Wednesday, December 30, 2020

Crudia zeylanica - දුලබ ආවේණික ශාකයක කතාව

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.30, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/12/30/feature1.html
(විදුසර මුල් ලිපිය යාවත්කාලීන කර ඇත.)



Crudia zeylanica යනු ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි හෙවත් අපේ රටට ආවේණික ශාකයකි. එයට ප්‍රකට සිංහල නාමයක් නොමැති අතර, එය සුලභ ශාකයන් නොවීම ද මීට හේතුවක් වූ බව පෙනෙයි. (මෙම ශාකයට පණු කරඳ ලෙස  නමක් භාවිත වන බව භාතිය ගොපල්ලව මෑත දී සඳහන් කර ඇත.) මේ වන විට ඊට Sri Lanka Legume නම්‍ ඉංග්‍රීසි නම භාවිත වෙයි. කලක් මෙරටින් මෙන්ම ලෝකයෙන් ද වඳ වී ගොස් ඇති බව සිතූ මේ ශාකය යළිත් මෑතක දී හමු විය. එසේ අනාවරණය කරගන්නා ලද මේ විශේෂයේ ශාකයක් පිහිටා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවදානමකට ලක්ව ඇති නිසා අද වන විට මේ ගැන ගැන යම් සාකච්ඡාවක් ඇති වී තිබෙයි.

ශාකය පිළිබඳ අතීත වාර්තා


මේ ශාකය පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි ජී. එච්. කේ. ත්වේටේස් සංග්‍රහ කරන ලද, 1864 වර්ෂයේ දී පළ වූ, Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants නම් කෘතියේ සඳහන්ය. ඒ Detarium zeylanicum නම් උද්භිද විද්‍යාත්මක නාමයෙනි. මේ ශාකය කළුතරට නුදුරු ගල්පාත ප්‍රදේශය බව ඔහු කියයි.

(රූපය - Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants, 414-15 පිටු)

මෙම ශාකයේ ලක්ෂණ අනුව Crudia zeylanica ලෙස නම් කරන ලද්දේ 1866 දී ජෝර්ජ් බෙන්තම් විසිනි. ඒ රනිල ශාක කුලයේ නිවර්තන කලාපීය නව ගණ හා විශේෂ සම්බන්ධව Transactions of the Linnean Society of London සඟරාවට රචනා කරන ලද ලිපියකය. 

මේ පිළිබඳව තවත් උද්භිද විද්‍යාත්මක ප්‍රකාශන කීපයක සඳහන් වෙයි. ඒ අතර ඇති 1872 දී ප්‍රකාශිත Flora Sylvatica on Southern India නම් කෘතියේ පළමු වෙළුමේ ඇති නිදර්ශකයක රූපයක් මේ ලිපියේ ඉහළ දැක්වෙයි. එහි කර්තෘ රිචඩ් හෙන්රි බොඩොමි එම ශාකය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ගල්පාත ප්‍රදේශයෙන් පමණක් බව කියයි. 

1879 දී පළ වූ Flora of British India හි දෙවැනි වෙළුමේ මේ ශාකය ගැන සඳහන් කරන ජේ. ජී. බේකර් එය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ප්‍රදේශයකින් බව සඳහන් කරයි. 

(රූපය - Flora of British India, 2 වෙළුම, 271 පිටුව)


1880 සිට 1896 දක්වා කාලයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි හෙන්රි ට්‍රයිමන් තමා මේ ශාකය නිරීක්ෂණය කළේ 1861 හා 1863 වර්ෂවල දී කළුතර දිස්ත්‍රික්කෙය් ගල්පාත ප්‍රදේශයෙන් ලබාගන්නා ලද නිදර්ශක දෙකෙන් පමණක් පවසයි. ඒ ඔහුගේ Handbook to the Flora of Ceylon කෘතියේ 1894 වර්ෂයේ දී පළ වූ දෙවන වෙළුමේය. මෙම ශාකය ඉතා දුර්ලභ බවත් ආවේණික ශාකයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

(රූපය - Flora of Ceylon, 2 වෙළුම, 113 පිටුව)


Revised Handbook to the Flora of Ceylon කෘතියේ හත්වැනි වෙළුමේ සඳහන් වන අන්දමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයෙන් ලබාගත් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේ ඇත. එය 1911 පෙබරවාරි 20 දින එකතුකරන ලද බව ද සඳහන් වෙයි. මේ පත්‍රිකාව මත පසුව යමෙකු විසින් කපා දමන ලද බවට අරුත් දෙන 'cut down' යනුවෙන් සඳහන් කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ අනුව පෙනෙන්නේ මේ ශාකය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වවා තිබී පසුව කිසියම් හේතුවක් නිසා කපා දමන ලද බවයි. එය එම ශාකය මිය යෑම නිසා හෝ කඩාවැටීම නිසා වීමට ඉඩ තිබෙයි.

මේ ශාකයේ නිදර්ශක කීපයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තිබී ඇති බව පෙනෙයි. Loris සඟරාවේ 6වන වෙළුමේ අංක 2 කලාපයට 1982 දී මහාචාර්ය සී.වී.එස්. ගුණතිලක හා මහාචාර්ය ඩී.එස්.ඒ. විජේසුන්දර විසින් ‘ශ්‍රී ලංකාවේ කාෂ්ඨීය ශාක විශේෂවල විතැන් සංරක්ෂණය (Ex-situ conservation of woody plant species in Sri Lanka) යන මාතෘකාවෙන් රචනා කරන ලද ලිපියේ දැක්වෙන පරිදි ලංකාවේ දැකිය හැකි ආවේණික ශාක පහකම වාර්තා වී ඇති අවසන් වාසස්ථානය වී ඇත්තේ පේරාදෙණිය උද්භිද උද්‍යානයයි. මේ ශාක අතරින් එකක් වන්නේ අප සඳහන් කරන Crudia zeylanica ශාකයයි. (එම ලිපියේම සඳහන් පරිදි ඉන් එක් ශාකයක් වන Mesua stylosa ශාකය ඒ කාලයේදීම බුලත්සිංහල වගුරු වනාන්තරයෙන් නැවත සොයාගැනීමට හැකි විය.). මෙම ලිපියේ විතැන් සංරක්ෂණයේ වැදගත්කම හා උද්භිද උද්‍යාන සතු කාර්යභාරය පැහැදිලි කර දී ඇති ලිපියකි.

ශාකයේ සංරක්ෂණ තත්ත්වය


19 වැනි සියවසේ දෙවන භාගයේ දී ට්‍රයිමන් විසින් දුර්ලභ ශාකයක් ලෙස සදහන් වූ මේ ශාකය පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නේ පසුකාලයක දී ය. 1993 වර්ෂයේ තාවකාලික ලේඛනයේ දී මේ ශාකය තර්ජනයට පත් ශාකයක් ලෙස ද, 1999 දී IUCN Sri Lanka මගින් ප්‍රකාශිත 1999 List of Threatened Fauna and Flora of Sri Lanka ට අනුව ඉහළ තර්ජනයක් ඇති ශාක විශේෂයක් ලෙස ද නම් කර ඇත.

අන්තර්ජාතික රතු ලයිස්තුවේ දත්ත අනුව මේ ශාකය වඳ වී ගිය ශාකයක් ලෙස නම් කරන ලද ඇගැයීම 1998 වර්ෂයේ දී සිදු කර ඇති එකකි.

2007 වර්ෂයේ දී IUCN Sri Lanka හා පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka වාර්තාවේ මෙම ශාකය ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය ශාකයක් ලෙස සඳහන් වෙයි. 2012 ජාතික රතු ලැයිස්තුවේ ද (National Red List 2012 of Sri Lanka) මෙය සඳහන් වන්නේ වඳ වී ගිය ශාකයක් ලෙසය.


