Sunday, May 31, 2020

සිතුවාට වඩා කලක් පැවති නියැන්ඩර්තාල් හා නූතන මානව සම්බන්ධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.05.27, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/05/27/feature2.html


නුතන මානවයින් සහ නියැන්ඩර්තාල් මානවයින් කිසියම් කාලයක් යුරෝපයේ එකම ප්‍රදේශවල වාසය කළ බව මේ වන විට පිළිගන්නා කරුණකි. නූතන මානවයාගේ සමීපතම ඥාතියා ලෙස සැලකෙන නියැන්ඩර්තාල් මානවයින් වඳවී ගියේ අදින් වසර 40,000කට පමණ පෙර බව සැලකේ. ඒ අනුව එම මානව විශේෂ දෙක අතර විවිධ අන්තර් සම්බන්ෂතා ඇති වූ බව පැහැදිලිය. ඒ සඳහා ප්‍රවේණික හා වෙනත් සාධක මේ වන විට ලැබී තිබෙයි.

මේ මානව විශේෂ දෙක කෙතරම් කාලයකට පෙර එකිනෙකා හමු වූයේද යන්න පිළිබඳ අලුත් තොරතුරු පසුගියදා අනාවරණය වී ඇත්තේ බල්ගේරියාවේ උතුරු ප්‍රදේශයේ ලෙනකින් ලැබී ඇති නූතන මානව අවශේෂ සම්බන්ධව සිදුකරන ලද අධ්‍යයනයකිනි. එම සාධක හිමි මානව ශේෂවල දින නිර්ණය අනුව ඔවුන් වාසය කර ඇති පැරණිම දිනය අදින් වසර 46,000ක් තරම් ඈතට යයි. එය යුරෝපයෙන් ලැබී ඇති නුතන මානවයින්ගේ පැරණිම සාධක වන අතර, ඒවා මෙතෙක් පැවති දිනවලට වඩා වසර දෙදහසක් පමණ පැරණි දිනයකි. ඒ අනුව නුතන මානවයින් හා නියැන්ඩර්තාල් මානවයින්ද මෙතෙක් සිතුවාට වඩා වැඩි කාලයක් එකම ප්‍රදේශයක වාසය කර තිබේ.


කැනීමෙන් අනාවරණය වී ඇති දේ

බල්ගේරියාවේ බචෝ කිරෝ (Bacho Kiro cave) නම් ගල් ලෙනකින් ලැබී හමු වූ මානව අස්ථි හා දත් සම්බන්ධව මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තා දෙකකිනි. ඒවායේ ව්‍යුහවිද්‍යාත්මක වැදගත්කම අනුව ඒවා මානවයින්ට අයත් බව සලකා ඇත. මේ අස්ථි ශේෂ නූතන මානවයින්ගේ බව පෙන්වා දෙන එක් පර්යේෂණ පත්‍රිකාවකින් ඒ දත් නූතන මිනිසාට පිහිටන ඒවා බවත් නියැන්ඩර්තාල් මනෙවයින්ට අයත් නොවන බවත් දක්වා ඇත. එසේම මේ ශේෂවලින් DNA ලබාගැනීමට මේ පර්යේෂකයින්ට හැකියාව ලැබී ඇති අතර, එයින් පෙනීගොස් ඇත්තේද ඒවා නුතන මානවයාට අයත් බවය. මේ අස්ථි ශේෂ සමඟ තවත් පුරාවස්තු ලැබී ඇත. ශිලා ආයුධ හා අස්ථිවලින් කළ ආභරණ මේ අතර වෙයි.

දෙවන අධ්‍යයනය සිදු කර ඇත්තේ මේවායේ කාලනිර්ණය සම්බන්ධවය. එම මානව අස්ථි හා දත් මෙන්ම ඒ සමඟ හමු වී ඇති සත්ත්ව ශේෂවල විකිරණශීලී කාබන් 14 කාලනිර්ණය අනුව ඒවා අයත් වන්නේ අදින් වසර 45,820ත් 43,650ත් අතර කාලයකට බව පෙනී ගොස් ඇත. (මෙහි පැරණිම කාලය වසර 46,940ක් දක්වා විය හැකි බවද දක්වා ඇත) එය අයත්වන්නේ මූලික ඉහළ පුරාශිලා අවධිය (Initial Upper Palaeolithic) ලෙස හඳුන්වනු ලබන අවධියටයි. එය නූතන මානවයින් පිළිබඳව යුරෝපයෙන් ලැබී ඇති පැරණිතම සාධකයක් වේ. මීට පෙර බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයෙන් ලැබී තිබූ අස්ථි මගින් ලැබුණු කාලනිර්ණයේ (44,200-41,500 අතර) සහ ඉතාලියේ ස්ථානයකින් ලැබී තිබූ දත්වලට අදාළ කාලනිර්ණයේ (43,000-45,000) දැක්වෙන නූතන මානවයා පිළිබඳ පැරණිතම දිනයට වඩා ස්පාඤ්ඤයෙන් ලැබුණු මේ නව දිනවකවානුවල පැරණිතම දිනව වඩාත් පැරණිය. එසේම බ්‍රිතාන්‍යයේ හා ඉතාලියේ මානව ශේෂ සම්බන්ධව දින නියම කර ඇත්තේ ඒ අස්ථි සමඟ හමු වී ඇති ද්‍රව්‍යවලට දිය නියම කිරීමෙනි. එහෙත් ස්පාඤ්ඤ ලෙනෙහි ලැබී ඇති මානව ශේෂ කාලිර්ණය කිරීමේ දී ඒ සඳහා මානව අස්ථි ද කාලනිර්ණය කර ඇත.


එකම ප්‍රදේශවල ජීවත්වූ ඥාති මානවයෝ

මෙම නව අධ්‍යයනයෙන් නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් කෙතරම් කාලයක් එකම ප්‍රදේශයක ජීවත්වූවාද යන්න ගැන කාලයක් තිස්සේ පවත්නා විවාදයට තවත් සාධක සපයයි. මේ අනුව අවම වශයෙන් මේ මානව විශේෂ දෙක යුරෝපයේ වසර පන්දහසක් පමණ කාලයක්වත් අඩුම වශයෙන් එකම පරිසරයක වාසය කර ඇත. එය මෙතෙක් සිතුවාට වඩා වැඩි කාලයක් එකම ප්‍රදේශවල වාසය කර ඇති බව පැහැදිලිය. ඒ කාලය තවත් වසර 2,000කින් පමණ ඈතට ගෙන යෑමට මේ නව අධ්‍යයනය සමත් වී ඇත.

