Saturday, October 31, 2020

මේ වසරේ ස්වාභාවික ආපදාත් වාර්තාගත ලෙස ඉහළ ගිහින් !

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.10.28, පි. 8 (Vidusara)

http://www.vidusara.com/2020/10/28/feature3.html


2020 වර්ෂය යනු සමස්ත ලෝකයටම එකසේ ගැටලු සහගත වර්ෂයකි. මේ වර්ෂයේ ලෝකය මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නව්‍ය කොරෝනා හෙවත් COVID-19 වසංගතය බව අමුතුවෙන් කිව යුතු නැත. තවමත් පාලනය කරගත නොහැකි මේ වසංගතය නිසා ලෝක ආර්ථික ආර්ථික වර්ධනය බෙහෙවින් පහළ වැටී ඇත. මේ වර්ෂයේ ලෝකයේ දළ දේශීය නිෂ්පාදනය 5.2%ක් පමණ ප්‍රමාණයකින් පහළ යා හැකි බව පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් ලෝක බැංකු වාර්තාවක පුරෝකථනය කර තිබිණි. ඔක්තෝබර් මාසය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා ඇත්තේ මේ වසරේ දළ දේශීය නිෂ්පාදනය 4.4%කින් අඩු වනු ඇති බවයි. කුමන ආකාරයකින් ගත්තද, මෙය දශක ගණනාවක් තුළ ඇති වූ බරපතළම ආර්ථික බිඳවැටීමය. ඒ ඒ රටවල ආර්ථික වර්ධනයේ අඩුවීම එකිනෙකට වෙනස්ය. ආර්ථිකයේ වර්ධනයක් දැකිය හැක්කේ චීනය වැනි රටවල් කිහිපයක පමණකි. අනෙක් අතට බොහෝ රටවලට මේ තත්ත්වයට මුහුණ දීමට හැකියාවක් තිබේද යන්න ද ගැටලුවකි.

මේ තත්ත්වය තවත් බරපතළ කරමින් මේ වර්ෂයේ ඇති වන ස්වාභාවික ආපදා ප්‍රමාණයෙන්ම මෙන්ම හානිය අතින් ද වාර්තාගත මට්ටමකට ළඟා වෙමින් ඇත. නිදසුනක් ලෙස මේ වර්ෂයේ මුල් මාස හය ඇතුළත ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ස්වාභාවික ආපදා ප්‍රමාණය 207ක් පමණ වන බව ජුලි මාසයේදී වාර්තා විය. එම ආපදා ගණන 2019 වර්ෂයේ මුල් මාස හය ඇතුළත වාර්තා වූ ආපදා ගණන වූ 163ට වඩා 27%කින් පමණ ඉහළය. එමෙන්ම මේ වර්ෂයේ ආපදා ප්‍රමාණය 21වන සියවසේ 2000-2019 දක්වා වූ කාලයේ මුල් මාස හයක කාලය ඇතුළත දී වාර්තා වූ ආපදා ගණනේ සාමාන්‍යය වූ 185ට වඩා ඉහළය. පසුගිය සැප්තැම්බර් මාසය අග වන විට මේ වර්ෂය තුළ දී ඇති වූ ස්වාභාවික ආපදා ගණන 361ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

එමෙන්ම මේ මාස හයක කාලය ඇතුළත ඇති වූ ස්වාභාවික ආපදා නිසා සිදු වූ දේපොළ හානිය වෙනත් වසරවල තරමටම ඉහළ වීමයි. එය ඩොලර් බිලියන 75ක් පමණ වන බව පසුගිය ජුලි මාසයේ ප්‍රකාශයට පත් වූ වාර්තාවක සඳහන් වෙයි. මේ අගය වෙනස් වූවද, 1980-2019 අතර කාලයේදී සිදු වූ ස්වාභාවික ආපදාවල වාර්ෂික හානියේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 78ක් වීම නිසා මේ වර්ෂයේ ආපදාවල හානිය වාර්තාගත මට්ටමකට පැමිණිය හැකි බව දක්වා තිබෙයි.

