Thursday, September 10, 2015

කැලණි ගඟේ ජල දුෂණය කෙරෙහි යොමු වූ අවධානය ප්‍රමාණවත් ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.09.2015, 5 පිටුව (Vidusara)

(Do we have sufficient attention of pollution of Kelani River?)

http://www.vidusara.com/2015/09/09/feature2.html



බියගම පිහිටා ඇති කොකාකෝලා සමාගම් පරිශ්‍රයේ සිදු වූ අනතුරක්‌ හේතුවෙන් කැලණි ගඟට ඩීසල් එක්‌ වීමේ සිදුවීම ගැන මුලින් ම දැනගැනීමට ලැබෙන්නේ පසුගිය අගෝස්‌තු 17 වැනි දින ය. එම සමාගම් පරිශ්‍රයේ සිදු කරන ලද කිසියම් ඉදිකිරීම් කටයුත්තක දී ඩීසල් ගෙන යන නළයකට හානි වී ඩීසල් කාන්දු වී තිබේ. එදින සේවයේ නියුතු වූ සමාගම් සේවක පිරිස්‌ අදාළ තෙල් කාන්දුව නතර කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විට ද සැලකිය යුතු තෙල් ප්‍රමාණයක්‌ කැලණි ගඟට එක්‌ වී තිබේ. (මේ ප්‍රමාණය තෙල් ලීටර් 1900ක්‌ පමණ බව එක්‌ වාර්තාවක සඳහන් විය.) කොළඹ හා අවට ප්‍රදේශ රැසකට ජලය සපයන අඹතලේ ජල පවිත්‍රාගාරය පිහිටා ඇත්තේ කැලණි ගඟේ මේ ප්‍රදේශයට වඩා පහළිනි. මේ නිසා ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන ලද අතර බලධාරින් විසින් ගඟෙන් ජලය ලබාගැනීම නවතා දමා මේ තෙල් ඇතුළත් ජලය ගඟ දිගේ පහළට ගසා ගෙන යැමට සලස්‌වා තිබිණි.

කෙසේ වෙතත් යළිත් අගෝස්‌තු මස 28 වැනි දින කැලණි ගඟේ ජලයේ තෙල් තට්‌ටුවක්‌ ඇති බව අනාවරණය විය. ඒ නිසා කෙටි දැනුම් දීමකින් පසුව එදින කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ හා දෙහිවල-ගල්කිස්‌ස යන මහ නගරසභා බලප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන ලදි. මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ ගඟේ ඉවුරුවල තිබූ තෙල් කාන්දුවේ අපද්‍රව්‍ය ඒ දිනවල ඇති වූ අධික වර්ෂාවට සේදී ගොස්‌ ගඟට එක්‌ වීම බව බලධාරීන් විසින් හෙළි කරන ලදි. අපවිත්‍ර ජලය ගඟ පහළට ගසා යැමට හා පවිත්‍රාගාරයේ පිරිසිදු කිරීම් සඳහා රාජ්‍ය බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා ජල සැපයුම එදින සවස්‌ වන විට යථා තත්ත්වයට පත් කරගත හැකි විය. මේ කටයුතු සඳහා වැය වී ඇත්තේ මහජන මුදල් ය.