නැවත සොයාගැනීම


මේ ශාකය පසුගිය වර්ෂයේදී අනාවරණය කරගෙන ඇත්තේ සැලකිය යුතු කාලයකට පසුව බව පෙනෙයි. දැනගැනීමට ඇති ආකාරයට මෙහි ශාකයේ පැළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරගැනීමට  මේ වන විට හැකියාව ලැබී තිබෙයි. එබැවින් එය යෝග්‍ය පරිසර තත්ත්ව ඇති ස්ථානවල සංරක්ෂණය සඳහා පියවර ගත හැකිිිය. මේ ශාකය වාර්තා වන ප්‍රදේශවලින් ද හමුු වී ඇති බව ඒ පිළිබඳ අධයයනය කළ පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. ඒ පිළිබඳ සිදුකරන ලද ගවේෂණ ගැන ඉදිරියේදී අපට අසන්නට ලැබෙනු ඇත.


විදුසර මුල් ලිපිය මෙහි දී යාවත්කාලීන කර ඇත. අවසන් යාවත්කාලීන කිරීම 2021.01.20 දින දීය.

Wednesday, December 23, 2020

දළ සඳහා අප්‍රිකානු ඇතුන් මැරූ තරම හෙළි කළ පර්යේෂණයක්

ධනේෂ් විසුම්‌පෙරුම

විදුසර, 2020.12.23, පි 6

http://www.vidusara.com/2020/12/23/feature1.html



ඇත් දළ ලබාගැනීම සඳහා ඇතුන් දඩයම් කිරීම අලි ඇතුන්ගේ පැවැත්මට එල්ල වූ මූලික තර්ජනයකි. කැටයම් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ ආදිය තැනීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක අතීතයේ සිට ඇත් දළ භාවිත කර ඇත. ඒ නිසා ඇත් දළ වෙළෙඳාම ඇතැම් රටවල වැදගත් ආදායම් මාර්ගයක් ද වී තිබිණි. එසේ දළ පිණිස හා ක්‍රීඩාවක් ලෙස දඩයම් කිරීම මෙන්ම වාසස්ථාන අහිමිවීම ආදි විවිධ හේතුවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට අලි ඇතුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව තිබෙයි. අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලින්ට මේ තර්ජනය වඩාත් බරපතළය. සංරක්ෂණ උත්සාහය නිසා අද වන විට ඇත් දළ වෙළෙඳාම බොහෝ රටවල නීතිවිරෝධී ක්‍රියාවකි. එහෙත් මේ සඳහා ඇති ඉල්ලුම නිසා එම වෙළෙඳාම රහසේ සිදුවෙයි. 

අතීතයේ සිට අලි ඇතුන් දඩයම් කළ විවිධ රටවල ඒ දඩයමේ තරම ගැන විවිධ වාර්තා දැකිය හැකිය. ඒ සමහර තොරතුරු අනුව මේ ඇත් දඩයම සැලකිය යුතු තරම් බරපතළ බව පෙනෙයි. කෙතරම් ප්‍රමාණයකින්, කෙතරම් විශාල ලෙස අලි ඇතුන් දඩයම් කළේද යන්න ගැන වන එවැනි විස්තරවල එන කරුණු ගැන ඇතැම් ශාස්ත්‍රඥයන් පවා සැක පහළ කළ අවස්ථා ද තිබේ. ඍජුවම මේ ගැන නොකළ පර්යේෂණයක් නොවූව ද පුරාවිද්‍යාත්මක හා ප්‍රවේණික ද්‍රව්‍ය ගැන සිදු කළ අධ්‍යයනයකින් අප්‍රිකාවේ ඇත් දඩයමේ තරම ගැන වැදගත් කරුණු කීපයක් අනාවරණය වී ඇත. 

ගිලුණු නැවකින් ලැබුණු ඇත් දළ

2008 වර්ෂයේ දී නැමීබියාවේ වෙරළාසන්න දියමන්ති පතලකින් හමු වූ, වැල්ලෙන් වැසීගිය නෞකාවක ශේෂවලින් මේ පර්යේෂණයේ කතාව ආරම්භ වේ. මේ නැව පිළිබඳ සාධක අනාවරණය වීමෙන් පසු දියමන්ති කැනීම නවතා කෙටි කාලයක් තුළ පුරාවිද්‍යා කැනීමක් සිදු කර ඇත. එම නැවේ ටොන් හතලිහක පමණ නැව් බඩු තොගයක් තිබූ බව හෙළි වී තිබෙයි. එසේ හමු වී ඇති විවිධ ද්‍රව්‍ය අතර රිදී හා රන් කාසි, තඹ කුට්ටි හා ඇත් දළ වැඩි වටිනා  ද්‍රව්‍ය තිබී ඇත. එසේම විවිධ නාවුක උපකරණ හා නැවේ භාවිත වූ මෙවලම් ද කැනීමෙන් හමු වී ඇත. විවිධ පර්යේෂකයන් විසින් මේ ද්‍රව්‍ය එදා සිට සිය අධ්‍යයන සඳහා යොදාගනු ලැබෙයි.

මෙම නැවෙන් හමු වූ එක් පෘතුගීසි කාසි වර්ගයක් නිකුත් කරන ලද කාල වකවානුව හා එම කාලසීමාවේ දී එම ප්‍රදේශයේ දී අතුරුදන් වූ නෞකා පිළිබඳ ලිඛිත සාධක ද යොදාගනිමින් එම නැව කුමක්දැයි අනාවරණය කරගැනීමට හැකි වී ඇත. එය බොම් ජීසස් (Bom Jesus) නම් වූ පෘතුගීසි වෙළෙඳ නෞකාවකි. 1533 වර්ෂයේ දී ඉන්දියාව දෙසට යාත්‍රා කරන අතර ඒ නැව අතුරුදන් වී තිබෙයි. මෙම නෞකාව ඉන්දියාව දෙසට යාත්‍රා කරමින් තිබූ බව තීරණය කර ඇත්තේ එහි තිබී හමු වූ තඹ කුට්ටි තොගය නිසාය. එම තඹ කුළු බඩු මිල දී ගැනීමට යොදාගැනීමට අපේක්ෂා කළ ඒවාය. මේ කරුණු අනුව වසර 487ක් පමණ පැරණි නැවක් වන මෙය දකුණු දිග අප්‍රිකාවෙන් හමු වී ඇති පැරණිම නෞකාව ද වෙයි.

නැවේ අඩංගු ද්‍රව්‍ය හා එහි පිහිටීම අනුව එය ශුභ පාර්ථනා තුඩුව දෙසට යාත්‍රා කරමින් තිබිය දී විශාල කුණාටුවට හසු වී උතුරු දෙසට සැතපුම් සියගණනක් ගසාගෙන ගොස් නැමීබියානු වෙරළට ආසන්නව මුහුදුබත්ව විනාශයට පත්වන්නට ඇත. එය අද වැල්ලෙන් වැසුණු බිමකි. මුහුදු මට්ටමට වඩා අඩි විස්සක් පමණ ගැඹුරින් මේ නැව තැන්පත් වී ඇත. 

ඇත් දළවල ප්‍රවේණික දත්ත

නැමිබියාවේ, ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ පර්යේෂක පිරිසක් මෙම නැවෙන් හමු වූ ඇත් දළ පිළිබඳ සිදු කළ අධ්‍යයනයකින් ප්‍රධාන කරුණු දෙකක් අනාවරණය කරගෙන ඇත. ඉන් එකක් පුරාප්‍රවේණික විශ්ලේෂණය මගින් ද දෙවැන්න වන්නේ සමස්ථානික විශ්ලේෂණය මගින් අනාවරණය වී තිබෙයි. 

