Wednesday, April 28, 2021

ලෝකය බේරාගැනීම සඳහා නිර්මාංශ ආහාර

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 28.04.2021, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2021/04/28/feature2.html





මිනිසුන්ගේ ආහාර වේලට එක්කරන මාංශමය ආහාරවල පරිසර බලපෑම බොහෝ කලක සිට සාකච්ඡාවට ලක් වී ඇති කරුණකි. විශේෂයෙන්, විවිධ මස්වර්ග නිෂ්පාදනයේ දී ඒ සඳහා වැය වන ජලය, අවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය වැනි විවිධ කරුණු මගින් මස් නිෂ්පාදනවල පරිසර පියසටහන අධික බව තහවුරු වී තිබිණි.

මෙවැනි 2018 වර්ෂයේ දී සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබුනේ, මස් හා කිරි නිෂ්පාදනය සිදුනොකරන්නේ නම් ලෝකයේ පවත්නා ගොවි බිම් ප්‍රමාණය 75%කින් පමණ අඩු කළ හැකි බවයි. එම ගොවි බිම් ප්‍රමාණය ඇමරිකාව, චීනය, යුරෝපා සංගමය හා ඔස්ට්‍රේලියාව යන සමස්ත භූමි ප්‍රදේශයට සමානය. ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වෙන් කර ඇති බිම් ප්‍රමාණය ගැන අපට අදහසක් ලබා ගත හැකිය. එහෙත් ගොවි බිම් ප්‍රමාණය එසේ අඩු කළ ද ලෝක වාසීන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර සැපයීමට හැකියාව පවතී. එමෙන්ම ඒ සඳහා වැය වන සෙසු සම්පත් ප්‍රමාණය ද ගත් විට මෙය පාරිසරික වශයෙන් වැදගත්ය. උක්ත පර්යේෂකයන් පෙන්වා දී තිබුනේ මස් හා කිරි ආහාරවලින් වැලකීමෙන් අපේ පරිසර බලපෑම අඩු කරගත හැකි තනි විශාලතම ක්‍රමය ලෙසයි. එම අධ්‍යයනය හඳුන්වා දී තිබුනේ ගොවිපොළ මගින් පරිසරයට සිදුවන බලපෑම ගැන සිදුකරන ලද වඩාත් සවිස්තර වූ අධ්‍යයනයක් ලෙසය. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.aaq0216)


සත්ත්ව ආහාර නිෂ්පාදනය සම්බන්ධව අපේ රටේ ද අපි මේ සමහර ගැටලු දකිමු. ගොවිපොළ සතුන්ට ප්‍රමාණවත් තරම් තණ බිම් නොමැති වීම නිසා ස්වාභාවික පරිසර පද්ධති මෙන්ම ආරක්ෂිත ප්‍රදේශ ද ඒ සඳහා යොදා ගැනෙයි. එබැවින් ආරක්ෂිත ප්‍රදේශ මෙන්ම වනජීවීන්ගේ පැවැත්මට ද මේ නිසා අවදානමක් ඇති වී ඇත. එසේම මෙවැනි අවස්ථාවලදී ඇතැම් විට පරිසර ප්‍රතිපත්ති හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති ගැටේ.


නිර්මාංශ වීම හා හරිතාගාර වායු විමෝචන


ලෝකයේ සියලු දෙනා හෝ වැඩි දෙනා නිර්මාංශ ආහාර රටාවකට යොමු වුවහොත් එමගින් පරිසරය රැකගත හැකිද? එහි යම් සත්‍යයක් ඇත. මස් ආහාරවල පරිසර සලකුණට බලපාන එක් අංගයක් වන්නේ එහි මස් නිෂ්පාදනයේ හරිතාගාර වායු විමෝචනය. නිර්මාංශ ආහාරයට යොමු වීමෙන් හෝ මස් හා කිරි ආහාර අඩු කිරීම මගින් පුද්ලයෙකුගේ, රටක මෙන්ම ලෝකයේ ද හරිතාගාර වායු විමෝචන අඩු කරගැනීමට හැකියාව ඇත.

