Monday, August 31, 2020

පශ්චාත් කොවිඩ් ලෝකය හා හරිත ප්‍රකෘතිමත් වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.08.19, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/08/19/feature1.html


“මේ වසංගතයෙන් පස්සේ ලෝකය කලින් තිබ්බ ලෝකයම වෙන්නේ නෑ” යන්න අප මිත්‍රයෙකු පැවසූයේ පසුගිය අප්‍රේල් මස මුලදී පමණය. ඔහුගේ අදහස වූයේ ලෝකයේ ඒ වන විට පැවති ලෝක තත්ත්වයට වඩා සැලකිය යුතු වෙනස්කම් රැසක් අනාගතයේදී ඇති විය හැකි බවයි. ඇත්තෙන්ම එවැන්නක් සිදුවෙමින් තිබේද යන්න යම් ප්‍රමාණයකට හෝ සලකා බැලීමට දැන් අපට හැකියාව ඇත.

කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝවා වයිරසය ලෙස ප්‍රකට වර්තමාන වසංගතය නිසා ලෝකයේ විවිධ මට්ටම්වල සීමා කිරීම් ඇති වී ලොක්ඩවුන් තත්ත්වයකට පත් වූ මාර්තු හා අප්‍රේල් මාසවලදීය. අද වන විට ලෝකයේ රටවල් 190කට අධික ප්‍රමාණයකටම රෝගය ව්‍යාප්ත වී ඇත. යළි යළිත් රෝගීන් ගණන හා මරණ ගණන ඉහළ යමින් තිබෙයි.

ඒ තත්ත්වය හමුවේ ලෝකයේ සියලු රටවල විවිධ සීමා පැනවිණි. අන්තර්ජාතික ගමනාගමනය මෙන්ම ප්‍රවාහන කටයුතුද අඩාල විය. රටවල් තුළ සියලු අංශවල දෛනික කටයුතු රැසක් සැලකිය යුතු අන්දමින් බිඳවැටුණි. කර්මාන්ත තාවකාලිකව වසා දමන්නට සිදු විය. සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ නැවතිනි. විරැකියාව මෙතෙක් නොවූ විරූ අන්දමින් ඉහළ ගියේය. බොහෝ රටවල විවිධ අංශවලට ඔවුන්ට හැකි පමින් සහන ලබා දෙමින් තිබෙයි. එහෙත් එවැනි ආර්ථික ශක්තියන් නොමැති රටවල එය ගැටලු සහගතය. 

ලෝක ආර්ථිකයේ ඇති වූ පිරිහීම කෙතරම් ද යත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පෙන්වා දී ඇති ආකාරයට ලෝක ආර්ථිකය මේ වර්ෂයේදී 3%කින් පමණ අඩු විය හැකිය. එය විස්තර කරනු ලබන්නේ 1930 ගණන්වල ලෝකයේ ඇති වූ ආර්ථික අවපාතයෙන් පසුව ඇති වන බරපතළම ආර්ථික අවපාතය ලෙසය. ලෝකයේ බොහෝ කොටස් වෙළෙඳපොළවල අගය 25%ක් හා 30%ක් දක්වා පහළ බැස්සේ මාර්තු අප්‍රේල් මාසවලදීය.


අර්බුදයෙන් පසු ලෝකය 


අද වන විට ලෝකයේ කටයුතු ක්‍රමයෙන් යළි ආරම්භ වෙමින් තිබේ. සීමා සහිතව වුවද අන්තර්ජාතික ප්‍රවාහන කටයුතු යළිත් ආරම්භ වී ඇත. බොහෝ රටවල දෛනික කටයුතු දැන් ආරම්භ කර තිබෙයි. නිෂ්පාදන හා සේවා කටයුතු යම් ප්‍රමාණයකින් යළිත් ආරම්භ වී ඇත. මේ අනුව 2020 වෙන භාගයේදී කොරෝනා වයිරසය අඩු වී ගියහොත් ලබන වර්ෂයේදී ලෝකයේ ආර්ථිකය 5.8%කින් වර්ධනය විය හැකි බව පෙන්වා දී තිබෙයි. එසේම පහළ ගිය කොටස් වෙළෙඳපොළ ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙයි.

මෙය වැදගත්ය. මක් නිසා ද යත් මේ වර්ධනය සිදු වනු ඇත්තේ කෙබඳු ආකාරයකින් ද යන්න නිසාය. එය පරිසර හිතකාමී වර්ධනයක් වීම වැදගත්ය. 

මේ වන විට වැඩි වෙමින් පවත්නා ඛනිජ තෙල් භාවිතය තෙල් භාවිතය ඉහළ යන බවට සාධකයකි. පසුගිය පෙබරවාරි-මාර්තු පමණ තෙල් භාවිතය සඳහා ඇති ඉල්ලුම පහළ යෑමත් සමඟ තෙල් මිල පහළ ගියේය. ඇමරිකානු තෙල් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල පසුගිය අප්‍රේල් මාසයේ දී ඩොලර් 20 කටත් වඩා අඩු අගයක් දක්වා පහළ ගියේය. අන්තර්ජාතික තෙල් මිල ලෙස සැලකෙන බ්‍රෙන්ට් තෙල් මිල ද ඩොලර් විසි ගණනක් දක්වා පහළ ගියේය. එහිදී තෙල් නිෂ්පාදනය පහළ දැමීමෙන් තෙල් මිල තරමක් ස්ථාවර කරගැනී තෙල් නිපදවන රටවල් ක්‍රියාකළේය. 

කොවිඩ් වසංගතය උග්‍රව තිබිය දී වේගයෙන් පහළ ගිය තෙල් පරිභෝජනය දැන් නැවතත් ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. ඒ සමඟ තෙල් නිෂ්පාදනය ඉහළ යමින් තිබේ. එහෙත් එය මේ අර්බුදයට පෙර පැවති තත්ත්වයට ළඟා වනු ඇත්තේ ලබන වසරේ දෙවන කාර්තුවේදී පමණය. (1 රූපය බලන්න). එසේම පහළ ගිය තෙල් බැරලයක මිල ද ඩොලර් ඩොලර් 40 අගය ද ඉක්මවා තිබේ.


1 රූපය - ලෝකයේ දියර තෙල් නිෂ්පාදනය හා පරිභෝජනය වෙනස් වී ඇති ආකාරය
(මූලාශ්‍රය - එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය, 2020 අගෝස්තු)



කෙසේ වෙතත් මෙයින් පැවසෙන්නේ ලෝකය නැවතත් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වන්නේ හැමදාමත් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය යටතේ බවද? සමහර අංශවල එසේ නැති බවක් පෙනෙන අතර, තවත් අංශවල එසේ වීමට ද හැකිය.


හරිතවත් මාවතක අවශ්‍යතාවය


කොවිඩ් අර්බුදයෙන් පසුව ලෝකයේ ආර්ථිකය යළිත් ප්‍රකෘතියට ළඟා වීම සඳහා කටයුතු කිරීමේදී දළ ජාතික නිෂ්පාදනය ඉලක්ක කරගැනීම ගැටලුවක් විය හැකි බව දක්වා තිබේ. එයින් පැවසෙන්නේ හුදෙක් මෙතෙක් අප කටයුතු කරගෙන ආ පරිදිම කටයුතු කරගෙන යන බවයි.

අඩාල වූ ආර්ථිකය හා සංවර්ධනය යළිත් යථා තත්ත්වයට පත් වීමේදී හෙවත් ප්‍රකෘතියට පත් වීමේ ක්‍රියාවලියේදී හරිතවත් වීම වැදගත් බව පෙන්වා දී තිබෙයි. හරිත ප්‍රකෘතිමත් වීමක් (Green Recovery) ගැන ලෝකයේ සාකච්ඡාවක් ඇති වන්නේ එතැනදීය. එහි දී හුදෙක් හරිත රැකියා අවස්ථා පමණක් හරිතවත් කිරීම නොව සමස්තයක් ලෙස ප්‍රකෘතිමත්වීමේ ක්‍රියාවලියම හරිතවත් කිරීම වැදලත් බව පෙන්වා දී තිබෙයි. මෙය සැබැවින්ම අභියෝගයකි.

