Tuesday, June 27, 2017

මොරොක්‌කෝ පොසිල මගින් නූතන මානව සම්භවය තවත් ඈතට?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.06.2017පි 11,  (Vidusara)


http://www.vidusara.com/2017/06/21/feature6.html




Homo sapiens හෙවත් නූතන මානවයාගේ මෙතෙක්‌ අප දැන සිටි පැරැණි ම පොසිල අදින් වසර 195,000ක්‌ පමණ පැරැණි ය. ඒවා ලැබී ඇත්තේ නැෙගනහිර අප්‍රිකාවේ වර්තමාන ඉතියෝපියාව පිහිටා ඇති ප්‍රදේශයෙනි. අදින් වසර 160,000ක්‌ පමණ පැරැණි පොසිල ද එරටින් ලැබී තිබේ. ඒ අනුව නූතන මානවයා ගේ සම්භවය අදින් වසර 200,000ක්‌ පමණ කාලයකට පෙර සිදු වූ බව වැඩි දෙනා ගේ පිළිගැනීම ය. Homo heidelbergensis හෝ Homo rhodesiensis යන මානවයන් ගෙන් නූතන මානවයා අප්‍රිකාවේ දී සම්භවය වී ඇති බව මේ දක්‌වා ලැබී ඇති පොසිල සාධක මත පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ දිනය පිළිබඳව සැක මතු කරන අධ්‍යයන ද ඇතැම් විට ප්‍රකාශයට පත් ව ඇත. ඒවායින් නූතන මානවයා ගේ සම්භවය පිළිබඳ දිනය, වඩා ඈතට ගෙන යැමට යෝජනා කරයි. නිදසුනක්‌ ලෙස ගත හොත් දකුණු අප්‍රිකාවේ ෆ්ලෝරිස්‌බාද් ප්‍රදේශයෙන් හමු වූ අදින් වසර 259,000කට පෙර කාලයකට දින නියම කරන ලද හිස්‌ කබලක නූතන මානවයාට සමීප ලක්‌ෂණ ඇති බව එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී තිබිණි. ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් සිදු කරන ලද තවත් අධ්‍යයනයකට අනුව නූතන මානවයා ඔහු ගේ සමීපතම ඥාතියා වන නියෑන්ඩර්තාල් මානවයා ගෙන් වෙන් වූයේ වසර 500,000කට පමණ පෙර විය හැකි ය. මේ මාසය මුල ප්‍රකාශයට පත් වූ අධ්‍යයන දෙකකින් ද නූතන මානවයා ගේ සම්භවය පිළිබඳ දිනය අදින් වසර 300,000කට පමණ පෙර සිදු වූ බවට යෝජනා කර ඇත. එය මොරොක්‌කෝවෙන් හමු වූ මානව පොසිල සාධක මත පදනම් ව සිදු කරන ලද පර්යේෂණයකි. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature22336 හා 10.1038/nature22335) මේ ලිපිය ඒ අධ්‍යයන ආශ්‍රයෙන් සැකසුණකි.

මොරොක්‌කෝ කැණීමෙන් ලද පොසිල


උතුරු අප්‍රිකාවේ පිහිටි මොරොක්‌කෝවේ අත්ලාන්තික්‌ වෙරළට ආසන්න ව පිහිටා ඇති ජෙබෙල් ඉර්හුඩ් (Jebel Irhoud) නම් ස්‌ථානයෙන් මානව පොසිල මුලින් ම ලැබී ඇත්තේ අහම්බෙනි. ඒ 1961 වර්ෂයේ දී ඛනිජ සොයා සිදු කරන ලද කැණීමකිනි. ඒ අවස්‌ථාවේ දී ලැබුණු පොසිල මානව සාධක පිළිබඳව එම දශකයේ දී වැඩිදුර අධ්‍යයන සිදු කර ඇත. එහෙත් එම මානව පොසිල අස්‌ථි කොටස්‌ හා ගල් ආයුධවල නිශ්චිත භූගෝලීය වයස මෙතෙක්‌ අනාවරණය වී නො තිබිණි. ඒබැවින් එම මානව අස්‌ථි ශේෂ පිළිබඳව විවිධ මත ඉදිරිපත් විය. ඉන් එක්‌ අදහසකින් කියෑවුණේ එම ශේෂ උතුරු අප්‍රිකාවේ විසූ නියෑන්ඩර්තාල් මානවයන් ගේ බවයි. තවත් මතයකට අනුව ඒවා කිසියම් ආදි මානවයකුට අයත් වන අතර, ඔවුන් පසු කලක දී නූතන මානවයන් ගෙන් ප්‍රතිස්‌ථාපනය වී තිබේ.

මේ තත්ත්වය මත 2004 වර්ෂයේ සිට ජෙබෙල් ඉර්හුඩ් ස්‌ථානයේ වඩා පුළුල් පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්‌ සිදු කර ඇත. එහි දී මානව අස්‌ථි ශේෂ 16ක්‌, ගල් ආයුධ හා සත්ත්ව අස්‌ථි ශේෂ

රැසක්‌ හමු වී තිබේ. මේ මානව අස්‌ථි ශේෂ අතර අවම වශයෙන් මිනිසුන් 5 දෙනකුට අයත් වූ හිස්‌කබල්, දත් හා දිගු අස්‌ථි තිබී ඇත. හිස්‌කබල් කොටස්‌, මුහුණේ හා හනු අස්‌ථි කොටස්‌ ඊට ඇතුළත් වේ. මේ සමග මධ්‍ය ශිලා යුගයට අයත් ගල් ආයුධ රැසක්‌ ද ලැබී තිබේ.

හමු වූ ගල් ආයුධ කාල නිර්ණයෙන් පොසිලවල කාලය නිර්ණය කර ඇති අතර, පොසිල අස්‌ථිවල ස්‌වභාවයෙන් පර්යේෂකයන් මේ නූතන මානවයා ගේ පැරැණි ම සාධක බව නිර්ණය කර තිබේ.

පොසිල කාලනිර්ණය


මේ කැණීම්වලින් මානව පොසිල සමග ලැබී ඇති ෆ්ලින්ට්‌ ගල් ආයුධ තාප සංදීප්තතා කාලනිර්ණයට (thermo luminescence) ලක්‌ කිරීමෙන් පෙනී ගොස්‌ ඇත්තේ ඒවා වසර 315,000ක්‌ තරම් පැරැණි බවයි. (පරාසයක්‌ ලෙස ගත හොත් එය වසර 280,000ත් 350,000ත් අතර කාලයකට අයත් වේ.) එසේ ම එම ස්‌ථානයෙන් මින් පෙර හමු වී ඇති දත් පිළිබඳව මානව දත් සම්බන්ධව සිදු කළ විකිරණශීලී යුරේනියම් කාලනිර්ණයකින් ඒ සඳහා වසර 286,000ක දිනයක්‌ ලැබී ඇත. (ඒවා මීට පෙර කාලනිර්ණය කර තිබුණේ වසර 160,000කට ය). එසේ ම මේ මානව පොසිල සමග හමු වී ඇති විවිධ සතුන් ගේ ශේෂ කාලනිර්ණය අනුව ද ඉහත ගල් ආයුධ සඳහා ලැබුණු දින වනවානු සනාථ කරන බව පර්යේෂකයන් ගේ අදහස වේ.

මේ කරුණු අනුව පොසිල වසර 300,000ක්‌ පැරැණි ය යන්න මේ පර්යේෂකයන් ගේ නිගමනයයි. ඒවා මීට පෙර Homo sapiens පොසිල සඳහා ලබා දී තිබූ පැරැණි ම දින වකවානුවලට වඩා වසර 100,000ක්‌ පමණ පැරැණි ය. වෙනත් ආකාරයකින් කිව හොත් මේ පර්යේෂණය මගින් නූතන මානවයා ගේ සම්භවය වසර 100,000ක්‌ පමණ කාලයකින් ඈතට ගෙන යයි.

