Monday, June 27, 2016

දේශගුණ වෙනස්‌ වීම, තෙල් සමාගම් හා දේශපාලනය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 22.06.2016, පි. 5

(Vidusara, 27.06.2016, p. 6 - Climate Change, Oil Companies and Politics)

http://www.vidusara.com/2016/06/22/feature1.html



2015 අග දී ඇති කරගන්නා ලද පැරිස්‌ දේශගුණ ගිවිසුම යනු දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ජගත් මට්‌ටමෙන් ක්‍රියාත්මක වීමට නියමිත එක ම වැඩපිළිවෙළ වේ. 2020 වර්ෂයේ පටන් ක්‍රියාත්මක වීමට නියමිත වැඩපිළිවෙළක්‌ වන එය මේ වන විට අපට ඇති එක ම බලාපොරොත්තුව ද වේ. මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පළමුව බලාත්මක තත්ත්වයට පත් වීම සඳහා (enter into force) ලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචනවලින් 55%ක්‌ නිකුත් කිරීමට දායක වන රටවල් 55ක්‌ එය අපරානුමත කිරීම (ratification) අවශ්‍ය වේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී අත්සන් කිරීමට විවෘත කරන ලද පැරිස්‌ ගිවිසුමට මැයි මස අවසන් වන විට පාර්ශ්ව 177ක්‌ අත්සන් කර ඇත. මීට ලෝකයේ වෙනත් රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අයත් ය. ඉන් රටවල් 17ක්‌ පමණ පසුගිය මැයි මස 20 වන විට එය අපරානුමත කර තිබිණි. එහෙත් එසේ අපරානුමත කර ඇති රටවල් සියල්ල ම පාහේ කුඩා රටවල් හා හරිතාගාර වායු විමෝචන අවම ප්‍රමාණයක්‌ නිකුත් කරන රටවල් වූ බැවින් ඔවුන් ගේ සමස්‌ත හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ලෝකයේ සමස්‌ත විමෝචනවලින් 0.04%ක්‌ පමණ ප්‍රමාණයක්‌ විය. මේ අතර, ප්‍රංශය පසුගිය සතියේ දී මේ ගිවිසුම අපරානුමත කළේ ය. ගිවිසුම අපරානුමත කළ දෙවැනි යුරෝපා රට බවට ප්‍රංශය පත් වන අතර, එය එසේ කළ G7 කණ්‌ඩාමේ පළමු රට බවට ද පත් වේ. (ඉහත සඳහන් කළ විමෝචන ගණනය කිරීම්වලට ප්‍රංශයේ හා හංගේරියාවේ විමෝචන අයත් නො වේ).

මේ අනුව පැරිස්‌ ගිවිසුම ඉක්‌මනින් බලාත්මක තත්ත්වයට පත් වීම සඳහා වැඩි විමෝචන ප්‍රමාණයක්‌ නිකුත් කරන රටවල් එය අපරානුමත කිරීම වැදගත් වන බව පැහැදිලි ය. හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය අනුව ලෝකයේ පළමු තැන සිටින චීනය මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයට පෙර පැරිස්‌ ගිවිසුම අපරානුමත කිරීමට අපේක්‌ෂා කරන බව පවසා ඇත. එසේ ම එම ලයිස්‌තුවේ තෙවැනි තැන පසු වන ඉන්දියාව ද මේ වර්ෂය ඇතුළත පැරිස්‌ ගිවිසුම අපරානුමත කිරීමට කටයුතු කිරීමට යන බවක්‌ එරට අගමැතිවරයා පසුගිය දා ඇමෙරිකාවේ සිදු කළ සිය සංචාරය අතරතුර දී පැවසා තිබිණි. ඇමෙරිකාව ද මේ වර්ෂය ඇතුළත ගිවිසුම අපරානුමත කරනු ඇති බව ප්‍රකාශ වී තිබේ. (ඇමෙරිකානු විපක්‌ෂයේ ජනාධිපති අපේක්‌ෂකයා කර ඇති ප්‍රකාශවලට අනුව ඔහු ජයග්‍රහණය කළ හොත් පැරිස්‌ ගිවිසුමට යම් අභියෝගයක්‌ එල්ල විය හැකි වුව ද, ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි එපමණකින් පමණක්‌ ඇමෙරිකාවට මේ ප්‍රවණතාව ආපසු හැරවීමට නොහැකි ය).