ලෝකයේ එවැනි තත්ත්වයක් ඇතිවෙමින් පවත්නා බවක් පෙනෙන යහපත් ප්‍රවණතා ගණනාවක් දැකිය හැකිය. නිදසුනක් ලෙස භෞතික රැස්වීම් වෙනුවට ඩිජිටල් මාධ්‍යයෙන් සිදුකරන කටයුතු ඉහළ යෑම දැකිවිය හැකිය. දුරස්ථ අධ්‍යාපනය, ටෙලි-වෛද්‍යසේවා (Telemedicine), මාර්ගගත වෙළෙඳ කටයුතු (Online trade) ඉහළ යෑම, ඩිජිටල් ක්‍රමයට පැවැත්වෙන රැස්වීම් හා සම්මන්ත්‍රණ ආදිය මේ අතර වෙයි. මේ සියල්ල අනුව යම් හරිතවත් හා පරිසර හිතවාදී තත්ත්වයක් දැකිය හැකි බව පැහැදිලිය. මේ නිසා සමස්ත ලෝකය පුරාම ඩිජිටල් තාක්ෂණික යටිතල පහසුකම්වල සැලකිය යුතු දියුණුවක් ලබා ඇති බව පෙනෙයි. බොහෝ රටවල මේ පහසුකම් නොතිබූ ප්‍රදේශවලට මෙන්ම ඒවාට ප්‍රවේශයක් නොමැති වූ පිරිස් අතරටද ඩිජිටල් තාක්ෂණය ගමන් කළේය. දැන් බොහෝ රැස්වීම් ආදිය පැවැත්වීම සඳහා අදාළ ස්ථානවලට ගමන් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව පැහැදිලි වී ඇත. විශේෂයෙන් අන්තර්ජාතික රැස්වීම් පවා මාර්ගගතව පැවැත්වීමට හැකි බව හෙළි වී තිබෙයි. එබැවින් අනාගතයේදී පරිසර පියසටහන අඩු කරගැනීමට මෙය යොදාගත හැකි කමයකි. ගුවන් ගමනාගමය යනු හරිතාගාර වායු විමෝචන ඉහළ මට්ටමකින් නිකුත්වීමට හේතුවන්නකි. 

අනෙක් අතට ඒ ඒ රටවල ආර්ථිකයේ අත්‍යවශ්‍ය කටයුතු දේශීය සම්පත් හා නිෂ්පාදන මත පදනම් කරගැනීම සඳහා පියවර ගැනීම ලෝකයේ බොහෝ රටවල වර්ධනය වූ තවත් එක් හරිතවත් ප්‍රවණතාවයකි. මක් නිසා ද යත් එවැනි ද්‍රව්‍යවල මෙන්ම පාරිභෝගිකයාගේ ද ‘කාබන් පියසටහන’ එමගින් අඩු වන නිසාය. දේශියව නිෂ්පාදනය කළ හැකි දේ ප්‍රවර්ධනය කිරීම නිසා එතෙක් අපතේ ගිය සම්පත් භාවිතය සඳහා ද අවස්ථාවක් ලැබී ඇත. එහෙත් මෙය කල්පනාකාරීව කළ යුතු දෙයක් වන්නේ, රටක ඇති ඉඩම්, ජලය හා ශ්‍රමය වැනි සම්පත් සීමාකාරී විය හැකි නිසාය. කිසිදු රටකට ආනයන හා අපනයන නොමැතිව පැවතිය නොහැකි වන නිසා මෙය වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු කරුණක් සේ අපි සිතමු.


ජනතාවගේ වගකීම


කෙසේ වෙතත් මෙවැනි පරිසර හිතකාමී ලක්ෂණ සහිත වූ ලෝකයක් ඇති කරගැනීමේ හැකියාව තිබෙන්නේ ද අපටමය. අනාගතය අද පවතින්නක් නොවේ. එසේම අනාගතය යනු ඉබේ ඇති වන්නක් නොවේ. අනාගතය යනු අපේ වර්තමාන ක්‍රියාකාරිත්වය මත ඇතිවන්නකි. පසුගිය දශක පහක පමණ කාලයේදී පරිසරය සම්බන්ධව ඇති වූ සංකල්පීය වෙනස්කම් හා ප්‍රවේශයේ ඇති වූ වෙනස්කම් මේ සඳහා නිදසුනකි. පරිසර දූෂණය පාලනයේ සිට තිරසර සංවර්ධනය දක්වාත්, එතැනින් හරිත ආර්ථිකය දක්වාත් ඇති වී තිබෙන වෙනස්කම් ඇති වූයේ ගත වූ වසර පනහක කාලය ඇතුළත දීය.

හරිතවත් හෙවත් පරිසර හිතකාමී අනාගතයක් වෙත ගමන් කළ හැකි ස්වර්ණමය අවස්ථාවක් අද ලෝකයට උදාවී ඇත. එහෙත් එය එසේ සිදුකිරීම ගැන තීරණය කළ යුත්තේ ලෝකයේ ඒ ඒ රටවල තීරණ ගන්නා පිරිස් විසිනි. එහෙත් ඒ සඳහා බලධාරීන් පෙළඹවීමට විවිධ අංශවල විද්වතුන්ට මෙන්ම මහජනතාවට හැකියාවක් ඇති අතර, එය කළ යුතුය. අප අද ජීවත්වන ලෝකය හා එහි සම්පත් අනාගත පරපුරටද අයිති සම්පත් වෙයි.

ගොඩනැගිලිවල කාලය තීරණය සඳහා ඓතිහාසික වාර්තා යොදාගැනීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.08.05, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/08/05/feature2.html


පැරණි ගොඩනැගිලි ඉදිකරන ලද දින වකවානුව තීරණය කිරීමේදී පුරාවිද්‍යාත්මක සාධක යොදාගැනීම ඉතා සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් පැරණි ගොඩනැගිලි සම්බන්ධව ප්‍රාමාණික ඓතිහාසික වාර්තා නොමැති තත්ත්වයක දී මේ ආකාරයට කටයුතු කිරීම සාර්ථක ක්‍රමවේදයකි. ඒ සඳහා අදාළ ගොඩනැගිල්ලේ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ, එතැනින් හමුවන සෙල්ලිපි මෙන්ම වෙනත් පුරාවස්තු ආදිය ද යොදා ගත හැකිය. ගඩොල්වල ප්‍රමාණය, අලංකරණ මෝස්තර, ගල් කණු ආදියේ ඇති සලකුණු ආදිය ද මේ සඳහා යොදාගත හැකිය. මෙවැනි උපක්‍රම යොදාගෙන ලංකාවේ බොහෝ පැරණි ගොඩනැගිලි සඳහා සාර්ථක ලෙස දින නියම කර ඇත.
 
කෙසේ වෙතත් මෙහිදී ගැටලු ඇති වන කරුණු කීපයක් හඳුනාගැනීමට හැකියාව තිබේ. ඉන් එකක් වන්නේ කලින් කලට ප්‍රතිසංස්කරණය කර ඇති ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම්වල එවැනි අවස්ථා ගැන කාලය තීරණය කිරීමේදීය. මෙරට හමු වී ඇති බොහෝ ස්තූප සජීවී ආගමික ස්ථාන බැවින් ඒවා වරින්වර ප්‍රතිසංස්කරණය කර ඇත. එහෙත් ඓතිහාසික වාර්තාවල සඳහන් වන්නේ ප්‍රධාන පෙළේ ස්තූප හා ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණ සම්බන්ධව පමණි. නිදසුනක් ලෙස මහියංගනය ස්තූපය හා ලෝවාමහාපාය වැනි ස්ථාන දැක්විය හැකිය. එහෙත් රටේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි වෙනත් ස්තූප රැසක ද මෙවැනි ප්‍රතිසංස්කරණ සිදුව ඇති අතර ඒ ගැන පුරාවිද්‍යාත්මක සාධක ද දැකිය හැකිය. මේ සමඟ ඇති ඡායාරූපයක දැක්වෙන අනුරාධපුරයේ, කටියාවේ පිහිටා ඇති නාවාගල ස්තූපය එවැන්නකි. එහි අවසන් ඉදිකිරීමේ පේසා වලලුවලට ඇතුළතින් පැරණි ඉදිකිරීමක පේසා වලලු පෙනේ. ස්තූප ප්‍රතිසංස්කරණය කිරීමේදී මේ ආකාරයෙන් කොටසක් නිරාවරණය කර තැබීම අධ්‍යාපනික වශයෙන් ඉතා වැදගත්ය.