එක්සත් රාජධානිය පාදක කරගනිමින් කරන ලද 2012 වර්ෂයේ පළ වූ එක් අධ්‍යයනයක දී මේ සම්බන්ධ ප්‍රමාණාත්මක අදහසක් ලැබී ඇත. එහි දී මස් ආහාර ගන්නා ප්‍රමාණය අනුව කොටස් පහකට බෙදන ලද පාරිභෝගික නියැදියක, වැඩිම මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා ඉහළම කොටස හා අඩුම මස් ප්‍රමාණයක් ආහාරයට ගන්නා පහළම කොටස ගැන සංසන්දනය කර ඇත. ඒ අනුව ඉහළම කණ්ඩායම පහළම කණ්ඩායමට වඩා 2.5 ගුණයක් වැඩි මස් ප්‍රමාණයක් ආහාරයට ගෙන තිබෙයි. ඒ අනුව ඊට අදාළ හරිතාගාර වායු විමෝචන සැලකිල්ලට ගැනීමෙන් මස් ආහාරයට ගැනීම අඩු කිරීමෙන් ඒක පුද්ගල හරිතාගාර වායු ප්‍රමාණය 3%කින් පමණ අඩු කිරීමට හැකි බව පෙන්වා දී තිබෙයි. එසේ එක් පුද්ගලයෙකුට වසරකට අඩු වන හරිතාගාර වායු ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් ටොන් 0.45ක් පමණ වේ. (මූලාශ්‍රය - BMJ Open, DOI: 10.1136/bmjopen-2012-001072)

ලෝකයේ ඒක පුද්ගල ගව මස් පරිභෝජනය අතින් දෙවැනි තැන සිටින ආර්ජන්ටිනාවේ සිදුකරන ලද 2018 දී පළ වූ අධ්‍යයනයක දී ද මස් ආහාර අඩු කිරීමෙන් අඩු කළ හැකි හරිතාගාර වායු විමෝචන ගැන කරුණු හෙළි වී ඇත. වර්තමානයේ එරට දැකිය හැකි ආහාර රටාව අනුව, ආහාර හා සම්බන්ධ ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචන අධිකය. එරට එක් වැසියෙකු එක් දිනකට ලබාගන්නා ආහාරවල හරිතාගාර වායු ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 5.48කට සමාන වේ. එයින් 71%ක් පමණ ගව මස් නිසාය. ඔවුන් දිනකට මස් පරිභෝජනය කරන ප්‍රමාණය 50%කින් අඩු කළ හැකි නම්, ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, කිලෝග්‍රෑම් 3.95ක් දක්වා හෙවත් 28%කින් අඩු කළ හැකිය. එමෙන්ම සෞඛ්‍යමත් හා සමතුලිත ආහාර වේලක් පවත්වා ගනිමින් තවදුරටත් ආහාර හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචන අඩු කළ හැකිය. එළවළු පමණක් ආහාර ගන්නා පුද්ගලයෙකුගේ දෛනික හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය කිලෝග්‍රෑම් 1.47ක් තරම් අඩුය. (මූලාශ්‍රය - Food Policy, DOI: 10.1016/j.foodpol.2018.05.003)


ශාකමය ආහාර සඳහා පෙළඹවීමක් තිබේද?


එහෙත් මේ ආකාරයෙන් ශාකමය ආහාර හෙවත් නිර්මාංශ ආහාර සඳහා වැඩි වශයෙන් යොමු වීම පරිසර හිතකාමී වුව ද ඒ සඳහා සමාජයේ කැපී පෙනෙන පෙළඹවීමක් දැකිය නොහැක. මෙය බොහෝ රටවල දැකිය හැකි ඇති ගැටලුවකි. එසේම ලෝකයේ සිදුවන්නේ ඊට වඩා වෙනස් දෙයකි. නිදසුනක් ලෙස ආර්ථික දියුණුයත් සමඟ බොහෝ රටවල මධ්‍යම පාංතික පිරිස් වැඩි වැඩියෙන් මස් ඇතුළත් ආහාරවලට යොමු වී සිටිති. නිදසුනක් ලෙස චීනය හා ඉන්දියාව වැනි රටවල් දැක්විය හැකිය. බටහිර පන්නයේ මේ ආහාර රටාව සෙසු ලෝකයට ද ව්‍යාප්ත වී ඇත.

