Friday, July 22, 2016

සංරක්‌ෂණ පණිවිඩයේ ඉලක්‌කය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.07.2016, පි. 5

(Vidusara, 20.07.2016, Target of the Conservation message)

http://www.vidusara.com/2016/07/20/feature1.html




නූතන සමාජයේ බොහෝ විට දැකිය හැක්‌කේ පරිභෝජනවාදී ආකල්ප කුලුගැන්වෙන තත්ත්වයකි. පොදුවේ ගත් විට සමාජයේ දැකිය හැකි විවිධ ප්‍රවණතා මෙන්ම ජනමාධ්‍ය ඔස්‌සේ අප දකින දේ අපව පොලඹවන්නේ සම්පත් තිරසර ආකාරයෙන් පරිහරණය කිරීමට නම් නො වේ. ජනමාධ්‍ය ඔස්‌සේ අද දකින, අසන හා කියවන බොහෝ වැඩසටහන්, ලිපි හා වෙළෙඳ දැන්වීම් ආදිය බොහොමයක මේ තත්ත්වය දැකිය හැකි ය. ඇතැම් විට සම්පත් හැකිතාක්‌ වැඩි වැඩියෙන් පරිහරණය කිරීම සඳහා ය. කිසිදු ඵලක්‌ නොමැති දෙයක්‌ භුක්‌ති විඳීම සඳහා ය. අත්‍යවශ්‍ය නො වන දේ පවා භුක්‌ති විඳීමට හා රැස්‌ කිරීමට පෙලඹවීම පිණිස ය. මේ සියල්ල අද අප අනුගමනය කරන බටහිර ආකෘතියේ ජීවන රටාවේ ලක්‌ෂණ වේ. මේ සියලු දේ මගින් අප පොලඹවන්නේ වැඩි වැඩියෙන් සම්පත් පරිභෝජනය සඳහා ය. නිෂ්පාදනය සඳහා ය.

මෙසේ විවිධ ද්‍රව්‍ය පරිහරණයේ දී හුදෙක්‌ සිදු වන්නේ සම්පත් අධි පරිභෝජනය හා සම්පත් ක්‌ෂය වීම පමණක්‌ ම නො වේ. සම්පත් අධි පරිහරණය හා ඒ නිසා ම සිදු වන ක්‌ෂය වීම බරපතළ ගැටලූවක්‌ බව සැබෑවකි. ඒ නිසා ඇතැම් සම්පත්වල තිරසර පරිහරණයට ද අභියෝගයක්‌ ඇති විය හැකි ය. විශේෂයෙන් අනාගත පරපුරේ පරිහරණය සඳහා අවශ්‍ය සම්පත් ප්‍රමාණය ගත් විට මේ ගැන යළි සිතා බැලීමට සිදු වේ. එහෙත්, අද දවසේ දැකිය හැකි පරිභෝජනයේ ප්‍රතිඵලය වන අපද්‍රව්‍ය ජනනය පිළිබඳ ගැටලුව මෙහි දී අප ගේ සැලකිල්ලට ලක්‌ විය යුතු කරුණක්‌ වේ.

නිදසුනක්‌ ලෙස ගත හොත්, නැවත නැවත භාවිතයට ගත හැකි වීදුරු බෝතල වෙනුවට දැන් දැන් අපට සිදු ව ඇත්තේ වරක්‌ භාවිතයෙන් පසු ඉවත ලිය හැකි ප්ලාස්‌ටික්‌ බෝතලයක්‌ හෝ ටෙට්‌රා ඇසිරුමක එන ද්‍රව්‍ය මිල දී ගැනීමට ය. මේවා දිරා යැමට බොහෝ කාලයක්‌ ගත වන ඒ නිසා ම බොහෝ පාරිසරික ගැටලූ ඇති කළ හැකි ද්‍රව්‍ය අතර වේ. ඒ ඒවා පරිසරයට බැහැර කළ විට දිරා යැමට කලක්‌ ගත වන බැවිනි. එහෙත් පහසුව හා සෞඛ්‍යාරක්‌ෂාව මුල් කරගත් අපි එය දෙවැනි ගැටලුවක්‌ සේ අමතක කර දමමු. එහෙත් අපට කලක්‌ තිස්‌සේ පුරුදු වීදුරු බෝතල හා බඳුන් එසේ නො වේ. ඒවා නැවත නැවත භාවිත කළ හැකි අතර, බිඳී ගිය ද සැලකිය යුතු ප්‍රමාණයක්‌ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ය. එහෙත් ඒවා මුලින් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයාට අධික පිරිවැයක්‌ දැරීමට සිදු වන අතර, නැවත භාවිතය සඳහා එකතු කිරීමේ දී ද යම් ශ්‍රමයක්‌ හා මුදලක්‌ වැය වීම සිදු වේ. ඊට සාපේක්‌ෂව, ප්ලාස්‌ටික්‌ ඇසුරුම් හා ටෙට්‌රා ඇසුරුම් යොදාගැනීම නිෂ්පාදකයාට ලාබදායක ය.

අනෙක්‌ අතට මෙවැනි ද්‍රව්‍ය පරිහරණය කරන අපට ක්‌ෂණිකව අමතක වන කරුණ වන්නේ එහි දී බැහැර කරනු ලබන ප්ලාස්‌ටික්‌ හා ප්ලාස්‌ටික්‌ මිශ්‍ර ද්‍රව්‍යවලට සිදු වන්නේ කුමක්‌ ද යන්න ය. ඒවා එකතු වන්නේ අපේ අපද්‍රව්‍ය ප්‍රවාහයට ය. අප එයට විසඳුමක්‌ සොයන්නේ වෙන ම ය. එහෙත් එය ද අප පෙර කී ජීවන ක්‍රමයේ ම ප්‍රතිඵලයකි. අපද්‍රව්‍ය ජනනයේ දී ම අවම කළ හැකි නම්, එම ගැටලුව විසඳාගත හැකි බව අපට අමතක වී ගොසිනි. මේ නිසා අපද්‍රව්‍ය ජනනය කිරීම අවම කිරීම පිළිබඳ පණිවිඩය දැන් බොහෝ දුරට අමතක ව ගොස්‌ කීව ද නිවැරැදි ය. මේ ආකාරයෙන් ම පරිසරය හා සම්බන්ධ වෙනත් බොහෝ කරුණුවල දී ද වැදගත් කරුණ අමතක ව ගොස්‌ ඇති බව කීවොත් එය නිවැරැදි ය.

සංරක්‌ෂණය පණිවිඩයේ ඉලක්‌කය


මෙවැනි තත්ත්වයක්‌ තුළ සංරක්‌ෂණ පණිවිඩය නිසි ලෙස ජනතාව අතරට ගෙන යැමේ දී එහි ඉලක්‌කගත පිරිස නිවැරැදි ලෙස තෝරාගැනීම වැදගත් වේ. නොඑසේ නම්, සිදු වන්නේ සංරක්‌ෂණ පණිවිඩය සඳහා යොදාගන්නා සම්පත් හා කාලය ද අපතේ යැමක්‌ විය හැකි ය. මේ අනුව පොදුවේ පරිසර සංරක්‌ෂණ පණිවිඩය ජනතාව අතරට ගෙන යැමේ දී මුහුණ දෙන අභියෝග පිළිබඳව ජගත් මට්‌ටමේ දී බොහෝ දේ වරින් වර සාකච්ඡාවට ලක්‌ ව තිබේ. පරිසර අධ්‍යාපනයේ අසාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා වන්නේ ද මෙවැනි පසුබිමක්‌ යටතේ දී ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, සංරක්‌ෂණය සඳහා ජනතාව පෙළගැස්‌වීම එක්‌තරා ආකාරයක අභියෝගයකි. ඊට එක්‌ නිදසුනක්‌ ලෙස මෑතක දී අප දුටු එක්‌ අධ්‍යයන වාර්තාවකින් හෙළි වන කරුණක්‌ දැක්‌විය හැකි ය.