නාවාගල ස්තූපයේ පැරණි ඉදිකිරීම් පෙනෙන ආකාරය


මෑතකාලීන ස්මාරක සඳහා වාර්තා වැදගත්ය


සමහර ස්මාරක ආදියේ අතීතය සම්බන්ධව නොදැනීම නිසා විවිධ ආකාරයේ පසුබිම් කතා ඇති වේ. ඒවා සමහරක් පදනමක් නොමැති ඒවාය. එවැනි කතා ඇති වන ස්ථානවල සැබෑ ඉතිහාසය ගොඩනැගීමට මෙවැනි සමකාලීන වාර්තා වැදගත් වෙයි. 

ඈත අතීතයේ කෙසේ වුවද පසුගිය සියවස් කිහිපයක කාලය තුළ ඉදිකරන ලද ගොඩනැගිලිවල කාලය තීරණය කිරීම සඳහා යොදාගත හැකි ප්‍රමාණවත් ලිඛිත සාධක පවතී. විශේෂයෙන් සමකාලීන වාර්තා, සිතියම්, චාරිකා සටහන් ආදි ප්‍රාථමික මෙන්ම සමකාලීන ද්විතීයික මූලාශ්‍රයද තිබෙයි. එබැවින් ඒවා ඉදිකරන ලද කාලය තීරණය කිරීමේ දී එවැනි සාධක යොදාගැනීමට හැකිය.

මේවා වැදගත් වන අවස්ථා දෙකක් සම්බන්ධව අපට මෙහිදී සඳහන් කළ හැකිය. ඉන් එකක් වන්නේ පැරණි වාස්තුවිද්‍යාත්මක මෝස්තරයකට පසුකාලීනව ගොඩනැගිලි තැනූ අවස්ථාවලදීය. අනෙක් අවස්ථාව වන්නේ එකම මෝස්තරයට එකම ස්ථානයේ ගොඩනැගිලි කීපයක් විවිධ කාලවලදී තනා ඇති අවස්ථාවලදීය.


පැරණි මෝස්තර අනුව කළ පසුකාලීන ඉදිකිරීම්


පැරණි යුගයක වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව පසුකාලයක දී කරන නිර්මාණවලට දින නියම කිරීමේ දී ඒ පිළිබඳ වාර්තා නොමැති වීමෙන් නොමග යෑමට හැකිය. මෙවැනි අවස්ථාවල දී වාස්තුවිද්‍යාත්මක දත්ත මත තීරණ ගැනීමට නොහැකි වන්නේ ඒ ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙර කාලයකට අයත් වුවත්, නිර්මාණය පසු කාලයකට අයත් වන නිසාය. ඒ සඳහා ඓතිහාසික වාර්තා ප්‍රයෝජනවත් වේ. මෙවැනි ඉදිකිරීම් ගණනාවක්ම අපේ රටේ පවතී. 

මෙවැනි ඉදිකිරීමක් සඳහා වන හොඳම නිදසුනක් වන්නේ රුවන්වැල්ල පැරණි බලකොටුව අසල මාර්ගය අසලම ඇති අම්බලමයි. එහි දැකිය හැකි කණු හා වහල උඩරට (මහනුවර) සම්ප්‍රදායට අයත්ය. ඒවා බෙහෙවින් උසස් මට්ටමේ නිර්මාණ ලෙස හැඳින්විය හැකිය. එහෙත් මෙය ඉදිකිරීම සම්බන්ධව ප්‍රමාණවත් වාර්තා ඇති බැවින් ද, ඒ ගැන සඳහන් ශිලාලේඛනයක් ඇති බැවින් ද එය ඉදිකර ඇත්තේ 1900 දශකයේ දී බව අපි දනිමු. (පසුකාලීනව මේ ගොඩනැගිල්ලේ බිත්ති බැඳ තිබූ අතර වාර්තා වන පරිදි මෑත දී ඒවා ඉවත් කර මුල් පෙනුම ලබා දී ඇති බව වාර්තා වෙයි.) උඩරට සම්ප්‍රදායකට අයත් වූ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව බ්‍රිතාන්‍ය යුගයේදී ඉදිකරන ලද මෙවැනි අම්බලම් කීපයක් රටේ විවිධ ස්ථානවල පවතී.



රුවන්වැල්ලේ අම්බලම බිත්ති සහිතව (2016)


පසුගියදා කොටසක් කඩා දමන ලද කුරුණෑගල ගොඩනැගිල්ල පිළිබඳ සිදුවීම ද මෙවැනි සිදුවීමක් බව සාධක අනුව පෙනේ. එම ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ද ඇතුළත් භූමිභාගයේ 1878 වර්ෂය වන විට සරඹ පිටියක් පැවති බව සිතියම් අනුව පෙනෙයි. එය 1878 වර්ෂයට පෙර එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බවට සාධකයකි. 1887 වර්ෂයේදී ඒ ස්ථානයේ වික්ටෝරියා රැජිනගේ ජුබිලි මංගල්‍යයක් වෙනුවෙන් ‘ජුබිලි අම්බලමක්’ ඉදි කළ අතර, භාවිතයට නොගත් බැවින් පසුව එම අම්බලම කඩා දමා 1893-94 කාලයේ දී එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවට ලිඛිත සාධක පවතී. එම අම්බලමේ තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු ද භාවිත කර නගර ශාලාව තනා ඇත. ඒ අනුව මෑතකදී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල එම නගරශාලාවේ යම් යම් වෙනස්කම් කිරීමෙන් පසුව නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණය. මහනුවර සම්ප්‍රදායේ ලක්ෂණ සහිත ‘මුලාදෑනි නවාතැනක්’ හෙවත් ‘ස්වදේශික අම්බලමක්’ 1903-04 අතර කාලයේදී කුරුණෑගල නගරයේ තනනු ලබන්නේ නගරයට පැමිණෙන දේශීය නිලධාරින්ගේ භාවිතයටය.


එකම මෝස්තරයට විවිධ කාලවල කළ ඉදිකිරීම්


මෙවැනි තවත් අපූරු අවස්ථාවක් වන්නේ එකම ගොඩනැගිලි සංකීර්ණයක, එකම වාස්තුවිද්‍යාත්මක මෝසතරයට තනා ඇති ගොඩනැගිලි විවිධ කාලවකවානුවලදී ගොඩනගා තිබීමය. මෙය අදාළ ගොඩනැගිලි සංකීර්ණයේ අලංකාරිත්වයට හේතුවක් වෙයි. කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැගිලි සංකීර්ණය මේ සඳහා හොඳම නිදසුනක් ලෙස දැක්විය හැකිය.