ඒ කාලයේදී ඒ වන විටත් පිරිහෙමින් පැවති නියාන්ඩර්තාල් ගහන යුරෝපයේ තැනින් තැන ජීවත් වූ කාලයකි. කෙසේ වෙතත් මුළු යුරෝපය පුරාම මේ මානව විශේෂ දෙක අතර පැවතියේ එකම ආකාරයක සම්බන්ධයක් නොවේ. ඇතැම් ප්‍රදේශයවල නියැන්ඩර්තාල් හා නූතන මානවයින් අතර සම්බන්ධය කෙතරම් ද යත්, ඒ විශේෂ අතර අනත්රාභිජනනය සිදුව ඇති බවට සාධක තිබෙයි. මේ වන විට මානව ජෙනෝමයෙන් 1%-4%ක් පමණ ප්‍රතිශතයක් නියැන්ඩර්තාල් ජාන වීම මීට සාක්ෂි වේ. එසේම 2017 වර්ෂයේදී පළ වූ අධයයනයකට අනුව නියැන්ඩර්තාල් මානවයාගේ මුවේ ජීවත් වූ බැක්ටීරියාවක් මිනිසාගේ මුඛයෙන් හමුවීමෙන් පෙනී යන්නේ ද මේ විශේෂ දෙක අතර තිබූ යම් යම් සම්බන්ධතා පිළිබඳවය.
කෙසේ වෙතත් තවත් ප්‍රදේශවල නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් සමඟ මිශ්‍ර නොවී හුදකලාව ජීවත් වී ඇත. එසේම නියැන්ඩර්තාල් මානවයින් කෙටි කාලයක් තුළ වඳ වී ගියේ නැති බව මේ වන විට පිළිගැනේ. ඔවුන්ගේ ගහනය අඩු වු බවට සාධක දැකිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් ඇතැම් ස්ථානවලින් ලැබී ඇති නියැන්ඩර්තාල් ප්‍රවේණික ද්‍රව්‍යවලින් පෙනීගොස් ඇත්තේ සුළු පිරිසක් තුළ ඇති වූ සහාභිජනනය (inbreeding) නිසා ඔවුන්ගේ ජාන කිටුවේ ඇති වූ පිරිහී ගිය තත්ත්වයයි. 

එමෙන්ම මුලින්ම යුරෝපයට පැමිණි නූතන මානවයින් කුඩා ගහන ලෙස පැමිණි බවට සාධක තිබේ. විශාල නියැන්ඩර්තාල් ගහනයක් ජීවත් වූ පරිසරයකදී මේ නූතන මානවයින්ගේ පැවැත්ම ස්ථිර එකක් නොවූ බවක් පෙනේ.DNA සාධක මගින් පෙනී යන්නේ මේ මුල් පදිංචිකරුවන් පසුකාලීන නූතන මානව ගහනවල ජාන කිටුවට දැක්වු දායකත්වය අවම අගයක් වු බවයි.


නියැන්ඩර්තාල් මනවයා පිළිබඳ මෑතදී අනාවරණය වූ කරුණු


නියැන්ඩර්තාල් මානවයා හෙවත් Homo neanderthalensis යනු අදින් වර්ෂ 400,000ත් 40,000ත් අතර කාලය තුළ ජීවත් වූ ආදි මානවයෙකි. ඔහු වාසය කර ඇත්තේ යුරෝපයේ සහ නිරිතදිග හා මධ්‍යම ආසියාවේ බවට සාධක මේ වන විට ලැබී ඇත. නිශ්චිත වශයෙන් නව මානවයකුගේ බව පිළිගත් නියැන්ඩර්තාල් මානව පොසිල මුලින්ම 1856 වර්ෂයේදී හඳුනාගත් ජර්මනියේ නියැන්ඩර් නිම්න ප‍්‍රදේශය නිසා මේ මානවයාට හ් නම යෙදෙයි. එහෙත් මේ මානවයාට අයත් පොසිල ඉන් පෙර ද සොයා ගෙන තිබේ. 1829 දී වර්තමාන බෙල්ජියමෙන්, 1848 දී ජිබ්රල්ටාර් ප‍්‍රදේශයෙන් ද හමු වූ හිස්කබල් මීට සාධක වේ. මේ මානවයා නූතන මිනිසා හෙවත් Homo sapiens ගේ වඩාත්ම සමීපතම මානවයා සේ සැලකේ. 
 
මෑත කාලයේදී නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ තොරතුරු අනුව පහත සඳහන් වැදගත් කරුණු අනාවරණය වේ.

  • නියැන්ඩර්තාල් මිනිසා අප්‍රිකාවෙන් පිටවීම - නියැන්ඩර්තාල් මානවයින් අදින් වසර 400,000ත් 800,000ත් අතර කාලයකට ඉහත දී අප‍්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවට සාධක තිබේ. ඔවුන්ගේ පරිණාමයේ වැඩි කොටසක් නූතන ප‍්‍රංශය, ස්පාඤ්ඤය, පර්මනිය හා රුසියාවේ ඇතැම් ප‍්‍රදේශවල සිදු වී ඇති බව පෙන්වා දී තිබේ. සම්පූර්ණ නියැන්ඩර්තාල් ලක්ෂණ සහිත මානවයින් දැකිය හැක්කේ වර්ෂ 130,000කට පමණ ඉහත පටන් බවට ද අදහසක් ඇත.
  • නියැන්ඩර්තාල් ආහාරය - නියැන්ඩර්තාල් මානවයින් වැඩි වශයෙන් ආහාරයට ගන්නා ලද්දේ වෙනත් සතුන්ගේ මස් බව කලක් තිස්සේ තිබූ පිළිගැනීමය. එහෙත් මේ මානවයින් ශාකමය ද්‍රව්‍යද යම් පමණකින් හෝ ආහාරයට ගත් බවට මේ වන විට පවත්නා පළමු ඍජු සාධක ස්පාඥ්ඤයේ ලෙනකින් ලැබුණේ 2014දී පමණය. මේ අනුව දේශගුණික හේතුන් මත නියැන්ඩර්තාල් මානවයින් ශාකමය ආහාර ද ගත් බව සිතිය හැකිය.
  • නියැන්ඩර්තාල් ගෙනෝමය - 1997 දී නියැන්ඩර්තාල් මානවයින්ගේ ගෙනෝමය අධ්‍යයනය කිරීම ආරම්භ වූ අතර, මේ වන විට සිතියම්ගත කර ඇත. ඒ අනුව අප‍්‍රිකානුවන් නොවන නූතන මානවයින්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය අතරින් 1%ත් 4%ත් අතර ප‍්‍රමාණයක් පැමිණ තිබෙන්නේ නියැන්ඩර්තාල් මානවයින්ගෙන් බව අධ්‍යයන ගණනාවකින් හෙළි වී තිබෙයි. නියැන්ඩර්තාල් හා වර්තමාන මිනිසුන් පිරිසකගේ ගෙනෝමය සංසන්දනය කිරීමෙන් ඇතැම් රෝග සඳහා අදාළ වන DNA කොටස් නියැන්ඩර්තාල් මානවයින්ගෙන් ලැබී ඇති බව පෙනී ගොස් ඇත. ඒ ප‍්‍රවේණික ද්‍රව්‍ය වර්තමාන අප‍්‍රිකානු මිනිසුන්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය අතර නොතිබීම හෝ ඉතා අඩු වශයෙන් පැවතීමෙන් පෙනෙන්නේ නියැන්ඩර්තාල් ප‍්‍රවේණික ද්‍රව්‍ය සම්මිශ‍්‍රණය වීම සිදු වී ඇත්තේ අප‍්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානවයාගේ ආදිතමයින් සමඟ බවය.
  • සංජානන හැකියාව - 2018 වර්ෂයේදී පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දෙන ලද්දේ ස්පාඤ්ඤයේ ලෙන් ගණනාවකින් හමු වූ පුරාශිලා චිත්‍ර නියැන්ඩර්තාල් මානවයින් විසින් නිර්මාණය කරන ලද බවයි. ඒවායේ දින වකවානු අනුව ඒවා අදින් වර්ෂ 64,800කට වඩා පැරණිය. ඒ කාලය නූතන මානවයින් එම ප්‍රදේශයේ වාසයට පැමිණීමට පෙර කාලයකට බව ඉතා පැහැදිලිය. ඒ අනුව නියැන්ඩර්තාල් මානවයින්ට සංකේතාත්මක චින්තනයේ හා කලාත්මක හැකියාවක් තිබූ බව පැහැදිලි විය.
  • වඳ වී ගිය දිනය - නියැන්ඩර්තාල් මානවයින් යුරෝපයෙන් වඳ වී යාම ගියේ අදින් වසර 39,000ත් 41,000ත් අතර කාලයක දී බව 2014 වර්ෂයේ දී පෙන්වා දෙන ලද්දේ 95%ක විශ්වසනීයත්වයකින් යුක්තවය. නූතන මානවයින්ගෙන් ඇති වූ තරඟය හා නූතන මානවයින් සමඟ මිශ‍්‍ර වීම ද මේ මානවයාගේ වඳ වී යෑමට හේතු වූ බව විශ්වාස කරනු ලැබෙයි. එසේම නියැන්ඩර්තාල් ගහනවල ජාන කිටුව ද පිරිහී ගොස් තිබිණි.