මේ තෙල් කාන්දුව පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගත් මධ්‍යම පරිසර අධිකාරිය පළමුව අදාළ සමාගමේ පරිසර ආරක්‌ෂක බලපත්‍රය තහනම් කළ අතර, ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවන ලදි. පසුව අගෝස්‌තු මස 31 දින එම තහනම ඉවත් කරන ලද අතර ඒ පරිසර අධිකාරිය පවසන පරිදි ඒ කොන්දේසි සහිත ව ය. සමාගම තවදුරටත් තෙල් කාන්දු වීම් ඇති නො වන ලෙස ක්‍රියා කිරීම මීට හේතුව සේ දක්‌වා තිබිණි. එසේ ම අධිකාරීන් විසින් නියම කරන ලද නිර්දේශ සපුරා ලීම මේ කියන කොන්දේසි අතර වේ. ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු යළිත් ආරම්භ වූ බව ද වාර්තා විය. මේ අතර අපවිත්‍ර තෙල් ඉවත් කිරීම හා ජල පොම්පාගාරයේ ඇති වූ හානි සඳහා වූ වියදම ප්‍රතිපුර්ණය කිරීමට අදාළ සමාගම එකඟ වී ඇති බවක්‌ පුවත්පත්වල වාර්තා විය. එක්‌ වාර්තාවකට අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට සිදු වූ අලාභය රුපියල් මිලියන 130කට අධික බව පැවසේ. මේ අලාභයට තෙල් නිසා අපවිත්‍ර වීමෙන් පාරිභෝගිකයන්ට බෙදාහැරීමට නොහැකි වූ ජලය ලීටර් 200,000ක්‌, පවිත්‍රාගාරයේ තෙල් පිරිසිදු කරන ජල පෙරණ හා ජල තටාක පිරිසිදු කිරීම හා මේ කටයුතු සඳහා යොදාගත් අතිරේක සේවකයන් හා අතිරේක බලශක්‌තිය සඳහා වූ වියදම ද අයත් බව පෙනේ. මේ අතර ගඟේ ජලය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා මැදිහත් වූ සාගර පරිසර ආරක්‌ෂණ අධිකාරිය හා සේවා සැපයූ පෞද්ගලික ආයතනයකින් ද රු. 177,000 ක්‌ හා මිලියන 1.45ක්‌ ලෙස වියදම් ඉල්ලා ඇති බව වාර්තා වී තිබේ. මේ අනුව සමස්‌ත වියදම මීට වඩා ඉහළ යා හැකි අතර, එය අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ වෙත යොමු විය හැකි ය.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා පුවත්පතකට ජල සම්පාදන මණ්‌ඩලයේ සභාපතිවරයා පවසා තිබූ ආකාරයට ඉන්දියාවට යෑවූ ජල නිදර්ශක සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණවලින් හෙළි ව ඇති පරිදි, ගංගා ජලයේ අඩංගුව තිබුණේ මෙතිලින් වර්ගයේ කාබනික සංයෝගයකි. ඇතැම් සාම්පලයක අදාළ සංයෝගය ලීටරයකට මිලි ග්‍රෑම් 0.5ක පමණ මට්‌ටමින් හමු වී ඇති බව ද වාර්තා වේ. (මේ කරුණ අදාළ සිදුවීම පිළිබඳ ගැටලූ ඇති කරන අතර, ඒ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේ දී අපේක්‌ෂා කළ හැකි ය.)

රතුපස්‌වල හා කැලණි ගඟ


උක්‌ත සිදුවීම පිළිබඳව විමසිල්ලෙන් බැලීමේ දී පෙනී ගිය කරුණක්‌ වන්නේ මේ තෙල් කාන්දුව නිසා කැලණි ගඟ දූෂණය වීම හා ජලය අපවිත්‍ර වීම ගැන සමාජයේ එතරම් අවධානයක්‌ යොමු නො වූ බවයි. අනෙකක්‌ තබා ජනමාධ්‍යවල ද මේ පිළිබඳව මුලින් දැකිය හැකි වූයේ අඩු උනන්දුවකි. කෙසේ වෙතත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ මේ පිළිබඳව බොහෝ දේ සාකච්ඡාවට ලක්‌ විය. ඒවා අතර රජයේ බලධාරීන් ගේ නො සැලකිල්ලේ සිට අදාළ සමාගමේ නිෂ්පාදන ප්‍රතික්‌ෂේප කිරීම දක්‌වා වූ විවිධ කරුණු උලූප්පා දක්‌වා තිබිණි. පුදුමයකට මෙන් සමාජයේ මෙවැනි සිදුවීම් පිළිබඳ කටයුතු කරන පරිසර හා සමාජ සංවිධාන හා ක්‍රියාකාරීන් අතර පවා මේ සිදුවීම පිළිබඳව ප්‍රමාණවත් ක්‍රියාකාරිත්වයක්‌ දැකිය නොහැකි විය.

රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක ගේ පානීය ජල සැපයුම හා ගංගාවක්‌ දූෂණය වීම මෙසේ රටේ එතරම් අවධානයක්‌ යොමු නො වූයේ ඇයි ද යන්න ම`දක්‌ විමසීම වැදගත් කරුණකි. එහි දී අපට මෑතක දී ඇති වූ රතුපස්‌වල ජල ගැටලූව පිළිබඳව අවධානය යොමු කළ හැකි ය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති රතුපස්‌වල ප්‍රදේශයේ පානීය ජලයේ ආම්ලිකතාව ඉහළ යැමට හේතුව කම්හලකින් නිකුත් වූ රසායනික ද්‍රව්‍ය බව ජනතාව ගේ චෝදනාව විය. එහෙත් විද්‍යාත්මක පර්යේෂණවලින් ඒ බව සනාථ නො වූ බව රාජ්‍ය බලධාරීන් ගේ මතය විය. එහෙත් ප්‍රදේශවාසී ජනතාව අදාළ සමාගම වසා දමන තෙක්‌ උද්ඝෝෂණය කළ හ. මේ සඳහා ඇතැම් දේශපාලන බලවේග මෙන්ම රාජ්‍ය නො වන සංවිධාන හා ක්‍රියාකාරීන් ගේ මැදිහත් වීම දැකිය හැකි විය. එසේ ම එය පැවැති රජයට එරෙහි උද්ඝෝෂණයක්‌ බවට ද පත් විය. මේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස ජීවිත කිහිපයක්‌ අහිමි වූ අතර අදාළ කම්හල එතැනින් ඉවත් කරගන්නා ලදි. එසේ ම ජනතාවට පානීය නළ ජල සැපයුමක්‌ ලබා දීමට ද රජය පියවර ගත්තේ ය. ඒ දිනවල රතුපස්‌වල පිළිබඳව කතා කළ අය අතර, පරිසරවේදීන්, දේශපාලනඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද වූ අතර එය කිසියම් ආකාරයක ජාතික ප්‍රශ්නයක්‌ බවට පත් වූ බවක්‌ දැකිය හැකි විය.

කෙසේ වෙතත්, පසුගිය දා කැලණි ගඟට තෙල් නිකුත් වූ අවස්‌ථාවේ දී රටේ එවැනි තත්ත්වයක්‌ දක්‌නට නො වී ය. මේ සිදුවීමෙන් ඇති වූ බලපෑම් පිළිබඳව කිසිදු දේශපාලන බලවේගයක්‌ හෝ රාජ්‍ය නො වන සංවිධාන හෝ සැලකිය යුතු තරම් උනන්දුවක්‌ දැක්‌වූ බවක්‌ අසන්නට දකින්නට නො ලැබිණි. එසේ ම ඇතැම් ක්‍රියාකාරීන් පවා සිය ෆේස්‌බුක්‌ ගිණුමේ කළ ප්‍රකාශයකින් හෝ සටහන් කිහිපයකින් ඔබ්බට ගිය බවක්‌ දැකිය හැකි නො වී ය. බැලු බැල්මට පෙනුණේ මේ පිළිබඳව ජනතාව ද එතරම් උනන්දුවක්‌ නො දැක්‌වූ බවකි. නැත හොත්, එය ගැන කතා කරන්නට කිසිවක්‌ නොමැති ද යන්න පවා ගැටලූවක්‌ විය. එසේ ම මුල් ම තෙල් කාන්දුව ඇති වූයේ අගෝස්‌තු 17 දින වුවත්, මේ ගැන තරමක්‌ හෝ සාකච්ඡාවක්‌ දැකිය හැකි වූයේ පසුගිය 28 වැනි දින කොළඹ හා අවට ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන ලැබූ පසු ව ය. එසේ ම ඇතැම් ප්‍රදේශවල ජලයේ තෙල් සහිත බව හා දුගඳක්‌ දැනුණු පසුව ය. ඒ අනුව මේ ගැටලූව ජනතාවට දැනුණේ පානීය ජලයේ අර්බුදයක්‌ ඇති වූ පසුව බව පෙනේ.

ගංගා පරිසරය නොවැදගත් ද?


