Thursday, February 14, 2013

අලි මරණ ඉහළ යෑමේ ප‍්‍රවණතාවයක්?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-02-06, පි. 05
Vidusara website: Not available online (unedited writeup is reproduced below)

පසුගිය සතියේ අපේ රටේ පුවත්පත් වාර්තා අතර තිබූ ප‍්‍රධානතම පරිසර පුවතක් වූයේ 2012 වර්ෂයේ ඇතිවූ අලි-මිනිස් ගැටුමේ ප‍්‍රතිඵල පිළිබඳ සටහනයි. එ් අනුව ගතවූ වර්ෂය ඇතුළත අලි මරණ 252ක් හා මිනිස් මරණ 66ක් පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබේ. (වැඩි පුවත්පත් ප‍්‍රමාණයක් මේ සංඛ්‍යා දක්වා තිබූ අතර එක් පුවත්පතක මේ සංඛ්‍යා මීට වඩා අඩුවෙන් දක්වා තිබිණි.)
ශ‍්‍රී ලංකාව ආසියානු අලි ගහන ඝනත්වය අතින් ඉහළම රට සේ සැලකිය හැකිය. 2003 වර්ෂයේ ප‍්‍රකාශිත අධ්‍යයනයකට අනුව ලෝකයේ වෙසෙන සමස්ත ආසියානු අලි ගහනයෙන් දහයෙන් එකකට අධික ප‍්‍රමාණයක් අලින් වාසය කරන බිම් ප‍්‍රමාණයෙන් (range) සියයට 2ක තරම් අඩු ප‍්‍රමාණයක වාසය කරයි. (මෙරට අලි ගහනය පිළිබඳ නව සංඛ්‍යාලේඛන අනුව මේ ප‍්‍රමාණය සමස්ත ආසියානු අලි ප‍්‍රමාණයෙන් දහයෙන් එකකට වඩා අධික විය යුතුය*. අපේ රටේ ජනගහන ඝනත්වයද ඉහළ වන බැවින් අපේ රට ඇතුළත අලි-මිනිස් ගැටුමක් ඇතිවීම ස්වාභාවිකය. දිනෙන් දින වැඩිවන මිනිස් ජනගහනයත් සමඟ මේ ගැටලූව උග‍්‍රවීමට ඉඩ ඇති බැවින් එය වළක්වා ගැනීම අද දවසේ අප හමුවේ ඇති අභියෝගයයි. මේ නිසා උක්ත තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කිරීම කාලෝචිත වේ.

මේ සමඟ ඇති පළමු වගුවේ දැක්වෙන්නේ විවිධ මූලාශ‍්‍රය යොදාගනිමින් මෑත වර්ෂ අටක පමණ කාලය ඇතුළත සිදුවූ අලි මරණ ප‍්‍රමාණයයි.

1 වගුව: අලි මරණ ප‍්‍රමාණය

(මූලාශ‍්‍රය: වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත යොදාගත් පුවත්පත් හා වෙනත් ලිපි)

අලි-මිනිස් ගැටුමේ වර්ධනය

ඉහත කී වගුව නිරීක්ෂණය කිරීමේදී අපට අලි-මිනිස් ගැටුමේ වර්ධනය පිළිබඳ කැපීපෙනෙන අවස්ථා දෙකක් හඳුනාගත හැකි බව පෙනේ. ඉන් පළමුවැන්න 2006 හා 2008 අතර කාලයේදී අලි මරණ ප‍්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑමයි. මීට හේතු කිහිපයක් තිබිය හැකිය. ඉන් පළමුවැන්න වන්නේ 2009 දක්වා මෙරට උතුරු හා නැගෙනහිර පළාත්වල පැවැති ත‍්‍රස්තවාදී ගැටුම් නිසා අදාළ පළාත්වල හා තදාසන්න ප‍්‍රදේශවල ජනතාව වාසය කළේ අඩු වශයෙනි. ගොවිබිම් හා ජනාවාස විශාල ප‍්‍රමාණයක් අත්හැරදමා තිබිණි. එහෙත් ගැටුම් ක‍්‍රමයෙන් නිමාවෙද්දී මේ ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීම හා වගා කටයුතුද ආරම්භ විය. විශේෂයෙන් නැගෙනහිර පළාතේ හා තදාසන්න ප‍්‍රදේශවල මේ තත්ත්වය දැකිය හැකිවිය. දශක දෙකක් පමණ කාලයක් තිස්සේ අලි-ඇතුන් හා වෙනත් වනසතුන්ට කැපවී තිබූ බිම්වල නැවතත් මිනිසුන් පදිංචිවීම හා වගා කිරීමත් සමඟ අලි-මිනිස් ගැටුම ඉහළ ගියේය. අනෙක් අතට ගැටුම් පැවැති සමයේදී මේ පළාත්වල මෙන්ම ඊට ආසන්න ප‍්‍රදේශවල මියගිය අලි ඇතුන් පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන බලධාරීන්ට ලැබුනේද යන්නය.

එසේම මේ වගුවට අනුව 2011 හා 2012 වර්ෂවල අලි මිනිස් ගැටුමෙන් මියගිය අලින්ගේ ගණන, ඊට පෙර වසර දෙකක කාලය (2009 හා 2010) හා සංසන්දනය කරන විට සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවක් පෙනේ. මේ අනුව මෑත වසර දෙක තුළ අලි-මිනිස් ගැටුමේ වර්ධනයක් ඇති වී තිබෙන බව පෙනේ.
අලි මරණවලට හේතු මොනවාද?

මේ ලිපිය සමඟ ඇති දෙවන වගුව සකස් කර ඇත්තේ 2008-2010 අතර කාලයේදී ඇතිවූ අලි මරණවලට හේතුවූ කරුණු විමසා බැලීමෙනි.

2 වගුව: අලි මරණ සඳහා බලපා ඇති හේතු

(මූලාශ‍්‍රය: උපුටා ගැනීම - 2011දී Gajah 35 වෙළුමේ පළවූ Current Status of Asian Elephants in Sri Lanka ලිපිය)

2008-2010 අතර කාලයේදී සිදුවූ අලි මරණ සඳහා බලපෑ හේතු අතරින් 47.5%කට ආසන්න ප‍්‍රමාණයකට හේතු වී තිබුනේ වෙඩිතැබීම්ය. එහෙත් එහි යම් අඩුවීමක් දැකිය හැකිය. 2012 වර්ෂයේදී වෙඩිතැබීම් නිසා මරණයට පත්ව ඇති අලින් ගණන 44ක් බව වාර්තාවක සඳහන් විය. වෙඩි වැදී මියයන අලි ගණන අඩුවී ඇතත් අලි මරණ ප‍්‍රමාණය ඉහළ ගොස් තිබේ. ඒ කෙසේද? උක්ත පුවතට අනුව හක්ක පටාස් නිසා සිදුවන මරණ ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ඇත. වනජීවී දෙපාර්තමේන්තුවට අනුව හක්ක පටාස් නිසා සිදුවන අලි මරණ වාර්තා වන්නේ 2010 වර්ෂයේ පටන්ය. එහෙත් එවැනි මරණ ඊට පෙර පටන් වාර්තා වී ඇති බවට සාධක ඇති අතර මේ උපක‍්‍රමය ත‍්‍රස්ත ගැටුම් අවසානයේදී වර්ධනය වෙමින් ඇති බව පෙනේ. 2010 වර්ෂයේ 11ක් ලෙස පැවැති හක්ක පටාස් අලි මරණ ගණන 2011දී 36ක් දක්වාද 2012දී මේ අගය 35 දක්වා වර්ධනය වී තිබේ. පෙර සඳහන් වගුවේ දත්ත අනුව අනෙක් හේතු නිසා සිදුවන අලි මරණ ගණනට අමතරව මේ අමානුෂීය ක‍්‍රියාමාර්ගය මෑත කාලයේදී වැඩි වී ඇති අලි මරණවලට හේතුවී ඇති බව පෙනේ. සතුන් දඩයම සඳහා මෙන්ම වගා පාලූ කරන ඌරන් වැනි සතුන් මරා දැමීම සඳහා හක්ක පටාස් ඇටවීම සිදුවේ. (හක්ක පටාස්වලින් සිදුන හානිය හා එය වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අප ලියූ ලිපියක් 2011-06-08 දින විදුසර පුවත්පතේ පළවිය.)

