Showing posts with label Military History. Show all posts
Showing posts with label Military History. Show all posts

Monday, May 13, 2019

මෑත පෙරදිගින් මතු වන කුරුස යුද්ධකරුවන්ගේ ප්‍රවේණික සලකුණු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 08.05.2019, පි. 13 (Vidusara)
http://www.vidusara.com/2019/05/08/feature4.html





(ඡායාරූපය - සිඩොන්හි හමු වූ මිනී වළක්‌)


මෑත පෙරදිග ප්‍රදේශවල ඇති වූ කුරුස යුද්ධ (Crusades) යනු ඉතිහාසයේ සිදු වූ වැදගත් සංග්‍රාම මාලාවකි. එහි දී ක්‍රිස්‌තියානි බටහිර යුරෝපා රටවල වැසියන් මුස්‌ලිම්රුන්ට එරෙහි ව සටන් වැදුණේ මෑත පෙරදිග පිහිටි පැරැණි ක්‍රිස්‌තියානි ප්‍රදේශ යළිත් අත්පත් කරගැනීම සඳහා සහ ජෙරුසෙලම ඇතුළුව ඔවුන්ගේ ආගමික ශුද්ධ භූමි අත්පත් කරගැනීම සඳහා ය. මේ පිළිබඳ ව ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක සාධක බෙහෙවින් තිබෙයි. මේ අතර, පසුගිය දා ප්‍රකාශයට පත් වූ නව අධ්‍යයනයකින් කුරුස යුද්ධකරුවන් කවුරුන් ද යන්න ගැන අලුත් විස්‌තර මෙන් ම ඔවුන් හා එම ප්‍රදේශවල වැසියන් අතර පැවැති සම්බන්ධතා පිළිබඳ ව ද අවධානය යොමු වී ඇත. ඒ කුරුස යුද්ධකරුවන් පිරිසකගේ DNA පිළිබඳ ව සිදුකරන ලද අධ්‍යයනයකි.

මේ අධ්‍යයනය තුළින් පෙනී ගොස්‌ ඇති කරුණක්‌ වන්නේ කුරුස යුද්ධකරුවන්ගේ ප්‍රවේණික විවිධත්වය ඉහළ බව ය. එසේ ම ඔවුන් මෑත පෙරදිග ප්‍රදේශවල විසූ වැසියන් හා මිශ්‍ර වී ඇති බව ද මෙහි දී පෙනී ගොස්‌ ඇත. එහෙත් යුරෝපීය කුරුස යුද්ධකරුවන් වර්තමාන ලෙබනන ජනතාවගේ ජානමය සංයුතියට සැලකිය යුතු බලපෑමක්‌ සිදු කර නැති බව ද පෙනී ගොස්‌ ඇත.

අනෙක්‌ අතට කුරුස යුද්ධ පිළිබඳ ව සැලකිය යුතු විස්‌තරයක්‌ ඉතිහාසයෙහි සඳහන් වෙයි. එහෙත් ඒ වැඩි වශයෙන් ඒවාට සම්බන්ධ වූ වික්‍රමාන්විත නායකයන් පිළිබඳ ව ය. ඒවාට සම්බන්ධ වූ පොදු සොල්දාදුවන් හා ඔවුන්ගේ ජීවිත පිළිබඳ ව වාර්තා එතරම් දැකගත නො හැකි ය. එබැවින් පැරැණි DNA පිළිබඳ ව සිදු කර ඇති මේ අධ්‍යයනය වැදගත් කරුණු රැසක්‌ හෙළි කරන්නකි.


පැරැණි DNA ලබාගැනීම


උක්‌ත අධ්‍යයනය සිදු කර ඇති මෑත පෙරදිග කලාපයේ ලෙබනනය හා ආශ්‍රිත ප්‍රදේශය ඉතිහාසය පුරා විවිධ සිදුවීම් රැසක්‌ සිදු ව ඇති ප්‍රදේශයක්‌ වීම නිසා එහි ප්‍රවේණික ද්‍රව්‍ය අධ්‍යයනය කිරීමට උනන්දුවන් තිබී ඇත. එහෙත් මින් පෙර සිදු කර ඇති ප්‍රවේණික අධ්‍යයනවල දී මූලික වශයෙන් ම උත්සාහ දරා ඇත්තේ නූතන ජනතාවගේ DNA සංයුතිය පිළිබඳ ව හැදැරීමට ය. එම ප්‍රදේශයෙන් ලැබෙන පැරැණි DNA පිළිබඳ ව අධ්‍යයනය කිරීමට වැඩි අවධානයක්‌ යොමු වී නැත්තේ සාමාන්‍යයෙන් උණුසුම් දේශගුණයක්‌ සහිත ප්‍රදේශවල DNA ඉක්‌මනින් විනාශ වී යන බැවිනි. එහෙත් මේ නව අධ්‍යයනයේ දී DNA ලබාගැනීමේ දී හා අනුක්‍රමගත කිරීමේ තාක්‌ෂණයේ ඇති වී තිබෙන දියුණුව නිසා මෙවැනි නිදර්ශකවලින් ද ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගත හැකි බව දැන් පැහැදිලි ය.

