Tuesday, April 13, 2021

“වැස්ස නුඹ වගේ”

ධනේෂ් විසුම්පෙරුම

13.04.2021


වැස්ස දිහා බලන් ඉන්න මම හැමදාමත් ආසයි.


පිටිපන දී දුටු වැස්සක්

වැස්ස ගැන කතා කළ නිසා "මෙහේ හොඳටම වහිනවා" කියලා අයෙක් එවූ පණිවුඩයක තිබ්බා. එතකොටත් මම හිටියේ වැස්ස පොළොවට වැටිල එන සුවඳ විඳිමින්. අපට එතරම් තද වැස්සක් නොතිබුනත් පොළොව තෙමෙන වැස්සක් වැටුණා. ගෙවල්වල වහල හා සිමෙන්තිත්, පාරෙ කොන්ක්‍රීට් හා කැටගල් අතර ඇති සීමිත පසට වැස්ස වැටිලා ඒ නැවුම් සුවඳ පැමිණෙමින් තිබුනා.

ඒ වැස්ස පොළොව ඉල්ලා සිටින එකක්. අපි මොනතරම් වතුර දැම්මත්, ගෙවත්තේ ගහකොළවලටත් දැනෙන්නෙ මේ වැස්සට වැටෙන වතුරයි. පාරෙ බිඳුණු තැන්වල වැවෙන වල් පැළත් දළු දමා වැඩෙන්නෙ එතකොටයි.

ඊයේ, එනම් අප්‍රේල් 12 දා, තමයි මෙවර බක් මාසය ආරම්භ උනේ. මද අකුණු ගැසීමකුත් එක්ක අපට ආපසු වහින්න ගත්තෙත් ඒ සමඟයි. "බක්මහ වැස්ස" නැත්තං “බක්මහ අකුණු” කියන වචනෙට ගැලපෙන්නම වැඩේ පටන් අරගත්තා.


වැස්ස දිහා බලන් ඉද්දි බොහෝ දේ සිහිපත් වෙනවා.


පොඩි කාලෙ මහ වැස්ස වැටෙනකොට වහලෙන් හෝ පීල්ල කෙරවරකින් වැටෙන වතුර පාරට ඔළුව අල්ලගෙන නාපු හැටි මතක් වෙනවා. “ඉදලා ඉදලා වැටෙන වැස්සෙ නාන්න එපා” කියන එක අහන්නැතිව වැස්සේ නාන්න ගිහින් තාත්තගෙන් ගුටි කාපු වෙලාවලුත් තිබ්බා. දැනුත් ඉඳහිට එහෙම නාන වෙලාවල් නැත්තෙ නෑ. ඒක වෙනම වැඩක්. එහෙම නානකොට දමට දැනුණෙ ගමේ පීල්ලකින් වැටෙන වතුරෙන් අපි නාපු හැටි. දැරණියගල අපේ අම්මලාගෙ ඉඩම කෙලවර ආණ්ඩුවෙ රබර්වත්ත තිබූ කන්දෙ ගල්තලාවක් යටින් මතුවන දියබුබුලක් තිබුණා. ඒකට කිතුල් කඳක් කපා දමා පීල්ලක් සම්බන්ධ කරලා අපූරු නාන්න තැනක් සකසා තිබුණා. එතනින් පොඩි ඇලක් පටන්ගත් බවයි මතක. ඒත් දැන් ඒ පීල්ල එතන නැති බවක් මෑතදි ගිය වෙලාවෙ දැනගන්න ලැබුනා. ආයෙ ගියාම යන්න ඕන එතනට.

පුංචි කාලෙ වැහි වතුරේ කඩදාසි බෝට්ටු යවපු හැටි මතකයි. ගෙදර වහළෙන් වැටෙන වැහි වතුරේ වගේම මිදුලේ කලාගෙන යන වතුරෙත් බෝට්ටු යැව්වා. මහන්සි වෙලා ආසාවෙන් හදපු බෝට්ටු වතුර පාර දිගේ පාවෙලා ඈතට යනවා බලන් හිටියෙ සතුටින් වගේම දුකකින් වෙන්න ඕන - එදා ඒ හැඟීම් වෙන්කරලා තේරුම් ගත්ත හැටි මතක නෑ. කොහොම උනත් වැස්සේ බෝට්ටු යැවීම නං මෑත කාලදිත් කළ දෙයක්, ඒ ඉතිං පොඩි දරුවොත් එක්ක. ඉස්සර කඩදාසි බෝට්ටු යැව්වට දැන් හිටි ගමන් කාඩ්බෝඩ් බෝට්ටුත් හදනවා.

