එක් අයෙකු පැමිණ 'වෑන් ලෝඩ් එකක' පුරවා පොත් රැගෙන ගිය බව මට අසන්නට ලැබිණි. 


පොත්වල ඉරණම ගැන ලියැවුන දේ

මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් පොත් එකතු දෙක් එරික් ඉලියප්පආරච්චිගේ 'මගේ පුස්තකාල' නම් කෘතියේ එවැන්නක් ගැන සඳහන්ය. ඔහු පළමුවැන්න ගැන මෙසේ කියයි. 

"සුලේමාන් ටෙරසයේ පිහිටි සමාජ විද්‍යාඥයින්ගේ අගනා පුස්තකාලය රාක්ක සමග විකුණා දමනු ලැබුණේය. එදා සුලේමාන් ටෙරසය බස්රාවකට හෝ අලිප්පෝවකට හෝ සමාන විය. "අපේ රටේ දැනුමේ ඉරණමේ හැටි මෙහෙමයි" කවුදෝ කීවේ සුසුම් ලමිනි. මා ඇතුළු ඒ පොත් තුට්ටුවට දෙකට මිලට ගත් සියල්ලන්ට මිනිස් ශිෂ්ටාචාරය විසින් වරෙන්තු නිකුත් කරනු ඇත." (පිටුව 111)

ඉලියප්පආරච්චි තවත් වටිනා පුස්තකාලයක් ගැන ඒ කෘතියේම මෙසේ පවසා ඇත.

"වටිනා පුද්ගලික පුස්තකාල ද මේ ඉරණමට ලක්වන බව පරණ පොත් කඩවලට හා පදික පොත් වෙළෙඳුන්ට අත්සන් සහිතව ලැබෙන පොත්වලින් පැහැදිලි වේ. හිරිහැටියේ අනුර බණ්ඩාරනායකගේ නම සහිත ඉංග්‍රීසි පොත් රැසක් පදික වේදිකාවට පැමිණියේය. මිල දී ගත් නගරය ද ලන්ඩන්, පැරිස්, නිව්යෝක් වශයෙන් ඒවායෙහි ලියා තිබිණි. ඒ පොත් අනුව ඔහු මෙරට විසූ දුර්ලභ ගණයේ නිහඬ ප්‍රාඥයෙකි" (පිටුව 111)

අනුර බණ්ඩාරනායක යනු බොහෝ සේ පොත පත කියැවු අයෙකු බව රහසක් නොවේ. ඉලියප්පආරච්චි පවසන මේ සිදුවීම කරුණාරත්න අමරසිංහයන් දින වකවානු සහිතව ලියා ඇත. ඒ අනුව එය සිදුව ඇත්තේ 2016 අගෝස්තු මාසයේ 09 වැනි අඟහරුවාදා හෙවත් අනුරගේ මරණයේ වසර 8කට පසුවය! අමරසිංහයන් වෙනත්  මාතෘකාවක් ගැන ලියන සටහනක උක්ත සිදුවීම ගැන ලියා ඒ සටහන මෙසේ අවසන් කරයි. 

"මෙරට විශිෂ්ට දේශපාලන නායකයෙකු වීමට උපනිශ්‍රය ඇතිව උපන් අනුර බණ්ඩාරනායකගේ අකල් අභාවයෙන් අනතුරුව ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ තිබුණු විවිධ විෂය පථයන්ට අයත් අගනා පොත්පත් මහ මග පදික වේදිකාවට කුණු කොල්ලයට විකිණී යෑම කොතරම් ඛේද ජනකද?" (අදාළ සටහන මෙතැනින් කියවන්න)


අපේ වගකීම කුමක් ද?

පොත් යනු දැනුමයි. තවදුරටත් අපට ඕනෑ නැතිනම් සහ අපෙන් පසුව ඒවා පත් විය යුත්තේ, ඒවා පත්විය යුත්තන් අතට බව දැන් මගේ ද අදහසයි. අප ආදරය කළ පොත් නැසෙනු දැකීමට අපි නොකැමැත්තෙමු. ඒ පොත්, අප මෙන්ම ඒවාට ආදරය කරන්නවුන් අතට පත් වීම එක්තරා ආකාරයක සැනසුමකි.

මේ සිතිවිල්ල අනුගමනය කරමින්, මම මගේ පොත් එකතුවෙන් මට අනවශ්‍ය යැයි සිතූ පොත් හා වාර්තා දෙසීයක් පමණ දෙවරක දී බැහැර කරන්නට උත්සාහ දැරීමි. සමහරක් අවශ්‍ය මිතුරන්ට මෙන්ම, සුදුසු යැයි මා සිතූ ආයතනයක පුස්තකාලයකට ද දුනිමි. ඒ ලද අත්දැකීම අනුව මා සිතන්නේ වඩාත් යෝග්‍ය වන්නේ ආයතනයකට ලබාදීම බවයි. 

ඉතින් ඔබත් පොත් ඇසුරු කරන්නෙකු නම්, වටිනා පොත් පත් තිබේ නම්, ඔබෙන් පසු ඒ පොත් පරිස්සමින් කියවන්නෙකු සමීපතමයන් අතර නොමැති නම්, ඔබෙන් පසුව සුදුසු අයෙකුට හෝ ආයතනයකට ඒ පොත් ලබා දීමට කාරුණීක වන්න. 

එසේම ඒ තීරණය කලින් ගත යුතුය. 

ඡායාරූපය - මම මගේ එකතුවෙන් කලකට පෙර බැහැර කළ පොත් අතරින් කිහිපයක්.


Sunday, June 23, 2024

පාසලෙන් ඈත් වීම

මෙය පසුගිය දා මා දුටු මීම් එකකි. තරමක හාස්‍යයක් දැනුනත් මේ තුළින් පෙන්වන්නේ අද උසස්පෙළ පාසැල් අධ්‍යාපනයේ ඇති අර්බුදයයි. උසස් පෙළ කරන වයසේ ළමුන් පාසැලට නොපැමිණීමයි - කලින් පාසල් යෑම නැවැත්වීමයි.


මා දකින ආකාරයට මෙවැනි තත්ත්වයක් ඇති වන ආකාර දෙකකි.

1.     උසස් පෙළ කරන ළමුන් - මේ අතරින් සමහර ළමුන් පාසලට වඩා උපකාරක පංති සඳහා කාලය වෙන් කර ඇත. ඒ නිසා පාසල් පැමිණෙන්නේ නැත. මදක් විමසීමෙන් බැලුවහොත්, සතියේ දිනවල උදේ වරුවේ උපකාරක පංති ඇති ස්ථාන බොහෝ ඇති බව දැකිය හැකිය.

2.      උසස්පෙළ නොකරන ළමුන් - ළමුන් සමහරක් උසස් පෙළ විභාගය නොකර පෞදගලික සරසරවියක උපාධියක් කිරීමට යොමු වන නිසා පාසැල් පැමිණීම අවශ්‍ය නැත. එහෙත් මෙය වැඩි වශයෙන් නාගරික ප්‍රවණතාවයක් වන අතර එය සිදු කළ හැක්කේ යමක් කමක් ඇති අයටය. (මා දන්නා පරිදි විවෘත විශ්වවිද්‍යාලයේ ද උසස් පෙළ නොමැතිව පදනම් පාඨමාලාවකින් පසුව උපාධියක් කළ හැකිය.)

මෙහි ඇති ගැටලුව වන්නේ උසස්පෙළ අධ්‍යාපනයේ ඇති වටිනාකම හුදෙක් විෂය නිර්දේශයට සීමා නොවීමයි. එය තවත් අංශ ගණනාවකට යොමු වී ඇත. මද කලකට පෙර ව්‍යාපෘති ක්‍රමය මගින් ඵලදායී තත්ත්වයක් ඇති විය. අනෙක් අතට පාසැල් ජීවිතයේ හොඳම කාලය වන්නේ උසස් පෙළ සමය බව මගේ අදහසයි. අප නිදහසේ ක්‍රීඩා, කලා, සමිති සමාගම් ආදියේ අත්දැකීම් ලැබුවේ ඒ කාලයේ දීය. ළමයෙකු සමාජයට නික්මීමට පෙර හැඩගැස්වීමේ ලා මේවා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

රටේ නිදහස් අධ්‍යාපනයක් නැතැයි ඔබට සිතිය හැකිය. නැත, ගාස්තුවලින් නිදහස් වූ අධ්‍යාපන අවස්ථාව සරසවි අධ්‍යාපනය දක්වාම අපේ රටේ ඇත. එහෙත් ගැටලුව ඇත්තේ තමන්ගේම (හා දෙමාපියන්ගේ) කැමැත්තෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීමය. එසේම අප මේ කතා කරන්නේ එකේ පංතියේ සිට සාමාන්‍ය පෙළ දක්වා වසර 11ක් නිදහස් හා නොමිලේ අධ්‍යාපනය ලද (එහි වටිනාකම නොදන්නා) ළමුන් පිළිබඳවය.

ධනේෂ් විසුම්පෙරුම

2024-06-23

Monday, May 20, 2024

හුදකලා වූ මරණය...

සැතපේ නිසලව
අවසන් නින්දේ
දිවිගමන නිම කළ 
පියෙකු සිය නිවහනේ...

තැන තැන හිඳිත්
සෝබර වතැතිව
පවුලේ අය පමණක්ම
අඳුරුය නිවෙස ද, අහස ද...

ළඟම නෑසියන්
කළණ මිතුරන්
පැමිණෙනු නොහැකිව
ඇමතුම් දෙත්
අසල්වැසියන් ද
එසේම ය...

පැමිණිවුන් ද නොරැඳෙති
නෑ-හිතවතෙකු වුව
වරකට සිටියැකි ගණන
නියම කර ඇති බැවින...

මළකෙනාගේ මතක
නොපැමිණේ සබයට
කතාවට අයෙකු නැත
මීටරේ දුර සිට වුව ද...

පැය විසිහතරකින්
නික්මිය යුතුය
දශක ගණනක්
ඔහු විසූ ‌සෙව‌නෙන්...

ගුණ කියන්නට
උත්සව සභා නැත
ගුණ අසන්නට
මහ සෙනග නැත...

ගමේ පන්සල වසා ඇත
වසංගතය නිසාවෙන්
හිමිවරුන් වැඩමවින
යාබද ගමක විහාරෙන්  
පාංශුකූලයට...

කොරෝනා ගෙන ආ
වෙනසය මේ...
මරණය හුදකලා වූව ද,
වෙන්වීම දැනේ හදවතට..