එම අධ්‍යයනය ජල සංරක්‌ණය කිරීම පිළිබඳ පණිවිඩය ගෙන යා යුත්තේ කවුරුන් වෙත ද යන්න සම්බන්ධ ව කළ අධ්‍යයනයකි. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් පිරිසක්‌ යොදාගනිමින්, බොහෝ දුරට අන්තර්ජාලය පාදක කරගනිමින් සිදු කළ එම අධ්‍යයනයේ දී හෙළි වූ පරිදි ඔවුන් ජල පරිභෝජනය මත පිරිස්‌ කාණ්‌ඩගත කරගෙන තිබේ. ඉන් එක්‌ පිරිසක්‌ වන්නේ ජල සංරක්‌ෂණයක්‌ කිසිසේත් සිදු නො කරන පිරිස්‌ වන අතර, තවත් පිරිසක්‌ වන්නේ ජලය ගැන මදක්‌ හෝ සිතන පිරිසයි. එහි දී හෙළි ව ඇති අපූරු කරුණක්‌ වූයේ, තවදුරටත් ජල සංරක්‌ෂණය කළ යුතු නම් ඒ සඳහා ඉලක්‌ක කරගත යුත්තේ දැනටමත් ජලය මදක්‌ හෝ ඉතිරි කරන්නට පෙලඹී ඇත්තේ මේ දෙවැනි කාණ්‌ඩයේ පිරිස්‌ බව ය. ඔවුනට පැහැදිලි වී ඇති ආකාරයට දැනටමත් කිසියම් ජල සංරක්‌ෂණයක යෙදී සිටින මේ පිරිස්‌ අතර වුව ද යම් යම් අංශවල තවදුරටත් සංරක්‌ෂණ අදහස්‌ සඳහා අවස්‌ථා තිබේ. ඒ ඔස්‌සේ කටයුතු කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක්‌ අත්පත් කරගත හැකි ය. තම එදිනෙදා ජල භාවිතයේ දී කිසිදු ආකාරයක සංරක්‌ෂණයක්‌ සිදු නො කරන පිරිස්‌වලට වඩා වැඩි සංරක්‌ෂණ අවස්‌ථාවක්‌ ඇත්තේ මේ පිරිස ගැන අවධානය යොමු කිරීමෙනි. (මූලාශ්‍රය: Environmental Management, DOI: 10.1007/s00267-016-0706-2)

උක්‌ත අධ්‍යයනය මගින් කියෑවෙන එක්‌ වැදගත් කරුණක්‌ වන්නේ සංරක්‌ෂණ පණිවිඩය මගින් මේ වන විට පවා ඉලක්‌ක කරගෙන ඇති පිරිස්‌ අතර වුව ද තවදුරටත් ගුණාත්මක වශයෙන් යම් වර්ධනයක්‌ සිදු කළ හැකි බවයි. එය සංරක්‌ෂණ පණිවිඩයේ මෙන්ම පරිසර අධ්‍යාපනයේ සාර්ථකත්වයට ද වැදගත් වන බව පැහැදිලි ය. විශේෂයෙන් මේ වන විට ද යම් ප්‍රමාණයකින් හෝ පරිසර සංවේදී තත්ත්වයක පසු වන පිරිස අතර පවා තවදුරටත් වර්ධනයක්‌ කළ හැකි වීම එක්‌තරා ආකාරයක ජයග්‍රහණයකි. සංරක්‌ෂණය පණිවිඩය තේරුම්ගන්නා පිරිස්‌ ඊට අලුතින් එක්‌ වන්නේ නම් එය එය වැදගත් බව සත්‍යයකි. එහෙත්, ඉහත දැක්‌වූ ආකාරයට දැනටමත් පරිසර සංවේදී පිරිස්‌ මගින් සංරක්‌ෂණය සඳහා වැඩි ප්‍රයෝජනයක්‌ ලබාගැනීමට හැකි වීම ඊටත් වඩා ඵලදායී ය. ලෝකයේ බොහෝ රටවල දී පරිසරය පිළිබඳව සිදු කරන සියලු කටයුතුවල පාහේ නියෑළෙන්නේ බොහෝ විට ආකල්පමය වශයෙන් එක ම පිරිසක්‌ වීම තුළින් පැහැදිලි වන්නේ ද මේ කරුණ ම බව අපට සිතේ. එය ඇතැම් විට ඔවුන් ගේ සමාජ පසුබිම හා බැඳී පවතින්නක්‌ විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මහා පරිමාණ පස්‌ හා බොරලු කැපීමකට විරුද්ධ ව පාරට බසින ජනතාව හා විල්පත්තුව වැනසීමට එරෙහි ව විරෝධතා දක්‌වන පිරිස සමාජමය හෝ පංතිමය වශයෙන් දෙපිරිසක්‌ විය හැකි ය. එහෙත් ඔවුන් තුළ පොදු සාධකයක්‌ තිබිය හැකි ය. ඒ මේ අය සෙසු ජනතාවට වඩා පරිසරය පිළිබඳව වඩා සංවේදී වීම ය. (අප මෙහි දී සඳහන් කරන්නේ මෙවැනි කටයුතුවලට වෙනත් පෞද්ගලික අරමුණුවලින් තොර ව අවංක ව පැමිණෙන පිරිස්‌ පිළිබඳ ව ය).

මේ පණිවිඩය ගෙන යා හැකි අය


මේ කරුණු පිළිබඳව ගැඹුරින් හැදෑරීමේ දී අපට පැහැදිලි වන කරුණක්‌ වන්නේ පරිසර සංවේදීතාව පිළිබඳව බලපාන වැදගත් දෙයක්‌ වන්නේ ඒ ඒ පුද්ගලයා ගේ ආකල්ප බවයි. පොදුවේ ගත් විට මේ ආකල්ප පිළිබඳ කරුණ හුදෙක්‌ සංරක්‌ෂණ පණිවිඩයේ සාර්ථකත්වට පමණක්‌ නො ව වෙනත් බොහෝ දේ සඳහා ද වැදගත් වේ.

පරිසරය සම්බන්ධව ගත් විට මේ ආකල්පමය වෙනස දැකගත හැකි හා බලපාන්නා වූ තවත් වැදගත් අංශයක්‌ වන්නේ පරම්පරා වෙනසයි. එය සංරක්‌ෂණය සඳහා වන දායකත්වය සඳහා බලපාන්නකි. සම්පත් සංරක්‌ෂණය මෙන්ම බලශක්‌ති සංරක්‌ෂණය වැනි ඇතැම් කරුණු අද වැඩිහිටි පරපුරේ ඇතැම් පිරිස්‌ වෙත ඒත්තු ගැන්වීම හා ඒවා අනුගමනය කිරීමට පෙලඹවීම තරමක්‌ අසීරු ය. පොදුවේ ගත් විට ඔවුන් වෙත සංරක්‌ෂණ පණිවිඩය ම ඒත්තු ගැන්වීම අසීරු ය. නිදසුනක්‌ ලෙස ගත හොත් විදුලි හා ජල පරිහරණයේදී අප ගත යුතු සංරක්‌ෂණවාදී පියවර ඒත්තු ගැන්වීම වඩාත් අසීරු වී ඇත්තේ වැඩිහිටි පරපුර වෙත ය. අපේ පෞද්ගලික අත්දැකීම් අනුව මෙය උගත්කම අනුව වෙනස්‌ නො වන තරම් ය. වැඩිහිටි පරපුරේ බොහෝ උගත් අය අතර මෙන්ම සාමාන්‍ය දැන උගත්කමක්‌ ඇති අය අතරට ද මේ සංරක්‌ෂණ පණිවිඩය ගෙන යැමේ අසීරුතාව අප අත්දැක තිබේ. ඔවුන් බොහෝ දෙනා තවමත් ජීවත් වන්නේ 'මයි කාර් - මයි පැට්‍රොaල්' න්‍යාය අනුගමනය කරන පසුබිමක හා තමන් දරන අදහස්‌ වෙනස්‌ කිරීමට අකැමැති වන තත්ත්වයක ය. ඔවුන් සඳහා වෙනස්‌ උපක්‍රම අනුගමනය කිරීමට සිදු වනු ඇත.

මේ සියලු කරුණු අනුව අපට එක්‌ දෙයක්‌ පැහැදිලි ය. එනම්, සංරක්‌ෂණයේ දී මිනිසුන් දරන ආකල්ප අමතක කළ නොහැකි දෙයක්‌ බව ය. එබැවින් අනාගත පරපුර කුඩා කාලයේ පටන් නිසි ආකාරයෙන් පරිසර අධ්‍යාපනයක්‌ ලැබීම වැදගත් වන්නේ මේ නිසා ය. එය පාසල් අවධියේ පටන් ම විධිමත් හා අවිධිමත් ආකාරයෙන් සිදු විය යුත්තකි.

http://www.vidusara.com/2016/07/20/feature1.html

Tuesday, July 19, 2016

ලොව සිව්දිගින් සම්භවය වී අපේ කෑම මේසයට ආ ආහාර භෝග


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 13.07.2016, පි. 14-15

(Vidusara, 13.07.2016, pp. 14-15, Food crops we consume were originated in all parts of the world)

http://vidusara.com/2016/07/13/feature5.html

මිරිස්‌ නොමැති ව පිළියෙල කළ ආහාර වේලක්‌ ගැන ශ්‍රී ලංකාවේ අපට සිතිය නොහැකි ය. අපේ ආහාර වේලේ ඇතුළත් බතල, අර්තාපල්, වට්‌ටක්‌කා වැනි ආහාර සාමාන්‍යයෙන් අපේ ආහාර වේලේ සුලබ ආහාර අතර වේ. කජු, අන්නාසි හා ගස්‌ලබු වැනි පලතුරු අපට නැති ව ම බැරි ආහාර අතර වේ. එහෙත් මේ සඳහන් කළ ශාක අපේ රටට හඳුන්වා දී ගත වී ඇත්තේ වසර පන් සියයකට අඩු කාලයක්‌ බව කිව හොත් ඒ බව ඇතැම් විට විශ්වාස කිරීම අසීරු ද විය හැකි ය. ඉහත සඳහන් සඳහන් කළ සියලු භෝග වර්ග දකුණු හා මධ්‍යම ඇමෙරිකාව නිජබිම කරගත් ශාක වේ. මෑත කාලයේ දී අපේ රටට හඳුන්වා දී ඇති ස්‌ට්‍රෝබෙරි වැනි පලතුරු ද ඇමෙරිකාව නිජබිම් කරගත් ශාක අතර වේ.

