Thursday, June 2, 2016

කැලණි ගංගා නිම්නයේ ගංවතුරට හේතු වන අධික වර්ෂාපතනයේ බලපෑම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.06.2016, පි. 5 

(Impact of excessive rainfall for the floods of Kelani Valley, Vidusara, 01.06.2016)
http://www.vidusara.com/2016/06/01/feature1.html


කැලණි ගඟ දෙගොඩ තලා කොළඹ හා ගම්පහ හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවල පහත්බිම් රැසක්‌ ගංවතුරින් යට වූයේ දැනට දෙසතියකට පමණ ඉහත දී ය. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ද කාලගුණයෙන් තදබල බලපෑම් ඇති වුවත් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ඇති වූ ගංවතුර බලධාරීන් ගේ මෙන්ම ජනතාව ගේ ද අවධානය දිනාගැනීමට සමත් ව ඇත. ඊට හේතුව හුදෙක්‌ මෙරට වැඩි ම ජනගහනයක්‌ මෙන්ම බොහෝ බලධාරීන් ද ජීවත් වන දිස්‌ත්‍රික්‌ක දෙකකට එය බලපෑ නිසා විය හැකි ය.

මේ ගංවතුර නිසා කැලණි ගං මිටියාවතේ සීතාවක, කඩුවෙල, හෝමාගම, පාදුක්‌ක හා කොලොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ප්‍රදේශ ගණනාවක්‌ ගංවතුරට යට විය. නාගලගම් වීදියේ ජලමාපකය අනුව කැලණි ගඟේ ජල මට්‌ටම අඩි 7.5 දක්‌වා ළගා වී තිබිණි. වාර්තා වන පරිදි බස්‌නාහිර පළාතේ 200,000කට අධික පිරිසක්‌ අවතැන් වී ඇති අතර ඉන් වැඩි පිරිසක්‌ කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කැලණි නිම්නයේ පදිංචිකරුවන් ය. ඒ අනුව විශාල දේපොළ හානියක්‌ ඇති වූ බව ද පැහැදිලි ය.

ගංවතුරට බලපෑ හේතු විමසීම

සැම ගංවතුරකට ම පාහේ ඇති වන ආකාරයට ම ගංවතුර ඇති වීම සඳහා බලපෑ සාධක පිළිබඳව සාකච්ඡාවක්‌ ද මේ වන විට සමාජයේ දැකි ය හැකි ය. මේ සඳහා විවිධ පිරිස්‌ විවිධ අදහස්‌ ඉදිරිපත් කරන බව පෙනේ. සාමාන්‍යයෙන් ගංවතුරට හේතුවක්‌ ලෙස ඉදිරිපත් කරනු ලබන ඒක් හේතුවක්‌ වන්නේ පහත්බිම්වල ඉදිකිරීම් සිදු කිරීම හා වගුරු බිම් ලෙස පොදු වහරේ හැඳින්වෙන තෙත්බිම් ගොඩ කිරීම ය. යම් ප්‍රදේශයකට පතිත වන වර්ෂා ජලය එක්‌ රැස්‌ වන ස්‌ථාන වන්නේ ඒ ප්‍රදේශයේ පවත්නා පහත්බිම් වන බැවින් ඒ ප්‍රදේශයකට ජලගැලීම් තර්ජනයක්‌ ඇති වීම වැළැක්‌වීම සඳහා පහත්බිම්වල වැදගත්කමක්‌ ඇති බව පැහැදිලි ය. නිදසුනක්‌ ලෙස 1992 වර්ෂයේ දී කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාවක්‌ වැටුණු අතර, ඉන් ගංවතුර ඇති වීමට ප්‍රදේශයේ තෙත්බිම් ගොඩ කර තිබීම හා ජලමාර්ග අවහිර වීම හේතු විය. (එහෙත් කැලණි ගඟ දිගේ පහළට පැමිණෙන්නේ ඉහළ නිම්නයට වැටුණු අධික වැසි ජලය නම්, ඉන් ගඟ උතුරා යන විට ඇති වන ගංවතුර වැළැක්‌වීමට පහත්බිම් හා තෙත්බිම් ප්‍රමාණවත් නො වන බව නිදසුන් සහිතව පහත දැක්‌වේ.)

