Friday, August 16, 2013

ජලය, සමාජයීය අර්බුද හා ගැටුම්

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-08-14, පි. 2-3
Vidusara: http://www.vidusara.com/2013/08/14/feature1.html


රතුපස්‌වල හා අවට ප්‍රදේශවල භූගත ජලයේ ඇති වූ ගැටලු හේතුවෙන් උද්ගත වූ අර්බුදය මේ වන විට අප සමාජයේ සාකච්ඡාවට ලක්‌ ව ඇති මාතෘකාවකි. රතුපස්‌වල ජනතාවට ඒ ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ යම් ගැටලුවක්‌ ඇති ව තිබූ අතර ඔවුන් ගේ චෝදනාව වූයේ ප්‍රදේශයේ පිහිටි කම්හලක්‌ මේ සඳහා පාදක වූ බව ය. ඔවුන් මින් සති කිහිපයකට පෙර ආරම්භ කළ ජනතා උද්ඝෝෂණය ක්‍රමයෙන් දුරදිග ගිය බවක්‌ පෙනේ. එහි බරපතළ ප්‍රතිඵලය වූයේ අගෝස්‌තු මස පළමුවැනි දා ආසන්න ප්‍රධාන නගරය වන වැලිවේරිය ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමින් ජීවිත තුනක්‌ ජාතියට අහිමි වීම ය. මේ පිළිබඳ විවිධ ආකාරයේ අදහස්‌ උදහස්‌ හා චෝදනා කිරීම් පසුගිය සතිය පුරා ජනමාධ්‍ය ඔස්‌සේ දැකිය හැකි විය. එසේ ම මේ සිදුවීම හරහා රජයට පක්‌ෂ හා විපක්‌ෂ කණ්‌ඩායම් ලෙස විවිධ පාර්ශ්ව ගොනු වන ආකාරය ද දක්‌නට තිබිණි. එහෙත් අවාසනාවකට මෙන් ජලය පිළිබඳව මිනිසුන් සතු අයිතිය හෑල්ලු කිරීම ද අඩු වැඩි වශයෙන් මෙහි දී දැකිය හැකි වූ බව සඳහන් කළ යුතු ය.

ජලය නිසා මෙවැනි සමාජයීය අර්බුද ඇති වීම සාමාන්‍ය කරුණකි. එයට හේතුව වන්නේ ජලය මිනිසුන්ට නැති ව ම බැරි අත්‍යවශ්‍ය සම්පතක්‌ වීම ය. ජලය නොමැති ව තම ජීවිත පවත්වාගැනීමට, වගා කිරීමට හෝ එදිනෙදා බොහෝ කටයුතු සිදු කරගැනීමට මිනිසුන්ට නොහැකි ය. විශේෂයෙන් පානීය ජලය මෙන්ම කෘෂිකාර්මික ජල සැපයුම පිළිබඳ යම් අර්බුදයක්‌ ඇති වුව හොත් එය බෙහෙවින් ගැටලු සහිත වනු ඇත. ජල සුලබතාව හා ජලය කළමනාකරණය කරගැනීමට ඇති හැකියාව බිඳවැටීම නිසා අතීත ලෝකයේ පැවැති ශිෂ්ටාචාර පවා අවදානමකට ලක්‌ වූ අවස්‌ථා පවතී.

ජලය සපයාගැනීම හෝ බෙදාගැනීම පිළිබඳව ඇති වන ගැටලු නිසා සමාජයීය අර්බුද ඇති වූ අවස්‌ථා රැසක්‌ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. ජල අර්බුද සඳහා බලපාන කරුණක්‌ වන්නේ ජලය පිළිබඳ විවිධ අංශවල ඇති ඉල්ලුම සම්බන්ධ ගැටලු බව පිළිගෙන ඇති කරුණකි. මේ අර්බුද රටවල් දෙකක්‌ අතර, එක ම රටක ප්‍රදේශ හෝ ප්‍රාන්ත දෙකක්‌ අතර මෙන්ම ගම් හෝ නගර කිහිපයක්‌ අතර ආදි වශයෙන් විවිධ විය හැකි ය. මේ ආකාරයෙන් ඇති වන ජල අර්බුද ඇතැම් විට ගැටුම් දක්‌වා වුව ද වර්ධනය වීමට පවා ඉඩ තිබේ. රටවල් අතර ජලය පිළිබඳ යුද්ධ ඇති නො වුව ද, ඒවා විවිධ ගැටුම් සඳහා පදනම් ව ඇති බව පෙනේ.