මේ ආකාරයෙන් ලෝකයේ එක්‌ ප්‍රදේශයක සම්භවය වන හා වගා කරනු ලබන භෝග ශාක විශේෂ වෙනත් ප්‍රදේශවලට හඳුන්වා දීම මිනිසුන් විසින් මානව ඉතිහාසය පුරා ම සිදු කරන ලද්දකි. ඒ මිනිසුන් ගේ පැවැත්මට ආහාරය වැදගත් වූ නිසා ය. මෙවැනි බොහෝ ආහාර භෝග වර්ග

රැසක්‌ අපේ එදිනෙදා පරිභෝජනයේ පවතී. එළවළු හා පලතුරු වර්ග රැසක්‌ මේ අතර වේ. එපමණක්‌ නො ව ඖෂධ, දැව, විසිතුරු ශාක ආදි වෙනත් භාවිත සඳහා යොදාගන්නා ශාක වර්ග ගණනාවක්‌ ද අපේ රටට විදේශීය රටවලින් හඳුන්වා දුන් ශාක අතර වේ. සමස්‌තයක්‌ ලෙස ගත හොත් ශ්‍රී ලංකාවේ දැකිය හැකි හාර දහසකට අධික ශාක වර්ග අතරින් 25%ක්‌ පමණ ප්‍රමාණයක්‌ විදේශීය රටවලින් හඳුන්වා දුන් ශාක වේ. මේ හඳුන්වා දුන් ශාක අතරින් ඇතැම් ශාක මේ වන විට ස්‌වාභාවිකකරණයට ලක්‌ ව ඇති බව ද සැලකිය යුතු කරුණකි.

අපේ රටෙන් මේ සඳහා නිදසුන් ඕනෑ තරම් දැක්‌විය හැකි ය. අපේ රටේ වැදගත් ආර්ථික භෝග දෙකක්‌ වන තේ හා රබර් යනු විදේශීය රටවලින් මෙරටට හඳුන්වා දුන් භෝග දෙකකි. අපේ රටට මේ ශාක දෙක ම හඳුන්වා දෙන ලද්දේ 19 වැනි සියවසේ දෙවැනි භාගයේ දී පමණ ය. බොහෝ ඖෂධමය ශාක පවා අපේ රටට විදේශීය රටවලින් පැමිණි ඒවා වේ. ශාක ඖෂධමය ප්‍රයෝජන සඳහා යොදාගෙන තිබේ. මේ බොහෝ ශාක අපේ ජන ජීවිතවවලට බද්ධ ව ඇත්තේ වෙන් කළ නොහැකි ආකාරයෙනි.





මේ තත්ත්වය අපේ රටට පමණක්‌ නො ව ලෝකයේ බොහෝ රටවලට පොදු කරුණකි. වර්තමාන තායිලන්තයේ හා ඉන්දියාවේ ආහාර වේල සඳහා ද මිරිස්‌ නැති ව ම බැරි දෙයකි. එසේ ම යුරෝපයේ රටවල් ගණනාවක ප්‍රධාන ආහාරයක්‌ වන අර්තාපල් යුරෝපයට පැමිණයේ ඇමෙරිකාවෙනි. ආසියානු සම්භවයක්‌ ඇති කුරුඳු ශාකය දැන් දකුණු ඇමෙරිකානු රටවල ද වවනු ලබන අතර, ඇමෙරිකානු සම්භවයක්‌ ඇති කජු ශාකය ඉන්දියාවේ වැවිලි වගාවකි. අනෙකක්‌ තබා ආගන්තුක ආක්‍රමණික ශාක ලෙස අප විසින් හඳුන්වනු ලබන ශාක අතරින් වැඩි ප්‍රමාණයක්‌ ද මිනිසුන් විසින් වුවමනාවෙන් ම අතීතයේ දී වෙනත් ප්‍රදේශවලට ගෙන යන ලද ශාක වේ.

ඓතිහාසික භෝග හුවමාරු

මෙවැනි එක්‌ හුවමාරුවක්‌ ලෝකයේ සෙසු එවැනි අවස්‌ථාවලට වඩා අධ්‍යයනයට ලක්‌ ව තිබේ. ඒ නව ලෝකය යනුවෙන් හඳුන්වනු ලබන ඇමෙරිකානු මහාද්වීපවලින් ලෝකයේ සෙසු මහාද්වීපවලට ද, ලෝකයේ සෙසු මහාද්වීපවලින් ඇමෙරිකාවට ද විවිධ ශාක හා සතුන් ශාක හා වෙනත් ද්‍රව්‍ය හඳුන්වා දුන් සිදුවීමයි. 15 වැනි සියවස අවසාන භාගයේ දී යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණීමෙන් පසුව (මෙය ක්‍රිස්‌ටෝපර් කොලම්බස්‌ විසින් ඇමෙරිකාව 'සොයාගනු ලැබීම' ලෙස ද හැඳින්වේ) ඇමෙරිකාව ජනාවාස කරගැනීම ආරම්භ විය. ඉන්පසුව ඇති වූ වෙළෙඳාම හා සමග ඇමෙරිකාවට විවිධ ශාක හා සතුන් හඳුන්වා දුන් අතර ඇමෙරිකාවෙන් විවිධ ශාක හා සතුන් යුරෝපයට, අප්‍රිකාවට හා ආසියාවට හඳුන්වා දෙනු ලැබිණි. මේ හුවමාරුව ශාක හා සත්ත්වයන්ට සීමා නො වූ අතර ලෙඩ රෝග, සංස්‌කෘතිය හා අදහස්‌, මිනිසුන්, තාක්‌ෂණය ආදි වශයෙන් මේ හුවමාරුව ඉතා පුළුල් වූවක්‌ විය. මේ සිදුවීම හැඳින්වෙන්නේ 'කොලම්බියානු හුවමාරුව' (Columbian exchange) යනුවෙනි. මේ අදහස මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ ඇල්ෆ්‍රඩ් ක්‍රොස්‌බි විසින් 1972 වර්ෂයේ දී පමණ ය.

ශාක හුවමාරුවක්‌ සේ ගත් විට, කොලම්බියානු හුවමාරුව සැලකිය යුතු තරම් වාර්තා සහිත හුවමාරුවක්‌ සේ සැලකිය හැකි ය. එහෙත් වාර්තා වී නොමැති නමුත්, අතීතයේ සිට මිනිසුන් ශාක හා සතුන් රටින් රටට ගෙන ගොස්‌ තිබේ. දුම්කොළ වැනි ශාක පවා අපේ කලාපයට පැමිණෙන්නේ ඒ ආකාරයෙනි. එපමණක්‌ නො ව, ඉන්දියාවෙන්, අග්නිදිග ආසියාවෙන්, මෑත පෙරදිග ප්‍රදේශවලින් ආදි වශයෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අපේ රටට ඉතිහාසයේ විවිධ කාලවකවානුවල දී විවිධ ශාක ගෙනැවිත් තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව, දේශාටකයන්, වෙළෙන්දන් පමණක්‌ නො ව පදිංචිය සඳහා පැමිණි සංක්‍රමණිකයන් ඇතුළුව විවිධ පිරිස්‌ පැමිණි රටකි. ඔවුන් ශාක ආදිය රැගෙන පැමිණි බව සිතිය හැකි ය.

කෙසේ වෙතත් ඇතැම් ශාක කුමන කාලයක දී මෙහි ගෙන ආවේ දැයි සොයාගැනීම අසීරු ය. මේ තත්ත්වය කෙතරම් ද යත්, ඇතැම් අවස්‌ථාවල දී නොදැනුවත්කම නිසා 'දේශීය' යන විශේෂණය යොදා හඳුන්වන විදේශීය ශාක ද දැකිය හැකි ය. කලකට පෙර විදේශීය රටවලින් හඳුන්වා දුන් බතල හා දෙල් ශාක මීට නිදසුන් වේ. එසේ ම මෑත කාලයේ දී හඳුන්වා දුන් වැඩිදියුණු කළ භෝග ප්‍රභේද නිසා, එම විදේශීය භෝගයේ ම අතීතයේ දී හඳුන්වා දුන් භෝග ප්‍රභේද, දේශීය ප්‍රභේද යෑයි සිතන බව ද සිතිය හැකි ය. එම ප්‍රභේදවලට දේශීය විශේෂණ යොදා ඇති අවස්‌ථා ද හමු වේ.