ගංවතුර ඇති වීම සඳහා බලපෑ තවත් සාධකයක්‌ ලෙස දැක්‌වෙන්නේ අවිධිමත්ව සිදු කරන සංවර්ධන කටයුතු ය. නිදසුනක්‌ ලෙස ඇතැම් අය දක්‌වා ඇති පරිදි අධිවේගී මාර්ග ඉදිකිරීම් ද මේ ගංවතුර සඳහා බලපා ඇත. එය ඇතැම් සීමිත ප්‍රදේශ කිහිපයකට සත්‍යයක්‌ විය හැකි බව පැහැදිලි ය. එසේ වන්නේ ඇතැම් ප්‍රදේශවල ජලය බැස යැමට යම් යම් අවහිරතා ඇති වී තිබීම නිසාය. එහෙත් වඩාත් බරපතළ ගංවතුරක්‌ ඇති වූ කඩුවෙල නගරයට පහළින්, කොළඹ දක්‌වා කැලණි ගඟ දෙපස පිහිටා ඇති ප්‍රදේශය පිහිටා ඇත්තේ අධිවේගී මාර්ගයෙන් පහළ ය. ඒ අනුව එම ප්‍රදේශවල ඇති වූ ගංවතුර සඳහා අධිවේගී මාර්ගයේ බලපෑමක්‌ නැති තරම් ය. මේ කරුණු අනුව මේ ගංවතුර සඳහා බලපෑ තවත් හේතු ඇති බව පැහැදිලි ය.

මේ පිළිබඳව මැනැවින් විමසා බැලීමේ දී පෙනී යන්නේ කැලණි ගඟේ පෝෂක ප්‍රදේශයේ ඉහළ ප්‍රදේශවලට කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාපතනයක්‌ ලැබීම මේ තත්ත්වයට තදින් බලපා ඇති බව ය. ඒ ගැන මදක්‌ විමසීමට අප සිතුවේ ඒ නිසා ය.

කැලණි මිටියාවතේ අතීත ගංවතුර

කැලණි නිම්නයේ මෙවැනි මහා ගංවතුර තත්ත්ව කලින් කලට ඇති වන බව පැහැදිලි ය. විශේෂයෙන් ඓතිහාසික වාර්තා විමසා බලන විට පෙනී යන්නේ වසර කිහිපයකට වරක්‌ මෙවැනි දැඩි ගංවතුර තත්ත්වයක්‌ ඇති වන බවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 1872, 1883, 1891, 1904, 1913 මෙන්ම වඩා මෑත කාලයේ 1947 හා 1989 යන වර්ෂවල දී කැලණි ගඟ උතුරා යෑමෙන් ඇති වූ ගංවතුර නිසා කැලණි ගඟ නිම්නයේ පහළ පිහිටා ඇති කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට මෙවැනි දැඩි ගංවතුර තත්ත්ව ඇති වී තිබේ.

මේ ගංවතුර සිදුවීම් අතරින් තොරතුරු සොයාගත හැකි 1872 හා 1904 යන වර්ෂවල ඇති වූ ගංවතුර සිදුවීම් ගැන මඳක්‌ විමසා බැලීමට සිතුවෙමු. ඒ කරුණු කිහිපයක්‌ නිසා ය. මේ ගංවතුර දෙක ම ඇති වී තිබෙන්නේ කැලණි මිටියාවතේ පහත් බිම් ගොඩ කිරීම අතිශයින් අවම වූ හෙවත් තෙත්බිම් ඉතා ම හොඳ තත්ත්වයේ පැවැති කාලයක දී ය. අනෙක්‌ කරුණ වන්නේ මේ අතරින් ද වැඩි ම වැස්‌සක්‌ වැටුණු හා දැඩි ම ගංවතුරක්‌ ඇති වූ 1872 යනු කැලණි ගංගා නිම්නයේ ඉහළ ප්‍රදේශවල වන ආවරණය ද ඉහළ මට්‌ටමක පැවැති කාලයක්‌ වීම ය. ඒ වන විට මෙරට පැවැතියේ කෝපි වගාව පමණක්‌ වන අතර, කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවල වනාන්තර එළි වී තිබුණේ ඉතා අවම මට්‌ටමකිනි. මේ අනුව 1872 ගංවතුර සඳහා වන ආවරණය අහිමි වීම හේතු වූ බව පැවසිය නොහැකි අතර, 1872 හා 1904 යන ගංවතුර දෙක සඳහා ම තෙත්බිම් ගොඩ කිරීම හේතු වූ බව පැවසි ය නොහැකි ය.