නැමීබියාවට ඔබ්බෙන් වූ සිසිල් සාගරයේ ගිලී තිබූ බැවින් මේ ඇත් දළ ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ නිසා නැවේ තිබී හමු වූ දළ 62ක තොගයකින් දළ 44කින් සාර්ථක ලෙස DNA ලබා ගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබිණි. එම පෞරාණික ප්‍රවේණික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ දී විද්‍යාඥයගේ අවධානය යොමු වී ඇත්තේ මයිට්‍රකොන්ඩ්‍රියාවල DNA හෙවත් mtDNA පිළිබඳවය. මයිට්‍රකොන්ඩ්‍රියා යනු සෛලවල ඇතුළත් එක් සංඝටකයක් වන අතර එහි ප්‍රවේණික ද්‍රව්‍ය පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ මව් පාර්ශ්වයෙනි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් දුවෙකුට හෝ පුතෙකුට ලැබෙන්නේ තමන්ගේ මවගේ මයිට්‍රකොන්ඩ්‍රීය DNA ය. එබැවින් පරම්පරා හඳුනාගැනීමේ දී වැදගත් වෙයි. 

මෙම මයිට්‍රකොන්ඩ්‍රීය DNA අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මේ නැවෙන් ලැබුණු ඇත් දළ අයත් වන්නේ අප්‍රිකානු වනාන්තර අලින්ට (African forest - Loxodonta cyclotis) බවයි. අප්‍රිකාවේ වෙසෙන අනෙක් අලියා සැවානා අලියාට (African savanna - Loxodonta africana) අයත් ඓකදර්ශ (Haplotype) අතර මේ දළවල DNAවලින් ලැබී නැත. එසේම මධ්‍යම අප්‍රිකානු අලිගහනවල දැකිය හැකි ශාඛාවලට අයත් ඓකදර්ශ ද හමු වී නැත. ඒ අනුව මේ දළ අයත් වූයේ බටහිර අප්‍රිකාවේ වාසය කළ අප්‍රිකානු වනාන්තර අලින්ට බවට පෙනී යයි. බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික් වෙරළ ප්‍රදේශයෙන් පෘතුගාලයට අපනයනය කළ බවට ඓතිහාසික වාර්තාවලින් ලැබෙන සාධක සමඟ ද මෙය ගැලපේ. මේ ඇත් දළ ගිනියාබොක්ක ප්‍රදේශයෙන් නැව්ගත කළ ඒවා බව මේ පර්යේෂකයින්ගේ නිගමනයයි. 

එසේම ප්‍රවේණික කරුණු අනුව මේ අලින් එකිනෙකට වෙනස් රංචු 17කට අයත් වූ බව ද හෙළි වී තිබෙයි. අප්‍රිකාවේ එම කලාපයේ අද වන විට දැකිය හැක්කේ ඒ අතරින් රංචු හතරක් පමණකි. ඒ අනුව අතීතයේ සිදු වූ දඩයම් කිරීම නිසා සෙසු අලි රංචු වඳ වී යන්නට ඇති බව සිතිය හැකිය. මේ අනුව ගත වූ වසර පන්සීයක පමණ කාලය ඇතුළත අලින්ගේ විවිධත්වය විශාල ලෙසින් අඩු වීමට මහා පරිමාණ දඩයම හේතු වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම මේ හමු වූ දළවල දිග අනුව, ගැහැණු පිරිමි සතුන් ද, වැඩුනු හා තරුණ ද යනුවෙන් වෙනසක් නොමැතිව දඩයම් කර ඇති බව ද පැහැදිලිය.

අලින් ජීවත් වූ ප්‍රදේශ හඳුනාගැනීම

අලින් ජීවත්වන්නේ ගැහැණු සතුන් විසින් නායකත්වය ගන්නා කණ්ඩායම් ලෙසයි. එසේම මේ කණ්ඩායමක් හෙවත් රංචුවක් සාමාන්‍යයෙන් ජීවත්වන්නේ එකම භූගෝලීය ප්‍රදේශයකය. එබැවින් මේ පැරණි ඇත් දළවලින් ඒවා අයත් වූ සතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. එම අලින් එකම ප්‍රදේශයක ජීවත්වෙමින් ආහාරගන්නා නිසා ඒ ආහාරවල ඇතුළත් පරමාණු ඔවුන්‌ගේ දළ තුළ තැන්පත් වෙයි. එසේ තැන්පත්වන ද්‍රව්‍යවල ඇති ස්ථාවර කාබන් හා නයිට්‍රජන් සමස්ථානික විශ්ලේෂණය මගින් මේ ඇතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. 

මේ ඇතුන්ගේ දළවල ඇතුළත් කාබන් 13 සමස්ථානිකවල ඉහළ අගය අනුව ඔවුන්ගේ ආහාරයේ C4 වර්ගයේ තෘණ සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්ත වී තිබෙයි. එහෙත් වනාන්තරවල වෙසෙන අලින්ගේ ආහාරයේ දැකිය හැක්කේ C3 වර්ගයේ ආහාර පමණක් නිසා ඔවුන්ගේ කාබන් 13 සමස්ථානික පිරිහී ගොස් තිබෙයි. එසේම නයිට්‍රජන්  සමස්ථානික අගය අනුව ද නැවෙන් හමු වූ දළ හිමි සතුන් ඝන වනාන්තර හෝ විවෘත ශුෂ්ක පරිසරයක වාසය කළ අලින් නොවෙන බව තහවුරු වී ඇත.

මෙහි දී හෙළි වී ඇත්තේ මේ වනාන්තර අලින් වුවත් අප්‍රිකාවේ බටහිර වෙරළේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති ගිනියානු වනාන්තර ප්‍රදේශයට එපිටින් පිහිටි වනාන්තර හා සාවානා මිශ්‍ර පරිසරයේ හා වියළි වනාන්තර ප්‍රදේශයේ ජීවත් වූ අලින් විය හැකි බවයි. එම ඇතුන් ඝන වැසි වනාන්තර පැවති ප්‍රදේශවල ජීවත් වූවන් නොවන බව පැහැදිලි වී ඇත. මෙතෙක් පැවති එක් විශ්වාසයක් වූයේ එම සැවානා ප්‍රදේශයට වනාන්තර අලින් ව්‍යාප්ත වූයේ 19-20 සියවස්වල දී සැවනා අලින්ගේ ගහන අඩු වූ පසුව බවයි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනෙන්නේ අඩු වශයෙන් අදට වසර පන්සීයකට පමණ පෙරදී ද වනාන්තර අලින් ඒ ප්‍රදේශයේ ජීවත් වූ බවයි. ඒ අනුව ඒ කාලයේදී අප්‍රිකානු වනාන්තර අලියාගේ ව්‍යාප්තිය ඒ ප්‍රදේශ දක්වාම තිබී ඇත. එසේම එය එකල පෘතුගීසී වෙළෙද නෞකා පැමිණි ස්ථාන හා ගැලපෙයි. 

සංරක්ෂණයට ඇති අදාළත්වය

කිසියම් සත්ත්ව විශේෂයක ප්‍රවේණික විවිධත්වය අඩු වීම එම සත්ත්ව විශේෂයේ වඳ වී යෑමේ අවදානම ඉහළ යෑමට හේතු වන බව පැහැදිලි කරුණකි. අප්‍රිකානු මහාද්වීපයේම ජීවත්වන චීටා සතුන් අද මුහුණ දී ඇති තත්ත්වය මෙයයි. මිනිසුන් මැදිහත් වී ආරක්ෂා කරගත් හා නැවත ස්වාභාවික පරිසරයට හඳුන්වා දුන් සමහර සතුන් ද මේ තත්ත්වයට මුහුණ දී ඇත. 