අප මාතෘකා කරගන්නා අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ වර්තමාන ලෙබනනයේ සිඩොන් (Sidon) ප්‍රදේශයේ පිහිටා ඇති කුරුස යුද්ධකරුවන්ගේ බළකොටුවක්‌ ආසන්නයෙන් හමු වී ඇති මිනී වළකින් මතු වූ ඇටසැකිලිවලින් ලබාගන්නා ලද DNA ය. එම ස්‌ථානයෙන් පිරිමි පුද්ගලයන් 25 දෙනකුට පමණ අයත් වූ අස්‌ථි ශේෂ ලැබී ඇත. ඒ සමඟ ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව පෙනී ගොස්‌ තිබුණේ ඒවා 1200 ගණන්වල කුරුස යුද්ධවල දී මිය ගිය අයගේ දේහ බවයි. ඒවා කිසියම් ආදාහනයක්‌ ද සිදු කර රළු ආකාරයෙන් වළ දමා තිබිණි.

මේ දේහ කොටස්‌වලින් ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගෙන ඒවා විශ්ලේෂණයක්‌ සිදු කිරීමට මේ පර්යේෂකයෝ පියවර ගත් හ. ඒ අතරින් කුරුස යුද්ධකරුවන් 9 දෙනකුගේ දේහවල DNA දත්ත ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. මේ දත්ත අනුව පෙනී ගොස්‌ තිබුණේ මේ නව දෙනා අතරින් තිදෙනකු යුරෝපීයයන් වන බවත්, සිව් දෙනකු මෑත පෙරදිග වැසියන් වන බවත් (ඔවුන් ප්‍රවේණික වශයෙන් නූතන ලෙබනන් වැසියන් ගෙන් වෙන් කරගත නො හැකි තරම් ය) ඉතිරි දෙදෙනා යුරෝපීය හා මෑත පෙරදිග වැසියන් අතර මිශ්‍ර ප්‍රවේණික සම්භවයක්‌ ඇති අය වූ බවත් ය. මේ අනුව යුරෝපීයයන්, මෑත පෙරදිග පදිංචිකරුවන් සම`ග මිශ්‍ර වූ බවට සෘජු සාධක මේ මගින් ලැබෙයි.


ප්‍රවේණික සම්බන්ධතා


ලෝක ඉතිහාසයෙහි ඇතැම් අවස්‌ථාවල කල් පවත්නා හා ප්‍රමුඛතා දක්‌වන ප්‍රවේණික වෙනසක්‌ සිදු කිරීමට මිනිස්‌ සංක්‍රමණවලට හා ආක්‍රමණිකයන්ට හැකියාව ලැබී තිබෙයි. ලෝක ඉතිහාසයෙහි දැකිය හැකි එවැනි සිදුවීම් කිහිපයක්‌ වෙයි. එන් එකක්‌ වන්නේ ජෙංගිස්‌ ඛාන් විසින් ආසියාව පුරා සිය මොංගොල් අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ දී සිදු කරන ලද, වෙනස්‌කම්වල ප්‍රවේණික සලකුණු අදටත් දැකිය හැකි වීම ය. දෙවැනි එවැනි වැදගත් සිදුවීමක්‌ වන්නේ යුරෝපයෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ ස්‌පාඤ්ඤ හා පෘතුගීසි අධිරාජ්‍යවාදීන් විසින් දකුණු ඇමෙරිකාවට සංක්‍රමණය වීමෙන් පසුව එම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රවේණික සංයුතියේ සිදු කරන ලද වෙනස්‌කම් ය. මේ අවස්‌ථා දෙකෙහි දී ම අදාළ ප්‍රදේශවල ප්‍රවේණික සංයුතියේ ස්‌ථිර හා මූලික වෙනස්‌කම් කිරීමට එම සංක්‍රමණිකයන්ට හැකියාව ලැබිණි. එහෙත් මෑත පෙරදිග වැසියන් හා මිශ්‍ර වුව ද කුරුස යුද්ධකරුවන්ට එවැනි හැකියාවක්‌ හෝ අවස්‌ථාවක්‌ හෝ ලැබී නැත. ඔවුන්ගේ ප්‍රවේණික ලක්‌ෂණ දිගු කලක්‌ නො පැවැතී මැකී ගොස්‌ ඇති බව මේ අධ්‍යයනයේ දී හෙළි වූ වැදගත් කරුණකි.

