Wednesday, November 29, 2023

අවුකන පිළිමය පිළිබඳ නූතන යුගයේ අනාවරණ

ධනේෂ් විසුම්පෙරුම

(අවසන් යාවත්කාලීන කිරීම: 2023-11-29, ප.ව. 13.00)

මිනින්දෝරුවෙකු, පර්යේෂකයෙකු හා ලේඛකයෙකු වූ ආර්. එල්. බ්‍රෝහියර් අවුකන ප්‍රතිමාව පිළිබඳව ලියූ සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ. ඒ ඔහු විසින් ලියූ, 1965 වර්ෂයේ දී මුලින්ම පළ වූ, Seeing Ceylon නම් කෘතියේ දැක්වෙන සටහනකි. එය ඔහු මුලින්ම අවුකන ප්‍රතිමාව දුටු අවස්ථාවේ දී ඇති වූ හැඟීම් දක්වන අපුරු සටහනකි.

කෙසේ වෙතත්, ඒ සටහනේ පරිවර්තනය ඇතැම් අය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ උපුටා දක්වා ඇත්තේ අවුකන "සොයාගත්" හා "මෑත කාලයේ හෙළිදරව් කළ" තැනැත්තා ලෙසය. එවැන්නක් බ්‍රෝහියර් විසින් සඳහන් කර නොමැති අතර සත්‍යය ද එය නොවේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ ඇන්ඩෘ නිකොල්, එමර්සන් ටෙනන්ට්, එස්. එම්. බරෝස් හා එච්. සී. පී. බෙල් මේ පිළිමය පිළිබඳව සඳහන් කර තිබේ. ඒ පිළිවෙලින් 1852, 1859, 1894 හා 1895 වර්ෂවල පළ වූ ලේඛනවලය. මේ පිළිබඳව සවිස්තර සටහනක් මතු දැක්වේ. මෙම මුල් ලිපිය සඳහා අදහස් දැක්වූ සුරත් වික්‍රමාරච්චි ලබා දුන් තොරතුරු ගවේෂණය කිරීමේ දී පෙනෙන්නේ 1848 වර්ෂයේ දී සිදු වු එමර්සන් ටෙනන්ට්ගේ නිල චාරිකාවකට එක් වූ, ඇන්ඩෘ නිකොල් අවුකන පිළිමය පිළිබඳව අප දැනට දන්නා මුල්ම විස්තරය සිදු කළ පුද්ගලයා බවයි. නිකොල්ගේ ඒ ලිපිය පළ වන්නේ 1852 වර්ෂයේ දීය. 


ඇන්ඩෘ නිකොල් අවුකන පිළිමය ගැන ලියූ දේ (1852)


කොළඹ ඇකඩමියේ චිත්‍ර ගුරුවරයා වූ ඇන්ඩෘ නිකොල් ටෙනන්ට්ගේ චාරිකාව පිළිබඳව විස්තරයක් 1852 වර්ෂයේ දී Dublin University Magazine නම් සඟරාවේ 40වන වෙළුමට A sketching tour of five weeks in the forests of Ceylon, its ruined temples, colossal statues, tanks, pagodas etc. යන නමින් කොටස් දෙකක් ලෙස රචනා කර තිබේ. එහි දෙවන කොටසේ, 691-92 පිටුවල දැක්වෙන විස්තරය මෙසේය.

“From hence we proceeded along a narrow road to the Awukane Wihare, distant two and a half miles. This temple is situated on the summit of a large rock, on which there is a long inscription. Descending a flight of stone steps, we entered a small enclosed space, where a huge colossal statue of Buddhu presented itself, measuring upwards of fifty feet in height, carved out of the face of an immense perpendicular block of granite. The gigantic figure is most admirably executed, and seems not only to bid defiance to time, but even to the more destructive hand of man. The drapery hangs in graceful folds, and is as perfect, as if fresh from the hands of the sculptor. It is joined at the back of the rock, for the purpose of support, and stands on a handsome pedestal, elevated about seven feet above the ground. On the right is placed a sculptured stone, representing a cobra capella, with the hood extended; demon and serpent worship being the most ancient of all the heathen superstitions of the east. Broad green leaves, and tiny creeping plants hung over the face of the everlasting rock, and flowering shrubs grew out of its crevices, while the peaceful river was seen below, gliding through the vast forest by which we were surrounded, with not a human habitation for miles, save the pansals of these poor priests. This statue was discovered by a party of gentlemen, a few years ago, who were out elephant hunting, and may truly be said to rival the kindred wonders of Upper Egypt, or Central America, for antiquity, of colossal dimensions, and admirable proportion.”

