Showing posts with label Biodiversity. Show all posts
Showing posts with label Biodiversity. Show all posts

Wednesday, January 11, 2023

තවත් මහා වඳවීමක් අතීතයේ සිදු වී තිබේ!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2023.01.11, පි. 8 හා 15 (Vidusara)


ලෝකයේ විශාල භූගෝලීය ප්‍රදේශයක වාසය කළ ජීවී විශේෂ විශාල ප්‍රමාණයක්, සාපේක්ෂව කෙටි කාලයක් ඇතුළත වඳ වී ගිය අවස්ථා ‘මහා වඳවීම්’ (Mass extinction) යනුවෙන් හැඳින්වේ. ලෝක ඉතිහාසයේ මේ දක්වා සිදු වී ඇති මහා වඳවීම් පහක් මේ වන විට විද්‍යාත්මකව පිළිගැනේ (පහළ ඇති සටහන බලන්න).

එහෙත්, අතීතයේ පෘථිවියේ තවත් මහා වඳවීමක් සිදු වී ඇති බව පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී තිබේ. අදින් වර්ෂ මිලියන 550කට පෙර සිදු වූ ඒ මහා වඳවීම අනෙක් මහා වඳවීම් සියල්ලටම පෙර සිදු වූවකි. එසේම ඒ සඳහා හේතු වී ඇත්තේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණයේ සිදු වූ අඩුවීමකි.


ඊඩියාකරන් අවධියේ සිදුවීමක්


අදින් වර්ෂ මිලියන 635 සිට 538 අතර කාලයේ දී පැවති ඊඩියාකරන් අවධිය (Ediacaran Period) ලෙස භූවිද්‍යාත්මකව හැඳින්වෙන කාලය යනු ලෝකයේ සාගරවල ජීවය හොඳින් වර්ධනය වෙමින් තිබූ කාලයකි. මේ කාලයේ පෘථිවියේ සාගරවල ජීවත් වූ ජීවීන් අතර පිහාටු වැනි ශරීර ඇති පෙටලොනොමිඩ (Petalonamids) සතුන් ජීවත් වූයේ ජලයෙන් පෝෂක අවශෝෂණය කරගනිමිනි. හම්බෙල්ලන් වැනි Kimberella ගණයේ සතුන් ක්ෂුද්‍රජීවීන් මත යැපුණු අතර, ජෙලි ෆිෂ් හෙවත් ලොඩියන්ගේ පූර්වජයින් ව්‍යාප්ත වීම ආරම්භ වූයේ ද මේ කාලයේ දීය.

මේ කාලයේ විසූ ජීවීන්ගේ පොසිල විවිධත්වයේ විශාල අඩු වීමක් වර්ෂ මිලියන 550කට පෙර දැකිය හැකි වූ අතර, කෙටි කාලයක් ඇතුළත මේ ජීවීන් අතරින් 80%ක් පමණ ප්‍රමාණයක් වඳ වී ගොස් ඇති බව අනාවරණය වී තිබිණි. මේ තත්ත්වය කලක් තිස්සේ දැන සිටිය ද එය මහා වඳවීමක් වූයේ ද යන්න පිළිබඳව කිසියම් සැකයක් තිබිණි. එසේ පොසිල හමු වීම විශාල ලෙස අඩු වීම සඳහා හේතු දෙකක් දක්වා ඇත. ඉන් එකක් වන්නේ සාගර ආත්‍රොපෝඩාවන් අතර සිටි මුල්කාලීන ට්‍රයිලෝබාටාවන් (Trilobites) ව්‍යාප්ත වීමෙන් ඊඩියාකරන් අවධියේ සතුන් සමඟ ඇති වූ තරගය නිසා ඊඩියාකරන් අවධියට අයත් සතුන් වඳ වී යාමය. අනෙක් තර්කය වන්නේ ඊඩියාකරන් අවධියේ සතුන්ගේ ශරීර ආරක්ෂා වීමට සුදුසු තත්ත්ව පැවතියේ මිලියන 550කට පෙර කාල සිමාව දක්වා පමණක්ය යන අදහසයි. මේ හේතු සත්‍ය නම් උක්ත සිදුවීම මහා වඳවීමක් නොවේ.


මහා වඳවීමක් බවට සාධක


කෙසේ වෙතත් මේ නව පර්යේෂණයෙන් පෙන්වා දී ඇත්තේ ඊඩියාකරන් අවධියේ සිදු වූ ජීවීන් වදවී යාම පෙර සඳහන් කරුණු නිසා සිදු වී නොමැති බවයි. එහි දී පර්යේෂකයන් විසින් ඊඩියාකරන් අවධියේ ජීවත් වී වඳ වී ගිය, වද වී නොගිය හා වඳ වීමේ සිදු වීමෙන් පසුව හොඳින් ව්‍යාප්ත වූ ජීවීන් පිළිබඳව අධ්‍යයනය කර ඇත. ඒ සඳහා ඒ යුගයේ පොසිල පිළිබඳ මෙතෙක් ප්‍රකාශිත පර්යේෂණ යොදාගනිමින් දත්ත සමුදායක් සකස් කර, ඒවා හමු වූ භුගෝලීය ප්‍රදේශය, දේහ ප්‍රමාණය, ආහාර ගන්නා ආකාරය අනුව කාණ්ඩ කර තිබේ. ඒ අනුව වර්ෂ මිලියන 550කට පෙර වාසය කළ සත්ත්ව ගණ 70ක් අතරින්, ඉන් වර්ෂ මිලියන 10කට පසුව කාලය වන විට ජීවත් වී ඇත්තේ ගණ 14ක් පමණක් බව අනාවරණය වී ඇත. එසේම ට්‍රයිලෝබයිටයන් වැනි සතුන් හා තරග කිරීමෙන් ඒ සතුන් වඳ වී ගිය බවට සාධක සේ සැලකිය හැකි ආකාරයේ ආහාර ගැනීමේ රටාවේ වෙනසක් හමු වී නොමැත. අනෙක් අතට පොසිල ආරක්ෂා වීම සඳහා බලපාන තත්ත්වවල වෙනසක් ද ඒ කාලයේ ඇති වූ බවක් හෙළි වී නොමැත.

මේ අනුව පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙසේ පොසිල අඩු වී යෑම මහා වඳ වීමක් විය හැකි බවත් ඒ සඳහා සෙසු මහා වඳවීම් මෙන්ම දේශගුණයේ ඇති වු වෙනස් වීමක් හේතු විය හැකි බවයි. එසේ සංකීර්ණ සත්ත්ව ගහන මිය යෑම සඳහා හේතුව ඔක්සිජන් සාන්ද්‍රණයේ කැපී පෙනෙන අඩු වීමක් විය හැකි බව අනුමාන කර ඇත. ඊට සාධක ලෙස සැකිය හැකි අපුරු කරුණක් ද අනාවරණය වී ඇත. එ නම්, ඒ වඳවීමෙන් ආරක්ෂා වූ ජීවීන් අතර ඇති සමානකමකි. ඒ සතුන්ගේ දේහ පරිමාවට සාපේක්ෂව දේහ පෘෂ්ටය ඉහළ වීම මේ සාධකයයි. මෙය අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ඇති තත්ත්වයක් යටතේ ජීවත් වීම සඳහා සුදුසු හැඩගැසීමකි. එය සහ භූ-රසායනික සාධකවලින් අනාවරණය වන ඔක්සිජන් ප්‍රමාණයේ අඩුවීමත් සමඟ ගත් විට ඊඩියාකරන් යුගය අවසානයේ සාගරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා ඇති වූ මහා වඳවීමක් සිදු වූ බව ඔවුන්ගේ අදහසයි. මෙහි දී ඔක්සිජන් අඩු තත්ත්ව යටතේ ජීවත් වීමට ‌නොහැකි ජීවීන් වඳ වී ගොස් තිබේ.

මේ කාලයේ දී ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමට හේතු වූ කරුණු තවමත් අපැහැදිලිය. ගිනිකඳු පිපිරීම්, භූ තැටි චලනයේ බලපෑම් මෙන්ම ග්‍රහකයක බලපෑම වැනි හේතු මේ අතර වේ. එමෙන්ම, සාගරයේ පෝෂක මට්ටම්වල වෙනස්කම් ද මීට හේතු විය හැකිය. කරුණු මෙන්ම මේවායෙන් කීපයක් ද ඊට හේතු විය හැකිය.

මහා වඳ වීම් ගණන කීයද?


උක්ත අධ්‍යයනයෙන් ඉදිරිපත් කරනු ලබන මහා වඳවීම පිළිගැනීමට ලක්වුවහොත් එය ලෝකයේ ඇති වී තිබෙන පළමුවන මහා වඳවීම වේ. එසේ නම් මේ වන විට ලෝකයේ මහා වඳවීම් හයක් සිදු වී ඇත. එවිට අද මිනිසුන්ගේ කටයුතු නිසා ඇතිවෙමින් ඇති බවට අනතුරු හඟවන්නේ හය වන නොව සත්වන මහා වඳවීමයි. එය මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නකි.

මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.2207475119 (මෙතැනින් පිවිසෙන්න)


සටහන - මහා වඳවීම් පහ

1. ඕඩොවීසියන්-සිලූරියන් මහා වඳවීම (Ordovician-Silurian extinction) - මෙය අදින් වර්ෂ මිලියන 443.8කට පමණ පෙර සිදු වූවකි. එහි දී සාගර ජීවී විශේෂ අතරින් 85%ක් පමණ වඳ වී ගොස් ඇත.

2. ඩෙවෝනියන් මහා වඳවීම (Devonian extinctions) - මෙය අදින් වර්ෂ මිලියන 407.6ත් 358.9ත් අතර කාලයේ දී සිදු වූ වඳවීම් ක්‍රියාවලියකි. එයින් වැඩිම බලපෑමකට ලක් වූයේ සාගර ජීවීන්ය. සතුන් අතරින් 70%-80% අතර ප්‍රමාණයක් වඳ වී ගොස් ඇත.

3. පර්මියානු මහා වඳවීම (Permian extinction) - ඇතැම්විට පර්මියානු-ට්‍රයාසික මහා වඳවීම ලෙස ද හැඳින්වෙන මෙය අදින් වර්ෂ මිලියන 265.1ත් 251.9ත් අතර කාලයේ දී පෙර සිදු වී ඇත. එහි දී ලෝකයේ විසූ මුළු ජීවීන් අතරින් 90%ක් පමණ වඳ වී ගිය අතර, ඊට සාගර ජීවීන් අතරින් 95%ක් ද, භෞමික ජීවීන් අතරින් 70%ක් පමණ අයත් විය. මෙතෙක් ඇති වූ බරපතළම මහා වදවීම සේ සැලකේ.

4. ට්‍රයාසික යුගය අවසානයේ සිදු වූ මහා වඳවීම (end-Triassic extinction) - ඇතැම්විට ට්‍රයාසික-ජුරාසික මහා වඳවීම (Triassic-Jurassic extinction) ලෙස ද හැඳින්වෙන මෙය මෙය අදින් වර්ෂ මිලියන 201.3කට පමණ පෙර සිදු වූවකි. එයින් සාගර හා භෞමික ජීවි විශේෂ 76%ක් පමණ වඳ වී ගියේය.

5. ක්‍රිටේසීය-තෘතියික මහා වඳවීම (Cretaceous-Tertiary) - ඇතැම්විට ක්‍රිටේසීය-පැලියොජීන මහා වඳවීම ( or Cretaceous-Paleogene) ලෙස ද හැඳින්වෙන මෙය මෙය අදින් වර්ෂ මිලියන 66කට පමණ පෙර සිදු වූවකි. එයින් පෘථිවිය මත ජීවත් වූ සත්ත්ව විශේෂ අතරින් 80%ක් ද ශා ක විශාල ප්‍රමාණයක් ද වඳ වී ගියේය. ඊට ඩයිනසෝරයන් ද ඇතුළත්ය.

Wednesday, February 24, 2021

දේශගුණ වෙනස් වීම ජීවීන්ට බලපාන ආකාරය පිළිබඳ මෑතකාලීන පර්යේෂණ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2021.02.24, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2021/02/24/feature4.html

දේශගුණ වෙනස් වීම ලෝකයේ ඇති බරපතළම පාරිසරික ගැටලුව වන බවට කිසිදු සැකයක් නැත. ඒ ගැන කළ යුත්තේ කුමක්දැයි යන්න ගැන එකඟතාවයක් ඇතත්, ඒ සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක වන්නේ සෙමිනි. මේ වන විට ඉදිරිපත්ව ඇති එකම ගිවිසුම වන පැරිස් ගිවිසුම යටතේ ඒ ඒ රටවල් විසින් පොරොන්දු වී ඇති හරිතාගාර වායු විමෝචන සීමා කිරීම අනාගතයේ ඇති විය හැකි බරපතළ බලපෑම් වැළැක්වීමට තරම් ප්‍රමාණවත් නොවන බව දැන් පෙනේ. 

මේ තත්ත්වය එසේ පවත්නා අතර, මේ වන විටත් ලෝකයේ විවිධ ප්‍රදේශවල දේශගුණ වෙනස් වීමේ අහිතකර බලපෑම් දැකිය හැකිය. ඒ අතර වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන්නේ මිනිසුන්ට බලපාන්නා වූ කරුණු පිළිබඳවය. ස්වාභාවික පරිසරයට හා ජීවීන්ට ඇති වී තිබෙන බලපෑම් ගැන අවධානය යොමු වන්නේ අඩුවෙනි. මිනිසුන්ගේ කටයුතුවල ප්‍රතිඵලයක් වන දේශගුණ වෙනස් වීම නිසා ඊට කිසිසේත් වගකිවයුතු නැති වෙනත් ජීවී විශේෂවලට බලපෑමක් ඇති වීම කණගාටු දායකය. මෙම ලිපිය මෑත කාලයේ දී වාර්තා වී ඇති එවැනි සිදුවීම් කීපයක් පිළිබඳව සිදුකරන්නා වූ විවරණයකි. 


පක්ෂීන්ගේ ව්‍යාප්තියේ වෙනස් වීම


උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ පක්ෂීන් වාසය කරන අඩවියේ ව්‍යාප්තිය වෙනස්වන බව පෙන්වා දී තිබිණි. ඒ අනුව, වඩාත් ශීත ප්‍රදේශ කරා පක්ෂීන් ව්‍යාප්ත වීම සිදුවේ. නිදසුනක් ලෙස උතුරු අක්ෂාංශ දෙසට හෙවත් උත්තරධ්‍රැවය දෙසට මෙන්ම කඳුකර ප්‍රදේශවල උන්නතාංශ දෙසට ව්‍යාප්ත වීම සිදුවේ. මේ පිළිබඳව මෑත කාලීන අධ්‍යයනයකින් වැදගත් කරුණු රැසක් හෙළි වී ඇත.

රටවල් 48ක පක්ෂි නිරීක්ෂකයන් 120,000ක් පමණ දෙනාගෙන් ලබාගත් දත්ත යොදාගනිමින් සිදුකර ඇති මේ අධ්‍යයනයට අනුව යුරෝපයේ පක්ෂි ගහන සාමාන්‍යයෙන් වර්ෂයකට සාමාන්‍යයෙන් කිලෝමීටරය බැගින් පසුගිය වසර තිහක පමණ කාලය තිස්සේ ක්‍රමයෙන් බැගින් උතුරු දෙසට ව්‍යාප්ත වී ඇත. 

යුරෝපීය අභිජනන පක්ෂි සිතියම (European Breeding Bird Atlas (Ebba 2) නමින් හැඳින්වෙන මෙය වසර හතරක් තිස්සේ සිදුකරන ලද ලෝකයේ විශාලතම මහජන විද්‍යා සමීක්ෂණය ලෙස සැලකේ. එහිදී කිලෝමීටර් මිලියන 11ක පමණ ප්‍රදේශයක පක්ෂි නිරීක්ෂණ වාර්තා ලබාගෙන ඇත. 1980 සිට රැස්කරන ලදුව 1997 දී මුලින්ම ප්‍රකාශයට පත් පක්ෂි නිරීක්ෂණවලට වඩා පක්ෂීන්ගේ අඩවිය කි‌ලෝමීටර් 28ක් පමණ උතරු දෙසට ව්‍යාප්ත වී ඇති බව පෙනෙයි. කෙසේ වෙතත් සියලු පක්ෂීන්ගේ අඩවියේ එක හා සමාන ව්‍යාප්තියක් දැකිය නොහැකිය. පක්ෂි විශේෂ අතරින් 35%කගේ පමණ අඩවිය ව්‍යාප්ත වී ඇතත්, තවත් පක්ෂි විශේෂ 25%කගේ පමණ අඩවිය අඩු වී තිබේ. අනෙක් පක්ෂි විශේෂවල එවැනි කැපී පෙනෙන වෙනසක් සිදු වී නොමැත. මෙසේ තම ව්‍යාප්තිය ඉහළ නංවාගෙන ඇත්තේ වනාන්තර පක්ෂීන් වන අතර, ගොවි බිම් ආශිතව වාසය කරන පක්ෂීන් වාසය කරන ප්‍රදේශය අඩු වී ඇති බව පැහැදිලිය.

නිදසුනක් ලෙස ගතහොත්, මීට පෙර මධ්‍යධරණී ප්‍රදේශවල හමු වූ ඇතැම් පක්ෂි විශේෂ අද වන විට එංගලන්තය, ප්‍රංශය හා නෙදර්ලන්තය වැනි රටවල හමුවේ. ඒ ආකාරයෙන් ව්‍යාප්ත වීමට හේතුව වී ඇත්තේ ශීත ඍතුව අතීතයේ පැවති තරම් අසීරු නොවීමයි. ඒ දේශගුණ වෙනස් වීම නිසා ඇති වූ තත්ත්වයකි. කෙසේ වෙතත් සමහර පක්ෂි විශේෂ මෙසේ ව්‍යාප්ත වීමට බලපා ඇති හේතු අතර, වැඩි ආරක්ෂාවක් ඇති වාසස්ථාන තිබීම හා නීති රීති දැඩි වීම ද තිබෙයි. 


පතනශීලී ශාකවල කලින් කොළ හැලේ


පතනශීලි ශාකවල සරත් ඍතුවේ දී සිදුවන කොළ හැලීයෑමේ ක්‍රියාවලිය අතීතයට වඩා කලින් සිදු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබිණි. ඒ ලෝකය උණුසුම් වීම නිසාය. මෙතෙක් සාමාන්‍යයෙන් විශ්වාස කරන ලද්දේ උණුසුම ඉහළ යෑම නිසා සරත් ඍතුව ආරම්භ වීම පමා වන බවයි. එහෙත් මේ නව නිරීක්ෂණය එම අදහසට වඩා වෙනස් තත්ත්වයකි. සාමාන්‍යයෙන් වසන්ත ඍතුව කලින් එළැඹීම නිසා සෞම්‍ය කලාපීය රටවල දැකිය හැකි වගා සමය දීර්ඝ වන බව සත්‍යයකි. එහෙත් දැන් පෙනෙන පරිදි කොළ හැලෙන කාලය දින 3-6 අතර ගණනකින් ඉදිරියට පැමිණ තිබේ. 

1948-2015 අතර කාලයේ දී යුරෝපයේ ස්ථාන 3,800ක දැකිය හැකි ශාකවල පත්‍ර පතනය වීම් සම්බන්ධ නිරීක්ෂණ 430,000ක් පමණ යොදාගනිමින් හා පරිගණක ආකෘති යොදාගනිමින් තනාගත් දත්ත පද්ධතියක් භාවිතයෙන් මෙය සිදු කර ඇත. එහි දී පෙනීගොස් ඇත්තේ ඉහළ උෂ්ණත්වය හා දිවා කාලයේ දීර්ඝ බව පමණක් නොව, අදාළ ශාක මගින් එම ඍතුව ඇතුළත ගබඩා කර ඇති කාබන් ප්‍රමාණය ද ශාකවල පත්‍ර පතනය විය යුතු දිනය තීරණය කිරීමට හේතු වන බවයි. එය මිනිසෙකු බර ආහාරයක් ගැනීමෙන් පසුව තවත් ආහාර ගැනීමට නොහැකි තත්ත්වයකට සමාන බව මේ ගැන විස්තර කරමින් පෙන්වා දී ඇත. 

මේ තත්ත්වය වැදගත් වන්නේ ශාකවලින් සිදුකරනු ලබන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ කාර්යය දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට උපකාර වන බැවිනි. එහෙත් සරත් ඍතුව කලින් එළැඹී, ශාකවල පත්‍ර පතනය කලින් සිදුවීම නිසා ශාකවල කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලියෙන් අපේක්ෂිත ප්‍රතිඵලයේ අඩු වීමක් දැකිය හැකිය. එවිට ශාකවල තිර කරන කාබන් ප්‍රමාණයේ අඩු වීමක් සිදු වෙයි. මෙය ගෝලීය උණුසුම් වීම පමා කිරීම යම් පමණකින් අඩපණ කිරීමට ද හේතුවකි.

මේ ආකාරයෙන් අවශෝෂණය නොකරන කාබන් ප්‍රමාණය කෙතරම් ද යන්න ගණන් බලා නැතත් එය වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන එකකට වඩා අධික විය හැකි බව ද පෙන්වා දී තිබෙයි. එම අගය ජර්මනියේ සමස්ත විමෝචන ප්‍රමාණයට සමානය. 

මේ අධ්‍යයනය පළ වී තිබුනේ Science සඟරාවේ ය (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.abd8911)


තල්මහට බලපෑම


තල්මහ විශේෂවලට දේශගුණ වෙනස් වීම බලපාන ආකාරය ගැන මෑත දී Global Change Biology සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයන දෙකකින් කරුණු අනාවරණය වී ඇත.  

ඉන් පළමුවැන්න දකුණු සාගරයේ දැකිය හැකි බැලීන් තල්මහ කාණ්ඩයට අයත් විශේෂවල ගහන ඉදිරියේ දී අඩු විය හැකි බව මේ එක් අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. මේ අනුව නිල් තල්මහ, වරල් තල්මහ, මොල්ලි තල්මහ හා දකුණු තල්මහ යන සතුන්ගේ පැසිෆික් සාගර ගහනවල අඩුවීමක් මෙන්ම ඇතැම් විශේෂවල වඳවීම් ද 2100 වන විට අපේක්ෂා කළ හැකි බව එහි දැක්වේ. එයට හේතුව එම සතුන්ගේ ආහාර වන කුඩා ක්‍රස්ටේෂියාවන්ගේ ගහන අඩුවීම නිසාත්, එසේ අඩු වී තිබෙන ආහාර සඳහා තල්මහ විශේෂ අතර ඇති වන තරගය නිසාත්ය. මේ ගොදුරුවල අඩු වීම සඳහා හේතු වී ඇත්තේ දේශගුණ වෙනස් වීමය. (මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.15466)

කැනඩාවේ ශාන්ත ලෝන්ස් බොක්ක ප්‍රදේශයේ වාසය කරන මොල්ලි තල්මහ (hump-backed whale) ගහනයේ පැටවුන් බිහි වීම  පසුගිය වසර පහළොවක පමණ කාලයේ දී අඩු වී ඇති බව දෙවැනි අධ්‍යයනයෙන් හෙළි වී ඇති කරුණයි. 2004-2018 අතර කාලයේ දී මේ සතුන් වාර්ෂිකව පැටවුන් දැමීමේ වේගය කැපී පෙනෙන ලෙස අඩුවී ඇත. මේ කාලය ඇතුළත නිරීක්ෂණය කළ ගැබ් ගැනීම් අතරින් 39%ක් පමණ ප්‍රමාණයකින් ජනිතයන් බිහි වී නැත. වාර්ෂික ගැබ්ගැනීම් වේගයේ සාමාන්‍ය අගය 37%ක් පමණ වුවද, වාර්ෂික පැටවුන් ඇතිවීමේ වේගයේ සාමාන්‍යය 23%ක් පමණ වී ඇත. මේ සඳහා බලපාන්නේ ගැබ් කාලය තුළ හා ඉන්පසු කාලයේ දී අවශ්‍ය ශක්තිය ලබාගැනීමට නොහැකි වීම බව අනුමාන කෙරෙයි. 