ධනේෂ් විසුම්පෙරුම

2024-05-20

සටහන- කොවිඩ් වසංගත සමයේ දී, තෙවසරකට ‌පෙර මා සහභාගී වූ මළගෙදරකින් ලත් අත්දැකීමකින් වික්ෂිප්තව, ඇතැම් හිතවතුන් හා ඔවුන්ගේ නෑසියන් ඒ කාලයේ මියගිය බවක් කලක් යනතෙක් ‌නොදැන උන් සිදුවීම් කීපයකින් ජනිත වූ ශෝකයෙන් ලියන ලද්දකි. මෙතෙක් මෙය පළ කරන්නට සිතුනේ නැත.

අවමංගල්‍යයක් යනු මෙරට සමාජයේ සමාජයීය සිදුවීමකි, අවස්ථාවකි. ඒ ගැන මතුවට ලියනට සිතා සිටිමි.

Tuesday, August 8, 2023

නොගැයූ කැම්පස් පෙම් කවි! (කැම්පස් කතා 4)

මේ දෙදෙනෙකුගේ කතා දෙකක් වුවත්, එකිනෙකට යම් විදියකින් සම්බන්ධවන කැම්පස් කතා දෙකකි. කැම්පස් ගිහිල්ලාත් පෙම් කවියක්, ගීයක් ගයන්නට බැරි වීම ගැනය. මේ කතා අහලා ටිකක් දවස් වන නිසා මේ දෙන්නාගේ දැන් තත්ත්වය නොදනිමි.

ධනේෂ් විසුම්පෙරුම 

2023-08-07

පාලු වූ වරාය හෙවත් 'නැව්' ‌නොපැමිණි කාලය


එක් තරුණියක මෙරට සරසවියක හා තවත් උසස් අධ්‍යාපන ආයතනයක එකම කාලයේ පාඨමාලා දෙකක් සඳහා ලියාපදිංචි වී ඒ දෙකම අවසන් කිරීමට ආසන්නව සිටින්නීය. ඇහැට කනට පේන ඇයට තවමත් කොල්ලෙකු නැත. ඒ ගැන ඈ තරමක් පශ්චාත්තාප වී ඇති බව ඇගේ පවුලේ වැඩිහිටියන් කියනු ඇසේ. ඒකට හේතුව වී ඇත්තේ ඇගේ මිතුරියන් එකිනෙකා දැන් දැන් විවාහ වෙමින් සිටීමය. ඒ වැඩි දෙනා කැම්පස් නොගිය අයයි.

මෙසේ වීමට මූලික හේතුව වී ඇත්තේ ඇය උගන්නා තැන් දෙකේම ඇගේ බැච්වල අධ්‍යාපනය 90%ක් පමණම ඔන්ලයින් වීමය! තවමත් ඈ සිය බැච් එකේ ළමුන් ඔක්කොම දන්නවාදැයි මට නං සැකය.


ජ්‍යේෂ්ඨ උත්තමයන් කළ කරුම ගෙවන අලුත් බැච්වල උන්!


කොළඹින් පිටත තවත් සරසවියක දෙවන වසර සිසුවෙකු කී පරිදි 'අලුත් නැවේ' ආ අයිටම් දැකබලා බලාගන්නටවත් ඔවුන්ට බැරිය. අලුත් නැව සරසවි එනවිට දෙවන වසර සිසුන්ට නිවාඩු දීලාය. දෙවන වසර අය සරසවි එන විට අලුත් නැව් ගෙවල්වලට පිටත් කරලාය. ඔන්ලයිනුත් උගන්වනවාය. 

වරායේ දී පරණ නැව් හා අලුත් නැව් ගැටීම වළක්වා ඇත්තේ රැග් එක නිසාය. කරුමය කියන්නේ, රැග් කළේ තුන්වන හතරවන වසරවල අය වුවත් දැන් ඒකේ කරුමය ගෙවන්න සිදුව ඇත්තේ කවදාවත් රැග් කරන්න නොලැබුණු දෙවන වසරේ අයටය. ඒකෙ හොඳම හරිය, ඔහු කී විදියට අලුත් නැව තවම බලාගන්නටනත් නොහැකි වීමයි!

රැග් කරන්න එපා' කියා අපි ඉස්සර ඉඳලාම කීවේ ඔය ‌වගේ  දේවල් නිසාය.

Sunday, December 11, 2022

අපේ කාලයේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු සමඟ...




මම මේ ඡායාරූපයේ පෙනී ඉන්නේ 'අපේ කාලයේ සමාජ ක්‍රියාකාරීන්' දෙදෙනෙකු එක්කයි. දකුණු කෙලවරේ ඉන්නේ පියසිරි මාතරගේ මහතායි. මැද ඉන්නේ පියසෝම බෙන්තොට මහතායි (ඡායාරූපයේ වම් කෙලවරේ ඉන්නේ මමයි). ඉතින් ඒ දෙන්නාම මට කලින් පරම්පරාවේ අය, ජ්‍යේෂ්ඨයන් බවත් කියන්න ඕන.

මේ දෙන්නටම පොදු වූ කරුණු කීපයක් තියනවා. ඉන් එකක් තමයි දෙන්නගේම නම්වලට "පිය" කෑල්ලක් තිබීම - පියසිරි හා පියසෝම. ඒ වගේම, ඔවුන් දහස් ගණනක් සිසුන්ට ගුරුහරුකම් දුන්න ගුරුවරුන් වීමත් ‌සමානකමක්. මේ දෙන්නම අම්පාර, පොලොන්නරුව වගේ රටේ දුෂ්කර පළාත්වල සේවය කරලා පසුව කොළඹ දිස්ත්‍රික්කයේ සේවයට ආවට පස්සේ එක්දාස් නවසිය අනූව දශකයේ දී නියමිත වයසට කලින් විශ්‍රාම ගියා. ඒ වගේම මේ දෙන්නම වගේ වාමාංශික දේශපාලනයට හා වෘත්තීය සමිති කටයුතුවලට සමීප සම්බන්ධයක් තිබ්බ අය (බෙන්තොට මහතා වැඩියෙන්). ඉන් පස්සේ ඒ දෙන්නාම සමාන වැඩවල වගේම වෙනස් වැඩවලිත් යෙදුනා.

මං මුලින්ම අඳුනගත්තේ පියසෝම බෙන්තොට මහතාව. ඔහු විශ්‍රාම ගත්තට පස්සේ පූර්ණ කාලීනව යොමු උනේ සමිති සමාජ කටයුතු සඳහා. හොරණ පැත්තේ පටන් ගත්ත 'පොදුජන හිමිකම් කමිටුව' (CPR) පිහිටුවන්න ඔහු මුල් උනා. ඒ හරහා ඇති වූ, 'ගමගෙදර' නමින් ක්‍රියාත්මක වූ පන් වගාව පිළිබඳ වැඩසටහන ඒ පිළිබඳ උනන්දු හැමෝම වගේ දන්න එකක්. අපෙන් ඈත්වෙමින් තිබ්බ පන් කර්මාන්තයට නව ජීවයක් දෙන්න ඒ සමිතිය හා ඒ ව්‍යාපෘතිය සමත් උනා. බාහිර අරමුදල් සමග කරගෙන ගිය මේ වැඩේ ඒ අරමුදල් නැති වූ පසුව අදත් දුෂ්කරතා මධ්‍යයේ වුවත් කරගෙන යනවා. ඒ බෙන්තොට මහතාගේ කාලය, ශ්‍රමය මෙන්ම මුදල් ද වැයකරමින්. ඉතින් ඒකෙ කටයුතුවලදී අපි හමුවෙලා දැන් වසර පහළොවක් විතර වෙනවා. අදටත් මම ඒ කටයුතු එක්ක හැකි පමණින් සම්බන්ධ වෙනවා.

පියසිරි මාතරගේ මහතා මම හඳුනාගන්නේ බෙන්තොට මහතාගේ කටයුත්තක දීයි. ඔහු විශ්‍රාම ගියාට පසු වැඩි වශයෙන් යොමු වුනේ පුවත්පත් කලාවට හා ලේඛන කටයුතුවලට. ඔහු ලියූ ඇතැම් කෘති රාජ්‍ය සම්මානයෙන් පුද ලද ඒවා. ඒ වගේම ඔහුත් 'පොදුජන හිමිකම් කමිටුව' නමින් සංගමයක් හෝමාගම ප්‍රදේශයේ හදනවා. ඒත් ඒක වැඩි කාලයක් පවතින්නේ නෑ. පස්සේ 'සංවේදී රසික සංසදය' නමින් තවත් කලාව හා සම්බන්ධ සමිතියක් බිහිකර කලක් කරගෙන යනවා. ඔහු මුල් වී 2018 දී පිහිට වූ 'කැලණිවැලි ලේඛක සංසදය' එක්ක මමත් ඉන් වසරකට පමණ පස්සේ සම්බන්ධ උනා. එහි සභාපති ලෙස ඔහු සිය කාලය, ශ්‍රමය මෙන්ම මුදලුත් වැය කරන ආකාරය ඒ සංසදයේ කටයුතුවලට සම්බන්ධ වන නිසා එදා සිට මමත් දන්නවා.

අපේ රටේ සමිති සංගම් ආදිය එක්ක කටයුතු කිරීම හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. සාමුහික  කටයුත්තක් කියලා පිටතට පෙනුනාට, ලංකාවේ සමිති බොහොමයක වැඩි බරක් දරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විසින්. ඒ සංගම්වලට බාහිර මුදල් ආධාර නොලැබෙන විට එහෙම ඇදගෙන යන එකත් ලේසි දෙයක් නොවෙයි. මොකද එතකොට හැමදේම කරන්න වෙන්නේ ස්වේච්ඡාවෙන් නිසා - ඒ කියන්නේ තමන්ගේ කාලය, ශ්‍රමය වගේම සමහර විට තමන්ගේ මුදලුත් වැය කරන්න වෙනවා. 

මම මේ ගැන හොදටම දන්නේ මමත් වසර තිහකට කිට්ටුව සංවිධාන කීපයක් එක්ක වැඩ කරල සහ දැනටත් වැඩ කරන නිසා. ඒ උනත් මේ කීව දෙදෙනා කළ කැපකිරීම්වල කිට්ටුවටවත් මට එන්න බෑ. ඔවුන් සම්බන්ධ සමිති සමාගම් සඳහා සිය කාලය හා ශ්‍රමය වගේම මුදලුත් ඔවුන් වැය කරන ආකාරය මම දැක තිබෙනවා. ඒ වගේම සමිති කටයුතු සඳහා දායකත්වය ලබා දිය යුතු අනෙක් අයගේ දායකත්වය නොලැබෙන අවස්ථාවල ඒ බරත් ඔවුන්ම කරට ගෙන සමිතිවල කටයුතු ඇදගෙන යන හැටි මම දකිනවා. ඔවුන්ට මේ සමාජමය කටයුතු ජීවිතය හා බද්ධ දෙයක් - කොටින්ම ඒ ඔවුන්ගේ ජීවිතයමයි.

