Showing posts with label Health and Related Issues. Show all posts
Showing posts with label Health and Related Issues. Show all posts

Monday, February 3, 2025

නිදහසෙන් පසු ලංකාවේ දියුණුව - අංශ කිහිපයක් පිළිබඳ විමසීමක්

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2023-02-01 පි. 12-13


(මෙම ලිපිය අදින් වසර දෙකකට පෙර, 2023 වර්ෂයේ 75 වන නිදහස් සමරුව වෙනුවෙන් ලියවුනක් වන අතර, ඉන් පසුව යාවත්කාලීන කර තිබේ. අවසන්වරට යාවත්කාලීන කරන ලද්දේ: 2025-02-02).


1948 වර්ෂයේ පෙබරවාරි මස 4 වැනි දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් ඩොමීනියන් නිදහස ලබාගෙන 2023 වර්ෂයේ පෙබරවාරි 4 වැනි දාට වර්ෂ 75ක් සම්පූර්ණ විය. ඒ කාලය ඇතුළත මෙරට සිදු වී ඇති වෙනස්කම් කෙසේ ද යන්න පිළිබඳව විමසා බැලීම මේ ලිපියේ අරමුණ වේ.

පළමුව ඒ කාලය තුළ ඇති වී තිබෙන මූලික වෙනස්කම් පිළිබඳව වැදගත් දත්ත සමූහයක් පළමු වගුවේ දැක්වේ.

1 වන වගුව - නිදහස් ලංකාව පිළිබඳ මූලික දත්ත කිහිපයක්



මේ අනුව පෙනෙන්නේ 1948 හා 2023 අතර කාලයේ දී මෙරට ජනගහනය තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බවයි. ජනගහන වර්ධන වේගය අඩු වැඩි වෙමින් පැවතී ඇත - නිදහසින් පසු කාලයේ ක්‍රමයෙන් වර්ධනය වී 2% ද ඉක්මවා තිබී පසුව අඩු වී ගොස් තිබේ. 2016-2018 අතර කාලයේ සාමාන්‍යයෙන් 1.1%ක්ව තිබූ මේ අගය 2019 හා 2020 වර්ෂවල දී 0.6% හා 0.5%ක් දක්වා අඩු වී තිබේ. 2021 වර්ෂයේ දී එය යළිත් වර්ධනය වී ඇත.

ආර්ථික වර්ධනය පිළිබඳව සලකන විට, දළ දේශීය නිෂ්පාදනය බොහෝදුරට අඛණ්ඩව වර්ධනය වී ඇති අතර 1990 දශකයේ සිට සිඝ්‍ර වර්ධනයක් පෙන්වයි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය හා ආදායම 2019-2020 වර්ෂවල දී යළිත් පහළ බැස තිබේ.

සමස්ත ආර්ථිකය සඳහා ඇතැම් අංශවල දායකත්වය විශාල වශයෙන් වෙනස් වී ඇති බවද ඉහත වගුව බැලූ විට පෙනේ. කෘෂිකර්මයේ දායකත්වය ඒ අතරින් කැපී පෙනෙන ලෙස අඩු වී ඇතත් ඊට හේතුව සෙසු අංශවල දායකත්වය වේගයෙන් ඉහළ යාම බව පෙනෙන්නේ කෘෂිකර්ම අංශයේ නිෂ්පාදනය හා වෙළෙඳපොළ වටිනාකම ඉහළ ගොස් ඇති නිසාය. 

නිදහසෙන් පසුව ලංකාවේ සිදු වී ඇති සංවර්ධනය පිළිබඳව විවිධ ආකාරයේ අදහස් සමාජයේ දැකිය හැකිය. මේ කාලය තුළ විද්‍යාව හා තාක්ෂණයට අදාළ සහ සමාජ සුබසාධනය පිළිබඳ අංශ කීපයක් හා සංවර්ධනය සඳහා දර්ශක ලෙස යොදාගත හැකි අංශ පිළිබඳ සංසන්දනයක් සිදුකිරීම මේ ලිපියේ අරමුණ වේ. මේ සඳහා විශේෂයෙන් තෝරගෙන ඇත්තේ සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අංශයි. එසේම සංවර්ධනය සඳහා වැදගත් වන විදුලිය හා ප්‍රවාහනය යන අංශය ද විස්තර කර තිබේ. මේ සඳහා දත්ත ලබාගැනීමේ දී මහ බැංකු වාර්තා, ඒ ඒ දෙපාර්මේන්තුවල පාලන වාර්තා සහ Economic Progress of Independent Sri Lanka නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශනය යොදාගෙන ඇත. එසේම කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග දැඩි ලෙස වෙනස් වූ අංශවල දත්ත සඳහා 2018 හෝ 2019 වර්ෂ යොදාගෙන තිබේ.


සෞඛ්‍යය

නිදහසින් පසු ගත වූ කාලය තුළ සෞඛ්‍ය අංශයේ සිදුව ඇති වෙනස්කම් අතරින් වැදගත් වෙනස්කම් සමහරක් 2 වන වගුවේ දැක්වේ. මේ කාලය ඇතුළත මෙරට සෞඛ්‍යය හා පෝෂණ අංශයේ සැලකිය යුතු වර්ධනයක් සිදු වී තිබෙන බව පෙනේ.

2 වන වගුව - සෞඛ්‍ය අංශයේ වැදගත් දත්ත



මේ කාලය තුළ නිදහස් සෞඛ්‍ය සේවාවක් පැවති අතර, මේ සඳහා රජය සාමාන්‍යයෙන් මුළු වියදමෙන් සැලකිය යුතු මුදලක් වැය කර තිබේ. නිදසුනක් ලෙස ගතහොත් 2019 දී මුළු දළ ජාතික නිෂ්පාදනයෙන් 1.63%ක් රජය සෞඛ්‍ය අංශය සඳහා වැය කර තිබේ. මේ කාලය ඇතුළත විශේෂ වැඩසටහන් මගින් වසූරිය හා මැලේරියාව වැනි රෝග මෙරටින් තුරන් කර දැමීමට ද හැකි වී තිබේ. එසේම වෙනත් රෝග සම්බන්ධව සිදුකරන ලද එන්නත්කරණයේ ද වර්ධනයක් ඇති වී තිබේ.

සෞඛ්‍ය අංශයේ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස නිදහසින් පසු දශක කීපයක කාලයේ දී මෙරට වාර්ෂික ජනගහන වර්ධන වේගය විශාල ලෙස ඉහළ ගොස් ඇත. 1953 දී එය 2.8%ක් ද, 1963 දී 2.7%ක් ද, 1972 දී 2.5%ක් ද වී තිබේ. සෞඛ්‍ය පහසුකම්වල වර්ධනය නිසා මරණ ප්‍රමාණය (මරණ අනුපාතිකය) වේගයෙන් අඩු වීම හා උපත් අනුපාතිකය වර්ධනය ඊට හේතු විය. පසුව උපත් අනුපාතිකය ද අඩුවීමත් සමඟ අද වන විට මේ වර්ධන වේගය 1% අවට අගයක පවතී. 1960 දශකයේ දී පවුල් සැලසුම හඳුන්වා දීම ද මීට දායක වී තිබේ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වර්ධනයේ ප්‍රතිඵලය 3 වන වගුවේ සඳහන් සංඛ්‍යාලේඛන අනුව පෙනේ. සාක්කලාපයේ වෙන් රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන රටක් බව පැහැදිලිය.

3 වන වගුව - සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වර්ධනය පෙන්වන දර්ශක


අධ්‍යාපනය


නිදහසෙන් පසුව ගත වූ කාලයේ දී අධ්‍යාපනය සම්බන්ධව ද කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකි බව ඒ පිළිබඳ දත්ත අනුව පෙනේ. එවැනි කරුණු කීපයක් 4 වන වගුවේ දැක්වේ. 2019 වර්ෂයේ දී අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.93%ක් වැය කර තිබේ. නිදහස් අධ්‍යාපනය මෙන්ම ස්වභාෂා අධ්‍යාපනය අනිවාර්ය කිරීම ද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූයේ මෙරට නිදහස ලැබූ කාලය හා සමගාමීවය. එසේම රජයට අයත් නොවූ හා වෙනත් ආයතන මගින් පාලනය කළ පාසල් 1960 දශකය මුල දී රජයට පවරා ගන්නා ලදි. 1961 මුල දී 4592 ක් වු රජයේ පාසල් ගණන 1963 වන විට 8221 පමණ දක්වා වර්ධනය වීමෙන් ඒ බව පැහැදිලිය.

4 වන වගුව - අධ්‍යාපන අංශයේ වැදගත් දත්ත


මේ කාලය ඇතුළත සිදුව ඇති ජනගහන වර්ධනයට හා සමගාමීව පාසැල් ගණන මෙන්ම, පාසල් ශිෂ්‍යයන් හා ගුරුවරුන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. ඉහත සඳහන් කර ඇති පරිදි සමස්තයක් ලෙස රටේ ජනගහනය තුන් ගුණයකින් පමණ ඉහළ යද්දී, සමස්ත පාසල් සිසුන් ගණන සිව් ගුණයකට ආසන්නව (1948 දී මිලියන 1.18ක සිට හා 2020 දී මිලියන 4.27ක්) පමණ ඉහළ ගොස් තිබේ. 

එමෙන්ම ගුරුවරුන් සංඛ්‍යාව ද මේ කාලය තුළ සත් ගුණයකින් ඉහළ ගොස් ඇත. රජයේ පාලසක එක් ගුරුවරයෙකුට සිටින ශිෂ්‍යයන් ගණන 1948 වර්ෂයේ දී 38ක් පමණ විය (ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වල 31ක් ද ස්වභාෂා පාසල්වල 40ක් ද විය). මේ අගය 2021 වර්ෂයේ දී 16 දක්වා අඩු වී ඇත (කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල හා පාසල්වල මෙය මීට වඩා අධික වන්නේ පරිපාලන ගැටලු නිසා විය යුතුය.)

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කැපී පෙනෙන වෙනස්කම් සිදු වී තිබේ. ඉන් එකක් වන්නේ විද්‍යා විෂයයන්ට යොමු වීමේ දැකිය හැකි වර්ධනයයි. පොදුවේ ගත් විට අධ්‍යාපනයට බොහෝ ප්‍රමිති හඳුන්වා දීම මේ වර්ෂ 75ක කාලය තුළ සිදු වී ඇත. සමස්තයක් ලෙස අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව (SLQF) ද, වෘත්තීය පුහුණුව සඳහා ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) හඳුන්වා දී ඇත්තේ ද මේ කාලයේ දීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනය පෙන්වන දර්ශක කිහිපයක් 5 වන වගුවේ දැක්වේ. 

අධ්‍යාපනයේ ඇති වූ වර්ධනයේ ප්‍රධාන දර්ශකය ලෙස ගත හැක්කේ මෙරට සාක්ෂරතාවයේ හෙවත් කියැවීමේ හා ලිවීමේ හැකියාවේ සිදුව ඇති කැපී පෙනෙන වර්ධනයයි. 1948 දී 57.6ක් ලෙස පැවති සාක්ෂරතාවය 2020 වන විට 93%ක් පමණ වේ. සාක්ෂරතාවය අනුව අප පසුවන්නේ සාක් කලාපයේ දෙවැනි තැනය.

5 වන වගුව - අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනය පෙන්වන දර්ශක



වෙනත් වැදගත් අංශ සැකෙවින්


පොදුවේ රටේ සංවර්ධනයට බලපාන අංශ කීපයක් සම්බන්ධව කෙටියෙන් සාකච්ඡා කිරීමට අපි අදහස් කළෙමු. ඒ අතර විදුලිබලය, ප්‍රවාහනය වැනි අංශ වැදගත්ය.

(1) විදුලිය


ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාව වන විට කොළඹ බලාගාර තුනක් සහ තවත් නගර 51ක කුඩා විදුලි සැපයුම් පද්ධති ක්‍රියාත්මක කරන ලදි. ඒ මූලික වශයෙන් තාප විදුලියෙනි. 1947 අග වන විට කොළඹ පැවති බලාගාරවල ස්ථාපිත ධාරිතාව මෙගවොට් 18ක් පමණ වූ අතර, ජනනය කළ විදුලිබලය ගිගාවොට් පැය 53ක් විය. කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශයේ විදුලි සැපයුම් ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් ගණන 14,436ක් පමණක් විය. සමස්තයක් ලෙස ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් 8ක් විය.

2020 වර්ෂය වන විට මෙරට ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 4265 කි. ඊට ජලවිදුලිය (මෙගාවොට් 1383), ද්‍රව ඉන්ධන (මෙගාවොට් 1268), ගල්අඟුරු (මෙගාවොට් 900) සහ වෙනත් පුනර්ජනනීය ප්‍රභව (මෙගාවොට් 714)ක් අයත් වේ. ඒ වර්ෂයේ දී ජනනය කළ විදුලිබලය ගිගාවොට් පැය 15714ක් විය. ඒ වර්ෂයේ මුළු විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 7.213ක් වු අතර, 2016 වර්ෂය වන විට ද මෙරට ජනගහනයෙන් 99.3%කට විදුලි සැපයුම ලබා දී තිබිණි. 2020 වන විට මෙරට ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 686.7 දක්වා ඉහළ ගොස් ඇත.


(2) ප්‍රවාහනය


ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැඩි වර්ධනයක් සිදු වී ඇත්තේ මාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රයේ ය. ඒ වන විට පැවැති රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් 1948 අග වන විට නඩත්තු කළ කිලෝමීටර් 6,518ක් වු ඒ හා බී ශ්‍රේණිවල මාර්ග ප්‍රමාණය 2020 වන විට කිමී 12,225ක් පමණ දක්ව ඉහළ ගොස් තිබේ. මේ මාර්ග සහ අධිවේගී මාර්ග කිලෝමීටර් 312ක් ඇතුළත් ජාතික මහාමාර්ග අද මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වේ. (මෙම ජාතික මහාමාර්ග හැර, මෙරට සමස්ත මාර්ග පද්ධතියෙන් වෙනත් ආයතනවලින් පාලනය වන මාර්ග වර්ග තිබේ.)

1948 වර්ෂයේ දී මෙරට භාවිතයේ තිබූ සක්‍රිය මෝටර් රථ ප්‍රමාණය 47,810ක් වූ අතර, 2020 වන විට එය මිලියන 5.4 ඉක්මවා තිබේ. මේ අතරින් ප්‍රවාහන සේවා සඳහා වඩාත් වැදගත් වන්නේ පොදු මගී ප්‍රවාහනයයි. එනම් මාර්ගස්ථ මගී බස් හා දුම්රිය සේවයයි. මෙරට නිදහස ලබන විට පුද්ගලික සමාගම් 53ක් හා පුද්ගලයන්ට අයත් වූ බස් රථ බස් 2,583ක් පොදු මගී ප්‍රවාහනයට දායක විය. හිමිකරුවන්ගේ ඒකාධිකාරය යටතේ වූ පොදු මගී ප්‍රවාහනය විධිමත් වන්නේ 1958 වර්ෂයේ දී පොදු මගී බස් රථ ජනසතු කිරීම හා ලංගම බිහිවීම සමඟය. 1979 වර්ෂයේ දී පෞද්ගලික මගී ප්‍රවාහන සේවා යළි හඳුන්වා දෙන ලදි. 2019 වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,048ක් ද, පෞද්ගලික බස් රථ 18,562ක් ද මගී ප්‍රවාහනයේ යෙදී තිබේ.

1948 වර්ෂයේ දී මෙරට තුළ කිලෝමීටර් 1,438ක දුම්රිය මාර්ග ප්‍රමාණයක් තිබූ අතර මෙය 2020 වන විට 1,648ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. නිදහසෙන් පසුව නව දුම්රිය මාර්ග තැනී ඇත්තේ සුළු ප්‍රමාණයක් වුවත්, තනි මාර්ග ගණනාවක් ද්විත්ව මාර්ග බවට පත් කිරීම ද සිදු වී ඇත. නිදහස ලැබූ වර්ෂය වන විට ද දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබමින් තිබී ඇති අතර, ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද වැඩි වශයෙන් මාර්ග ප්‍රවාහනය වෙත ජනතාව යොමුවීමය. එය මෙන්ම, සේවක පිරිස ද දුම්රිය සේවයේ මෙන්ම ශ්‍රී ලංගමයේ ද අලාභ සඳහා හේතු වී ඇති බව ප්‍රකට කරුණකි.


(3) තොරතුරු තාක්ෂණය


තොරතුරු තාක්ෂණය අද ලෝකයේ වඩාත් වැදගත් අංශයකි. ලෝකය අද සාකච්ඡා කරන්නේ තොරතුරු ආර්ථිකයක් පිළිබඳවය. 1990 දශකයේ දී මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය හා යටිතල පහසුකම් පුළුල් වීම ආරම්භ විය. මේ කාලය තුළ ඇති වූ වර්ධනයත් සමඟ පුද්ගලිකව මෙන්ම කර්මාන්තයක් ලෙස ද වැදගත් වී තිබේ. 2021 වර්ෂයේ දී මෙරට පරිගණක සාක්ෂරතාව හෙවත් පරිගණකයක් තනිව භාවිත කිරීමේ හැකියාව පැවතියේ ජනගහනයෙන් 34.1%කටය. එය ප්‍රදේශය (නාගරික, ග්‍රාමීය හා වතු) වශයෙන්, පළාත් අනුව, වයස් කාණ්ඩය හා අධ්‍යාපන මට්ටම අනුව සැලකිය යුතු තරමින් වෙනස් වේ. රැකියාවල නියුතු පරිගණක පිළිබඳ දැනුවත් වයස 15-69 අතර පිරිස් අතර පරිගණකක සාක්ෂරතාවය 66.3%ක් වන අතර එය වෘත්තිය කාණ්ඩය අනුව වෙනෙස් වේ. (2021 වර්ෂයේ දී මෙරට ඩිජිටල් සාක්ෂරතාවය 57.2%ක් වේ. ඩිජිටල් සාක්ෂරතාවය යනු පරිගණකයක්, ලැප්ටොප් පරිගණකයක් ටැබ් පරිගණකයක් හෝ ස්මාට් දුරකථනයක් තනිව භාවිත කිරීමේ හැකියාවයි. මෙම අගය පරිගණක සාක්ෂරතාවයට වඩා ඉහළ වීම ස්මාට් දුරකථන වෙත යොමුවීම පෙන්වන්නක් ලෙස සැලකේ)

2021 වර්ෂය වන විට මෙරට ඊමේල් හා අන්තර්ජාල දායකත්ව මිලියන 22.23ක් ඇත. පුද්ගලයින් දහසකට අන්තර්ජාල සම්බන්ධතා ගණන 1003.6කි. එය 2013 වර්ෂයේ දී පැවතී ඇත්තේ 97.6ක අගයකය. එසේම රට තුළ ජංගම දුරකථන මිලියන 29.9ක් භාවිතයට ගැනේ. සියලු වර්ගවල ජංගම දුරකථන ගතහොත්, පුද්ගලයන් 100කට දුරකථන 148.1ක් භාවිත වේ.


Tuesday, May 11, 2021

පිටකෝට්ටේ MOH කාර්යාලයට මල් මිටක්!




අද, එනම් 2021 මැයි මස 11 වන දා, Sinopharm වැක්සින් එක විද ගැනීමට මට අවස්ථාව ලැබිණි. ඒ මා පදිංචි ගම අයත් වන MOH හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වන, බැද්දගානේ පිහිටා ඇති පිටකෝට්ටේ MOH කාර්යාලයෙදීයි.

මීට පෙර වතාවක් ද මේ ගමට එන්නත් ලබාදීමට සූදානම් තිබුණත් එය අවලංගු කරනු ලැබිණි. ඒ නිසා අද ලැබුණු අවස්ථාවේ පැය හතරක පමණ කාලයක් ගතකර එන්නත ලබාගැනීමට හැකි විය.

මේ සටහන තබන්නේ ඒ කාර්යයට සම්බන්ධ වූ සියලුම නිලධාරින්ට ස්තුති කිරීම සඳහායි. ඒ ඔවුන් සිය රාජකාරි කටයුත්ත ඉතාම සංවිධානාත්මකව හා ඉතාම වගකීමෙන් ඉටු කළ බැවිනි. 
  • ඔවුන් ඉතාම ආචාරශීලී අන්දමින් ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දීමට පියවර ගෙන තිබීම ඉතා අගනේය. පෝලිමේ අතරමග මීටරයේ පරතරය තබාගන්නට, ආකෘති පත්‍ර පිරවිය යුතු ආකාරය, එහි අඩුපාඩු නිවැරදි කිරීම, එන්නත ලබාගත් පසු කළ යුතු දේ ගැන උපදෙස් දීම ආදිය මේ උපදෙස් අතර විය. (මීටරයේ පරතරය නම් තබාගත්තෙ නෑ වගෙයි බැලූ බැල්මට පෙනුණෙ). කොටින්ම කීවොත් අත උඩ තියාගනෙ හෝ බිත්තියක තියාගෙන ආකෘති පත්‍රය පිර වූ අයට ඒකට සුදුසු තැන් ඇති බව පවා පෙන්වා දීමට තරම් මේ නිලධාරීන් කාරුණික වූ බව කිව යුතුයි.
  • අවශ්‍ය තැන්වල නිලධාරීන් සේවයේ යොදවා තිබිණි. ආකෘති පත්‍රය ලබා දීමට, එය පුරවා ලබා දී කාඩ් පත ගැනීමට යොමුකිරීම පවා මනාව සංවිධානය කර තිබිණි.
  • වැඩිම කාලයක් ගත වනුයේ කාඩ් පත ලිවීමට යන කාලය අඩු කිරීම සඳහා සැලකිය යුතු නිලධාරීන් පිරිසක් ඒ සඳහා වෙන් කර තිබිණි.
  • එතැනින් එන්නත විඳගැනීමට යොමු කිරීමත් එන්නත විදීමත් ඉතාම කාර්යක්ෂමව සිදුවිය. එන්නත විඳීමෙන් පසුව කළ නොකළ යුතු දේ ගැන උපදෙස් දීම ඉතාම පැහැදිලිව කණ්ඩායම් වශයෙන් ලබා දීීී නිලධාරිනියක්ට යොදවා තිබිණි.
  • යම් සංකූලතාවක් ඇති වේදැයි බලන්නය මිනිත්තු විස්සක් ගත කර එතැනින් පිටවීමට කීවත්, ඒ අතරත් ඇවිත් ආබාධ තියනවද කියලා විටින් විට මතක් කිරීමත් පැසසුම් කටයුත්තක් උනා.
සමස්තවක් විදියට ආකෘති පත්‍රය ලබාගැනීමේ සිට එන්නත විදගැනීම සඳහා ගතවූයේ පැය බාගයක් පමණ කාලයක්. ගමේ අයගේ හැසිරීමත් ඉතාම ඉහළ මට්ටමක තිබූ බව සඳහන් කළ යුතුයි.

