Tuesday, August 28, 2018

නූතන මානවයා පරිසරයට අනුහුරු වීම සෙසු ආදි මානවයන්ට වඩා ඉදිරියෙන්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 15.08.2018, පි. 11, (Vidusara)

http://www.vidusara.com/2018/08/15/feature4.html





Homo ගණයේ සෙසු විශේෂ අභිබවා Homo sapiens හෙවත් නූතන මානවයාගේ සාර්ථකත්වයට හේතු වූ කරුණු මොනවා ද යන්න ද කලක්‌ තිස්‌සේ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වූ කරුණකි. ඒ සම්බන්ධ ව මේ දක්‌වා යම් හෝ පිළිගැනීමකට ලක්‌ ව ඇති කරුණු අතර, සංකේත භාවිතයට ඇති හැකියාව (symbolism) හා ප්‍රජානන වෙනස්‌කම් (cognitive changes) වැනි කරුණු වෙයි. එම අංශවල දැකිය හැකි දියුණුව නිසා අප අයත් වන නූතන මානවයා සෙසු මානවයන් අභිබවා ඉදිරියට ගිය බව එම අදහස්‌වලින් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ ව නව කල්පිතයක්‌ පර්යේෂකයන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම කල්පිතයට අනුව ලෝකය පුරා විවිධ වූ හා ආන්තික වූ පරිසර අත්පත් කරගැනීමට නූතන මානව විශේෂයට ඇති හැකියාව හේතුවෙන් අනෙක්‌ Homo විශේෂ ඉක්‌මවා ලීමට හා අපේ විශේෂය මේ ගණයේ ඉතිරි ව ඇති අවසන් විශේෂය වීමට අවස්‌ථාව ලැබී ඇත. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කරන නූතන මානවයාගේ සුවිශේෂ පාරිසරික ස්‌ථානගත වීම ගෝලීය වූ සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු (generalist specialist) ලෙස හඳුන්වා දී තිබෙයි. මේ අනුව නූතන මානව විශේෂය පාරිසරික වශයෙන් සුවිශේෂ වූයේ කෙසේ ද යන්න තේරුම් ගැනීම පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

අධ්‍යයනයේ පසුබිම


මේ පර්යේෂණ පත්‍රිකාව සඳහා පදනම් වී ඇත්තේ මධ්‍ය හා අපර ප්ලයිස්‌ටොසීන යුගයේ දී (අදින් වසර 300,000 සිට 12,000 දක්‌වා වූ කාලයේ දී) අප්‍රිකාවේ හා ඉන් පිටත ප්‍රදේශවල සිදු වූ ආදි මානවයන්ගේ ව්‍යාප්තිය පුරාවිද්‍යාත්මක හා පුරාපරිසර විද්‍යාත්මක දත්ත යොදාගනිමින් සිදු කරන ලද සවිස්‌තර සමාලෝචනයකි.

මෙහි දී Homo sapiens හෙවත් නූතන මානව විශේෂය හා ඔවුන්ට පෙර හා ඔවුන්ට සමකාලීන ව විසූ මානව විශේෂ වූ Homo erectus හා Homo neanderthalensis වැනි විශේෂ හා පරිසරය අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එහි දී පැවැති පාරිසරික තත්ත්ව හා ඒවාට අනුහුරු වූ ආකාරය පිළිබඳ ව සැලකිල්ල යොමු කර තිබෙයි. අපේ පූර්වජයන්ට හා සමකාලීන වෙනත් Homo ගණයේ සාමාජිකයන්ට වඩා නූතන මානවයන් වෙනස්‌ වූ එක්‌ ප්‍රධාන කරුණක්‌ වූයේ ඔවුන් කාන්තාර, නිවර්තන වනාන්නර, ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශ හා ප්‍රාග් ආක්‌ටික්‌ ප්‍රදේශ වැනි අභියෝගාත්මක පරිසර ගණනාවක්‌ ජනාවාස කරගැනීම ය. එපමණක්‌ නො ව මේ ඇතැම් ආන්තික පරිසරවලට අනුහුරු වීමේ දී දැක්‌වූ විශේෂිතභාවය ද වැදගත් විය.

අනාවරණය වූ කරුණු


මේ පර්යේෂණ පත්‍රිකාවේ දී ඉදිරිපත් කර ඇති වැදගත් හෙළි කිරීම් මෙසේ සැකෙවින් දැක්‌විය හැකි ය. සෙසු Homo විශේෂ අතරින් Homo erectus මානවයා වැනි මානවයන් අප්‍රිකාවෙන් පිටත ඇතැම් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත. එහි දී මේ මානවයන් වනාන්තර හා තෘණබිම් වැනි පරිසර පද්ධති භාවිත කර ඇති බව මේ වන විට ලැබී ඇති සත්ත්ව, ශාක ආදි අවශේෂ මඟින් පෙනී ගොස්‌ ඇත. Homo florensis වැනි මානව විශේෂයක්‌ නිවර්තන වනාන්තර භාවිත කර ඇති බවට අදහස්‌ පළ වී ඇතත් ඒ පිළිබඳ ව තවමත් ප්‍රමාණවත් හා පිළිගත හැකි සාධක නොමැති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

