Tuesday, October 8, 2013

'සතුටු වාර්තාව' ගැන සතුටු විය නොහැක්‌කේ ඇයි?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-10-02, p.2-3
http://www.vidusara.com/2013/10/02/feature1.html



පසුගිය සැප්තැම්බර් මස මුල දී ප්‍රකාශයට පත් කරන ලද ජගත් සතුටු වාර්තාව පසුගිය සති කිහිපයක කාලය ඇතුළත සාකච්ඡාවට ලක්‌ වූ කරුණකි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව එහි හිමි කරගෙන ඇති ස්‌ථානය (137 වැනි තැන) ඇතැම් පුද්ගලයන් ගේ අවධානයට ලක්‌ වූ බවක්‌ පෙනෙන්නට තිබිණිs. එයට හේතු සෙවීමට කරන උත්සාහ සහ රජයේ බලධාරීන්ට චෝදනා කිරීම පවා අපට දැකගත හැකි විය. සතුටු වාර්තාවේ දැක්‌වෙන කරුණු පිළිබඳව වෙනත් කවර දා වත් නො දුටු උනන්දුවක්‌ විපක්‌ෂයේ ඇතැම් දේශපාලකයන්ට විචාරකයන්ට තිබුණේ පසුගිය මාසයේ මැතිවරණයක්‌ තිබූ නිසා විය යුතු ය.

ඇතැම් පශ්චාත් උපාධි පාඨමාලා වැනි පාඨමාලාවල ගුරුවරුන් පවා මේ සතුටු දර්ශකය හුවා දක්‌වා තිබිණි. ලෝකයේ කොතැනින් හෝ එන යමක්‌ සොයා නො බලා වහා වැළැඳගැනීමට සූදානම් අපේ සමහර උගතුන් පවා මේ අලුත් ම දර්ශකය යෑයි පවසමින් තම සිසුනට උගැන්වීමට පටන් ගත් බවක්‌ දැකිය හැකි විය. කෙසේ වෙතත් මේ කිසිදු පුද්ගලයකු අදහස්‌ දැක්‌වීමක මේ දර්ශකය සකස්‌ කර ඇති ආකාරය පිළිබඳව සලකා බලා තිබුණේ නැත. මේ පිළිබඳව විමසීමක්‌ සිදු කිරීම මේ ලිපියේ අරමුණ වේ.

සතුටු දර්ශකය හා එහි නිර්ණායක

ලෝක සතුටු වාර්තාව 2013 (World Happiness Report 2013) යනුවෙන් නම් කර ඇති මේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත්තේ කොලොම්බියා විශ්ව විද්‍යාලයයේ මිහිතල ආයතනය (The Earth Institute) නම් ආයතනය විසිනි.

මේ සඳහා පදනම් වන්නේ 2011 වර්ෂයේ දී එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහා මණ්‌ඩල රැස්‌වීමේ දී සම්මත කරන ලද යෝජනාවකි. එහි දක්‌වෙන්නේ තම රටවල ජනතාව ගේ සතුට මැනීමට හා එය රටවල මහජන ප්‍රතිපත්ති සම්පාදනයේ දී යොදාගන්නා ලෙස ඉල්ලීමකි. මේ අනුව 2012 අප්‍රේල් මාසයේ දී සන්තුෂ්ටිය හා යහ පැවැත්ම පිළිබඳ පළමු එක්‌සත් ජාතීන් ගේ ඉහළ මට්‌ටමේ රැස්‌වීම පවත්වන ලදි. ලෝක සන්තුෂ්ටිය පිළිබඳ පළමු වාර්තාව පළමුව ප්‍රකාශයට පත් වන්නේ එතැන දී ය.

මේ වාර්තාව සකස්‌ කිරීම සඳහා ජීවිත ඇගැයීම පිණිස වැඩි වශයෙන් දත්ත ලබාගෙන ඇත්තේ 'Gallup world poll' නම් සමීක්‌ෂණයේ දත්ත සහිත වර්ෂවලිනි. (දුරකථන යොදාගනිමින් සිදු කරන මේ සමීක්‌ෂණ ක්‍රමවේදය පිළිබඳව ඇමෙරිකාවේ පවා ප්‍රශ්න ඇති බව අප මෙහි දී සඳහන් කළ යුතු ය). මෙහි දී විශේෂයෙන් 2005-2011 අත කාලය සඳහා වැඩි අවධානයක්‌ යොමු කර තිබේ. මේ සමීක්‌ෂණයේ දී එක්‌ රටකින් සහභාගි කරගන්නා නියෑදිය දහසක්‌ පමණ පිරිසකි. 2013 වාර්තාව සඳහා 2010-12 අතර කාලයේ දත්ත යොදාගනෙ ඇති බැවින් මේ අනුව නූතන ම සමීක්‌ෂණය සඳහා එක්‌ රටකින් සම්බන්ධ කරගෙන ඇත්තේ තුන් දහසක්‌ පමණ පිරිසකි. මේ දත්තවලින් අනාවරණය වන ප්‍රවණතා හඳුනාගැනීම සඳහා 2005-2007 අතර කාලයේ දී ලබාගෙන ඇති දත්ත සමඟ සංසන්දනය කර තිබේ.