ඒ වගේම මට තියන පරණම සිදුවීමක් තමයි අපි මාතර ගොඩගම ගෙදරක හිටපු කාලෙ තාත්තා මාව දාගෙන ගංවතුරේ ඔරු පැද්ද හැටි. හීනයක් වගේ මත ඒ සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු දෙකක් තුනක් වෙන්න ඕන. තාත්තා එදා අම්මගෙන් සෑහෙන බැනුම් ඇහුවලු (මේක වෙනම ලියන්න ඕන). 

ලොකු උනාට පස්සෙ වැස්ස වෙලාවෙ මං කැමති පැත්තකට වෙලා වැස්ස දිහා බලං ඉන්න. දොර ගාවට වෙලා බලාගෙන ඉන්න. ඒ වගෙම මම වැස්සෙ ගමන් බිමන් යන්න එතරම් කැමති නෑ, ඒ දවසගානෙම කුඩ නැතිකරගන්න නිසාම නෙමෙයි (ඒකත් කියන්න එපැයි). 

මොනව උනත් ගහ කොළ අඩු, පර්චස් දහයෙ කොටස්වලට බෙදුණු ඉඩම්වල ජීවත් වන නිසා රෑට වහිනවා කියන්නෙ මහා සැනසිල්ලක්. කොන්ක්‍රීට් නිසා රෑටත් සිසිල් වීම අඩු පරිසරයේ ඒ ගත දවන උණුසුම නැතිව ගිහින් සිසිලක් ලැබෙන නිසා. සීතලේ නිදන්න හැකි නිසා.

මම පාසල් යන කාලෙ විසූ එක්තරා පරණ නිවසක කොටසක තිබුණෙ තහඩු වහළයක්. එවැනි තැනක දි වැස්සෙ තරම සද්දෙන් පවා කියන්න පුළුවන්. ඒ සද්දෙ තාමත් ඇහෙනව වගේ මතකයි. 


වැස්ස හා සංගීතය


ඉතින් වැස්ස ගැන හිතනකොට මගේ සිතට නිරායිසයෙන් එන ගීත කීපයකුත් තියනවා.

එකක් තමයි ගුණදාස කපුගේ ගයන රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ "දවසක් පැල නැති හේනේ - අකාල මහ වැහි වැස්සා" කියන මව් ගුණ ගීතය. මේ ගීතය රජරට වැස්සත්, හේනත්, අම්මාගේ සෙනෙහසත් මතක් කරනවා. හේනක එවැනි අත්දැකීමක් ලබා නැතත් මගේම අත්දැකීමක් වගේ මට ඒක දැනෙනයා. ඒ එක්කම එහි තිබෙන "කොළඹ අහස කළු කරගෙන - මූදු හුළඟ අඬලන කොට" කියලත් කියන එක තවත් දැනෙනවා.

"දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන 
මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ අඹලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලඟ
ඉන්නවාද අම්මේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්සත් එක්ක ඊළඟට මතක් වෙන ගීතයක් තමයි මිල්ටන් මල්ලවාරච්චි ගයන "මේ මැයි ගහ යට දවසක්දා - වැස්සට අපි උන්නා" ගීතය. මේ සමඟ මට හැමදාම මැවෙන රූපය අමුතු එකක්. මැයි ගසක්වත් නැති බව මම හොඳින්ම දන්නා එක්තරා මාර්ගයක, අඳුරු වැසි සහිත සැන්දෑවක මැයි ගසක් පාමුල ඉන්නා නොදන්නා යුවලක් තමයි මට මැවෙන රූපයේ ඉන්නෙ. මේ අපූරු විරහ ගීතය අපි පාසල් කාලෙ සිටම බෙහෙවින් ආස කළ ගීයක්. අත්දැකීමක් ඇතත්, නැතත් විඳින්න හැකි වූ ගීතයක්. මේ ගීතයේ පද ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ.