Homo neanderthalensis මානවයා පිළිබඳ ව මීට වඩා වෙනස්‌ අදහසක්‌ තිබුණේ ඔවුන් වඩා ඉහළ අක්‌ෂාංශ ප්‍රදේශ වන යුරේසියානු ප්‍රදේශවල වාසය කළ නිසා ය. අදින් වසර 250,000ත් 40,000ත් අතර කාලයේ වාසය කළ ඔවුන් ඒ පිළිබඳ ව විශේෂඥතාවක්‌ දැක්‌වූ බවට අදහසක්‌ විය. මේ සඳහා පදනම් කරගෙන ඇත්තේ ශීත කාලගුණ තත්ත්වයට ඔරොත්තු දෙන මුහුණු හැඩයක්‌ තිබීම හා වූලි මැමත් වැනි මහා ක්‌ෂිරපායී විශේෂ දඩයම් කිරීම සඳහා පෙලඹීමයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව ඇති සාධක විමසා බැලූ මේ පර්යේෂකයන්ගේ නිගමනය වූයේ නියෑන්ඩර්තාල් මානවයන්ගේ අවධානය මූලික වශයෙන් යොමු වූයේ වනාන්තර හා තෘණභූමි සහිත විවිධ පරිසර පද්ධතිවලට බවයි. ඔවුන් මධ්‍යධරණී ප්‍රදේශවල සිට සෞම්‍ය කලාපීය උතුරු යුරේසියාව දක්‌වා වූ ප්‍රදේශයක විවිධ සතුන් දඩයම් කිරීමේ යෙදී ඇත.

එහෙත් මේ Homo විශේෂ සමඟ සංසන්දනය කරන විට නූතන මානවයා වඩා විශාල විවිධත්වයක්‌ සහිත හා ආන්තික තත්ත්ව සහිත පරිසරයන්හි සිය වාසස්‌ථාන පිහිටුවීමට සමත් විය. අදින් වසර 80,000ත් 50,000ත් අතර කාලයකට ඉහත දී ඔවුහු ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශවල ජනාවාස ඇති කරගත්තෝ ය. අදින් වසර 45,000කට පමණ පෙර කාලය වන විට ආක්‌ටික්‌ ප්‍රදේශ ගණනාවක හා ආසියාවේ, මෙලනීසියාවේ හා ඇමෙරිකාවේ නිවර්තන වනාන්තර තුළ ද වාසස්‌ථාන ඇති කරගෙන තිබිණි. එසේ ම උතුරු අප්‍රිකාවේ, අරාබි අර්ධද්වීපයේ හා වයඹදිග ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශවල නූතන මානවයන් ව්‍යාප්ත වූ බව පෙන්වන සාධක ලැබීමත් සමඟ ඔවුන් නව ප්‍රදේශවලට අනුහුරු වීමේ දී දැක්‌වූ දක්‌ෂතාව මනාව පැහැදිලි වෙයි. එසේ ම ටිබෙට්‌ හා ඇන්ඩීස්‌ කඳුකරය වැනි ඉහළ උන්නතාංශයක්‌ හා ආන්තික තත්ත්ව සහිත පරිසරවලට හැඩගැසීමට හැකි වීම මේ විශේෂයේ ඉදිරි පැවැත්මට වැදගත් විය. එසේ ම මේ හැකියාව නූතන මානවයාගේ නව්‍ය වූ හැකියාවක්‌ විය.

සුවිශේෂී තත්ත්වය


මේ පාරිසරික වශයෙන් වූ සුවිකාර්යතාවට (plasticity) - එනම් බෙහෙවින් එකිනෙකට විවිධ වූ පරිසර අත්පත් කරගැනීමට ඇති හැකියාවට - හේතුව හා එහි ආරම්භය තරමක්‌ අපැහැදිලි ය. එය ඇතැම් විට Homo sapiens නූතන මානව විශේෂයේ අදින් වසර 300,000ත් 200,000ත් අතර සිදු වූ ආරම්භය හා බැඳුණු එකක්‌ විය හැකි ය. එය සාමාන්‍යයෙන් පිළිගැනෙන කරුණකි. එහෙත් මෙසේ නව පරිසර පද්ධතිවලට නූතන මානවයා අනුහුරු වීමේ දක්‌ෂතාවට හේතු වූ කරුණු අනාගතයේ දී වඩාත් පැහැදිලි විය හැකි ය.

මේ ආකාරයෙන් ලෝකයේ මහාද්වීපවලින් බහුතරයක විවිධ වූ පරිසර පද්ධතිවල මානව පැවැත්ම සඳහා සාධක ලැබීම පසුපස නව පාරිසරික නිකේතනයක්‌ හෙවත් අවකාශයක්‌ ඇති බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. එය ඔවුන් දක්‌වන්නේ පෙර සඳහන් කළ 'සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු' යනුවෙනි. මෙහි සාකල්‍යකරුවකු ලෙස හඳුන්වනු ලබන්නේ විවිධ වූ වෙනස්‌ සම්පත් භාවිත කළ හැකි හා විවිධ වූ පාරිසරික තත්ත්වවල වාසය කළ හැකි මිනිසුන් ය. එහෙත් විශේෂඥතාව යනුවෙන් මෙහි දී හඳුන්වන්නේ සීමිත ආහාර වර්ග ප්‍රමාණයක්‌ හා පරිසරයට ඔරොත්තු දිය හැකි සීමිත වූ පිරිස්‌ පිළිබඳව ය. කෙසේ වෙතත් නූතන මිනිසුන් මේ විශේෂඥ ගහන පිළිබඳ ලක්‌ෂණ (කඳුකර වැසි වනාන්තරවාසීන් හා පුරාආක්‌ටික්‌ මැමත් දඩයක්‌කරුවන් වැනි) මෙන් ම සාකල්‍යයික ගහන පිළිබඳ ලක්‌ෂණ ද දරයි.

