Wednesday, October 25, 2017

'අපේ පොදු අනාගතය' වසර 30කට පසු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.10.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/10/18/feature2.html



1987 ඔක්‌තෝබර් මාසය, නූතන පරිසර ව්‍යාපාරයේ වැදගත් සිදුවීමක්‌ සනිටුහන් කළ මාසයකි. ඒ තිරසර සංවර්ධනයට ජගත් මට්‌ටමින් පුළුල් පිළිගැනීමක්‌ ලබා දීමට හේතු වූ 'අපේ පොදු අනාගතය' (Our Common Future) නම් වාර්තාව එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලයේ පූර්ව සැසියක්‌ වෙත නිල වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ අදින් වසර 30කට පෙර එම මාසයේ දී වීම නිසා ය. එය බෘන්ඩ්ට්‌ලන්ඩ් කොමිසම ලෙස ද ප්‍රකට වූ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසමේ වාර්තාව විය.

1960 දශකයේ පටන් පරිසරයේ ඇති වී තිබූ විවිධ ගැටලු හේතුවෙන් ලෝකයේ විවිධ රටවල - විශේෂයෙන් දියුණු රටවල - මේ පිළිබඳව සැලකිය යුතු අවධානයක්‌ යොමු වී තිබිණි. 1970 වර්ෂයේ ඇමෙරිකාවේ පළමු වරට සමරන ලද මිහිතල දිනය හා ඉන් එරට තුළ හා ජගත් මට්‌ටමෙන් පරිසරය පිළිබඳව ඇති වූ අවධානය මීට නිදසුනකි. අනතුරුව 1972 වන විට ජගත් මට්‌ටමින් ලෝකයේ ම අවධානය පාරිසරික ගැටලු වෙත යොමු වී තිsබිණි. එම වර්ෂයේ දී ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම් නගරයේ දී පැවැති මානව පරිසරය පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ සම්මන්ත්‍රණය (UNCHE) මේ පිළිබඳව ජගත් සැලකිල්ල යොමු වීමේ ප්‍රතිඵලයකි. එය නූතන පරිසර ව්‍යාපාරයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ සේ සැලකේ.

පරිසරය පිළිබඳව එසේ අවධානයක්‌ යොමු වුව ද, දිගුකාලීන වශයෙන් ගත් විට සංවර්ධනය හමුවේ පරිසරය මුහුණ දී තිබූ අභියෝග ජයගැනීම සඳහා එතරම් සාධනීය වූ පියවරක්‌ ලෝකයේ දැකිය නොහැකි විය. සියලු රටවල් තමන්ට සුපුරුදු ආර්ථික සංවර්ධන ආකෘතිය ම අනුගමනය කිරීම 1980 දශකයේ දී ද දැකිය හැකි විය.

පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසම


මේ පසුබිමේ දී මානව පරිසරයේ හා ස්‌වාභාවික සම්පත්වල ඇති වී තිබු දැඩි හායනය පිළිබඳව සොයා බලා කටයුතු කිරීම සඳහා කොමිසමක්‌ පත් කිරීමේ යෝජනාවක්‌ 1983 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩල රැස්‌වීමේ දී සම්මත කරන ලදි. එම අංක 38/161 දරන යෝජනාව වූයේ ''වසර 2000ට හා ඉන් ඔබ්බට පරිසර දැක්‌ම සකස්‌ කිරීමේ ක්‍රියාවලිය'' සඳහා වූ විශේෂ කොමිසමක්‌ පත් කිරීම ය. මේ අද අප දන්නා පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසම (World Commission on Environment and Development) නම් කොමිසමේ ආරම්භයයි.

ඉහත කී මහා මණ්‌ඩල යෝජනාවෙන් කොමිසමට පැවරුණු කාර්යයන් අතරින් එකක්‌ වූයේ වසර 2000 හා ඉන් අනතුරුව එළැඹෙන කාලය සඳහා තිරසර සංවර්ධනය අත්පත් කරගැනීම උදෙසා දිගුකාලීන පාරිසරික උපායමාර්ග යෝජනා කිරීම ය. කොමිසමේ සභාපතිනිය වූයේ නෝර්වේ රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරියක වූ ග්‍රෝ හාලේම් බෘන්ඩ්ට්‌ලන්ඩ් ය. කොමිසම ඇතැම් විට බෘන්ඩ්ට්‌ලන්ඩ් කොමිසම (Brundtland Commission) ලෙසින් හැඳින්වෙන්නේ සභාපතිනිය ගේ නමිනි. ඇය ගේ විද්‍යාත්මක පසුබිම නිසා එහි සභාපති ලෙස පත් කරන ලද බව සැලකේ. එහි උප සභාපති වූයේ සුඩාන ජාතිකයකු හා එහි විදේශ අමාත්‍යවරයා වූ මන්සූර් කාලිඩ් ය. දියුණු රටවල් මෙන්ම දියුණු වන රටවල් ද වශයෙන් විවිධ රටවල් 21ක සාමාජිකයන් ගෙන් සමන්විත වූ මේ කොමිසම වසර තුනක්‌ පමණ කාලයක්‌ කටයුතු කළේ ය.



