Tuesday, January 28, 2014

නාගරික හරිත ප‍්‍රදේශවල මහඟු ප‍්‍රයෝජනය

ධනේෂ් විසුම්පෙරුම

Vidusara, 2014-01-22, p. 2-3

Not available online.


අහස උසට නැගුණු මහල් ගොඩනැගිලි හා ගහක් කොලක් දැකිය නොහැකි සේ හාත්පස පැතිරගිය නිවාස හා ගොඩනැගිලි, මහාමාර්ග හා කොන්ක‍්‍රීට් ඇතිරූ පදික වේදිකා යනු නාගරික පරිසරයක අප දකින මූලිකාංගය. මෙවැනි නාගරික පරිසරයක ඇති පහසුකම් හා අවස්ථා නිසා නාගරික පරිසරයට විසීමට බොහෝ දෙනා කැමැත්ත දක්වන බවක් පෙනේ. වර්තමාන මානව සමාජය නාගරික ශිෂ්ටාචාරයක් සේ හැඳින්විය හැකි අතර අප අද භාවිත කරන බොහෝ දේ නගරය හා සම්බන්ධිතය.

මෙසේ කොන්ක‍්‍රීට්වලින් වැසී ගිය නගරයක ඉඳහිට දැකිය හැකි ගහකොළින් යුත් හරිත වර්ණ ඉඩක් ඇති ප‍්‍රදේශයක් යනු බොහෝ දෙනාගේ ඇස නිතැතින්ම යොමුවන්නකි. උද්‍යාන, හරිතවත් භූ දර්ශන, රුක්ගොමුවලින් යුක්ත මාර්ග හා හරිතවත් ගෙවතු වැනි තැනක මද කාලයක් හෝ ගත කිරීමට කැමැත්තෙමු. විවේක දින හා හෝරාවල මෙවැනි ප‍්‍රදේශ නගර වැසියන්ගෙන් පිරී යන්නේ මේ නිසාය. නාගරික පරිසරයක වුවද මෙවැනි තත්ත්වයක් දැකිය හැක්කේ ස්වාභාවික පරිසරයට අප තුළ ඇති නිසජ කැමැත්ත නිසා විය හැකිය. මිනිසාට ස්වාභාවික පරිසරයෙන් වියුක්තව දිවි ගෙවීමට නොහැකි අතර ස්වාභාවික සෞන්දර්යයද ඔහුට අත්‍යවශ්‍ය වේ. අනෙක් අතට මෙවැනි හරිත ප‍්‍රදේශවලින් ලැබෙන වෙනත් ප‍්‍රයෝජන ඇත.

හරිතවත් භාවයේ ඇති මේ ප‍්‍රයෝජන අවබෝධකරගත් පසු නාගරික ප‍්‍රදේශවල හරිත ආවරණය ප‍්‍රවර්ධනය පිළිබඳව ලෝකයේ වැඩි අවධානයක් යොමු වී ඇත. මේ වන විට යම් පිළිගැනීමකට ලක්ව ඇති ‘තිරසර පුරවර’ පිළිබඳ සංකල්පයේදී නගරයක ඇති ශාක වැස්ම හා සෙසු හරිතවත් ප‍්‍රදේශ තිබීම වැදගත් හා අත්‍යවශ්‍ය අංගයක් වේ. (හරිත නගරයක් සඳහා අවශ්‍ය වන වෙනත් සාධකද ගණනාවක් ඇති බව මෙහිදී සඳහන් කළ යුතුය. එවැනි නගරයකදී බලශක්තිය, ප‍්‍රවාහනය, ගොඩනැගිලි, අපද්‍රව්‍ය කළමනාකරණය ආදි බොහෝ අංශ වඩා පරිසර හිතකාමී විය යුතු වේ.) අද වන විට ලෝකයේ රටවල් රැුසක හරිත පුරවර සංකල්පය අනුගමනය කිරීමට පෙළඹී ඇති අතර දියුණු රටවල් මෙහිදී ප‍්‍රමුඛස්ථානයක් ගනියි. 2005 වර්ෂයේදී ජගත් පරිසර දිනයේ තේමාව ලෙස යොදාගන්නා ලද්දේද ‘හරිත පුරවර’ (Green Cities) යන තේමාවයි.
කෙසේ වෙතත් නාගරික හරිත ප‍්‍රදේශ පිළිබඳව අපේ අවධානය යොමු විය යුතු තවත් කරුණක් - ඉතා වැදගත් කරුණක් - ඇති බව මෑතකදි සිදුකරන ලද අධ්‍යයනවලින් පෙනී ගොස් තිබේ. එනම් නාගරික පරිසරයක දැකිය හැකි හරිතවත් බිම් තීරුවලින් මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට ඇතිකරන දිගුකාලීන යහපත් බලපෑම පිළිබඳවය.