මෙහි දී මතු වන කරුණු කිහිපයක්‌ පවතී. ඉන් පළමුවැන්න වන්නේ කැලණි ගඟ පරිසර පද්ධතියට තෙල් එකතු වීම නිසා කිසියම් ආකාරයක පරිසර දූෂණයක්‌ සිදු වූ බව වැදගත් නො වූයේ ද යන්න ය. එය මිනිසුන්ට බලපාන බව වටහාගත් අවස්‌ථාවේ දී පමණක්‌ ඒ ගැන සැලකිල්ලක්‌ යොමු වුයේ ඇයි? ගඟ සහ ගංගා පරිසරයට මින් සිදු වූ බලපෑම ගැන කිසිදු අවධානයක්‌ යොමු නො වී ය. එහෙත් අදාළ තෙල් කාන්දුව සිදු වූ ප්‍රදේශයේ දී හෝ මේ ගංගා පරිසරයට කිසියම් බලපෑමක්‌ ඇති වූ බව පැහැදිලි ය.

කැලණි ගඟ යනු මෙරට ප්‍රධාන ගංගා අතරින් සැලකිය යුතු තරම් දූෂණයකට ලක්‌ වූ පරිසර පද්ධතියකි. අවිස්‌සාවේල්ල සිට පහළ ප්‍රදේශ තෙක්‌ කැලණි ගඟ ආසන්නයේ ඇති කර්මාන්තශාලාවලින් කැලණි ගඟට අපද්‍රව්‍ය එකතු වීම බොහෝ කාලයක සිට සිදු වන්නකි. එහෙත් මේ පිළිබඳව බලධාරීන් ගේ සැලකිල්ල ප්‍රමාණවත් තරම් යොමු ව තිබේ ද යන්න සැකසහිත ය.

රජයේ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහි දී වැදගත් කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ උක්‌ත සිදුවීමේ දී ඇති වූ ජල දූෂණයට හේතු වූයේ කුමන රසායනික ද්‍රව්‍යයක්‌ ද යන්න තීරණය කිêමට අවශ්‍ය පරීක්‌ෂණ සිදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් මෙරට නො තිබූ බවයි. ඒ නිසා අදාළ ජල නිදර්ශක ඉන්දියාවට යෑවීමට සිදු වූ බව බලධාරීන් මාධ්‍යවලට පවසා තිබිණි. මෙවැනි සිදුවීමක දී ඇති වන ප්‍රමාදය වැළැක්‌වීමට එවැනි රසායන ද්‍රව්‍ය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්‌ෂණ සඳහා වූ පහසුකම් මෙරට ස්‌ථාපිත කළ යුතු ව තිබේ.

අවසන් වශයෙන් පැවසිය යුත්තේ මෙවැනි තත්ත්වයක්‌ අනාගතයේ දී ඇති වීමට ඉඩ නො තැබීම සියලූ පාර්ශ්වවල වගකීමක්‌ බව ය. ජලය යනු හුදෙක්‌ මිනිසුන් ගේ පානය පිණිස පවත්නා සම්පතක්‌ පමණක්‌ නො ව, සෙසු ජීවීන් ගේ පැවැත්ම සඳහා ද වැදගත් වන ස්‌වාභාවික සම්පතක්‌ බව අප සිහි තබාගත යුතු ය.

http://www.vidusara.com/2015/09/09/feature2.html

Monday, September 7, 2015

අළු යට ගිනි ලෙස තවමත් පවතින දේශගුණ සංශයවාදය

(Climate skepticism has not died.)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 02.09.2015 (Vidusara)

http://www.vidusara.com/2015/09/02/feature2.html




දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කිරීම හෙවත් දේශගුණ සංශයවාදය (climate skepticism) පිළිබඳ ලියෑවෙන මේ ලිපිය ආරම්භ කිරීම සඳහා පළමුව පෞද්ගලික අත්දැකීම් දෙකක්‌ ඉදිරිපත් කිරීමට අදහස්‌ කළේ ඉන් කියෑවෙන පණිවිඩය ඉතා පැහැදිලි නිසා ය.

කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් මෑත දී සිය අධ්‍යාපනය හමාර කළ මගේ ඥාති තරුණයකු පසුගිය දා මුණගැසුණු අවස්‌ථාවක කීවේ ලෝකයේ දේශගුණ වෙනස්‌ වීමක්‌ නොමැති බව හා එය අසත්‍යයක්‌ බව ය. ඔහු ගේ පදනම පිළිබඳව බැලූ විට ඔහු විදේශීය විෂයමාලාවකින්, වාණිජ්‍යය විෂය ධාරාවක්‌, ඉංග්‍රීසි බසින් හැදෑරූ අයෙක්‌ විය. අප හමු වූ අවස්‌ථාවේ දී ද ඔහු සූදානම් වෙමින් සිටියේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයයක පාඨමාලාවක්‌ හැදෑරීම පිණිස විදේශගත වීම සඳහා ය. මට මෙහි දී ඇති වූ ගැටලුව වූයේ වර්තමාන තරුණ පරපුරේ කෙතරම් පිරිසක්‌ මෙවැනි අදහස්‌ දරන්නේද යන්න ය.

මේ අතර වර්තමානයේ කැනඩාවේ ජීවත් වන මගේ සරසවි සගයකු මීට කලකට පෙර එරට දැකිය හැකි වූ අධික හිමපතන අවස්‌ථාවක දී ඔහු ගේ සමාජ ජාල ගිණුමක සටහනක්‌ තබමින් පැවසුවේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ඔහු තවදුරටත් විශ්වාස නො කරන බවකි. මේ මිත්‍රයා මෙරට සිටිය දී පරිසර ක්‍රියාකාරියකු ලෙස කටයුතු කළ අතර පරිසර අංශයක රැකියාවක්‌ ද කළේ ය. එවැනි වෙනසක්‌ ඔහු තුළ ඇති වූයේ කෙසේ ද යන්න පිළිබඳව මට එළැඹිය හැකි හොඳ ම නිගමනය වූයේ, මේ වෙනස සඳහා ඔහු අද ජීවත් වන පරිසරයේ පැවැති සාමාන්‍ය විශ්වාසයේ යම් බලපෑමක්‌ හේතු වන්නට ඇති බව ය.

මේ දෙදෙනා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව දක්‌වන අදහස්‌ පිළිබඳව සැලකූ විට මට සිතුණේ දේශගුණ සංශයවාදය කිසියම් ආකාරයකින් නව ප්‍රවේශයක්‌ ගෙන ඇති බවයි. එA නූතන පරපුරේ අදහස්‌ සමඟ හා ආන්තික දේශගුණ තත්ත්ව සමඟ මතු වන්නක්‌ ලෙසිනි. සමස්‌තයක්‌ ලෙස ජගත් මට්‌ටමේ දී දේශගුණ සංශයවාදයේ අද තත්ත්වය පිළිබඳව මදක්‌ විමසීමට මට සිතුණේ මේ නිසාවෙනි.

දේශගුණ සංශයවාදය


දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡාවේ ආරම්භයේ පටන් ම ඒ පිළිබඳ විද්‍යාත්මක සාධක ගැන මෙන්ම ඒ සඳහා හේතු වූ කරුණු මොනවා ද යන්න සම්බන්ධව අවිනිශ්චිතතා තිබූ බවට සැකයක්‌ නොමැත. මේ නිසා දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ දිගින් දිගට ම සිදු කරන ලද පර්යේෂණ මත පදනම් ව දේශගුණ වෙනස්‌ වීම මේ වන විට ද සිදු වන බවත්, ඒ සඳහා මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වයේ පැහැදිලි බලපෑමක්‌ පවත්නා බවත් අද වන විට පෙන්වා දී තිබේ. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ඇගැයීම් වාර්තා පෙළෙන් පෙළට මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වයේ බලපෑම් පිළිබඳ සාධක ඉහළ ගොස්‌ ඇති බැවින් ඒ සම්බන්ධ විශ්වාසය ඉහළ ගොස්‌ තිබේ.