කොමිසමේ වාර්තාව 1987 අප්‍රේල් මාසයේ දී මුද්‍රණය කරන ලද අතර, එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලයේ සැසියක්‌ වෙත නිල වශයෙන් භාර දෙන ලද්දේ අදින් වසර තිහකට පමණ පෙර 1987 ඔක්‌තෝබර් මාසයේ දී ය. මහා මණ්‌ඩලය විසින් දෙසැම්බර් මාසයේ දී පිළිගන්නා ලද එම වාර්තාව 'අපේ පොදු අනාගතය' (Our Common Future) නම් වූ අතර එය ඇතැම් අවස්‌ථාවල දී බෘන්ඩ්ට්‌ලන්ඩ් වාර්තාව (Brundtland Report) යනුවෙන් ද හැඳින්වේ. මේ වාර්තාව නිකුත් කිරීමෙන් පසුව 1987 දෙසැම්බර් මාසයේ දී කොමිසමේ කටයුතු නිමාවට පත් විය.

අපේ පොදු අනාගතය වාර්තාව


'අපේ පොදු අනාගතය' වාර්තාව වැදගත් වන්නේ එම`ගින් හෙළිදරවු කරන ලද ඉදිරි ම`ග හේතුවෙනි. අද වන විට ඉතා පුළුල් ලෙස භාවිත වන තිරසර සංවර්ධනය යන සංකල්පය පුළුල් ලෙස පිළිගැනීමට ලක්‌ වන්නේ හා ප්‍රචලිත වන්නේ මේ වාර්තාව ම`ගිනි.

තිරසර සංවර්ධන සංකල්පය ඒ වන විට ද භාවිතයේ තිබුණු සංකල්පයකි. ඒ පිළිබඳ අදහස 1960 දශකයේ පමණ සිට යොදාගෙන තිබුණු බව අයිරිස්‌ බරෝවි මේ කොමිසමේ ඉතිහාසය පිළිබඳව 2014 දී ලියූ කෘතියකින් පෙන්වා දී ඇත. 1972 වර්ෂයේ දී බාබරා වෝඩ් හා රේනේ ඩුබොස්‌ විසින් රචනා කරන ලද 'එක්‌ මිහිතලයක්‌ පමණයි' (Only One Earth) නම් කෘතියේ මේ පිළිබඳව සඳහන් වන බව පැවසේ. පෙර සඳහන් කළ පරිදි 1983 වර්ෂයේ දී පරිසරය හා සංවර්ධනය පිළිබඳ කොමිසමේ කාර්ය භාරය නම් කිරීමේ දී ද තිරසර සංවර්ධන අත්පත් කරගැනීම ගැන සඳහන් වේ. මේ අනුව අපේ පොදු අනාගතය කෘතිය විසින් සිදු කරන ලද්දේ මේ තිරසර සංවර්ධනය සංකල්පය ජගත් මට්‌ටමින් පිළිගැනීමට ලක්‌ කිරීම හා ප්‍රචලිත කිරීම බව පැහැදිලි ය.

එසේ ම මේ වාර්තාව ඉන් පසුව පැමිණි අන්තර් ජාතික සාකච්ඡාවලට වැදගත් පදනමක්‌ සැපයී ය. 1992 වර්ෂයේ දී බ්‍රසිලයේ රියෝ ද ජැනේරෝ නගරයේ දී පැවැත්වූ මිහිතල සමුළුවට හා එහි දී එක`ගතාවට පැමිණි 21 වැනි සියවස සඳහා වූ න්‍යායපත්‍රය (Agenda 21) සඳහා 'අපේ පොදු අනාගතය' හා තිරසර සංවර්ධනය ම`ගපෙන්වන සංකල්පය විය.

උක්‌ත වාර්තාව මඟින් තිරසර සංවර්ධනය සඳහා හඳුන්වා දෙන ලද අර්ථදැක්‌වීම වන්නේ අනාගත පරම්පරාවල අවශ්‍යතා සඳහා යොදාගැනීමට බාධා නො වන ආකාරයෙන් වර්තමාන අවශ්‍යතා සඳහා යොදාගැනීම යන්න ය. 1987 පටන් තිරසර සංවර්ධනය ලෝක සංවර්ධනයේ මාර්ගෝපදේශක සංකල්පය ලෙස පිළිගැනීමට ලක්‌ වී ඇතත්, ක්‍රියාත්මක කිරීමේ දී එය කෙතරම් සාර්ථක වී තිබේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

තිරසර සංවර්ධනය යථාර්ථයක්‌ ද?


