Friday, February 21, 2014

අනවසර වනජීවී වෙළෙඳාමට තිත තැබිය හැකි ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2014-02-19, (Vidusara), පි 2-3

http://www.vidusara.com/2014/02/19/feature1.html



වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම ලෝකයේ අවධානය බෙහෙවින් යොමු ව ඇති ක්‌ෂේත්‍රයකි. වනජීවීන් ගෙන් ලබාගන්නා විවිධ වූ ද්‍රව්‍ය සඳහා සාම්ප්‍රදායික ඖෂධ, විසිතුරු ද්‍රව්‍ය තැනීම හා විසිතුරු සතුන් හා ශාක ලෙස යොදාගැනීම සඳහා සැලකිය යුතු ජාත්‍යන්තර ඉල්ලුමක්‌ ඈත අතීතයේ පටන් පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් රයිනෝ අං හා ව්‍යාඝ්‍ර අස්‌ථි කොටස්‌ ආදිය ඖෂධ සඳහා යොදාගැනෙන වනජීවී ද්‍රව්‍ය අතර වේ. එසේ ම චිම්පන්සින් වැනි ඇතැම් දුර්ලභ සත්ත්ව ද, තවත් ශාක විශේෂ සඳහා ද ඉල්ලුම ඇත්තේ විසිතුරු ශාක හා සතුන් ලෙස යොදාගැනීම සඳහා ය. ඇත් දළ වැනි ද්‍රව්‍ය සඳහා ඇති වෙළෙඳපොළ මූලික වශයෙන් විසිතුරු භාණ්‌ඩ කර්මාන්තයකි. නීති විරෝධී ලෙස ජාත්‍යන්තර වශයෙන් සිදු වන මේ වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම නිසා ඇතැම් සත්ත්ව හා ශාක විශේෂ ඒවායේ ස්‌වාභාවික පරිසරයෙන් වඳ වී යන බව දැකගත හැකි ය.

වනජීවී ද්‍රව්‍ය සඳහා වැඩි ම ප්‍රමාණයක්‌ සතුන් දඩයම් කිරීම සිදු වන්නේ අප්‍රිකානු රටවල ය. මෙය අප්‍රිකාවේ බරපතළ ගැටලුවක්‌ බවට පත් ව ඇති අතර කලාපයේ රටවල් රැසක දැකිය හැකි අස්‌ථාවර බව හා සිවිල් අර්බුද නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වී ඇත. මෙහි දී ඇතැම් අවිගත් පාර්ශ්වවල ප්‍රධාන ධනෝපායන මාර්ගයක්‌ ලෙස ද වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම භාවිත වන බව පෙනේ. දරිද්‍රතාවෙන් පීඩා විඳින මේ රටවල ජනතාවට ද මේ නීති විරෝධී වෙළෙඳාම තම දිවි රැකගැනීමට උපකාරි වන බවක්‌ පෙනේ. අප්‍රිකානු ඇතුන්, රයිනෝ වැනි සතුන් දඩයම් කිරීම කෙතරම් බරපතළ තත්ත්වයක්‌ ඇති කර තිබේ ද යත්, මේ ඇතැම් විශේෂ මෑත කාලයේ දී වඳ වී යැමට ආසන්න තත්ත්වයකට පත් ව ඇති බව අනාවරණය වී ඇත. පසුගිය වර්ෂයේ දී පමණක්‌ අප්‍රිකානු මහාද්වීපයේ දී මරා දමන ලද ඇතුන් ගේ ගණන 20,000කට අධික වන අතර රයිනෝසිරස්‌ සතුන් දහසකට අධික ප්‍රමාණයක්‌ මරා දමා ඇත. මෑත කාලයේ දී වන සතුන් දඩයම් කිරීමේ වේගවත් වර්ධනයක්‌ දැකිය හැකි විය.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ආකාරයෙන් අපනයනය කරනු ලබන වනජීවී ද්‍රව්‍ය සඳහා වැඩිම ඉල්ලුම පවතින්නේ ආසියානු රටවල ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, වනජීවී ද්‍රව්‍ය සඳහා වැඩි ම ඉල්ලුමක්‌ පවත්නා කලාපය ලෙස චීනය හා අග්නිදිග ආසියානු රටවල් දැක්‌විය හැකි ය. සාම්ප්‍රදායික ඔසු තැනීම සඳහා මේ ද්‍රව්‍ය යොදාගැනීම මීට මූලික හේතුව වී තිබේ.