මූලාශ්‍ර

Nature Ecologt and Evolution, DOI: 10.1038/s41559-020-1136-3
Journal Link - https://www.nature.com/articles/s41559-020-1136-3

Nature, DOI: 10.1038/s41586-020-2259-z
Journal Link - https://www.nature.com/articles/s41586-020-2259-z

Saturday, May 23, 2020

අමතක නොකළ යුතු අංක එකේ අර්බුදය!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2020.0520, පි. 7 (Vidusara)

http://www.vidusara.com/2020/05/20/feature2.html


අද ලෝකයේ අවධානයට ලක්ව ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නව්‍ය කොරෝනා හෙවත් කොවිඩ්-19 රෝගය හා එහි ව්‍යාප්තිය නිසා ඇති වී තිබෙන තත්ත්වයයි. මේ වන විට බොහෝ රටවල ආර්ථිකය හා සමාජයේ සියලු අංශ පාහේ බරපතළ අර්බුදයකට ලක් වී ඇත්තේ මේ වසංගත තත්ත්වය නිසාය. සිය රටවල ආර්ථිකය හැකි ඉක්මනින් යළි යථාතත්ත්වයට පත් කිරීම බොහෝ රටවල නායකයින්ගේ හා බලධාරීන්ගේ ඉලක්කය බවට පත්වෙමින් තිබෙයි. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ලෝකයේ පවත්නා සෙසු අර්බුද අමතක වී ගොස් තිබේද යන්න ඇතැම් විටක සිතෙයි.

පසුගිය අප්‍රේල් මස 22 වැනි දිනට යෙදුණු මිහිතල දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මේ තත්ත්වය පෙන්වා දුන්නේය. නව්‍ය කොරෝනා වයිරස් වසංගතයේ බලපෑම තිබියදී වුවත්, ලෝකය මේ වන විට මුහුණ දී තිබෙන “බරපතළ පාරිසරික හදිසි” තත්ත්වය අමතක නොකළ යුතු බව ඔහු පැවසුවේය. මෙහිදී ඔහු අදහස් කළ එක් ප්‍රධාන පාරිසරික අර්බුදයක් වන්නේ දේශගුණ වෙනස් වීමය.
මේ අතර මෑතදී වාර්තා වූ පර්යේෂණ දෙකකින් දේශගුණ වෙනස් වීමේ ඇති බරපතළ ස්වභාවය ගැන පෙන්වා දී තිබෙයි.


වසර 50කදී දරාගත නොහැකි උෂ්ණත්වයක්

මේ මාසය මුලදී Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, මිනිසුන්ට දරාගත නොහැකි තරම් වූ උෂ්ණත්වයක් ඇතුළත ජීවත්වන ජනතාවගේ ප්‍රමාණය ඉදිරි වර්ෂ පනහක් පමණ කාලය අවසානයේ දී බිලියනයත් බිලියන තුනත් අතර වනු ඇති බවයි. එම උපරිම ප්‍රමාණය ලෝකයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ විය හැකිය. එසේ ඉහළ ගිය උෂ්ණත්වය දැකිය හැකි ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සහරා කාන්තාරයේ උණුසුමින් ඉහළම ප්‍රදේශ හා සමාන වූ උෂ්ණත්වයකින් යුක්ත වන ඇත. මේ අධ්‍යයනයෙන් පෙන්වන තත්ත්වය විද්‍යාඥයින් මෙතෙක් නොසිතූ තරම් බරපතළ තත්ත්වයක් පෙන්වයි. ඒ බව උක්ත අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයින්ගේ අදහස ද වෙයි. 

වර්තමාන මානව ජනාවාසවල ව්‍යාප්තිය සම්බන්ධව සිදුකර තිබෙන මේ අධ්‍යයනය අනුව, අද ලෝකයේ ජීවත්වන මිනිසුන් අතරින් වැඩි ප්‍රමාණයක් ජීවත්වන්නේ සෙල්සියස් අංශක 6ත් 28ත් අතර වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයක් පවත්නා ප්‍රදේශවලය. (එනම් මිනිසුන් වාසය කරන ප්‍රදේශවල මධ්‍යන්‍ය වාර්ෂික උෂ්ණත්වය අංශක 13ක් පමණ වේ) එය මීනිසුන්ගේ පැවැත්මට සුදුසුම උෂ්ණත්ව පරාසය ද වෙයි. එහෙත් අද වන විට මිනිසුන් විසින් සිදුකරන ලද දේශගුණ වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශවල උෂ්ණත්වය ද ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙයි. එහි ප්‍රතිඵලය වන්නේ මේ ඇතැම් ප්‍රදේශවල දරාගත නොහැකි තරම් ඉහළ උෂ්ණත්වයක් ඇති වීමය. 

මේ අනුව තවත් වසර පනහක් ඇතුළත ලෝකයේ උෂ්ණත්වය අංශක 3කින් ඉහළ ගියහොත්, ලෝක ජනගහනයෙන් බිලියන 1ත් 3ත් අතර පිරිසක් ජීවත්වනු ඇත්තේ සෙල්සියස් අංශක 29ක් පමණ වූ සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයකය. උපරිම තත්ත්වය යටතේ ඉන්දියාවේ මිලියන 1200ක්, නයිජීරියාවේ මිලියන 485ක්, පාකිස්තානයේ, ඉන්දුනීසියාවේ හා සුඩානයේ මිලියන 100ක් බැගින් වූ පිරිසක් මේ අධික උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අයත් වනු ඇත. අද මෙවැනි උෂ්ණත්වයක් දැකිය හැක්කේ ලෝකයේ බිම් ප්‍රමාණයෙන් 0.8ක් තරම් වූ ඉතා සීමිත ප්‍රදේශයක පමණකි. 

උක්ත අධ්‍යයනයෙන් හෙළි වන පරිදි ඉහළ යන සෑම සෙල්සියස් අංශයකටම ලෝකය පුරා බිලියනයක පමණ පිරිසක් වාසය කරන ප්‍රදේශ එවැනි අධික සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති තත්ත්වයකට පත්වෙයි. එම ජනතාවට එම ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමට හෝ ඒ තත්ත්වයට අනුහුරු වී ජීවත්වීමට සිදුවනු ඇත. ඒ සඳහා අවශ්‍ය සම්පත් හා මූල්‍ය පහසුකම් ඒ රටවල ජනතාවට ඒ වන විට පවතිනු ඇතිද? නිදසුනක් ලෙස ගහොත් ඒ අධික උෂ්ණ තත්ත්ව යටතේ වගා කටයුතු පවා සීමා විය හැකිය. (මූලාශ්‍රය - Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1910114117)


ආන්තික තත්ත්වවල ඉහළ යෑමත්


මිනිසුන් මරණයට පත් කිරීමට තරම් හේතුවන ආන්තික ආර්ද්‍රතාවය හා තාපය නිසා ඇති වන තත්ත්වය සම්බන්ධව අවධානය යොමුකරමින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව 1979 සිට 2017 දක්වා ගත වූ කාලයේදී ලෝකයේ එවැනි සිදුවීම් ඇති වූ අවස්ථා ගණන දෙගුණයක් පමණ විය හැකිය. ලෝකය උණුසුම් වීම නිසා ඇතිවිය හැකි යැයි දක්වා තිබූ බරපතළ අන්දමේ සිද්ධි වන මෙවැනි සිදුවීම් ඇති විය හැක්කේ මේ සියවසේ මැදභාගයෙන් පසු කාලයක බව මීට පෙර අදහස් කර තිබූ නමුත්, ඒවා මේ වන විටත් ඇතිවෙමින් තිබෙන බව -Science Advances සඟරාවේ පළ වූ මේ අධ්‍යයනයේන පෙනෙයි. එම කරුණ දේශගුණ විද්‍යාඥයින්ට තරමක් විස්මය ජනක වී ඇත. 