අලි මරණ සඳහා බලපාන ප‍්‍රධාන කරුණ


මේ සියල්ල අනුව අපට පෙනෙන්නේ අලි මරණ ප‍්‍රමාණය සැලකිය යුතු තරම් වන බවය. වනජීවී දෙපාර්තමේන්තුවේ 2011 අලි සංගණනයෙන් අනාවරණය වූ සංඛ්‍යා නිවැරදි නම්, මෙරට වාසය කරන අලි ගහනයෙන් 4%කට අධික ප‍්‍රමාණයක් වාර්ෂිකව මියයන බව පෙනේ. එය සැලකිය යුතු අගයකි.
අපට කියැවීමට ලැබුණු පුවත් වාර්තා අනුව 2012 වර්ෂයේදී සිදුවූ අලි මරණ අතරින් වැඩිම ප‍්‍රමාණයක් වාර්තා වන්නේ මහවැලි වනජීවී කලාපයෙන් හා වයඹ වනජීවී කලාපයෙනි. එ් 66ක් හා 61ක් ලෙසය. මේ වර්ෂයේදී අලින්ගේ ප‍්‍රහාරවලින් සිදුවූ මිනිස් මරණ ප‍්‍රමාණය 66ක් වන අතර ඉන් 36ක් වාර්තා වන්නේ වයඹ හා මහවැලි වනජීවී කලාපවලිනි. මේ කලාප දෙකේ පිහිටීම සැලකූ විට එ්වා මෙරට කෘෂිකර්මයේලා අතිශයින් වැදගත් ප‍්‍රදේශ වේ. හක්ක පටාස්, විදුලි සර යෙදීම, වෙඩිතැබීම හා වසදීම වැනි උපක‍්‍රමවලින් වැඩි වශයෙන් අලි මරා දමන්නේද මේ වගා බිම් ආශ‍්‍රිත ප‍්‍රදේශවලය.

එසේම 2012 වර්ෂයේ පැවැති දැඩි නියඟය අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට යම් ආකාරයකින් බලපාන්නට ඇත. නියඟය නිසා අලින් ආහාර මෙන්ම ජලය සොයා වෙනත් ප‍්‍රදේශවලට, විශේෂයෙන් ගොවිබිම් ප‍්‍රදේශවලට පැමිණීම සිදුවිය හැකිය.

මේ අනුව අලි ඇතුන්ගේ මරණ ප‍්‍රමාණය මෑත කාලයේ ඉහළයෑමට බලපා ඇති හේතු අතර අලින් වගා බිම්වලට පිවිසීම නිසා ඇතිවන ගැටුම වැදගත් තැනත් ගන්නා බව පෙනේ.

ගැටුමට විසඳුම්

අලි-මිනිස් ගැටුම විසඳුමක් නැති ගැටලූවක් නම් නොවේ. කෙසේ වෙතත් මෙහිදී වැදගත් වන තවත් කරුණක් නම් ගැටලූවට විසඳුම් දීමට නම් අප ගැටලූවේ මුල සොයා ගත යුතු වීමය. මෙරට අලි-මිනිස් ගැටුමට වැඩි වශයෙන් හේතුවන්නේ අලින් විසින් මිනිසුන්ගේ වගාබිම් ආක‍්‍රමණය කිරීම හා වගාබිම් පාලූ කිරීමය. එ් කවරක් නිසාදැයි අප විමසා බැලිය යුතුය. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණ වන්නේ මින් පෙර අලි ඇතුන් විසූ බිම් ප‍්‍රදේශ මේ වන විට ගොවිබිම් හා වගාබිම් බවට පත්කර ඇති බවය. එ් නිසා අප විසඳුමක් සෙවිය යුතු වන්නේ එතැන සිට බව පෙනේ.

එහෙත් මේ ගොවිබිම් හා ජනාවාස ව්‍යාප්ත වී ඇති බැවින් අපට එ්වා යළිත් ආපස්සට ගැනීමට නොහැකිය. එය රටේ ජනතාවගේ ආර්ථිකයට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයටද බලපාන වැදගත් සාධකයකි. එසේ නම් අලි ඇතුන්ගේ පැවැත්මට හානි නොවන ආකාරයෙන් වගා බිම් හා ජනාවාස පවත්වාගැනීමට උපක‍්‍රම යෙදීම අවශ්‍යය. මෙහිදී වැදගත් වන විවිධ උපක‍්‍රම මෑත කාලයේදී අපේ රටේද අත්හදා බලා තිබෙන අතර නැතහොත් අත්හදා බැලෙමින් පවතී. මේ ඇතැම් උපක‍්‍රම බෙහෙවින් සාර්ථක වී ඇත. විදුලි වැට පමණක් නොව ජෛව වැට ආදි උපක‍්‍රමවල ඇති වැදගත්කට අමුතුවෙන් කිව යුතු නැත. එසේම මේ සඳහා ප‍්‍රජා සහභාගිත්වයද බෙහෙවින් වැදගත්ය.

අනෙක් අතට තවත් වැදගත් කරුණක් වන්නේ මේ ගැටුමට මැදැහත්ව ඇති ජනතාව අතර අලි ඇතුන් පිළිබඳ ඇති ආකල්පය වෙනස්වීමේ ඇති වැදගත්කමය. අලි ඇතුන්ද අපේ පරිසරයේ කොටසක් බව ජනතාව අතර තිබිය යුතු ආකල්පයක් වන්නේය. අලි ඇතුන් සමඟ අපේ පරිසරය බොදාගැනීමට අපට හැකියාව තිබිය යුතුව තිබේ. මේ හැඟීම ජනතාව අතරින් තරමක් ඈත්ව ඇති බව පෙනේ. මෙරට මෑත කාලයේ ක‍්‍රියාත්මක වී ඇති සංවර්ධන ප‍්‍රතිපත්තිද මේ සඳහා යම් පමණකින් හෝ හේතු වී ඇති බවක් පෙනේ.

සමස්තයක් ලෙස ගතහොත් වර්තමාන තත්ත්වය අනුව අලි-මිනිස් ගැටුමට එක් තනි විසඳුමක් නොමැති බව පෙනේ. මේ දක්වා ගෙන ඇති පියවර සියල්ල සමාලෝචනය කර ගැටලූවේ ස්වභාවය අනුව එ්වා අවශ්‍ය තැනට යොදාගැනීම කළ යුතුව තිබේ. එක් තැනක අසාර්ථක වූ විසඳුමක් තවත් තැනක සාර්ථක වීමට හැකියාව පවතී. මේ නිසා විවිධ ප‍්‍රදේශ සඳහා විවිධ විසඳුම් සපයන බහුවිධ විසඳුම් සහිත විවෘත ප‍්‍රවේශයක් යොදාගැනීම කෙරේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

නොඑසේ නම් සිදුවිය හැක්කේ අපේ රටට ආඩම්බරයක් ගෙනදුන් අලි සම්පත අපට තවදුරටත් අහිමිවීමය.

Not available online.

Tuesday, February 12, 2013

ජගත් පරිසර විමසුම 160 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-02-06, පි. 11


Vidusara: http://www.vidusara.com/2013/02/06/feature1.html

විමසුම - නයිජීරියාවේ තෙල් දූෂණය පිළිබඳව ෂෙල් සමාගමට එරෙහි නඩුවේ තීන්දුව
ප්‍රමුඛ පුවත- උෂ්ණත්වය ඉහළ යැම නිසා වැස්‌සේ තීව්‍රතාව වැඩි වේ
පුවත් සැකෙවින් - නගරවල උෂ්ණත්වයෙන් බොහෝ බලපෑම්‌/ ජපාන තල්මහ දඩයමට ඔස්‌ට්‍රේලියාවේ විරෝධය/ බ්‍රිතාන්‍යයේ සලබයන් ගේ අඩු වීමක්‌

නයිජීරියාවේ තෙල් දූෂණය පිළිබඳව ෂෙල් සමාගමට එරෙහි නඩුවේ තීන්දුව


අප්‍රිකා මහාද්වීපයේ වැඩි ම තෙල් නිෂ්පාදනයක්‌ සිදු කරන නයිජීරියාවේ තෙල් නිධි තරම් පරිසර හා සමාජ ක්‍රියාකාරිකයන් ගේ අවධානයට ලක්‌ වූ වෙනත් තෙල් නිධි සංචිතයක්‌ නොමැති තරම් ය. ඊට හේතුව නයිජර් ඩෙල්ටාවේ තෙල් නිධි කැණීමේ දී ඇති වන තෙල් කාන්දුවීම් හා ගෑස්‌ පිළිස්‌සීම නිසා එරට පරිසරයට හා ජන ජීවිතයට ඇති වී තිබෙන අහිතකර බලපෑමයි. මේ නිසා දූෂණයට ලක්‌ ව ඇති ප්‍රදේශයේ ජලය හා පස තෙල් නිසා දූෂණයට ලක්‌ ව ඇති අතර එය කෘෂිකර්මයට, ධීවර කර්මාන්තයට හා වෙනත් ජීවනෝපාය මාර්ගවලට විවිධ ගැටලු රැසක්‌ ඇති කර තිබේ. විශේෂයෙන් ඔගොනිලන්තය නම් ප්‍රදේශයේ මේ පරිසර දූෂණය ඉතා උග්‍ර තත්ත්වයක පවතී.