සියල්ල යහපත් ව සිදු වුව හොත් මේ වසර අග දී හෝ බොහෝ විට ලබන 2017 දී පැරිස්‌ දේශගුණ ගිවිසුම බලාත්මක විය හැකි ය. එහෙත් "දේශගුණ සටනේ ඉදිරි මග මේ වන විට සක්‌සුදක්‌ සේ පැහැදිලි ය" යනුවෙන් පැවසීම උගහට ය. ලෝකයේ සියලු රටවල සහයෝගය පැරිස්‌ ගිවිසුම සාක්‌ෂාත් කරගැනීම සඳහා ලබාගත හැකි වේ නම් එය ලෝකයට යහපතක්‌ වනු ඇත. එහෙත් එහි මූලික හරි අරමුණු නිසි ආකාරයෙන් ඉටු කරගැනීමට තෙල් සමාගම් හා ඒවා මගින් හසුරුවනු ලබන දේශපාලන බලවේග ඉඩ ලබා දේ ද යන්න තවමත් ගැටලුවකි. අපට එසේ සිතෙන්නේ ලෝකයේ සිදු වන විවිධ වර්ධනයන් දෙස බලන විට ය.

ෆොසිල ඉන්ධන සමාගම්වල බලපෑම් හා අනාගතය

දියුණු රටවල දේශපාලනය සඳහා තෙල් සමාගම්වලට කළ හැකි බලපෑම් යනු අප බොහෝ කාලයක සිට සාකච්ඡාවට ලක්‌ කර ඇති කරුණකි. බ්‍රිතාන්‍යයේ පළ වන 'ද ගාඩියන්' පුවත්පත පසුගිය අප්‍රේල් මාසයේ දී පමණ වාර්තා කළ පුවතකින් දැක්‌වුණේ 2013 දී පමණ ලෝකයේ එක්‌ ප්‍රකට තෙල් සමාගමක්‌ විසින් එවන ලද එක්‌තරා ලිපියක්‌ හේතුවෙන් යුරෝපා සංගමය ඔවුන් පැනවීමට ගිය පරිසරය පිළිබඳ නීති අත්හැර දැමීමට හෝ දුබල කිරීමට හෝ ක්‍රියා කර ඇති බවයි. ඒ ලිපිය එක්‌තරා ආකාරයක තර්ජනයක්‌ එල්ල කර තිබේ. එහි සංක්‌ෂිප්ත අදහස වන්නේ යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන සඳහා බලපාන නීති දැඩි කිරීමට කටයුතු කළ හොත් හා පිරිසිදු බලශක්‌තිය අධික ලෙස ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ හොත් මහා පරිමාණ තෙල් සමාගමක්‌ වන එහි කටයුතු යුරෝපයෙන් ඉවතට ගෙන යැමට අදාළ සමාගම අදහස්‌ කරන බවයි. මෙසේ විරෝධයට ලක්‌ වූ කරුණු අතර, විදුලි බලාගාරවල දූෂණය අඩු කිරීම හා පුනර්ජනනය කළ හැකි බලශක්‌ති භාවිතය ඉහළ නැංවීමට නීති සැකසීම වැනි කරුණු වේ. මේ ලිපියේ බලපෑම කෙසේ වුව ද, යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන හා බලශක්‌ති අංශයේ විමෝචන සම්බන්ධ කටයුතුවල කිසියම් ආකාරයකට සෙමින් ක්‍රියාත්මක වන ස්‌වභාවයක්‌ මෑත කාලයේ දී දැකිය හැකි වූ බව පැහැදිලි ය. ඊට නීති දුර්වල කිරීම හෝ අත්හැර දැමීම වැනි කටයුතු ඇති බව එම පුවත්පත පවසයි.

පුවත්පත්වල හා ග්‍රීන්පීස්‌ වැනි සංවිධානවල හෙළිදරව් කිරීම් හා මැදිහත් වීම් නිසා පසුගිය වර්ෂයේ දී යුරෝපා සංගමය ගල්අගුරු පිළිබඳ ප්‍රමිති තීරණය හා සම්බන්ධව ඉන්ධන සමාගම් හා ඒවායේ නියෝජිතයන් ගේ මැදිහත්වීම් වළක්‌වාලීමට හැකියාව ලැබී තිබේ. මීට පෙර විවිධ රටවල නියෝජිත කණ්‌ඩායම්වලට එක්‌ ව සිටි එවැනි නියෝජිතයෝ දුර්වල දූෂක සීමා ඇති කිරීම සඳහා සැලකිය යුතු බලපෑමක්‌ ඇති කළ බව හෙළිදරව් වූයේ මෑතක දී ය.