මේ නීති විරෝධී හා සදාචාර විරෝධී වෙළෙඳාම පාලනය කිරීම සඳහා අදින් දශක හතරකට පමණ පෙර එකඟ වූ ජාත්‍යන්තර සම්මුතියක්‌ පවතී. එය අන්තරායට පත් ව ඇති ජීවි විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය (ක්‍ෂඔES) ලෙස හැඳින්වෙන අතර එය ක්‍රියාත්මක වුව ද, ලෝකය පුරා සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම මුළුමනින් ම පාලනය කිරීමට හැකි වී ඇති බවක්‌ නො පෙනේ. මේ වෙළෙඳාම පුළුල් ව ව්‍යාප්ත වූ හා සංවිධානාත්මක ජාවාරමක්‌ බව ද පෙනෙන්නට ඇත. විශේෂයෙන් නවීන තාක්‌ෂණය යොදාගනිමින් පවා මේ නීති විරෝධී ලෙස ජාත්‍යන්තර මට්‌ටමින් සිදු කෙරෙන ජාවාරම පාලනය කිරීමට විවිධ පියවර ගෙන ඇත. එහෙත් එය පාලනය කිරීම බොහෝ රටවලට පහසු කරුණක්‌ වී නැත. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇතැම් ජීවී විශේෂ වඳ වීමට ආසන්න තත්ත්වයකට පත් ව ඇති අතර, මේ නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් ගේ ජීවිත පවා අවදානමකට ලක්‌ ව ඇති තත්ත්වයක්‌ පවතී.

නීති විරෝධී වුවත් මේ ජාවාරමේ සංසරණය වන ධනය හේතුවෙන් මේ ජාවාරම සංවිධානාත්මකව ව්‍යාප්තව තිබේ. පිළිගත හැකි සංඛ්‍යාලේඛනවලට අනුව ලෝකයේ වාර්ෂික වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ වටිනාකම ඩොලර් බිලියන 20ක්‌ පමණ බව ගණන් බලා ඇත. එහෙත් මේ වටිනාකමට නීති විරෝධී ලෙස අලෙවි වන දැව හා මසුන් ඇතුළත් නො වේ.

ලන්ඩන් සමුළුවේ එකඟතාව


වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම සම්බන්ධ ව කටයුතු කරන පාර්ශ්ව එක්‌ කරමින් ජාත්‍යන්තර සමුළුවක්‌ පසුගිය දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ දී පවත්වන ලදි. zනීති විරෝධී වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පිළිබඳ ලන්ඩන් සම්මන්ත්‍රණය' (London Conference on the Illegal Wildlife Trade) නම් වූ එහි බලාපොරොත්තුව වූයේ වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය සඳහා කිසියම් ඵලදායී ඉදිරි පියවරක්‌ ගැනීමයි. මේ සමුළුව බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් පවත්වන ලද අතර, මේ සඳහා එරට ඔටුන්න හිමි චාර්ල්ස්‌ කුමරු ගේ සහභාගිත්වය ලැබීම ද වැදගත් සිදුවීමක්‌ විය.

බොහෝ දෙනා අපේක්‌ෂා කළ ආකාරයෙන් ම උක්‌ත සමුළුවේ දී කිසියම් වැදගත් ඉදිරි පියවරක්‌ ගෙන ඇති බවක්‌ දැකිය හැකි ය. ඊට සහභාගි වූ රටවල් හතළිස්‌ හයක ප්‍රධානීන් හා ඉහළ බලධාරීන් එක්‌සත් ජාතීන් ගේ ආයතන එකොළොහක්‌ පමණ ද එක්‌ ව ලන්ඩන් ප්‍රකාශනය (London declaration) නම් වූ එකඟතාවකට අත්සන් කර තිබේ.

මේ ලන්ඩන් ප්‍රකාශනයෙන් වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම සඳහා ක්‍රියා නො කළ හොත් එය බොහෝ විශේෂවල පැවැත්මට තර්ජනයක්‌ බව පිළිගෙන තිබේ. එසේ ම ඉදිරියේ දී වනජීවීන් දඩයම් කිරීම වර්ධනය වී ඇති බව සඳහන් කරන එය මේ තත්ත්වය වළක්‌වාලීමට ද එකඟ වී ඇත. නීති විරෝධී ලෙස සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම බරපතළ අපරාධයක්‌ (serious crime) සේ සැලකිය යුතු බවට එකඟ වීම මෙහි ඇති සුවිශේෂී වගන්තියකි.