කොළඹ ජාතික කෞතුකාගාරයේ මුල් ගොඩනැගිල්ල (1896 පමණ) (අන්තර්ජාලයෙනි)

කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ගොඩනැගිලි ත්‍රිත්වය හා ශ්‍රවනාගාරය සහිත ගොඩනැගිල්ල වාස්තු විද්‍යාත්මකව ගත් විය එකම මෝස්තරයකට අයත් වෙයි. එහෙත් මේවා කාලවකවානු හතරකදී ඉදිකරන ලද්දේ වෙයි. කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරන ලද්දේ 1876 වර්ෂයේදී ය. ඉතාලියානු ගෘහනිර්මාණ මෝස්තරයට සැලසුම් කරන ලද එහි සැලසුම ජේම්ස් ජී. ස්මිදර්‌ගේය. එම කොටස විවෘත කරන ලද්දේ 1877 වසරේදීය. එයට අයත් වන්නේ ඉදිරියෙන් ඇති මහා මාර්ගයට සමාන්තරව ඇති ගොඩනැගිල්ල පමණි. (මෙහි සඳහන් ඡායාරූපය 1908ට පෙර ගන්නා ලද්දකි). එයට වාස්තු විද්‍යාත්මකව සමාන වුවත් ඊට දෙපසින් ඇති ගොඩනැගිලි ඉදිකර ඇත්තේ පසුකාලයකදීය. වර්තමානයේ ජාතික කෞතුකාගාර පුස්තකාලය පිහිටා ඇති කොටස ඉදිකරන ලද්දේ 1907-1910 අතර කාලයේදීය. ඒ සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රු. 120,500ක් වූ අතර ඊට අඩුවෙන් මේ කාර්යය අවසන් කර ඇත. මේ කොටසේ පළමු මහජන රැස්වීම පවත්වා ඇත්තේ 1909 වර්ෂයේ මැයි මස 13 වන දාය. එසේම ජාතික කෞතුකාගාරයේ බටහිර අංශය ලෙස හඳුන්වනු ලබන කොටස 1927-1930 අතර කාලයේදී ඉදිකරන ලදි. තවත් කොටස් දෙකක් 1962 දී හා 1973 වර්ෂයේදී අවසන් කර ඇත. එසේම කෞතුකාගාර ශ්‍රවණාගාරය පිහිටා ඇති ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ 1990 දශකයේදී පමණය. මේ අනුව වාස්තුවිද්‍යාත්මක මෝස්තරය එකම වුවත් ඇතැම් ගොඩනැගිලි ඉදි කළ කාලවකවානු වෙනස් වීමට ඉඩ ඇති බව පැහැදිලිය. එවැනි අවස්ථාවල වාර්තාවල වැදගත්කම ඉහළය.

මේ කරුණු අනුව පෙනී යන්නේ සමහර ගොඩනැගිලිවල කාලය තීරණය කිරීමේදී සැලකිය යුතු කරුණු ගණනාවක් ඇති බවයි. වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ මගින් එය සිදු කළ හැකි වුවත්, එය අපහසු වන අවස්ථා පවතී. එවැනි අවස්ථාවලදී ඓතිහාසික වාර්තාවල ඇති වටිනාගම ඉහත දැක්වූ නිදසුන් අනුව පෙනෙයි. මෙමගින් පෙනන්නේ බහුවිධ මූලාශ්‍රය භාවිත කිරීමේ ඇති වැදගත්කමයි.


ඡායාරූප - බන්දුල සිසිර කුමාර හා දිනිත් ඉන්දික හෑගොඩ

Saturday, August 1, 2020

කුරුණෑගල නගරයේ කඩා දමන ලද ගොඩනැගිල්ල හඳුනාගැනීම

ධනේෂ් විසුම්පෙරුම



සාරාංශය

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල නගරයේ පිහිටා ඇති හා 2020 ජුලි මස දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල කුමක්ද යන්න හා එහි ඉතිහාසය පිළිබඳව සමකාලීන ඓතිහාසික සාධක මගින් හඳුනාගැනීම සඳහා මෙම ලිපියෙන් උත්සාහ කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය යුගයේ මෙරට සේවය කළ නිලධාරින්ගේ රාජකාරි ලිපි, දිනපොත් සටහන්, සිතියම් හා සැලසුම් රජයේ ආයතනවලින් සම්පාදනය කර ඇති ඒ ආයතනවල වාර්ෂික පාලන වාර්තා හා සඟරා ලිපි වැනි ලේඛන මේ සඳහා යොදාගෙන ඇත.

ඒ අනුව, මෑත දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ද ඇතුළත් භූමිභාගයේ 1878 වර්ෂය වන විට සරඹ පිටියක් පැවති බව හා 1878 වර්ෂයට පෙර එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බව මූලිකව නිගමනය කළ හැකිය. 1887 වර්ෂයේදී ඒ ස්ථානයේ මුලින්ම ජුබිලි අම්බලමක් ඉදි කළ අතර, පසුව එම අම්බලම කඩා දමා, එහි තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු ද භාවිත කර 1893-94 කාලයේ දී එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවට පැහැදිලි සාධක තිබේ. අප මාතෘකා කරගත් මෑත දී කඩා දැමුණු ගොඩනැගිල්ල එම නගර ශාලාවට යම් යම් වෙනස්කම් කිරීමෙන් පසුව නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණ වේ.

වඩා පැරණි යුගයකට අයත් වාස්තු විද්‍යාත්මක මෝස්තරයකට අනුව හෝ එවැනි අංග යොදාගනිමින් හෝ පසු කාලයක ගොඩනැගිලි නිර්මාණය කළ අවස්ථාවකට සුවිශේෂී නිදසුනක් වන මෙම ගොඩනැගිල්ල ස්වදේශික ගෘහනිර්මාණශිල්පය බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති ආකාරයටද නිදසුනකි. එබැවින් මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම මෙන්ම පුරාවිද්‍යා පනත යට‌තේ ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අත්‍යාවශ්‍යය.
 

අරමුණ


මෙම ලිපියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල නගරයේ පිහිටා ඇති හා 2020 ජුලි මස දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල කුමක්ද යන්න හා එහි ඉතිහාසය පිළිබඳව ඓතිහාසික ලිඛිත සාධක මගින් හඳුනාගැනීම සඳහා උත්සාහ කිරීමයි.


පිහිටීම


කොටසක් කඩා දමන ලද ‌ගොඩනැගිල්ල මීට වසර කීපයකට පෙර දිස්වූ ස්වභාවය Google Street View ඡායාරූපයක් වන 1 රූපයෙන් දැක්වේ. එය පිහිටා ඇත්තේ දඹුළු පාර (A 6) හා දොස්තර ද සිල්වා මාවත යන මාර්ග දෙකට මැදිව දළ වශයෙන් ත්‍රිකෝණාකාර වූ භුමියකය. මේ භූමියට පිටුපසින් තාප්පයකින් වෙන්ව පිහිටා ඇත්තේ ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයයි. ඊටත් පසුපසින් පිහිටා ඇති අද වන විට හිස් භූමියක් ලෙස පිහිටා ඇති භූමි කොටස ද ඇතුළත් විශාල ත්‍රිකෝණාකාර භූමිය දඹුළු පාර (A 6), දොස්තර සිල්වා මාවත (ලේන්) හා මහ වීදිය (Main Street) යන මාර්ගවලින් වට වී ඇති භූමියකි (2 රූපය). මෙම ස්ථානයේ 2006 හා 2020 ගන්නා ලද Google Earth ඡායාරූප දෙකක් 3 රූපයෙන් දැක්වේ. 



මේ කොටසක් කඩා දමා ඇති ගොඩනැගිල්ල කුමක්ද යන්න සම්බන්ධව විවිධ පාර්ශ්ව ප්‍රකාශ කර ඇති මත කීපයක් හඳුනා ගත හැකිය. ඒ අතර (අ). බුවනෙකබාහු රජුගේ රාජසභාව, (ආ). කච්චේරි ගොඩනැගිල්ල, (ඇ). පැරණි උසාවි සංකීර්ණය හා (ඈ). මහනුවර යුගයේ ගොඩනගන ලද ගොඩනැගිල්ලක්ය යන අදහස් මූලික වේ. මේ අදහස් පිළිබඳ විමසුමක් මෙම ලිපියේ සාකච්ඡාව යටතේ දක්වා ඇත. 