ඉතින් සමිතිවල කටයුතු කරන විට මට ඇතැම් විට ඇති වන කලකිරීම් එක්ක මේ වැඩවලින් ඈත්වන්න සිතුණු අවස්ථා තිබුනත් ඒ වැඩවල තවදුරටත් ඉන්න හිතෙන්නේ බෙන්තොට හා මාතරගේ වගේ මහත්වරු කරන වැඩ දෙස බලලයි. ඇත්තෙන්ම මේ කටයුතුවලින් ලැබෙන ආත්ම තෘප්තිය විශාලයි.

පෞද්ගලිකත්වය මුල් කරගත් මේ සමාජය තුළ පොදු කාර්යයන් කීරීමේ දී ඔබ දෙදෙනා රටට දෙන ආදර්ශයට ස්තුතියි. ඒ වගේම, තවත් බොහෝ කාලයක් මේ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.


ධනේෂ් විසුම්පෙරුම

2022.12.11

ඡායාරූපය: ප්‍රමිත දිල්රුක් සූරියප්පෙරුම

Sunday, November 28, 2021

ජාතික උරුමය ගවේෂණයට අතදෙන ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය

ධනේෂ් විසුම්පෙරුම


දේශය, 28.11.2021, පි.19



“ආරේයැස් ලයිබ්‍රරියේ
දූලි වැකුණු මේසය ළඟ
අද මම ලිපියක් කියවමි
ඔබේ පොතක් පෙරලාගෙන.
සෙමෙන් සෙමෙන් ඔබ එයි
පියගැට නැග.
නටබුන් මැද
නටබුන් වූ ප්‍රතිමාවක් සේ
මේසය එහා කොනේ
මා අසලම හිඳගෙන නිශ්ශබ්දව
ඔබත් පොතක් කියවන්නට පටන් ගනී.”

(මහගම සේකර, බෝඩිම, 1970)


කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පිළිබඳව මහගම සේකර විසින් රචනා කරන ලද ‘පරණවිතාන’ නම් වූ ඉහත කවි පංතියේ සඳහන් ‘ආරේයැස් ලයිබ්‍රරිය’ කුමක්දැයි ඔබ දන්නවාද? ඒ අද ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය (RASSL) නමින් හඳුන්වන, 1845 වර්ෂයේ දී එවක මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය උගතුන් හා නිලධාරීන් පිරිසක් විසින් ආරම්භ කරන ලද පැරණිතම ශාස්‍ත්‍රීය සමිතියයි.

වසර 176ක් වැනි දිගුකාලයක් දෙස්-විදෙස් විද්වතුන් විසින් අපේ රටේ උරුමය පිළිබඳව ජාතිය දැනුම්වත් කිරීමට, ඒ පිළිබඳ පර්යේෂණ හා සාකච්ඡා කිරීමට විද්වතුන්ට මූලස්ථානය වූයේ රාජකීය ආසියාතික සමිතියයි. දැනුම ගවේෂණය කරන විද්වතුන්ට හා විද්‍යාර්ථීන්ට දැනුම සපයන සැඟවුණු දැනුම සපයන මෙරට පැරණිතම පුස්තකාලයක් සමිතිය සතුය. එසේම අපේ උරුමයේ විවිධ පැතිකඩ ඔස්සේ දේශන, සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්විම සමිතියේ තවත් කාර්යයකි. සමිතිය ආරම්භයේ සිටම පළ කරන සමිතියේ ශාස්‍ත්‍රීය සඟරාව රටේ අනාගත පරම්පරාවට මෙන්ම ලෝකයටම මේ දැනුම සම්ප්‍රේෂණය කරයි. එසේම සුවිශේෂ මාතෘකා යටතේ අපේ උරුමය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ග්‍රන්ථ මාලා ද කලින් කලට එළි දක්වා ති‌බේ.

ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ පර්යේෂණ


සමිතියේ අරමුණු අතර, ශ්‍රී ලංකාවේ නූතන හා අතීත ජනතාවගේ ඉතිහාසය, ආගම, භාෂාව, සාහිත්‍යය, කලාව, විද්‍යාව හා සමාජ තත්ත්වය පිළිබඳව අධ්‍යයන ප්‍රවර්ධනය කිරීම මූලික වේ. අද වන විට සමාජීය සහ මානව විද්‍යාවන් පිළිබඳ අවධානය වඩාත් ඉහළ ගොස් තිබේ. ඉතිහාසය හා පුරාවිද්‍යාව මේ අතර විශේෂිතය.

රාජකීය ආසියාතික සමිතිය ආරම්භයේ සිට අද දක්වාම උක්ත විෂය සම්බන්ධ බොහෝ ලිපි සමිතියෙන් පළ කරනු ලබන ශාස්‍ත්‍රීය සඟරාවේ පළ වේ. 1845 දී ලාංකීය උගතෙකු වූ සයිමන් කාසිචෙට්ටි විසින් සමිතියේ සඟරාවේ මුල්ම කලාපයට රචනා කරන ලද ‘පැරණි කාසි කිහිපයක්’ නම් ලිපිය මේ විෂයයක් ගැන සාකච්ඡා වූ පළමු ලිපිය වන අතර එතැන් සිට අද දක්වා මේ විෂයයන් හා සම්බන්ධව බොහෝ ලිපි සඟරාවේ පළ වී ඇත.

මෙරට පුරාවිද්‍යාව පිළිබඳ රාජ්‍ය මට්ටමේ ආයතනික මැදිහත් වීම්වලට පෙර 1880 දශකයේ දී සමිතිය මැදිහත් වී පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව කටයුතු කර තිබේ. 1884 වර්ෂයේ දී එවකට සිටි ආණ්ඩුකාරවරයාගේ යෝජනාවක් අනුව අරමුදලක් පිහිටුවන ලදි. උතුරුමැද පළාතේ ඓතිහාසික නටබුන්වල පුරාවිද්‍යාත්මක අවශේෂ පරීක්ෂා කිරීම සඳහා සක්‍රියව මැදිහත් වීම එහි අරමුණ විය. අරමුදල සඳහා රුපියල් 875ක මුදලක් සාමාජිකයන්ගේ දායකත්වයෙන් එකතු වූ අතර, ඒ මුදල්වලින් මිරිසවැටියේ වාහල්කඩක කැනීම් කටයුතු සිදු කර ඇත්තේ පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ මැදිහත්වීමෙනි. සමිතියේ සාමාජිකයන් වූ මන්නාරම උප ඒජන්තවරයාට මාන්තායිහි ද, වවුනියා උප ඒජන්තවරයාට වවුනියාවේ ද කැනීම් කිරීම සඳහා සමිතියේ මූල්‍ය අනුග්‍රහය ලැබී ඇත. මේ කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමට පෙර කාලයේ දීය.

රාජ්‍ය ආයතනික ව්‍යූහය ස්ථාපිත කිරීම


මේ කාලය තුළ මෙරට ජාතික මට්ටමේ ආයතන කීපයක් ආරම්භ කිරීමට සමිතිය නිර්දේශ කර හා මුල් වී ඇති අතර ඒ හරහා රටේ අනාගත දැක්ම සකස් කරන්නට සමිතිය දායක වී තිබේ. ජාතික කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ අතර වේ. එසේම තවත් අධ්‍යාපනික හා විද්‍යාත්මක ආයතන රැසක් පිහිටුවීමට සමිතිය මුල් වී ඇත.

ආරම්භයේ සිටම සමිතිය සතුව විවිධ කොතුක වස්තු එකතුව සඳහා කෞතුකාගාරයක් පිහිටුවීම පිළිබඳව සමිතියේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ ප්‍රතිඵලය වූයේ එවකට ලංකාවේ ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි විසින් රජයේ ආයතනයක් ලෙස කොළඹ කෞතුකාගාරය පිහිටුවීමය. එය 1877 වර්ෂයේ දී විවෘත විය.

සමිතියේ පුරාවිද්‍යා කටයුතුවල අත්දැකීමත් සමඟ, පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා කිරීම සඳහා රජය මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව සමිතිය 1889 දී පමණ රජයට දන්වා ඇත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1890 වර්ෂයේ අයවැයෙන් වැඩි මුදලක් පුරාවිද්‍යා කටයුතුවලට වෙන් කර වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමය. එහි පළමුවැනි කොමසාරිස් තැන ලෙස පත්වූයේ රාජකීය ආසියාතික සමිතියේ ලේකම්වරයෙකු වූ එච්. සී. පී. බෙල්ය.

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ කටයුතු සඳහා එකල සිටම රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම අනුග්‍රහය සමිතියට ලැබිණි. සමිතියේ අනුශාසකවරයා වූයේ රටේ ප්‍රධානියාය. ඒ අනුව ආණ්ඩුකාරවරු, අග්‍රාණ්ඩුකාරවරු හා අද වන විට ජනාධිපතිවරයා සමිතියේ අනුශාසකත්වය දරයි. සමිතිය 1992 වර්ෂයේ දී පාර්ලිමේන්තු පනතකින් සංස්ථා ගත කරන ලද අතර, සාමාජික ඡන්දයෙන් පත්වන උගත් විද්වත් පිරිසකගෙන් සමන්විත පාලක මණ්ඩලය එහි කටයුතු නියාමනය කරයි.

සමිතියේ කටයුතුවල සාර්ථකත්වය සඳහා එදා සිටම ලැබුණු රජයේ මූල්‍යමය අනුග්‍රහය වැදගත් විය. මේ රාජ්‍ය අනුග්‍රහය හා පිළිගැනීම තවදුරටත් නොඅඩුව ලැබීමෙන් අපේ ජාතික උරුමය අනාගත පරපුරට දායාද කරන්නට සමිතියට හැකි වනු ඇත.

(මේ ලිපිය සම්පාදනය කරන අවස්ථාවේ දී ලේඛකයා ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලක මණ්ඩල සභිකයෙකුව සිටියේය.)