මෙසේ අවශ්‍ය තරම් ශක්තිය අහිමි වීමට බලපා ඇත්තේ දේශගුණ වෙනස් වීම නිසා ඉහළ ගොස් ඇති උෂ්ණත්වය හා මුහුදු මට්ටම ඉහළ යෑම නිසා ඇති වී තිබෙන තත්ත්වයයි. මේ අනුව, තල්මහගේ ප්‍රධාන ආහාරය වන හුරුල්ලන් වැනි මසුන්ගේ අඩු වීමක් දැකිය හැකිය. මෙම තල්මහ ද අයත්වන බැලීන් තල්මහ කාණ්ඩයට අයත් තල්මහ විශේෂ ‌දේශගුණ වෙනස් වීමට යම් පමණකින් හෝ ඔරොත්තු දෙන බව මීට පෙර විශ්වාස කරන ලදි. එයට හේතුවන්නේ සංක්‍රමණය රටාවෙනස් කරගැනීම හා එයින් පසුව ගොදුරු වෙනස්කර ගැනීම මගිනි. එසේ සංක්‍රමණ රටා වෙනස්කරගත් තල්මහ වාර්තා වී තිබේ. එහෙත් මේ අධ්‍යයනයට අනුව මොල්ලි තල්මහ සම්බන්ධයෙන් නම් පෙනෙන්නේ එය සීමිත ඔරොත්තු දීමක් පමණක් සිදුවන බවයි. (මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.14573)

Wednesday, December 30, 2020

Crudia zeylanica - දුලබ ආවේණික ශාකයක කතාව

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.30, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/12/30/feature1.html
(විදුසර මුල් ලිපිය යාවත්කාලීන කර ඇත.)



Crudia zeylanica යනු ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි හෙවත් අපේ රටට ආවේණික ශාකයකි. එයට ප්‍රකට සිංහල නාමයක් නොමැති අතර, එය සුලභ ශාකයන් නොවීම ද මීට හේතුවක් වූ බව පෙනෙයි. (මෙම ශාකයට පණු කරඳ ලෙස  නමක් භාවිත වන බව භාතිය ගොපල්ලව මෑත දී සඳහන් කර ඇත.) මේ වන විට ඊට Sri Lanka Legume නම්‍ ඉංග්‍රීසි නම භාවිත වෙයි. කලක් මෙරටින් මෙන්ම ලෝකයෙන් ද වඳ වී ගොස් ඇති බව සිතූ මේ ශාකය යළිත් මෑතක දී හමු විය. එසේ අනාවරණය කරගන්නා ලද මේ විශේෂයේ ශාකයක් පිහිටා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවදානමකට ලක්ව ඇති නිසා අද වන විට මේ ගැන ගැන යම් සාකච්ඡාවක් ඇති වී තිබෙයි.

ශාකය පිළිබඳ අතීත වාර්තා


මේ ශාකය පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි ජී. එච්. කේ. ත්වේටේස් සංග්‍රහ කරන ලද, 1864 වර්ෂයේ දී පළ වූ, Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants නම් කෘතියේ සඳහන්ය. ඒ Detarium zeylanicum නම් උද්භිද විද්‍යාත්මක නාමයෙනි. මේ ශාකය කළුතරට නුදුරු ගල්පාත ප්‍රදේශය බව ඔහු කියයි.

(රූපය - Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants, 414-15 පිටු)

මෙම ශාකයේ ලක්ෂණ අනුව Crudia zeylanica ලෙස නම් කරන ලද්දේ 1866 දී ජෝර්ජ් බෙන්තම් විසිනි. ඒ රනිල ශාක කුලයේ නිවර්තන කලාපීය නව ගණ හා විශේෂ සම්බන්ධව Transactions of the Linnean Society of London සඟරාවට රචනා කරන ලද ලිපියකය. 

මේ පිළිබඳව තවත් උද්භිද විද්‍යාත්මක ප්‍රකාශන කීපයක සඳහන් වෙයි. ඒ අතර ඇති 1872 දී ප්‍රකාශිත Flora Sylvatica on Southern India නම් කෘතියේ පළමු වෙළුමේ ඇති නිදර්ශකයක රූපයක් මේ ලිපියේ ඉහළ දැක්වෙයි. එහි කර්තෘ රිචඩ් හෙන්රි බොඩොමි එම ශාකය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ගල්පාත ප්‍රදේශයෙන් පමණක් බව කියයි. 

1879 දී පළ වූ Flora of British India හි දෙවැනි වෙළුමේ මේ ශාකය ගැන සඳහන් කරන ජේ. ජී. බේකර් එය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ප්‍රදේශයකින් බව සඳහන් කරයි. 

(රූපය - Flora of British India, 2 වෙළුම, 271 පිටුව)


1880 සිට 1896 දක්වා කාලයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි හෙන්රි ට්‍රයිමන් තමා මේ ශාකය නිරීක්ෂණය කළේ 1861 හා 1863 වර්ෂවල දී කළුතර දිස්ත්‍රික්කෙය් ගල්පාත ප්‍රදේශයෙන් ලබාගන්නා ලද නිදර්ශක දෙකෙන් පමණක් පවසයි. ඒ ඔහුගේ Handbook to the Flora of Ceylon කෘතියේ 1894 වර්ෂයේ දී පළ වූ දෙවන වෙළුමේය. මෙම ශාකය ඉතා දුර්ලභ බවත් ආවේණික ශාකයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

(රූපය - Flora of Ceylon, 2 වෙළුම, 113 පිටුව)


Revised Handbook to the Flora of Ceylon කෘතියේ හත්වැනි වෙළුමේ සඳහන් වන අන්දමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයෙන් ලබාගත් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේ ඇත. එය 1911 පෙබරවාරි 20 දින එකතුකරන ලද බව ද සඳහන් වෙයි. මේ පත්‍රිකාව මත පසුව යමෙකු විසින් කපා දමන ලද බවට අරුත් දෙන 'cut down' යනුවෙන් සඳහන් කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ අනුව පෙනෙන්නේ මේ ශාකය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වවා තිබී පසුව කිසියම් හේතුවක් නිසා කපා දමන ලද බවයි. එය එම ශාකය මිය යෑම නිසා හෝ කඩාවැටීම නිසා වීමට ඉඩ තිබෙයි.

මේ ශාකයේ නිදර්ශක කීපයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තිබී ඇති බව පෙනෙයි. Loris සඟරාවේ 6වන වෙළුමේ අංක 2 කලාපයට 1982 දී මහාචාර්ය සී.වී.එස්. ගුණතිලක හා මහාචාර්ය ඩී.එස්.ඒ. විජේසුන්දර විසින් ‘ශ්‍රී ලංකාවේ කාෂ්ඨීය ශාක විශේෂවල විතැන් සංරක්ෂණය (Ex-situ conservation of woody plant species in Sri Lanka) යන මාතෘකාවෙන් රචනා කරන ලද ලිපියේ දැක්වෙන පරිදි ලංකාවේ දැකිය හැකි ආවේණික ශාක පහකම වාර්තා වී ඇති අවසන් වාසස්ථානය වී ඇත්තේ පේරාදෙණිය උද්භිද උද්‍යානයයි. මේ ශාක අතරින් එකක් වන්නේ අප සඳහන් කරන Crudia zeylanica ශාකයයි. (එම ලිපියේම සඳහන් පරිදි ඉන් එක් ශාකයක් වන Mesua stylosa ශාකය ඒ කාලයේදීම බුලත්සිංහල වගුරු වනාන්තරයෙන් නැවත සොයාගැනීමට හැකි විය.). මෙම ලිපියේ විතැන් සංරක්ෂණයේ වැදගත්කම හා උද්භිද උද්‍යාන සතු කාර්යභාරය පැහැදිලි කර දී ඇති ලිපියකි.

ශාකයේ සංරක්ෂණ තත්ත්වය


19 වැනි සියවසේ දෙවන භාගයේ දී ට්‍රයිමන් විසින් දුර්ලභ ශාකයක් ලෙස සදහන් වූ මේ ශාකය පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නේ පසුකාලයක දී ය. 1993 වර්ෂයේ තාවකාලික ලේඛනයේ දී මේ ශාකය තර්ජනයට පත් ශාකයක් ලෙස ද, 1999 දී IUCN Sri Lanka මගින් ප්‍රකාශිත 1999 List of Threatened Fauna and Flora of Sri Lanka ට අනුව ඉහළ තර්ජනයක් ඇති ශාක විශේෂයක් ලෙස ද නම් කර ඇත.

අන්තර්ජාතික රතු ලයිස්තුවේ දත්ත අනුව මේ ශාකය වඳ වී ගිය ශාකයක් ලෙස නම් කරන ලද ඇගැයීම 1998 වර්ෂයේ දී සිදු කර ඇති එකකි.

2007 වර්ෂයේ දී IUCN Sri Lanka හා පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka වාර්තාවේ මෙම ශාකය ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය ශාකයක් ලෙස සඳහන් වෙයි. 2012 ජාතික රතු ලැයිස්තුවේ ද (National Red List 2012 of Sri Lanka) මෙය සඳහන් වන්නේ වඳ වී ගිය ශාකයක් ලෙසය.


නැවත සොයාගැනීම


මේ ශාකය පසුගිය වර්ෂයේදී අනාවරණය කරගෙන ඇත්තේ සැලකිය යුතු කාලයකට පසුව බව පෙනෙයි. දැනගැනීමට ඇති ආකාරයට මෙහි ශාකයේ පැළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරගැනීමට  මේ වන විට හැකියාව ලැබී තිබෙයි. එබැවින් එය යෝග්‍ය පරිසර තත්ත්ව ඇති ස්ථානවල සංරක්ෂණය සඳහා පියවර ගත හැකිිිය. මේ ශාකය වාර්තා වන ප්‍රදේශවලින් ද හමුු වී ඇති බව ඒ පිළිබඳ අධයයනය කළ පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. ඒ පිළිබඳ සිදුකරන ලද ගවේෂණ ගැන ඉදිරියේදී අපට අසන්නට ලැබෙනු ඇත.


විදුසර මුල් ලිපිය මෙහි දී යාවත්කාලීන කර ඇත. අවසන් යාවත්කාලීන කිරීම 2021.01.20 දින දීය.

Wednesday, December 23, 2020

දළ සඳහා අප්‍රිකානු ඇතුන් මැරූ තරම හෙළි කළ පර්යේෂණයක්

ධනේෂ් විසුම්‌පෙරුම

විදුසර, 2020.12.23, පි 6

http://www.vidusara.com/2020/12/23/feature1.html



ඇත් දළ ලබාගැනීම සඳහා ඇතුන් දඩයම් කිරීම අලි ඇතුන්ගේ පැවැත්මට එල්ල වූ මූලික තර්ජනයකි. කැටයම් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ ආදිය තැනීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක අතීතයේ සිට ඇත් දළ භාවිත කර ඇත. ඒ නිසා ඇත් දළ වෙළෙඳාම ඇතැම් රටවල වැදගත් ආදායම් මාර්ගයක් ද වී තිබිණි. එසේ දළ පිණිස හා ක්‍රීඩාවක් ලෙස දඩයම් කිරීම මෙන්ම වාසස්ථාන අහිමිවීම ආදි විවිධ හේතුවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට අලි ඇතුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව තිබෙයි. අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලින්ට මේ තර්ජනය වඩාත් බරපතළය. සංරක්ෂණ උත්සාහය නිසා අද වන විට ඇත් දළ වෙළෙඳාම බොහෝ රටවල නීතිවිරෝධී ක්‍රියාවකි. එහෙත් මේ සඳහා ඇති ඉල්ලුම නිසා එම වෙළෙඳාම රහසේ සිදුවෙයි. 

අතීතයේ සිට අලි ඇතුන් දඩයම් කළ විවිධ රටවල ඒ දඩයමේ තරම ගැන විවිධ වාර්තා දැකිය හැකිය. ඒ සමහර තොරතුරු අනුව මේ ඇත් දඩයම සැලකිය යුතු තරම් බරපතළ බව පෙනෙයි. කෙතරම් ප්‍රමාණයකින්, කෙතරම් විශාල ලෙස අලි ඇතුන් දඩයම් කළේද යන්න ගැන වන එවැනි විස්තරවල එන කරුණු ගැන ඇතැම් ශාස්ත්‍රඥයන් පවා සැක පහළ කළ අවස්ථා ද තිබේ. ඍජුවම මේ ගැන නොකළ පර්යේෂණයක් නොවූව ද පුරාවිද්‍යාත්මක හා ප්‍රවේණික ද්‍රව්‍ය ගැන සිදු කළ අධ්‍යයනයකින් අප්‍රිකාවේ ඇත් දඩයමේ තරම ගැන වැදගත් කරුණු කීපයක් අනාවරණය වී ඇත. 

ගිලුණු නැවකින් ලැබුණු ඇත් දළ

2008 වර්ෂයේ දී නැමීබියාවේ වෙරළාසන්න දියමන්ති පතලකින් හමු වූ, වැල්ලෙන් වැසීගිය නෞකාවක ශේෂවලින් මේ පර්යේෂණයේ කතාව ආරම්භ වේ. මේ නැව පිළිබඳ සාධක අනාවරණය වීමෙන් පසු දියමන්ති කැනීම නවතා කෙටි කාලයක් තුළ පුරාවිද්‍යා කැනීමක් සිදු කර ඇත. එම නැවේ ටොන් හතලිහක පමණ නැව් බඩු තොගයක් තිබූ බව හෙළි වී තිබෙයි. එසේ හමු වී ඇති විවිධ ද්‍රව්‍ය අතර රිදී හා රන් කාසි, තඹ කුට්ටි හා ඇත් දළ වැඩි වටිනා  ද්‍රව්‍ය තිබී ඇත. එසේම විවිධ නාවුක උපකරණ හා නැවේ භාවිත වූ මෙවලම් ද කැනීමෙන් හමු වී ඇත. විවිධ පර්යේෂකයන් විසින් මේ ද්‍රව්‍ය එදා සිට සිය අධ්‍යයන සඳහා යොදාගනු ලැබෙයි.

මෙම නැවෙන් හමු වූ එක් පෘතුගීසි කාසි වර්ගයක් නිකුත් කරන ලද කාල වකවානුව හා එම කාලසීමාවේ දී එම ප්‍රදේශයේ දී අතුරුදන් වූ නෞකා පිළිබඳ ලිඛිත සාධක ද යොදාගනිමින් එම නැව කුමක්දැයි අනාවරණය කරගැනීමට හැකි වී ඇත. එය බොම් ජීසස් (Bom Jesus) නම් වූ පෘතුගීසි වෙළෙඳ නෞකාවකි. 1533 වර්ෂයේ දී ඉන්දියාව දෙසට යාත්‍රා කරන අතර ඒ නැව අතුරුදන් වී තිබෙයි. මෙම නෞකාව ඉන්දියාව දෙසට යාත්‍රා කරමින් තිබූ බව තීරණය කර ඇත්තේ එහි තිබී හමු වූ තඹ කුට්ටි තොගය නිසාය. එම තඹ කුළු බඩු මිල දී ගැනීමට යොදාගැනීමට අපේක්ෂා කළ ඒවාය. මේ කරුණු අනුව වසර 487ක් පමණ පැරණි නැවක් වන මෙය දකුණු දිග අප්‍රිකාවෙන් හමු වී ඇති පැරණිම නෞකාව ද වෙයි.

නැවේ අඩංගු ද්‍රව්‍ය හා එහි පිහිටීම අනුව එය ශුභ පාර්ථනා තුඩුව දෙසට යාත්‍රා කරමින් තිබිය දී විශාල කුණාටුවට හසු වී උතුරු දෙසට සැතපුම් සියගණනක් ගසාගෙන ගොස් නැමීබියානු වෙරළට ආසන්නව මුහුදුබත්ව විනාශයට පත්වන්නට ඇත. එය අද වැල්ලෙන් වැසුණු බිමකි. මුහුදු මට්ටමට වඩා අඩි විස්සක් පමණ ගැඹුරින් මේ නැව තැන්පත් වී ඇත. 

ඇත් දළවල ප්‍රවේණික දත්ත

නැමිබියාවේ, ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ පර්යේෂක පිරිසක් මෙම නැවෙන් හමු වූ ඇත් දළ පිළිබඳ සිදු කළ අධ්‍යයනයකින් ප්‍රධාන කරුණු දෙකක් අනාවරණය කරගෙන ඇත. ඉන් එකක් පුරාප්‍රවේණික විශ්ලේෂණය මගින් ද දෙවැන්න වන්නේ සමස්ථානික විශ්ලේෂණය මගින් අනාවරණය වී තිබෙයි. 

නැමීබියාවට ඔබ්බෙන් වූ සිසිල් සාගරයේ ගිලී තිබූ බැවින් මේ ඇත් දළ ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ නිසා නැවේ තිබී හමු වූ දළ 62ක තොගයකින් දළ 44කින් සාර්ථක ලෙස DNA ලබා ගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබිණි. එම පෞරාණික ප්‍රවේණික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ දී විද්‍යාඥයගේ අවධානය යොමු වී ඇත්තේ මයිට්‍රකොන්ඩ්‍රියාවල DNA හෙවත් mtDNA පිළිබඳවය. මයිට්‍රකොන්ඩ්‍රියා යනු සෛලවල ඇතුළත් එක් සංඝටකයක් වන අතර එහි ප්‍රවේණික ද්‍රව්‍ය පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ මව් පාර්ශ්වයෙනි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් දුවෙකුට හෝ පුතෙකුට ලැබෙන්නේ තමන්ගේ මවගේ මයිට්‍රකොන්ඩ්‍රීය DNA ය. එබැවින් පරම්පරා හඳුනාගැනීමේ දී වැදගත් වෙයි. 

මෙම මයිට්‍රකොන්ඩ්‍රීය DNA අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මේ නැවෙන් ලැබුණු ඇත් දළ අයත් වන්නේ අප්‍රිකානු වනාන්තර අලින්ට (African forest - Loxodonta cyclotis) බවයි. අප්‍රිකාවේ වෙසෙන අනෙක් අලියා සැවානා අලියාට (African savanna - Loxodonta africana) අයත් ඓකදර්ශ (Haplotype) අතර මේ දළවල DNAවලින් ලැබී නැත. එසේම මධ්‍යම අප්‍රිකානු අලිගහනවල දැකිය හැකි ශාඛාවලට අයත් ඓකදර්ශ ද හමු වී නැත. ඒ අනුව මේ දළ අයත් වූයේ බටහිර අප්‍රිකාවේ වාසය කළ අප්‍රිකානු වනාන්තර අලින්ට බවට පෙනී යයි. බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික් වෙරළ ප්‍රදේශයෙන් පෘතුගාලයට අපනයනය කළ බවට ඓතිහාසික වාර්තාවලින් ලැබෙන සාධක සමඟ ද මෙය ගැලපේ. මේ ඇත් දළ ගිනියාබොක්ක ප්‍රදේශයෙන් නැව්ගත කළ ඒවා බව මේ පර්යේෂකයින්ගේ නිගමනයයි. 

එසේම ප්‍රවේණික කරුණු අනුව මේ අලින් එකිනෙකට වෙනස් රංචු 17කට අයත් වූ බව ද හෙළි වී තිබෙයි. අප්‍රිකාවේ එම කලාපයේ අද වන විට දැකිය හැක්කේ ඒ අතරින් රංචු හතරක් පමණකි. ඒ අනුව අතීතයේ සිදු වූ දඩයම් කිරීම නිසා සෙසු අලි රංචු වඳ වී යන්නට ඇති බව සිතිය හැකිය. මේ අනුව ගත වූ වසර පන්සීයක පමණ කාලය ඇතුළත අලින්ගේ විවිධත්වය විශාල ලෙසින් අඩු වීමට මහා පරිමාණ දඩයම හේතු වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම මේ හමු වූ දළවල දිග අනුව, ගැහැණු පිරිමි සතුන් ද, වැඩුනු හා තරුණ ද යනුවෙන් වෙනසක් නොමැතිව දඩයම් කර ඇති බව ද පැහැදිලිය.

අලින් ජීවත් වූ ප්‍රදේශ හඳුනාගැනීම

අලින් ජීවත්වන්නේ ගැහැණු සතුන් විසින් නායකත්වය ගන්නා කණ්ඩායම් ලෙසයි. එසේම මේ කණ්ඩායමක් හෙවත් රංචුවක් සාමාන්‍යයෙන් ජීවත්වන්නේ එකම භූගෝලීය ප්‍රදේශයකය. එබැවින් මේ පැරණි ඇත් දළවලින් ඒවා අයත් වූ සතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. එම අලින් එකම ප්‍රදේශයක ජීවත්වෙමින් ආහාරගන්නා නිසා ඒ ආහාරවල ඇතුළත් පරමාණු ඔවුන්‌ගේ දළ තුළ තැන්පත් වෙයි. එසේ තැන්පත්වන ද්‍රව්‍යවල ඇති ස්ථාවර කාබන් හා නයිට්‍රජන් සමස්ථානික විශ්ලේෂණය මගින් මේ ඇතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. 

මේ ඇතුන්ගේ දළවල ඇතුළත් කාබන් 13 සමස්ථානිකවල ඉහළ අගය අනුව ඔවුන්ගේ ආහාරයේ C4 වර්ගයේ තෘණ සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්ත වී තිබෙයි. එහෙත් වනාන්තරවල වෙසෙන අලින්ගේ ආහාරයේ දැකිය හැක්කේ C3 වර්ගයේ ආහාර පමණක් නිසා ඔවුන්ගේ කාබන් 13 සමස්ථානික පිරිහී ගොස් තිබෙයි. එසේම නයිට්‍රජන්  සමස්ථානික අගය අනුව ද නැවෙන් හමු වූ දළ හිමි සතුන් ඝන වනාන්තර හෝ විවෘත ශුෂ්ක පරිසරයක වාසය කළ අලින් නොවෙන බව තහවුරු වී ඇත.

මෙහි දී හෙළි වී ඇත්තේ මේ වනාන්තර අලින් වුවත් අප්‍රිකාවේ බටහිර වෙරළේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති ගිනියානු වනාන්තර ප්‍රදේශයට එපිටින් පිහිටි වනාන්තර හා සාවානා මිශ්‍ර පරිසරයේ හා වියළි වනාන්තර ප්‍රදේශයේ ජීවත් වූ අලින් විය හැකි බවයි. එම ඇතුන් ඝන වැසි වනාන්තර පැවති ප්‍රදේශවල ජීවත් වූවන් නොවන බව පැහැදිලි වී ඇත. මෙතෙක් පැවති එක් විශ්වාසයක් වූයේ එම සැවානා ප්‍රදේශයට වනාන්තර අලින් ව්‍යාප්ත වූයේ 19-20 සියවස්වල දී සැවනා අලින්ගේ ගහන අඩු වූ පසුව බවයි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනෙන්නේ අඩු වශයෙන් අදට වසර පන්සීයකට පමණ පෙරදී ද වනාන්තර අලින් ඒ ප්‍රදේශයේ ජීවත් වූ බවයි. ඒ අනුව ඒ කාලයේදී අප්‍රිකානු වනාන්තර අලියාගේ ව්‍යාප්තිය ඒ ප්‍රදේශ දක්වාම තිබී ඇත. එසේම එය එකල පෘතුගීසී වෙළෙද නෞකා පැමිණි ස්ථාන හා ගැලපෙයි. 