මේ අතර පසුගිය සතියේ වාර්තා වූ පුවතකට අනුව ඇමෙරිකාවේ විශාලතම ගල්අගුරු සමාගමක්‌ වන පීබොඩි එනර්ජි (Peabody Energy) සමාගම විසින් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක මතු කරන හා පරිසර නීති නීතිවලට විරෝධය පළ කරන කණ්‌ඩායම් විස්‌සකට අධික ගණනකට අනුග්‍රහය දක්‌වා තිබේ. වෙළෙඳ ආයතනවල සිට බුද්ධි මණ්‌ඩල වැනි විවිධ ආකාරයේ කණ්‌ඩායම් ඇතුළත් වූ මේ අය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ පසුගිය මාසයේ දී ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ නිසා ය. මේ අතර බැරැක්‌ ඔබාමා ගේ හරිතාගාර වායු විමෝචන කපාහැරීමේ සැලසුම්වලට එරෙහි ව කටයුතු කළ සංවිධාන පවා වේ. සාමාන්‍යයෙන් සිදු වන ආකාරයට එරට දේශපාලන පක්‌ෂ දෙකට ම ආධාර කර ඇති මේ සමාගම ඉන්ධන සමාගම් වඩාත් ප්‍රිය කරන රිපබ්ලිකන් පක්‌ෂයට වැඩි ආධාර ප්‍රමාණයක්‌ ලබා දී ඇත. මෙවැනි කටයුතුවල යෙදෙන්නේ යෑයි මෙතෙක්‌ දැන නො සිටි සමාගමක්‌ වීම නිසා මේ පුවත එරට තුළ යම් සාකච්ඡාවකට ලක්‌ ව තිබුණේ එරට පරිසර ක්‍රියාකාරීන් පවා ඔවුන් ගෙන් එතරම් පුළුල් ආකාරයේ අරමුදල් සැපයීමක්‌ අපේක්‌ෂා කර නො තිබූ නිසා ය. මේ දක්‌වා එළි වී ඇති ලිපිලේඛනවලට අනුව මේ අරමුදල් සැපයීම් නිසා ඇමෙරිකාවේ පමණක්‌ නො ව ජගත් මට්‌ටමේ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව අනුමාන කෙරේ.

කෙසේ වෙතත්, මහා පරිමාණ ෆොසිල ඉන්ධන තෙල් සමාගම්වල අනාගතය පිළිබඳව කර්මාන්තයේ විශේෂඳයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව, සිය ව්‍යාපාර ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස්‌ නො කළ හොත් වසර 10ක්‌ ඇතුළත මේ සමාගම් කඩා වැටීමට ඉඩ තිබේ. විශේaෂයෙන් අද පවත්නා අඩු ඉන්ධන මිල, වර්ධනය වන දේශගුණ නීති රීති හා මේ සමාගම්වල

වැරැදි උපාය මාර්ග යන අභියෝග මේ තත්ත්වයට හේතු වී ඇත. ඒ අනුව අනාගත පැවැත්ම උදෙසා තෙල් සමාගම් සිය උපාය මාර්ග වෙනස්‌ කිරීම සඳහා කටයුතු කළ යුතු ය. ඒ සඳහා යෝජනා වී ඇති පියවර අතර, හරිත බලශක්‌තිය වෙත විවිධාංගීකරණය වීම, ඔවුන් ගේ මෙහෙයුම් අඩු කිරීම හා වෙනත් සමාගම් හා ඒකාබද්ධ වීම දක්‌වා තිබේ.

දියුණු රටවල ප්‍රතිපත්ති වර්ධනය වේ

මෑත කාලයේ බලාපොරොත්තු තැබිය හැකි වර්ධනයක්‌ දැකිය හැකි වූ එක්‌ අවස්‌ථාවක්‌ ලෙස G7 සමුළුව දැක්‌විය හැකි ය. එහි දී ඇති වූ එකගතාවකට අනුව, ෆොසිල ඉන්ධන සඳහා ආණ්‌ඩු ලබා දෙන අකාර්යක්‌ෂම සහනාධාර 2025 වර්ෂය වන විට අහෝසි කිරීමට කැප වන බවට එකග වී තිබේ. එසේ ම ඔවුන් ලෝකයේ සෙසු රටවලින් ඉල්ලා ඇත්තේ ද එවැනි ෆොසිල ඉන්ධන සහනාධාර අහෝසි කිරීම සඳහා ඔවුන් හා එක්‌ වන ලෙස ය.

පසුගිය දා ජපානයේ දී පවැති G7 සමුළුවේ නායකයන් ගේ ප්‍රකාශනයෙන් හරිතාගාර වායු විමෝචනවලින් තුනෙන් දෙකකට පමණ හේතු වන බලශක්‌ති නිෂ්පාදනයේ හා භාවිතයේ ඇති දායකත්වය දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමට කරන බලපෑම තේරුම්ගත් බව සඳහන් වේ. මෙවැනි ප්‍රතිඥාවක්‌ එම රටවල සමුළුවක මුලින් ම ඇතුළත් වූයේ 2009 දී පමණ වන අතර, එහෙත් එදා එහි කිසිදු කාල රාමුවක්‌ අන්තර්ගත නො වී ය.