මේ පිළිබඳව පසුගිය දා ද ගාඩියන් වෙබ් අඩවියට අදහස් දැක්වූ විද්‍යාඥයන් හා තවත් පිරිසක් පෙන්වා දී තිබුනේ ආහාර රටාවේ පැමැදිලි වෙනස් කිරීමක් සඳහා ලෝකයේ දේශපාලන නායකත්වය විසින් ඒ සඳහා අවශ්‍ය සහන හා ලබා දිය යුතු බවයි. විශේෂයෙන් කාබන් අධිකව විමෝචනය කරන ආහාරවල මිලට කාබන් සඳහා වූ බදු නියම කිරීම මගින් ඒවායේ කාබන් පියසටහන පෙන්වා දිය හැකිය. එසේම හරිතාගාර වායු විමෝචන අඩු හා විමෝචන ඉවත් කිරීමට දායක වන ආහාර හා නිෂ්පාදනවලට සහන හා දිරිගැන්වීම් ලබා දිය හැකිය. එවැනි කරුණු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මැදිහත්වීම් රාජ්‍ය පැත්තෙන් සිදුවිය යුතු බව මේ අයගේ අදහසයි. එසේම සඳහා රාජ්‍යයන්, සමාගම් මගින් මේ ආරම්භය ලැබිය යුතු වෙයි.

මෙමගින් අපේකෂිත වෙනස්කම් ගැන ද අදහසක් මෙහි දී ලබා දී ඇත. එක්සත් රාජධානිය විසින් ඇති කරගෙන තිබෙන නව විමෝචන ඉලක්කය වන්නේ 2035 වර්ෂය වන විට 1990 වර්ෂයේ පැවති විමෝචන මට්ටමෙන් 78%ක් දක්වා විමෝචන අඩු කිරීමය. එම ඉලක්කය අත්පත් කරගැනීමට නම් ජනතාව තම ජීවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු කරගත යුතු බව එක්සත් රාජධානියේ වාණිජ ලේකම්, තමන් ද සම්පූර්ණ නිර්මාංශ ආහාරයක් පිළිබඳ සලකා බලමින් සිටින බව කියා තිබිණි.


මස් ආහාර සම්පූර්ණයෙන්ම නතර කළ යුතුද?


ඇත්තෙන්ම කළ යුත්තේ මස් හා කිරි වැනි ආහාර සම්පූර්ණයෙන් නතර කිරීම නොවේ. එය අසීරු විය හැකිය. ලෝකයේ විවිධ ප්‍රදේශවල ස්වාභාවිකව දැකිය හැකි ආහාර වෙනස් වන නිසාය. එසේ නම් කළ යුතු වන්නේ අපේ ආහාරවේලේ ඇති මස් ආහාර ප්‍රමාණය අඩු කිරීමය. එසේ අඩු කිරීමෙන් හරිතාගාර වායු විමෝචන අඩු කළ හැකි බව පෙනෙයි. එසේම මානව පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ද ඉන් පුළුවන.

අප ඉහත සාකච්ඡා කළේ ආහාර වේලේ මස් ප්‍රමාණය අඩු කිරීමෙන් ලබාගත හැකි පාරිසරික යහපත සම්බන්ධවය. මේ අතරින් වැඩි අවධානයකට ලක්වූයේ හරිතාගාර වායු විමෝචනය. කෙසේ වෙතත් තවත් බොහෝ පාරිසරික බලපෑම් කෘෂිකර්මට ආශ්‍රිතව පවතී. නිදසුනක් ලෙස ගත්විය, කාබන් තිරකිරීම, පස ආම්ලිකකරණය වීම, ජලයේ ගුණාත්මක භාවය හා පරිසර පද්ධති සේවා මේ අතර වෙයි.

එසේම මේ නිසා ලැබෙන, සෞඛ්‍යමය යහපත සම්බන්ධව අවධානය යොමු කළ විට මාංශ ආහාරය අඩු කිරීම ඵලදායී බවක් පෙනෙයි. ඒ අනුව පරිසරය හා සෞඛ්‍යය යන දෙකම වෙනුවෙන් අපේ ආහාර රටාවේ වෙනස්කම් සිදුවිය යුතු බව බව පෙනෙයි.

No comments:

Post a Comment