ඇන්ඩෘ නිකොල් විසින් මේ චාරිකාව අතර අඳින ලද අවුකන පිළිමයේ දළ චිත්‍රයක්, ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නිමිත්තෙන් 1998 වර්ෂයේ දී කොළඹ කෞතුකාගාරය විසින් පළ කළ කුඩා පොතක දැක්වෙන බව පෙන්වා දුන්නේ සුරත් වික්‍රමාරච්චි හා Serene Court විසිනි.

 

එමර්සන් ටෙනන්ට් දුටු අවුකන පිළිමය


අවුකන ප්‍රතිමාව පිළිබඳව ඇති දැනට අප දන්නා දෙවන පැරණිම සඳහන එමර්සන් ටෙනන්ට්ගේය. ඒ මුලින්ම 1859 වර්ෂයේ දි පළ වූ Ceylon an account of the Island නම් කෘතියේය. එහෙත් ටෙනන්ට්ගේ විස්තරය අනුව ද මේ පිළිමය දුටු පළමු යුරෝපීය ජාතිකයා ඔහු නොවේ. ඔහු මේ ප්‍රතිමාව දුටු චාරිකාවේ දී ඔහු හා ගමන් කළ ‌වෙනත් පුද්ගලයෙකු ඊට වසර කීපයකට පෙර මේ ප්‍රතිමාව දැක තිබු බවත්, මේ ස්ථානයට ටෙනන්ට් හා පිරිස රැගෙන ගියේ ඒ තැනැත්තා බවත් ටෙනන්ට් සඳහන් කර ඇත. ටෙනන්ට් මේ චාරිකාව ආරම්භ කරන්නේ 1848 වර්ෂයේ දී ජුලි මාසයේ දීය. ඒ මහනුවර සිට මාතලේ, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව, හබරණ, කලාවැව හරහා අනුරාධපුර දක්වා ගොස් බස්නාහිර පළාත දක්වා ආපසු යන දීර්ඝ චාරිකාවකි. 

ටෙනන්ට්ගේ Ceylon කෘතියේ දෙවන වෙළුමේ දැක්වෙන විස්තරය මෙසේය.

"A few years prior to my tour through this part of Ceylon, a gentleman who accompanied me on the present journey chanced to follow the track of a herd of wild elephants near the tank of Kalaweva, when he suddenly found himself in front of a gigantic statue in the forest, whose existence had been previously unknown to Europeans. He led us to the spot, and our surprise was extreme on beholding a figure of Buddha, nearly fifty feet in height, carved from the face of a granite cliff, and so detached that only two slender ties had been left unhewn at the back to support the colossus by maintaining its attachment with living stone.

The scene was most remarkable. As usual, advantage had been taken of a group of enormous rocks, to form temples and panselas in the fissures between, and prodigious labour had been expended in hewing steps, hollowing niches, and excavating baths. There had formerly been a pandal to shelter the statue and holes still remain in the rock which had served for the insertion of the columns that supported it. The place was deserted and silent. Close by dwelt one solitary priest, with no attendant save a neophyte, his pupil; he told us that the statue had been made by order of Prakrama Bahu, and that the temple in its prosperity was called Nagampaha Estane, but since it fell into ruins, it has been known as the Aukana Wihara." (උපුටාගැනීම - Ceylon an account of the Island, 2වන සංස්කරණය, 1859, 604-5 පිටු)