කෙසේ වෙතත් මේ කණ්‌ඩායමේ රටවල් අතර මේ සහනාධාර අඩු වීමක්‌ දැකිය හැකි වුව ද එය හැම රටකට ම පොදු කරුණක්‌ නො වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මෑත කාලයේ දී බ්‍රිතාන්‍යය හා ජපානය තෙල් හා ගල් අගුරු සඳහා යම් යම් සහන ඉහළ නංවා තිබේ. කැනඩාව ද ස්‌වාභාවික වායු සම්බන්ධ ව එවැනි පියවරක්‌ මෑතක දී ගෙන තිබිණි. කෙසේ වෙතත් මේ නව එකගතාව අනුව 2025 වන විට රජයෙන් සහනාධාර ලබා දීම නවතා දැමීමට බදු සහන ද අයත් විය යුතු ය.

http://www.vidusara.com/2016/06/22/feature1.html

Monday, June 20, 2016

යුරෝපයේ අතීත සමාජ අර්බුද සඳහා හේතු වූ ගිනිකඳු විදාරණ හඳුනාගැනීම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 18.05.2015, පිටුව 5 (Not available online)

Vidusara, 18.05.2015 - Identification of volcanic eruptions that caused social unrest in Europe


කෙටි කාලයක් ඇතුළත ලෝකයේ ඇති වූ ගිනිකඳු පිපිරීම් දෙකකින් නිකුත් වූ සල්ෆර් විමෝචවලින් ඇති වූ වලාවක් නිසා පොළොවට පතිත වන සූර්යාලෝකය අඩුවීම යුරෝපයේ 6වන සියවසේදී ඇති වූ සමාජ අර්බුද මාලාවක් සඳහා හේතු වූ බව පසුගියදා පළ වූ පර්යේෂණයකින් යෝජනා කර තිබේ. එය දේශගුණ විද්‍යාව, පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විෂය දැනුම යොදාගනිමින් සිදුකරන ලද අපූරු බහුවිෂයික අධ්‍යයනයකිනි.

රෝමයේ ජීවත් වූ බයිසැන්ටින් (Byzantine) ඉතිහාසඥයකු වූ ප්‍රොකෝපියස් වසර 536දී අහස වසාගත් ගුප්ත වූ වලාකුළක් පිළිබඳව සඳහන් කර තිබේ. ඒ වාර්තාව අනුව මේ නිසා සූර්යයාගේ ආලෝකය අඩු වී අඳුරුගතියක් (dim) ඇති වී තිබේ. සූර්යයාගේ දීප්තිය අඩුවී එය වසර පුරාම සඳ මෙන් වූ බව සඳහන් කර තිබේ. එය ඔහු සඳහන් කර ඇත්තේ අවසන් නොවන සූර්යග‍්‍රහණයක් හා සමානවය. එසේම, මේ වර්ෂයේ පමණ සිට දශකයක පමණ කාලයක් තිස්සේ උතුරු දිග යුරෝපයේ, උතුරු ඇමරිකාවේ බටහිර ප‍්‍රදේශයේ හා මොංගෝලියාවේ පැවැති ශීත සමයක් ගැනද රුක්වලලූ අධ්‍යයන මගින් අනාවරණය වී ඇත.

මේ කාලයට අයත් ඓතිහාසික වාර්තාවලට අනුව, ඉන්පසුව එළැඹුණු වර්ෂවලදී ඇති වී තිබෙන්නේ බෙහෙවින් විපත්තිදායක කාලයකි. වැවිලි භෝග පාලූ වූ අතර ඒ නිසා දරුණු සාගත ඇති විය. මේ පිළිබඳ ඓතිහාසික වාර්තා රැුසක් මධ්‍යධරණී ප‍්‍රදේශයෙන්, අයර්ලන්තයෙන් හා චීනයෙන් ලැබී ඇත. එසේම, මේ කාලයේදී උතුරුදිග යුරෝපයේ බොහෝ ප‍්‍රදේශවල සමාජ අර්බුද ඇති වී කිසියම් සමාජමය ව්‍යුහ බිඳවැටීම් සිදුව ඇත. නිදසුනක් ලෙස ස්කැන්ඩිනේවියානු සමාජයේ බිඳවැටීම දැක්විය හැකිය. ජස්ටීනියන් මහාමාරිය නමින් හඳුන්වන යුරෝපයේ පැතිර ගිය මහාමාරිය වසංගතය ඇති ඇති වූයේද වර්ෂ 541දීය. මේ සියලූ ව්‍යසන සඳහා පෙර කී ගුප්ත වලාව හේතු වූ බව අතීතයේ සිටි ශාස්ත‍්‍රඥයින් සාමාන්‍යයෙන් අනුමාන කළ අදහසකි.

මේ අකාරයෙන් සූර්යාලෝකයේ දීප්තිය අඩු වී අඳුරු සහිත බවක් ඇති වීමට හේතු වූ සිදුවීම් (global solar dimming) පිළිබඳව මෑතක් වනතුරු සාධක සපයා නොතිබිණි. දැන් මේ ගුප්ත වළාව ඇති වූයේ කෙසේද යන්න මේ වන විට පැහැදිලි කර තිබේ.