තිරසර සංවර්ධනය මේ ආකාරයෙන් ජගත් මට්‌ටමෙන් පුළුල් ලෙස පිළිගැනීමට ලක්‌ වී වසර 30කට හෙවත් දශක තුනකට පසුව ඒ දෙස හැරී බැලීමට මේ කාලය බව සුදුසු ය. 'අපේ පොදු අනාගතය' ම`ගින් එදා ලෝකය මුහුණ පා සිටි පාරිසරික ෙ€දවාචකය ගැන අවධානය යොමු කර තිබිණි. කාන්තාරකරණය, දේශගුණ වෙනස්‌ වීම, ඕසෝන් ස්‌තරය තුනී වීම, කාර්මික දූෂණය, පාංශු ඛාදනය, ජීවීන් වඳ වී යැම ආදි විවිධ පාරිසරික ගැටලු ගැන එහි දී අවධානය යොමු කර තිබිණි. එසේ ම ඒ ඒ අංශවල 2000 වසර වන විට ඇති විය හැකි තත්ත්වය ද, ඇතැම් අවස්‌ථාවල දී ඒ තත්ත්වය ඇති වීම වළක්‌වාගැනීම සඳහා වූ ඉලක්‌ක ද එදා පැවැති දැනුම අනුව මේ වාර්තාවේ දක්‌වා තිබිණි. මේ ඇතැම් අංශ පිළිබඳ ඉලක්‌ක අප අත්පත් කරගෙන අවසන් ය. සමහර ඉලක්‌ක ප්‍රමාණවත් නො වන බැවින් නව ඉලක්‌ක වෙත ලෝකය ගමන් කර තිබේ.

නිදසුන් ලෙස වායු දූෂණය පාලනය, ඕසෝන් ස්‌ථරය යථා තත්ත්වයට පත් කිරීම, වන විනාශය පාලනය වැනි කරුණු දැක්‌විය හැකි ය. මේ වන විට වායු දූෂණය පිළිබඳ තත්ත්වය එදා පැවැති තත්ත්වයට වඩා යහපත් මට්‌ටමක පවතී. රථවාහන මෙන්ම කර්මාන්ත පිළිබඳ වායු දූෂක සම්බන්ධයෙන් ද නව ප්‍රමිති හා නීති ක්‍රියාත්මක වී ඇති අතර, තාක්‌ෂණය දියුණු වී ඇති බැවින් වායු දූෂක පාලනය කළ හැකි වී තිබේ. 1980 දශකයේ පැවැති අම්ල වැසි ගැන දැන් එතරම් අසන්නට නො ලැබේ. දියුණු රටවල තත්ත්වය වඩා යහපත් වන අතර දියුණු වන රටවල් තවමත් ම`දක්‌ පසුපසින් සිටියි. නිවර්තන කලාපීය වනාන්තර විනාශය ද මෑත දශකවල දී අඩු වී ඇති බව වාර්තා අනුව පෙනෙයි. සංරක්‌ෂණ ප්‍රයත්නය මේ සඳහා බලපා ඇති මූලික කරුණ වූ අතර, නීතිමය කටයුතු හා සහතිකකරණය වැනි ක්‍රියාවලි ද ඒ සඳහා හේතු විය. වියානා සම්මුතිය හා මොන්ටි්‍රයල් සන්ධානය ම`ගින් ක්‍රියාත්මක කරන ලද, සමස්‌තයක්‌ ලෙස ලෝකයේ ම සහයෝගය ලද වැඩපිළිවෙළක්‌ ම`ගින් ඕසෝන් ස්‌තරයට හානි වීම මේ වන විට නැවතී ඇති අතර අනාගතයේ දී එය යථා තත්ත්වයට පත් වනු ඇත.

'අපේ පොදු අනාගතයේ' සඳහන් එක්‌ ඉලක්‌කයක්‌ වූයේ ආරක්‌ෂිත ප්‍රදේශ ප්‍රමාණය එදා තිබූ ප්‍රමාණය මෙන් තුන් ගුණයක්‌ හෙවත් භූමියෙන් 12%ක්‌ පමණ විය යුතු බවයි. ඒ ලෝකයේ සමස්‌ත පරිසර පද්ධතිවල නියෝජනයක්‌ ලබා දීම සඳහා ය. එහෙත් මේ ගැන ඇති වූ උනන්දුව හා දැනුම අනුව වඩා ඉහළ ඉලක්‌ක පිළිගැනීමට ලක්‌ ව ඇත. 2010 දී සම්මත වූ අයිචි ජෛව විවිධත්ව ඉලක්‌ක අනුව ලෝකයේ ආරක්‌ෂිත ප්‍රදේශ ප්‍රමාණය 2020 වර්ෂය වන විට 17%ක්‌ පමණ විය යුතු වෙයි.

මෙවැනි සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත හැකි වූයේ 'අපේ පොදු අනාගතය' මඟින් පෙන්වූ අනතුරු හැ`ගවීම වටහාගැනීම නිසා ය. එහි එදා පෙන්වූ අනතුර වටහාගෙන ඉන් ගැලවීමට හැකි වූයේ ලෝකය ඒ සම්බන්ධව ගත් පියවර නිසා ය. ඒ අනුව 'අපේ පොදු අනාගතය' අපේ අනාගතය හැඩගැස්‌වීමට මහත් මෙහෙයයක්‌ සිදු කර ඇත.