තවත් කරුණක් කියන්න ඕන, මිත්‍රයෙක් කී දෙයක් නිසාම - මේ වතාව තනිකරම අපේ ගමට පමණක් සීමා කර තිබිණි. වෙනත් ගම්වල අය පැමිණීම වළක්වන්න ගත් පියවර මෙසේය. 
  • ඊයේ සවස/රාත්‍රියේ ගම පුරා ධාවනය වූ ත්‍රීවීල් එකකින් පැමිණ හෙට දින එන්නත් ලබා දෙන්නේ මේ ගමේ (ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකක්) අයට පමණක් බව නිවේදනය කිරන ලදි.
  • උදේ 8.45ට වන විට මීටර් 300ක් පමණ වූ පෝලිමක් අසලට පැමිණි ත්‍රීවීල් එකකින් එන්නත දෙනු ලබන්නේ මේ ගමේ අයට පමණත් බව යළිත් දැනුම් දුන් බැවින් සෙසු ගම්වලින් පැමිණ අය හැරී ගියා.
  • පෝලිමේ යන විට තැන් තැන්වල සිටි නිලධාරිනුත් ඒ බව මතක් කළා. තැනක දෙකක ඒ ගම්වල නම් සඳහන් බෝඩ් ද තිබිණි. 
  • එන්නත විදගැනීම සඳහා වූ ආකෘති පත්‍රය දුන්නෙ ජාතික හැඳිනුම්පතෙන් පදිංචිය බලලයි.
  • NIC එකේ ඇති වෙනස් ලිපිනයක් ඇති, ඒත් මේ ගමේ පදිංචිය අය ඒ බව තහවුරු කරන්න තම නමට ලිපිනය ඇති බිල් අරන් ඇවිත් තිබුණත් ඒත් අදාළ ග්‍රාම නිලධාරී ලවා ඒ බව සහතික කරගන්න ඔවුන්උව යොමු කරනු ලැබිණි. ග්‍රාම නිලධාරීනීහු දෙදෙනාම අද දවසම සේවයේ සිටියෝය.
පැය තුන-හතරක්හ පෝලිමේ සිට අපි එන්නත ලබාගත්තත්, ඔවුන් පැය අටක්වත් එක දිගට සේවයේ සිටි බව සඳහන් කළ යුතුයි. ඇතැම් අය ආරක්ෂිත ඇඳුම් ඇදගෙන සිටි අයයි. මදක් විවේක ගත්තත් සමහරු වැඩිකාලයක් සිටගෙනම බව දැකිය හැකි විය. දන්නා තරමින් හෙටදින තවත් ගමක ජනතාවට ඔවුහු මේ සේවය සපයති.

ඉතින් මේ කාර්යයට සම්බන්ධ වූ සියලු නිලධාරීන්ට ස්තුතියි! 🌹


පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලයට, ග්‍රාම නිලධාරිනීන් දෙපළට, පොලීසියේ හා සිවිල් ආරක්ෂක නිලධාරින්ට ඒ ස්තුතිය හිමිවේ. (තවත් නොදන්න නිලධාරින් හිටියා නම් ඔවුන්ටත් ස්තුතියි).

සමාජ මාධ්‍යයේ මෙන්ම සෙසු ජනමාධ්‍යවල ද නිතරම විවේචනයට ලක් වූව ද, රාජ්‍ය සේවයේ උපරිම සේවයක් කරන නිලධාරීන් ඇති බව මෙහි දී සඳහන් කළ යුතුය.

ධනේෂ් විසුම්පෙරුම

2021.05.11

Wednesday, April 28, 2021

ලෝකය බේරාගැනීම සඳහා නිර්මාංශ ආහාර

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 28.04.2021, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2021/04/28/feature2.html





මිනිසුන්ගේ ආහාර වේලට එක්කරන මාංශමය ආහාරවල පරිසර බලපෑම බොහෝ කලක සිට සාකච්ඡාවට ලක් වී ඇති කරුණකි. විශේෂයෙන්, විවිධ මස්වර්ග නිෂ්පාදනයේ දී ඒ සඳහා වැය වන ජලය, අවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය වැනි විවිධ කරුණු මගින් මස් නිෂ්පාදනවල පරිසර පියසටහන අධික බව තහවුරු වී තිබිණි.

මෙවැනි 2018 වර්ෂයේ දී සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබුනේ, මස් හා කිරි නිෂ්පාදනය සිදුනොකරන්නේ නම් ලෝකයේ පවත්නා ගොවි බිම් ප්‍රමාණය 75%කින් පමණ අඩු කළ හැකි බවයි. එම ගොවි බිම් ප්‍රමාණය ඇමරිකාව, චීනය, යුරෝපා සංගමය හා ඔස්ට්‍රේලියාව යන සමස්ත භූමි ප්‍රදේශයට සමානය. ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වෙන් කර ඇති බිම් ප්‍රමාණය ගැන අපට අදහසක් ලබා ගත හැකිය. එහෙත් ගොවි බිම් ප්‍රමාණය එසේ අඩු කළ ද ලෝක වාසීන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර සැපයීමට හැකියාව පවතී. එමෙන්ම ඒ සඳහා වැය වන සෙසු සම්පත් ප්‍රමාණය ද ගත් විට මෙය පාරිසරික වශයෙන් වැදගත්ය. උක්ත පර්යේෂකයන් පෙන්වා දී තිබුනේ මස් හා කිරි ආහාරවලින් වැලකීමෙන් අපේ පරිසර බලපෑම අඩු කරගත හැකි තනි විශාලතම ක්‍රමය ලෙසයි. එම අධ්‍යයනය හඳුන්වා දී තිබුනේ ගොවිපොළ මගින් පරිසරයට සිදුවන බලපෑම ගැන සිදුකරන ලද වඩාත් සවිස්තර වූ අධ්‍යයනයක් ලෙසය. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.aaq0216)


සත්ත්ව ආහාර නිෂ්පාදනය සම්බන්ධව අපේ රටේ ද අපි මේ සමහර ගැටලු දකිමු. ගොවිපොළ සතුන්ට ප්‍රමාණවත් තරම් තණ බිම් නොමැති වීම නිසා ස්වාභාවික පරිසර පද්ධති මෙන්ම ආරක්ෂිත ප්‍රදේශ ද ඒ සඳහා යොදා ගැනෙයි. එබැවින් ආරක්ෂිත ප්‍රදේශ මෙන්ම වනජීවීන්ගේ පැවැත්මට ද මේ නිසා අවදානමක් ඇති වී ඇත. එසේම මෙවැනි අවස්ථාවලදී ඇතැම් විට පරිසර ප්‍රතිපත්ති හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති ගැටේ.


නිර්මාංශ වීම හා හරිතාගාර වායු විමෝචන


ලෝකයේ සියලු දෙනා හෝ වැඩි දෙනා නිර්මාංශ ආහාර රටාවකට යොමු වුවහොත් එමගින් පරිසරය රැකගත හැකිද? එහි යම් සත්‍යයක් ඇත. මස් ආහාරවල පරිසර සලකුණට බලපාන එක් අංගයක් වන්නේ එහි මස් නිෂ්පාදනයේ හරිතාගාර වායු විමෝචනය. නිර්මාංශ ආහාරයට යොමු වීමෙන් හෝ මස් හා කිරි ආහාර අඩු කිරීම මගින් පුද්ලයෙකුගේ, රටක මෙන්ම ලෝකයේ ද හරිතාගාර වායු විමෝචන අඩු කරගැනීමට හැකියාව ඇත.

එක්සත් රාජධානිය පාදක කරගනිමින් කරන ලද 2012 වර්ෂයේ පළ වූ එක් අධ්‍යයනයක දී මේ සම්බන්ධ ප්‍රමාණාත්මක අදහසක් ලැබී ඇත. එහි දී මස් ආහාර ගන්නා ප්‍රමාණය අනුව කොටස් පහකට බෙදන ලද පාරිභෝගික නියැදියක, වැඩිම මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා ඉහළම කොටස හා අඩුම මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා පහළම කොටස ගැන සංසන්දනය කර ඇත. ඒ අනුව ඉහළම කණ්ඩායම පහළම කණ්ඩායමට වඩා 2.5 ගුණයක් වැඩි මස් ප්‍රමාණයක් ආහාරයට ගෙන තිබෙයි. ඒ අනුව ඊට අදාළ හරිතාගාර වායු විමෝචන සැලකිල්ලට ගැනීමෙන් මස් ආහාරයට ගැනීම අඩු කිරීමෙන් ඒක පුද්ගල හරිතාගාර වායු ප්‍රමාණය 3%කින් පමණ අඩු කිරීමට හැකි බව පෙන්වා දී තිබෙයි. එසේ එක් පුද්ගලයෙකුට වසරකට අඩු වන හරිතාගාර වායු ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් ටොන් 0.45ක් පමණ වේ. (මූලාශ්‍රය - BMJ Open, DOI: 10.1136/bmjopen-2012-001072)

ලෝකයේ ඒක පුද්ගල ගව මස් පරිභෝජනය අතින් දෙවැනි තැන සිටින ආර්ජන්ටිනාවේ සිදුකරන ලද 2018 දී පළ වූ අධ්‍යයනයක දී ද මස් ආහාර අඩු කිරීමෙන් අඩු කළ හැකි හරිතාගාර වායු විමෝචන ගැන කරුණු හෙළි වී ඇත. වර්තමානයේ එරට දැකිය හැකි ආහාර රටාව අනුව, ආහාර හා සම්බන්ධ ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචන අධිකය. එරට එක් වැසියෙකු එක් දිනකට ලබාගන්නා ආහාරවල හරිතාගාර වායු ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 5.48කට සමාන වේ. එයින් 71%ක් පමණ ගව මස් නිසාය. ඔවුන් දිනකට මස් පරිභෝජනය කරන ප්‍රමාණය 50%කින් අඩු කළ හැකි නම්, ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, කිලෝග්‍රෑම් 3.95ක් දක්වා හෙවත් 28%කින් අඩු කළ හැකිය. එමෙන්ම සෞඛ්‍යමත් හා සමතුලිත ආහාර වේලක් පවත්වා ගනිමින් තවදුරටත් ආහාර හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචන අඩු කළ හැකිය. එළවළු පමණක් ආහාර ගන්නා පුද්ගලයෙකුගේ දෛනික හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය කිලෝග්‍රෑම් 1.47ක් තරම් අඩුය. (මූලාශ්‍රය - Food Policy, DOI: 10.1016/j.foodpol.2018.05.003)


ශාකමය ආහාර සඳහා පෙළඹවීමක් තිබේද?


එහෙත් මේ ආකාරයෙන් ශාකමය ආහාර හෙවත් නිර්මාංශ ආහාර සඳහා වැඩි වශයෙන් යොමු වීම පරිසර හිතකාමී වුව ද ඒ සඳහා සමාජයේ කැපී පෙනෙන පෙළඹවීමක් දැකිය නොහැක. මෙය බොහෝ රටවල දැකිය හැකි ඇති ගැටලුවකි. එසේම ලෝකයේ සිදුවන්නේ ඊට වඩා වෙනස් දෙයකි. නිදසුනක් ලෙස ආර්ථික දියුණුයත් සමඟ බොහෝ රටවල මධ්‍යම පාංතික පිරිස් වැඩි වැඩියෙන් මස් ඇතුළත් ආහාරවලට යොමු වී සිටිති. නිදසුනක් ලෙස චීනය හා ඉන්දියාව වැනි රටවල් දැක්විය හැකිය. බටහිර පන්නයේ මේ ආහාර රටාව සෙසු ලෝකයට ද ව්‍යාප්ත වී ඇත.

මේ පිළිබඳව පසුගිය දා ද ගාඩියන් වෙබ් අඩවියට අදහස් දැක්වූ විද්‍යාඥයන් හා තවත් පිරිසක් පෙන්වා දී තිබුනේ ආහාර රටාවේ පැමැදිලි වෙනස් කිරීමක් සඳහා ලෝකයේ දේශපාලන නායකත්වය විසින් ඒ සඳහා අවශ්‍ය සහන හා ලබා දිය යුතු බවයි. විශේෂයෙන් කාබන් අධිකව විමෝචනය කරන ආහාරවල මිලට කාබන් සඳහා වූ බදු නියම කිරීම මගින් ඒවායේ කාබන් පියසටහන පෙන්වා දිය හැකිය. එසේම හරිතාගාර වායු විමෝචන අඩු හා විමෝචන ඉවත් කිරීමට දායක වන ආහාර හා නිෂ්පාදනවලට සහන හා දිරිගැන්වීම් ලබා දිය හැකිය. එවැනි කරුණු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මැදිහත්වීම් රාජ්‍ය පැත්තෙන් සිදුවිය යුතු බව මේ අයගේ අදහසයි. එසේම සඳහා රාජ්‍යයන්, සමාගම් මගින් මේ ආරම්භය ලැබිය යුතු වෙයි.

මෙමගින් අපේකෂිත වෙනස්කම් ගැන ද අදහසක් මෙහි දී ලබා දී ඇත. එක්සත් රාජධානිය විසින් ඇති කරගෙන තිබෙන නව විමෝචන ඉලක්කය වන්නේ 2035 වර්ෂය වන විට 1990 වර්ෂයේ පැවති විමෝචන මට්ටමෙන් 78%ක් දක්වා විමෝචන අඩු කිරීමය. එම ඉලක්කය අත්පත් කරගැනීමට නම් ජනතාව තම ජීවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු කරගත යුතු බව එක්සත් රාජධානියේ වාණිජ ලේකම්, තමන් ද සම්පූර්ණ නිර්මාංශ ආහාරයක් පිළිබඳ සලකා බලමින් සිටින බව කියා තිබිණි.


මස් ආහාර සම්පූර්ණයෙන්ම නතර කළ යුතුද?


ඇත්තෙන්ම කළ යුත්තේ මස් හා කිරි වැනි ආහාර සම්පූර්ණයෙන් නතර කිරීම නොවේ. එය අසීරු විය හැකිය. ලෝකයේ විවිධ ප්‍රදේශවල ස්වාභාවිකව දැකිය හැකි ආහාර වෙනස් වන නිසාය. එසේ නම් කළ යුතු වන්නේ අපේ ආහාරවේලේ ඇති මස් ආහාර ප්‍රමාණය අඩු කිරීමය. එසේ අඩු කිරීමෙන් හරිතාගාර වායු විමෝචන අඩු කළ හැකි බව පෙනෙයි. එසේම මානව පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ද ඉන් පුළුවන.

අප ඉහත සාකච්ඡා කළේ ආහාර වේලේ මස් ප්‍රමාණය අඩු කිරීමෙන් ලබාගත හැකි පාරිසරික යහපත සම්බන්ධවය. මේ අතරින් වැඩි අවධානයකට ලක්වූයේ හරිතාගාර වායු විමෝචනය. කෙසේ වෙතත් තවත් බොහෝ පාරිසරික බලපෑම් කෘෂිකර්මට ආශ්‍රිතව පවතී. නිදසුනක් ලෙස ගත්විය, කාබන් තිරකිරීම, පස ආම්ලිකකරණය වීම, ජලයේ ගුණාත්මක භාවය හා පරිසර පද්ධති සේවා මේ අතර වෙයි.

එසේම මේ නිසා ලැබෙන, සෞඛ්‍යමය යහපත සම්බන්ධව අවධානය යොමු කළ විට මාංශ ආහාරය අඩු කිරීම ඵලදායී බවක් පෙනෙයි. ඒ අනුව පරිසරය හා සෞඛ්‍යය යන දෙකම වෙනුවෙන් අපේ ආහාර රටාවේ වෙනස්කම් සිදුවිය යුතු බව බව පෙනෙයි.

Monday, August 31, 2020

පශ්චාත් කොවිඩ් ලෝකය හා හරිත ප්‍රකෘතිමත් වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.08.19, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/08/19/feature1.html


“මේ වසංගතයෙන් පස්සේ ලෝකය කලින් තිබ්බ ලෝකයම වෙන්නේ නෑ” යන්න අප මිත්‍රයෙකු පැවසූයේ පසුගිය අප්‍රේල් මස මුලදී පමණය. ඔහුගේ අදහස වූයේ ලෝකයේ ඒ වන විට පැවති ලෝක තත්ත්වයට වඩා සැලකිය යුතු වෙනස්කම් රැසක් අනාගතයේදී ඇති විය හැකි බවයි. ඇත්තෙන්ම එවැන්නක් සිදුවෙමින් තිබේද යන්න යම් ප්‍රමාණයකට හෝ සලකා බැලීමට දැන් අපට හැකියාව ඇත.

කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝවා වයිරසය ලෙස ප්‍රකට වර්තමාන වසංගතය නිසා ලෝකයේ විවිධ මට්ටම්වල සීමා කිරීම් ඇති වී ලොක්ඩවුන් තත්ත්වයකට පත් වූ මාර්තු හා අප්‍රේල් මාසවලදීය. අද වන විට ලෝකයේ රටවල් 190කට අධික ප්‍රමාණයකටම රෝගය ව්‍යාප්ත වී ඇත. යළි යළිත් රෝගීන් ගණන හා මරණ ගණන ඉහළ යමින් තිබෙයි.

ඒ තත්ත්වය හමුවේ ලෝකයේ සියලු රටවල විවිධ සීමා පැනවිණි. අන්තර්ජාතික ගමනාගමනය මෙන්ම ප්‍රවාහන කටයුතුද අඩාල විය. රටවල් තුළ සියලු අංශවල දෛනික කටයුතු රැසක් සැලකිය යුතු අන්දමින් බිඳවැටුණි. කර්මාන්ත තාවකාලිකව වසා දමන්නට සිදු විය. සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ නැවතිනි. විරැකියාව මෙතෙක් නොවූ විරූ අන්දමින් ඉහළ ගියේය. බොහෝ රටවල විවිධ අංශවලට ඔවුන්ට හැකි පමින් සහන ලබා දෙමින් තිබෙයි. එහෙත් එවැනි ආර්ථික ශක්තියන් නොමැති රටවල එය ගැටලු සහගතය. 

ලෝක ආර්ථිකයේ ඇති වූ පිරිහීම කෙතරම් ද යත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පෙන්වා දී ඇති ආකාරයට ලෝක ආර්ථිකය මේ වර්ෂයේදී 3%කින් පමණ අඩු විය හැකිය. එය විස්තර කරනු ලබන්නේ 1930 ගණන්වල ලෝකයේ ඇති වූ ආර්ථික අවපාතයෙන් පසුව ඇති වන බරපතළම ආර්ථික අවපාතය ලෙසය. ලෝකයේ බොහෝ කොටස් වෙළෙඳපොළවල අගය 25%ක් හා 30%ක් දක්වා පහළ බැස්සේ මාර්තු අප්‍රේල් මාසවලදීය.


අර්බුදයෙන් පසු ලෝකය 


අද වන විට ලෝකයේ කටයුතු ක්‍රමයෙන් යළි ආරම්භ වෙමින් තිබේ. සීමා සහිතව වුවද අන්තර්ජාතික ප්‍රවාහන කටයුතු යළිත් ආරම්භ වී ඇත. බොහෝ රටවල දෛනික කටයුතු දැන් ආරම්භ කර තිබෙයි. නිෂ්පාදන හා සේවා කටයුතු යම් ප්‍රමාණයකින් යළිත් ආරම්භ වී ඇත. මේ අනුව 2020 වෙන භාගයේදී කොරෝනා වයිරසය අඩු වී ගියහොත් ලබන වර්ෂයේදී ලෝකයේ ආර්ථිකය 5.8%කින් වර්ධනය විය හැකි බව පෙන්වා දී තිබෙයි. එසේම පහළ ගිය කොටස් වෙළෙඳපොළ ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙයි.

මෙය වැදගත්ය. මක් නිසා ද යත් මේ වර්ධනය සිදු වනු ඇත්තේ කෙබඳු ආකාරයකින් ද යන්න නිසාය. එය පරිසර හිතකාමී වර්ධනයක් වීම වැදගත්ය. 

මේ වන විට වැඩි වෙමින් පවත්නා ඛනිජ තෙල් භාවිතය තෙල් භාවිතය ඉහළ යන බවට සාධකයකි. පසුගිය පෙබරවාරි-මාර්තු පමණ තෙල් භාවිතය සඳහා ඇති ඉල්ලුම පහළ යෑමත් සමඟ තෙල් මිල පහළ ගියේය. ඇමරිකානු තෙල් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල පසුගිය අප්‍රේල් මාසයේ දී ඩොලර් 20 කටත් වඩා අඩු අගයක් දක්වා පහළ ගියේය. අන්තර්ජාතික තෙල් මිල ලෙස සැලකෙන බ්‍රෙන්ට් තෙල් මිල ද ඩොලර් විසි ගණනක් දක්වා පහළ ගියේය. එහිදී තෙල් නිෂ්පාදනය පහළ දැමීමෙන් තෙල් මිල තරමක් ස්ථාවර කරගැනී තෙල් නිපදවන රටවල් ක්‍රියාකළේය. 

කොවිඩ් වසංගතය උග්‍රව තිබිය දී වේගයෙන් පහළ ගිය තෙල් පරිභෝජනය දැන් නැවතත් ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. ඒ සමඟ තෙල් නිෂ්පාදනය ඉහළ යමින් තිබේ. එහෙත් එය මේ අර්බුදයට පෙර පැවති තත්ත්වයට ළඟා වනු ඇත්තේ ලබන වසරේ දෙවන කාර්තුවේදී පමණය. (1 රූපය බලන්න). එසේම පහළ ගිය තෙල් බැරලයක මිල ද ඩොලර් ඩොලර් 40 අගය ද ඉක්මවා තිබේ.


1 රූපය - ලෝකයේ දියර තෙල් නිෂ්පාදනය හා පරිභෝජනය වෙනස් වී ඇති ආකාරය
(මූලාශ්‍රය - එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය, 2020 අගෝස්තු)



කෙසේ වෙතත් මෙයින් පැවසෙන්නේ ලෝකය නැවතත් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වන්නේ හැමදාමත් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය යටතේ බවද? සමහර අංශවල එසේ නැති බවක් පෙනෙන අතර, තවත් අංශවල එසේ වීමට ද හැකිය.


හරිතවත් මාවතක අවශ්‍යතාවය


කොවිඩ් අර්බුදයෙන් පසුව ලෝකයේ ආර්ථිකය යළිත් ප්‍රකෘතියට ළඟා වීම සඳහා කටයුතු කිරීමේදී දළ ජාතික නිෂ්පාදනය ඉලක්ක කරගැනීම ගැටලුවක් විය හැකි බව දක්වා තිබේ. එයින් පැවසෙන්නේ හුදෙක් මෙතෙක් අප කටයුතු කරගෙන ආ පරිදිම කටයුතු කරගෙන යන බවයි.

අඩාල වූ ආර්ථිකය හා සංවර්ධනය යළිත් යථා තත්ත්වයට පත් වීමේදී හෙවත් ප්‍රකෘතියට පත් වීමේ ක්‍රියාවලියේදී හරිතවත් වීම වැදගත් බව පෙන්වා දී තිබෙයි. හරිත ප්‍රකෘතිමත් වීමක් (Green Recovery) ගැන ලෝකයේ සාකච්ඡාවක් ඇති වන්නේ එතැනදීය. එහි දී හුදෙක් හරිත රැකියා අවස්ථා පමණක් හරිතවත් කිරීම නොව සමස්තයක් ලෙස ප්‍රකෘතිමත්වීමේ ක්‍රියාවලියම හරිතවත් කිරීම වැදලත් බව පෙන්වා දී තිබෙයි. මෙය සැබැවින්ම අභියෝගයකි.