මෙම පර්යේෂණයෙන් හෙළි වන කරුණු අලි සංරක්ෂණයට මෙය යොදාගත හැකිය. අද වන විට ද නීතිවිරෝධිව ලබාගත් ඇත් දළ විශාල ලෙසින් හමු වන අවස්තාවල දී ඒවායේ DNA විමර්ශනය කිරීම මගින් අලින් කුමන ප්‍රදේශයක වාසය කරන්නවුන් ද යන්න හදුනාගැනීම මේ වන විටත් සිදුවෙයි. මේ පර්යේෂණයේදී එය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර එම ක්‍රමවේදය ලෝකයේ දැකිය හැකි ඇත් දළ එකතු පැමිණි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා යොදාගත හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සංරක්ෂණය සඳහා වැදගත්ය.

ඡායාරූප - අන්තර්ජාලයෙනි.

(මූලාශ්‍රය: Current Bology, DOI: 10.1016/j.cub.2020.10.086)

Wednesday, December 16, 2020

ජෛව ස්කන්ධය ඉක්මවා ගිය මානවකෘත ස්කන්ධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.16, පි. 9

http://www.vidusara.com/2020/12/16/feature4.html





පෘථිවිය මත පවත්නා මිනිසුන් විසින් නිෂ්පාදනය කරල ලද ද්‍රව්‍යවල ස්කන්ධය හෙවත් මානවකෘත ස්කන්ධය මේ වර්ෂය වන විට පොළාව මත ඇති සමස්ත ජෛව ස්කන්ධයට වඩා අධික බව පසුගියදා නිකුත් වු අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි.

1900 වර්ෂයේ දී ලෝකයේ මානවකෘත ස්කන්ධය තිබී ඇත්තේ ගිගා ටොන් 35ක් පමණ අගයකය. එය එකල ලෝකයේ පැවති සමස්ත ජෛව ස්කන්ධයෙන් 3%ක් තරම් වී ඇත. එහෙත් මේ මානවකෘත ස්කන්ධය 2020 වන විට ටෙරාටොන් 1.1ක් (ගිගාටොන් 1100ක්) පමණ තෙක් වර්ධනය වී ඇත. එ් අනුව 2020 වර්ෂය හෝ ඊට වසර 6ක් එහා මෙහා වූ කාලයක් ඇතුළත ලෝකයේ මානවකෘත ස්කන්ධය, ජෛව ස්කන්ධයෙහි බර ඉක්මවා ගොස් ඇත.


මානවකෘත ස්කන්ධය හා ජෛව ස්කන්ධය


මෙහිදී මානවකෘත ස්කන්ධය (anthropogenic mass) ලෙස සලකා ඇත්තේ මිනිසුන් විසින් නිපදවනු ලැබූ ද්‍රව්‍යවල ස්කන්ධයයි. ඊට මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලබන අප්‍රාණික වූ ඝන ද්‍රව්‍යවල ස්කන්ධය ඇතුළත්ය. එසේම විනාශ කර දැමු හා භාවිතයෙන් ඉවත් කරන ලද ද්‍රව්‍යවල ස්කන්ධය ඊට ඇතුළත් නොවේ. බර ලෙස සලකා ඇත්තේ ජලය නොමැති වියළි බරය. ස්වාභාවික පරිසරයේ ද්‍රව්‍ය ප්‍රවාහයෙන් ආරම්භ වී සමාජආර්ථික පද්ධතියට එක් වන මේ ද්‍රව්‍යවල ස්කන්ධය මානවකෘති හෙවත් මෙවලම් (artefacts) ලෙස එකතු වීම සිදුවේ. මේ මානවකෘත ස්කන්ධය යනු භෞතික තාක්ෂණගෝලයට (physical technosphere) ඇතුළත් වන ඇසට පෙනෙන අප්‍රාණික සංඝටකය ලෙස ද හැඳින්විය හැකිය.

මේ මාකවකෘත ස්කන්ධය කාණ්ඩ හයකට බෙදා දක්වා තිබෙයි. ඒ කොන්ක්‍රීට්, මිශ්‍රණ ද්‍රව්‍ය (aggregate - මාර්ග හා ගොඩනැගිලිවල පදනම් සඳහා යොදාගන්නා බොරළු හා වැලි වැනි ද්‍රව්‍ය), ගඩොල්, ඇස්ෆෝල්ට් (asphalt - තාර ඇතුළත් කාණ්ඩය), ලෝහ යන ප්‍රධාන අංශ පහක් හා දැව, වීදුරු හා ප්ලාස්ටික් ඇතුළත් අතිරේක කාණ්ඩයක් ලෙසය. මේ කාණ්ඩවලට සමස්ත මානවකෘත ස්කන්ධයෙන් 98%ක් පමණ අයත් වෙයි. කෙසේ වෙතත් මේ ද්‍රව්‍ය උකහාගැනීමේ ක්‍රියාවලියේදී භාවිත නොකරන ද්‍රව්‍ය මෙහිදී ගණන් බලා නැත. නිදසුනක් ලෙස ගතහොත් ඉදිකිරීම් කර්මාන්තයේදී කනිනු ලබන ගල් හා පස් මෙන්ම දැව කර්මාන්තයේදී භාවිත නොකරන කොටස් මීට ඇතුළත් නොවෙයි. එමෙන්ම ඉදිකිරීම් සඳහා යොදාගනු ලැබෙන කාර්මික දැව මානවකෘත ස්කන්ධය තුළට ඇතුළත් කරගෙන ඇත්තේ එය මිනිසුන් විසින් තැනූ මානවකෘති හෙවත් මෙවලම් තුළ ඇතුළත් වන නිසාය.

මේ මානවකෘත ස්කන්ධය ගණන්බලා ඇත්තේ 1900 වර්ෂයේ සිට වන අතර, එය එහි ආරම්භක අගය සේ සලකා ඇත. ඒ වර්ෂයේ දී මානවකෘත ස්කන්ධය ගිගාටොන් 35ක් ලෙස ගණනය කර ඇත්තේ 1820-1900 අතර කාලයේ ද්‍රව්‍ය ප්‍රවාහ දත්ත භාවිත කරමිනි. (1820 දී මානවකෘත ස්කන්ධය ශුන්‍ය වූ ලෙස සලකා ඇත. ඊට පෙර තිබූ සමුච්චිත මානවකෘත ස්කන්ධය ඉතා සුළු ප්‍රමාණයක් වූ බැවින් 20වන සියවසේ ඇති වූ වර්ධනය පිළිබඳ ගණනය කිරීමට ඉන් සිදුකරන බලපෑම නොවැදගත් සේ සලකා ඇත.).

ජෛව ස්කන්ධය යනු පෘථිවිය මත දැකිය හැකි ජීවීන්ගේ සමස්ත ස්කන්ධයයි. මේ අධ්‍යයනය සඳහා වියළි ජෛව ස්කන්ධය යොදාගෙන ඇත. අදාළ වූ කාලය වූ 1900 සිට 2017 දක්වා කාලයේ ලෝකයේ ජෛව ස්කන්ධය ගණනය කිරීමේදී විවිධ ප්‍රවේශවලින් ලබාගත් ජෛව ස්කන්ධ ගණනය කිරීම් ආශ්‍රයෙන් සංකලනය කළ අගයක් යොදාගෙන තිබෙයි. මුලින්ම එහිදි ගණනය කර ඇත්තේ ශාක ජෛව ස්කන්ධයයි. එය සමස්ත ජෛව ස්කන්ධයෙන් 90%ක් පමණ ප්‍රමාණයක් වෙයි. පාංශු කාබන් යනු සජීවී ජෛව ස්කන්ධයක් නොවන බැවින් එය මෙම ගණනය කිරීමේදී සලකා බලා නැත. ශාක නොවන ජෛව ස්කන්ධය ගණනය කිරීමේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ ජෛව ස්කන්ධය ද ඇතුළත් කර ඇත.