සංරක්ෂණයට ඇති අදාළත්වය

කිසියම් සත්ත්ව විශේෂයක ප්‍රවේණික විවිධත්වය අඩු වීම එම සත්ත්ව විශේෂයේ වඳ වී යෑමේ අවදානම ඉහළ යෑමට හේතු වන බව පැහැදිලි කරුණකි. අප්‍රිකානු මහාද්වීපයේම ජීවත්වන චීටා සතුන් අද මුහුණ දී ඇති තත්ත්වය මෙයයි. මිනිසුන් මැදිහත් වී ආරක්ෂා කරගත් හා නැවත ස්වාභාවික පරිසරයට හඳුන්වා දුන් සමහර සතුන් ද මේ තත්ත්වයට මුහුණ දී ඇත. 

මෙම පර්යේෂණයෙන් හෙළි වන කරුණු අලි සංරක්ෂණයට මෙය යොදාගත හැකිය. අද වන විට ද නීතිවිරෝධිව ලබාගත් ඇත් දළ විශාල ලෙසින් හමු වන අවස්තාවල දී ඒවායේ DNA විමර්ශනය කිරීම මගින් අලින් කුමන ප්‍රදේශයක වාසය කරන්නවුන් ද යන්න හදුනාගැනීම මේ වන විටත් සිදුවෙයි. මේ පර්යේෂණයේදී එය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර එම ක්‍රමවේදය ලෝකයේ දැකිය හැකි ඇත් දළ එකතු පැමිණි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා යොදාගත හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සංරක්ෂණය සඳහා වැදගත්ය.

ඡායාරූප - අන්තර්ජාලයෙනි.

(මූලාශ්‍රය: Current Bology, DOI: 10.1016/j.cub.2020.10.086)

Saturday, November 28, 2020

තල්මහ රැකගැනීමට නැව් ගමන්මග වෙනස්‌ කරමු ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 26.08.2015 - Vidusara

http://www.vidusara.com/2015/08/26/feature1.html


සාගරයේ විශාලතම සත්ත්ව විශේෂ අතරට ගැනෙන්නේ තල්මහ විශේෂ ය. මේ අතරින් නිල් තල්මහ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු වී ඇත්තේ ලෝකයේ වෙසෙන විශාලතම සත්ත්වයා ද වන නිසා ය. ශ්‍රී ලංකාව අවට ඇති සුවිශේෂ තත්ත්ව නිසා මෙරට අවට සාගරයේ ද තල්මහ විවිධත්වය ඉහළ මට්‌ටමක පවතී. නිල් තල්මහ, බ්‍රයිඩ් ගේ තල්මහ, මන්ද තල්මහ වැනි තල්මහ විශේෂ දැකිය හැකි සාගර ප්‍රදේශ ගණනාවක්‌ අපේ රට අවට මුහුදේ පවතියි. මේ ආශ්‍රිතව තල්මහ නැරඹීම අද වන විට සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු ආදායම් ලබන අංශයක්‌ ලෙස වර්ධනය වී තිබේ. එසේ ම නිල් තල්මහ නැරඹීම සඳහා ලෝකයේ සුදුසු ම ස්‌ථානයක්‌ ලෙස ශ්‍රී ලංකාව ඇතැම් විට හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත් තල්මහ ගෙන් ගහන වූ අපේ රටේ දකුණු මුහුදු තීරය තරමක්‌ කාර්යබහුල නාවික ගමන් මාර්ගයක්‌ වේ. මේ හේතුව නිසා ඇතැම් විට තල්මහ නැව්වල ගැටුණු අවාසනාවන්ත අවස්‌ථා සම්බන්ධව අපට විටින් විට අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව මෙරට වෙරළ වෙත ගොඩගසන තල්මහ දේහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ නැව්වල ගැටී තුවාල වී මිය ගිය සතුන් ගේ දේහ වේ. එසේ ම මෙසේ නැව්වල ගැටුණු තල්මහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ නිල් තල්මහ බව වාර්තා වී තිබේ. මේ අනුව තල්මහ ඝනත්වය ඉහළ වීම හා ඉහළ නැව් ගමනාගමනයක්‌ තිබීම නිසා අපේ රටට දකුණින් වූ මුහුදු ප්‍රදේශය තල්මහ හා නැව් අතර ගැටුම් ඇති වීමට අවස්‌ථාව ඉහළ වූ ප්‍රදේශයකි. මෙසේ නැව් සමග ගැටීමෙන් මිය යන සතුන් ගේ මරණ සියල්ල ම නිසි ලෙස වාර්තා නො වන බැවින් සත්‍ය වශයෙන් පවත්නා තත්ත්වය මීට වඩා බරපතළ විය හැකි ය.

නැව්වල ගැටීම නිසා තල්මහ මිය යැම හුදෙක්‌ ඉන්දීය සාගර කලාපයට පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස තල්මහ සතුන් දැකිය හැකි බොහෝ ප්‍රදේශවලට පොදු වූ ගැටලුවකි. මේ නිසා ජාත්‍යන්තර සාගර සංවිධානය (IMO) සිටේසියානුවන් හා ගැටීම් වැළැක්‌වීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් සඳහන් වන ලේඛනයක්‌ ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ නැව් ගමනාගමනයේ දී යොදාගැනීම පිණිස ය.

මේ අතර ශ්‍රී ලංකාව අවට කලාපයේ පවත්නා නැව්-තල්මහ ගැටුම සම්බන්ධව ජාත්‍යන්තර තල්මහ කොමිසමේ (IWC) විද්‍යාත්මක කමිටුවේ අවධානය වසර කිහිපයකට පෙර පමණ යොමු වූ අතර, එමගින් මෙරට රජයේ අවධානය මේ කෙරෙහි යොමු කිරීමට ක්‍රියා කරන ලදි. එසේ ම නාවික ගැටුම් නිසා තල්මහ ගහනයට ඇති වන බලපෑම් සම්බන්ධව ජාත්‍යන්තර මට්‌ටමේ අධ්‍යයනයක්‌ කිරීම පිළිබඳව සැලකිල්ලක්‌ යොමු වූයේ ද මේ තත්ත්වයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. ඒ අනුව මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයක්‌ Regional Studies in Marine Science නම් ප්‍රකාශනයෙහි පළ වීම සඳහා පිළිගෙන ඇත (DOI: 10.1016/j.rsma.2015.08.002). එහි දී අනාවරණය වී ඇති කරුණු අපේ අද අවධානයට ලක්‌ වේ.

අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වූ කරුණු

මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වූ ප්‍රධාන කරුණු දෙකක්‌ මෙහි දී හඳුනාගත හැකි ය. ඉන් පළමුවැන්න වන්නේ ශ්‍රී ලංකාවට දකුණින් වූ සාගර කලාපයේ නිල් තල්මහ ව්‍යාප්තිය පිළිබඳව කරුණු අනාවරණය කරගැනීම ය. දෙවැනි වැදගත් කරුණ වන්නේ මේ තල්මහ ව්‍යාප්තව ඇති ප්‍රදේශයේ හා ඉන් එපිට මුහුදු ප්‍රදේශය හරහා වැටී ඇති නාවික ගමන් මාර්ගයේ නාවික කටයුතු පිළිබඳව සොයා බලා ඉන් තල්මහ සතුන් ගේ ව්‍යාප්තියට බලපාන අකාරය අනාවරණය කරගැනීම ය.

2014 පෙබරවාරි හා 2015 අප්‍රේල් කාලය අතර විවිධ දේශගුණ තත්ත්ව පැවැති කාලවකවානුවල දී (අන්තර්මෝසම්, ඊසානදිග මෝසම් හා නිරිතදිග මෝසම්) දින 29ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ සාගරයේ තල්මහ දෘෂ්‍ය හා වනි රේඛා අනුච්ඡදයක්‌ ඔස්‌සේ තල්මහ නිරීක්‌ෂණය කිරීම මෙහි දී මූලික වශයෙන් සිදු කර තිබේ. මෙහි දී උතුරු අක්‌ෂාංශ 5° 28' හා 5° 53' අතර කලාපයේ නැව් ගමනාගමනයට සාපේක්‌ෂව තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව සලකා බලා ඇති බව පෙනේ. එA අනුව මේ අධ්‍යයන ප්‍රදේශයට නාවික ගමනාගමන මාර්ගයට උතුරින් නාවික සැතපුම් තුනක්‌ ද, දකුණින් නාවික සැතපුම් 15ක්‌ ද ලෙස එය සම්පූර්ණයෙන් ම ආවරණය වී තිබේ.

මේ අනුව කිලෝමීටර් 3268ක්‌ පමණ දීර්ඝ ප්‍රදේශයක්‌ පුරා සිදු කරන ලද නිරීක්‌ෂණවලින් පෙනී ගොස්‌ ඇති ආකාරයට නිල් තල්මහ කණ්‌ඩායම් 193ක්‌ පමණ නිරීක්‌ෂණය කර ඇති අතර, මේ එක්‌ කණ්‌ඩායම දැකිය හැකි සතුන් ගේ මධ්‍යන්‍යය 1.46ක්‌ පමණ වී ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, නිරීක්‌ෂණය කර ඇති මළු තල්මහ ගණන 281ක්‌ පමණ වේ. මේ අතර නිල් තල්මහ ඉහළ ම ඝනත්වයක්‌ හමු වී ඇත්තේ වර්තමාන නාවික ගමන් මාර්ග පිහිටා ඇති ප්‍රදේශවල ම වීම විශේෂත්වයකි. එය ඇතැම් විට කිලෝමීටරයකට 0.1ක්‌ පමණ තරම් උපරිමයක්‌ දක්‌වා ළඟා වී තිබීම වැදගත් ය. එය වාර්තා වී ඇත්තේ බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගයේ ය.

නැව් ගමන් මාර්ග සම්බන්ධව ගත් විට බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය හා නැෙගනහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය යන දෙක ම ලෝකයේ ඇති වඩාත් කාර්යබහුල හා නැව් ඝනත්වයෙන් ඉහළ ම නාවික මාර්ග අතර වේ. ඒ අනුව මේ නැව් ගමන්මාර්ග දෙකේ පිළිවෙළින් වසරකට කිලෝමීටරයකට 1090ක්‌ හා 810ක්‌ පමණ නැව් ඝනත්වයක්‌ දැකිය හැකි ය. මේ නැව් මාර්ගයේ නැව් ගමනාගමනය මෑත කාලයේ දී ඉහළ ගොස්‌ තිබේ. 1993-2002 අතර කාලයේ මේ ප්‍රදේශයේ පැවැති නැව් ගමනාගමනයට වඩා 2003-2012 අතර කාලයේ දී නැව් ගමනාගමනය 300%කින් පමණ ඉහළ ගොස්‌ ඇති බව වාර්තා වේ. මේ වර්ධනය අත්ලාන්තික්‌ හා පැසිෆික්‌ යන සාගර ප්‍රදේශවලට වඩා ඉහළ මට්‌ටමක පවතී.

පිළියමක්‌ සෙවීම

මේ අනුව නිල් තල්මහ ඉහළ ඝනත්වයක්‌ ශ්‍රී ලංකාවට දකුණින් පිහිටා ඇති අධික නැව් ගමනාගමනයක්‌ ද ඇති නාවික ගමන් මාර්ගයක දැකිය හැකි ය. එය මේ සතුන් හා නැව් අතර ගැටුම් ඇති වීම කෙරේ බලපාන කරුණකි. මේ නිසා මේ තත්ත්වය විසඳීම සඳහා යෝග්‍ය පිළියමක්‌ සොයාබැලීම ද වැදගත් ය.

තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව තත්ත්වය හඳුනාගෙන ඇති බැවින් මේ තත්ත්වයට කිසියම් පිළියමක්‌ ද මේ අධ්‍යයනය තුළින් ම පැහැදිලි වී තිබීම වැදගත් කරුණකි. උක්‌ත පර්යේෂකයන් විසින් යෝජනා කෙරෙන පරිදි වර්තමාන නැව් ගමන් මාර්ගය තවත් නාවික සැතපුම් 15ක්‌ පමණ දකුණු දෙසට ගෙන යැමෙන් මේ තත්ත්වයට පිළියමක්‌ ලැබේ. එසේ කළ හැකි නම්, වර්තමානයේ දී නිල් තල්මහ මුහුණ දී ඇති අවදානම 95%ක්‌ පමණ තරම් අඩු කරගත හැකි ය. එහෙත් එවැනි පියවරක්‌ ගත හොත් නැව් ගමනාගමනයට කිසියම් ආර්ථික බලපෑමක්‌ ද ඇති වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ නිසා ප්‍රධාන නාවික ගමනාන්තවලට ඇති දුර ප්‍රමාණය ඉහළ යයි. නැව් ගමන් මාර්ගය වෙනස්‌ කළ හොත් රතු මුහුද දෙසට හා එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 5කින් පමණ ද, ඉන්දියාවේ බටහිර වෙරළට හා අරාබියේ ගල්ෆ් ප්‍රදේශයට යන එන නැව්වල මුළු දුර නාවික සැතපුම් 9කින් ද ඉහළ යා හැකි ය. අනෙක්‌ අතට කොළඹට යන හෝ එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 12කින් පමණ ඉහළ යා හැකි ය. මේ දුර ඉහළ යැම සාපේක්‌ෂව අඩු බව පෙනේ. මේ පර්යේෂකයන් යෝජනා කරන විසඳුම කෙතෙක්‌ දුරට ජගත් මට්‌ටමේ නාවික අධීකාරීන් විසින් අනුමත කෙරෙනු ඇති ද යන්න අපට අනාගතයේ දී දැකිය හැකි වනු ඇත.

එසේ ම මේ සාගර ප්‍රදේශයේ දැකිය හැකි වෙනත් තල්මහ විශේෂ සම්බන්ධව ද වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන තවත් කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ ප්‍රදේශයේ දී බ්‍රයිඩ් ගේ තල්මහ (Bryde's whale) හා මන්ද තල්මහ (Sperm whale) මෙවැනි තවත් විශේෂ අතර වේ.

අනෙක්‌ අතට මෙසේ තල්මහ නැව්වල ගැටීම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්‌ ද මේ වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව පැටවුන් හා තරුණ වියේ පසු වන සතුන් ගේ ගැටීම් ඉහළ යැම එවැනි එක්‌ තත්ත්වයකි. මීට හේතු විය හැකි කරුණු අතර නැව් නිසා ඇති වන අනතුරු සම්බන්ධව මේ සතුන්ට එතරම් අවබෝධයක්‌ නොමැති වීම හෝ වැඩි කාලයක්‌ සාගරය මතුපිටට ආසන්නව ගත කිරීම දැක්‌විය හැකි ය.

මේ පර්යේෂණය සඳහා තිලක්‌ ප්‍රියදර්ශන හා සමීර සධුසංඛ රන්දගේ යන ශ්‍රී ලාංකික පර්යේෂකයන් ද, අබිගේල් ආලිංග්, සුසානා කල්දේරාන්, ජොනතන් ගෝඩන්, රසල් ලීපර් හා ලින්ඩ්සේ පෝටර් යන විදේශීය පර්යේෂකයන් පිරිස ද සම්බන්ධ වී ඇත.

http://www.vidusara.com/2015/08/26/feature1.html 

Friday, November 13, 2020

"ගස් කෝමාරිකා" (එදිනෙදා කතා 1)




මේක සිදුවූයේ අපි නුගේගොඩ නාවල පාරෙ එක්තරා ප්‍රසිද්ධ අතුරු පාරක හිටපු කාලෙදි. 1980 ගණන්වල අග හරියෙ දවසක් වූ එදා හවස අපි සෙල්ලම් කරල ඉවර වෙලා, පාර අයිනට වෙලා විවේකෙන් හිටියෙ. ඒ වෙලාවෙ තරුණයෙක් කඩිමුඩියෙ දුවගෙන ආවා - බෙහෙත් පැළයක් හොයාගෙන.

ඔහුට අවශ්‍ය උනේ කෝමාරිකා. කෝමාරිකා තියන ගෙයක් හොයාගෙන අහගෙන තමයි එයා ආවෙ. අර තරුණයා ඒ කාලෙ හැටියට සෑහෙන පොෂ් පෙනුමක් තිබ්බ කෙනෙක්. ඩෙනිමක් ඇඳලා, ටීෂර්ට් එකක් දාල එහෙම හිටියෙ. (මටත් ඒ කාලෙ අවුරුදු 15-16 වයස කාලෙ.)

ඒත් එතකොටත් තරමක් කළුවර වැටිලා තිබ්බ නිසා අසල නිවෙසක ඇන්ටි කෙනෙක් මෙහෙම කිව්වා -

"කෝමාරිකා නං තියනවා. ඒත් මේ වෙලාවෙ කළුවරේ කඩාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ"

අර තරුණයා ෆුල් කන්ෆිඩන්ට් පිට මෙහෙම කීවා...

"කමක් නෑ ඇන්ටි, මට ගස් නගින්න පුළුවන්. මං නැගලා කඩාගන්නම්"


ධනේෂ් විසුම්පෙරුම

2020.11.13

Thursday, July 23, 2020

රැකගත යුතු අවශේෂ කැලෑ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.07.22, පි. 4 (Vidusara)



පසුගියදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව කටයුතු සිදුවුවහොත් රටේ වනාන්තර අතරින් සැලකිය යුතු ප්‍රමාණයක අනාගත පැවැත්ම සඳහා යම් තර්ජනයක් ඇති වී තිබෙන බවට වන සාකච්ඡාවක් මේ වන විට දැකිය හැකිය. මේ සඳහා පරිසරවේදීන්, පරිසර සංවිධාන, විද්වතුන් මෙන්ම රජයේ ආයතන වෘත්තීය සමිති ද සම්බන්ධ වී ඇත.

2020 ජුලි මස 01 වන දා පැවති කැබිනට් රැස්වීමේදී “රජයේ අවශේෂ කැලෑ වශයෙන් සලකනු ලබන ඉඩම් දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමේ අවශ්‍යතාව” යන මැයෙන් සඳහන් වන අමාත්‍ය මණ්ඩල තීරණයේ සාරාංශය මෙසේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනයට නියම කර ඇති රජයේ අවශේෂ කැලෑ වශයෙන් හඳුන්වනු ලබන ඉඩම්, පරිසර හා වනජීවී කටයුතුවලට බාධාවක් නොවන පරිදි හා ඉඩම්වල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් තාවකාලිකව වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි ඒ සඳහා වන බලතල දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා දීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස පරිසර සහ වනජීවී සම්පත් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටීම එදා ගත් තීරණයයි. මෙවැනි ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ලෙස දක්වා ඇත්තේ චක්‍රලේඛයේ විධිවිධාන පරිදි එම ඉඩම් කිසියම් වෙනත් පරිහරණ කටයුත්තක් සඳහා යොදා ගත යුතු වන්නේ නම් ඒ සඳහා දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බැවින් එකී අවශේෂ කැලෑවල හේන් ගොවිතැන් වැනි කටයුතුවල යෙදෙන ගොවීන් දැඩි අපහසුතාවන්ට පත් වී ඇති අතර එකී ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට බාධාවක් වී තිබීමය.

කෙසේ වෙතත් ඉන්පසුව පැවැති කැබිනට් රැස්වීම්වලදී මේ ගැන යළි සාකච්ඡාවක් ඇති වූ බවක් වාර්තා මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. කෙසේ වෙතත් ආරක්ෂිත ප්‍රදේශ හා මුඩු ඉඩම් පිළිබඳ සොයා බැලීම සඳහා කිසියම් කමිටුවක් පත් කර ඇති බවක් පසුගිය සතියේ ඉරිදා පුවත්පතක වාර්තා වී තිබිණි.


රජයේ අවශේෂ කැලෑ යනු


මේ කියන අවශේෂ කැලෑ හෙවත් වෙනත් රජයේ වනාන්තර (other state forests) යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය ආඥා පනත් යටතේ පාලනය නොකරන ලද කැලෑය. වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් 2001.08.10 දින නිකුත් කරන ලද අංක 05/2001 චක්‍රලේඛයේ විධිවිධාන පරිදි මේ අවශේෂ කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලදි. 

අපේ රටේ වනාන්තරවල පාලනය කලින් කල වෙනස් වූ ආකාරය වන සම්පත් සංරක්ෂකයින්ගේ වෘත්තීය සංවිධානය විසින් පැහැදිලි කර ඇත. නූතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1887 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාව පාලනය වූ කාලයේදීය. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් 1904 වර්ෂයේ දී මෙරට සියලුම වනාන්තරවල භාරකාරිත්වය වන සංරක්ෂකට යටතට පත් කරන ලදි. එහෙත් 1934 දී එය වෙනස් කරන ලද අතර, දිසාපති හා වන සංරක්ෂක යන දෙපාර්ශ්වයම කැලෑ පාලනය පවරන ලද අතර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම ඒ පාර්ශ්ව දෙකම සිදු කළේය. ඉන්පසු 1952 වර්ෂයේ දී වියළි කලාපයේ අක්කර 500කට (හෙක්ටයාර 200) හා අනිකුත් ප්‍රදේශවල අක්කර 50කට (හෙක්ටයාර 20) වඩා ප්‍රමාණයෙන් අඩු අවශේෂ කැලෑ පාලනය කිරීම දිසාපතිවරුන් යටතේ රදවා ඉතිරි සියලු කැලෑ වන සංරක්ෂකගේ පාලනයට යටත් කරන ලදි. එහෙත් 1998 පමණ වන විට වනාන්තර පාලනයේ දී ඇති වූ තිබූ ගැටලු නිසා ජනාධිපතිනියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ ඇති කැලෑ බිම් ප්‍රමාණය සීමා කරන ලදි. ඒ අනුව වියළි කලාපයේ අක්කර 200කට (‌හෙක්ටයාර් 80) හා තෙත් කලාපයේ අක්කර 20 (හෙක්ටයාර් 8) කට වඩා ප්‍රමාණයෙන් අඩු වනාන්තර පමණක් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට පත් කරමින් අංක 05/98 දරණ චක්‍රලේඛය, 1998.07.01 දින වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය නිකුත් කළේය. මේ තීරණය වෙනත් රාජ්‍ය ආයතනවල දැනුවත්ව සිදුකරන ලද්දකි.

වනාන්තරවල ආරක්ෂාව උදෙසා 5/2001 චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ පැවති සියලු අවශේෂ වනාන්තරවල කළමනාකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරමිනි. ඒ අනුව එම අවශේෂ කැලෑ ජාතික වන ප්‍රතිපත්තියට අදාළව කළමනාකරණය කිරීම, වැඩිදියුණු කිරීම හා ආරක්ෂා කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලදි. ඒ වනාන්තරවල විද්‍යාත්මක කළමනාකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද නමුත්, ඒවායේ ආරක්ෂාව සඳහා දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට වන ආඥා පනත යටතේ පැවරී ඇති බලතල ක්‍රියාත්මක කළ හැකි විය. එසේම යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සදහා ඒවාට අයත් යම් ඉඩමක් නිදහස් කරගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාපිළිවෙතක් ද හදුන්වා‌දෙන ලැබ තිබිණි.