ලෝකයේ එවැනි තත්ත්වයක් ඇතිවෙමින් පවත්නා බවක් පෙනෙන යහපත් ප්‍රවණතා ගණනාවක් දැකිය හැකිය. නිදසුනක් ලෙස භෞතික රැස්වීම් වෙනුවට ඩිජිටල් මාධ්‍යයෙන් සිදුකරන කටයුතු ඉහළ යෑම දැකිවිය හැකිය. දුරස්ථ අධ්‍යාපනය, ටෙලි-වෛද්‍යසේවා (Telemedicine), මාර්ගගත වෙළෙඳ කටයුතු (Online trade) ඉහළ යෑම, ඩිජිටල් ක්‍රමයට පැවැත්වෙන රැස්වීම් හා සම්මන්ත්‍රණ ආදිය මේ අතර වෙයි. මේ සියල්ල අනුව යම් හරිතවත් හා පරිසර හිතවාදී තත්ත්වයක් දැකිය හැකි බව පැහැදිලිය. මේ නිසා සමස්ත ලෝකය පුරාම ඩිජිටල් තාක්ෂණික යටිතල පහසුකම්වල සැලකිය යුතු දියුණුවක් ලබා ඇති බව පෙනෙයි. බොහෝ රටවල මේ පහසුකම් නොතිබූ ප්‍රදේශවලට මෙන්ම ඒවාට ප්‍රවේශයක් නොමැති වූ පිරිස් අතරටද ඩිජිටල් තාක්ෂණය ගමන් කළේය. දැන් බොහෝ රැස්වීම් ආදිය පැවැත්වීම සඳහා අදාළ ස්ථානවලට ගමන් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව පැහැදිලි වී ඇත. විශේෂයෙන් අන්තර්ජාතික රැස්වීම් පවා මාර්ගගතව පැවැත්වීමට හැකි බව හෙළි වී තිබෙයි. එබැවින් අනාගතයේදී පරිසර පියසටහන අඩු කරගැනීමට මෙය යොදාගත හැකි කමයකි. ගුවන් ගමනාගමය යනු හරිතාගාර වායු විමෝචන ඉහළ මට්ටමකින් නිකුත්වීමට හේතුවන්නකි. 

අනෙක් අතට ඒ ඒ රටවල ආර්ථිකයේ අත්‍යවශ්‍ය කටයුතු දේශීය සම්පත් හා නිෂ්පාදන මත පදනම් කරගැනීම සඳහා පියවර ගැනීම ලෝකයේ බොහෝ රටවල වර්ධනය වූ තවත් එක් හරිතවත් ප්‍රවණතාවයකි. මක් නිසා ද යත් එවැනි ද්‍රව්‍යවල මෙන්ම පාරිභෝගිකයාගේ ද ‘කාබන් පියසටහන’ එමගින් අඩු වන නිසාය. දේශියව නිෂ්පාදනය කළ හැකි දේ ප්‍රවර්ධනය කිරීම නිසා එතෙක් අපතේ ගිය සම්පත් භාවිතය සඳහා ද අවස්ථාවක් ලැබී ඇත. එහෙත් මෙය කල්පනාකාරීව කළ යුතු දෙයක් වන්නේ, රටක ඇති ඉඩම්, ජලය හා ශ්‍රමය වැනි සම්පත් සීමාකාරී විය හැකි නිසාය. කිසිදු රටකට ආනයන හා අපනයන නොමැතිව පැවතිය නොහැකි වන නිසා මෙය වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු කරුණක් සේ අපි සිතමු.


ජනතාවගේ වගකීම


කෙසේ වෙතත් මෙවැනි පරිසර හිතකාමී ලක්ෂණ සහිත වූ ලෝකයක් ඇති කරගැනීමේ හැකියාව තිබෙන්නේ ද අපටමය. අනාගතය අද පවතින්නක් නොවේ. එසේම අනාගතය යනු ඉබේ ඇති වන්නක් නොවේ. අනාගතය යනු අපේ වර්තමාන ක්‍රියාකාරිත්වය මත ඇතිවන්නකි. පසුගිය දශක පහක පමණ කාලයේදී පරිසරය සම්බන්ධව ඇති වූ සංකල්පීය වෙනස්කම් හා ප්‍රවේශයේ ඇති වූ වෙනස්කම් මේ සඳහා නිදසුනකි. පරිසර දූෂණය පාලනයේ සිට තිරසර සංවර්ධනය දක්වාත්, එතැනින් හරිත ආර්ථිකය දක්වාත් ඇති වී තිබෙන වෙනස්කම් ඇති වූයේ ගත වූ වසර පනහක කාලය ඇතුළත දීය.

හරිතවත් හෙවත් පරිසර හිතකාමී අනාගතයක් වෙත ගමන් කළ හැකි ස්වර්ණමය අවස්ථාවක් අද ලෝකයට උදාවී ඇත. එහෙත් එය එසේ සිදුකිරීම ගැන තීරණය කළ යුත්තේ ලෝකයේ ඒ ඒ රටවල තීරණ ගන්නා පිරිස් විසිනි. එහෙත් ඒ සඳහා බලධාරීන් පෙළඹවීමට විවිධ අංශවල විද්වතුන්ට මෙන්ම මහජනතාවට හැකියාවක් ඇති අතර, එය කළ යුතුය. අප අද ජීවත්වන ලෝකය හා එහි සම්පත් අනාගත පරපුරටද අයිති සම්පත් වෙයි.

Saturday, May 23, 2020

අමතක නොකළ යුතු අංක එකේ අර්බුදය!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2020.0520, පි. 7 (Vidusara)

http://www.vidusara.com/2020/05/20/feature2.html


අද ලෝකයේ අවධානයට ලක්ව ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නව්‍ය කොරෝනා හෙවත් කොවිඩ්-19 රෝගය හා එහි ව්‍යාප්තිය නිසා ඇති වී තිබෙන තත්ත්වයයි. මේ වන විට බොහෝ රටවල ආර්ථිකය හා සමාජයේ සියලු අංශ පාහේ බරපතළ අර්බුදයකට ලක් වී ඇත්තේ මේ වසංගත තත්ත්වය නිසාය. සිය රටවල ආර්ථිකය හැකි ඉක්මනින් යළි යථාතත්ත්වයට පත් කිරීම බොහෝ රටවල නායකයින්ගේ හා බලධාරීන්ගේ ඉලක්කය බවට පත්වෙමින් තිබෙයි. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ලෝකයේ පවත්නා සෙසු අර්බුද අමතක වී ගොස් තිබේද යන්න ඇතැම් විටක සිතෙයි.

පසුගිය අප්‍රේල් මස 22 වැනි දිනට යෙදුණු මිහිතල දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මේ තත්ත්වය පෙන්වා දුන්නේය. නව්‍ය කොරෝනා වයිරස් වසංගතයේ බලපෑම තිබියදී වුවත්, ලෝකය මේ වන විට මුහුණ දී තිබෙන “බරපතළ පාරිසරික හදිසි” තත්ත්වය අමතක නොකළ යුතු බව ඔහු පැවසුවේය. මෙහිදී ඔහු අදහස් කළ එක් ප්‍රධාන පාරිසරික අර්බුදයක් වන්නේ දේශගුණ වෙනස් වීමය.
මේ අතර මෑතදී වාර්තා වූ පර්යේෂණ දෙකකින් දේශගුණ වෙනස් වීමේ ඇති බරපතළ ස්වභාවය ගැන පෙන්වා දී තිබෙයි.


වසර 50කදී දරාගත නොහැකි උෂ්ණත්වයක්

මේ මාසය මුලදී Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, මිනිසුන්ට දරාගත නොහැකි තරම් වූ උෂ්ණත්වයක් ඇතුළත ජීවත්වන ජනතාවගේ ප්‍රමාණය ඉදිරි වර්ෂ පනහක් පමණ කාලය අවසානයේ දී බිලියනයත් බිලියන තුනත් අතර වනු ඇති බවයි. එම උපරිම ප්‍රමාණය ලෝකයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ විය හැකිය. එසේ ඉහළ ගිය උෂ්ණත්වය දැකිය හැකි ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සහරා කාන්තාරයේ උණුසුමින් ඉහළම ප්‍රදේශ හා සමාන වූ උෂ්ණත්වයකින් යුක්ත වන ඇත. මේ අධ්‍යයනයෙන් පෙන්වන තත්ත්වය විද්‍යාඥයින් මෙතෙක් නොසිතූ තරම් බරපතළ තත්ත්වයක් පෙන්වයි. ඒ බව උක්ත අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයින්ගේ අදහස ද වෙයි. 

වර්තමාන මානව ජනාවාසවල ව්‍යාප්තිය සම්බන්ධව සිදුකර තිබෙන මේ අධ්‍යයනය අනුව, අද ලෝකයේ ජීවත්වන මිනිසුන් අතරින් වැඩි ප්‍රමාණයක් ජීවත්වන්නේ සෙල්සියස් අංශක 6ත් 28ත් අතර වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයක් පවත්නා ප්‍රදේශවලය. (එනම් මිනිසුන් වාසය කරන ප්‍රදේශවල මධ්‍යන්‍ය වාර්ෂික උෂ්ණත්වය අංශක 13ක් පමණ වේ) එය මීනිසුන්ගේ පැවැත්මට සුදුසුම උෂ්ණත්ව පරාසය ද වෙයි. එහෙත් අද වන විට මිනිසුන් විසින් සිදුකරන ලද දේශගුණ වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශවල උෂ්ණත්වය ද ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙයි. එහි ප්‍රතිඵලය වන්නේ මේ ඇතැම් ප්‍රදේශවල දරාගත නොහැකි තරම් ඉහළ උෂ්ණත්වයක් ඇති වීමය. 

මේ අනුව තවත් වසර පනහක් ඇතුළත ලෝකයේ උෂ්ණත්වය අංශක 3කින් ඉහළ ගියහොත්, ලෝක ජනගහනයෙන් බිලියන 1ත් 3ත් අතර පිරිසක් ජීවත්වනු ඇත්තේ සෙල්සියස් අංශක 29ක් පමණ වූ සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයකය. උපරිම තත්ත්වය යටතේ ඉන්දියාවේ මිලියන 1200ක්, නයිජීරියාවේ මිලියන 485ක්, පාකිස්තානයේ, ඉන්දුනීසියාවේ හා සුඩානයේ මිලියන 100ක් බැගින් වූ පිරිසක් මේ අධික උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අයත් වනු ඇත. අද මෙවැනි උෂ්ණත්වයක් දැකිය හැක්කේ ලෝකයේ බිම් ප්‍රමාණයෙන් 0.8ක් තරම් වූ ඉතා සීමිත ප්‍රදේශයක පමණකි. 

උක්ත අධ්‍යයනයෙන් හෙළි වන පරිදි ඉහළ යන සෑම සෙල්සියස් අංශයකටම ලෝකය පුරා බිලියනයක පමණ පිරිසක් වාසය කරන ප්‍රදේශ එවැනි අධික සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති තත්ත්වයකට පත්වෙයි. එම ජනතාවට එම ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමට හෝ ඒ තත්ත්වයට අනුහුරු වී ජීවත්වීමට සිදුවනු ඇත. ඒ සඳහා අවශ්‍ය සම්පත් හා මූල්‍ය පහසුකම් ඒ රටවල ජනතාවට ඒ වන විට පවතිනු ඇතිද? නිදසුනක් ලෙස ගහොත් ඒ අධික උෂ්ණ තත්ත්ව යටතේ වගා කටයුතු පවා සීමා විය හැකිය. (මූලාශ්‍රය - Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1910114117)


ආන්තික තත්ත්වවල ඉහළ යෑමත්


මිනිසුන් මරණයට පත් කිරීමට තරම් හේතුවන ආන්තික ආර්ද්‍රතාවය හා තාපය නිසා ඇති වන තත්ත්වය සම්බන්ධව අවධානය යොමුකරමින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව 1979 සිට 2017 දක්වා ගත වූ කාලයේදී ලෝකයේ එවැනි සිදුවීම් ඇති වූ අවස්ථා ගණන දෙගුණයක් පමණ විය හැකිය. ලෝකය උණුසුම් වීම නිසා ඇතිවිය හැකි යැයි දක්වා තිබූ බරපතළ අන්දමේ සිද්ධි වන මෙවැනි සිදුවීම් ඇති විය හැක්කේ මේ සියවසේ මැදභාගයෙන් පසු කාලයක බව මීට පෙර අදහස් කර තිබූ නමුත්, ඒවා මේ වන විටත් ඇතිවෙමින් තිබෙන බව -Science Advances සඟරාවේ පළ වූ මේ අධ්‍යයනයේන පෙනෙයි. එම කරුණ දේශගුණ විද්‍යාඥයින්ට තරමක් විස්මය ජනක වී ඇත. 

සාමාන්‍ය වියළි තත්ත්වවලදී ශරීරයට දහඩිය දමන අතර ඒවා වාෂ්ප වී යෑමෙන් යම් පහසුවක් දැනෙයි. එහෙත් අධික ආර්ද්‍රතාවයක් ඇති විට මේ වාෂ්පීකරණය අඩු වන අතර ඇතැම් විට නැවතීමටද හැකිය. එවිට දේහයේ උෂ්ණත්වය ඉහළ යන අතර ඉන්ද්‍රිය අකර්මණ්‍ය වී මරණය පවා සිදුවිය හැකිය. මිනිසුන්ගේ පැවැත්මට බලපාන මේ උෂ්ණත්වය හෙවත් “තෙත්-බල්බ උෂ්ණත්වය” (wet-bulb temperature) සෙල්සියස් අංශක 35 ඉක්මවීම බරපතළ බලපෑමක් ඇති කරයි. මේ අගය මිනිසුන්ගේ කායික විද්‍යාත්මක ක්‍රියකාරිත්වයේ ඉහළ සීමාව වෙයි. (එහෙත් ඊට වඩා අඩු අගයවලදී ද බරපතළ සෞඛ්‍ය හානි ඇති විය හැකිය). දැනටමත් ඇතැම් උප නිවර්තන වෙරළාසන්න ස්ථානවලින් මේ තත්ත්වය වාර්තා වී තිබෙයි. ඒවා ඇතිවිය හැකි යැයි අනුමාන කරන ලද්දේ ආර්ද්‍රතාවය ගැටලුවක් බවට පත්ව ඇති නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවලය.
මෙම අධ්‍යයනයට අනුව අදින් දශක කීපයකට පසුව ඇති වෙතැයි අපේක්ෂා කළ මෙවැනි සිදුවීම් දැනටමක් ඇතිවෙමින් පවතී. ඒවා පවත්නා කාල සීමාව වැඩිවෙමින් ඇති අතර, ඒවායේ බලපෑමට ලක්වන ප්‍රදේශ ප්‍රමාණය ද මිහිතලය උණුසුම් වීම හා සාපේක්ෂව ඉහළ යනු ඇත. මෙසේ පෙර සිදු කළ අධ්‍යයනවලට වඩා වෙනස් ප්‍රතිඵලයක් මෙම අධ්‍යයනයේදී ලැබී ඇත්තේ භාවිත කර ඇති දත්ත නිසාය. පෙර සිදුකරන ලද අධ්‍යයනවලදී යොදාගෙන ඇත්තේ විශාල ප්‍රදේශවල පැය කීපයක පමණ කාලයක් මුළුල්ලේ පැවති ආර්ද්‍රතාවයේ හා උෂ්ණත්වයේ සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් මේ අධ්‍යයනයේදී යොදාගෙන තිබෙන්නේ ලෝකය පුරා කාලගුණ මධ්‍යස්ථාන 7877කින් ලබාගත් පැයෙන් පැයට ලබාගත් දත්තය. එමගින් කෙටිකාලීනව පැවති හා කුඩා ප්‍රදේශයකට බලපෑ සිදුවීම් පවා හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙයි. එසේම මීට පෙර හඳුනාගැනීමට නොහැකි වූ එවැනි සිදුවීම් ගණනාවක් හඳුනාගැනීමට ද හැකි වී තිබෙයි. (මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aaw1838)


අනාගතය වෙනුවෙන් අප කළ යුතු දේ

මේ තත්ත්වය අනුව දේශගුණ වෙනස් වීඹ පාලනයට හෙවත් හරිතාගාර විමෝචන පාලනය සඳහා කටයුතු කිරීමට කඩිනම් විය යුතු බව පැහැදිලිව පෙනේ. එය පශ්චාත්-කොරෝනා සමයේදී යළිත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේදී වැදගත්ය.

ඉහත සඳහන් කරන ලද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයා විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන ලද, කොරෝනා වසංගතයෙන් පසු යථාතත්ත්වයට පත්වන ලෝකයට වැදගත් පියවර මෙසේය. හරිත හෙවත් පිරිසිදු ව්‍යාපාර හා රැකියා අවස්ථා ඇති කිරීම, ජනතාව‌ගේ බදු මුදල් හරිත රැකියා හා තිරසර වර්ධනයක් සඳහා යොදාගැනීම, ජනතාව හා සමාජය දේශගුණ වෙනස් වීමට වැඩිදුරටත් ඔරොත්තු දෙන ලෙස මුදල් වැය කිරීම, පොසිල ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාර නවතා දැමීම, පරිසර දූෂකයන් ඒ පරිසර දූෂණය සඳහා වන්දි ගෙවීම හා ලෝකය එක්ව කටයුතු කිරීම යන කරුණු ඔහු දක්වා ඇති පියවර අතර වෙයි.
මෙවැනි අදහස් තවත් අයගෙන් ඉදිරිපත්ව ඇත. එංගලන්ත බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන මාක් කාර්නි පවසා තිබුණේ කාර්මික රටවල් කොරෝනා අර්බුදයෙන් පසුව හරිතවත් ආර්ථිකයක් වෙත පෙළඹිය යුතු බවයි. පවිත්‍ර බලශක්තියේ වැදගත්කම ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකුවන මැල්කම් ටර්න්බුල් ද පවසා තිබිණි.
ලෝකයේ නගරාධිපතිවරුන්ගේ එකතුවක් නිකුත් කළ නිවේදනයකින්ද කියැවුනේ කොවිඩ්-19න් පසුව ලෝකය යළි යථා තත්ත්වයට පත් වීම සඳහා සකස් කරන සැලසුම්වලදී දේශගුණ වෙනස්වීම පාලනය එහි වැදගත් අංශයක් විය යුතු බවයි. ලෝකය බරපතළ දේශගුණ ව්‍යසනයකින් මිදීමට නම්, අද පවත්නා සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වීම අත්‍යවශ්‍ය බව මෙහි සඳහන් වේ. මෙහි අවධානය විශේෂයෙන් යොමුව ඇත්තේ නාගරික සමාජ සම්බන්ධවය. පයින් යෑම, බයිසිකල් පැදීම, වැනි පිරිසිදු පිළිවෙත් ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කර ඇති කරුණු හතකින් යුක්ත නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම හරිත රැකියා හා බලශක්ති කාර්යක්ෂමතාවය සම්බන්ධව අවධානය යොමු කිරීමේ ඇති වැදගත්කමද එහි දක්වා ඇත. ලෝක ජනගහනයෙන් මිලියන 750ක් වාසය කරන නගරවල නගරාධිපතිවරු මේ ප්‍රකාශයට එකඟ වී ඇත.
වර්තමාන වසංගතයෙන් මෙන්ම ඒ නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන්ද මිදී ඉදිරියට යන ලෝකයට දැන් අවශ්‍යව ඇත්තේ තවත් අර්බුදයක් ඇති වීම වලක්වාලීමටය. ලෝක ආර්ථිකය තිරසර, හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමය. පිරිසිදු බලශක්තිය, හරිත රැකියා, හරිත ආයෝජන ආදිය තිරසර ආර්ථිකයකට අත්‍යාවශ්‍ය දේ බව මේ වන විට පැහැදිලිය. එහෙත් ඒ සඳහා යන මග අභියෝග රහිත වූවක් නම් නොවේ.

http://www.vidusara.com/2020/05/20/feature2.html

Wednesday, May 13, 2020

හැඳුනුම්පත් අංකයට අනුව නිවසෙන් එළියට ගියෙමි

ධනේෂ් විසුම්පෙරුම

කොරෝනා ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ අප්‍රේල් 10 හා 30 දිනවලදි ගෙදරින් එළියට ගියාට පස්සෙ එළියට ගියෙ ඊයෙ - මැයි 12. ඒ තමයි පවත්නා සීමා පරිදි, හැඳුනුම්පත් අංකයට අනුව මට එළියට යන්න පුළුවන් දවස. තලවතුගොඩටයි, ගෙවල් ළඟ හන්දියටයි ගියාම දැක්කෙ මෙහෙම.

පාරෙ ගිය අයගෙන් හුඟක් අය මුව වැසුම් දාලා. 90%ක් විතර කියන්න පුළුවන්. එහෙම නැති වගෙම, මීටරේ පරතරේ නැතිව අනුන්ගෙ ඇඟේ වැදෙමින් පාරේ ගිය කීපදෙනාගෙන් වැඩි දෙනෙක් අර මොනවත් නොදන්න ඒත් පණ්ඩිත පෙනුම ඇති අය (ඕන නං එයාලගෙ දේශපාලන පක්ෂත් හිතාගත හැකි).

මහජන බැංකුවෙ මීටරේ පරතරේට පෝලිම. ටික ටික ඇතුළට දාන්නෙ. දොරේ ගහල තිබ්බා කොරෝනාවෙන් වැළකීම ගැන සවිස්තර පෝස්ටරයක්. හැමෝම බැංකුව ඇතුළට ගිහින් ඇවිත් අත් සෝදනවා. ඒකට එළියෙ සබන් හා වතුර තියලා තිබ්බා. මං ගියෙ ATM එකට. එතනත් කට්ටිය මීටරේට පෝලිම - ඒත් වෙනදා තරම් නෑ. ඒකෙ ගහල තිබ්බා ඇතුළට යන්න කලින් අත් සෝදන්න කියා. මට කලින් හිටි කෙනයි මට පස්සෙ හිටි කෙනයි අත් සේදුවෙ නෑ. ඒත් මම නං හේදුවා.

බේත්ගන්න පාමසියට ගියා. ඒකෙත් මීටරේට පෝලිම - ඒත් හතරපස් දෙනයිග මට මතක් උනේ මාර්තු මාසෙ අග ඇඳිරිනීතිය ඉවත් කළ දවසෙ මං පැය දෙකකට කිට්ටුව පෝලිමේ හිටිය හැටි. අද බේත් ගන්න පුළුවන් කවුන්ටර් ගානට හෝ බේත් සොයන සේවක පිරිසේ ගානට තමයි ඇතුළට දාන්නෙ. සැනිටයිසර්වලින් අත සෝදලා ඉන්පස්සෙ අර ඔලුවට අල්ලන උණ මීටරෙන් උනත් බලලා තමයි ඇතුළට දාන්නෙ. දොර අරින්න වහන්න හිටියෙ පාමසියෙම සේවකයෙක්. පාමසියෙ කවුන්ටරේ කවුළුව ඉතා කුඩා කරලා. වැඩියෙන්ම විකිණෙන සැනිටයිසර් හා මාස්ක් වර්ග තමයි හැම පැත්තෙම පේන්න තියෙන්නෙ. සැනිටයිසර් වර්ග 10-15ක්වත් තියෙන්න ඇති. (තලවතුගොඩට යන්න මූලික හේතුව වුණේ මං ගන්න බෙහෙත් වර්ග සියල්ලම තිබෙන මේ පැත්තෙ එකම පාමසිය එහි පිහිටා තිබීම)

ඉන්පස්සෙ ගියා මීට් ෂොප් එකට. එළියෙ වීදුරුවෙ උපදෙස් සහිත පෝස්ටරයක් ගහලා. ඇතුළෙ සෙනඟ නම් නෑ. සේවිකාවන් දෙදෙනෙක් සිටියා. එක් කෙනෙක් මාස්ක් දාලා. අනිත් කෙනා මාස්ක් එක දාල තිබ්බෙ නිකටට. එයාගෙ ලස්සන වැහෙයි කියල දුකට වෙන්නැති. අවශ්‍ය දේ අරන් ඉවර වෙලා මං "මාස්ක් එක හරියට දාල හිටියනම් නේද හොඳ" කීවා. එතකොටත් එයා නාසය කසනවා!

