Showing posts with label Nationalism. Show all posts
Showing posts with label Nationalism. Show all posts

Tuesday, December 15, 2020

දේශගුණ සටනට ඇමෙරිකාව යළි එක් වෙයි ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.02, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/12/02/feature1.html


පසුගිය නොවැම්බර් මස මුල වන විට ලෝකයේ අවධානය යොමු වී තිබුණේ ඇමරිකාව වෙතය. ඒ මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද යන්න නිසාය. වඩාත් ජාතිකවාදී දේශපාලනයක යෙදුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගනු ඇති ද, නැතහොත් වඩා ලිබරල් හා ජාත්‍යන්තරවාදී අදහස් ඇති ජෝ බයිඩන් ජයගනු ඇති ද යන්න අපැහැදිලි වූ නිසාය. දින ගණනාවක් ඇදීගිය අවිනිශ්චිත තත්ත්වය අවසානයේ අවසානයේ ජෝ බයිඩන් ජයග්‍රහණය කර ඇති බව පැහැදිලිය. ඒ පිළිබඳ අවසන් ඡන්ද මණ්ඩල විමසීම පවත්වන්නේ දෙසැම්බර් මස මැද දීය. එහෙත් මේ සිදුවීම් අතර පරිසරය සම්බන්ධව වැදගත් සිදුවීමක් ද සිදුවිය. ඒ නොවැම්බර් 4 වැනි දා ඇමරිකාවට ඇමරිකාව පැරිස් දේශගුණ ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වීමයි.

දේශගුණ වෙනස් වීම සම්බන්ධව මේ වන විට ලෝකය හමුවේ ඇති එකම ගිවිසුම්ගත වැඩපිළිවෙල වන්නේ පැරිස් ගිවිසුමයි. 2100 වර්ෂය වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය, පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක දෙකක උපරිමයකට සීමා කිරීමට හා එම අගය අංශක 1.5 සීමාවේ තබාගැනීමට උත්සාහ කිරීමත් මේ ගැවසුමේ අරමුණු වෙයි. 2015 වර්ෂයේ ඇති කරගන්නා ලද් එය මූලික වශයෙන්ම ස්වේච්ඡාවෙන් සිදුකරන කටයුතු හා සම්බන්ධ ගිවිසුමක් වන ඊට අනුව ඒ ඒ රටවල් තම රටවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සඳහන් කර ඇත. ඒවා මේ වන විට සංශෝධනය කෙරෙමින් ද තිබෙයි. විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇති පරිදි මේ පොරොන්දුවල දී ඇති ඉලක්ක අත්පත් කරගත්තද ලෝකයේ උෂ්ණත්වය පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත සීමාව ඉක්මවා ඉහළ යා හැකිය. ඒ අනුව බරපතළ දේශගුණ වෙනස් වීමක් අපට අපේක්ෂා කළ හැකිය.


ඇමරිකාව ගිවිසුමෙන් ඉවත් වීම


මෙවැනි තත්ත්වයක් තිබිය දී 2016 දී ඇමරිකාවේ ජනාධිපති වූ ට්‍රම්ප් සිය මැතිවරණ පොරොන්දු සනාථ කරමින් 2017 ජුනි මාසයේදී ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වන බව කීවේය. එහෙත් ඒ සඳහා ද අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිසා එය පමා විය. ගිවිසුම 2015 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද නමුත් එය බලාත්මක බවට පත්වූයේ 2016 නොවැම්බර් මස 4 දාය. ඒ ලෝකයේ හරිතාගාර වායු විමෝචනවලින් 55%ක් සඳහා වගකිව යුතු රටවල් 55ක් එය අපරානුමත කිරීමෙන් පසුවය.