මෙම මානව භෞතික තාක්ෂණගෝලයට ඇතුළත් වන ජෛව ස්කන්ධයක් ද තිබේ. ඊට අයත් භෝග වගා, පශු සම්පත වැනි දෑ මානව අවශ්‍යතා සඳහා නිෂ්පාදනය වන නමුත් මෙහි දී ඒවා ඇතුළත් කර ඇත්තේ ජෛව ස්කන්ධයටය.

මානවකෘත ස්කන්ධ අපද්‍රව්‍ය (anthropogenic mass waste) ප්‍රමාණය ද මානවකෘත ස්කන්ධයට එකතු කර සැලකුවහොත් ඒවායේ එකතුව ජෛව ස්කන්ධය ඉක්මවා ගොස් ඇත්තේ 2013 වර්ෂයේදී පමණ බව ද මෙහිදී හෙළි වී ඇත. එමෙන්ම ජෛව ස්කන්ධය සඳහා තෙත් ජෛව ස්කන්ධය ගතහොත් මානවකෘත ස්කන්ධය එය ඉක්මවා යෑම සිදුවන්නේ 2037 වර්ෂයේදී ය.


වැදගත් කරුණු කීපයක්


මෙම අධ්‍යයනයෙන් අනාවරණය වූ වැදගත් කරුණු කීපයක් මෙසේ දැක්විය හැකිය.
  • 1900 සිට මේ දක්වා ලෝකයේ සිදු වූ මානවකෘත ස්කන්ධයේ ඉහළ යෑම ගැන සැලකූ විට එම ස්කන්ධය සෑම වසර විස්සකට පමණ වරක් දෙගුණ වී ඇත.
  • මානවකෘත ස්කන්ධය ඉහළ යන වේගය වෙනත් ආකාරයකින් දක්වන්නේ නම්, එක් මිනිසෙකුගේ බරට වඩා අධික මානවකෘත ස්කන්ධයක් සතියක් තුළ දී නිපදවේ.
  • ලෝකයේ ඇති ප්ලාස්ටික්වල ස්කන්ධය (අපද්‍රව්‍ය සමඟ) සියලු භෞමික සතුන් හා සාගර ජීවීන්ගේ ස්කන්ධයට වඩා අධිකය. ලෝකයේ ප්ලාස්ටික් ගිගා ටොන් 8ක් පමණ ඇති අතර, ජීවත්වන සියලු සතුන්ගේ ජෛව ස්කන්ධය ගිගාටොන් 4ක් පමණ වෙයි.
  • මානවකෘත ස්කන්ධය කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අවස්ථා හඳුනාගත හැකිය. 1950 දශකය මැද පමණ සිට කොන්ක්‍රීට් භාවිතය පුළුල්වීම මෙන්ම 1960 දශකයේ දී පදිකවේදිකාවල ඇස්පාල්ට් ඇතිරීම ප්‍රචලිතවීමත් සමඟ මානවකෘත ස්කන්ධයේ කැපීපෙනෙන වර්ධනයක් ඇති වී තිබෙයි. එසේම දෙවන ලෝක සංග්‍රාමය අවසන් වු පසුව උදා වූ වර්ෂවල මානවකෘත ස්කන්ධයේ ඇති වූ 5%ක පමණ වර්ධනයක් ඇති වී ඇත. එයට හේතු වී ඇත්තේ සම්පත් පරිභෝජනය මෙන්ම නාගරික සංවර්ධනය වේගවත් වීමයි. එය “මහා වේගවත් වීම” (Great Acceleration) ලෙස ද හැඳින්වෙයි.
  • එසේම ලෝකයේ ඇති වූ ආර්ථික අවපාත කාලවලදී මානවකෘත ස්කන්ධයේ අඩුවීමක් දැකිය හැකිය. 1930 දශකයේ ඇති වූ “මහා අවපාතය” (Great Depression) කාලයේ හා 1979 ආසන්න කාලයේ දී පමණ ඇති වූ තෙල් අර්බුදයේ දී ද මේ අඩුවීම දැකිය හැකිය.
  • කෙසේ වෙතත් ජෛව ස්කන්ධයේ දැකිය හැක්කේ වඩා අඩු වෙනසකි. 1900 සිට මේ දක්වා ගත වූ කාලයේදී ජෛව ස්කන්ධයේ සුළු අඩු වීමක් දැකිය හැකිය.
  • අද දැකිය හැකි වේගයෙන් මිනිසුන්ගේ නිෂ්පාදනය වර්ධනය වුවහොත් 2040 වර්ෂය වන විට මිනිසුන් විසින් නිපදවන ලද මානවකෘත ස්කන්ධය ටෙරාටොන් තුනක් පමණ විය හැකිය.
  • නුතන ජනගහනයට අවශ්‍ය ශාක වැවීම නිසා ජෛව ස්කන්ධය ඉහළ ගොස් ඇති බව සත්‍ය වන නමුත්, වන විනාශය හා භූමි භාවිතය ආශ්‍රිත වෙනත් කටයුතු නිසා අහිමි වී ඇති ජෛව ස්ක්න්ධය ඊට වඩා අධිකය.


මානව බලපෑමේ තරම


සරලව පවසන්නේ නම් මේ මානවකෘත ස්කන්ධය ඉහළ යන්නේ පරිභෝජනය ඉහළ යෑම සහ නාගරික සංවර්ධනය නිසාය. එසේම මේ අධ්‍යයනය ලෝකයේ මානව පියසටහනේ තරම පෙන්වා දෙන්නකි. එය මිනිසා විසින් පෘථිවිය මත ඇති කර තිබෙන බලපෑමේ තරම පෙන්වා දෙයි. මිනිසා ලෝකය වෙනස් කිරීමට සිදුකර ඇති දායකත්වය ගැන සාධක සපයන්නකි.

මේ වන විට මිනිසා ලෝකය වෙනස් කිරීම සඳහා සිදුකර ඇති කාර්යය මෙහි දී පැහැදිලි වේ. එසේම මිනිසා සහ සොබාදහම අතර ඇති සමතුලිතතාවය සම්බන්ධව කටයුතු කිරීමේ ඇති වැදගත්කම මෙයින් යළිත් අවධාරණය කරනු ලැබෙයි.

මේ අධ්‍යයනය වර්තමාන වකවානුව මානව යුගය (Anthropocene) ලෙස නම් කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවට සහයෝගයක් ලබා දෙයි. එය මිනිසුන් විසින් ලෝකයේ සිදු කර තිබෙන වෙනස්කම් පෙන්වන්නකි. මේ අධ්‍යයනය මගින් මානව බලපෑමෙන් ඇති වු මානව යුගය සම්බන්ධව ස්කන්ධය පාදක කරගත්, ප්‍රමාණාත්මක හා සංකේතාත්මක ලක්ෂණයක් පෙන්වා දෙන බව පර්යේෂකයන් විසින් සඳහන් කර තිබේ.

(මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-020-3010-5)


Tuesday, December 15, 2020

දේශගුණ සටනට ඇමෙරිකාව යළි එක් වෙයි ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.02, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/12/02/feature1.html


පසුගිය නොවැම්බර් මස මුල වන විට ලෝකයේ අවධානය යොමු වී තිබුණේ ඇමරිකාව වෙතය. ඒ මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද යන්න නිසාය. වඩාත් ජාතිකවාදී දේශපාලනයක යෙදුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගනු ඇති ද, නැතහොත් වඩා ලිබරල් හා ජාත්‍යන්තරවාදී අදහස් ඇති ජෝ බයිඩන් ජයගනු ඇති ද යන්න අපැහැදිලි වූ නිසාය. දින ගණනාවක් ඇදීගිය අවිනිශ්චිත තත්ත්වය අවසානයේ අවසානයේ ජෝ බයිඩන් ජයග්‍රහණය කර ඇති බව පැහැදිලිය. ඒ පිළිබඳ අවසන් ඡන්ද මණ්ඩල විමසීම පවත්වන්නේ දෙසැම්බර් මස මැද දීය. එහෙත් මේ සිදුවීම් අතර පරිසරය සම්බන්ධව වැදගත් සිදුවීමක් ද සිදුවිය. ඒ නොවැම්බර් 4 වැනි දා ඇමරිකාවට ඇමරිකාව පැරිස් දේශගුණ ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වීමයි.

දේශගුණ වෙනස් වීම සම්බන්ධව මේ වන විට ලෝකය හමුවේ ඇති එකම ගිවිසුම්ගත වැඩපිළිවෙල වන්නේ පැරිස් ගිවිසුමයි. 2100 වර්ෂය වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය, පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක දෙකක උපරිමයකට සීමා කිරීමට හා එම අගය අංශක 1.5 සීමාවේ තබාගැනීමට උත්සාහ කිරීමත් මේ ගැවසුමේ අරමුණු වෙයි. 2015 වර්ෂයේ ඇති කරගන්නා ලද් එය මූලික වශයෙන්ම ස්වේච්ඡාවෙන් සිදුකරන කටයුතු හා සම්බන්ධ ගිවිසුමක් වන ඊට අනුව ඒ ඒ රටවල් තම රටවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සඳහන් කර ඇත. ඒවා මේ වන විට සංශෝධනය කෙරෙමින් ද තිබෙයි. විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇති පරිදි මේ පොරොන්දුවල දී ඇති ඉලක්ක අත්පත් කරගත්තද ලෝකයේ උෂ්ණත්වය පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත සීමාව ඉක්මවා ඉහළ යා හැකිය. ඒ අනුව බරපතළ දේශගුණ වෙනස් වීමක් අපට අපේක්ෂා කළ හැකිය.


ඇමරිකාව ගිවිසුමෙන් ඉවත් වීම


මෙවැනි තත්ත්වයක් තිබිය දී 2016 දී ඇමරිකාවේ ජනාධිපති වූ ට්‍රම්ප් සිය මැතිවරණ පොරොන්දු සනාථ කරමින් 2017 ජුනි මාසයේදී ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වන බව කීවේය. එහෙත් ඒ සඳහා ද අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිසා එය පමා විය. ගිවිසුම 2015 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද නමුත් එය බලාත්මක බවට පත්වූයේ 2016 නොවැම්බර් මස 4 දාය. ඒ ලෝකයේ හරිතාගාර වායු විමෝචනවලින් 55%ක් සඳහා වගකිව යුතු රටවල් 55ක් එය අපරානුමත කිරීමෙන් පසුවය.

යම් රටකට තමන් ගිවිසුමෙන් ඉවත් වන බව දැන්වීම සඳහා ගිවිසුම බලාත්මක තත්ත්වයට පත්වන දිනයේ සිට වසර තුනක කාලයක් බලා සිටීමට සිදුවේ. ඉන් පසුව ගිවිසුමෙන් ඉවත් වීම සඳහා ද තවත් වසරක් පමණ කාලයක් ගිවිසුමේ රැඳී සිටීමට සිදුවේ. ගිවිසුම බලාත්මක වූ දින සිට වසර තුනක් ගත වූ 2019 නොවැමබර් මස 4 වන දා ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වන බව දැනුම් දීම ක්‍රියාත්මක විය. එැතැන් සිට වසරක් ගත වූ 2020 නොවැම්බර් 4 දා ඇමරිකා එක්සත් ජනපද නිලවශයෙන් පැරිස් ගිවිසුමෙන් ඉවත් වූ පළමු රට විය.


ඇමරිකාව කොයිබටද?


ට්‍රම්ප් පරදවා බයිඩන් ජයගැනීමෙන් පසුව දැන් ඇත්තේ අමරිකාව කොතැනට ද යන්න දැනගැනීමය. ලබන ජනවාරියේ ජනාධිපති ධූරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ජෝ බයිඩන් පවසා තිබුනේ පැරිස් ගිවිසුමට යළිත් එක්වන බවයි. ඒ නීති රීති අනුව ඒ සඳහා මාසයක කාලයකට පෙර දැනුම්දීම ප්‍රමාණවත්ය. ජො බයිඩන් කටයුතු කරන ආකාරය ඉදිරියේදී බලා ගැනීමට හැකිය.

බයිඩන් සිය ජනාධිපතිවරණ සමයේ ඉදිරිපත් කළ දේශගුණ පැකේජය ඇමරිකානු ජනාධිපතිරවයෙකුගේ හොඳම බලාපොරොත්තු සහගත දේශපාලන පැකේජය ලෙස දක්වා ඇත. එය ක්‍රියාත්මක කළහාත් වඩාත්ම ප්‍රගතිශීලී දේශගුණ උපායමාර්ගය විය හැකි බව විචාරකයන්ගේ මතයයි. එහෙත් යළිත් ඇමරිකාව දේශගුණ සටනය එක් කිරීමට ජෝ බයිඩන් ඉදිරියේ ඇති මාර්ගය දුෂ්කර එකක් විය හැකි බව සමහරුන් විසින් පෙන්වා දී තිබෙයි. විශේෂයෙන් ඇති වූ පසුබෑම මෙන්ම, ආර්ථික කරුණු ද ඊට බලපායි.

ඇතැම් විශ්ලේෂකයන්ට අනුව බයිඩන්ගේ මුළු පළමු පාලනකාලයම ගත වනු ඇත්තේ පසුගිය කාලයේදී ඇති වූ වෙනස්කම් යථා තත්ත්වයට පත් කිරීමට විය හැකිය. පැරිස් ගිවිසුම සම්බන්ධ වෙනත් පාර්ශ්ව මේ වන විට ඔවුන් ලබා දී ඇති ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්ව (NDC) යළි පුනරීක්ෂණය කරමින් සංශෝධනය කරමින් සිටියි. ඒ අදාළ රටවල ශුද්ධ කාබන් විමෝචන ශුන්‍ය වූ තත්ත්වය උදාකරකැනීම පිළිබඳ ඉලක්ක ද ඇතුළත්වය. සමහර රටවල් මේ වන විට ඒ සඳහා දින නියම කරගෙන තිබේ. යුරෝපා මහාද්වීපය ඒ සඳහා දින 2050 වර්ෂය ද, චීනය ඒ සඳහා 2060 ලෙස ද දින නියම කර තිබෙයි. ජපානය ද 2050 සඳහා දින නියම කරගෙන තිබේ. (රටක් සම්බන්ධව නම්, ශුද්ධ කාබන් ශුන්‍ය තත්ත්වය යනු එරට විමෝචනය වන කාබන් විමෝචන හා සමාන කාබන් විමෝචන ප්‍රමාණයක් ඉවත් කිරීමයි. ඒ අනුව ඒ රටෙන් ලෝකයේ වායුගෝලයට කාබන් විමෝචන එක් නොවේ.)