හන්දියේ බාර්, කෑම කඩ ආදිය සියල්ල වහලා. සිල්ලර කඩ, වෛද්‍ය මධ්‍යස්ථාන, හාඩ්වෙයාර්, සමහර කමියුනිකේෂන් හා සැලූන් වැනි කඩ ඇරලා. එළියට පේන gents' සැලූන් එකේ නම් කොණ්ඩය කපන තැනැත්තා ඇඟම වැහෙන්න ඇඳුමක් ඇඳලා, මුව වැසුමක් දාලා හිටියේ.

එලවළු කඩේ මුදලාලිත් එයාගෙ නිකටේ ආරක්ෂාවට මාස්ක් එකක් දාල හිටියා. ඒ හින්ද වෙන්නැති. පුරුදු පරිදි ෂර්ට් එකත් නැතිව තමයි හිටියෙ. නොකියා කියන්නෙ 'මගෙනේ කඩේ. ඕන නං වරෙන්' කියලා වෙන්නැති. ඒත් වැඩි පිරිසරකට නිරාවරණය වෙන්නෙ එයා බව එයාට අමතක වෙලා වගේ.

මාලු කඩේ මීටර් බාගෙ දුරට පෝලිම. හැබැයි හැමෝම මුව වැසුම් දාල හිටියෙ. හන්දියෙ රටකජු-කඩල කඩෙත් ඇරලා!

අතරමග පාර අයිනෙ කුඹුරු යායෙ පාරට කිට්ටු කොටස් එළි කරලා තිබ්බා. පුරන් වී තිබූ කුඹුරු පවා සුද්ද කරලා. සාමාන්‍යයෙන් වගාකරන ඒවා සීසාලා හෝ වපුරලා තිබ්බා. මට පෙනුණු විදියට කිසියම් සංවර්ධන වැඩක් වගෙයි පෙනුණෙ.

සුපර්මාකට් එකට ගියාම එතන සෑහෙන වෙලාවක් පෝලිමේ. මීටරේ පරතරේට. එළියට එන පිරිසේ ගානට තමයි එක්කෙනා, දෙන්න බැගින් ඇතුළට යොමුකරන්නෙ. ඒකත් සැනිටයිසර්වලින් අතසෝදවලා. සෙනඟ අඩුයි. සමහර භාණ්ඩ වර්ගත් අඩුයි. ඒ වගෙම සමහර වෙළඳ නාමවල භාණ්ඩත් අඩුයි.

හාඩ්වෙයාර් එකකට ගියෙ පොඩි පයිප්ප බාස් වැඩක් කරන්න බඩු මිලදී ගන්න. දෙකකටම යන්න උනා. එකක සේවකයා හොඳ මාස්ක් එකක් දාල හිටියට මුදලාලි හිටියෙ ලේන්සුවක් දාගෙන - එයා සල්ලි ගන්න එක විතරක් කරන නිසා වෙන්න ඇති.

එතන බඩු ගන්න ඉන්නකොට තරුණයෙක් ඇවිත් ත්‍රිවීල්වලට දාන ඉටිකොලයක් ගත්තා. ඒ අපේ ගෙවල් පාර හන්දියෙ වාහනය එලවන අයෙක් බව ඇඳිනුවෙ කටහඬින්. මොකද මාස්ක් දාලනෙ. "ආපහු වාහනේ දුවන්න ගත්තා" කියලා ඔහු කීවා. ඔහු කී විදියට එතන වාහන දුවන හුඟක් අය ආපසු වාහන ධාවනයට ඇවිත්. දැන් අර රියැදුරු හා මගීන් වෙන් කරන ඉටිකොලයක් තමයි ගත්තෙ.

පහුගිය කාලෙදි එලවළු අලෙවි කළ ත්‍රිවීලයක් ආපසු පාරෙ යන බව දුටුවා.

මොනව උනත් තලවතුගොඩත්, ගෙවල් ළඟ හන්දියෙත්, ගෙවල් පාර හන්දියෙත් සෙනඟ හා පාරිභෝගිකයො අඩුයි. සෑහෙන අඩුයි. එක චෙක් පොයින්ට් එකක තාම වැඩ. ඒත් ගෙවල් ළඟ හන්දියෙ තිබූ චෙක් පොයින්ට් එක නෑ.

ආ අමතක උනා. උඩහමුල්ල ඩිපෝවෙ කාර්මික සේවා රථ දෙකක්ම මේ කෙටි වෙලාවෙදි කෙටි දුරකදි දැක්කා. වෙනදට එතරම් දකින්නෙ නෑ. හේතුව දන්නෙ නෑ.

2020.05.13

Thursday, April 30, 2020

"මම පිටකොටුවෙ එනකොට බඩ ...."

අද අප්‍රේල් මස 30 වැනි දාය. ෂෝට් ඊට් නොකා සහ පාන් පිටි කෑම අවම වී මාසයකුත් දින දහයක් ගත වී ඇත. ඒත් බත් කන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව දැනේ. ගෙදර ඉන්නා විට නිතර මොනවා හරි කන්නට ඕනෑ වීම එදා සිටම තිබූ පුරුද්දකි. බත් කෑමෙන්ම මහත් වන බව දැන් ප්‍රත්‍යක්ෂය.

ව්‍යායාම කරන්නට කිඹුලාවල යා නොහැකිය. අඛණ්ඩවම ඇඳිරි නීතියය. අප්‍රේල් මාසයටම කියා එළියට ගියේ බේත් ගන්න ගිය දවසේ පමණකි. ඉන්පසුව ගෙදරින් මීටර් 50කට එහා දුරක් ගොස් නැත. එබැවින් කෙසේ හෝ කෑම පාලනය කිරීම හා ව්‍යායාම කිරීම කළ යුතුමය. ගෙදර ඇති පරණ ස්ට්‍රයිඩරය පදින එක මහා කම්මැලි වැඩක් වුව එය කළ යුතුව ඇත. නැතිනම් කියන්නට වෙන්නේ මෙවැන්නකි -

"මම පිටකොටුවෙ එනකොට බඩ මරදානේ"

(දශක තුනකටත් එහා දිනයක 'මම' වෙනුවට 'ඔහු' කියා කියූ මේ කවි පදය මට ඇසුනේ ගුවන්විදුලියේ අලුත් අවුරුදු විකාශයක් අතරදීය. එය එක් නිවේදකයෙකු තවත් අයෙකු ගැන කී හිටිවන කවියක් විය. එහි තවත් පදයක් මතක ඇතත් සියල්ල මතක නැත. ඒ කවිය කීවේ ලලිත් එස් මෛත්‍රීපාල විසින් වාගේ මතකයක්ද තිබේ.)

නව්‍ය කොරෝනාව නිසා පරිසරයට සිදු වූ යහපත තිරසර එකක් බවට පත්කර ගන්නේ කෙසේ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.04.29, පි. 5 (Vidusara)

E-paper පමණි - http://www.vidusara.com/2020/04/29/feature4.html (jpg ගොනුවකි)


නව්‍ය කොරෝනා ලෙසින් ප‍්‍රකට වූ කොවිඞ්-19 වයිරස වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය දෛනික කටයුතු නැවතී ඇත. කර්මාන්තශාලා, ව්‍යාපාර ඇතුළු සේවා ස්ථාන වැඩි ප‍්‍රමාණයක් වසා දමා ඇති අතර, ඒවා අත්‍යාවශ්‍ය සේවාවලට සීමා වී ඇත. මාර්ග මෙන්ම ගුවන් ප‍්‍රවාහනය ද මුළුමනින්ම පාහේ නැවතී ඇත. මිනිසුන් සංචරණය නොකරන නිසා මාර්ග මෙන්ම වෙනත් සියලූ ස්ථාන පාලූ වී ගොසිනි. ලෝක ආර්ථික වර්ධනය මේ වර්ෂයේදී විශාල අඩුවීමක් පෙන්වන බවද පැහැදිලිය.

මේ තත්ත්වය නිසා පරිසරයේ ඇති වී තිබෙන සුබවාදී තත්ත්ව පිළිබඳව වාර්තා ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වෙයි. මිනිස් ක‍්‍රියාකාරකම් අඩු වී ගොස් පාලූ වී ගිය නගරවලට වනසතුන් පැමිණීම එවැනි එක් සිදුවීමකි. ජල දූෂණය හා මානව කටයුතු අඩු වීම නිසා වැනීසිය වැනි සමහර ප‍්‍රදේශවල එතෙක් ජලයේ දැකිය නොහැකි වූ සතුන් හා ශාක දැන් දැකගත හැකි වී තිබෙයි. එසේම වායු දූෂණය අඩු වීම පිළිබඳව සාධක චීනයෙන් හා තවත් රටවලින් වාර්තා වී ඇත. මෑත කාලයේදී දැකිය නොහැකි වූ හිමාලය කඳුවැටිය යළිත් දැක ගැනීමට එක් ඉන්දියානු නගරයක වැසියන්ට හැකි වී ඇත්තේ ද වායු දූෂණය අඩු වීම නිසාය.

කෙසේ වෙතත් මේපරිසරයට මේ ලැබී ඇති සහනය කෙතරම් කාලයක් පවතිනු ඇත්තේද යන්නය. එය පැහැදිලි ගැටලූවකි. මේ තත්ත්වයට තරමක් හෝ සමාන තත්ත්වයක් ලෙස පෙනෙන්නේ 2008 පමණ ඇති වූ ආර්ථික අර්බුදයයි. ඒ නිසා කර්මාන්ත හා සෙසු කටයුතු අඩපණවීම නිසා හරිතාගාර විමෝචන අඩු විය. 2007 වර්ෂයේදී ලෝකයේ හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය පෙර වර්ෂයට වඩා 3.77% කින් ඉහළ ගොස් ඇති අතර, 2008 දී එය ඉහළ ගිසේ 0.65% කින් පමණි. 2009 දී එය 1.10%කින් අඩු විය. එහෙත් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීමත් සමඟ 2010 වර්ෂයේදී හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය 5.72%කින් ඉහළ ගියේය. එය වාර්තාගත වර්ධනයකි. මේ තත්ත්වය සෙසු පරිසර දූෂකවලට ද පොදුය.

නව කොරෝනා වසංගතය නිසා ද ලෝක ආර්ථිකයේ පිරිහීමක් ඇති විය හැකි බව පැහැදිලිය. ඒ සමඟ කර්මාන්ත, ප‍්‍රවාහන හා බලශක්ති අංශ ආදියේ ඇතිව තිබෙන අඩපණ වීමේ ප‍්‍රථිඵලය ලෙස දැකිය හැකි පාරිසරික වෙනස්කම් කීපයක් ඉහත දක්වන ලදි. මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවේද දැකිය හැකිය. එවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳව වාර්තා වූ අතර හා ඒවා තාවකාලික සහනයක් පමණක් විය හැකි බවද පැහැදිලිය. ඒ සිදුවීම් මෙන්ම අදාළ සහනය දිගුකාලීන තිරසර තත්ත්වයක් බවට පත් කරගැනීමට ඇති හැකියාව ගැන ද විමසීම මේ ලිපියේ අරමුණ වෙයි.


වායු දූෂණය අඩු වී තිබීම


කොළඹ ප‍්‍රදේශයේ වායු දූෂණය අඩු වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් උපුටා දක්වමින් පුවත්පත්වල පළ වි තිබූ කරුණකි. ‘වාතයේ ගුණාත්මක බව පිළිබඳ සුචිය’ අනුව මෑත දිනවල මේ ප‍්‍රදේශයේ වාතය ‘හොඳ’ තත්ත්වයේ පවතී. පෙර වර්ෂවල මාර්තු හා අපේ‍්‍රල් කාලයට සාපේක්ෂව මේ වර්ෂයේදී වායු දූෂණය අඩු වී ඇති බව පැහැදිලිය. එමෙන්ම මේ සමඟම වායුගෝලයට එකුවන කාබන්ඩයොක්සයිඞ් හා සෙසු හරිතාගාර වායු ප‍්‍රමාණය අඩු වී ඇති බවද අප අමතක නොකළ යුතුය.

වායු දූෂණය අඩු වී ඇත්තේ කොළඹ නගරයේ මෙන්ම රටේද බලශක්තිය සඳහා ඉන්ධන දහනයේ වෙනසක් නොමැති තත්ත්වයක් තිබියදීය. නිදසුනක් ලෙස ගතහොත් අපේ‍්‍රල් 27 දින මෙරට විදුලි උත්පාදනයෙන් 39%ක් පමණ ජනනය කර ඇත්තේ තෙල් මගින් ක‍්‍රියාත්මක තාප බලාගාරවලිනි. තවත් 37%ක් ගල්අඟුරුවලිනි. එසේම කර්මාන්තශාලාවලින් සිදුවන විමෝචන ද අවම වී ඇත්තේ ක‍්‍රියාත්මක කර්මාන්ත අඩු නිසාය. ඒ අනුව ප‍්‍රධාන වශයෙන්ම මේ වෙනස සිදුව ඇත්තේ රථවාහන ධාවනය අඩු වීම නිසාය. මේ යහපත් තත්ත්වය දිගටම පවත්වා ගැනීමට නම් කළයුත්තේ කුමක්ද? කර්මාන්ත හා විදුලි බලාගාර රටේ ආර්ථිකයට අවශ්‍ය බැවින් දිගු කාලීනව ඒවා ක‍්‍රියාත්මක නොවී තබාගැනීමට නොහැකිය. එසේ නම් ඉදිරියේදී ද වාහන ධාවනයෙන් නිකුත්වන වායු විමෝචන අඩු කිරීම සඳහා ඉක්මනින් පියවර ගැනීම කළ හැකි එකම දේ වෙයි. එය කළ හැකි එක් ක‍්‍රමයක් වන්නේ පොදු ප‍්‍රවාහන සේවා පුළුල්ව ශක්තිමත් කිරීමෙනි. අනෙක වන්නේ පුද්ගලික වාහන භාවිතය සාධාරණ නොවන අවස්ථා සීමා කිරීමය. නිදසුනක් ලෙස එක් මගියෙකු වෙනුවෙන් එක් වාහනයත් නගරයට ඇතුළු වීම දැක්විය හැකිය. එවැනි පියවර ගැනීමෙන් තවදුරටත් වාහන විමෝචන අඩු කර තබා ගැනීමට හැකිය. මෙහිදී වාහන විමෝචන පරීක්ෂාවෙහි සාර්ථකත්වය ද සමහරුන් ප‍්‍රශ්න කර ඇති අතර ඒ ගැන ද අවධානය යොමු කළ යුතුය. එසේම මේ වන විට කටයුතු ආරම්භ වී ඇති සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘති හා කණු මත දිවෙන දුම්රිය ව්‍යාපෘති වැනි ව්‍යාපෘති මගින් වාහන ධාවනය අඩු කරගත හැකිවනු ඇත. මේවා හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක විය යුතුව තිබේ.


ජලයේ ගුණාත්මක බව ඉහළ යෑම


කැලණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව ද මේ ආකාරයෙන් වාර්තා වූ තවත් කරුණකි. මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් ගංගාවේ ස්ථාන කීපයකින් ලබාගත් නියැදිවලින් මේ බව පෙනී ගොස් ඇත. එයින් පෙනී යන්නේ ජල දූෂණය වැළැක්වීමට මෙතෙක් පැවති නීති අනුව නොහැකි වී ඇති බවද යන්න මෙහිදී මතුවන පැනයයි. ගෙඟ් ජල දූෂණයට බලපෑ කරුණුවලින් මෑත දී වෙනස් වී ඇත්තේ කර්මාන්තශාලාවලින් නිකුත්වන අප ජලය ගඟට මුසු වීම නතර වීම පමණකි. වාහන සේවා ස්ථානවල ද යම් බලපෑමක් ඇති බවය. මෙමගින් පෙනෙන්නේ විවිධ කර්මාන්තශාලාවලින් දැන හෝ නොදැන අප ජලය ගඟට එක්වන බව විය හැකිය.

මේ යහපත් තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හැක්කේ කෙසේද? කර්මාන්ත රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ රැකියා සම්බන්ධවද වැදගත්ය. එසේ නම්, ඒවා ළඟදීම ආරම්භ විය යුතුව ඇත. එබැවින් මේ කර්මාන්තවලින් නිකුත්වන අප ජලය ප‍්‍රතිකාර කිරීම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව පෙනේ. අනෙක් කරුණ වන්නේ සේවා ස්ථාන ආදියෙන් නිකුත්වන අපජලය ද පරිසරයට නිකුත් වීම පාලනය කිරීමයි. මේ සඳහා රජයේ බලධාරීන් මෙන්ම අදාළ කඒමාන්ත හිමිකරුවන් ද, ජනතාව ද අවධානය යොමු කිරීම වටියි.


වෙරළ දූෂණය අඩු වෙයි


මේ අතර පසුගියදා වාර්තා වූ තවත් පුවතකට අනුව වෙරළ තීරයට එක් කරනු ලබන ප්ල්ස්ටික් ප‍්‍රමාණය 50% කින් පමණ අඩු වී ඇත. ඒ බව හෙළි වී ඇත්තේ ද රාජ්‍ය ආයතනයක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකදීය. එය වෙරළ තීරයේ දිස්ත‍්‍රික් පහක ස්ථාන ආශ‍්‍රිතව සිදුකරන ලද්දකි. මේ සඳහා මූලික හේතුව ජනයා නිවෙස්වලින් පිටතට යෑම අඩු වීම බව පැවසේ. එමෙන්ම වෙත් ජල දූෂක ද අඩු වී ඇති බවක් ද එහි දක්වා ඇත. මෙය වැදගත් වන්නේ සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක් කිරීම ජගත් මට්ටමේ ගැටලූවකට හේතු වී ඇති නිසාය.

ප්ලාස්ටික් හා සෙසු ඝන අපද්‍රව්‍ය පිළිබඳ ගැටලූව නම් දීර්ඝ කාලයක සිට පැවතෙන්නකි. එහෙත් එය තවත් කාලයක් ගත වීමට පෙර විසඳා ගත යුත්තකි. මේ පිළිබඳව කෙතරම් දැනුම්වත් කර තිබුණද මේ පුරුදු නැතිකර ගැනීමට තවමත් ජනතාවට හැකියාව ලැබී නැත. තුනී පොලිතින් තහනම් කිරීමෙන් වරක් භාවිත කර ඉවත දමන පොලිතීන් බෑග් ප‍්‍රමාණය අඩු කිරීමට ගත් පියවර අසාර්ථක වී ඇති ඇති බව ද පැහැදිලිය. දැන් සිදුව ඇත්තේ වඩා ඝනකම බෑග් වරක් භාවිත කර ඉවත දැමීමක් බව පෙනෙයි. කෙසේ වෙතත් ජනතාව ෂොපින් යෑම ඇතුළුව අනවශ්‍ය ගමන් බිමන් අඩු කර නිවාසවලට සීමා වී සිටි කාලයේදී පොලිතීන් භාවිතය අඩු වී ඇති බවක් පෙවෙයි.


මේ වෙනස තිරසර කිරීමට නම්


මේ තත්ත්වයෙන් පෙන්වන එක් කරුණක් නම් අප මෙතෙක් සිදුකරගෙන ආ කටයුතුවල කිසියම් ගැටලූවක් තිබෙන බවයි. එසේම කොරෝනා නිවාඩුවේ පසුගිය මාසයක කාලයේ පරිසරයට ඇති වූ සහනය හෙවත් වෙනස ජනමාධ්‍යවල තවත් පුවතක් පමණක් බවට පත් වීමට ඉඩ දිය යුතු නැති බව අපේ අදහසයි. පරිසරයේ දැකිය හැකි වූ යහපත් ප‍්‍රතිඵල වර්ධනය කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයක් දැරීම අවශයය.

එවැනි උත්සාහයක් මගින් මුළුමනින්ම නැතත්, ඒ වෙනස කිසියම් ප‍්‍රමාණයකින් හෝ තිරසර එකක් කිරීමට අපට තැත් කළ හැකිය. මේ අත්දැකීම් වායු දූෂණය, ජල දූෂණය හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට නිර්මාණාත්මක අයුරින් ඇතුළත් කළ හැකිය. මෙහි තවත් අභියෝගයක් ඇත. එනම්, කොවිඞ්-19 ගැටලූවත් සමඟ රටේ ආර්ථිකයේ යම් පසුබෑමක් ඇති වීමය. එවැනි තත්ත්වයකදී සමහර පරිසර හිතකාමී කටයුතු සඳහා පිරිවැය සපයා ගැනීම ගැටලූ සහිත විය හැකිය. රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ පරිසර හිතකාමී කාර්යයක් හා අරමුදල් සදහා මේ තත්ත්වය බලපෑ හැකිය. මෙය ලංකාවට පමණක් නොව ලෝකයටම පොදු විය හැකි දෙයකි. එනිසා ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම වැදගත් වනු ඇත. මේ සියලූ කටයුතුවලදී රටේ ජීවත්වන සියලූ දෙනාගේම වගකීමක් ඇති බැවින් සියලූ පාර්ශ්ව දැනුම්වත් කිරීම වැදගත් කටයුත්තක් වනු ඇත. අවශ්‍ය වන්නේ නීති රීති පැනවීම පමණක් නොවේ.

මේ මොහොතේ පරිස්සමෙන්

ධනේෂ් විසුම්පෙරුම



අපි මේ කතා කරන්නේ රට තීරණාත්මක අවස්ථාවක තිබියදීය.

විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාලය නිසා අපට හැම පැත්තකින්ම පුවත් ලැබේ. ඒවායේ ඇති වැඩසටහන් ද ෆේස්බුක් හා සෙසු සමාජ මාධ්‍ය නිසා ද අපට සැහැල්ලුවෙන් සිටිය හැකිය (සමහරු ඒ සැහැල්ලුව උපරිමයෙන් ගන්නෙ ගොස් රිමාන්ඩ් වී සිටිති). මෙසේ සැහැල්ලුවෙන් හා විහිළුවෙන් සිටිය ද අපේ රට ඇත්තේ තීරණාත්මක අවස්ථාවකය.

මොහොතක් සිතන්න...

1934-35 වසරේ මාස හතක් තුළ 80,000කට අධික පිරිසක් මිය ගිය මැලේරියා වසංගතය ගැන. රටේ මිලියන එකහමාරකට එදා ඒ රෝගය වැළඳුණා. ඒ වැඩි පිරිසක් රෝගී වෙන්නේ හා මියයන්නේ රටේ තෙත් හා අතරමැදි කලාපවල. මැලේරියාව වියළි කලාප ලෙඩක් හැටියට ප්‍රසිද්ධ උනත්...

එදා ලෙඩේ වැඩියෙන්ම පැතිරුනේ දැදුරු-මහ-කැලණි හා කළු ගං නිම්නවල - කෑගල්ල, කුරුණෑගල, කොළඹ (එදා ගම්පහ තිබ්බෙ කොළඹට), කළුතර, රත්නපුර දිස්ත්‍රික්ක සහ මහනුවර, මාතලේ ආදි මහවැලි ගඟ නිම්නය ආශ්‍රිත දිස්ත්‍රික්ක. නිතර මැලේරියාව තිබුණු වියළි කලාපෙට වඩා එදා වසංගතය ‌මේ ප්‍රදේශවල බරපතළ උනා.

එදා ගෙවල් පිටින් රෝගී උනා. ‌හැකි විදියකට යම්කිසි බෙහෙතක් ගත්තු ඔවුන් එදා ඔවුන් ‌මොකද කළේ?