මේ තත්ත්වය නූතන මානවයාගේ පැවැත්ම සඳහා වැදගත් වී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ හැකියාව සඳහා ඥාතීත්වයක්‌ නොමැති තම විශේෂයේ වෙනත් සාමාජිකයන් සමඟ පුළුල් ලෙස ඇති කරගත් සහයෝගිතාව වැදගත් වන්නට ඇත. එවැනි අය සමඟ ආහාර බෙදා ගැනීම, දිගු දුරක වාසය කරන පිරිස්‌ සමඟ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම හා චාරිත්‍රමය සම්බන්ධතා මඟින් පරිසරයේ විවිධ අංශවල හා දේශගුණයේ විචල්‍යතාවලට අනුහුරු වීමට මිනිසුන්ට ඇති හැකියාව ඉහළ නැංවූ බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සෙසු Homo විශේෂ පරයා ව්‍යාප්ත වීමට මෙන් ම ඔවුන් අභිබවා යැමට ද දායක වන්නට ඇත. මේ අනුව සමුච්චිත (cumulative) සංස්‌කෘතික දැනුමක්‌ එක්‌රැස්‌ කරගැනීම, එය භාවිත කිරීම හා ඊළඟ පරපුරට ලබා දීම අපේ මානව විශේෂයේ සාර්ථකත්වයට හේතු විය. මේ දැනුම ද්‍රව්‍යමය මෙන් ම අදහස්‌වලින් යුත් දැනුමක්‌ වන්නට ඇත. මේ දැනුම සාකල්‍යයික විශේෂඥතා නිකේතය ඇති කිරීමේ දී ඵලදායී වන්නට ඇත.

තවත් කල්පිතයක්‌ ලෙස


අප මාතෘකා කරගත් පර්යේෂණ පත්‍රිකාවෙන් නූතන මානව විශේෂයේ සාර්ථකත්වයට හා සැම මහාද්වීපයක ම හා පරිසරයක ම පාහේ ව්‍යාප්ත වීමට ඔවුන් සතු වූ දක්‌ෂතාව පැහැදිලි කළ හැකි පාරිසරික දෘෂ්ටිකෝණයක්‌ සපයා ඇත. අපගේ විශේෂයේ ආරම්භය හා ස්‌වභාවය පිළිබඳ ව මේ පාරිසරික දෘෂ්ටිකෝණය වැදගත් ය.

කෙසේ වෙතත් පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ අදහස අපූරු කල්පිතයකි. එය පිළිගත හැකි මෙන් ම, ප්‍රාමාණික සාධක ඉදිරිපත් කිරීම මඟින් ප්‍රතික්‌ෂේප කළ හැකි එකක්‌ බවත් මේ පර්යේෂකයන්ගේ පිළිගැනීමයි. කෙසේ වෙතත්, මේ නව අදහස මඟින් ආන්තික පරිසරවල පුරාවිද්‍යාත්මක ගවේෂණ හා අධ්‍යයන සිදු කිරීම බෙහෙවින් දිරිමත් කරනු ලැබෙයි. එවැනි ස්‌ථාන රැසක්‌ ම මේ දක්‌වා එතරම් සැලකිල්ලට ලක්‌ නො වූ ස්‌ථාන වෙයි. විශේෂයෙන් නූතන මානවයාගේ පරිණාමය හා සම්බන්ධව තොටිල්ල සේ සැලකිය හැකි කාලයට (වසර 300,000ක්‌ හෝ 200,000ක්‌) අයත් පැරැණි සාධක පිළිබඳ ව වඩා සවිස්‌තර ව හැදෑරීම ඉතා වැදගත් බව ඔවුන්ගේ අදහස වෙයි.

මූලාශ්‍රය : Nature Human Behaviour, DOI: 10.1038/s41562-018-0394-4

Thursday, August 23, 2018

කෘෂිකර්මයේ යෙදීමට පෙර මිනිසුන් පාන් නිපදවූ බවට සාධක

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 01.08.2017, පි. 09 (Vidusara)

http://www.vidusara.com/2018/08/01/feature3.html



මිනිසුන්ගේ ආහාර අතරින් පාන් යනු ලෝකයේ බොහෝ ප්‍රදේශවල වාසය කරන ජනතාවක්‌ සිය ප්‍රධාන ආහාරය ලෙස ගනු ලබන ආහාරයකි. ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍ය ආහාරයක්‌ වුවත් පාන් නිෂ්පාදනය තරමක්‌ සරල ක්‍රියාවලියකි. මේ නිසා සහල් ප්‍රධාන ආහාරය වන ලෝකයේ ප්‍රදේශ කිහිපයක හැරෙන්නට ලෝකයේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන ආහාරය ලෙස භාවිත කරනු ලබන්නේ පාන් ය. එසේ ම විවිධ ධාන්‍ය වර්ග යොදාගනිමින් පාන් සැකසීම ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදු කරනු ලැබෙයි. පාන් වර්ග ද විවිධාකර වන අතර, එම විවිධත්වය නිසා අද වන විට පාන් යනු ඇතැම් රටවල සංස්‌කෘතික අනන්‍යතාවේ වැදගත් සංකේතයක්‌ බවට ද පත් ව ඇත.

කෙසේ වෙතත් පාන් භාවිතයේ ආරම්භය සිදු වූයේ කවර දා ද යන්න පිළිබඳ ව ඇත්තේ එතරම් පැහැදිලි අවබෝධයක්‌ නම් නො වේ. බොහෝ පුරාවිද්‍යාඥයන් අනුමාන කරන ලෙස පාන් නිෂ්පාදනය මුලින් ම සිදු වූයේ අවම වශයෙන් අදින් වර්ෂ 9,100කට පමණ පෙර නවශිලා යුගයේ දී පමණ දී ය. පාන් පිළිබඳ පැරැණි සාධක යුරෝපයේ හා නිරිතදිග ආසියාවේ නවශිලා යුගයේ පුරාස්‌ථානවලින් ලැබෙන අතර, ඒවා ගෘහාශ්‍රිතකරණය කරන ලද ශාක වර්ග භාවිත කරන ලද කෘෂිකාර්මික ප්‍රජාව හා සම්බන්ධ වෙයි.