ඉන් අනතුරුව 2006 වර්ෂයේදී නිකුත් කරන ලද 02/2006 චක්‍රලේඛය මගින්, සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති, එහෙත් වනාන්තර ලක්ෂණ නොදරන ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දීමේ නව ක්‍රමවේදයක්ද පවතී. එබැවින් 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පවතී ද යන්න ගැටලුවකි.


මේවා රැකගත යුත්තේ ඇයි?


ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් වනාන්තරවලින් ආවරණය වී ඇත්තේ 29.7%ක් පමණ ප්‍රදේශයක් පමණකි. එය හෙක්ටයාර ලෙස ගතහොත් මිලියන දෙකක් පමණ වේ. වන සංරක්ෂණ ආඥා පනත හා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත ප්‍රදේශ ලෙස පවත්නා වනාන්තර හැර තවත් වනාන්තර හෙක්ටයාර 694,000ක් පමණ මීට අයත් වෙයි. අප මාතෘකා කරගත් අවශේෂ හෙවත් වෙනත් වනාන්තර අයත් වන්නේ මේ ප්‍රමාණයටය. එම ප්‍රමාණය ලංකාවේ මුළු වනාන්තර බිම් ප්‍රමාණය අතරින් තුනෙන් පංගුවක් පමණ වෙයි.
මේ අවශේෂ වනාන්තර අතර බෙහෙවින් වැදගත් පරිසර පද්ධති පවතී. විද්‍යාත්මක පර්යේසණවලින් හඳුනාගෙන ඇති පරිදි ඇතැම් ස්ථානීය ආවේණික විශේෂ පවා මේ අවශේෂ කැලෑවල දැකිය හැකිය. එබැවින් මේ කැලෑවල වැදගත්කම ගැන ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ පිරිස් දැනුම්වත් වී ඇත. 

මේ චක්‍රලේඛයේ නෛතික භාවය තහවුරු වූ හා ඒ නිසාම ආරක්ෂා කරගත හැකි වූ වෙනත් රජයේ වනාන්තර පිළිබඳව මෑත කාලීනව ලැබුණු අධිකරණ තීන්දු කීපයක්ද තිබෙයි. නිදසුනක් ලෙස ගතහොත් මින්නේරියට නුදුරුව පිහිටා ඇති පටපිලිකන්ද ප්‍රදේශයේ අවශේෂ වනාන්තරයක දේශපාලන මැදිහත්වීමක් සහිතව ඉදිකරන ලද ඉදිකිරීමක් නීත්‍යනුකූල නොවන බවට තීරණය කරන ලද්දේ මේ චක්‍රලේඛයේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නොතිබූ නිසාය. (එම ඉදිකිරීම අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දී තිබෙයි.) එමෙන්ම කෝකිලායි ප්‍රදේශයේ රජයේ වනාන්තරයක මහවැලි බලධාරින්ගේ අනුමැතිය ඇතිව සිදුකරමින් තිබූ දැව හෙලීමක් සඳහා ද උක්ත චක්‍රලේඛය අනුව නිසි අවසර ලබා ගෙන නොතිබූ බව අධීකරණය හමුවේ හෙළි වීමෙන් පසුව ඒ කටයුත්තද නවතා දැමීමට සිදුවිය. ඇතැම් වාණිජ සමාගම්වලට ඉඩම් ලබාදීමට එරෙහිව අධිකරණයට ගිය පසුව ඒවා නිත්‍යානුකූල නොවූ බවත් ඒ ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතට පත් කිරීමටත් තීරණය වූයේ ද මේ චක්‍රලේඛය නිසාය. 

මේ කරුණු අනුව පෙනෙන්නේ මේ අවශේෂ කැලෑවල ආරක්ෂාව සඳහා 5/2001 චක්‍රලේඛය වැදගත් වන බවයි. ඒ දේශපාලන හා නිලධාරි මැදිහත්වීම් ඇතිව සිදුකරන ඉඩම් පැවරීම්වලට මේ චක්‍රලේඛය බාධා වන නිසාය.
අනෙක් අතට මේ චක්‍රලේඛය ඉවත් කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන සාධාරණ බියක් ඇති වීම වැළැක්විය නොහැකිය. එය හුදෙක් හේන් වගාවට හෝ ඉඩම් නැති ජනතාවට පදිංචිවීමට හා වගා කිරීමට ඉඩම් ලබාදීම පමණක් විය හැකිද? අපේ රටේ කටයුතු සිදුවන ආකාරයට ඒ ගැන සැක ඇතිවීම පුදුමයක් නොවේ. මේවායේ අවසාන අපේක්ෂාව රටේ ඉඩම් මහා පරිමාණ සමාගම්වලට ලබාදීම විය නොහැකිද? මේවා අපැහැදිලි තැන්ය. එබැවින් වඩාත් හොඳම දේ වන්නේ මේ චක්‍රලේඛය අහෝසි කිරීම වළක්වා ලීමය. ලබන මාසයට යෙදෙන මහමැතිවරණයෙන් පසුව රජය මේ ගැන කුමන පියවරක් ගනු ඇතිදැයි අවදියෙන් සිටීම පරිසර හිතැති සැමගේ වගකීම වෙයි. පරිසරයට හානිකර විය හැකියැයි විරෝධයට ලක් වූ ඇතැම් ව්‍යාපෘති නතර කරන බවට පොරොන්දු දී බලයට පැමිණි පාර්ශ්ව පවා මද කලකින් ඒවාට අනුමැතිය ලබාදුන් හැටි අපි දුටුවෙමු. එමෙන්ම ඒවා තමන්ගේ නමට ලියාගන්නට උත්සාහ කළ හැටි ද අපි දුටුවෙමු. කොළඹ වරාය නගරය පිළිබඳ සිදුවීම මීට හොදම නිදසුන වෙයි.


රජයේ පරිසර ප්‍රතිපත්තියට මෙය එකඟ ද?


වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දස වැදෑරුම් ප්‍රතිපත්තිවල නව වැන්න වන්නේ “තිරසාර පරිසර කළමනාකරණය” යන්නයි. ඒ යටතේ මෙසේ සඳහන් වෙයි. 

“ගහකොළ, ඇළදොළ සහ සතා සීපාවා මුල් කරගත් පරිසරය බැඳී ඇත්තේ අපගේ සුසුමත් සමඟ ය. එබැවින් අනාගත පරම්පරාව වෙනුවෙන් අප පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතු ය. අලුත් වන වගා සංග‍්‍රාමයක් මෙන් ම සියලූ වනාන්තර ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතු ය. යල්පිනූ නීති රාමුව වෙනස් කර සියලූ පරිසර අවභාවිතයන් නිමා කිරීම සඳහා අවශ්‍ය නීති රාමුවක් ස්ථාපනය කළ යුතු ය.” (පිටුව 3)

“භූමි පරිභෝජන ප‍්‍රතිපත්ති හා ජල කළමණාකරන ප‍්‍රතිපත්ති වල තිරසාර බව තහවුරු කරන අතරතුරම ජාතික වන වැස්ම (forest cover) 30% දකවා ඉහළ දැමීමට ක‍්‍රියාමාර්ග ගනු ලැබේ. ඒ සඳහා යලි වන වගාවන් සිදුකිරීමට සුදුසු පරිසර නිසියාකාරව හඳුනා ගැනීමට නිශ්චිත ක‍්‍රියාමාර්ග ගනු ලැබේ.” (පිටුව 64 හා 66)

අවාසනාවකට මෙන් ඉහත කී ආකාරයට 5/2001 චක්‍රලේඛය අහෝසි කළහොත් සිදුවනු ඇත්තේ මේ වන විට යම් තරමකින් හෝ ආරක්ෂිතව ඇති වනාන්තර භූමි එළි කිරීමට අවස්ථාවක් ලැබීමය. වන වගා යනු ස්වාභාවික වනාන්තරවලට විකල්පයක් නම් නොවේ. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ස්වාභාවික වනාන්තරයකින් ලැබෙන ප්‍රයෝජනය වන වගාවකින් නොලැබෙයි. එමෙන්ම, පරිසර පද්ධති සේවා සම්බන්ධයෙන්ද වන වගාවකට වඩා විශාල සේවයක් ස්වාභාවික වනාන්තරවලින් ලැබෙයි. 

මේ කරුණු අනුව පෙර සඳහන් චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය කටයුතු කළහොත් එය වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ප්‍රතිපත්තිවලට ද එකඟ නොවන බව ද පැහැදිලිය. එබැවින් මේ යෝජනාව අත්හැර දැමීම වර්තමාන රජයේ පරිසර සලකුණ යහපත්ව තබාගැනීමට වැදගත් වනු ඇත.

Monday, April 13, 2020

මිනිස් ස්වභාවය පෙන්වන දුම්කොළ හා කංසා

නවලෝකය ‌හෙවත් ඇමරිකානු මහාද්වීප නිජබිම් කරගත් දුම්කොළ ශාකය ඔසුවක් ‌ලෙස හා ආගමික හා උත්සවවල මුලින්ම භාවිත කළේ ද ඒ ප්‍රදේශයේ විසූ ස්වදේශිකයන්ය. ඇමරිකාවට ගිය යුරෝපීයයන් ඒ ශාකය යුරෝපයට ගෙන ආවේ විස්මයජනක ඔසුවක් ලෙසින්ය. එම ශාකයේ ඖෂධීය ගුණ දන්නා නමුත් අද එය ප්‍රධාන වශයෙන් වගාකරන්නේ හා භාවිත වන්නේ කුමක් සඳහා ද? දුම්වැටි නිෂ්පාදනය සඳහාය.

මධ්‍යම ආසියාව නිජබිම් කරගත් කංසා විවිධ භාවිතයක් තිබූ ශාකයකි. ආහාරයක්, ඉන්ධනයක්, පෝෂක සපයන්නක්, කඩදාසි නිපදවීමට, ගොඩනැගිලි ද්‍රව්‍යයක්, ඔෳෂධයක් හා රෙදිපිළි තැනීමට ආදි ලෙස විවිධ අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත. එහෙත් කංසා අද භාවිත‍ වන්නේ ඔසුවක් හෝ අන් ප්‍රයෝජනකට නොව මත්ද්‍රව්‍යයක් ලෙසය.

අද යමක් කියැවීමේ දී මේ දෙකේම ඖසධ භාවිතය ගැන කියැවීමට ලැබිණි.

මේ දෙකම ලංකාවට හඳුන්වා දුන් ශාක වේ. දුම්කොළ 16 සියවස අග හෝ 17 සියවස මුලදී පෘතුගීසීන් විසින් හඳුන්වා දෙන ලද්දකි. කංසා කෝට්ටේ යුගය වන විටද මෙරට පැවති අතර, අග්නිදිග හා නැගෙනහිර ආසියාව හා සමීප සම්බන්ධතා පැවති කාලයේ සේද මාවත ඔස්සේ පැමිණි බව සිතිය හැකිය. මේවා ඉන් පසු අපට කෙතරම් අත්‍යවශ්‍ය වී තිබේද යත් බුලත් විටට සමහරුන්ට දුම්කොළ නැතිවම බැරිය!

මේ දෙකේම භාවිතය අපට පෙන්වන්නේ කුමක්ද? යහපත් භාවිත රැසක් තිබිය දී මිනිසුන් ඒවා භාවිත කර ඇත්තේ හුදු විනෝදාස්වාදයට, රැල්ලට හා සෞඛ්‍යයට හිතකර නොවන කටයුතු සඳහා බවයි.

අද අප අන්තර්ජාලය, Facebook, Youtube ආදිය භාවිත කරන්නේ ද ඒ ආකාරයටම නොවේද? පහසුවෙන් නාස්තියට, ‌නොමඟට හා නරකට ‌යොමු වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. අද ‌හෝ ‌හෙට අප වෙනස් කරගත යුත්තේ ද එයයි. අවාසනාවකට මෙන් එයද අභියෝගාත්මක කාර්යයකි. බුලත් විටෙන් දුම්කොළ ඉවත් කිරීමට ගත් උත්සාහය සමහරුන්ට බරපතළ ගැටලුවක් වූ අයුරු මතකද?

ධනේෂ් විසුම්පෙරුම

13.04.2020

Tuesday, February 4, 2020

ඔස්‌ට්‍රේලියාවේ මහා වන ගින්න...

මිනිස්‌ ජීවිත 28ක්‌, සතුන් මිලියන ගණනක්‌ සහ වන බිම් හෙක්‌ටයාර මිලියන 7.3ක්‌ බිලිගත් ඔස්‌ට්‍රේලියාවේ මහා වන ගින්න...



ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.01.22, පි.5  (Vidusara)

http://www.vidusara.com/2020/01/22/feature1.html


මෑත දී ඕස්‌ට්‍රේලියාවේ ඇති වූ විනාශකාරී වන ගිනි පිළිබඳව සමස්‌ත ලෝකයේ ම අවධානය යොමු විය. වෙනත් වසරවල ගිනි ඇති වන කාලයට වඩා පෙර පසුගිය අගෝස්‌තු මාසයේ දී පමණ මුලින් ම ඇති වූ මේ ගිනි වඩාත් ප්‍රබල වූයේ එරට නිව් සවුත් වේල්ස්‌ හා වික්‌ටෝරියා යන ප්‍රාන්තවල ය. ඉන් ද වඩා බරපතළ වූයේ නිව් සවුත් වේල්ස්‌ ප්‍රාන්තයේ ය. මේ දක්‌වා ම මේ ගිනි සම්පූර්ණයෙන් ම නිවා දැමීමට හැකි වී නොමැති අතර, තවමත් ඔස්‌ට්‍රේලියාවට ග්‍රීෂ්ම සෘතුව පැවතීම ද ඊට බලපා තිබේ.

ජනවාරි මැද වන විට මේ ගිනි නිසා මිනිස්‌ ජීවිත 28ක්‌ අහිමි වී තිබිණි. නිව් සවුත් වේල්ස්‌ ප්‍රාන්තයේ පමණක්‌ නිවාස 3000ක්‌ පමණ ප්‍රමාණයක්‌ සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් හෝ විනාශ වී ඇත. එමෙන් ම සිඩ්නි හා මෙල්බර්න් යන නගරවලට ද මේ ගිනි නිසා දැඩි බලපෑමක්‌ ඇති විය. සිඩ්නි නගරයේ වාතයේ තත්ත්වය දෙසැම්බර් මාසයේ දී හානිකර මට්‌ටම මෙන් එකොළොස්‌ ගුණයක්‌ පමණ දක්‌වා ඉහළ ගියේ ය. මේ නිසා ඇති වූ දුමාරය හා කළු කාබන්, ගිනි ඇති වූ ප්‍රදේශයේ සිට පැසිෆික්‌ සාගරයේ සැතපුම් 7000ක්‌ පමණ දුරක්‌ නැෙ`ගනහිර දෙසට ගමන් කර ඇත. මේ කළු කාබන් යනු සෞඛ්‍යයට අහිතකර වන්නක්‌ වන අතර, දේශගුණ වෙනස්‌ වීම වර්ධනය කිරීම සඳහා ද හේතුවකි.

මේ ගිනි නිසා මුළුමනින් ම විනාශයට පත් වූ වන බිම් ප්‍රමාණය හෙක්‌ටයාර මිලියන 7.3කට වඩා අධික ය. (මෙය අක්‌කරවලින් නම් මිලියන 17.9ක්‌ තරම් විශාල බිම් ප්‍රමාණයකි.) මේ ප්‍රමාණය බෙල්ජියම හා ඩෙන්මාර්කය යන රටවල් දෙකේ බිම් ප්‍රමාණයේ එකතුවට සමාන යพ තවත් ආකාරයකින් සංසන්දනය කරන්නේ නම්, 2019 වර්ෂයේ දී ඇමසන් වනාන්තරයේ ඇති වූ ගිනි නිසා විනාශයට පත් වූයේ හෙක්‌ටයාර 900,000කි. ඕස්‌ට්‍රේලියානු වන ගිනි නිසා සතුන් බිලියනයක්‌ පමණ බලපෑමට ලක්‌ වූ බව සිඩ්නි විශ්වවිද්‍යාලයයේ පරිසර විද්‍යාඥයන්ගේ අදහස වෙයි. ඉන් මිලියන ගණනාවක්‌ පමණ ගින්නෙන් මිය ගොස්‌ ඇත. මේ ගණන් බලා ඇත්තේ කෘමීන් හා මැ`ඩියන් වැනි ඇතැම් සත්ත්ව කාණ්‌ඩ ගැන නො සලකමිනි. මෙහි දී ඇතැම් සීමිත ව්‍යාප්තියක්‌ තිබූ හා අඩු ගහනයක්‌ තිබූ විශේෂවලට වැඩි බලපෑමක්‌ ඇති වන්නට ඇත. මේ සියලු දත්ත මීට පෙර සිදු කරන ලද අධ්‍යයන මත කර ඇති ගණනය කිරීම් ය. සැබෑ තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට තවමත් හැකියාවක්‌ ලැබී නැත්තේ පවත්නා ගිනි නිසා ය.

වන ගිනි පාලනය සඳහා මහත් වෙහෙසක්‌ දැරීමට සිදු වී ඇති අතර ඒ සඳහා වෙනත් රටවලින් ද සහාය ලබාගැනීමට එරටට සිදු වී තිබෙයි. මේ වන විට එම ගිනි තරමක්‌ පාලනය වී ඇතත්, තවමත් පවත්නා ග්‍රීෂ්ම සෘතුව නිසා එය සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට තවත් කලක්‌ ගත විය හැකි බව වාර්තා වෙයි.

මේ වන ගිනි එරට මෑත දශක කිහිපය තුළ ඇති වූ වඩාත් බරපතළ වන ගිනි ලෙස සැලකෙයි. සාමාන්‍යයෙන් ඕස්‌ට්‍රේලියානු වන ගිනි ඇති වීම සඳහා ස්‌වාභාවික හේතු බලපායි. නිදසුනක්‌ ලෙස නියඟයෙන් දැඩි ලෙස වියළී ගිය වනාන්තරයකට අකුණු වැදීමෙන් ස්‌වාභාවික වන ගින්නක්‌ ඇති විය හැකි ය. විශේෂයෙන් වැසි නොමැති ව වියළි තත්ත්ව යටතේ සිදු වන අකුණු ගැසීම් මෙවැනි ගිනි ඇති කරයි. කෙසේ වෙතත් වුවමනාවෙන් ම මිනිසුන් විසින් ද ගිනි ඇති කරන ලද අවස්‌ථා ද වාර්තා වී ඇති අතර ඒ සඳහා වරදකරුවන් අත්අඩංගුවට ද ගෙන ඇත.


වන ගිනිවලට ලක්‌ වන රටවල්


විශාල ප්‍රමාණයේ වන ගිනි ලෝකයේ රටවල් රැසක දැකගත හැකි ය. එහෙත් ඕස්‌ට්‍රේලියාව යනු ලෝකයේ මහාද්වීප අතරින් වන ගිනි ඇති වීමේ අවස්‌ථාව ඉහළ ම වන මහාද්වීපයයි. එරට ජුලි හා අගෝස්‌තු මාසයෙන් ආරම්භ වන සමය වන ගිනි සමයක්‌ ලෙස හැඳින්වෙයි. විශේෂයෙන් වසර අවසානයේ ඇරඹෙන එරට ග්‍රීෂ්ම සෘතුව සමයේ ඇති අධික උෂ්ණත්වය නිසා ගිනි ඇති වීමේ ප්‍රබල අවස්‌ථාවක්‌ පවතී.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය, වන ගිනි සුලබ හා ගින්නෙන් වන හානි සුලබ වන තවත් ප්‍රදේශයකි. එමෙන් ම ස්‌පාඤ්ඤය ද වාර්ෂිකව මෙන් ගිනි ඇති වන රටවල් අතර වෙයි. මෑත දී අවධානයට ලක්‌ වූ ඇමසන් වනාන්තරයේ ගිනි ඇති වීම වැඩි වශයෙන් මිනිසුන් විසින් ඇති කෙරෙන්නක්‌ වුවත්, අධික උෂ්ණත්වය හා නියඟය වැනි සාධක ඒ තත්ත්වය බරපතළ වීමට බලපා ඇත.


වන ගිනි හා දේශගුණ වෙනස්‌ වීම අතර සම්බන්ධය


දේශගුණ වෙනස්‌ වීම හා වන ගිනි අතර කිසියම් සම්බන්ධතාවක්‌ ඇති බව පුළුල් ව පිළිගැනෙන කරුණකි. එහෙත් එය තරමක්‌ සංකීර්ණ කරුණකි. ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස්‌ තිබීම නිසා වන ගිනි ඇති වීමට ඇති අවස්‌ථා ඉහළ යා හැකි ය. එමෙන් ම දේශගුණ වෙනස්‌ වීම නිසා ආන්තික තත්ත්ව වඩා තීව්‍ර වීම හා ඇති වන වාර ගණන වර්ධනය වීම ද සිදු වෙයි. එවැනි ආන්තික තත්ත්වයක්‌ වන නියඟයත්, වන ගිනි ව්‍යාප්ත වීමට හා වඩා දිගු කාලයක්‌ පැවතීමට හේතු වෙයි. නිය`ගය මෙන්ම ගංවතුර වැනි ස්‌වාභාවික ව්‍යසනවල බලපෑම ඉහළ යැම සඳහා දේශගුණ වෙනස්‌ වීම හේතු වෙයි. ඒ එකිනෙකට වෙනස්‌ ප්‍රදේශවල ය.

ඕස්‌ට්‍රේලියාව සම්බන්ධයෙන් ගත් විට මේ ගත වන්නේ දශක කීපයකට පසුව එරට දැකිය හැකි වූ බරපතළ ම නියඟයකි. එමෙන් ම පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇති වූ අධික උෂ්ණත්වය නිසා තාප ප්‍රවාහයක්‌ පවා ඇති විය. එය එරටේ උෂ්ණත්ව වාර්තා බි`ද හෙළන ලද සිදුවීමක්‌ බව වාර්තාවල සඳහන් විය. එරට වාර්තාගත ඉහළ ම උෂ්ණත්වය බව පැවසෙන සෙල්සියස්‌ අංශක 41.9ක උෂ්ණත්වය වාර්තා වූයේ පසුගිය දෙසැම්බර් මස 18 වැනි දා ය. එරට උෂ්ණත්වය 1910 වර්ෂයෙන් පසුව ගත වී තිබෙන කාලයේ දී සෙල්සියස්‌ අංශකයකටත් වඩා ඉහළ ගොස්‌ ඇත. මේ උෂ්ණත්වය ඉහළ යැමෙන් වැඩි ප්‍රමාණයක්‌ සිදු වී තිබෙන්නේ 1950 වර්ෂයෙන් පසු ව ය.

එරට තුළ දැකිය හැකි උණුසුම් වීම පැහැදිලි කළ හැකි එක්‌ ආකාරයක්‌ වන්නේ ඉන්දියානු සාගරයේ නැෙ`ගනහිර පෙදෙසේ සාගර උෂ්ණත්වය සිසිල් වීමත් බටහිර පෙදෙසේ එය උණුසුම් වීමත් යන ක්‍රියාවලියයි. 'ඉන්දියානු සාගර ද්විධ්‍රැවය' (Indian Ocean Dipole) ලෙස හඳුන්වනු ලබන මේ සිදුවීම නිසා ඉහත කී උෂ්ණත්ව අගයයන් දෙක අතර ඇති වෙනස කෙතරම් ඉහළ ගොස්‌ තිබේ ද යත් වර්තමානයේ දී පසුගිය වසර 60ක පමණ කාලයේ දී පැවැති වැඩි ම වෙනස වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අධික වර්ෂාපතනයක්‌ නැෙ`ගනහිර අප්‍රිකාවට ලැබීමෙන් ගංවතුර තත්ත්ව ඇති වීමත්, අග්නිදිග ආසියාවේ හා ඕස්‌ට්‍රේලියාවේ නියඟ ඇති වීමත් ය.