Tuesday, February 23, 2021

හවුස්කෝට් දෙමු (එදිනෙදා කතා 03)

මේක 2000 ගණන්වල මුල වර්ෂයක දී සිදු වූ සිදුවීමක්. ඒ කාලෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරපතළ නියඟයක් ඇති වූවා. වැඩිම බලපෑමක් තිබ්බේ කිරිඳිඔය ව්‍යාපාරයට. 

ඒ වෙලාවෙ අපේ මිනිසුන් අතර තියන පරිත්‍යාගශීලි බව මොනවට පෙන්වා දෙමින් රටේ හැම පැත්තකම මිනිස්සු විවිධ විදියට එක්වෙලා ඒ ගම්වල උදවියට ආධාර කළා. ඇඳුම්, ආහාර ආදිය එකතු කර ගෙන ගොස් බෙදලා දුන්නා.

මමත් සම්බන්ධව සිටි පරිසර සංවිධානයකුත් ඒ කටයුත්තට දායක වුනා. සෑහෙන ආධාර තොගයක් ගෙනගොස් බෙදලා දුන්නා. 

ඉතින් ඒකට සම්බන්ධ වූ අය ඉන්න තැනකදි අපත් එක්ක සමීපව වැඩ කළ ඈත පැත්තක තරුණ ක්‍රියාකාරිකයෙක් මෙහෙම කීවා...

"අනේ අර ..... පැත්තෙ ගම්වල ගෑනු උදවිය දැන් නයිටි ගවුන් ඇදන් පාරෙත් යනවා... ඒ දීල තියෙන්නෙ කොළඹ ගෑනු රෑට ගෙදරට අඳින ඒව... අර ගම්වල ගෑනු ඒව පාරටත් අඳිනව."

ඔහු හරිම සංවේදී විදියට කතා කරන කෙනෙක්. මට මතක විදියට ඒ යනකොට පේන විදියත් පණ පිහිටුවලා වගේ කීවා. දන්නවනෙ නයිට් ගවුන් මහන රෙදි ගැන, ඩිසයින් ගැන...

කොහොම උනත් මේකට උත්තරේ එතන හිටපු ජ්‍යේෂ්ඨ කෙනෙක් දුන්න...

"මේ... උඹ ඕකට බැන බැන ඉන්නේ නැතිව හවුස්කෝට් ටිකක් එකතු කරල බෙදපන්කො"


මේ කතාව හැමදාටම අදාළයි. අනුන් හරි රජයක් හරි කළ හොඳ කටයුත්තක අඩුපාඩු පෙන්වන එක වැදගත්. ඒ වගේම ඒ විවේචකයන්ට පුළුවන් නේද ඒ අඩුපාඩුව හදන්න කටයුතු කරන්න. අඩු ගණනේ ඒකට මූලික පියවර ගන්න? ඒක සුබවාදී විවේචනයක ලක්ෂණයක්.

නිකං අඳුරට බැන බැන නොසිට පහනක් පත්තු කරන්න කියලනේ කියන්නේ. 


ධනේෂ් විසුම්පෙරුම

2021.02.23

Thursday, January 7, 2021

යාපහුවෙන් ගල්ටැංවැවට ආ සිංහයෝ! (ගමන් කතා 5)



මං මුලින්ම ඉබ්බාගමුව - පොල්පිතිගම - මඩගල්ල පාරෙ ගියෙ 1990 ගණන්වල. ඉන්පස්සෙ 2006 මුලදි විතර ඒ පාරෙන් මඩගල්ල, මොරගොල්ලාගම, රැස්වෙහෙර හරහා අනුරාධපුරය දක්වා දිගු ගමනක් ගියා. ඊටත් මද කලකට පසු 2007-2008 කාලෙ අපි ඒ පැත්තෙ සෑහෙන ඇවිද්දා. ඒ හිරියාල හත්පත්තුවේ පරණ පන්සල් වගේම වෙනත් සුන්දර තැන් බලන්න. 

එහෙම ගිය ගමනකදි වරක් අපේ වාහනය ගල්ටැංවැව කියන හන්දියෙ පොඩි කඩේක නැවැත්තුවා තේ එකක් බොන්න. මේ හතරමං හන්දිය හැදෙන්නෙ ඉබ්බාගමුවේ සිට පොල්පිතිගම හරහා මඩගල්ලට යන ප්‍රධාන පාරට (B 159) තවත් පාරවල් දෙකක් සම්බන්ධ වීමෙන්. ඒ ප්‍රධාන පාර ඉබ්බාගමුව පැත්තෙ සිට ඇවිත් මේ හන්දියෙදි දකුණට හැරෙනවා. එතනදි කෙලින්ම යන පාර යාපහුව පැත්තට යන අතුරු පාරක්. වමට යන එක හිරිපිටියෙ සිට ගල්ටැංවැවට එන B 609 පාර. (ඒ අන්තිමට කී පාර අද නොවැදගත් නමුත්, අතීතයේ වැදගත් වූ පාරක්!)

ඉතිං එදා ගල්ටැංවැව හන්දියෙදි  මීට කලින් නුදුටු දසුනක් අපි දැක්කා. ඒ තමයි හංදිය මැද අඹපු සිංහ රූප කීපයක් තබා තිබෙනවා. යාපහුවෙ අකෘතියට කළ සිංහ රූප බව පැහැදිලිව පෙනුනා. දැන් ඒක වටරවුමක් වගෙයි. 

ඉතින් මම ඒ කඩේ හිටි අක්කාගෙන් ඇහුවා ඒ ගැන 

"මේ සිංහ රූප කොයි කාලෙ කරපු ඒවද?"

මේකට උත්තර දුන්නෙ කඩේ හිටපු ගමේ පොරක්.

"අම්මෝ මේවා රජකාලෙ ඉදල තියෙන්නෙ. යාපහු රාජධානි කාල‌ෙ..."

ඒ පොර හිතන්න ඇත්තෙ අපි බබ්බු කියලා. සමහරු නං එහෙම කිව්ව ගමන් පත්තරේටත් ලියනවා, ෆේස්බුක් දානවා. ඒවා ජනප්‍රවාදත් කියනවා. ඒත් ඊට මාස කීපයකට පෙර මේ හන්දියෙ තිබ්බෙ නැති එකක් දැන් තියෙන්නෙ කොහොමද කියලා හිතන්න අපට කල්පනාව තිබ්බා. (පොර වගේ උදෙන්ම දාල හිටියෙ නෑනෙ).  

මේ හන්දිය නවීකරණය කරල විවෘත කරලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ බව අපි එතන තිබ්බ පුවරුවක තියනවා පස්සෙ දැක්කා. ඒ පැත්ත අයත් වන්නෙ යාපහුව මැතිවරණ බලප්‍රදේශයට (ආසනයට).


මේ පින්තූර නං Google Street View  එකෙන්.

ධනේෂ් විසුම්පෙරුම

2021.01.07 

Saturday, January 2, 2021

"ගුණේන්ද්‍රයා ආයෙත් ඇවිත්" - ටෙලි නාට්‍ය සහ ජීවිතය (දුව කී කතා 2)



දැනට මාස කීපයකට පෙර දවසක් කුස්සියේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්න දුව එකපාරට මෙහෙම කිව්වා - 


"අන්න අර ගුණේන්ද්‍රයා ආයෙත් ඇවිත්. එක පාරක් ඇවිත් මංගලීව අනාථ කරලා ගිහින් දැන් ආයෙත් ඇවිත්"...

ඒක ඇහිලා අග මුල මාරු වූ මං මේ මොකක්ද කියන්නේ කියලා ජනේලෙන් එබිලා බැලුවා - බැලින්නම් අපේ ගෙදර ඉස්සර හිටපු ලොකු පූසා (සරණ) ආපහු මේ පැත්තෙ ඇවිල්ලා... දැන් එයා ඉන්නෙ ටිකක් ඈත (කැලෑව පැත්තෙ - දුව කියන විදියට) තියන ගෙවල් ආශ්‍රිතවයි. එයා ඉඳහිට අර උවමනාව හැදුනම එනවා අපේ ගෙවල් පැත්තට... ඇවිත් අපේ ගෙදර (හා ළඟ ගෙවල් ආශ්‍රිතව) ඉන්න සුදු පූසි‌ගෙ පැටවුන්ගෙ තාත්තා වෙලා යනවා...

එහෙම ගියාට පස්සෙ ඉදහිට විසිට් එකක් දැම්මට ආයෙමත් එන්නේ ඒ උවමනාව හැදුනාම තමයි. මේ සිද්ධිය මං දන්නව උනාට දුව දන්නවා කියලා මං හිතුවෙ නෑ. අනෙක එයා පාවිච්චි කළ නම් හා වචන...

මම දුවගෙන් ඇහුවා ඇයි එහෙම කිව්වේ කියලා

"ඇයි ඉතිං අර වෙදහාමිනේ එකේ ගුණේන්ද්‍ර මංගලීව අනාථ කළා වගේ වැඩක්නෙ සරණ මේ කරන්න යන්නෙ. අර කැලෑව පැත්තෙ ඉදන් සැරින් සැරේ ඇවිත් සුදු පූසිට පැටවු හදලා යනවනේ. ආයෙ එනවද මේ පැත්තකට වත්?"

එයා ටෙලි නාට්‍යවලින්ම සමාජය ගැන ඉගෙන ගෙන තියන දේවල් කියලයි ඉන් පස්සෙ මං කල්පනා කළේ...


කොරෝනා නිවාඩුවේ ආ ටෙලිනාට්‍ය හා චිත්‍රපට වැස්ස!


අපේ ජීවිතේ වසර විස්සක් වගෙ කාලයක් තුළ බලන්න ලැබුණු ක්ලැසික් කියලා කටපුරාම කියන්න පුළුවන් ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටත් ගණනාවක්ම මේ කොරෝනා නිවාඩු කාලේ එයාට දකින්න ලැබුණා. ඒකත් පොත් කියවන්න ලැබීමත් මේ නිවාඩුවේ ලැබුණු එක වාසියක්.

කළුවර ගෙදර, ස්වයංජාත, වෙදහාමිනේ, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ ඒ අතර තියෙන කීපයක්. මේවා බැලුවට පස්සෙ එයාට අද තියන ටෙලිනාට්‍යවල ඇත්ත තත්ත්වය තේරිලා තියනවා. මේ තියෙන්නෙ එවැනි අවස්ථාවක කී කතාවක්.

ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි, ගම්පෙරළිය, කලියුගය වගෙම විරාගය, සාගරයක් මැද වගෙ හරයක් ඇති කතා තියන ගණනාවක් චිත්‍රපටි බලන්නත් එයාට අවස්ථාව ලැබුණා. ඒ වගෙම ගොළු හදවත, ගැහැණු ළමයි වගේ කරුණාසේන ජයලත්ගෙ ඒවත් කීපයක් බැලුවා තමයි.