හරිත ප‍්‍රදේශ මානසික සෞඛ්‍යයට යහපත්

හරිතවත් නාගරික ප‍්‍රදේශවල ජීවත් වන ජනතාව අතර මානසික අවපීඩනය (depression) හා කාංසාව (anxiety) වැනි මානසික ගැටලූ අඩු බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. නිදසුනක් ලෙස ගතහොත්, පසුගිය වර්ෂයේ ඡුිහජයදකදටසජ්ක ීජසැබජැ සඟරාවේ පළ වූ අධ්‍යයනයක් දැක්විය හැකිය. ඊට පාදක කරගෙන ඇත්තේ 1991-2008 අතර කාලයට අදාළව නිවාස 5,500ක පමණ ප‍්‍රමාණයක ජීවත් වන පුද්ගලයින් දසදහසක් පමණ පිරිසක් ආශ‍්‍රිතව සිදුකර ඇති මේ සමීක්ෂණයකි. එ් සඳහා දත්ත ලබාගෙන ඇත්තේ එසෙක්ස් විශ්ව විද්‍යාලය විසින් පවත්වාගෙන යනු ලබන බි‍්‍රතාන්‍ය ගෘහස්ථ මණ්ඩල සමීක්ෂණය හෙවත් සමාජය අවබෝධ කරගැනීමේ සමීක්ෂණය (British Household Panel Survey/ Understanding Society survey) ලෙස හඳුන්වන සමීක්ෂණයෙනි. ඉතා පුළුල් සිදුකරනු ලබන සමීක්ෂණයක් වන අතර ඊට මානසික සෞඛ්‍යය පිළිබඳව අදහසක් ලබාගත හැකි ප‍්‍රශ්නද ඇතුළත් වේ.
මෙහිදී පෙනීගොස් තිබුණේ වැඩි හරිතවත් ප‍්‍රදේශයක වාසය කරන ජනතාවගේ මානසික පීඩාව (mental distress) අඩු වන අතර ඔවුන්ගේ යහ පැවැත්ම ඉහළ වන බවද පෙනේ. තනි පුද්ගලයකු ලෙස මෙහි බලපෑම අඩු විය හැකි වුවද, සමාජයීය මට්ටමේදී එහි සමස්ත බලපෑම මගින් නාගරික ප‍්‍රදේශවල හරිතවත් බිම් පෙදෙස් ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙන බව පර්යේෂකයන්ගේ මතය විය. (මූලාශ‍්‍රය: Psychological Science, DOI: 10.1177/0956797612464659)
කෙසේ වෙතත් මානසික සෞඛ්‍යයට ඇතිවන මේ යහපත් බලපෑම කෙතෙක් කාලයක් පවතිනු ඇතිද යන්න වැදගත් කරුණකි. මෑතදී ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකදී අවධානයට යොමු වූයේ මේ පිළිබඳවය.

මානසික සෞඛ්‍යයට ඇතිවන බලපෑම කල්පවතී

Environmental Science and Technology සඟරාවේ පළවූ මේ අධ්‍යයනය සඳහාද මූලික වශයෙන් සම්බන්ධ වී ඇත්තේ ඉහත දැක්වූ අධ්‍යයනයට සම්බන්ධ වූ පිරිසමය. අදාළ පර්යේෂකයින් උපයෝගී කරගෙන ඇත්තේ ඉහත දැක්වූ බි‍්‍රතාන්‍ය ගෘහස්ථ මණ්ඩල සමීක්ෂණය හෙවත් සමාජය අවබෝධ කරගැනීමේ සමීක්ෂණයේ දත්තය. මෙහිදී ඔවුන් දහසකට අධික පිරිසක් පිළිබඳව වසර පහක් තිස්සේ අධ්‍යයනය කර ඇත. එ් දෙවන හා තුන්වන වර්ෂය අතර කාලයේදී වෙනත් ප‍්‍රදේශයකට පදිංචිය වෙනස් කළ පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳවය.
වඩා හරිතවත් ප‍්‍රදේශයක් වෙත සංක‍්‍රමණය වූ පිරිස්වල මානසික සෞඛ්‍යය සංක‍්‍රමණයෙන් පසුව ගත වූ වර්ෂ තුනක් පමණ කාලයකට පසුව පවා යහපත් තත්ත්වයක පැවැතී ඇති බව මෙහිදී හෙළි වී තිබේ. අනෙක් අතට වැටුප් වැඩිවීම, උසස්වීම් වැනි මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන සාධකවලින් ඔවුන්ට යම් මානසික සහනයක් ලැබෙන්නේ මාස හයක් වැනි කෙටි කාලයක් පමණි. ඊට වඩා දිගු කාලීන බලපෑමක් හරිතවත් පරිසරයක වාසය කිරීමෙන් ඇති වන බව උක්ත අධ්‍යයනයේදී හෙළි වූ විශේෂ කරුණකි. මේ තත්ත්වය නිසා ජීවිතයට වැදගත් තීරණ ගැනීමේදී ඔවුන් වඩාත් සැලකිල්ලක් දක්වන බවක් පෙනේ.
කෙසේ වෙතත් තමන් වාසය කළ ප‍්‍රදේශයට වඩා අඩු හරිතවත් බවක් ඇති ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූ පිරිස්වල මානසික සෞඛ්‍යයේ යම් පිරිහීමක් ඇති වන බවද මෙහිදී හෙළි වී ඇත. නමුත් පුදුමයකට මෙන් එය ඇතිවී තිබෙන්නේ ඔවුන් එසේ සංක‍්‍රමණය වීමට පෙර වසරේදීය. එසේම ඔවුන්ගේ මානසික තත්ත්වය, සංක‍්‍රමණය වීමෙන් පසුව ගත වූ කාලයේදී යථා තත්ත්වයට පත්ව තිෙබි. (මූලාශ‍්‍රය: Environmental Science and Technology, DOI: 10.1021/es403688w)