කෙසේ වෙතත් සරු වන්ද්‍රවංකය ලෙසින් හඳුන්වන ප්‍රදේශයේ (නයිල් නිම්නයේ සිට ලෙවන්ට්‌ ලෙස හඳුන්වන ප්‍රදේශය හරහා ඇනටෝලියාවට හා මෙසපොතේමියාව දක්‌වා වූ ප්‍රදේශය) ගෘහාශ්‍රිතකරණය කරන ලද ධාන්‍යවල වල් දර්ශ හමු වන අතර එහි විසූ දඩයක්‌කාර ඵලවැල එකතු කරන්නන් මේ තෘණ වර්ගවලින් පිටි නිපදවීම කරන්නට ඇති බවට සාධක තිබෙයි. මේ ප්‍රදේශවල පුරා ස්‌ථාන සමහරකින් ලැබී ඇති පිළිස්‌සුණු ශේෂවලින් මෙන් ම ඇඹරුම් ගල් හා වෙනත් ආයුධ මඟින් පෙනී ගොස්‌ ඇත්තේ ඔවුන් වල් තිරිඟු, රයි, බාර්ලි මෙන් ම මාෂ යෙදාගැනීමට පටන්ගෙන තිබූ බවකි. එහෙත් මේ ද්‍රව්‍ය සොයාගනිමින් ඔවුන් නිෂ්පාදනය කරන ලද්දේ පාන් ද, නැත හොත් කැඳ හෝ බියර් වැනි ආහාරමය ද්‍රව්‍යයක්‌ ද යන්න සාධක සහිත ව පැහැදිලි වී නැත. මේ නිසා මිනිසුන් කෘෂිකර්මයට පිවිසීමට පෙර පාන් නිෂ්පාදනයේ යෙදුණේ ද යන්න පිළිබඳ ව ඝෘජු සාධක මෙතෙක්‌ ලැබී තිබුණේ නැත.



කෙසේ වෙතත් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලවලට අනුව මිනිසුන් කෘෂිකර්මයේ නියෑළීම ආරම්භ කරන්නට අවම වශයෙන් වසර 4,000ක්‌ පමණ කාලයකට පෙර, පාන් නිෂ්පාදනයේ යෙදුණු බවට සාධක ලැබී තිබෙයි.

ජෝර්දානයේ පුරාස්‌ථානයකින් හමු වූ සාධක


මේ පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත්තේ ඊසානදිග ජෝර්දානයේ බ්ලැක්‌ ඩෙස්‌ර්ට්‌ හෙවත් කළු කාන්තාරය නම් ප්‍රදේශයේ පිහිටා ඇති ශුබේඛා 1 (Shubayqa 1) නම් පුරාවිද්‍යා ස්‌ථානයෙනි. 1990 දශකයේ දී මුලින් ම සොයාගෙන කැණීම් කරන ලද මේ ස්‌ථානයේ 2012 - 2015 කාලයේ දී සිදු කරන ලද කැණීම්වලින් පුරාශිලා යුගයේ යෑයි සැක කෙරෙන නිවසක ගල් අතුරන ලද ගෙබිමක්‌ හමු වී ඇත. එහි මධ්‍යයේ වූ ගිනි උදුන මීටරයක්‌ පමණ විෂ්කම්භයකින් යුක්‌ත ගලින් මායිම් කරන ලද එකකි. අදාළ පළමු උදුන අවසන් වශයෙන් භාවිත කළ පසුව, මීටර් 0.5ක්‌ පමණ ඝන තැන්පතුවකට යට වී ආරක්‌ෂා වී තිබිණි. ඒ මත පසු ව තවත් උදුනක්‌ තනා තිබෙයි. මේ ස්‌ථානය අදින් වර්ෂ 11,700 සිට 14,500 පමණ අතර කාලයකට අයත් බවට කාලනිර්ණය කර ඇත. (ඡායාරූපය).



මේ ස්‌ථානයේ ගිනි උදුන අසලින් ශාකමය ද්‍රව්‍යවල ශේෂ 65,000කට අධික ප්‍රමාණයක්‌ හමු වීම මේ කැණීමෙහි දී සිදු කරන ලද වැදගත් ම සොයාගැනීමයි. මෙතරම් අධික ශාක ශේෂ සමූහයක්‌ මේ ප්‍රදේශයේ පුරාස්‌ථානයකින් හමු වීම විශේෂ සිදු වීමකි. එම කාලයට අයත් නිරිතදිග ආසියානු ප්‍රදේශයකින් ශාක ශේෂ විශාල ලෙස හමු වීම දුර්ලභ වීම එයට හේතුවයි.

මේ ශාක ශේෂ සමූහය තුළ විවිධ තක්‌සෝන (taxa) 95කට පමණ අයත් ශාක ශේෂ ඇති බවට හඳුනාගෙන ඇත. ඉන් 50,000කට අධික ප්‍රමාණයක්‌ ඇත්තේ එක්‌තරා අල වර්ගයකි. එසේ ම තවත් ශාක විශේෂ ගණනාවක ශේෂ මෙහි දී හමු වී ඇත. ඒ අතර රනිල භෝගයක්‌, තිරිඟු වර්ගයක්‌, බාර්ලි හා ඕට්‌ හමු වී ඇත. මීට අමතර ව කර වුණු (charred) ආහාර ශේෂ 642ක එකතුවක්‌ ද හමු වී තිබෙයි. පුරාවිද්‍යා කැණීම්වලින් හමු වන මෙවැනි ආහාර ද්‍රව්‍ය පිළිබඳ ව එතරම් ක්‍රමානුකූල ව අධ්‍යයනය කර නොමැති අතර, ඒවායෙන් අතීත මානවයන්ගේ ආහාර තේරීම, සැකසීම හා පරිභෝජනය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි ය. මේ අධ්‍යයනයේ දී මේ ආහාර ශේෂ අතරින් පාන් වැනි යනුවෙන් වර්ග කරන ලද ආහාර ශේෂ 24 ක්‌ පිළිබඳව අවධානයට ලක්‌ කර ඇත. ඉන් 22ක්‌ පැරැණි උදුනෙන් ද, 02ක්‌ මතුපිට තිබූ පසුකාලීන උඳුන අසලින් ද ලැබී ඇති ඒවා ය.