වලාව ඇති වීමේ රහස


ගිනිකඳු විදාරණවලින් නිකුත්වන සල්ෆේට් විමෝචන, වායුගෝලයේ ඉහළ පිහිටි ස්තරගෝලයේ (stratosphere) සාන්ද්‍රණය වී ඇති විට සූර්යාලෝකයේ දීප්තිය අඩු කිරීමට හේතු වන වලාවක් ලෙස ක‍්‍රියාකරන බව මෑත කාලයේදී සිදුකරන ලද පර්යේෂණවලින් පෙන්වාදී තිබේ. වර්ෂ 536න් පසුව ඇති වූ ගිනිකඳු විදාරණයක් නිසා මේ වලාව ඇති වූ බව අයිස් විඳුම්වලින් ලැබුණු සාධක මගින් මේ වන විට සනාථ වී ඇත.

ග‍්‍රීන්ලන්තයෙන් හා ඇන්ටාක්ටිකාවෙන් ලබා ගෙන ඇති අයිස් විඳුම්වලින් වර්ෂ හතරක පමණ කාල පරතරයක් සහිතව සල්ෆේට් අධික ලෙෂ තැන්පත්වී ඇති අවස්ථා දෙකක් පිළිබඳ සාධකලැබේ. එ් පළමු ගිනිකඳු විදාරණය ඇති වී තිබෙන්නේ වර්ෂ 536දී පමණ වන අතර, දෙවැන්න ඇති වී තිබෙන්නේ ඉන් වසර 4-5කට පමණ පසුව බව හඳුනාගත හැකිය. මේ යමහල් විදාරණ දැනට නොදන්නා ස්ථානවල සිදුව ඇත්තේ වර්ෂ 536 හා 540දී පමණ බව පැහැදිලිය.

රුක්වලලූ පිළිබඳ අධ්‍යයන මගින් හෙළි වී ඇති ආකාරයට වර්ෂ 536දී පැවතී ඇත්තේ ලෝකයේ පසුගිය වසර දෙදහසක කාලයේදී ඇති වූ වැඩිම ශීත දේශගුණවක් ඇති වර්ෂය බවයි. එසේම ඉන් පසුව ගත වූ දශකය (වර්ෂ 536-545) ශීත ස්වභාවය අධිකම දශකයද වේ. එහෙත් පෙර කී අයිස් විඳුම්වලින් හෙළිව ඇත්තේ මේ පිපිරීම් වඩා අඩු බරපතළතාවයක් ඇති ඒවා බවයි. නිදසුනක් ලෙස දක්වන්නේ නම්, මේ පිපිරීම් දෙකේ ගිනිකඳු නිසා ඇති වූ විකිරණ බලපෑම (radiative forcing) ගතහොත්, මේ ගිනිකඳු පිපිරීම්වල ප‍්‍රබලතාවය පිළිවෙලින් ලෝකයේ ඇති වූ 18 වැනි හා 5 වැනි ප‍්‍රබලතම පිපිරීම් වේ. මේ නොගැලපීම නිසා ඇති වන මතභේදකාරී තත්ත්වය විසඳීම සඳහා අප මාතෘකා කරගත් අධ්‍යයනයේදී කිසියම් උත්සාහයක් දරා ඇත.

නව ආකෘතියක් භාවිතය

මේ සඳහා ඔවුන් දියුණු කරන ලද විකිරණ බලපෑම් පිළිබඳ ආකෘතියක් උපයෝගී කරගෙන ඇත. එහි අවධානය යොමු කර ඇත්තේ ඓතිහාසික වාර්තාවල දැක්වෙන ආකාරයේ බලපෑමක් ඇතිකිරීමට නම් සල්ෆර් සාන්ද්‍රණය තිබිය යුත්තේ කුමන මට්ටම්වලදීද යන්නය. කොපමණ අළු ප‍්‍රමාණයක් වායුගෝලයට එක්වූයේද යන්න හා කොපමණ උසකට ඒවා ගමන් කළේද යන්නද මෙහිදී සොයා බලා ඇත. ඒ සඳහා ඓතිහාසිකව වාර්තා වී ඇති ගිනිකඳු විදාරණ හා සංසන්දනාත්මකව කරුණු සොයා බලා ඇත. අයිස් විඳුම්වලින් නොලැබෙන මේ තොරතුරු රැසක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත්තේ මේ ආකෘතියෙනි.

මේ ගිනිකඳු පිපිරීම් සාමාන්‍ය ගිනි කඳු පිපිරීම් නොවේ. ඒවා පසුගිය වසර 1500ක පමණ කාලය ඇතුළත ලෝකයේ සිදු වූ ප‍්‍රබලතම ගිනිකඳු පිපිරීම් වේ. එ් නිසා ඇති වූ උෂ්ණත්වයේ අසාමාන්‍යතාව යුරෝපයේ බොහෝ ප‍්‍රදේශවලට සමාන ලෙස බලපා ඇත. එහෙත් මේ නිසා දකුණු දිග ප‍්‍රදේශවල කෘෂිකර්මයට එතරම් දැඩි බලපෑමත් ඇති නොවූ අතර, එය ඓතිහාසික වාර්තා හා සමානය. මේ අනුව උතුරුදිග යුරෝපයේ පැවැති සාමාන්‍යයෙන් සීමාස්ථ වූ කෘෂිකාර්මික සමාජයට මෙය දැඩි ලෙස බලපෑ බවක් පෙනේ. එක් දශකයක් ඇතුළත ඇති වූ භෝග වගා පාලූවීම් කිහිපයක් නිසා ඇති වූ තත්ත්වයේ බරපතළකම සිතැගැනීම අසීරු නොවේ. එය සංකීර්ණ සිදුවීමක් වූ කෘෂිකාර්මික හා සමාජයීය අර්බුදවලට ඍජු බලපෑමක් ඇති කළ බවට ඇති මතයට සහයෝගයක් මේ ආකෘතිය තුළින් ලැබේ.

