ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2014-02-05 (Vidusara)
http://www.vidusara.com/2014/02/05/feature1.html
දේශගුණ වෙනස් වීම හා සම්බන්ධව පසුගිය සතියේ ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ අවධානයට ලක් වූ කරුණක් වූයේ ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා කර තිබූ ප්‍රකාශයකි. ඔහු පවසා තිබුණේ දේශගුණ වෙනස් වීම සත්‍යයක් බව ය. ඔහු පවසා ඇති ආකාරයට දේශගුණ වෙනස් වීම පිළිබඳ පැවැති විවාදය මේ වන විට අවසන් ව ඇති බැවින් ඒ තත්ත්වය පාලනය සඳහා බලශක්‌ති අංශයෙන් ගත හැකි පියවර ඔහු ගේ අවධානයට ලක් වූ මාතෘකාව විය. ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල දේශගුණ වෙනස් වීම නිසා ඇති වී තිබෙන බලපෑම් ගැන ද මෙහි දී ඔහු කරුණු දක්‌වා තිබිණි. ඒ නිsයඟය හා මුහුදු මට්‌ටම ඉහළ යැම වැනි කරුණු ය. මේ පිළිබඳව තරමක් හැඟීම් බර ප්‍රකාශයක් කළ ඔහු පැවසුවේ, සිය මුණුපුරන් ඔවුන්ට ආරක්‌ෂිත ලෝකයක් බිහි කරනු නො ලැබුවේ මක් නිසා ද යෑයි ඇසුව හොත් අප එසේ කළ බව කීමට අවශ්‍ය බව ය.
ඔබාමා ගේ මේ ප්‍රකාශය මත පදනම් ව ඔහු අවධානය යොමු කර තිබුණේa එරට බලශක්‌තිය හා සම්බන්ධ ප්‍රතිපත්තිවල ඇති කළ යුතු සංශෝධන සම්බන්ධ ව ය. ඒ අනුව ඔහු කාබන් විමෝචන අඩු කරන පිරිසිදු බලශක්‌තිය භාවිතය පිළිබඳ ව අදහස් දක්‌වා තිබිණි. ඒ අනුව පිරිසිදු බලශක්‌තියකින් යුක්‌ත ආර්ථිකයක් ඇති කිරීමට පියවර ගැනීම ඔහු අපේක්‌ෂා කරන පිළිවෙත බව පෙනේ. කෙසේ වෙතත් ඔබාමා ගේ මේ ප්‍රකාශය පරිසර හා සමාජ ක්‍රියාකාරීන් විසින් වැදගත් සේ සලකනු ලැබුව ද ව්‍යාපාරික අංශ සමහරක් එය හුදෙක් ස්‌වාභාවික වායු භාවිතය ප්‍රචලිත කිරීම සඳහා කළ දිරිගැන්වීමක් සේ පමණක් සලකන බවක් ද පෙනේ. එය ද මෙහි දී අමතක කළ නොහැකි කරුණකි.
ඇමෙරිකාවේ දේශගුණ ප්‍රතිපත්ති වෙනස් වී තිබේ ද?
ඇමෙරිකාවේ දේශගුණ පිළිවෙත පිළිබඳව සැලකූ විට මෙය සැලකිය යුතු තරම් වෙනසක් විය හැකි බව පැහැදිලි ය. එහෙත් මෙය දේශගුණ වෙනස් වීම සම්බන්ධයෙන් ජගත් මට්‌ටමේ දී කෙතරම් දුරට වැදගත් වන ඉදිරි පියවරක් ද යන්න නම් පැහැදිලි නැත.
මේ බව තේරුම් ගැනීමට කළ යුත්තේ පසුගිය දශක දෙකකට මඳක් වැඩි කාලය ඇතුළත ඇමෙරිකාව දේශගුණ වෙනස් වීම සම්බන්ධ ව ගත් පියවර පිළිබඳව විමසා බැලීම ය. 1992 වර්ෂයේ දී ඇති වූ දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියට ඇමෙරිකාව අත්සන් කළ නමුත්, හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා බලපාන එක ම ජාත්‍යන්තර පියවර සේ සැලකිය හැකි 1997 වර්ෂයේ දී ඇති කරගත් කියෝටෝ සන්ධානය අපරානුමත කර ක්‍රියාත්මක කළේ නැත. එය බලාත්මක වූයේ නම් දියුණු රටක් වන ඇමෙරිකාවට ද හරිතාගාර වායු විමෝචන සීමා කිරීමට සිදුවිය හැකි ව තිබිණි. මෙවැනි තත්ත්වයක් සඳහා බලපෑවේ ඇමෙරිකාවේ ව්‍යාපාරික හා බලශක්‌ති අංශයේ අවශ්‍යතාව අනුව එරට දේශපාලන නායකත්වයේ දේශගුණ වෙනස් වීම හා එය පාලනය කිරීම පිළිබඳ ව පියවර තීරණය වීම බව පැහැදිලි ය. වර්තමාන ජනාධිපති බැරැක් ඔබාමා බලයට පත් වූ පසුව මේ පිළිබඳව ගත් පියවරවලට ද මේ තත්ත්වය නිසා යම් යම් බාධා එල්ල විය. විශේෂයෙන් එරට විපක්‌ෂය මෙවැනි පියවරකට දිගින් දිගට ම විරුද්ධත්වය දක්‌වා තිබේ.