රූපය 1 - ටෙනන්ට්ගේ කෘතියේ සඳහන් වන චිත්‍රය (පිටුව 604)

නිකොල්‌ගේ හා ටෙනන්ට්ගේ විස්තර අනුව පෙනෙන්නේ ඒ චාරිකාව සිදු වූ 1848 වර්ෂයට කීප වසරකට පෙර මේ පිළිමය මුලින්ම විදේශිකයන් විසින් දැක ඇති බවයි. නිකොල් පවසන පරිදි ඒ අලි දඩයමේ ගිය පිරිසකටය. ටෙනන්ට්ගේ විස්තර අනුව ඒ කණ්ඩායමෙන් අයෙක් ටෙනන්ට් ගිය ගමනට එක් වී ඇත. ඇන්ඩෘ නිකොල් ඔහු හැර මේ ගමනට එක් වූ පුද්ගලයන් හය දෙනෙකු පිළිබඳව සඳහන් කරයි (සිව්දෙනෙක් මුල සිට හා තවත් දෙදෙනක් පසුව එක් වී ඇත). ඒ පුද්ගලයා කවුරුන්ද යන්න නිසැක ලෙස දැන ගැනීමට හෝ ඒ තැනැත්තා වෙනත් තැනක ඒ පිළිබඳව වාර්තා කර තිබේද යන්න දැනට දැනගැනීමට නැත.

බරෝස් දුටු අවුකන (1894ට පෙර)


ඉන් අනතුරුව තවත් ලේඛකයන් මේ පිළිබඳව සඳහන් කර ඇති අතර ඒ අතරින් සිවිල් නිලධාරියෙකු වූ එස්. එම්. බරෝස් 1894 වර්ෂයේ දී මුලින්ම ප්‍රකාශයට පත් ඔහුගේ Buried Cities of Ceylon කෘතියේ සඳහන් කර තිබේ. කලාවැව අසල ඇති වැදගත් ස්ථාන ගැන සඳහන් කරමින් ඔහු අවුකන පිළිමය හා ඒ ආසන්නයේ ඇති අනෙකුත් නෂ්ටාවශේෂ පිළිබඳව මෙසේ පවසයි:

"The second place of interest is the Aukana Vihare. This is situated 2 1/2 miles to the N.-W. of the spill-wall. The path leads through thick jungle, and across the bed of the Kala Oya - the stream which carried off the water from the breach in the bund of Kalavewa - to a collection of square abrupt rocks which stand out boldly on the top of a low hill. From one of these rocks an enormous upright figure of Buddha has been carved. It measures 33 ft. 3 in. from its pedestal, and is beautifully executed and preserved. Every detail of the robe and limbs is fresh and accurate, and the expression of the face and pose of the figure combine an idea of majesty and repose. The statue is slightly joined to the rock behind it by a narrow strip at the back. It faces due east, and when the intervening jungle was padi-land irrigated from Kala vewa, it must have been plainly visible from the bund, at which it gazes. Near the right foot (which is 6 feet long) lies a square slab with a cobra carved on it in high relief. There are several small dagobas and enclosures facing the statue." (උපුටාගැනීම - The Buried Cities of Ceylon, 4වන සංස්කරණය, 1905, 97 පිටුව)


බෙල් දුටු අවුකන පිළිමය (1895)


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු කොමසාරිස් වරයා වු එච්. සී. පී. බෙල් මේ ස්ථානයට ගොස් ඒ පිළිබඳව ඔහු ලියූ සටහන සමඟ පිළිමයේ ඡායාරූපයක් හා චිත්‍ර හා සැලසුම් 1895 වර්ෂයේ ඔහුගේ පාලන වාර්තාවේ සඳහන් වේ (මේ වාර්තාවලට අදාළ ඡායාරූප ඵලක හා සැලසුම් වෙනම මුද්‍රණය කර තිබේ).