මීට වසර දෙ දහසකට පමණ පෙර, එනම් රෝමවරුන් මේ ප්‍රදේශය පාලනය කළ සමයේ එහි විසූ වැසියන් පිරිසකගේ DNA පිළිබඳ ව විශ්ලේෂණයක්‌ ද උක්‌ත අධ්‍යයනයේ දී සිදු කර ඇත. එම විශ්ලේෂණයෙන් පෙනී ගොස්‌ ඇත්තේ අපූරු දෙයකි. ඒ අනුව නූතන ලෙබනන වැසි ක්‍රිස්‌තියානි භක්‌තිකයන් ප්‍රවේණික වශයෙන් වඩාත් සමාන වන්නේ මීට වසර දෙ දහසකට පමණ පෙර මේ ප්‍රදේශයේ විසූ වැසියන්ට ය. එම කාලයේ විසූවන් හා අද වසන්නන් අතර සම්බන්ධය කෙතරම් ද යත් ඒ පිරිස අඛණ්‌ඩව හා එදා හා අද අතර කිසිදු විශේෂ සිදුවීමක්‌ සිදු නො වී පැවත එන ස්‌වභාවයක්‌ දැකිය හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එහෙත් ඒ අතර කාලයේ දී යුරෝපීයයන් හා මිශ්‍ර සම්භවයක්‌ සහිත පිරිස්‌ ලෙබනන වැසියන් අතර වූ බව නව අධ්‍යයනය තුළින් පැහැදිලි වී තිබෙයි. එහෙත් වර්තමාන ලෙබනන වැසියන්ගේ ප්‍රවේණික සංයුතිය තුළ කුරුස යුද්ධකරුවන්ගේ ජානමය සම්බන්ධය පිළිබඳ සාධක නොමැති තරම් හෙවත් සැලකිල්ලට ගත යුතු තරම් වැදගත් නො වන්නකි.


DNA විශ්ලේෂණයේ වැදගත්කම


මේ අධ්‍යයනයෙන් පැහැදිලි වන කරුණක්‌ වන්නේ ඓතිහාසික වශයෙන් වැදගත්, එහෙත් ප්‍රමාණවත් ලෙස ලේඛනගත වී නොමැති සිදුවීම් පිළිබඳ ව කරුණු පැහැදිලි කරගැනීම සඳහා පැරැණි DNA යොදාගැනීමට ඇති හැකියාවයි. එහි දී මේ පැරැණි DNA භාවිතයෙන් වැදගත් තොරතුරු අනාවරණය කරගත හැකි බව මේ අධ්‍යයනයෙන් ඔප්පු වී තිබෙයි.

එහෙත් අද වාසය කරන මිනිසුන්ගේ DNA සංයුතිය පිළිබඳව විශ්ලේෂණය කිරීම තුළින් පමණක්‌ තොරතුරු අනාවරණය කරගත නොහැකි සිදුවීම් ද මානව ඉතිහාසයේ සිදු විය හැකි ය. කුරුස යුද්ධ වැනි මනාව ලේඛනගත වී ඇති සිදුවීම් පිළිබඳ ව ප්‍රමාණවත් සාධක පැවතිය ද එසේ ඓතිහාසික වාර්තා හමු නො වන සිදුවීම් ලෝකයේ කිනම් ප්‍රදේශයක වුව ද සිදුවීමට ඉඩ ඇත. එසේ ඓතිහාසික වාර්තා ද දැකිය නොහැකි හා DNA තුළින් ද හඳුනාගත නො හැකි සිදුවීම් ගැන අපට දැනගැනීමට අවස්‌ථාවක්‌ ඇත්තේ අතීතයේ විවිධ කාලවකවානුවල විසූ මිනිසුන්ගේ පැරැණි DNA පිළිබඳව අධ්‍යයනය කිරීමෙනි. කුරුස යුද්ධකරුවන්ගේ සිදුවීම වැනි අතීතයේ කිසියම් කාලයක දී දැකිය හැකි වූ ප්‍රවේණික වෙනස්‌කම් ඇති කිරීමට හේතු වන සිදුවීම් මානව ඉතිහාසයේ ඕනෑ ම ප්‍රදේශයක දැකිය හැකි වීමට අවස්‌ථාව තිබෙයි. ඒවා හඳුනාගැනීමට යම් අවස්‌ථාවක්‌ පැරැණි DNA පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් ලැබෙයි.