මේ ගොඩක් ඒවා මම වරක් හෝ කීපවතාවක් බලලා තිබ්බට මේ වතාවෙත් බැලුවා. කොහොමත් ඒ වගේ එකක් යනකොට ඒවා අදාළ කාලයේ ඉතිහාසය, තියන සිදුවීම් ආදිය ගැන අටුවා ටීකා සපයන්නත් සමහර වෙලාවට මෙ ගැටපද විවරණය කරන්නත් මට සිද්ද වෙනවනේ.

ඉතින් අර ගුණේන්ද්‍රයා නිසා අපේ ගෙදරම වගේ ඉන්න පූසාට (එයාට දැන් කියන්නෙ පිපූ කියලා) මෙතන රඟපාන්න වෙලා තියෙන්නෙ අන්තෝනිගෙ චරිතය. මතකනෙ? ගුණේන්ද්‍ර ඉන්නකොට ඉතින් අන්තෝනිට නෝ චාන්ස්! එයා එනවිට තග දාලා එලවා ගන්නවා.

මේ ඡායාරූපවල තනිවම ඉන්නෙ "ගුණේන්ද්‍ර" (සරණ - නපුරු පාට පේනවනෙ! අනෙක් පින්තූරෙ ඉන්නෙ "අන්තෝනි" (පිපූ - අහිංසක පෙනුමට ඉන්නෙ) හා "මංගලී" (සුදු පූසි)... 

ධනේෂ් විසුම්පෙරුම
2021.01.02

Monday, August 31, 2020

පශ්චාත් කොවිඩ් ලෝකය හා හරිත ප්‍රකෘතිමත් වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.08.19, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/08/19/feature1.html


“මේ වසංගතයෙන් පස්සේ ලෝකය කලින් තිබ්බ ලෝකයම වෙන්නේ නෑ” යන්න අප මිත්‍රයෙකු පැවසූයේ පසුගිය අප්‍රේල් මස මුලදී පමණය. ඔහුගේ අදහස වූයේ ලෝකයේ ඒ වන විට පැවති ලෝක තත්ත්වයට වඩා සැලකිය යුතු වෙනස්කම් රැසක් අනාගතයේදී ඇති විය හැකි බවයි. ඇත්තෙන්ම එවැන්නක් සිදුවෙමින් තිබේද යන්න යම් ප්‍රමාණයකට හෝ සලකා බැලීමට දැන් අපට හැකියාව ඇත.

කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝවා වයිරසය ලෙස ප්‍රකට වර්තමාන වසංගතය නිසා ලෝකයේ විවිධ මට්ටම්වල සීමා කිරීම් ඇති වී ලොක්ඩවුන් තත්ත්වයකට පත් වූ මාර්තු හා අප්‍රේල් මාසවලදීය. අද වන විට ලෝකයේ රටවල් 190කට අධික ප්‍රමාණයකටම රෝගය ව්‍යාප්ත වී ඇත. යළි යළිත් රෝගීන් ගණන හා මරණ ගණන ඉහළ යමින් තිබෙයි.

ඒ තත්ත්වය හමුවේ ලෝකයේ සියලු රටවල විවිධ සීමා පැනවිණි. අන්තර්ජාතික ගමනාගමනය මෙන්ම ප්‍රවාහන කටයුතුද අඩාල විය. රටවල් තුළ සියලු අංශවල දෛනික කටයුතු රැසක් සැලකිය යුතු අන්දමින් බිඳවැටුණි. කර්මාන්ත තාවකාලිකව වසා දමන්නට සිදු විය. සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ නැවතිනි. විරැකියාව මෙතෙක් නොවූ විරූ අන්දමින් ඉහළ ගියේය. බොහෝ රටවල විවිධ අංශවලට ඔවුන්ට හැකි පමින් සහන ලබා දෙමින් තිබෙයි. එහෙත් එවැනි ආර්ථික ශක්තියන් නොමැති රටවල එය ගැටලු සහගතය. 

ලෝක ආර්ථිකයේ ඇති වූ පිරිහීම කෙතරම් ද යත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පෙන්වා දී ඇති ආකාරයට ලෝක ආර්ථිකය මේ වර්ෂයේදී 3%කින් පමණ අඩු විය හැකිය. එය විස්තර කරනු ලබන්නේ 1930 ගණන්වල ලෝකයේ ඇති වූ ආර්ථික අවපාතයෙන් පසුව ඇති වන බරපතළම ආර්ථික අවපාතය ලෙසය. ලෝකයේ බොහෝ කොටස් වෙළෙඳපොළවල අගය 25%ක් හා 30%ක් දක්වා පහළ බැස්සේ මාර්තු අප්‍රේල් මාසවලදීය.


අර්බුදයෙන් පසු ලෝකය 


අද වන විට ලෝකයේ කටයුතු ක්‍රමයෙන් යළි ආරම්භ වෙමින් තිබේ. සීමා සහිතව වුවද අන්තර්ජාතික ප්‍රවාහන කටයුතු යළිත් ආරම්භ වී ඇත. බොහෝ රටවල දෛනික කටයුතු දැන් ආරම්භ කර තිබෙයි. නිෂ්පාදන හා සේවා කටයුතු යම් ප්‍රමාණයකින් යළිත් ආරම්භ වී ඇත. මේ අනුව 2020 වෙන භාගයේදී කොරෝනා වයිරසය අඩු වී ගියහොත් ලබන වර්ෂයේදී ලෝකයේ ආර්ථිකය 5.8%කින් වර්ධනය විය හැකි බව පෙන්වා දී තිබෙයි. එසේම පහළ ගිය කොටස් වෙළෙඳපොළ ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙයි.

මෙය වැදගත්ය. මක් නිසා ද යත් මේ වර්ධනය සිදු වනු ඇත්තේ කෙබඳු ආකාරයකින් ද යන්න නිසාය. එය පරිසර හිතකාමී වර්ධනයක් වීම වැදගත්ය. 

මේ වන විට වැඩි වෙමින් පවත්නා ඛනිජ තෙල් භාවිතය තෙල් භාවිතය ඉහළ යන බවට සාධකයකි. පසුගිය පෙබරවාරි-මාර්තු පමණ තෙල් භාවිතය සඳහා ඇති ඉල්ලුම පහළ යෑමත් සමඟ තෙල් මිල පහළ ගියේය. ඇමරිකානු තෙල් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල පසුගිය අප්‍රේල් මාසයේ දී ඩොලර් 20 කටත් වඩා අඩු අගයක් දක්වා පහළ ගියේය. අන්තර්ජාතික තෙල් මිල ලෙස සැලකෙන බ්‍රෙන්ට් තෙල් මිල ද ඩොලර් විසි ගණනක් දක්වා පහළ ගියේය. එහිදී තෙල් නිෂ්පාදනය පහළ දැමීමෙන් තෙල් මිල තරමක් ස්ථාවර කරගැනී තෙල් නිපදවන රටවල් ක්‍රියාකළේය. 

කොවිඩ් වසංගතය උග්‍රව තිබිය දී වේගයෙන් පහළ ගිය තෙල් පරිභෝජනය දැන් නැවතත් ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. ඒ සමඟ තෙල් නිෂ්පාදනය ඉහළ යමින් තිබේ. එහෙත් එය මේ අර්බුදයට පෙර පැවති තත්ත්වයට ළඟා වනු ඇත්තේ ලබන වසරේ දෙවන කාර්තුවේදී පමණය. (1 රූපය බලන්න). එසේම පහළ ගිය තෙල් බැරලයක මිල ද ඩොලර් ඩොලර් 40 අගය ද ඉක්මවා තිබේ.


1 රූපය - ලෝකයේ දියර තෙල් නිෂ්පාදනය හා පරිභෝජනය වෙනස් වී ඇති ආකාරය
(මූලාශ්‍රය - එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය, 2020 අගෝස්තු)



කෙසේ වෙතත් මෙයින් පැවසෙන්නේ ලෝකය නැවතත් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වන්නේ හැමදාමත් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය යටතේ බවද? සමහර අංශවල එසේ නැති බවක් පෙනෙන අතර, තවත් අංශවල එසේ වීමට ද හැකිය.


හරිතවත් මාවතක අවශ්‍යතාවය


කොවිඩ් අර්බුදයෙන් පසුව ලෝකයේ ආර්ථිකය යළිත් ප්‍රකෘතියට ළඟා වීම සඳහා කටයුතු කිරීමේදී දළ ජාතික නිෂ්පාදනය ඉලක්ක කරගැනීම ගැටලුවක් විය හැකි බව දක්වා තිබේ. එයින් පැවසෙන්නේ හුදෙක් මෙතෙක් අප කටයුතු කරගෙන ආ පරිදිම කටයුතු කරගෙන යන බවයි.

අඩාල වූ ආර්ථිකය හා සංවර්ධනය යළිත් යථා තත්ත්වයට පත් වීමේදී හෙවත් ප්‍රකෘතියට පත් වීමේ ක්‍රියාවලියේදී හරිතවත් වීම වැදගත් බව පෙන්වා දී තිබෙයි. හරිත ප්‍රකෘතිමත් වීමක් (Green Recovery) ගැන ලෝකයේ සාකච්ඡාවක් ඇති වන්නේ එතැනදීය. එහි දී හුදෙක් හරිත රැකියා අවස්ථා පමණක් හරිතවත් කිරීම නොව සමස්තයක් ලෙස ප්‍රකෘතිමත්වීමේ ක්‍රියාවලියම හරිතවත් කිරීම වැදලත් බව පෙන්වා දී තිබෙයි. මෙය සැබැවින්ම අභියෝගයකි.