නුතන මානව පොසිල බව හඳුනාගැනීම


ජෙබෙල් ඉර්හුඩ්වලින් ලැබුණු හිස්‌කබල් අයත් වූයේ කවර මානවයකුට දැයි හඳුනාගැනීමට ද මෙහි දී උත්සාහ දරා ඇත. එම පොසිලවල දත් නූතන මානවයා ගේ දත්වලට වඩා මදක්‌ විශාල ය. එහෙත් ඒවා නියෑන්ඩර්තාල් හෝ වෙනත් ආදි මානවයකු ගේ හෝ දත්වලට වඩා ගැළපෙන්නේ නූතන මානවයා ගේ දත්වලට ය. එසේ ම ලැබුණු මානව අස්‌ථි ශේෂ ආශ්‍රයෙන් ගොඩනගන ලද මුහුණ, නූතන මානවයා ගේ මුහුණ හා සමාන බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මේ පොසිල හිස්‌කබල් නූතන මානවයා ගේ හිස්‌කබලට වඩා මදක්‌ දික්‌ වූ ස්‌වභාවයක්‌ ගනියි. (නූතන මානවයා ගේ ස්‌නායු කපාලය හෙවත් හිස්‌කබලේ මොළය ඇතුළත ප්‍රදේශයේ හැඩය වඩා රවුම් ය). ඒ අනුව ජෙබෙල් ඉර්හුඩ් මානවයා ගේ ස්‌නායු කපාලය (brain case) හා මොළය නූතන මානවයා ගේ මොළයට වඩා වෙනස්‌ ආකාරයකට සංවිධානය වී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ව්‍යqහවිද්‍යාත්මක ව නූතන මානවයා ගේ පරිණාමයේ අනුපිළිවෙළ සම්බන්ධ සාධක මින් ලැබෙන බවයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, නූතන මානවයා ගේ මුහුණේ ස්‌වභාවය ඇති වූයේ ඔවුන් ගේ මොළයේ හැඩය ඇති වීමට පෙර විය හැකි ය. මේ අනුව මොළයේ හැඩය හා ඇතැම් විට මොළයේ ක්‍රියාකාරීත්වය Homo
sapiens මානවයා ගේ පරිණාමය තුළ දී වෙනස්‌ වී ඇති බව පර්යේෂකයන් ගේ අදහසයි.

ජෙබෙල් ඉර්හුඩ්වලින් ලබාගත් මානව ශේෂවලින් DNA ලබාගැනීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වී තිබීම අවාසනාවකි.

මානව පරිණාමය සංකීර්ණය


නූතන මානවයා ගේ පරිණාමික ඉතිහාසය මේ අධ්‍යයනය මගින් වඩාත් සංකීර්ණ කර ඇති බව පෙනේ. පර්යේෂකයන්ට අනුව ජෙබෙල් ඉර්හුඩ් පොසිල නූතන මානවයා ගේ නම් ඒවායේ දින වකවානු වැදගත් ය. නැෙගනහිර අප්‍රිකාවෙන් ලැබුණු ශේෂ අනුව සාමාන්‍යයෙන් මානව සම්භවය සඳහා පිළිගන්නා දිනය වන්නේ අදින් වසර 200,000කට පමණ පෙර එය සිදු වූ බවයි. එහෙත් මේ නව පර්යේෂණය අනුව එම කාලය වසර 300,000 දක්‌වා ඈතට යයි. ඒවා මෙතෙක්‌ හමු වූ පැරැණිම නූතන මානව පොසිල වේ.

එසේ ම උතුරු අප්‍රිකාව ද මානව පරිණාමයේ වැදගත් තැනක්‌ ගන්නා බව හෙළි වී තිබීම ද වැදගත් කරුණකි. එසේ නම් මානව පරිණාමය සිදු වී ඇත්තේ නැෙගනහිර අප්‍රිකාවේ පමණක්‌ නො වේ. මේ අනුව පර්යේෂකයන් ගේ අදහස වන්නේ නූතන මානව විශේෂයේ මුල් ම සාමාජිකයන් අප්‍රිකානු මහාද්වීපයේ විවිධ ප්‍රදේශවල පරිණාමය වන්නට ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අදින් වසර 300,000කට පමණ ඉහත දී නූතන මානව විශේෂයේ යම් පැතිරීමක්‌ (dispersal) තිබූ බවයි. එසේ නැත හොත් ඒ ප්‍රදේශවල වාසය කළේ අපේ විශේෂයේ වඩා ප්‍රාථමික ආකාරයක්‌ විය හැකි ය. මේ කාලයේ දී සහරාව ගංගා හා විල් බහුල වූ ගහකොළින් වැසුණු පරිසරයක්‌ වූ අතර, නැෙගනහිර අප්‍රිකාවේ දැකිය හැකි වූ වන සතුන් මොරොක්‌කෝවේ මේ ප්‍රදේශවලද වාසය කළ බව මේ පොසිල සාධක අනුව පැහැදිලි ය.

කෙසේ වෙතත් මේ පර්යේෂණයෙන් හෙළි වී ඇති කරුණු පිළිබඳව මේ විෂය පිළිබඳ විද්‍යාඥයන් අතර කිසියම් මතභේදයක්‌ ඇති බවක්‌ පෙනේ. ඇතැම් අය ඒ නිගමන හා එකග වුව ද තවත් අය ඒ පිළිබඳ සැක කරන බව පෙනේ. මේ මානවයින් Homo sapiens විය හැකි ද යන්න ගැන මේ ඇතැම් විද්‍යාඥයන් සැක ඇති කර ඇත්තේ මේ හිස්‌කබල් හා නූතන මානවයා ගේ හිස්‌කබල් අතර යම් යම් වෙනස්‌කම් ඇති නිසා ය. විශේෂයෙන් කැපී පෙනන කම්මුල් හා නළලක්‌ නො තිබීම නිසා මොරොක්‌කෝ පොසිල නූතන මානවයා ගේ ලෙස නො සැලකිය යුතු බව එක්‌ විශේෂඥයකු ගේ මතය වී තිබේ. එසේ ම නූතන මානවයාට සමාන වූ මුහුණක්‌ ඇති ආදි මානව විශේෂයක්‌ පිළිබඳ සාධක මීට පෙර ස්‌පාඤ්ඤයෙන් ලැබී ඇති බව ද තවත් විද්‍යාඥයකු පෙන්වා දී ඇත.

ආහාරය පිළිබඳ සාධක


මොරොක්‌කෝ කැණීම් මත එම මානවයා ගේ ආහාරය සම්බන්ධව ද මෙහි දී කරුණු අනාවරණය වී ඇත. ඒ එම ස්‌ථානයෙන් හමු වූ විවිධ අස්‌ථි හා කවච වැනි සත්ත්ව ශේෂ අධ්‍යයනය කිරීමෙනි. එහි දී විවිධ සත්ත්ව විශේෂ 472ක්‌ පමණ විශේෂ මට්‌ටමට හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් මිනිසුන් විසින් ආහාරයට ගන්නා ලද විශේෂ හඳුනාගන්නා ලද්දේ කැපුම් සලකුණු හා කැඩීම් සලකුණු මගිනි. එසේ ම වෙනත් සතුන් විසින් මේ සතුන් ආහාරයට ගන්නා ලද බවක්‌ ඒ ලක්‌ෂණ අනුව පෙනී ගොස්‌ ඇත්තේ අඩු වශයෙනි.

හමු වී ඇති සාධක අනුව ගැසල් නම් ඇන්ටිලෝප් සතුන් මේ මානවයන් විසින් වැඩි වශයෙන් ආහාරයට ගනු ලැබ ඇති බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. එසේ ම සීබ්‍රා, ඉත්තෑවා, හාවා, ඉබ්බා හා මත්ස්‍යයන් වැනි වෙනත් සතුන් මෙන්ම පැස්‌බර බිත්තර ද ඔවුන් ආහාරයට ගෙන තිබේ. එසේ ම මෙහි දී හමු වූ කුඩා සතුන් ගණන අඩු වූ නිසා මේ මානවයන් දඩයම් කිරීමට උනන්දුවක්‌ දැක්‌වූ බව පර්යේෂකයන් ගේ අදහස වේ.

අධික වේගයට හේතුව සෙවීම (බස් කථා 3)

මේ කලකට පෙර සිදු වූ සිදුවීමකි. එදින සවස 3ට පමණ මිත‍්‍රයෙකු සමඟ මම පුරහල ප‍්‍රදේශයේ සිට 138 බසයක නැගී නුගේගොඩ දෙසට පැමිණෙමින් සිටියෙමි. අප පැමිණියේ රුක්මල්ගම බසයකය. ආසන ගණනටවත් සෙනඟ නොසිටි අතර අප අසුන් ගෙන සිටියේ පසුපස දොර අසළ පසුපසම අසුනේය.