අප්‍රිකාවේ රටවල් අතර ජලය සම්බන්ධ අර්බුද ඇති අතර නයිල් නදියේ ජලය බෙදාගැනීම පිළිබඳව මේ වන විට ඊජිප්තුව, ඉතියෝපියාව හා සුඩානය අතර ඇති ව තිබෙන අර්බුදය මෙවැනි එක්‌ නිදසුනකි. ඒරල් මුහුදේ ජල සැපයුම සම්බන්ධ අර්බුදය මධ්‍යම ආසියාවේ රටවල් අතර ඇති තවත් ගැටලුවකි. එසේ ම මෑත අතීතයේ දී අප්‍රිකාවේ ඇති වූ ඇතැම් ගැටුම් සඳහා ජලය පිළිබඳ අර්බුද ද හේතු වී ඇති බව පෙනේ. එක ම රටක ප්‍රාන්ත දෙකක්‌ අතර ජලය සම්බන්ධව ඇති වූ ගැටලුවක්‌ ලෙස, කාවේරි ගංගාවේ ජලය බෙදාගැනීම ඉන්දියාවේ තමිල්නාඩු හා කර්නාටක ප්‍රාන්ත අතර ඇති අර්බුදය හා මුල්ලපෙරියර් ජලාශය සම්බන්ධව කේරළ හා තමිල්නාඩු ප්‍රාන්ත අතර ඇති අර්බුදය දැක්‌විය හැකි ය.

මේ ආකාරයෙන් ම ආසන්න ගම් හෝ නගරවල වාසය කරන ජන කොටස්‌ දෙකක්‌ අතර ද ජලය බෙදාගැනීම පිළිබඳ අර්බුද ඇති විය හැකි ය. එසේ ම ජලය භාවිත කරමින් ජනතාව පීඩාවට පත් කළ අවස්‌ථා ද ඇතැම් රටවලින් වාර්තා වී තිබේ. ඉරාකයේ සදාම් හුසේන් පාලන සමයේ දී වගුරු බිම් ආශ්‍රිත ව දිවි ගෙවූ ජන කොටසක්‌ පාලනය කිරීමට අදාළ වගුරු බිමට ඇති ජලය සැපයුම සීමා කිරීම මීට නිදසුනක්‌ ලෙස දැක්‌විය හැකි ය.

එහෙත් මේ සියල්ලට වඩා ජලය පිළිබඳ සුලබව දැකිය හැකි අර්බුදය වන්නේ ජල හිඟය හා ජල දූෂණය නිසා පීඩා විඳින ජනතාවක්‌ ඊට විසඳුම් ඉල්ලා සිටිමේ දී සිදු කරන අරගලයි.

ශ්‍රී ලාංකේය උදාහරණ

ජලය පිළිබඳ ගැටලු අපේ රටේ ඇති වූ අවස්‌ථා ද හිඟ නො වේ. කෙසේ වෙතත් අපේ රටේ ජලය හා සම්බන්ධව වැඩි වශයෙන් ඇති වී තිබෙන්නේ ජල හිඟය හෝ ජලය නොමැති වීම නිසා ඇති වී තිබෙන අර්බුද බව පෙනේ.

මෙවැනි එක්‌ සිදුවීමක්‌ ලෙස කිරිඳිඔය ජල අර්බුදය දැක්‌වීමට හැකි ය. කිරිඳිඔය වාර්මාර්ග හා ජනාවාසකරණ ව්‍යාපෘතිය යටතේ 1980 දශකයේ ලුණුගම්වෙහෙර ජලාශය ඉදි කරන ලද නමුත් ප්‍රමාණවත් ජල ප්‍රවාහයක්‌ නො තිබීම නිසා ඒ ව්‍යාපෘතිය යටතේ පදිංචි කරන ලද ජනතාවට ප්‍රමාණවත් ජල සැපයුමක්‌ තිබුණේ නැත. මේ නිසා කෘෂිකර්මය සඳහා මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් ජල සැපයුමක්‌ නොමැති වීමෙන් ඉතා බරපතළ සමාජයීය අර්බුදයක්‌ ඇති විය. එය වඩාත් උග්‍ර වූයේ දෙ දහස දශකයේ මුල් කාලයේ දී ඇති වූ දැඩි නියඟයත් සමඟ ය. මේ නිසා අදාළ ජනතාව ප්‍රදේශය හැර යන තත්ත්වයකට පත් වූ අතර, එය රටේ මෙන්ම ජාත්‍යන්තරව ද සාකච්ඡාවට ලක්‌ වූ මාතෘකාවක්‌ විය. මේ තත්ත්වය විසඳීම සඳහා අදාළ ප්‍රදේශයටට වෙනත් ජල සැපයුමකින් ජලය සැපයීමට සිදු විය. ඒ අනුව වෙහෙරගල ජලාශය තැනීමෙන් මැණික්‌ ගඟේ ජලය කිරිඳිඔය නිම්නයේ ලුණුගම්වෙහෙරෙ ජලාශයට සපයා දී තිබේ.