මේ තත්ත්වය වළක්‌වාගෙන අදාළ ප්‍රදේශ යළි යථා තත්ත්වයට පත් කිරීමට බොහෝ කලක්‌ ගත විය හැකි බව එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන ම`ගින් ප්‍රකාශිත වාර්තාවකින් 2011 වර්ෂයේ දී පෙන්වා දෙන ලදී. එසේ ම ඒ සඳහා දැරිය යුතු වියදම ද අධික ය. මේ සම්බන්ධව අප මින් ඉහත දී ද මේ තීරුව ඔස්‌සේ සාකච්ඡාවට ලක්‌ කර ඇත. (බලන්න 'නයිජර් ඩෙල්ටාවේ තෙල් දූෂණය', ජගත් පරිසර විමසුම 84, 2011-08-10). මේ තත්ත්වය සඳහා වගකිවයුත්තේ තෙල් සමාගම් බවට එරට ජනතාව චෝදනා කරන අතර තෙල් සොරකම් කිරීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා ද ඊට බලපා ඇති බව පෙන්වා දී තිබේ.

නෙදර්ලන්ත නඩුව හා තීන්දුව


නයිජීරියාවේ ක්‍රියාත්මක ප්‍රධානතම තෙල් සමාගම වන ෂෙල් සමාගමට එරෙහි ව, එහි මූලස්‌ථානය පිහිටා ඇති නෙදර්ලන්තයේ අධිකරණයක්‌ හමුවේ 2008 වර්ෂයේ දී නයිජීරියානුවන් පිරිසක්‌ විසින් නඩුවක්‌ ගොනු කරන ලදි. තෙල් දූෂණය නිසා අගතියට පත් නයිජීරියානු ගොවීන් සිව් දෙනකු හා ජාත්‍යන්තර රාජ්‍ය නො වන සංවිධානයක්‌ වන මිහිතලයේ මිතුරෝ (Friends of the Earth) ආයතනය විසින් පවරන ලද මේ නඩුවේ තීන්දුව පසුගිය සතියේ ලබා දී ඇත.

මෙහි දී අධිකරණය තෙල් දූෂණ සිද්ධීන් පහෙන් හතරකින් ෂෙල් සමාගම නිදහස්‌ කර ඇත. මේ තීන්දුව විමසීමේ දී පෙනෙන්නේ මේ තෙල් කාන්දුවීම් සිදු ව ඇත්තේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා යෑයි අධිකරණය තීරණය කර ඇති බවකි. තීන්දුවට අනුව මවු සමාගම, වෙනත් රටක පිහිටි එහි අනුබද්ධ සමාගමක කටයුතු නිසා තුන්වැනි පාර්ශ්වයකට සිදු වන හානිවලට වගකිවයුතු නැති බවකි. මේ තීන්දුව ෂෙල් සමාගමේ ජයක්‌ ලෙස ඔවුන් සලකා ඇති බව මාධ්‍ය වාර්තාවලින් පෙනේ.

එහෙත් එය එසේ ම නොවේ. එක්‌ තෙල් දූෂණ සිදුවීමක්‌ සම්බන්ධ චෝදනාවක්‌ සඳහා ෂෙල් සමාගමේ නයිජීරියාවේ ක්‍රියාත්මක අනුබද්ධ සමාගමක්‌ මෙහි දී වැරැදිකරුවන් කර තිබේ. ඒ අනුව අදාළ සමාගමට එම ගොවියාට වන්දි ගෙවීමට නියෝග කර තිබේ. සමාගම තම වගකීම නො සලකා හැර ඇති නිසා ගොවියාට සිය ජීවනෝපාය අහිමි වීම සිදු ව ඇති බව අධිකරණය පෙන්වා දී තිබේ. මේ චෝදනාව පිළිබඳව විමසන විට පෙනෙන්නේ ගොවීන් හා පරිසරයේ යම් ජයග්‍රහණයක්‌ ද දැකිය හැකි බව ය. නයිජීරියානු ජනතාව, පරිසරවේදීන් හා ක්‍රියාකාරීන් එසේ සිතන බවත් පෙනේ. මෙතෙක්‌ වගකීමට කිසිත් නොමැති ව සිටි තෙල් දූෂණය හා සම්බන්ධ එක්‌ චෝදනාවකට හෝ සමාගමක්‌ වැරැදිකරුවන් කර තිබීම වැදගත් පූර්වාදර්ශයක්‌ විය හැකි ය. එය වැදගත් වන අනෙක්‌ කරුණ වන්නේ ෂෙල් සමාගමෙන් වෙනත් රටක දී සිදු වූ හානියක්‌ පිළිබඳව එහි මූලස්‌ථානය පිහිටි රටේ දී ගත් පළමු අධිකරණ ක්‍රියාමාර්ගය මෙය වන නිසා ය. එය නයිජීරියානුවන්ට පමණක්‌ නො ව අනෙක්‌ රටවලට ද ආදර්ශයකි. ෂෙල් සමාගමට එරෙහි තවත් මෙවැනි නඩුවක්‌ ලන්ඩනයේ විභාග වෙමින් තිබේ.

සාධාරණය සඳහා තව දුර යා යුතු ය


මේ නඩු තීන්දුවේ දී ප්‍රතික්‌ෂේප වූ චෝදනා පිළිබඳව අභියාචනයක්‌ යොමු කරන බව නයිජීරියානු ක්‍රියාකාරීහු පවසති. මේ අභියාචනය ජයග්‍රහණයක්‌ කරා ගෙන යැමට හැකියාවක්‌ තිබිය හැකි නමුත් සමාගම ද අභියාචනයක්‌ කරනු ඇති බැවින් මේ අධිකරණ ක්‍රියාමාර්ගය සමස්‌තයක්‌ ලෙස අවසන් ව නොමැති බව පෙනේ.

අපට පෙනෙන ආකාරයට උක්‌ත අධිකරණ තීන්දුව කිසියම් ආකාරයක ජයග්‍රහණයක්‌ බව සැබෑවකි. එහෙත් එය ලබාගෙන ඇත්තේ අරගලයකින් තොර ව නම් නො වේ. මේ විනාශයට එරෙහි ව නයිජීරියානුවන් තම ජීවිත අහිමි කරගනිමින් මහත් කැප වීමකින් කලක්‌ තිස්‌සේ අරගලයත් දියත් කළේ තෙල් සමාගම්වල සහායට පැමිණි ආණ්‌ඩුවේ බලය යොදාගෙන සිදු කරන ලද මර්දනයක්‌ හමුවේ ය. මෙවැනි ක්‍රියාකාරිකයකු වූ කෙන් සාරෝ විවා ඇතු`ඵ පිරිසක්‌ 1995 වර්ෂයේ දී මරා දැමීම මහත් ආන්දෝලනයකට හේතු විය. මෙය යම් කිසි ජයක්‌ වන්නේ නම් එය ඔවුන් විසින් සිදු කරන ලද කැප වීමේ යම් ප්‍රතිඵලයකි. මින් ගම්‍ය වන අනෙක්‌ කරුණ වන්නේ පරිසරයට හා ජන ජීවිතයට බලපෑම් ඇති නො වන ආකාරයෙන් කටයුතු කිරීමට කුමන ආකාරයක හෝ ව්‍යාපාරයකට වගකීමක්‌ ඇති බව ය. කෙසේ වෙතත් සාධාරණත්වය සඳහා තවත් දුර යා යුතු බව පෙනේ.

ප්‍රමුඛ පුවත
උෂ්ණත්වය ඉහළ යැම නිසා වැස්‌සේ තීව්‍රතාව වැඩි වේ

ලෝකයේ ඇති වන බොහෝ ආන්තික වර්ෂාපතන සිදුවීම්වල තීව්‍රතාව, උෂ්ණත්වය ඉහළ යැමත් සම`ග ඉහළ යමින් ඇති බව ජගත් මට්‌ටමේ වර්ෂාපතන දත්ත යොදාගනිමින් සිදු කරන ලද සමාලෝචනයකින් යළිත් තහවුරු වී තිබේ.