මෙහි දී ඒවායේ ප්‍රමාණය, වයනය, අංශුමය ස්‌වභාවය වැනි කරුණු අඩු විශාලනයකින් යුක්‌ත අන්වීක්‌ෂ හරහා පරීක්‌ෂා කර ඇත. එසේ ම ඒවායේ ඇතුළත් ශාකමය ද්‍රව්‍ය හා න්‍යාසයේ ලක්‌ෂණ පිළිබඳ කරුණු (අවකාශ ප්‍රමාණය හා වර්ගය) අනාවරණය සඳහා පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂ යොදාගෙන තිබෙයි. පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් හමු වන පාන් වැනි ද්‍රව්‍ය හඳුනාගැනීම පහසු කරුණක්‌ නො වෙයි. ඔවුන් මෙහි දී එවැනි ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයක්‌ ද දියුණු කර ඇත. පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂය භාවිතයෙන් එක්‌ එක්‌ ආහාර කොටසෙහි ඇතුළත් ක්‌ෂුද්‍ර ව්‍යqහය හා අංශු වර්ග හඳුනාගැනීමට පර්යේෂකයන් සමත් වී ඇත. එසේ හඳුනාගත් දේ නූතන පුරාඋද්භිද විද්‍යාත්මක නිදර්ශක සමඟ සංසන්දනය කිරීම සිදු කර තිබෙයි. මේ ආහාර කොටස්‌ ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා වුව ද දියුණු කරන ලද තාක්‌ෂණය යටතේ ඒවා හඳුනාගැනීමට මේ අනුව හැකියාව ලැබී ඇත. පිෂ්ටය පිළිබඳ ව පරීක්‌ෂා කිරීම් ද සිදු කර තිබෙයි.

මේ තොරතුරු අනුව මේ ශේෂ පිෂ්ටයෙන් සමන්විත වූ බව හෙළි වී තිබෙයි. එසේ ම ඒවායේ අවකාශවල ව්‍යqහය හා න්‍යාසයේ ව්‍යාප්ත වී ඇති ස්‌වභාවය අනුව මේවා පැතලි පාන් (flatbread) ලෙස හඳුන්වන වර්ගයේ පාන් බව පෙන්වා දී ඇත. මේවා යුරෝපයේ හා තුර්කියේ නවශිලා සහ රෝමානු පුරාස්‌ථානවලින් හමු වී ඇති නුමුහුන් පාන් හා සමාන වෙයි.

මේ පාන් නිපදවීමට යොදාගත් ද්‍රව්‍ය අතර තිරිඟු විශේෂයක්‌, රයි, මිලට්‌ හා ඕට්‌ වැනි ධාන්‍ය වර්ගවල වල් පූර්වජයන් වූ ධාන්‍ය වර්ග තිබී ඇත. මේවා අඹරා, අනා සකස්‌ කරගෙන පාන් නිපදවීම සඳහා යොදාගෙන ඇත.

කෘෂිකර්මයට වඩා පැරැණි පාන්


මේ උදුන් අසලින් හමු වූ ශාක ශේෂ අදින් වර්ෂ 14,400 හා 14,200 අතර කාලයකට අයත් ලෙස දින නියම කර ඇත. ඒ සඳහා විකිරණශීලී කාබන් කාලනිර්ණ හතක්‌ පමණ යොදාගෙන තිබෙයි. මේ දිනය මේ දක්‌වා පාන් නිෂ්පාදනය පිළිබඳ ව ලැබී ඇති වඩාත් පැරැණි ම ඝෘජු සාධකය වෙයි. මීට පෙර පාන් නිෂ්පාදනය පිළිබඳ ව ඇති පැරැණි ම නිශ්චිත සාධකය වූයේ තුර්කියේ පුරාස්‌ථානයකින් ලැබුණු අදින් වර්ෂ 9,100ක්‌ පමණ පැරැණි සාධකයකි. එම දිනයට වඩා ජෝර්දානයේ පුරාස්‌ථානයෙන් ලැබෙන දිනය වසර 4,000ක්‌ පමණ වත් පැරැණි බව පැහැදිලි ය.

එය කෘෂිකර්මය ආරම්භය පිළිබඳ ව මෙතෙක්‌ ලැබී ඇති පැරැණි ම සාධකවලට වඩා ද පැරැණි ය. ඒ අනුව පාන් වැනි ආහාර වර්ග නිෂ්පාදනය කිරීම කෘෂිකර්මයේ ආරම්භයට පෙර සිදු ව ඇති බව පැහැදිලි ය. වෙනත් ලෙසකින් පවසන්නේ නම් අනුව ශාක වගා කිරීමට පෙර පාන් පිsළිස්‌සීම පිළිබඳ ව මිනිසුන් දැන සිටි බවක්‌ පෙනෙයි. මිනිසුන් පරිසරයෙන් සොයාගත් ස්‌වාභාවික ව වැවුණු ශාක යොදාගනිමින් පාන් නිෂ්පාදනය කර ඇත.

පාන් පිළියෙල කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ එකකි. ධාන්‍ය පොතු ඉවත් කිරීම, ඇඹරීම, ඇනීම හා පිළිස්‌සීම වැනි සංකීර්ණ, කාලය හා ශ්‍රමය අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියකි. එවැනි ආහාරයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා එම යුගයේ මානවයන් යොමු වීමෙන් එම ආහාරයේ තිබූ විශේෂත්වය හෝ වැදගත්කම හෝ පැහැදිලි වෙයි. මේ ආහාරය වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීම ඔවුන්ට අවශ්‍ය වන්නට ද ඇත. ඒ අනුව වනගත ව වැවී තිබූ ධාන්‍ය භාවිත කරමින් පාන් නිෂ්පාදනය කළ හැකි වීම නිසා ඒ වන විට දඩයම හා ඵලවැල එකතු කිරීම (hunter gathering) සිදු කළ මානවයන් ධාන්‍ය වගා කිරීම සඳහා යොමු වන්නට ද බලපෑමක්‌ කරන්නට ඇති බව මේ පර්යේෂකයන් විසින් යෝජනා කර ඇත. එය නවශිලා යුගයේ දී සිදු වූ කෘෂිකාර්මික විප්ලවයට හේතු වන්නට ද ඇත.