හඳුන්වා දුන් ශාක සම්බන්ධව වාග් විද්‍යාත්මකව විශේෂ අවස්‌ථා ද හඳුනාගත හැකි ය. ඒ අදාළ ශාකවලට පොදු නම් ව්‍යවහාර වන අවස්‌ථාවල දී ය. වෙනත් රටකින් හඳුන්වා දුන් බැවින් මෑතක්‌ වන තුරු ම වැඩි වශයෙන් රට දෙල් යනුවෙන් හැඳින්වූ Artocarpus altilis ශාකය දැන් වැඩි වශයෙන් හැඳින්වෙන්නේ දෙල් යනුවෙනි. එහෙත් මෙරට පමණක්‌ දැකිය හැකි අතීතයේ දෙල් යනුවෙන් හැඳින්වූ Artocarpus nobilis ශාකයේ ප්‍රයෝජනයට ගැනීම අඩු වී ඇති අතර, එය වල් දෙල් හෝ බැදි දෙල් යනුවෙන් හඳුන්වනු දැකගත හැකි ය. අනෙක්‌ අතට වසර පන් සියයකට පමණ පෙර මෙරටට හඳුන්වා දුන් කජු ශාකය (එම නම ද විදේශීය ය) තවමත් එම නමින් හඳුන්වන අතර, ඉන් පසු කලක හඳුන්වා දුන් ඊට සමාන රසක්‌ හා බීජයක්‌ ඇති ඇති ශාකයක්‌ අප හඳුන්වන්නේ රට කජු යනුවෙනි.

අනෙක්‌ අතට අපේ රට ද අයත් දකුණු ආසියාවේ ගෘහාශ්‍රිතකරණය කර මෙහි ම සම්භවය වූ ආහාර භෝග වර්ග රැසක්‌ ද ඇති බව අප අමතක නො කළ යුතු කරුණකි. පොල්, කුරුඳු, අඹ, ඉගුරු, කෙසෙල් ආදි භෝග වර්ග මීට අයත් ය. ඒ අතරින් අපේ රටේ යම් යම් ශාක ගෘහාශ්‍රිතකරණය වූයේ ද යන්න තහවුරු කළ හැක්‌කේ ඒ පිළිබඳ නිසි පර්යේෂණවලින් අනතුරු ව ය.

භෝග සම්භවය පිළිබඳ පර්යේෂණ හා සංකල්ප


ආහාර භෝගවල සම්භවය පිළිබඳ අධ්‍යයන ආරම්භ වන්නේ 19 වැනි සියවස අවසානය් දී පමණ ය. ඒ උද්භිදවිද්‍යාව, වාග් විද්‍යාව, ශාක භූගෝල විද්‍යාව හා ප්‍රවේණි විද්‍යාව වැනි විෂයවල දියුණුව හා සමගිනි. මේ සමග මිනිසුන් විසින් පරිභෝජනය කෙරෙන ආහාර භෝග ශාකවල සම්භවය පිළිබඳව පළමුව අදහස්‌ පළ කරන ලද්දේ අල්පොන්සේ ඩි කැන්ඩොල් නම් විද්‍යාඥයා විසින් 1880 දශකයේ දී පමණ ය.

කෙසේ වෙතත් වගා කරන භෝග වර්ගවල සම්භවය පිළිබඳව එකිනෙකට ස්‌වාධීන වූ ප්‍රදේශ ඇති බවට වූ පිළිගත් අදහස ඉදිරිපත් කරන ලද්දේ නිකොලායි වැවිලොව් විසින් 1920 දශකයේ දී පමණ ය. සම්භව කේන්ද්‍ර (centres of origin) ලෙස හඳුන්වන ලද මේ සංකල්පය අනුව, අදාළ භෝගවල ගෘහාශ්‍රිතකරණය කළ කලාපය හඳුනාගැනීමට භෝගයේ ඉහළ ම විවිධත්වය මගින් හැකියාව ඇති බව ඔහු ගේ අදහස විය. විවිධත්වය හා එම භෝගයේ වල් දර්ශ මගින් අදාළ භෝගවල සම්භව කේන්ද්‍රය සලකුණු විය. වැවිලොව් මුලින් ම ඉදිරිපත් කළේ එවැනි ප්‍රදේශ 8ක්‌ වන අතර එහි උප කාණ්‌ඩ සමග 12ක්‌ වේ. ඒවා නම්, චීන කේන්ද්‍රය, ඉන්දියානු කේන්ද්‍රය, ඉන්දු-මලයානු කේන්ද්‍රය, මධ්‍යම ආසියානු කේන්ද්‍රය, මෑත පෙරදිග කේන්ද්‍රය, මධ්‍යධරණී කේන්ද්‍රය, ඇබිසීනියානු කේන්ද්‍රය, දකුණු මෙක්‌සිකෝව හා මධ්‍යම ඇමෙරිකා කේන්ද්‍රය, පේරු-ඉක්‌වදෝර-බොලීවියානු කේන්ද්‍රය, චිලී කේන්ද්‍රය හා බ්‍රසීල-පැරගුවේ කේන්ද්‍රය යනුවෙනි. (අවසන් කේන්ද්‍ර තුන දකුණු ඇමෙරිකානු කේන්ද්‍රයේ උප කේන්ද්‍ර සේ සලකා තිබේ.)

වැවිලොව් ගේ මේ සම්භව කේන්ද්‍ර මතවාදය ප්‍රයෝගික එකක්‌ වූ අතර සැලකිය යුතු පිළිගැනීමකට ද ලක්‌ විය. ඒ මත පදනම් ව එතැන් පටන් විද්‍යාඥයන් අදහස්‌ දක්‌වා ඇති අතර, පසු කාලයක දී ඒ මතය තවදුරටත් දියුණු වී ඇත. මේ අනුව සම්භව කේන්ද්‍ර සංකල්පය වෙනුවට විවිධත්ව කේන්ද්‍ර (centres of diversity) යන කල්පිතය ද ඉදිරිපත් ව තිබේ. කිසියම් භෝගයක සම්භවය වූ ස්‌ථාන හඳුනාගැනීමට අසීරු විම හා පැරැණි ප්‍රභේද ඉහළ විවිධත්වය හා වල් දර්ශ අධික ලෙස හමු වන ප්‍රදේශ හඳුනාගැනීම වඩා පහසු වීම නිසා මේ විවිධත්ව කේන්ද්‍රය වඩා එකග විය හැකි යෙදුමක්‌ විය. අද වන විට මේ සංකල්ප දෙක ම ඒ අංශවල කටයුතු කරන විද්‍යාඥයන් අතර භාවිත වේ.

මේ අතර පසුගිය දා Proceedings of the Royal Society B සගරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් මේ පිළිබඳ වෙනත් අංශයක්‌ ගැන ද අවධානය යොමු කර ඇත. එයට හේතු වී ඇත්තේ ද ඇතැම් අවස්‌ථාවල දී භෝග සම්භවය වූ නිශ්චිත ස්‌ථානයක්‌ හඳුනාගැනීම ඉතා අසීරු වීම ය. විශේෂයෙන් නිවර්තන කලාපයේ පුරාවිද්‍යාත්මක ශේෂ ආරක්‌ෂා නො වීම ද මීට එක්‌ හේතුවකි. එසේ ම එක්‌ ප්‍රදේශයක සම්භවය වූ භෝග ශාක පවා වෙනත් කලාපයක ඇති ඒවායේ වල් දර්ශවල ප්‍රවේණි ද්‍රව්‍යවලින් හා වෙනත් කලාපවල ගෘහාශ්‍රිතකරණය කළ ප්‍රභේදවලින් ද දියුණු විය හැකි ය. මේ අනුව 'විවිධත්වයේ ප්‍රාථමික කලාප' (primary regions of diversity) නමින් නව කල්පිතයක්‌ පර්යේෂකයන් පිරිසක්‌ ඉදිරිපත් කර තිබේ. එම කලාපයට අදාළ භෝගය මුලින් ම සම්භවය වූ ප්‍රදේශය (පළමු ගෘහාශ්‍රිතකරණය) ඇතුළත් වන අතර, එමෙන් ම භෝගයේ පැරැණි වගා කළ ප්‍රභේදවල අධික විවිධත්වයක්‌ ඇති භූගෝලීය ප්‍රදේශය (භෝග විවිධත්වය ඇති වූ ප්‍රදේශය), ඒ භෝගයේ වල් දර්ශවල සුලබතාව අධික ප්‍රදේශය ද මීට ඇතුළත් වේ.