සාමාන්‍ය වියළි තත්ත්වවලදී ශරීරයට දහඩිය දමන අතර ඒවා වාෂ්ප වී යෑමෙන් යම් පහසුවක් දැනෙයි. එහෙත් අධික ආර්ද්‍රතාවයක් ඇති විට මේ වාෂ්පීකරණය අඩු වන අතර ඇතැම් විට නැවතීමටද හැකිය. එවිට දේහයේ උෂ්ණත්වය ඉහළ යන අතර ඉන්ද්‍රිය අකර්මණ්‍ය වී මරණය පවා සිදුවිය හැකිය. මිනිසුන්ගේ පැවැත්මට බලපාන මේ උෂ්ණත්වය හෙවත් “තෙත්-බල්බ උෂ්ණත්වය” (wet-bulb temperature) සෙල්සියස් අංශක 35 ඉක්මවීම බරපතළ බලපෑමක් ඇති කරයි. මේ අගය මිනිසුන්ගේ කායික විද්‍යාත්මක ක්‍රියකාරිත්වයේ ඉහළ සීමාව වෙයි. (එහෙත් ඊට වඩා අඩු අගයවලදී ද බරපතළ සෞඛ්‍ය හානි ඇති විය හැකිය). දැනටමත් ඇතැම් උප නිවර්තන වෙරළාසන්න ස්ථානවලින් මේ තත්ත්වය වාර්තා වී තිබෙයි. ඒවා ඇතිවිය හැකි යැයි අනුමාන කරන ලද්දේ ආර්ද්‍රතාවය ගැටලුවක් බවට පත්ව ඇති නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවලය.
මෙම අධ්‍යයනයට අනුව අදින් දශක කීපයකට පසුව ඇති වෙතැයි අපේක්ෂා කළ මෙවැනි සිදුවීම් දැනටමක් ඇතිවෙමින් පවතී. ඒවා පවත්නා කාල සීමාව වැඩිවෙමින් ඇති අතර, ඒවායේ බලපෑමට ලක්වන ප්‍රදේශ ප්‍රමාණය ද මිහිතලය උණුසුම් වීම හා සාපේක්ෂව ඉහළ යනු ඇත. මෙසේ පෙර සිදු කළ අධ්‍යයනවලට වඩා වෙනස් ප්‍රතිඵලයක් මෙම අධ්‍යයනයේදී ලැබී ඇත්තේ භාවිත කර ඇති දත්ත නිසාය. පෙර සිදුකරන ලද අධ්‍යයනවලදී යොදාගෙන ඇත්තේ විශාල ප්‍රදේශවල පැය කීපයක පමණ කාලයක් මුළුල්ලේ පැවති ආර්ද්‍රතාවයේ හා උෂ්ණත්වයේ සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් මේ අධ්‍යයනයේදී යොදාගෙන තිබෙන්නේ ලෝකය පුරා කාලගුණ මධ්‍යස්ථාන 7877කින් ලබාගත් පැයෙන් පැයට ලබාගත් දත්තය. එමගින් කෙටිකාලීනව පැවති හා කුඩා ප්‍රදේශයකට බලපෑ සිදුවීම් පවා හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙයි. එසේම මීට පෙර හඳුනාගැනීමට නොහැකි වූ එවැනි සිදුවීම් ගණනාවක් හඳුනාගැනීමට ද හැකි වී තිබෙයි. (මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aaw1838)


අනාගතය වෙනුවෙන් අප කළ යුතු දේ

මේ තත්ත්වය අනුව දේශගුණ වෙනස් වීඹ පාලනයට හෙවත් හරිතාගාර විමෝචන පාලනය සඳහා කටයුතු කිරීමට කඩිනම් විය යුතු බව පැහැදිලිව පෙනේ. එය පශ්චාත්-කොරෝනා සමයේදී යළිත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේදී වැදගත්ය.

ඉහත සඳහන් කරන ලද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයා විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන ලද, කොරෝනා වසංගතයෙන් පසු යථාතත්ත්වයට පත්වන ලෝකයට වැදගත් පියවර මෙසේය. හරිත හෙවත් පිරිසිදු ව්‍යාපාර හා රැකියා අවස්ථා ඇති කිරීම, ජනතාව‌ගේ බදු මුදල් හරිත රැකියා හා තිරසර වර්ධනයක් සඳහා යොදාගැනීම, ජනතාව හා සමාජය දේශගුණ වෙනස් වීමට වැඩිදුරටත් ඔරොත්තු දෙන ලෙස මුදල් වැය කිරීම, පොසිල ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාර නවතා දැමීම, පරිසර දූෂකයන් ඒ පරිසර දූෂණය සඳහා වන්දි ගෙවීම හා ලෝකය එක්ව කටයුතු කිරීම යන කරුණු ඔහු දක්වා ඇති පියවර අතර වෙයි.
මෙවැනි අදහස් තවත් අයගෙන් ඉදිරිපත්ව ඇත. එංගලන්ත බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන මාක් කාර්නි පවසා තිබුණේ කාර්මික රටවල් කොරෝනා අර්බුදයෙන් පසුව හරිතවත් ආර්ථිකයක් වෙත පෙළඹිය යුතු බවයි. පවිත්‍ර බලශක්තියේ වැදගත්කම ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකුවන මැල්කම් ටර්න්බුල් ද පවසා තිබිණි.
ලෝකයේ නගරාධිපතිවරුන්ගේ එකතුවක් නිකුත් කළ නිවේදනයකින්ද කියැවුනේ කොවිඩ්-19න් පසුව ලෝකය යළි යථා තත්ත්වයට පත් වීම සඳහා සකස් කරන සැලසුම්වලදී දේශගුණ වෙනස්වීම පාලනය එහි වැදගත් අංශයක් විය යුතු බවයි. ලෝකය බරපතළ දේශගුණ ව්‍යසනයකින් මිදීමට නම්, අද පවත්නා සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වීම අත්‍යවශ්‍ය බව මෙහි සඳහන් වේ. මෙහි අවධානය විශේෂයෙන් යොමුව ඇත්තේ නාගරික සමාජ සම්බන්ධවය. පයින් යෑම, බයිසිකල් පැදීම, වැනි පිරිසිදු පිළිවෙත් ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කර ඇති කරුණු හතකින් යුක්ත නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම හරිත රැකියා හා බලශක්ති කාර්යක්ෂමතාවය සම්බන්ධව අවධානය යොමු කිරීමේ ඇති වැදගත්කමද එහි දක්වා ඇත. ලෝක ජනගහනයෙන් මිලියන 750ක් වාසය කරන නගරවල නගරාධිපතිවරු මේ ප්‍රකාශයට එකඟ වී ඇත.
වර්තමාන වසංගතයෙන් මෙන්ම ඒ නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන්ද මිදී ඉදිරියට යන ලෝකයට දැන් අවශ්‍යව ඇත්තේ තවත් අර්බුදයක් ඇති වීම වලක්වාලීමටය. ලෝක ආර්ථිකය තිරසර, හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමය. පිරිසිදු බලශක්තිය, හරිත රැකියා, හරිත ආයෝජන ආදිය තිරසර ආර්ථිකයකට අත්‍යාවශ්‍ය දේ බව මේ වන විට පැහැදිලිය. එහෙත් ඒ සඳහා යන මග අභියෝග රහිත වූවක් නම් නොවේ.