මේ ආකෘතිය මගින් උක්ත ගිනිකඳු විදාරණ ඇතිව ඇත්තේ ලෝකයේ කවර පෙදෙසකදීද යන්න පවා කිව හැකි වීමයි. නිවර්තන කලාපයේ ඇතිවන ගිනිකඳු විදාරණයකදී නිකුත්වන සල්ෆර් විමෝචන සාමාන්‍යයෙන් ග‍්‍රීන්ලන්තයේ මෙන්ම ඇන්ටාක්ටිකාව වෙතද ගමන් කරයි. එහෙත්, උතුරු අර්ධගෝලයේ ඇති වන ගිනිකඳු විදාරණයකදී නිකුත්වන සල්ෆර් විමෝචන සාමාන්‍යයෙන් දැකිය හැක්කේ ග‍්‍රීන්ලන්තයේ පමණි. ඒ අනුව වර්ෂ 536 ගිනිකඳු විදාරණය උතුරු අර්ධගෝලයේද, දෙවැනි යමහල් පිපිරුම නිවර්තන කලාපයේ ඇති වූ බව යෝජනා කර ඇත.

එසේම මේ ආකෘතිය භාවිතයෙන් උක්ත ගිනිකඳු පිපිරීම්වල කාලය වඩා නිශ්චිතව පැවසීමටද හැකියාව ලැබී තිබේ. නිදසුනක් ලෙස ගතහොත්, වර්ෂ 536දී අදාළ වළාව ඇති වී ඇත්තේ මාර්තු මාසයේ අග බැවින් ගිනිකඳු පිපිරීම මාර්තු මාසයේ මුල පමණ ඇති වන්නට ඇතැයි පෙන්වාදී ඇත. අනෙක් අතට 540 වර්ෂයේ පමණ ඇති වූ නිවර්තන කලාපයේ සිදු වූ ගිනිකඳු විදාරණය ඇතැම් විට 539 වර්ෂයේ අග භාගයේදී වුවද ඇති වන්නට ඇතැයි පෙන්වාදී තිබේ.

උක්ත ගිනිකඳු විදාරණ දෙක ඇති වූ කාලය එකල යුරෝපයේ පැවැති පැවැති සමෘද්ධිමත් යුගයේ පරිහානිය ඇති වූ සමයත් අඳුරු යුගය (Dark Age) සේ හඳුන්වන සමාජයේ ඇති වූ පරිහානිය හා අරගල සමය අතර කාලය පෙන්නුම් කරන බවද මෙහිදී පැහැදිලි වී ඇත.

ගිනිකඳු විදාරණ නිසා මෙවැනි සිදුවීම්

ලෝකයට මෙවැනි විශාල බලපෑමක් ඇති කළ ගිනිකඳු විදාරණ පිළිබඳව වරින්වර වාර්තා වේ. අදින් වසර 74,000කට පමණ පෙර ඇති වූ ටෝබා විදාරණය මීට නිදසුන් වේ. මෑත වසර මිලියන දෙකක පමණ කාලය ඇතුළත සිදුවූ විශාලතම හා දරුණුතම පිපිරීම සේ සැලකෙන මේ ගිනිකඳු විදාරණය ‘මහා-යෝධ’ (mega-colossal) වර්ගයට අයත් පිපිරීමක් බව අනුමාන කෙරේ. ටෝබා ගිනිකන්ද පිහිටා තිබූ ප‍්‍රදේශයේ මේ පිපිරීමෙන් පසු විශාල විලක් ඇති වී තිබේ. ටෝබා විල ලෙස හැඳින්වෙන මේ විල කිලෝමීටර් 100ක දිගකින්ද, කිලෝමීටර් 30ක පළලකින්ද යුක්ත වේ. එය ලෝකයේ විශාලතම යමහල් විලද වේ. එය පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපතේය.