- ඉන්ටර්නෙට් සොයාගෙන වත් නෑ. නූතන පරිගණක හා ජංගම දුරකථන නිපදවලත් නෑ.
- ඒ කීවෙ වෙබ් සයිට්වලට යන්න බෑ, යූටියුබ් යන්න බෑ. ෆේස්බුක් නෑ, අනිත් ඒවත් නෑ.
- රූපවාහිනිය රටට එන්න කියලා හිතල තිබ්බෙවත් නෑ. ඒ තාක්ෂණය ලෝකෙ තිබ්බෙත් මුල්අදියරක.
- එදා රේඩියෝ එකක් තිබ්බෙ එහෙමත් ගෙදරක. චැනල් තිබ්බෙ එකයි මට මතක විදියට.
- පත්තර නම් තිබ්බා. ඒ උනත් කන්නවත් සල්ලි නැතිව හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට මොන පත්තර ගැනිල්ලක්ද?

ඉතින් එදා ඒ මිනිස්සු කොහොම ඉන්න ඇතිද? අසනීප නිසා යන්න එන්න බෑ. සමහර විට ගෙදර හැමෝම එකවරටම ලෙඩ වෙලා. කෑමක් හොයාගන්න යන්න බෑ. සනීප උන අයගෙත් ශරීර ශක්තිය පිරිහිලා නිසා මහන්සි වී වගා කටයුත්තක්වත් කරගන්න බෑ. කුලී වැඩක් කරගන්නවත් බෑ. සමහර ගම්වල ජනගහනයෙන් 80%කට වඩා ‌ලෙඩ උනා. ඒ සමඟම රටේ ආහාර හිඟයක්, සාගතයක් ආවා. රජයෙන් හා තවත් සංවිධානවලින් දුන් දෙයකින් තමයි යන්තම් පණ ගැටගසා ගත්තෙ. ("සූරියමල් ව්‍යාපාරය" හා "පරිප්පු මහත්තයා" (ඇන් ඇම්) කළ කාර්යය අදත් රටේ සිහිපත් කරන්නෙ එනිසයි.)

එදා ලංකාව පැවති‌යේ බ්‍රිතාන්‍ය පාලනය යට‌‌තේ. එදා පැවති රජය ජනතාවට ‌බෙහෙත් දීම සඳහා එතෙක් පැවති ‌රෝහල් හා ‌බෙහෙත්ශාලාවලට අමතරව තාවකාලික වගෙම ජංගම ‌බෙහෙත්ශාලා පවා දැම්මා. මදුරුවන් ‌බෝවන ස්ථානවල එය වැළැක්වීමට පියවරගත්තා. (මැලේරියාව මර්ධනය සඳහා මෙරට බලධාරීන් ඊටත් ‌බොහෝ කලක සිට විවිධ පියවර ‌ගෙන තිබුණුු බව වාර්තාවල ‌මොනවට සඳහන් ‌වෙනවා. ක්විනින් දෙන්නේ 19 සියවසත දෙවන භාගයේ පමණ සිට. පළවෙනි මැලේරියා මර්දන මධ්‍යස්ථානය 1911දි හදන්නේ කුරුණෑගල. රජයේ මැලේරේයාවේදියෙක් පත්කරන්නේ 1921දි. මදුරුවන් බෝවන තැන් පිරවීම, හින්දවීම, තෙල් ගැසීම හා කීටයන් ආහාරයට ගන්නා මසුන් හඳුන්වා දීමත් කෙරුණා. ඉංග්‍රීසි මෙන්ම දේශීය නිලධාරීන් ද මේවායේ සේවය කළා. ලංකාවේ ඩීඩීටී ගහන්නේ 1946 සිට)

එදාට වඩා අද සාක්ෂරතාවය හොඳයි. සෞඛ්‍ය පහසුකම් හොඳයි. හැම ජනමාධ්‍යයක්ම තොරතුරු හා අවශ්‍ය පණිවුඩය ගෙනියනවා.

එහෙනම් ඇයි අපේ අය පිස්සු නටන්නෙ? අර ඇඳිරිනීති අවවාද නොතකා ඇවිදින්නෙ? ඒ මදිවට පාටි දාන්නෙ!

ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ආයතන ගණනකට බාරදීල ඊයෙ පෙරේදා ඒක සාර්ථකව කරගෙන යද්දි ඇඳිරි නීතිය නොතකා ජනතාව ඒ තොග කඩවලට ගිය නිසයි ඊයෙ අන්තිමට කඩ වහන්න උනේ. (මෙහෙ කට්ටියත්) එහෙම වැඩිපුර ගිහින් තියෙන්නේ සිල්ලර කඩවල කට්ටියලු - තොග මිලට අරන් පස්සේ වැඩිමිලට පස්ස දොරෙන් විකුණන්න. (එවැනි කඩේක ඊයේ පොල් රු. 125යි... මේ අයගේ අවස්ථාවාදිකම... ලැජ්ජයි!)

ඒ වගේම, රජය මගින් ආහාර ද්‍රව්‍ය හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිසි ලෙස ගෙනයෑමට පියවර ගැනීමත් වැදගත්බව පැහැදිලියි.

මොකද අපේ පැත්තට කිසිම එකක් ආවෙ නෑ ඊයෙ දවසට නම්. මහරගමට අයත් ජනගහනය අධික නාගරික ප්‍රදේශයක්. ‌මේ ගමේම සමහර පැතිවලට ඇවිත්.

ඉවසීමෙන් ඉමු. ‌මේ රජය ඔවුන් සතු වගකීම කරාවි. මොකද මේක රටට වගේම ඔවුන්ටත් තීරණාත්මක අවස්ථාවක්.

ඒ වගෙම ‌මේ ලද විවේකයෙදි වත්ත පිටියත් සූදානම් කරගනිමු. එන වැස්සෙදි ‌මොනවහරි කන ‌දෙයක් වවාගන්න.

(කියෙව්වට ස්තුතියි. එහෙනං දැන් වැඩ කරමු.)

වැඩි විස්තර අවශ්‍ය නම්, S.A. Meegama‌ගේ Famine, Fevers and Fear කෘතියේ ‌මේ වසංගතය හා මැලේරියා මර්ධනය ගැන එන පරිච්ඡේදය කියවන්න. ඉන්ටර්නෙට් එකෙත් සෑහෙන විශ්ව්සනීය ‌තොරතුරු තියනවා.



මුල් සංස්කරණ

(2020.03.28)

Fcebook පුවතට ‌මෙතැනින් පිවිසෙන්න. (අදහස් දැක්වීම් කියවන්න)

අරුණා‌ලෝකය Facebook පිටුවේ පළකිරීමට ‌මෙතැනින් පිවිසෙන්න

ශ්‍රී ලංකාව කැලඹූ අතීත වසංගත

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.03.25, පි. 6 (Vidusara)

Not available online


ලෝකයේ කාලයෙන් කාලයට ව්‍යාප්ත වූ විවිධ වසංගත රෝගවලට වරින්වර ශ‍්‍රී ලංකාව ද ලක් වී ඇත. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටි දූපතක් ලෙස ලංකාව පිළිබඳව විදේශීය ජාතීන් දැක්වූ උනන්දුව හා නාවුක ගමනාගමනයේ සන්ධිස්ථානයක පිහිටීම නිසා ලංකාව හරහා ගමන් කරන පිරිස විශාල වීම ඊට හේතු විය.

ඈත අතීතයේ අපේ රටේ ඇති වූ විවිධ රෝග සම්බන්ධව අපේ ඉතිහාසයේ ඇත්තේ කෙටි සඳහන් වීම් කීපයකි. නිදසුනක් ලෙස රත්තාක්ෂි රෝගය දැක්විය හැකිය. එහෙත් 19 හා 20 සියවස්වල ඇති වූ වසංගත සම්බන්ධව ප‍්‍රමාණවත් වාර්තා අපේ රටේ දැකිය හැකිය. වසූරිය, කොලරාව, මහාමාරිය, ඉන්ෆ්ලූවන්සාව හා මැලේරියාව වැනි රෝග වඩා බරපතළ බලපෑම් කළ ඒවා වන්නේ වසංගත ලෙස පැතිරීමෙන් ඒවායින් සැලකිය යුතු පිරිසක් මරණයට පත් වූ නිසාය. මේ ඒ පිළිබඳව සිදුකරන කෙටි විමසීමකි.

වසූරිය


Variola ගණයට අයත් වයිරස මගින් පැතිරෙන බෝවන රෝගයක් වන වසූරිය (smallpox) වසංගත නිසා ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල වරින්වර මරණ රැසක් ඇති විය. අතීතයේ සිට වරින්වර ලංකාවේ පැතිරී තිබෙන වසූරිය රෝගය මෙරටට ව්‍යාප්ත වීම සඳහා යාබද ඉන්දියානු උපමහාද්වීපය හා පැවති සම්බන්ධතා හේතු වූ බව විශ්වාස කරනු ලැබේ. මහනුවර රාජධානියේ වසූරිය පැතිරීම නිසා රජු හා ප‍්‍රධානීන් මහනුවර නගරය තාවකාලිකව අත්හැර දැමු අවස්ථා ද වාර්තා වෙයි. 1796 වර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගත් බි‍්‍රතාන්‍යයෝ 1802 වර්ෂයේදී වසූරිය සඳහා ප‍්‍රතිශක්තිකරණයක් ලෙස එන්නත් ලබාදීම ආරම්භ කළහ. ඒ, ඊට වසර කීපයකට පෙර එඞ්වඞ් ජෙනර් විසින් ලෝකයට හඳුන්වා දුන් එන්නත් ක‍්‍රමය මගිනි. එහෙත් ඉන් පසුව ද කලින් කල වසූරිය වසංගත ඇති වී තිබෙයි. ඊට එක් හේතුවක් වූයේ එන්නත් කිරීම වැඩි වශයෙන් මුහුදුබඩ පළාත්වලට සීමා වීමත්, එය රටේ අභ්‍යන්තර ප‍්‍රදේශවලට පිවිසියේ පසු කාලයක වීම නිසාත්ය. 1819 වර්ෂයේදී ඇති වූ වසංගතයෙන් 4,000ක් පමණ පිරිසක් මියගොස් ඇත. එසේම පසුකලක වතු වගාව සඳහා ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන් නිසා මේ රෝගය යළි යළිත් ඇති වු අවස්ථා දැකිය හැකිය. කෙසේ වෙතත් අඛණ්ඩව ක‍්‍රියාත්මක වූ එන්නත් දීම නිසා වරින්වර ඇති වූ උච්චාවචන සහිතව වුව ද වසූරිය රෝගීන් ගණන හා මරණ ගණන ක‍්‍රමයෙන් අඩු කරගැනීමට හැකි විය. 1870 හා 1880 දශකවල මේ රෝගය යළි හිස එස වූ වර්ෂ කීපයක් තිබිණි. කෙසේ හෝ එන්නත් දීමේ වැඩපිළිවෙල නිසා 1930 දශකය වන විට වසූරිය රෝගීන් ගණන බෙහෙවින් අඩු කරගත හැකි විය. වසූරිය රෝගීන් පිළිබඳ වාර්තා සහිත කාල වකවානුව ගතහොත්, ලංකාවෙන් එකම වසුරිය රෝගියකු හෝ මරණයක් හෝ වාර්තා වී නැති පළමු වර්ෂය වූයේ 1938 වර්ෂයයි. අද වන විට මේ රෝගය ලෝකයෙන් මුලිනුපුටා දමා ඇති රෝගයකි.

කොලරාව


කොලරාව ඇතිවන්නේ Vibrio cholerae නම් බැක්ටීරියාව මගිනි. මේ රෝගය අතීතයේ සිට ඉන්දියානු උපමහාද්වීපයේ පැවති බව පෙන්වා දී ඇති අතර වාර්තා අනුව මෑතකාලයේ පළමුවරට ඇති වී තිබෙන්නේ 1819දී පමණය. මේ රෝගය ජනතාව අතර මහත් බියක් ඇති කිරීමට හේතු වූයේ එය වැළඳුණු පිරිස් අතරින් වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර නොකළහොත් මිය යෑම නිසාය. 1840-1950 අතර කාලයේදී ලංකාවේදී කොලරාව වැළඳුණු රෝගීන් අතරින් 60%කට අධික ප‍්‍රතිශකයක් පමණ මියගොස් ඇත. එසේම රෝගය වේගයෙන් පැතිරීම ජනතාව අතර බිය ඇති කිරීමට ද හේතු විය. 1821 වර්ෂයේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ දෙදහසකට අධික පිරිසක් මේ රෝගයෙන් මරුමුවට පත් වූහ. යාපනය අර්ධද්වීපයේ ඇති වූ කොලරා වසංගතය නිසා 1855, 1866-67, 1876-77 වැනි වර්ෂවලදී විශාල මරණ ගණනක් සිදුවිය. මේ සඳහා හේතු වූ කරුණු අතර සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රමාණවත් නොවීම මූලික වූ බව ඒ පිළිබඳව කරුණු සෙවීම සඳහා පත් කළ කොලරා කොමිසම මගින් අනාවරණය කරගෙන ඇත. ලංකාවේ ඇති වූ කොලරා වසංගත අතරින් 1877 වසරේ ඇති වූ වසංගතයෙන් 11,963ක් මියගිය බව සඳහන් වේ. මෙම රෝගය නැවත නැවත මතු වීම සඳහා වතු වගා සඳහා ජනතාව ඉන්දියාවේ සිට කම්කරු පිරිස් මෙරටට ගෙන ඒම ද හේතු විය. මේ අතර ඔවුන් ආ සංක‍්‍රමණ මාර්ග ඔස්සේ පිහිටා ඇති ප‍්‍රදේශවල ද කොලරාව ව්‍යාප්ත විය. කොළඹ නගරය ඇතුළුව රටේ විවිධ ප‍්‍රදේශවල කොලරා වසංගත ඇති විය. මේ තත්ත්වයට පිළියමක් ලෙස සමහර වර්ෂවලදී ඇතැම් ආගමික උත්සව පවා තහනම් කර ඇත. ඒ එවැනි අවස්ථාවල රෝගය පැතිරීමට ඇති අවස්ථාව ඉහළ වීමය.

මහාමාරිය


මහාමාරිය (Plague) රෝගය Yersinia pestis නම් බැක්ටීරියාව නිසා වැළදෙන්නකි. මෙම රෝගය අතීතයේ සිට ලෝකයේ ව්‍යාප්ත වූ රෝගයක් වන අතර යුරෝපයේ විනාශකාරී වසංගත තත්ත්ව ඇති වීමට හේතුවක් වී ඇත. ලංකාවට මේ රෝගය ව්‍යාප්ත වීමට ඉන්දියාව සමඟ පැවති සම්බන්ධතා හේතුවක් වී ඇක. අපේ රටේ තැනින් තැන ඇති වූ මහාමාරිය වසංගත තත්ත්වය නිසා සැලකිය යුතු මරණ ගණනක් ඇති විය. 1914දී කොළඹ දී, ඇති වු වසංගතයෙන් 381ක් මියගියහ. එසේම රටේ නගර ගණනාවක මේ රෝගය ව්‍යාප්ත වීම හා මරණ ඇති වීම වරින්වර සිදුවිය. මේ රෝගය පැතිරවීම සඳහා මීයන්ගෙන් සිදුවන බලපෑම නිසා සහල් වැනි ධාන්‍ය ආරක්ෂිත ලෙස ගබඩා කිරීමේ අවශ්‍යතාවය ඇති විය. පිටකොටුවේ පිහිටා තිබූ චාමර්ස් ධාන්‍යාගාර සංකීර්ණය ගොඩනගන ලද්දේ ආනයනය කරන ධාන්‍ය ගබඩා කිරීම සඳහාය.

ස්පාඤ්ඤ උණ


1918-20 වර්ෂවල දී ලෝකයම වෙලාගත් H1N1 කුලයට අයත් ඉන්ෆ්ලූවන්සා වෛරසයක් වූ ස්පාඤ්ඤ උණ රෝගය ලංකාවේ ද පැතිරුණු අතර බරපතළ බලපෑමක් ඇති කළේය. කොළඹ වරාය හරහා මේ රෝගය ලංකාවට පිවිසි බව අනුමාන කරන රෝගය ලංකාව පුරාම පාහේ ව්‍යාප්ත වූයේය. 1918 අගෝස්තු මාසයේ ච ඒ වර්ෂයේ සැප්තැම්බර් සිට නොවැම්බර් මාසවල ද යළිත් 1919 මුලදීද වසංගතයක් සේ ව්‍යාප්ත විය. මේ රෝගය ජනතාවට අලූත් එකක් වු නිසා රෝගය බෝවන ආකාරය පිළිබඳව කලක් යනතුරු ගැමියන් හඳුනාගෙන නැත. ඒ නිසා රෝගී වූ නෑදෑ-හිතවතුන්ගේ සුවදුක් විමසීමට යෑම නිසා රෝගය ව්‍යාප්ත විය. රෝගීන් සෙසු අයගෙන් වෙන් කර තැබීම වැදගත් බව ජනතාවට අවබෝධ කරවීම බෙහෙවින් අවශ්‍ය වූ නිසා ඒ ගැන උපදෙස් සහිත පත‍්‍රිකා දහස් ගණනින් බෙදා හැර තිබෙයි. මෙම රෝගයේ බලපෑම පෙනෙන්නේ ඉන් ඇති වූ මරණ ගණන විමසූ විටය. රෙජිස්ටාර් ජනරාල්ගේ වාර්තා අනුව එම ඉන්ෆ්ලූවන්සාවෙන් ඇති වූ මරණ ගණන 41,916කි. එහෙත් එය 57,000ක් බව සංගණන වාර්තාවල සඳහන්ය. මෑත කාලයේ සිදු කළ අධ්‍යයන දෙකකින් මේ වසංගතය නිසා ඇති වූ මරණ ගණන 91,000 හා 307,000 තරම් ඉහළ විය හැකි බව පෙන්වා දී ඇත.


මැලේරියාව


Plasmodium ගණයට අයත් ක්ෂුද්‍රජීවී විශේෂ මගින් බෝ වන මැලේරියා රෝගය ව්‍යාප්ත වන්නේ මදුරුවන් මගිනි. අතීතයේ සිටම කලින් කල අපේ රටේ විවිධ ප‍්‍රදේශවල බරපතළ බලපෑම් ඇති කළ රෝගයක් විය. සැලකිය යුතු පිරිසක් එම වසංගතවලින් මරණයට පත් වූහ. එමෙන්ම ශාරීරික වශයෙන් ඇති වන බලපෑම් නිසා වැඩකටයුතු කරගැනීම අපහසු වීමද මේ රෝගීන්ට බලපෑවේය. වරින්වර ඇති වූ මැලේරියා වසංගත දරුණු තත්ත්වයක් ගත් අතර, 1934-35 කාලයේ ඇති වූ වසංගතය මේ අතරින් වඩාත් බරපතළ වූවකි. ඒ සිදුවීම මතකයේ ඇති වැඩිහිටියන් තවමත් අප අතර සිටීම හා ඒ හා සම්බන්ධ වූ සමාජ-දේශපාලනික තත්ත්ව නිසා මේ සිදුවීම සෙසු වසංගතවලට වඩා ප‍්‍රකට සිදුවීමකි. මේ මැලේරියා වසංගතය වැඩි වශයෙන් බලපෑවේ ජනගහනය ද අධික වූ දිස්ත‍්‍රික්ක කීපයකටය. මිලියන එකහමාරක් පමණ ජනගහනයකට රෝගය වැළඳුණු අතර මරණයට පත් වූ පිරිස 80,000කි. පමණ වූ බව සැලකේ. ඉන් සිදු වු හානිය බරපතළ කිරීමට හේතුව වූයේ ඒ සමඟ ඇති වූ සාගත තත්ත්වයයි.

උගත යුතු පාඩම්


අප මේ කතා කළේ ගත වූ සියවස් දෙකක පමණ කාලයේ ඇති වූ වසංගත පිළිබඳවය. ඉහත දැක්වූ රෝග හැරුණුවිට පරංගි (Yaws) හා ක්ෂයරෝගය ද මේ කාලයේ ඇති වූ වසංගත සේ සැලකිය හැකිය.

එදා පැවති වසංගත ගැන විමසීමෙන් අපට උගත හැකි දේ බොහෝය. නිදසුනක් ලෙස එක් කරුණක් සඳහන් කරමු. එදාට වඩා සෞඛ්‍ය පහසුකම් දියුණු හා රෝග මර්ධනය කිරීමේ හැකියාව පවතින අද වැනි කාලයක රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව අතරට තොරතුරු සන්නිවේදනය කිරීම ද පහසුවෙන් හා කාර්යක්ෂමව කළ හැකිය. මේ නිසා වසංගත වැනි තත්ත්වවලදී ගත යුතු පියවර ගැන දැනුම්වත් කිරීම පහසු බව සිතේ. නිදසුනක් ලෙස පෙර සඳහන් කළ 1918-20 උණ සන්නිපාත අවස්ථාවේදී පත‍්‍රිකා හා රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් දැනුම්වත් කළ ද අද ඒ සඳහා විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල ආදිය යොදාගැනීම දැකිය හැකි විය. එහෙත්, එසේ තිබියදීත් මේ ලිපිය ලියන අවස්ථාවේදී ද ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා වයිසරය වැළඳීම වැළක්වීමට නම්, එකිනෙකා ගැටීම අඩු කිරීම හා නිරෝධායනය අවශ්‍ය බවට ජනතාව දැනුම්වත් කිරීමට කෙතරම් උත්සාහයක් දැරිය යුතු වීද යන්න අපි අත්දුටුවෙමු. එබැවින් අතීතයෙන් අප උගත යුතු පාඩම් එයයි.

(මූලාශ‍්‍ර - වසූරිය, කොලරාව, මහාමාරිය හා මැලේරියාව පිළිබඳ තොරතුරු සඳහා ආචාර්ය එස්. ඒ. මීගම විසින් රචිත Famine, Fevers and Fear කෘතිය ප‍්‍රධාන මූලාශ‍්‍රය විය. ස්පාඤ්ඤ උණ පිළිබඳ කරුණු සඳහා සමකාලීන රජයේ වාර්තා, දිනපොත් හා පසුකාලීන මූලාශ‍්‍ර යොදාගන්නා ලදි.)

Wednesday, February 12, 2020

සියවසකට පෙර ලංකාව සසල කළ උණ වසංගතය

ධනේෂ් විසුම්පෙරුම


ඉරිදා ලංකාදීප 2020.02.09 (රසවිත, පි. 2), Irida Lankadeepa

On paper - lankadeepa.lk



“එකල ලක්දිව මුළුල්ලෙහි මහජනයා තවන්නාවූ පණ නසන්නාවූ ඉතා දරුණුවූ උණ රෝගයක් හටගත්තේය. පිටරටින් ගෙනෙනු ලබන්නාවූ ද මෙරට හටගන්නාවූ ද ධාන්‍යයන් අතිශයින් හීන බැවින් දුර්භික්ෂයක් ද හටගත්තේය.”

එසේ සඳහන් වන්නේ යගිරල පඤ්ඤානන්ද හිමියන් විසින් සම්පාදනය කළ, වර්ෂ 1815-1935 දක්වා වූ කාලය ඇතුළත් වන මහාවංසයේ තෙවන වෙළුමෙහි 111 පරිච්ඡේදයේ ගාථා දෙකකය. මහාවංසයේ එසේ පවසන උණ වසංගතය කුමක්ද? ඒ අන් කවරක් හෝ නොව 1918-19 වර්ෂවලදී ලෝකයම වෙලාගත් ඉන්ෆ්ලුවන්සා වෛරසයයි. ස්පාඤ්ඤ උණ නම් වූ වෛරස් උණ රෝගයයි.