'අපේ පොදු අනාගතය' වාර්තාවේ ද පෙන්වා දී ඇති ආකාරයට ආර්ථික සංවර්ධනය, සමාජ සමානතාව හා පාරිසරික ආරක්‌ෂාව තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය වුව ද මේ ත්‍රිත්වයට ඇතැම් අවස්‌ථාවල දී එකට ගමන් කළ නොහැකි බව පැහැදිලි ය. තිරසර සංවර්ධනය පිළිබඳ ගමනේ දී ලෝකයේ ඇතැම් කලාපවල තත්ත්වය සතුටු විය හැකි නමුත් තවත් කලාපවල තත්ත්වය ගැන එසේ සතුටු විය හැකි නො වන්නේ මේ නිසා ය. දියුණු රටවල් පරිසරය පිළිබඳව කටයුතු කිරීමේ දී ඉදිරියට ගොස්‌ ඇති නමුත් දියුණු වන රටවල තත්ත්වය එතරම් සතුටුදායක නොමැත. එසේ ම ලෝකය හමුවේ තවත් බරපතළ වූ අභියෝග තිබේ. දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ අභියෝගය එවැන්නකි.

කෙසේ වෙතත් 1980 දශකය වන විට ලෝකය ගමන් කරමින් තිබූ හානිකර ප්‍රවණතාව වෙනස්‌ කර වඩා යහපත් තත්ත්වයක්‌ වෙත ගමන් කරන ප්‍රවණතාවකින් අද ලෝකය ගමන් කරමින් ඇති බව පැහැදිලි ය. ඒ සඳහා 'අපේ පොදු අනාගතය' වාර්තාව හා පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසම විසින් සිදු කරන ලද කාර්යභාරය සිහිපත් කළ යුතු ව තිබේ.

http://www.vidusara.com/2017/10/18/feature2.html

Saturday, October 21, 2017

"මල්ලෙ පොල්" (බස් කතා 5)

මේ සිදුවීම වූයේ අද (2017 ඔක්. 21) උදේ මහරගම අධිවේගී මාර්ග බස්පෝලිමේ දීය. මාතර බසයකට නගින්නට ලොකු ට්‍රැවලින් බෑගයක් බිම තබා ගෙන සිටි අයෙකු ඔහු සමග සිටි කාන්තාවකට මෙසේ කීය.

"This bag is too heavy"

"මොනවද තියෙන්නෙ" ප්‍රශ්නය අර කාන්තාවගෙනි.

"පොල්"

අර පුද්ගලයා පිළිතුරු දුන්නේ අපවද සිනා ගන්වමිනි.

ඔහු ඉන්පසුව කී පරිදි බෑගයේ වූයේ පොල් නොවන බව පැහැදිලි වුවත්, මුල් කතාවෙන් පෙනුනේ මේ දවස්වල පොල්වලට ඇති වැදගත්කමයි. පොල් මිල ජනජීවිතයට කර ඇති බලපෑමයි.

පොල් ගෙඩියක මිල ශත 70ට ගිය කලක එය ආණ්ඩුවක් පෙරලන්නට මාතෘකාවක් කරගත් රටක (1977), ගෙඩියක් ශත 10000කට හෙවත් රු. 100කට කන විට කොහොමද? මෙය එදා ඩොලරයක මිල (රු 8 ක්) හා අද ඩොලරයක මිල (රු 153) හා සංසන්දනය කළ හැකිදැයි නොදනිමි.

21.10.2017

පරණ බස් කතා - https://dhaneshw.blogspot.com/search/label/%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F

Monday, October 16, 2017

නිවර්තන වනාන්තර හා පශු පාලනයේ ඉහළ හරිතාගාර විමෝචන

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 04.10.2017, පි. 6 (Vidusara)

http://www.vidusara.com/2017/10/04/feature2.html

දේශගුණ වෙනස්‌ වීම සඳහා බලපාන හරිතාගාර වායු විමෝචන පිළිබඳව බොහෝ දේ අපි මේ වන විට ද දනිමු. එහෙත් මේ පිළිබඳව වැදගත් කරුණු වරින් වර සිදු කරනු ලබන නව පර්යේෂණවලින් අනාවරණය වේ. ඇතැම් අවස්‌ථාවල දී මෙතෙක්‌ ඒ ප්‍රභව සම්බන්ධව දැන නො සිටි කරුණු අනාවරණය වන අතර තවත් අවස්‌ථාවල දී අප දැන සිටි කරුණු වඩා නිවැරැදි කිරීම සිදු වේ.

මේ ලිපිය ලියෑවෙන්නේ මැතක දී පළ වූ අධයයන දෙකකින් හෙළි වී ඇති කරුණු සම්බන්ධව ය. ඉන් එක්‌ අධ්‍යයනයකින් කියෑවෙන්නේ නිවර්තන වනාන්තරවලින් නිකුත් වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ඒවායින් අවශෝෂණය කරන වායු විමෝචන ප්‍රමාණය ඉක්‌මවා ගොස්‌ ඇති බව ය. මේ නිසා වනාන්තර තවදුරටත් කාබන් තිර කරන සේ සැලකිය හැකි ද යන ගැටලුව මතු වේ.