http://www.vidusara.com/2020/05/20/feature2.html

Wednesday, May 13, 2020

හැඳුනුම්පත් අංකයට අනුව නිවසෙන් එළියට ගියෙමි

ධනේෂ් විසුම්පෙරුම

කොරෝනා ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ අප්‍රේල් 10 හා 30 දිනවලදි ගෙදරින් එළියට ගියාට පස්සෙ එළියට ගියෙ ඊයෙ - මැයි 12. ඒ තමයි පවත්නා සීමා පරිදි, හැඳුනුම්පත් අංකයට අනුව මට එළියට යන්න පුළුවන් දවස. තලවතුගොඩටයි, ගෙවල් ළඟ හන්දියටයි ගියාම දැක්කෙ මෙහෙම.

පාරෙ ගිය අයගෙන් හුඟක් අය මුව වැසුම් දාලා. 90%ක් විතර කියන්න පුළුවන්. එහෙම නැති වගෙම, මීටරේ පරතරේ නැතිව අනුන්ගෙ ඇඟේ වැදෙමින් පාරේ ගිය කීපදෙනාගෙන් වැඩි දෙනෙක් අර මොනවත් නොදන්න ඒත් පණ්ඩිත පෙනුම ඇති අය (ඕන නං එයාලගෙ දේශපාලන පක්ෂත් හිතාගත හැකි).

මහජන බැංකුවෙ මීටරේ පරතරේට පෝලිම. ටික ටික ඇතුළට දාන්නෙ. දොරේ ගහල තිබ්බා කොරෝනාවෙන් වැළකීම ගැන සවිස්තර පෝස්ටරයක්. හැමෝම බැංකුව ඇතුළට ගිහින් ඇවිත් අත් සෝදනවා. ඒකට එළියෙ සබන් හා වතුර තියලා තිබ්බා. මං ගියෙ ATM එකට. එතනත් කට්ටිය මීටරේට පෝලිම - ඒත් වෙනදා තරම් නෑ. ඒකෙ ගහල තිබ්බා ඇතුළට යන්න කලින් අත් සෝදන්න කියා. මට කලින් හිටි කෙනයි මට පස්සෙ හිටි කෙනයි අත් සේදුවෙ නෑ. ඒත් මම නං හේදුවා.

බේත්ගන්න පාමසියට ගියා. ඒකෙත් මීටරේට පෝලිම - ඒත් හතරපස් දෙනයිග මට මතක් උනේ මාර්තු මාසෙ අග ඇඳිරිනීතිය ඉවත් කළ දවසෙ මං පැය දෙකකට කිට්ටුව පෝලිමේ හිටිය හැටි. අද බේත් ගන්න පුළුවන් කවුන්ටර් ගානට හෝ බේත් සොයන සේවක පිරිසේ ගානට තමයි ඇතුළට දාන්නෙ. සැනිටයිසර්වලින් අත සෝදලා ඉන්පස්සෙ අර ඔලුවට අල්ලන උණ මීටරෙන් උනත් බලලා තමයි ඇතුළට දාන්නෙ. දොර අරින්න වහන්න හිටියෙ පාමසියෙම සේවකයෙක්. පාමසියෙ කවුන්ටරේ කවුළුව ඉතා කුඩා කරලා. වැඩියෙන්ම විකිණෙන සැනිටයිසර් හා මාස්ක් වර්ග තමයි හැම පැත්තෙම පේන්න තියෙන්නෙ. සැනිටයිසර් වර්ග 10-15ක්වත් තියෙන්න ඇති. (තලවතුගොඩට යන්න මූලික හේතුව වුණේ මං ගන්න බෙහෙත් වර්ග සියල්ලම තිබෙන මේ පැත්තෙ එකම පාමසිය එහි පිහිටා තිබීම)

ඉන්පස්සෙ ගියා මීට් ෂොප් එකට. එළියෙ වීදුරුවෙ උපදෙස් සහිත පෝස්ටරයක් ගහලා. ඇතුළෙ සෙනඟ නම් නෑ. සේවිකාවන් දෙදෙනෙක් සිටියා. එක් කෙනෙක් මාස්ක් දාලා. අනිත් කෙනා මාස්ක් එක දාල තිබ්බෙ නිකටට. එයාගෙ ලස්සන වැහෙයි කියල දුකට වෙන්නැති. අවශ්‍ය දේ අරන් ඉවර වෙලා මං "මාස්ක් එක හරියට දාල හිටියනම් නේද හොඳ" කීවා. එතකොටත් එයා නාසය කසනවා!

හන්දියේ බාර්, කෑම කඩ ආදිය සියල්ල වහලා. සිල්ලර කඩ, වෛද්‍ය මධ්‍යස්ථාන, හාඩ්වෙයාර්, සමහර කමියුනිකේෂන් හා සැලූන් වැනි කඩ ඇරලා. එළියට පේන gents' සැලූන් එකේ නම් කොණ්ඩය කපන තැනැත්තා ඇඟම වැහෙන්න ඇඳුමක් ඇඳලා, මුව වැසුමක් දාලා හිටියේ.

එලවළු කඩේ මුදලාලිත් එයාගෙ නිකටේ ආරක්ෂාවට මාස්ක් එකක් දාල හිටියා. ඒ හින්ද වෙන්නැති. පුරුදු පරිදි ෂර්ට් එකත් නැතිව තමයි හිටියෙ. නොකියා කියන්නෙ 'මගෙනේ කඩේ. ඕන නං වරෙන්' කියලා වෙන්නැති. ඒත් වැඩි පිරිසරකට නිරාවරණය වෙන්නෙ එයා බව එයාට අමතක වෙලා වගේ.

මාලු කඩේ මීටර් බාගෙ දුරට පෝලිම. හැබැයි හැමෝම මුව වැසුම් දාල හිටියෙ. හන්දියෙ රටකජු-කඩල කඩෙත් ඇරලා!

අතරමග පාර අයිනෙ කුඹුරු යායෙ පාරට කිට්ටු කොටස් එළි කරලා තිබ්බා. පුරන් වී තිබූ කුඹුරු පවා සුද්ද කරලා. සාමාන්‍යයෙන් වගාකරන ඒවා සීසාලා හෝ වපුරලා තිබ්බා. මට පෙනුණු විදියට කිසියම් සංවර්ධන වැඩක් වගෙයි පෙනුණෙ.

සුපර්මාකට් එකට ගියාම එතන සෑහෙන වෙලාවක් පෝලිමේ. මීටරේ පරතරේට. එළියට එන පිරිසේ ගානට තමයි එක්කෙනා, දෙන්න බැගින් ඇතුළට යොමුකරන්නෙ. ඒකත් සැනිටයිසර්වලින් අතසෝදවලා. සෙනඟ අඩුයි. සමහර භාණ්ඩ වර්ගත් අඩුයි. ඒ වගෙම සමහර වෙළඳ නාමවල භාණ්ඩත් අඩුයි.