මේ අතර ලෝකයේ සිදුවන ස්වාභාවික ආපදා අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් කාලගුණය හා සම්බන්ධ ආපදා වීම විශේෂය. මේ වර්ෂයේ මුල් භාගයේ ඇති වූ ආපදා අතරින් 191ක් හෙවත් 92% තරම් ආපදා කාලගුණය සම්බන්ධ ඒවා විය. ඒ අතර, සුළි කුණාටු, ගංවතුර, නියඟය, ආන්තික කාලගුණ තත්ත්ව වැනි ආපදා ඇතුළත් වෙයි.

මේ වර්ෂයේ දී ඉහළ ගිය ආපදා


මේ වර්ෂයේ ඇති වූ අපදා අතර කැපී පෙනෙන ආපදා වන්නේ නිවර්තන සුළි කුණාටු හා ලැව් ගිනි ආදියයි. නිවර්තන සුළිකුණාටු ඇති වීම පසුගිය කාලයේ දැකිය හැකි වූ අතර ඒ නිසා සිදුව ඇති හානිය වඩාත් දැකිය හැක්කේ වෙරළබඩ කලාපයේය. ඇමරිකාවට විශාල ලෙසින් බලපාන අත්ලාන්තික් කුණාටු සමය තවමත් ක්‍රියාත්මකය. එය අවසන් වන්නට නියමිතව ඇත්තේ නොවැම්බර් මාසය අවසානයේය. එහෙත් මේ වන විට කුණාටු 27ක් ඇති වී ඇති අතර, එය 2005 ඇති වූ කුණාටු ගණන හා සමාන වේ. මේ වර්ෂයේ කුණාටු සමයේදී තවත් එක් කුණාටුවක් ඇති වුවහොත් නම් කරන ලද කුණාටු ගණනට හිමි වාර්තාව 2020 වර්ෂයේ කුණාටු සමයේ සිදුවනු ඇත. මේ අතර සැඩකුණාටු (hurricane)10ක් හා දැඩි සැඩ කුණාටු (major hurricane) ගණයට වැටෙන කුණාටු 4ක් තිබෙයි. (කුණාටු නම් කරනු ලබන්නේ නිවර්තන කුණාටුවක ශක්තිය ලබා ගන්නා කුණාටුවක තත්ත්වයකට පැමිණි විටය. එනම් පැයට සැතපුම් 39-73 අතර ප්‍රමාණයකට පැමිණි විටය.) මේ කුණාටු නිසා ඇමරිකානු ඩොලර් බිලියන 27ක පමණ හානියක් සිදු වී තිබෙයි.

එසේම නිවර්තන සුළි කුණාටු නිසා ඇති වූ ආර්ථික හානිය 2000-2019 අතර කාලයේ ඇති වු හානියට වඩා 270%ක් පමණ ඉහළ බව තවත් වාර්තාවක සඳහන් වෙයි. බෙංගාල බොක්කේ ඇති වූ වාර්තාගත කුණාටු අතරින් ප්‍රබලම කුණාටුවක් සේ සැලකෙන, පසුගිය මැයි මාසයේ ඇති වූ අම්පන් කුණාටුව නිසා ඩොලර් බිලියන 13.6ක පමණ ආර්ථික හානියක් ඇති වූ බව ගණන් බලා ඇත. එය ඉන්දීය සාගරයේ උතුරුදිග ප්‍රදේශයට වැඩිම ආර්ථික හානියක් සිදු කළ සුළි කුණාටුව සේ සැලකෙයි. මෙය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට හා බංගලාදේශයට බරපතළ හානි සිදුකර ඇත (මෙහි බලපෑම නිසා ඇති වූ වර්ෂාව ලංකාවේ ගංවතුර හා නායයෑම් ඇති කිරීමට සමත් විය). ඇමරිකාවේ ඇති වූ කුණාටුවලින් සිදු වූ ආර්ථික හානියට වඩා වැඩි විනාශයක් ඉන්දියාවේ හා චීනයේ ඇති වූ කුණාටු නිසා සිදු වී තිබෙයි.

