Thursday, January 7, 2021

යාපහුවෙන් ගල්ටැංවැවට ආ සිංහයෝ! (ගමන් කතා 5)



මං මුලින්ම ඉබ්බාගමුව - පොල්පිතිගම - මඩගල්ල පාරෙ ගියෙ 1990 ගණන්වල. ඉන්පස්සෙ 2006 මුලදි විතර ඒ පාරෙන් මඩගල්ල, මොරගොල්ලාගම, රැස්වෙහෙර හරහා අනුරාධපුරය දක්වා දිගු ගමනක් ගියා. ඊටත් මද කලකට පසු 2007-2008 කාලෙ අපි ඒ පැත්තෙ සෑහෙන ඇවිද්දා. ඒ හිරියාල හත්පත්තුවේ පරණ පන්සල් වගේම වෙනත් සුන්දර තැන් බලන්න. 

එහෙම ගිය ගමනකදි වරක් අපේ වාහනය ගල්ටැංවැව කියන හන්දියෙ පොඩි කඩේක නැවැත්තුවා තේ එකක් බොන්න. මේ හතරමං හන්දිය හැදෙන්නෙ ඉබ්බාගමුවේ සිට පොල්පිතිගම හරහා මඩගල්ලට යන ප්‍රධාන පාරට (B 159) තවත් පාරවල් දෙකක් සම්බන්ධ වීමෙන්. ඒ ප්‍රධාන පාර ඉබ්බාගමුව පැත්තෙ සිට ඇවිත් මේ හන්දියෙදි දකුණට හැරෙනවා. එතනදි කෙලින්ම යන පාර යාපහුව පැත්තට යන අතුරු පාරක්. වමට යන එක හිරිපිටියෙ සිට ගල්ටැංවැවට එන B 609 පාර. (ඒ අන්තිමට කී පාර අද නොවැදගත් නමුත්, අතීතයේ වැදගත් වූ පාරක්!)

ඉතිං එදා ගල්ටැංවැව හන්දියෙදි  මීට කලින් නුදුටු දසුනක් අපි දැක්කා. ඒ තමයි හංදිය මැද අඹපු සිංහ රූප කීපයක් තබා තිබෙනවා. යාපහුවෙ අකෘතියට කළ සිංහ රූප බව පැහැදිලිව පෙනුනා. දැන් ඒක වටරවුමක් වගෙයි. 

ඉතින් මම ඒ කඩේ හිටි අක්කාගෙන් ඇහුවා ඒ ගැන 

"මේ සිංහ රූප කොයි කාලෙ කරපු ඒවද?"

මේකට උත්තර දුන්නෙ කඩේ හිටපු ගමේ පොරක්.

"අම්මෝ මේවා රජකාලෙ ඉදල තියෙන්නෙ. යාපහු රාජධානි කාල‌ෙ..."

ඒ පොර හිතන්න ඇත්තෙ අපි බබ්බු කියලා. සමහරු නං එහෙම කිව්ව ගමන් පත්තරේටත් ලියනවා, ෆේස්බුක් දානවා. ඒවා ජනප්‍රවාදත් කියනවා. ඒත් ඊට මාස කීපයකට පෙර මේ හන්දියෙ තිබ්බෙ නැති එකක් දැන් තියෙන්නෙ කොහොමද කියලා හිතන්න අපට කල්පනාව තිබ්බා. (පොර වගේ උදෙන්ම දාල හිටියෙ නෑනෙ).  

මේ හන්දිය නවීකරණය කරල විවෘත කරලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ බව අපි එතන තිබ්බ පුවරුවක තියනවා පස්සෙ දැක්කා. ඒ පැත්ත අයත් වන්නෙ යාපහුව මැතිවරණ බලප්‍රදේශයට (ආසනයට).


මේ පින්තූර නං Google Street View  එකෙන්.

ධනේෂ් විසුම්පෙරුම

2021.01.07 

No comments:

Post a Comment