ගාටා ගාටා ටිකදුරක් ගිය බසය හදිසියේම අධික වේගයෙන් ධාවනය වන්නට විය. පාරේ ඉන්නා සෙනග ගන්නවත් උනන්දුවක් නොමැති බවක් දිස්විය. වෙනත් බසයක් සමග රේස් එකක්වත් නොමැතිව එතරම් වේගයකින් රුක්මල්ගම බසයක් පැමිණීම නිතර 138 පාරේ ගමන් කරන මට පුදුමයක් විය. මගේ මිත‍්‍රයාටද එය එසේම විය.

මගේ මිත්‍රයා අපට මදක් දුරින් සිටි කොන්දොස්තරට අභිනයෙන් කතා කළේය. කොන්දොස්තරද අප අසළට පැමිණියේය.

"මල්ලි අරයා දවල්ට කාල නැද්ද?" මගේ මිත‍්‍රයා කොන්දොස්තරගෙන් ඇසුවේය.

"කවුද?" එ් කොන්දොස්තරගේ පැනයයි.

"ඩ‍්‍රැයිවර් මල්ලි" මගේ මිත‍්‍රයා ඇසුවේය

වික්ෂිප්ත වූ කොන්දොස්තර "එ් ඇයි?" කියා ඇසුවේය.

"නෑ මෙච්චර හයියෙන් යන හින්ද මං හිතුව තවම දවල්ට කාල නැද්ද කියලා" කියා අපේ මිත‍්‍රයා ඇසුවේය.

කොන්දොස්තර මොකුත්ම කීවේ නැත. බසයද අප බසින තැනට පැමිණ තිබිණි.

ප.ලි. - හයිලෙවල් පාරේ 158 බස් ධාවනය වන 'සාමාන්‍ය වේගයේ' ආරෝහණ පිළිවෙලට ගතහොත් මෙසේය. ඒ ඒ මාර්ගයේ ධාවනය වන බහුතර බස්වල වේගය අනුව මෙය ගණන් බලා අැත. එහෙත් සාමාන්‍ය වේගයට වඩා සෙමින් යන මෙන්ම වේගයෙන් ධාවනය කරන රියදුරන් සිටීමට ඉඩ තිබේ. එ්වාට ඉහත කතාවේ කී අාකාරයේ කරුණු හේතු විය හැකිය.

මත්තෙගොඩ < රුක්මල්ගම < අතුරුගිරිය < මහරගම < කොට්ටාව < හෝමාගම

Monday, June 12, 2017

1872 ගංවතුර සහ අපේ මිනිසුන්ගේ පරිත්‍යාගශීලී බව සුද්දන් දුටු හැටි...

ධනේෂ් විසුම්පෙරුම


දිවයින, 11.06.2017, පි. 02 (Divaina)

http://www.divaina.com/2017/06/11/feature28.html


1904 ගංවතුරේදි නිවාස වන්දිය රුපියල් 15යි




ගංවතුර හා නියඟය වැනි ස්‌වාභාවික ආපදා අපේ රටේද කලින් කල ඇති වේ. එවැනි අවස්‌ථාවලදී විපතට පත්වූවන්ට නොමසුරුව ආධාර කරන්නට ශ්‍රී ලංකාවේ සෙසු පුරවැසියෝ මැලි නොවෙති. විපතට පත් වූ අපේම සහෝදර සහෝදරියන්ට අවශ්‍ය ආහාරපාන, ඇඳුම් පැළඳුම් ආදියද, ළමුන්ට අවශ්‍ය පොත් පත්, බේත් හේත් ආදියද ලබාදීමට සෙසු ජනතාව අතර විශාල උනන්දුවක්‌ දැකිය හැකිය. විපතකදී රජයෙන් ආධාර උපකාර ලබා දෙන්නේ මදක්‌ කල්ගත වීමෙන් පසුවය. එහෙත් ඊට පෙර විපතක්‌ සිදු වූ වහාම මහා පරිමාණයෙන්ද ආධාර උපකාර කිරීමට සාමාන්‍ය ජනතාව කටයුතු කරන ආකාරය මෑත කාලයේ ඇති වූ ගංවතුර, නියඟය මෙන්ම සුනාමිය අවස්‌ථාවේදීද අපි අත්දුටුවෙමු. බුදුදහමින් හැඩගැසුණු සමාජයක එවැනි නිර්ලෝභී පරිත්‍යාගශීලිත්වයක්‌ තිබීම අරුමයක්‌ නොවේ.

මෙය අපට එතරම් අලුත් දෙයක්‌ නොවූවද බ්‍රිතාන්‍යයන් මෙරට පාලනය කළ සමයේ ඔවුන්ට එය තරමක්‌ නුහුරු වූවක්‌ විය. ඒ බව සිතෙන්නේ 19වන සියවසේ හා 20 සියවසේ මුල් කාලයේ ඇති වූ ගංවතුර ආපදා ඇති අවස්‌ථාවලදී දිසාපතිවරුන් හා උපදිසාපතිවරුන් මේ ගැන තබා ඇති සටහන් කියවන විටදීය.

1872 සැප්තැම්බර් මාසයේ කැලණි ගඟ නිම්නයේ ඇති වූ මහ ගංවතුර පිළිබඳ වාර්තාවලට අනුව එය දෙවැනි වූයේ 1820-30 දශකවලදී ඇති වූ ගංවතුර කිහිපයකට පමණි. කැලණි ගඟ දෙපස ඉතා විශාල ප්‍රදේශයක්‌ මේ අවස්‌ථාවේදී ගංවතුරින් යට විය. ඒ වන විට කැලණි ගඟ දෙපස අද අප දකින ගංවතුර වැළැක්‌වීමේ බැමි නොවීය. බොහෝ දේපොළ විනාශයට පත් විය. නිවාස තුන්දහසක්‌ පමණ මුළුමනින්ම විනාශයට පත්වී හතළිස්‌ දහසක පමණ පිරිසක්‌ අවතැන් වී ඇත. ඒ අවස්‌ථාවේදී ඔවුන්ට 'නවාතැන් හා ආහාර සඳහා තමන්ට වඩා වාසනාවන්ත වූ අසල්වැසියන්ගේ හා ආගන්තුකයන්ගේ සරණ පැතීමට' සිදු වූ බව බස්‌නාහිර පළාතේ දිසාපතිවරයා වූ චාල්ස්‌ ලෙයාඩ් සිය පාලන වාර්තාවේ සඳහන් කරයි. ඒ ගංවතුර අවස්‌ථාව 'මිනිසුන්ගේ කරුණාව පරීක්‌ෂාවට ලක්‌ කරන ලද අවස්‌ථාවක්‌' වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. යටත්විජිත ලේකම් තැනට දිසාපති විසින් යෑවූ ලිපියක ඔහු සඳහන් කරන්නේ 'පුද්ගලිකව ලබාදුන් ආධාර උපකාරවලින් අවශ්‍ය වූ සහන ලබාදීමට' හැකි වූ බවයි. ඔරු හිමියන් ඔරු පාරු ලබාදීමට පෙළැඹුණුq ආකාරයද ලිපි ලේඛනවල සඳහන් වේ. එම ගංවතුර අවස්‌ථාවේදී සෙස්‌සන් දැක්‌වූ සහාය පිළිබඳව එවකට මෙරට ආණ්‌ඩුකාරවරයා වූ විලියම් ග්‍රෙගරි කෙතරම් සතුටට පත්වීද යත් දොන් සයිමන් ගුණතිලක හා දොන් ජොහැන්නස්‌ අමරසේකර යන දෙදෙනා විශේෂයෙන් ඇගැයීමට ලක්‌ කර තිබේ.