ලෝකයේ පිහිටා ඇති ඉහළ තත්ත්වයේ කාලගුණ මධ්‍යස්‌ථාන 8,326කින් වර්ෂාපතන හා උෂ්ණත්ව දත්ත යොදාගෙන ඇති මේ අධ්‍යයනයේ අරමුණ වූයේ ඒ දත්ත අතර සම්බන්ධයක්‌ තිබේ දැයි සෙවීම ය. මෙහි දී 1900 සිට 2009 දක්‌වා කාලයේ දී ආන්තික වර්ෂාපතන තත්ත්වවල දැකිය හැකි වූ ප්‍රවණතා පිළිබඳව ද අවධානය යොමු කර ඇත. මේ නිසා එය මෙතෙක්‌ කලක්‌ සිදු කරන ලද වඩාත් සම්පූර්ණ අධ්‍යයනයක්‌ සේ ද සැලකිය හැකි ය.

එහි දී අනාවරණය වන පරිදි, මේ කාලය ඇතුළත ආන්තික වර්ෂාපතන තත්ත්ව ඇති වීම සමස්‌ත ලෝකය පුරා ඉහළ ගොස්‌ ඇති අතර අවධානය යොමු කළ කාලගුණ මධ්‍යස්‌ථාන අතරින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක කිසියම් ආකාරයක වර්ධනයක්‌ දැකිය හැකි ය. මේ දත්ත අනුව පෙනෙන පරිදි වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 1කින් ඉහළ යන විට ලෝකයේ ආන්තික වර්ෂාපතන සිදුවීම්වල තීව්‍රතාව 7%කින් පමණ ඉහළ යන බව පෙනේ. (මෙහි දී භාවිත කර ඇති විශ්ලේෂණ ක්‍රම දෙකේ දී වර්ෂාපතන තීව්‍රතාව වර්ධනය වන අගය 5.9% හා 7.7% ලෙස වාර්තා වී ඇත.) එය වැඩි වශයෙන් දැකිය හැක්‌කේ නිවර්තන කලාපීය ප්‍රදේශවල ය.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම නිසා 21 වැනි සියවස ඇතුළත උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 3ත් 5ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගිය හොත්, වර්ෂාපතන තීව්‍රතාවේ ඇති විය හැකි වෙනස්‌ වීම සැලකිය යුතු තරම් විය හැකි ය. ඉහළ යන ආන්තික වර්ෂාපතන තත්ත්වවල තීව්‍රතාවේ Rජු ප්‍රතිඵලය වන්නේ ජලගැලීම් හා නාය යැම් වැනි ආපදා වඩා සුලබ වීම ය. මෙවැනි ජලගැලීම්වලින් වැඩි බලපෑමක්‌ ඇති විය හැකි දියුණුවන රටවල ඊට මුහුණ දීම සඳහා පවත්නා සූදානම ද ප්‍රමාණවත් තරම් නො වේ. අනෙක්‌ අතට මෙහි පෙන්වා දී ඇති පරිදි කාලගුණ දත්ත පිළිබඳ වැඩි ම අඩුපාඩු පවතින්නේ ද සමකය ආසන්න රටවල ය. (මූලාශ්‍රයJournal of Climate, DOI: 10.1175/JCLI-D-12-00502.1)

පුවත් සැකෙවින්
නගරවල උෂ්ණත්වයෙන් බොහෝ බලපෑම්

විශාල නාගරික ප්‍රදේශයකින් බොහෝ ඈත පිහිටා ඇති ප්‍රදේශවල කාලගුණයට බලපෑම් කිරීමට අදාළ නගරයේ ජනනය වන තාපයට හැකියාව තිබේ. මානව ක්‍රියාකාරකම් වායුගෝලීය තත්ත්ව සඳහා බලපාන ආකාරය පිළිබඳව පෙන්වා දෙන මේ අධ්‍යයනය අනුව නාගරික ප්‍රදේශවල පිහිටි ගොඩනැ`ගිලිවලින්, වාහන හා වෙනත් ප්‍රභවවලින් ජනනය වන අප තාපය (waste heat) නිසා වායුගෝලීය ප්‍රවාහ පද්ධතිවල ඇති වන වෙනස්‌කම් මීට හේතු වේ. ඉන් විශාල ප්‍රදේශයක උෂ්ණත්වයේ සැලකිය යුතු වෙනස්‌කම් ඇති වීමට ඉඩ තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැම හා තවත් ප්‍රදේශවල උෂ්ණත්වය අඩු වී සිසිල් වීම ය.

නිදසුනක්‌ ලෙස ගත හොත් උතුරු අර්ධගෝලයේ රටවල ජනනය වන මේ අතිරේක අප තාපය නිසා උතුරු ඇමෙරිකාවේ උතුරුදිග ප්‍රදේශ හා ආසියාවේ උතුරු ප්‍රදේශවල ශීත කාලයේ උෂ්ණත්වය ඉහළ යා හැකි ය. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස්‌ අංශකයකින් පමණ ඉහළ යැමට ද මේ තත්ත්වය හේතු විය හැකි ය. අනෙක්‌ අතට මේ අප තාපය නිසා යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස්‌ අංශකයකින් පමණ පහළ බැසීමට ද ඉඩ තිබේ.

කෙසේ වෙතත් මේ අප තාපයෙන් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයට බලපෑමක්‌ ඇති නො වේ. ඉන් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස්‌ අංශක 0.01කට වැඩි වෙනසක්‌ ඇති නො කරයි. ඊට හේතුව වන්නේ මේ අප තාපය, ලෝකයේ ඉහළ අක්‌ෂාංශ සහිත ප්‍රදේශ හරහා ගමන් කරන තාපයෙන් 0.3%ක්‌ තරම් අඩු වන නිසා ය. (මූලාශ්‍රයNature Climate Change, DOI: 10.1038/nclimate1803)

ජපාන තල්මහ දඩයමට ඔස්‌ට්‍රේලියාවේ විරෝධය

දකුණු මුහුදේ තල්මහ දඩයම් චාරිකාවේ නියෑළී ඇති ජපාන තල්මහ දඩයම් කණ්‌ඩායමට අයත් යාත්‍රාවක්‌ තම රටේ අනන්‍ය ආර්ථික කලාපයට ඇතු`ඵ වීම ගැන ඔස්‌ට්‍රේලියානු රජය පසුගිය සතියේ දී සිය දැඩි විරෝධය පළ කළේ ය. තල්මහ දඩයමේ යෙදෙන නෞකා තම රටේ මුහුදු සීමාවට පිවිසීම පිළිබඳව තමන් එක`ග නො වන බව ඔවුන් මින් පෙර ද පවසා තිබේ. තල්මහ දඩයමට විරුද්ධ උද්ඝෝෂකයන් සිටි යාත්‍රාවත් හඹා යමින් උක්‌ත ජපාන යාත්‍රාව මෙසේ ඔස්‌ට්‍රේලියානු මුහුදු තීරයට පැමිණ ඇති බවක්‌ පෙනේ.

ජාත්‍යන්තර තල්මහ කොමිසම 1986 දී ඇති කරගත් තහනමේ ඇති අඩුපාඩුවක්‌ උපයෝගී කරගනිමින් 'විද්‍යාත්මක අවශ්‍යතා' නමින් ජපාන නෞකා මේ වාර්ෂික තල්මහ දඩයමේ යෙදී සිටියි. මේ පිළිබඳ විරෝධය දක්‌වන රටවල් අතර ඔස්‌ට්‍රේලියාවද වේ. දකුණු මුහුදේ සිදු කරනු ලබන මේ තල්මහ දඩයම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා ඔස්‌ට්‍රේලියාව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක්‌ ද පවරා තිබේ.