ජලය පිළිබඳ සමාජයීය අර්බුද උග්‍ර වූ තවත් අවස්‌ථාවක්‌ ලෙස පශ්චාත් සුනාමි තත්ත්වය දැක්‌වීමට හැකි ය. සුනාමියෙන් අවතැන් වූ ඇතැම් ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමේ දී ජල මූලාශ්‍ර පිළිබඳව ගැටලු ඇති වූ අවස්‌ථා හිඟ නො වේ. මෙවැනි ගැටලු ප්‍රදේශ කිහිපයක ඇති වූ බව අපි දුටිමු.

අනෙක්‌ අතට පානීය ජලය ඉල්ලා ජනතාව විසින් සිදු කරනු ලබන ඉල්ලීම් විවිධ ජනමාධ්‍ය ඔස්‌සේ අපට බොහෝ විට දකින්නට ලැබේ. විශේෂයෙන් ඔවුන්ට මේ සම්බන්ධව ඇති ගැටලු වන්නේ පානීය ජලය සපයා ගැනීමේ දුෂ්කරතා, ප්‍රමාණවත් ජල සැපයුමක්‌ නොමැති වීම, ජලයේ පිරිසිදු බල පිළිබඳ ගැටලු, ජලයේ අධික කඨිනත්වය හා සම්බන්ධ ගැටලු ආදියයි. සමස්‌තයක්‌ ලෙස ඉන් පෙන්වා දෙන්නේ පානීය ජලයේ ඇති වැදගත්කමයි. මේ වන විට අපේ රටේ ජනතාව ගෙන් නළ ජල සැපයුමක්‌ ඇත්තේ සියයට 43.6ක්‌ පමණ තරම් පිරිසකට පමණි. ඒ අනුව රටේ ජනගහනයෙන් වැඩි පිරිසකට නළ ජල පහසුකම් නොමැති බව පෙනේ. (එහෙත් ඉන් කියෑවෙන්නේ ඔවුන් ගේ ජල සැපයුම අපිරිසිදු බව නො විය හැකි ය. ළිං ජල සැපයුම මීට නිදසුනකි. කෙසේ වෙතත් රටේ ප්‍රදේශ සමහරක භූගත ජලය පානය සඳහා එතරම් සුදුසු නො වන බව ද අප අමතක නො කළ යුතු ය).

රතුපස්‌වලින් ඔබ්බට

අප මේ මාතෘකාවට යොමු වූයේ රතුපස්‌වල මතු වූ ජල අර්බුදය නිසා ය. රතුපස්‌වල ජල ගැටලුවට හේතු වූ කරුණු පිළිබඳව විවිධ අංශ විවිධ සාධක දක්‌වන බවක්‌ පෙනෙයි. මේ ලියන මොහොත වන විට ද විවිධ ආයතනවලින් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වෙමින් තිබේ. මේ පර්යේෂණවල ප්‍රතිඵල මත උක්‌ත ජල දූෂණය සඳහා හේතු වී ඇති කරුණු මොනවා ද යන්න ඉදිරියේ දී වඩාත් පැහැදිලි වනු ඇත. මේ වන විට රජයේ අදාළ බලධාරීන් ක්‍රියාත්මක ව ඇති බැවින් ප්‍රදේශයේ ජනතාව සඳහා පානීය ජල සැපයුමක්‌ ඇති කිරීම සඳහා යම් ස්‌ථිර විසඳුමක්‌ ද ලැබීමට හැකි ය. මේ පිළිබඳ වාර්තාවලට අනුව මේ සඳහා වන ව්‍යාපෘතියක්‌ ද අනාගතයේ දී ක්‍රියාත්මක වනු ඇත.