මේ පර්යේෂණ වාර්තාවට අනුව, ජනතාවගේ මානසික යහ පැවැත්ම සම්බන්ධව දිගු කාලීන වශයෙන් බලපාන ආකාරයේ සුභවාදී බලපෑමක් සිදුකරන්නට හරිත අවකාශයක් සහිත නාගරික ප‍්‍රදේශවල වාසය කිරීම හේතුවන බව පෙනේ. මේ අනුව උසස් තත්ත්වයේ නාගරික උද්‍යානවලට පිවිසීමට අවස්ථාව හිමිවීමම මිනිසුන්ගේ මහජන සෞඛ්‍යයට වැදගත් වේ. එහෙත් මෙවැනි ප‍්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය රාමුවක් සැකසීම වැදගත් බව සත්‍යයකි. අනෙක් අතට මේ සඳහා ප‍්‍රතිපාදන සැපයීම පිළිබඳවද ගැටලූ ඇති බවක් පෙනේ. නිදසුනක් ලෙස මේවායේ සෞඛ්‍යමය වශයෙන් යහපත් බලපෑමක් ඇති නිසා මීට සෞඛ්‍යය සඳහා වැය කළ යුතු ප‍්‍රතිපාදන යොමු කළ යුතු බවද පෙන්වාදී තිබේ.

අපේ රටේ නාගරික සංවර්ධනය

අපේ රටේද මේ වන විට නාගරික ප‍්‍රදේශ ආශ‍්‍රිතව හරිතවත් බිම් ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට කටයුතු කෙරෙමින් තිබේ. නිදසුනක් ලෙස ගතහොත්, කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර මෙන්ම තදාසන්න වෙනත් නාගරික ප‍්‍රදේශවලද මෙවැනි වැඩ පිළිවෙළක් පවතී. මේ යටතේ උද්‍යාන ප‍්‍රදේශ සංවර්ධනය හා වැනි බොහෝ කටයුතු සිදුකරන අතර සැලකිය යුතු ජනතා ආකර්ෂණයක්ද මේවාට ඇති බව දැකිය හැකිය. විශේෂයෙන් වර්තමානයේ මේ වන විට අපේ ජීවන රටාව තුළ වැඩි වශයෙන් ආතතිය සහිත ස්වභාවය අධික වන බැවින් නාගරික ජනතාව සඳහා මෙවැනි හරිතවත් ප‍්‍රදේශ සංවර්ධනය කිරීම ප‍්‍රයෝජනවත්ය. එය හුදෙක් විවේකය ගත කිරීමට හෝ ශාරීරික සෞඛ්‍ය්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා පමණක් නොව මානසික සෞඛ්‍යය සඳහාද ඵලදායී වන බව ඉහත දැක්වූ පර්යේෂණවල ප‍්‍රතිඵලවලින්ද පැහැදිලිය.
කෙසේ වෙතත්, එවැන්නක යහපත් ප‍්‍රතිඵල වැඩි ජනතාවකට ලබාදීමට නම්, නගරයක හැකි හැම ප‍්‍රදේශයක්ම හරිතවත් කළ යුතු බව පැහැදිලිය. එහිදී තැනින් තැන පිහිටුවන උද්‍යාන මෙන්ම හරිතවත් මාර්ග හා ගෙවතුවල ප‍්‍රවර්ධනය පවා වැදගත්ය. එවැන්නක් කෙටිකලකින් අත්පත් කරගත හැක්කක් නොවේ. අනෙක් අතට මේ ආකාරයෙක් හරිතවත් බව රැුකෙන ආකාරයේ නගර සංවර්ධනයක් අපේ රටේද ජාතික ප‍්‍රතිපත්තියක් ලෙස සංවර්ධනය කළ යුතුය. එසේම, නගරවල මේ වන විට පවත්නා හරිත වැස්ම සංවර්ධනයේදී රැුකගැනීම පිළිබඳවද අවධානය යොමු කිරීම යෝග්‍ය බවද පෙනේ.

Not available online