ඉහත සඳහන් වූ සියලු ගංවතුර අතරින් 1872 ගංවතුර වැඩි ම බලපෑමක්‌ සිදු කළ ගංවතුර සේ සැලකේ. සැප්තැම්බර් මාසයේ ඇති වූ මේ ගංවතුර පිළිබඳව ඇති වාර්තා අනුව, කැලණි ගඟ ඉහළ ප්‍රදේශවල අධික වැසි ඇති වී දින කිහිපයකට පසුව පහළ ප්‍රදේශවල ගංවතුර ඇති වී තිබේ. උදාහරණයක්‌ ලෙස ගත හොත් එම මාසයේ 9 වැනි දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයක දී අවිස්‌සාවේල්ලට අගල් 17.9ක (මිමී 454.6) ද, ගිනිගත්හේනට නුදුරුව පිහිටි පාඩිපොළට අගල් 18.8ක (මිමී 477.5) වර්ෂාපතනයක්‌ පතිත වී ඇත (Padepola - නිශ්චිත ස්‌ථානය හඳුනාගැනීමට නොහැකි විය). කැලණි ගඟ පහළ පිහිටි හේවාගම් කෝරළයට (කඩුවෙල අවට) ගංවතුර ඇති වන්නේ සැප්තැම්බර් 10 දා වන අතර, ගංවතුර කොළඹ ආසන්නයේ දී උපරිම අගයට ළගා වන්නේ එම මාසයේ 13 දා ය. සමස්‌තයක්‌ ලෙස ගත හොත්, කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති හේවාගම් හා සල්පිටි කෝරළවල හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සියනෑ කෝරළයේ ගම්මාන 150කට ආසන්න ප්‍රමාණයක්‌ ඒ අවස්‌ථාවේ දී ගංවතුරට යට වී ඇත. වර්තමානයේ දී සාමාන්‍යයෙන් දැඩි ගංවතුරකට ලක්‌ නො වන ප්‍රදේශ පවා ඒ අවස්‌ථාවේ දී අඩි 15-18 තරම් (මීටර් 4.5-5.5 පමණ) උසකට ගංවතුරට යට වී දින ගණන් පැවතී තිබේ.

1904 මැයි මාසයේ දී ඇති වූ ගංවතුර පිළිබඳව සැලකූ විට ද අපට දැකිය හැක්‌කේ මේ හා සමාන තත්ත්වයකි. එය 1872 වර්ෂයේ ගංවතුරට පමණක්‌ දෙවැනි වූ ගංවතුරක්‌ බව පැවසේ. වාර්තාවලට ආකාරයට, මැයි මස 22 දින පෙරවරුවෙන් අවසන් වූ පැය 24ක්‌ ඇතුළත බුලත්කොහුපිටියට අගල් 16.88ක්‌ (මිමී 428.7) හා යටියන්තොටට අගල් 15.15ක්‌ (මිමී 384.8) පමණ තරම් අධික වර්ෂාපතනයක්‌ පතිත වී ඇත. ඒ සමග ම නිම්නයේ ඉහළ ප්‍රදේශවල ගංවතුර ඇති වී තිබේ. කෙසේ වෙතත් ගඟ පහළ පිහිටා ඇති කොළඹ අවට ප්‍රදේශවලට ගංවතුර ඇති වන්නේ මැයි 24 හා 25 යන දිනවල දී ය.

ඉහළ ප්‍රදේශවල අධික වර්ෂාපතනය

එසේ නම් කැලණි නිම්නයේ ගංවතුර සඳහා බලපෑ වැදගත් කරුණක්‌ ලෙස සැලකිය හැක්‌කේ කෙටි කාලයක්‌ ඇතුළත ඇති වන අධික වර්ෂාපතනය බව පැහැදිලිය. වඩාත් පැහැදිලිව සඳහන් කරන්නේ නම්, කැලණි ගඟ නිම්නයේ ඉහළ ප්‍රදේශවලට කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාවක්‌ ලැබීමෙන් නිම්නයේ පහළට වන්නට පිහිටා ඇති කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පහත් බිම් යට වීම සාමාන්‍යයෙන් සිදු විය හැකි ය. ඒ අදාළ ජලය මුහුද කරා ගලා යන්නේ කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌ මායිම් කරගන්නා කැලණි ගඟ ඔස්‌සේ බැවිනි. මෙවැනි ආන්තික වර්ෂාපතනයක්‌ කලින් කල, වර්ෂ කිහිපයකට වරක්‌ ඇති වී තිබෙන බව ඓතිහාසික වාර්තා අනුව පෙනේ.

