ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 01.08.2017, පි. 09 (Vidusara)
http://www.vidusara.com/2018/08/01/feature3.htmlමිනිසුන්ගේ ආහාර අතරින් පාන් යනු ලෝකයේ බොහෝ ප්‍රදේශවල වාසය කරන ජනතාවක් සිය ප්‍රධාන ආහාරය ලෙස ගනු ලබන ආහාරයකි. ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍ය ආහාරයක් වුවත් පාන් නිෂ්පාදනය තරමක් සරල ක්‍රියාවලියකි. මේ නිසා සහල් ප්‍රධාන ආහාරය වන ලෝකයේ ප්‍රදේශ කිහිපයක හැරෙන්නට ලෝකයේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන ආහාරය ලෙස භාවිත කරනු ලබන්නේ පාන් ය. එසේ ම විවිධ ධාන්‍ය වර්ග යොදාගනිමින් පාන් සැකසීම ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදු කරනු ලැබෙයි. පාන් වර්ග ද විවිධාකර වන අතර, එම විවිධත්වය නිසා අද වන විට පාන් යනු ඇතැම් රටවල සංස්‌කෘතික අනන්‍යතාවේ වැදගත් සංකේතයක් බවට ද පත් ව ඇත.
කෙසේ වෙතත් පාන් භාවිතයේ ආරම්භය සිදු වූයේ කවර දා ද යන්න පිළිබඳ ව ඇත්තේ එතරම් පැහැදිලි අවබෝධයක් නම් නො වේ. බොහෝ පුරාවිද්‍යාඥයන් අනුමාන කරන ලෙස පාන් නිෂ්පාදනය මුලින් ම සිදු වූයේ අවම වශයෙන් අදින් වර්ෂ 9,100කට පමණ පෙර නවශිලා යුගයේ දී පමණ දී ය. පාන් පිළිබඳ පැරැණි සාධක යුරෝපයේ හා නිරිතදිග ආසියාවේ නවශිලා යුගයේ පුරාස්‌ථානවලින් ලැබෙන අතර, ඒවා ගෘහාශ්‍රිතකරණය කරන ලද ශාක වර්ග භාවිත කරන ලද කෘෂිකාර්මික ප්‍රජාව හා සම්බන්ධ වෙයි.
කෙසේ වෙතත් සරු වන්ද්‍රවංකය ලෙසින් හඳුන්වන ප්‍රදේශයේ (නයිල් නිම්නයේ සිට ලෙවන්ට් ලෙස හඳුන්වන ප්‍රදේශය හරහා ඇනටෝලියාවට හා මෙසපොතේමියාව දක්‌වා වූ ප්‍රදේශය) ගෘහාශ්‍රිතකරණය කරන ලද ධාන්‍යවල වල් දර්ශ හමු වන අතර එහි විසූ දඩයක්‌කාර ඵලවැල එකතු කරන්නන් මේ තෘණ වර්ගවලින් පිටි නිපදවීම කරන්නට ඇති බවට සාධක තිබෙයි. මේ ප්‍රදේශවල පුරා ස්‌ථාන සමහරකින් ලැබී ඇති පිළිස්‌සුණු ශේෂවලින් මෙන් ම ඇඹරුම් ගල් හා වෙනත් ආයුධ මඟින් පෙනී ගොස් ඇත්තේ ඔවුන් වල් තිරිඟු, රයි, බාර්ලි මෙන් ම මාෂ යෙදාගැනීමට පටන්ගෙන තිබූ බවකි. එහෙත් මේ ද්‍රව්‍ය සොයාගනිමින් ඔවුන් නිෂ්පාදනය කරන ලද්දේ පාන් ද, නැත හොත් කැඳ හෝ බියර් වැනි ආහාරමය ද්‍රව්‍යයක් ද යන්න සාධක සහිත ව පැහැදිලි වී නැත. මේ නිසා මිනිසුන් කෘෂිකර්මයට පිවිසීමට පෙර පාන් නිෂ්පාදනයේ යෙදුණේ ද යන්න පිළිබඳ ව ඝෘජු සාධක මෙතෙක් ලැබී තිබුණේ නැත.