මේ අතර ඇමරිකානු ඇති වූ ලැව් ගිනි නිසා ද බරපතළ තත්ත්වයක් ඇති විය. කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වර්ෂයේ ලැව් ගිනි නිසා විනාශ වී ඇති වනාන්තර ප්‍රමාණය අක්කර මිලියන 4කට අධිකය. මීට ඉහත වාර්තා වී තිබූ වැඩිම ලැව් ගිනි වනාන්තර ගිනි නිසා විනාශ වූ වනාන්තර ප්‍රමාණය අක්කර මිලියන 2ක් පමණය. මෙවර විනාශයට පත් වනාන්තර ප්‍රමාණය එමෙන් දෙගුණයක් පමණ වෙයි.

ආපදා හානිය ඉහළ නංවන මානව කටයුතු


විවිධ ස්වාභාවික ආපදා නිසා සිදුවන හානියේ තරම ඉහළ යෑම සඳහා මානව කටයුතු ද බෙහෙවින් බලපායි. ආපදා අවදානම සහිත ප්‍රදේශවල මිනිස් ජනාවාස දුලභ වීම නිසා ආපදා නිසා සිදුවන හානිය ඉහළ යෑම සඳහා එක් හේතුවකි. නිදසුනක් ලෙස ගතහොත්, කුණාටුවලට ලක් වීමේ අවදානම සහිත වෙරළ තීරවල ජනාවාස වර්ධනය වීම නිසා කුණාටු වැනි ආපදාවලින් සිදුවන දේපොළ මෙන්ම ජීවිත හානිය ද ඉහළ යයි. අවාසනාවකට මෙන් ලෝකයේ මෙවැනි ප්‍රදේශවල මානව ජනාවාස විශාල ලෙස පිහිටා තිබෙයි.

එසේම ලැව් ගිනි ඇතිවීමේ අවදානම වැඩි ප්‍රදේශවල පිහිටා ඇති මානව ජනාවාස වර්ධනය වීම නිසා ද දේපොළ හා ජීවිතවලට සිදුවන හානිය ද ඉහළ යයි. මේ තත්ත්වය මෑත කාලයේදී ඇමරිකාවේ සිදුව තිබේ. නාගරික ප්‍රදේශවලින් ඈත්ව ජනාවාස හා වනාන්තර අතර සීමාවේ පිහිටා ඇති ප්‍රදේශවල වාසය කිරීමට කැමැත්ත දක්වන පිරිස් ඉහළ ගොස් ඇත. එවැනි ජනාවාස තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙයි.

ආපදා සඳහා බලපාන තවත් මානව ක්‍රියාකාරකමක් ලෙස දේශගුණ වෙනස් වීම දැක්විය හැකිය. මානව කටයුතු නිසා ඉහළ ගිය හරිතාගාර වායු විමෝචනවල දායකත්වය නිසා ස්වාභාවික ආපදාවලට යම් බලපෑමක් සිදුවන්නේය යන්න මේ වන විට පුළුල් ලෙස පිළිගැනෙන කරුණකි. ලැව් ගිනි ඇති වීම සඳහා සුදුසු කාලගුණ තත්ත්ව ඇති වන වාර ගණන ඉහළ නැංවීමට මෙන්ම, එවැනි තත්ත්ව ඇති වන වාරගණන ඉහළ නංවීමටත් දේශගුණ වෙනස් වීම බලපායි. උණුසුම් කාලගුණයක් පැවතීම නිසා වියැළී යන තණ හා වෙනත් දහනය වන ජෛව ස්කන්ධය ලැව් ගිනි ඇති වීම සඳහා හේතු වෙයි. එසේම ඉහළ යන මුහුදු මට්ටම හා අධික වර්ෂාපතනය යනු කුණාටු අවස්ථාවල හා ඒ නිසා ඇති වන ගංවතුර ආපදා සඳහා බලපාන හේතුවකි. කුණාටුවල තීව්‍රතාවය ඉහළ නැංවීමට දේශගුණ වෙනස් වීම දායක වන බව ද පැහැදිලි කරුණකි.