බ්‍රිතාන්‍යයේ සලබයන් ගේ අඩු වීමක්‌

බ්‍රිතාන්‍යයේ වාසය කරන සුලබ විශාල (common larger) සලබ විශේෂ අතරින් තුනෙන් දෙකක්‌ පමණ ප්‍රමාණයකගේ ගහනවල සැලකිය යුතු ප්‍රමාණයක අඩු වීමක්‌ ගත වූ වසර හතළිහක කාලය ඇතුළත සිදු වී ඇති වාර්තාවක්‌ හෙළි කර තිබේ. ඒ අනුව 1968-2007 අතර කාලයේ දී මේ කාණ්‌ඩයට වැටෙන සලබයන් ගේ සුලබතාව 28%ක්‌ තරම් ප්‍රමාණයකින් අඩු වී ඇත. මෙය විවිධ සලබ විශේෂ අතර වෙනස්‌ වේ. එක්‌ විශේෂයක සුලබතාව 99%කින් පමණ අඩු වීමක්‌ පෙන්වීම මේ තත්ත්වයේ ඇති ගැටලු සහගත බව පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඇතැම් විශේෂවල සුලබතාවයේ වර්ධනයක්‌ දැකිය හැකි ය. වාසස්‌ථාන අහිමි වීම හා භූමියේ ඇති වන හායනය මේ අඩු වීම සඳහා හේතු වී ඇති කරුණු අතර විය හැකි බව ද යෝජනා කර තිබේ. සමනළයන් හා මීමැස්‌සන් වැනි මෙවැනි වෙනත් අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්‌ඩ අතර ද මෙවැනි ගහන අඩු වීමක්‌ දැකිය හැකි බව මේ වන විට වාර්තා වී ඇත. (මූලාශ්‍රයState of Britain’s Larger Moths 2013, http://butterfly-conservation.org/files/state-ofbritains-larger-moths-2013-report.pdf)

http://www.vidusara.com/2013/02/06/feature1.html

Tuesday, February 5, 2013

දේශගුණ වෙනස්‌ වීම හමුවේ දුඹුරු පැළ කීඩෑ හානිය වර්ධනය වේ ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-30, පි. 05
http://www.vidusara.com/2013/01/30/feature1.html


දුඹුරු පැළ කීඩෑවා (Nilaparvata lugens) පිළිබඳව ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනා අසා තිබේ. ඒ, ලෝකයේ ප්‍රධාන ආහාර භෝගයක්‌ වන වී වගාවට මේ පළිබෝධකයා සිදු කරන හානිය බරපතළ වන නිසාය. මේ තත්ත්වය නිවර්තන රටවල වඩාත් බරපතළය. මේ කෘමියාගේ වර්ධනය සඳහා යෝග්‍ය වූ ප්‍රශස්‌ත උෂ්ණත්ව පරාසය සේ සැලකෙන්නේ සෙල්සියස්‌ අංශක 28-30 අතර උෂ්ණත්ව පරාසයයි. වී අස්‌වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ දුඹුරු පැළ කීඩෑවාගේ හානිය නිසා විනාශයට පත් වේ. මේ කෘමියාගෙන් සිදුවන හානිය නිසා වී වගාවේ 60%ක පමණ තරම් අධික අස්‌වනු හානියක්‌ වුවත් ඇතිවීමට හැකියාවක්‌ තිබේ. මේ කෘමියාගේ හානිය ශ්‍රී ලංකාවේ වී වගාවට ද සැලකිය යුතු බලපෑමක්‌ සිදු කරන්නකි.

දුඹුරු පැළ කීඩෑවාගේ සංක්‍රමණ හැකියාව හා ඉතා වේගයෙන් සිදුවන අභිජනනය නිසා ගොයම් ශාකයේ යුෂ උරාබොන පළිබෝධකයන් අතරින් වැඩිම හානියක්‌ සිදුකරන කෘමියකු වශයෙන් මේ පළිබෝධකයා සැලකේ.

ලෝකයේ වර්තමානයේ සිදුවන පාරිසරික වෙනස්‌කම් වී වගාවට මෙන්ම වී වගාවේ පළිබෝධකයන්ට ද බලපෑමක්‌ කළ හැකිය. ඉහළ යන උෂ්ණත්වය, ආන්තික කාලගුණික තත්ත්ව සුලභ වීම හා කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ඉහළ යැම හා භෞතික පරිසරයේ සිදුවන වෙනස්‌වීම් මෙවැනි බලපෑම් අතර වේ. මේ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සිදු කර ඇති අධ්‍යයන අනුව පෙනෙන්නේ ඒ පිළිබඳව අප හමුවේ ඇත්තේ මිශ්‍ර අදහසක්‌ බවය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් තවමත් ප්‍රාමාණික දැනුමක්‌ නොමැති බවය.

ඉහළ යන උෂ්ණත්වය කීඩෑවාට අහිතකරයි

දේශගුණ වෙනස්‌ වීම නිසා ඇතිවන ඉහළ උෂ්ණත්වය හේතුවෙන් දුඹුරු පැළ කීඩෑවාගේ ව්‍යාප්තියේ යම් අඩුවීමක්‌ විය හැකි බව 2009 වර්ෂයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වාදී තිබිණි. මෙහිදී සිදුකර ඇත්තේ කීඩෑවාගේ ශිෂු හා සුහුඹුල් අවස්‌ථාවලදී ඉහළ උෂ්ණත්වයක්‌ දරාගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීමය. එය සිදු කර ඇත්තේ ඔවුන් ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය කිරීමෙනි. එය සමග මේ කීඩෑවාගේ ව්‍යාප්තිය සහිත ප්‍රදේශයේ වර්තමාන හා අනාගත දේශගුණ පුරෝකථනවල ඇති උෂ්ණත්ව පරාසය සමග දත්ත සංසන්දනයක්‌ සිදුකර තිබේ.

මේ අධ්‍යයනයෙන් හෙළි වී තිබුණේ මේ වන විටත් දුඹුරු පැළ කීඩෑවාගේ ශිෂුවන් ඔවුන්ගේ උෂ්ණත්ව පරාසයේ ඉහළ සීමාවේ ජීවත්වන බවයි. මේ කීඩෑවාගේ ශිෂු අවස්‌ථාවේ ඔරොත්තු දෙන උෂ්ණත්ව පරාසය සුහුඹුල් අවස්‌ථාවේ ඔරොත්තු දිය හැකි උෂ්ණත්ව පරාසයට වඩා අඩු වන බැවින් මෙය වැදගත් කරුණකි. මේ නිසා අනාගතයේ නිවර්තන කලාපයේ ඇතිවන උෂ්ණත්වය ඉහළ යැම හා වරින් වර ඇතිවන උෂ්ණත්ව වෙනස්‌වීම් මේ කීඩෑවන්ගේ පැවැත්මට කිසියම් ආකාරයකින් සීමාකාරී ලෙස බලපෑමක්‌ කළ හැකිය. (මූලාශ්‍රයPLoS ONE,DOI:10.1371/journal.pone.0029409)



දුඹුරු පැළ කීඩෑවාගේ ගහනය පාලනය කිරීම සඳහා ඉහළ යන උෂ්ණත්වයේ කිසියම් බලපෑමක්‌ ඇති බවට වූ උදාහරණ තවත් පර්යේෂණවලින් ද පෙන්වාදී තිබේ. ඒ අනුව පෙනෙන්නේ සෙල්සියස්‌ අංශක 35කට වඩා ඉහළ උෂ්ණත්වයක්‌ ඇති පරිසරයකදී දුඹුරු පැළ කීඩෑවාගේ වර්ධනය පාලනය වන බවයි. එසේම වර්තමානයේ සෙල්සියස්‌ අංශක 30ට අඩු උෂ්ණත්වයක්‌ ඇති කලාපවල කීඩෑවාගේ හානිය ඉහළ යැමේ අවදානමක්‌ පවතී. (මූලාශ්‍රයWorld Journal of Agricultural Sciences වෝඵම 8, කලාපය 3, 240-246 පිටු)

කාබන්ඩයොක්‌සයිඩ් වැඩි නම් කීඩෑ හානියත් ඉහළට

මේ අතර දුඹුරු පැළ කීඩෑවා හා ඉහළ යන කාබන්ඩයොක්‌සයිඩ් මට්‌ටම පිළිබඳව ඉන්දියාවේ සිදු කරන ලද තවත් අධ්‍යයනයක වාර්තාවක්‌ අපට පසුගියදා කියෑවීමට ලැබිණි. එය වැදගත් වන්නේ දේශගුණ වෙනස්‌ වීම නිසා මේ පළිබෝධකයාගෙන් ඇති වන හානියේ තවත් අංශයක්‌ පිළිබඳව එමගින් අවධානය යොමු කර ඇති නිසාය.

