Thursday, June 14, 2018

කට කැඩිච්ච කතා 02 - බ්‍රෙස්ට් එකට තිත තැබීම

​කෑම සඳහා මස් ටිකක් ගන්න මීට් ෂොප් එකකට ගිය වෙලාවක වුණු දෙයක්.

චිකන් පාට්ස් තෝරලා අරන්, තව දේවල් විකුණන්න (කවදාවත් නැතිව) වලිකන සේල්ස්මන් ගෙන් මිදී බිල දමන්නට කැෂියර් ළඟට ගියෙමි. එහි සිටි ටිකක් අැහැට-කනට පෙනෙන තරුණිය එකින් එක අයිතමය ගෙන බිල දමා අවසන් එකතුව ගත්විට එය රු. 289,870ක් වැනි ගණනක් විය. මම යමක් කීමට කලින්ම ඇය "බිල වැරදිලා" අන් අයටත් පවසා එහි මුද්‍රිත පිටපත අතට ගෙන යළි එකිනෙක කියමින් ඇතුල් කළාය.

අන්තිම අයිටම් එක ඇතුළු කරමින් වරද එහි බව හඳුනාගත් ඈ මෙසේ කීවාය. 

"බ්‍රෙස්ට් එකට තිත තියල නෑනෙ"

මට මද සිනාවක් නැගුනේ නිතැතින්මය. එම තරුණියටද ඇය කී කතාවේ කට කැඩිච්ච ගතිය තේරුණ බව වැටහී සිනා ගියේය. කියන්න දේ මගෙ කටට ආවත් වැඩිය නොඑන කඩයක් නිසා කට පියාගෙන එළියට ආවෙමි....  

මම දිය යුතුව තිබුණු උත්තරය කුමක්ද?

මාත් එක්ක ඇවිත් වාහනේටම වෙලා සිටි ඥාති සොහොයුරා කතාව අහලා කියනවා, අපරාදෙ ඔය වගෙ අය ඉන්නකොට මිස් කෝල් එකක් දෙන්න එපායැ කියලා. (හුහ්.., වෙන වැඩ නෑනෙ...)

(දැනට අැති අනිත් කට කැඩිච්ච කතාව මෙතැනින් කියවන්න. සත්‍ය අත්දැකීම්ය.)

Friday, June 1, 2018

පිට පිට තෙවැනි වසරේත් යළි ආ ගංවතුර

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.05.2018, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2018/05/30/feature4.html




මේ ගත වන්නේ නිරිතදිග මෝසම් වර්ෂා සමයයි. මේ කාලයේ දී රටේ බස්‌නාහිර හා නිරිතදිග ප්‍රදේශවලට සාමාන්‍යයෙන් දැඩි වර්ෂාපතනයක්‌ අපේක්‌ෂා කළ හැකි ය. සාමාන්‍යයෙන් මෙරටට වැඩි වර්ෂාවක්‌ ලැබෙන්නේ නිරිතදිග මෝසම් වර්ෂාවෙන් වන අතර, එබැවින් එම ප්‍රදේශවල සුළු වශයෙන් හෝ ගංවතුරක්‌ ඇති වීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. එය එම ප්‍රදේශවල වැසියන් සාමාන්‍යයෙන් අපේක්‌ෂා කරන දෙයකි. ඇතැම් ප්‍රදේශවල යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවීන් සූදානම් වන්නේ ගංවතුර ඇති වූ පසුව ය.

කෙසේ වෙතත්, සැලකිය යුතු තරමේ බරපතළ ආකාරයේ ගංවතුරක්‌ මේ වර්ෂයේ දී ද ඇති වී තිබේ. මැයි 27 වැනි දා වන විට නිකුත් කර ඇති නිවේදනයට අනුව 166,228ක පමණ පිරිසක්‌ ආපදාවෙන් බලපෑමට පත් ව ඇති අතර, මරණ 23ක්‌ සිදු වී ඇත. වැඩි ම පිරිසක්‌ බලපෑමට ලක්‌ ව ඇත්තේ පිළිවෙළින් ගම්පහ, පුත්තලම, රත්නපුර, කොළඹ හා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කවල ය.

