Thursday, December 27, 2012

පරිසරය පිළිබඳ ‘පේ‍්‍රම කතා‘ පැවසීම හෙවත් සුභවාදී පරිසර සන්නිවේදනය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-12-26, පි. 05
Not available online
(unedited writeup is reproduced below)

මේ ලිපියේ මාතෘකාව කියවන පාඨකයාගේ සිතේ කිසියම් කුහුලක් ජනනය වීම පුදුමයක් නොවේ. පරිසරය හා පේ‍්‍රම කතා අතර සම්බන්ධයක් තිබේද? අනෙක් අතට පරිසරය පිළිබඳව පේ‍්‍රම කතා ලියන්නේ කෙසේද? මේ අයකුට ඇතිවිය හැකි ගැටලූ වේ. මේ පිළිබඳව මුලින්ම මගේ අවධානය යොමු වූ අවස්ථාවේදී මටද සිතුනේ එවැන්නකි. එ් ජෛව විවිධත්වය සන්නිවේදනය ගැන පැවැති සාකච්ඡුාවකදීය. එහෙත් එ් සම්බන්ධව ගැඹුරින් හා වැඩි අවධානයකින් විමසා බැලූ විට මට සිතුනේ එහි කිසියම් වැදගත් අන්තර්ගතයක් ඇති බවයි.

ඇත්තෙන්ම, මෙහිදී පේ‍්‍රමකතා පැවසීම හෝ ලිවීම යනුවෙන් අදහස් වන්නේ පරිසරය හා සොබාදහම පිළිබඳ කරුණු සාධනීය හෙවත් සුභවාදී ආකාරයෙන් සන්නිවේදනය කිරීම (positive communication) කිරීමයි. එ් අනුව එය පාරිසරික අධ්‍යාපනයේ හා සන්නිවේදනයේ කිසියම් ක‍්‍රමවේදයක් හෙවත් මෙවලමක් වේ. ඉන් අදහස් වන්නේ පරිසරයට මිනිසුන් විසින් සිදුකරන බලපෑම නිසා අපට අහිමිවන දේ උලූප්පා දක්වමින් සිදුකරන සන්නිවේදනයට වඩා, පරිසරයට ආදරය කිරීම පිළිබඳ මුල්තැනක් ලබාදෙමින් සුභවාදී ලෙස සන්නිවේදනය කිරීම වඩා ඵලදායක විය හැකි බවය.

මේ ක‍්‍රමවේදය ප‍්‍රවර්ධනය කරන ආයතනයක් ලෙස ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) අධ්‍යාපන හා සන්නිවේදන කොමිසම (CEC) එ්කකය දැක්විය හැකිය. මේ කොමිසම විසින් දියත් කර ඇති ‘පේ‍්‍රමය මිස හානිය නොවේ’ (Love not Loss) නම් වැඩසටහනේ අරමුණ උක්ත ක‍්‍රමවේදය ප‍්‍රචලිත කිරීමය. එ් සඳහා ඔවුන් විවිධ සන්නිවේදන මෙවලම් කිහිපයක් ඔවුන් විසින් වර්ධනය කර කර තිබේ. (බලන්න www.iucn.org/lovenotloss). ඔවුන් ජෛව විවිධත්වය සම්බන්ධව මේ ක‍්‍රමවේදය වැඩි වශයෙන් යොදාගෙන ඇති බව පෙනේ.

ජෛව විවිධත්වය සඳහා සුභවාදී සන්නිවේදනය


අතීතයේ සිට මිනිසුන් පරිසරය හා එක්ව විසූ බවත්, පරිසරයේ ජීවත් වූ අනෙක් සතා සීපාවුන් හා අප අතර සමීපතාවයක් පැවති බවත් අප හොඳින් දන්නා කරුණකි. මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා පරිසරයේ ඇති විවිධ සත්ත්ව හා ශාක විශේෂ මත යැපුනා පමණක් නොව, මේ ගහකොළ හා සතා සීපාවාට ආදරය කිරීමට ඔවුන්ගේ ජීවිතවලම කොටසක් විය. මානව සංස්කෘතිය ඇතුළත සුවිශේෂ තැනක් මේ පාරිසරික සාධකවලට අයත් වූයේ මේ දිගුකාලීන සම්බන්ධය නිසාය. මෙය ලෝකයේ ඕවෑන රටක සංස්කෘතියේ අඩු වැඩි වශයෙන් දැකිය හැකි වේ. එහෙත් මිනිසුන්ගේ අර්ථදැක්වීම අනුවම දිනෙන් දින දියුණුව කරා ගිය මිනිසා කිසියම් දිනයක පරිසරයෙන් ඈත් වන්නට පටන් ගත්තේය. ඉන් පසුව මිනිසා හා පරිසරය අතර ඇති සම්බන්ධය, මිනිසුන් හා සොබාදහම අතර පැවැති සමීපතාව නැතිවී ගියේය. මේ වන විට අපි සොබාදහමෙන් හා පරිසරයෙන් තවදුරටත් ඈත් වෙමින් සිටිමු. එහෙත් අනාගතය කෙසේ වේදැයි තීරණය කරන්නට මේ කාලයයි. අප තවදුරටත් පරිසරයෙන් හා සොබාදහමෙන් ඈත් වන්නේද, නොඑසේ නම් සොබාදහමට ආදරය කරන්නට යොමු වන්නේද යන්න තීරණය කිරීමට මේ කාලයයි. මෙහිදී මේ පේ‍්‍රමය පිළිබඳ සන්නිවේදනය වඩා යහපත් ප‍්‍රතිඵල ලබාදිය හැකි බව පෙන්වාදී තිබේ.