අප මේ ලිපියේ නැවත නැවතත් දැක්‌වූයේ මිනිසුන්ට අත්‍යවශ්‍ය සම්පතක්‌ ලෙස ජලයේ ඇති වැදගත්කමයි. එය ඇතැම් විට නො සලකා හැර තිබේ. මිනිසාට අත්‍යවශ්‍ය සම්පතක්‌ වන ජලය පිළිබඳ ගැටලුවල දී අදාළ අංශවල බලධාරීන් මීට වඩා කඩිනමින් හා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව මෙහි දී අවධාරණය කළ යුතු කරුණකි. රතුපස්‌වලින් අප උගත යුතු එක්‌ පාඩමක්‌ වන්නේ මෙයයි.

එසේ ම මෙහි දී ඇතැමුන්ට අමතක වී ඇති බවක්‌ පෙනෙන එහෙත් අපට අමතක කළ නොහැකි එක්‌ කරුණක්‌ තිබේ. එනම් ජලය යනු මිනිසුන්ට පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස සියලු ජීවීන්ට ම අත්‍යවශ්‍ය වූ අමිල සම්පතක්‌ බව ය. කිසියම් ප්‍රදේශයක ජල දූෂණය හා සම්බන්ධ ගැටලුවක්‌ ඇති වූ විට ඒ සඳහා වෙනත් ප්‍රදේශයක සිට පිරිසිදු ජල සැපයීම පිළියමක්‌ වන්නේ මිනිසුන්ට ය. එහෙත් අදාළ පරිසර පද්ධතියට මේ ජල දූෂණය නිසා ඇති විය හැකි බලපෑම බොහෝ විට අප අමතක කරන කරුණකි. උග්‍ර ජල දූෂණයක්‌ ඇති වන අවස්‌ථාවල දී ඉන් සමස්‌ත පරිසර පද්ධතියට ම බලපෑමක්‌ ඇති වේ. අදාළ පරිසරයේ වැවෙන ශාකවලට මෙන්ම එහි ජීවත් වන සත්ත්ව ප්‍රජාවට ද මින් බලපෑමක්‌ ඇති විය හැකි ය. මේ බලපෑම ඇතැම් විට දැඩි වෙනස්‌කම් ඇති කරන්නක්‌ විය හැකි ය. මේ නිසා සමස්‌ත පරිසර පද්ධතියේ පැවැත්ම මිනිසුන් ගේ පැවැත්ම සඳහා වැදගත් වන නිසා අවශ්‍ය වන්නේ සමස්‌තයක්‌ ලෙස අදාළ පරිසර දූෂණයට පිළියමක්‌ යෙදීම හා එවැනි දූෂණයක්‌ ඇති වීම වළක්‌වා ගැනීම ය.

එසේ ම කර්මාන්ත ද අපේ රටට අවශ්‍ය කරන බැවින් ඒවායින් පිට කරනු ලබන අපද්‍රව්‍ය පිළියම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හා ඒවා අඛණ්‌ඩව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා ගැලීමට ප්‍රමාද නො විය යුතු ය. මේ සඳහා ප්‍රමාණවත් නීති පද්ධති අපේ රටේ ඇත. අපට අවශ්‍ය වන්නේ ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට අදාළ බලධාරීන් විසින් තහවුරු කරනු ලැබීම ය. එවිට ජනතාවට ද වාසය කිරීමට යෝග්‍ය පරිසරයක්‌ ඉබේ ම සැකසෙනු ඇත. මේ වන විට සාකච්ඡාවට ලක්‌ ව ඇති එක්‌ යෝජනාවක්‌ වන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති කර්මාන්තශාලාවලින් ඇති වන පාරිසරික ගැටලු සොයා බලා විසඳුම් සැපයීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමින් පරිසර කමිටු පිහිටුවීම ය. එය ප්‍රදේශවාසීන්, රාජ්‍ය නිලධාරීන් හා කර්මාන්තරුවන් ගෙන් සමන්විත වන බව වාර්තා වී තිබේ. මේ කමිටු පරිසරය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සංවිධානවලට විවෘත වන්නේ නම් වඩාත් යෝග්‍ය වේ. එසේ ම මේ පියවර සක්‍රියව පවත්වා ගැනීමට මෙන්ම එය රටේ අනෙක්‌ ප්‍රදේශවල ද ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

http://www.vidusara.com/2013/08/14/feature1.html

දේශගුණ වෙනස්‌වීම හා ජීවීන්ගේ පරිණාමය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-07-31
Vidusara: http://www.vidusara.com/2013/07/31/feature1.html