පළමුවන ලෝක සංග්‍රාමය අවසන් වූ වර්ෂයේදී ඇති වූ මෙම ඉන්ෆ්ලුවන්සා වසංගතයෙන් ලෝකය පුරා මිලියන 30ත් 100ත් අතර මිනිසුන් ගණනක් මරණයට පත් වූ බව සැලකේ. එය ඉතා බරපතළ බව පෙනෙන්නේ පළමුවන ලෝක සංග්‍රාමයෙන් මියගිය ගණන මිලියන 20ක් පමණ වූ නිසාය. එසේම මෑත සියවස් කිහිපය තුළ වැඩිම මරණ ගණනක් සඳහා හේතු වූ බෝවන රෝගය මෙය ලෙස සැලකේ. සෞඛ්‍ය පහසුකම් ශක්තිමත් නොවූ ඒ කාලයේ මෙවැනි අවාසනාවන්ත රෝගයක් ව්‍යාප්ත වීම ලෝකයටම බරපතළ වූයේය.

මෙම උණ රෝගය 1918 සිට 1920 දක්වා ලංකාවේ ද පැතිරුණු අතර මෙරට ජීවිත සැලකිය යුතු ප්‍රමාණයක් බිලිගත්තේය. එහෙත් එය බොහෝ දෙනෙකු නොදන්නා වසංගතයකි. 1930 දශකයේ මැද භාගයේදී පමණ මෙරට ව්‍යාප්ත වූ මැලේරියා වසංගතය හා සාපේක්ෂව මෙම ඉන්ෆ්ලුවන්සා වසංගතය අමතකව ඇති සේය. මේ ලිපිය ඒ ගැන සිදුකරනු ලබන විමසීමකි.


ඉන්ෆ්ලුවන්සාව පැතිරීම


එදා මෙරට ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරියා වූ ජී.ජේ. රදර්ෆර්ඩ්ගේ වාර්ෂික වාර්තාවෙහි සඳහන් පරිදි මෙම ඉන්ෆ්ලුවන්සාව වැලඳුණු මෙරට පළමු රෝගීන් හඳුනාගනු ලබන්නේ 1918 ජුනි මාසයේදීය. ඒ රෝගීන් වරායේ යාත්‍රා ආශ්‍රිතව සේවය කරන්නවුන්ය. ඒ නිසා වරාය හරහා මේ රෝගය ලංකාවට පිවිසි බව නිගමනය කර ඇත. ගුවන් ප්‍රවාහනය නොමැති වූ ඒ කාලයේ මගී ප්‍රවාහනය සිදූවූයේ ද වරාය හරහාය. කොළඹ කොටුවේ පිහිටි රජයේ හා පුද්ගලික අංශයේ කාර්යාලවල සේවකයින්ගේ පැමිණීමේ අඩුවක් 1918 ජුනි හා ජූලි මාසවල වාර්තා වී ඇති නිසා කොළඹ කොටුව ප්‍රදේශයේ මේ රෝගය මුලින්ම පැතිර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් 1918 වර්ෂය තුළ මේ වසංගතය රැලි දෙකක් ලෙස පැතිරගිය බවක් වාර්තාවල සඳහන් වේ. තෙවැනි රැල්ලක් 1919 මුලද පැතිර ඇත. එතරම් බරපතළ නොවූ පළමුවැන්න 1918 අගෝස්තු මාසයේ ආරම්භ වූ බව පෙනෙන අතර, දෙවැන්න ඒ වර්ෂයේ සැප්තැම්බර් සිට නොවැම්බර් මාසවල ඇති විය. රට පුරාම වාගේ මේ වසංගතය පැතිර ඇති අතර ඉතා හදිසියෙන් ඇති වී වේගයෙන් ව්‍යාප්ත වූ බව බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත පවසයි. මාතර දිස්ත්‍රික් වැසියන්ගෙන් අඩකට පමණ රෝගය වැලඳුණු බව එහි උප ඒජන්ත පැවසීමෙන් තත්ත්වය කෙතරම් බරපතළ වීද යන්න පැහැදිලිය.

මේ ඉන්ෆ්ලුවන්සාව තරමක කාලයක් මෙරට තුළ පැවතී තිබේ. 1918දී බරපතළ වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ මේ රෝගය 1919 වර්ෂය මුලදී යළිත් ඉහළ ගොස් පසුව වසර පුරාම පාහේ අඩු මට්ටමකින් වුවද පැවතියේය. වසංගත තත්ත්වයකින් නොවූවද 1920 වර්ෂයේද සමහර ප්‍රදේශවල දැකිය හැකි වී ඇත.


ඉන්ෆ්ලුවන්සාවෙන් සිදු වූ ජීවිත හානිය


මේ ඉන්ෆ්ලුවන්සාව නිසා කොපමණ පිරිසක් මියගියේ ද යන්න අපැහැදිලි බව පෙනේ. ඊට හේතුව වන්නේ මේ රෝගයට ලක් වූ වැඩි දෙනා මියගොස් ඇත්තේ නිව්මෝනියාවෙන් වීමය. එමෙන්ම දුෂ්කර පෙදෙස්වල සිදු වූ මරණ වාර්තා වී ඇත්තේ අඩුවෙනි. ත්‍රිකුණාමලයේ උපඒජන්ත සඳහන් කරන පරිදි, නගරයේදී රෝගයෙන් මියගිය ගණන පැවසිය හැකි වුවත් පිටිසර ප්‍රදේශවලින් නිශ්චිත සංඛ්‍යා ලබාගැනීම අසීරු විය.

කෙසේ වෙතත් ඒ කාලයේ ප්‍රකාශිත සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නේ 1918 හා 1919 වර්ෂවල මරණ අනුපාතිකයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති බවයි. 1921 ජන සංගණන වාර්තාවට අනුව 1919 වර්ෂයේ මරණ අනුපාතිකය දහසකට 37.5ක් විය. ලංකාවේ සංගණන කටයුතු ආරම්භ වූ 1871න් පසු ලංකාවෙන් වාර්තා වූ ඉහළම මරණ අනුපාතිකය එයයි. එම වාර්තාවේ දැක්වෙන පරිදි 1918 හා 1919 වර්ෂවලදී ඉන්ෆ්ලුවන්සාව නිසා සිදු වූ මරණ ප්‍රමාණය 57,000ක් පමණ විය. එය එකළ මෙරට සිටි ජනගහනයෙන් සියයට 1කට වඩා අධිකය. කෙසේ වෙතත් මෙය දළ අගයක් බවත්, ද්විත්ව රෝග නිර්ණය, සැකසහිත රෝග නිර්ණය හා මරණයට හේතුව වැනි කරුණු නිසා මේ ගණනේ අඩුපාඩු තිබිය හැකි බව සඳහන්ය.

එහෙත් මේ මරණ ප්‍රමාණය නිවැරදිව කිව නොහැකි වීමට බලපෑ එක් හේතුවක් වන්නේ වෛද්‍ය නිලධාරීන් මෙන්ම ග්‍රාමීය මරණ රෙජිස්ට්‍රාර්වරුන් විසින් ද මරණයට හේතුව නියුමෝනියාව ලෙස සඳහන් කර තිබීමයි. 1918දී නියුමෝනියාව නිසා සිදු වූ මරණ ගණන පෙර වසරට වඩා තෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද සඳහන්ය. නිව්මෝනියා මරණ ගණන නොසලකා ඇති රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ වාර්තා අනුව ඉන්ෆ්ලුවන්සාවෙන් ඇති වූ මරණ ගණන 41,916කි.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ මෑත කාලයේ සිදු කළ අධ්‍යයනවලින් මේ වසංගතය නිසා ඇති වූ මරණ ගණන මීට වඩා අධික බව දක්වා ඇති බවයි. එම අධ්‍යයනවලට අනුව 1918-19 ඉන්ෆ්ලුවන්සාවෙන් ඇති වූ මරණ ගණන 91,000 හා 307,000 තරම් ඉහළ විය හැකි බව පෙන්වා දී ඇත.

මේ මරණවල බලපෑම ජනගහන වාර්තාවලින් ද පෙනේ. 1911-1921 දශකයේදී සිදු වූ ජනගහන වර්ධනය 9.6%ක් වූ අතර එය ඊට පෙර දශක දෙකටම වඩා අඩු විය. 1891-1901 දශකයේ ජනගහන වර්ධනය 18.8%ක් වූ බව හා 1901-1911 අතර කාලයේදී එය 14.9%ක් වූ බව සඳහන්ය. මේ අනුව උක්ත ඉන්ෆ්ලුවන්සාව ජනතාවගේ සරු භාවයට බලපෑමක් ඇති කර තිබෙන බව පැහැදිලිය.


ජනතාව හා රෝගය


මේ රෝගය ගැන ජනතාවගේ ප්‍රතිචාරය කෙබඳු වූයේද යන්නද සමහර වාර්තා අනුව පෙනේ. කළුතර ආණ්ඩුවේ උප ඒජන්තවරයා පවසා ඇති පරිදි, මේ රෝගය ජනතාවට අලුත් එකක් වූ නිසා රෝගය බෝවන ආකාරය පිළිබඳව කලක් යනතුරු ගැමියන් හඳුනාගෙන නැත. ඒ නිසා ඔවුන්ට පුරුදු ලෙස රෝගී වූ නෑදෑ-හිතවතුන්ගේ සුවදුක් විමසීමට නිවෙස්වලට ගිය අතර, ඒ නිසා ලැව්ගින්නක් සේ රෝගය ව්‍යාප්ත විය. මෙවැනිම සඳහනක් කරන ගාල්ලේ ඒජන්ත තැන නගරවල උගත්කමක් ඇති පවුල්වල සාමාජිකයන් පවා රෝගීන් බැලීමට ගොස් තමන්ද රෝගය බෝ කරගෙන තම නිවාසවලට ද රෝගය ගෙන ගිය බව කියයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන පරිදි රෝගීන් සෙසු අයගෙන් වෙන්කර තැබීම වැදගත් බව ජනතාවට අවබෝධ කරවීම බෙහෙවින් අවශ්‍ය විය.

රෝගය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් හා සනීපාරක්ෂක පරීක්ෂකයින් පියවර ගත් අතර, ඒ පණිවුඩය වැසියන් වෙත දැනුම්දෙන ලද්දේ ගම්මුලාදෑනීන් මගිනි. ඒ සඳහා උපදෙස් සහිත පත්‍රිකා දහස් ගණනින් නිකුත් කර ඇත. මේ පත්‍රිකාවලින් රෝගය පිළිබඳව හා ප්‍රතිකාර ගැන විස්තර කර ඇත. බොහෝ ඒජන්තවරු මේ ගම් මට්ටමේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශංසා කළහ.

රජය විශේෂ වෛද්‍ය කණ්ඩායම් රෝගය වඩාත් බලපෑ ප්‍රදේශවලට පිටත් කොට යවා ඇත. වසංගතයෙන් පීඩාවට පත් ජනතාව සිටි සෑම දිස්ත්‍රික්කයකම පාහේ රජය මැදිහත් වී ආපදා සහන ලබාදී ඇත. එමෙන්ම මහජන රැස්වීම් තබා, පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කර ඇති අතර, ඒවා මගින් පීඩාවට පත් ජනතාවට සහන සපයා තිබේ. මේ සඳහා පිහිට වූ සහන කමිටු හරහා පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ හා ඇඳුම් ලබා දී ඇත. මේ කටයුතු සඳහා ජනතාව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ බව සඳහන් වෙයි. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල මෙසේ ආධාර සැපයීම පවා අසීරු වූ අවස්ථා සඳහන් වේ. නැගෙනහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත සඳහන් කරන පරිදි ඒ පළාතේ ගම් හා හේන් ඈතින් පිහිටා තිබීම සහන සැපයීමේදී බාධාවක් විය.

සෞඛ්‍ය වාර්තා අනුව මේ රෝගයෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ හා ඔවුන්ගේ පවුල්වල අය මරණයට පත්ව ඇත. ඒ අතර වෛද්‍යවරුන්, ඇපොතිකරිවරුන් මෙන්ම හෙදියන්ද වේ. රක්වාන රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා වූ වෛද්‍ය ඩබ්.එස්. තිරිමාන්න හා නිකවැරටිය රෝහලේ සේවය කළ බව සඳහන් වන එස්.ජේ.එච්.එල්.ඩී හීර් යන වෛද්‍යවරු ඉන්ෆ්ලුවන්සාව නිසා 1918 ඔක්තෝබර් මාසයේදී මියගියහ.


සමාජ-ආර්ථික බලපෑම


මේ උණ වසංගතය නිසා සිදු වූ සමාජ හා ආර්ථික හානිය ගැන කිසියම් වූ අදහසක් අපට වාර්තාවලින් ලබාගත හැකිය. මේ වසංගතය පැතිරීමත් සමඟ පාසල්වලට ළමුන් පැමිණීම අඩාල වී ඇති අතර, සමහර පාසල් දින ගණන් වසාදැමීමට කටයුතු කර තිබේ. එසේම ඇතැම් පළාත්වල රජයේ කාර්යාල වසා දමා හෝ අඩු කාර්යමණ්ඩල සහිතව කටයුතු කර ඇත.

එදා එම වසංගතයෙන් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ එදිනෙදා කටයුතුවලින් සිය ජීවිකාව සපයාගත් ගැමියන්ය. රෝගය වැලඳී සුව වූවද, ඔවුන්ගේ වැඩකිරීමේ හැකියාව අඩුවී මහන්සි වී කටයුතු කළ නොහැකි වීම මීට බලපා ඇත. විශේෂයෙන් පැතිරගිය වසංගතය නිසා 1918-19 මහ කන්නයේ වගා කටයුතු අඩාල වී ඇත. මේ ගැන ඇතැම් ආණ්ඩුවේ ඒජන්තවරු හා උපඒජන්තවරු සඳහන් කරති. මේ අතර හම්බන්තොට හා අනුරාධපුරය ගැන විශේෂයෙන් සඳහන් වේ. 1919 වර්ෂයේදී ඇති වූ ආහාර හිඟය සඳහා මේ තත්ත්වය බලපා ඇති බව සිතිය හැකිය.

එක් සිදුවීමකින් එදා පැවැති ජීවන තත්ත්වයම පැහැදිලි වේ. බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තවරයා සඳහන් කරන පරිදි එම දිස්ත්‍රික්කයේ එක් ගමක වැසියන් සියලුදෙනාම එකම කාලයකදී මේ වසංගයට ගොදුරු වී ඇත. ඔවුන් රෝගය නිසා දුර්වල වීමෙන් හේන් රැකීමට කිසිවෙකුත් නොවූ අතර, මුළු හේන් යායම අලින් විසින් විනාශ කර තිබේ. ආහාර නොමැතිව අසරණ වූ එම ගමේ වැසියන්ට දිගු කාලයක් තිස්සේ ආපදා සහන අවශ්‍ය වී ඇත.

On paper - lankadeepa.lk

Friday, June 7, 2019

වායු දූෂණය පිටුදකිමු...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 05.06.2019, පි. 14-15 (Vidusara)

http://www.vidusara.com/2019/06/05/feature4.html






වාතය අපට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වූ සාධකයකි. ආහාර හා ජලය නොමැති ව සාමාන්‍යයෙන් මිනිසකුට දින හෝ සති කීපයක පමණ කාලයක්‌ ජීවත් විය හැකි වුවත් වාතය නොමැති ව ජීවත් විය හැක්‌කේ ඉතා සුළු කාලසීමාවක්‌ පමණක්‌ වීම නිසා වාතය කෙතරම් වැදගත් ද යන්න පැහැදිලි ය. ශ්වසනය සඳහා වාතය අවශ්‍ය වීම ලොව වෙසෙන සියලු ම ජීවීන්ට ම පාහේ පොදු වූ කරුණකි.

එහෙත් මූලික වශයෙන් මිනිසුන් විසින් සිදු කෙරෙන විවිධ ක්‍රියාවලි නිසා වාතයට එක්‌ වන වායු දූෂකවලින් පෘථිවි වායුගෝලය දූෂණය වෙයි. මේවා සමහරක්‌ ස්‌වාභාවිකව ද වායුගෝලයට එක්‌ වන අවස්‌ථා තිබෙයි. මෙසේ වායු දූෂණයට හේතු වන විවිධ දූෂක ගණනාවකි. මේ අතර කාබන්ඩයොක්‌සයිඩ්, කාබන් මොනොක්‌සයිඩ්, සල්ෆර් ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඩයොක්‌සයිඩ්, ඕසෝන්, මීතේන්, අංශුමය ද්‍රව්‍ය, කළු කාබන්, ඊයම්, රසදිය, හයිඩ්‍රොකාබන, දිගු කල් පවත්නා කාබනික දූෂක වැනි විවිධ ද්‍රව්‍ය වෙයි. මේවා පිළිබඳ ව හා ඒවායේ ප්‍රභව, වගුවේ සඳහන් ය (වගුව බලන්න).

මේ වායු දූෂක නිකුත් වන ප්‍රධාන මානව ක්‍රියාවලි ලෙස කෘෂිකර්මය, ප්‍රවාහනය, ගෘහස්‌ථ, කර්මාන්ත හා අපද්‍රව්‍ය යන අංශ සඳහන් කළ හැකි ය. කෙසේ වෙතත්, ගෘහස්‌ථ වායු දූෂණය, ප්‍රවාහන විමෝචන හා කර්මාන්ත ආශ්‍රිත විමෝචන වැඩි බලපෑමක්‌ සිදු කළ හැකි වායු දූෂණ මූලාශ්‍ර ලෙස සැලකෙයි. මේ අංශ එකිනෙකින් නිකුත් වන වායු දූෂක වෙනස්‌ විය හැකි ය.

වායු දූෂණය නිසා සිදු විය හැකි මූලික අහිතකර බලපෑම් කිහිපයක්‌ පිළිබඳ ව පුළුල් ව සාකච්ඡාවට ලක්‌ ව තිබෙයි. ඉන් එකක්‌ වන්නේ, ඉන් මානව සෞඛ්‍යයට සිදු වන බලපෑම ය. තවත් බලපෑමක්‌ වන්නේ වර්තමාන යුගයේ බරපතළ ම පාරිසරික ගැටලුව ලෙස සැලකෙන දේශගුණ වෙනස්‌ වීම ය. කෙසේ වෙතත් මිනිසුන් මෙන් ම වෙනත් ජීවීන් ද වායු දූෂණයේ අහිතකර බලපෑමට ලක්‌ වන බව අප අමතක නො කළ යුතු ය.

මේ තත්ත්වය නිසා වායු දූෂණය මෙන් ම වායු දූෂණය වැළැක්‌වීම සම්බන්ධව ද පුළුල් අවධානයක්‌ ලෝකයේ යොමු ව තිබෙයි. එබැවින් 2019 වර්ෂයේ ජගත් පරිසර දිනයේ තේමාව ලෙස තෝරාගෙන තිබෙන්නේ ද වායු දූෂණයයි. වායු දූෂණය අවම කිරීමේ ඇති වැදගත්කම මේ අනුව පෙනෙන්නකි. ඒ සඳහා ගත හැකි පියවර සම්බන්ධ ව ලෝකයේ අවධානය යොමු කිරීම කාලෝචිත කරුණකි.


මානව සෞඛ්‍යයට බලපෑම


මෑතකාලීන අධ්‍යයන හා සමාලෝචනවලින් පෙන්වා දී ඇති ආකාරයට ලෝක ජනගහනයේ සැම 10 දෙනකු ගෙන් 9 දෙනෙක්‌ ම දූෂිත වාතය ශ්වසනය කරති. ලෝකයේ සිදු වන සැම මරණ 9කින් 1කට හේතුව වන්නේ වායු දූෂණය වන බැවින් එය වර්තමාන ලෝකයේ බරපතළ ම සෞඛ්‍ය අර්බුදයක්‌ ලෙස සැලකෙයි. ලෝකය පුරා වාර්ෂික ව සිදු වන අකල් මරණ මිලියන 7කට හේතු වන්නේ වායු දූෂණය බවට ගණන් බලා ඇත.

වායු දූෂණය මානව සෞඛ්‍යය සඳහා බලපාන අන්දම පිළිබඳ ව අවධානය යොමු කරමින් සිදු කරන ලද අධ්‍යයන 70,000ක්‌ පමණ ප්‍රමාණයක්‌ මේ වන විට ලෝකයේ පළ කර තිබෙයි. ඒවායෙන් පැහැදිලි ව පෙනෙන්නේ වායු දූෂණය නිසා ඇති වන අහිතකර සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ව ශක්‌තිමත් විද්‍යාත්මක පදනමක්‌ පවත්නා බවයි. මේ සෞඛ්‍යමය ගැටලු සම්බන්ධ ව මෑත කාලයේ සිදු කරන ලද අධ්‍යයනවලින් හෙළි වූ කරුණු කිහිපයක්‌ පහත දැක්‌වෙයි.

වායු දූෂණය නිසා ශ්වසන පද්ධතිය හා හෘදය ආශ්‍රිත ආබාධ ඇති වීම, ඒ පිළිබඳ ව අප දන්නා වඩාත් ප්‍රකට සෞඛ්‍ය බලපෑමයි. ඒ හැරුණු විට තවත් රෝගී තත්ත්ව ගණනාවකට වායු දූෂණය බලපෑම් කරයි. මේ වසර මුල Chest සඟරාවේ ප්‍රකාශයට පත් වූ සවිස්‌තර වාර්තා දෙකකට අනුව වායු දූෂණය නිසා මිනිස්‌ ශරීරයට සිදු විය හැකි බලපෑම කෙතරම් ද යත්, එය සිරුරේ සැම ඉන්ද්‍රියකට ම, සැම සෛලයකට ම හානි කරන බවක්‌ පැවසිය හැකි යෑයි පෙන්වා දී තිබිණි. දූෂිත වාතය නිසා ඇති විය හැකි විවිධ ආබාධ ශරීරයේ හිසේ සිට පාදස්‌ථය දක්‌වා වැළඳිය හැකි ආකාරයේ ඒවා ය. ඒවා හෘදයාබාධ හෝ පෙනහලු ආබාධ හෝ විය හැකි ය. දියවැඩියාව හා භින්නෝන්මාදය හෝ වැනි තත්ත්ව සඳහා ද වායු දූෂණය හේතු වීමට ද ඉඩ ඇත. යාකෘත අර්බුදවල සිට පිත්තාශය ආශ්‍රිත පිළිකා තත්ත්ව දක්‌වා වූ විවිධ රෝගවලට ද මූලික හේතුව එය විය හැකි ය. අස්‌ථි භංගුරතාවයේ පටන් සම තුවාල වීම දක්‌වා වූ විවිධ හානි තත්ත්ව දක්‌වා ද වායු දූෂණය බලපෑමක්‌ වෙයි. එමෙන් ම සරුභාවයට, කලලයට හා දරුවන්ට ද වායු දූෂණය අහිතකර ලෙස බලපෑමක්‌ සිදු කරයි.



මේ අතර ගැබිනි කාන්තාවන්ට ගබ්සා ඇති වීමේ ඇති අවදානම වායු දූෂණයට නිරාවරණය වීම නිසා ඉහළ යන බව Fertility and Sterility සඟරාවේ මෑත දී පළ වූ පර්යේෂණයකින් පෙන්වා දී තිබෙයි. ඒ අනුව නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් වායු දූෂණයට, කෙටි කාලයක්‌ නිරාවරණය වීමෙන් නිසා ගබ්සා වීම් ඇති වීමේ අවදානම 16%කින් පමණ ඉහළ යා හැකි ය. සංඛ්‍යාත්මක ව ගත හොත්, නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය ඝන මීටරයකට මයික්‍රොග්‍රෑම් 20කින් ඉහළ යැම ගබ්සා වීමක්‌ ඇති වීමේ අවදානම 16%කින් ඉහළ යැමට බලපායි. ඇමෙරිකාවේ නාගරික ප්‍රදේශ කිහිපයක සිදු කර ඇති මේ අධ්‍යයනයේ ප්‍රතිඵල ලෝකයේ වෙනත් එවැනි ස්‌ථානවලට හා වඩා වැඩි වායු දූෂණයක්‌ ඇති නගරවලට ද අදාළ විය හැකි බව ද මේ පර්යේෂකයන් දක්‌වා ඇත.