මෙහි ඇති වැදගත් කරුණ වන්නේ අඛණ්‌ඩ ව මැයි-ජුනි කාලයේ ගංවතුරක්‌ ඇති වූ තුන්වැනි වර්ෂය මෙය වීමයි. මීට පෙර 2016 වර්ෂයේ දී මෙන් ම 2017 වර්ෂයේ දී ද මහා ගංවතුර තත්ත්ව ඇති විය. 2016 වර්ෂයේ දී ඇති වූ ගංවතුර නිසා වැඩි බලපෑමක්‌ ඇති වූයේ කැලණි නිම්නයේ පිහිටා ඇති ප්‍රදේශවලට ය. එහෙත් 2017 වර්ෂයේ ගංවතුරින් වැඩි බලපෑමක්‌ ඇති වූයේ කළු, ගිං හා නිල්වලා නිම්නවලට ය. එම අවස්‌ථා දෙකෙහි දී ම ඇති වූ බලපෑම නිසා සමාජයේ වැඩි අවධානයක්‌ ගංවතුර කෙරෙහි යොමු වූ බව සඳහන් කළ යුතු ය.

ජීවිත 99ක්‌ පමණ අහිමි වූ 2016 වර්ෂයේ දී ඇති වූ තත්ත්වය පිළිබඳ ව සැලකිල්ලට ගනිමින් සකස්‌ කර ඇති ජගත් දේශගුණ ආපදා සුචිය (Global Climate Risk Index 2018) නම් සුචියේ දී ශ්‍රී ලංකාව දේශගුණ ආපදා දර්ශකයේ සිව්වැනි තැනට පත් ව ඇති බව වාර්තා වූයේ ද පසුගිය සතියේ දී ය. ආන්තික කාලගුණ තත්ත්ව හා සම්බන්ධ ආපදා නිසා වන, හානි පිළිබඳ ව සලකා බලමින් මේ වාර්තාව Greman Watch නම් ආයතනය විසින් සකස්‌ කරනු ලැබ ඇත. මෙහි දී දර්ශක හතරක්‌ යොදාගෙන ඇත. ඒ මරණ ප්‍රමාණය, ජනගහනයේ 100,000කට මරණ ගණන, හානියේ වටිනාකම ක්‍රය ශක්‌ති සාම්‍යය ලෙස (ඇමෙරිකානු ඩොලර්වලින්) හා දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට හානිය යන දර්ශක ය. මේ සුචිය අනුව අනුව ලංකාව පසු වන්නේ හයිටි, සිම්බාබ්වේ හා ෆීජි යන රාජ්‍යවලට පසුව වන අතර, ලංකාවේ ලබා ඇති අගය 11.50කි. ගංවතුරින් හානි සිදු නො වූ 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකාව පසු වූයේ 98 වැනි ස්‌ථානයේ වීම සැලකිල්ලට ගත යුතු ය. මේ අනුව පෙනෙන්නේ ඉහළ යන ආපදා ගැන අප අවධානය යොමු කළ යුතු බවයි. (මූලාශ්‍රය- https://germanwatch.org/en/14638)

ගංවතුරට බලපාන වර්ෂාපතන තීව්‍රතාව


මේ වර්ෂයේ දී ද ගංවතුර ඇති වීමට ප්‍රධාන හේතුව වර්ෂාපතන තීව්‍රතාව (rainfall intensity) බව පැහැදිලි ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් කෙටි කාලයක්‌ ඇතුළත වැඩි වර්ෂාපතනයක්‌ ලැබීම මේ ගංවතුර තත්ත්වයට හේතු වී තිබේ. මෑත කාලයේ දී වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යන බව ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියානු අධ්‍යයන මඟින් ද පෙන්වා දී තිබෙයි.

ජගත් දේශගුණ ආකෘති මඟින් පැහැදිලි කර ඇති ආකාරයට දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යැම සිදු විය හැකි ය. ඒ අනුව මෙය මානව බලපෑමෙන් සිදු වන්නක්‌ ලෙස සැලකිය හැකි ය. අතීතයේ වසර 10 -15කට වරක්‌ දැකිය හැකි වූ මහා ගංවතුර තත්ත්ව දැන් දැන් නිතර ඇති වීමට හේතුව එවැන්නක්‌ විය හැකි ය. කෙසේ වෙතත් මානව සාධක දේශගුණ වෙනස්‌ වීම සඳහා හේතු වී ඇති අතර, ඇති වන ගංවතුර ආපදාව උග්‍ර කිරීම සඳහා ද මානව ක්‍රියාකාරකම් හේතු වන බව පැහැදිලි ය.