හාඩ්වෙයාර් එකකට ගියෙ පොඩි පයිප්ප බාස් වැඩක් කරන්න බඩු මිලදී ගන්න. දෙකකටම යන්න උනා. එකක සේවකයා හොඳ මාස්ක් එකක් දාල හිටියට මුදලාලි හිටියෙ ලේන්සුවක් දාගෙන - එයා සල්ලි ගන්න එක විතරක් කරන නිසා වෙන්න ඇති.

එතන බඩු ගන්න ඉන්නකොට තරුණයෙක් ඇවිත් ත්‍රිවීල්වලට දාන ඉටිකොලයක් ගත්තා. ඒ අපේ ගෙවල් පාර හන්දියෙ වාහනය එලවන අයෙක් බව ඇඳිනුවෙ කටහඬින්. මොකද මාස්ක් දාලනෙ. "ආපහු වාහනේ දුවන්න ගත්තා" කියලා ඔහු කීවා. ඔහු කී විදියට එතන වාහන දුවන හුඟක් අය ආපසු වාහන ධාවනයට ඇවිත්. දැන් අර රියැදුරු හා මගීන් වෙන් කරන ඉටිකොලයක් තමයි ගත්තෙ.

පහුගිය කාලෙදි එලවළු අලෙවි කළ ත්‍රිවීලයක් ආපසු පාරෙ යන බව දුටුවා.

මොනව උනත් තලවතුගොඩත්, ගෙවල් ළඟ හන්දියෙත්, ගෙවල් පාර හන්දියෙත් සෙනඟ හා පාරිභෝගිකයො අඩුයි. සෑහෙන අඩුයි. එක චෙක් පොයින්ට් එකක තාම වැඩ. ඒත් ගෙවල් ළඟ හන්දියෙ තිබූ චෙක් පොයින්ට් එක නෑ.

ආ අමතක උනා. උඩහමුල්ල ඩිපෝවෙ කාර්මික සේවා රථ දෙකක්ම මේ කෙටි වෙලාවෙදි කෙටි දුරකදි දැක්කා. වෙනදට එතරම් දකින්නෙ නෑ. හේතුව දන්නෙ නෑ.

2020.05.13

Saturday, May 2, 2020

සුනීත සහ සුමංගල කියවීමි

ධනේෂ් විසුම්පෙරුම


සුනීත සහ සුමංගල (යොවුන් නවතකාවකි)
කුසුම්සිරි විජයවර්ධන (2019) 


ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල - රු. 450/=


‘සුනීත සහ සුමංගල’ යනු අප හිතවත් ලේඛක කුසුම්සිරි විජයවර්ධන විසින් ලියන ලද යොවුන් නවතකාවකි. පොතක් කියවීම සඳහා දැන් මට ගත වන කාලය වැඩි නිසා මට කලින් එය කියැවූයේ මගේ දියණිය මෙතාෂාය. මගේ ඉල්ලීම මත ඈ මට ලියා දුන් අදහස් කීපයකි මේ:-


මේ කතාවේ සාරාංශය -  
සුනීත පොඩි හාමුදුරුවෝ ගැන -

ඈ කැමතිම චරිතය -


ඒ ඇගේ අදහස්ය. ‘සුනීත සහ සුමංගල’ ගැන මට සිතුණු දේ මෙහි සටහන් කිරීමට සිතුවෙමි. 

පොත් කියවන්නට ඇබ්බැහි වූ කාලයේ සිට මම යොවුන් නව කතා කියැවීමට විශේෂ කැමැත්තක් දැක්වීමි. එය අදටත් එසේමය. ඒවායේ ත්‍රාසජනක හා වීර ක්‍රියා සුලබය. සිංහල කතාවල නිදන් සොරුන් පිළිබඳ කතා ඉංග්‍රීසි කතාවලට වඩා සුලබය. එවැනි කතා එදා ළමුන් ලෙස ද, අද වැඩිහිටියන් ලෙස ද මම මහත් ආස්වාදයෙන් රසවිඳිමි. කුසුම්සිරි ඔහුගේ අලුත්ම කෘතියෙන් අපව වෙනස් මාතෘකාවක් වෙත ගෙනයයි.

බහු වාර්ගික ජනතාවක් වාසය කරන ප්‍රදේශයක් වන මල්වානේ පිහිටා ඇති විහාරයක්, එහි වෙසෙන භික්ෂූන් හා ගම වටා ගෙතී ඇති ‘සුනීත සහ සුමංගල’ යනු වීර ක්‍රියා ඇතුළත් නවකතාවලින් ඔබ්බට ගිය එකකි. කතාවේ කතා නායකයා සුනීත පොඩි හාමුදුරුවන්ය. නායක හිමියන් හා සුමංගල දෙවැනි හාමුදුරුවන් විහාරයේ වෙසෙන සෙසු භික්ෂූන් වහන්සේලාය. සුනීත හිමියන්ගේ මිතුරන්, දායකයින්, ගමේ සිංහල හා මුස්ලිම් වැසියන් කීපදෙනෙකු මේ කතාවේ සෙසු චරිත අතර වේ. සුනීත පොඩි හාමුදුරවන්ගේ චරිතය කතාව පුරා මතුව එන්නේ ආදර්ශමත් චරිතයක් වශයෙනි. තරුණ වයසේදී වෙනත් හරයන් පිළිගෙන නොමග ගොස් සිටි සුමංගල තෙරණුවන් යහමගට පැමිණීම සඳහා හේතු වන්නේ ද සුනීත පොඩි හාමුදුරුවන්ගේ හැසිරීම හා එතුළින් එහිමියන්ට ලැබෙන පිළිගැනීම බව පෙනෙයි. සුනීත හිමියන්ගේ කටයුතු නිසා පන්සලේ ද, ගමේ ද සිදුවන වෙනස්වීම් පාදක කරගත් මේ කෘතිය අපේ සමාජයේ ඇති මූලික ගැටලු දෙකක් ආමන්ත්‍රණය කරන බවක් මට සිතෙයි.

ඉන් පළමුවැන්න ජාතික සමගියේ ඇති වැදගත්කම හා එය ඇති කළ හැකි ආකාරයයි. අන්තවාදී පෙළඹවීමකට නතු වී නැතිතාක්, වාර්ගික විවිධත්වය ඉහළ බොහෝ ස්ථානවල සාමකාමී ජනජීවිතයක් දැකිය හැකි බව ඉතිහාසය විමසීමේදී පෙනෙයි. ඕනෑම සමාජයක වෙසෙන ඕනෑම ජනවර්ගයක, ඕනෑම ආගමත් අදහන පිරිස් අතර අන්තවාදී අදහස් දරන්නන් සිටිය හැකිය. මේ කතාවේ ද අන්තවාදීන් විසින් සිදුකරන වාර්ගික ගැටුම් පිළිබඳව මෙන්ම ඒවා වැළැක්වීම සඳහා පන්සල හා සෙසු සමාජය සාර්ථකව මැදිහත් වන ආකාරය ගැන සඳහන් වේ. කුසුම්සිරි මේ උපුටා දක්වන්නේ අපේ ගම්වල ආගමික හා සමාජ නායකත්වයේ මෙහෙයවීමෙන් හැමදාමත් පවත්වා ගැනීමට යෙදුණු ඒ සැබෑ ජාතික සමගියයි. ජාතීන් අතර සමගිය ඇති කිරීමේලා ගමේ පන්සල විසින් සැමදා ලබා දී ඇති නායකත්වය මේ කතාවේ යළි ඉස්මතු වේ. අද කෘත්‍රිමව ඇති කරන්නට යන සංහිදියාවට වඩා එය සාර්ථක ක්‍රමවේදයක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සිය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් අන්‍යාගමිකයන් පිළිබඳව අවබෝධයෙන් යුක්තව හා එකට ජීවත් වන හැටි කියා දෙන කතාවක් සේ මේ කතාව හැඳින්විය හැකිය. කතා නායකයා වන සුනීත පොඩි හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් පන්සලේ මෙන්ම දායක පිරිස්වල සිත්වල ද යම් යම් වෙනස්කම් ඇති වේ. එහෙත් පන්සලේ නායක හාමුදුරුවන්ගේ චරිතය තුළ එ් අවබෝධය හා සහජීවනය හැමදාමත් පැවතියේය. එය නැතිව ගොස් තිබුණේ, දෙවැනි හාමුදුරුවන්ගෙන් නියෝජනය වන, පහසුවෙන් නොමඟ යා හැකි නූතන තරුණ පරපුර තුළය. සිය ආදර්ශයෙන් හා මැදිහත්වීමෙන් සුනීත සාමනේරයන් විසින් එය යළි ස්ථාපිත කරනු ලැබේ.