"මේ මැයි ගහ යට - දවසක්දා
වැස්සට අපි උන්නා
රතුකැට වාගේ - මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා

මැයි මාසේ එක සැන්දා වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නෑත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඊළඟ ගීතය මම අහන්නෙ පස්සෙ කාලෙක. ඒ සෙංකඩගල වැස්ස සිහිපත් කරන "මුතුකුඩ ඉහළන මල් වරුසාවේ" ගීතයයි. විරහ ගීතයක් වුන මේ ගීතයත් ඒකෙ කිවෙන කතාවත් අපේම අත්දැකීමක් වගේ දැනෙනවා. සෙංකඩගල වැස්ස අත්දැක ඇති නිසාමද මන්දා. ඒකෙ චිත්ත රූපයක් මවන්න බෑ, මොකද කලකට පෙර රූපවාහිනියෙ දැකපු විෂුවල් එකක් චිත්ත රූපයම වෙලා නිසා . ලූෂන් බුලත්සිංහල ලියූ මේ ගීතය ගයන්නෙ රෝහණ වීරසිංහයි.

"මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැඩෙන ආදරය එක්ක වැසි දිනයක් ගැන කියන මේ ප්‍රේම ගීතය මම මුලින්ම අහන්නෙ ඊටත් මෑත කාලෙක. රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කළ එඩ්වඩ් ජයකොඩි ගායනා කරන අපූරු ගීයක්.

"මිණි මිණි පොද වැටේවි - මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්

බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්ස ගැන සිහිවීමත් එක්ක වැස්සට එන්න එපා කියන ගීත කීපයකුත් මට මතක් උනා. ඒවා සියල්ලම වගේ ප්‍රේම ගීතයි.

ඒ අතරින් මම මුලින්ම ඇහුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ, ආචාර්ය වික්‌ටර් රත්නායක ගායනා කරන මේ සුන්දර ගීතය. පෙම්වතිය හමුවීමට බලාපොරොත්තුවෙන් ඉන්නා අතර වැස්සක් වැටුනොත් ඒ සුන්දර මොහොත අඳුරු වී යා හැකි බවක් පැවසේ. එබැවින් සුළඟ මගින් වැහිවළාවට කියන්නේ හෝරා කීපයක් පමා වන ලෙසයි.

"හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි - හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු සැදෙයි - කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

අප සමුගත් පසු වසින්න - ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න - නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා..."

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඊළඟට මතකයට ආ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇති එඩ්වඩ් ජයකොඩි ගයන එකක්. එහි කියැවෙන්නෙ සිය පෙම්වතිය වැසි ආපදාවෙන් ආරක්ෂා කරන්න ඕන බව සිතන පෙම්වතෙක්ගෙ සිතුවිලි. වැස්සොත් සිදු විය හැකි දේ එතැන අපූරුවට කියවෙනවා.

"ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරියෙ පිට මඩ ඉහෙයි

මුහුනට හිරිකඩ වැදෙයි
සුදු මුදු මදහස මැකෙයි
මිරිවැඩි තුල දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි

සළු පිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සග වන්නෙමි ඔබ මගෙන්
දිව එන්නට මට හිතෙයි"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්සට එන්න එපා කියන තවත් ගීතයක් තමයි මෑත කාලයේ ඇහුව "මහරගමට වහින්නැතුව - වහින්න ඕනෑ තැනකට" ගීතය. එහි කියැවෙන්නෙ වැඩ අවසන් වී ගෙදර යන්න මහරගමට ආපු තරුණියක් වැස්සට හසු වී තෙමෙන්න පුළුවන් නිසා මහරගමට වහින්න එපාය කියන එක. මේ ගීතය ලියලා තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වන අතර ගයන්නෙ චාමර වීරසිංහයි.

"මහරගමට වහින්නැතුව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග

උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා

මහ වැස්සට තෙමුණොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ"

(මේ ගීතය මෙතැනින් අහන්න)

(මහරගම ටවුමට කෙසේ වෙතත් මහරගමට වහිනවට මම නං කැමතියි. මොකද මම ඉන්නෙත් මහරගම නගරයේම නිසා...)


වැස්සට කලින් සමහරුන්ට සිතෙන සිතුවිල්ලක් ගැනත් කියන ගීතයක් අපේ ගීත අතර තියනවා. ඒ, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගායනා කළ, කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් ලියූ “මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා” ගීතය. මොනව උනත් වැස්ස වෙලාව ඒ කටයුත්තට සුදුසුම වෙලාවක් තමයි.

"මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා - කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ - කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ - මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි - තනිකම ඊට වැඩී
එකම කුඩය යට අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳහැටි මතකයි

මී විතකින් ගත උණුසුම් වූව ද - සිත උණුසුම් වේදෝ
එපා එපා මී විත මගෙ දෙතොළට
එපා එපා මී විත මගෙ දෙතොළට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා"

(මේ ගීතය මෙතැනින් අහන්න)


අපේ ගීත අතර වැස්ස උපමාවක් ලෙස ගත් ගීතත් තියනවා. ඍජුවම වැස්සක් ගැන නොකීවත්, ඒවයෙ වැස්ස යොදාගෙන තිබෙන්නේ අපූරු අදහස් සන්නිවේදනය කරන්නටයි.

“මහ වරුසාවට පසුව නැගෙන සඳ” එවැනි එක් ගීයක්. ඒත් ඒකෙ චිත්ත රෑප මැවෙන්නෙ වැස්සට පසුව එන නිසංසල බවත් එක්කම. පෙම් ගීයක් වන මේ ගීතයේ තියෙන්නෙ පෙම්යුවලත් අතර ඇති වූ ගැටුමකින් පසුව ඇති වූ තත්ත්වය. මේ ගීතය ලියා තිබෙන්නෙ සුනිල් සරත් පෙරේරා වන අතර ගයන්නෙ සෝමතිලක ජයමහයි.

“මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි”

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඍජුවම වැස්සක් ගැන නොකීවත් කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන, යමුනා මාලනී පෙරේරා ලියූ මේ ගීයෙ වැස්ස උපමා කරන්නෙ පෙම්වතියට. වැස්ස වගේ පෙම්වතියගෙන් සිත් මලේ පාට නොසේදීම පුදුමයක් තමයි කියලයි කියන්නෙ. “වැස්ස නුඹ වගේ” කියලා මේ ලියමනට මාතෘකාව ගත්තෙත් මේ ගීතයෙන්.

“සුළඟ නුඹ වගේ - සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් - යන්නටම හදයි
වැස්ස නුඹ වගේ - සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසුපසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි”

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්ස ආපදාවක් ද?


මෙතෙක් කීවේ වැස්සේ සුන්දර පැති ගැනයි.

කොහොම වෙතත් අධික වැස්ස නම් ස්වාභාවික ආපදාවක් විය හැකියි. ඒ වැස්ස නිසා ගංවතුර, නාය යෑම් වගේ විපත් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා සෑම වර්ෂයකම පාහේ සිදුවන ජීවිත හා දේපොළ හානි සැලකිය යුතු තරම් බරපතළයි.

එවැනි සිදුවීම් සඳහන් වන පොත් දෙකක් එක් වරම මතකයට ආවා. ඉන් එකක් මීට දශක කීපයකට පෙර පාසල්සමයේ දී කියවූ “වැහි දවස” නවකතාව. එය භද්‍රජී මහින්ද ජයතිලකයන් ලියුවක්. ඒ කතාව නායයෑම් ඛේදවාචකයක් ගැන ගැන කියවෙන්නක් බවයි මට මතක. මේ පොත ආපහු හොයාගන්න ඕන. 

අනෙක් පොත තමයි මෑත දී පළ වූ “හිඹුටුදෙණිය කඳු පාමුලින්” කියන කතාව. නායයෑමක් නිසා අනාථ වන දරුවෙකුගේ ජීවිතය ගැන ලියැවුණු මේ පොත පියසිරි මාතරගේ ලියූ සම්මාන දිනූ යොවුන් නවකථාවක්.

තවත් දෙයක්.

වැස්ස තියන දවස් ඇතැම් විට “අයහපත් කාලගුණයක්” ලෙස හඳුන්වනවා. විශේෂයෙන් සමහර මාධ්‍ය වැසි සහිත දවස් හඳුන්වන්නේ ඒ ආකාරයටයි. ඒ වගේම වැස්සේ තියන යහපත එදාට බොහෝ දෙනාට අමතක වෙනවා. එතෙක් පීඩා වින්ද නියඟය හා වියළි කාලගුණය අමතක වෙනවා. වතුර නැතිව වේලෙන වගාබිම් අමතක වෙනවා.

ඉතින් දැනට ඇති. දැන් වැස්ස තුරල් කරලා.

13.04.2021

2 comments:

  1. අහම්බෙන්ඉ නෙත ගැටුන ඉතාම රසවත් නිර්මාණයක්...
    හොඳ පෙළගැස්වීමක්...
    මම මගේ කණ්ඩායමේ මිතුරු මිතුරියන් සමඟ බෙදා ගත්තා..
    බොහොම ස්තුතියි....

    ReplyDelete