යම් රටකට තමන් ගිවිසුමෙන් ඉවත් වන බව දැන්වීම සඳහා ගිවිසුම බලාත්මක තත්ත්වයට පත්වන දිනයේ සිට වසර තුනක කාලයක් බලා සිටීමට සිදුවේ. ඉන් පසුව ගිවිසුමෙන් ඉවත් වීම සඳහා ද තවත් වසරක් පමණ කාලයක් ගිවිසුමේ රැඳී සිටීමට සිදුවේ. ගිවිසුම බලාත්මක වූ දින සිට වසර තුනක් ගත වූ 2019 නොවැමබර් මස 4 වන දා ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වන බව දැනුම් දීම ක්‍රියාත්මක විය. එැතැන් සිට වසරක් ගත වූ 2020 නොවැම්බර් 4 දා ඇමරිකා එක්සත් ජනපද නිලවශයෙන් පැරිස් ගිවිසුමෙන් ඉවත් වූ පළමු රට විය.


ඇමරිකාව කොයිබටද?


ට්‍රම්ප් පරදවා බයිඩන් ජයගැනීමෙන් පසුව දැන් ඇත්තේ අමරිකාව කොතැනට ද යන්න දැනගැනීමය. ලබන ජනවාරියේ ජනාධිපති ධූරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ජෝ බයිඩන් පවසා තිබුනේ පැරිස් ගිවිසුමට යළිත් එක්වන බවයි. ඒ නීති රීති අනුව ඒ සඳහා මාසයක කාලයකට පෙර දැනුම්දීම ප්‍රමාණවත්ය. ජො බයිඩන් කටයුතු කරන ආකාරය ඉදිරියේදී බලා ගැනීමට හැකිය.

බයිඩන් සිය ජනාධිපතිවරණ සමයේ ඉදිරිපත් කළ දේශගුණ පැකේජය ඇමරිකානු ජනාධිපතිරවයෙකුගේ හොඳම බලාපොරොත්තු සහගත දේශපාලන පැකේජය ලෙස දක්වා ඇත. එය ක්‍රියාත්මක කළහාත් වඩාත්ම ප්‍රගතිශීලී දේශගුණ උපායමාර්ගය විය හැකි බව විචාරකයන්ගේ මතයයි. එහෙත් යළිත් ඇමරිකාව දේශගුණ සටනය එක් කිරීමට ජෝ බයිඩන් ඉදිරියේ ඇති මාර්ගය දුෂ්කර එකක් විය හැකි බව සමහරුන් විසින් පෙන්වා දී තිබෙයි. විශේෂයෙන් ඇති වූ පසුබෑම මෙන්ම, ආර්ථික කරුණු ද ඊට බලපායි.

ඇතැම් විශ්ලේෂකයන්ට අනුව බයිඩන්ගේ මුළු පළමු පාලනකාලයම ගත වනු ඇත්තේ පසුගිය කාලයේදී ඇති වූ වෙනස්කම් යථා තත්ත්වයට පත් කිරීමට විය හැකිය. පැරිස් ගිවිසුම සම්බන්ධ වෙනත් පාර්ශ්ව මේ වන විට ඔවුන් ලබා දී ඇති ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්ව (NDC) යළි පුනරීක්ෂණය කරමින් සංශෝධනය කරමින් සිටියි. ඒ අදාළ රටවල ශුද්ධ කාබන් විමෝචන ශුන්‍ය වූ තත්ත්වය උදාකරකැනීම පිළිබඳ ඉලක්ක ද ඇතුළත්වය. සමහර රටවල් මේ වන විට ඒ සඳහා දින නියම කරගෙන තිබේ. යුරෝපා මහාද්වීපය ඒ සඳහා දින 2050 වර්ෂය ද, චීනය ඒ සඳහා 2060 ලෙස ද දින නියම කර තිබෙයි. ජපානය ද 2050 සඳහා දින නියම කරගෙන තිබේ. (රටක් සම්බන්ධව නම්, ශුද්ධ කාබන් ශුන්‍ය තත්ත්වය යනු එරට විමෝචනය වන කාබන් විමෝචන හා සමාන කාබන් විමෝචන ප්‍රමාණයක් ඉවත් කිරීමයි. ඒ අනුව ඒ රටෙන් ලෝකයේ වායුගෝලයට කාබන් විමෝචන එක් නොවේ.)