මේ පිපිරීමේදී නිකුත්වූ යමහල් ද්‍රව්‍ය ප‍්‍රමාණය ඝන කිලෝමීටර් 2800ක් තරම්ය. මෑත ඉතිහාසයේ අප දන්නා ක‍්‍රැකටෝවා (1883) හා පිනාතුබෝ (1991) ගිනිකඳු පිපිරීම්වලදී පිටවූ යමහල් ද්‍රව්‍ය ප‍්‍රමාණය පිළිවෙලින් ඝන කිලෝමීටර් 21ක් හා 25ක් පමණ වන බැවින් ටෝබා විදාරණයේ ප‍්‍රබලතාවය පැහැදිලිය. පිපිරීමෙන් නිකුත් වූ අළු තට්ටුව දකුණු ආසියාවේදී සෙන්ටිමීටර් 25ක් පමණ ඝනකම විය. ගිනිකන්දට ආසන්නව පිහිටා තිබූ ප‍්‍රදේශවල මීට වඩා වැඩි ඝනකම අළු තට්ටුවක් තැන්පත් වී ඇත.

ටෝබා යමහල් විදාරණයේ ප‍්‍රතිඵල ලෙස වසර 6ත් 10ත් අතර කාලයක් පැතිර තිබූ යමහල් ශීත ඍතුවක් අතර, ඒ නිසා උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-5 අතර ප‍්‍රමාණයකින් අඩු වූ බව ගණන් බලා ඇත. මේ සිසිල් සමය වසර දහසක් පමණ කාලයක් පැවති බව පැවසේ. එහි බලපෑමට ලක් වූ ප‍්‍රදේශයේ විසූ මිනිසුන්ට හෝ මිනිසුන්ගේ පූර්වජයින්ට ඉන් සැලකිය යුතු බලපෑමක් ඇති වූ බව නිසැකය. ඉන් මිනිසුන් වඳවී නොගියද එ් වන විට සිටි මිනිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් මේ නිසා මිය යන්නට ඇති බවටද මතයක් ඇත. (මූලාශ‍්‍රය: Climate Change, DOI: 10.1007/s1058401616487)

පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය වෙනස් වීමටත් දේශගුණ වෙනස් වීම හේතු වෙලා!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 27.04.2015, පිටුව 7 (Not available online)

Vidusara, 27.04.2015 - Earth's axis altered due to climate change?

පෘථිවිය එහි ධ‍්‍රැව හරහා පිහිටා ඇති අක්ෂය වඩා භ‍්‍රමණය වීමේදී මේ අක්ෂය ධ‍්‍රැව ප‍්‍රදේශයේම යම් සුළු චලිතයක් පෙන්වයි. මේ පිළිබඳව නිරීක්ෂණ ආරම්භ කළ දින පටන් මේ දක්වා කාලයේදී සිදුව ඇති විශාලතම ප්ලාවිතය (drift) වන්නේ මීටර් 12කි. මෙමගින් එදිනෙදා ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති නොවන නමුත්, ඨඡුී පද්ධති, චන්ද්‍රිකා හා නිරීක්ෂණාගාරවල නිරීක්ෂණවල නිවැරදිතාව සඳහා මින් යම් බලපෑමක් ඇති විය හැකිය.

මේ මස මුලදී Science Advances සඟරාවේ ප‍්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකට අනුව පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය මෑත කාලයේදී මදක් වෙනස් වී තිබේ. ඒ අනුව, 2000 වසරේ පමණ සිට පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය මදක් නැගෙනහිර දිශාවට චලනය වී තිබේ. එය, මෙතෙක් කලක් භ‍්‍රමණ අක්ෂයේ දිගුකාලීන චලිතයේ දිශාව වූ කැනඩාව දෙසට චලනය වීමට වඩා වෙනස් වූ දිශාවකි. එසේම නැගෙනහිර දෙසට ගමන් කිරීම ආරම්භ වූ වේගයට වඩා දෙගුණයක් පමණ වේගයෙන් මේ වන විට භ‍්‍රමණ අක්ෂය චලනය වෙමින් තිබේ. ඒ වර්ෂයකට සෙන්ටිමීටර් 17ක් පමණ වේගයකිනි.

ජල ස්කන්ධයේ වෙනස්කම් බලපෑම

මේ ආකාරයෙන් භ‍්‍රමණ අක්ෂයේ චලිත ඇතිවීමක් සඳහා හේතු මින් පෙර විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබිණි. ඉන් එක් අදහසක් වූයේ ග‍්‍රීන්ලන්තයේ හා අන්ටාක්ටිකාවේ අයිස් දියවීම නිසා ජල ස්කන්ධයේ ඇතිව තිබෙන වෙනස්කම් භ‍්‍රමණ අක්ෂයේ වෙනස්වීමට හේතු වී ඇති බවයි. ඉහත කී පර්යේෂණය සිදු කළ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මේ අදහස පිළිබඳවය. එය පරීක්ෂා කිරීම සඳහා ඔවුන් 2003 සිට 2015 වර්ෂය දක්වා වූ කාලය සඳහා වූ අභ්‍යවකාශ භූමිතික (space geodetic) හා චන්ද්‍රිකා ගුරුත්වමිතික (satellite gravimetric) දත්ත යොදා ගෙන තිබේ. එ් අනුව මාස්පතා ලෝකයේ ස්කන්ධයේ ඇති වන වෙනස්වීම් පිළිබඳව දත්ත යොදාගෙන අදාළ කාලයේදී ලෝකයේ සිදුව ඇති ජල ස්කන්ධයේ වැඩිවීම් හා අඩුවීම් භ‍්‍රමණ අක්ෂය වෙනස් වීමට බලපා ඇති ආකාරය ඔවුන් විසින් විශ්ලේෂණය කර ඇත. ඉන් අනාවරණය වන පරිදි ජගත් මට්ටමේ මහද්වීපික-සාගර ස්කන්ධ ප‍්‍රවාහනය නිසා පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ වෙනස්වීම් ඇති වී තිබේ.