වර්තමාන දේශගුණ වෙනස්‌වීම හමුවේ ඇති වී තිබෙන විවිධ පාරිසරික වෙනස්‌වීම්වලට අනුහුරු වීම සියලු ජීවී විශේෂවල පැවැත්ම සඳහා ඉතා වැදගත් බව අප දන්නා කරුණකි. වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේ පරිණාමය වෙමින් පැවත ආ ඇතැම් ජීවී විශේෂවල අනාගත පැවැත්ම රඳා පවතින්නේ මේ මත ය. මේ පිළිබඳව සිදු වන පර්යේෂණවලින් පෙනී යන්නේ ඇති වී තිබෙන තත්ත්වයේ බරපතළ බව පෙන්වා දෙන කරුණු ය.

ඇතැම් අධ්‍යයනවලින් පෙනෙන පරිදි ඇතැම් ජීවී විශේෂවලට මේ පාරිසරික වෙනස්‌වීම්වලට අනුහුරු වීම තුළින් තම විශේෂයේ පැවැත්ම තහවුරු කරගැනීමට හැකියාවක්‌ තිබේ. එහෙත් ඒ තත්ත්වයට වෙනස්‌ සාධක ද බලපාන බව පෙනේ. කෙසේ වෙතත් තවත් සමහර විශේෂවලට මෙන්ම ඇතැම් ජීවී කාණ්‌ඩවලට බලපා ඇත්තේ වඳ වීමේ තර්ජනයක්‌ බව තවත් පර්යේෂණවලින් පෙනේ.

අප අද සාකච්ඡා කිරීමට තෝරාගත් මෑත දී වාර්තාවූ මෙවැනි පර්යේෂණ දෙකකින් හෙළි වන කරුණු අනුව අපට පෙනෙන්නේ මේ තත්ත්වය අප සිතනවාට වඩා සංකීර්ණ එකක්‌ බව ය.

ඇතැම් පක්‌ෂීන්ට අවස්‌ථාවක්‌ තිබේ

අප තෝරාගත් පළමු අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇති ආකාරයට, පරිසරයේ ඇති වන වෙනස්‌වීම්වලට ගැලපෙන වේගයකින් ප්‍රවේණික වෙනස්‌ වීම් ඇති වීමේ වැඩි අවස්‌ථාවක්‌, ප්‍රමාණයෙන් කුඩා සහ කෙටි ජීවිත කාලයක්‌ ඇති පක්‌ෂි විශේෂවලට තිබේ. කෙසේ වෙතත් එවැනි වේගවත් පරිණාමයක්‌ දක්‌වන ජීවී විශේෂවල පැවැත්ම සඳහා වුව ද, ඔවුන් විසින් පමණක්‌ දක්‌වනු ලබන පරිණාමය ප්‍රමාණවත් නො විය හැකි ය. මේ කරුණු හෙළි වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ් ප්‍රදේශයේ වාසය කරන ග්‍රේට්‌ ටිට්‌ (Great tit - Parus major) නම් කුඩා පක්‌ෂි විශේෂය පිළිබඳව වසර 50ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ සිදු කරන ලද අධ්‍යයන ආශ්‍රයෙනි.

යම් ජීවී විශේෂයකට පරිසරයේ ඇති වන වෙනස්‌වීම්වලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ස්‌වකීය රූපානුදර්ශය වෙනස්‌ කරගැනීමට ඇති හැකියාව රූපානුදර්ශී සුවිකාර්යතාව (phenotypic plasticity) නම් වේ. මේ හැකියාව නිසා කෙටිකාලීන වෙනස්‌වීම්වලට ඔවුන්ට කෙතරම් දුරට ඔරොත්තු දී පැවතිය හැකි ද යන්න තීරණය කරයි. ජීවී විශේෂ පරිසරයේ දැකිය හැකි කෙටිකාලීන වෙනස්‌ වීම්වලට දක්‌වන ප්‍රතිචාර දිගුකාලීන අධ්‍යයනවලින් හඳුනාගත හැකි ය. කෙසේ වෙතත් මේ සාර්ථකත්වය සඳහා බලපාන තවත් ප්‍රධාන කරුණක්‌ වන්නේ ඔවුන් තම පරිසරයේ දැකිය හැකි ප්‍රධාන සාධකවලට දක්‌වන ප්‍රතිචාර ය. නිදසුනක්‌ ලෙස ආහාර සුලබතාව දැක්‌විය හැකි ය. එසේ ම යම් විශේෂයක ආයු කාලය ඉහළ යන විට නව පරපුරක්‌ බිහි කිරීමට ගත වන කාලය ද වැඩි වේ. එවැනි අවස්‌ථාවල දී පරිණාමික අනුහුරුවීම් සෙමින් සිදු වන අතර අදාළ විශේෂයට දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වන වඳ වී යැමේ තර්ජනයට තනි ව ම මුහුණ දීම අසීරු විය හැකි ය.