අනෙක් අතට පසුගිය කාලයේ දී පැවැති දේශගුණ සාකච්ඡාවල දී පවා ඇමෙරිකානු නියෝජිතයන් දැක්‌වූ අදහස් හා අකුල් හෙළීම් දේශගුණ සාකච්ඡා ඉදිරියට යැමේ දී බාධාවක් වූ බව රහසක් නො වේ. මේ සඳහා ඔවුන් විවිධ පියවර ගෙන ඇති අතර මේ පිළිබඳ ව ඇති වැදගත් ම සාක්‌ෂිය වන්නේ 2009 වර්ෂයේ දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ දී පැවැති ජගත් දේශගුණ සමුළුවට පෙර මෙන්ම සමුළුව අතරතුර දී ඇතැම් රටවල රාජ්‍ය නායකයන් හා නිලධාරීන් ගේ කටයුතු සම්බන්ධ ව ඇමෙරිකානු රාජ්‍ය ඔත්තු සේවා ආයතන ඔත්තු බැලූවේ ය යන්නයි. මේ ම`ගින් ලබාගත් තොරතුරු ඇමෙරිකානු නියෝජිතයන්ට ලබා දී ඇත. පසුගිය සතියේ දී මේ බව හෙළි කර තිබුණේ මෑත කාලයේ දී ඇමෙරිකාවේ ඔත්තු සේවාවල කටයුතු පිළිබඳ ව හෙළිදරව් කිරීම් රැසක් සිදු කළ එඩ් ස්‌නෝඩන් විසිනි. මේ පිළිබඳ තොරතුරු දියුණු වන රටවල දැඩි අප්‍රසාදයට ලක් වී තිබේ.
මෙවැනි තත්ත්වයක් හමුවේ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේ කරන ලද ප්‍රකාශයේ වැදගත්කම පිළිබඳ සැකයක් ඇති වීමද පුදුමයක් නො වේ. ඔහු කෙසේ පැවසුව ද එරට ඇතුළත දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ව ගෙන ඇති පියවර එතරම් ප්‍රබල නො වේ. එවැනි සාධනීය පියවර ගැනීමට අවශ්‍ය දේශපාලන සහයෝගය ඔබාමාට ලබාගැනීමට හැකියාව ලැබේ ද යන්න තවත් ගැටලුවකි.
දේශපාලනයේ වැදගත්කම
මේ වන විට පැහැදිලි ව ඇති පරිදි සැලකිය යුතු තරමින් හරිතාගාර වායු සීමා කිරීමකින් තොර ව දේශගුණ වෙනස් වීම පිළිබඳ ගැටලූව විසඳා ගැනීම අපහසු වේ. මෙහි ඇති ගැටලුව අදාළ වායු සීමා කිරීම කෙතරම් ප්‍රමාණයකින් කළ යුතු ද යන්න හා ඒ සඳහා ඒ ඒ රටවල් දායකත්වය දක්‌වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ඇති මතභේද ය. මෙහි දී අදාළ රටවල දේශපාලන ප්‍රතිපත්තිවල හා දේශපාලන නායකත්වයේ ඇති වැදගත්කම බොහෝ අවස්‌ථාවල දී හුවා දක්‌වා තිබේ. මේ ඉලක්‌ක සම්බන්ධව දියුණු හා දියුණු වන රටවල ඇති මතභේද නිසා දේශගුණ සාකච්ඡාවල ද යම් යම් ගැටලු ඇති වී ඇත. ලෝකයේ බරපතළ ම පාරිසරික ගැටලුව සේ සැලකිය හැකි දේශගුණ වෙනස් වීම සඳහා විසඳුම් සෙවීමේ ඇති පසුබෑමට මෙය ප්‍රධාන හේතුව වේ.