අප සාමාන්‍යයෙන් දන්නා පරිදි ඉහළ යන කාබන්ඩයොක්‌සයිඩ් මට්‌ටම භෝගවල අස්‌වැන්න සඳහා යම් බලපෑමක්‌ ඇති කරයි. වී වගාව ද ඇතු`ඵව ආහාර භෝග ගණනාවක වර්ධනය හා අස්‌වැන්න ඉහළ යැමක්‌ සිදුවිය හැකි බව පෙන්වාදී තිබේ. එහෙත් මේ තත්ත්වය ශාක භක්‌ෂකයන් කෙරේද බලපෑමක්‌ ඇති කළ හැකිය. මේ ශාක භක්‌ෂකයන් අතර ඇතැම් ශාක පළිබෝධකයන් ද වේ. සරළව පවසන්නේ නම් අධික කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ යටතේ ශාකවල කාබන් ( නයිට්‍රජන් අනුපාතය ඉහළ යා හැකිය. මේ සමග නයිට්‍රජන් අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා කෘමි කීටයින් වැඩි ශාක පත්‍ර ප්‍රමාණයක්‌ ආහාරයට ගැනීම සිදුවේ. මේ නිසා භෝග ශාකයට වැඩි හානියක්‌ සිදුවිය හැකිය. උක්‌ත අධ්‍යයනය සඳහා පදනම් වී ඇත්තේ මේ කරුණුය.

පරීක්‌ෂණාගාර තත්ත්ව යටතේ උක්‌ත අධ්‍යයනය සිදුකර ඇත්තේ ඉන්දියාවේය. එහිදී යොදාගෙන ඇත්තේ පූසා බාස්‌මතී නම් වී වර්ගයකි. එහිදී ඉහළ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ යටතේ (570 ± 25 ppm) හා සාමාන්‍ය වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ (380 ± 25 ppm) යටතේ යනුවෙන් එක්‌ වර්ගයකින් නියෑදි දෙකක්‌ බැගින් වී වගා කර තිබේ. ඉන් එක්‌ නියෑදියක්‌ වගා කර දින දහයකට පමණ පසු දුඹුරු පැළ කීඩෑවාගේ හානියට නිරාවරණය කර ඇති අතර අනෙක්‌ නියෑදිය පිළිබෝධකයාගේ හානියට ලක්‌ වීමෙන් වළක්‌වා තිබේ. මේ පරීක්‌ෂණය වගා කන්න කිහිපයක්‌ සිදුකර ඇත.

මෙහිදී අනාවරණය වී තිබුණේ අධික කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ පැවැති පරිසරයේ වාසය කළ දුඹුරු පැළ කීඩෑවන්ගේ ගහනය අධික වූ බවයි. එසේම එහි ගැහැනු සතුන් විසින් අධික කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ යටතේ දැමූ බිත්තර ප්‍රමාණය ද අධික වී තිබේ. එවැනි එක්‌ ගැහැනු සතෙක්‌ බිත්තර 324ක්‌ දමා ඇති අතර සාමාන්‍ය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ යටතේ බිත්තර දැමීමේ සාමාන්‍යය 231ක්‌ පමණ වී ඇත. එසේම බිත්තර දමන ගැහැනු සතුන් වැඩි ප්‍රමාණයක්‌ දැකිය හැකි වී ඇත්තේ ද වැඩි කාබන්ඩයොක්‌සයිට්‌ සාන්ද්‍රණයක්‌ යටතේ ය.


ඉහළ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ යටතේ ගොයම් ශාකයේ වර්ධනයේ වැඩි වීමක්‌ දැකිය හැකි බවද මේ පරීක්‌ෂණයේදී පෙනීගොස්‌ ඇත. එහෙත් දුඹුරු පැළ කීඩෑවාගේ ගහනය ඉහළ යාමත්, ඔවුන් වැඩි යුෂ ප්‍රමාණයක්‌ උරා බීමත් නිසා ගොයම් ශාකවල අස්‌වැන්න සැලකිය යුතු තරම් අඩු වී ඇත. එහි අස්‌වැන්න 26.5%කින් අඩු වී ඇති අතර සාමාන්‍ය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ යටතේ සිදුවූ අස්‌වනු අඩුවීම 12.4%ක්‌ පමණ විය. (මූලාශ්‍රය Current Science වෝඵම 103, කලාපය 10, 1201-1205 පිටු)

අනාගතය කෙබ`දු වේද?

මේ පර්යේෂණ තොරතුරු අනුව පෙනෙන්නේ වී වගාවේ බරපතළ හානියක්‌ සිදුකරන පළිබෝධකයෙක්‌ වන දුඹුරු පැළ කීඩෑවාගේ හානිය සඳහා තීරණාත්මක වශයෙන් බලපාන්නේ උෂ්ණත්වය ඉහළ යැමද, නො එසේ නම් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ද යන්න තවමත් පැහැදිලි නොමැති බවය. මින් පළමුවැන්න යටතේ කීඩෑ ගහනයේ වර්ධනයක්‌ සිදුවිය හැකි අතර, අනෙක්‌ අතට වෙනත් පාරිසරික සාධකවල බලපෑම් නිසා මේ තත්ත්වය වෙනස්‌ වීමට ද හැකියාවක්‌ තිබේ. මෙවැනි එක්‌ වැදගත් සාධකයක්‌ ලෙස මේ පළිබෝධකයක්‌ගේ ස්‌වාභාවික විලෝපිකයන්ගේ ගහනවල ඇතිවන වෙනස්‌වීම් දැක්‌වීමට හැකිය.

මේ නිසා දේශගුණ වෙනස්‌ වීම හමුවේ දුඹුරු පැළ කීඩාවාගේ හානිය වෙනස්‌වන ආකාරය වැඩිදුර අධ්‍යයනයට ලක්‌විය යුතු බව පැහැදිලිය. විශේෂයෙන් ක්‌ෂේත්‍ර අධ්‍යයන වලින් ද මෙය තවදුරටත් තහවුරු විය යුතු කරුණකි. ඇතැම් කාලගුණ තත්ත්ව යටතේ දුඹුරු පැළ කීඩෑ හානිය වෙනස්‌වන ආකාරය වාර්තා වී ඇති කරුණකි. එසේම මේ කීඩෑ හානියට ඔරොත්තු දෙන වී ප්‍රභේද ද වගා කරනු ලැබේ. මේ කරුණ පිළිබඳව කිසියම් අවධානයක්‌ යොමු කිරීම වී වගාව මත යෑපෙන රටවලට වැදගත් වන බව සැකයක්‌ නැත.

http://www.vidusara.com/2013/01/30/feature1.html

ජගත් පරිසර විමසුම 159 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-30, පි. 11

http://www.vidusara.com/2013/01/30/feature2.html

විමසුම - වඳ වන්නට පෙර සියලු ජීවීන් 'හඳුනාගෙන නම් කිරීම'... මිනිසා ගේ වගකීම මෙය ද?
ප්‍රමුඛ පුවත- මිශ්‍ර ශාක සහිත වනාන්තර වඩා ඵලදායී වේ
පුවත් සැකෙවින් - ඇන්ඩීස්‌ කඳුකර ග්ලැසියර වේගයෙන් දියවේ‌/ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හා පෙනහලු පිළිකා/ චීනය වායු දූෂණයට එරෙහි සටනක


විමසුම
වඳ වන්නට පෙර සියලු ජීවීන් 'හඳුනාගෙන නම් කිරීම'... මිනිසා ගේ වගකීම මෙය ද?

ජීවී විශේෂ මිහිතලයෙන් වඳවී යැම අද දවසේ බරපතළ පාරිසරික ගැටලූවක්‌ සේ සැලකෙන්නකි. මේ පිළිබඳ ඇති සංඛ්‍යාත්මක පුරෝකථන විශාල පරාසයක විහිදෙන්නකි. මේ ජීවී විශේෂ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ සොයාගැනීමට හා විද්‍යාත්මකව නම් කිරීමට පෙර වඳවී යා හැකි බවට විද්‍යාඥයන්, පරිසරවේදීන් අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද පිළිගැනෙන මතයක්‌ තිබේ.