(ඇතැම් භෝගවල ද්විතීයික විවිධත්ව කේන්ද්‍ර (secondary centres of diversity) හඳුනාගත හැකි ය. එයින් අදහස්‌ වන්නේ නව ප්‍රදේශයකට හඳුන්වා දුන් පසු ඒ ප්‍රදේශවල හටගන්නා විවිධත්වයයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇමෙරිකාවට හඳුන්වා දුන් බාර්ලි හා ඕට්‌ස්‌ වැනි ශාකවල අධික විවිධත්වයක්‌ ඇති වී තිබේ).

මේ අනුව ඔවුන් එවැනි 'විවිධත්වයේ ප්‍රාථමික කලාප' 23ක්‌ නම් කර ඇත. (වගුව බලන්න). මේ සමග ඇති සිතියමේ ඉන් ප්‍රධාන කලාප හා ඒවායේ සම්භවය ගෘහාශ්‍රිතකරණයට ලක්‌ වූ ප්‍රධාන භෝග දැක්‌වේ. මෙයින් පැහැදිලි වන පරිදි ඇතැම් භෝග වර්ග කලාප කිහිපයක ම සම්භවය හා ගෘහාශ්‍රිතකරණයට ලක්‌ වී ඇත.





මූලාශ්‍රය: Proceedings of the Royal Society B, DOI: 10.1098/rspb.2016.0792 (මේ පර්යේෂණ පත්‍රිකාව Proceedings of the Royal Society B සගරාවේ වෙබ් අඩවියෙන් හෝ ගූගල් සෙවුමක ඉහත DOI අංකය සෙවීමෙන් හෝ බාගත කරගත හැකි ය.)

http://vidusara.com/2016/07/13/feature5.html

Thursday, July 7, 2016

සියදිවි නසාගැනීම් අතින් ලංකාවට හිමි වන්නේ 4 වැනි තැන ද? නැත්නම්, 22 වැනි තැන ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 06.07.2016, පිටුව 05

Vidusara,06.07.2016 (Suicide rate o Sri Lanka - Is it 4th or 22nd in the World?)

Web - http://www.vidusara.com/2016/07/06/feature2.html





මීට සති කිහිපයකට පෙර අප රටේ පුවත්පත්වල සිරස්‌තල සැරසූ එක්‌ පුවතක්‌ වූයේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය අතින් ලෝකයේ සිව්වැනි තැන ශ්‍රී ලංකාවට හිමි වන බව ය. ඒ අනුව ලංකාවේ එම අගය ජනගහනයෙන් 100,000කට 28.8 දෙනකු බව ද, සඳහන් වුණු අතර, ලෝකයේ මේ අගයේ සාමාන්‍යය 100,000කට 11ක්‌ පමණ වන බව ද වැඩිදුරටත් කියෑවිණි. ඊට මුල් ව තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසර දෙකකට පෙර නිකුත් කරන ලද වාර්තාවකි. රජයේ වගකිවයුතු බලධාරියක මේ බව ප්‍රකාශ කර තිබීම නිසා යළිත් එය අවධානයට ලක්‌ ව තිබිණි. සාමාන්‍යයෙන් අපේ රටේ බොහෝ දෙනා අතර නිෂේධනීය හා Rණාත්මක පුවත්වලට ඉල්ලුම ඉහළ බැවින්, කරුණු සොයා නො බලා ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල මේ පුවතට සැලකිය යුතු ප්‍රචාරයක්‌ ලැබී තිබිණි.

කෙසේ වෙතත්, සියදිවි නසාගැනීම් පිළිබඳ සංඛ්‍යාලේඛනවල හා උක්‌ත අගයේ සත්‍යතාව පිළිබඳ සත්‍ය කරුණු සොයා බැලීමේ දී පෙනී යන්නේ ඊට වඩා බෙහෙවින් වෙනස්‌ කතාවකි. එය සංක්‌ෂිප්ත ව මෙසේ දැක්‌විය හැකි ය.

අදින් දශක දෙකකට පමණ පෙර පැවැති තත්ත්වය හා සාපේක්‌ෂව ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අනුපාතිකය මේ වන විට අඩු වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2014 වර්ෂයේ දී සකස්‌ කරන ලද ඉහත සඳහන් වාර්තාව සඳහා යොදාගෙන ඇත්තේ ලංකාව පිළිබඳ අලුත් ම දත්ත නො වේ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ සඳහන් වන ලංකාව සියදිවි නසාගැනීම් අනුව ලෝකයේ සිව්වැනි ස්‌ථානය අත්පත් කරගන්නා බව දැක්‌වෙන සඳහන නිවැරැදි නො වේ.

මේ පිළිබඳව වැඩිදුර විස්‌තර මදක්‌ විමසා බලමු.

ලංකාවේ සියදිවි නසාගැනීම් මෑත දී අඩු වී ඇති අයුරු


සියදිවි නසාගැනීම් සංසන්දනය කිරීම සඳහා යොදාගන්නා පොදු නිර්නායකයක්‌ වන්නේ සියදිවි නසාගැනීමේ අනුපාතිකයයි. (Suicide rate). එය යම් ප්‍රජාවක (රටක වැනි) ජනගහනයෙන් 100,000කට සිදු වන සියදිවි නසාගැනීම් ප්‍රමාණය ලෙස දැක්‌වේ. එය විවිධ රටවල් අතර සංසන්දනයක්‌ සඳහා ද යොදාගත හැකි ය. මේ ප්‍රමාණය අඩු වන තරමට එය යහපත් තත්ත්වයක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ වේගයේ වැදගත් වර්ෂ කීපයක්‌ මේ සමග ඇති ප්‍රස්‌තාරයේ දැක්‌වේ. 1950 දී ජනගහනයෙන් 100,000කට 6.9 දෙනකු හා 1960 දී 9.9 දෙනකු වූ ශ්‍රී ලංකාවේ වාර්ෂික සියදිවි නසාගැනීමේ අනුපාතිකය, 1960 දශකයේ දී සැලකිය යුතු වේගයකින් වැඩි වේ. ඒ අනුව 1970 දී එය 100,000කට 19.2 දෙනකු දක්‌වා ඉහළ යයි. එහෙත් එහි කැපී පෙනෙන ශීඝ්‍ර වර්ධනයක්‌ දැකිය හැක්‌කේ 1977න් පසු ව ය. විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග සිදු වන පළිබෝධනාශක සුලබ වීම සියදිවිහානි කරගැනීම්වල වර්ධනයට හේතු වූ බව සැලකේ. ඉන් පෙර ඒ සඳහා යොදාගත් ක්‍රම අතර වූයේ ගෙල වැලලා ගැනීම හා විවිධ ඇසිඩ් වර්ග පානය කිරීමයි.

අසූව වේගයෙන් ඉහළ ගිය සියදිවි නසාගැනීමේ අනුපාතිකය එහි උපරිම අගයට ළගා වන්නේ 1990 දශකයේ මැද භාගයේ දී පමණ ය. 1995 වර්ෂයේ දී වාර්තා වූ මේ උපරිම අගය ජනගහනයෙන් 100,000කට 47 දෙනකු පමණ තරම් අධික විය. (International Journal of Epidemiology, 2007 හා Sri Lanka Journal of Psychiatry, 2012). මේ ප්‍රමාණය 1950 වන විට ලංකාවේ පැවැති සියදිවි නසාගැනීමේ අනුපාතිකය මෙන් හත් ගුණයක්‌ පමණ තරම් අධික විය. ඒ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ ම සියදිවි නසාගැනීමේ අනුපාතිකයක්‌ තිබූ රටක්‌ සේ හඳුන්වා ඇත. මේ පිළිබඳව ඒ කාලයේ දී ජනමාධ්‍ය ඔස්‌සේ බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ වූ ආකාරය බොහෝ දෙනාට මතක ඇතිවාට සැකයක්‌ නැත.