ලෝකයේ අනාගතයට වඩා හොඳ කවුද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.10.21, පි. 10 (Vidusara)

http://www.vidusara.com/2020/10/21/feature5.html





ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය 2020 නොවැම්බර් මාසයේ තුන්වැනි දින පැවැත්වීමට නියමිතය. වර්තමාන ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්ෂක ජෝ බයිඩන් මෙවර එරට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයෝ වෙති. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට පැමිණෙන්නේ වසර හතරකට ආසන්න කාලයක් එරට පාලනය කළ නායකයා ලෙසය. එසේම ජෝ බයිඩන් වසර ගණනක දේශපාලන අත්දැකීම් ඇති හිටපු උප ජනාධිපතිවරයෙකි.

මේ අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකු ඇමරිකාවේ ජනාධිපති ලෙස එරට ජනතාව විසින් තෝරාගනු ඇත. ඒ තීරණය සඳහා මූලිකව බලපානු ඇත්තේ එරට ආර්ථිකය, රැකියා උත්පාදනය හා සෙසු දේශපාලන පිළිවෙත්ය. එහෙත් මෙහි ඇති ගැටලුව වන්නේ ඇමරිකානු ජනතාව තෝරාගන්න ජනාධිපතිවරයා ලෝකයට, මෙන්ම ලෝකයේ අනාගතයට ද බලපෑම් කළ හැකි අයෙකු වීමය. ඇමරිකාවේ ජනාධිපතිවරයා අනුගමනය කරන පරිසර ප්‍රතිපත්තිය, විශේෂයෙන් ‌දේශගුණ වෙනස්වීම සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තිය අනාගතයේදී ලෝකයේ පරිසරයට මෙන්ම ජනතාවට ද බලපායි.

එබැවින් මේ අපේක්ෂකයින් දෙදෙනා දේශගුණ වෙනස් වීම සම්බන්ධයෙන් දක්වන ආකල්ප හා ඒ පිළිබඳ පිළිවෙත් සංසන්දනය කිරීම වැදගත් වන්නේ දේශගුණ වෙනස් වීම යනු නූතන ලෝකයේ බරපතළම පාරිසරික ගැටලුව වන නිසාය. 

ට්‍රම්ප් පිළිවෙත්


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු පාලන සමය දේශගුණ වෙනස් වීම මෙන්ම, සමස්තයක් ලෙස පරිසරය පිළිබඳව ද සුභවාදී කාලයක් නොවීය. දේශගුණ වෙනස් වීම විශ්වාස නොකරන බව පවසූ ඔහු පැරිස් ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කළේය. දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක මෙම ගිවිසුම, ඒ සම්බන්ධව මෙතෙක් ඇතිකරගෙන තිබෙන වඩාත් අපේක්ෂා සහගත ජගත් ගිවිසුම වෙයි. ලෝකයේ මුල් පෙළේ හරිතාගාර වායු විමෝචකයෙකු මෙන්ම ඓතිහාසික විමෝචන සම්බන්ධවද වැදගත් රටක් වන ඇමරිකාව එම ගිවිසුමෙන් ඉවත්වීම ගැටලු සහගත එකකි. එම ඉවත්වීම ක්‍රියාත්මක වන්නේ මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ සිටය. එදා පැරිස් ගිවිසුමෙන් ඉවත්වෙමින් එම ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කළ යුතු බව ඔහු පැවසූ නමුත් මේ දක්වා ඒ සම්බන්ධව කිසිදු පියවරක් ඔහු විසින් ගෙන නැත.

අනෙක් අතට ට්‍රම්ප් විසින් අනුගමනය කළ බලශක්ති ප්‍රතිපත්තියද දේශගුණ වෙනස් වීමට හිතකර එකක් නොවේ. එයින් කාබන් විමෝචන අධික බලශක්ති නිෂ්පාදනයට අවශ්‍ය අවස්ථා ඉහළ නංවා ඇත. ආරක්ෂිත ප්‍රදේශවල තෙල් හා ගෑස් නිධි ලබාගැනීම සඳහා කැනීම් කිරීමට ඉඩ දීම එවැන්නකි. ගෑස් හා තෙල් ලබා ගැනීම සඳහා අධි පීඩන ජල ප්‍රවාහ යොදාගනිමින් ක්‍රියාත්මක කළ ෆ්‍රැකින් ක්‍රමය (fracking) නිසා ඇමරිකාව පසුගිය වර්ෂයේදී කෙටි කාලයකට ලෝකයේ ඉහළම තෙල් අපනයනය කරන රට බවට පත්විය. 