ක්‍රමවේදය


මේ පිළිබඳව සිදු කළ අධ්‍යයනයේදී දී අදාළ ස්ථානය කුමක්ද යන්න නිරීක්ෂණය කරන ලදි. ඉන් පසුව මේ පිළිබඳව ඇති ඓතිහාසික වාර්තා යොදාගනිමින් මෙම ගොඩනැගිල්ල කුමක්ද යන්න හඳුනා ගැනීමට උත්සාහ කිරීමට යෙදුණි. එහි දී යොදාගෙන ඇති සමකාලීන ලේඛන අතර, බ්‍රිතාන්‍ය යුගයේ මෙරට සේවය කළ නිලධාරින්ගේ රාජකාරි ලිපි, දිනපොත් සටහන්, සිතියම් හා සැලසුම් වැනි ප්‍රාථමික මූලාශ්‍රය ඇතුළත් වේ. එමෙන්ම එම නිලධාරින් විසින් සම්පාදනය කර ඇති, විවිධ ආයතනවල වාර්ෂික වාර්තා හා සඟරා ලිපි වැනි ලේඛන ද යොදාගෙන ඇත. ඒවා වැඩි ප්‍රමාණයක් ද සමකාලීන ලේඛන වෙයි. 


ප්‍රතිඵල 


(i) මේ භූමියේ අතීත භාවිතය හඳුනාගැනීම 

අතීතයේ මේ ස්ථානයේ පිහිටා තිබූයේ කුමක්ද යන්න හඳුනාගැනීමට මුලින්ම උත්සාහ කරන ලදි. එහිදී පෙනී ගොස් ඇති ආකාරයට 1878 වර්ෂය වන විට හෝ ඊට පෙර මේ භූමිය සරඹ භූමියක් ලෙස භාවිත වී ඇති බව පෙනෙයි. ඒ 1878 වර්ෂයේදී සකස් කර ඇති සිතියමක මෙම භූමිය Parade Ground ලෙස සඳහන් කර ඇති බැවිනි (4 රූපය) (1). එම සිතියමට අනුව මේ භූමියේ ඇති එකම ඉදිකිරීම බටහිර දිශාවේ කෙලවරට වන්නට පිහිටා ඇති ඉදිකිරීමකි. 


1883 වර්ෂයේ මැයි මස 16 වැනි දින දිසාපති මෙන්ම ලෝකල් බෝඩ් සභාපතිවරයා විසින් මේ භූමිය ලෝකල් බෝඩ් වෙත ලිඛිතව පවරාදී ඇත. (Local Board යනු 19-20 සියවස්වල මෙරට ප්‍රධාන නගරවල කටයුතු සඳහා පිහිටුවා තිබූ සභා වර්ගයකි. ඒ නගරසභා ඇතිකිරීමට පෙරය. මෙහි ප්‍රධානියා දිසාපති හෝ උපදිසාපතිය) එම ලේඛනයේ දී ද මේ භූමිය හඳුන්වා දී ඇත්තේ Parade Ground ලෙසය. මේ බව 1903.09.19 දින යටත්විජිත ලේකම් නැත වෙත යවන ලද ලිපියක සඳහන් වේ (2). එම ලිපියට අමුණා ඇති සැලසුමක (5 රූපය) දැක්වෙන පරිදි, වර්තමානයේ දොස්තර ද සිල්වා මාවත එකල හඳුන්වා ඇත්තේ පැරේඩ් ස්ට්‍රීට් (Parade Street) යනුවෙනි. එම පිටිය හමුදා හෝ පාසල් ළමුන් අතර භාවිත වූ බව සිතිය හැකිය. එවැනි පිටියක් ලෙස භාවිත වූ භූමියක පොළොව මතුපිට පැරණි ඉදිකිරීම් නොතිබීමට වැඩි අවස්ථාවක් පවතී. 


ඒ අනුව මේ භූමි භාගයේ යම් යම් ඉදිකිරීම සිදුකිරීම ආරම්භ වී ඇත්තේ මේ කාලයන් පසුව විය යුතුය. මේ මාතෘකාවේදී වැදගත්වන ඉදිකිරීම පිළිබඳ සාධක ලැබෙන්නේ 1880 දශකයේ මැද භාගයේ සිටය. 

(ii) කඩා දැමූ ගොඩනැගිල්ල හඳුනාගැනීම 

මේ වාර්තා අනුව පෙනෙන්නේ මෑත දී කොටසක් කඩා දැමූ ගොඩනැගිල්ල 1887 දී පමණ ඉදි කළ ජුබිලි අම්බලමෙහි කොටස් භාවිත කරමින් 1894 දී පමණ තනන ලද නගර ශාලාව වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි. නගර ශාලාව පසුකලක වෙනස්කම් සිදුකර වෙනත් කාර්යයන් සඳහා යොදාගත් බව ද පැහැදිලිය. 

දොස්තර ද සිල්වා මාවත (එකල පැරේඩ් වීදිය) හා දඹුළු පාර අතර භූමියේ ජුබිලි අම්බලමක් තනන ලද්දේ 1887 වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ රාජපදප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙනි. එවැනි ජුබිලි සිහිවටන ගණනාවක් ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉදිකරන ලදි. එම අම්බලම තැනීමේ අරමුණ වූයේ නගරයට පැමිණෙන පිරිස්වල භාවිතය සඳහාය. (3) 

එසේ ඉදිකරන ලද අම්බලම විවෘත එකක් වූ බව 1901.05.30 දින එවකට කුරුණෑගල දිසාපති වූ කොලින් ඇලෙක්සැන්ඩර් මරේගේ දිනපොතේ ඇති සඳහනක් අනුව පෙනේ. වසර හතරක් වැනි කාලයත් තුළ එම අම්බලමෙන් ප්‍රයෝජනයක් නොමැති බව හෙළි වූ බව ඔහු කියයි. ඔහු ඊට වසර එකොලහකට පමණ පෙර කුරුනෑගල වැඩබලන දිසාපති ලෙස සිටිය දී එම අම්බලම නගරශාලාවක් බවට පත් කළ යුතු බව ලෝකල් බෝඩ් රැස්වීමකදී සඳහන් කළ බවද හෙතෙම සඳහන් කරයි. තමන් කුරුණෑගලින් මාරු වී ගිය පසු එම නිර්දේශය ඉටු කර ඇති බව සඳහන් කරන ඔහු පවසන්නේ “සෑම විටම දැකුම්කලු වූ උඩරට වාස්තු විද්‍යාත්මක මෝස්තරය” නව ගොඩනැගිල්ලේදී දී ආරක්ෂා වී ඇති බවයි. ඒ අනුව, ඉදිකරන ලද නගරශාලාව නිතර මහජන රැස්වීම්, ප්‍රසංග, නැටුම් හා නාට්‍ය ආදියට භාවිත වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. පහත දක්වා ඇත්තේ එම දිනපොත් සටහනේ උදෘතයයි.‍ 

“The first Jubilee Kandyan Ambalam built on style at a cost of Rs. 7000 was after standing 4 years noted as useless. It was a handsome structure but being open on all sides was never used. ... I used to see 3 or 4 coolies shivering on the lee side of the pillars on a wet day. When I was here eleven years ago, I suggested at a local board meeting that it should be converted into a town hall. This was carried into effect after I left. The Kandyan style of architecture which always looks so picturesque was preserved inclosing [?] in & adding to the building & now the town has a most useful building which is always used on public occasions, for public meetings, concerts, dances & plays. It [pays] its [w]ay which so satisfactory.” (4)

මේ ආකාරයට අම්බලම, නගරශාලාවක් බවට පත් කරන ලද්දේ 1893 හා 1894 වර්ෂවල දීය. ඒ ගැන ලෝකල් බෝඩ් වාර්තාවල සඳහන් වේ. ජුබිලි සිහිවටනයක් ලෙස තැනූ අම්බලම පළාත් මාර්ග කමිටුවෙන් (Provincial Road Committee) ලෝකල් බෝඩ් මණ්ඩලය වෙත පවරන ලද බව හා එය කඩා ඉවත් කර නගරශාලා ගොඩනැගිල්ල තැනූ බව 1893 වර්ෂය සඳහා වන කුරුණෑගල ලෝකල් බෝඩ් වාර්ෂික වාර්තාවේ සඳහන්ය. එසේම අම්බලම් ගොඩනැගිල්ලේ තිබූ ද්‍රව්‍ය හැකිතාක් යොදාගත් බව ද එහි සඳහන් කර ඇත. එසේ තැනූ ගොඩනැගිල්ලේ ප්‍රමාණය දිගින් අඩි 72ක් හා පළලින් අඩි 22ක් වූ බව ද සඳහන් වෙයි. ලෝකල් බෝඩ් සභාපති මෙන්ම දිසාපති ද වූ ඊලියන් ආම්ස්ට්‍රෝන් කිංග් මෙසේ වාර්තා කරයි. 

