Wednesday, November 23, 2016

ශ‍්‍රී ලාංකික යන්නෙහි අරුත (බස් කතා 1)

අද* හවස 138 බසයක නැගි පසු වාසනාවකට මෙන් අසුනක් ලැබුනෙන් මද නින්දකට සැරසුනෙමි. යාන්තම් නිදිබර වූ මා තිඹිරිගස්යාය හරියෙදී ඇහැරුනේ තරුණයකු හා තරුණියක අතර වූ කතාබහකිනි. මගේ නිදිමත නැති විය.

එ් දෙන්නාගේ කතාබහ විවිධ මාතෘකා ඔස්සේ ඇදී ගියේය. කොළඹ සරසවිය අසලින් බසයට නැගෙන්නට ඇති ඔවුන් එහි සිසුන් බව කැම්පස් කතාවලින් පෙනුණි (එ් ෂෝ එකටදැයි නොදන්නෙමි.) ඔවුන් එකිනෙකාගේ ගම් ප‍්‍රදේශ ගැන දැනසිටියේ මද වශයෙනි. ඒ අනුව ඔවුන් නවක සිසුන් හෝ මෑතදී හඳුනාගත අය විය යුතුය. තරුණයාගේ පියාගේ ගම කුරුණෑගල වූ අතර ඔවුන් දැන් කොළඹ ආසන්නයේ පදිංචි බව පෙනිණි. තරුණියගේ ගම් ප‍්‍රදේශය වේයන්ගොඩ විය. කුරුණෑගල යන විට වේයන්ගොඩ පසුකර යන බවද ඇය සිය මිත‍්‍රයාට පවසා සිටියාය! (මටත් මේ ඔ්පාදූපමයි ලියන්න හිතෙන්නේ, ඔ්න කතාව පැත්තක තිබෙද්දි.)

කතාවේ වැදගත් දේ සිදුවූයේ, ගම්සභා හන්දියේදී තරුණයා බසින්නට සැරසුණු විටය. තරුණිය තරුණයාගෙන් මෙසේ අසා සිටියාය.

තරුණිය - "බස් එකෙන් බැහැලා යන්න දන්නවාද?"

මදක් විපිලිසර වූ තරුණයා මෙසේ කීවේය

"මාව කවුරු වගේද පේන්නේ? මම ශ‍්‍රී ලාංකික කොල්ලෙක්."

මේ අනුව "ශ‍්‍රී ලාංකික" යනු "බස් එකෙන් බැහැල යන්න දැනගැනීම" විය යුතුය.

එය එසේ නම්, ශ‍්‍රී ලාංකික කම යනු අප දන්නා කියන ප‍්‍රදේශවලදී පමණක් ඇති වන තත්ත්වයකි. එ් අනුව අප නොදන්නා තැනක යන විට ශ‍්‍රී ලාංකික කම නැති විය යුතුය. එ් බස් එකෙන් බැහැලා යන්න නොදන්නා නිසාය. පිටරටක ගියාම සමහරුන්ගේ ශ‍්‍රී ලාංකික බව නැත්තටම නැතිවන්නේද මේ නිසා විය යුතුය.

අනේ මංදාය. මේවා ඉගෙන ගන්න මේ කාලේ කැම්පස් යන්නම ඔ්නෑ වගේය. ඔවුන් මොන පීඨයේද යන්න හා 2009ට කලින් උපන් අයද යන්න දැන ගැනීමට මතක් වුනේ පසුවය. අපරාදේ...

(පසු සටහන - අපි කොළඹ කැම්පස් යන කාලයේ මෙවැනි අතිශය ගැඹුරු අර්ථකථන දෙන්නට හැකි අය සරසවියේ සිටියේ නැති වීම ගැන කණගාටුවක් ඇති විය. අපට කලින් කාලයේ එ් තරම් වත් නොසිටින්නට ඇත.) :-D

* 2016 ඔක්. 20

Tuesday, November 22, 2016

යහපත් ලෝකයක්‌ සඳහා වැදගත් ආදර්ශ ව්‍යාපෘති

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 09.11.2016

(Vidusara, 09.11.2016, Model projects for a sustainable world)

http://www.vidusara.com/2016/11/09/feature2.html



තිරසර සංවර්ධනය යනු නූතන ලෝකයේ අනාගතය සඳහා පදනම් කරගත යුතු මාර්ගය ලෙස වඩාත් පුළුල්ව පිළිගැනෙන ක්‍රමවේදයයි. තිරසර සංවර්ධනය සඳහා විවිධ අර්ථදැක්‌වීම් ඇතත්, වඩාත් පිළිගත් අර්ථදැක්‌වීම අනුව තිරසර සංවර්ධනය යනු අනාගත පරපුරේ අවශ්‍යතා සඳහා භාවිත කිරීමට බලපෑමක්‌ නො වන ආකාරයෙන් වර්තමාන අවශ්‍යතා සපුරාලන සංවර්ධනයයි. එය වර්තමාන පාරිසරික අර්බුදය සඳහා විසඳුම ලෙස ලෝකය විසින් අනුමත කරන ලද ක්‍රමවේදයකි. මේ වන විට සියලු ජාත්‍යන්තර සැලසුම් සකස්‌ වන්නේ තිරසර සංවර්ධනය හා ඊට අදාළ වෙනත් සංකල්ප කේන්ද්‍ර කරගෙන ය. තිරසරභාවය යනු ලෝකයේ අනාගතය බව මේ අනුව පැහැදිලි ය.