මේ අනුව වනජීවී වෙළෙඳාම ද අන්තර් -රාජ්‍ය සංවිධානාත්මක අපරාධ පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ නීතිරීති යටතට ගැනීම මේ යටතේ සිදු වනු ඇත. මේ අනුව දැඩි නීති පැනවීමට හා ද`ඩුවම් නියම කිරීමට අවස්‌ථාව ලැබේ. මෙය වැදගත් වන්නේ ඇතැම් රටවල වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම සම්බන්ධ ව ඇති ද`ඩුවම් ඉතා සුළු ඒවා වීම නිසා ය. අදාළ නීති විරෝධී කටයුතුවලින් ලැබෙන ආදායම් ඊට වඩා බෙහෙවින් අධික වන බැවින් ඇතැම් පිරිස්‌ දිගින් දිගට ම මේ ජාවාරමේ යෙදෙන ආකාරයක්‌ දකින්නට තිබේ. අනෙක්‌ අතට වනජීවී අපරාධ සුළු කොට තැකීම බොහෝ විට අපට දැකිය හැකි කරුණකි. මේ නිසා විවිධ රටවල නීති දැඩි කිරීම හා මේ පිළිබඳ ව අනුගමනය කරන ප්‍රතිපත්ති ශක්‌තිමත් කිරීම මෙන්ම ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ දී සුවිශේෂ වැදගත්කමක්‌ පවතී.

අනෙක්‌ අතට මේ වෙළෙඳාම ආශ්‍රිත ව සිදු වන දූෂණය, හුවමාරු වන zකළු සල්ලිZ පිළිබඳව සොයා බැලීම හා සංවිධානාත්මක අපරාධ හා කල්ලි පිළිබඳ ව සොයා බැලීම සඳහා ප්‍රමුඛතාවක්‌ හිමි විය යුතු බවට ද මෙහි දී අදාළ රටවල් එකඟ වී ඇත. විශේෂයෙන් දෙAශසීමා හරහා සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම වැළැක්‌වීම සඳහා විවිධ රටවල් හා ඒවායේ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන අතර සම්බන්ධතා වර්ධනය කිරීමෙහි ඇති වැදගත්කම ද මෙහි දී අවධානයට ලක්‌ ව ඇත. එසේ ම ජාත්‍යන්තර ආයතන අතර ඇති සම්බන්ධතා දියුණු කිරීම පිළිබඳව ද මෙහි දී අවධානයට ලක්‌ ව ඇත.

මෙහි දී එකඟ වී ඇති ක්‍රියාකාරකම් අතර වනජීවී ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම හා සැපයුම නවතා දැමීමට කටයුතු කිරීම වැදගත් ය. ඉල්ලුම පවත්නා ප්‍රදේශවල ඒ තත්ත්වය පාලනය කිරීම මෙහි දී අත්‍යවශ්‍ය බව පැහැදිලි ය. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහභාගිත්වය ද මේ සියලු කටයුතු සඳහා ලබාගැනීම වැදගත් බව ලන්ඩන් ප්‍රකාශනයේ සඳහන් වී ඇත.

මේ සමුළුවේ දී ඇතැම් අප්‍රිකානු රටවල් තම රටවල රැස්‌ ව ඇති ඇත්දළ ආදි වනජීවී ද්‍රව්‍ය වෙළෙඳපොළට පැමිණීම වළක්‌වාලීමට අවශ්‍ය පියවර ගන්නා බව ද මෙහි දී පොරොන්දු වී ඇත. ඇතැම් රටවල් වසර දහයක කාලයකට මෙවැනි තහනමක්‌ දියත් කරන බව පවසා තිබේ. එය වැදගත් වන්නේ ස්‌වෙච්ඡාවෙන් මෙවැනි ඉදිරිපත් වීමක්‌ තිබීම නිසා ය.

වනජීවී වෙළෙඳාම පාලනය කළ හැකි ද?


විය යුතු පරිදි ම මේ එකඟතාව පරිසර අංශවල ප්‍රශංසාවට ලක්‌ ව ඇති බව පෙනේ. කෙසේ වෙතත් බොහෝ අංශ පෙන්වා දෙන ආකාරයට කඩිනම් ක්‍රියාකාරීත්වයක්‌ නොමැති වීම මෙහි ඇති ගැටලුවකි. මොනතරම් එකඟතාවක්‌ තිබුණ ද මේවා ක්‍රියාත්මක තත්ත්වයකට පත් කිරීම වැදගත් බව ඔවුන් පවසන කරුණකි. ජාත්‍යන්තර මට්‌ටමෙන් කුමන ආකාරයේ එකඟතාවක්‌ තිබුණ ද, ඒවා රාජ්‍ය මට්‌ටමින් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නො වීම අප දකින ගැටලුවකි.

එසේ ම මේ තත්ත්වය තීරණය වන්නේ අදාළ ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම පාලනය කිරීම මත ය. විශේෂයෙන් වනජීවී ද්‍රව්‍ය සඳහා ප්‍රධානතම වෙළෙඳපොළ වන චීනයේ ප්‍රතිචාරය මත වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ අනාගතය තීරණය වනු ඇත. චීනය මේ පිළිබඳව දක්‌වන ඇල්මැරුණු ප්‍රතිචාරය පරිසර සංවිධානවල විවේචනයට ලක්‌ ව තිබිණි. ජගත් බලපෑම නිසාම චීනයේ දී අත්අඩංගුවට ගත් ඇත් දළ තොගයක්‌ විනාශ කිරීමට කටයුතු කිරීම පසුගිය කාලයේ දී බොහෝ දෙනාගේ පැසසුමට ලක්‌ වූයේ මේ නිසා ය.

වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම හා නීති විරෝධී ආකාරයෙන් සිදු වන වෙළෙඳාම අවසන් කිරීම සංරක්‌ෂණය සඳහා ඉතා වැදගත් කරුණක්‌ බව පැහැදිලි ය. ලන්ඩන් සමුළුව හා ලන්ඩන් ප්‍රකාශනය ඊට තවත් බලාපොරොත්තුවක්‌ ලබා දී තිබේ. එහෙත් එය කෙතෙක්‌ දුරට ඉටු වේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

Saturday, February 15, 2014

කිරි පිටි මිථ්‍යාවෙන් මිදීම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2014-02-12 (Vidusara)

http://www.vidusara.com/2014/02/12/feature4.html




'කිරි පිටි' යළිත් වරක්‌ අපේ රටේ සාකච්ඡාවට ලක්‌ ව ඇති මාතෘකාවක්‌ බවට පත් ව ඇති බවක්‌ පෙනේ. ඊට හේතුව පසුගිය සතියේ දී ආනයනික කිරි පිටිවල මිල ඉහළ නැංවීම හා වෙළෙඳපොළේ කිරි පිටි හිඟයක්‌ දැකිය හැකි වීම ය. සැලකිල්ලෙන් බලන විට පෙනෙන්නේ හිඟ වී ඇත්තේ ආනයනික කිරිපිටි බව ය. අද වන විට සැලකිය යුතු තරම් දේශීය දියර කිරි හා කිරිපිටි වෙළෙඳපොළේ පවතී.

පසුගිය වර්ෂයේ දී රටේ දැඩි ආන්දෝලනයක්‌ ඇති කිරීමට කිරි පිටි හේතු විය. ආනයනික කිරි පිටිවල ඩීසීඩී නම් රසායනික ද්‍රව්‍යය ඇතුළත් වීම හා ඒ සමඟ ම වාගේ සිදු වූ බොටුලිනම් විෂ පිළිබඳ සිදු වීම මීට මහත් සේ බලපෑවේ ය. මේ සිදුවීම නිසා කිරි පිළිබඳ ව රට ඇතුළත ඇති වූ සංවාදය සැලකිය යුතු තරම් ඵලදායී වී ඇති බව පැහැදිලි වන්නේ දැනුම්වත් පුද්ගලයන් සැලකිය යුතු පිරිසක්‌ අධික කිරි භාවිතයෙන් හා විශේෂයෙන් කිරි පිටි භාවිතයෙන් බැහැර වී ඇති නිසා ය. දැනුම්වත් වීමත් සමඟ මෙතෙක්‌ කලක්‌ තමන් අනුගමනය කළ පාරිභෝගික පුරුදු වෙනස්‌ කිරීම සබුද්ධික පරිභෝජනයක ලක්‌ෂණයකි.

කිරි හා කිරි පිටි


කිරිවල ඇති පෝෂණ ගුණය පිළිබඳ ඇති වූ පැහැදිලි කිරීම අද වන විට අවබෝධ වෙමින් තිබේ. වෛද්‍ය විද්‍යාත්මකව ගත් විට කිරි පිටි ම`ගින් විශේෂයෙන් ම වැඩිහිටියන්ට ලැබෙන්නේ සීමිත පෝෂණයක්‌ පමණි. එසේ ම ඒ පෝෂණ අවශ්‍යතා සමබර ආහාර වේලක්‌ හරහා වෙනත් ආහාරවලින් සම්පූර්ණ කරගත හැකි ය. අනෙක්‌ අතට ළදරුවන්ට යෝග්‍යතම කිරි ආහාරය වන්නේ මවුකිරි බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

කෙසේ වෙතත්, කිරි අවශ්‍යතාව සඳහා අපේ රටේ මෑත කාලයේ දී වැඩි වශයෙන් භාවිත කරන ලද්දේ කිරි පිටි ය. කිරි පිටි යනු ලෝකයේ මහත් ධනයක්‌ උපයාගත හැකි ව්‍යාපාරයකි. ඇතැම් විට අසත්‍ය කරුණු ඇතුළත් අයථා ආකාරයේ ප්‍රචාරණ කටයුතු හරහා පාරිභෝගිකයන් රවටමින් කිරි පිටි සමාගම් නියෑළී සිටින්නේ හුදු වෙළෙඳාම ප්‍රවර්ධනයක පමණකි. අනෙක්‌ අතට ඔවුන් ගේ මේ ප්‍රචාරණයේ වියදම් ගෙවනු ලබන්නේ ද පාරිභෝගිකයන් විසිනි. මෑතක දී සිදු කරන ලද මිල ඉහළ නැංවීම ප්‍රමාණවත් නොමැති බවක්‌ කිරි ආනයනය කරන සමාගම් පවසන බව වාර්තා විය. මිල ගණන් සංසන්දනය කළ හොත් පෙනෙන්නේ දේශීය කිරි පිටිවලට වඩා ආනයනික කිරිපිටිවල මිල සැලකිය යුතු තරම් අධික බව ය. දේශීය කිරි, ආනයනික කිරි පිටිවලට වඩා 30%ක ටත් වඩා ලාභදායක ය.