මේ අධ්‍යයනය සඳහා ඉහත කී පක්‌ෂියා යොදාගෙන ඇත්තේ, වසන්ත සමයේ ඉවතට එන දළඹුවන් ගේ ගණන ඉහළ ම අගයට පැමිණෙන කාලයේ දී පක්‌ෂි පැටවුන් බිහි වීම හා ගැලපිය යුතු බැවිනි. මේ පක්‌ෂීන් ගේ ප්‍රධාන ආහාරයක්‌ වන දළඹුවන් ඔවුන් ගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. මේ කාලය ඇතුළත පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වයේ වර්ධනය හා සමඟ මේ දළඹුවන් ගේ උපරිමය පවත්නා කාල වකවානුවේ ඇති වී තිබෙන වෙනස්‌වීම් හා මේ හා සමගාමීව පක්‌ෂීන් බිත්තර දමන කාල වකවානුවල වෙනස්‌ වීම් මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇත.

මෙහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට අදින් වසර පනහකට පෙර මේ පක්‌ෂීන් බිත්තර දැමූ දින වකවානුවට වඩා සති දෙකක්‌ පමණ කලින් මේ වන විට බිත්තර දමන බව පෙනේ. මේ යාන්ත්‍රණය නිසා මේ පක්‌ෂීන්ට අනාගතයේ දී වසරක්‌ තුළ ඇති වන සෙල්සියස්‌ අංශක 0.5ක උෂ්ණත්ව වර්ධනයකට වුවත් ඔරොත්තු දීමට හැකි වනු ඇත. එහෙත් මේ වන විට පිළිගෙන ඇති වඩාත් ආන්තික සංසිද්ධිය යටතේ වුව ද ඇති විය හැකි උෂ්ණත්ව වර්ධනය වසරකට සෙල්සියස්‌ අංශක 0.03ක පමණ ප්‍රමාණයක්‌ පමණක්‌ වන නිසා මේ පක්‌ෂීන්ට දේශගුණ වෙනස්‌ වීමේ තර්ජනයට අනුහුරු වීමට වැඩි අවස්‌ථාවක්‌ තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් අනාගතයේ ඇති වන උෂ්ණත්ව වෙනස්‌ වීමට ඔරොත්තු දීමට මේ පක්‌ෂීන්ට අවස්‌ථාවක්‌ තිබේ. කෙසේ වෙතත් රූපානුදර්ශීය සුවිකාර්යතාව නොමැති වූයේ නම්, මේ පක්‌ෂීන් වඳ වී යැමට 60%ක පමණ අවස්‌ථාවක්‌ තිබිණි. (මූලාශ්‍රයPLoS Biology, DOI:10.1371/journal.pbio.1001605)

පෘෂ්ඨවංශීන්ට ඇති වඳ වීමේ තර්ජනය

කෙසේ වෙතත් තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇති අකාරයට, සැම ජීවී කාණ්‌ඩයක්‌ ම මේ තරම් වාසනාවන්ත නො වේ. එහි දී පෙන්වා දී ඇත්තේ ඉදිරි වර්ෂ සියයක පමණ කාලය ඇතුළත සිදු විය හැකි උෂ්ණත්ව වෙනස්‌ වීමට ගැලපෙන ආකාරයෙන් අනුවර්තනය වීමට නම් බොහෝ පෘෂ්ඨවංශී විශේෂ අදට වඩා 10,000ක ගුණයක්‌ තරම් වේගයෙන් පරිණාමය විය යුතු බව ය.