අනෙක්‌ අධ්‍යයනයේ දී අවධානය යොමු ව ඇත්තේ පශු පාලන අංශයෙන් නිකුත් වන මීනේත් වායු විමෝචන පිළිබඳව වෙයි. මීතේන් වායුව ද ප්‍රබල හරිතාගාර වායුවකි. එම අධ්‍යයනයෙන් කියෑවෙන ආකාරයට එම අංශයේ විමෝචන ප්‍රමාණය මේ වන විට ගණන් බලා ඇත්තේ සත්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්‌ ලෙස ය.

වනාන්තරවලින් හරිතාගාර වායු විමෝචන නිකුත් වේ


නිවර්තන වනාන්තර යනු හරිතාගාර වායු අවශෝෂණය කරනු ලබන පරිසර පද්ධතියකි. ඒ නිසා කාබන් සංචිතයක්‌ ලෙස එය වැදගත් බව සාමාන්‍ය පිළිගැනීමයි. ශාක වර්ධනයේ දී මෙසේ කාබන් සංචිත කිරීම සිදු වේ. එහෙත් ශ්වසනයේ දී හා කාබනික ද්‍රව්‍ය දිරාපත් වීමේ දී වනාන්තරයකින් කාබන් ඩයොක්‌සයිඩ් විමෝචනය වීමක්‌ ද සිදු වේ. එහෙත් සාමාන්‍යයෙන් නිවර්තන වනාන්තරවල ශුද්ධ කාබන් අවශෝෂණයක්‌ සිදු වන බව විශ්වාස කරනු ලැබේ. එහෙත් පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයනයකට අනුව නිවර්තන වනාන්තරවල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, අවශෝෂණය කරනු ලබන ප්‍රමාණය ඉක්‌මවා ඉහළ ගොස්‌ ඇත.

දකුණු ඇමෙරිකාවේ, අප්‍රිකාවේ හා ආසියාවේ පිහිටා ඇති නිවර්තන වනාන්තර මගින් මෑතක්‌ වන තුරු ම හරිතාගාර වායු විමෝචන අවශෝෂණය සම්බන්ධව වැදගත් මෙහෙයක්‌ ඉටු කරනු ලැබූයේ වනාන්තර වර්ධනය වීමේ දී ය. එහෙත් මේ වනාන්තර හායනයට ලක්‌ ව තිබීම නිසා හරිතාගාර වායු විමෝචන අවශෝෂණය කරන ප්‍රමාණයට වඩා විමෝචනය වන ප්‍රමාණය අධික වී තිබේ. මේ අධ්‍යයනයේ දී හෙළි වී ඇකි පරිදි, මේ වනාන්තර මගින් වාර්ෂිකව හරිතාගාර වායු ටෙට්‍රා ග්‍රෑම් 436ක්‌ අවශෝෂණය කරයි. එහෙත් වනාන්තරවලින් වර්ෂයක දී විමෝචනය කරනු ලබන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය වාර්ෂිකව ටෙට්‍රා ග්‍රෑම් 861ක්‌ පමණ වේ. මේ අනුව වාර්ෂිකව ටෙට්‍රා ග්‍රෑම් 425ක ප්‍රමාණයක හරිතාගාර වායු විමෝචන නිවර්තන වනාන්තරවලින් වාර්ෂිකව නිකුත් වේ. එනම් කාබන් හානියක්‌ සිදු වේ. සංසන්දනාත්මකව ගත හොත් මේ සමස්‌ත වෙනස ඇමෙරිකාවේ ධාවනය වන රථවාහන මගින් විමෝචනය වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයට වඩා අධික බව දක්‌වා තිබේ.

මෙහි දී හෙළි වූ ආකාරයට වනාන්තර මගින් අපේක්‌ෂිත කාබන් තිර කිරීමේ කාර්යභාරය ඉටු නො වීම එක්‌තරා ආකාරයකින් විස්‌මයට කරුණකි. එහෙත් ඒ සඳහා හේතුවක්‌ ඇත. වනාන්තරවල දැකිය හැකි ශාකවලින් වායුගෝලයෙන් කාබන් ඩයොක්‌සයිඩ් වායුව ඉවත් කිරීම සුපුරුදු පරිදි ම සිදු කරයි. එහෙත්, වනාන්තරයෙන් නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණයට වඩා හරිතාගාර වායු විමෝචන අවශෝෂණය කරගැනීමට තරම් වනාන්තරයේ ශාකවලට හැකියාවක්‌ නො තිබීම මේ ගැටලුවට හේතු වී තිබේ. ඒ වනාන්තර හායනයට ලක්‌ ව තිබීම නිසා ය. මේ අනුව නිවර්තන කලාපයේ වනාන්තර ප්‍රදේශ සමහරක්‌ තවදුරටත් කාබන් තිර කරන ප්‍රදේශ නො වේ.