කිරි යනු බොහෝ ආහාරවල සංඝටකයක්‌ වන නිසා හා අත්‍යවශ්‍ය නො වුව ද, එම`ගින් බොහෝ ආහාර වර්ග නිෂ්පාදනය කරනු ලැබේ. එසේ ම අපේ නූතන ආහාර සංස්‌කෘතියේ නැති ව ම බැරි ආහාර වර්ගයත් බවට මේ වන විට කිරි පත් ව ඇත. මේ තත්ත්වය හමුවේ ගත හැකි වැදගත් වන පියවරක්‌ වන්නේ දේශීය දියර කිරි පරිභෝජනය හැකිතාක්‌ දිරිමත් කිරීම බව පැහැදිලි ය. ආනයනය කරන ලද කිරි පිටි නිසා ඇති වූ ගැටලු පිළිබඳව රටක්‌ ලෙස මේ දක්‌වා අප උගත් පාඩම් හොඳට ම ප්‍රමාණවත් ය.

දේශීය දියර කිරි


දේශීය කිරි නිෂ්පාදනය හා පරිභෝජනය දිරිමත් කිරීම සඳහා අපේ රටේ අද වන විට ක්‍රියාත්මක ප්‍රයත්නය වැදගත් වන්නේ මේ නිසා ය. දේශීය ව අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් තරම් සම්පත් ප්‍රමාණයක්‌ අපේ රටේ පවත්නා අතර, කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම හරහා අද වන විට කිරිපිටි සඳහා විදේශීය රටවලට ඇදී යන ධනස්‌කන්ධයක්‌ ද ඉතිරි කරගත හැකි ය. එය රටේ ආර්ථිකයට වැදගත් ය.

දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය සඳහා රජයේ මැදිහත් වීමෙන් විවිධ පියවර ගෙන ඇත. කිරි ලීටරයක්‌ සඳහා රු.50ක සහතික මිලක්‌ ලබා දීම, ගව පාලනය සඳහා විවිධ ණය හා ආධාර පහසුකම් සපයා දී තිබීම වැනි පියවර මීට අයත් වේ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මෑත වසර තුනක පමණ කාලයේ දී දේශීය කිරි නිෂ්පාදනයේ පැහැදිලි වර්ධනයක්‌ දැකගත හැකි ය. එහෙත් කුඩා පරිමාණ කිරි නිෂ්පාදකයන් සඳහා තවත් කළ හැකි දේ බොහෝ ඇති බව අදාළ අංශයේ නියෑළී සිටින අය ගේ අදහසයි. නිදසුනක්‌ ලෙස තාක්‌ෂණික පහසුකම් හා සේවා සැපයීම පුළුල් කිරීම වැනි කරුණු දැක්‌විය හැකි ය.

දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම හා කිරිවලින් රට ස්‌වයංපෝෂිත කිරීම සඳහා වූ උත්සාහයට දේශපාලන ලේබලයක්‌ ඇලවීමට සිදු කරන උත්සාහයක්‌ ද අපට දැකගත හැකි ය. එය අපේ කණගාටුවට කරුණකි. මේ උත්සාහය එවැනි පටු සටන් පාඨයකට සීමා කළ යුත්තේ නො වේ. රටේ ආර්ථිකය නංවාලීමට මෙන්ම, දේශයේ ජීවනාලිය වැනි ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම සඳහා ද මෙය වැදගත් ය. කළ යුත්තේ එහි අඩුපාඩු වේ නම් ඒවා නිවැරැදි කරගැනීමයි. විමසිල්ලෙන් බලන විට පෙනෙන කරුණක්‌ වන්නේ ලෝකයේ දියුණු යෑයි සැලකෙන බොහෝ රටවල, දියුණු මට්‌ටමක ඇති කෘෂිකර්මයක්‌ හා පශු පාලනයක්‌ පවත්නා බව ය. අනෙක්‌ අතට, මිනිසුන් ගේ මූලික අවශ්‍යතාවක්‌ වන ආහාර අතින් ස්‌වයංපෝෂිත වීම, කිසියම් රටක ස්‌වාධීනත්වය සඳහා ඉතා වැදගත් පියවරක්‌ ද වේ.