“The ambalam, which was built as a jubilee memorial, never having proved of use, was handed over to the Local Board by the Provincial Road Committee. The Board has pulled down this structure, and is building upon its site a Town Hall, utilizing as much as possible old materials. Before the end of the year the greater part of the shell of the new structure was built. Further funds have since been voted in order to extend the building. It will contain a Hall 72 feet long and 22 feet wide.” (5)

මෙම නගරශාලාව 1894 අවසන් භාගයේදී විවෘත කරන ලද බව එම වර්ෂය සඳහා වන ලෝකල් බෝඩ් වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. එහි ස්ථිර වේදිකාවක් හා නේපත්‍යාගාරයක් ද සකස්කර ඇත. මූලික වශයෙන් මෙම ගොඩනැගිල්ලට අලංකරණයක් එක් කළ උඩරට මෝස්තරයේ ලී කුළුණු ගැන සඳහන් කරන මේ වාර්තාව ඒවා එතැන කලින් තිබූ ගොඩනැගිල්ලේ උරුමයක් බව පවසයි. එසේම මේ නගරශාලාව තැනීමට රු. 5785.57ක මුදලක් වැය කළ බව ද එහි සඳහන් වෙයි. එම වාර්තාවේ අදාළ උදෘතය මෙසේය. 

“The Town Hall, commenced in the previous year, was completed and opened in the end of 1894. It is provided with a permanent stage and green room, and the entire cost of the work was only Rs. 5785.57. The wooden pillars in the Kandyan style, which chiefly contribute to its ornamentation, were, however, a legacy from the building which it displaced.” (6)


එසේම මේ ගොඩනැගල්ලට නව එකතු කිරීමක් 1899 වර්ෂයේදී සිදුකර ඇත. 1899.06.22 දින එවකට සිටි දිසාපති වූ හාඩිංග්ස් හේ කැමරන්ගේ දිනපොත් සටහනක් අනුව එදින පැවති ලෝකල් බෝඩ් රැස්වීමේදී එම යෝජිත නව කොටස ගැන එකඟතාවයක් ඇති වී තිබෙන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ජුබිලි අරමුද‌ලේ ඉතිරි මුදලින් ගෙවීමට ද එකඟ වී ඇත (7). මෙසේ ජුබිලි අරමුදලෙන් මුදල් වැයකර ඇත්තේ එම ගොඩනැගිල්ලේ මුලාරම්භය ජුබිලි අම්බලම නිසා බව පැහැදිලිය. 

ලිපි කිහිපයක්, සැලසුම් හා සිතියම් මගින් මේ නගරශාලාව (කලින් අම්බලම) තිබූ ස්ථානය හඳුනාගැනීමට හැකියාව ලැබේ 

1900 වර්ෂයේ පෙබරවාරි මාසයේ ආණ්ඩුකාරවරයා කුරුණෑගලට පැමිණි අවස්ථාවේදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය නගරශාලාව පසුපස ඇති ඉඩමේ ඉදිකළ යුතු බව තීරණය කළ බව ෆ්රැන්සිස් කොන්රඩ් ෆිෂර් දිසාපති තැන 1900.03.12 දින යවන ලද ලිපියක සඳහන් වේ.(8) එම ඉඩම තෝරාගැනීම ගැන සිය දිනපොතේ සටහනක් තබා ඇති දිසාපතිවරයා නගර ශාලාවට පසුපසින් තිබූ පාසල් ශාලාව (school room) ඉවත් කර රෙජිස්ටාර් කාර්යාලය තැනීමට එම ඉඩම යොදාගන්නා ලෙස ආණ්ඩුකාරයා විසින් කළ නගර නිරීක්ෂණ‌යෙන් පසුව එකඟ වූ බව සටහන් කරයි. එදින ආණ්ඩුකාරයා නගර ශාලාවේදී ලෝකල් බෝඩ් සාමාජිකයන් හමු වී රුස්වීමක් ද පවත්වා ඇත.(9) 

මේ ඉඩම සඳහන් සැලසුම් දෙකක් උක්ත ලිපි ගොනුවේ ඇතුළත්ය. ඉන් එකක් වන 1903.09.19 දින දරන ලිපියකට අමුණා ඇති සැලසුමේ දඹුළු පාර, පැරේඩ් වීදිය හා කඩ වීදිය (බසාර් වීදිය - අද මහ වීදිය) යන මාර්ග තුනෙන් සීමා වූ ත්‍රිකෝණාකාර භූමියේ නගරශාලාව (Town Hall), ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල ගොඩනැගිල්ල (Land Registry) හා කුඩා ජලාශයක් (Reservoir) සලකුණු කර ඇත. (5 රූපය). එම ලිපියේ සඳහන් වන්නේ මෙම ත්‍රිකෝණාකාර භූමියේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හැර සෙසු ඉඩම් කොටස් දෙක (A හා C යන කොටස් දෙක) ලෝකල් බෝඩ් යටතට පවරා ගැනීමට අවසර ඉල්ලීමකි. මේ ගැන කලින් එකඟ වී ඇති පරිදි කටයුතු කළ යුතු බව යටත් විජිත ලේකම් සඳහන් කර ඇත)(10). 

මේ මාර්ග මෙන්ම මේ ගොඩනැගිලි පිහිටා ඇති ස්ථාන ද 1907 හා 1909 වර්ෂවල ජල සම්පාදනය සම්බන්ධව සකස් කළ සිතියම්වල පැහැදිලිව සඳහන් වේ. මෙයින් 1907 වර්ෂයට අදාළ සිතියම පහත දැක්වේ (6 රූපය).(11) 


නිගමනය


මේ කරුණු අනුව මෑත දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ඇතුළත් භූමියේ සරඹ පිටිය පැවති බවත් හා 1878 වර්ෂයට පෙර එතැන ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බව නිගමනය කළ හැකිය. 1887 වර්ෂයේදී ඉදි කළ ජුබිලි අම්බලම ඒ ස්ථානයේ මුලින් පැවති බවත්, පසුව එම අම්බලම කඩා දමා, එහි තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු හා වෙනත් ද්‍රව්‍ය ද භාවිත කර එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවත් පැහැදිලිය. අප මාතෘකා කරගත් මෑත දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල එම නගර ශාලාවට යම් යම් වෙනස්කම් කිරීමෙන් නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණ වන්නේ කරුණු දෙකක් නිසාය. 

(i). පළමුවැන්න වන්නේ මේ නගර ශාලාව තැනීමේදී ඊට පෙර තිබූ අම්බලමේ තිබූ උඩරට සම්ප්‍රදායේ දැව කණු භාවිත කළ බවට සාධක තිබීමය. අද කොටසක් කඩා දමා ඇති ගොඩනැගිල්ලේ ඇති උඩරට සම්ප්‍රදායේ නිර්මාණ වන දැව කණු, එසේ නගරශාලාව ඉදිකිරීමේ දී ද යොදාගත් බව සඳහන් වන ජුබිලි අම්බලමෙන් ඉතිරි වූ කණු වීමට බොහෝ දුරට ඉඩ ඇත. 