වන ගිනි හා wildfire එකක්‌ ද?


ලැව් ගිනි හා වන ගිනි යන වචන සිංහල භාෂාවේ දී ඕස්‌ට්‍රේලියාවේ ඇති වූ ගිනි හැඳින්වීමට යොදාගැනීම නිවැරැදි ය. එහෙත් එම වදන් ස්‌වාභාවික පරිසරයේ ඇති වන සියලු ගිනි හඳුන්වන wildfire යන වදන සඳහා විද්‍යාත්මක සංදර්භයේ දී ගැළපෙන යෙදුමක්‌ නො වන බව පෙනෙයි. වන ගිනි, කැළෑ ගිනි මෙන්ම ලැව් ගිනි ද එක ම අරුතක්‌ දෙයි. ලැව් යනු වනාන්තරය හෙවත් යන අර්ථය දෙන නිසා ය. ඒ forest හෙවත් වනාන්තරයක ඇති වන ගිනි යන්න ය. එහෙත් ඊට අදාළ වචනය වන forest fire යනු wildfire යන කාණ්‌ඩයට අයත් එක්‌ ගිනි වර්ගයක්‌ පමණකි.

ස්‌වාභාවික පරිසර පද්ධතිවල ඇති වන ගිනි wildfire නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන අතර, අදාළ පරිසරය අනුව විවිධ ලෙසින් නම් කර ඇත. ඉන් එකක්‌ වන forest fire යනු ලැව් ගිනි, කැළෑ ගිනි, වන ගිනි ලෙස දැක්‌වෙන වනාන්තරවල හටගන්නා ගිනි ය. තෘණ බිම්වල හටන්නා ගිනි තණ ගිනි (grass fire) ලෙස ද, පීට්‌ බිම්වල හටගන්නා ගිනි පීට්‌ ගිනි (peat fire) ලෙස ද නම් කර ඇත. තවත් එවැනි ගිනි වර්ග පවතී. අපේ රටේ පතන් බිම්වල හටගන්නා ගිනිවලට පතන් ගිනි යනුවෙන් සඳහන් වීම ද මීට නිදසුනකි.

එසේ නම් wildfire යන්නට සුදුසු වදනක්‌ සොයාගත යුතු ව තිබෙයි. විවිධ ස්‌වාභාවික පරිසර පද්ධතිවල හටගන්නා පාලනය කළ නොහැකි ගිනි සියල්ල මීට ඇතුළත් ය. එයට 'වල් ගිනි' යනුවෙන් පැවසිය නොහැක්‌කේ 'වල්' යනු ද වනාන්තරයට යෙදෙන වචනයක්‌ නිසා ය. 'ස්‌වාභාවික ගිනි' යනුවෙන් පැවසිය නොහැක්‌කේ ස්‌වාභාවික නො වන wildfire ද ඇති නිසාය. ලැව් ගිනි යන්න ඒ සඳහා භාවිත වුව ද එය නිවැරැදි නො වන්නේ ලැව් යනු ද වනාන්තරය නිසා ය.

මේ සියලු ගිනි ඇති වීමට ස්‌වාභාවික හේතු මෙන්ම මානව මූලික හේතු ද බලපායි. ප්‍රධාන ස්‌වාභාවික හේතු අතර වියළි කාලගුණයක්‌ පැවතීම, අකුණු අනතුරු මෙන්ම ගිනික`දු පිපිරීම් ද දැක්‌විය හැකි ය. මිනිසුන් විසින් ඇති කෙරෙන මෙවැනි ගිනි ද සුලබ ය. වුවමනාවෙන් ම ඇති කෙරෙන වන ගිනිවලට අමතර ව ඉවත ලන සිගරට්‌ කොට නිසා, අත්වැරැදීම් නිසා මෙන්ම අනතුරු නිසා ඇති වන ගිනි ගැනීම් ආදිය මානව මූලික හේතු නිසා ඇති වන ගිනි අතර වේ.

ශ්‍රී ලංකාවේ ද වන ගිනි හා පතන් ගිනි ඇති වෙතත් ඒවා ස්‌වභාවිකව හටගන්නේ නැත. මෙරට ඇති වන ගිනි සියල්ල ම පාහේ මිනිසුන් විසින් ඇති කරනු ලබන ගිනි වේ. ඒවා වුවමනාවෙන් හෝ අත්වැරැදීමකින් හෝ ඇති කරනු ලබන ඒවා විය හැකි ය.

Thursday, October 31, 2019

ලෝකය තවදුරටත් හරිතවත් නොවේ!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2019.09.18, පි. 11 (Vidusara)

Vidusara - Not available online


ලෝකය පුරා සැලකිය යුතු ප‍්‍රදේශයක ශාක වර්ධනය අඩුවෙමින් පවතී. එනම්, ලෝකයේ හරිතවත් බව තවදුරටත් ඉහළ යන්නේ නැත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ලෝකය තවදුරටත් හරිතවත් වීම අදින් වසර විස්සකට පමණ පෙර කාලයකදී නැවතී තිබෙයි. ඉහතින් සරලව සඳහන් කරන ලද්දේ පසුගිය අගෝස්තු මාසයේදී Science Advances සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකින් හෙළි දරව් වී තිබෙන කරුණුය.

වනාන්තර සහ වෙනත් පරිසර පද්ධති ඇතුළු හරිතවත් බවට හේතුවන ශාක වැස්මෙන් යුක්ත බොහෝ පරිසර පද්ධති සේවා සපයයි. ජෛව විවිධත්වය සඳහා වාසස්ථාන සැලසීම, ඔක්සිජන් සැපයීම, ආහාර නිෂ්පාදනය කරන ප‍්‍රාථමික නිෂ්පාදකයා ලෙස, සෞන්දර්යාත්මක බව යනාදි විවිධ ප‍්‍රයෝජනවලට අමතරව, දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහාද මෙම පරිසර පද්ධති වැදගත් වෙයි. එම පරිසර පද්ධති සේවා අඛණ්ඩව පවත්වාගැනීම සඳහා මෙම හරිතවත් පරිසර පද්ධතිවල පැවැත්ම හා වර්ධනය අත්‍යවශ්‍යය.

එහෙත් අප මාතෘකා කරගත් අධ්‍යයනයේදී චන්ද්‍රිකා ඡුායාරූප යොදාගනිමින් ලෝකයේ හරිතවත් බව වෙනස් වූ ආකරය පිළිබඳව කරුණු විමසා තිබෙයි. 1982 සිට 1998 වර්ෂය දක්වා වූ කාලයේදී ලෝකය පුරා වෘක්ෂලතා ආවරණයේ වර්ධනය වීමේ ප‍්‍රවණතාවයක් ලෝකය පුරාම පාහේ දැකිය හැකි වී ඇත. එහෙත් අදින් වසර විස්සකට පමණ පෙර එම තත්ත්වය හදිසියේම වාගේ නැවතී ඇත. එතැන් සිට ලෝකයේ වෘක්ෂලතා දැකිය හැකි භූ දර්ශනවලින් 59%ක් පමණ ප‍්‍රමාණයක දැකිය හැකි වූයේ දුඹුරු පැහැවීමේ ප‍්‍රවණතාවයකි හෙවත් එය ශාක වර්ධනයේ අඩුවීමකි.

මෙම තත්ත්වය අධ්‍ය්‍යනය සඳහා ඔවුන් ශාකවල රුක්වලලූ යොදාගනිමින්ද ශාක වර්ධනය පිළිබඳ මිණුම් කටයුතු සිදුකර ඇත. එහිදී පෙනීගොස් තිබෙන ආකාරයට, 1998 වර්ෂයෙන් පසුව ගෙවුණු කාලයේදී ලෝකයේ අධ්‍යයනය කළ ස්ථාන 171ක් අතරින් 100ක පමණ ශාකවල රුක්වලලූවල පළලෙහි සාමාන්‍යය අඩු වී තිබෙයි. ඒ 1998ට පෙර එවැනි අඩුවීමක් දැකිය හැකි වී නැත. මෙයින්ද ශාක වර්ධනයර අඩුවීමක් සිදු වී තිබෙන බව තහවුරු වී ඇත.

මෙමගින් පැවසෙන්නේ ලෝකයේ සෑම ප‍්‍රදේශයකම පාහේ දැකිය හැකි හරිතවත් බව අඩුවෙමින් පවත්නා බව නොවෙයි. නිදසුනක් ලෙස අධික ශීතල ස්වභාවය අඩු වී යාමත් සමඟ ආක්ටික් ප‍්‍රදේශය හරිතවත් වෙමින් පවතී. එවැනි තවත් හරිතවත් බව වර්ධනය වෙමින් පවත්නා වෙනත් කලාපද ලෝකයේ පවතී. එහෙත් සමස්තයක් ලෙස ගතහොත් ලෝකයේ දැකිය හැකි හරිතවත් ප‍්‍රදේශවලින් අඩකට අධික ගණනක හරිතවත් බව අඩුවෙමින් පවත්නා බව හෙවත් ශාක වර්ධනය අඩු වෙමින් ඇති බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ලෝකයේ වෘක්ෂලතා ආවරණයෙහි ගෝලීය අඩුවීම සිදු වී ඇති බව වාර්තාගත කරන පළමු අධ්‍යයනය මෙය නොවෙයි. 2010 වර්ෂයේදී Science සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව ලෝකයේ භෞමික පරිසරයෙහි ශුද්ධ ප‍්‍රාථමික නිෂ්පාදනය (net primary production) 1982 සිට 1999 දක්වා කාලයේදී වර්ධනය වී ඇත. එහෙත් 2000-2009 අතර කාලයේදී මෙම අගය අඩු වී තිබෙයි. ඒ සඳහා බලපා ඇත්තේ ලෝකයේ දකුණු අර්ධගෝලයේ පැවති වියළි කාලගුණ තත්ත්වයයි. මෙම ශුද්ධ ප‍්‍රාථමික නිෂ්පාදනය මගින් ශාකවල ජෛව ස්කන්ධය ලෙස තැන්පත් වන වායුගෝලීය කාබන් ප‍්‍රමාණය පිළිබඳව අදහසක් ලබාගත හැකිය. (මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.1192666)

බලපාන හේතුව


ශාක වර්ධනය මෙසේ අඩු වී යෑම සඳහා හේතු වී තිබෙන බවට මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙන කරුණු මෙහිදී වැදගත් වෙයි. ඒ අනුව, වායුගෝලයේ දැකිය හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය හෙවත් තෙතමනය අඩු වීම මෙම තත්ත්වය සඳහා හේතු වී තිබෙයි. එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ දේශගුණ වෙනස් වීම නිසාය.

මෙම තත්ත්වය වාෂ්ප පීඩන ඌනතාවය (vapor pressure deficit) ලෙසින් හඳුන්වනු ලබන අගය හා සම්බන්ධ විය හැකි බව දේශගුණ වාර්තා අනුව පැහැදිලි කර තිබෙයි. මෙමගින් අදහස් වන්නේ වායුගෝලයේ උපරිම ජලවාෂ්ප ප‍්‍රමාණයක් පවත්නා විට ඇති කරනු ලබන පීඩනය හා ඇත්ත වශයෙන්ම වායුගෝලයේ පවත්නා පීඩනය වෙනසයි. වායුගෝලයේ සත්‍ය වශයෙන්ම පවත්නා ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වන විට මෙම ඌනතාවය ඉහළ යයි. මෙම ඌනතාවය ඉහළ නම් එය වායුගෝලීය නියඟයක් (atmospheric drought) ලෙස හඳුන්වනු ලැබෙයි. එවැනි අවස්ථාවකදී ශාක පත‍්‍රවල වායු හුවමාරුව සිදුකරන පූටිකා විවර වැසී යන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රභාසංස්ලේෂණ වේගය අඩු වෙයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ශාකවල වර්ධනය අඩු වීමය.

මෙම අධ්‍යයනය සඳහා ජගත් මට්ටමේ දේශගුණ දත්ත කට්ටල හතරක් පමණ සම්බන්ධ කරගෙන තිබෙයි. එහිදී හෙළි ව තිබෙන්නේ ලෝකයේ වෘක්ෂලතා ආවරණය දැකිය හැකි ප‍්‍රදේශ අතරින් 53%ක පමණ වාෂ්ප පීඩන ඌනතාවයේ කැපී පෙනෙන වර්ධනයක් 1990 දශකයෙන් පසුව දැකිය හැකි බවයි. එනම් වියළි වීමේ ස්වභාවයකි. පෙර සඳහන් කරන ලද 2010 අධ්‍යයනෙය්දී ද මෙම හරිතවත් බව නැවතීම හෝ අඩු වීම සඳහා හේතුව ලෙස වියළි ස්වභාවයක් පැවතීම හෙවත් ජලය හා සම්බන්ධ කරුණක් විය හැකි බව යෝජනා කර තිබිණි.

මෙසේ වායුගෝලයේ දැකිය හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වීමට බලපාන සාධක කිහිපයක් දේශගුණ වෙනස් වීම නිසා ඇති වූ ඒවාය. නිදසුනක් ලෙස සාගරය හරහා හමා එන සුළගේ වේගය අඩු වී තිබෙන අතර එහි ප‍්‍රතිඵලය වන්නේ ජලවාෂ්ප ගොඩබිම් ප‍්‍රදේශය හරහා ගමන් කිරීම අඩු වීමයි. මේ අනුව ශාක ආවරණය සහිත ප‍්‍රදේශවලට ලැබෙන ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වෙයි. එමෙන්ම මෙම පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි, ඉහළ යන උෂ්ණත්වය නිසාද යම් බලපෑමක් සිදුවෙයි. කිසියම් උෂ්ණත්වයකදී වායුගෝලයට රදවා ගැත හැකි උපරිම ජලවාෂ්ප ප‍්‍රමාණයක් පවතී. එහෙත් භූමියේ උෂ්ණත්වය ඉහළ යන විට වායුගෝලයට රදවා ගත හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය ඉහළ යයි. එවිට මෙහි සඳහන් වන වාෂ්ප පීඩන උෳනතාවය ද ඉහළ යයි.

මෙම තත්ත්වය අද වන විට බෙහෙවින් අඩු වී තිබෙන දේශගුණ සංශයවාදීන්ගේ තර්ක තවදුරටත් අසරණ කරන්නකි. දේශගුණ වෙනස් වීම, මිහිතලය උණුසුම් වීම නිදා ඇති වන බලපෑම් සැහැල්ලූ කිරීමට ඔවුන් දක්වන එක් තර්කයක් වන්නේ කාබන් ඩයොක්සයිඞ් වායුව ඉහළ ප‍්‍රමාණවලින් ඇති විට ශාක වර්ධනය වේගවත් වනු ඇති බවයි. මේ තත්ත්වය ලෝකයේ ආහාර සැපයුම සඳහා සුභවාදීව බලපාන බව ඔවුන්ගේ අදහසයි. එහෙත් මෙම පර්යෛෂණයෙන් පෙනෙන්නේ එවැන්නක් සිදුනොවන බවයි.

මෙයට හේතුව විද්‍යාඥයන් විසින් පැහැදිලි කර තිබෙන්නකි. ඉහළ යන කාබන් ඩයොකසයිඞ් වායු සාන්ද්‍රණය, ශාකවලට ඵලදායී ලෙස බලපාන බව සත්‍යයකි. ඒ ශාකවල ආහාර නිෂ්පාදනය හෙවත් අස්වැන්න ඉහළ නැංවීම සඳහාය. එහෙත් එම සාධනීය බලපෑම දැකිය හැක්කේ කාබන් ඩයොක්සයිඞ් වායුව යම් සාන්ද්‍රණයක් දක්වා ඉහළ යනතෙක් පමණි. ශාකවල ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා බලපාන සාධක අතර කාබන් ඩයොක්සයිඞ් යනු එක් සාධකයක් පමණකි. ඉහළ යන උෂ්ණත්වය, වෙනස්වන කාලගුණ තත්ත්ව, ජල සුලභතාවයේ ඇති වන වෙනස්කම් මෙහිදී බලපාන සෙසු සාධක අතර වෙයි.

එබැවින් බොහෝ පර්යේෂකයන් පෙන්වා දී තිබෙන පරිදි සමස්තයක් ලෙස ගත් විට ලෝකයේ වෘක්ෂලතා අතරින් වැඩි ප‍්‍රමාණයකට දේශගුණ වෙනස් වීම නිෂේධනීය ලෙස බලපානු ඇති බව මෙම අධ්‍යයනයෙන්ද යළිත් පැහැදිලි කර ඇත. මීට කෘෂි භෝගද ඇතුළත් වෙයි. මෙම අධ්‍යයනය මගින් පෙනෙන්නේ මෙම තත්ත්වය අද වන විටද සිදුවෙමින් පවත්නා බවයි.


අනාගතයට අභියෝගයක්?


දේශගුණ ආකෘතිවලින් පෙන්වා දී තිබෙන පරිදි ලෝකය උණුසුම් වන විට ඉහත සඳහන් වාෂ්ප පීඩන ඌනතාවය දිගින් දිගටම වර්ධනය විය හැකිය. විශේෂයෙන් එළැඹෙන දශකවලදීද මෙම වායුගෝලීය නියඟය තවදුරටත් වර්ධනය වනු ඇත. පෙන්වා දී තිබෙන පරිදි එම තත්ත්වය මෙම ශතවර්ෂය අවසන් වන තුරුම පාහේ පැවතිය හැකිය. ඒ අනුව, එය ශාකවල වර්ධනය සඳහා සැලකිය යුතු නිශේධනීය බලපෑමක් ඇති කළ හැකිය.

මෙහි තිබෙන තවත් වැදගත්කමක් වන්නේ දේශගුණ වෙනස් වීම ශාකවල වර්ධනයට බලපාන අතර අඩුවෙමින් යන ශාක වර්ධන වේගය දේශගුණ වෙනස් වීමේ වේගයට බලපෑ හැකි වීමයි. වනාත්තර හා වෙනත් භූදර්ශනවල පවත්නා ශාක යනු වායුගෝලයෙන් කාබන් ඉවත් කර සංචිත කළ හැකි පද්ධතිය. එබැවින් ඒවා දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා වැදගත් වන්නකි. එහෙත් ශාක වර්ධනය අඩු වීම යනු, කාබන් සංචිත කිරීම අඩුවීමකි. මෙය දේශගුණ වෙනස් වීම හා සම්බන්ධව පැහැදිලි අභියෝගයක් වනු ඇත.

මෑතකදී ප‍්‍රකාශයට පත් එක් පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබුණේ හෙක්ටයාර බිලියන 0.9ක ප‍්‍රමාණයක වනාන්තර වගා කළ හැකි නම්, මිනිසුන් විසින් නිපදවූ මුළු හරිතාගාර වායු ප‍්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ ඉවත් කිරීමට හැකි බවයි (මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.aax0848). එහෙත් ලෝකයේ ශාක වර්ධනයේ ගැටලූවක් සිදුවන්නේ නම් දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අරමුණින් සිදුකරන වන වගාවල ඵලදායී බව අඩු වනු ඇති බව පැහැදිලිය.

එබැවින් වායුගෝලයේ තෙතමනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු සාධකයක් බව පැහැදිලිය.

මූලාශ‍්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aax1396

Saturday, August 31, 2019

ඇමසන් වනය ගිනි තැබුවේ එරට වැසියන්මද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.08.28, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2019/08/28/feature4.html




දකුණු ඇමෙරිකාවේ පිහිටා තිබෙන ඇමසන් වනාන්තරයේ පසුගිය සති කිහිපයක කාලය තුළ ඇති වී තිබෙන මහා වන ගිනි අද වන විට ලෝකයේ ම අවධානය දිනාගැනීමට සමත් ව තිබෙයි. ප්‍රධාන වශයෙන් මේ ගිනි ඇති වී තිබෙන්නේ බ්‍රසීලයේ ය. එහෙත් බොලීවියාව හා තවත් රටවලට අයත් ඇමසන් වනාන්තර ප්‍රදේශ ද මේ ගින්නට ගොදුරු වී ඇත. මේ නිසා ඇති වූ දුමාරයෙන් බ්‍රසීලයේ ප්‍රධාන නගරයක්‌ වන සාඕ පවුලෝ නගරය දිවා කාලයේ දී අඳුරු වීම සිදු වූයේ පසුගිය සතියේ දී ය.

ලෝකයේ විශාලතම වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ කැළෑ ගිනි තබනු ලබන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇති ව ය. එමෙන් ම කැණීම් කරන්නෝ ද වනාන්තර එළි පෙහෙළි කරන අතර ගිනි තැබීම්වලට දායක වෙති. විශේෂයෙන් වර්ෂයේ මැද භාගයේ දී එහි පවතින වියළි කාලගුණ තත්ත්වය මේ ගිනි උග්‍ර වීමට බලපායි. කෙසේ වෙතත් 2019 වර්ෂයේ සිදු වූ තරම් වන ගිනි තැබීම් වෙනත් වර්ෂවල නො පැවතීම විශේෂ තත්ත්වයකි.

මේ වන විට ලැබෙන වාර්තාවලට අනුව මේ වර්ෂයේ වාර්තා වී තිබෙන වන ගිනි ප්‍රමාණය 75,000ක්‌ පමණ වෙයි. 2018 වර්ෂයේ දී වාර්තා වූ වන ගිනි ගණන වූ 40,000ක ප්‍රමාණයට වඩා මේ අගය 85%කට වඩා අධික බව චන්ද්‍රිකා ඡායාරූප අනුව පෙනී ගොස්‌ ඇත. ඒ අනුව ඇමසන් වනයේ වන ගිනිවල කැපී පෙනෙන වර්ධනයක්‌ මේ වර්ෂයේ දැකිය හැකි ය.

මේ තත්ත්වය ශ්‍රී ලාංකිකයන්ගේ ද අවධානය යොමු කරගැනීමට සමත් ව තිබූ බව මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්‌සේ පළ වූ පුවත්වලින් අපි දුටුවෙමු. පෙනෙන ලෙස එයට මූලික හේතුව වන්නේ සමාජ මාධ්‍ය ඔස්‌සේ ඊට ලැබුණු ප්‍රචාරයයි. එපමණක්‌ නො ව මෙරට ක්‍රියාකාරීන් පිරිසක්‌ ඇමසන් වනාන්තරය රැකගැනීමට බ්‍රසීල රජයට බල කරමින් මෙරට පිහිටි බ්‍රසීල තානාපති කාර්යාලය අසල විරෝධතාවක්‌ සංවිධානය කරන්නට සූදානම් වූ බවක්‌ ද සමාජ මාධ්‍යවල දැකිය හැකි විය. එමෙන් ම එහි ප්‍රතිඵලයක්‌ ලෙසට මෙරට බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි මෑත සිට සංචාරකයන් අතර ආකර්ෂණයට ලක්‌ ව තිබෙන ඇල්ල ප්‍රදේශයේ ඇති වූ ගින්නක්‌ ගැන ද සමාජ මාධ්‍යවල කතාවට ලක්‌ වී තිබිණි. අපේ රටේ පතන් බිම්වල වාර්ෂික ව ඇති වන වන ගිනි ගැන මින් පෙර එවැනි අවධානයක්‌ යොමු වූයේ කලාතුරකිනි.