තිරසර සංවර්ධනය සඳහා යොදාගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න ගැන කලක පටන් ලෝකයේ උනන්දුව යොමු ව ඇත. මේ වන විට දැකිය හැකි ගැටලු සඳහා විසඳුම් ලෙස ලෝකය පුරා විවිධ ස්‌ථානවල විවිධ ආකාරයේ කටයුතු ක්‍රියාත්මක වේ. මේ අතරින් සමහරක්‌ රාජ්‍ය මට්‌ටමින් දියත් කරනු ලබන විවිධ පරිමාණයේ වැඩසටහන් හා ව්‍යාපෘති වේ. එහෙත් ඇතැම් කටයුතු ක්‍රියාත්මක කරනු ලබන්නේ එම ගැටලුවලට මුහුණ දී ඇති ප්‍රජාව විසින් ම ය. ඒවා ප්‍රජා පාදක හෝ ප්‍රජා මූලික ව්‍යාපෘති ලෙස හැඳින්විය හැකි ය.

මේ ආකාරයෙන් අනාගත පරිසරයේ යහපැවැත්ම සඳහා සාර්ථක පූර්වාදර්ශ ලෙස යොදාගත හැකි ප්‍රජා මූලික ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා ගත් උත්සාහයක ප්‍රතිඵල ලෙස පළ වූ පර්යේෂණ පත්‍රිකාවක්‌ පසුගිය දා නිකුත් විය. ඊට අනුව මේ ප්‍රජා මූලික ව්‍යාපෘති අතර ඇති ඵලදායී නිදසුන් යහපත් මානව යුගයේ යහපත් තත්ත්වයක්‌ ඇති කරගැනීම සඳහා යොදාගත හැකි ය.

යහපත් මානව යුගය

මේ අධ්‍යයනයේ යෙදුණු පර්යේෂකයන් විසින් "යහපත් මානව යුගයක බීජ" (seeds of good anthropocene) නම් වෙබ් අඩවියක්‌ වෙත යොමු කරන ලද ලෝකය පුරා ක්‍රියාත්මක වූ විවිධ ප්‍රජා මූලික ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කර ඇත. මේ සඳහා ජාත්‍යන්තර සහභාගිත්ව ක්‍රමවේදයක්‌ අනුව ව්‍යාපෘති තොරතුරු ලබා දිය හැකි ය. එහි දී මේ බීජ නිර්වචනය කර ඇත්තේ වර්තමාන ලෝකයේ ප්‍රමුඛව දැකිය නොහැකි, එහෙත් අවම වශයෙන් මූලාකෘති ලෙස හෝ දැනටමත් ක්‍රියාත්මක වන මුල්පිරීම් (initiatives) වේ. මේවායින් පාරිසරික තත්ත්වයට මෙන්ම මිනිසුන් ගේ යහපැවැත්ම සඳහා ද බලපෑමක්‌ වීම ඒවායේ මූලික සුදුසුකමක්‌ විය. මීට සමාජයීය, තාක්‌ෂණික, ආර්ථික හෝ සමාජ-ආර්ථික ක්‍රමවේද අයත් වන අතර විවිධ දර්ශන, වටිනාකම් හා කලාප නියෝජනය කරන ඒවා ද විය.

මේ වෙබ් අඩවියට ලැබුණු මුල්පිරීම් අතරින් වැඩි ප්‍රමාණය විවිධ ආකාරයේ සමාජ-පාරිසරික ව්‍යාපෘති පිළිබඳ වූ ඒවාය. නිදසුනක්‌ ලෙස ගත හොත්, පාරිසරික පියසටහන අඩු කිරීම සඳහා හේතු වන තාක්‌ෂණය හා සැකසුම, ජෛව විවිධත්ව සංරක්‌ෂණය හා සම්පත් කළමනාකරණයේ තත්ත්වය වැඩි දියුණු කිරීමට හේතු වන ක්‍රියාමාර්ග, ආහාර නිෂ්පාදනයේ තිරසරභාවය ළගා කරන උපක්‍රම ආදිය වඩාත් වැදගත් සේ සැලකිය හැකි ය. එසේ ම සම්පත්, අධ්‍යාපනය හා බලය සඳහා සමාන ප්‍රවේශයක්‌ ඇති කිරීම, තිරසරභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාර, අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ වැනි කරුණු මෙන්ම විවිධ විශේෂිත ගැටලු සඳහා වූ විසඳුම් ආදිය ද මේ මුල්පිරීම් අතරට ඇතුළත් වී ඇත. මේවා ජගත් මට්‌ටමින් ක්‍රියාත්මක වූ ඒවා බැවින් ඒවායේ ඇති පුළුල් ස්‌වභාවය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නො වේ.