මෙම කතාවේ කුසුම්සිරි මතු කරන දෙවන සමාජ ගැටලුව වර්තමාන තාරුණ්‍යය පිළිගන්නා හා අනුගමනය කරන විශ්වාස හා හර පද්ධති මොනවාද යන්නයි. මූලික වශයෙන් සුමංගල හිමියන්ගේ හා ඔහුගේ යහළුවන්ගේ චරිත හරහා පෙන්වන්නේ මෙයයි. භික්ෂුවක වුවත්, එහිමියන් නූතන තරුණ පරපුර පිළිගන්නා වටිනාකම් හා සංස්කෘතිය අනුගමනය කරන්නෙකි. ඒ නිසා නායක හිමියන් හා ගැටෙන අවස්ථා කීපයක්ද කතාවේ එයි. ගමෙන් පිට වෙනම යාළු පිරිසක් ආශ්‍රය කළ උන් වහන්සේගේ අදහසක් වන “මගේ තරුණ අදහස්වලට, වයසට ගැළපෙන කෙනෙක් ඔය හැට පැනපු දායකයො අතර නෑ” යන්න ඉන් එකකි. ගිහි ඇඳුමකට මාරු වී සංගීත සංදර්ශනයක් නැරඹීමට යෑම තවත් එකකි. මිතුරන් සමඟ බියර් පානය කිරීම ද එවැනි සිදුවීමකි. සුමංගල හිමියන්ට ඇති වන ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබාගැනීමට ඇති ආශාව ඒ පරපුරේ මූලික අවශ්‍යතාවක් බඳුය. එසේම මේ පරපුර සිය අවශ්‍යතා කෙසේ හෝ සපුරා ගැනීමට පසුබට වන්නේ ද නැත. බල්ලන් මරා හෝ සල්ලි සොයන පිරිස් වෙසෙන සමාජයක් ගැන එහි සඳහන් වෙයි. පිරිවෙනක ඉගෙන ගත් තරුණයෙක් ඒ පන්සලෙන් සොරාගත් පුස්කොළ පොතක් අලෙවි කරන සිදුවීම මීට නිදසුනකි. ආගමික හා වෙනත් කරුණු ගැන ලියැවුණු මිල කළ නොහැකි පුස්කොළ පොත් ඇන්ටික් හෙවත් පැරණි බඩු ලෙස අලෙවි වූ අවස්ථා රටේ සිදුව ඇත. ඒ කෙසේ හෝ මුදල් පමණක් සොයන පිරිසට රටේ සංස්කෘතික උරුමය ගැන අවබෝධයක් නොමැති නිසාය (එය නම් තරුණ පරපුරට පමණක් සීමා වූවක් නොවේ).


කතාවේ මා දුටු වටිනාකම් කීපයක්


කෙසේ වෙතත් මේ මූලික තේමාව හැර ‘සුනීත සහ සුමංගල’ කතාවෙන් කුසුම්සිරි පවසන තවත් වටිනාකම් කීපයක් මට හඳුනා ගැනීමට හැකි විය.

ඉන් එකක් වන්නේ පරිසරය හා ළමුන් අතර තිබෙන හා තිබිය යුතු සමීප සම්බන්ධතාවයයි. ඉමිටියාස්, තෙදස්, රවිඳු, රංගන හා චතුර යන මිතුරන් හා සුනීත සාමනේරයන්ගේ ගිහි කළ මිතුරන් සමඟ සිදුකරන එදිනෙදා ක්‍රියාකාරකම් පරිසරය හා බද්ධ වූ ඒවාය. වන පලතුරු ගැන පාසලේ ගුරුවරයා ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේ දී ඒවා නම් කරන්නේ ඉමිටියාස්ය. එසේම ඔවුන් “පහුරුවෙල අද්දර කැලෑවට ගිහින් පලතුරු කඩනවා” යන්න ගමේ වෙසෙන සැබෑ ළමයා මතුකරයි. එයට පිළිතුරු දෙන ගුරුවරයා පවසන්නේ “අන්න ඒක හොඳ වැඩක්. ඔය ළමයි වටපිටාව ගැන අවබෝධයෙන් හිටියොත් ශිෂ්‍යත්වෙ පාස් වෙන එක මහ කජ්ජක් නෙවෙයි.” මෙය පරිසරය පිළිබඳ අවධානය යොමු කිරීම අධ්‍යාපනය සඳහා කෙතරම් වැදගත්ද යන්න වටහා දෙන්නකි.

මේ කතාවේ දී කුසුම්සිරි මල්වාන හා අවට ප්‍රදේශය ගැනද සැලකිය යුතු විස්තරයක් සිදු කරයි. ගමේ ළමයි, ඔවුන්ට කළ හැකි දේ යනාදිය කියයි. වේගයෙන් වෙනස්වෙමින් පැවතුන ද මේ කියන ස්ථාන තවමත් මල්වාන හා ඒ අවට ඇත. මල්වානේ, මාපිටිගම කැලණි ගඟ අවට, කිඹුල්විල පැත්තේ හා වවුල්කැලේ දෙතුන් වරක් ඇවිදින්නට ගිය මගේ මතකයද යළිත් අලුත් කිරීමට ඒ විස්තරය සමත් විය. එහි නොගිය අයෙකු තුළ ද මේ ප්‍රදේශයේ පරිසරය ගැන චිත්ත රූප මැවීමට කුසුම්සිරි කතාවේ තැනින් තැන කෙටියෙන් වුවද සිදුකරන විස්තර පොහොසත්ය.

එසේම ගංවතුර ගැන එන විස්තරය කැලණි ගඟබඩ පිහිටි මේ ප්‍රදේශයට සදාකාලිකව මෙන් උරුම වී ඇති ස්වාභාවික ව්‍යසනය ගැන විස්තරයකි. එවැනි අවස්ථාවක අපේ මිනිසුන් අතර ඇති, වහා පිහිටට පැමිණෙන ගුණය කුසුම්සිරි මෙහිදී මනාව දක්වා ඇත. එවැනි අවස්ථාවලදී පිහිට වීමේදී කිසිදු වාර්ගික විශේෂත්වයක් අපේ ජනතාව අතර මෑතක් වනතුරුම පැවතියේ නම් නැත. පැරණි පුවත්පත් හා වෙනත් වාර්තා අනුව පෙනෙන්නේ දකුණේ ජනතාව ආපදාවකට ලක් වු විට උතුරේ ජනතාව ද, උතුරු නැගෙනහිර ජනතාව ආපදාවකට ලක් වූ විට දකුණේ ජනතාවද පිහිටට පැමිණී ආකාරයයි. සමහර විට විදේශවලින් ද අධාර ලැබිණි. තවත් අවස්ථාවල දී අපි සමහර රටවලට සහන ලබා දී ඇත. වඩාත් මෑතකදී ඇති වූ සුනාමි ව්‍යසනය අවස්ථාවේදී මේ තත්ත්වය අපි මනාව දුටුවෙමු. අවාසනාවකට මෙන්, සහන සැලසීමේදී වාර්ගික වශයෙන් වෙන් වූ තත්ත්ව මෑත කාලයේ සිට අපි දැක ඇත්තෙමු. (අතීතයේ පැවති ආපදාවලදී අනුන්ට පිහිට වූ හැටි ලිපියක් මෙතැනින් කියවන්න)