සෙසු ගංවතුර අවස්‌ථාවලදීද ජනතාව මෙවැනි ආකාරයටම විපතට පත්වූවන්ට පිහිට වී තිබේ. 1904 වර්ෂයේ මැයි මාසයේදී යළිත් කැලණි ගඟේ ගංවතුරක්‌ ඇති වූ අවස්‌ථාවේදී මේ පරිත්‍යාගශීලී ස්‌වභාවය කැපී පෙනේ. එයද දිසාපතිවරුන්ගේ වාර්තාවල සඳහන් වේ. එම ගංවතුරින් කොළඹ හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවලට දැඩිව හානි සිදු ව ඇත. ආණ්‌ඩුකාරවරයා මහජන රැස්‌වීමක්‌ කැඳවූ අතර, එහි ප්‍රතිඵලයක්‌ ලෙස සහන අරමුදලක්‌ පිහිටුවා ඇත. ඊට රුපියල් 13,370ක මුදලක්‌ එකතු වී තිබේ. මේ මුදලෙන් රුපියල් 5,000ක මුදලක්‌ ලබාදුන්නේ ඒ. ජේ. ආර්. ද සොයිසා බව බස්‌නාහිර පළාතේ දිසාපති වූ ජෝර්ඡ් ෆවුලර් විශේෂයෙන් සඳහන් කරයි. ඒ දානපතියා අන් කවරකුත් නොව මෙරට ප්‍රකට දානපතියකු වූ චාල්ස්‌ හෙන්රි ද සොයිසාගේ දෙවැනි පුත්‍රයාය. (එය සැලකිය යුතු මුදලක්‌ වූයේ එවකට පළමු පංතියේ සිවිල් සේවා නිලධාරියකු වූ කොළඹ දිසාපතිවරයාගේ වාර්ෂික වැටුපද රුපියල් 17,000ක්‌ පමණ වූ නිසාය) තම පියා හා මව මෙන්ම ඔවුන්ගේ දරුවන්ද සමාජ සේවයේ යෙදී ඇත. මේ ආධාර අරමුදල පාලනය කිරීම සඳහා කමිටුවක්‌ පත් කර ඇති අතර, එහි සභාපතිත්වය දරා ඇත්තේ බස්‌නාහිර පළාතේ දිසාපතිවරයාය. එහි කටයුතු සම්බන්ධව වාර්තාවක්‌ද ප්‍රකාශයට පත්කර ඇත.

මෙසේ ජනතාව සහන සැපයීමට මැදිහත් වූ ආකාර දෙකක්‌ ඇති බව පෙනේ. එකක්‌ වන්නේ රජයේ අරමුදලකට මුදල් පරිත්‍යාග කිරීමය. නැතහොත් දිසාපති ඇතුළු රජයේ නිලධාරීන්ට මුදල් ලබාදීමය. අනෙක්‌ අතට ජනතාව විසින් විපතට පත්වූවන්ට ඍජුවම ආහාර හා නවාතැන් වැනි ආධාර ලබාදී ඇති බවද පැහැදිලිය.

කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇති වූ ගංවතුර ගැන සඳහන් කරන එහි උපදිසාපති වූ වාල්ස්‌ වෝහාන් රජය ආධාර ලබාදෙන තුරු විපතට පත්වූවන් ජීවත් වූ ආකාරය ගැන සඳහන් කරමින් ඔහු ජනතාවගේ පරිත්‍යාගශීලිත්වය පසසයි. ඒ 'මිනිසුන්ට සහන අවශ්‍ය වූ ගංවතුර අවස්‌ථාවේදී ආහාර හා නවාතැන් ලබාදෙමින් ප්‍රදේශවාසීන් ලබාදුන් ආධාරය සිහිපත් කළ යුතුය' යනුවෙන් සඳහන් කරමිනි.

මේ අතර ගංවතුර අවස්‌ථාවලදී ජනතාව කිසිදු භේදයකින් තොරව ආධාර උපකාර කළ බවද වාර්තා අනුව පෙනේ. 1906 වර්ෂයේදී කළුගඟ උතුරා යැමෙන් ඇති වූ ගංවතුර අවස්‌ථාවේදී 'සියලුම පංතිවලට අයත් ජනතාව ආපදාවට පත් ගම්වැසියන්ට සහන සැලසීම සඳහා දායක වූ බැවින් ආපදාවෙන් මතු වූ දුෂ්කරතා සාර්ථකව වළක්‌වාගත හැකි වූ' බව කළුතර උපදිසාපති සඳහන් කරයි. 1913 ගංවතුර අවස්‌ථාවේදී විපතට පත්වූවන්ට ආධාර ලැබුණේ කුමන ප්‍රදේශවලින්ද යන්න බස්‌නාහිර පළාතේ දිසාපතිවරයා සඳහන් කරයි. ඒවා යාපනයෙන්, දකුණු පළාතෙන්, කුරුණෑගල වැනි පළාත්වලින් සහනාධාර ලැබී තිබිණි. එමෙන්ම සිංගප්පූරුව හා මලක්‌කා වැනි 'සමුද්‍රසන්ධි ජනපද' (Straights Settlements) ලෙස හඳුන්වන ලද බ්‍රිතාන්‍යය යටතේ පැවැති ජනපදවලින්ද ආධාර ලැබුණු බව සඳහන් වේ. මේ ජනපදවල විසූ ලාංකිකයන් මේ සඳහා මුල් වූ බව සිතිය හැකිය. අප මේ කතාකරන කාලයේදී ශ්‍රී ලංකාව හා අග්නිදිග ආසියානු කලාපයේ සෙසු රටවල් අතර ගණුදෙනු සිදු වූයේ නාවුක මාර්ග හරහා බව අප අමතක නොකළ යුතුය. එහෙත් අපේ රටේ ඇති වූ වැදගත් සිදුවීම් වෙනත් රටවල පුවත්පත්වලද පළ විය. ටෙලිග්‍රාප් මගින් පුවත් ලබාදීම දැකිය හැකිය.

1913 ඔක්‌තෝබර් මාසයේ කැලණි මිටියාවතේ ගංවතුර අවස්‌ථාවේදී මහජන පරිත්‍යාග එකතු නොකිරීමද විශේෂ සිදුවීමකි. ඊට හේතුව වූයේ පැරණි ගංවතුර අරමුදලේ මුදල් ඉතිරිව තිබීමය. ඒ ඊට පෙර ගංවතුර අවස්‌ථාවලදී එකතු වූ මුදල්ය. වර්තමානයේදී රජයෙන් මුදල් වෙනම වෙන්කරන තුරු රජය ආධාර ලබාදීම ආරම්භ නොවන තත්ත්වයත් සමඟ මෙය සංසන්දනය කළ හැකිය. එවැනි තත්ත්වයක්‌ තිබුණද ප්‍රදේශවාසීන් ඔහුට විශාල මුදල් ආධාර ලෙස ලබාදුන් බව බස්‌නාහිර පළාතේ දිසාපති සිය පාලන වාර්තාවේ සඳහන් කරයි. සහන සැපයීමට මුදල් තිබූ බැවින් එසේ ලද මුදල් මූලික වශයෙන් යොදාගත්තේ නිවාස හානි වූ දුප්පත් වැසියන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට බවද ඔහු පවසා ඇත. මේ මුදල් ලබාදුන් වැසියන්ට ස්‌තුති කිරීමට එය අවස්‌ථාවක්‌ කරගන්නා බවද එච්. ආර්. ෆ්‍රීමන් දිසාපතිවරයා සඳහන් කරයි. එසේම මේ ගංවතුර අවස්‌ථාවේදී පවා ජනතාව තුළ පැවැති ජීව ගුණය හා අෙන්‍යාන්‍ය උපකාරය පුදුම එළවන සුළු වූ බවද ඔහු සඳහන් කරයි. මෙය ආපදාවට පත්වූවන්ට උපකාර කිරීමේදී දේශීය මුලාදෑණිවරුන් තුළ ද දැකිය හැකි වූ බව හෙතෙම පවසයි. (මේ හර්බට්‌ රේනර් ෆ්‍රීමන් යනු පසුව නුවරකලාවියේ දිසාපතිවරයා ලෙස ද සේවය කර විශ්‍රාම යැමෙන් පසුව ප්‍රදේශයේ ජනතාවගේ ඡන්දයෙන් අනුරාධපුරයේ මන්ත්‍රීවරයා වූ සුදු ජාතිකයාය.)

1904 ගංවතුර අවස්‌ථාවේදී කෑගල්ලේ උපදිසාපතිවරයා ජනතාවට රජයෙන් ලබාදුන් වන්දි මුදල් සම්බන්ධවද සිය පාලන වාර්තාවේ කෙටියෙන් විස්‌තර කරයි. ඒ අනුව නිවාස විනාශ වූ තුන්කෝරළේ නිවාස හිමියකුට ලබාදුන් උපරිම මුදල රුපියල් 15ක්‌ වූ අතර, හතර කෝරළේ නිවාස හිමියකුට ලබාදී ඇති උපරිම මුදල රු. 20කි. එසේම එවැනි මුදලක්‌ ලබාදුන්නේ සුළු අවස්‌ථා ගණනකදී ඔහු සඳහන් කරයි. මුළු දිස්‌ත්‍රික්‌කයේම 184 දෙනෙකු සඳහා වන්දි වශයෙන් ලබාදී ඇති මුදල රු. 1054ක්‌ පමණක්‌ වූ අතර ඒ අනුව එක්‌ නිවාස හිමියකුට ලැබී ඇති මුදලේ සාමාන්‍යය රු. 5.73ක්‌ පමණ වේ.