මෙසේ ලැබුණු මුල්පිරීම් සියයක්‌ පිළිබඳව මේ පර්යේෂකයන් පිරිස විශ්ලේෂණය කළ අතර එහි දී හෙළි වූ කරුණු අනුව මේ ප්‍රජා මූලික ව්‍යාපෘතිවලින් යහපත් ආදර්ශයක්‌ ලෙස යොදාගත හැකි ආකාරයේ ව්‍යාපෘති හඳුනාගෙන තිබේ. මේ ආදර්ශ ලෙස යොදාගත හැකි ව්‍යාපෘති අයත් වන මූලික විෂය හයක්‌ මෙහි දී ඔවුන් හඳුනාගෙන ඇත.

01. කෘෂි පරිසර විද්‍යාව (Agroecology) - මෙවැනි ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක කරන්නේ සමාජ-පාරිසරික විද්‍යාත්මක ප්‍රවේශයක්‌ මගින් ආහාර නිෂ්පාදනය කිරීමයි. මේ සඳහා නිදසුනක්‌ ලෙස ජපානයේ ක්‍රියාත්මක සටොයාමා (Satoyama) ව්‍යාපෘතිය දක්‌වා ඇත. අදාළ ව්‍යාපෘතියේ දී නාගරික ප්‍රජාව ග්‍රාමීය ප්‍රජාව හා එක්‌ ව ඌන භාවිතයක්‌ ඇති කෘෂි පරිසර පද්ධති වගාව සඳහා උපරිම වශයෙන් යොදාගැනීම සිදු වේ. එහි දී මූල්‍ය සහාය, ස්‌වෙච්ඡා දායකත්වය හා ගොවිපොළේ නැවතී සේවය කිරීම වැනි පියවර යොදාගෙන ඇත.

02. හරිත නාගරිකත්වය (green urbanism) - මෙවැනි ව්‍යාපෘතිවල දී සිදු කරන්නේ නාගරික ප්‍රදේශවල ස්‌වාභාවිකත්වය හා ජීවත්වීමට ඇති හැකියාව (Iiveability) ඉහළ නංවන ව්‍යාපෘති ය. මේවාට නිදසුනක්‌ ලෙස ඔවුන් දක්‌වා ඇත්තේ නිව්යෝක්‌හි ක්‍රියාත්මක කර ඇති ව්‍යDපෘතියකි. එහි දී සිදු කර ඇත්තේ අත්හැර දමන ලද දුම්රිය මාර්ගයක දේශීය ශාක විශේෂ වගා කරමින් සෞන්දර්යය, අධ්‍යාපනය හා විවේකය සඳහා වූ පරිසරයක්‌ නිර්මාණය කරන ලද ව්‍යාපෘතියකි.

03. අනාගත දැනුම (future knowledge) - මෙහි දී අදහස්‌ කරනු ලබන්නේ නව දැනුම හා අධ්‍යාපනය වෙත යොමු ව ඇති ව්‍යාපෘති වේ. උදාහරණයක්‌ ලෙස දක්‌වා ඇති, දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්‌ මගින් ප්‍රථම උපාධි මට්‌ටමේ දී සංරක්‌ෂණය පිළිබඳව කුසලතා ලබා දීම සිදු කරනු ලැබේ.

04. නාගරික පරිවර්තනය (urban transformation) - නාගරික පරිවර්තනය යන්නෙන් අදහස්‌ කරන්නේ නාගරික අවකාශය තුළ නව්‍ය වූ සමාජ පාරිසරික සම්බන්ධතා ඇති කිරීම අරමුණු කරගත් ව්‍යDපෘති වේ. මේ සඳහා නිදසුනක්‌ ලෙස දක්‌වා ඇත්තේ හිමාලය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ව්‍යDපෘතියකි. එය සුක්‌නා නම් විලක්‌ ගොඩ වීම වළක්‌වා ලූ අතර, වැසි ජලය රැස්‌ කිරීම වැනි කටයුතු ගැන අවධානය යොමු කරන ලද ප්‍රකට ව්‍යාපෘතියකි.

05. සාධාරණ අනාගතය (fair futures) - මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ තීරණ ගැනීමේ දී වඩාත් සාධාරණ වූ තත්ත්වයක්‌ ඇති කිරීම සඳහා ය. ජර්මනියේ පිහිටි ලුනේබර්ග් නම් වූ නගරයක්‌ ජීවත් විය හැකි, තිරසර හා සාධාරණ නගරයක්‌ බවට පත් කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක්‌ මේ සඳහා නිදසුන් සේ දක්‌වා ඇත.