ලෝකයේ එවැනි තත්ත්වයක් ඇතිවෙමින් පවත්නා බවක් පෙනෙන යහපත් ප්‍රවණතා ගණනාවක් දැකිය හැකිය. නිදසුනක් ලෙස භෞතික රැස්වීම් වෙනුවට ඩිජිටල් මාධ්‍යයෙන් සිදුකරන කටයුතු ඉහළ යෑම දැකිවිය හැකිය. දුරස්ථ අධ්‍යාපනය, ටෙලි-වෛද්‍යසේවා (Telemedicine), මාර්ගගත වෙළෙඳ කටයුතු (Online trade) ඉහළ යෑම, ඩිජිටල් ක්‍රමයට පැවැත්වෙන රැස්වීම් හා සම්මන්ත්‍රණ ආදිය මේ අතර වෙයි. මේ සියල්ල අනුව යම් හරිතවත් හා පරිසර හිතවාදී තත්ත්වයක් දැකිය හැකි බව පැහැදිලිය. මේ නිසා සමස්ත ලෝකය පුරාම ඩිජිටල් තාක්ෂණික යටිතල පහසුකම්වල සැලකිය යුතු දියුණුවක් ලබා ඇති බව පෙනෙයි. බොහෝ රටවල මේ පහසුකම් නොතිබූ ප්‍රදේශවලට මෙන්ම ඒවාට ප්‍රවේශයක් නොමැති වූ පිරිස් අතරටද ඩිජිටල් තාක්ෂණය ගමන් කළේය. දැන් බොහෝ රැස්වීම් ආදිය පැවැත්වීම සඳහා අදාළ ස්ථානවලට ගමන් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව පැහැදිලි වී ඇත. විශේෂයෙන් අන්තර්ජාතික රැස්වීම් පවා මාර්ගගතව පැවැත්වීමට හැකි බව හෙළි වී තිබෙයි. එබැවින් අනාගතයේදී පරිසර පියසටහන අඩු කරගැනීමට මෙය යොදාගත හැකි කමයකි. ගුවන් ගමනාගමය යනු හරිතාගාර වායු විමෝචන ඉහළ මට්ටමකින් නිකුත්වීමට හේතුවන්නකි. 

අනෙක් අතට ඒ ඒ රටවල ආර්ථිකයේ අත්‍යවශ්‍ය කටයුතු දේශීය සම්පත් හා නිෂ්පාදන මත පදනම් කරගැනීම සඳහා පියවර ගැනීම ලෝකයේ බොහෝ රටවල වර්ධනය වූ තවත් එක් හරිතවත් ප්‍රවණතාවයකි. මක් නිසා ද යත් එවැනි ද්‍රව්‍යවල මෙන්ම පාරිභෝගිකයාගේ ද ‘කාබන් පියසටහන’ එමගින් අඩු වන නිසාය. දේශියව නිෂ්පාදනය කළ හැකි දේ ප්‍රවර්ධනය කිරීම නිසා එතෙක් අපතේ ගිය සම්පත් භාවිතය සඳහා ද අවස්ථාවක් ලැබී ඇත. එහෙත් මෙය කල්පනාකාරීව කළ යුතු දෙයක් වන්නේ, රටක ඇති ඉඩම්, ජලය හා ශ්‍රමය වැනි සම්පත් සීමාකාරී විය හැකි නිසාය. කිසිදු රටකට ආනයන හා අපනයන නොමැතිව පැවතිය නොහැකි වන නිසා මෙය වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු කරුණක් සේ අපි සිතමු.


ජනතාවගේ වගකීම


කෙසේ වෙතත් මෙවැනි පරිසර හිතකාමී ලක්ෂණ සහිත වූ ලෝකයක් ඇති කරගැනීමේ හැකියාව තිබෙන්නේ ද අපටමය. අනාගතය අද පවතින්නක් නොවේ. එසේම අනාගතය යනු ඉබේ ඇති වන්නක් නොවේ. අනාගතය යනු අපේ වර්තමාන ක්‍රියාකාරිත්වය මත ඇතිවන්නකි. පසුගිය දශක පහක පමණ කාලයේදී පරිසරය සම්බන්ධව ඇති වූ සංකල්පීය වෙනස්කම් හා ප්‍රවේශයේ ඇති වූ වෙනස්කම් මේ සඳහා නිදසුනකි. පරිසර දූෂණය පාලනයේ සිට තිරසර සංවර්ධනය දක්වාත්, එතැනින් හරිත ආර්ථිකය දක්වාත් ඇති වී තිබෙන වෙනස්කම් ඇති වූයේ ගත වූ වසර පනහක කාලය ඇතුළත දීය.

හරිතවත් හෙවත් පරිසර හිතකාමී අනාගතයක් වෙත ගමන් කළ හැකි ස්වර්ණමය අවස්ථාවක් අද ලෝකයට උදාවී ඇත. එහෙත් එය එසේ සිදුකිරීම ගැන තීරණය කළ යුත්තේ ලෝකයේ ඒ ඒ රටවල තීරණ ගන්නා පිරිස් විසිනි. එහෙත් ඒ සඳහා බලධාරීන් පෙළඹවීමට විවිධ අංශවල විද්වතුන්ට මෙන්ම මහජනතාවට හැකියාවක් ඇති අතර, එය කළ යුතුය. අප අද ජීවත්වන ලෝකය හා එහි සම්පත් අනාගත පරපුරටද අයිති සම්පත් වෙයි.

Saturday, July 25, 2020

ගිනි නොගත් මතකය

ඒ සඳුදා දවසෙ පාසල් ගමින් සිටි අප එදා උදේ බොරැල්ල නගරයට එන විට උදේ හතට විතර ඇති. වෙනදාට වඩා වෙනසක් ඈත තියාම අම්මත් මමත් දැක්කා. ඒ බොරැල්ල හන්දියේ නාරාහෙන්පිට පාරේ කඩ පෙළ ගිනි ගෙන විනාශ වෙලා තිබුණු හැටි. ඒ වර්තමාන සුපර්මාකට් එක ඉදිරියේ අනිත් පැත්තේ තිබූ ඒ කඩපෙළයි. පහේ පංතියේ සිටි කුඩා දරුවකු වූ මම එය දුටු පසු 176 බසයේ ජනේලෙන් මදක් ඉස්සී  ඒ දෙස බැලූ පසු දුටු ඒ දර්ශනය තවමත් මතකයි.

ඒක මහා විනාසයක් බව පෙනුණා. ඒ එක්කම කොළඹ පාරත්, වෝඩ් පෙදෙසත් අතර මුල්ලේ තිබූ කඩ කීපයකුත් ගිනි ගෙන විනාසවෙලා තිබ්බා. ඒ කඩවලට උඩින් ඊට යාබදව තිබූ තට්ටු ගොඩනැගිල්ලේ බිත්තියේ තිබූ BCC දැන්වීම මට තාමත් මතකයි.

ඒ දවස වෙලා තිබෙන්නෙ මොකද්ද කියලා නොදැන උනත් අපි පාසලට, දෙමටගොඩ වේළුවන විද්‍යාලයට, ගියා. එතැනදි බලනවිට තරමක කලබලගතියක් තිබ්බා. ළමයි ඇවිත් තිබ්බෙත් සෑහෙන අඩුවෙන්. අම්මා පාසලේ නැවතුනෙත් ඒ නිසා. ඊට පස්සේ විවේක කාලෙදි විතර ඇවිත් හිටි ළමයින්ට ආපහු යන්න කීවා. එන්න විදියක් නැති නිසා පාසලේ කැන්ටිම කරන අයගේ වාහනේ නැගලා ළමයි හා වැඩිහිටි කීපදෙනෙක් ආවා. අපි රාජගිරියට ආවෙ, වනාතමුල්ල ඕවල් (පී. සරවනමුත්තු) ක්‍රීඩංගනය තියන පාරෙන් ඇවිත්, කොටාපාරේ ගෝතමී පාර කිට්ටුවට වැටෙන පාරෙන් ඇවිත්. (අද මේක ප්‍රසිද්ධ ෂෙෘ්ට්කට් එකක්)

මේ වන විට රටේ මොකක් හරි කලබලයක් කියලා දැනගෙන හිටියා. ඒ දවස්වල තාත්ත වැඩ කළෙත් බන්ධනාගාර මූලස්ථානෙ. මේ කියන්නෙ ජංගම දුරකථන හා නිවෙස්වල ස්ථාවර දුරකථන නැති කාලෙ. එයා ආවෙ අපටත් පස්සෙ.

ටික ටික සිදුවීම ආරංචි උනා. පෙරදා රාත්‍රියේ ඒ ආරම්භ වෙලා තිබේබෙ "ජූලි කලබලය". මා කියූ ඒ දිනය තමයි 1983 ජුලි 25... අදට වසර තිස් හතකට පෙර අද වැනිම වූ දවසක්.

අපේ ගෙවල් පැත්තෙත් ටිකක් කලබල තිබ්බා. අපි පදිංචි නාවලට නුදුරු විජයබා මාවත පැත්තෙ එතරම් කලබලයක් නොවූවත්, ආසන්න ප්‍රදේශවල දෙමළ ජනතාව පදිංචි නිවාස කීපයකින් ඔවුන් එලවා දමා ගිනිතබා තිබුණා. පසුව වැලිපාක් කියපු, දැන් තෙත්බිම් උද්‍යානය කියලා නම් කර ඇති ස්ථානය ඉදිරිපිට කන්දවත්ත පාරට යාබදව තිබූ තරමක් විශාල නිවස ඉන් එකක්. එය අයත් වුනේ මානික්කම් කියා මතතෙකුට බවයි දැනගන්න ලැබුණෙ. ගිනි තැබීමෙන් පසු ඒ නිවෙසේ බිත්ති වසර ගණනාවක් තිස්සේ ඉතිරිව තිබුණේ හරියට භයානක සිහිවටනයක් වගේ.

මේ කලබල දින කීපයක් තිබ්බා. විවිධ සිදුවීම් ගැන අපට කටකතා ලෙස ආරංචි උනා. කඩවල් කොල්ල කාපු හැටි. ගිනිතියපු හැටි වැනි බොහෝ දේ ආරංචි වුණා. අපේ පැත්තෙත් ජාති-ආල කාරයො කීප දෙනෙක් එවැනි දේ නියැලුණා. ඒ අතර, එජාප මෙන්ම ශ්‍රිලනිප පාක්ෂිකයොත් හිටියා. සමහරු පසුව වසර ගණනකට සිරගතවුණා. 

ඒ කලබල නිසාම අගෝස්තු මාසෙ මමත් පෙනී සිටින්න තිබුණු ශිෂ්‍යත්ව විභාගයක් සති කීපයකින් කල්ගියා. ඒකෙත් හොඳක් උනාද දන්නෙ නැති උනත්, විභාගය හොඳින්ම ගොඩ ගියා. ඒකට නම් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ ගුරුවරයාට - ඒ ගැන වෙනම ලියන්න ඕන. 

(ජුලි කලබලවලට හේතු වූ යාපනයේ සිදු වූ සිදුවීම ඇතුළු බොහෝ දේ ගැන සවිස්තරව කියවන්නට මට ලැබුණෙ ඊට සෑහෙන කාලයකට පසුවයි. මේ අපි කියන්නෙ රජයේ ගුවන්විදුලි හා රූපවාහිනී චැනල් පමණක් තිබුණු, පත්තර කීපයක් පමණත් තිබුණු, පුද්ගල පරිගණක, ජංගම දුරකථන හා අන්තර්ජාලය නොතිබූ යුගයක් ගැනයි.)