බෙල්, අවුකන ප්‍රතිමාව පිළිබඳව සඳහන් කරද්දී සැස්සේරුව හා සංසන්දනය කරමින් අවුකන ප්‍රතිමාවේ ඇති විශිෂ්ටත්වය හා තත්ත්වය පෙන්වා දෙයි. එසේම ඒහි ප්‍රමාණය පිළිබඳව ද විස්තර කරයි. එසේම ප්‍රතිමාඝරයේ ඉතිරිව ඇති කොටස් පිළිබඳව ද සඳහන් කරයි. පහත දැක්වෙන්නේ පිළිමය හා විහාරය පිළිබඳ ඔහුගේ උදෘතයයි (මෙම කොටස තුළ බෙල් උපුටා දක්වා ඇති බරෝස්ගේ කෘතියේ එන ඉහත සඳහන් සටහන මෙහි දක්වා නැත).

"Colossal Buddha

This image is of much the same height as its mighty fellow at Seseruwa, but in every respect has the advantage, and impresses the gazer far more strongly. The Seseruwa Buddha is necessarily dwarfed by the cliff towering above, and being carved in semi-sunk relief is less striking from a distance; further it has weathered badly in places, and unconsciously wears a distrait look. In contrast the Awkana statue, cut in almost full round form a boulder of about the same height, stands badly forward, huge, assertive, awe-inspiring. The features, members and robe are better chiselled [sic], and the expression is not wanting in placid dignity. Exclusive of the nimbus (sirespota, 3 ft. 8 in) and pedestal (3 ft. 10 in. in height and 15 ft. 2 in. in diameter) the figure rises 38 ft. 10 in. The Buddha stands in the attitude of blessing (asiva mudra).

Only the lower part of the building in which the figure was once enshrined remains. This shows a moulded basement with panelling and a plain panelled wall above, all in stone." (උපුටාගැනීම - Annual report of the Archaeological Commissioner 1895, 1904 සැසි වාර්තාවකි, 6-7 පිටු)

මේ හැර මේ ස්ථානයෙන් හමුවන නාග හිස් ඇති ගලක් හා සිරිපතුල් සටහන සහිත වෘත්තාකාර ගල් පුවරුවක් ගැන බෙල් සඳහන් කර ඇත. එසේම සෙල්ලිපි සහිත ලෙන් හා ගිරි ලිපියක් සම්බන්ධව ද ඔහු සඳහන් කරයි.


රූපය 2 - අවුකන පිළිමයේ ඡායාරූපය (Annual Report of the Archaeological Commissioner 1895)


රූපය 3- අවුකන පිළිමය ඉදිරියෙන්, පැත්තෙන් හා උඩින් පෙනෙන ආකාරය දැක්වෙන සැලසුමක් (Annual Report of the Archaeological Commissioner 1895)


රූපය 4 - අවුකන පිළිමය සහ පිළිමගේ ඉතිරිව ඇති කොටස් දැක්වෙන සැලසුම (Annual Report of the Archaeological Commissioner 1895)


ඉහත බෙල් දක්වා ඇති ඡායාරූපය අවුකන පිළිමයේ පළමු ඡායාරූපය විය හැකි බව අප මුලින් අදහස් කළ ද, හසිත චාමිකර ගුණසිංහ මහතාගේ ෆේස්බුක් සටහනේ අදහසක ඔහු විසින් දක්වා තිබූ ඡායාරූපයක (පෝස්ටුව මෙතැනින් බලන්න) පිළිමයේ සිරස්පත නැති බැවින් එය පැරණිම ඡායාරූපය විය හැකි බව දිනිත් ඉන්දික හෑගොඩ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව එය බෙල්ට පෙර කාලයක දී (1895ට පෙර) ගත් ඡායාරූපයක් බව පැහැදිලිය. එම ඡායරූපය පිළිබඳ විස්තර සොයාගත නොහැකි වූවත් කපිතාන් ජේ. පී. හොග් ගේ එකතුවේ තිබී සිරස්පත නොමැති මේ ඡායාරූපය අපට හමු විය (හමුදා නිලධාරියෙකු වන හොග්ගේ ඡායාරූප එකතුව 1870 ගණන්වලට අයත් බව Bibliography of Ceylon දෙවන වෙළුමේ දී එච්. ඒ. අයි ගුණතිලක දක්වා ඇත)