මේ අධ්‍යයනය සඳහා මේ විෂය පිළිබඳව මෙතෙක්‌ සිදු කරන ලද සවිස්‌තර ම ක්‍රමවේදය යොදාගෙන තිබීම නිසා මෙමගින් හෙළිදරව් වන කරුණු වැදගත් වේ. මෙහි දී වන හායනය (degradation) හා බාධා කිරීම (disturbance) පමණක්‌ නො ව වෙනත් කරුණු සම්බන්ධව ද අවධානය යොමු කර තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ශාක ඝනත්වය තුනී වීම, වනාන්තරයේ වියන් ස්‌තරය එසේ ම තිබිය දී පහළ පිහිටි ශාක ස්‌තර අහිමි වීම වැනි කරුණු පිළිබඳව මෙහි දී අවධානය යොමු ව ඇත. මේ දෙවනුව කී කරුණ ඇති වීමට වරණීය දැව හෙළීම්, ලැව් ගිනි ආදිය බලපායි. මේ නිසා වනාන්තරවල ජෛව ස්‌කන්ධය 75%ක්‌ පමණ ප්‍රමාණයකින් අඩු විය හැකි නමුත් චන්ද්‍රිකා ඡායාරූප මගින් සිදු කරන අධ්‍යයනයවල දී මේවා නිරීක්‌ෂණය නො වේ. ඉහළ අහසේ සිට ලබාගන්නා චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන්නේ හානියට ලක්‌ නො වූ රුක්‌ වියනක්‌ වීම මීට හේතුවයි. එයට යටින් ඇති හානියට හා හායනයට ලක්‌ වූ වනාන්තරයේ තත්ත්වය එයට නිරීක්‌ෂණය වන්නේ නැත.

උක්‌ත අධයයනයේ දී වසර 12ක (2003-2014) චන්ද්‍රිකා ඡායාරූප මෙන්ම ක්‌ෂේත්‍ර අධ්‍යයන දත්ත ද සංයෝජනය කර ඇත. එහි දී ඔවුන්ට පෙනී ගොස්‌ ඇති පරිදි වැඩි ම කාබන් හානියක්‌ සිදු ව ඇත්තේ වන හායනයෙන් හා වනාන්තරවලට සිදු වන බාධා කිරීම් නිසා ය. එය සමස්‌ත හානියෙන් 68.9%ක්‌ පමණ ප්‍රමාණයකට හේතු වේ. වනාන්තර විනාශයෙන් සිදු ව ඇති හානිය ඊට වඩා අඩු ය. වන හායනය මෙතරම් බරපතළ වූවක්‌ බව පර්යේෂකයන් මීට පෙර අපේක්‌ෂා නො කළ දෙයකි. මේ තත්ත්වය නිවර්තන වනාන්තර පිහිටි සැම මහාද්වීපයක ම පාහේ සිදු ව ඇත. (මූලාශ්‍රය: Science , DOI: 10.1126/science.aam5962).

ගවයන් ගෙන් නිකුත් වන මීතේන් විමෝචන අධිකයි


පශු පාලන අංශයෙන් නිකුත් වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය කලින් ඇස්‌තමේන්තු කළ ප්‍රමාණයට වඩා ඉහළ අගයක්‌ ගන්නා බව ද පසුගිය දා නිකුත් වී ඇති තවත් අධ්‍යයනයක්‌ මගින් හෙළි කර ඇත. එක්‌ සත්ත්වයකුට සාපේක්‌ෂව නිකුත් කරනු ලබන විමෝචන ප්‍රමාණය පිළිබඳ කරනු ලැබ ඇති සංශෝධිත ගණනය කිරීම් අනුව, 2011 වර්ෂයේ දී ලෝකයේ පශු පාලන අංශයේ විමෝචන ප්‍රමාණය ඇස්‌තමේන්තු ප්‍රමාණයට වඩා 11%ක්‌ පමණ ඉහළ වේ. මේ ඇස්‌තමේන්තුගත ප්‍රමාණය ගණනය කර ඇත්තේ එක්‌සත් ජාතීන් ගේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර්-රාජ්‍ය මණ්‌ඩලයේ (IPCC) 2006 වර්ෂයේ දත්ත මත පදනම් ව ය.