2016 දී ඇමරිකාව පැරිස් ගිවිසුම හා එක් වූ අවස්ථාවේදී ඔවුන්ගේ ප්‍රකාශිත ඉලක්කය වූයේ 2025 වර්ෂය වන විට එරට විමෝචන ප්‍රමාණය 2005 මට්ටමෙන් 26-28%ක් අතර ප්‍රමාණයකින් අඩු කිරීමයි. එහෙත් ට්‍රම්ප් පාලනය යටතේ මේ බලක්කට ආපසු හරවා යැවූවා පමණක් නොව බොහෝ රාජ්‍ය වෙබ් අඩවිවලින් මේ ඉලක්කය ඉවත් කිරීමට ද කටයුතු කරන ලදි.


බයිඩන්ගේ සැලසුම්


බයිඩන් ද පවසා ඇත්තේ පොසිල ඉන්ධනවලින් ඈත්වීමේ දී ස්වාභාවික වායු භාවිත කරන බවයි. බයිඩන්ගේ ඉලක්ක අනුව එරට විදුලි සැපයුම 2035 වන විට කාබන් විමෝචනවලින් තොර පිරිසිදු බලශක්ති සැපයුමක් වනු ඇත. එසේම, ශුද්ධ කාබන් ශුන්‍ය රටක් වීමේ ඉලක්කය ද 2050 වර්ෂයයි.

ඔහුගේ සැලසුම් අතර රටේ ගොඩනැගිලි මිලියන හතරක බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් විමෝචන අඩු කිරීම ද වෙයි. ඒ සඳහා අපේක්ෂිත වියදම ඩොලර් ට්‍රිලියන දෙකක් පමණය. එසේම ප්‍රවාහනය හා විදුලිබලයෙන් ධාවනය වන රථ නිෂ්පාදනය සම්බන්ධව ද වියදම් කිරීමට ද ඔහු අපේක්ෂා කරයි. මේ හරහා රැකියා උත්පාදනය ද ඔහුගේ අපේක්ෂාවකි. එය ආර්ථිකයට වැදගත් වනු ඇත්තේ පශ්චාත්-COVID-19 තත්ත්වය හමුවේ ලෝකය මුහුණ දී ඇති තත්ත්වය නිසාය.

මෙවැනි පසුබිමක දී බයිඩන් විසින් ජෝන් කෙරී සිය විශේෂ දේශගුණ නියෝජිතයා ලෙස පත් කිරීම ද වැදගත් සිදුවීමකි. ඔබාමාගේ පාලන කාලයේ එරට රාජ්‍ය ලේකම් තනතුර දරා ඇති කෙරී වඩාත් ප්‍රකටව ඇත්තේ දේශගුණ වෙනස්වීම සම්බන්ධ ක්‍රියකාරිකයෙකු ලෙසය. පැරිස් ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවලදී ඇමරිකාව සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක් ඉටු කර ඇත්තෙකි.

කෙසේ වෙතත්, බයිඩන් ගන්නා තීරණවලට එරට සෙනෙට් සභාව අභියෝගයක් වනු ඇතැයි සිතිය හැකිය. මෙවරද පත්ව ඇත්තේ දේශගුණ වෙනස් වීම සම්බන්ධව බෙහෙවින් බෙදී පවත්නා සෙනෙට් සභාවකි. එහි බලය කාට හිමිවන්නේද යන්න තවමත් කිව නොහැකිය. ඇමරිකාව කියොටෝ සන්ධානයට අත්සන් තැබුව ද ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ට ඒ සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය ලබාගත නොහැකි විය. සෙනෙට් සභාවේ අනුමැතිය නොමැතිව ඔබාමා ගිවිසුමට අත්සන් තැබීම ද ගැටලුවක් වු අතර, ඔහුට සිය පාලනකාලයේදී පැරිස් ගිවිසුමට සෙනෙට් සභාවෙන් අනුමැතිය ගෙන අපරානුමත කරගැනීමට නොහැකි විය.


ඇමරිකාව වැදගත් ද?


ඇමරිකානු දේශපාලනය මෙන්ම ඇමරිකාවේ දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ක්‍රියාකාරිත්වය ද ලෝක පරිසරයට වැදගත්ය.