දේශගුණය වෙනස්‌වීම හා ඇමෙරිකාවේ වෙනස්‌ වීම

ධනේෂ් විසුම්පෙරුම

 විදුසර, 2014-02-05 (Vidusara)

http://www.vidusara.com/2014/02/05/feature1.html


 
දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා මෙතෙක්‌ කලක්‌ තිස්‌සේ ගෙන ඇති විවිධ පියවර හා ඒ සම්බන්ධ ව පවත්නා ගැටලු පිළිබඳව අපි වරින් වර සාකච්ඡා කර ඇත්තෙමු. මේ දක්‌වා ගෙන ඇති පියවරවල ප්‍රමාණාත්මක බව මෙහි දී ඉතා වැදගත් ය. විශේෂයෙන් විවිධ රටවල දේශගුණ ප්‍රතිපත්ති මේ සඳහා තීරණාත්මක වශයෙන් බලපාන බව පැහැදිලි ය.

දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධව පසුගිය සතියේ ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ අවධානයට ලක්‌ වූ කරුණක්‌ වූයේ ඇමෙරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමා කර තිබූ ප්‍රකාශයකි. ඔහු පවසා තිබුණේ දේශගුණ වෙනස්‌ වීම සත්‍යයක්‌ බව ය. ඔහු පවසා ඇති ආකාරයට දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පැවැති විවාදය මේ වන විට අවසන් ව ඇති බැවින් ඒ තත්ත්වය පාලනය සඳහා බලශක්‌ති අංශයෙන් ගත හැකි පියවර ඔහු ගේ අවධානයට ලක්‌ වූ මාතෘකාව විය. ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වී තිබෙන බලපෑම් ගැන ද මෙහි දී ඔහු කරුණු දක්‌වා තිබිණි. ඒ නිsයඟය හා මුහුදු මට්‌ටම ඉහළ යැම වැනි කරුණු ය. මේ පිළිබඳව තරමක්‌ හැඟීම් බර ප්‍රකාශයක්‌ කළ ඔහු පැවසුවේ, සිය මුණුපුරන් ඔවුන්ට ආරක්‌ෂිත ලෝකයක්‌ බිහි කරනු නො ලැබුවේ මක්‌ නිසා ද යෑයි ඇසුව හොත් අප එසේ කළ බව කීමට අවශ්‍ය බව ය.

ඔබාමා ගේ මේ ප්‍රකාශය මත පදනම් ව ඔහු අවධානය යොමු කර තිබුණේa එරට බලශක්‌තිය හා සම්බන්ධ ප්‍රතිපත්තිවල ඇති කළ යුතු සංශෝධන සම්බන්ධ ව ය. ඒ අනුව ඔහු කාබන් විමෝචන අඩු කරන පිරිසිදු බලශක්‌තිය භාවිතය පිළිබඳ ව අදහස්‌ දක්‌වා තිබිණි. ඒ අනුව පිරිසිදු බලශක්‌තියකින් යුක්‌ත ආර්ථිකයක්‌ ඇති කිරීමට පියවර ගැනීම ඔහු අපේක්‌ෂා කරන පිළිවෙත බව පෙනේ. කෙසේ වෙතත් ඔබාමා ගේ මේ ප්‍රකාශය පරිසර හා සමාජ ක්‍රියාකාරීන් විසින් වැදගත් සේ සලකනු ලැබුව ද ව්‍යාපාරික අංශ සමහරක්‌ එය හුදෙක්‌ ස්‌වාභාවික වායු භාවිතය ප්‍රචලිත කිරීම සඳහා කළ දිරිගැන්වීමක්‌ සේ පමණක්‌ සලකන බවක්‌ ද පෙනේ. එය ද මෙහි දී අමතක කළ නොහැකි කරුණකි.

ඇමෙරිකාවේ දේශගුණ ප්‍රතිපත්ති වෙනස්‌ වී තිබේ ද?


ඇමෙරිකාවේ දේශගුණ පිළිවෙත පිළිබඳව සැලකූ විට මෙය සැලකිය යුතු තරම් වෙනසක්‌ විය හැකි බව පැහැදිලි ය. එහෙත් මෙය දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධයෙන් ජගත් මට්‌ටමේ දී කෙතරම් දුරට වැදගත් වන ඉදිරි පියවරක්‌ ද යන්න නම් පැහැදිලි නැත.