කුරුස යුද්ධ

කුරුස යුද්ධ යනුවෙන් අදහස්‌ කරනු ලබන්නේ 11 වැනි සියවසේ දී ආරම්භ වූ ආගමික යුද්ධ මාලාවකි. එහි දී බටහිර ක්‍රිස්‌තියානි රටවල් සටන් වැදුණේ දිගු කාලයක්‌ තිස්‌සේ පැවැති මුස්‌ලිම්වරුන්ගේ ව්‍යාප්තියට හේතු වූ ආක්‍රමණවලට එරෙහි ව ය. නැෙ`ගනහිර මධ්‍යධරණී ප්‍රදේශයේ පිහිටා තිබූ ක්‍රිස්‌තියානිවරුන්ගේ ශුද්ධ භූමි යළිත් අත්පත් කරගැනීම, ඉස්‌ලාම් ආගමේ ව්‍යාප්තිය වැළැක්‌වීම හා මෑත පෙරදිග ප්‍රදේශවල පිහිටා තිබූ පැරැණි ක්‍රිස්‌තියානි බලප්‍රදේශ යළි අත්පත් කරගැනීම මෙහි සෙසු අරමුණු අතර වෙයි.

ප්‍රධාන සටන් සිදු වූයේ පළමු කුරුස යුද්ධය ආරම්භ වූ 1095 වර්ෂය පමණ සිට 1291 වර්ෂය පමණ දක්‌වා සිදු වූ සංග්‍රාම දක්‌වා ය. ඒවා පළමු කුරුස යුද්ධය, දෙවැනි කුරුස යුද්ධය, තෙවැනි කුරුස යුද්ධය ආදි ලෙස නම් කර ඇත්තේ අදාළ සංග්‍රාම ව්‍යාපාර අනුව ය. වර්ෂ 1291 වර්ෂයේ දී සිදු වූ ක්‍රිස්‌තියානුවන්ට සිරියාව අහිමි වීමත් සමඟ ප්‍රධාන කුරුස යුද්ධ අවසන් වූ බව සැලකෙන නමුත්, ඉන් පසු ව ද තවත් කුරුස යුද්ධ කිහිපයක්‌ දැකිය හැකි විය. එහෙත් 16 වැනි සියවසේ දී කුරුස යුද්ධ හා ඒ සඳහා වූ උනන්දුව ශීඝ්‍රයෙන් අඩු වූ අතර, 1453 දී කොන්ස්‌තන්තිනෝපල් නගරය තුර්කිවරුන්ට යටත් වීම ද තීරණාත්මක විය. මෙසේ කුරුස යුද්ධ පිරිහී යැම සඳහා යුරෝපයේ ප්‍රොතෙස්‌තන්ත ක්‍රිස්‌තියානි ව්‍යාපාරය ආරම්භ වීම හා කතෝලික පල්ලියේ ආධිපත්‍යය අඩු වීම හේතු වූ බව විශ්වාස කරනු ලැබේ.

මූලාශ්‍රය - The American Journal of Human Genetics, DOI: 10.1016/j.ajhg.2019.03.015

Tuesday, August 8, 2017

රටට ඔවුන් අහිමි වී වසර 25යි

ධනේෂ් විසුම්පෙරුම


1992 අගෝස්තු මස 8 වැනි දිනය මට කිසිදා අමතක නොවන්නකි. එ් අදින් (08.08.2017) වසර 25කට පෙර සිදු වූ සිදුවීමක් නිසාය. එවකට මෙරට සිටි දක්ෂතම යුදහමුදා නිලධාරියකු වූ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා තවත් නිලධාරින් කිහිප දෙනෙකු යාපනයේ කයිට්ස් දූපතේ, අරාලි පොයින්ට් නම් ස්ථානයේදී බෝම්බයකට හසුව මිය ගියේ එදින නිසාය.