ඇමසන් වනය හා ගින්නේ බලපෑම


ඇමසන් වනාන්තරය යනු වර්ග කිලෝ මීටර් මිලියන 6.7ක්‌ පමණ ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්ත වූ වනාන්තරයකි. එමෙන් ම අද වන විට ලෝකයේ වැඩි ම වන විනාශයක්‌ සිදු වන වනාන්තරය වන්නේ ද ඇමසන් වනාන්තරයයි. එයින් 20%ක්‌ පමණ ප්‍රමාණයක්‌ මේ වන විට හෙළි පෙහෙළි කර තිබෙයි. එසේ ම ලෝකයේ ජෛව විවිධත්වයෙන් 10%කට පමණ වාසස්‌ථානය වන්නේ ද මේ ඇමසන් වනාන්තරයයි. එහි දැකිය හැකි ශාක අතරින් 75%ක්‌ පමණ ඇමසන් ප්‍රදේශයට පමණක්‌ සීමා වූ ඒවා ය. ඇමසන් ප්‍රදේශයේ ගලා යන ජල ප්‍රමාණය ලෝකයේ සමස්‌ත ජල ප්‍රමාණයෙන් 17%ත් 20%ත් අතර ප්‍රමාණයකි. ලෝකයේ ඔක්‌සිජන් ප්‍රමාණයෙන් 20%ක්‌ පමණ නිකුත් වන්නේ මේ වනාත්තරයේ තිබෙන ශාකවලින් බැවින් එය ලෝකයේ පෙනහළු ලෙස ඇතැම් විට හඳුන්වා දී තිබෙයි (මේ ජල ප්‍රමාණය හා ඔක්‌සිජන් පිළිබඳ සංඛ්‍යා ගැන මතභේද පවතී). අනෙක්‌ අතට මිලියන 34ක්‌ පමණ ජනතාවකට මේ භූමිය වාසස්‌ථාන වෙයි. ඒ මූලික වශයෙන් ගෝත්‍රික ජන කණ්‌ඩායම් ය. මේ වනාන්තරයේ සංචිත ව පවත්නා කාබන් ප්‍රමාණය ටොන් බිලියන 90ත් 140ත් අතර ප්‍රමාණයක්‌ පමණ බව ගණන් බලා ඇති අතර එය මිනිසුන් විසින් වසර 100ක්‌ වැනි කාලයක දී නිකුත් කරනු ලබන කාබන් ප්‍රමාණයට සමාන වෙයි. ඉහත කරුණු අනුව ඇමසන් වනාන්තරයේ වැදගත්කම පැහැදිලි ය. එමෙන් ම එම වනයේ සිදු වන ගිනිගැනීම්වලින් එහි ජෛව විවිධත්වයට හා පාරිසරික සේවාවලට බරපතළ බලපෑමක්‌ විය හැකි බව නොරහසකි.

මේ විනාශය වළක්‌වා ලීම පිළිබඳ ව වැඩි වගකීමක්‌ තිබෙන්නේ අදාළ රටවල බලධාරීන්ට ය. ඉන් වැඩි ප්‍රමාණයක්‌ සිදු වන්නේ බ්‍රසීලය තුළ නිසා එරට බලධාරීන් සතු වගකීම ඉහළ ය. බ්‍රසීල ජනාධිපතිවරයා මෑතක දී පවසා තිබූ කරුණක්‌ වූයේ මේ ගිනි තැබීම් පසුපස රාජ්‍ය නො වන සංවිධාන සිටිය හැකි බවට සැකයක්‌ ඇති බවයි. ඒ එවැනි සංවිධානවලට ලබා දෙනු ලබන අනුග්‍රහය සීමා කිරීමට එරට රජය තීරණය කර තිබෙන නිසා ය. කෙසේ වෙතත් ඒ සඳහා සාධක තමන්ට නොමැති බව ද හෙතෙම ප්‍රකාශ කර සිටියේ ය.

පසුගිය කාලයේ දී බ්‍රසීලයේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද පෙලඹවීම් මේ වන ගිනි ඉහළ යැම සඳහා දායක වූ බව බොහෝ පරිසර ක්‍රියාකාරීන්ගේ මතය විය. දැව හෙළන්නන් හා ගොවීන් විසින් වනාන්තරය හෙළි පෙහෙළි කිරීම දිරිමත් කිරීම සඳහා අන්ත දක්ෂsණාංශික අදහස්‌ දරන ඔහු කටයුතු කළ බව ඔවුන්ගේ අදහස වෙයි. මෙය ඇමසන් වනාන්තරයේ වන විනාශය වේගවත් කිරීම සඳහා දායක වූ බව ඔවුන්ගේ මතයයි. කෙසේ වෙතත් එරට රජය මේ චෝදනා ප්‍රතික්ෂේප කරයි. බ්‍රසීල ජනාධිපතිවරයා පසුව ප්‍රකාශ කළ පරිදි ඔහු ඇමසන් වනාන්තරයට ගරු කරයි, එමෙන්ම හා ආදරය කරයිෘ


පරිභෝජනවාදයත් හේතුවක්‌


කෙසේ වෙතත් ඇමසන් වනාන්තරයේ ඇති වූ ගිනි තැබීම් එරට වැසියන් ම සිදු කළ හුදෙකලා සිදුවීම් පමණක්‌ ද? ඒවා පාලනය කිරීමේ වගකීම තිබෙන්නේ ඇමසන් ප්‍රදේශය පිහිටා තිබෙන රටවල බලධාරීන්ට පමණ ද? එය ඔවුන්ගේ ප්‍රශ්නයක්‌ පමණ ද? මෙය එරට නීතිය ක්‍රියාත්මක කිරීමේ තිබෙන ගැටලුවල ප්‍රතිඵලයක්‌ පමණක්‌ ද? නො එසේ නම්, එයට වඩා ගැඹුරට යන හේතු මේ සඳහා පවතින්නේ ද යන්න පිළිබඳ යම් සාකච්ඡාවක්‌ ද අද වන විට ඇති වී තිබෙයි.

මේ ගිනි තැබීම් සිදු වන්නේ මූලික වශයෙන් කෘෂිකාර්මික කටයුතු නිසා ය. ඉහත සඳහන් කළ පරිදි කෘෂිකර්මය හා ගව පට්‌ටි පාලනය ඇමසන් වනාන්තරයේ වන විනාශයට ප්‍රධාන හේතුවකි. ලෝකයේ ශීත කළ ගව මස්‌ අපනයනය කරන රටවල් අතර අංක එකේ පසු වන්නේ බ්‍රසීලයයි. එය මුළු අපනයනවලින් 18.6%කි. එමෙන් ම සෝයා බෝංචි අපනයනය කරන රටවල් අතරින් මුල් තැන ගන්නා බ්‍රසීලය ලෝකයේ මුළු සෝයා අපනයනවලින් 56%කට හිමිකම් කියයි.

පාරිසරික කණ්‌ඩායම් පෙන්වා දී තිබෙන පරිදි බ්‍රසීලයේ කෘෂි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම නිසා වනාන්තර, පාලනයකින් තොර ව එළි පෙහෙළි කිරීම හා ගිනි තැබීම සිදු වෙයි. දැව හා ඛනිජ සඳහා ඇති ඉල්ලුම ද මීට දායක වී තිබෙයි. මේවා වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබන්නේ යුරෝපය හා උතුරු ඇමෙරිකාව වැනි දියුණු රටවල් ය. ඒ රටවල පවත්නා පරිභෝජනවාදී පිළිවෙත් නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇත.

එබැවින් උක්‌ත තත්ත්වය පාලනය කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් යම් හැකියාවක්‌ හා වගකීමක්‌ තිබෙන බව පවසන පරිසර සංවිධාන මේ සඳහා පුද්ගලයන් ලෙස ජනතාවට කළ හැකි කරුණු කිහිපයක්‌ දක්‌වයි. ඒ අනුව පාරිභෝගිකයන් ලෙස තමන් පරිභෝජනය කරන නිෂ්පාදන නිපදවන ආකාරය විමසීම මඟින් මේ තත්ත්වය පාලනය කළ හැකි වනු ඇත.


වෙනත් රටවලින් බලපෑමක්‌


මේ පිළිබඳ කළ හැකි දේ පරිසර කණ්‌ඩායම් හා පරිසර හිතවාදී මාධ්‍ය අවධානය යොමු කර තිබෙයි. නිදසුනක්‌ ලෙස ඒ ඒ පුද්ගලයන්ට කළ හැකි දේ ද යෝජනා කර තිබිණි. බ්‍රසීලයේ නිෂ්පාදිත ගව මස්‌ වැනි නිෂ්පාදන මිල දී ගැනීමේ දී එම නිෂ්පාදනය නිපදවීමේ දී වැසි වනාන්තරවලට බලපෑමක්‌ නොමැති වී බව පවසමින් Rainforest Alliance වැනි සංවිධාන මඟින් සහතික කර තිබෙන්නේ දැයි සලකා බලන ලෙස යෝජනා කර තිබිණි. එමෙන් ම බ්‍රසීලයෙන් සිදු කරන ආනයන සීමා කිරීම වෙනත් රටවලට ගත හැකි පියවරක්‌ බවට අදහස්‌ පළ වී තිබිණි. එමෙන් ම තනි තනි පාරිභෝගිකයන්ට ඒවා වර්ජනය කළ හැකි බව දක්‌වා ඇත. එමඟින් අදාළ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම අඩු කර, ඒ නිෂ්පාදන නිසා ඇමසන් වනාන්තරයට ඇති වී තිබෙන පීඩනය වළක්‌වා ලිය හැකි බව මේ කණ්‌ඩායම්වල අදහස වෙයි.

පසුගිය සතියේ ප්‍රංශයේ දී පැවැත්වූ G7 කණ්‌ඩායමේ රැස්‌වීමක න්‍යාය පත්‍රයට ඇමසන් වන ගිනි ද ඇතුළත් විය. එය ඇතැම් විට බ්‍රසීලය ඇතුළු දකුණු ඇමෙරිකානු රටවල් සමඟ යුරෝපා සංගමය ඇති කරගැනීමට යන වෙළෙඳ ගිවිසුමට ද බලපෑමක්‌ කළ හැකි බව ඇතැම් අංශ දක්‌වා තිබිණි. සමහර රටවල් ද ඒ ගැන අදහස්‌ පළ කර තිබිණි. මේ පිළිබඳ ව අදහස්‌ පළ කරමින් ෆින්ලන්තයේ මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ ෆින්ලන්තය හා යුරෝපා සංගමය, බ්‍රසීලයෙන් සිදු කරන ගව මස්‌ ආනයන කටයුතු සීමා කිරීම සඳහා ඇති අවස්‌ථා සොයා බැලිය යුතු බවයි. ප්‍රංශය හා අයර්ලන්තය ද මෙවැනි අදහස්‌ දරන රටවල් අතර වෙයි. එහෙත් මේ ලිපිය ලියන අවස්‌ථාව වන විට උක්‌ත රැස්‌වීමේ ගත් තීරණ ගැන දැනගැනීමට නො හැකි විය.

මෙවැනි පියවර එක්‌ රටක ප්‍රතිපත්තිවලට වෙනත් රටවල් කරන බලපෑමක්‌ ලෙස පෙනී යා හැකි වුවත් එය පරිසරය වෙනුවෙන් ම සිදු කරන්නකි. එවැන්නක්‌ සඳහා එම නිෂ්පාදන ආනයනය කරන රටවල දේශපාලන අධිකාරියට හා සමස්‌තයක්‌ ලෙස පාරිභෝගිකයන්ට අවශ්‍යතාවක්‌ පවතී ද යන්න ඉදිරියේ දී අපට දැකිය හැකි වනු ඇත (නිදසුනක්‌ ලෙස ගත හොත් බ්‍රසීලය සමඟ ඇති වෙළෙඳ ගිවිසුම් තවදුරටත් ශක්‌තිමත් කරන්නට ඇමෙරිකාවේ ට්‍රම්ප් පාලනය ප්‍රකාශ කළේ මේ වන ගිනි අතර ය). මෙය එක්‌තරා ආකාරයකට පරිභෝජනවාදය හා පරිසරය අතර තරගයක්‌ හෙවත් පරීක්ෂණයකි.

Sunday, June 23, 2019

තහනම් කළ යුත්තේ වඩු මඩු ද, ජංගම ලී මෝල් ද, නැතිනම්...?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.06.2019, පි. 5 (Vidusara)

Vidusara: http://www.vidusara.com/2019/06/19/feature2.html





වඩු මඩු හා ලී මෝල් තහනම් කිරීම හා සම්බන්ධ ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ආන්දොaලනාත්මක කතාවක්‌ පසුගිය සතියක රටේ මාතෘකාවක්‌ විය. මේ ප්‍රකාශය ඔහු සිදු කළේ පරිසර දිනය නිමිත්තෙන් පැවැති උත්සවයක දී ය. එහි දී ගස්‌ කපන යන්ත්‍ර පිටරටින් ගෙන ඒම සම්පූර්ණයෙන් ම තහනම් කරන බවත්, වඩු මඩු තහනම් කිරීමට අවශ්‍ය චක්‍රලේඛයක්‌ නිකුත් කරන බව හා ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීම සඳහා වසර පහක කාලයක්‌ ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ගෘහභාණ්‌ඩ හා ඒවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැව පිටරටින් ගෙන ආ යුතු බව ද ඔහු පැවසී ය.

මේ කතාවේ දැක්‌වුණු පියවරවල අරමුණ වශයෙන් සඳහන් වූයේ වන සංරéණයයි. එය අගය කළ යුතු අදහසක්‌ වුවත් මෙහි ඇති ප්‍රායෝගික පැත්ත විමසා බලන විට දැකිය හැක්‌කේ වඩා වෙනස්‌ චිත්‍රයකි.

උක්‌ත ප්‍රකාශය ගැන සමාජයේ විවිධ පුද්ගලයන් අදහස්‌ දක්‌වා තිබූ අතර සමාජ ජාල මඟින් ද ඉහත ප්‍රකාශය විවේචනයට ලක්‌ විය. නිදසුනක්‌ ලෙස මේ නිසා ගෘහභාණ්‌ඩ හා දැව මිල ඉහළ යා හැකි බව එක්‌ පාරිභෝගික සංවිධානයක්‌ දක්‌වා තිබිණි. ඒ දැව ආනයනය කිරීමට පියවර ගන්නේ නම් ය. වඩු මඩු තහනම් කිරීමක්‌ සිදු වුව හොත් සිය පාරම්පරික වෘත්තිය තර්ජනයට ලක්‌ විය හැකි යෑයි සිතූ වඩු කාර්මිකයන් උද්ඝෝෂණය කළ අතර, මොරටුව ප්‍රදේශයේ උපවාසයක්‌ ද ආරම්භ වූ බව වාර්තා විය. එමෙන් ම වඩු මඩු තහනම් කිරීමෙන් වඩු කාර්මිකයන්ගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සඳහන් කරමින් එක්‌ සංවිධානයක්‌ සහ වඩු කාර්මිකයන් කිහිපදෙනෙක්‌ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිලි කර ඇත. ඒ වඩු මඩු තහනම් කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ එන තමන්ට අභිමත වෘත්තියක නියෑළීමේ අයිතිය උල්ලංඝනය වන බව පවසමිනි.

ඇත්තෙන් ම සිදු වන්නේ කුමක්‌ ද?


පසුව මේ පිළිබඳ ව වැඩිදුර පැහැදිලි කරමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් නිවේදනයක්‌ නිකුත් කරන ලදි. එහි සඳහන් වන පරිදි සාම්ප්‍රදායික දැව මඩු සඳහා නිකුත් කර ඇති බලපත්‍රවලට මුවා වී වනාන්තරවල ගස්‌ කැපීම සිදු කෙරෙන බව බව හෙළි වී ඇති අතර ඉන් සිදු වන පරිසර විනාශය ද විශාල ය. ඒ අනුව කරුණු සලකා ගත් තීරණයක්‌ පරිදි ඉදිරියේ දී ජංගම ලී මෝල් තහනම් කිරීමට කටයුතු කරන බව නිවේදනයේ සඳහන් වෙයි. එවැනි ලී මෝල් 300ක්‌ පමණ ලියාපදිංචි කර තිබෙන බව ද දැක්‌වෙයි. මේ සඳහා 2014.12.03 දිනැති අංක 1891රැ26 දරන 'දැව මඩු ලියාපදිංචි කිරීම සහ දේපළ සලකුණු' නියෝග පිළිබඳ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය සංශෝධනය කිරීමට නියමිත ය. එම සංශෝධනය තුළින් සාම්ප්‍රදායික වඩු මඩු තහනම් නො වන අතර, 2022 දෙසැම්බර් 31 වැනි දායින් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යැම තහනම් වනු ඇත. ඒ ජංගම ලී මෝල් පවත්වාගෙන යැම සඳහා දැනට නිකුත් කරනු ලබන වාර්ෂික අවසර පත්‍ර 2022 දෙසැම්බර් 31 දිනෙන් පසුව නිකුත් නො කරන බැවිනි. එවිට එවැනි දැව ව්‍යාපාර සඳහා වන ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු වෙයි.

උක්‌ත නිවේදනයේ වැඩිදුරටත් දැක්‌වෙන පරිදි නීත්‍යනුකූල ක්‍රමයට ලී ලබාගන්නා අයට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට බාධාවක්‌ නැත. නීත්‍යනුකූල ව පවත්වාගෙන යන දැව මඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යා යුතු අතර, එක්‌ එක්‌ මාසය අවසානයේ සහතික කළ පිටපතක්‌ අදාළ ප්‍රදේශයේ වන අඩවි නිලධාරීවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යෑවිය යුතු වෙයි.

වරද ජංගම ලී මෝල්වල ද?


මේ අනුව බලධාරීන්ගේ අවධානය යොමු ව තිබෙන්නේ ජංගම ලී මෝල් පිළිබඳ ව බව පෙනෙයි. තැනින් තැනට ගෙන යා හැකි අත්ට්‍රැක්‌ටරයක ටේ්‍රලරයකට සවි කර තිබෙන උපකරණවලින් යුක්‌ත ජංගම ලී මෝල් ලියාපදිංචි කිරීම සඳහා ඉහත සඳහන් 2014.12.03 දින නිකුත් වූ ගැසට්‌ නිවේදනයෙන් ප්‍රතිපාදන සැලසී ඇත. 2015 පමණ සිට ඒවා ලියාපදිංචි කිරීම ආරම්භ විය.

පසුගිය දා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්‌වෙන පරිදි මේ වන විට දිවයින පුරා ජංගම ලී මෝල් 300ක්‌ පමණ ලියාපදිංචි කර ඇත. එහෙත් මේ සමඟ ඇති වගුවේ දැක්‌වෙන පරිදි වන සංරéණ දෙපාර්තමේන්තුවේ 2017 වන විට ලියාපදිංචි කර ඇති ක්‍රියාත්මක ජංගම ලී මෝල් ගණන 800කට ආසන්න ය.

2017 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට ක්‍රියාත්මක ලියාපදිංචි කරන ලද ජංගම ලී මෝල් ගණන 794ක්‌ ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණය අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ද (278), දෙවැනි තැන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ද (241) ක්‍රියාත්මක ය. කෑගල්ල, බදුල්ල හා මාතර ද ජංගම ලී මෝල් තරමක්‌ දැකිය හැකි ය. සෙසු දිස්‌ත්‍රික්‌කවල අඩු ප්‍රමාණවලින් ක්‍රියාත්මක අතර දිවයිනේ දිස්‌ත්‍රික්‌ 12ක ජංගම ලී මෝල් ලියාපදිංචි කර නැත.

තහනම් කරන්නට යන්නේ ජංගම ලී මෝල් පමණක්‌ නම් එය මේ ප්‍රශ්නයට විසඳුමක්‌ වේ ද යන්න ද විමසා බැලිය යුතු ය. ජංගම ලී මෝල් භාවිතය ප්‍රචලිත වන්නට පෙර ද, වන විනාශය තිබිණි. එය දැව අවශ්‍යතාව මත මෙන් ම දැව ජාවාරම්කරුවන් නිසා ද වර්ධනය වෙයි. දැව ජාවාරම්කරුන්ට වැඩි අවස්‌ථාවක්‌ ලැබෙන්නේ ජංගම ලී මෝල් නිසා ද, නැතිනම් පොදුවේ සියලු ලී මෝල් නිසා ද යන්න විමසිය යුතු කරුණකි. මේ පිළිබඳ ව නීතිය ක්‍රියාත්මක කරන වන සංරéණ දෙපාර්තමේන්තුවේ 2011 සිට 2017 දක්‌වා වූ කාර්යසාධන වාර්තා පිළිබඳ ව සැලකූ විට ලී මෝල්, දැව අලෙවි මධ්‍යස්‌ථාන මෙන් ම වඩු මඩු ද යන සියල්ලේ ම සංඛ්‍යාව මේ කාලය තුළ වර්ධනය වී ඇති බවක්‌ පෙනෙයි. ඇතැම් වර්ෂ තුළ යම් යම් අඩු වැඩි වීම් සිදු වී ඇතත් සමස්‌තයක්‌ ලෙස සිදු ව තිබෙන්නේ වර්ධනයකි. ඒ අනුව දැව සඳහා සිදු වන වන සංහාරයට ජංගම ලී මෝල් පමණක්‌ චෝදනාවට ලක්‌ වීම කෙතරම් සාධාරණ ද යන්න නම් ගැටලුවකි (වගුව බලන්න).



මේ දත්ත අනුව හුදෙක්‌ ජංගම ලී මෝල් තහනම් වූ පමණින්, වන සංහාරය නවතින්නේ ද යන්න අවධානය යොමු විය යුතු කරුණකි. ජංගම ලී මෝල්වල අමතක කරන පැත්තක්‌ ද තිබෙයි. එනම්, සාමාන්‍ය වැසියකුට සිය ඉඩම තුළ ඇති ගසක්‌ කපා ලී ඉරාගැනීමේ දී මේ ජංගම ලී මෝල් මඟින් සැලසෙන සේවය හා පහසුවයි. එවැනි අවස්‌ථාවක දී අදාළ ගස කැපීම හා ඉරීම පිළිබඳ ව මෙන් ම, ජංගම ලී මෝල ක්‍රියාත්මක කිරීම සඳහා පැමිණීම සඳහා ද බලධාරීන්ගේ අවසරය හා දැනුවත් බව අවශ්‍ය වෙයි. එහෙත් ජංගම ලී මෝල් නොමැති නම්, කැපූ ගසකට ප්‍රවාහන බලපත්‍ර ගෙන ලී මෝලකට ගෙන ගොස්‌, ඉරා ආපසු ගෙන ඒමට සිදු වෙයි. මේ ක්‍රියාවලිය තුළ වංචා සිදු වීමට තිබෙන අවස්‌ථා ද ඉහළ ය. අනෙක්‌ අතට ප්‍රවාහන පිරිවැය අඩු වීම, ලිපිලේඛන කටයුතු සඳහා වන කාලය නාස්‌ති වීම අඩු වීම වැනි කටයුතු නිසා ජනතාව සිය දැව අවශ්‍යතාව සඳහා ගෙවත්තේ ගස්‌ වැවීම දිරිමත් වීමට මෙය හේතුවකි. මෙසේ සිය දැව අවශ්‍යතාව නීත්‍යනුකූලව ගෙවත්තෙන් සැලසෙන්නේ නම් ස්‌වාභාවික වනාන්තරවලට එල්ල වන දැව පීඩනය අඩු වනු ඇත.