මෙවැනි ගංවතුර අවස්‌ථාවලදී රජය සහල් වැනි ආහාර ද්‍රව්‍ය ලබාදී ඇති බවද වාර්තාවල සඳහන් වේ. එසේම වනාන්තරවලින් දැව කපා ප්‍රවාහනය කරගත හැකි පුද්ගලයින්ට දැව හෙළීම සඳහා අවශ්‍ය බලපත්‍ර නොමිලේ ලබාදී තිබේ. ඒ නිවාස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය දැව දඬු ලබා ගැනීමටය. 1913 ඔක්‌තෝබර් මාසයේදී කැලණි හා කළු ගංගාවල හා මහ ඔයේ ජලය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර අවස්‌ථාවේදී මෙවැනි පියවරක්‌ බස්‌නාහිර පළාතේ දිසාපති විසින් ගෙන ඇත.

ආපදාවලදී විපතට පත්වූවන්ට සහනාධාර ලබාදීම සඳහා මාධ්‍ය ආයතනවල මැදිහත්වීම අද තරඟයක්‌ වී ඇත. ඇතැම් අය සිතනුයේ එය මෑත කාලයේ ආරම්භ වූවක්‌ බවයි. එහෙත් 19-20 සියවස්‌වල පවා මාධ්‍ය ආයතන විශේෂ අරමුදල් ආරම්භ කර මුදල් එකතු කර විපතට පත්වූවන්ට ආධාර කර තිබේ. මෙහි ඇති වැදගත්කම වන්නේ ආධාර ලබාදීමට පුද්ගලිකව ආපදා ප්‍රදේශවලට පැමිණිය නොහැකි ජනතාවට සිය පරිත්‍යාග අදාළ ආයතනයට ලබාදීමට හැකි වීමයි. එම මාධ්‍ය විසින් අවසානයේ සහනාධාර අවශ්‍ය පුද්ගලයින්ට ඒවා ලබාදෙනු දැකිය හැකිය.

මෙසේ මාධ්‍ය ආයතනවල මැදිහත් වීමෙන් ආධාර ලබාදීම අතීතයේදීද සිදුවී තිබේ. ඒ එදා පැවැති එකම මාධ්‍ය ආයතනවන පුවත්පත්වල මැදිහත්වීමෙනි. 1913 ඔක්‌තෝබර් ගංවතුර අවස්‌ථාවේදී සිලොනීස්‌ (Ceylonese) පුවත්පත ගංවතුර සහනාධාර ලබාදීමට මැදිහත්වීම එවැන්නකි. එහිදී ගංවතුර ආධාර අරමුදලක්‌ ආරම්භ කර ඇති පුවත්පත ආධාර අවශ්‍ය ජනතාව වෙත ඒවා ලබාදී තිබේ. මේ පිළිබඳව සඳහන් කරන කොළඹ වැඩබලන දිසාපති ෆ්‍රීමන්, සිලොනීස්‌ පුවත්පත දියත් කළ ආධාර ලබාදීමේ වැඩපිළිවෙලට ප්‍රශංසා කර තිබේ. එහිදී ඔවුන් විසින් සිදු කළ 'වඩාත් අසීරු කාර්යය වන ආධාර බෙදාදීම' පිළිබඳව ඔහු විශේෂයෙන් සඳහන් කර ඇත.

ලක්‌වැසියන් මෙසේ ආධාර එකතුකර උපකාර කර ඇත්තේ මෙරට ඇති වූ ගංවතුර වැනි ආපදාවලදී පමණක්‌ නොවේ. වාර්තාවලින් හෙළි වන පරිදි ඉන්දියාවේ ඇති වූ ආපදා අවස්‌ථාවලදී පිහිටුවන ලද අරමුදල්වලටද මෙරට සාමාන්‍ය වැසියන් ආධාර ලබාදී ඇත. අදත් අප මේ දකින්නේ එසෙ අනුන්ට උපකාරී කිරීමට ඉදිරිපත් වන ශ්‍රී ලංකාවාසීන් සතු දානපති පරිත්‍යාගශීලිත්වයයි. පරිත්‍යාගශීලිත්වය මත පදනම්ව මෑතක සිට ජගත් මට්‌ටමෙන් සකස්‌ කරනු ලබන දර්ශකයක්‌ වන World Giving Index හි 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාව පසුවන්නේ පස්‌වැනි ස්‌ථානයේය.

http://www.divaina.com/2017/06/11/feature28.html

Friday, June 9, 2017

අධික වර්ෂාපතනය ගෙන ආ ආපදාව ගැන පසු විපරමක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 07.06.2017, පි. 11, 24 (Vidusara)

http://www.vidusara.com/2017/06/07/feature5.html



2017 වර්ෂයේ මහ ගංවතුර හා නාය යැම් නිසා ඇති වූ හානිය බරපතළ ය. ඒ බව ආපදාව පිළිබඳ සංඛ්‍යාලේඛන අනුව පෙනේ. මේ ලිපිය ලියන ජූනි 3 දින ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය නිකුත් කළ දත්ත අනුව මේ ආපදාව නිසා 224 දෙනකු පමණ මිය ගොස්‌ ඇති අතර තවත් 72ක්‌ පමණ පිරිසක්‌ අතුරුදන් ව ඇත. මේ කාලය ඇතුළත පවුල් 179,376කට අයත් 698,289ක පමණ පිරිසක්‌ අපදාව නිසා බලපෑමට ලක්‌ ව සිටිය හ. නිවාස 2,093ක්‌ පමණ මුළුමනින් ම ද, තවත් නිවාස 11,056ක්‌ පමණ අර්ධ වශයෙන් ද හානියට පත් ව ඇත. ඇති වූ මහ ගංවතුර මෙන්ම නාය යැම් ද මේ විනාශය සඳහා හේතු වී තිබේ. වැඩි ම බලපෑමක්‌ ඇති වී ඇත්තේ රත්නපුර, මාතර, කළුතර හා ගාල්ල දිස්‌ත්‍රික්‌කවලට වුව ද මෙහි හානි දිස්‌ත්‍රික්‌ක 15කට බලපා ඇත.

මේ ආපදා තත්ත්වය සඳහා බලපෑ මූලික හේතුව ශ්‍රී ලංකාවේ බස්‌නාහිර, දකුණු හා සබරගමු පළාත්වලට නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග කෙටි කාලයක්‌ තුළ වැටුණු අධික වර්ෂාව විය හැකි බව වර්ෂාපතන දත්ත අනුව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මැයි මස 26 වැනි සිකුරාදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24ක කාලය ඇතුළත කුකුළේ ගග ප්‍රදේශයට මිලිමීටර් 553ක වර්ෂාපතනයක්‌ ලැබුණු බව වාර්තා විය. එසේ ම වීරකැටියෙන් මිලිමීටර් 495.5ක වර්ෂාපතනයක්‌ ද, ගාල්ලේ බටුවන්ගලින් මිලිමීටර් 395ක්‌ ද, පාදුක්‌කට මිලිමීටර් 387.2ක්‌ ද, රත්නපුරයෙන් මිලිමීටර් 348.5ක වර්ෂාපතනයක්‌ ද ලෙස අධික වර්ෂාපතනයක්‌ වාර්තා වී තිබිණි. වර්ෂාව වැඩි කාලයක්‌ අඛණ්‌ඩ ව පතිත වීම ද ගැටලුවක්‌ වී ඇති බව පෙනේ. වර්ෂාව පැය 48ක පමණ කාලයක්‌ තිස්‌සේ පතිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් උපුටා දක්‌වමින් පුවත්පත් වාර්තාවල පළ විය. එසේ ම මේ වර්ෂාපතනය තවදුරටත් පැවැතීම සඳහා බෙංගාල බොක්‌කේ ජනනය වූ 'මෝරා' සුළි කුණාටුව ඇති වීමට පසුබිම් වූ තත්ත්වය ද බලපෑමක්‌ ඇති කළ බව ඇතැම් මූලාශ්‍ර සඳහන් කරයි.