06. තිරසර අනාගතය (sustainable futures) - මේ වර්ගයට අයත් ව්‍යාපෘති ලෙස දක්‌වා ඇත්තේ වඩා සාධාරණ හා තිරසර අනාගතයක්‌ නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක සමාජ ව්‍යාපාර ය. මීට නිදසුනක්‌ ලෙස, ඇමෙරිකාවේ 2010 දී ආරම්භ කරන ලද ෆාම් හැක්‌ ව්‍යාපෘතිය දක්‌වා ඇත. එහි දී ආහාර නිෂ්පාදනය සම්බන්ධ හා තිරසර කෘෂිකර්මය හා සම්බන්ධ නව්‍ය යෙදවුම් ආදිය පිළිබඳව අදහස්‌ හුවමාරු කරගැනීම සඳහා අන්තර්ජාලය යොදාගැනීම සිදු වේ.

මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ අපේ අනාගතය අයහපත් හා අසුබවාදී එකක්‌ ලෙස පෙනුණ ද, අපට අනාගතය ගැන සුබවාදී අපේක්‌ෂාවක්‌ තබාගත හැකි ආකාරයේ මුල්පිරීම් ද ලෝකයේ දැකිය හැකි බවයි. මේවායේ ඇති තවත් වැදගත්කමක්‌ වන්නේ ඒවා බිම් මට්‌ටමෙන් ආරම්භ වී ඇති දේ වීම නිසා ය. එහෙත් ඒවාට අප සිතන, අප කරන කටයුතු, හා ඒ කටයුතු සිදු කරන ආකාරය වෙනස්‌ කිරීමේ හැකියාවක්‌ තිබේ. මේවා ආදර්ශයට ගැනීමෙන් මිනිසුන් හා පරිසරය අතර වර්තමානයේ ඇති නිෂේධනීය සම්බන්ධතාව වෙනස්‌ කිරීමට හැකියාව ඇති බව මේ පර්යේෂකයෝ පෙන්වා දෙති. ඔවුන් ගේ අදහස වන්නේ මෙවැනි ව්‍යාපෘතිවල ඇතැම් අංශ එක්‌ ව හෝ තනි තනියෙන් හෝ යොදාගැනීමෙන් වඩා යහපත් හා තිරසර වූ අනාගතයක්‌ ගොඩනැගිය හැකි බව ය.

මිනිසුන් හා සොබාදහම අතර වඩා යහපත් සම්බන්ධයක්‌ ඇති කරගැනීමේ ක්‍රමවේද, අලුතින් සිතීම හා නව්‍ය වූ අදහස්‌ සහිත මුල්පිරීම් හා ආදිය ඇති වන්නේ වර්තමාන අර්බුදයෙන් ජයගැනීම සඳහා වූ විසඳුම් ලෙස ය. මේ නව දැක්‌මක්‌ සහිත නිර්මාණ තිරසරභාවය සඳහා පරිවර්තනය වීමේ දී අතිශයින් වැදගත් වූ කාර්යයකි. මේ ආකාරයෙන් නව්‍ය ක්‍රමවේද හෝ නිදසුන් ලෙස ඉදිරිපත් ව ඇත්තේ ඇතැම් විට අතීතයේ පැවැති ක්‍රමවේදයක්‌ හෝ නිදසුනක්‌ හෝ විය හැකි ය. මේවා ගැන අවධානය යොමු කිරීම වැදගත් ලෙස මේ පර්යේෂකයන් විසින් දක්‌වන්නේ මේ වන විට ද ක්‍රියාත්මක කර ඇති එවැනි නිදසුන් වර්ධනය කිරීම, අප තවමත් නො දන්නා අයහපත් බලපෑම්වලට විසඳුම් සෙවීමට වඩා ප්‍රායෝගික වන නිසා ය. උක්‌ත මුලපිරීම් "යහපත් මානව යුගයක බීජ" ලෙස ඔවුන් හඳුන්වා දී ඇත්තේ ඒ නිසා ය.

තිරසරභාවයේ ආදර්ශ ලෙස

මේ අධ්‍යයනයෙන් පෙනී යන්නේ මෙවැනි යහපත් හා ඵලදායක ලෙස යොදාගත හැකි මුල්පිරීම් ලෝකය පුරා ම ක්‍රියාත්මක වන බවයි. ඒවා ලෝකයේ වෙනත් ප්‍රදේශවල ද ආදර්ශ ලෙස යොදාගත හැකි ඒවා ය. එහෙත් උක්‌ත අධ්‍යයනයේ දී අවධානය යොමු කර ඇත්තේ එවැනි මුල්පිරීම් කිහිපයක්‌ පිළිබඳව පමණක්‌ බව පෙනේ. ලෝකයේ විවිධ රටවල මෙවැනි සාර්ථක මුල්පිරීම් සාර්ථක ලෙස දියත් කර ඇති බවට සැකයක්‌ නැත. එසේ ම ඇතැම් එවැනි ව්‍යාපෘතියක්‌ අදාළ රටවල පවත්නා දේශීය තත්ත්වයට සරිලන ආකාරයෙන් සැලසුම් කරන ලද ව්‍යාපෘති වේ. ඒවා වෙනත් රටකට හෝ සමාජයකට නො ගැලපිය හැකි ය. අනෙක්‌ අතට ලෝකයේ එක්‌ තැනක සාර්ථකව දියත් කරන ලද ව්‍යාපෘතියක්‌ තවත් තැනක ඒ ආකාරයෙන් ම සාර්ථකව දියත් කිරීමට නොහැකි විය හැකි ය.