ජංගම ලී මෝල් ක්‍රියාත්මක වීම පිළිබඳ රෙගුලාසි ගණනාවක්‌ ම තිබෙයි. එමඟින් ඉරනු ලබන දැව පෞද්ගලික ඉඩමකින් ලබාගත් දැව බවට සහතිකයක්‌ අදාළ බලධාරීන් වෙතින් ලබාගත යුතු ය. මේ ලී මෝලකින් ලී ඉරීම සිදු කරන ඉඩමේ සිට රජයේ වනයක හෝ වන වගාවකට පවත්නා අවම ගුවන් දුර මීටර් 200කට අඩු නො විය යුතු ය. එමෙන් ම මේවා ක්‍රියාත්මක කළ හැක්‌කේ පෙ.ව. 6 සිට ප.ව. 6 දක්‌වා කාලය තුළ පමණකි. එසේ ම ජංගම ලී මෝල හා ඊට අදාළ වාහනය පිළිබඳ ව මෙන් ම එහි පවත්නා උපකරණවල ප්‍රමාණය ගැන ද රෙගුලාසි පවතී. මේ අනුව රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වේ නම් ජංගම ලී මෝල්වලින් දැවමය ශාක තම ගෙවත්තේ වගා කරන සාමාන්‍ය ජනතාවට පහසුවක්‌ ද සැලසෙයි.

වන වගාව ප්‍රවර්ධනය


දැව සඳහා වැඩි ඉල්ලුමක්‌ තිබීම හා දැව සැපයීමේ ජාවාරම වනාන්තර ආරක්ෂාවට බලපාන මූලික කරුණ ලෙස සැලකීම වඩාත් සාධාරණ බවක්‌ අපට සිතෙයි. එසේ නම් සිදු කළ යුත්තේ ස්‌වාභාවික වනාන්තරවලින් දැව සපයාගැනීම වෙනුවට වගා කරනු ලබන දැවමය ශාකවලින් දැව ලබාගැනීම වඩාත් ප්‍රවර්ධනය කිරීම ය. එය සිදු කළ හැක්‌කේ ගෙවතුවල දැවමය ශාක වගා කිරීම, පෞද්ගලික අංශයේ දැවමය වන වගා මඟින් දැව ලබාගැනීම හා රාජ්‍ය අංශයේ දැවමය වන වගාවලින් දැව ලබාගැනීම මඟිනි. දැවමය වගා සඳහා යොමු වූ සමාගම් මෙන් ම, වතු වගාවේ නිරත වැවිලි සමාගම් ද අද වන විට දැවමය ශාක වගා කිරීමේ යෙදෙන අයුරු දැකගත හැකි ය. එහි අරමුණ වගා කරනු ලබන දැවමය ශාක මෙරට ඉල්ලුම සැපයීම සඳහා අලෙවි කිරීම හා භාවිත කිරීම ය.

මේ නිසා පුද්ගලයන් ගෙවතුවල කරන දැව වගා මෙන් ම පෞද්ගලික අංශය විසින් මහා පරිමාණයෙන් සිදු කෙරෙන දැවමය ශාක වගාවලින් අස්‌වනු ලබාගැනීම සඳහා පහසු ක්‍රමවේදයක්‌ තිබීම අවශ්‍ය ය. ඒ සඳහා පෞද්ගලික ඉඩමක වැවූ දැවමය ශාකවල අස්‌වනු නෙළීම ද පහසු කටයුත්තක්‌ විය යුතු වෙයි. ක්‍රමානුකූල පාලනයකින් යුක්‌ත ව ක්‍රියාත්මක වන ජංගම ලී මෝල් මෙහි දී වැදගත් ය.

දැව ආනයනය පිළිබඳ ව සැලකුව හොත් මෙරට දැව අවශ්‍යතාව සපුරාගැනීම සඳහා එය සාර්ථක විසඳුමක්‌ ද යන්න ගැටලුවකි. ලෝකයේ ක්‍රියාත්මක දැව සහතික කිරීම නිසා ආනයනික දැව මිල අධික වනු ඇත. එමෙන් ම දැව ආනයනය මෙරටින් පිටරටට තවදුරටත් විදේශ විනිමය පිට ව යැමට ද හේතුවක්‌ වෙයි. මෙරට ආර්ථික තත්ත්වය අනුව අප විදේශ විනිමය පිටකිරීම අඩු කළ යුතු බව නොරහසකි. මේ නිසා වඩාත් සුදුසු වන්නේ මෙරට දැව අවශ්‍යතාව හැකි තාක්‌ මෙරට නිෂ්පාදනය කිරීම බව අපගේ අදහස ය.

Thursday, April 25, 2019

තිරසර සංවර්ධනයට තර්ජනයක්‌ විය හැකි භෝග විවිධත්වයේ අඩු වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.04.2019, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2019/04/03/feature4.html




භෝග විවිධත්වය හෙවත් මිනිසුන් විසින් වගා කරනු ලබන ශාකවල විවිධත්වය මානව ආහාර සුරක්ෂිතතාව සඳහා ඉතා වැදගත් ය. මේ පිළිබඳ ව මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් වාර්තා වී ඇත්තේ ජගත් මට්‌ටමින් ගත් විට මිනිසුන් විසින් වගා කරනු ලබන භෝග විවිධත්වයේ කිසියම් අඩු වීමක්‌ දැකිය හැකි බව හෙවත් අප විසින් වගා කරනු ලබන්නේ එක සමාන භෝග වර්ග බවත් ය. එය අනාගතයේ දී තිරසර කෘෂිකර්මයට අභියෝගයක්‌ විය හැකි බව ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

මේ අධ්‍යයනය සඳහා භාවිත කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් (FAO) ලබාගත් ලෝකයේ මහා පරිමාණ ගොවිපොළවල (Industrial farms) වගා කරනු ලබන භෝග පිළිබඳ දත්ත ය. එනම් කාලය සමඟ මේ භෝග වගා වෙනස්‌ වීම පිළිබඳ දත්ත ය. අධ්‍යයන කාලය වන්නේ 1961 හා 2014 දක්‌වා වන කාලයයි. එහි දී එම සංවිධානය විසින් පිළිගනු ලැබෙන උපමහාද්වීපික කලාප (subcontinental regions) 22ක්‌ ආවරණය වී ඇති අතර, භෝග ශාක වර්ග 160කට ආසන්න ප්‍රමාණයක්‌ පිළිබඳ ව අවධානය යොමු කර ඇත. ඒ දත්ත මත පර්යේෂකයන්ගේ අවධානය යොමු වූ කරුණු අතර විවිධ කෘෂිකාර්මික කලාපවල වගා කරනු ලැබූ භෝගවල විවිධත්වයෙහි යම් වෙනසක්‌ කාලය සමඟ සිදු වී තිබේ ද යන්න වැදගත් කරුණකි. එසේ ම භෝග විවිධත්වයේ වෙනස්‌කම් හුදෙක්‌ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ පුරෝකථනය කළ හැකි ද යන්න තවත් වැදගත් කරුණකි.

භෝග විවිධත්වයෙහි ඇති වූ වෙනස්‌කම්


ලෝක කෘෂිකාර්මික ඉතිහාසය සම්බන්ධ ව ගත් විට කෘෂිකර්මය සඳහා යොදාගන්නා භෝග වර්ගවල විශාල ව්‍යාප්තියක්‌ ඇති වූ සිදුවීමක්‌ ලෙස කොලම්බියානු හුවමාරුව (Columbian Exchange) ලෙසින් හඳුන්වනු ලබන ක්‍රියාවලිය දක්‌වනු ලැබෙයි. එය සිදු වූයේ 15 හා 16 වැනි ශතවර්ෂවල දී ය. කෙටියෙන් පවසන්නේ නම් ඒ, ඇමෙරිකානු මහාද්වීපවලට යුරෝපීයයන් පැමිණි පසු එම zනව ලෝකයZ හා zපැරැණි ලෝකයZ අතර සිදු වූ භෝග හුවමාරුවයි. නව ලෝකය හෙවත් ඇමෙරිකානු මහාද්වීපයෙහි විසූ ජනතාව විසින් වගා කරන ලද භෝග වර්ග

පැරැණි ලෝකය හෙවත් වෙනත් මහාද්වීපවලටත්, ලෝකයේ සෙසු මහාද්වීපවල වගා කරන ලද භෝග වර්ග ඇමෙරිකානු මහාද්වීපවලටත් හුවමාරු කරන ලදි. මේ සිදුවීම කෘෂිකර්ම ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සිදුවීමක්‌ ලෙස සැලකෙයි. අප අද දන්නා භෝග විශාල ප්‍රමාණයක්‌ එම සිදුවීමත් සමඟ ලෝකය පුරා ව්‍යාප්ත වූ භෝග වර්ග අතර වෙයි. මෙසේ භෝග වර්ග ඒවා සම්භවය වූ ප්‍රදේශවලින් පිටත ප්‍රදේශවලට මිනිසුන් විසින් ව්‍යාප්ත කරනු ලැබීම මානව යුගය (Anthropocene) අර්ථකථනය කිරීම සඳහා යොදාගන්නා එක්‌ සාධකයක්‌ ලෙස සැලකෙයි. ඒ, එම සිදුවීමෙන් සිදු වූ වෙනස ලෝකය තුළ පැහැදිලි ව හඳුනාගත හැකි වන නිසා ය.

අප මාතෘකා කරගත් අධ්‍යයනයෙන් දක්‌වා ඇති ආකාරයට අධ්‍යයන කාලයේ මුල හෙවත් 1961 සිට 1970 ගණන්වල අගභාගය දක්‌වා වූ කාලයේ ලෝකයේ භෝග විවිධත්වයේ විශාල වෙනසක්‌ සිදු වී නැති තරම් ය. එහෙත් 1980 දශකයේ මුල පටන් ගත වූ වසර දහයක පමණ කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වයෙහි විශාල ප්‍රමාණයේ ඉහළ යැමක්‌ වාර්තා වී ඇත. එයට හේතුව ලෙස මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විවිධ භෝග වර්ග නව වගා බිම්වල මහා පරිමාණයෙන් වගා කරනු ලැබීම ය. එහෙත් මේ විවිධත්වය 1990 ගණන්වල මුල පටන් ස්‌ථාවර තත්ත්වයකට පත් වූ අතර, එතැන් සිට භෝග විවිධත්වයේ ඉහළ යැමක්‌ දැකිය නොහැකි ය.

ජගත් මට්‌ටමේ භෝග විවිධත්වය අඩු වීම


මේ අධ්‍යයනයෙන් අනාවරණය වී ඇති ආකාරයට ජගත් මට්‌ටමෙන් දැකිය හැකි ප්‍රවණතාව වන්නේ එක ම ආකාරයක භෝග වඩාත් විශාල පරිමාණයෙන් වගා කරනු ලබන බවයි. එයින් පෙනෙන්නේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි මහා පරිමාණ ගොවිපොළවල වගා කරනු ලබන්නේ වාණිජමය වශයෙන් වටිනාකමක්‌ ඇති භෝග වර්ග කිහිපයක්‌ බව ය. මෙසේ වගා කරනු ලබන භෝග ඒක භෝග වගා වන අතර ඒවා ප්‍රවේණික වශයෙන් එක ම ප්‍රවේණි දර්ශයට (genotype) අයත් වෙයි.

මේ සඳහා නිදසුන් ලෙස මේ පර්යේෂකයන් විසින් දක්‌වනු ලබන භෝග අතර සෝයා බෝංචි, තිරිඟු, සහල් හා ඉරිඟු දැක්‌විය හැකි ය. මේ භෝග වර්ග හතර වගා කරනු ලබන බිම් ප්‍රමාණය ලෝකයේ මුළු වගා බිම් ප්‍රමාණයෙන් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ තරම් වෙයි. ලෝකය පුරා වගා කරනු ලබන සෙසු භෝග වර්ග 152ක්‌ ම වගා කරනු ලබන්නේ ඉතිරි වගාබිම් ප්‍රමාණයෙහි ය.

මෙවැනි තත්ත්වයක්‌ තුළ මේ භෝගවල ප්‍රවේණික විවිධත්වය අඩු වීම අනිවාර්යයෙන් ම අපේක්ෂා කළ යුත්තකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇමෙරිකාවේ වගා කරනු ලබන ඉරිඟු අතරින් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සමන්විත වන්නේ ප්‍රවේණි දර්ශ හයක්‌ පමණ ප්‍රමාණයකිනි.

මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු අනුව කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ මේ භෝග වර්ගවල විවිධත්වයේ වෙනස්‌ වීම පැහැදිලි කළ නොහැකි බව පැහැදිලි ය. ඒ වෙනස්‌කම් සඳහා බලපා ඇති කරුණු අතර ඇතැම් භෝගවලට ලබා දී ඇති සහන, අන්තර්ජාතික වෙළෙඳපොළ, ජනගහන වර්ධනය, ඒක පුද්ගල ආහාර ඉල්ලුම වැනි කරුණු ද භෝග ව්‍යාප්තියට බලපා ඇත. අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම්, භෝග විවිධත්වයට බලපා ඇත්තේ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් ස්‌වාධීන ව බව ද මේ අධ්‍යයනය මඟින් පෙන්වා දී ඇති කරුණකි.

කලාපීය වෙනස්‌කම්


කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් කරුණක්‌ වන්නේ මෙහි කලාපීය වශයෙන් වෙනස්‌කම් දැකිය හැකි බවයි. ඇතැම් කලාපවල භෝග විවිධත්වය ඉහළ ගොස්‌ ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් උතුරු ඇමෙරිකාවේ 1960 දශකයේ දී මහා පරිමාණයෙන් වගා කරන ලද භෝග වර්ග ගණන 80ක්‌ පමණ විය. එහෙත් මේ වන විට උතුරු ඇමෙරිකාවේ භෝග විශේෂ 93ක්‌ පමණ මහා පරිමාණයෙන් වගා කරනු ලැබෙයි.

එහෙත් සෙසු බොහෝ කලාපවල මහා පරිමාණ ගොවිපොළවල දැකිය හැක්‌කේ භෝග විවිධත්වයෙහි අඩු වීමකි. එය සමස්‌තයක්‌ ලෙස ලෝකයේ භෝග විවිධත්වය අඩු වීම සඳහා බලපායි.

විවිධත්වය අඩු වීමේ බලපෑම


මීට පෙර සිදු කර ඇති ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති එක්‌ කරුණක්‌ වන්නේ මෑත කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වය ඉහළ ගිය බවකි. එය රේ‚ය ප්‍රවණතාවක්‌ පෙන්වන බවට ද අදහසක්‌ විය. එහෙත් මේ නව අධ්‍යයනය අනුව සිදු වී ඇති වෙනස්‌කම් වඩාත් පැහැදිලි ය. විශේෂයෙන් වැඩි භූමි ප්‍රමාණයක මහා පරිමාණයනේ වගා කරනු ලබන භෝගවල සිදු ව ඇති වෙනස්‌කම් ද මේ අනුව පැහැදිලි ය.

මේ ආකාරයෙන් භෝගවල විවිධත්වය අඩු වීම නිසා සිදු විය හැකි බලපෑම මෙහි දී සැලකිය යුතු කරුණකි. එය කලාපීය වශයෙන් ආහාර සුරක්ෂිතතාවට බලපෑමක්‌ කළ හැකි ය. කලාපීය වශයෙන් ඇති වන භෝග විවිධත්වය පිරිහීමක්‌ එම කලාපයේ වෙසෙන ජනතාවට තමන්ට සංස්‌කෘතික වශයෙන් අනන්‍ය වූ ආහාර අනුභව කිරීමට හෝ ලබාගැනීමට හෝ ඇති හැකියාව අඩු කරවයි. ඒ වෙනුවට මහා පරිමාණයෙන් වගා කරනු ලබන භෝග මත යෑපීමට සිදු වෙයි. එමෙන් ම මෙසේ එක්‌ භෝගයක්‌ හෝ ප්‍රභේදයක්‌ ලෝකයේ විශාල ප්‍රදේශයක වගා කරනු ලැබීම නිසා ඒවා පළිබෝධ හා රෝගවල තර්ජනයට වඩාත් ලක්‌ වීමට ඉඩ සැලසෙයි. මේ වන විට කෙසෙල් වගාවට බරපතළ ලෙසින් හානි කරන දිලීරයක්‌ මේ සඳහා නිදසුන ලෙස දක්‌වා ඇත. ලෝක කෘෂිකර්මය හමුවේ එවැනි අභියෝගයක්‌ දැකිය හැකි ය.

මේ ආකාරයෙන් භෝග විවිධත්වය අඩු වීම වළක්‌වාගැනීම සඳහා ලෝකයේ රටවල ආණ්‌ඩුවලට යමක්‌ කළ හැකි බව ද මේ පර්යේෂකයන්ගේ අදහසක්‌ වෙයි. විශේෂයෙන් ඒ ඒ රටවල් විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරනු ලබන්නේ එක්‌ භෝගයක්‌ හෝ සීමිත භෝග ගණනක්‌ හෝ වැඩි භෝග ගණනක්‌ වගා කිරීමට ද යන්න ඒ අනුව වැදගත් ය.

භෝගවල ප්‍රවේණික විවිධත්වය සංරéණය කිරීම තිරසර සංවර්ධන අභිමතාර්ථවල (Sustainable Development Goals) එන එක්‌ ඉලක්‌කයක්‌ වන අතර එය තහවුරු කිරීමේ දී මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවක්‌ පෙනෙයි.

මූලාශ්‍රය :- PLOS ONE, DOI: 10.1371/journal.pone.0209788

Saturday, January 19, 2019

ඇමෙරිකා-මෙක්‌සිකෝ දේශ සීමා තාප්පයෙන් ජෛව විවිධත්වයට තර්ජනයක්‌?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.01.2019 පි. 13 (Vidusara)

http://www.vidusara.com/2019/01/16/feature3.html


මෙක්‌සිකෝවේ සිට ඇමෙරිකාවට සිදු වන නීති විරෝධී ජන සංක්‍රමණ වළක්‌වා ලීම සඳහා දෙරට අතර දේශසීමාව දිගේ බාධක තාප්පයක්‌ ඉදි කරන්නට ඇමෙරිකාව පියවර ගෙන දැන් කලක්‌ ගත වී ඇත. එරට දේශපාලන අරමුණු වෙනුවෙන් ඉදි කරනු ලබන මේ තාප්පය උතුරු ඇමෙරිකාවේ ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බව විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දී තිබෙයි.

ඇමෙරිකාවට නීති විරෝධී ව සිදු වන ජන සංක්‍රමණ නිසා බරපතළ සමාජයීය හා ආර්ථික ගැටලු ඇති වීමට පිළියමක්‌ ලෙස මේ දේශ සීමා තාප්පය ගොඩනැඟීම ආරම්භ වන්නේ 2005 පමණ කාලයේ දී ය. ඇමෙරිකාවේ නව මෙක්‌සිකෝ, ටෙක්‌සාස්‌ හා කැලිෆොaනියා යන ප්‍රාන්තවල දකුණු සීමාව ඔස්‌සේ මේ දේශ සීමාව පිහිටා ඇත. සැතපුම් 1,953ක්‌ (කිලෝ මීටර් 3,200ක්‌) පමණ දිගු වන එම දේශ සීමාවෙහි ඉදි වන බාධක තාප්පයේ සැතපුම් 600ක්‌ පමණ මේ වන විට ඉදි කර ඇති අතර, තවත් සැලකිය යුතු කොටසක්‌ ඉදි කිරීමට නියමිත ය. පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී එරට වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් එක්‌ මැතිවරණ පොරොන්දුවක්‌ වූයේ එරට දකුණුදිග දේශ සීමාව ඔස්‌සේ මහා තාප්පය ඉදි කිරීම සම්පූර්ණ කිරීමයි. ඒ සඳහා අරමුදල් සපයාගැනීම සඳහා මේ වන විට විවිධ පියවර ගෙන තිබෙයි.

ඇමෙරිකා-මෙක්‌සිකෝ දෙරටෙහි දේශ සීමාව ඔස්‌සේ ඉදි කෙරෙමින් පවත්නා මේ තාප්පය පිළිබඳ ව වැඩි වශයෙන් සාකච්ඡා වී ඇත්තේ ජන සංක්‍රමණ පාලනය සහ දේශපාලනය යන මාතෘකා ඔස්‌සේ ය. මේ ඉදිකිරීම පිළිබඳ ව මෙක්‌සිකෝව එතරම් කැමැත්තක්‌ දක්‌වා නොමැත. කෙසේ වෙතත් එම බාධකය මඟින් උතුරු ඇමෙරිකාවේ ජෛව විවිධත්වය සම්බන්ධ ව ඇති විය හැකි අහිතකර බලපෑම ගැන මෑතක දී පළ වූ ලිපියකින් පෙන්වා දී ඇත. පසුගිය වර්ෂයේ ඔක්‌තෝබර් මාසයේ දී BioScience සඟරාවේ පළ වූ එම ලිපිය ලෝකය පුරා රටවල් 43ක විද්‍යාඥයන් 2,370ක්‌ පමණ දෙනාගේ එකඟතාවෙන් ප්‍රකාශයට පත් කරන ලදි. දේශ සීමා තාප්පය මඟින් ඇති විය හැකි පාරිසරික බලපෑම සැලකිය යුතු තරම් බව පෙන්වා දෙන මේ වාර්තාවට අනුව එම තාප්පය කලාපයේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් 'ව්‍යසනයක්‌' විය හැකි බවට අනතුරු හඟවා තිබෙයි.

දේශ සීමාව ආශ්‍රිත ජෛව විවිධත්වය


මෙසේ අවධානය යොමු වූ ප්‍රදේශය සැලකූ විට එය අධික පරිසර පද්ධති විවිධත්වයකින් යුක්‌ත භූ දර්ශනයක්‌ පවත්නා භූමි ප්‍රදේශයකි. මේ පාරිසරික විවිධත්වය ආන්තික කාන්තාර තත්ත්වවල සිට අධික වර්ෂාපතනයක්‌ ලැබෙන තෙත්බිම් දක්‌වා විවිධ ආකාරයේ වෙයි. මේ ප්‍රදේශයේ ඉහළ ජෛව විවිධත්වයක්‌ පවත්නා බව අධ්‍යයනවලින් හෙළි ව ඇති, අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන කරුණකි.

මේ දෙරටෙහි දේශ සීමාව ප්‍රදේශයේ සත්ත්ව විශේෂ 1,077ක ප්‍රමාණයක්‌ ද, ශාක විශේෂ 429ක ප්‍රමාණයක්‌ වාසය කරන බව මේ වන විට හඳුනාගෙන තිබෙයි. අදාළ ප්‍රදේශයේ පවත්නා පාරිසරික තත්ත්වවලට එහි වෙසෙන මේ ජීවී විශේෂ හැඩගැසී ඇත. දේශ සීමාව හරහා ද වැටී ඇති ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග ඔස්‌සේ එහා මෙහා ගමන් කිරීමෙන් ආහාර සොයාගැනීමට මෙන් ම ආන්තික තත්ත්ව ඇති කාල වකවානු ගත කිරීමට ද ඔවුන් හැඩගැසී ඇත. ලෝක සංරක්‌ෂණ සංගමය (IUCN) මඟින් ප්‍රකාශිත දැඩි තර්ජිත (Critically Endangered), තර්ජිත (Endangered) හා අවදානම් (Vulnerable) යන තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ අයත් ප්‍රධාන කාණ්‌ඩ තුනට මේ අතරින් විශේෂ හැට දෙකක්‌ (62) පමණ අයත් වෙයි.