මේ බව තේරුම් ගැනීමට කළ යුත්තේ පසුගිය දශක දෙකකට මඳක්‌ වැඩි කාලය ඇතුළත ඇමෙරිකාව දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව ගත් පියවර පිළිබඳව විමසා බැලීම ය. 1992 වර්ෂයේ දී ඇති වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියට ඇමෙරිකාව අත්සන් කළ නමුත්, හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා බලපාන එක ම ජාත්‍යන්තර පියවර සේ සැලකිය හැකි 1997 වර්ෂයේ දී ඇති කරගත් කියෝටෝ සන්ධානය අපරානුමත කර ක්‍රියාත්මක කළේ නැත. එය බලාත්මක වූයේ නම් දියුණු රටක්‌ වන ඇමෙරිකාවට ද හරිතාගාර වායු විමෝචන සීමා කිරීමට සිදුවිය හැකි ව තිබිණි. මෙවැනි තත්ත්වයක්‌ සඳහා බලපෑවේ ඇමෙරිකාවේ ව්‍යාපාරික හා බලශක්‌ති අංශයේ අවශ්‍යතාව අනුව එරට දේශපාලන නායකත්වයේ දේශගුණ වෙනස්‌ වීම හා එය පාලනය කිරීම පිළිබඳ ව පියවර තීරණය වීම බව පැහැදිලි ය. වර්තමාන ජනාධිපති බැරැක්‌ ඔබාමා බලයට පත් වූ පසුව මේ පිළිබඳව ගත් පියවරවලට ද මේ තත්ත්වය නිසා යම් යම් බාධා එල්ල විය. විශේෂයෙන් එරට විපක්‌ෂය මෙවැනි පියවරකට දිගින් දිගට ම විරුද්ධත්වය දක්‌වා තිබේ.

අනෙක්‌ අතට පසුගිය කාලයේ දී පැවැති දේශගුණ සාකච්ඡාවල දී පවා ඇමෙරිකානු නියෝජිතයන් දැක්‌වූ අදහස්‌ හා අකුල් හෙළීම් දේශගුණ සාකච්ඡා ඉදිරියට යැමේ දී බාධාවක්‌ වූ බව රහසක්‌ නො වේ. මේ සඳහා ඔවුන් විවිධ පියවර ගෙන ඇති අතර මේ පිළිබඳ ව ඇති වැදගත් ම සාක්‌ෂිය වන්නේ 2009 වර්ෂයේ දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ දී පැවැති ජගත් දේශගුණ සමුළුවට පෙර මෙන්ම සමුළුව අතරතුර දී ඇතැම් රටවල රාජ්‍ය නායකයන් හා නිලධාරීන් ගේ කටයුතු සම්බන්ධ ව ඇමෙරිකානු රාජ්‍ය ඔත්තු සේවා ආයතන ඔත්තු බැලූවේ ය යන්නයි. මේ ම`ගින් ලබාගත් තොරතුරු ඇමෙරිකානු නියෝජිතයන්ට ලබා දී ඇත. පසුගිය සතියේ දී මේ බව හෙළි කර තිබුණේ මෑත කාලයේ දී ඇමෙරිකාවේ ඔත්තු සේවාවල කටයුතු පිළිබඳ ව හෙළිදරව් කිරීම් රැසක්‌ සිදු කළ එඩ් ස්‌නෝඩන් විසිනි. මේ පිළිබඳ තොරතුරු දියුණු වන රටවල දැඩි අප්‍රසාදයට ලක්‌ වී තිබේ.

මෙවැනි තත්ත්වයක්‌ හමුවේ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේ කරන ලද ප්‍රකාශයේ වැදගත්කම පිළිබඳ සැකයක්‌ ඇති වීමද පුදුමයක්‌ නො වේ. ඔහු කෙසේ පැවසුව ද එරට ඇතුළත දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ ව ගෙන ඇති පියවර එතරම් ප්‍රබල නො වේ. එවැනි සාධනීය පියවර ගැනීමට අවශ්‍ය දේශපාලන සහයෝගය ඔබාමාට ලබාගැනීමට හැකියාව ලැබේ ද යන්න තවත් ගැටලුවකි.

දේශපාලනයේ වැදගත්කම


මේ වන විට පැහැදිලි ව ඇති පරිදි සැලකිය යුතු තරමින් හරිතාගාර වායු සීමා කිරීමකින් තොර ව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ගැටලූව විසඳා ගැනීම අපහසු වේ. මෙහි ඇති ගැටලුව අදාළ වායු සීමා කිරීම කෙතරම් ප්‍රමාණයකින් කළ යුතු ද යන්න හා ඒ සඳහා ඒ ඒ රටවල් දායකත්වය දක්‌වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ඇති මතභේද ය. මෙහි දී අදාළ රටවල දේශපාලන ප්‍රතිපත්තිවල හා දේශපාලන නායකත්වයේ ඇති වැදගත්කම බොහෝ අවස්‌ථාවල දී හුවා දක්‌වා තිබේ. මේ ඉලක්‌ක සම්බන්ධව දියුණු හා දියුණු වන රටවල ඇති මතභේද නිසා දේශගුණ සාකච්ඡාවල ද යම් යම් ගැටලු ඇති වී ඇත. ලෝකයේ බරපතළ ම පාරිසරික ගැටලුව සේ සැලකිය හැකි දේශගුණ වෙනස්‌ වීම සඳහා විසඳුම් සෙවීමේ ඇති පසුබෑමට මෙය ප්‍රධාන හේතුව වේ.