1997 දී අත්සන් කළ කියෝටෝ සන්ධානය බලාත්මක වීම සඳහා අවශ්‍ය වූ විමෝචනවලින් 55%ක් නිකුත් කරන රටවල් ප්‍රමාණය ලබාගෙන එය බලාත්මක තත්ත්වයට පත් කරගත හැකි 2005 වර්ෂයේ දී ය. එහෙත් ඒ වන විට එය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබිණි. දියුණුවන රටවලට පමණක් වගකීම පැවරුණු මේ සන්ධානයට එකඟ වීමට ඇමරිකාව අකමැති වූ අතර දිගින් දිගටම පෙන්වා දුන්නේ ලෝකයේ සියලු රටවලට වගකීම පැවරෙන ගිවිසුමක් අවශ්‍ය බවය. ඊට තවත් රටවල සහාය ලැබිණි. එසේ ලෝකයේ සියලු රටවලට හරිතාගාර විමෝචන සම්බන්ධ වගකීමක් පැවරෙන ගිවිසුම වූයේ පැරිස් ගිවිසුමයි. බැරැක් ඔබාමා ඊට එකඟ වුවද ඉන් පසු බලයට පැමිණි ට්‍රම්ප් එයින් ද බැහැර විය.

2018 සංඛ්‍යාලේඛන අනුව අද වන විට ඇමරිකාවේ හරිතාගාර වායු ප්‍රමාණය ලෝකයේ දෙවැනි තැන ගනියි. එය ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන අතරින් 15%ක් පමණ වේ. එවැනි තත්ත්වයකදී ලෝකයේ ප්‍රධාන විමෝචකයෙන් ගිවිසුමෙන් ඉවත් වීම ගැටලුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ වන විට යුරෝපයේ ඇතැම් අන්ත දක්ෂිණාංශික පක්ෂවල දැකිය හැකි දේශගුණ විරෝධී හා සංශයවාදී ප්‍රතිපත්තිවලට ද ඇමරිකාව පසුගිය කාලයේ දැක්වූ ක්‍රියාකාරකම් හේතු විය.

අනෙක් අතට ඓතිහාසික වශයෙන් ලෝකයේ වැඩිම කාබන් විමෝචන ප්‍රමාණයක් නිකුත් කර ඇති රට ලෙස ඇමරිකාව හැඳින්විය හැකිය. අද වන විට ඒක පුද්ගල විමෝචන ප්‍රමාණය ගත් විට ලෝකයේ සිව්වන තැන පසුවන්නේද ඔවුන්ය. එය ටොන් 16.56ක් පමණ වේ. මේ නිසා අද ලෝකය හමුවේ ඇති බරපතළ අර්බුදයට විසඳුම් සෙවීමේදී ඇමරිකාව සතු වගකීම සුළු කොට තැකිය නොහැකිය. ඇමරිකාවේ කටයුතු ඇමරිකාවට පමණක් බලපාන්නේ යැයි සිතීම නිවැරදි නැත. ඇමරිකාව දේශගුණ විසඳුමක් සඳහා සම්බන්ධ කරගැනීම වැදගත් වන්නේ මේ නිසාය.

Tuesday, March 10, 2020

ජාතිකවාදී රාජ්‍ය හා පරිසර සංරක්‌ෂණය...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.03.04, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/03/04/feature1.html


ජාතිකවාදය (Nationalism) හා පරිසර ආරක්‌ෂාව යනු එකට යන ගමන් නො කරන සංකල්ප දෙකක්‌ බව සාමාන්‍යයෙන් පිළිගත් කරුණකි. මේ සඳහා බොහෝ දෙනා දක්‌වන නිදසුනක්‌ වන්නේ ජාතිකවාදී මතවාදයක්‌ සහිත රජයයක්‌ බලයට පත් වූ රටවල පරිසර ප්‍රතිපත්ති වෙනස්‌ වන අන්දමයි.

