ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2014-02-12 (Vidusara)
http://www.vidusara.com/2014/02/12/feature4.html
'කිරි පිටි' යළිත් වරක් අපේ රටේ සාකච්ඡාවට ලක් ව ඇති මාතෘකාවක් බවට පත් ව ඇති බවක් පෙනේ. ඊට හේතුව පසුගිය සතියේ දී ආනයනික කිරි පිටිවල මිල ඉහළ නැංවීම හා වෙළෙඳපොළේ කිරි පිටි හිඟයක් දැකිය හැකි වීම ය. සැලකිල්ලෙන් බලන විට පෙනෙන්නේ හිඟ වී ඇත්තේ ආනයනික කිරිපිටි බව ය. අද වන විට සැලකිය යුතු තරම් දේශීය දියර කිරි හා කිරිපිටි වෙළෙඳපොළේ පවතී.
පසුගිය වර්ෂයේ දී රටේ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට කිරි පිටි හේතු විය. ආනයනික කිරි පිටිවල ඩීසීඩී නම් රසායනික ද්‍රව්‍යය ඇතුළත් වීම හා ඒ සමඟ ම වාගේ සිදු වූ බොටුලිනම් විෂ පිළිබඳ සිදු වීම මීට මහත් සේ බලපෑවේ ය. මේ සිදුවීම නිසා කිරි පිළිබඳ ව රට ඇතුළත ඇති වූ සංවාදය සැලකිය යුතු තරම් ඵලදායී වී ඇති බව පැහැදිලි වන්නේ දැනුම්වත් පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් අධික කිරි භාවිතයෙන් හා විශේෂයෙන් කිරි පිටි භාවිතයෙන් බැහැර වී ඇති නිසා ය. දැනුම්වත් වීමත් සමඟ මෙතෙක් කලක් තමන් අනුගමනය කළ පාරිභෝගික පුරුදු වෙනස් කිරීම සබුද්ධික පරිභෝජනයක ලක්‌ෂණයකි.
කිරි හා කිරි පිටි
කිරිවල ඇති පෝෂණ ගුණය පිළිබඳ ඇති වූ පැහැදිලි කිරීම අද වන විට අවබෝධ වෙමින් තිබේ. වෛද්‍ය විද්‍යාත්මකව ගත් විට කිරි පිටි ම`ගින් විශේෂයෙන් ම වැඩිහිටියන්ට ලැබෙන්නේ සීමිත පෝෂණයක් පමණි. එසේ ම ඒ පෝෂණ අවශ්‍යතා සමබර ආහාර වේලක් හරහා වෙනත් ආහාරවලින් සම්පූර්ණ කරගත හැකි ය. අනෙක් අතට ළදරුවන්ට යෝග්‍යතම කිරි ආහාරය වන්නේ මවුකිරි බව අමුතුවෙන් පැවසිය යුතු නැත.
කෙසේ වෙතත්, කිරි අවශ්‍යතාව සඳහා අපේ රටේ මෑත කාලයේ දී වැඩි වශයෙන් භාවිත කරන ලද්දේ කිරි පිටි ය. කිරි පිටි යනු ලෝකයේ මහත් ධනයක් උපයාගත හැකි ව්‍යාපාරයකි. ඇතැම් විට අසත්‍ය කරුණු ඇතුළත් අයථා ආකාරයේ ප්‍රචාරණ කටයුතු හරහා පාරිභෝගිකයන් රවටමින් කිරි පිටි සමාගම් නියෑළී සිටින්නේ හුදු වෙළෙඳාම ප්‍රවර්ධනයක පමණකි. අනෙක් අතට ඔවුන් ගේ මේ ප්‍රචාරණයේ වියදම් ගෙවනු ලබන්නේ ද පාරිභෝගිකයන් විසිනි. මෑතක දී සිදු කරන ලද මිල ඉහළ නැංවීම ප්‍රමාණවත් නොමැති බවක් කිරි ආනයනය කරන සමාගම් පවසන බව වාර්තා විය. මිල ගණන් සංසන්දනය කළ හොත් පෙනෙන්නේ දේශීය කිරි පිටිවලට වඩා ආනයනික කිරිපිටිවල මිල සැලකිය යුතු තරම් අධික බව ය. දේශීය කිරි, ආනයනික කිරි පිටිවලට වඩා 30%ක ටත් වඩා ලාභදායක ය.
