Thursday, July 7, 2016

සියදිවි නසාගැනීම් අතින් ලංකාවට හිමි වන්නේ 4 වැනි තැන ද? නැත්නම්, 22 වැනි තැන ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 06.07.2016, පිටුව 05

Vidusara,06.07.2016 (Suicide rate o Sri Lanka - Is it 4th or 22nd in the World?)

Web - http://www.vidusara.com/2016/07/06/feature2.html





මීට සති කිහිපයකට පෙර අප රටේ පුවත්පත්වල සිරස්‌තල සැරසූ එක්‌ පුවතක්‌ වූයේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය අතින් ලෝකයේ සිව්වැනි තැන ශ්‍රී ලංකාවට හිමි වන බව ය. ඒ අනුව ලංකාවේ එම අගය ජනගහනයෙන් 100,000කට 28.8 දෙනකු බව ද, සඳහන් වුණු අතර, ලෝකයේ මේ අගයේ සාමාන්‍යය 100,000කට 11ක්‌ පමණ වන බව ද වැඩිදුරටත් කියෑවිණි. ඊට මුල් ව තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසර දෙකකට පෙර නිකුත් කරන ලද වාර්තාවකි. රජයේ වගකිවයුතු බලධාරියක මේ බව ප්‍රකාශ කර තිබීම නිසා යළිත් එය අවධානයට ලක්‌ ව තිබිණි. සාමාන්‍යයෙන් අපේ රටේ බොහෝ දෙනා අතර නිෂේධනීය හා Rණාත්මක පුවත්වලට ඉල්ලුම ඉහළ බැවින්, කරුණු සොයා නො බලා ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල මේ පුවතට සැලකිය යුතු ප්‍රචාරයක්‌ ලැබී තිබිණි.

කෙසේ වෙතත්, සියදිවි නසාගැනීම් පිළිබඳ සංඛ්‍යාලේඛනවල හා උක්‌ත අගයේ සත්‍යතාව පිළිබඳ සත්‍ය කරුණු සොයා බැලීමේ දී පෙනී යන්නේ ඊට වඩා බෙහෙවින් වෙනස්‌ කතාවකි. එය සංක්‌ෂිප්ත ව මෙසේ දැක්‌විය හැකි ය.

අදින් දශක දෙකකට පමණ පෙර පැවැති තත්ත්වය හා සාපේක්‌ෂව ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අනුපාතිකය මේ වන විට අඩු වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2014 වර්ෂයේ දී සකස්‌ කරන ලද ඉහත සඳහන් වාර්තාව සඳහා යොදාගෙන ඇත්තේ ලංකාව පිළිබඳ අලුත් ම දත්ත නො වේ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ සඳහන් වන ලංකාව සියදිවි නසාගැනීම් අනුව ලෝකයේ සිව්වැනි ස්‌ථානය අත්පත් කරගන්නා බව දැක්‌වෙන සඳහන නිවැරැදි නො වේ.

මේ පිළිබඳව වැඩිදුර විස්‌තර මදක්‌ විමසා බලමු.

ලංකාවේ සියදිවි නසාගැනීම් මෑත දී අඩු වී ඇති අයුරු


සියදිවි නසාගැනීම් සංසන්දනය කිරීම සඳහා යොදාගන්නා පොදු නිර්නායකයක්‌ වන්නේ සියදිවි නසාගැනීමේ අනුපාතිකයයි. (Suicide rate). එය යම් ප්‍රජාවක (රටක වැනි) ජනගහනයෙන් 100,000කට සිදු වන සියදිවි නසාගැනීම් ප්‍රමාණය ලෙස දැක්‌වේ. එය විවිධ රටවල් අතර සංසන්දනයක්‌ සඳහා ද යොදාගත හැකි ය. මේ ප්‍රමාණය අඩු වන තරමට එය යහපත් තත්ත්වයක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ වේගයේ වැදගත් වර්ෂ කීපයක්‌ මේ සමග ඇති ප්‍රස්‌තාරයේ දැක්‌වේ. 1950 දී ජනගහනයෙන් 100,000කට 6.9 දෙනකු හා 1960 දී 9.9 දෙනකු වූ ශ්‍රී ලංකාවේ වාර්ෂික සියදිවි නසාගැනීමේ අනුපාතිකය, 1960 දශකයේ දී සැලකිය යුතු වේගයකින් වැඩි වේ. ඒ අනුව 1970 දී එය 100,000කට 19.2 දෙනකු දක්‌වා ඉහළ යයි. එහෙත් එහි කැපී පෙනෙන ශීඝ්‍ර වර්ධනයක්‌ දැකිය හැක්‌කේ 1977න් පසු ව ය. විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග සිදු වන පළිබෝධනාශක සුලබ වීම සියදිවිහානි කරගැනීම්වල වර්ධනයට හේතු වූ බව සැලකේ. ඉන් පෙර ඒ සඳහා යොදාගත් ක්‍රම අතර වූයේ ගෙල වැලලා ගැනීම හා විවිධ ඇසිඩ් වර්ග පානය කිරීමයි.