2016 දී ඇමරිකාව පැරිස් ගිවිසුම හා එක් වූ අවස්ථාවේදී ඔවුන්ගේ ප්‍රකාශිත ඉලක්කය වූයේ 2025 වර්ෂය වන විට එරට විමෝචන ප්‍රමාණය 2005 මට්ටමෙන් 26-28%ක් අතර ප්‍රමාණයකින් අඩු කිරීමයි. එහෙත් ට්‍රම්ප් පාලනය යටතේ මේ බලක්කට ආපසු හරවා යැවූවා පමණක් නොව බොහෝ රාජ්‍ය වෙබ් අඩවිවලින් මේ ඉලක්කය ඉවත් කිරීමට ද කටයුතු කරන ලදි.


බයිඩන්ගේ සැලසුම්


බයිඩන් ද පවසා ඇත්තේ පොසිල ඉන්ධනවලින් ඈත්වීමේ දී ස්වාභාවික වායු භාවිත කරන බවයි. බයිඩන්ගේ ඉලක්ක අනුව එරට විදුලි සැපයුම 2035 වන විට කාබන් විමෝචනවලින් තොර පිරිසිදු බලශක්ති සැපයුමක් වනු ඇත. එසේම, ශුද්ධ කාබන් ශුන්‍ය රටක් වීමේ ඉලක්කය ද 2050 වර්ෂයයි.

ඔහුගේ සැලසුම් අතර රටේ ගොඩනැගිලි මිලියන හතරක බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් විමෝචන අඩු කිරීම ද වෙයි. ඒ සඳහා අපේක්ෂිත වියදම ඩොලර් ට්‍රිලියන දෙකක් පමණය. එසේම ප්‍රවාහනය හා විදුලිබලයෙන් ධාවනය වන රථ නිෂ්පාදනය සම්බන්ධව ද වියදම් කිරීමට ද ඔහු අපේක්ෂා කරයි. මේ හරහා රැකියා උත්පාදනය ද ඔහුගේ අපේක්ෂාවකි. එය ආර්ථිකයට වැදගත් වනු ඇත්තේ පශ්චාත්-COVID-19 තත්ත්වය හමුවේ ලෝකය මුහුණ දී ඇති තත්ත්වය නිසාය.

මෙවැනි පසුබිමක දී බයිඩන් විසින් ජෝන් කෙරී සිය විශේෂ දේශගුණ නියෝජිතයා ලෙස පත් කිරීම ද වැදගත් සිදුවීමකි. ඔබාමාගේ පාලන කාලයේ එරට රාජ්‍ය ලේකම් තනතුර දරා ඇති කෙරී වඩාත් ප්‍රකටව ඇත්තේ දේශගුණ වෙනස්වීම සම්බන්ධ ක්‍රියකාරිකයෙකු ලෙසය. පැරිස් ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවලදී ඇමරිකාව සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක් ඉටු කර ඇත්තෙකි.

කෙසේ වෙතත්, බයිඩන් ගන්නා තීරණවලට එරට සෙනෙට් සභාව අභියෝගයක් වනු ඇතැයි සිතිය හැකිය. මෙවරද පත්ව ඇත්තේ දේශගුණ වෙනස් වීම සම්බන්ධව බෙහෙවින් බෙදී පවත්නා සෙනෙට් සභාවකි. එහි බලය කාට හිමිවන්නේද යන්න තවමත් කිව නොහැකිය. ඇමරිකාව කියොටෝ සන්ධානයට අත්සන් තැබුව ද ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ට ඒ සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය ලබාගත නොහැකි විය. සෙනෙට් සභාවේ අනුමැතිය නොමැතිව ඔබාමා ගිවිසුමට අත්සන් තැබීම ද ගැටලුවක් වු අතර, ඔහුට සිය පාලනකාලයේදී පැරිස් ගිවිසුමට සෙනෙට් සභාවෙන් අනුමැතිය ගෙන අපරානුමත කරගැනීමට නොහැකි විය.


ඇමරිකාව වැදගත් ද?


ඇමරිකානු දේශපාලනය මෙන්ම ඇමරිකාවේ දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ක්‍රියාකාරිත්වය ද ලෝක පරිසරයට වැදගත්ය.

1997 දී අත්සන් කළ කියෝටෝ සන්ධානය බලාත්මක වීම සඳහා අවශ්‍ය වූ විමෝචනවලින් 55%ක් නිකුත් කරන රටවල් ප්‍රමාණය ලබාගෙන එය බලාත්මක තත්ත්වයට පත් කරගත හැකි 2005 වර්ෂයේ දී ය. එහෙත් ඒ වන විට එය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබිණි. දියුණුවන රටවලට පමණක් වගකීම පැවරුණු මේ සන්ධානයට එකඟ වීමට ඇමරිකාව අකමැති වූ අතර දිගින් දිගටම පෙන්වා දුන්නේ ලෝකයේ සියලු රටවලට වගකීම පැවරෙන ගිවිසුමක් අවශ්‍ය බවය. ඊට තවත් රටවල සහාය ලැබිණි. එසේ ලෝකයේ සියලු රටවලට හරිතාගාර විමෝචන සම්බන්ධ වගකීමක් පැවරෙන ගිවිසුම වූයේ පැරිස් ගිවිසුමයි. බැරැක් ඔබාමා ඊට එකඟ වුවද ඉන් පසු බලයට පැමිණි ට්‍රම්ප් එයින් ද බැහැර විය.

2018 සංඛ්‍යාලේඛන අනුව අද වන විට ඇමරිකාවේ හරිතාගාර වායු ප්‍රමාණය ලෝකයේ දෙවැනි තැන ගනියි. එය ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන අතරින් 15%ක් පමණ වේ. එවැනි තත්ත්වයකදී ලෝකයේ ප්‍රධාන විමෝචකයෙන් ගිවිසුමෙන් ඉවත් වීම ගැටලුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ වන විට යුරෝපයේ ඇතැම් අන්ත දක්ෂිණාංශික පක්ෂවල දැකිය හැකි දේශගුණ විරෝධී හා සංශයවාදී ප්‍රතිපත්තිවලට ද ඇමරිකාව පසුගිය කාලයේ දැක්වූ ක්‍රියාකාරකම් හේතු විය.

අනෙක් අතට ඓතිහාසික වශයෙන් ලෝකයේ වැඩිම කාබන් විමෝචන ප්‍රමාණයක් නිකුත් කර ඇති රට ලෙස ඇමරිකාව හැඳින්විය හැකිය. අද වන විට ඒක පුද්ගල විමෝචන ප්‍රමාණය ගත් විට ලෝකයේ සිව්වන තැන පසුවන්නේද ඔවුන්ය. එය ටොන් 16.56ක් පමණ වේ. මේ නිසා අද ලෝකය හමුවේ ඇති බරපතළ අර්බුදයට විසඳුම් සෙවීමේදී ඇමරිකාව සතු වගකීම සුළු කොට තැකිය නොහැකිය. ඇමරිකාවේ කටයුතු ඇමරිකාවට පමණක් බලපාන්නේ යැයි සිතීම නිවැරදි නැත. ඇමරිකාව දේශගුණ විසඳුමක් සඳහා සම්බන්ධ කරගැනීම වැදගත් වන්නේ මේ නිසාය.