මෙතැනදී අප පරිසරයෙන් ඈත් වීම හෙවත් අපට වැරදුණු තැන් ගැන නොව ප‍්‍රමුඛතාවය දිය යුත්තේ වඉා සුභවාදී වන අප හා පරිසරය අතර වූ අතීත සම්බන්ධය පිළිබඳවය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, වනජීවීන් වඳවී යාම, වාසස්ථාන අහිමිවීම වැනි කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් සිදුකරන සන්නිවේදනයට වඩා පරිසරයට හා වනජීවීන්ට ඇති ආදරයට මුල්තැනක් ලබාදෙමින් සිදුකරන සන්නිවේදනය වඩා සාර්ථක විය හැකි බව ඉන් කියැවේ. පේ‍්‍රම කතා යනුවෙන් අදහස් වන්නේ මෙයයි.

සුභවාදී සන්නිවේදනයක උපායමාර්ග

සුභවාදී පරිසර සන්නිවේදනයක් සඳහා යොදාගත හැකි උපායමාර්ග කිහිපයක් හඳුනාගෙන තිබේ. එ්වා පුද්ගලික අත්දැකීමක් බවට පත්කිරීම (personalise), මානවරූපිත්වයක් ලබාදීම (humanise) හා ප‍්‍රසිද්ධියට පත්කිරීම (publicise) යනු මේ ක‍්‍රියාමාර්ත වේ. මේ උපායමාර්ග භාවිතකරමින් සාර්ථක ප‍්‍රතිඵල යොදාගෙන ඇති අවස්ථා කිහිපයක් සඳහා උදාහරණද ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වී තිබේ.

නිකරගුවාවේ කැස්බෑවුන් ආරක්ෂා කිරීම සඳහා යොදාගත් ක‍්‍රමවේදය මේ අතරින් එකක් සේ දැක්විය හැකිය. කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම නිසා එරට කැස්බෑවුන් මුහුණදී තිබුනේ බරපතළ තර්ජනයකටය. මෙහිදී ‘මම කැස්බෑ බිත්තර ආහාරයට නොගනිමි’ (I don’t eat turtle eggs) නම් ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන ලද අතර ළමුන් සම්බන්ධ කරගෙන සිදුකරගෙන කැස්බෑ සංරක්ෂණය පුද්ගලික අත්දැකීමක් බවට පත් කිරීමටද (personalise) කටයුතු කර ඇත. කැස්බෑවන් වෙනුවෙන් දිනයක්ද වෙන්කර සමරා තිබේ. මීට ලැබුණු ප‍්‍රසිද්ධිය හමුවේ මේ වැඩසටහන හරහා රට පුරා කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම අඩු කිරීමට හැකියාව ලැබී ඇත.

බංගලාදේශයේ සුන්දර්බාන් කඩොලාන වනාන්තර ප‍්‍රදේශයේ වාසය කරන බෙංගාලි ව්‍යාඝ‍්‍රයින් ආරක්ෂා කරගැනීමටද මෙවැනි ක‍්‍රමවේදයක් මගින් හැකියාව ලැබී ඇත. එහිදී දඩයක්කරුවන් හා දැව හෙළන්නන් අතින් මරණයට පත් ව්‍යාඝ‍්‍රයන් ආරක්ෂා කරගැනීමට යොදාගෙන ඇත්තේ සුන්දර්බාන් වනාන්තරය මාතෘත්වය ආරෝපණය කරන ‘මාතාවක් වැනි සුන්දර්බානය’ (Motherlike Sundarbans) නම් තේමාවයි. එය ප‍්‍රාදේශීය ප‍්‍රජාව අතර අතීතයේ සිට තිබූ සැලකිල්ල නැවතත් ඇතිකිරීමකි. විශේෂයෙන් ඔවුන්ට අවශ්‍ය බොහෝ දේ සපයා දෙන සුන්දර්බාන් වනාන්තරය සැබැවින්ම ඔවුන්ට මාතාවකි. මේ ප‍්‍රජාවගේම අත්දැකීම් හා කතා යොදාගත් ප‍්‍රචාරක ව්‍යාපාරයක් සාර්ථක ලෙස දියත් කිරීමට හැකි වී තිබේ. එ් අනුව සොබාදහමට මානවරූපිත්වයක් ලබාදීම (humanise) සිදුකර ඇති බව පෙනේ. මිනිසුන් වනයට ආදරය කිරීම හරහා ව්‍යාඝ‍්‍රයින් ආරක්ෂා කරගැනීමට යම් සහයෝගයක් ලැබී ඇති බව පෙනේ.