මේ ආකාරයට තිරසරභාවය සඳහා හේතු වන නව්‍ය හා තිරසර ආකාරයේ ආදර්ශ ලෙස සැලකිය හැකි ප්‍රජා මූලික වැඩසටහන් හා ව්‍යDපෘති අපේ රටේ ද ක්‍රියාත්මක ව ඇත. එවැනි ඇතැම් කටයුතු අතීතයේ පටන් මෙරට පැවැති දේ නැවතත් යොදාගැනීමකි. මේ සඳහා ඇති හොඳ ම නිදසුන වන්නේ අපේ රටේ අතීතයේ පටන් පැවැති ගොවිතැන් ක්‍රම හා පැරැණි භෝග වර්ග යළිත් යොදාගැනීමයි. එහෙත් ඒවා හඳුන්වා දීම සඳහා "කාබනික" ගොවිතැන වැනි නවීන වදන් භාවිතයට ගෙන ඇත. අද ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් ඇති මේ ගොවිතැන් ක්‍රම නැවත පුනරුදයක්‌ ලබන්නේ වැඩි වශයෙන් ප්‍රජා මූලික කටයුතු හා ව්‍යාපෘති ලෙස ය. ගොවිතැන හැර විවිධ විෂය හා සම්බන්ධ ව ද මෙවැනි ව්‍යාපෘති දියත් ව ඇතත්, එහෙත් ඒවා සම්බන්ධ ව රටේ අවධානය යොමු ව ඇත්තේ අඩු වශයෙනි. අනෙක්‌ අතට, එවැනි ඇතැම් ව්‍යාපෘතිවලින් හඳුන්වා දුන් කටයුතු අඛණ්‌ඩව ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති වූ අවස්‌ථා ද ඇති බව අප අමතක නො කළ යුතු ය.

මූලාශ්‍රය : පර්යේෂණ පත්‍රිකාව - Frontiers in Ecology and the Environment, DOI: 10.1002/fee.1309

"යහපත් මානව යුගයක බීජ" වෙබ් අඩවිය - https://goodanthropocenes.net

http://www.vidusara.com/2016/11/09/feature2.html

Thursday, November 17, 2016

ට්‍රම්ප් ගේ ආගමනය හා දේශගුණ සටනේ අනාගතය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 16.11.2016, පි. 5

(Vidusara, 16.11.2016, Trump and the future of the effort to combat climate change)

http://www.vidusara.com/2016/11/16/feature2.html

පසුගිය දා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත්තේ රිපබ්ලිකන් පාක්‌ෂික අපේක්‌ෂක ඩොනල්ඩ් ඡේ. ට්‍රම්ප් ය. එය බොහෝ දෙනා අපේක්‌ෂා නො කළ ප්‍රතිඵලයකි. ඇමෙරිකානු හා වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය මගින් මෙන්ම ජනමත විමසුම් මගින් ද පෙන්වා දී තිබුණේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්‌ පක්‌ෂයේ අපේක්‌ෂිකාව වූ හිලරි ක්‌ලින්ටන් ජයග්‍රහණය කරනු ඇති බව ය. එහෙත් ඒ සියල්ල අසත්‍ය කරමින් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ. මේ අනුව ඔහු ලබන ජනවාරියේ දී එරට 45 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිත ය.

ට්‍රම්ප් ගේ ජයග්‍රහණය සම්බන්ධව විවිධ විචාර දේශීය විදේශීය ජනමාධ්‍යවල පසුගිය දින කිහිපය පුරා දැකිය හැකි විය. ඇමෙරිකාවේ සුදු ජාතිකයන් අතරින් බහුතරයක්‌ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ට වන අතර, එරට වෙසෙන සුළු ජාතිකයන් වැඩි දෙනා ඡන්දය ප්‍රකාශ කර තිබුණේ හිලරි ක්‌ලින්ටන්ට ය. එසේ ම ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ඇමෙරිකානු ජාතිකවාදයේ ජයග්‍රහණයක්‌ ලෙස සැලකේ. එය ලෝකයේ මේ වන විට වර්ධනය වෙමින් පවත්වා ජාතිකවාදී ප්‍රවාහයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ වීමට ද හැකි ය.