අසූව වේගයෙන් ඉහළ ගිය සියදිවි නසාගැනීමේ අනුපාතිකය එහි උපරිම අගයට ළගා වන්නේ 1990 දශකයේ මැද භාගයේ දී පමණ ය. 1995 වර්ෂයේ දී වාර්තා වූ මේ උපරිම අගය ජනගහනයෙන් 100,000කට 47 දෙනකු පමණ තරම් අධික විය. (International Journal of Epidemiology, 2007 හා Sri Lanka Journal of Psychiatry, 2012). මේ ප්‍රමාණය 1950 වන විට ලංකාවේ පැවැති සියදිවි නසාගැනීමේ අනුපාතිකය මෙන් හත් ගුණයක්‌ පමණ තරම් අධික විය. ඒ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ ම සියදිවි නසාගැනීමේ අනුපාතිකයක්‌ තිබූ රටක්‌ සේ හඳුන්වා ඇත. මේ පිළිබඳව ඒ කාලයේ දී ජනමාධ්‍ය ඔස්‌සේ බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ වූ ආකාරය බොහෝ දෙනාට මතක ඇතිවාට සැකයක්‌ නැත.

එහෙත් 1996 වර්ෂයෙන් පමණ පසු මේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය වේගයෙන් පහළ වැටෙන්නට පටන්ගත්තේ ය. ලංකාවේ මෙන්ම මෙරට පිළිබඳව පර්යේෂණ සිදු කළ පර්යේෂකයන් මේ අඩු වීම ඉතා පැහැදිලිව හඳුනාගෙන තිබිණි. 2005 වන විට මේ අගය 1996 අගයෙන් අඩක්‌ පමණ දක්‌වා අඩු වූ බව එක්‌ පර්යේෂණ කණ්‌ඩායමක්‌ අනාවරණය කර ඇත. (International Journal of Epidemiology, 2007). 2009 දී මේ අනුපාතිකය ජනගහනයෙන් 100,000කට 19.6 දෙනකු දක්‌වා අඩු ව තිබූ බව තවත් කණ්‌ඩායම් කිහිපයක්‌ ම ප්‍රකාශයට පත් කර තිබේ. (Sri Lanka Journal of Psychiatry, 2012). මේ 2009 වර්ෂයේ අගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ම Bulletin of the World Health Organization නම් ප්‍රකාශනයේ 2012 වර්ෂයේ දී පළ වූ ලිපියක ද ප්‍රකාශයට පත් ව තිබීම ද විශේෂත්වයකි. 2012 වර්ෂය වන විට ලංකාවේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය ජනගහනයෙන් 100,000කට 17.1 දෙනකු පමණ වන බව තවත් පර්යේෂකයන් පිරිසක්‌ විසින් පෙන්වා දී ඇත (BMC Public Health, 2014). පොලිස්‌ වාර්තා අනුව 2014 වර්ෂය වන විට මේ අගය 100,000කට 15 දෙනකු පමණ වන බව ඉහත BMC Public Healthහි පළ වූ පර්යේෂණයට සම්බන්ධ පර්යේෂිකාවක වන දුලීකා ඩබ්ලිව්. නයිප් මහත්මිය විද්යුත් තැපැල් සන්නිවේදනයක්‌ හරහා අප හා පැවසුවා ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට වැරදිණි ද?