(ii). දෙවන්න වන්නේ නගර ශාලාවට දකුණින් ත්‍රිකෝණයක එක් කෝණයක් වැනි ස්ථානය දෙසට වන්නට තවත් ගොඩනැගිල්ලක් තැනීමට තරම් භූමියක් නොමැති වීමය. මේ බව දැක්වෙන 7 රූපය සකසා ඇත්තේ පරිමාණයට අඳින ලද 3 රූපය හා Google Earth ඡායාරූපය යොදාගනිමිනි. එහි‌ ඉඩම් රෙජිස්‍ට්‍රාර් කාර්යාලයට (1900 පමණ ඉදි කළ) සාපේක්ෂව නගර ශාලාවේ (1893-94 ඉදි කළ) පිහිටීම හා එය වර්තමාන Google Earth ඡායාරූපයක් මත අතිපිහිත කළ විට දළ වශයෙන් පෙනෙන ආකාරය (රෝස පාටින්) දක්වා ඇත. එහි නගරශාලා පිවිසුම හා මාර්ගය ද ලකුණු කර ඇත. එසේම දඹුළු පාර පුළුල් වී ඇති ආකාරය බැලූවිට, එදා නගරශාලා ගොඩනැගිල්ලත් දඹුළු පාරත් අතර ඇති ඉඩ ප්‍රමාණය ද අද වන විට අඩු වී ඇති බව පෙනෙයි. ඒ අනුව නගරශාලා ගොඩනැගිල්ලට ඉදිරියෙන් වෙනත් ගොඩනැගිල්ලක් තිබීමට ඇති අවස්ථාව අඩුය. නගරශාලාව දැකුම්කලු එකක් බව සඳහන් කර ඇති නිසා එය ආවරණය වන ලෙස තවත් ගොඩනැගිල්ලක් තැනීමට බලධාරීන් අවසර දේ ද යන්නද සැකසහිතය. (අප මේ ගැන අවධානය යොමු කළේ මහනුවර සම්ප්‍රදායේ ලක්ෂණ ඇතිව ඉදි කළ තවත් ගොඩනැගිල්ලක් කුරුණෑගල නගරයේ 1903-04 කාලයේ ඉදි කළ නිසාය. ඒ ගැන විස්තර පහත සඳහන් වේ).
 
ජුබිලි අම්බලම කඩා බිඳ දමා, පසුව වෙනත් සැලැස්මකට අනුව නගර ශාලාව තනන ලද නිසා පාදම පවා වෙනස් විය යුතුය. පසුව සිදු කළ එක් කිරීම්වලදී එම පාදම තවදුරටත් වෙනස්වන්නට ඇත. කුරුණෑගල නගරයේ අද පවත්නා (නව) නගර ශාලාව 1948 වර්ෂයේදී විවෘත කරන ලද්දකි. එම කාලයට පසු හෝ ඊට පෙර සිට මෙම පැරණි නගරශාලාව තිබූ ගොඩනැගිල්ල වෙනස්කම් සිදුකර වෙනත් භාවිතයකට යොදාගෙන ඇති බව සිතිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් දැනට ජීවත්ව සිටින සමහරුන්ට අනුව මීට දශක කීපයකට පෙර කාලයේදී මෙම ගොඩනැගිල්ල උප දිසාපති කාර්යාලය ලෙස භාවිත වී ඇත. 

විශේෂයෙන් පැරණි යුගයකට අයත් වාස්තු විද්‍යාත්මක මෝස්තරයට අනුව හෝ එවැනි අංග යොදාගනිමින් හෝ පසු කාලයක ගොඩනැගිලි නිර්මාණය කළ සුවිශේෂී අවස්ථාවකට මෙම ගොඩනැගිල්ල ද නිදසුනකි. නිදසුනක් ලෙස මෙම ගොඩනැගිල්ල මෙන්ම පහත විස්තර කරන කුරුණෑගල නගරයේම ඉදිකරන ලද මුලාදෑනි නවාතැන, 20 වන සියවසේ මුල දී ඉදි කළ රුවන්වැල්ල අම්බලම දැක්විය හැකිය. එසේම ස්වදේශික ගෘහනිර්මාණශිල්පය පිළිබඳව බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති ආකාරය ද ඉහත දක්වා ඇති ඓතිහාසික වාර්තා අනුව පැහැදිලිය. එබැවින් මෙම හඳුනාගැනීම මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමට මෙන්ම පුරාවිද්‍යා පනත යට‌තේ ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට උපකාර කරගත යුතුය. 


සාකච්ඡාව


කොටසක් කඩා දැමූ ගොඩනැගිල්ල පිළිබඳව ඉදිරිපත් වී ඇති සෙසු මත පිළිබඳව සිදු කළ නිරීක්ෂණ කීපයක් සාකච්ඡාව යටතේ සඳහන් කළ යුතුය. ඉහත සඳහන් කරන ලද පරිදි මේ ගොඩනැගිල්ල පිළිබඳව මත කීපයත් ඉදිරිපත්ව ඇත. මේ අතර (අ). බුවනෙකබාහු රජුගේ රාජසභාව, (ආ). කච්චේරි ගොඩනැගිල්ල, (ඇ). පැරණි උසාවි සංකීර්ණය හා (ඈ) මහනුවර යුගයේ ගොඩනගන ලද ගොඩනැගිල්ලක් යන අදහස් මූලික වේ. 


(අ). බුවනෙකබාහු රජුගේ රාජසභාව - මේ ගොඩනැගිල්ල 13-14 සියවස්වලට අයත් කුරුණෑගල යුගයේ එකක් වීමට ඓතිහාසික සාධක නොමැති බවත් එය ජනප්‍රවාදයක් බවත් මේ වන විට ප්‍රකාශ වී ඇත. කුරුණෑගල මාලිගා භූමියෙන් හමු වී ඇති ශිලාමය අවශේෂ එකල තිබූ ගොඩනැගිලි කෙබඳු වුයේද යන්න පෙන්වා දෙයි. එසේම ගොඩනැගිල්ලක් නොතිබූ ස්ථානයක දැවමය නිර්මාණ පමණක් සියවස් හතක් පමණ කාලයක් ඉතිරි වී තිබීම ද අපහසුය. එසේම කඩා දැමුණු ගොඩනැගිල්ලේ ඇති දැව නිර්මාණ මහනුවර සම්ප්‍රදායේ මෝස්තර බව පැහැදිලිය. 

(ආ). කච්චේරි ගොඩනැගිල්ල - මේ ගොඩනැගිල්ල කච්චේරි ගොඩනැගිල්ල බවට ද අදහසක් ඉදිරිපත් විය. ඒ සඳහා හේතු වී ඇත්තේ 1893 වර්ෂයේ දී රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවට එෆ්. මොඩර් විසින් රචනා කරන ලිපියක (12) එන තොරතුරු වරදවා වටහා ගැනීම බව පෙනේ. මොඩර් එහි ඇති ගොඩනැගිලි දෙකක් ගැන සඳහන් කරයි. ඒ ‘කච්චේරිය’ හා ‘මාලිගාව’ යනුවෙනි. දිසාපති තැනගේ කාර්යාලය වන කච්චේරියට කුරුණෑගල තිබූ යුද කඳවර තරම් ඉතිහාසයක් තිබිය හැකි බව ඔහු කියයි. එසේම 1848 වර්ෂයේදී කැරලිකරුවන් කච්චේරියේ පැවති සුරක්ෂිතාගාරය (Vault) කැඩීමට උත්සාහකරද්දී එල්ල වූ පොරෝ පහරක සලකුණු ගැන ද සඳහන් කරයි. 

එහෙත් මේ සඳහන් කච්චේරිය පිහිටා ඇති ස්ථානය ඇත්තේ දඹුළු පාරෙන් බොහෝ ඈතට වන්නටය. එය වර්තමාන වත්හිමි පාරේ (අතීතයේ සර්කියුලර් පාර) තරමක් දුරින් පිහිටා ඇත. එම කච්චේරිය Kachcheri ලෙස 1878 හා 1907 දින දරණ සිතියම් දෙකක (5 හා 6 රූප) සඳහන් වන ගොඩනැගිල්ලය. 1903 වර්ෂයේ අඳින ලද එම කච්චේරියේ ඉදිරි පෙනුම දැක්වෙන චිත්‍රයක් 8 වන රූපයේ ද, එහි බිම් සැලසුම 9 වන රූපයේ ද දැක්වේ (13). එහි පෙර සඳහන් සුරක්ෂිතාගාරය Vault ලෙස සඳහන් වී ඇති ආකාරය උපුටා දක්වා ඇත. එසේම ගොඩනැගිල්ලේ කාමර සැලසුම අනුව කෙතරම් නිලධාරීන් පිරිසක් එහි සේවය කර තිබේද යන්න පෙනෙයි. 