මේ අනුව ප්‍රධාන විචල්‍ය 6ක්‌ පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒවා වන්නේ,

· ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය (GDP per capita)

· සෞඛ්‍යමත් ජීවන අපේක්‌ෂාව (Healthy life expectancy&)

· සමාජ සහාය හෙවත් ගැටලුවක දී සහාය ලබාගත හැකි අය (Social support)

· දූෂණය පිළිබඳ සංජානනය (perceptions of corruption)

· දානයේ පැවැත්ම (prevalence of generosity)

· ජීවිතයේ තීරණ ගැනීමේ ඇති නිදහස (freedom to make life choices)

මේ ආකාරයෙන් ගණනය කරන ලද ලකුණු අනුව Cantril ඉනිමඟේ (Cantril ladder) අංක 0 සිට 10 දක්‌වා රටවල් ස්‌ථානගත කර ඇති අතර ඒ මත රටවල සන්තුෂ්ටිය ප්‍රමාණනය කර ඇත. වැඩි ලකුණු ලබාගැනීම යනු වඩාත් සතුටින් සිටින රටක්‌ ලෙස දැක්‌වේ. රටක්‌ ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අඩු වන විට ඒ රට අසතුටින් සිටින බවක්‌ පෙනේ.

ශ්‍රී ලංකාවට හිමි තැන නිවැරැදි ද?

මේ වාර්තාවේ දැක්‌වෙන ආකාරයට ශ්‍රී ලංකාව මේ දර්ශකයේ 137 වැනි තැන පසු වේ. එහි ඇතුළත් රටවල් ගණන 156ක්‌ පමණක්‌ වන බැවින් අපේ රට පසු වන්නේ අසතුටින් සිටින රටවල් ඇතුළත් ගණයට ය. එසේ වී ඇත්තේ ඇයි?

2012 හා 2013 සතුටු වාර්තා සංසන්දනය කිරීම තරමක්‌ අපහසු බව පැවසුණත්, එහි අදාළ රටවලට හිමි ව තිබූ ස්‌ථාන පිළිබඳව මදක්‌ විමසීමක්‌ කිරීම වැදගත් ය. 2012 සතුටු වාර්තාවේ දී ශ්‍රී ලංකාවට හිමි ව තිබුණේ 131 වැනි ස්‌ථානයයි. 2013 වර්ෂය සඳහා සලකා බලා ඇත්තේ 2010-2012 කාලවල දී ලබාගත් සමීක්‌ෂණ දත්ත වේ. ඒ අනුව මේ කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ සතුට පිරිහුණු බවක්‌ යමකුට බැලූ බැල්මට පෙනී යා හැකි ය. එහෙත් විමසිල්ලනේ බලන විට අපට සැබෑ තත්ත්වය පෙනේ.

කෙසේ වෙතත් සතුටු දර්ශකයේ බරපතළ ම ගැටලුව ඇති වන්නේ එහි අදාළ ඉනිsම`ග ගණනය කිරීමේ දී යොදාගෙන ඇති අංශ සලකා බලන විට ය. මේ සමඟ ඇති රූපයේ දකුණු ආසියානු රටවල් පහක්‌ අදාළ වාර්තාවේ හිමි කරගෙන ඇති ස්‌ථාන දක්‌වා තිබේ. (අදාළ වර්ණවලින් දැක්‌වෙන්නේ ඒ ඒ විචල්‍යයට හිමි ව ඇති අගය වේ.) එහි දී පෙනෙන ආකාරයට, 'පාදක රට හා ශේෂය' (Base Country + residual) අංශය (මධ්‍යස්‌ථ නිල් පැහැයෙන් දැක්‌වෙන ප්‍රස්‌තාරයේ පළමුව දැක්‌වෙන කොටස) හැර සෙසු සියලු ම අංශවලින් ශ්‍රී ලංකාව සෙසු දකුණු ආසියානු රටවල් අභිබවා ඇති බව මේ රූපයෙන් පෙනේ. ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතර පස්‌වැනි තැනට පැමිණ ඇති හේතුව ඉතා ම පැහැදිලි ය. ඒ 'පාදක රට + ශේෂය' හෙවත් Base Country + residual ලෙස දක්‌වා ඇති කොටසේ දී අප ලබා ගෙන ඇති අගය අඩු වන නිසා ය. එය ඉවත් කරනු ලැබුව හොත් ශ්‍රී ලංකාව පසු වන්නේ දකණු ආසියානු රටවල් සියල්ලට ම වඩා ඉහළිනි. එපමණක්‌ නො ව, ශ්‍රී ලංකාව ලෝකයේ බොහෝ දියුණු වන රටවල් අතරින් ඉහළට යනු ඇත.