රූපය 8 - සිරස්පත නොමැති අවුකන පිළිමයේ ඡායාරූපයක් (හොග් ඡායාරූප එකතුව)

අවුකන විහාරය හා ජනාවාස


අතීතයේ ජනාවාසව පැවති අවුකන විහාරය අවට ප්‍රදේශය යළිත් ජනාවාස වූ ආකාරය පිළිබඳව කිසියම් අදහසක් ගැනීමට ඉහත ලේඛන හා වෙනත් මූලාශ්‍රවලින් හැකිය. 

ඉහත සඳහන් කළ ටෙනන්ට්ගේ විස්තරයේ දැක්වෙන පරිදි ඒ වන විට අවුකන විහාරයේ විසූ භික්ෂුවක් හා සාමනේර නමක් ගැන සඳහන් කරයි. ඒ අනුව අවුකන විහාරය 1840 දශකය වන විට ද භික්ෂුන් වාසය කළ විහාරස්ථානයක් තිබූ බව ඒ අනුව පැහැදිලිය. 

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනගහනය පිළිබඳ ප්‍රමාණික ලේඛනයක් වන්නේ සංගණන වාර්තාය. 1891 ජන සංගණන වාර්තාවේ නෑගම්පහ කෝරලේ, ගලේගොඩ හා කඳු තුලාන යටතේ අවුකන නමින් වෙනම ගමක් ගැන සඳහන් නොවේ (73 පිටුව). එය වෙනම ගමක් තුළට ඇතුළත් වුවා විය හැකිය. එහෙත් "අවුකන විහාරේ" නමින් වූ ගම පිළිබඳව 1911 හා 1921 සංගණන විස්තර ඇතුළත් 1921 වර්ෂයේ සංගණන වාර්තාවේ (430-431 පිටු) සඳහන් වේ (පෙර වර්ෂවලට සාපේක්ෂව මේ වර්ෂවල සංගණන වාර්තා වඩාත් සවිස්තර ඒවාය).

මේ සංගණන දත්ත අනුව, 1911 දී එක් ගොඩනැගිල්ලක් පමණක් තිබූ අවුකන විහාරේ නමින් හඳුන්වන ලද ගමේ 1921 වර්ෂය වන විට ගොඩනැගිලි තුනක් තිබී ඇත. කෙසේ වෙතත් මේ වර්ෂ දෙකේ දීම ඒ ගමේ ජනගහනය ලෙස සඳහන් කරන්නේ එක් පුද්ගලයෙකු පමණකි. ඒ පිරිමි අයෙකි. උඩරට සිංහලයෙකි. එසේම 1921 වර්ෂයේ දී ඔහු ස්වභාෂා සාක්ෂරතාව තිබූ අයෙකි. (අනෙක් ගම්වල පැවති ජනගහනය හා ස්වභාෂා සාක්ෂරතාව ඇති පිරිස්වල ප්‍රතිශතය කෙතරම් ද යන්න පහත උපුටාදක්වා ඇති වගුවලින් දැකගත හැකිය) ඒ කරුණු පිළිබඳව සලකා බැලීමේ දී සිතිය හැක්කේ ඒ විහාරයේ ස්ථිරව වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේ නම විය හැකි බවයි. මේ අනුව ගම කිසියම් කලක අත්හැර දැමුව ද, විහාරය අත් නොහැර පැවති එකක් බව සිතීමට අවස්ථාව තිබේ. මෙය සංඝයා වහන්සේලා උන්වහන්සේලාගේ ඓතිහාසික කාර්යය අඛණ්ඩව ඉටු කළ තවත් අවස්ථාවකි. (මේ පිළිබඳ තවත් සාධකයක් ලෙස අප හිතවත් හසිත චාමිකර ගුණසිංහගේ ෆේස්බුක් සටහනක දැක්වේ. ඒ අනුව, විහාරය සතු ලේඛනයක වර්ෂ 1757දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුමැතියෙන් විහාරාධිවාසී කුඹුක්වැවේ අනෝමදස්සි හිමියන් ඇතුළු විහාරවාසී භික්ෂූන්ට පොහොය සීමාවක් කරවීම සඳහා ගම්බිම් ප්‍රදානයක් පිළිබඳ තොරතුරු සඳහන්ව ඇත. ඒ සටහන සඳහා මෙතැනින් පිවිසෙන්න)