කිරි යනු බොහෝ ආහාරවල සංඝටකයක් වන නිසා හා අත්‍යවශ්‍ය නො වුව ද, එම`ගින් බොහෝ ආහාර වර්ග නිෂ්පාදනය කරනු ලැබේ. එසේ ම අපේ නූතන ආහාර සංස්‌කෘතියේ නැති ව ම බැරි ආහාර වර්ගයත් බවට මේ වන විට කිරි පත් ව ඇත. මේ තත්ත්වය හමුවේ ගත හැකි වැදගත් වන පියවරක් වන්නේ දේශීය දියර කිරි පරිභෝජනය හැකිතාක් දිරිමත් කිරීම බව පැහැදිලි ය. ආනයනය කරන ලද කිරි පිටි නිසා ඇති වූ ගැටලු පිළිබඳව රටක් ලෙස මේ දක්‌වා අප උගත් පාඩම් හොඳට ම ප්‍රමාණවත් ය.
දේශීය දියර කිරි
දේශීය කිරි නිෂ්පාදනය හා පරිභෝජනය දිරිමත් කිරීම සඳහා අපේ රටේ අද වන විට ක්‍රියාත්මක ප්‍රයත්නය වැදගත් වන්නේ මේ නිසා ය. දේශීය ව අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් තරම් සම්පත් ප්‍රමාණයක් අපේ රටේ පවත්නා අතර, කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම හරහා අද වන විට කිරිපිටි සඳහා විදේශීය රටවලට ඇදී යන ධනස්‌කන්ධයක් ද ඉතිරි කරගත හැකි ය. එය රටේ ආර්ථිකයට වැදගත් ය.
දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය සඳහා රජයේ මැදිහත් වීමෙන් විවිධ පියවර ගෙන ඇත. කිරි ලීටරයක් සඳහා රු.50ක සහතික මිලක් ලබා දීම, ගව පාලනය සඳහා විවිධ ණය හා ආධාර පහසුකම් සපයා දී තිබීම වැනි පියවර මීට අයත් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෑත වසර තුනක පමණ කාලයේ දී දේශීය කිරි නිෂ්පාදනයේ පැහැදිලි වර්ධනයක් දැකගත හැකි ය. එහෙත් කුඩා පරිමාණ කිරි නිෂ්පාදකයන් සඳහා තවත් කළ හැකි දේ බොහෝ ඇති බව අදාළ අංශයේ නියෑළී සිටින අය ගේ අදහසයි. නිදසුනක් ලෙස තාක්‌ෂණික පහසුකම් හා සේවා සැපයීම පුළුල් කිරීම වැනි කරුණු දැක්‌විය හැකි ය.
දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම හා කිරිවලින් රට ස්‌වයංපෝෂිත කිරීම සඳහා වූ උත්සාහයට දේශපාලන ලේබලයක් ඇලවීමට සිදු කරන උත්සාහයක් ද අපට දැකගත හැකි ය. එය අපේ කණගාටුවට කරුණකි. මේ උත්සාහය එවැනි පටු සටන් පාඨයකට සීමා කළ යුත්තේ නො වේ. රටේ ආර්ථිකය නංවාලීමට මෙන්ම, දේශයේ ජීවනාලිය වැනි ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම සඳහා ද මෙය වැදගත් ය. කළ යුත්තේ එහි අඩුපාඩු වේ නම් ඒවා නිවැරැදි කරගැනීමයි. විමසිල්ලෙන් බලන විට පෙනෙන කරුණක් වන්නේ ලෝකයේ දියුණු යෑයි සැලකෙන බොහෝ රටවල, දියුණු මට්‌ටමක ඇති කෘෂිකර්මයක් හා පශු පාලනයක් පවත්නා බව ය. අනෙක් අතට, මිනිසුන් ගේ මූලික අවශ්‍යතාවක් වන ආහාර අතින් ස්‌වයංපෝෂිත වීම, කිසියම් රටක ස්‌වාධීනත්වය සඳහා ඉතා වැදගත් පියවරක් ද වේ.
No comments:
Post a Comment