මේ අනුව මෝසම් වැසි සමයේ කෙටි කාලයක දී අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක්‌ මේ වර්ෂයේ දී ලැබී ඇති බවක්‌ පෙනේ. එවැනි අධික වැසි ඇතැම් වර්ෂවල පමණක්‌ ඇති වී තිබෙන බව වාර්තා අනුව පැහැදිලි ය. වැසි මගින් වැටුණු ජලයෙන් සංතෘප්ත වූ පසකට ජලය තවදුරටත් උරාගැනීම අසීරු ය. වන වැස්‌මක්‌ තිබුණ ද එය සිදු විය හැකි ය. එවිට සිදු වන්නේ ජලය එම ගංගා නිම්න දිගේ පහළට ගමන් කිරීමයි. එමගින් ගංගා නිම්නයේ පහත් බිම්වල මහ ගංවතුරක්‌ ඇති විය හැකි ය. වතු වගා සඳහා කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවල කැළෑ එළිපෙහෙළි කිරීම අඩු මට්‌ටමක තිබූ 1872 වර්ෂය වන විට එහි සැලකිය යුතු වන ආවරණයක්‌ පැවතිය ද එම වර්ෂයේ ඇති වූ අධික වැසිවල ප්‍රතිඵලයක්‌ ලෙස ගෙග් පහළ ප්‍රදේශවල වාර්තාගත මහ ගංවතුරක්‌ ඇති වීම මීට නිදසුනකි. එකල කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කවල තෙත්බිම් ගොඩ කිරීම අවම වුව ද, බොහෝ ප්‍රදේශ ගංවතුරට යට විය.

2017 වර්ෂයේ ඇති වූ ගංවතුර දෙවැනි වන්නේ 2003 වර්ෂයේ ඇති වූ ගංවතුරට පමණක්‌ බව ඇතැම් පාර්ශ්වවලින් කියෑවෙනු අපට අසන්නට ලැබිණි. (තවත් අයට අනුව මෙවර ගංවතුර 2003 වර්ෂයට වඩා බරපතළ ය). 2003 යනු ජනතාව ගේ මතකයේ ඇති මෑත කාලයේ වූ වැඩි ම විනාශය ඇති වූ වර්ෂය වේ. කෙසේ නමුත් ඊට වඩා බරපතළ ගංවතුර අතීතයේ මේ කලාපයට ඇද වැටී තිබේ.

2003 ගංවතුර හා නාය යැම්


2003 වර්ෂයේ දී ඇති වූ ගංවතුර පිළිබඳව විමසා බැලීමේ දී එය ඇති වන්නේ 2003 මැයි මස 17 දින ආරම්භ වූ කෙටි කාලයක්‌ තුළ වැටුණු අධික වර්ෂපාතනය නිසා බව වාර්තාගත ය. ඒ අනුව මැයි 17 දින රත්නපුරයට මිලිමීටර් 345.2ක වර්ෂාපතනයක්‌ ලැබී ඇත. (රත්නපුරයට පමණක්‌ නො ව වෙනත් ප්‍රදේශවලට ද 2017 දී වැටුණු වර්ෂාපතනය මීට වඩා ඉහළ බව ඉහත සඳහන් දත්ත අනුව පැහැදිලි ය).

2003 දී ගංවතුරේ බලපෑමට ලක්‌ වූයේ මූලික වශයෙන් කළු ගග, නිල්වලා ගග හා ගිං ගග යන ගංගා නිම්න වේ. දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගත් විට රත්නපුර, මාතර, ගාල්ල, කළුතර, හම්බන්තොට හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ක ය. ගංවතුරේ බලපෑම අධික ව පැවතියේ රත්නපුර, මාතර හා කළුතර යන දිස්‌ත්‍රික්‌වල ය. එදා ගංවතුරින් යට වූ ප්‍රදේශ ඊට ලක්‌ වූ ආකාරය හා 2017 ගංවතුරෙන් යට වූ ආකාරය අතර යම් යම් සමානකම් තිබේ. විශේෂයෙන් කළු ගංගා නිම්නයේ හා නිල්වලා නිම්නයේ මේ සමානකම දැකිය හැකි ය. ජලයෙන් යට වූ ප්‍රදේශ මෙන්ම, ජලය බැස යැමේ දී ඇති වූ ප්‍රමාදයේ ද සමානකම් තිබේ. රත්නපුර, නෙළුව, මොරවක, අකුරැස්‌ස වැනි නගර අඩි ගණනක්‌ ජලයෙන් යට වූ අතර, මාතර හා තදාසන්න ප්‍රදේශවල ජලය බැස යැම සිදු ව ඇත්තේ සෙමිනි. 2003 දී ද මේ වර්ෂයේ මෙන්ම මාතර රෝහලේ වාට්‌ටු සමහරක්‌ ජලයෙන් යට වී ඇත. එසේ ම මේ ගංවතුර හා නාය යැම් නිසා සැලකිය යුතු පිරිසක්‌ මිය ගොස්‌ තිබේ. 2003 ජූනි 03 දින හැන්සාඩ් වාර්තාවට අනුව 2003 ගංවතුරින් මිය ගිය ගණන 235ක්‌ හා අතුරුදන් වූ පිරිස 19ක්‌ බව සඳහන් වේ. එසේ ම විපතට පත් පවුල් ගණන 138,924ක්‌ විය. නිවාස 9503ක්‌ සම්පූර්ණයෙන් ද, තවත් 30,688ක්‌ අර්ධ වශයෙන් ද හානියට ලක්‌ වී තිබිණි. (කෙසේ වෙතත් මේ දත්ත ඒ දිනවල ඇතැම් පුවත්පත් වාර්තාවල පළ වූ දත්තවලට වඩා අඩු අගයක්‌ ගන්නා බව මෙහි දී සඳහන් කළ යුතු ය).

කෙටි කාලයක්‌ තුළ ඇති වූ අධික වර්ෂාපතනය 2003 වර්ෂයේ ගංවතුර සඳහා හේතු වූ බව එදා විවාදයක්‌ නොමැති ව පිළිගැනුණු බව පෙනේ. 2003 මැයි 20 දින දිවයින පුවත්පතට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා පවසා ඇත්තේ එම ගංවතුර තර්ජනයට හේතුව එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක්‌ ඇදහැළීම බවයි. මේ ආපදාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා වී ඇති අතර, එදා විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර තිබූ පරිදි "මින් පෙර නො වූ විරූ ආකාරයේ ධාරාණිපාත වර්ෂාවක්‌" ඇදහැළීමෙන් ඇති වූ "විශාල ජලධාරාවන් ගංගා ෙද්‍රdaණි හරහා ගලා යැමෙන්" එම ගංවතුර ඇති වී තිබේ.

2017 වර්ෂාපතන දත්ත අනුව මේ වර්ෂයේ කෙටි කාලයක දී වැටුණු වර්ෂාපතනය 2003 දී ලැබුණු වර්ෂාපතනයට ද වඩා අධික විය හැකි බවක්‌ පෙනේ. එවැනි වර්ෂාවක්‌ ගංගා නිම්න දිගේ පහළට ගමන් කරන විට පහත් ප්‍රදේශවල ගංවතුර ඇති වීම පුදුමයට හේතුවක්‌ නො වේ. එසේ ම කළු, ගිං හා නිල්වලා නිම්නයේ ගංවතුර එතරම් දුර්ලභ දෙයක්‌ නො වේ. "ගෙන් ගෙට දා කර වදාපු දරුවන් ගිංතොට නැන්දත් නැහැ දන්නේ - ගිංතොට නැන්ද ගෙ දූවරු හින්දයි ගගබඩ පත්තුව වැනසෙන්නේ" යන කවියෙන් ව්‍යංගයෙන් කියෑවෙන්නේ ද ගිංගග නිම්නයේ නිතර ඇති වූ ගංවතුර පිළිබඳ ව ය. මේ ගංගා නිම්නවල සාපේක්‌ෂව ඉහළ ප්‍රදේශවල පිහිටා ඇති ප්‍රදේශවල පහත්බිම් පවා සැම වසරක ම පාහේ ජලයෙන් මදක්‌ යට වන ප්‍රදේශ වේ. රත්නපුර, පාලින්ද නුවර මෙවැනි ප්‍රදේශ සඳහා නිදසුන් ය. ඇතැම් ප්‍රදේශවල ගංවතුර ගලන තුරු බලා සිටින්නේ යල කන්නයේ කුඹුරු වගා කිරීමට ය. ඒ ගංවතුරින් ලැබෙන රොන්මඩ තුළ තැන්පත් ව ඇති "ගං පෝර" ප්‍රයෝජනයට ගැනීමට ය. ඇතැම් ප්‍රදේශයක ඇති වන ගංවතුර ප්‍රමාණය ගණන් කොට කුඹුරු වැපිරීම සිදු කරනු ලැබේ. එහෙත් වෙනස වන්නේ 2003 හා 2017 යන වර්ෂ දෙකේ ඇති වී තිබෙන්නේ සාමාන්‍ය ගංවතුරක්‌ නො ව මහා ගංවතුරක්‌ වීමයි.