ධනේෂ් විසුම්පෙරුම

2020.07.25

Saturday, May 2, 2020

සුනීත සහ සුමංගල කියවීමි

ධනේෂ් විසුම්පෙරුම


සුනීත සහ සුමංගල (යොවුන් නවතකාවකි)
කුසුම්සිරි විජයවර්ධන (2019) 


ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල - රු. 450/=


‘සුනීත සහ සුමංගල’ යනු අප හිතවත් ලේඛක කුසුම්සිරි විජයවර්ධන විසින් ලියන ලද යොවුන් නවතකාවකි. පොතක් කියවීම සඳහා දැන් මට ගත වන කාලය වැඩි නිසා මට කලින් එය කියැවූයේ මගේ දියණිය මෙතාෂාය. මගේ ඉල්ලීම මත ඈ මට ලියා දුන් අදහස් කීපයකි මේ:-


මේ කතාවේ සාරාංශය -  
සුනීත පොඩි හාමුදුරුවෝ ගැන -

ඈ කැමතිම චරිතය -


ඒ ඇගේ අදහස්ය. ‘සුනීත සහ සුමංගල’ ගැන මට සිතුණු දේ මෙහි සටහන් කිරීමට සිතුවෙමි. 

පොත් කියවන්නට ඇබ්බැහි වූ කාලයේ සිට මම යොවුන් නව කතා කියැවීමට විශේෂ කැමැත්තක් දැක්වීමි. එය අදටත් එසේමය. ඒවායේ ත්‍රාසජනක හා වීර ක්‍රියා සුලබය. සිංහල කතාවල නිදන් සොරුන් පිළිබඳ කතා ඉංග්‍රීසි කතාවලට වඩා සුලබය. එවැනි කතා එදා ළමුන් ලෙස ද, අද වැඩිහිටියන් ලෙස ද මම මහත් ආස්වාදයෙන් රසවිඳිමි. කුසුම්සිරි ඔහුගේ අලුත්ම කෘතියෙන් අපව වෙනස් මාතෘකාවක් වෙත ගෙනයයි.

බහු වාර්ගික ජනතාවක් වාසය කරන ප්‍රදේශයක් වන මල්වානේ පිහිටා ඇති විහාරයක්, එහි වෙසෙන භික්ෂූන් හා ගම වටා ගෙතී ඇති ‘සුනීත සහ සුමංගල’ යනු වීර ක්‍රියා ඇතුළත් නවකතාවලින් ඔබ්බට ගිය එකකි. කතාවේ කතා නායකයා සුනීත පොඩි හාමුදුරුවන්ය. නායක හිමියන් හා සුමංගල දෙවැනි හාමුදුරුවන් විහාරයේ වෙසෙන සෙසු භික්ෂූන් වහන්සේලාය. සුනීත හිමියන්ගේ මිතුරන්, දායකයින්, ගමේ සිංහල හා මුස්ලිම් වැසියන් කීපදෙනෙකු මේ කතාවේ සෙසු චරිත අතර වේ. සුනීත පොඩි හාමුදුරවන්ගේ චරිතය කතාව පුරා මතුව එන්නේ ආදර්ශමත් චරිතයක් වශයෙනි. තරුණ වයසේදී වෙනත් හරයන් පිළිගෙන නොමග ගොස් සිටි සුමංගල තෙරණුවන් යහමගට පැමිණීම සඳහා හේතු වන්නේ ද සුනීත පොඩි හාමුදුරුවන්ගේ හැසිරීම හා එතුළින් එහිමියන්ට ලැබෙන පිළිගැනීම බව පෙනෙයි. සුනීත හිමියන්ගේ කටයුතු නිසා පන්සලේ ද, ගමේ ද සිදුවන වෙනස්වීම් පාදක කරගත් මේ කෘතිය අපේ සමාජයේ ඇති මූලික ගැටලු දෙකක් ආමන්ත්‍රණය කරන බවක් මට සිතෙයි.

ඉන් පළමුවැන්න ජාතික සමගියේ ඇති වැදගත්කම හා එය ඇති කළ හැකි ආකාරයයි. අන්තවාදී පෙළඹවීමකට නතු වී නැතිතාක්, වාර්ගික විවිධත්වය ඉහළ බොහෝ ස්ථානවල සාමකාමී ජනජීවිතයක් දැකිය හැකි බව ඉතිහාසය විමසීමේදී පෙනෙයි. ඕනෑම සමාජයක වෙසෙන ඕනෑම ජනවර්ගයක, ඕනෑම ආගමත් අදහන පිරිස් අතර අන්තවාදී අදහස් දරන්නන් සිටිය හැකිය. මේ කතාවේ ද අන්තවාදීන් විසින් සිදුකරන වාර්ගික ගැටුම් පිළිබඳව මෙන්ම ඒවා වැළැක්වීම සඳහා පන්සල හා සෙසු සමාජය සාර්ථකව මැදිහත් වන ආකාරය ගැන සඳහන් වේ. කුසුම්සිරි මේ උපුටා දක්වන්නේ අපේ ගම්වල ආගමික හා සමාජ නායකත්වයේ මෙහෙයවීමෙන් හැමදාමත් පවත්වා ගැනීමට යෙදුණු ඒ සැබෑ ජාතික සමගියයි. ජාතීන් අතර සමගිය ඇති කිරීමේලා ගමේ පන්සල විසින් සැමදා ලබා දී ඇති නායකත්වය මේ කතාවේ යළි ඉස්මතු වේ. අද කෘත්‍රිමව ඇති කරන්නට යන සංහිදියාවට වඩා එය සාර්ථක ක්‍රමවේදයක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සිය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් අන්‍යාගමිකයන් පිළිබඳව අවබෝධයෙන් යුක්තව හා එකට ජීවත් වන හැටි කියා දෙන කතාවක් සේ මේ කතාව හැඳින්විය හැකිය. කතා නායකයා වන සුනීත පොඩි හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් පන්සලේ මෙන්ම දායක පිරිස්වල සිත්වල ද යම් යම් වෙනස්කම් ඇති වේ. එහෙත් පන්සලේ නායක හාමුදුරුවන්ගේ චරිතය තුළ එ් අවබෝධය හා සහජීවනය හැමදාමත් පැවතියේය. එය නැතිව ගොස් තිබුණේ, දෙවැනි හාමුදුරුවන්ගෙන් නියෝජනය වන, පහසුවෙන් නොමඟ යා හැකි නූතන තරුණ පරපුර තුළය. සිය ආදර්ශයෙන් හා මැදිහත්වීමෙන් සුනීත සාමනේරයන් විසින් එය යළි ස්ථාපිත කරනු ලැබේ.

මෙම කතාවේ කුසුම්සිරි මතු කරන දෙවන සමාජ ගැටලුව වර්තමාන තාරුණ්‍යය පිළිගන්නා හා අනුගමනය කරන විශ්වාස හා හර පද්ධති මොනවාද යන්නයි. මූලික වශයෙන් සුමංගල හිමියන්ගේ හා ඔහුගේ යහළුවන්ගේ චරිත හරහා පෙන්වන්නේ මෙයයි. භික්ෂුවක වුවත්, එහිමියන් නූතන තරුණ පරපුර පිළිගන්නා වටිනාකම් හා සංස්කෘතිය අනුගමනය කරන්නෙකි. ඒ නිසා නායක හිමියන් හා ගැටෙන අවස්ථා කීපයක්ද කතාවේ එයි. ගමෙන් පිට වෙනම යාළු පිරිසක් ආශ්‍රය කළ උන් වහන්සේගේ අදහසක් වන “මගේ තරුණ අදහස්වලට, වයසට ගැළපෙන කෙනෙක් ඔය හැට පැනපු දායකයො අතර නෑ” යන්න ඉන් එකකි. ගිහි ඇඳුමකට මාරු වී සංගීත සංදර්ශනයක් නැරඹීමට යෑම තවත් එකකි. මිතුරන් සමඟ බියර් පානය කිරීම ද එවැනි සිදුවීමකි. සුමංගල හිමියන්ට ඇති වන ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබාගැනීමට ඇති ආශාව ඒ පරපුරේ මූලික අවශ්‍යතාවක් බඳුය. එසේම මේ පරපුර සිය අවශ්‍යතා කෙසේ හෝ සපුරා ගැනීමට පසුබට වන්නේ ද නැත. බල්ලන් මරා හෝ සල්ලි සොයන පිරිස් වෙසෙන සමාජයක් ගැන එහි සඳහන් වෙයි. පිරිවෙනක ඉගෙන ගත් තරුණයෙක් ඒ පන්සලෙන් සොරාගත් පුස්කොළ පොතක් අලෙවි කරන සිදුවීම මීට නිදසුනකි. ආගමික හා වෙනත් කරුණු ගැන ලියැවුණු මිල කළ නොහැකි පුස්කොළ පොත් ඇන්ටික් හෙවත් පැරණි බඩු ලෙස අලෙවි වූ අවස්ථා රටේ සිදුව ඇත. ඒ කෙසේ හෝ මුදල් පමණක් සොයන පිරිසට රටේ සංස්කෘතික උරුමය ගැන අවබෝධයක් නොමැති නිසාය (එය නම් තරුණ පරපුරට පමණක් සීමා වූවක් නොවේ).


කතාවේ මා දුටු වටිනාකම් කීපයක්


කෙසේ වෙතත් මේ මූලික තේමාව හැර ‘සුනීත සහ සුමංගල’ කතාවෙන් කුසුම්සිරි පවසන තවත් වටිනාකම් කීපයක් මට හඳුනා ගැනීමට හැකි විය.

ඉන් එකක් වන්නේ පරිසරය හා ළමුන් අතර තිබෙන හා තිබිය යුතු සමීප සම්බන්ධතාවයයි. ඉමිටියාස්, තෙදස්, රවිඳු, රංගන හා චතුර යන මිතුරන් හා සුනීත සාමනේරයන්ගේ ගිහි කළ මිතුරන් සමඟ සිදුකරන එදිනෙදා ක්‍රියාකාරකම් පරිසරය හා බද්ධ වූ ඒවාය. වන පලතුරු ගැන පාසලේ ගුරුවරයා ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේ දී ඒවා නම් කරන්නේ ඉමිටියාස්ය. එසේම ඔවුන් “පහුරුවෙල අද්දර කැලෑවට ගිහින් පලතුරු කඩනවා” යන්න ගමේ වෙසෙන සැබෑ ළමයා මතුකරයි. එයට පිළිතුරු දෙන ගුරුවරයා පවසන්නේ “අන්න ඒක හොඳ වැඩක්. ඔය ළමයි වටපිටාව ගැන අවබෝධයෙන් හිටියොත් ශිෂ්‍යත්වෙ පාස් වෙන එක මහ කජ්ජක් නෙවෙයි.” මෙය පරිසරය පිළිබඳ අවධානය යොමු කිරීම අධ්‍යාපනය සඳහා කෙතරම් වැදගත්ද යන්න වටහා දෙන්නකි.