දේශගුණ වෙනස්‌ වීම සඳහා යම් විසඳුමක්‌ සෙවීමේ දී ලෝකයේ සැම රටක ම දායකත්වය වැදගත් බව සැබැවි. ඇමෙරිකාව පමණක්‌ නො ව යුරෝපා රටවල් හා වෙනත් දියුණු රටවල සහයෝගය මෙහි දී ඉතා වැදගත් ය. යුරෝපා රටවල් මේ වන විට දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධව වැදගත් ඉදිරි පියවරක්‌ ගෙන ඇති කලාපයක්‌ වන අතර යුරෝපා රටවල් රැසක්‌ ස්‌වකීය හරිතාගාර වායු විමෝචන තවදුරටත් අඩු කිරීමට ක්‍රියා කිරීමට අපේක්‌ෂා කරන නමුත්, ජගත් මට්‌ටමේ එකඟතාවක්‌ නොමැති වීම නිසා එහි කිසියම් ප්‍රමාදයක්‌ ද දැක ගැනීමට හැකි වේ.

පෙර සඳහන් කර ඇති ආකාරයට, ඇමෙරිකාවේ තීරණ තීන්දු තීරණය වන්නේ ආර්ථික කරුණු මත පදනම් ව ය. අනෙක්‌ අතට ඇමෙරිකාවේ වර්තමාන පාලනය දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව සාධනීය පිළිවෙත් අනුගමනය කරන නමුත් රටක්‌ ලෙස ගත් විට එරට තුළ මේ පිළිබඳව යම් උභයාවේගිකත්වයක්‌ පවතී. එරට පාලක පක්‌ෂය වෙනස්‌ වුව හොත් එරට දේශගුණ ප්‍රතිපත්ති ද වෙනස්‌ විය හැකි ය. මේ නිසා දේශගුණ වෙනස්‌ වීම දේශපාලනික වශයෙන් පිළිගැනීමකට ලක්‌ ව ඇති නමුත් ඇමෙරිකාවේ දේශගුණ පිළිවෙත් පිළිබඳ ව වැඩි විශ්වාසයක්‌ තැබීමට තවමත් ඉක්‌මන් වැඩි බව පෙනේ.

ඔස්‌ට්‍රේලියාවේ ඇති වූ දේශපාලන වෙනස්‌වීම්වලින් පසු එරට ඇති වූ තත්ත්වය මේ සඳහා නිදසුනකි. ලෝකයේ ඉහළ ම ඒක පුද්ගල වායු විමෝචනයක්‌ ඇති ඔස්‌ට්‍රේලියාව මෑතක්‌ වන තුරු ම කියෝටෝ සන්ධානයට එක්‌ ව සිටියේ නැත. එහෙත් එරට පාලන බලය කෙවින් රඩ් ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්‌ෂයට ලැබුණු පසු දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා යම් යම් ඉදිරි පියවර එරට තුළ ගන්නා ආකාරය දැකිය හැකි විය. කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ පැවැති මැතිවරණයෙන් නැවතත් බලයට පත් වූ ලිබරල් පක්‌ෂය එරට දේශගුණ ප්‍රතිපත්ති යළිත් වෙනස්‌ කිරීමට පියවර ගනිමින් තිබේ.

මෙවැනි පසුබැසීම් සඳහා හේතු වන්නේ ශක්‌තිමත් විසඳුමක්‌ සඳහා සැලකිය යුතු ජාත්‍යන්තර මට්‌ටමේ පියවරක්‌ නොමැති වීම බව පෙනේ. එවැන්නකට එළැඹීමේ ඇති වී තිබෙන ප්‍රමාදය නිසා මේ තත්ත්වය ඇති වී තිබේ. මේ වන විට ඇති වී තිබෙන පොදු එකඟතාවට අනුව, දේශගුණ වෙනස්‌ වීම පාලනය සම්බන්ධ ගිවිසුමකට එළැඹීමට නියමිත ව ඇත්තේ 2015 වර්ෂයේ දී ය. මේ සඳහා ඉතිරි ව ඇත්තේ තවත් මාස 22ක්‌ පමණ කාලයක්‌ පමණි. ඒ අනුව ශක්‌තිමත් දේශගුණ ගිවිසුමක්‌ ඇති කරගැනීම හා හැකි ඉක්‌මනින් එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම අද දවසේ අවශ්‍යතාවයි.

http://www.vidusara.com/2014/02/05/feature1.html