ඒ කෙසේ වෙතත් මේ පර්යේෂණ හා ඒවායේ ඇතුළත් කරුණු සම්බන්ධව සැක කරන විද්‍යාඥයන් හා වෙනත් පිරිස්‌ ලෝකයේ එදා සිට ම දැකිය හැකි විය. මේ පිරිස්‌ ඇතැම් විටක මේ පර්යේෂණවල අඩුපාඩු දැක්‌වූ අතර, තවත් අවස්‌ථාවක දී ඔවුන් ගේ ම තර්ක හා පර්යේෂණ මගින් දේශගුණ වෙනස්‌ වීම යනු හුදෙක්‌ ස්‌වාභාවික වූ සංසිද්ධියක්‌ බව පෙන්වා දීමට උත්සාහ කළ ආකාරය දැකිය හැකි විය. මේ පිරිස්‌ හඳුන්වන ලද්දේ දේශගුණ සංශයවාදීන් යන නමිනි.

කෙසේ වෙතත් මෙසේ දේශගුණ සංශයවාදීන් ලෙස අදහස්‌ දැක්‌වූ විද්‍යාඥයන් අතර ප්‍රකට හා පිළිගත් ප්‍රකාශන ඇති පර්යේෂකයන් සිටියේ අඩු වශයෙනි. නිදසුනක්‌ ලෙස ගත හොත් 2012 වර්ෂයේ දී Wall Street Journalys 'දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව කලබල විය යුතු නැහැ' (No Need to Panic About Global Warming) යනුවෙන් අදහස්‌ දැක්‌වීමක්‌ කළ විද්‍යාඥයන් 16 දෙනකු අතරින් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව පිළිගත් පර්යේකයන් සිටියේ සිව් දෙනකු පමණක්‌ බව ඒ දිනවල ජනමාධ්‍ය ඔස්‌සේ පෙන්වා දී තිබිණි. එසේ ම ඔවුන් අතරින් ඇතැම් අයට ෙµdසිල ඉන්ධන කර්මාන්තය හා සම්බන්ධකම් තිබූ බව ද ඒ දිනවල වාර්තා වී තිබිණි.

දේශගුණ වෙනස්‌ වීමට දායක වූ, ඒ නිසා ම කිසියම් තර්ජනයකට ලක්‌ ව තිබූ ෆොසිල ඉන්ධන හා බලශක්‌ති කර්මාන්තයේ යෙදුණු ආයතන මේ දේශගුණ සංශයවාදීන්ට සහයෝගය දීම ආචාරධර්ම පිළිබඳව ගැටලු ඇති කරන්නකි. ඔවුන් ගේ අභිප්‍රාය වූයේ දේශගුණ වෙනස්‌ වීම යනු මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වයක්‌ නිසා සිදු වූවක්‌ නො වන බව තහවුරු කිරීම ය. ඇතැම් විට පෙන්වා දී ඇති පරිදි සංශයවාදී ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ දුම්කොළ සමාගම් අතීතයේ දී ක්‍රියාත්මක වූ ආකාරය හා සමාන ආකාරයකට ය. ඒ දුම්පානය කිරීම සෞඛ්‍යයට හානිකර බවට වූ විද්‍යාත්මක අවවාද හා සාධක සැකකිරීම සඳහා දුම්කොළ සමාගම් ක්‍රියාත්මක වූ ආකාරය හා සමාන ආකාරයකට ය.