මෙහි ඇති ගැටලුව වන්නේ 'පාදක රට + ශේෂය' (Base Country + residual) ලෙස දක්‌වා ඇති අගයෙහි බව පෙනේ. කෙසේ වෙතත් මේ වාර්තාවේ ඒ අගය කෙසේ ගණනය කළේ ද යන්න විස්‌තර කරනු ලබන්නේ නැත. මේ පිළිබඳව පැහැදිලි කිරීමක්‌ ලබාගැනීම සඳහා අප අදාළ වාර්තාවේ ප්‍රධාන සංස්‌කාරකවරුන් ගෙන් එක්‌ අයකු ගෙන් විමසීමු. ඔහු ගේ කාර්යාලයෙන් ලැබුණු විද්යුත් තැපැල් පිළිතුරට අනුව මේ 'පාදක රට' (Base Country) යනු පෙර සඳහන් විචල්‍ය හය සඳහා ලෝකයේ රටවල් ලබාගන්නා අඩු ම ලකුණු ප්‍රමාණය මත සකස්‌ කරනු ලබන ව්‍යාජ රටක්‌ වන ඩිස්‌ටෝපියාව (Distopia) ලබාගන්නා ලකුණු ප්‍රමාණයයි. එහි අගය 1.977 පමණ වේ. ශේෂය (residual) හෙවත් පැහැදිලි කළ නොහැකි කොටස (unexplained component) යනුවෙන් මෙහි දී හඳුන්වා දී ඇත්තේ සමස්‌ත ලකුණු ප්‍රමාණය ඇතුළත ඇති ඉහත කී විචල්‍ය හය ම`ගින් සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකි ලකුණු ප්‍රමාණයයි. එය අපේ රටේ අඩු බව පෙනේ. මේ පිළිබඳව වැඩිදුරටත් අපට කරුණු දක්‌වා ඇති ඔවුන් සඳහන් කරන්නේ මේ පැහැදිලි කළ නොහැකි කොටස පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීමට ඔවුන්ට මේ අවස්‌ථාවේ නොහැකි බව ය.¾

සතුටු වාර්තාවේ අසතුට


මේ කරුණු සියල්ල සලකා බලන විට ජගත් සතුටු වාර්තාව සාධාරණ වාර්තාවක්‌ ලෙස සතුටු විය හැකි ද යන්න ගැන සාධාරණ සැකයක්‌ ඇති වීම වැළැක්‌විය නොහැකි ය.

එසේ ම ඉහත සඳහන් විචල්‍ය අතරින් සතුට හා සෘජු ව සම්බන්ධ වන්නේ කවර ඒවා ද යන්න ම`දක්‌ විමසා බැලිය යුතු ය. මේ අතරින් සමහරක අපේ රට ලෝකයේ බොහෝ රටවලට වඩා ඉහළින් පසු වේ. සෞඛ්‍යවත් ජීවන අපේක්‌ෂාව අතින් අපේ රට වෙනත් රටවලට ආදර්ශයක්‌ සේ දක්‌වනු ලැබ ඇත්තේ ද ජාත්‍යන්තර ආයතන විසිනි. එසේ ම අනාදිමත් කාලයක සිට දානය හා සමාජ ගැටලුවක දී සහාය ලබාගැනීමට ඇති හැකියාව වැනි කරුණුවලින් ශ්‍රී ලාංකිකයන් කැපී පෙනේ. (එවැනි දේ ඇතැම් රටවල රාජකාරි පමණක්‌ වුවත්, පවුල ශක්‌තිමත් බැඳීමක්‌ සහිත ව්‍යුහයක්‌ වන අපේ රට තුළ එය ගැටලුවක්‌ නො වේ). එසේ ම, සතුට හා ධනය අතර ඇති සම්බන්ධය අපේ රට වැනි රටවල සැවොම විශ්වාස නො කරනු ඇත. සතුට යනු මුදල් ම නො වේ.

පෙනෙන්නට ඇති ආකාරයට සතුටු වාර්තාව තවමත් වර්ධනය වෙමින් ඇති දර්ශකයක්‌ සේ සැලකිය හැකි ය. මේ 2013 සතුටු වාර්තාවේ 9 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට අනාගතයේ දී යහ පැවැත්ම පිළිබඳ දත්ත ඇති විට වඩාත් ඉහළ සහභාගිත්වයක්‌ සහිත හා අදාළ රජ්‍ය විසින් සකස්‌ කරනු ලබන සමීක්‌ෂණ වාර්තා අනුව වඩාත් පැහැදිලි චිත්‍රයක්‌ ලබා ගත හැකි බව පෙන්වා දී තිබේ.

අප අමතක නො කළ යුතු කරුණක්‌ වන්නේ සතුට යනු අනෙක්‌ සියල්ල මෙන්ම සාපේක්‌ෂ දෙයක්‌ වන බව ය. මේ තත්ත්වය බොහෝ දර්ශකවලට ද පොදු ය.

http://www.vidusara.com/2013/10/02/feature1.html