තාප්පයේ බලපෑම


දැනටමත් ඉදි කර හා ඉදි කෙරෙමින් ඇති තාප්පය මඟින් ඉහත කී ජීවී විශේෂවල වාසභූමිය හෙවත් අඩවිය බෙදී යයි. පියැඹිය නොහැකි ජීවී විශේෂ 346කට පමණ තරණය කළ නොහැකි බාධකයක්‌ බවට මේ දේශ සීමා තාප්පය පත් වී ඇත. එමඟින් උක්‌ත ජීවීන් දැනට හැසිරෙන අඩවියෙන් 50%ක්‌ පමණ අහිමි වීමේ අවදානමක්‌ ඇති වෙයි. එසේ ම එතරම් උසට පියැඹිය නොහැකි පක්‌ෂි විශේෂවලට පවා මේ තාප්පය බාධකයක්‌ වන බව දක්‌වා ඇත.

කලින් එක ම භූමියක්‌ ව පැවැති ප්‍රදේශයේ ජීවත් වන ජීවී විශේෂවල වාසස්‌ථාන අන්තරාදායක ලෙස කඩ කඩ වීම (fragmentation) මඟින් මේ ජීවී විශේෂවල ප්‍රවේණික ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව අඩු වෙයි. එනම් ජීවී විශේෂවල ගහන අතර ප්‍රවේණික ද්‍රව්‍ය හුවමාරුවට බරපතළ බලපෑමක්‌ ඇතිවිය හැකි ය. මේ නිසා එක ම ගහනය තුළ අන්තර් අභිජනනය කිරීමෙන් ජාන කිටුව සීමා වී ප්‍රවේණික වශයෙන් දුර්වල සත්ත්ව විශේෂ ඇති විය හැකි ය. අද වන විට අප්‍රිකාවේ වෙසෙන චීටා සතුන් මුහුණ දී ඇති මෙවැනි ම ප්‍රවේණික ගැටලුව එම සතුන්ගේ පැවැත්මට තීරණාත්මක ලෙස බලපාන්නකි. එවැනි තත්ත්ව ඇමෙරිකා-මෙක්‌සිකෝ දේශ සීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ද ඇති විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙයි.

එදිනෙදා පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර හා ජලය වැනි සම්පත්වලට ප්‍රවේශ වීමට ද මේ තාප්පය නිසා එහි වෙසෙන ජීවීන්ට -විශේෂයෙන් සතුන්ට - අවහිරතා ඇති වෙයි. එමෙන් ම වසරේ ඇතැම් කාල වකවානුවල දී ඇති වන ගංවතුර තත්ත්ව සඳහා ද මේ දේශ සීමා තාප්පයෙන් බලපෑමක්‌ ඇති වේ. ගංවතුර බැස නො ගොස්‌ රදා පැවතීමට තාප්පය හේතු වන අතර ඇතැම් ප්‍රදේශවල දී මෙය වනජීවීන්ට සහ වෘක්‌ෂලතාවලට හානිකර ලෙස බලපානු ඇති බවට අනතුරු හඟවා ඇත. ගංවතුරට යට වීම නිසා මේ ජීවී විශේෂ මිය යැමේ අවස්‌ථාව ඉහළ යයි. එසේ ම දැඩි නියඟය හා තාප ප්‍රවාහ වැනි ස්‌වාභාවික ව්‍යසන අවස්‌ථාවල දී එයට ලක්‌ වන ජීවී විශේෂවල ජීවිත පවත්වාගැනීමට වැදගත් වන ආහාර සහ ජලය සීමා තාප්පයේ අනෙක්‌ පස පැවතිය ද එය තරණය කළ නොහැකි ජීවීන්ට සිදු වන්නේ විනාශයට පත් වීමට ය.

අනෙක්‌ අතට එම දේශ සීමා තාප්පය හුදෙක්‌ භෞතික තාප්පයක්‌ පමණක්‌ නො වේ. එය ඉදි කිරීම සඳහා යොදාගන්නා විශාල ඉදිකිරීම් වාහන මේ සංවේදී සහ පරිසර පද්ධතියට හා එහි වෙසෙන ජීවී විශේෂවලට බාධා ඇති කරයි. එසේ ම ආලෝකය සහ ශබ්දය දූෂණය මඟින් දිවා කාලයේ මෙන් ම රාත්‍රී කාලයේ හැසිරෙන ජීවී විශේෂවලට ද යම් බලපෑමක්‌ ඇති වෙයි. එමෙන් ම බාධක තාප්පය ඉදි කිරීමෙන් පසුව එම තාප්පය අසල ප්‍රදේශයේ ගමන් කරන ආරක්‌ෂක වාහන සහ මාර්ගවල ඇති වන තත්ත්වය ද මේ ජීව විශේෂවල පැවැත්මට බලපෑමක්‌ කළ හැකි එකකි. 2017 වර්ෂය වන විට ඉදි කර ඇති සීමා තාප්ප සඳහා කිලෝ මීටර් 8,000ක පමණ මාර්ග පද්ධතියක්‌ ඉදි කර ඇති බව ද සඳහන් වෙයි. එසේ ම මේ කාණ්‌ඩයට නො වැටෙන තවත් දුෂ්කර වූ මාර්ග විශාල ප්‍රමාණයක්‌ ද පවතියි.

මේ තර්ජනය හමුවේ ඇතැම් ජීවී විශේෂ වඳ වී යැමට තරම් හැකි තත්ත්ව ඇති විය හැකි ය.

අවධානය අඩු ඇයි?


මේ කරුණ පිළිබඳ ව අවධානය අඩු වීම සඳහා හේතුවක්‌ වී ඇත්තේ 2005 දී සම්මත වූ Real ID Act නම් පනතකිනි. එමඟින් ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම් වළක්‌වා ලීමට උපකාර විය හැකි තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ පිළිබඳ පනත (Endangered Species Act) හා ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (National Environmental Policy Act) යටතේ පවත්නා ඇතැම් ප්‍රතිපාදන නො සලකා හැරීමට එරට ආරක්‌ෂක අංශවලට හැකියාව ලබා දී තිබෙයි. මෙය දේශ සීමා තාප්පයේ ඉදිකිරීම් කටයුතු නිසා පරිසරයට හා ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව අවධානයට ලක්‌ වීම හා මහජන මැදිහත් වීමක්‌ සිදු කිරීමට ඇති අවස්‌ථාව අහිමි කර ඇත. මෙසේ පරිසරය සහ මහජන සෞඛ්‍යයේ ආරක්‌ෂාව වෙනුවෙන් පෙර පැවැති ඇමෙරිකානු රජයයන් විසින් සම්මත කරන ලද වැදගත් නීති නො සලකා හැරීම ද ගැටලුවකි.

මේ කරුණු අනුව පෙනෙන්නේ ඉහළ ජෛව විවිධත්වයක්‌ පවත්නා ප්‍රදේශයක ජීවීන්ගේ පැවැත්ම මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් එක්‌ පරම්පරාවක කාලයක්‌ ඇතුළත දී වෙනස්‌ කරන්නට ඉඩ ඇති බවයි. මේ ජෛව විවිධත්වය වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේ පරිණාමයට ලක්‌ වූවක්‌ වන බැවින් ඒ ගැන ආඩම්බර විය නොහැකි බව ඒ පිළිබඳ ව පළ වූ ලිපියක තවදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ ව අවධානය යොමු කරන්නේ නම් එය නතර කිරීමට ද හැකියාවක්‌ ඇත. ඒ මේ සීමා තාප්පය ඉදිකිරීම සඳහා ඇති ප්‍රතිපාදන නතර කිරීම මඟිනි. එරට දේශපාලනඥයන්ට ඒ සඳහා අවස්‌ථාවක්‌ හා හැකියාව ඇති බව පෙන්වා දී තිබෙයි. එසේ ම අවශ්‍ය නම් සංක්‍රමණ පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රමාණවත් දියුණු තාක්‌ෂණයක්‌ පවත්නා බව ද වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ඇමෙරිකාව සිය ජාතික ආරක්‌ෂාව පිළිබඳ දේශපාලන අවශ්‍යතාව සඳහා එරට මෙන් ම මෙක්‌සිකෝවේ ද ජෛව විවිධත්වය අවදානමකට ලක්‌ කර ඇති බව මේ අනුව පෙනෙයි. මෙය මානව මූලික අරමුණු නිසා පාරිසරික ප්‍රමුඛතා අවතක්‌සේරු වූ තවත් අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකි ය. එමෙන් ම ඇමෙරිකාවේ නූතන පාලනය වෙනත් කරුණු පිළිබඳ ව ගෙන ඇති පියවර හා සංසන්දනය කරන විට එය එතරම් පුදුමයට කරුණක්‌ ද නො වෙයි.

මූලාශ්‍රය : BioScience, DOI: 10.1093/biosci/biy063

මෙතෙක්‌ සිදු වූ බරපතළ ම මහා වඳ වීම සඳහා මිහිතලය උණුසුම් වීම මූලික හේතුවක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 09.01.2019 පි. 7 (Vidusara)

http://www.vidusara.com/2019/01/09/feature2.html


ලෝකයේ සිදු ව ඇති මහා වඳ වීම් පහ අතරින් වඩාත් බරපතළ ම හෙවත් වැඩි ම ජීවී විශේෂ ප්‍රමාණයක්‌ වඳ වී ගිය සිදුවීම 'මහා මිය යැම' (Great Dying) ලෙස හඳුන්වනු ලැබෙයි. අදින් වර්ෂ මිලියන 252ක්‌ පමණ කාලයකට පෙර පර්මියානු යුගය නමින් හඳුන්වනු ලබන භූ විද්‍යාත්මක යුගයේ අවසානයේ දී පමණ මේ මහා වඳ වීම සිදු විය. ඒ පිළිබඳ ව අවසාදිත තැන්පතු හා ෆොසිලගත ජීවීන් යොදාගනිමින් සිදු කර ඇති අධ්‍යයනවලට අනුව මෙය මිහි මත ජීවය හා සම්බන්ධ ව ඇති වූ බරපතළ ම අහිතකර සිදුවීම ලෙස සැලකිය හැකි ය.

එම මහා වඳ වීමේ දී සාගරයේ ජීවත් වූ ජීවීන් අතරින් 96%ක්‌ පමණ තරම් ප්‍රමාණයක්‌ සහ භෞමික ව ජීවත් වූ පෘෂ්ඨවංශී ජීවී විශේෂ අතරින් 70%ක්‌ පමණ ප්‍රමාණයක්‌ ද වඳ වී ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ දී ඇති වූ විනාශය කෙතරම් බරපතළ වූයේ ද යත් වෘක්‌ෂ, කෘමීන්, පැළෑටි, කටුස්‌සන් හා ක්‌ෂqද්‍ර ජීවීන් වැනි ඇතැම් කාණ්‌ඩවල ජීවීන් සහමුලින් ම පාහේ වඳ වී යැමට තරම් ආසන්න වී තිබෙයි. එසේ ම ඉන් පසුව පෘථිවිය මත ජීවය යළිත් වර්ධනය වී, ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති වීමට තවත් වර්ෂ මිලියන ගණනක්‌ ගත විය.

මේ මහා වඳ වීම ඇති වීමට හේතුව හෝ හේතු කුමක්‌ වී ද යන්න ගැන විවිධ විද්‍යාත්මක මත ඉදිරිපත් වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, මෙයට හේතු වූයේ මහා උල්කාවක්‌ පෘථිවිය මතට පතිත වීම බවට වූ මතය දැක්‌විය හැකි ය. එහෙත් එම මහා වඳ වීම පිළිබඳ ව සිදු කර ඇති නවතම අධ්‍යයනයකට අනුව එම කාලයේ දී වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ ගොස්‌ මිහිතලය ඉතා වේගයෙන් උණුසුම් වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් සාගර ජලයේ පවත්නා ඔක්‌සිජන් ප්‍රමාණය පහළ ගොස්‌ ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සාගර ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් ප්‍රමාණයක්‌ නො ලැබීම මේ තත්ත්වයට හේතු වී තිබෙයි.

උෂ්ණත්වය ඉහළ යැම තීරණාත්මක වීම


මෙසේ කෙටි කාලයක්‌ ඇතුළත හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ ගියේ කෙසේ ද යන්න මීළඟට ඇති වන ගැටලුව වෙයි. ඒ කාලයේ දී ඇති වූ ගිනිකඳු පිපිරීම් මාලාවක්‌ නිසා මෙසේ හරිතාගාර වායු විශාල ලෙසින් වායුගෝලයට නිකුත් වූ බව මේ වන විට පැහැදිලි කර ඇත. මේ මහා ගිනිකඳු විදාරණය වීම් සිදු වූයේ සයිබීරියාව ප්‍රදේශයේ බව ද පර්යේෂණවලින් පෙන්වා දී තිබෙයි. මේ යමහල් විදාරණ වීම් අදාළ මහා වඳ වීම ඇති වීමට වසර 300,000ක පමණ කාලයකට පෙර පමණ සිට ආරම්භ වූ ඒවා වෙයි. මේවා නිසා ඇති වූ හරිතාගාර වායු විමෝචන අතර කාබන්ඩයෝක්‌සයිඩ් හා මීතේන් මූලික වෙයි.

මේ හරිතාගාර වායු අධික ලෙස සාන්ද්‍රණය වීම නිසා ගොඩබිම සහ මුහුදේ උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ ගොස්‌ ඇත. එකල ලෝකයේ සාගර උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක දහයකින් පමණ ඉහළ ගිය බව මේ අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙයි. ඉහළ උෂ්ණත්වයක දී සාගර ජලයේ පවත්නා ඔක්‌සිජන් ප්‍රමාණය අඩු වීම සිදු වන්නකි. එය ජීවීන් සඳහා තීරණාත්මක වූ සාධකය වී ඇති බව මේ පර්යේෂකයන් පැහැදිලි කර ඇත. මෙසේ සාගර ජලයේ අඩු ඔක්‌සිජන් සාන්ද්‍රණයක්‌ තිබීම නිසා ඇති වන ඔක්‌සිජන් ඌනතාව (hypoxia‌) සාගර ජීවීන්ට ගැටලු ඇති කර තිබෙයි. ජීවියකුගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් නො ලැබීම නිසා ඇති වන තත්ත්වය බරපතළ ය.

පරිසරයේ උෂ්ණත්වය ඉහළ යැමත් සමඟ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය ද ඉහළ යයි. ඊට ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් සැපයීමට නොහැකි වීමෙන් එම ජීවීන් මිය යන්නට ඇති බව මේ අධ්‍යයනයෙන් සිදු කර ඇති පැහැදිලි කිරීමෙන් පෙනෙයි. එසේ ජීවීන් මිය ගොස්‌ ඇත්තේ මහා පරිමාණයෙනි.

පර්යේෂණය හා ප්‍රතිඵල


මේ අධ්‍යයනයේ දී ආකෘතිකමය පරීක්‌ෂණයක්‌ ද සිදු කර ඇත. එවකට පැවැති භූගෝලීය ඒකකයේ මහාද්වීප එක්‌ ව තිබූ ඒකකයක්‌ විය. එසේ ම එවකට සාගරයේ පැවැති උෂ්ණත්වය ද වර්තමාන උෂ්ණත්වයට සමාන බවත් ඔක්‌සිජන් මට්‌ටම වර්තමානයේ පවත්නා ඔක්‌සිජන් මට්‌ටමට සමාන බවත් දක්‌වා තිබෙයි. එසේ තිබිය දී අදාළ ආකෘතියේ හරිතාගාර වායු මට්‌ටම එහි උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 10කින් ඉහළ යන තරමට ඉහළ නංවා ඇත. එය එකල පැවැති තත්ත්වයට සමාන ය. එම ආකෘතිය හමුවේ සාගරයේ විස්‌මයජනක වෙනස්‌ වීම් සිදු ව ඇත. නිදසුනක්‌ ලෙස එහි පැවැති ඔක්‌සිජන් ප්‍රමාණයෙන් 80%ක්‌ පමණ ඊට අහිමි වී ඇත. සාගර පත්ලේ අඩක්‌ පමණ ප්‍රදේශයක්‌ - විශේෂයෙන් වඩා ගැඹුරු ස්‌ථාන - ඔක්‌සිජන් රහිත කලාප බවට පත් විය.

ඉන් පසුව මෙසේ ඔක්‌සිජන් හා උෂ්ණත්වය විචල්‍ය වීම සාගර ජීවීන්ට බලපාන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා වර්තමානයේ ජීවත් වන විශේෂ 61ක එවැනි තත්ත්වවලට ලක්‌ කළ අවස්‌ථා පිළිබඳ ව සිදු කර ඇති විද්‍යාගාර අධ්‍යයන යොදාගෙන ඇත. ඊට මසුන්, ක්‍රස්‌ටේෂියාවන්, බෙල්ලන්, කොරල් හා මෝරුන් පිළිබඳ ව සිදු කළ අධ්‍යයන ඇතුළත් වෙයි. එම දත්ත සමඟ හා පුරාදේශගුණ දත්ත යොදාගනිමින් ජීවීන් වඳ වී ගිය ආකාරය ලේඛනගත කිරීමට උත්සාහ කර ඇත.

එහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට, ඉහළ ගිය උෂ්ණත්වය නිසා තමන් කලින් වාසය කළ වාසස්‌ථානයේ ම අඛණ්‌ඩ ව පැවැත්මට හැකියාව ලැබී ඇත්තේ ඉතා අඩු ජීවීන් ප්‍රමාණයකට පමණකි. සෙසු විශේෂ වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී ඇත. නැත හොත් වඳ වී ගොස්‌ ඇත.

මෙසේ ඔක්‌සිජන් ප්‍රමාණය අඩු වීම ජීවී විශේෂ විශාල වශයෙන් වඳ වී යැම වඩාත් බරපතළ වන්නට ඇත්තේ ලෝකයේ ධ්‍රැව ප්‍රදේශවලට ආසන්න ව බව ද මේ පර්යේෂකයන් පෙන්වා දී ඇත. ඒ සඳහා මූලික හේතුව වී ඇත්තේ එම ප්‍රදේශවල විසූ ජීවීන්ට ඉහළ යන උෂ්ණත්වයට හා අඩු වන ඔක්‌සිජන් ප්‍රමාණයට හැඩගැසීම සඳහා ප්‍රමාණවත් අනුහුරු වීම් නො තිබීම ය. ශීතල අධික හා ඔක්‌සිජන් ඉහළ සාගර ජීවිතයකට අනුවර්තනය වී සිටි ජීවීන්ට, නව තත්ත්ව යටතේ ගැළපෙන වෙනත් ප්‍රදේශයක්‌ සොයාගැනීමට නොමැත. ඒ නිසා වැඩි වශයෙන් හෝ මුළුමනින් ම පාහේ වඳ වී ගොස්‌ ඇත්තේ වැඩි ඔක්‌සිජන් අවශ්‍යතාවක්‌ සහිත වූ ශීත ප්‍රදේශවල විසූ ජීවීන් ය. නිවර්තන කලාපයේ විසූ ජීවීන්ට ද මේ තත්ත්වය අහිතකර ලෙස බලපෑ නමුත් ඉහළ යන උෂ්ණත්වයට මෙන් ම අඩු ඔක්‌සිජන් තත්ත්වවලට ද අනුහුරු වීමට හැකියාවක්‌ ඇති එම ජීවීන්ට වඩා අඩු උෂ්ණත්වයක්‌ ඇති හා ඔක්‌සිජන් සාන්ද්‍රණය ඉහළ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය විය හැකි විය. එසේ ම තමන්ට ගැළපෙන ප්‍රදේශ ද එම ජීවීන්ට සොයාගැනීමට අවස්‌ථාවක්‌ තිබිණි.

එසේ ම මේ කාලය හෙවත් අපර පර්මියානු (late Permian) යුගයට අදාළ වූ ෆොසිල සාධක පිළිබඳ දත්ත පාදක යොදාගෙන ඒ පිළිබඳ ව විමසීමේ දී පෙනී ගොස්‌ ඇත්තේ ද නිවර්තන කලාපයෙන් ඈත පිහිටා ඇති ප්‍රදේශවල හෙවත් ධ්‍රැව ප්‍රදේශවලට ආසන්න ව ජීවත් වූ ජීවීන් වඳ වී ගිය අවස්‌ථා අධික බවයි.

වෙනත් සාධකවල බලපෑම


මේ කරුණු අනුව මුහුදේ උෂ්ණත්වය ඉහළ යැම හා ඒ නිසා ඇති වන ඔක්‌සිජන් ඌනතාව මඟින් උක්‌ත මහා වඳ වීම නිසා වඳ ව ගිය සාගර ජීවීන් අතරින් අඩක්‌ පමණ ප්‍රමාණයකගේ වඳ වී යැමට හේතු සාධක සපයයි. ඉතිරි ජීවී විශේෂවල වඳ වී යැම සඳහා හේතු වන්නට ඇත්තේ සාගර ජලය ආම්ලිකකරණය වීම හා ප්‍රභාසංශ්ලේෂණය කරන ජීවීන්ගේ නිෂ්පාද්‍යතාවේ ඇති වූ වෙනස්‌ වීම් විය හැකි බව උක්‌ත පර්යේෂකයන්ගේ මතය වෙයි. ගිනිකඳු පිපිරීම් නිසා ඕසෝන් ස්‌තරයේ ඇති වූ සිදුරු හරහා පෙළොවට පතිත වූ පාරජම්බුල කිරණ හේතුවෙන් ලෝකයේ ශාකවල වඳ භාවයක්‌ හටගන්නට ඇති බව ද දක්‌වා තිබෙයි. එසේ ම සාගරය ආම්ලිකකරණය වීම වඩාත් බලපාන්නට ඇත්තේ නිවර්තන කලාපීය ජීවීන්ට බව ද පෙන්වා දී ඇත.

උෂ්ණත්වය ඉහළ ගිය අවස්‌ථාවල දී ඇති වන ඔක්‌සිජන් ඌනතාව, සාගර ජීවී විශේෂ මිය යැමට හා වඳ වී යැමට හේතු වූ බවට ඇති සාධක කලක පටන් ඇති අතර විවිධ පරිසර නිකේත අනුව එහි බලපෑම වෙනස්‌ වන ආකාරය මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇති නව අංශයකි.

මේ පර්යේෂණයෙන් මතු කරනු ලබන තවත් වැදගත් කරුණක්‌ තිබෙයි. එනම් එදා පැවැති තත්ත්වය හෙවත් හරිතාගාර වායු විමෝචනය වර්ධනය වීම හා ඒ නිසා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම යනු අද ලෝකයේ ඇති වෙමින් පවත්නා තත්ත්වය හා සමාන තත්ත්වයක්‌ බවයි. අද පවත්නා තත්ත්වයෙන් ම කටයුතු සිදු වුව හොත්, 2100 වර්ෂය පමණ වන විට ලෝකයේ සාගරවල උෂ්ණත්වය අපර පර්මියානු යුගයේ පැවැති උෂ්ණත්වය මෙන් 20%ක්‌ පමණ අගයකට ළඟා විය හැකි ය. තවදුරටත් කටයුතු ඒ ආකාරයෙන් ම සිදු වුව හොත් 2300 වර්ෂය පමණ වන විට සාගර උෂ්ණත්වය එම මහා වඳ වීම පැවැති අවධියේ තිබූ උෂ්ණත්වය මෙන් 35% - 50% අතර අගයකට ළඟා විය හැකි ය. ඒ අනුව මේ අධ්‍යයනය තුළින් පෙන්වා දෙන එක්‌ කරුණක්‌ වන්නේ මානව මූලික දේශගුණ වෙනස්‌ වීමක්‌ මඟින් වුව ද ඇති විය හැකි මහා වඳ වීමක්‌ ඇති වීමේ ඇති හැකියාව පිළිබඳ ව ය.

මූලාශ්‍රය : Science, DOI: 10.1126/aat1327