මේ අධ්‍යයනය සඳහා ද යොදාගෙන ඇති ක්‍රමවේදය වැදගත් හා පුළුල් වූවකි. මෙහි දී සැම භෞමික පෘෂ්ඨවංශී කාණ්‌ඩයක්‌ ම පාහේ නියෝජනය වන ආකාරයෙන් විශේෂ 540ක්‌ පමණ පිළිබඳ දත්ත භාවිත කර ඇත. මේ ජීවීන් ගේ පරිණාමික ඉතිහාසයේ දී පැවැති වෙනස්‌ දේශගුණික තත්ත්වවලට ගැලපෙන ආකාරයෙන් හැඩගැසීමට මේ ජීවීන්ට කෙතරම් කාලයක්‌ ගත වී ද යන්න පරීක්‌ෂා කර බලා ඇත. ඉන් පසුව මේ පරිණාමික වේගය හා වර්තමාන තත්ත්වය හමුවේ මේ සියවස අවසානයේ දී ඇති වෙතැයි අපේක්‌ෂා කරන දේශගුණ වෙනස්‌ වීමේ වේගය හා සංසන්දනය කර තිබේ. මෙසේ අතීතයේ පැවැති අනුහුරු වීමේ වේගය හා අනාගතයේ අපේක්‌ෂිත දේශගුණ වෙනස්‌ වීමේ වේගය හා සංසන්දනය කරන ලද පළමු පර්යේෂණය ලෙස මෙය හැඳින්විය හැකි ය.

ඔවුන් මේ සඳහා යොදාගෙන ඇත්තේ වංශ ප්‍රවේණිය (phylogenies) හෙවත් ජීවි විශේෂ එකිනෙකට සම්බන්ධ වන ආකාරය පෙන්වන පරිණාමික පවුල් ගස්‌ පිළිබඳ දත්ත ය. මෙහි දී එවැනි පරිණාමික පවුල් දහ හතක්‌ පිළිබඳව අවධානය යොමු කර ඇත. ඉන්පසුව මේ දත්ත හා එක්‌ එක්‌ විශේෂයේ දේශගුණ නිකේතනය (climatic niche) හා සම්බන්ධ කර දේශගුණ නිකේතනවල හා ජීවී විශේෂවල වෙනස්‌කම් කෙබඳු ආකාරයකින් සිදු වේ දැයි විමසා බලා ඇත.

යම් ජීවී විශේෂයක්‌ කෙතරම් පැරැණි ද යන්න අප දන්නේ නම්, අදාළ ජීවියා ගේ දේශගුණ නිකේතනය කාලය සමඟ කෙතරම් වේගයකින් වෙනස්‌ වන්නේ ද යන්න විමසා බැලිය හැකි ය. මෙහි දී ඔවුන්ට පෙනී ගොස්‌ ඇත්තේ බොහෝ විශේෂ පරිණාමය වී ඇත්තේ වසර මිලියනයක්‌ හා මිලියන කිහිපයක්‌ අතර කාලයක්‌ ඇතුළත උෂ්ණත්වයේ සාමාන්‍යය සෙල්සියස්‌ අංශක 1-2ක්‌ අතර ප්‍රමාණයකින් වෙනස්‌ වී ඇති පරිසරයක දී බව ය.

මෙහි දී අනාවරණය වී ඇති පරිදි, සාමාන්‍යයෙන් බොහෝ ජීවී විශේෂ සෙල්සියස්‌ අංශක එකක උෂ්ණත්ව වර්ධනයකට අනුහුරු වන්නේ වසර මිලියනයක පමණ කාලයක දී ය. පරිණාමය යනු එතරම් සෙමින් සිදු වන ක්‍රියාදාමයකි. මේ ප්‍රමාණය හා අනාගතයේ ඇති විය හැකි උෂ්ණත්ව වෙනස පිළිබඳව සසඳා බලා ඇත. ඒ අනුව ඉදිරි වසර සියයක පමණ කාලය ඇතුළත ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක හතරකින් ඉහළ ගිය හොත් එය ඉතා වේගවත් වර්ධනයක්‌ වන අතර ඊට ගැලපෙන ආකාරයෙන් පරිණාමය වීමට බොහෝ විශේෂවලට නොහැකි වනු ඇත. මේ වෙනස්‌වීම්වලට ගැලපීමට නම් කෙතරම් වේගයකින් පරිණාමය විය යුතු ද යන්න විමසා බලා ඇත. එය බොහෝ අවස්‌ථාවල දී දස දහස්‌ ගුණයක්‌ තරම් විය හැකි ය.