ට්‍රම්ප් නැවතත් ජයග්‍රහණය කිරීමෙන් පසුව පොසිල ඉන්ධන සඳහා තවදුරටත් රාජ්‍ය සහයෝගය, බලපත් හා සහන ආදිය ලැබෙනු ඇති බව අනුමාන කෙරෙයි. එය ලෝකයේ හරිතාගාර වායු විමෝචන ඉහළ දැමීමට උපකාර වනු ඇත. ඇමරිකාව සිය විමෝචන අඩු කිරීමට හෝ සීමා කිරීමට කිසිදු පියවරක් නොගන්නා තත්ත්වයක් තුළ එසේ වුවහොත් ඇති විය හැක්කේ කෙබඳු තත්ත්වයක්ද? 

වඩා යහපත් තත්ත්වයක් එළැඹෙන තුරු තවත් වසර හතරක් බලා සිටීමට සිදුවිය හැකි බව හා එවිට දේශගුණ වෙනස් වීම වඩාත් බරපතළ විය හැකි බව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් ජෙරාඩ් පවසයි. එසේ වුවහොත් පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත සෙල්සියස් අංශක දෙකේ ඉලක්කය තුළ රැඳීම අපහසු විය හැකිය. ට්‍රම්ප් බලයේ සිටි කාලයේදී වෙනත් කිසිදු රටක් ඍජුව ආක්‍රමණය නොකළ බව ඇත්තක් විය හැකිය. එහෙත් දේශගුණ වෙනස් වීම උග්‍ර වීමට ඉඩදීමෙන් ඔහු ලෝකයේ පරිසරයද, බොහෝ රටවල විවිධ ප්‍රදේශ ද දැඩි අවදානමකට දමා ඇත. ඒ අතර වැඩි වශයෙන් ඇත්තේ දුප්පත් හා දියුණු වන රටවල් හා දූපත් රාජ්‍යයන්ය.
පසුගිය වසර තුනක පමණ කාලයේදී ට්‍රම්ප් පාලනය විසින් ආපසු හරවන ලද පාරිසරික නීති රීති ගණන 160ක් පමණ වන බව නිව්යෝකිහි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙයි. විවිධ අංශවලට අදාළ ඒ නීතිරීති මොනවාද මොනවාද යන්න https://climate.law.columbia.edu/climate-deregulation-tracker වෙබ් අඩවියෙන් බලා ගත හැකිය. 

දේශගුණ වෙනස් වීම විශ්වාස නොකළ ට්‍රම්ප් එරට රජයේ ආයතන සමහරක විද්‍යාත්මක කටයුතුවලය ඍජු හා වක්‍ර සීමා පැන වූ බව එකල වාර්තා විය. මේ තත්ත්වය ගැන එරට පරිසර ආරක්ෂන ඒජන්සියේ හිටපු ප්‍රධානී ගීනා මැකාති පවසා ඇත්තේ ජනතාව දැනටමත් දකින, දැනෙන හා රසවිඳින දේ ඔවුන් ඉදිරිපිට සිදුනොවන බව පැවසීමට වර්තමාන පාලනය උත්සාහ ගෙන ඇති බවයි.
මේ අනුව ට්‍රම්ප් නැවතත් ජනාධිපති බවට‌ පත්වුවහොත් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කිරීමට නොහැකි වනු ඇති බව විද්‍යාඥයින් රැසක් පවසති.

ජෝ බයිඩ්න් ප්‍රතිපත්ති


ජෝ බයිඩ්න් අතීතයේ සිටම පරිසර හිතවාදී ක්‍රියාකාරකම් සඳහා ප්‍රකට වූවෙකි. සෙනෙට් සභිකයෙකු ලෙස 1986 දී දේශගුණ ආරක්ෂණ පනතක් යෝජනා කළේය. එසේම පසුකලක ඔබාමාගේ දේශගුණ හිතවාදී පිළිවෙත්වලට ඔහුගේ සහාය පළ විය (පැරිස් ගිවිසුම සම්බන්ධ ඔහුගේ දායකත්වය නම් අතිශයෝක්තියෙන් හුවා දක්වා ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.)