කෙසේ හෝ වේවා ට්‍රම්ප් මේ වන විට ලෝකයේ බලවත් ම රාජ්‍යයක මිළග ජනාධිපතිවරයා බවට පත් වී ඇත. ඒ අනුව අනාගත ලෝකයේ පරිසරය හා සම්බන්ධ කරුණුවල දී ලෝකයට කටයුතු කිරීමට සිදු වන්නේ ඔහු ගේ ප්‍රතිපත්ති සමග ය. ඇමෙරිකාව මෑත කාලයේ දී පරිසරය පිළිබඳව, විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව යම් යම් සාධනීය පියවර ගෙන තිබේ. එහෙත් ඔබාමාට වඩා වෙනස්‌ ප්‍රතිපත්ති සහිත ට්‍රම්ප් ගේ පාලනය යටතේ පරිසරය පිළිබඳ ප්‍රතිපත්ති කෙබඳු වනු ඇති ද යන්න විමසා බැලීමට වටියි. මේ සටහන ඒ වෙනුවෙනි.

ට්‍රම්ප් ගේ දේශගුණ ප්‍රතිපත්තිය


ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති තුළ දේශගුණ වෙනස්‌ වීමට හිමි වන තැන සලකා බැලුව හොත්, දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ විද්‍යාව චීනය විසින් කරන ලද රැවටීමක්‌ (hoax) බව ඔහු 2012 වර්ෂයේ දී පමණ සිය ට්‌විටර් ගිණුමේ සටහන් කර ඇත. දේශගුණ වෙනස්‌ වීම ඉදිරියට ගෙන ඇත්තේ ඇමෙරිකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සෙසු රටවල් හා තරගකාරී නො වන මට්‌ටමකට ගෙන ඒමට බව ද හෙතෙම පවසා ඇත. තමා බලයට පත් වූ පසු දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පැරිස්‌ සම්මුතියෙන් ඉවත් වීමට හෝ ඒ ගැන යළි සාකච්ඡා කිරීමට හෝ කටයුතු කරන බව ඔහු පැවසුවේ සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර පසුගිය මැයි මාසයේ දී ය. එසේ ම ගල් අගුරු කර්මාන්තය, තෙල් හා ගෑස්‌ කර්මාන්තය ව්‍යාප්ත කිරීමට ට්‍රම්ප් පොරොන්දු වී තිබේ. මේ වන විට ලෝකය අපේක්‌ෂා කරන්නේ ෆොසිල ඉන්ධන භාවිතය සීමා කිරීමට ය. මීට සාපේක්‌ෂව ගත් විට ප්‍රතිවාදී අපේක්‌ෂකයා වූ හිලරි ක්‌ලින්ටන් දේශගුණ වෙනස්‌ වීම හා ඒ පිළිබඳ විද්‍යාත්මක දැනුම පිළිගත් අයෙක්‌ විය.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් ට්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යDපාරය තුළ ඇතැම් අවස්‌ථාවල පරිසරය හා සම්බන්ධ මෙන්ම පොදු විද්‍යාත්මක දැනුම අවතක්‌සේරු කළ අවස්‌ථා හෝ අනවබෝධය පෙන්වූ අවස්‌ථා රැසක්‌ ද දැකිය හැකි විය. එසේ ම ට්‍රම්ප් එරට පරිසර ආරක්‌ෂක ඒජන්සිය සඳහා තෝරාගෙන ඇත්තේ දේශගුණ වෙනස්‌ වීම ප්‍රතික්‌ෂේප කරන්නකු වන මයිරන් එබෙල් නැමැත්තා බව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් විය.

කෙසේ වෙතත්, දැන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ කිසියම් පමණක සංශයවාදියෙක්‌ ඇමරිකාවේ ජනාධිපති බවට පත් වී ඇත. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග මේ පිළිබඳව Scientific American සගරාවට අදහස්‌ දැක්‌වූ විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දී තිබුණේ දේශගුණ වෙනස්‌ වීම, පරිසරය වෙනත් විද්‍යාව හා සම්බන්ධ විෂයයන්වලට පහරක්‌ වැදී ඇති බවයි. ට්‍රම්ප් පමණක්‌ නො ව ඔහු ගේ සමීපතමයන් අතරින් සැලකිය යුතු පිරිසක්‌ ද දේශගුණ වෙනස්‌ වීම ප්‍රතික්‌ෂේප කරන හෝ බරපතළ ලෙස විවේචනය කරන හෝ පිරිසක්‌ වීම විශේෂත්වයකි.

ට්‍රම්ප් ගේ මේ ප්‍රතිපත්ති ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ද බලපාන්නට ඇති බව අපට සිතේ. බ්‍රෙක්‌සිට්‌ හෙවත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා බ්‍රිතාන්‍යයේ මෑත දී පැවැති ජනමත විචාරණයේ දී ද මීට තරමක්‌ සමාන සිදුවීමක්‌ සිදු විය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වුව හොත් දේශගුණ වෙනස්‌ වීම, පරිසරය වැනි (හා තවත්) අංශවලට ඇති විය හැකි නිෂේධනීය බලපෑම ගැන බොහෝ පුද්ගලයන් හා සංවිධාන විසින් පෙන්වා දෙන ලද නමුත්, අදාළ ජනමත විචාරණයේ දී ජනතාවට පරිසරය පිළිබඳ කරුණුවලට වඩා වෙනත් කරුණු වැදගත් විය. මේ නිසා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු යෑයි ජනමත විචාරණයේ දී තීරණය විය. (මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග මගින් ඒ තීරණය ගැන මතභේදාත්මක තත්ත්වයක්‌ ඇති වී තිබේ.) බ්‍රිතාන්‍යයේ එසේ වී නම්, දේශගුණ වෙනස්‌ වීම සැක කරන පිරිස්‌ වඩා අධික වන ඇමෙරිකාවේ සිදුවිය හැකි දේ ගැන අප පුදුමයට පත් විය යුතු නැත.