පසුගිය දින කිහිපයේ දී ලැබුණු වර්ෂාපතනය පිළිබඳ ව විමසීමක්‌ සිදු කළ හොත් කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාපතනයක්‌ ලැබීම මේ වර්ෂයේ දී ද සිදු ව ඇති බව පැහැදිලි වනු ඇත. එනම් සාමාන්‍යයෙන් මේ කාලයට ලැබෙන වර්ෂාපතනයට වඩා අධික වර්ෂාපතනයක්‌ ලැබී ඇති බවයි. මේ සමඟ ඇති වගුවෙන් දැක්‌වෙන්නේ මැයි 15 සිට 26 දින දක්‌වා වූ කාලය ඇතුළත වැඩි ම වර්ෂාපතනයක්‌ ලැබී ඇති ප්‍රදේශ මොනවා ද යන්න ය.

අදාළ දින පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24ක කාලය ඇතුළත ඉහළ ම වර්ෂාපතනය වාර්තා වූ ප්‍රදේශ



මෙමඟින් බැලූ බැල්මට පෙනෙන ආකාරයට වැඩි ම වර්ෂාපතනයක්‌ ලැබී ඇත්තේ වයඹ පළාතේ ස්‌ථානවලට ය. ගංවතුරේ වැඩි බලපෑමක්‌ කළ බවක්‌ මාධ්‍යවලින් පෙනෙන්නේ ද වයඹ පළාතෙනි. එසේ ම වාර්තා වන පරිදි පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් ජලාශ වාන් දමන තත්ත්වයකට පත් ව ඇත්තේ දශක කිහිපයකට පසුව ය. කෙසේ වෙතත් වයඹ පළාතට අධික වැසි ලැබුණු ඒ දිනවල කළු හා කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවලට ද සැලකිය යුතු තරම් ඉහළ වර්ෂාපතනයක්‌ ලැබී තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මැයි 21 පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය ආණමඩුව ප්‍රදේශයෙන් (මි.මී. 353.8) වාර්තා වූ අතර, ආඬිගම හා කමාල්සේරම් ප්‍රදේශවලින් පිළිවෙළින් මිලිමීටර් 339ක්‌ හා 302ක්‌ වූ වර්ෂාපතනයක්‌ වාර්තා වී තිබිණි. එසේ ම එම පැය විසි හතරක කාලය ඇතුළත දී රත්නපුරයේ කුඩව ප්‍රදේශයෙන් මිලිමීටර් 232ක, කුකුළේගඟ ප්‍රදේශයෙන් මිලිමීටර් 227ක හා ඇහැලියගොඩින් මිලිමීටර් 201.5ක වර්ෂාපතනයක්‌ වාර්තා වී තිබිණි. එසේ ම 25 වැනි දා පෙරවරුවෙන් අවසන් වූ පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය ලැබුණේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථානයකට වුව ද ගම්පහ (මි.මී. 138.5), නිට්‌ටඹුව (මි.මී. 133.6) වැඩි වර්ෂාපතන වාර්තා විය. මේ අනුව කළු, කැලණි ගංගාවල මෙන් ම අත්තනගලු ඔයේ ඉහළ ප්‍රදේශවලට ද වැඩි වර්ෂාපතනයක්‌ ලැබී ඇති බව පැහැදිලි ය. ඒ නිසා එම ගංගා නිම්නවල ද ගංවතුර තත්ත්ව ඇති විය.

මානව සාධකවල බලපෑම


කෙසේ වෙතත් ගංවතුර ඇති වීමට බලපෑ මූලික සාධකය කෙටි කාලයක්‌ තුළ ලැබුණු අධික වර්ෂාපතනය විය හැකි වුව ද ගංවතුරේ බලපෑම උග්‍ර වීම සඳහා මිනිස්‌ කටයුතු හේතු වී ඇති බව පැහැදිලි ය. ගංවතුරින් බලපෑමට ලක්‌ විය හැකි ප්‍රදේශවල ජනාවාස තනා තිබීම මින් එකකි. ගංවතුරින් බලපෑමට ලක්‌ ව ඇති ප්‍රදේශ අතරින් ඇතැම් ප්‍රදේශ කලකට පෙර පහත්බිම් ය. එනම් වැසි ජලය ස්‌වාභාවික ව බැස ගිය බිම් ය. මේ බිම්වල අද වන විට නිවාස හා වෙනත් ගොඩනැඟිලි ඉදි කර ඇත. ඒවා ජලයෙන් යට වීම පුදුමයට කරුණක්‌ නො වේ.