එසේ ම මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇති පුරාවිද්‍යා ෙක්‌ෂaත්‍රයෙන් මේ දක්‌වා ලැබී ඇති සාධක අනුව එම ස්‌ථානයේ විසූ මිනිසුන් තැනින් තැනට යන දිවිපෙවෙතක්‌ වෙනුවට වඩා නිශ්චල වූ දිවිපෙවෙතක්‌ ගෙවූ බව ද පෙනී ගොස්‌ ඇත. ඔවුන් භාවිත කර ඇති ඇඹරුම් ගල් හා කැපුම් ගල් අනුව පෙනී ගොස්‌ ඇත්තේ ඔවුන් වඩා වෙනස්‌ ආකාරයකින් හා වඩා ඵලදායි ආකාරයෙන් ශාක භාවිතය සඳහා යොමු ව ඇති බවයි.

මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1801071115

Wednesday, August 8, 2018

චීනයෙන් හමු වූ ගිබන් විශේෂය වඳ වී ගියේ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.07.2017, පි. 06 (Vidusara)

http://www.vidusara.com/2018/07/18/feature1.html




චීනයේ පැරැණි සුසානයක තිබී හමු වූ සත්ත්ව අස්‌ථි ශේෂ අතර තිබී මෙතෙක්‌ විද්‍යාත්මක ව විස්‌තර කර නොමැති ගිබන් වානර විශේෂයකට අයත් ශේෂ හඳුනාගැනීමට විද්‍යඥයන් පිරිසක්‌ සමත් වූ බව පසුගිය දා වාර්තා විය. මෙසේ හමු ව ඇති ගිබන් විශේෂය අද ලෝකයේ දැකිය නොහැකි වඳ වී ගිය ගිබන් විශේෂයකි. ඒ අනුව මිනිසුන් ජීවී විශේෂ තර්ජනයට ලක්‌ කර ඇත්තේ හා වඳ වී යැමට සලස්‌වා ඇත්තේ සැලකිය යුතු තරම් අතීතයේ සිට බවට ද සාධක මෙමඟින් ලැබෙන බව මේ පර්යේෂකයන්ගේ මතය වෙයි.

මේ සොයාගැනීම සිදු කර ඇත්තේ මධ්‍යම චීනයේ ෂාන්ක්‌සි පළාතේ සියාන් (Xi'an) ආසන්නයේ පිහිටා ඇති සුසානයකිනි. අතීතයේ ප්‍රබල අධිරාජ්‍යයක කේන්ද්‍රස්‌ථානය ලෙස පැවැති ප්‍රදේශයක්‌ වන එම ප්‍රදේශයෙන් මේ සුසානය සොයාගන්නා ලද්දේ 2004 වර්ෂයේ දී පමණ ය. සුසානයේ පිහිටීම හා ලැබුණු පුරාවස්‌තු අනුව එහි දින නියම කර ඇත්තේ අදින් වසර 2,200ත් 2,300ත් අතර කාලයකට අයත් වූවක්‌ ලෙස ය. එසේ ම එම සුසානය අයත් වන්නේ සියා (Lady Xia‌) ලෙස හඳුන්වනු ලබන වංශවත් කාන්තාවකට ලෙස ද නිගමනය කර ඇත. ඇය චීනයේ පළමු අධිරාජයා ලෙස සැලකෙන ක්‌සිං ෂිසුආග් (Qin Shi Huang) අධිරාජයාගේ මිත්තණියයි. පොදු වර්ෂ පූර්ව 256 සිට 210 දක්‌වා රාජ්‍යත්වය දැරූ මේ අධිරාජයා චීනයේ විශාල ප්‍රදේශයක්‌ එක්‌සත් කර සිය අධිරාජ්‍යය ගොඩනඟාගත්තේ ය. එසේ ම ඔහු චීන මහා ප්‍රාකාරය තැනීමට ද මුල් වූයේ ය. ලෝක ප්‍රකට මැටි සොල්දාදුවන් දැකිය හැකි සුසාන ගෘහය ඔහුගේ දේහය තැන්පත් කළ සුසාන ගෘහය වෙයි.

පෙර සඳහන් කාන්තාවගේ සුසානය කැණීමෙන් ලැබී ඇති ද්‍රව්‍ය අතර විවිධ සත්ත්ව ශේෂ රැසක්‌ තිබී ඇත. ඒ අතර ලින්ක්‌ස්‌ මුවන්, දිවියන් හා කළු වළසුන් වැනි සතුන්ගේ අස්‌ථිමය ශේෂ විය. ඒ අතර තිබී මේ අධ්‍යයනයේ යෙදුණු පිරිසට අදාළ ගිබන් අස්‌ථි ශේෂ නිරීක්‌ෂණයට අවස්‌ථාව ලැබෙන්නේ 2011 වර්ෂයේ දී පමණ ය. කැණීමෙන් හමු වූ මේ ප්‍රයිමේටා අස්‌ථි ශේෂ මේ පර්යේෂකයන්ගේ අවධානයට ලක්‌ වූයේ එම හිස්‌ කබල කොටස හා හනු කොටස මේ වන විට දන්නා ගිබන් වානරයකුට සමාන නො වන බව ඔවුන්ට පෙනී ගිය නිසා ය.