ඇමෙරිකාව පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වේ ද?


දැන් ට්‍රම්ප් ජනාධිපති වීමට නියමිත ය. ඒ පිළිබඳව කණගාටුවට හා බියට පත් විය යුතු කරුණු අතරින් එකක්‌ ලෙස දේශගුණ වෙනස්‌ වීම දක්‌වා ඇත. දේශගුණ වෙනස්‌ වීම පසුපස ඇති විද්‍යාව රැවටීමක්‌ හෝ මිථ්‍යාවක්‌ ලෙස සිතන අයකු ජනාධිපති වීම ඊට හේතුවයි.

ඔහු ප්‍රකාශ කළ පරිදි පැරිස්‌ සම්මුතියෙන් ඉවත් වීම කළ හැකි වුව ද එය කඩිනමින් කළ හැකි දෙයක්‌ නො වේ. සම්මුතිය බලාත්මක තත්ත්වයට පත් වී වසර තුනකට පසුව පාර්ශ්වකරුවන්ට ඉන් ඉවත් වීමේ නිවේදනය ලබා දී තවත් වසරකින් ඉන් ඉවත් වීමට හැකි ය. ඒ අනුව ඊට අවම වශයෙන් වසර හතරක පමණ කාලයක්‌ ගත වේ. ඔවුන් අදාළ ගිවිසුමේ පාර්ශ්වකරුවකු වන නිසා ඊට අදාළ වගකීම්වලින් එතෙක්‌ බැඳී සිටිනු ඇත. මේ අනුව ගිවසුමෙන් ඉවත් වීම ක්‌ෂණිකව කිරීම අපහසු බව පැහැදිලි ය. (ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඔබාමා ගිවිසුම අත්සන් කිරීමට මෙන්ම අපරානුමත කිරීමට කඩිනමින් කටයුතු කළේ මේ නිසා බව සිතිය හැකි ය.)

එහෙත් ඇමෙරිකාව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියෙන් (UNFCCC) ඉවත් වන්නේ නම් එය වසරක කාලයකට පෙර දැනුම් දීම ප්‍රමාණවත් ය. ඒ සමග ම පැරිස්‌ සම්මුතියෙන් ද එරට ඉවත් වේ. අනෙක්‌ අතට පැරිස්‌ සම්මුතියෙන් ඉවත් නො වී, එරට හරිතාගාර වායු විමෝචන අඩු කිරීමෙන් වැළකී, පැනවූ නීති ක්‍රියාත්මක නො කර හෝ ආපසු හැරවීමට ද ඔහු පියවර ගත හැකි ය.

පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීමට අවශ්‍ය නම්, ට්‍රම්ප් මේ කුමන ක්‍රමයක්‌ තෝරාගනු ඇති දැයි දැන් ම පැවසිය නොහැකි ය. එහෙත් ට්‍රම්ප් ගන්නා පියවරට එරෙහි විය හැකි ව්‍යවස්‌ථාපිත ආයතනයක්‌ එරට නො තිබීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වේ. ඇමෙරිකාවේ සෙනෙට්‌ මණ්‌ඩලය, සාමාන්‍යයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිගැනීමට අදිමදි කරන රිපබ්ලිකන් පාක්‌ෂික බහුතරයකින් යුක්‌ත ය. ජනාධිපතිවරයා ගේ ඇතැම් කටයුතු නැවැත්වීමට හෝ පමා කිරීමට හෝ සෙනෙට්‌ මණ්‌ඩලයට හැකි වුව ද, දැන් එය ද එක ම පක්‌ෂයේ වීම නිසා ට්‍රම්ප් ගන්නා දේශගුණ හා පරිසර විරෝධී පියවරවලට ඔවුන් ගේ සහාය ලැබීමට ඉඩ තිබේ. මේ වන විට ඇමෙරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ බලය ඇත්තේ ද එම පක්‌ෂයට ය. වර්තමාන ජනාධිපති බැරැක්‌ ඔබාමා ගත් දේශගුණ වෙනස්‌ වීම, පරිසරය හා වෙනත් එවැනි විෂයයන් සම්බන්ධ ඵලදායී යහපත් පියවර නැවැත්වීමට හෝ ඊට බාධා කිරීමට හෝ රිපබ්ලිකන් පාක්‌ෂික බහුතරයකින් යුක්‌ත සෙනෙට්‌ සභාව කටයුතු කළ අවස්‌ථා ගණනාවක්‌ ම මෑත අතීතයේ වාර්තා විය.