මේ සඳහා ඇති ආසන්න ම ජගත් මට්‌ටමේ උදාහරණය වන්නේ නූතන ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ එරට ඇති වී තිබෙන වෙනස්‌කම් ය. ඔහු බලයට පත් වීමට පෙර අට වසරක කාලයක්‌ එරට පාලනය කළ ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික ජනාධිපති බැරැක්‌ ඔබාමාගේ කාලයේ දී, ඊට පෙර ඇමෙරිකාව ගෙන ගිය පරිසර ප්‍රතිපත්තිවල යම් වෙනස්‌කම් ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව අවශ්‍ය පියවර ගැනීමට ඇමෙරිකාව ප්‍රමාද වීම දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ලෝකය ගත් උත්සාහයට බරපතළ ගැටලුවක්‌ වී තිබිණි. එහෙත් ඔබාමා පාලනය යටතේ ඒ තත්ත්වය තරමක්‌ වෙනස්‌ වී සුබවාදී ප්‍රවේශයක්‌ දැකිය හැකි විය. අවාසනාවකට මෙන් ඔබාමා පාලනය යටතේ ගත් පරිසර හිතකාමී පියවර ගණනාවක්‌ ම ආපසු හැරවීමට හෝ නවතා දැමීම සඳහා හෝ ඉන්පසුව බලයට පැමිණි ට්‍රම්ප් ක්‍රියා කළේ ය. දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව මේ වන විට ඇති වැදගත් ම එකඟතාව වන පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීම සඳහා ද ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකාව තීරණය කළේ ය. දේශීය වශයෙන් ද ඔහු ගත් ඇතැම් පියවර ද පාරිසරික වශයෙන් අහිතකර වූ බව ප්‍රකට කරුණකි.

සාමාන්‍යයෙන් ජාතිකවාදී මෙන්ම දක්‌ෂිණාංශික දේශපාලන ව්‍යාපාර පරිසරය හා සම්බන්ධව අසුබවාදී එකක්‌ බව පිළිගැනෙයි. එයට හේතුව දක්‌ෂිණාංශික පක්‌ෂ පරිසර කරුණු දෙස බලන්නේ ද ජාතික වූ හා සංස්‌කෘතික ඇසින් මෙන්ම භූමිය පිළිබඳ ඇසින් ද යන දෙකෙන් ම වන නිසා ය. මේ නිසා ඔවුන් පාරිසරික ගැටලු සම්බන්ධ ව ගන්නා ප්‍රවේශය දේශීය එකක්‌ වන අතර ජගත් මට්‌ටමේ එකක්‌ නො වේ.


ජාතික දේශසීමා ඉක්‌මවා ගිය පරිසර ගැටලු


එහෙත් සමහර පාරිසරික ගැටලු ජාතික මට්‌ටමෙන් ඔබ්බට ගිය ඒවා වෙයි. ඒවාට මිනිසුන් විසින් සකස්‌ කරගනු ලැබ ඇති දේශසීමා වලංගු නො වේ. මෙවැනි තත්ත්ව ලෝකයේ දැකිය හැකි වූයේ බොහෝ කලක පටන් ය. අම්ල වැසි මෙන්ම රටවල් හරහා ගලා යන ගංගාවල දැකිය හැකි ජල දූෂණය වැනි අර්බුද සමඟ ජාතික රාජ්‍ය ම`ගින් පාලනය කළ නොහැකි පාරිසරික ගැටලු ඇති බව ලෝකයට පැහැදිලි විය. ඒ ගැටලුවලින් පරිසරය හා ඒ ඒ රටවල ජනතාව ආරක්‌ෂා කරගැනීමට නම් ජාතික මට්‌ටමින් ඔබ්බට ගිය විසඳුම් අවශ්‍ය විය. එවැනි අවස්‌ථාවක දී ජගත් මට්‌ටමේ උත්සාහයක්‌ අවශ්‍ය විය. එම ගැටලු විසඳීමේ අරමුණ ඇති ව ගත් ප්‍රයත්න නිසා නූතන ජගත් පරිසර ව්‍යාපාරය ද ක්‍රමයෙන් වර්ධනය වූයේ ය. එහි දී බොහෝ රාජ්‍ය ස්‌වකීය දේශපාලන ප්‍රතිපත්ති කෙසේ වෙතත් ජගත් මට්‌ටමේ ක්‍රියාමාර්ගවලට අනුගත වූයේ එම ගැටලුවල බරපතළ තත්ත්වය නිසා ය.