දේශගුණ වෙනස් වීම සඳහා යම් විසඳුමක් සෙවීමේ දී ලෝකයේ සැම රටක ම දායකත්වය වැදගත් බව සැබැවි. ඇමෙරිකාව පමණක් නො ව යුරෝපා රටවල් හා වෙනත් දියුණු රටවල සහයෝගය මෙහි දී ඉතා වැදගත් ය. යුරෝපා රටවල් මේ වන විට දේශගුණ වෙනස් වීම හා සම්බන්ධව වැදගත් ඉදිරි පියවරක් ගෙන ඇති කලාපයක් වන අතර යුරෝපා රටවල් රැසක් ස්‌වකීය හරිතාගාර වායු විමෝචන තවදුරටත් අඩු කිරීමට ක්‍රියා කිරීමට අපේක්‌ෂා කරන නමුත්, ජගත් මට්‌ටමේ එකඟතාවක් නොමැති වීම නිසා එහි කිසියම් ප්‍රමාදයක් ද දැක ගැනීමට හැකි වේ.
පෙර සඳහන් කර ඇති ආකාරයට, ඇමෙරිකාවේ තීරණ තීන්දු තීරණය වන්නේ ආර්ථික කරුණු මත පදනම් ව ය. අනෙක් අතට ඇමෙරිකාවේ වර්තමාන පාලනය දේශගුණ වෙනස් වීම සම්බන්ධව සාධනීය පිළිවෙත් අනුගමනය කරන නමුත් රටක් ලෙස ගත් විට එරට තුළ මේ පිළිබඳව යම් උභයාවේගිකත්වයක් පවතී. එරට පාලක පක්‌ෂය වෙනස් වුව හොත් එරට දේශගුණ ප්‍රතිපත්ති ද වෙනස් විය හැකි ය. මේ නිසා දේශගුණ වෙනස් වීම දේශපාලනික වශයෙන් පිළිගැනීමකට ලක් ව ඇති නමුත් ඇමෙරිකාවේ දේශගුණ පිළිවෙත් පිළිබඳ ව වැඩි විශ්වාසයක් තැබීමට තවමත් ඉක්‌මන් වැඩි බව පෙනේ.
ඔස්‌ට්‍රේලියාවේ ඇති වූ දේශපාලන වෙනස්‌වීම්වලින් පසු එරට ඇති වූ තත්ත්වය මේ සඳහා නිදසුනකි. ලෝකයේ ඉහළ ම ඒක පුද්ගල වායු විමෝචනයක් ඇති ඔස්‌ට්‍රේලියාව මෑතක් වන තුරු ම කියෝටෝ සන්ධානයට එක් ව සිටියේ නැත. එහෙත් එරට පාලන බලය කෙවින් රඩ් ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්‌ෂයට ලැබුණු පසු දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා යම් යම් ඉදිරි පියවර එරට තුළ ගන්නා ආකාරය දැකිය හැකි විය. කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ පැවැති මැතිවරණයෙන් නැවතත් බලයට පත් වූ ලිබරල් පක්‌ෂය එරට දේශගුණ ප්‍රතිපත්ති යළිත් වෙනස් කිරීමට පියවර ගනිමින් තිබේ.
මෙවැනි පසුබැසීම් සඳහා හේතු වන්නේ ශක්‌තිමත් විසඳුමක් සඳහා සැලකිය යුතු ජාත්‍යන්තර මට්‌ටමේ පියවරක් නොමැති වීම බව පෙනේ. එවැන්නකට එළැඹීමේ ඇති වී තිබෙන ප්‍රමාදය නිසා මේ තත්ත්වය ඇති වී තිබේ. මේ වන විට ඇති වී තිබෙන පොදු එකඟතාවට අනුව, දේශගුණ වෙනස් වීම පාලනය සම්බන්ධ ගිවිසුමකට එළැඹීමට නියමිත ව ඇත්තේ 2015 වර්ෂයේ දී ය. මේ සඳහා ඉතිරි ව ඇත්තේ තවත් මාස 22ක් පමණ කාලයක් පමණි. ඒ අනුව ශක්‌තිමත් දේශගුණ ගිවිසුමක් ඇති කරගැනීම හා හැකි ඉක්‌මනින් එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම අද දවසේ අවශ්‍යතාවයි.
http://www.vidusara.com/2014/02/05/feature1.html
No comments:
Post a Comment