මේ අනුව 2011 වර්ෂයේ සමස්‌ත මීතේන් විමෝචන ප්‍රමාණය ටෙට්‌රා ග්‍රෑම් 119.1ක්‌ පමණ වේ. එයට ආන්ත්‍රික ක්‍රියාවලියෙන් පිට වන මීතේන්වල (enteric fermentation methane) 8.4%ක ඉහළ යැමක්‌ ද, අපද්‍රව්‍ය කළමනාකරණ මීතේන්වල (manure management methane) 36.7%ක ඉහළ යැමක්‌ ද ඇතුළත් වේ. මේ අධ්‍යයනයට අනුව, පශු පාලනයෙන් නිකුත් වන මීතේන් විමෝචන ප්‍රමාණය කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ ගොස්‌ ඇත්තේ ආසියාවේ, දකුණු ඇමෙරිකාවේ හා අප්‍රිකාවේ දියුණු වන රටවල ය. ඇමෙරිකාවේ හා කැනඩාවේ මේ ඉහළ යැමේ කැපී පෙනෙන වෙනසක්‌ නොමැති අතර, යුරෝපයේ මීතේන් විමෝචන ප්‍රමාණය පහළ ගොස්‌ තිබේ.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල සතුන් අභිජනනය මගින් විශාල ප්‍රමාණයේ සතුන් බිහි ව ඇති අතර, මේ සතුන් වැඩි ආහාර ප්‍රමාණයක්‌ ආහාරයට ගැනීම ද සිදු වේ. මේ හේතුව නිසා ද, පශු සම්පත් කළමනාකරණයේ ඇති වූ වෙනස්‌කම් නිසා ද මීතේන් වායු විමෝචන ඉහළ ගොස්‌ ඇති බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. මේ පර්යේෂකයන්ට අනුව කලින් සකස්‌ කළ ඇස්‌තමේන්තු පදනම් ව ඇත්තේ යල් පැන ගිය දත්ත මත වීම මීට හේතුවයි.

වෙනත් පර්යේෂණවලින් හෙළි ව ඇති ආකාරයට ද 2000 සිට 2006 අතර කාලයේ දී වඩා සෙමින් ඉහළ ගොස්‌ ඇති වායුගෝලයේ මීතේන් වායු සාන්ද්‍රණය ඉන්පසුව වඩා වේගවත් ව ඉහළ ගොස්‌ තිබේ. පසුගිය දශකයේ දී පමණ මීතේන් වායු සාන්ද්‍රණය දස ගුණයකින් පමණ වර්ධනය වීම මීට නිදසුනකි. මීතේන් වායුව වායුගෝලයට එක්‌ වන ස්‌වාභාවික ක්‍රම වන්නේ පීට්‌ බිම්, තෙත්බිම් හා වේයන් වැනි ක්‍රම ය. එසේ ම මිනිසුන් ගේ ක්‍රියාකාරකම් මගින් මීතේන් එක්‌ වන ආකාර දෙකක්‌ දැකිය හැකි ය. ඉන් එකක්‌ වන්නේ ගල් අගුරු, තෙල් හා ස්‌වාභාවික වායු නිෂ්පාදනයේ දී හා ප්‍රවාහනයේ දී සිදු වන කාන්දු වීම් ය. අනෙක ගවයන් හා බැටළුවන් වැනි රෝමන්ථයන් ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ දී හා කාබනික ද්‍රව්‍ය දිරාපත් වීමේ දී ය. මිනිසුන් ගේ ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට නිකුත් වන මීතේන් වායු ප්‍රමාණය සමස්‌ත මීතේන් වායු විමෝචනවලින් තුනෙන් දෙකක්‌ පමණ වේ.

2015 වර්ෂයේ සංඛ්‍යාලේඛනවලට අනුව ලෝකයේ හරිතාගාර වායු විමෝචනවලින් 16%ක්‌ මීතේන් වායුව වේ. එහෙත්, එම වායුවට කාබන් ඩයොක්‌සයිඩ් වායුවට වඩා සූර්ය විකිරණ අවශෝෂණය කරගත හැකි බැවින් එහි හරිතාගාර ආචරණ විභවය ඉහළ ය. එහෙත් අනෙක්‌ අතට මීතේන් වායුව වායුගෝලයේ පවත්නා කාලය කාබන් ඩයොක්‌සයිඩ් වායුවට වඩා අඩු ය. මේ කරුණු සියල්ල සලකා බලන විද්‍යාඥයන් ගේ අදහස වන්නේ මේ වායුවේ හරිතාගාර වායු හැකියාව කාබන් ඩයොක්‌සයිඩ් වායුව මෙන් 28 ගුණයක්‌ ඉහළ බවයි. (මූලාශ්‍රය( Carbon Balance and Management, DOI: 10.1186/s13021-017-0084-y).


ඉදිරි අභියෝගය


මේ අධ්‍යයන දෙකෙන් ම හෙළි වන කරුණු මගින් පෙනෙන්නේ මේ තත්ත්වය දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමෙහි ලා අතිරේක අභියෝගයක්‌ විය හැකි බවයි. මේ තත්ත්වය නිසා දේශගුණ වෙනස්‌ වීමට විසඳුමක්‌ ලබාගැනීම සඳහා ලෝකය ම අපේක්‌ෂා තබාගෙන සිටින පැරිස්‌ දේශගුණ ඉලක්‌කවලට ළගා වීම අභියෝගයක්‌ වීම වළක්‌වාගැනීමට නම් කඩිනමින් හා ක්‍රියාකාරීව කටයුතු කිරීමට සිදු වනු ඇත.

නිදසුනක්‌ ලෙස ගත හොත්, වනාන්තර පිළිබඳ ගැටලුවේ දී ප්‍රතිපත්ති සම්පාදකයන් කඩිනමින් කිසියම් පියවරක්‌ ගැනීම වැදගත් බව පර්යේෂකයන් ගේ අදහසයි. මේ තත්ත්වය වළක්‌වාගැනීමට නම් නිවර්තන වනාන්තර ආරක්‌ෂා කිරීමට හා ප්‍රතිස්‌ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් වේ. නිවර්තන වනාන්තර නැවතත් කාබන් අවශෝෂණය කර තිර කරන තත්ත්වයකට පත් කිරීම සඳහා එය අත්‍යවශ්‍ය බව ඔවුන් ගේ අදහසයි.