ගිබන් විශේෂය හඳුනාගැනීම

ඩිජිටල් පරිලෝකනය මඟින් ලබාගත් දත්ත යොදාගනිමින් ආසියාවේ ගිබන් සතුන් සිය ගණනකගේ හිස්‌කබල් සමඟ මේ නව හිස්‌කබල සංසන්දනය කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ කෞතුකාගාරවල ඇති නිදර්ශක එකතු හා සමඟ ද සංසන්දනය කර තිබෙයි. එහි දී පෙනී ගොස්‌ ඇති පරිදි, මේ හිස්‌කබල පැහැදිලි වෙනස්‌කම් සහිත ව ඉස්‌මතු වී ඇති බව පෙනී ගොස්‌ ඇත. කෙසේ වෙතත් මේ හිස්‌කබලෙන් DNA ලබාගැනීමට පර්යේෂකයන්ට හැකියාවක්‌ ලැබී නැත.

මෙසේ ලැබුණු ගිබන් හිස්‌කබලේ තොරතුරු යොදාගෙන පර්යේෂකයන් අධිතාක්‌ෂණික ආකෘතික ක්‍රමවේද යොදාගෙන මේ ගිබන් වානරයන් අතර නව විශේෂයක්‌ මෙන් ම නව ගණයක්‌ ද වන බව අනාවරණය කරගෙන ඇත. මෙසේ සොයාගත් ගිබන් වානර විශේෂය නම් කර ඇත්තේ Junzi imperialis යනුවෙනි. මේ ගිබන් සත්ත්වයාගේ මුහුණේ ස්‌වභාවය සාපේක්‌ෂ ව වඩා පැතලි වූවක්‌ වන අතර එය ප්‍රමාණයෙන් කුඩා වූවකි. එසේ ම මොවුන්ගේ රදනක දත් සත්ත්වයාගේ ප්‍රමාණයට සාපේක්‌ෂ ව දික්‌ වූ බව ද දක්‌වා ඇත. එසේ ම අද වන විට මේ ගිබන් විශේෂය වඳ වී ගොසිනි. මේ අනුව වඳ වී ගිය ගිබන් වානර විශේෂ ගණන දෙකක්‌ දක්‌වා ඉහළ යයි.

මේ නව විශේෂය ජීවත් වන්නට ඇත්තේ වර්තමානයේ ගිබන් වාසය කරන ප්‍රදේශවලට වඩා උතුරට වන්නට විය හැකි ය. අතීත චීනයෙන් ගිබන් පිළිබඳ ව වාර්තා තිබුණ ද වර්තමානය වන විට ගිබන් වානරයන් හමු වන්නේ මධ්‍යම චීනයට බොහෝ ඈතින් ය.

ගිබන් පිළිබඳ වාර්තා ඓතිහාසික චීන ලේඛන අතර එයි. නිදසුනක්‌ ලෙස අටවැනි සියවසේ චීන කවියකු වූ ලි බායි (Li Bai) විසින් යෑංට්‌සි ගෙග් ගල්පර අතරේ ගිබන් වානරයන්ගේ හඩ රැව් දෙන ආකාරය පිළිබඳ ව සටහන් තබා ඇත. එහෙත් අද වන විට යෑංට්‌සි ගෙග් ෙද්‍රdaණියේ තවදුරටත් ගිබන් වානරයන් දැකිය නොහැකි ය. එසේ ම චීනයේ පැරැණි චිත්‍රවල සඳහන් වන සමේ වර්ණ රටාවලින් යුක්‌ත ගිබන් වානරයන් අද වෙනත් ප්‍රදේශවල දැකිය හැකි වානරයන් අතර දැකිය හැකි නො වේ. චිත්‍රවල ඉතා කැපී පෙනෙන ආකාරයෙන් නිරූපණය කර ඇති බැවින් එම ගිබන් වානරයන් මධ්‍යම චීනයේ කිසියම් කාලයක සුලබ ව දැකිය හැකි වූ බව පර්යේෂකයන්ගේ අදහසයි. මේ පිළිබඳ ව සාධකයක්‌ ලෙස මේ සුසානයෙන් ලැබී ඇති ගිබන් අස්‌ථි ශේෂ සැලකිය හැකි ය. මේ අනුව උක්‌ත වඳ වී ගිය විශේෂය චිත්‍රවල හා ඓතිහාසික වාර්තාවල සටහන් වන්නේ ද යන්න සිතීම සාධාරණ ය.

චීන සංස්‌කෘතිය තුළ ගිබන් වානරයන් උසස්‌ ලක්‌ෂණ තිබූ සතුන් සේ සැලකිණි. මේ සතුන් වඳුරන් හා සංසන්දනය කරමින් මේ බව දක්‌වා ඇත. ඒ නිසා ගිබන් වානරයන් වංශවතුන් අතර සුරතල් සතුන් සේ ඇති කරන ලද බව ද සඳහන් වෙයි. චිත්‍රවල ගිබන් වානරයන් සටහන් වීමට මෙය ද එක්‌ හේතුවකි.

වඳ වී යැමට මිනිසුන්ගේ සම්බන්ධය

එසේ නම් මේ ගිබන් වානරයන්ට සිදු වූයේ කුමක්‌ ද? මේ ගිබන් විශේෂය මීට ශතවර්ෂ කීපයකට පෙර පමණ කාලයක්‌ දක්‌වා (එනම් 18 වැනි සියවස පමණ) ජීවත් වී ඇති, ගිබන් විශේෂයක්‌ විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. මේ ගිබන් විශේෂයේ වඳ වී යැම සඳහා බලපා ඇති මූලික හේතු වන්නේ පරිසරය සම්බන්ධ ව මිනිසුන් විසින් එල්ල කරන ලද පීඩනය විය හැකි ය.