ලෝක සෞඛ්‍ය සංවිධානය "සියදිවි නසාගැනීම් වැළැක්‌වීම - ජගත් විධානයක්‌" (Preventing Suicide - A Global Imperative) නම් වූ වාර්තාව නිකුත් කරන්නේ 2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පමණ ය. එම වාර්තාව සංවිධානය විසින් සියදිවි නසාගැනීම වැළැක්‌වීම පිළිබඳව නිකුත් කර ඇති පළමු ගෝලීය මට්‌ටමේ වාර්තාව සේ හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ 2012 වර්ෂයේ දී පැවැති සියදිවි නසාගැනීමේ අනුපාතිකය 100,000කට 28.8ක්‌ සේ දැක්‌වෙන්නේ මේ වාර්තාවේ ය. එහෙත් ඊට පෙර නිකුත් ව ඇති පෙර සඳහන් පර්යේෂණ වාර්තාවල, 2012ට පෙර වර්ෂ සඳහා ලංකාවේ සියදිවි නසාගැනීම් සඳහා ඊට වඩා වෙනස්‌ අගයක්‌ යෝජනා කර ඇත.

මෙවැන්නක්‌ සිදු ව ඇත්තේ කෙසේ ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උක්‌ත වාර්තාව සඳහා ලංකාවේ දත්ත සඳහා යොදාගෙන තිබුණේ ලංකාවෙන් ලබාගත් නවතම දත්ත නො වේ. ලංකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අවසාන වශයෙන් නිල දත්ත සපයා ඇත්තේ 2006 දී ය. ඒ අනුව 2006 වර්ෂයේ මරණ දත්ත පාදක කරගනිමින් ආකෘතික වශයෙන් ගණනය කළ අනුපාතිකයක්‌ යොදාගනිමින් 2012 සියදිවි නසාගැනීම් ප්‍රමාණය ගණනය කර ඇති බවක්‌ පෙනේ. (ලෝක සෞඛ්‍ය සංවිධානය උක්‌ත වාර්තාවේ ම පවසන ආකාරයට ශ්‍රී ලංකාව අයත් වන්නේ මෑත කාලීන දත්ත අඩු රටවල් අතරට ය.) එහෙත් එතැන් පටන් ගත වූ කාලය ඇතුළත ලංකාවේ සිය දිවිනසාගැනීම් වාර්ෂිකව අඩු වෙමින් ඇති අතර, සැබෑ දත්ත අනුව ඒ බව හෙළි වී තිබේ.

ඉහත කී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ ලංකාව හා සම්බන්ධ දත්ත පිළිබඳව Ceylon Medical Journal සගරාවේ 60 වැනි වෙළුමේ අංක 1 කලාපයට 2015 වර්ෂයේ දී ලිපියක්‌ යොමු කරන මෙරට සියදිවි නසාගැනීම් පිළිබඳ පර්යේෂණවල යෙදුණු පර්යේෂකයන් පිරිසක්‌ මේ ගැටලුව හෙළිදරව් කර ඇත. මේ අනුව 2012 වර්ෂයට අදාළ නිවැරැදි සියදිවි නසාගැනීම් පිළිබඳ යාවත්කාලීන කළ දත්ත භාවිත කළේ නම්, ශ්‍රී ලංකාවට හිමි විය යුත්තේ 22 වැනි ස්‌ථානය බව ඔවුන් එහි පෙන්වා දී ඇත. (මේ පිළිබඳව එම පර්යේෂකයන් ඒ කාලයේ දී ම මෙරට මාධ්‍ය කීපයකට ම පවසා තිබුණ ද දැන් යළිත් පැරැණි කතාව ම මතු ව ඇති බව පෙනේ). එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියදිවි නසාගැනීමේ අනුපාතිකය භාවිත කරන පුද්ගලයන් එම දත්තවල මූලාශ්‍රවල සීමා ගැන දැනුවත්ව ඒවා භාවිත කිරීමේ දී පරෙස්‌සම් විය යුතු බව ද ඔවුහු එහි දී පවසති. දැන් මෙරට බලධාරීන් හා සොයා නො බලා පුවත් පළ කරන මාධ්‍ය ආයතන කර ඇත්තේ මේ වරද ය.

සියදිවි නසාගැනීම් අඩු වූයේ ඇයි?