ගංවතුර හානිය උග්‍ර කළ සාධක


කෙසේ වෙතත් සැම විටක දී ම මෙන් ගංවතුර නිසා ඇති වූ හානිය උග්‍ර කිරීම සඳහා බලපෑ සාධක කිහිපයක්‌ පැහැදිලිව හඳුනාගත හැකි ය.

තෙත්බිම් හා පහත් බිම් ගොඩ කිරීම ගංවතුරේ බලපෑම උග්‍ර කිරීම සඳහා බලපා ඇති බව සත්‍යයකි. තෙත්බිම්වලට වැසි ජලය එකතු වීම නිසා ඊට වඩා උස්‌ බිම් වැසි ජලයෙන් යට වීම වළකී. එහෙත් මේ වන විට බොහෝ ප්‍රදේශවල පහත්බිම් ප්‍රදේශ ගොඩ කර ඇති අතර ඒවායේ නිවාස හා වෙනත් ඉදි කිරීම් ද සිදු කර ඇත. මේ නිසා ජලය එක්‌රැස්‌ වීම සඳහා පහත් බිම් නොමැති බැවින්, ඒ අවට ප්‍රදේශ මෙන්ම කලින් ජලයෙන් යට නො වූ ප්‍රදේශ ද යට වීමේ අවස්‌ථාවක්‌ ඇත. අනෙක්‌ අතට 1947, 1969 වැනි තෙත්බිම් හා පහත්බිම් ගොඩ කිරීම අදට වඩා අඩු තත්ත්වයක පැවැති වර්ෂවල දී පවා මේ ප්‍රදේශවල මහා ගංවතුර තත්ත්ව ඇති වීම වැදගත් නිරීක්‌ෂණයකි. එම වර්ෂ මේ කලාපයෙන් අධික වර්ෂාපතනයක්‌ වාර්තා වී ඇති වර්ෂ අතර වේ. ඒ අනුව තෙත්බිම් හා පහත්බිම් ගොඩ කිරීම ගංවතුර සඳහා බලපෑ එක ම හේතුව නො වූ බව පෙනේ. කළු, ගිං හා නිල්වලා නිම්නයේ මෙවැනි බරපතළ ගංවතුර අතීතයේ වාර්තා වී තිබේ. ගංගා නිම්නයට පතිත වන අධික වර්ෂාපතනය තෙත්බිම් මගින් දරාගැනීමට නොහැකි තරම් විශාල අවස්‌ථාවල දී මහ ගංවතුර ඇති වේ.

දක්‌ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීම මේ ගංවතුර සඳහා හේතුව බව ද මෙවැනි තවත් මතයකි. එහෙත් ඉහත දැක්‌වූ ආකාරයට 2003 වර්ෂයේ මහා ගංවතුර ඇති වූ අවස්‌ථාවේ බලපෑමට ලක්‌ වූ ප්‍රදේශ හා 2017 ගංවතුරෙන් බලපෑමට ලක්‌ වූ ප්‍රදේශවල සැලකිය යුතු සමානතාවක්‌ තිබේ. බලපෑම ද ආසන්න වශයෙන් සමාන ය. එහෙත් 2003 වර්ෂය වන විට දක්‌ෂිණ අධිවේගී මාර්ගය ඉදි කර නො තිබිණි. එසේ ම මීට ඉහත ඇතැම් වර්ෂවල දී මේ කලාපයේ මේ ප්‍රදේශවල මෙවැනි ම මහා ගංවතුර ආපදා ඇති වී තිබේ. කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ පාලම් හා බෝක්‌කුවල පිහිටීම හා ප්‍රමාණය නිසා ඉහළ ප්‍රදේශවල සිට ගලා එන ජලය බැස යැම අවහිර වීමෙන් ඇතැම් ප්‍රදේශවලට බලපාන ගංවතුරක්‌ ඇති වීම සඳහා මේ මාර්ගය හේතු වන්නට පිළිවන. ඉතා අධික වැස්‌සක දී මේ අවදානම ඉහළ යා හැකි ය. එහෙත් එය සමස්‌ත ගංවතුරට හේතු වූවක්‌ බව ඉන් පැවසිය නොහැකි ය. එය කරුණු දෙකක්‌ නිසා වඩාත් පැහැදිලි වේ. ඉන් පළමුවැන්න අධිවේගී මාර්ගයට වඩා සැලකිය යුතු දුරකින් හා ගංගා නිම්නවල ඉහළින් පිහිටා ඇති රත්නපුර, මොරවක වැනි ප්‍රදේශ හා තරමක්‌ දුරින් පිහිටි පාලින්ද නුවර වැනි ප්‍රදේශ දැඩි ලෙස ජලගැල්මට ගොදුරු වීමයි. මේ ප්‍රදේශ ගංවතුරට ලක්‌ වන්නේ ගංවතුරේ මුල් අවස්‌ථාවේ දී ය. ඒ වන විට අදාළ ගෙග් ඉහළ නිම්නයට වැටුණු වැසි ජල ප්‍රවාහය අධිවේගී මාර්ගය පිහිටා ඇති ප්‍රදේශ කරා ගලා ගොස්‌ නැති තරම් ය. මේ ප්‍රදේශ අතීතයේ පටන් ම වාර්ෂිකව සුළු හෝ මහා ගංවතුරකට ලක්‌ වන බව වාර්තා මගින් සනාථ වේ. එසේ ම අධිවේගී මාර්ගයට වඩා පහළින් පිහිටා ඇති ප්‍රදේශ ද දැඩි ගංවතුරකට ලක්‌ ව තිබීම දෙවැනි කරුණය ය.

අධිවේගී මාර්ගය ගංවතුරට බලපෑ මූලික හෝ එක ම හේතුව නම්, ඊට පහළින් පිහිටා ඇති ප්‍රදේශ ගංවතුරට ලක්‌ විය හැක්‌කේ අඩුවෙනි. එහෙත් 2003 වැනි මහා ගංවතුරවල දී මෙන්ම මෙවර ද ගාල්ල, මාතර හා කළුතර යන දිස්‌ත්‍රික්‌ක තුනේ ම අධිවේගී මාර්ගයට පහළින් පිහිටා ඇති ප්‍රදේශ ද ගංවතුරට ලක්‌ වීම සාමාන්‍ය නිරීක්‌ෂණයකි. මේ ප්‍රදේශ සැම මෝසම් වැසි සමයක දී ම ගංගාවේ පහළට එන ජලකඳට ලක්‌ වී ගංවතුරේ බලපෑමට ලක්‌ වන ප්‍රදේශ වේ. එය මේ වර්ෂයේ මෙන් අධික වර්ෂාපතනයක්‌ සහිත වර්ෂවල දී මහ ගංවතුරක්‌ ද, සෙසු වර්ෂවල දී සාමාන්‍ය ගංවතුරක්‌ ද බවට පත් වේ.

ගංවතුර සම්බන්ධව මේ වෙරළාසන්න නාගරික ප්‍රදේශවල දී වැඩි අවධානයකට ලක්‌ විය යුතු කරුණක්‌ වන්නේ පහළ ප්‍රදේශවල ජලය ගලා බසින ඇළ මාර්ග හා කාණු පද්ධති අවහිර වීම වැළැක්‌වීමට පියවර ගත යුතු බවයි. මෙය ද ගංවතුර බැස යැමට බාධාවක්‌ වූ බව පැහැදිලි ය. එසේ ම ගංවතුර සමග ද කැළිකසළ විශාල ප්‍රමාණයක්‌ මේ ප්‍රදේශවලට පැමිණේ. අනෙකක්‌ තබා ආපදා සහන ලබා දෙන සමයේ දී ද පොලිතීන් හා ප්ලාස්‌ටික්‌ වැනි දිරා නො යන අපද්‍රව්‍ය විශාල ලෙස පරිසරයට එක්‌ වන ආකාරයක්‌ දැකිය හැකි ය. ඒවා නිසි ලෙස බැහැර නො කිරීම දැඩි පරිසර දූෂණයකට මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද හේතු විය හැකි කරුණකි.