අද දැකිය හැකි බරපතළ පාරිසරික ගැටලු වන දේශගුණ වෙනස්‌ වීම හා ඕසෝන් ස්‌තරය විනාශ වීම වැනි ගැටලු මේ සඳහා හොඳ ම නිදසුන් වෙයි. ඕසෝන් ස්‌තරය ආරක්‌ෂා කරගැනීම ලෝකයේ සියලු ම රාජ්‍ය එක්‌ ව ගත් ජගත් මට්‌ටමේ උත්සාහයක ප්‍රතිඵලයකි. ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්ති අතර ම ජගත් මට්‌ටමෙන් ඇති කරගත් එකඟතා සමඟ කටයුතු කිරීම අවශ්‍ය විය. අද වන විට දේශගුණ වෙනස්‌ වීම සඳහා ද ගෝලීය මට්‌ටමේ ක්‍රියාකාරිත්වයක්‌ අවශ්‍ය ව තිබෙයි. ඒ වර්තමාන දේශගුණ වෙනස්‌ වීමේ අහිතකර බලපෑම් ලෝකයේ සියලු රටවලට එක ලෙස බලපාන බැවිනි. එය ඒ ඒ රටවල් සිදු කරන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත ර`දා පවතින්නක්‌ නම් නො වේ. (තවමත් දැකිය හැකි දේශගුණ සංශයවාදීන් විවිධ රටවල සිටිය ද, හරිතාගාර වායු විමෝචනය වීම, මිහිතල උණුසුම් වීම හා දේශගුණ වෙනස්‌ වීම මේ වන විට පිළිගත් බරපතළ පාරිසරික අර්බුදයකි). අද අපේ රට වුව ද අද මුහුණ පා ඇති තත්ත්වය එබඳු ය - අපේ හරිතාගාර වායු දායකත්වය කෙබඳු වුවත් අපට එහි බලපෑමට ලක්‌ වීමට සිදු වෙයි. මෙවැනි තවත් ගැටලුවක්‌ ලෙස ආසියානු දුඹුරු වලාව ලෙසින් හඳුන්වන ලද ආසියානු කලාපයේ දැකිය හැකි පරිසර දූෂක වායුවලින් සමන්විත වලාව දැක්‌විය හැකි ය.


ජාතිකවාදී පරිසරවාදයක්‌?


කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ හඳුනාගෙන ඇති ප්‍රවණතා අතර පරිසර හිතවාදී ලක්‌ෂණ සහිත ජාතිකවාදී ප්‍රවණතා පිළිබඳව ද සඳහන් වේ.

පරිසර ජාතිකවාදය (Eco-nationalism) යනුවෙන් හඳුන්වනු ලබන්නේ එවැනි ලක්‌ෂණ සහිත මතවාදයකි. එය හරිත ජාතිකවාදය (Green nationalism) හෙවත් පාරිසරික ජාතිකවාදය (Ecological nationalism) යනුවෙන් ද ඇතැම් විට හඳුන්වනු ලැබේ. එහි දැකිය හැකි ලක්‌ෂණ වන්නේ ජාතිකමය ලක්‌ෂණ සහිත පරිසර දෘෂ්ටියක්‌ තිබීම ය. නිදසුනක්‌ ලෙස විදේශීය රටවලින් ආනයනය කරනු ලබන ඉන්ධන හා බලශක්‌තිය වෙනුවට විකල්පය ලෙස තම රට ඇතුළත ප්‍රමාණවත් තරම් බලශක්‌තියක්‌ ජනනය කිරීම දැක්‌විය හැකි ය. මෙසේ තම රටේ දී බලශක්‌තිය ජනනය කිරීම ම`ගින් බලශක්‌තියෙන් ස්‌වයංපෝෂිත වූ රටක්‌ ලෙස බ්‍රසීලය දක්‌වනු ලැබේ. කෙසේ වෙතත් බලශක්‌තිය ම රටේ ම නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය සඳහා ලෝකයේ සෙසු රටවල් ද උත්සාහ කර ඇතත්, එය අසාර්ථක වූ අවස්‌ථා ද දැකගත හැකි ය.