කැලණි ගඟට මෙන්ම සාමාන්‍යයෙන් තෙත් කලාපය ලෙස සලකන ප්‍රදේශයේ පෝෂක ප්‍රදේශ පිහිටා ඇති කළු ගඟට හා මහඔයට ද මේ තත්ත්වය පොදු ය. එනම්, එම ගංගාවල පෝෂක ප්‍රදේශවලට ද කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාවක්‌ පතිත වූ විට, පහළ ප්‍රදේශවලට ගංවතුර ඇති වීම එතරම් පුදුමයට කරුණක්‌ නො වේ. මෙහි දී ජලයෙන් යට වීමේ අවදානමක්‌ ඇති ප්‍රදේශවල ඇති තෙත්බිම් හා පහත් බිම්වලට ඉතා අධික වර්ෂාපතනයකින් පසුව නිම්නය දිගේ පහළට ගලා එන විශාල ජලස්‌කන්ධය රඳවා ගැනීමට නොහැකි ය. මීට හොඳ ම නිදසුන වන්නේ, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තෙත්බිම් ගොඩ කර නො තිබූ 1872 හා 1904 වැනි අතීතයක දී අදටත් වඩා විශාල ප්‍රදේශයක්‌ ගංවතුරට යට වීමයි.

කෙසේ වෙතත් කැලණි ගඟේ ජල ප්‍රවාහය නිසා ඇති වන ගංවතුර තර්ජනය හේතුවෙන් කැලණි ගඟට ආසන්න පහත් බිම් ප්‍රදේශ ගංවතුරින් ආරක්‌ෂා කරගැනීම සඳහා ගංවතුර වැළැක්‌වීමේ විවිධ පියවර ගෙන ඇත. නිදසුනක්‌ ලෙස 1924 දී පමණ කැලණි ගඟ ඉවුරු දෙකේ ඉදි කරන ලද වේලි දැක්‌විය හැකි ය. කැලණි ගඟට උතුරින් ඇති වේල්ල ගඟට බෙහෙවින් ආසන්නව දිවෙන අතර, දකුණින් ඇති වේල්ල ඇත්තේ ගඟට මඳක්‌ දුරිනි. ඒ වේලි මගින් ඒවාට ඇතුළතින් පිහිටි ප්‍රදේශවලට ගංවතුර ඇතුළු වීම පාලනය වේ. ඉන්පසුව සාමාන්‍යයෙන් ගංවතුරින් යට වන්නේ එම වේලි හා ගඟ අතර පිහිටා ඇති ප්‍රදේශ හා එසේ වේලි නොමැති ප්‍රදේශ ය. මේවා අනාරක්‌ෂිත ප්‍රදේශ වේ. (මෙහි දී සඳහන් කළ යුතු කරුණක්‌ වන්නේ කැලණි ගඟේ දකුණු ඉවුරේ හෙවත් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඇති වේලිවලට වඩා, ගඟේ උතුරු ඉවුරේ හෙවත් වර්තමාන ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ඇති වේල්ලේ උස අඩු වන ලෙස මුලින් ම නිර්මාණය කළ බව ය. ඊට හේතුව වූයේ කොළඹ නගරය අවට ප්‍රදේශ ආරක්‌ෂා කරගැනීම වඩා වැදගත් වීම ය. ඒ අනුව ගඟේ ජලය වේලි මට්‌ටමට ද වඩා ඉහළ ගිය හොත් පළමුව ගලා යන්නේ උතුරු ඉවුරෙන් ඔබ්බේ ඇති ප්‍රදේශවලට ය).

අනෙක්‌ අතට, පසුකාලයේ දී කැලණි ගඟ නිම්නයේ ඉහළ ම ප්‍රදේශවල තනා ඇති ජලවිදුලිබල ජලාශවලින් ද අධික වැසි කාලයට සැලකිය යුතු ජල ප්‍රමාණයක්‌ රඳවාගැනීම ද පහළ ප්‍රදේශවල ගංවතුර තර්ජනය අඩු කිරීමට යම් බලපෑමක්‌ වන්නට ඇති බව අනුමාන කළ හැකි ය.

ගංවතුරට විසඳුම් සෙවීම

මේ අනුව කලින් කලට කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවල දැඩි වර්ෂාපතනයක්‌ ඇති වන අවස්‌ථාවල දී පහළ ප්‍රදේශවල ගංවතුර ඇති වී පහත්බිම් යට වීම සාමාන්‍ය දෙයකි. මෙය වැළැක්‌විය නොහැකි බව පැහැදිලි ය. එසේ නම් සිදු කළ හැක්‌කේ කුමක්‌ ද?