එසේ ම ගංවතුර බැස යන මාර්ග අවහිර වීම නිසා ගංවතුර බැස යැම සෙමින් සිදු වීම තවත් කරුණකි. ගංවතුර බැස යැමට අවහිර වන ආකාරයේ ඉදිකිරීම් කර තිබීම තවත් එකකි. ඇතැමුන් ගංවතුර ඇති වීම සඳහා එක ම හේතුව ලෙස දැක්‌වීමට උත්සාහ කරන අධිවේගී මාර්ගය වැදගත් වන්නේ මෙහි දී ය. එහෙත් අධිවේගී මාර්ගය ඉදි කිරීමට පෙර කාලයේ දී ද මහා ගංවතුර ඇති වී තිබේ. මේ සඳහා ආසන්න ම නිදසුන වන්නේ 2003 වර්ෂයේ ඇති වූ මහා ගංවතුර ය. එසේ ම අධිවේගී මාර්ගය විවෘත කරන ලද 2011 වර්ෂයෙන් පසු ව (එය ඉදි කරන ලද්දේ ඊට කලකට පෙර සිට ය) මැයි මාසයක දී අධික ගංවතුරක්‌ ඇති වූයේ 2016, 2017 හා 2018 වර්ෂවල දී ය. එම වර්ෂවල මැයි මාසවල දී වෙනත් වර්ෂවලට සාපේක්‌ෂ ව අධික වර්ෂාපතනයක්‌ ලැබී තිබේ. අනෙක්‌ අතට 2018 වර්ෂයේ දී ගිං හා නිල්වලා නිම්නවල 2017 තරම් අධික වර්ෂාවක්‌ ඇති නො වූ අතර, මහා ගංවතුරක්‌ ද දැකිය නොහැකි විය. අධිවේගී මාර්ගයේ ඇතැම් ස්‌ථානවලින් ගංවතුර බැස යැමට අවහිරතා ඇති වී තිබිය හැකි වුව ද, එය ගංවතුර ඇති වීමට එක ම හේතුව නො වේ. අධිවේගී මාර්ගය ඉදිකිරීමට පෙර 2003 වැනි වර්ෂවල විනාශකාරී මහා ගංවතුර තත්ත්ව ඇති වූ අතර, අධිවේගී මාර්ග නොමැති ප්‍රදේශවල ද ගංවතුර ඇති වේ.

අනෙක්‌ අතට මේ වර්ෂයේ දී මෙවැනි සංවර්ධන කටයුත්තකින් අවහිරයක්‌ සිදු ව නොමැති ප්‍රදේශ ද ගංවතුරේ බලපෑමට ලක්‌ ව තිබීම ද වැදගත් ය. නිදසුනක්‌ ලෙස කුලියාපිටිය, පුත්තලම වැනි ප්‍රදේශ දැක්‌විය හැකි ය. මේ ප්‍රදේශවලට වැටුණු වර්ෂාපතනය ඒ ප්‍රදේශවලට සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතන අගය ඉක්‌මවා ගොස්‌ ඇත්තේ ද යන්න සොයා බැලිය යුතු කරුණකි. ඒ අනුව ගංවතුර සඳහා වර්ෂාපතන තීව්‍රතාව බලපා ඇති ආකාරය අධ්‍යයනය කළ හැකි ය.

කෙසේ වෙතත් මෙහි දී සඳහන් කළ යුතු කරුණක්‌ වන්නේ අපේ සියලු කටයුතු - සංවර්ධන සැලසුම් ආදිය - සකස්‌ කිරීමේ දී මේ වන විට මෙන් ම අනාගතයේ දී ද ඉහළ යා හැකි වර්ෂාපතන තීව්‍රතාව පිළිබඳ ව අවධානය යොමු කිරීම වැදගත් වන බව ය. එසේ ම ඊට බලපාන හරිතාගාර වායු විමෝචන පාලනය පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් ය. රටක්‌ ලෙස ගත් විට ශ්‍රී ලංකාවෙන් නිකුත් කරනු ලබන හරිතාගාර වායු විමෝචන, සුළු ප්‍රමාණයක්‌ වුව ද, ඒ සුළු ප්‍රමාණයේ යම් හෝ අඩු කිරීමක්‌ සිදු කළ හැකි නම් එය හරිතාගාර ආචරණය අඩු කිරීමට සිදු කරන දායකත්වයකි. එමඟින් වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යැම වැනි ආන්තික කාලගුණ තත්ත්ව අඩු කිරීමට සුළුවෙන් හෝ දායකත්වයක්‌ ලබා දීමට හැකි ය.