කෙසේ වෙතත් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලවලට අනුව මිනිසුන් කෘෂිකර්මයේ නියෑළීම ආරම්භ කරන්නට අවම වශයෙන් වසර 4,000ක් පමණ කාලයකට පෙර, පාන් නිෂ්පාදනයේ යෙදුණු බවට සාධක ලැබී තිබෙයි.
ජෝර්දානයේ පුරාස්‌ථානයකින් හමු වූ සාධක
මේ පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත්තේ ඊසානදිග ජෝර්දානයේ බ්ලැක් ඩෙස්‌ර්ට් හෙවත් කළු කාන්තාරය නම් ප්‍රදේශයේ පිහිටා ඇති ශුබේඛා 1 (Shubayqa 1) නම් පුරාවිද්‍යා ස්‌ථානයෙනි. 1990 දශකයේ දී මුලින් ම සොයාගෙන කැණීම් කරන ලද මේ ස්‌ථානයේ 2012 - 2015 කාලයේ දී සිදු කරන ලද කැණීම්වලින් පුරාශිලා යුගයේ යෑයි සැක කෙරෙන නිවසක ගල් අතුරන ලද ගෙබිමක් හමු වී ඇත. එහි මධ්‍යයේ වූ ගිනි උදුන මීටරයක් පමණ විෂ්කම්භයකින් යුක්‌ත ගලින් මායිම් කරන ලද එකකි. අදාළ පළමු උදුන අවසන් වශයෙන් භාවිත කළ පසුව, මීටර් 0.5ක් පමණ ඝන තැන්පතුවකට යට වී ආරක්‌ෂා වී තිබිණි. ඒ මත පසු ව තවත් උදුනක් තනා තිබෙයි. මේ ස්‌ථානය අදින් වර්ෂ 11,700 සිට 14,500 පමණ අතර කාලයකට අයත් බවට කාලනිර්ණය කර ඇත. (ඡායාරූපය).
මේ ස්‌ථානයේ ගිනි උදුන අසලින් ශාකමය ද්‍රව්‍යවල ශේෂ 65,000කට අධික ප්‍රමාණයක් හමු වීම මේ කැණීමෙහි දී සිදු කරන ලද වැදගත් ම සොයාගැනීමයි. මෙතරම් අධික ශාක ශේෂ සමූහයක් මේ ප්‍රදේශයේ පුරාස්‌ථානයකින් හමු වීම විශේෂ සිදු වීමකි. එම කාලයට අයත් නිරිතදිග ආසියානු ප්‍රදේශයකින් ශාක ශේෂ විශාල ලෙස හමු වීම දුර්ලභ වීම එයට හේතුවයි.
මේ ශාක ශේෂ සමූහය තුළ විවිධ තක්‌සෝන (taxa) 95කට පමණ අයත් ශාක ශේෂ ඇති බවට හඳුනාගෙන ඇත. ඉන් 50,000කට අධික ප්‍රමාණයක් ඇත්තේ එක්‌තරා අල වර්ගයකි. එසේ ම තවත් ශාක විශේෂ ගණනාවක ශේෂ මෙහි දී හමු වී ඇත. ඒ අතර රනිල භෝගයක්, තිරිඟු වර්ගයක්, බාර්ලි හා ඕට් හමු වී ඇත. මීට අමතර ව කර වුණු (charred) ආහාර ශේෂ 642ක එකතුවක් ද හමු වී තිබෙයි. පුරාවිද්‍යා කැණීම්වලින් හමු වන මෙවැනි ආහාර ද්‍රව්‍ය පිළිබඳ ව එතරම් ක්‍රමානුකූල ව අධ්‍යයනය කර නොමැති අතර, ඒවායෙන් අතීත මානවයන්ගේ ආහාර තේරීම, සැකසීම හා පරිභෝජනය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි ය. මේ අධ්‍යයනයේ දී මේ ආහාර ශේෂ අතරින් පාන් වැනි යනුවෙන් වර්ග කරන ලද ආහාර ශේෂ 24 ක් පිළිබඳව අවධානයට ලක් කර ඇත. ඉන් 22ක් පැරැණි උදුනෙන් ද, 02ක් මතුපිට තිබූ පසුකාලීන උඳුන අසලින් ද ලැබී ඇති ඒවා ය.