Wednesday, December 9, 2020

සුරදූත ප්‍රේමය - "Angel Love" (ඉස්කෝලෙ කතා 6)

 


මේක ඉස්කෝලෙ කතාවකට වඩා ටියුෂන් පංතියක කතාවක්. 1988 වර්ෂයේ 11 වසරෙ ඉන්න කාලෙ මම ගිය ගණන් පංතියෙ වූ සිදුවීමක්. ඒක නුගේගොඩ නාවල පාරෙ තිබ්බ ප්‍රසිද්ධ පංතියක්. ළමයි තුන්හාරසීයක් හිටිය ඒ පංතියෙ ඉගැන්වූ හා ආයතනය හිමි වූ සර් ටිකක් සැරයි. කොල්ලො කෙල්ලො යාලු වීම වළක්වන්න අවංකවම ලොකු උත්සාහයක් ගත්තා. ගොඩක් දවස්වල ගෑණු ළමයි ටික යවලා මිනිත්තු දහයකට විතර පස්සෙ තමයි කොල්ලන්ව යවන්නෙ. ඒත් ඉතින් අර "සැබෑ උවමනාව" තියන, "ඇත්තටම ආදරය කරන" ගෑණු ළමයි එතැන තිිබුණු ළිදෙන් වතුර එහෙම බීලා, හෙමින් ගිහින් අතරමගදි අදාළ පුද්ගලයා එනකම් ඉන්නවා. කොල්ලන්ව මුලින් යැව්වෙ එකම එක දවසයි!

මේ පංතියෙ එක විශේෂ චරිතයක් හිටියා. ඒ පංතියේ සිටි අයගෙන් මට තවමත් නමින් මතක ඔහු පමණයි. ධනවත් පවුලක එකම පුතා වූ ඔහුු කොළඹ ප්‍රධානම පාසලක ඉගෙනගත්තෙ (මගේ පාසලේ නෙමෙයි. ඒ ගැනත් කියන්න වෙන කතාවක් තියනවා). මතක විදියට අම්මා නෑ. තාත්තා විතරයි හිටියෙ. හොඳටම නිදහස භුක්ති වින්ද, ටිකක් සෙල්ලක්කාර, පොෂ් පෙනුමක් තියන හාදයෙක්. 

මෑන් තමයි පංතියෙ එකට හිටපු කොල්ලො සෙට් එකේ අප්‍රකාශිත නායකයා. මාත් ඉතින් ඒ සෙට් එකේ හිටියා. අපි හත් අට දෙනෙක් තමයි නාවල දිහාට පයින් ගෙදර එන්නෙ (වෙන යන්න ගමන් එහෙම තිබ්බෙ නැත්තං හොඳේ...).

අපේ කතා නායක මිත්‍රයා ඒ වෙනකොට කෙල්ලො කීප දෙනෙක් හිටපු කෙනෙක්. ඒත් ඒ කිසිවක් සීරියස් ඒව උනේ නෑ. ඒ පංතියෙ කලින් අවුරුද්දෙත් කෙල්ලො කීප දෙනෙක් එක්ක යාළුවෙලා හිටියාලු. (අපේ මිත්‍රයගෙ පෙනුමට අකමැති වන කෙල්ලෙක් නැති තරම් කියතෑකි)

ඒ අලුත් අවුරුද්දෙ මෑන් ටිකක් පස්සෙන් ගිහින් යාළු වුණ කෙල්ලෙක් හිටියා - එයා අහිංසක ඇස් දෙකක් තිබ්බ, සුදු, ටිකක් උස ලස්සන කෙල්ලක්. පැහැදිලිව කැපී පෙනෙන සෙමින් ගමනක් තිබූ කෙනෙක්. නුගේගොඩට කිට්ටුව පදිංචිව සිටි ඈ යමක් කමක් ඇති පවුලක බව පෙනේනනට තිබ්බා. වැල්වටාරම් නැතිව කීවොත් යාලුවුනොත් සිරාවටම ලව් කරන්න හිතෙන කෙල්ලෙක්.

ඉතින් ඒ ආදර කතාවෙ මුල් කාලෙ ඒ කෙල්ල එවූ ලිපියක් අපේ සෙට් එකේ හැමෝම වගේ කියෙව්වා. ඒ‌කත් එක්ක අමුණලා තිබ්බා "Angel Love" කියා සඳහන් වූ මුද්‍රිත ටැග් එකක්. කළු-සුදු එකක් වූ එහි කපල් එකක් සරල නැටුමක ඉන්න චිත්‍රයක් තිබ්බෙ... එයා ලිපියෙත් කියලා තිබ්බෙ එයාලගෙ ආදරය "ඒන්ජල් ලව්" එකක් බව... වචනයෙන් වචනය මතක නැතත්, ඒක මං කියෝපු ලස්සනම පෙම් හසුනක් බව නම් මතකයි. අවුරුදු 16ක විතර කෙල්ලෙක් ලියූ එකක් ද කියලත් හිතෙන තරම්. එදා අපේ කට්ටිය යාලුවට දුන්න උපදෙස උනේ "ඒකි පව් බං", "ඒක සිරාවට කරපන්" කියලයි.

මොන විකාරද? ඒ ආදරයත් වැඩි කාලයක් තිබ්බෙ නෑ. අපේ සෙල්ලක්කාරයගෙ සාමාන්‍ය ක්‍රමයටම වගේ ඒ ආදරය නැවතුනා. පංතියෙ අන්තිම දවස්වල ඒ කෙල්ල දුකෙන් හිටි බව කාටත් පෙනෙන්න තිබ්බා. ඒ තමයි සුරදූත ආදරයකට වූ දේ...

ඒ ටැග් එක මට නම් කවදාවත් අමතක නොවන ටැග් එකක්. මේ සමඟ ඇති රූපය ඊට කිට්ටු කරන්වත් බෑ! ඒ ගෑණු ළමයටත් තිබ්බෙ අමතක නොවන මූණක්. පසුකාලයක අපි උසස්පෙළ කරද්දි වගේම මම සරසවි යන කාලෙදි නුගේගොඩ නගරයෙදි ඒ ගෑණු ළමයාව ඉදහිට දැක්කා - 2000 වර්ෂය විතර වනතුරු. ඉන් පස්සෙ දැක්කෙ නෑ.

තාමත් මට මතකයි ඒ මූණ... දැන් දැක්කොත් හඳුනාගන්න පුළුවන් ද කියලා නම් කියන්න බෑෑ.

(පසු සටහන - මෙහිඑන පොෂ්, සෙට් එක වැනි වදන් අප එකල භාවිත කළේ නැත.)

ධනේෂ් විසුම්පෙරුම

2020.12.09    

Saturday, December 5, 2020

රාජකාරි ලිපි ලිවීමේ කොලිටිය! (ඉස්කෝලෙ කතා 5)



මේක උනේ 8 ශ්‍රේණියෙදි - හරියටම කීවොත් 1986දි. එදා අපේ සිංහල පාඩම උනේ ලිපි ලිවීම. මැදිවයසෙ හිටපු සිංහල සර් උගන්වන්න පටන් අරන් මුලින්ම රාජකාරි ලිපියක් නිසි ලෙස ලිවීමේ වැදගත්කම කීවා.

"දවසක් මම කරවල කඩෙන් කරවල වගයක් ගෙනාවා. ඒවා ඔතන් ආපු කොලේ තිබ්බ අකුරු මට හුරුයි. ඉතින් ඒක මොකද්ද කියලා බැලුවම ඒක මම කලින් දවසක කාර්යාලයකට යවපු ලියුමක්. මටම ලැජ්ජා හිතුනා ඒක ලියල තිබ්බ හැටි දැකලා. ඒ කියන්නේ ඒ ලියුම වැඩක් නෑ කියලා ඒ අය විසි කරලා"

අපේ උන් කීදෙනෙක් මේක විශ්වාස කළා ද කියලා මං දන්නේ නෑ. එකෙක් නං පස්සෙ මෙහෙම කිව්වා - 

"එතකොට සර්ත් ලියුම් ලියන්න ඉගෙනගෙන තියෙන්නෙ ළඟදි ද?"

(පින්තූරය අන්තර්ජාලයෙනි. පෙළ පොතක එන්නක් විය යුතුය.)

ධනේෂ් විසුම්පෙරුම


2020.12.05