වායු දූෂණය හුදෙක්‌ ශාරීරික ව පමණක්‌ නො ව මානසික ව ද ගැටලු ඇති කළ හැකි ය. දූෂිත වාතය ඇති ප්‍රදේශවල වාසය කළ දරුවන් පසු කලක දී විෂාදයට ලක්‌ වීමට ඇති අවදානම පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයක්‌ Science Advances හි පළ වී තිබිණි. ලන්ඩනයේ ජීවත් වන ළමයින් කණ්‌ඩායමක්‌ සම්බන්ධ ව සිදු කර තිබෙන මේ අධ්‍යයනයෙන් පැහැදිලි වන පරිදි, සිය අවුරුදු 12 පමණ වයසේ දී දූෂිත වාතයට නිරාවරණය වන දරුවන් වයස අවුරුදු 18 පමණ වයස්‌ වන විට විෂාදයට ලක්‌ වීමට ඇති අවස්‌ථාව, එසේ වායු දූෂණයට ලක්‌ නො වූ දරුවන්ට වඩා තුන් ගුණයත් සිව් ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ ය.

ඩීසල් වාහනවලින් නිකුත් වන වායු විමෝචනවලට ලක්‌ වන ළමයින්ගේ පෙනහලුවල වර්ධනය අඩාළ විය හැකි බව ද පෙන්වා දී තිබෙයි. මෙමඟින් ඇති වන බලපෑම ඔවුන්ගේ ජීවිත කාලයට ම පැවතිය හැකි එකකි. The Lancet Public Health හි පළ වූ මේ අධ්‍යයනය බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩන් ප්‍රදේශයේ ප්‍රාථමික පාසල් ළමයින් යොදාගනිමින් සිදු කරන ලද්දකි. එහි දී හෙළි වී ඇති ආකාරයට ඩීසල් විමෝචනවල ඇති නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් මට්‌ටම අනුමත ප්‍රමාණය ඉක්‌මවා ගිය හොත් ළමයින්ගේ පෙනහලු ධාරිතාව 5%කින් අඩු වීම සඳහා එය හේතු විය හැකි ය. සාමාන්‍යයෙන් පෙනහලු ධාරිතාව උපරිමයට ළඟා වන්නේ වයස අවුරුදු 18 දී පමණ වන අතර, ඉන් පසුව එය අඩු වන බව පැවසේ. එහෙත් මෙවැනි තත්ත්වයක්‌ නිසා වැඩිහිටි වියට පත් වන විට පෙනහලු ධාරිතාව පැවතිය යුතු තත්ත්වයට වඩා අඩු වීම බරපතළ කරුණකි. වයසත් සමඟ එම ධාරිතාව අඩු වීම නිසා අඩු වයසින් මිය යැමේ අවදානමකට ඔවුන් ලක්‌ විය හැකි ය.

European Heart Journal සඟරාවේ පසුගිය වර්ෂයේ පළ වූ අධ්‍යයනයකින් හෘද රෝග සඳහා වායු දූෂණය බලපාන ආකාරයේ බරපතළ බව දක්‌වා තිබිණි. ඊට අනුව, වායු දූෂණය නිසා ලෝකයේ වාර්ෂික ව ඇති වන මරණවලින් 60%ක්‌ පමණ ඇති වන්නේ හෘද්වාහිනී පද්ධතිවල රෝග නිසා ය. වායු දූෂණය නිසා ඇති වන හෘද රෝග පිළිබඳ ව සිදු කරන ලද විමර්ශනයක දී මේ බව හෙළි වී ඇත. මේ සඳහා අංශුමය ද්‍රව්‍ය සැලකිය යුතු බලපෑමක්‌ සිදු කරන බව ද හෙළි වී ඇත. විශේෂයෙන් ඉතා සියුම් අංශුමය ද්‍රව්‍ය මේ සඳහා බලපෑමක්‌ ඇති කරයි.

වායු දූෂණය නිසා ඇති විය හැකි තවත් සෞඛ්‍ය හානියක්‌ වන්නේ වකුගඩු ආබාධ ඇති විය හැකි වීම ය. PLOS ONE සඟරාවේ පළ වූ ඇමෙරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව වකුගඩු රෝගය හා PM2.5 කාණ්‌ඩයේ සියුම් අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය අතර ධන සහසම්බන්ධයක්‌ තිබිය හැකි බව පෙන්වා දී ඇත. වාතයේ ගුණාත්මක තත්ත්වය ඉහළ ප්‍රදේශවලට වඩා දූෂිත වාතය ඇති ප්‍රදේශවල වකුගඩු රෝගීන් ඉහළ ය. එසේ ම මේ සියුම් අංශුමය ද්‍රව්‍ය හැරුණු විට වකුගඩුවලට හානි කරන බැරලෝහ ද දූෂිත වාතයේ දැකිය හැකි ය.

වායු දූෂණය නිසා මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වසරකින් පමණ අඩු වන බව Environmental Science Technology Letters සඟරාවේ පළ වූ අධ්‍යයනයක සඳහන් ය. 2016 වර්ෂය හා සම්බන්ධ දත්ත යොදාගෙන රටවල් 185ක PM2.5 කාණ්‌ඩයේ අංශුමය ද්‍රව්‍යවලට නිරාවරණය වීම හා ඉන් පසුව එය ඒ ඒ රටට හා ජගත් මට්‌ටමින් ආයු අපේක්ෂාවට බලපාන ආකාරය අවධානයට ලක්‌ කර ඇත. මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි ආසියාවේ හා අප්‍රිකාවේ දී ආයු අපේක්ෂාව වසර 1.2 - 1.9 අතර ප්‍රමාණයකින් අඩු කිරීමට මේ තත්ත්වය හේතු වී ඇත. එසේ ම වඩා ගුණාත්මක වායු තත්ත්වයක්‌ පවතින්නේ නම්, මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යන බව මේ අනුව පැහැදිලි ය.


දේශගුණ වෙනස්‌ වීම


වායු දූෂණය හා දේශගුණ වෙනස්‌ වීම අතර අෙන්‍යාන්‍ය සම්බන්ධයක්‌ වෙයි. එයට මූලික හේතුව වන්නේ වායු දූෂණය සඳහා සහ දේශගුණ වෙනස්‌ වීම ඇති වීමට බලපාන මූලික සාධක එක ම සාධක වීම ය. මේ අනුව කාබන්ඩයොක්‌සයිඩ් මෙන් ම වෙනත් හරිතාගාර වායු ගණනාවක්‌ ද වායු දූෂක ලෙස වාතයට එක්‌ වන ද්‍රව්‍ය වෙයි. නිදසුන් ලෙස මීතේන් හා නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් ද දැක්‌විය හැකි ය.

එබැවින් වායු දූෂණය අඩු කිරීම සඳහා ගන්නා වූ යම් ප්‍රයත්නයක්‌ වේ ද එය දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා රුකුලක්‌ වන බව පැහැදිලි ය. මෙහි දී අපගේ අවධානය යොමු විය යුත්තේ ෆොසිල ඉන්ධන සම්බන්ධ ව ය. ෆොසිල ඉන්ධන යනු ප්‍රවාහනය හා කර්මාන්තවල දී බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස භාවිතයට ගනු ලබන ප්‍රධාන ඉන්ධන ප්‍රභවයයි. ඒ අනුව ෆොසිල ඉන්ධන දහනයෙන් නිකුත් වන වායු දූෂක අඩු කළ හැකි නම් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධයෙන් ද ඵලදායී විය හැකි ප්‍රතිඵලයක්‌ ලබාගත හැකි ය.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කළ හැකි නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5කට සීමා කිරීමට හැකියාව ඇති බව Nature Communications සඟරාවට ලිපියක්‌ සැපයූ පර්යේෂකයන් පිරිසක්‌ පෙන්වා දී තිබුණේ මෑත දී ය. ඒ සඳහා ෆොසිල ඉන්ධන හා සම්බන්ධ ව අද භාවිත කෙරෙන සියලු ම යටිතල පහසුකම් - එනම් විදුලි බලාගාර, කර්මාන්තශාලා, රථවාහන, නෞකා සහ ගුවන් යානා වැනි පහසුකම් - ඒවායේ ජීවිත කාලය අවසානයේ දී ශුන්‍ය කාබන් (zero carbon) විකල්ප මඟින් ප්‍රතිස්‌ථාපනය කළ යුතු ය. එනම් මේ පහසුකම්වලින් නිකුත් වන කාබන් විමෝචන ඉදිරි දශක හතරක කාලයේ දී ශූන්‍ය විය යුතු ය. එය වහා ම කළ හැකි නම් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5 අගයට අඩුවෙන් පවත්වාගැනීමට 64%ක පමණ අවස්‌ථාවක්‌ පවතී. එහෙත් එම කාර්යය 2030 වසර වන තෙක්‌ ප්‍රමාද වුව හොත් අදාළ ඉලක්‌කය අත්පත් කරගැනීමට ඇති අවස්‌ථාව 33%ක්‌ දක්‌වා අඩු වෙයි. කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් දැක්‌වෙන ඉලක්‌ක අත්පත් කරගැනීම කෙතරම් ප්‍රායෝගික ද යන්න නම් මඳක්‌ සැකසහිත ය.


වායු දූෂණය වළක්‌වාගත හැකි ය - අපට කළ හැකි දේ


වායු දූෂණය බරපතළ ගැටලුවක්‌ වුව ද එහි ඇති වැදගත් කරුණක්‌ වන්නේ එය වළක්‌වාගත හැකි එකක්‌ වීම ය. විවිධ වායු දූෂක අවම කිරීම සඳහා ගත හැකි නවීන තාéණික පිළියම් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට අවශ්‍ය ව ඇත්තේ ඒවා අදාළ අංශවල ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම ය. ඊට ලෝකයේ සියලු රටවල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම අවශ්‍ය ව තිබෙයි. මෙහි ලා සඳහන් කළ යුතු වැදගත් දෙයක්‌ වන්නේ වායු දූෂණයට ලක්‌ වීම ඉහළ වන්නේ ද, අවශ්‍ය පිරිසිදු තාéණය ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රමාද වී තිබෙන්නේ ද දියුණු වන රටවල බවයි.

තනි පුද්ගලයකු ලෙස වායු දූෂණය අවම කිරීම සඳහා අපට කළ හැකි කටයුතු ද බොහෝ ය. මේ අතරින් මූලික වැදගත් කරුණු කීපයක්‌ මෙසේ සඳහන් කළ හැකි ය.


* රුක්‌ රෝපණය - වායු දූෂක අඩු කිරීම සඳහා ගත හැකි වැදගත් පියවරක්‌ වන්නේ රුක්‌ රෝපණයයි. රුක්‌ රෝපණය මඟින් මූලික ව ම වාතයේ තිබෙන කාබන්ඩයොක්‌සයිඩ් වායුව වාතයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙයි. මේ නිසා හැකි තාක්‌ රුක්‌ රෝපණය මඟින් තනි පුද්ගලයන් ලෙස අපට ද වායු දූෂණය අවම කිරීම සඳහා දායක වීමට හැකි ය. මෙය, වන රෝපණය මෙන් ම ගෙවතු හා මාර්ග ආශ්‍රිත ව සිදු කරන රුක්‌ රෝපණය වුව ද විය හැකි ය. එමෙන් ම ශාක මඟින් වාතයේ තිබෙන අංශුමය ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ද ප්‍රයෝජන ලැබෙන බවක්‌ දක්‌වා තිබෙයි.

* කසළ පිරිසිදු කිරීම - කසළ නිසි ලෙස බැහැර කිරීම වායු දූෂණය අවම කිරීම සඳහා ගත හැකි පියවරකි. කැලි කසළ අනිසි ලෙස දහනය කිරීම නිසා කාබන්ඩයොක්‌සයිඩ්, මීතේන්, අංශුමය ද්‍රව්‍ය හා වෙනත් විෂ සහිත ද්‍රව්‍ය වායුගෝලයට එක්‌ විය හැකි ය. මෙවැනි විෂ සහිත ද්‍රව්‍ය අතර පිළිකා වැනි තත්ත්ව ඇති කිරීමට හේතුවන රසායනික සංයෝග, දිගු කල් පවත්නා කාබනික දූෂක (persistent organic pollutants) පවා තිබිය හැකි ය. මේ නිසා වඩාත් වැදගත් වන්නේ කසළ නිසි ලෙස බැහැර කිරීම හා ප්‍රතිභාවිතය, ප්‍රතිචක්‍රීකරණය වැනි කටයුතු සඳහා යොදාගැනීම ය. මෙමඟින් වාතයට එක්‌ වන පරිසර දූෂක අඩු කළ හැකි ය.

* වායු දූෂණය අවම වූ ප්‍රවාහන මාධ්‍ය භාවිතය - මෙය වායු දූෂණය සම්බන්ධ ව, තනි පුද්ගලයන් ලෙස අප සැමට තැබිය හැකි තවත් වැදගත් පියවරකි. මෙහි දී අපගේ එදිනෙදා ප්‍රවාහනය සඳහා යොදාගත හැකි ප්‍රවාහන මාධ්‍ය තෝරාගැනීමේ දී සබුද්ධික වීමේ වැදගත්කම පෙනෙයි. මේ වන විට ඇතැම් රටවල් හා නගර, අඩු කාබන් කලාප, ඇතැම් ප්‍රදේශවල සමහර වාහන වර්ග සීමා කිරීම වැනි පියවර ගෙන තිබෙන්නේ මේ තත්ත්වය නිසා ය. මෙහි දී පුද්ගලයන් ලෙස ගත හැකි පියවර වඩාත් වැදගත් වන්නේ එය වඩාත් ස්‌ථාවර හා ඵලදායී වන බැවිනි. මෙහි දී, වැදගත් කරුණු කිහිපයක්‌ මෙසේ ය.

පොදු ප්‍රවාහන සේවා භාවිතය ඉන් පළමුවැන්න ය. පෞද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් අපගේ වායු දූෂණය අවම කළ හැකි ය. ඒ පෞද්ගලික වාහන භාවිතය අඩු කිරීමෙන් ඒවා මඟින් වාතයට එක්‌ වන වායු දූෂක යම් ප්‍රමාණයකින් අඩු වන නිසා ය. එය හැකි හැම විට ම සිදු කළ හැකි නම් එය වායු දූෂණය අවම කිරීම සඳහා අපට ගත හැකි ඵලදායී පියවරක්‌ වනු ඇත. මේ සඳහා වඩා දියුණු තත්ත්වයක පොදු ප්‍රවාහන සේවාවක්‌ අවශ්‍ය බව සැබෑවකි. එහෙත් පවත්නා තත්ත්ව යටතේ වුව ද ගත හැකි ඇතැම් පියවර පවතී.

පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීම මෙවැනි තවත් පියවරකි. රථවාහන වෙනුවට පාපැදි භාවිතය මෙන් ම පිරිසිදු ඉන්ධන මඟින් ධාවනය වන වාහන ද පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය අතර වෙයි. මේවා හැකි තාක්‌ භාවිත කිරීම වැදගත් වන්නේ ඒවා බොහෝ දුරට අහිතකර වායු විමෝචන අවම වූ ප්‍රවාහන මාධ්‍ය වන නිසා ය. එහෙත් මේ සම්බන්ධව ද යම් යම් සීමා පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් දිවා කාලයේ උෂ්ණත්වය අවම වූ සෞම්‍ය කලාපීය රටවල් මෙන් නො ව අප රට වැනි රටක නාගරික ප්‍රදේශවල හා දිගු දුර ගමන් කිරීම සඳහා දෛනික ව පාපැදි භාවිතය අසීරු ය. එහෙත් කෙටි දුර ප්‍රවාහනය සඳහා පාපැදි යොදාගැනීමට හැකියාව පවතී.



ජගත් පරිසර දිනය - ජුනි 5


ජගත් පරිසර දිනය යෙදෙන්නේ ජුනි මස 5 වන දාටය. 1960 දශකයේ සිට ලෝකයේ රටවල ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබූ පරිසරය සම්බන්ධව විවිධ ගැටලූ ගැන ඒ රටවල ජනතාවගේ හා දේශපාලන නායකයින්ගේ අවධානය යොමු වී තිබිණි. මේ තත්ත්වය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ජගත් මට්ටමේ පරිසර සමුළුවක් 1972 ජුනි මාසයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී පවත්වන ලදි. මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මන්ත‍්‍රණය (United Nations Conference on the Human Environment) නම් වූ මෙම සමුළුව ආරම්භ වූයේ 1972 ජුනි මස 5 වන දිනය.
 
ඉහත පරිසර සමුළුව ආරම්භ වූ දිනය ‘ජගත් පරිසර දිනය’ (World Environment Day) ලෙස සැමරිය යුතු බවට යෝජනාවක් එම වර්ෂයේම දෙසැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සම්මත කරන ලදි. ඒ අනුව මුලින්ම පරිසර දිනයක් සමරන ලද්දේ 1974 වර්ෂයේදීය. 

අද වන විට ජගත් පරිසර දිනය පරිසරය හා සම්බන්ධව තේමාවක් මුල්කරගනිමින් ලෝකය පුරා සමරනු ලබන්නකි. එහි වැදගත්කම වන්නේ අදාළ තේමාව පිළිබඳව මෙන්ම, පොදුවේ පරිසරය සම්බන්ධවද ජගත් මට්ටමින් අවධානය යොමු කරවීමට ඉන් අවස්ථාවක් ලැබීමය.

Sunday, March 31, 2019

ඒජන්ට්‌ ඔරේන්ජ්වල දිගුකාලීන බලපෑම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 13.03.2019, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2019/03/13/feature4.html



ඒජන්ට්‌ ඔරේන්ජ් (Agent Orange) යනු වියට්‌නාම් යුද්ධය නිසා වඩාත් ප්‍රකට වූ රසායනික සංයෝගයකි. 1965 සිට 1972 දක්‌වා වූ කාලයේ දී පැවැති දෙවැනි ඉන්දු-චීන යුද්ධය හෙවත් වියට්‌නාම් යුද්ධයේ දී මේ රසායන ද්‍රව්‍යයෙන් ලීටර් මිලියන අසූවක්‌ පමණ දකුණු වියට්‌නාමයේ දී භාවිත කර ඇත. එම ප්‍රදේශයේ මීකොං ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිත ව පිහිටා තිබූ වර්ෂා වනාන්තර, තෙත්බිම් හා වගා බිම්වලට මේ රසායන ද්‍රව්‍යය ඉසීමට ඇමෙරිකානු හමුදාව පියවර ගත්තේ එහි පිහිටා තිබූ වනවැස්‌ම විනාශ කිරීම සඳහා ය. එහි අරමුණ වූයේ එම වනාන්තරවල සතුරන් සැඟවී සිටි ස්‌ථාන හෙළි කරගැනීම, හමුදා කඳවුරු ආශ්‍රිත වනාන්තර හෙළිපෙහෙළි කර තබාගැනීම හා එසේ ම සතුරාගේ ආහාර සැපයුම අඩාළ කිරීම වැනි කරුණු ය.

එහෙත් ඩයොක්‌සින කාණ්‌ඩයේ නම් රසායන ද්‍රව්‍යයක්‌ මඟින් දූෂිත වූ ඒජන්ට්‌ ඔරේන්ජ් රසායන ද්‍රව්‍යය නිසා වියට්‌නාම ජාතිකයන්ට මෙන් ම ඇමෙරිකානු ජාතිකයන්ට ද හානි පැමිණි බව මේ වන විට ප්‍රකට කරුණකි. එය ලෝකයේ බරපතළ රසායනික විපතක්‌ ලෙස ද සැලකිය හැකි ය.

ඒජන්ට්‌ ඔරේන්ජ්වල බලපෑම පිළිබඳ ව පසුගිය කාලයේ දී විවිධ අධ්‍යයන සිදු කර තිබෙයි. එවැනි අධ්‍යයන අතරින් වැඩි ප්‍රමාණයක්‌ ඒවායේ සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ ව සිදු කරන ලද ඒවා ය. විශේෂයෙන් සම හරහා ඒජන්ට්‌ ඔරේන්ඡ් ශරීරගත වීම තුළ ඇති වන දිගුකාලීන බලපෑම් පිළිබඳ ව ඇමෙරිකානු සොල්දාදුවන් සම්බන්ධ ව මූලික වශයෙන් ඇමෙරිකානු සොල්දාදුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයන විශාල ප්‍රමාණයක්‌ දැකිය හැකි ය. එමඟින් හෙළි වන කරුණු අනුව ඒජන්ට්‌ ඔරේන්ජ් යනු බරපතළ බලපෑමක්‌ සිදු කළ හැකි රසායන ද්‍රව්‍යයක්‌ බව මේ අනුව පැහැදිලි ය.

මේ අතර ඒජන්ට්‌ ඔරේන්ජ් නිසා ඇති වන පාරිසරික බලපෑම් සම්බන්ධ ව කලක්‌ තිස්‌සේ යම් යම් අධ්‍යයන සිදු කරන ලදි. එරට තුළ වර්ග කිලෝ මීටර 31,000ක පමණ වනාන්තර ප්‍රමාණයක්‌ මේ රසායන ද්‍රව්‍යය නිසා කොළ හැළී බෙහෙවින් හායනයට ලක්‌ ව ඇත. ඒවා නැවත වන වගා කිරීම ද ගැටලුසහගත වී තිබෙයි.

පාරිසරික බලපෑම් ගැන අධ්‍යයනයක්‌


ඒජන්ට්‌ ඔරේන්ජ් රසායන ද්‍රව්‍යයේ දිගුකාලීන බලපෑම් පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් ව ඇත. එහි දී වියට්‌නාමයේ ආහාර සැපයීමට අද දක්‌වා ම ඩයොක්‌සින ඇතුළු වන ස්‌ථාන හෙවත් උණුසුම් ස්‌ථාන පිළිබඳ ව අවධානයක්‌ යොමු කර ඇත.

ඒ අනුව අවධානය යොමු කර ඇත්තේ ඒජන්ට්‌ ඔරේන්ජ් ඇතුළත් රසායනික සංයෝගවල කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම් වියට්‌නාමයේ ස්‌වාභාවික සම්පත් සඳහා බලපාන අන්දමයි. එහි දී පස, ජලය, අවසාදිත තැන්පතු, මසුන්, ජලජ ජීවීන් ආහාර සැපයුම හා වියට්‌නාම් ජාතිකයන්ගේ සෞඛ්‍යය වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කර තිබේ.