මෙහි දී ඒවායේ ප්‍රමාණය, වයනය, අංශුමය ස්‌වභාවය වැනි කරුණු අඩු විශාලනයකින් යුක්‌ත අන්වීක්‌ෂ හරහා පරීක්‌ෂා කර ඇත. එසේ ම ඒවායේ ඇතුළත් ශාකමය ද්‍රව්‍ය හා න්‍යාසයේ ලක්‌ෂණ පිළිබඳ කරුණු (අවකාශ ප්‍රමාණය හා වර්ගය) අනාවරණය සඳහා පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂ යොදාගෙන තිබෙයි. පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් හමු වන පාන් වැනි ද්‍රව්‍ය හඳුනාගැනීම පහසු කරුණක් නො වෙයි. ඔවුන් මෙහි දී එවැනි ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයක් ද දියුණු කර ඇත. පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂය භාවිතයෙන් එක් එක් ආහාර කොටසෙහි ඇතුළත් ක්‌ෂුද්‍ර ව්‍යqහය හා අංශු වර්ග හඳුනාගැනීමට පර්යේෂකයන් සමත් වී ඇත. එසේ හඳුනාගත් දේ නූතන පුරාඋද්භිද විද්‍යාත්මක නිදර්ශක සමඟ සංසන්දනය කිරීම සිදු කර තිබෙයි. මේ ආහාර කොටස් ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා වුව ද දියුණු කරන ලද තාක්‌ෂණය යටතේ ඒවා හඳුනාගැනීමට මේ අනුව හැකියාව ලැබී ඇත. පිෂ්ටය පිළිබඳ ව පරීක්‌ෂා කිරීම් ද සිදු කර තිබෙයි.
මේ තොරතුරු අනුව මේ ශේෂ පිෂ්ටයෙන් සමන්විත වූ බව හෙළි වී තිබෙයි. එසේ ම ඒවායේ අවකාශවල ව්‍යqහය හා න්‍යාසයේ ව්‍යාප්ත වී ඇති ස්‌වභාවය අනුව මේවා පැතලි පාන් (flatbread) ලෙස හඳුන්වන වර්ගයේ පාන් බව පෙන්වා දී ඇත. මේවා යුරෝපයේ හා තුර්කියේ නවශිලා සහ රෝමානු පුරාස්‌ථානවලින් හමු වී ඇති නුමුහුන් පාන් හා සමාන වෙයි.
මේ පාන් නිපදවීමට යොදාගත් ද්‍රව්‍ය අතර තිරිඟු විශේෂයක්, රයි, මිලට් හා ඕට් වැනි ධාන්‍ය වර්ගවල වල් පූර්වජයන් වූ ධාන්‍ය වර්ග තිබී ඇත. මේවා අඹරා, අනා සකස් කරගෙන පාන් නිපදවීම සඳහා යොදාගෙන ඇත.