මේ පර්යේෂකයන්ගේ ගණනය කිරීම්වලින් පෙනී ගිය පරිදි ග‍්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දියවීම පමණක් පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ සිදුව ඇති වෙනස් වීම සඳහා අවශ්‍ය බලය සැපයීමට ප‍්‍රමාණවත් නැත. ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවල ඇතිව තිබෙන වෙනස්කම්වලින්, එ නම් බටහිර ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම හා නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව වර්ධනය වීමෙන්, ඇතිවන සමස්ත බලයද හේතු වී ඇති බව ඔවුන්ගේ අදහසයි. එහෙත් පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ චලනය සඳහා එ් බල දෙක පමණක්ද ප‍්‍රමාණවත් නොවන බව ඔවුන්ට පැහැදිලි විය. ඒ අනුව වැඩිදුර කරුණු අධ්‍යයනයේදී ඔවුන්ට පෙනීගියේ ඉන්දියානු උපමහාද්වීපය හා කැස්පියන් මුහුද ඇතුළත් යුරේසියාවේ සිදුව ඇති ජලය හිගවීම මීට අවශ්‍ය අතිරේක බලය ලබාදී ඇති බවයි. නියගය හා භූ ජලසංචිතය ක්ෂයවීම නිසා මේ කලාපයේ ඇතිව ඇත වෙනස්කම් එ් සඳහා හේතු වී තිබේ. මේ නිසා ඇතිවන බලය විශාලවන්නේ අක්ෂාංශ 45 කලාපයේ ඇතිවන වෙනස්වීම්වලින් පෘථිවි අක්ෂයේ භ‍්‍රමණය සඳහා ඇති කළ හැකි බලපෑම විශාල වන නිසාය. (මෙමගින් 1899 සිට පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ නිරීක්ෂණය කර ඇති නැගෙනහිරට හා බටහිරට කලින් කල සිදුවන චලිත පිළිබඳවද පැහැදිලි කිරීමක් ලබා දේ. යුරේසියානු කලාපයේ වියළි කාල වකවානුවලදී පෘථිවි භ‍්‍රමණ අක්ෂය නැගෙනහිරටද, ඒ කලාපයේ අධික වැසි සහිත කාලවලදී භ‍්‍රමණ අක්ෂය බටහිරටද ගමන් කරයි. මේ චක‍්‍රය සඳහා වසර 6-14 අතර කාලයක් ගත වේ.)

මේ කරුණු අනුව ලෝකයේ ජල ස්කන්ධයේ ව්‍යාප්තියේ ඇති වන වෙනස්වීම් නිසා භ‍්‍රමණ අක්ෂයේ චලනයක් ඇති විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

දේශගුණ වෙනස් වීම නිසා සිදුව තිබේ

‍ලෝකයේ ජල ස්කන්ධයේ මේ වෙනස්වීම් ඇතිවීමට හේතු ව ඇති කරුණ මේ වන විට හොඳින් දනියි. එ් දේශගුණ වෙනස්වීමය. ග‍්‍රීන්ලන්තයේ මෙන්ම ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම සඳහා බලපා ඇති සාධකය මිහිතලය උණුසුම්වීම බවට මේ වන විට විවාදයක් නොමැති තරම්ය. මේ සඳහා බලපෑවේ මිනිසුන් විසින් හරිතාගාර වායු විමෝචනය කිරීම බවටද මේ වන විට සැකයක් නොමැත.

මේ අනුව දේශගුණ වෙනස් වීම නිසා ඇති වන තවත් බලපෑමක් ගැන මේ පර්යේෂණයෙන් පැහැදිලි වේ. එහි ඇති වැදගත්කම වන්නේ පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ වෙනසක් ඇති වීමට තරම් බලපෑඹක් සඳහා මිනිසුන් දායකත්වය ලබාදී තිබීමය.

‍(මේ පුවත සඳහා මූලාශ‍්‍රය වූ පර්යේෂණ වාර්තාව අදාළ සඟරා වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගත හැකිය. ඒ සඳහා http://advances.sciencemag.org/content/2/4/e1501693 වෙත පිවිසෙන්න. NASA ආයතනයේ වෙබ් පිටුව සඳහා http://climate.nasa.gov/news/2428/ ලිපිනයට පිවිසෙන්න)


රූපය -  www.nasa.gov වෙබ් අඩවිය. http://climate.nasa.gov/news/2428/