මේ අනුව පෙනෙන්නේ 2100 වර්ෂය වන විට ඇති විය හැකි දේශගුණ තත්ත්වවලට මුහුණ දීමට හැකි තරම් වේගයකින් බොහෝ භෞමික පෘෂ්ඨවංශී විශේෂවල පරිණාමයක්‌ සිදු නො විය හැකි බව ය. එවැනි තත්ත්වයක්‌ තුළ ජීවීන්ට දේශගුණ වෙනස්‌වීමේ බලපෑම්වලින් ආරක්‌ෂා වී සිය පැවැත්ම තහවුරු කරගත හැක්‌කේ යෝග්‍ය දේශගුණ තත්ත්ව ඇති පරිසරයක්‌ වෙත සංක්‍රමණය වීමෙනි. එ නම් ඔවුන් අද ජීවත් වන ප්‍රදේශයේ උෂ්ණත්වය හා සමාන උෂ්ණත්වයක්‌ ඇති ප්‍රදේශවලට ය. නිදසුනක්‌ ලෙස ඉහළ උන්නතාංශයක්‌ ඇති ප්‍රදේශවලට හා උතුරු හෝ දකුණු ධ්‍රැව දෙසට හෙවත් ඉහළ අක්‌ෂාංශ දෙසට සංක්‍රමණය වීම දැක්‌විය හැකි ය. යෝග්‍ය පරිසරයක්‌ වෙත සංක්‍රමණය වීම හැම විට ම සාර්ථක නො වේ. ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති පරිදි, ස්‌වකීය පැවැත්ම ආරක්‌ෂා කරගැනීමට ප්‍රමාණවත් තරම් වේගයකින් ඇතැම් සත්ත්ව විශේෂවලට පවා සංක්‍රමණය වීම අසීරු ය. ඊට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් සහ ස්‌වාභාවික භූගෝලීය බාධක නිසා ද මේ සංක්‍රමණවලට බාධා ඇති වීම හා අඛණ්‌ඩව සංක්‍රමණය වීම අසීරු වීමයි.

අනෙක්‌ අතට කිසියම් ජීවී විශේෂයක බොහෝ ගහන වඳ වී ගිය ද, ඇතැම් ගහන ආරක්‌ෂා වීම හරහා අදාළ ජීවී විශේෂයේ අඛණ්‌ඩ පැවැත්ම තහවුරු විය හැකි ය. එහෙත් මේ කිසිදු විකල්පයක්‌ නොමැති වුව හොත්, සිදු විය හැකි දේ වන්නේ වඳ වී යැමයි. (මූලාශ්‍රයEcology Letters, DOI:10.1111/ele.12144)

මානව බලපෑමේ තරම

මිහිතලය මත ස්‌වකීය පැවැත්ම සඳහා වූ සාධාරණ අහිමි වීමේ තර්ජනයකට ජීවී විශේෂ රැසක්‌ ලක්‌ ව ඇත්තේ වර්තමාන දේශගුණ වෙනස්‌ වීම හා එහි අහිතකර ප්‍රතිඵල නිසා ය. දේශගුණ වෙනස්‌ වීම සඳහා බලපාන මූලික සාධකය වන්නේ පසුගිය ශතවර්ෂ දෙකකට ම`දක්‌ අධික කාලයක්‌ තුළ මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වය හා වර්තමාන සංවර්ධන ආකෘතියයි. මේ වන විට මේ සඳහා මිනිසා ගේ දායකත්වය පිළිබඳව කිසිදු සැකයක්‌ නොමැති තරම් ය.

එහෙත් ඉහත සඳහන් කළ වෙනස්‌ වීම් වළක්‌වාගැනීමේ වැඩි හැකියාවක්‌ හා අවස්‌ථාවක්‌ ඇත්තේ ද මිනිසාට ම ය. ඊට හේතුව ඔහු ගේ ක්‍රියාකාරිත්වය හා එහි ප්‍රතිඵල පාලනය කළ හැක්‌කේ මිනිසාට ම වන නිසා ය. ඒ සඳහා ඔහුට වගකීමක්‌ හා යුතුකමක්‌ ද ඇත. මේ මිහිතලය ලොව වෙසෙන සියලු ජීවීන්ට අයත් ය. වර්තමාන දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම මෙන්ම ජීවී විශේෂ සංරක්‌ෂණය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කිරීමට ද මේ කාලය බව පෙනේ.


http://www.vidusara.com/2013/07/31/feature1.html