එසේ ම පශුපාලන අංශයේ විමෝචන පාලනය සඳහා ද කටයුතු කිරීම ද වැදගත් වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් පශු පාලන අංශයේ විමෝචන ඉහළ යැමට එක්‌ හේතුවක්‌ වන්නේ මිනිසුන් ගේ ආහාර වේලෙහි මස්‌ හා කිරි ආහාර ප්‍රමාණය තවදුරටත් ඉහළ යැම ය. මිනිස්‌ ආහාරයේ කිරි හා මාංශ ආහාර ප්‍රමාණය අඩු කළ හැකි නම්, එය පශු පාලන අංශයේ විමෝචන අඩු කිරීම සඳහා හේතු වනු ඇත. එසේ ම මේ සතුන් ගේ විමෝචන අඩු කළ හැකි ක්‍රම සම්බන්ධව ද අවධානය යොමු ව තිබේ.

http://www.vidusara.com/2017/10/04/feature2.html

Wednesday, October 4, 2017

'නිමාවක් නොවන ඇරඹුමක්' ගැන කෙටි සටහනක්

ධනේෂ් විසුම්පෙරුම 

04.10.2017


ඒ සැන්දෑව අපූරු හා සරල අත්දැකීමක් විය.

දයා ද අල්විස්ගේ 'නිමාවක් නොවන ඇරඹුමක් - දයාවියකගේ ගී මතක' නම් කෘතිය ඊයේ (2017 ඔක්තෝබර් 03) දින එළිදැක්වීම බත්තරමුල්ලේ අපේ ගමදී සිදුවීම එ් සිදුවීමයි. එ් අපූරු කෘතියක් වූයේ එය ඇය ලියූ ගීත අතරින් තෝරාගත් ගීත දුසිම් දෙකකට පසුබිම් වූ කතාව හෙවත් අත්දැකීම් ඇයගේ හඩින්ම අනාවරණය කරගැනීමට උත්සාහ කර තිබීමයි. එහි සංස්කාරක මලින්ද සුදර්ශනය.

අප බොහෝ දෙනා කෙතරම් ගීත ඇසුවද ඒවාට පදනම් වු පසුබිම අසා ඇත්තේ අඩුවෙනි. මේ කෘතිය ඒ සඳහා අවස්ථාවක් ලබාදී ඇත. ගීතයක උපත සිදුවන්නේ පදරචනයේය. එබැවින් එ් ගැන කියැවීමට මම ගීත අැසීම තරම්ම ප්‍රිය කරන්නෙමි. අැතැම් විට ගී පදවල අරුත අවැසි අවැසි පරිදි විකෘති කරන්නන් බහුල සමාජයක ගී පද රචකයා විසින්ම එ් පසුබිම් වූ අත්දැකීම් ලියා තැබීම අගනා උත්සාහයකි.

මෙම කෘතියේ අැතුළත් ගීත අතර අැති ගීත බොහොමයක් 1970-1980 දශකයේ ගැයූ ගීත වේ. එ්වා අප එදා රස විඳි, අදටත් මතකයේ රැඳුණු ගීතම වේ. මේ එ් අතරින් මා නොදැනුවත්ම අතීතයට ගෙන යන මා කැමැතිම ගීත කීපයයි.

"මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ"

"පෙම් කළ වරදට මට වද දෙන්නේ
පෙම් කළ සිතකින් නොවන නිසා"

"නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ එ් කතා"

"ලාසඳ එළියේ නා පෙති හැලිලා
නාමල් සුවඳයි විහිදෙන්නේ"

"හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා"

"අකලට බට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ"

"සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී"

"මට මතකයි ඔබ පිපිලා උන්නා දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ සොයලා ආවා බඹරෝ සුවද මදු"

"ආපසු එනවා මගෙ සිත ඉබි ගමනේ
ඔබ ඈතක රඳවා"

"සපුමල් සුවඳක් සේ
සීතල රෑ යාමේ"

"දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා"

ඒ සැන්දෑව විචිත‍්‍රවත් වුනේ දයා ද අල්විස් විසින් රචිත මේ ගීත අතරින් සමහරක් එ් ගායික ගායිකාවන් විසින්ම ගයනු ලැබීම නිසාය. එසේ නොමැති වූ අවස්ථාවලදී අන් ගායිකාවන් විසින් ගයනු ලැබුවද ඒ ගීත සුන්දරම විය. එය සැබැවින්ම සුන්දර සන්ධ්‍යාවක්ම විය.

(මලින්ද අයියේ, ඔබට ස්තුතියි මේ අපූරු උත්සාහයට මෙන්ම පැමිණෙන්නැයි සිදු කළ ආරාධනාවට....)