සමාජය තුළ සංශයවාදය


මේ සංශයවාදීන් අතර සිටියේ හුදෙක්‌ විද්‍යාඥයන් පමණක්‌ නො වේ. ඇතැම් ජනමාධ්‍ය පවා සංශයවාදී යනුවෙන් හැඳින්විය හැකි විය. එසේ ම ඇතැම් දේශපාලන පක්‌ෂ හා දේශපාලනඥයන් ද ඒ ගණයට ඇතුළත් කළ හැකි විය. ඇතැම් දියුණු රටවල ගතානුගතික දේශපාලනමය අදහස්‌ දැරූ කණ්‌ඩායම් මේ සංශයවාදී අදහස්‌වල එල්බ සිටින අයුරු ද දැකිය හැකි ය. ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්‌ෂය හා ඔස්‌ටේ්‍රලියාවේ ලිබරල් පක්‌ෂය මේ සඳහා නිදසුන් ය. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් රටවල් දේශගුණ සටනින් ඈත් වීම සඳහා පියවර ගත් ආකාරය ද පෙනේ. කැනඩාව හා ඔස්‌ටේ්‍රලියාව මීට නිදසුන් සේ දැක්‌විය හැකි ය. මේ රටවල් සංශයවාදයේ තර්ක උපයෝගි කරගනිමින් විද්‍යාත්මක සාධක නොමැති බව දක්‌වමින් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා ප්‍රමාණවත් වූ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා දේශගුණ සංශයවාදය දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමේ සටනට බාධා කළේ ය.

සාමාන්‍ය ජනතාව අතර දේශගුණ වෙනස්‌ වීම නො පිළිගන්නා පිරිස කෙතරම් ද යන්න ද වැදගත් ය. මේ අතරින් පිරිසක්‌ දේශගුණ වෙනස්‌ වීමක්‌ සිදු නො වන බව සිතන අය වන අතර, තවත් කණ්‌ඩායමක්‌ එසේ ම එය සිදු වෙතත්, ඊට මිනිසුන් වගකිව යුතු යෑයි නො සිතන පිරිසකි. මෙහි ඇති බලපෑම වන්නේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ස්‌වෙච්ඡාවෙන් සිදු කරන කටයුතු සඳහා සාමාන්‍ය ජනතාව ගේ දායකත්වය වැදගත් වන නිසා ය. කෙසේ වෙතත් දියුණු කාර්මික රටවල් සියල්ලේ ම මේ තත්ත්වය දැකිය හැකි නො වේ. ඇමෙරිකාවේ තරම් සංශයවාදීන් ප්‍රමාණයක්‌ හෝ සංශයවාදිත්වයක්‌ යුරෝපයේ දැකිය නොහැකි ය. එසේ ම යුරෝපයේ රටවල් රැසක්‌ ම දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා කැපී පෙනෙන ආකාරයෙන් ඉදිරිපත් ව කටයුතු කරමින් සිටියි.

සංශයවාදය අවසන් ද?


2013/14 වර්ෂයේ දී පළ වූ පස්‌වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවේ දක්‌වා ඇති ආකාරයට විසි වැනි සියවසේ මැදභාගයේ සිට ඇති ව තිබෙන උණුසුම් වීම සඳහා ප්‍රමුඛ හේතුව මිනිසුන් ගේ බලපෑම බවට 'අතිශයින් විය හැකි' (extremely likely) බව විශ්වාස ය. මේ විශ්වාසය එක්‌ එක්‌ ඇගැයීම් වාර්තාවෙන් වාර්තාවට වර්ධනය විය. ඒ අනුව, විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව විශ්වාස කරන්නේ නම්, තවදුරටත් මේ පිළිබඳව සැකසංකා තබාගත හැකි ද යන්න ගැටලුවකි.

බොහෝ දියුණු රටවල විද්‍යාඥයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්‌වා සංශයවාදී අදහස්‌ දරන පිරිස්‌ ප්‍රමාණය මේ වන විට අඩු වී ඇති අතර එය යහපත් ප්‍රවණතාවකි. එහෙත් එය සම්පූර්ණයෙන් ම පහ වී ගොස්‌ ඇති බවක්‌ මින් අදහස්‌ නො වේ.