ඒ සිදුවීම එදා රටේ සිටි, රටට ආදරය කළ සැමදෙනා හැඩ වූ දිනයක් විය. ලුතිනන් ජනරාල් කොබ්බෑකඩුවගේ හා එම බෝම්බයෙන්ම මියගිය මේජර් ජනරාල් විජය විමලරත්නයන්ගේ අවසන් කටයුතු සඳහා කොළඹ කනත්තට පැමිණි මහ සෙනඟින් එ් බව පැහැදිලිව පෙනිණි. අවමගුලට පැමිණි මහජනතාව එවකට පැවැති පාලනයට හා එහි නියෝජිතයන්ට දැඩි විරෝධයක් පළ කළ අාකාරයද දැකිය හැකි විය. එහිදී ඇති වූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට කඳුළු ගෑස් හා බැටන් ප‍්‍රහාර එල්ල කරන්නටද සිදු විය.

මට මතක ඇති ආකාරයට කොබ්බෑකඩුවගේ අවසන් කටයුතු සිදු වූයේ සඳුදා දිනයේය. විමලරත්නගේ අවසන් කටයුතු සිදු වූයේ 12 වනදා හෙවත් බදාදා දිනදීය. එදින මා උසස් පෙළ විභාගයේ අවසන් ප‍්‍රශ්න පත‍්‍රයට (භෞතික විද්‍යාව විය යුතුය) පෙනී සිටි දිනය විය. විභාගයට පෙනී සිටි අප කිහිප දෙනෙකු එතැනින් විමලරත්නගේ අවසන් කටයුතුවලට සහභාගි වීමට ගියෙමු. කනත්ත ඇතුළටද අප ගිය අතර එහි ඇති වූ කලබලය අපටද යන්තමින් දැක ගත හැකි විය. එහෙත් ආපසු එද්දී කඳුළු ගෑස් ප‍්‍රහාරයට අපිද ලක්වීමු. (එ් මා මෙන්ම මා සමඟ සිටි ඉන්දික බැද්දේගමද කඳුළු ගෑස් ප‍්‍රහාරයක් අත් විඳි පළමු අවස්ථාව විය.) කනත්තේ ප‍්‍රධාන දොරටුව දෙසින් බොරැල්ල දෙසට වූ පාරේ යා නොහැකි වූ බැවින් අප ආපසු එද්දී රාජගිරිය දක්වා පා ගමනින් පැමිණීමට අපට සිදුවිය.

එ් දිනය සිහි වන විට ඩෝල්ටන් අල්විස්ගේ 'උඩඟු ලියන්' ගීතයේ එන මලක පැතුම නිතැතින්ම සිහි වේ.

'රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්
රණවිරුවෙකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්...
මගේ පරම පැතුම එයයි...
එ මඟට මා විසි කරන්න..."


කොබ්බෑකඩුව-විමලරත්න වැනි රණවිරුවන් සටන් කළ අරමුණ සාක්ෂාත් කරගැනීමට අපට තවත් වසර ගණනාවක් ගත විය.

කියවන්න - 

1. ඒ විරුවන් සම්බන්ධව මේජර් ජනරාල් ලලින් ප‍්‍රනාන්දු (විශ‍්‍රාමික) විසින් 2006 වර්ෂයේදී Daily News පුවත්පතට ලියන ලද ලිපියක් - http://archives.dailynews.lk/2006/08/08/fea01.asp

2. එ් දින දෙකේ ඇති වූ තත්ත්වය විස්තර කරන UPI වාර්තාවක් - https://www.upi.com/Archives/1992/08/12/Violence-erupts-at-funerals-for-Sri-Lankas-top-brass/5170713592000/

Tuesday, September 27, 2016

Paper: The Date of the Martello Tower in Hambantota

[My Research Papers published]

Citation: Dhanesh Wisumperuma, The Date of the Martello Tower in Hambantota, Journal of the Royal Asiatic Society of Sri Lanka, Vol 60, Part 1, 2015, pp. 62-76.

Abstract

The Martello Tower in Hambantota in southern Sri  Lanka is the sole example of this fortification type in the country. It is a two storied, round gun-tower on a small hill, designed to be used as a defence structure. Although many agree that this is a British construction, the precise date of this tower was not known mainly due to the lack of records and the fact that several dates between 1796 and 1803 were proposed by various authors. The first mention of its existence was a record from 1806. This  paper attempts to present documentary evidence for the date of the construction of the tower. According to records, the construction of the Martello Tower in  Hambantota commenced after September 1804 and it was still under construction by May 1805. The construction of the tower was an idea of Major General  D.D. Wemyss, Commander of the Forces in Ceylon, who ordered Lt. William Gosset of the Royal Engineers to construct a round tower to accommodate fifty people. It is evident that this tower was not used by the British for defence from the attacks of the Kandyans in Hambantota in 1803, and in fact, the need for such a defensive structure was prompted by those attacks. It appears that this tower has not been tested for enemy attacks.

Downloads