මේ ක‍්‍රමවේදය බි‍්‍රතාන්‍යය ඇතුළතද සාර්ථක ලෙස යොදාගෙන තිබේ. එ් ගෙවතු ආශ‍්‍රිත පක්ෂීන් ආරක්ෂා කිරීම සඳහාය. එහෙත් මෑත කාලයේදී මේ පක්ෂි විශේෂ රැුසකගේ ගහන අඩුවෙමින් ගොස් තිබේ. දිනෙන් දින ජනතාව අතරින් ඈත්වන දෙයක් ගැන දැනුවත් කිරීම මෙහිදී සංරක්ෂණවේදීන් මුහුණ දුන් අභියෝගයකි. ඊට පිළියමක් ලෙස ඉදිරිපත් වූ සාර්ථක උපාය මාර්ගයක් වූයේ වසරේ එක් සති අන්තයක් ජනතාවගේ අවධානය පක්ෂි නිරීක්ෂණය සඳහා යෙදවීමය. එ් ‘මහා ගෙවතු පක්ෂි නිරීක්ෂණය’ (Big Garden Birdwatch) නම් වැඩසටහනක් හරහාය. මේ හරහා ලබාදුන් පුළුල් ප‍්‍රචාරණ ව්‍යාපාරය (publicise) හරහා පක්ෂීන් පිළිබඳ දැනුවත් බව හා සංරක්ෂණ ආකල්ප වර්ධනය කිරීමට අවස්ථාවක් ලැබී ඇත.

ජෛව විවිධත්වයෙන් බාහිර භාවිතය

පරිසරය සම්බන්ධ වෙනත් අංශ කෙරේද මේ ආකල්පය මුල්කරගනිමින් සන්නිවේදනය සිදු කළ හැකියැයි අපට සිතේ. නිදසුනක් ලෙස ගතහොත් ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය හා පාරිසරික ගැටලූවලට විසඳුම් සෙවීමේදීද සුභවාදී ලෙස බැලීම කිසියම් ආකාරයකින් ඵලදායී විය හැකිය.

අනෙක් අතට පාරිසරික කරුණු පිළිබඳව සුභවාදී ආකාරයෙන් බැලීම පරිසර අධ්‍යාපනයේදීද වැදගත්ය. විශේෂයෙන් ළමුන් දැනුවත් කිරීම අනාගත පරපුරේ ආකල්ප හැඩගැසීමේලා වැදගත් බව බොහෝ කලක පටන් පිළිගෙන ඇති කරුණකි. එහිදී පමණක් නොව වැඩිහිටියන් අතර පවා වෙනසක් ඇති කිරීමට සුභවාදී සන්නිවේදනයට හැකි බව ඉහත සඳහන් නිදසුන් මගින් පෙනේ.

කෙසේ වෙතත් ඇතැම් බරපතළ මට්ටමේ පාරිසරික ගැටලූවලට එරෙහිව සිදුකරනු ලබන සැබෑ ජනතා අරගල හා උද්ඝෝෂණවල වැදගත්කම අඩුවන බවක් ඉන් අදහස් නොවේ. එහෙත් එවැනි අරගලයක් සැබෑ ජන අරගලයක් වීම සඳහා ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. එහිදී පරිසරය හා මිනිසා අතර ඇති සම්බන්ධය පිළිබඳ සුභවාදී ආකාරයකින් විමසා බැලීම වැදගත් වේ. පරිසරය මිනිසාගෙන් වෙන්වීම අද දවසේ සියලූ පාරිසරික ගැටලූවලට බලපා ඇති බව පැහැදිලිය.

පාරිසරික ‘හස්තසටහන’

සුභවාදී දැක්මක් සඳහා වැදගත්වන එක් උදාහරණයක් අපේ අසල්වැසි ඉන්දියාවෙන් බිහි වී තිබේ. එය හස්තසටහන (handprint) සේ හැඳින්විය හැකිය.