ඒජන්ට්‌ ඔරේන්ජ් යනු මූලික වශයෙන් වල්පැළෑටිනාශක දෙකක සංයුක්‌තයකි. ඒ 2, 4, D හා 2, 4, 5, ඔ යනුවෙන් හඳුන්වන ඒවා ය. මේ රසායනික සංයෝග සූර්යාලෝකයට නිරාවරණය වූ විට දින කිහිපයක්‌ හෝ සති කිහිපයක්‌ පමණ කාලයකින් විනාශ වී යන ඒවා ය. එහෙත් ඒජන්ට්‌ ඔරේන්ඡ් නිසා ඇති වන පාරිසරික ගැටලුව ඇති වන්නේ මේවා නිසා නො වේ. එම බලපෑම ඇති වන්නේ ඒජන්ට්‌ ඔරේන්ඡ් නිෂ්පාදනයේ දී ඇති වන අතුරුඵලයක්‌ නිසා ය. ඒ ඩයොක්‌සින TCDD යනුවෙන් හඳුන්වනු ලබන රසායනික සංයෝගයයි. මෙය ඩයොක්‌සින රසායනික සංයෝග පවුලේ වඩාත් ම විෂ සහිත රසායනික සංයෝගය ලෙස හැඳින්වෙයි. මේ රසායන ද්‍රව්‍යය පරිසරයට එක්‌ වූ විට ඒවා දශක ගණනක්‌ හෝ ශතවර්ෂ ගණනාවක්‌ හෝ පරිසරයේ පැවතීමට හැකියාව ඇත. මේ වියට්‌නාමයේ සිදු ව ඇති දෙයයි. මේ රසායන ද්‍රව්‍යයේ දිගුකාලීන පැවැත්ම පිළිබඳ ව පැහැදිලි කිරීම සඳහා විවිධ වාර්තා උපයෝගී කරගෙන ඇත (මේ රසායන ද්‍රව්‍ය පිළිබඳ විස්‌තරයක්‌ සටහන යටතේ එයි).

ඩයොක්‌සින සාන්ද්‍රණය වන ආකාරය


වියට්‌නාමයේ ඒජන්ට්‌ ඔරේන්ජ් පිළිබඳ කතාව ආරම්භ වන්නේ 1960 දශකයේ දී මුලින් ම ඉසීම ආරම්භ වීමෙන් පසු ව ය. එම රසායනිකය ශාකවලට හා පත්‍රවලට පතිත වී ඒවා පසට එකතු වෙයි. එමෙන් ම එම රසායන ද්‍රව්‍ය කෙළිsන් ම පසට එකතු වීම ද සිදු වෙයි. ඩයොක්‌සින TCDD ඉන් පසු ව පසේ කාබනික ද්‍රව්‍ය හා එකතු වීම හා පසේ ඇති මැටි අංශු හා බැඳීම ද සිදු විය හැකි ය. එතැන් සිට මේ රසායනික සංයෝගය තැනින් තැනට ගමන් කළ හැකි ය. ජලයේ අපද්‍රව්‍ය සමඟ තෙත්බිම්, වගුරු බිම්, ගංගා, විල් හා පොකුණු ආදියේ මේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වෙයි. ඩයොක්‌සින TCDD මඟින් දූෂිත වී ඇති අවසාදිත තැන්පතු පත්ලේ බුදින්නන් වන මසුන් හා ඉස්‌සන් වැනි ජීවීන් විසින් ආහාරයට ගනු ලැබෙයි. එම රසායනික ද්‍රව්‍ය එමඟින් ආහාර දාමය ඔස්‌සේ ජෛව සාන්ද්‍රණය වෙමින් වියට්‌නාම ජාතිකයන්ගේ ආහාර දාමයට ද එක්‌ වෙයි. මේ ආකාරයෙන් දූෂිත බවට ලක්‌ ව ඇති ජලාශවල මසුන් ඇල්ලීම තහනම් කර ඇති නමුත්, එවැනි තහනම් නීති ක්‍රියාත්මක කිරීම එරට තුළ අකුරට ම සිදු වන්නක්‌ නො වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ වසර 50කට පමණ පසුව පවා ඩයොක්‌සින මිනිසුන්ගේ ආහාර සැපයුමට එකතුවීම ය.

මේ අධ්‍යයනයේ දී ඉහළ ඩයොක්‌සින TCDD මට්‌ටමක්‌ ඇති පැරැණි ඇමෙරිකානු ගුවන් කඳවුරු බිම් දහයක්‌ පමණ හඳුනාගැනීමට ද හැකියාව ලැබී ඇත. ඒවා පිහිටා ඇත්තේ අද වන විට මිලියන ගණනාවක්‌ වියට්‌නාම ජාතිකයන් පිරිසක්‌ වාසය කරන නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලට ආසන්න ව ය. මේ නිසා ඇති විය හැකි අවදානම ගැන ද යම් අදහසක්‌ ලබාගත හැකි ය. මේ අතරින් වඩාත් අනතුරුදායක ස්‌ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ බියෙන් හොආ (Bien Hoa) නම් ගුවන් කඳවුර ය. එම කඳවුර වනාහි 1970 වර්ෂයේ දී ඒජන්ට්‌ ඔරේන්ජ් ඉසීම නවත්වා දැමීමට ඇමෙරිකාව තීරණය කළ පසු වියට්‌නාමයේ ඒ වන විට ඉතිරි ව තිබූ ඒජන්ට්‌ ඔරේන්ජ් බැරල් එකතු කර රඳවාගැනීමට පියවර ගත් ස්‌ථානයයි. ඒවා පෙර සැකසුමකින් පසුව පැසිෆික්‌ සාගරයේ පිහිටා තිබූ ජොන්ස්‌ටන් දූපතට ප්‍රවාහනය කරන ලද අතර, ඒවා 1977 දී මුහුදේ දී පුළුස්‌සා විනාශ කරන ලදි.

මේ පර්යේෂකයන් ස්‌වකීය අධ්‍යයනය මත පදනම් ව පෙන්වා දෙන පරිදි මේ ඩයොක්‌සින මඟින් දූෂිත වී ඇති පස්‌ සහ අවසාදිත තැන්පතු විනාශ කිරීම සඳහා සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ ඒවා පුළුස්‌සා දැමීම ය. ඒ වියට්‌නාමයේ දූෂිත වී ඇති ගුවන් තොටුපොළ කඳවුරු ආශ්‍රිත ප්‍රදේශවල ය. එය මේ සඳහා ගත හැකි වඩාත් වියදම් අධික ම පියවර විය හැකි වුවත්, එය බිම් පිරවුමක හෝ තාවකාලික තැන්පත් කිරීමට වඩා ස්‌ථිර විසඳුමක්‌ වෙයි.


ඒජන්ට්‌ ඔරේන්ජ්


මේ රසායනික ද්‍රව්‍යය සමන්විත වන්නේ මූලික වශයෙන් වල්පැළෑටිනාශක දෙකකිනි. ඒ 2, 4 -D ලෙස ප්‍රකට 2, 4 - ඩය්ක්‌ලෝරො පීනොක්‌සිඇසිටික්‌ අම්ලය (2, 4 - dichloro phenoxyacetic acid) 2, 4, 5 -T ලෙසින් දන්නා 2, 4, 5 - ට්‍රයික්‌ලෝරො පීනොක්‌සිඇසිටික්‌ අම්ලය (2, 4, 5 - trichloro phenoxyacetic acid) යන වල්පැළෑටිනාශක දෙකයි. මේ රසායනික දියුණු කරන ලද්දේ 1940 දශකයේ මැද භාගයේ දී පමණ ය.

එසේ ම 2, 4, 5 -T නිෂ්පාදන ක්‍රියාවලියේ දී යොදාගන්නා අධිවේගී දහන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස ජනනය වන අතුරුඵලයක්‌ වන්නේ 2, 3, 7, 8 -ටෙට්‍රාක්‌ලෝරොඩයිබෙන්සොඩයොක්‌සින් (2, 3, 7, 8 - tetrachlorodibenzodioxin) හෙවත් TCDD ලෙස හඳුන්වනු ලබන අතිශය විෂ සහිත ද්‍රව්‍යයයි. මෙය මේදයෙහි දිය වන බැවින් ශරීරගත වූ පසුව ආහාර දාමය ඔස්‌සේ සාන්ද්‍රණය වීම සිදු වෙයි.

මේ තත්ත්වය නිසා 2, 4, 5 -T නිෂ්පාදනය කිරීම 1980 දශකයේ පටන් ලෝකයේ බොහෝ රටවල නවතා දමා ඇත. එහෙත් 2, 4 -D නිෂ්පාදනය හා භාවිතය තවමත් සිදු කරනු ලැබෙයි.

මූලාශ්‍රය ( Open Journal of Soil Science, DOI: 10.4236/ojss.2019.91001)

Wednesday, February 20, 2019

ඒ කියන්නෙ තුන පහු වෙලාද? (බස් කථා 9)

​ගෙවල් ළඟින් බසයකට නැග දොර අසලම අසුනේ හිඳගතිමි

"වෙලාව කීයද?" එහා පැත්තේ හිඳ සිටි තරුණිය විමසුවාය.

"හතරයි" ඒ මගේ උත්තරය.

"ඒ කියන්නෙ තුන පහු වෙලාද?" ඇගෙන් තවත් පැනයක්. ඒ ප්‍රශ්නය නිසා මම ඇගේ මුහුණ බැලුවේ 3 හා 4 තේරුම්ගත නොහැකි කෙනා බලන්නටය.

ඒ සිතිවිල්ල ගැන මට සැණෙකින් කණගාටුවක් ඇතිවිය. ඈ බුද්ධි වර්ධනයේ ගැටලු සහිත තරුණියකි. මේ මාර්ගයේ එවැනි ළමුන් හා තරුණ තරුණියන් යනු නිතර මම දැක ඇත්තෙමි. එවැනි අය සඳහා වූ පාසලක් අවට තැනක ඇති බව නිලඇඳුම් ලාගත් ළමුන්ගෙන් පෙනිණි.

මේ අය ඇතැම් කරුණු වටහාගත නොහැකි අයයි. ඔවුන් බොහෝවිට ගමන් යන්නේ ඥාතියෙකු සමගය. මේ තරුණියද කිසිවෙකු හා පැමිණ ඇතිවා ද විය හැකිය.

මේ අප සමාජයේ වෙසෙන අපේ අවධානය හා සහාය අවශ්‍ය පිරිසකි.

Tuesday, November 6, 2018

චීනයේ අපද්‍රව්‍ය ආනයන තහනම නිසා ලෝකය වෙනස්‌ වන හැටි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 31.10.2018, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2018/10/31/feature1.html


පසුගිය වර්ෂයේ දී චීන රජය එරටට ආනයනය කරනු ලබන ඇතැම් පසුභාවිත අපද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කළේ ය. 1980 දශකයේ පමණ සිට චීනය ප්ලාස්‌ටික්‌ ඇතුළු ද්විතීයික අමුද්‍රව්‍ය හෙවත් භාවිත කරන ලද ද්‍රව්‍ය ආනයනය කිරීමේ යෙදී සිටියේ ය. ඒවා යොදාගන්නා ලද්දේ ප්‍රතිචක්‍රීකරණය මඟින් විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි දේ ලබාගැනීම සඳහා ය. එමඟින් සම්පත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ආනයනය කරන රටවල් අතර මුල් තැන චීනයට හිමි විය. සංඛ්‍යාලේඛන ආශ්‍රිත ව දක්‌වන්නේ නම්, 1992 වර්ෂයේ සිට 2016 දක්‌වා ගත වූ කාලයේ දී ලෝකයේ එක්‌ රටකින් තවත් රටකට අපනයනය කරන ලද ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතරන් 45%ක්‌ පමණ ආනයනය කර ඇත්තේ චීනයයි.

කෙසේ වෙතත් 2017 වර්ෂයේ දී චීන රජය තීරණය කළේ කාර්මික නො වන අපද්‍රව්‍ය වර්ග ගණනාවක්‌ ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ය. පාරිසරික හේතු සඳහන් කරමින් ප්‍රකාශයට පත් කරන ලද මේ තහනම අදාළ වූයේ විවිධ ද්‍රව්‍ය 24ක්‌ වැනි ප්‍රමාණයක ය. ඊට ප්ලාස්‌ටික්‌ කාණ්‌ඩ කිහිපයක්‌ හා කඩදාසි වැනි වර්ග ගණනාවක්‌ අයත් විය. එය ක්‍රියාත්මක වූයේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් 31 පමණ පටන් ය. කෙසේ වෙතත් ඇතැම් වාර්තාවකට අනුව චීනයේ අරමුණ වන්නේ එරට තුළ නිපදවෙන අපද්‍රව්‍ය එරට තුළ ම භාවිත කිරීම ය. එසේ ම එය ආරක්‌ෂණවාදී පියවරක්‌ ලෙස හඳුන්වා දී තිබෙයි.

යළිත් 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ පමණ ඝන අපද්‍රව්‍ය ලෙස සඳහන් කරන අපද්‍රව්‍ය වර්ග 32ක්‌ ආනයනය කිරීම තහනම් කළේ ය. මේ යටතේ වර්ග 16ක්‌ පමණ මේ වර්ෂයේ දෙසැම්බර් 31 දින සිට ද, තවත් වර්ග 16 ක්‌ 2019 දෙසැම්බර් අග භාගයේ පමණ සිට ද එරටට ආනයනය කිරීම තහනම් කරනු ලැබෙනු ඇත. මේ වර්ග අතරට ප්ලාස්‌ටික්‌ වර්ග කිහිපයක්‌ පමණක්‌ නො ව දැවමය ද්‍රව්‍ය හා ලෝහමය අපද්‍රව්‍ය ද ඇතුළත් වේ.

මේ පිළිබඳ ව ලෝකයේ අවධානය යොමු වූයේ මෙසේ චීනය ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ආනයනය සීමා කිරීමත් ඒ හා සමඟ ලෝකයේ එකතු වන අපද්‍රව්‍යවලට කුමක්‌ සිදු වන්නේ ද යන ප්‍රශ්නය නිසා ය.

ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය


ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය කිරීම මෑත කාලයේ ඉතා වේගයෙන් වර්ධනය වූවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 1950 වර්ෂයේ දී ටොන් මිලියන 2ක්‌ පමණක්‌ වූ සමස්‌ත ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය 2015 වර්ෂය වන විට ටොන් මිලියන 322ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. ප්ලාස්‌ටික්‌වල දැකිය හැකි විවිධ භාවිත කිරීම් නිසා එය අද දවසේ ලෝකයට අත්‍යවශ්‍ය දෙයක්‌ බවට පත් ව ඇත. එසේ ම ලෝකයේ ප්ලාස්‌ටික්‌ අතරින් 40%ක්‌ පමණ භාවිත කරනු ලබන්නේ ආවරණ හෙවත් පැකේජින් ද්‍රව්‍ය ලෙස වීම මෙහි ඇති වැදගත්කම මෙන් ම ඉවත දමන ප්‍රමාණය ද පෙන්වයි. එසේ ම එක්‌ වරක්‌ පමණක්‌ භාවිතයට ගැනීමෙන් පසුව ඉවත ලන ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය අධික වීම නිසා එය අපද්‍රව්‍ය ජනනයට හේතු වී ඇත.

ලෝකයේ රටවල් ගණනාවක්‌ මේ ගැටලුවට මුහුණ දී සිටියි. ඒ සඳහා බොහෝ රටවල් ගත් පියවරක්‌ වූයේ තම රටේ ජනනය වන අපද්‍රව්‍ය වෙනත් රටකට අපනයනය කිරීම ය. ප්ලාස්‌ටික්‌ හා සෙසු අපද්‍රව්‍ය අපනයනය කරන රටවල් අතර මුලින් ම පසු වන්නේ ඉහළ ආදායම් ලබන රටවල් ය. එසේ මෙවැනි ද්‍රව්‍ය ආනයනය කරන්නේ දිළිඳු රටවල් වීම වැදගත් ය. එම රටවල දී එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර යළිත් භාවිතයට ගත හැකි දේ ලබාගැනෙයි. එම ක්‍රියාවලිය රැකියා අවස්‌ථා ජනනය කර ආර්ථික වශයෙන් ඵලදායී වී ඇති නමුත් ඒ නිසා ඇතැම් රටක මානව සෞඛ්‍යයට හා පරිසරයට බලපෑම් සිදු කර ඇත.

දැන් චීනය ගෙන ඇති පියවර හේතුවෙන් මෙහි කිසියම් ආකාරයක අර්බුදයක්‌ ඇති කර තිබෙයි. එක්‌ ගණනය කිරීමකට අනුව, චීනය ක්‍රියාත්මක කර ඇති තහනම නිසා 2030 වර්ෂය වන විට ප්ලාස්‌ටික්‌ ටොන් මිලියන 111ක්‌ පමණ ප්‍රමාණයකට සිදු වන්නේ කුමක්‌ ද යන ගැටලුව ඇති වේ. එතෙක්‌ කල් නො ගිය ද, තම රටවල ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍යවලට සිදු කරන්නේ කුමක්‌ ද යන්න සිතා බැලීමට රටවල් ගණනාවකට මේ වන විට ද සිදු වී ඇත. විශේෂයෙන් 2018 ජනවාරි මස එම තහනම ක්‍රියාත්මක වීමත් සමඟ තත්ත්වය කෙතරම් බරපතළ වූවක්‌ ද යන්න පැහැදිලි වී ඇත.

චීනයේ තීරණයෙන් ඇති වූ බලපෑම


පළමු ව සිදුව ඇත්තේ අපද්‍රව්‍ය එකතු කරන ස්‌ථාන අපද්‍රව්‍යවලින් පිරී යැමට පටන්ගැනීම ය. එම රටවල මෙවැනි දේ ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු වන නමුත්, අපනයනය කිරීම නැවතීම නිසා ඒ රටවල ප්‍රතිචක්‍රීකරණ ධාරිතාව ඉක්‌මවා යැම ඉක්‌මනින් වාර්තා විය.

පසුගිය දා වාර්තා වූ පරිදි ජපානයේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු වීම ගැටලුවක්‌ වී ඇත. ජපානයේ එකතු වන ටොන් මිලයන 1.5ක්‌ පමණ වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතරින් අඩක්‌ පමණ එරටින් වෙනත් රටවලට අපනයනය කර ඇත. දැන් මේ ප්‍රමාණය රට තුළ එකතු වීමෙන් ප්‍රශ්න මතු වී ඇත. එරට පළාත් පාලන ආයතන අතරින් රැසක්‌ ම මේ ප්ලාස්‌ටික්‌ බැහැර කිරීම සඳහා ස්‌ථාන නොමැති වීමේ ගැටලුවට මුහුණ පා ඇත. එරට ප්‍රතිචක්‍රීකරණයේ යෙදෙන ආයතනවල ධාරිතාව ඉක්‌මවා ලීම මේ ගැටලුවට හේතුව වී ඇත. මේ වන විට ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය සැකසුම් කටයුතු දේශීය ව සිදු කිරීමේ හැකියාව දියුණු කිරීමට එරට අපේක්‌ෂා කරයි.

මේ නව තත්ත්වය හමුවේ රටවල් කිහිපයක්‌ කඩිනම් සැලසුම් දියත් කර ඇත. මේ වර්ෂයේ ජනවාරි මස බ්‍රිතාන්‍යයේ අගමැතිනිය පවසා තිබුණේ වසර 25ක්‌ ඇතුළත වැළැක්‌විය හැකි අපද්‍රව්‍ය නැවැත්වීම සඳහා පියවර ගන්නා බවයි. එරට තුළ ජනනය වන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය අතරෙන් තුනෙන් දෙකක්‌ පමණ බ්‍රිතාන්‍යය අපනයනය කළේ ය.

යුරෝපා සංගමය ද වරක්‌ පමණක්‌ භාවිත කරන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන තහනම් කිරීමේ යෝජනාවක්‌ පසුගිය මැයි මාසයේ පමණ ද ප්‍රකාශයට පත් කරන ලදි. එයට අනුව විකල්ප ලෙස භාවිත කළ හැකි ද්‍රව්‍ය ඇති අවස්‌ථාවල දී වරක්‌ පමණක්‌ භාවිත කරන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන භාවිතය තහනම් කිරීමට හා එසේ නොමැති අවස්‌ථාවල දී භාවිතය සීමා කිරීමට ද යෝජනා කර ඇත. කෙසේ වෙතත් අදාළ ක්‍රමවේදය තුළ මේ යෝජනාව සම්මත ව නීතියක්‌ බවට පත් වන්නට වසර කිහිපයක කාලයක්‌ ගත විය හැකි ය. පසුගිය සතියේ එම යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එසේ ම ඊට පෙර යුරෝපා සංගමය මඟින් ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය සඳහා උපායමාර්ගයක්‌ ද දියත් කරන ලදි.

මේ තහනම පිළිබඳ ව අදහස්‌ පළ කළ ඇමෙරිකාව චීනයෙන් ඉල්ලා තිබුණේ එය නැවත සලකා බලන මෙන් ය. ඒ මේ වර්ෂයේ මුල් භාගයේ ය. එය ඇමෙරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධයක්‌ බවට ද පත්වෙමින් තිබූ බවක්‌ දැකිය හැකි විය.

විසඳුමක්‌ සොයා


මේ සඳහා විසඳුම් ලෙස වෙනත් රටවලට එම ද්‍රව්‍ය අපනයනය කිරීම දක්‌වා ඇතත්, තවත් රටවල් චීනය ගත් පියවර හා සමාන පියවර ගැනීම පිළිබඳව ද අසන්නට ලැබෙයි. ප්ලාස්‌ටික්‌ හා වෙනත් ඝන අපදව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ආනයනය කරන තවත් රටවල ද මේ හා සමාන ගැටලු තිබෙයි. මේ මාසය මුල ද මලයාසියාව ද මෙවැනි අපද්‍රව්‍ය ආනයනය සඳහා මාස තුනක තහනමක්‌ පනවා ඇත. මලයාසියාව ලෝකයේ දියුණු රටවල ප්ලාස්‌ටික්‌ කසළ බඳුන වීමට අපේක්‌ෂා නො කරන බව එරට විද්‍යා, තාක්‌ෂණ, පරිසර හා දේශගුණ වෙනස්‌වීම පිළිබඳ අමාත්‍යවරයා පවසා තිබෙයි. වියට්‌නාමය ද තාවකාලික ආනයන තහනමක්‌ පනවා ඇති බවක්‌ වාර්තා වෙයි. තායිලන්තය 2021 වර්ෂයේ සිට ආනයන තහනම් කිරීම සඳහා පියවර ගන්නා බවක්‌ සඳහන් කර ඇත. මේ රටවල් තුනේ සීමා කිරීම වඩාත් බලපානු ඇත්තේ එම රටවලට සිය ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අපනයනය කරන ඇමෙරිකාවට ය.

අනෙක්‌ අතට මේ ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලියෙහි යෙදෙන ඇතැම් රටවල එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා අවශ්‍ය ආරක්‌ෂිත තත්ත්ව නොමැති විය හැකි ය. එය එම රටවල ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳ ව ගැටලු ඇති කරන්නකි.

මෑතක ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙන්වා ඇත්තේ මේ තත්ත්වය අනුව ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍ය සම්බන්ධයෙන් එම ප්‍රමාණය අඩු කිරීම සඳහා අවශ්‍ය අදහස්‌ හා ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව ය. මෙහි දී අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන ලෙස ඇතැම් ද්‍රව්‍ය නැවත සකස්‌ කිරීම වැනි පියවර අවශ්‍ය විය හැකි ය.

අවසානයේ දී පෙනෙන්නේ චීනයේ ඉහත කී අපද්‍රව්‍ය ආනයන සීමා කිරීම ලෝකයට යම් කිසි ආකාරයකින් වෙස්‌වලාගත් ආශිර්වාදයක්‌ වී ඇති බවයි. එයට හේතුව ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය මෙන් ම සබුද්ධික ආකාරයෙන් ප්ලාස්‌ටික්‌ හා සෙසු ද්‍රව්‍ය භාවිතය වේගවත් වීමට අවස්‌ථාවක්‌ සැලසීම ය. මෙය ප්ලාස්‌ටික්‌ පරිසර දූෂණය පිළිබඳ සෙසු බලපෑම් සමඟ ගත් විට සාධනීය ප්‍රතිඵල අත්පත් කරමින් ඇති බව පෙනේ.

http://www.vidusara.com/2018/10/31/feature1.html