එමෙන් ම මේ ආකාරයෙන් සිදු කරන තවත් ජාතිකවාදී හා පරිසර හිතවාදී ක්‍රියාවක්‌ වන්නේ දේශීය ව දැකිය හැකි ජීවී විශේෂ හා භූදර්ශනවල වැදගත්කම හා සංකේතාත්මකව හුවා දැක්‌වීමයි. සංරක්‌ෂණ කටයුතුවල දී එවැනි දේශීය ජීවී විශේෂ හා භූ දර්ශන සඳහා ප්‍රමුඛතාව ලබා දීම දැකිය හැකි ය. මෙතෙක්‌ කල් වන වගා වැනි කටයුතු සඳහා යොදාගත් විදේශීය ශාක වෙනුවට දේශීය ශාක පමණක්‌ යොදාගැනීම දැක්‌විය හැකි ය. මෙය දේශපාලන දෘෂ්ටියකින් කෙසේ වෙතත්, පාරිසරික දෘෂ්ටියකින් සමහර රටවල් ම`ගින් ක්‍රියාත්මක කරනු ලබන්නකි. එහි පාරිසරික ප්‍රයෝජන ද බෙහෙවින් ඇත. මේ ආකාරයෙන් පාරිසරික වශයෙන් වැදගත් භූ දර්ශන ජාතිකමය වැශයෙන් වැදගත් සේ දක්‌වන අවස්‌ථා සඳහා නිදසුන් බොහෝ රටවලින් අපට ලැබේ. නිදසුනක්‌ ලෙස ඕස්‌ටේ්‍රලියාවේ පිහිටා ඇති මහා බාධක පරය දැක්‌විය හැකි ය. එය එරට විසින් සලකනු ලබන්නේ ජාතික වශයෙන් වැදගත් වූ සම්පතක්‌ ලෙස ය. එමෙන් ම සමහර රටවල් විසින් තම රටවල ජෛව විවිධත්වයෙහි සංකේතයක්‌ බඳු ජීවී විශේෂ හා පරිසර පද්ධති සඳහා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සංරක්‌ෂණ ප්‍රයත්න පවා මෙවැනි ක්‍රියාවලි සඳහා සාධක වෙයි.

පරිසර ජාතිකවාදය යම් ආකාරයකින් දේශපාලන වශයෙන් වැදගත් වූ අවස්‌ථා ඇති බව පෙන්වා දී තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් සෝවියට්‌ දේශය බිඳවැටීම සඳහා එහි සාමාජිකත්වය දැරූ විවිධ රටවල් තුළ පෙලඹවීමක්‌ ඇති කළ එක්‌ කරුණක්‌ ලෙස මෙය දක්‌වා ඇත. සෝවියට්‌ දේශය යටතේ පැවැති සමූහාණ්‌ඩු වූ එස්‌තෝනියාව, ලිතුවේනියාව හා යුකේ්‍රනය වැනි රටවල ඇති වූ නිදහස්‌ අරගල සඳහා සැලකිය යුතු බලපෑමක්‌ පාරිසරික විරෝධතා නිසා ඇති වූ බව සඳහන් වෙයි. ඒ වැඩි වශයෙන් න්‍යෂ්ටික බලයට විරෝධය පාමින් සිදු කරන ලද විරෝධතා ය. කෙසේ වෙතත් රුසියානුවන් විසින් සෝවියට්‌ සමූහාණ්‌ඩුවල සම්පත් කොල්ලකෑම හා ඒ රටවල ස්‌වාභාවික පදනම විනාශ කිරීමට කටයුතු කිරීම ද සෝවියට්‌ පාලනය Rජු ව සිදු කළ බව පෙනේ. ඒ නිසා ඇති වූ පරිසර හායනය එම සමූහාණ්‌ඩුවල ඇති වූ නිදහස්‌ ව්‍යාපාරවලට උත්තේජනයක්‌ සපයා ඇත.