මේ කතාවේ දී කුසුම්සිරි මල්වාන හා අවට ප්‍රදේශය ගැනද සැලකිය යුතු විස්තරයක් සිදු කරයි. ගමේ ළමයි, ඔවුන්ට කළ හැකි දේ යනාදිය කියයි. වේගයෙන් වෙනස්වෙමින් පැවතුන ද මේ කියන ස්ථාන තවමත් මල්වාන හා ඒ අවට ඇත. මල්වානේ, මාපිටිගම කැලණි ගඟ අවට, කිඹුල්විල පැත්තේ හා වවුල්කැලේ දෙතුන් වරක් ඇවිදින්නට ගිය මගේ මතකයද යළිත් අලුත් කිරීමට ඒ විස්තරය සමත් විය. එහි නොගිය අයෙකු තුළ ද මේ ප්‍රදේශයේ පරිසරය ගැන චිත්ත රූප මැවීමට කුසුම්සිරි කතාවේ තැනින් තැන කෙටියෙන් වුවද සිදුකරන විස්තර පොහොසත්ය.

එසේම ගංවතුර ගැන එන විස්තරය කැලණි ගඟබඩ පිහිටි මේ ප්‍රදේශයට සදාකාලිකව මෙන් උරුම වී ඇති ස්වාභාවික ව්‍යසනය ගැන විස්තරයකි. එවැනි අවස්ථාවක අපේ මිනිසුන් අතර ඇති, වහා පිහිටට පැමිණෙන ගුණය කුසුම්සිරි මෙහිදී මනාව දක්වා ඇත. එවැනි අවස්ථාවලදී පිහිට වීමේදී කිසිදු වාර්ගික විශේෂත්වයක් අපේ ජනතාව අතර මෑතක් වනතුරුම පැවතියේ නම් නැත. පැරණි පුවත්පත් හා වෙනත් වාර්තා අනුව පෙනෙන්නේ දකුණේ ජනතාව ආපදාවකට ලක් වු විට උතුරේ ජනතාව ද, උතුරු නැගෙනහිර ජනතාව ආපදාවකට ලක් වූ විට දකුණේ ජනතාවද පිහිටට පැමිණී ආකාරයයි. සමහර විට විදේශවලින් ද අධාර ලැබිණි. තවත් අවස්ථාවල දී අපි සමහර රටවලට සහන ලබා දී ඇත. වඩාත් මෑතකදී ඇති වූ සුනාමි ව්‍යසනය අවස්ථාවේදී මේ තත්ත්වය අපි මනාව දුටුවෙමු. අවාසනාවකට මෙන්, සහන සැලසීමේදී වාර්ගික වශයෙන් වෙන් වූ තත්ත්ව මෑත කාලයේ සිට අපි දැක ඇත්තෙමු. (අතීතයේ පැවති ආපදාවලදී අනුන්ට පිහිට වූ හැටි ලිපියක් මෙතැනින් කියවන්න)

තවත් අපූරු නිරූපණයක් වන්නේ දරුවන් තුළ දැකිය හැකි විවිධ රුචිකත්වයන් හා දක්ෂතා කාලය සමඟ වෙනස්වන ආකාරයයි. ළමුන්ගේ ජීවිතවල අද වන විට ඇතිවෙමින් පවත්නා වෙනස සැලකිය යුත්තකි. අද ළමුන්ගේ කැමැත්ත ඇත්තේ අප කුඩා කාලයේ සිදු කළ දේට නොවේ. ඇතැම් ළමුන් සරුංගල් යැවීමට හා කැලේ ඇවිදිමින් ගඩා ගෙඩි කෑමට කැමැත්ත දක්වති. ඒ කටයුතුවලට සහභාගි වන අතරම, මේ කතාවේ රවිඳුගේ කැමැත්ත ඇත්තේ ටැබ් එක සමඟ ගේම් ගැසීමටය. ඒ නිසා ඔහුට හා මිතුරන්ට කතා පැටලෙන අතරම, අනතුරට ලක්වීම ද සිදු වේ (මේ කතාව කියැ වූ මගේදුවගේ ප්‍රියතම චරිතය රවිඳු වීමට හේතුව ද මේ ඩිජිටල් මෙවලම්වලට ඇගේ ඇති කැමැත්තය. ඈ මට පැවසූ පරිදි රවිඳු ටැබ් එකෙන් ගේම් ගැසුවාට ඉගෙන ගන්නටද උනන්දුය. ඈ ද එසේය). දරුවන් අතර මෙන්ම, භික්ෂුවක් තුළද මේ ඩිජිටල් මෙවලම්වලට කැමැත්ත ඇති වන හැටි කුසුම්සිරි කතාවේ පවසයි. කෙසේ වෙතත්, පසුකලක සිය ජීවිතයේ වෙනසක් සිදුවීමත් සමඟ සුමංගල හාමුදුරුවෝ තමන් කලින් ඒවායින් අපේක්ෂා කළ දේට වඩා වෙනස් ප්‍රයෝජනයක් ඉන් ලබන බවද පෙනේ. මිනිසුන් විසින්ම නිර්මාණය කළ මෙවැනි මෙවලම්වලින් යහපත් ලෙස භාවිත කිරීම මිනිසුන් සතු දෙයක්ම බව පැහැදිලිය. සමාජ මාධ්‍ය හා චැට් ගෘප් ළමුන්ගේ අධ්‍යාපනය සඳහා යහපත් ලෙසින් භාවිත වන හැටි කොරෝනා නිවාඩුවේ සිටින අපි මේ වන විට දනිමු. (කුසුම්සිරි විජයවර්ධන ලියූ 2018 වර්ෂයේදී පළ වූ ‘ෆැන්ටසියාව’ නවකතාවෙන් ඩිජිටල් මෙවලම් නූතන සමාජයේ ජීවිතවලට බලපා ඇති ආකාරය පෙන්වා දුන්නේය. ඒ පොත මා දුටු ආකාරය මෙතැනින් කියවන්න).

මේ කතාවේ සඳහන් වන තවත් කරුණක් වන්නේ අධ්‍යාපනයේ වැදගත්කමයි. සුනීත හිමියන් ඉගෙනීමට දක්ෂය. නායක හිමියන්ගේ අපේක්ෂාව වන්නේ සුමංගල හිමියන් විශ්ව විද්‍යාලයට පිවිසෙනු දැකීමය. කතාවේ කියැවෙන පරිදි සුමංගල හිමියන් පළමු වතාවේ උසස් පෙළ විභාගය සමත් වන්නේ යාන්තමිනි. එහෙත් උන් වහන්සේ නැවත වතාවක් විභාගයට පෙනී සිටීමට මෙන්ම වෙහෙස වී වැඩ කිරීමට ද අධිෂ්ඨාන කරගත්හ. විභාග අසමත් වීම නිසා මෙන්ම, ඊයේ පෙරේදා වාර්තා වූ පරිදි සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9ක් නොලැබූ නිසා සියදිවි නසාගන්නා ළමුන් සිටින රටක මේ අදහස වැදගත්ය. විභාග යනු ජීවිතයම නොවෙතත්, විභාග සමත් වීමද අවශ්‍ය වේ.

කුසුම්සිරි ඔහුට හුරු සරල හා කතා කරන භාෂාව මේ කතාව කීම සඳහා යොදාගෙන ඇත. එය කතාව කියැවීමේදී වඩා පහසුවක් ගෙන දෙයි. එහෙත් ලිඛිත භාෂාවෙන් වුවද කියවීමට රුචි වන ආකාරයේ කතාවක් කීම අපහසු නොවන බව කුසුම්සිරි දන්නා බව සිතමි. එසේම එක් එක් පරිච්ඡේදය මුල දී උපුටා දක්වා ඇත්තේ මූලික වශයෙන්ම සුනීත පොඩි හාමුදුරුවන්ගේ සිතිවිල්ල හෝ ප්‍රකාශය අපට ද මොහොතක් සිතීමට නැඹුරු කරවන්නකි. ඒ සටහන නිරූපණය කර ඇති ආකාරය, අකුරුවල ප්‍රමාණය වෙනස් වූවා නම් සුදුසු යැයි මට සිතේ.

මේ කතාව අනුව වරක් නොමග ගොස් සිටි අයෙකුට තමන් අතින් සිදු වූ වැරදි මෙන්ම විශ්වාස කළ හරයන් නිවැරදි කරගෙන යහපත් මිනිසුන් වීමට තවත් අවස්ථාවක් ඇති බව පැහැදිලිය. ඒ සඳහා තවත් අයෙකුගේ උත්ප්‍රේරණයක් අවශ්‍ය විය හැකිය. එය පමණක් නොව තමන්ගේ අධිෂ්ඨානය ද අවශ්‍යය. සුමංගල හිමියන්ගේ සිදුවීම මීට අගනා නිදසුනකි. එමෙන්ම කීපවරක් සොරකම් කර හමුවන තරුණයෙකු යහමගට ගැනීමේ සිදුවීම ද මෙවැන්නකි. මේවා හුදෙක් පොත්වල එන කතාවල පමණක් නොව සැබෑ ජීවිතයේදීද සිදු වන සිදුවීම් බව පැවසීම අසත්‍යයක් නොවේ.

අවසාන වශයෙන් මෙසේ සඳහන් කරමි. කලා කෘතියකින් එය පරිශීලනය කරන්නා ආනන්දයෙන් ප‍්‍රඥාවට ගෙන යා යුතු බවට කියමනක් ඇත. එහෙත් රටේ පළ වන සමහර පොත් පාඨකයා ගෙන යන්නේ ආනන්දයෙන් මරදානට හෝ ආමර්වීදියටය. එවැනි නිර්මාණ අතර, කියවන ඕනෑම අයෙකුට පණිවුඩයක් දෙන කුසුම්සිරිගේ ‘සුනීත හා සුමංගල’ බෙහෙවින් අගය කළ යුත්තකි.

2020.05.01