මේ අවදානම් සහිත ප්‍රදේශයේ ප්‍රදේශවල නිවාස ඉදි නො කිරීම මේ තත්ත්වයට යෝජනා වී ඇති එක්‌ විසඳුමකි. එය යෝග්‍ය විසඳුමක්‌ වුවත් සැලකිය යුතු කාලයකට වරක්‌ (ඇතැම් විට වසර දහයකට පහළොවකට වරක්‌) ඇති විය හැකි මහා ගංවතුරක අවදානමක්‌ උදෙසා තම ගම් අතැර යැමට ජනතාව සූදානම් ද යන්න එක්‌තරා ආකාරයකට ගැටලුවකි. මෙහි දී අපට සිහි වන්නේ සුනාමියෙන් පසුව වෙරළ තීරයේ මීටර් 100ක්‌ දුරින් ඉදිකිරීම් තහනම් කළ නීතිය අසාර්ථක වූ ආකාරය ය.

සැම වර්ෂයක ම පාහේ ගංවතුරින් යට වන අවදානමක්‌ සහිත ප්‍රදේශවල ගොඩනැගිලි ඉදි කිරීමේ ක්‍රමයක්‌ වේ. ඒවා පොළොවට වඩා අඩි කිහිපයක්‌ උසින් ඉදි කර තිබේ. තල්දූව හා දෙහිඕවිට වැනි ප්‍රධාන මාර්ග දෙපස ඇති නගරවල අදට දශක ගණනාවකට පෙර ඉදි කළ මෙවැනි ගොඩනැගිලි අද පවා භාවිත වේ. එසේ නම්, වසර ගණනාවකට වරක්‌ ගංවතුරට යට වීමේ අවදානමක්‌ සහිත ප්‍රදේශයකට එවැනි ක්‍රමවේද සුදුසු බව පැහැදිලි ය.

පුවත්පත්වලින් වාර්තා වන ආකාරයට, මේ වන විට අවදානමට ලක්‌ ව ඇති ප්‍රදේශ ආවරණය කරමින් වේලි ඉදි කිරීමට යෝජනාවක්‌ තිබේ. කෙසේ වෙතත් මේ වේලි ඉදි කරනු ලැබුව හොත්, දැනට ගඟේ පහළ ප්‍රදේශවලට ඇති ගංවතුර අවදානම, ඉදිරියේ දී එහි ඉහළ ප්‍රදේශවලට ඇති වීමට මෙන්ම ඒ ප්‍රදේශවල ගංවතුර වැඩි කාලයක්‌ රදා පැවතීමට හැකි බව අප අමතක නො කළ යුතු ය. එසේ නම්, එම ඉහළ ප්‍රදේශවල ඇති නිවාස, ගොඩනැගිලි, මාර්ග හා වෙනත් යටිතල පහසුකම් පිළිබඳව දැන් තබා සැලසුම් සකස්‌ කිරීම සුදුසු ය.

අනෙක්‌ අතට පූර්ව අනතුරු හැගවීමේ ඇති වැදගත්කම ද මේ ගංවතුරින් පැහැදිලි වී තිබේ. කැලණි ගඟ ඉහළ ප්‍රදේශයට කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාවක්‌ ඇති වුව හොත්, ඉන් අවම වශයෙන් එක්‌ දිනකට හෝ ඇතැම් විට දින දෙක-තුනකට පසු ව ඇතුළත ගඟේ පහළ ප්‍රදේශවලට දැඩි ගංවතුරක්‌ ඇති විය හැකි ය. ඒ බව ඉහත දැක්‌වූ නිදසුන්වලින් මෙන්ම මේ වර්ෂයේ දී සිදු වූ සිදුවීමෙන් ද පැහැදිලි වේ. ඒ දින ගණන ආපදා අවදානම ගැන අනතුරු හැගවීමට ප්‍රමාණවත් ය. විශේෂයෙන් අද මෙන් සන්නිවේදනය දියුණු කාලයක එය බෙහෙවින් ප්‍රමාණවත් කාලයකි. එබැවින් යම් පූර්ව අනතුරු හැගවීමේ ක්‍රමවේදයක්‌ ස්‌ථාපනය කිරීමෙන් කැලණි නිම්නයේ පහළ ප්‍රදේශවල ගංවතුර නිසා ඇති වන හානිය අවම කරගත හැකි ය. එසේ ම එවැනි අනතුරු හැගවීමක් සාර්ථක වන්නට නම්, ඊට අවනතව කටයුතු කිරීමට අවදානම් ප්‍රදේශවල වෙසෙන ජනතාව ද සූදානම් කළ යුතු ය.

http://www.vidusara.com/2016/06/01/feature1.html

No comments:

Post a Comment