පසුගිය ජුලි මාසයේ දී Global Environmental Change සඟරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයන වාර්තාවකට අනුව (10.1016/j.gloenvcha.2015.05.003) දේශගුණ සංශයවාදීන් ගේ ප්‍රමාණය පිළිබඳ අදහසක්‌ ලබාගත හැකි ය. කාර්මික රටවල් 14ක එක හා සමාන සමීක්‌ෂණ යොදාගනිමින් සිදු කර ඇති මේ විශ්ලේෂණයට අනුව ලෝකයේ වැඩි ම සංශයවාදී ජනතාවක්‌ වාසය කරන්නේ ඔස්‌ටේ්‍රලියාවේ ය. එA එරට ජනගහනයෙන් 17%ක්‌ පමණ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කරන බැවිනි. දෙවැනි තැනට එන නෝර්වේ රාජ්‍යයේ මේ ප්‍රමාණය 15කි. තුන්වැනි තැන පසු වන නවසීලන්ත ජනගහනයෙන් 13%ක්‌ සංශයවාදීන් වන අතර, අප බොහෝ දෙනා විශ්වාස කරන ඇමෙරිකාවේ ජනගහනයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කරන්නේ 12%ක්‌ පමණ පිරිසකි. එරට පසු වන්නේ සිව්වැනි ස්‌ථානයේ ය. බ්‍රිතාන්‍යය, ස්‌වීඩනය හා පින්ලන්තයේ ජනගහනයෙන් 10%ක්‌ පමණ දේශගුණ සංශයවාදීන් වන බව ද මේ වාර්තාවේ දක්‌වා ඇත. අඩු ම ජනතාවක්‌ සංශයවාදීන් වන්නේ ස්‌පාඤ්ඤයේ වන අතර ඒ 2%ක්‌ පමණ පිරිසකි. (කෙසේ වෙතත් මේ අධ්‍යයනය සඳහා පදනම් කරගෙන ඇත්තේ මේ රටවල 2010-11 දී පමණ කාලයේ දී සිදු කර ඇති සමීක්‌ෂණ බව සැලකිය යුතු ය).

මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් වැදගත් කරුණක්‌ වන්නේ අධික හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයක්‌ තිබීම හා සංශයවාදිත්වය අනුලෝමව සමානුපාතික වන බවයි. එසේ ම අදාළ රට කෙතරම් දුරට අවදානම් සහිත තත්ත්වයක පවතින්නේ ද යන්න ද අනුලෝමව සමානුපාතික වේ. එසේ ම මේ අධ්‍යයනයෙන් පැහැදිලි කර ඇති ආකාරයට සංශයවාදී වීමට බලපාන මූලික කරුණු හා සාධක කිහිපයක්‌ ද වේ. දේශපාලනික වශයෙන් ගතානුගතික (කන්සර්වේටිව්) අදහස්‌ දැරීම ඉන් එකකි. එසේ ම පිරිමින් අතර සංශයවාදීන් බහුල ය. එසේ ම පරිසරය පිළිබඳව දක්‌වන අඩු සැලකිල්ල සංශයවාදිත්වය සඳහා බලපාන තවත් සාධකයකි.

කෙසේ වෙතත් මේ අනුව පෙනෙන්නේ සංශයවාදිත්වය හා සංශයවාදීන් ගේ ගණන මේ වන විට කැපී පෙනෙන ආකාරයෙන් අඩු ව තිබුණ ද, එය අළු යට ඇති ගිනි සේ රැඳී ඇති බවකි. නිදසුනක්‌ ලෙසින් ගත හොත්, අද පවා කිසියම් අධික සිසිල් කාලගුණ තත්ත්වයක්‌, අධික වැසි සහිත තත්ත්වයක්‌ ඇති වුව හොත් මේ සංශයවාදී අදහස්‌ දක්‌වන්නවුන් විවිධ මට්‌ටම්වලින් කරළියට පැමිණෙන ආකාරය අඩුවෙන් වුව ද දැකිය හැකි ය. විශේෂයෙන් පෙර සඳහන් කර ඇති ආකාරයට යම් යම් වෙනත් අවශ්‍යතා ඇති පිරිස්‌ මේ අතර සිටින බව සැලකිය යුතු ය.

කෙසේ වෙතත් දේශගුණ වෙනස්‌ වීම යනු අද වන විට සිදු වෙමින් ඇති දෙයක්‌ හෙවත් යථාර්ථයක්‌ ය යන්න හා සම්බන්ධව විවාදයක්‌ නොමැති බව සඳහන් කළ හැකි ය. වර්තමාන විද්‍යාත්මක දත්ත අනුව ඒ ගැන සැකයක්‌ නැත.

http://www.vidusara.com/2015/09/02/feature2.html