රූපය 5 - 1891 සංගණන වාර්තාවේ දැක්වෙන ජනගහන දත්ත (Census of Ceylon 1891, වෙළුම III, පි. 73)


රූපය 6 - 1921 සංගණන වාර්තාවේ දත්ත (ගොඩනැගිලි, පුද්ගල ස්ත්‍රී පුරුෂ භාවය, සාක්ෂරතාව) (Census of Ceylon 1921, වෙළුම II, පි. 431)


රූපය 7 - 1921 සංගණන වාර්තාවේ දත්ත (ඉංග්‍රීසි සාක්ෂරතාව, ආගම හා ජනවර්ගය අනුව) (Census of Ceylon 1921, වෙළුම II, පි. 431)

ඒ ප්‍රදේශයේ ගමේ නාමය, විහාරයේ නමින් "අවුකන විහාරේ" නමින් සඳහන් වීම ද වැදගත්ය. ‌ඒ විහාරය පැවති බවට සාධකයක් ද වේ. මෙහි ඇති අපූරු කරුණ වන්නේ නෑගම්පහ කෝරලය තුළ 1921 දී එවැනි විහාරේ නමින් හඳුන්වන ලද තවත් ගම් දෙකක්ම තිබීමයි. අද ඒ ගම් කෙසේ හඳුන්වන්නේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි.
  • සිංහගිරි විහාරේ (ගලේගොඩ කඳු තුලානට අයත්) - 1921 දී ජනගහනය 5 (පිරිමි පමණි) - (සිංහගිරි විහාරේ, අද නාමළුව කන්දේගම  සිංහගිරි රජමහ විහාරය යනුවෙන් අද හඳුන්වනු ලබන අවුකන සිට කිලෝමීටර් 10ක් දුරින් පිහිටා ඇති විහාරය බව හසිත චාමිකර ගුණසිංහ පෙන්වා දී ඇත.)
  • ගල්ලෙන විහාරේ (කලාගම් තුලාන) - 1921 දී ජනගහනය 2කි (පිරිමි පමණි)

මේ අනුව මේවා ද සංගනන වාර්තාවේ දී ගම් ලෙස හඳුන්වනු ලැබූව ද, ඒ වන විට විහාරය පමණක් ජනාවාසව තිබූ ගමක් හෝ ගංගොඩක් විය හැකි බව පෙනේ. ජනගහනය මේ තරම් අඩු වීීම හා පිරිමින් පමණක් වීම ඊට සාධකයකි (අඩු ජනගහනයක් හා පිරිමි පමණක් හෝ වැඩි වශයෙන් වාසය කළ වෙනත් ගම්මාන තිබුනේ නම් ඒවා බොහෝ විට අත්හැර දැමූ ගම්මාන හෝ ඇතැම් විට අලුත් ගම්මාන වූ බව සංගණන වාර්තා අනුව පෙනේ.)

ස්තුතිය - මුල් ලිපිය පළ කිරීමෙන් පසුව සිට වටිනා අදහස් දැක් වූ සුරත් වික්‍රමාරච්චි, හසිත චාමිකර ගුණසිංහ, දිනිත් ඉන්දික හෑගොඩ, සංජීවනී විද්‍යාරත්න හා Serene Court යන හිතවතුන් හා හිතවතියට මගේ  ස්තුතිය පළකරමි. ඔවුන්ගේ අදහස් ගෙන මුල් සටහන යාවත්කාලීන කරන ලදි.