එහෙත් ලොව ජීවත්වන ජීවී විශේෂ අතරින් වැඩි ප්‍රමාණයක්‌, ඔවුන් වඳවී යැමට පෙර විද්‍යාත්මකව හ`දුනාගෙන නම් කළ හැකි බව මේ පිළිබඳව සිදුකර ඇති සමාලෝචනයකින් හෙළිකර ඇත. ඔවුන් පෙන්වා දෙන පරිදි, විද්‍යාත්මකව නම් කිරීමට පෙර ජීවීන් අතරින් විශාල ගණනක්‌ වඳවී යා හැකි බවට වන මතය සඳහා කරුණු කිහිපයක්‌ හේතු වේ. ඉන් පළමුවැන්න ලෝකයේ සැබැවින්ම ජීවත්වන ජීවීන් ප්‍රමාණය බෙහෙවින් අධිතක්‌සේරු කර තිබීමයි. දෙවැන්න ජීවීන් හ`දුනාගෙන නම් කිරීමේ යෙදී සිටින විද්‍යාඥයන් ගණන අඩු වී ඇති බවට වන අදහසයි. අනෙක්‌ කරුණ ජීවීන් වඳවී යැමේ වේගය පිළිබඳව ඇතැම් මත අතිශයෝක්‌තිමය වීමය. මේ වාර්තාවේදී උක්‌ත කරුණු පිළිබඳවද විමසීමක්‌ කර ඇත.

ජීවත්වන ජීවීන් ගණන

ලෝකයේ ජීවත්වන ජීවීන් ගණන කෙතරම් ද යන්න පිළිබඳ ඇති සංඛ්‍යාලේඛන පු`ඵල් පරාසයක්‌ ගනියි. මේ ඇස්‌තමේන්තු මිලියන 3ත් 100ක්‌ අතර විවිධ අගයයන් ගනියි. සාමාන්‍යයෙන් මිලියන 8ක්‌ පමණ ජීවී විශේෂ ප්‍රමාණයක්‌ සිටින බව වැඩි පිළිගැනීමක්‌ ඇති අගයයි. උක්‌ත නව වාර්තානේව ජීවී විශේෂ ගණන පිළිබඳව නව අගයයක්‌ ද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මිලියන 5ක්‌ පමණ ජීවී විශේෂ සංඛ්‍යාවක්‌ මිහිතලය මත වාසය කරන අතර එය ඊට වඩා මිලියන 3ක්‌ අඩු හෝ වැඩි වීමට හැකිය. එනම් සියලූ ජීවීන් ගණන මිලියන 2ත් 8ත් අතර ගණනක්‌ විය හැකිය. මේ අතරින් තවමත් විද්‍යාත්මකව නම් කර ඇත්තේ විශේෂ මිලියන 1.5ක්‌ පමණ ප්‍රමාණයක්‌ පමණි.

නව විශේෂ සොයාගැනීම

මිහිතලයෙන් ජීවීන් වඳවී යන වේගය හා සැලකූ විට මෙතෙක්‌ හ`දුනාගෙන නොමැති ජීවීන් නම් කිරීමට තරම් ප්‍රමාණවත් විද්‍යාඥයන් පිරිසක්‌ සිටින බව මේ වාර්තාවෙන් පෙන්වාදී තිබේ. මෙතෙක්‌ කාලයක නො සිටි තරම් වර්ගීකරණ විද්‍යාඥයන් (ඒංදබදපසිඑs) පිරිසක්‌ අද වන විට ලෝකය පුරා රටවල කටයුතු කරන බව මේ වාර්තාවේ දක්‌වා ඇත. මේ පිරිසේ ප්‍රමාණය අදට වසර විස්‌සකට පමණ පෙර සිටි විද්‍යාඥයන්ගේ ගණන මෙන් දෙගුණයත් තුන් ගුණයක්‌ අතර වේ. එසේම මේ පිරිස තවදුරටත් වැඩිවෙමින් පවත්නා අතර ඒ වේගය නව ජීවී විශේෂ විස්‌තර කරන වේගයට වඩා අධිකය.

මේ කරුණ ලෝකයේ සියලූ ජීවීන් නම් කිරීමට අවස්‌ථාව ලැබීමට බලපාන ප්‍රධාන හේතුවක සේ දැක්‌වේ. කෙසේ වෙතත් මේ වාර්තාව මගින් දක්‌වා ඇති පරිදි වර්ගීකරණ ඵලදායකත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා පියවර ගත යුතු වේ. එය තවමත් දැඩි අභියෝගයකි.

ජීවීන් වඳවී යන වේගය

අනෙක්‌ අතට ජීවීන් වඳවී යැමේ සත්‍ය වේගය ද මෙහි පෙන්වාදී තිබේ. එය දශකයකට සමස්‌ත ජීවී විශේෂ සංඛ්‍යාවෙන් 0.01%ත් 1%ත් අතර අගයක්‌ ගන්නා අතර මෙහි උපරිම අගය දශකයකට 5%ක්‌ පමණ විය හැකිය. මෙය පු`ඵල්ව පිළිගෙන ඇති ඇතැම් ඇස්‌තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු බව පෙනේ. එහෙත් එය ස්‌වාභාවිකව සිදුවන වඳවීයැමේ වේගයට වඩා ඉහළ බව අප අමතක නොකළ යුතු කරුණකි.

අනෙක්‌ අතට මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක විවිධ සංරක්‌ෂණ ප්‍රයත්න හා ද්විතීයික පරිසර පද්ධතිවල ජීවී විශේෂ සංරක්‌ෂණය කිරීම ද ලෝකයෙන් ජීවී විශේෂ වඳවී යැම පමා කිරීමට හේතුවක්‌ විය හැකිය. ඒවාද සියලූ විශේෂ වාර්තාගත කිරීම සඳහා අවස්‌ථාවක්‌ ලබාදෙන වැදගත් සාධකයකි.

මිනිසාගේ වගකීම මෙයද?


මේ අතර ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මේ සමාලෝචනය වාර්තා කර තිබුණේ ජීවීන් වඳවී යැම හිතෙන තරම් බරපතළ නොවන බවක්‌ හුවාදක්‌වමිනි. එහෙත් වඩා හොඳින් විමසන විට මේ වාර්තාව ද මිනිසුන් විසින් පරිසරයට සිදු කර ඇති බලපෑමේ තරම පෙන්වාදෙයි. එසේම මේ අද වන විට පවත්නා තත්ත්වයයි. ලෝකයේ වෙසෙන ජීවීන් හමුවේ ඇති අභියෝග දිනෙන් දින වර්ධනය වේ. දේශගුණ වෙනස්‌වීම මීට සාධකයකි. එසේම සියලූ ජීවී විශේෂ සංරක්‌ෂණය කිරීම සම්බන්ධව ද සීමා පවතී.

අනෙක්‌ අතට ලෝකයේ වාසය කරන ජීවීන් වඳවී යැමට පෙර හ`දුනාගැනීම හෝ නම් කිරීම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් මේ විනාශයට වගකිවයුතු මිනිසුන්ට ලෝකයේ දිවි ගෙවන සෑම ජීවී විශේෂයක්‌ම ආරක්‌ෂා කිරීමට කිසියම් වගකීමක්‌ තිබේ. මෙය සරළ කර්තව්‍යයක්‌ නොවේ. එසේම වර්තමාන ලෝකයේ එවැනි උත්සාහයක්‌ ඇති බව නො පෙනෙන අතර එවැන්නකට ගැලපෙන පසුබිමක්‌ ද නැමැත. මානව කේන්ද්‍රීය සමාජ-සංස්‌කෘතියක්‌ ඇති වර්තමාන ලෝක රාමුව ඇතුළත එවැන්නක්‌ අපේක්‌ෂා කිරීම පවා අපහසු වේ. (මූලාශ්‍රයScience, DOI: 10.1126/science.1230318)

ප්‍රමුඛ පුවත
මිශ්‍ර ශාක සහිත වනාන්තර වඩා ඵලදායී වේ

වනාන්තර මිනිසාට අවශ්‍ය සම්පත් රැසක්‌ ලබා දෙන පරිසර පද්ධතියකි. එහෙත් වර්තමාන තත්ත්වය හමුවේ ස්‌වාභාවික වනාන්තර මගින් මානව අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම අපහසුය. එබැවින් තිරසර ලෙස දැව ලබාගැනීම සඳහා වනවගා කිරීම ලෝකයේ බොහෝ රටවල බෙහෙවින් ප්‍රචලිතව තිබේ. නූතන වනවගාවලදී එක්‌ ශාක විශේෂයක්‌ පමණක්‌ වගා කිරීම බොහෝ විට අනුගමනය කෙරේ. එය වනවිද්‍යාත්මක ක්‍රමවේද යටතේ කලක පටන් ප්‍රවර්ධනය කරන ලද වගා ක්‍රමවේදයකි. එහෙත් මෙවැනි ඒක ශාක වනාන්තරවලට වඩා මිශ්‍ර ශාක සහිත වනාන්තරවල නිෂ්පාදකතාවය ඉහළ බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ.