ජෝ බයිඩ්න්ගේ දේශගුණ සැලසුම මීට වඩා වෙනස් එකකි. මේ වන විට ප්‍රකාශිත ඔහුගේ ප්‍රතිපත්තිය අනුව 2035 වර්ෂය වන විට ඇමරිකාවේ බලශක්ති අංශය කාබන් විමෝචනවලින් තොර පිරිසිදු එකක් වනු ඇත. එමෙන්ම එමගින් 2050 වර්ෂය වන විට ඇමරිකාවේ ශුද්ධ විමෝචන ප්‍රමාණය ශුන්‍ය බවට පත් කිරීම ද ඔහුගේ දේශගුණ සැලසුම්වල ඇතුළත්ය.
 
විදුලියෙන් ධාවනය වන වාහන හා දුම්රිය යොදාගනිමින් එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් මේ යටතේ යෝජනා කර තිබෙයි. එසේම තිරසර නිවාස මිලියන 1.5ක් ගොඩනැගීමට ද ඔහු අදහස් කරයි. එමෙන්ම සිය විමෝචන අඩු කිරීමට ක්‍රියා නොකරන රටවලට එරෙහිව ඇමරිකාව විසින් දේශගුණ බද්දක් අය කළ යුතු බව ද බයිඩ්න් යෝජනා කරයි. ඔහු පිරිසිදු බලශක්ති අංශයේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන මුදල ඩොලර් ට්‍රිලියන 2කි. බැරැක් ඔබාමා විසින් යෝජනා කළ ආකාරයට, පිරිසිදු බලශක්තිය වෙත පිවිසෙන අතරමැදි බලශක්තියක් ලෙස ස්වාභාවික ගෑස් යොදාගැනීම ද මීට ඇතුළත්ය. ෆෙඩරල් රජයට අයත් භූමියේ හා ජල ප්‍රදේශවල තෙල් හා ගෑස් කැනීමට බලපත් නොදෙන බවද හෙතෙම පවසා තිබෙයි.

එසේම ජෝ බයිඩ්න් ජනාධිපති වුවහොත් ඇමරිකාව යළිත් පැරිස් ගිවිසුම හා එක් වන බව ද ඔහුගේ දේශගුණ සැලසුමෙහි එන්නකි. ඒ සඳහා ගත වනු ඇත්තේ මසක පමණ කාලයක් පමණකි. මේ නිසා බයිඩ්න්ගේ සැලසුම් හුදෙක් ඇමරිකාවට පමණක් නොව ලෝකයේම උෂ්ණත්වය පහළ හෙලීමට උපකාරී වනු ඇති බව ඔහුට සහාය දක්වන කණ්ඩායම්වල අදහසයි. මේ සියලු කරුණ අනුව ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති ලෙස පත්වුවහොත් ලෝකයට දේශගුණ වෙනස් වීම පිළිබඳව කටයුතු කිරීමට අවස්ථාවක් ලැබීමට ඉඩ ඇති බව දේශගුණ විද්‍යාඥයින් රැසකගේ අදහස වෙයි. 

කෙසේ වෙතත් බයිඩ්න් ප්‍රකාශ කරන දේ හා ක්‍රියාකාරිත්වය අතර වෙනසක් ඇති බවට ද අදහස් පළ වී ඇත. ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවක දී කිසිවත් මූලිකව වෙනස් නොවනු ඇතැයි ඔයා පවසා ඇති බව සඳහන්ය. එසේම ඔහුගේ නවලිබරල් අදහස් අනුව ද ව්‍යාපාරික අංශ වෙත යම් නැඹුරුවක් ඇති බව පැහැදිලිය. එමෙන්ම ෆ්‍රැකින් ක්‍රමය මගින් තෙල් ලබාගැනීම ඇමරිකාව හරිත ආර්ථිකයක් වෙත ගමන් කිරීමේදී පැවතිය යුතු බවක් ඔහු පවසා තිබෙයි. එය තරමක් මතභේදාත්මක වන බැවින් සමහර විචාරකයන්ගේ විවේචනයට ලක් විය. එහෙත් බයිඩ්න් එය ජනාධිපතිවරණයේදී තීරණාත්මක විය හැකි ප්‍රාන්තවල ඡන්ද අපේක්ෂාවෙන් කළ එකක් බව සිතිය හැකිය. නමුත් ඔහු අනාගතයේදී කවර පියවරක් ගනු ඇතිද යන්න මෙහිදී මතුවන අපැහැදිලි කරුණකි. 