නාය යැම් නිසා ඇති වන හානිය ඉහළ යැම සඳහා මානව මූලික කරුණු ගණනාවක්‌ බලපා ඇති බව පැහැදිලි ය. නාය යැමේ අවදානමක්‌ සහිත අධික බෑවුම් සහිත හායනයට ලක්‌ වූ බිම් ප්‍රදේශවල ජනාවාස ඉදි කර තිබීම ඊට මූලික හේතුවයි. මේ බිම් හායනයට ලක්‌ ව ඇත්තේ ද විවිධ භෝග වගා කිරීම, භෝග මාරු කිරීම වැනි මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා ය. මේ ඇතැම් බිම් එළිපෙහෙළි කිරීමට නුසුදුසු බෑවුම් සහිත බිම් වේ. එසේ ම වාර්තා වන ආකාරයට නාය ගිය ඇතැම් ස්‌ථානවල ජනතාවට එම ස්‌ථානවලින් ඉවත් වන ලෙස මීට පෙර අනතුරු හගවා තිබේ. එහෙත් විවිධ හේතු නිසා සිය ගම් බිම් හැර දමා යැමට ජනතාව නො පෙලඹීම නාය යැම් හානිය ඉහළ යැමට හේතුවයි. එය අවාසනාවන්ත තත්ත්වයකි.

අනාගත ආපදා වැළැක්‌වීමට නම්


මේ අතර 2016 ඇති වූ ගංවතුර වැඩි වශයෙන් බලපෑවේ හා වැඩි හානියක්‌ සිදු කළේ කැලණි නිම්නයට ය. ඒ සඳහා මූලික හේතුව කැලණි ගංගාවේ ඉහළ ප්‍රදේශවලට අධික වැස්‌සක්‌ ලැබීම විය හැකි බව ඓතිහාසික ගංවතුර වාර්තා මත පදනම් ව විදුසර පුවත්පතට 2016 ජූනි 1 දින අප ලියූ ලිපියකින් යෝජනා කරන ලදි (මෙතැනින් බලන්න). 2017 නිරිතදිග මෝසමෙන් වැඩි වර්ෂාපතනයක්‌ ලැබුණේ කළු, ගිං හා නිල්වලා නිම්නවලට වන බැවින් වැඩි වශයෙන් බලපා ඇත්තේ රටේ නිරිතදිග කලාපයේ සෙසු ප්‍රදේශවලට ය.

දැන් ගංවතුර අවසන් ය. අවශ්‍ය ව ඇත්තේ විපතට පත් ජනතාවට සහන සැලසීම හා ඔවුන් ගේ ජීවිත යළිත් ගොඩනගාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පමණක්‌ නො වේ. මීළග වැසි සමයේ දී මෙවැනි අධික වර්ෂාපතනයක්‌ ඇති වුව හොත් විය හැකි හානිය අවම කරගැනීමට ගත හැකි පියවර හඳුනාගැනීම හා ක්‍රියාත්මක කිරීම ය. තෙත් කලාපයේ ප්‍රධාන ගංගා නිම්න ආශ්‍රිත ව හා ආසන්නයේ අපේ නගර හා ගම් පිහිටා ඇති ආකාරය අනුව හානිය මුළුමනින් ම අවම කිරීම සඳහා බොහෝ කාලයක්‌ ගත වනු ඇත. ඒ ගංවතුර හා නාය යැම් අවදානම් සහිත ප්‍රදේශවල වාසය කරන ජනතාව වෙනත් සුදුසු ස්‌ථානවල පදිංචි කරවන තුරු ය. එහෙත් එතෙක්‌ කල් ගංවතුර හා නාය යැම් වැනි ආපදාවක දී සිදු වන ජීවිත හානිය අවම කරගැනීම සඳහා ප්‍රායෝගික පියවරක්‌ ගැනීම අවශ්‍ය වේ.

මෙහි දී පැවසිය යුතු තවත් කරුණක්‌ ඇත. මෑත වසර හතරෙන් තුනක ම මැයි මාසවල දී අපේ රටේ සැලකිය යුතු තරම් බරපතළ ගංවතුර පිළිබඳව වාර්තා විය. ඒ 2014 දී කළු, කැලණි හා ගිං ගග නිම්න ප්‍රදේශවලිනි. 2016 දී ප්‍රධාන වශයෙන් කැලණි නිම්නයෙනි. දැන් 2017 දී කළු, ගිං හා නිල්වලා නිම්නවලිනි. මේ අප අත්විඳින්නේ ජගත් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පුරෝකථන අනුව පෙන්වා දී ඇති වර්ෂාපතන තීව්‍රතාවේ (rainfall intensity) ඇති වෙමින් පවත්නා වර්ධනය විය හැකි ය. වර්ෂාපතන තීව්‍රතාව යනුවෙන් අදහස්‌ කරන්නේ ඒකක කාලයක දී පතිත වන වර්ෂාපතනයයි. කෙටි කාලයක දී ඇති වන අධික වර්ෂාපතනයක්‌ යනු මේ වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යැමකි. අපේ රටේ වර්ෂාපතන තීව්‍රතාවේ ඉහළ යන ප්‍රවණතාවක්‌ දැකිය හැකි බව මෙරට සිදු කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ. එය එසේ නම් අප ඉදිරියේ දී මෙවැනි ආපදාවලට තවදුරටත් සූදානම් විය යුතු ම ය. ජාත්‍යන්තර මට්‌ටමේ දේශපාලනඥයන් වැන්නන් මෙන්ම අපේ රටේ තතු දන්නා ඇතැමුන් පවා දේශගුණ වෙනස්‌ වීම විශ්වාස නො කළ ද ඊට පෙර සූදානමක්‌ ඇති ව සිටීම යහපත් ය.

http://www.vidusara.com/2017/06/07/feature5.html

Tuesday, June 6, 2017

සරසවි ප්‍රේමය අසාර්ථකද? (බස් කතා 2)

2016 අවුරුද්දේ දවසක මා ගමන් කළ 138 බසයට විජේරාම හන්දියෙන් තරුණියක් නැගුනාය. ඇය හිඳ ගත්තේ මගේ අසුනට ඉදිරි අසුනේය. ටික වේලාවකින් ඇයට දුරකථන ඇමතුමක් ලැබිණි. හෙමින් ධාවනය වූ බසයේ ශබ්දය අඩු වූ අතර, ඇය ශබ්ද නගා කතා කළ නිසා, එ් සංවාදයෙන් අඩක් හෙවත් තරුණිය කී දේ මට ඇසිනි. එ් අනුව සාරාංශය මෙසේය.

අැය මෑතදී ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය හමාර කළ සිසුවියකි. ඇයට කතා කළේ සරසවි සිසුවකු බව කතා කළ දේ අනුව පැහැදිලි වූ අතර, ඔහු ඇයට වඩා පහළ වසරක සිසුවකු බව මල්ලී යනුවෙන් ආමන්ත‍්‍රණය කළ බැවින් පෙනිනි.

ටික වේලාවකින් මාතෘකාව වෙනස් විය. ඇගේ කතාවට අනුව පෙනී ගියේ කතා කළ සිසුවා පෙම්වතියක නොමැති වීමෙන් පීඩා විඳින්නකු බවයි. ඇය එම සිසුවාට උපදෙස් දෙමින් සරසවියේදී ඇති කරගන්නා පෙම් සම්බන්ධතා ගැන අපූරු කතාවක් කීවාය.

"දැන් කාලෙ කැම්පස් එක අැතුළෙ ඇති කර ගන්නා අෆෙයාර් හුඟක් හරියන්නේ නැහැ. එ්ක රිසර්ච්වලිනුත් පෙන්නල දීල තියන දෙයක්."

මට ගැටලු රැසක් ඇති විය - ඇත්තෙන්ම සරසවි ප්‍රේමය අසාර්ථක බව අලුත් පර්යේෂණ මගින් සොයාගත් දෙයක්ද? 'දැන් කාලෙ' යනුවෙන් සඳහන් කළේ අතීතයේ සරසවි තුළ ඇති වූ සම්බන්ධතා සියල්ල හෝ වැඩි ප‍්‍රමාණයක් සාර්ථකවී අැති නිසාද? බිඳවැටුණු සරසවි ප්‍රේමය නිසාම ලියැවුණ විරහ ගීත කෙතරම් තිබේද? මෙයාලා එ්වා අසා නොමැතිද?

එසේම පසුව මට තවත් ප්‍රශ්නයක් පැන නැගිණි. එ්, අපේ රටේ නූතන සරසවි සිසු සිසුවියන් මෙවැනි කරුණු ගැන තීරණ ගන්නේ මෙතරම් විද්‍යාත්මක ක්‍රමවලටද? යන්නය. එ් පැනය විසඳුණේ පසුගියදාක සරසවි ප්‍රේමය නිසා කියන තවත් මරණයක් ගැන අැසුණු පසුවය.

අනෙක් බස් කථා(ව) මෙතැනින් කියවන්න.