එහෙත් 1996 වර්ෂයෙන් පමණ පසු මේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය වේගයෙන් පහළ වැටෙන්නට පටන්ගත්තේ ය. ලංකාවේ මෙන්ම මෙරට පිළිබඳව පර්යේෂණ සිදු කළ පර්යේෂකයන් මේ අඩු වීම ඉතා පැහැදිලිව හඳුනාගෙන තිබිණි. 2005 වන විට මේ අගය 1996 අගයෙන් අඩක්‌ පමණ දක්‌වා අඩු වූ බව එක්‌ පර්යේෂණ කණ්‌ඩායමක්‌ අනාවරණය කර ඇත. (International Journal of Epidemiology, 2007). 2009 දී මේ අනුපාතිකය ජනගහනයෙන් 100,000කට 19.6 දෙනකු දක්‌වා අඩු ව තිබූ බව තවත් කණ්‌ඩායම් කිහිපයක්‌ ම ප්‍රකාශයට පත් කර තිබේ. (Sri Lanka Journal of Psychiatry, 2012). මේ 2009 වර්ෂයේ අගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ම Bulletin of the World Health Organization නම් ප්‍රකාශනයේ 2012 වර්ෂයේ දී පළ වූ ලිපියක ද ප්‍රකාශයට පත් ව තිබීම ද විශේෂත්වයකි. 2012 වර්ෂය වන විට ලංකාවේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය ජනගහනයෙන් 100,000කට 17.1 දෙනකු පමණ වන බව තවත් පර්යේෂකයන් පිරිසක්‌ විසින් පෙන්වා දී ඇත (BMC Public Health, 2014). පොලිස්‌ වාර්තා අනුව 2014 වර්ෂය වන විට මේ අගය 100,000කට 15 දෙනකු පමණ වන බව ඉහත BMC Public Healthහි පළ වූ පර්යේෂණයට සම්බන්ධ පර්යේෂිකාවක වන දුලීකා ඩබ්ලිව්. නයිප් මහත්මිය විද්යුත් තැපැල් සන්නිවේදනයක්‌ හරහා අප හා පැවසුවා ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට වැරදිණි ද?


ලෝක සෞඛ්‍ය සංවිධානය "සියදිවි නසාගැනීම් වැළැක්‌වීම - ජගත් විධානයක්‌" (Preventing Suicide - A Global Imperative) නම් වූ වාර්තාව නිකුත් කරන්නේ 2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පමණ ය. එම වාර්තාව සංවිධානය විසින් සියදිවි නසාගැනීම වැළැක්‌වීම පිළිබඳව නිකුත් කර ඇති පළමු ගෝලීය මට්‌ටමේ වාර්තාව සේ හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ 2012 වර්ෂයේ දී පැවැති සියදිවි නසාගැනීමේ අනුපාතිකය 100,000කට 28.8ක්‌ සේ දැක්‌වෙන්නේ මේ වාර්තාවේ ය. එහෙත් ඊට පෙර නිකුත් ව ඇති පෙර සඳහන් පර්යේෂණ වාර්තාවල, 2012ට පෙර වර්ෂ සඳහා ලංකාවේ සියදිවි නසාගැනීම් සඳහා ඊට වඩා වෙනස්‌ අගයක්‌ යෝජනා කර ඇත.

මෙවැන්නක්‌ සිදු ව ඇත්තේ කෙසේ ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උක්‌ත වාර්තාව සඳහා ලංකාවේ දත්ත සඳහා යොදාගෙන තිබුණේ ලංකාවෙන් ලබාගත් නවතම දත්ත නො වේ. ලංකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අවසාන වශයෙන් නිල දත්ත සපයා ඇත්තේ 2006 දී ය. ඒ අනුව 2006 වර්ෂයේ මරණ දත්ත පාදක කරගනිමින් ආකෘතික වශයෙන් ගණනය කළ අනුපාතිකයක්‌ යොදාගනිමින් 2012 සියදිවි නසාගැනීම් ප්‍රමාණය ගණනය කර ඇති බවක්‌ පෙනේ. (ලෝක සෞඛ්‍ය සංවිධානය උක්‌ත වාර්තාවේ ම පවසන ආකාරයට ශ්‍රී ලංකාව අයත් වන්නේ මෑත කාලීන දත්ත අඩු රටවල් අතරට ය.) එහෙත් එතැන් පටන් ගත වූ කාලය ඇතුළත ලංකාවේ සිය දිවිනසාගැනීම් වාර්ෂිකව අඩු වෙමින් ඇති අතර, සැබෑ දත්ත අනුව ඒ බව හෙළි වී තිබේ.

ඉහත කී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ ලංකාව හා සම්බන්ධ දත්ත පිළිබඳව Ceylon Medical Journal සගරාවේ 60 වැනි වෙළුමේ අංක 1 කලාපයට 2015 වර්ෂයේ දී ලිපියක්‌ යොමු කරන මෙරට සියදිවි නසාගැනීම් පිළිබඳ පර්යේෂණවල යෙදුණු පර්යේෂකයන් පිරිසක්‌ මේ ගැටලුව හෙළිදරව් කර ඇත. මේ අනුව 2012 වර්ෂයට අදාළ නිවැරැදි සියදිවි නසාගැනීම් පිළිබඳ යාවත්කාලීන කළ දත්ත භාවිත කළේ නම්, ශ්‍රී ලංකාවට හිමි විය යුත්තේ 22 වැනි ස්‌ථානය බව ඔවුන් එහි පෙන්වා දී ඇත. (මේ පිළිබඳව එම පර්යේෂකයන් ඒ කාලයේ දී ම මෙරට මාධ්‍ය කීපයකට ම පවසා තිබුණ ද දැන් යළිත් පැරැණි කතාව ම මතු ව ඇති බව පෙනේ). එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය භාවිත කරන පුද්ගලයන් එම දත්තවල මූලාශ්‍රවල සීමා ගැන දැනුවත්ව ඒවා භාවිත කිරීමේ දී පරෙස්‌සම් විය යුතු බව ද ඔවුහු එහි දී පවසති. දැන් මෙරට බලධාරීන් හා සොයා නො බලා පුවත් පළ කරන මාධ්‍ය ආයතන කර ඇත්තේ මේ වරද ය.

සියදිවි නසාගැනීම් අඩු වූයේ ඇයි?


ඉහත සඳහන් වන විවිධ පර්යේෂණ කණ්‌ඩායම් විසින් සිදු කරන ලද අධ්‍යයනවල දැක්‌වෙන ආකාරයට, සියදිවි නසාගැනීම් මේ අයුරින් කැපී පෙනෙන ආකාරයෙන් පහත වැටීමට බලපෑ කරුණු අතරින් වැදගත් ම කරුණ වන්නේ අධික විෂ සහිත පළිබෝධනාශක පාලනය කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු කාණ්‌ඩයේ (Class I) ලෙස දක්‌වා ඇති පළිබෝධනාශක තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය මීට හේතු වී ඇති බව පර්යේෂණ කණ්‌ඩායම් ගණනාවක්‌ ම පෙන්වා දී තිබේ. ඕගනොපොස්‌පේට වැනි සුලබව යොදාගත් අධික විෂ සහිත පළිබෝධනාශක අයත් මේ කාණ්‌ඩයේ පළිබෝධනාශක කීපයක්‌ මුලින් ම ලංකාවේ තහනම් කිරීම ආරම්භ කරන්නේ 1984 දී වන අතර, 1995 වන විට ඒ කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍ය සියල්ල ම තහනම් කරන ලදි. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණය අනුව දෙවැනි කාණ්‌ඩයට අයත් (Class II) ඕගනෝක්‌ලෝරින පළිබෝධනාශකයක්‌ වන එන්ඩොසල්ෆාන් ද 1998 දී මෙරට තුළ තහනම් කරන ලදි. මේවා සියදිවි නසාගැනීම් අඩු වීම සඳහා තීරණාත්මකව බලපා තිබේ. (International Journal of Epidemiology, 2007 හා BMC Public Health, 2014).

එසේ ම කනේරු ඇට ආහාරයට ගැනීම වැනි සියදිවි නසාගැනීමට බලපෑ වෙනත් උපක්‍රම සඳහා ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීම ද ජීවිත බේරාගැනීමට දායක වූ බව ඇතැම් අධ්‍යයනවලින් හෙළි ව ඇත. එසේ ම, සියදිවි නසාගැනීම් වළක්‌වා ලීම සඳහා ක්‍රියාත්මක වූ මනෝ උපදේශක සේවා වැනි සමාජ හිතකාමී ක්‍රියාකාරකම් ද, දශක තුනක්‌ පැවැති ත්‍රස්‌ත අර්බුදය නිමා වීම වැනි කරුණු ද බලපාන්නට ඇති බව සැලකිය හැකි ය. අනෙක්‌ අතට මේ කාලය ඇතුළත දී මෙරට සමාජයේ සිදු වූ සමාජ හා ආර්ථික වෙනස්‌කම්වල බලපෑම ද අපට නො සැලකිය හැකි නො වේ.

සමස්‌තයක්‌ ලෙස ගත හොත්, 1990 දශකයේ පැවැති තත්ත්වය හා සසඳන කල, ඉන් පසුව ඇති වූ යහපත් තත්ත්වය කෙතරම් විස්‌මයජනක වර්ධනයක්‌ ද යන්න 2014 දී එක්‌ පර්යේෂකයෙක්‌ පවසන්නේ මෙසේ ය - විසි වැනි සියවසේ අවසාන දශකයේ දී ලෝකයේ ඉහළ ම සියදිවි නසාගැනීමේ අනුපාතිකය තිබුනේ ශ්‍රී ලංකාවේ ය. එම අගය, 1996 වර්ෂයේ දී වේගයෙන් පහත වැටෙන්නට පටන්ගත් අතර, ඉක්‌මනින් ම එය දශක තුනක කාලයේ පැවැති අඩු ම අගය විය. එමගින් සියදිවි නසාගැනීම් හා සම්බන්ධ සමාජවිද්‍යාත්මක සිද්ධාන්තවල ගැටලු ඇති කරන්නට ද සමත් ව ඇත. (Modern Asian Studies, 2014).