මෙසේ උක්‌ත සත්ත්වයා සුසානයක රැඳවීම මඟින් පෙනෙන්නේ එම සත්ත්වයා සුරතල් සතෙකු ලෙස ඇති කරන ලද බව ය. එවැනි භාවිතයක්‌ අදාළ විශේෂයේ සතුන්ට ඉතා බරපතළ ලෙස හානිකර විය හැකි දෙයකි. විශේෂයෙන් සුරතලයට ඇති කිරීම සඳහා ලබාගන්නේ කුඩා පැටවකු ය. එවැනි පැටවකු පරිසරයෙන් ලබාගැනීමේ දී බොහෝ විට එම පැටවාගේ මව මරා දැමීම සිදු වෙයි. එය තවදුරටත් ගැටලු සහිත විය හැක්‌කේ එය සමස්‌තයක්‌ ලෙස මුළු ගිබන් කණ්‌ඩායමේ ම ව්‍යුහයට බලපාන්නක්‌ විය හැකි නිසා ය. සුරතල් සතුන් ලෙස ඇති කිරීමට ලබාගැනීම ද සතුන්ගේ වඳ වී යැමට හේතුවක්‌ විය හැකි ය.

ඓතිහාසික දත්ත අනුව පෙනී ගොස්‌ ඇත්තේ මිනිසුන් විසින් එල්ල කරන ලද දඩයම හා වාසස්‌ථාන විනාශය වැනි වෙනත් පීඩන තත්ත්ව හේතුවෙන් ද ගිබන් සතුන් වඳ වී යා හැකි බවයි. මේ සියලු තත්ත්ව හේතුවෙන් මේ සුසානයෙන් හමු වූ විශේෂයට අයත් ගිබන් සතුන් වඳ වී යැමට බෙහෙවින් ඉඩ ඇත. මේ අනුව මිනිසුන්ගේ ඝෘජු ක්‍රියාකාරිත්වය නිසා මිහිතලයෙන් වඳ වී ගිය පළමු ජීවී විශේෂය මේ ජීවියා විය හැකි ය. (අද චීනයේ වාසය කරන ගිබන් විශේෂ දැකිය හැක්‌කේ චීනයේ දකුණු දෙසට හා ඈතට වන්නට පිහිටා ඇති ප්‍රදේශයකිනි. ඒ වෙනත් විශේෂ වෙයි)

මේ දක්‌වා දඩයම් කිරීම නිසා හෝ වාසස්‌ථාන විනාශ වීම නිසා හෝ වඳ වී ගිය ප්‍රයිමේටා විශේෂයක්‌ පිළිබඳ ව වාර්තා වී තිබුණේ නැත. එහෙත් මේ නව සොයාගැනීම ගිබන් වානරයන් මුහුණ පා ඇති තත්ත්වය සම්බන්ධ ව පෙන්වා දෙයි. අද වන විට ලෝකයේ ජීවත් වන අග්‍රේෂයන් හෙවත් ප්‍රයිමේටාවන් ජීවත් වන්නේ දැඩි වඳ වීමේ තර්ජනයකට ලක්‌ ව ය.

අනෙක්‌ අතට මිනිසුන් විසින් කොපමණ ප්‍රයිමේටා විශේෂ ගණනකගේ වඳ වීම සඳහා දායක වී තිබේ ද යන්න ඇතැම් විට අප මෙතෙක්‌ අවතක්‌සේරුවට ලක්‌ කර ඇතැයි යන්න මේ පර්යේෂණයෙන් මතු කරන තවත් කරුණකි. අප නො දන්නා දේ තවත් තිබිය හැකි ය. අනෙක්‌ අතට අද ජීවත් වන සියලු ජීවී විශේෂ මුහුණ පා ඇති තර්ජනයේ තරම ද මේ අනුව පෙනෙයි. මේ ජීවීන්ගේ ආරක්‌ෂාව හා පැවැත්ම පවතින්නේ මිනිසුන්ගේ දායකත්වය මත ය.

මූලාශ්‍රය : Science, DOI: 10.1126/science.aao4903

සටහන - ගිබන් විවිධත්වය



ගිබන් යනු ක්‌ෂිරපායි වර්ගයේ Primates ගෝත්‍රයට අයත් Hylobatidae කුලයට අයත් වානර විශේෂ වේ. මොවුන් කුඩා වානරයන් (Lesser apes) ලෙස මහා වානරයන් ගෙන් (Great apes - චිම්පන්සි, ගොරිල්ලා, ඔරංඋටං හා මිනිසුන්) මූලික ව වෙන් කරගනු ලබන්නේ ප්‍රමාණයෙන් කුඩා වීමෙනි.

මේ වන විට ලෝකයේ ජීවත් වන ගිබන් විශේෂ ගණන 18ක්‌ පමණ වෙයි. ඒ විශේෂ 18 ගණ හතරකට (04) අයත් ය. එසේ ම මේ ලිපියේ සඳහන් වන වඳ වී ගිය විශේෂය ද ඇතුළත් ව ගණ දෙකකට (02) අයත් වඳ වී ගිය විශේෂ දෙකක්‌ පිළිබඳව ද වාර්තා වෙයි. මේ අනුව ගිබන් විශේෂ 20ක්‌ පිළිබඳ ව ලෝකයෙන් වාර්තා වී ඇත.

අප දන්නා ගිබන් සත්ත්වයන් වාසය කරන්නේ ආසියාවේ ය. ඒ නිවර්තන හා උප නිවර්තන කලාපයට අයත් රටවල් කිහිපයක පමණකි. බංගලාදේශය හා නැඟෙනහිර ඉන්දියාවේ සිට චීනයේ දකුණුදිග ප්‍රදේශවල හා අග්නිදිග ආසියානු රටවල් දක්‌වා වූ කලාපයක ද හා ඉන්දුනීසියානු දූපත් කිහිපයක ද මේ සතුන් දැකගත හැකි ය.