මෙම පැරණි කච්චේරිය පසුව දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කර ඇති අතර, එම රතු පාටින් දක්වා ඇති යෝජිත නවීකරණයෙන් පසු ඉදිරි පෙනුම දැක්වෙන සැලසුමක් 10 රූපයේ දැක්වේ. ඒ අනුව වර්තමානයේ පළාත් සභා ගොඩනැගිල්ල අසල ඇති පැරණි ගොඩනැගිල්ල මේ කච්චේරියේ ඉතිරිව ඇති කොටස විය යුතුය. 


එසේම මොඩර් මාලිගාව ලෙස සඳහන් කර ඇත්තේ දිසාපතිවරයාගේ නිල නිවසය. ඉංග්‍රීසි බසින් Residency හෝ Residence ලෙස සඳහන් වන දිසාපති නිල නිවසක් කුරුණෑගල දී මුලින්ම ඉදිකරන ලද්දේ 1819-22 අතර පමණ කාලයේ දී ය. (14), එහෙත් එය වෙනුවට පසුකලක වෙනත් ගොඩනැගිල්ලක් තනා ඇති බව අද පවත්නා ගොඩනැගිල්ලේ නිර්මාණ ලක්ෂණ අනුව පෙනෙයි. 

(3). පැරණි උසාවි සංකීර්ණය - පැරණි උසාවි සංකීර්ණය පිහිටා තිබුණේ වර්තමාන සූරතිස්ස මාවත, කොළඹ පාර හා නුවර පාරෙන් සීමා වන පෙදෙසේ බව 1878 සිතියම අනුව ද පෙනෙයි. මෙහි පිහිටා ඇති එක් ගොඩනැගිල්ලක් 2009.07.10 දින පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

(4) මහනුවර යුගයේ ගොඩනගන ලද ගොඩනැගිල්ලක් - මේ අදහස ජනනය වන්නේ මේ කඩා දමන ලද ගොඩනැගිල්ලේ දැකිය හැකි උඩරට සම්ප්‍රදායට අනුව නිර්මාණය කරනු ලැබ ඇති කණු නිසාය. එහෙත් බ්‍රිතාන්‍ය යුගයේ 1880 දශකයේදී ඉදි කළ ජුබිලි අම්බලමේ තිබූ උඩරට සම්ප්‍රදායේ කණු පසුව ඉදිකරන ලද නගරශාලාවේ භාවිත කළ බවට පැහැදිලි සාධක ඉහත දක්වා තිබේ. එසේම පසුව 1903 පමණ කාලයේදී කුරුණෑගල නගරයේ තනන ලද ‘මුලාදෑනි නවාතැන’ (Headmen’s Lodge) හෙවත් ස්වදේශික අම්බලම (Native Ambalam) නම් ගොඩනැගිල්ල ද උඩරට සම්ප්‍රදායේ ගෘහනිර්මාණ ශිල්පය ඇතුළත් ගොඩනැගිල්ලක් විය. නගරයට පැමිණෙන රජයේ ස්වදේශික නිලධාරින්ගේ භාවිතය සඳහා ආටිගල මුහන්දිරම්ගේ ධන පරිත්‍යාගයෙන් (15), 1903-1904 කාලයේදී ඉදිකරන ලද (16) මේ අම්බලම කාමර දෙකකින්, ශාලාවකින් හා මුළුතැන්ගෙයකින් ද සමන්විත විය. (17) ඒ අනුව උඩරට සම්ප්‍රදායේ ගෘහ නිර්මාණ අංග තිබූ පමණින් යමක් උඩරට සම්ප්‍රදායට අයත් කිරීම කළ නොහැකිය. මේ සඳහා දැක්විය හැකි තවත් නිදසුනක් වන්නේ රුවන්වැල්ල බලකොටුව අසල පිහිටා ඇති 20වන සියවසේ මුල් භාගයේ ඉදිකරන ලද අම්බලමයි. බ්‍රිතාන්‍ය යුගයේදී ඉදි කළ එහි ද උඩරට සම්ප්‍රදායේ අංග දැකිය හැකිය. මෙවැනි තවත් ඉදිකිරීම් රටේ විවිධ පෙදෙස්වල ඇත. 

ස්තුතිය - දිනිත් ඉන්දික හෑගොඩ, භූෂණ කල්හාර, එෂාන් ඉමල්ක විජයරත්න, ප්‍රසාද් ෆොන්සේකා, බන්දුල සිසිරකුමාර, මුදිත කරුණාමුනි, ලලිත් ගමගේ, ජයසිංහ බණ්ඩාර යන මහත්වරු හා ජාතික ලේඛනාගාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 


රූප පිළිබඳ විස්තර


1. කඩා දමන ලද ගොඩනැගිල්ල වසර කීපයකට පෙර පැවති ස්වභාවය (Google Street View ආශ්‍රයෙනි) 

2. කඩා දමන ලද ගොඩනැගිල්ල හා වෙනත් ස්ථාන දැක්වෙන සිතියම (Google Map ආශ්‍රයෙනි) 

3. අදාළ ස්ථානයේ 2006 හා 2020 වර්ෂවල Google Earth ඡායාරූප සංසන්දනයක් 

4. 1878 වර්ෂයේ කුරුණෑගල නගරයේ කොටසක් දැක්වෙන සිතියමක් (මූලාශ්‍රය 1) 

5. මෑතදී කඩා දමන ලද ගොඩනැගිල්ල පිහිටි ස්ථානය හා ඒ අවට පිහිටා තිබූ ගොඩනැගිලි දැක්වෙන 1903 වර්ෂයේ සිතියමක් (මූලාශ්‍රය 2) 

6. කුරුණෑගල නගරයේ ජල සැපයුම සඳහා වූ සැලසුම් දැක්වෙන 1907 වර්ෂයේ සිතියමක් (මූලාශ්‍රය 11) 

7. ඉඩම් රෙජිස්‍ට්‍රාර් කාර්යාලයට සාපේක්ෂව පැරණි නගර ශාලාවේ සාපේක්ෂ පිහිටීම හා එය වර්තමාන Google Earth ඡායාරූපයක් මත අතිපිහිත කළ විට දැක්වෙන ආකාරය 

8. පැරණි කච්චේරියේ ඉදිරි පෙනුම දැක්වෙන 1903 වර්ෂයේ චිත්‍රයක් (මූලාශ්‍රය 14) 

9. පැරණි කච්චේරියේ බිම් සැලසුම දැක්වෙන 1903 වර්ෂයේ චිත්‍රයක් (මූලාශ්‍රය 14) 

10. පැරණි කච්චේරිය සඳහා යෝජනා කළ නවීකරණයෙන් පසු ඉදිරි පෙනුම දැක්වෙන 1904 වර්ෂයේ චිත්‍රයක් (මූලාශ්‍රය 14) 


මූලාශ්‍රය


(1). සැසි වාර්තා අංක 12/1878 – Report of the Commission appointed to inquire into the Causes of the Bursting of the Bund of the Kurunegala Tank 

(2). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(3). Administration Report of Kurunegala Local Board, 1893, පි. 10 

(4). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1901.05.30 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(5). Administration Report of Kurunegala Local Board, 1893, පි. 10 

(6). Administration Report of Kurunegala Local Board, 1894, පි. 9 

(7). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1899.06.22 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(8). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(9). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1900.02.01 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(10). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(11). PF 2007 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(12). Modder, F. (1893), Kurunegala Vistaraya with notes on Kurunegala, ancient and moders, Journal of the Royal Asiatic Society o (Ceylon Branch), වෙළුම 13 (අංක 44), පිටු. 35-57 

(13). PF 1238 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 

(14). Binham, P.M. (1921) History of the Public Works Department, Ceylon, 1796 to 1913, වෙළුම 1, පි. 36 

(15). Administration Report of Kurunegala Local Board, 1899, පි. 14 

(16). Administration Report of Government Agent, North-Western Province, 1904, පි. 8 

(17). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1901.05.30 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය) 


පළමුව ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ - 2020.08.01