බොහෝ දෙනෙක් පාරිසරික පියසටහන (environmental footprint) පිළිබඳව අසා ඇති බවට සැකයක් නොමැත. එය ජල පියසටහන ආදි වශයෙන් විවිධ ආකාරයෙන් දැක්වීමටද හැකිය. මෙහිදී සිදු වන්නේ අපේ විවිධ ක‍්‍රියාකාරකම් සඳහා පරිසරය කෙතරම් ප‍්‍රමාණයකින් යොදාගැනෙන්නේද යන්න ගණනය කිරීමය. මිනිසුන් පරිසරයේ සම්පත් අසීමිත ලෙස භාවිත කිරීම පිළිබඳව අදහසක් ලබාගැනීමට, පාරිසරික විනාශය පිළිබඳව අදහසක් ලබා ගැනීමට හා මිනිසුන් පරිසරයට සිදුකරන බලපෑම ගැන අදහසක් ලබා ගත හැකි ප‍්‍රමාණාත්මක නිර්ණායකයක් ලෙස පාරිසරික පියසටහන දැක්විය හැකිය. කෙසේ වෙතත් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ඒ හරහා අදහසක් ලැබෙන්නේ සුළු පිරිසකට පමණක් විය හැකිය.

එහෙත් හස්තසටහන යනුවෙන් හැඳින්වෙන්නේ මීට වඩා වෙනස් සංකල්පයකි. එයින් ගම්‍ය වන්නේ පරිසරයේ තිරසරභාවය වෙනුවෙන් හා පරිසරය වඩා යහපත් තැනක් කිරීම සඳහා සඳහා අපට කළ හැක්කේ කුමක්ද යන්නය. හස්ත සටහනෙන් දැක්වෙන්නේ අපේ පරිභෝජනයේ හා ලෝකයේ ඉසිලූම් ධාරිතාව අතර තුලිතතාවයක් ඇති කිරීම සඳහා තනි පුද්ගලයකු ලෙස හා සාමූහිකව කළ හැකි දේ පිළිබඳව මිනුමකි. එය තිරසරභාවය සඳහා කළ හැකි සුභවාදී කටයුතු හා කැපවීම පිළිබඳව සංකේතයක් ලෙස සැලකිය හැකිය. ඊට සුභවාදී ක‍්‍රියාකාරකම්, මෙතෙක් කළ කටයුතු මානනය කිරීම, කැපවීම, රැුකවරණය හා සහයෝගය යන කරුණු ඇතුළත් වේ.

මේ හස්තසටහන ගණනය කිරීම සඳහා වන මෙවලමක් මේ වන විට සකස් කර තිබේ. නිදසුනක් ලෙස අන්තර්ජාලය හරහා හස්තසටහන ගණනය කරගැනීමට හැකිය. (www.handprint.in/handprintquiz.aspx) එය මිනිසුන්ගේ ක‍්‍රියාකාරිත්වයේ විවිධ අංශ පුළුල් ලෙස මේ පිළිබඳව සලකා බලා සකස් කරන ලද්දක් බව පෙනේ. එහිදී පරිසරයට, සමාජයට හා ආර්ථිකයට අදාළ කරුණු පිළිබඳව අපේ ක‍්‍රියාකාරකම් මානනය කර හස්තසටහන ගණනය කරනු ලැබේ. එහි අගය අනුව තමන් කෙතරම් පරිසර හිතවාදී කටයුතුවල යෙදෙන්නේද යන්න ගැන කිසියම් අවබෝධයක් ලබාගත හැකිය. අවම ළකුණු ගනන වන බින්දුවෙන් කියැවෙන්නේ අදාළ පුද්ගලයාවේ තිරසරභාවය වෙනුවෙන් සිදුකරන පරිසර හිතකාමී කටයුතු අවම බවය.

පාරිසරික හස්තසටහන භාවිතයට පැමිණ තවමත් එතරම් කලක් ගතව නොමැත. එය බිහිවන්නේ කුඩා දරුවකුගේ අදහසක් මත බව ඇතැම් විට විශ්වාස කිරීමද අපහසු විය හැකිය. එහෙත් එය එසේය. ඉන්දියාවේ ක‍්‍රියාත්මක පරිසර අධ්‍යාපනය පිළිබඳ මධ්‍යස්ථානය (Centre for Environment Education) මගින් අන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ, හයිද්‍රාබාද් ප‍්‍රදේශයේ පාසලක 2005 වර්ෂයේ පැවැත්වූ අධ්‍යාපනික වැඩසයහනකදී දස හැවිරිදි සරෝජා නම් පාසල් සිසුවියක ඉදිරිපත් කළ අදහසක් අනුව මේ සංකල්පය නිර්මාණය වේ. 2007 වර්ෂයේදී යුනේස්කෝ ආයතනයේ පාරිසරික අද්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේදී හස්තසටහන ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡුාවට ලක්විය. මේ වන ඊට කිසියම් පිළිගැනීමක් ලැබී ඇති අතර බොහෝ රටවල එය අධ්‍යාපනික මෙවලමක් ලෙස භාවිත වේ.

Not available online (unedited writeup is reproduced below)