තවත් අපූරු නිරූපණයක් වන්නේ දරුවන් තුළ දැකිය හැකි විවිධ රුචිකත්වයන් හා දක්ෂතා කාලය සමඟ වෙනස්වන ආකාරයයි. ළමුන්ගේ ජීවිතවල අද වන විට ඇතිවෙමින් පවත්නා වෙනස සැලකිය යුත්තකි. අද ළමුන්ගේ කැමැත්ත ඇත්තේ අප කුඩා කාලයේ සිදු කළ දේට නොවේ. ඇතැම් ළමුන් සරුංගල් යැවීමට හා කැලේ ඇවිදිමින් ගඩා ගෙඩි කෑමට කැමැත්ත දක්වති. ඒ කටයුතුවලට සහභාගි වන අතරම, මේ කතාවේ රවිඳුගේ කැමැත්ත ඇත්තේ ටැබ් එක සමඟ ගේම් ගැසීමටය. ඒ නිසා ඔහුට හා මිතුරන්ට කතා පැටලෙන අතරම, අනතුරට ලක්වීම ද සිදු වේ (මේ කතාව කියැ වූ මගේදුවගේ ප්‍රියතම චරිතය රවිඳු වීමට හේතුව ද මේ ඩිජිටල් මෙවලම්වලට ඇගේ ඇති කැමැත්තය. ඈ මට පැවසූ පරිදි රවිඳු ටැබ් එකෙන් ගේම් ගැසුවාට ඉගෙන ගන්නටද උනන්දුය. ඈ ද එසේය). දරුවන් අතර මෙන්ම, භික්ෂුවක් තුළද මේ ඩිජිටල් මෙවලම්වලට කැමැත්ත ඇති වන හැටි කුසුම්සිරි කතාවේ පවසයි. කෙසේ වෙතත්, පසුකලක සිය ජීවිතයේ වෙනසක් සිදුවීමත් සමඟ සුමංගල හාමුදුරුවෝ තමන් කලින් ඒවායින් අපේක්ෂා කළ දේට වඩා වෙනස් ප්‍රයෝජනයක් ඉන් ලබන බවද පෙනේ. මිනිසුන් විසින්ම නිර්මාණය කළ මෙවැනි මෙවලම්වලින් යහපත් ලෙස භාවිත කිරීම මිනිසුන් සතු දෙයක්ම බව පැහැදිලිය. සමාජ මාධ්‍ය හා චැට් ගෘප් ළමුන්ගේ අධ්‍යාපනය සඳහා යහපත් ලෙසින් භාවිත වන හැටි කොරෝනා නිවාඩුවේ සිටින අපි මේ වන විට දනිමු. (කුසුම්සිරි විජයවර්ධන ලියූ 2018 වර්ෂයේදී පළ වූ ‘ෆැන්ටසියාව’ නවකතාවෙන් ඩිජිටල් මෙවලම් නූතන සමාජයේ ජීවිතවලට බලපා ඇති ආකාරය පෙන්වා දුන්නේය. ඒ පොත මා දුටු ආකාරය මෙතැනින් කියවන්න).

මේ කතාවේ සඳහන් වන තවත් කරුණක් වන්නේ අධ්‍යාපනයේ වැදගත්කමයි. සුනීත හිමියන් ඉගෙනීමට දක්ෂය. නායක හිමියන්ගේ අපේක්ෂාව වන්නේ සුමංගල හිමියන් විශ්ව විද්‍යාලයට පිවිසෙනු දැකීමය. කතාවේ කියැවෙන පරිදි සුමංගල හිමියන් පළමු වතාවේ උසස් පෙළ විභාගය සමත් වන්නේ යාන්තමිනි. එහෙත් උන් වහන්සේ නැවත වතාවක් විභාගයට පෙනී සිටීමට මෙන්ම වෙහෙස වී වැඩ කිරීමට ද අධිෂ්ඨාන කරගත්හ. විභාග අසමත් වීම නිසා මෙන්ම, ඊයේ පෙරේදා වාර්තා වූ පරිදි සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9ක් නොලැබූ නිසා සියදිවි නසාගන්නා ළමුන් සිටින රටක මේ අදහස වැදගත්ය. විභාග යනු ජීවිතයම නොවෙතත්, විභාග සමත් වීමද අවශ්‍ය වේ.

කුසුම්සිරි ඔහුට හුරු සරල හා කතා කරන භාෂාව මේ කතාව කීම සඳහා යොදාගෙන ඇත. එය කතාව කියැවීමේදී වඩා පහසුවක් ගෙන දෙයි. එහෙත් ලිඛිත භාෂාවෙන් වුවද කියවීමට රුචි වන ආකාරයේ කතාවක් කීම අපහසු නොවන බව කුසුම්සිරි දන්නා බව සිතමි. එසේම එක් එක් පරිච්ඡේදය මුල දී උපුටා දක්වා ඇත්තේ මූලික වශයෙන්ම සුනීත පොඩි හාමුදුරුවන්ගේ සිතිවිල්ල හෝ ප්‍රකාශය අපට ද මොහොතක් සිතීමට නැඹුරු කරවන්නකි. ඒ සටහන නිරූපණය කර ඇති ආකාරය, අකුරුවල ප්‍රමාණය වෙනස් වූවා නම් සුදුසු යැයි මට සිතේ.

මේ කතාව අනුව වරක් නොමග ගොස් සිටි අයෙකුට තමන් අතින් සිදු වූ වැරදි මෙන්ම විශ්වාස කළ හරයන් නිවැරදි කරගෙන යහපත් මිනිසුන් වීමට තවත් අවස්ථාවක් ඇති බව පැහැදිලිය. ඒ සඳහා තවත් අයෙකුගේ උත්ප්‍රේරණයක් අවශ්‍ය විය හැකිය. එය පමණක් නොව තමන්ගේ අධිෂ්ඨානය ද අවශ්‍යය. සුමංගල හිමියන්ගේ සිදුවීම මීට අගනා නිදසුනකි. එමෙන්ම කීපවරක් සොරකම් කර හමුවන තරුණයෙකු යහමගට ගැනීමේ සිදුවීම ද මෙවැන්නකි. මේවා හුදෙක් පොත්වල එන කතාවල පමණක් නොව සැබෑ ජීවිතයේදීද සිදු වන සිදුවීම් බව පැවසීම අසත්‍යයක් නොවේ.

අවසාන වශයෙන් මෙසේ සඳහන් කරමි. කලා කෘතියකින් එය පරිශීලනය කරන්නා ආනන්දයෙන් ප‍්‍රඥාවට ගෙන යා යුතු බවට කියමනක් ඇත. එහෙත් රටේ පළ වන සමහර පොත් පාඨකයා ගෙන යන්නේ ආනන්දයෙන් මරදානට හෝ ආමර්වීදියටය. එවැනි නිර්මාණ අතර, කියවන ඕනෑම අයෙකුට පණිවුඩයක් දෙන කුසුම්සිරිගේ ‘සුනීත හා සුමංගල’ බෙහෙවින් අගය කළ යුත්තකි.

2020.05.01