කෙසේ වෙතත් පරිසර ජාතිකවාදය යන්නෙන් පරිසරය හෙවත් සොබාදහම සංස්‌කෘතික පරිසරයෙන් පිටත පවතින ව්‍යqහයක්‌ ලෙස සැලකීමක්‌ ද දැකිය හැකි ය. ඒ අනුව එය මානව සංස්‌කෘතියෙන් බාහිර වූ දෙයක්‌ වන අතර, හැකි හැම විට ම නොඉඳුල් ව හා ආරක්‌ෂිත ව තැබීමට කටයුතු කළ යුතු බවක්‌ මෙහි දී කියෑවේ. මෙවැනි ක්‍රියාවලියක්‌ දැකිය හැකි රටවල් සඳහා නිදසුන් ලෙස ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය වැනි රටවල් දක්‌වා ඇත.

මේ පරිසර ජාතිකවාදය දේශපාලන ප්‍රතිපත්ති හා සම්බන්ධ වූ වැදගත් අවස්‌ථාවක්‌ ලෙස ඇතැම් දේශපාලන පක්‌ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති දක්‌වා ඇත. ඒ සඳහා නිදසුනක්‌ ලෙස බ්‍රිතාන්‍ය ජාතික පක්‌ෂය විසින් 2005 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද එක්‌ ප්‍රතිපත්තියක්‌ දැක්‌විය හැකි ය. ඒ අනුව ඔවුන් බලයට පත් වුව හොත් එරටට පැමිණෙන මහා පරිමාණ විදේශක සංක්‍රමණ නැවැත්වීම සඳහා කටයුතු කරන බව පොරොන්දුවක්‌ විය. එම`ගින් එරට තුළ ඇති එක ම සැබෑ පරිසරවාදී 'හරිත' පක්‌ෂය ඔවුන් බව ද දක්‌වා තිබිණි. ඒ, සංක්‍රමණ නැවතීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වැනි කටයුතු සඳහා අවශ්‍ය සම්පත් හා අවකාශය ඉතිරි වන නිසා ය.


බටහිර පරිසර වාදය හා පෙරදිග අපි


කෙසේ වෙතත් අපේ රට වැනි පෙරදිග රටවල අනාදිමත් කාලයක සිය පැවතියේ පරිසරය හා සහජීවනයෙන් එකට ජීවත් වූ ජීවන ක්‍රමයකි. පරිසරය හා බැඳුණු සංස්‌කෘතියකින් යුක්‌ත මේ රටවල චින්තනය එය මානවකේන්ද්‍රීය වූ බටහිර චින්තනයට වඩා වෙනස්‌ වූවකි. එහෙත් අවාසනාවකට මෙන්, සියවස්‌ ගණනාවක යටත්විජිත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද අප විසින් අනුගමනය කරනු ලබන්නේ බටහිර සංවර්ධන ආකෘතියයි. එවැනි තත්ත්වයක්‌ ඇතුළත බටහිර පරිසරවාදය ම මෙරට තුළ ද අද වන විට ඇති වී තිබීම පුදුමයක්‌ නො වේ.

අද අප වැනි රටවල් හමුවේ ඇති අභියෝගය වන්නේ අපේ සංස්‌කෘතික වටිනාකම් තුළ පැවැති පරිසර හිතකාමී ජීවන රටාව නැවතත් ස්‌ථාපිත කිරීමට හැකි සංවර්ධන ආකෘතියක්‌ සකස්‌ කිරීම ය. එහෙත් මෙහි දී බටහිර සංවර්ධන ආකෘතියෙන් හා බටහිර විද්‍යාවෙන් ගත යුතු දේ තිබිය හැකි බව පැහැදිලි ය. ජාතිකවාදී මතවාදයක්‌ තුළ මෙය සිදු කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව පෙනේ.