මූලාශ්‍රය: BMC Public Health, 2014, DOI: 10.1186/1471-2458-14-839; International Journal of Epidemiology, 2007, DOI:10.1093/ije/dym164; Modern Asian Studies, 2014, DOI:10.1017/S0026749X1200073X;Sri Lanka Journal of Psychiatry, 2012, Vol 3 No 2; Bulletin of the World Health Organization, 2012, DOI: 10.2471/BLT.11.091785;Preventing suicide - A global imperative, 2014, http://www.who.int/mental_health/suicide-prevention/world_report_2014/en/)

Monday, July 4, 2016

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීම පරිසරයට බලපාන ආකාරය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 29.06.2016, පි. 5

(Vidusara, 29.06.2016, p. 5 - Potential impact of Brexit on the the environment)

http://www.vidusara.com/2016/06/29/feature2.html



පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදු වූ වැදගත් ම සිදු වීම වූයේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතු ද යන්න විමසීම සඳහා පැවැති ජනමත විචාරණයේ දී එරට ජනතාව ගෙන් 51.9%ක්‌ පමණ පිරිසක්‌ එරට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යෑයි ඡන්දය ප්‍රකාශ කිරීම ය. ඊට විරුද්ධ වී ඇත්තේ ඡන්දය ප්‍රකාශ කළවුන් ගෙන් 48.1%ක පමණ පිරිසකි. මේ ජනමත විචාරණයේ දී සමස්‌ත ඡන්දදායකයන් අතරින් 72.2%ක්‌ පමණ ඡන්දය ප්‍රකාශ කර ඇත. මේ අනුව ජනතාව ගේ තීරණය වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන්න බව පැහැදිලිය. මෙය 'Brexit' යනුවෙන් හැඳින්වේ.

මේ පිළිබඳව සිදු කර ඇති විශ්ලේෂණ අනුව ජනතාව අතර කැපී පෙනෙන බෙදීම් දැකිය හැකි බව පැහැදිලි ය. නිදසුනක්‌ ලෙස තරුණ පිරිස්‌ අතරින් බහුතරය යුරෝපා සංගමය සමග සිටීමට කැමැත්ත දක්‌වන අතර, වැඩිහිටි පිරිස්‌ අතරින් බහුතරය කැමැත්ත පළ කර ඇත්තේ ඉන් ඉවත් වීමට ය. ස්‌කොට්‌ලන්ත හා උතුරු අයර්ලන්ත වැසියන් කැපී පෙනෙන බහුතරයකින් යුක්‌ත ව කැමැත්ත දක්‌වා ඇත්තේ යුරෝපා සංගමය හා එක්‌ ව සිටීමට වන අතර, එංගලන්ත හා වේල්ස වැසියන් වැඩි පිරිසක්‌ කැමැත්ත දක්‌වා ඇත්තේ වෙන් වීමට ය.

මෙය බ්‍රිතාන්‍ය වැසියන් විසින් ගන්නා ලද දේශපාලන තීරණයකි. ඊට විවිධ හේතු බලපාන්නට ඇති බව පැහැදිලි ය. යුරෝපා සංගමය හා එක්‌ ව සිටීම නිසා බ්‍රිතාන්‍ය වැසියන්ට වාසි මෙන්ම පාඩු ද ඇති වූ බව එරට ජනතාව ගේ කැමැත්ත බෙදී ගොස්‌ ඇති ආකාරය අනුව පෙනේ. විශේෂයෙන් මෑත දී සාකච්ඡාවට ලක්‌ වූ, එරට ජනතාවට බලපා ඇති ආර්ථික, සෞඛ්‍ය අංශවල ගැටලු මෙන්ම සංක්‍රමණික ජනතාව නිසා ඇති වී තිබෙන ගැටලු වැනි කරුණු මෙන්ම දේශපාලනික හේතු ද මීට හේතු වී ඇති බව පැහැදිලි ය. බ්‍රිතාන්‍යය තුළ මතු ව ඇති ජාතිකවාදී අදහස්‌ එරට තුළ වර්ධනය වීම මේ වෙනස ඇති වීමට දායක වූ එක්‌ හේතුවකි.

කෙසේ වෙතත් මේ ඉවත් වීමට ගත් තීරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට වසර ගණනාවක්‌ ගත විය හැකි ය. ඒ හා සම්බන්ධ ව අනුගමනය කළ යුතු මදක්‌ සංකීර්ණ වූ නිශ්චිත ක්‍රියාවලියක්‌ ද තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් පිටමං වීමට අඩු වශයෙන් වසර දෙකක්‌ පමණ කාලයක්‌ වත් ගත වනු ඇත. ඒ පිළිබඳව හදිසියක්‌ වෙන් වීමේ ව්‍යාපාරයේ යෙදුණු අයට ද නැත. එහෙත් යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා තිබුණේ කඩිනමින් ඉවත් වීමට කටයුතු කරන මෙනි.

යුරෝපා සංගමයට ඇති බලපෑම


බ්‍රිතාන්‍යය, සංගමයෙන් වෙන් වීමට ගත් තීරණය නිසා යුරෝපා සංගමය තුළ අවිනිශ්චිත තත්ත්වයක්‌ ඇති වී තිබෙන බවක්‌ පෙනේ. මේ හේතුව නිසා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට තීරණය වූ ජනමත විචාරණය ඇතැම් අය සමාන කර තිබුණේ 1989 දී බර්ලින් තාප්පයේ බිඳවැටීමට ය. හතළිස්‌ වසරකට අධික කාලයක්‌ පැවැති යුරෝපා සංගමයේ බිඳවැටීමක්‌ ගැන යම් අනතුරු හැගවීමක්‌ ගැන ද මින් කියෑවේ.

විශේෂයෙන් සංගමයේ වෙනත් සාමාජික රටවල් බ්‍රිතාන්‍යය ගත් පියවර හා සමාන පියවර ගැනීමට පෙලැඹුණ හොත් ඇති විය හැක්‌කේ අවිනිශ්චිත තත්ත්වයකි. යුරෝපා සංගමයේ ඇතැම් නීති රීති ආදිය නිසා නොසතුටින් සිටින රටවල් එවැනි තීරණවලට එළැඹීමේ ඉඩක්‌ නැත්තේ නො වේ. කෙසේ වෙතත් එවැනි අනතුරක්‌ නුදුරු අනාගතයේ ඇති වන බවක්‌ පෙනෙන්නට නැතත්, ආරක්‌ෂක පියවරක්‌ ගැනීමට පෙලැඹෙනු ඇත.

එහෙත් යුරෝපා සංගමය, එවැනි සමූහයක්‌ ලෙස එක්‌ ව සිටීම නිසා ඇති වූ අයහපත් දේ කෙතෙක්‌ තිබුණ ද යහපත් දේ ද තිබූ බව අප අමතක නො කළ යුතු ය. ඒ, විශේෂයෙන් පරිසරය සම්බන්ධව ය. දැන් ඇති ගැටලුව වන්නේ යුරෝපා සංගමයේ මේ දුර්වල වීම හමුවේ ලෝකය පරිසරය පිළිබඳ අත්පත් කරගත් ජයග්‍රහණ දුර්වල වීමේ අවස්‌ථාවක්‌ උදා වී තිබීම ය. මෙය බ්‍රිතාන්‍යයට පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස ලෝකයට ම බලපෑමක්‌ සිදු කළ හැකි කරුණක්‌ වීම මෙහි ඇති බරපතළ තත්ත්වයයි.

පරිසරය සම්බන්ධ ව යුරෝපා සංගමය


සංගමය එහි පරිසරය හා සම්බන්ධ විවිධ අංශවලට පැනවූ විවිධ නීති රීති නිසා දැඩි අවධානයකට ලක්‌ විය. සංගමය හා තිබූ බැදීම නිසා ඒ නීති බොහොමයක්‌ ක්‍රියාත්මක කිරීමට එහි සාමාජික රටවලට සිදු විය. ඒ නිසා අදාළ රටවට යහපතක්‌ වූ අතර ඇතැම්වා ජගත් මට්‌ටමෙන් ඉතා වැදගත් පූර්වාදර්ශ ද වූ බව පහත නිදසුන්වලින් ද පැහැදිලි වේ. මෙහි දී වඩාත් ම වැදගත් වන්නේ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව ගත් පියවරයි.

දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව යුරෝපා සංගමය කලක පටන් පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කොට තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ ගැටලුව නො සලකා හැර තිබිය දී ඊට විසඳුමක්‌ සෙවීමට යම් හෝ පියවරක්‌ ගත්තේ යුරෝපා සංගමයයි. දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ සැම වැදගත් ගිවිසුමක්‌ හා සන්ධානයක්‌ සඳහා ම යුරෝපා සංගමය කිසියම් හෝ වැදගත් කාර්යයක්‌ ඉටු කර ඇත. එහි දී බ්‍රිතාන්‍යය ද ශක්‌තිමත් හඩක්‌ නැගූ රටක්‌ විය. යුරෝපා සංගමය ගත් පියවර අතර පිරිසිදු බලශක්‌තිය පිළිබඳ ඉලක්‌ක මෙන්ම හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ඉලක්‌ක ද වැදගත් සේ සැලකිය හැකි ය. 2020 වන විට පුනර්ජනනය කළ හැකි බලශක්‌තියෙන් සංගමයේ රටවල බලශක්‌ති අවශ්‍යතාවෙන් 20%ක්‌ ලබාගැනීමට එකගතාවක්‌ ඇති කරගත්තේ 2008 වර්ෂයේ දී ය. 2030 වර්ෂය වන විට එම සංගමයේ රටවල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 40%ක්‌a පමණ දක්‌වා අඩු කිරීමට 2014 වර්ෂයේ දී පමණ යුරෝපා සංගමය තීරණයක්‌ ගත්තේ ය. මේ අනුව යුරෝපා සංගමයේ දුර්වල වීමක්‌ ඇති වුව හොත් එහි ප්‍රතිඵලය බරපතළ එකක්‌ විය හැකි ය.

වායු දූෂණය වැළැක්‌වීමට ගත් පියවර ද මෙවැනි වැදගත් පියවරකි. ඒ සඳහා නව නීති රීති 2013 වර්ෂයේ දී ගෙන ආ සංගමය ප්‍රධාන වායු දූෂක 6ක්‌ සඳහා එවකට පැවැති විමෝචන සීමා තවදුරටත් අඩු කළේ ය. මෙහි අපේක්‌ෂාව වූයේ 2030 වර්ෂය වන විට යුරෝපයේ වායු දූෂණය වර්තමාන මට්‌ටමෙන් 20%ක්‌ පමණ තෙක්‌ අඩු කිරීමය. මෙහි වාසිය බොහෝ රටවලට ලැබිණි. එසේ ම බ්‍රිතාන්‍යයේ ද නගර ගණනාවක වායු දූෂණය පාලනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ යුරෝපා සංගමය විසින් 2010 වර්ෂයේදී පමණ පනවන ලද වායු දූෂණය පිළිබඳ නීති මත ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ග ය. මේ ආකාරයට ම අපද්‍රව්‍යවලින් පිරුණු වෙරළ තීර, පිරිසිදු වෙරළ තීර බවට පත් කිරීමට හේතු වූයේ ද යුරෝපා සංගමයේ නීති මත පදනම් ව ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග ය.

පරිසරය හා සම්බන්ධව යුරෝපා සංගමය ගත් තවත් පුරෝගාමී පියවරක්‌ වූයේ මෑත කාලයේ දී වාර්තා වූ මීමැස්‌සන් හා වෙනත් කෘමීන් ගේ වඳ වී යැමට හේතු වූ බවට සැක කරන ලද නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයේ පළිබෝධනාශක කිහිපයක්‌ තහනම් කිරීම ය. මේ තීරණය ගන්නා ලද්දේද 2013 වර්ෂයේ දී ය. මේ කාණ්‌ඩයේ රසායනික ද්‍රව්‍ය ගැන ලෝකයේ අවධානය යොමු වූයේ මේ සමග ය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ කෘෂිකාර්මික සංවිධාන අතර මේ පිළිබඳව යම් විරෝධයක්‌ දැකිය හැකි වූ අතර ඒක පර්ශ්වික ව එම තහනම බ්‍රිතාන්‍යය තුළ ඉවත් කිරීමට ද යම් උත්හාසයක්‌ දැකිය හැකි විය.

පරිසරයට හිමි තැන තේරුම්ගැනීම


මේ කරුණු අනුව අවධානය යොමු කළ යුතු දෙයක්‌ වන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ දී මෙන්ම ඒ ඒ රටවල ජාතික තලයේ දේශපාලනයේ දී පරිසරයට හිමි තැන කුමක්‌ ද යන්න යථාර්ථවාදීව තේරුම්ගැනීම ය. ජාතික දේශපාලනික කරුණුවල දී පාරිසරික කරුණු සඳහා ලැබෙන ප්‍රමුඛතාව වෙනස්‌ වෙමින් හෝ අඩු වෙමින් හෝ පවත්නා බව බවට සාධකයක්‌ ලෙස බ්‍රිතාන්‍යයේ සිදු වූ උක්‌ත සිදුවීම ද සැලකිය හැකි ය. මේ ජනමත විමසුමට පෙර හා ආසන්න කාලයේ දී එරට මෙන්ම යුරෝපයේ විවිධ පරිසර සංවිධාන හා පරිසර ක්‍රියාකාරීන් වැඩි දෙනා අදහස්‌ පළ කර සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය හා සිටීමේ වැදගත්කම ගැන ය. එක්‌ ව සිටීමෙන් බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ පරිසරය ආරක්‌ෂා කිරීමට ලැබෙන අවස්‌ථාව ගැන ය. එහෙත් ජනමත විමසුමේ ඡන්දය පළ කිරීමේ දී ජනතාව මේ කරුණ සැලකිල්ලට ගෙන ඇති බවක්‌ පෙනෙන්නට නැත.

පාරිසරික සාධකවලට දේශපාලනයේ දී ලැබෙන තැන වෙනස්‌ වෙමින් ඇති බව අප මින් ඉහත දී ද පෙන්වා දී ඇති කරුණකි. ඒ අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙනි. ඊනියා දියුණු යෑයි සම්මත රටවලින් සැදුම් ලද්දේ වුව ද මේ තත්ත්වය යුරෝපා සංගමයට ද පොදු ය. යුරෝපා සංගමය, සංගමයක්‌ ලෙස පරිසරය හා වෙනත් විෂය සම්බන්ධව ඉදිරියෙන් සිටිය ද, එහි සාමාජික රටවල් සියල්ල සමාන අදහස්‌ ඇති රටවල් නො වේ. ඒ රටවල ජාතික දේශපාලනයේ දී ආර්ථික හා සමාජයීය වැනි වෙනත් කරුණු පරිසරයට වඩා වැදගත් වේ. විශේෂයෙන් අර්බුද පවත්නා අවස්‌ථාවල ඒ සාධක වඩාත් තීරණාත්මක වේ. ලෝකයේ බොහෝ රටවල හරිත දේශපාලනය අසාර්ථක වී ඇත්තේ තනි මතවාදයක්‌ ලෙස පරිසරවාදයට හා හැකි දුර සීමාසහිත වන නිසා ය.

මේ අනුව දේශපාලන මතවාදයක්‌ ලෙස ඉදිරිපත් වීමේ දී, වඩා වෙනස්‌ ප්‍රවේශයක්‌ වෙත යොමු වීමට පරිසරවාදයට දැන් කාලය පැමිණ ඇති බව පෙනේ. එය දක්‌ෂිනාංශික ධනවාදී මතවාද සමග මෙන්ම වාමාංශික මතවාද සමග ද මනාව නො පෑහෙන බවක්‌ දැකිය හැකි ය. එසේ ම මේ පාරිසරික ගැටලු බොහෝ දුරට ජාත්‍යන්තර බලපෑමක්‌ ඇති ඒවා වුව ද, ලෝකයේ රටවල් සඳහා තීරණාත්මකව බලපාන්නේ ජාතික මට්‌ටමේ අභිලාෂ බව බ්‍රිතාන්‍යයේ සිදු වූ මේ සිදු වීම අනුව යළිත් පැහැදිලි වේ. ඇමෙරිකාවේ හා ඔස්‌ටේ්‍රලියාවේ අතීත දේශගුණ ක්‍රියාකාරකම් ද මේ සඳහා නිදසුන් වේ.

ඒ අනුව ජාතිකවාදය යළි යළිත් ශක්‌තිමත් වීම අනාගතයේ දී ද දැකිය හැකි වනු ඇත. එසේ නම්, ජාතිකවාදී දේශපාලන මතවාද හා සමගාමී ව යා හැකි මගකට පිවිසීම පරිසරවාදයට ද වැදගත් වේ. බොහෝ බටහිර නිදසුන්වලින් මේ සඳහා සාර්ථක මෙන්ම අසාර්ථක නිදසුන් ද දැකගත හැකි ය. එහෙත් බටහිර ආකෘතියට පිටින් ගිය කිසියම් ආකෘතියක්‌ හඳුනාගැනීමට නොහැකි ද?