කෘෂිකර්මයට වඩා පැරැණි පාන්
මේ උදුන් අසලින් හමු වූ ශාක ශේෂ අදින් වර්ෂ 14,400 හා 14,200 අතර කාලයකට අයත් ලෙස දින නියම කර ඇත. ඒ සඳහා විකිරණශීලී කාබන් කාලනිර්ණ හතක් පමණ යොදාගෙන තිබෙයි. මේ දිනය මේ දක්‌වා පාන් නිෂ්පාදනය පිළිබඳ ව ලැබී ඇති වඩාත් පැරැණි ම ඝෘජු සාධකය වෙයි. මීට පෙර පාන් නිෂ්පාදනය පිළිබඳ ව ඇති පැරැණි ම නිශ්චිත සාධකය වූයේ තුර්කියේ පුරාස්‌ථානයකින් ලැබුණු අදින් වර්ෂ 9,100ක් පමණ පැරැණි සාධකයකි. එම දිනයට වඩා ජෝර්දානයේ පුරාස්‌ථානයෙන් ලැබෙන දිනය වසර 4,000ක් පමණ වත් පැරැණි බව පැහැදිලි ය.
එය කෘෂිකර්මය ආරම්භය පිළිබඳ ව මෙතෙක් ලැබී ඇති පැරැණි ම සාධකවලට වඩා ද පැරැණි ය. ඒ අනුව පාන් වැනි ආහාර වර්ග නිෂ්පාදනය කිරීම කෘෂිකර්මයේ ආරම්භයට පෙර සිදු ව ඇති බව පැහැදිලි ය. වෙනත් ලෙසකින් පවසන්නේ නම් අනුව ශාක වගා කිරීමට පෙර පාන් පිsළිස්‌සීම පිළිබඳ ව මිනිසුන් දැන සිටි බවක් පෙනෙයි. මිනිසුන් පරිසරයෙන් සොයාගත් ස්‌වාභාවික ව වැවුණු ශාක යොදාගනිමින් පාන් නිෂ්පාදනය කර ඇත.
පාන් පිළියෙල කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ එකකි. ධාන්‍ය පොතු ඉවත් කිරීම, ඇඹරීම, ඇනීම හා පිළිස්‌සීම වැනි සංකීර්ණ, කාලය හා ශ්‍රමය අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියකි. එවැනි ආහාරයක් නිෂ්පාදනය කිරීම සඳහා එම යුගයේ මානවයන් යොමු වීමෙන් එම ආහාරයේ තිබූ විශේෂත්වය හෝ වැදගත්කම හෝ පැහැදිලි වෙයි. මේ ආහාරය වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීම ඔවුන්ට අවශ්‍ය වන්නට ද ඇත. ඒ අනුව වනගත ව වැවී තිබූ ධාන්‍ය භාවිත කරමින් පාන් නිෂ්පාදනය කළ හැකි වීම නිසා ඒ වන විට දඩයම හා ඵලවැල එකතු කිරීම (hunter gathering) සිදු කළ මානවයන් ධාන්‍ය වගා කිරීම සඳහා යොමු වන්නට ද බලපෑමක් කරන්නට ඇති බව මේ පර්යේෂකයන් විසින් යෝජනා කර ඇත. එය නවශිලා යුගයේ දී සිදු වූ කෘෂිකාර්මික විප්ලවයට හේතු වන්නට ද ඇත.
එසේ ම මේ අධ්‍යයනයේ දී අවධානයට ලක් ව ඇති පුරාවිද්‍යා ෙක්‌ෂaත්‍රයෙන් මේ දක්‌වා ලැබී ඇති සාධක අනුව එම ස්‌ථානයේ විසූ මිනිසුන් තැනින් තැනට යන දිවිපෙවෙතක් වෙනුවට වඩා නිශ්චල වූ දිවිපෙවෙතක් ගෙවූ බව ද පෙනී ගොස් ඇත. ඔවුන් භාවිත කර ඇති ඇඹරුම් ගල් හා කැපුම් ගල් අනුව පෙනී ගොස් ඇත්තේ ඔවුන් වඩා වෙනස් ආකාරයකින් හා වඩා ඵලදායි ආකාරයෙන් ශාක භාවිතය සඳහා යොමු ව ඇති බවයි.
මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1801071115
No comments:
Post a Comment