ඉහත සඳහන් වන විවිධ පර්යේෂණ කණ්‌ඩායම් විසින් සිදු කරන ලද අධ්‍යයනවල දැක්‌වෙන ආකාරයට, සියදිවි නසාගැනීම් මේ අයුරින් කැපී පෙනෙන ආකාරයෙන් පහත වැටීමට බලපෑ කරුණු අතරින් වැදගත් ම කරුණ වන්නේ අධික විෂ සහිත පළිබෝධනාශක පාලනය කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු කාණ්‌ඩයේ (Class I) ලෙස දක්‌වා ඇති පළිබෝධනාශක තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය මීට හේතු වී ඇති බව පර්යේෂණ කණ්‌ඩායම් ගණනාවක්‌ ම පෙන්වා දී තිබේ. ඕගනොපොස්‌පේට වැනි සුලබව යොදාගත් අධික විෂ සහිත පළිබෝධනාශක අයත් මේ කාණ්‌ඩයේ පළිබෝධනාශක කීපයක්‌ මුලින් ම ලංකාවේ තහනම් කිරීම ආරම්භ කරන්නේ 1984 දී වන අතර, 1995 වන විට ඒ කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍ය සියල්ල ම තහනම් කරන ලදි. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණය අනුව දෙවැනි කාණ්‌ඩයට අයත් (Class II) ඕගනෝක්‌ලෝරින පළිබෝධනාශකයක්‌ වන එන්ඩොසල්ෆාන් ද 1998 දී මෙරට තුළ තහනම් කරන ලදි. මේවා සියදිවි නසාගැනීම් අඩු වීම සඳහා තීරණාත්මකව බලපා තිබේ. (International Journal of Epidemiology, 2007 හා BMC Public Health, 2014).

එසේ ම කනේරු ඇට ආහාරයට ගැනීම වැනි සියදිවි නසාගැනීමට බලපෑ වෙනත් උපක්‍රම සඳහා ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීම ද ජීවිත බේරාගැනීමට දායක වූ බව ඇතැම් අධ්‍යයනවලින් හෙළි ව ඇත. එසේ ම, සියදිවි නසාගැනීම් වළක්‌වා ලීම සඳහා ක්‍රියාත්මක වූ මනෝ උපදේශක සේවා වැනි සමාජ හිතකාමී ක්‍රියාකාරකම් ද, දශක තුනක්‌ පැවැති ත්‍රස්‌ත අර්බුදය නිමා වීම වැනි කරුණු ද බලපාන්නට ඇති බව සැලකිය හැකි ය. අනෙක්‌ අතට මේ කාලය ඇතුළත දී මෙරට සමාජයේ සිදු වූ සමාජ හා ආර්ථික වෙනස්‌කම්වල බලපෑම ද අපට නො සැලකිය හැකි නො වේ.

සමස්‌තයක්‌ ලෙස ගත හොත්, 1990 දශකයේ පැවැති තත්ත්වය හා සසඳන කල, ඉන් පසුව ඇති වූ යහපත් තත්ත්වය කෙතරම් විස්‌මයජනක වර්ධනයක්‌ ද යන්න 2014 දී එක්‌ පර්යේෂකයෙක්‌ පවසන්නේ මෙසේ ය - විසි වැනි සියවසේ අවසාන දශකයේ දී ලෝකයේ ඉහළ ම සියදිවි නසාගැනීමේ අනුපාතිකය තිබුනේ ශ්‍රී ලංකාවේ ය. එම අගය, 1996 වර්ෂයේ දී වේගයෙන් පහත වැටෙන්නට පටන්ගත් අතර, ඉක්‌මනින් ම එය දශක තුනක කාලයේ පැවැති අඩු ම අගය විය. එමගින් සියදිවි නසාගැනීම් හා සම්බන්ධ සමාජවිද්‍යාත්මක සිද්ධාන්තවල ගැටලු ඇති කරන්නට ද සමත් ව ඇත. (Modern Asian Studies, 2014).

මූලාශ්‍රය: BMC Public Health, 2014, DOI: 10.1186/1471-2458-14-839; International Journal of Epidemiology, 2007, DOI:10.1093/ije/dym164; Modern Asian Studies, 2014, DOI:10.1017/S0026749X1200073X;Sri Lanka Journal of Psychiatry, 2012, Vol 3 No 2; Bulletin of the World Health Organization, 2012, DOI: 10.2471/BLT.11.091785;Preventing suicide - A global imperative, 2014, http://www.who.int/mental_health/suicide-prevention/world_report_2014/en/)

No comments:

Post a Comment