සමස්යක් ලෙස ගතහොත් ඇමරිකානු ජනතාව ඉදිරියේ මෙවර ඇත්තේ එරටට පමණක් වැදගත් තීරණයක් නොවේ. ඔවුන් මෙවර ජනාධිපතිවරණයේ දී ‌තෝරාගනු ලබන්නේ එරටට පමණක් සුදුසු නායකයා ද, නොඑසේ නම්, එරට ද ඇතුළුව ලෝකයට හා ලෝකයේ අනාගතයට ද සුදුසු නායකයා ද යන්න අපට ඉදිරියේදී බලාගත හැකිය. කෙසේ වෙතත් ඇමරිකාවේ බහුතර ජන මනස තුළ තවමත් පරිසරය මෙන්ම දේශගුණ වෙනස්වීම ද මුල් පෙළේ ප්‍රමුඛතා අතර නැති බව අප අමතක නොකළ යුතුය.

Friday, October 16, 2020

ඉස්කෝලෙ කතා 04 - දුම්රියෙන් ගිහින් දා ගැනීම

මේ අපි උසස් පෙළ කරන කාලෙ වූ සිදුවීමක්. 1991 අප්‍රේල් නිවාඩු කාලෙ එක් දවසක් අපට ඉස්කෝලෙ අතිරේක පංතියක් තිබුණා. ඒකට බයෝ පංති කීපයක ළමයි සහභාගි වුනා. අපට උගැන්වූ ගුරුවරියකගෙ පියාගේ මළගෙදර ගැන ආරංචි වූ පසු, එදා එක පංතියක් අවසන් වී එහි යන්න ළමයි පිරිසක් තීරණය කළා. එතැන ළමයි 20ක් විතර ඉන්න ඇති.

අපි කට්ටිය මරදානට ගිහින් දුම්රියකට නැග්ගා. අපිට යන්න ඕන වුනේ පල්ලෙවෙලට උනත්, එදා උදේ වරුවෙ නිසා දුම්රිය අඩුයි. අපි ඒ නිසා වේයන්ගොඩ දක්වා දිවෙන දුම්රියකට නැග්ගා. වේයන්ගොඩ දුම්රියපොළෙන් බැහැලා ඉතිරි ටික යන හැටි වේදිකාවෙ සිට අපි කට්ටියක් කතා වෙන අතරෙ මෙන්න තුන් හතරදෙනෙක් දුම්රිය වේදිකාව දිගේ දුම්රිය එන්ජිම පැත්තට යනවා. අපි ඇහුවාම කියනවා එන්ජින් ඩ්‍රයිවර්ගෙන් අහන්න යනවලු ඒ ස්ටේෂන් තුන හතර අපව ගිහින් දාගන්න පුළුවන්ද කියලා...

එතැන උන් සමහරු කෝච්චියක ගියෙත් පළවෙනි වතාවටම වෙන්න පුළුවන්. අපේ ඉස්කෝලෙ අයනෙ! ඒ නිසා අර බබාලට ආපහු එන්න කියලා, ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් එල්ෆ් වෑන් එකක් හයර් එකට අරන් මළගෙදර ගියා. වැඩිය කෝච්චිවල නොගියට ඒව එහෙම හිතූ හිතූ ලෙස දුවන්න බැරිබව මමත් තව අයත් දැනගෙන හිටියා.

මේ දවසෙ ආපසු එද්දි සිදු වූ සිදුවීමක් නිසා එක් ගීතයක් අමතක නොවන ලෙස අදත් මතකයේ රැදිලා. ඒක පසුවට.

ධනේෂ් විසුම්පෙරුම
2020.10.16