මේ අධ්‍යයනයේදී අවධානය යොමු කර ඇත්තේ ඒක ශාක වනවගා හා මිශ්‍ර ශාක වනවගාවලින් ලැබෙන ප්‍රයෝජන පිළිබඳවයි. ස්‌වීඩනයේ පිහිටා ඇති වනාන්තර පාදක කරගනිමින් සිදුකර ඇති මෙහිදී වනවගාවල දත්ත භාවිත කරමින් පරිසර පද්ධති සේවා හයක්‌ සඳහා ඉන් ලැබෙන දායකත්වය පරීක්‌ෂා කර තිබේ. ඒවා නම්, ශාක වර්ධනය, කාබන් තැන්පත් කිරීම, ඵල නිපදවීම, වනජීවීන් සඳහා ආහාර සැපයීම, මියගිය දැව කොටස්‌ එක්‌ කිරීම හා ජෛවවිවිධත්වයයි.

මේ අධ්‍යයනයේදී හෙළිවන කරුණු අනුව ඉහතකී සෑම පරිසර පද්ධති සේවාවක්‌ම වනාන්තරයේ හමුවන ශාක විශේෂ ගණන හා අනුලෝමව සමානුපාතික වේ. එනම් ශාක විශේෂ ගණන ඉහළ යන තරමට මේ පරිසර පද්ධති සේවා වඩා හොඳින් සැලසේ. මිශ්‍ර ශාක වන වගාවලින් විවිධ ප්‍රයෝජන ලැබේ. ඒවා අතර ඇති එක්‌ වැදගත් කරුණක්‌ වන්නේ වැඩි නිෂ්පාදනයක්‌ ලැබීමයි. එමෙන්ම මෙහිදී පෙනීගොස්‌ ඇති ආකාරයට එකිනෙකට වෙනස්‌ ශාක එකිනෙකට වෙසක්‌ කරුණු සඳහා දායක වේ. එසේම මේ පරිසර පද්ධති සේවා අතරද යම් සම්බන්ධයක්‌ පවතී.

මේ අධ්‍යයනය වැදගත් වන්නේ මිශ්‍ර ශාක වනාන්තරවලින් වැඩි ප්‍රයෝජනයක්‌ ලැබෙන්නේ පාරිසරික වශයෙන් පමණක්‌ බව ලෝකය මෙතෙක්‌ විශ්වාස කළ නිසාය. මේ අනුව මිශ්‍ර ශාක සහිත වන වගාවල වැදගත්කම යළිත් තහවුරු වී තිබේ. වාසනාවකට මෙන් මේ වන විට මිශ්‍ර ශාක සහිත වනාන්තර පිහිටුවීම කෙරේ යම් අවධානයක්‌ යොමු වී තිබේ. (මූලාශ්‍රයNature Communications, DOI: 10.1038/ncomms2328)

පුවත් සැකෙවින්

ඇන්ඩීස්‌ කඳුකර ග්ලැසියර වේගයෙන් දියවේ

දකුණු ඇමරිකාවේ ඇන්ඩීස්‌ කදුවැටියේ පිහිටි ග්ලැසියර මෑත කාලයේ වේගයෙන් දියෑවී ඇති බව පර්යේෂණයකින් අනාවරණය වේ. ඇන්ඩීස්‌ ක`දුකර ග්ලැසියරවලින් අඩක්‌ ආවරණය කළ මේ අධ්‍යයනයෙන් හෙළිවී ඇති පරිදි 1970 වර්ෂයෙන් පසු ගතවූ කාලය ඇතුළත මේ ක`දුකරයේ පිහිටි ග්ලැසියර 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් දියවී ඇත. ඉහළ උන්නතාංශයක පිහිටි විශාල ග්ලැසියර මෙන් දෙගුණයක පමණ වේගයකින් පහළ මට්‌ටමක පිහිටි කුඩා ප්‍රමාණයේ ගැල්සියර දියෑවී තිබේ.

මීට හේතු වී ඇති ප්‍රධාන හේතුව පසුගිය දශක හතක කාලය පුරා දශකයකට සෙල්සියස්‌ අංශක 0.1ක්‌ පමණ බැගින් මේ ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ ගොස්‌ තිබීමයි. මේ ග්ලැසියර මගින් මිලියන ගණනාවක්‌ ජනතාවට අවශ්‍ය ජල පහසුකම් ද සැපයෙන බැවින් එහි ඇති වැදගත්කම මහත්ය. (මූලාශ්‍රයTheCryosphere, DOI: 10.5194/tc-7-81-2013)

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හා පෙනහලු පිළිකා

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ප්‍රදේශ අවට ජීවත්වන ජනතාව පෙනහලු පිළිකා ඇතිවීමේ වැඩි අවදානමකට ලක්‌ව ඇති බව චීනයේ සිදුකළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. පරිගණක, ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර ආදී විවිධ විද්යුත් උපකරණවල ඇතුළත් වටිනා ලෝහ වර්ග ලබා ගැනීම සඳහා ඒවා කොටස්‌ කිරීම දියුණුවන රටවල් සමහරක සිදු කෙරේ. එහෙත් ඊට යොදාගන්නා ක්‍රමවල අනාරක්‌ෂිත බව නිසා විවිධ හානිකර රසායන ද්‍රව්‍ය මිනිසුන්ගේ ශරීරගත විය හැකිය. මෙවැනි උපකරණ දහනය කිරීමෙන් පිළිකාකාරකයක්‌ වන බහුචක්‍රීය ඇරෝමැටික හයිෙඩ්‍රාකාබන් වර්ග (PAH) වාතයට එක්‌විය හැකිය.

මෙහිදී අවධානයට ලක්‌ කරන ලද ගුවාංඩොන්ග් පළාතේ ඉ - අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ප්‍රදේශයකට ආසන්නව පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක ජනතාව අතර පෙනහලු පිළිකා සෑදීමට ඇති අවස්‌ථාව, ගුවාංග්සොයු නම් සාමාන්‍ය නගරයක වැසියන් අතර මෙන් 1.6ගුණයකින් පමණ අධිකය. (මූලාශ්‍රයEnvironmental Science and Technology,DOI:10.1021/es302272a)

චීනය වායු දූෂණයට එරෙහි සටනක

චීනයේ පවත්නා උග්‍ර වායු දූෂණය ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්‌ව ඇති කරුණකි. මේ තත්ත්වය බීජිං හා වෙනත් ප්‍රධාන නගරවල මෙන්ම රටේ සෙසු ප්‍රදේශවලද දැක ගත හැකිය. මේ සඳහා වාහන ඉන්ධනවලින් නිකුත්වන විමෝචන, ගල් අ`ගුරු දහනයෙන් නිකුත්වන විමෝචන මෙන්ම කාන්තාර ප්‍රදේශවලින් හමා එන සුළග ද ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පෙනේ.

මේ තත්ත්වය පිළිබඳව මෙතෙක්‌ ගෙන ඇති පියවර නිසා සල්ෆර්ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඔක්‌සයිඩ, රසායනික ඔක්‌සිජන් හා ඇමෝනියා නයිට්‍රජන් යන ප්‍රධාන වායු දූෂක පසුගිය වර්ෂයේදී 2%කින් පමණ අඩු වී අඩු වී ඇත. එහෙත් රටේ වායු දූෂණය අඩු කිරීම තවමත් ගැටලූවක්‌ වී ඇති බව එරට පරිසර ඇමැතිවරයා විසින් පවසා තිබේ. කෙසේ වෙතත් ජනතාවට හොඳින් දැනෙන මේ තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන ඇති පියවර එරට තුළ විවේචනයට ලක්‌ව ඇති කරුණකි.

මේ අතර චීන අගනුවර වන බීජිං නගරයේ වාහන සඳහා වන වායු විමෝචන නීති දැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත. නගරයේ ධාවනයට එක්‌ කෙරෙන නව වාහන සඳහා ලබන මාසයේ සිට දැඩි වාහන විමෝචන ප්‍රමිති ක්‍රියාත්මක කිරීමට නියමිතය. යුරෝ V ප්‍රමිතිවලට සමාන මේ නව ප්‍රමිති හරහා වාහනවලින් නිකුත්වන නයිට්‍රජන් ඔක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය 40%කින් පමණ අඩු කිරීමට හැකි වෙතැයි අපේක්‌ෂා කෙරේ. පැරණි වාහන නගරයේ ධාවනයෙන් ඉවත් කිරීමද මෙවැනි තවත් පියවරකි.

http://www.vidusara.com/2013/01/30/feature2.html