ට්‍රම්ප් ගන්නා කවර නිෂේධනීය ක්‍රියාවක වුව ප්‍රතිඵලය වර්තමාන දේශගුණ සටනට බරපතළ විය හැකි ය. ඇමෙරිකාව මේ වන විට පොරොන්දු වී ඇති දේශගුණ ඉලක්‌කය අත්පත් කරගැනීම සඳහා දැනට සිදු කරන කටයුතු ප්‍රමාණවත් නො වන බව විද්‍යාඥයන් මේ වන විට ද පෙන්වා දී ඇත. එසේ තිබිය දී ඇමෙරිකානු රජය පැරිස්‌ සම්මුතිය නො සලකා හැරීම හෝ ඉන් ඉවත් වීම හෝ සිදුවීම සම්මුතියේ සාර්ථකත්වයට බලපෑ හැකි ය. එවැනි පියවරක්‌ දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමේ සටනට යම් බලපෑමක්‌ කළ හැකි ය. විශේෂයෙන් පැරිස්‌ සම්මුතිය යටතේ ගන්නා පියවර බොහෝ දුරට ස්‌වෙච්ඡා දායකත්වයක්‌ වන බැවින් ඇමෙරිකාවේ නිෂේධනීය තීරණයකින් කිසියම් බලපෑමක්‌ සිදු විය හැකි ය. අද ලෝකයේ දෙවැනි වැඩි ම හරිතාගාර වායු ප්‍රමාණය විමෝචනය කරන්නේ ඇමෙරිකාව ය.

මීට වසර කිහිපයකට පෙර, විශේෂයෙන් රිපබ්ලිකන් පාක්‌ෂික ජනාධිපති ජෝර්ඡ් බුෂ් ගේ පාලනය යටතේ, ඇමෙරිකාව දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමට ගත් ජගත් උත්සාහයට බාධා කරමින් සිටියේ ය. 1997 දී සම්මත වූ කියෝටෝ සන්ධානය බලාත්මක වීම ප්‍රමාද වීමට හා බලාත්මක වුව ද එය අසාර්ථක වීමට ඇමෙරිකාවේ සහයෝගය නොමැති වීම ද හේතු විය. දේශගුණ සටනට එරට දායක වන්නේ ඔබාමා ගේ පාලන සමයේ ය. ඔබාමා යටතේ ඇමෙරිකානු දේශගුණ ප්‍රතිපත්තිවල සැලකිය යුතු වෙනසක්‌ ඇති වූ අතර ඔවුන් පැරිස්‌ සම්මුතියට අත්සන් තබා එය අපරානුමත කිරීමට ද පියවර ගෙන ඇත. එවැනි තත්ත්වයක දී මේ ගමන්මෙගන් ඇමෙරිකාව ඉවත් වුව හොත් එය ඛෙදජනක කරුණකි.

තත්ත්වයේ බරපතළකම

එවැනි තත්ත්වයක්‌ ඇති වුව හොත් ඇති වන ප්‍රතිඵලයේ තරම සම්බන්ධව ද මේ වන විට අවධානය යොමු ව තිබේ. එක්‌ ගණනය කිරීමකට අනුව, ඉදිරියේ දී ඇමෙරිකාව පැරිස්‌ සම්මුතිය අනුව කටයුතු නො කළ හොත්, ට්‍රම්ප් ගේ දෙවැනි පාලන සමය (ඔහු දෙවරක්‌ පත් වුව හොත්) අවසන් වන විට ඇමෙරිකාවේ හරිතාගාර විමෝචන අදට වඩා 16%ක්‌ පමණ ඉහළ යැමේ අවදානමක්‌ පවතී. ට්‍රම්ප් ගේ ජයග්‍රහණයත් සමග එරට ගල්අගුරු සමාගම්වල කොටස්‌ මිල ඉහළ ගිය බව ද මාධ්‍ය ඔස්‌සේ වාර්තා විය. එසේ ම හිලරි ක්‌ලින්ටන් ජනාධිපති වූයේ නම්, ඇය ගැනීමට සිටි පියවර මගින් එරට විමෝචන ප්‍රමාණය අඩු වීමට නියමිත වූ බව අප අමතක නො කළ යුතු කරුණකි.

මේ අතර දේශගුණ වෙනස්‌ වීම යථාර්ථයක්‌ බව ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීම සඳහා ලෝකයේ ප්‍රකට විද්‍යාඥයන් හා පරිසරවේදීන් පිරිසක්‌ නව ව්‍යාපාරයක්‌ ආරම්භ කර තිබේ. මේ සඳහා ආයතන කිහිපයක්‌ ම මැදිහත් වී ඇති බව පෙනේ. ඇමෙරිකාවේ සියෙරා සමිතිය, ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මේ අතර වේ. ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිවල කිසියම් වෙනසක්‌ ඇති කිරීමට අපේක්‌ෂා කරන ඔවුන් ගේ අදහස වන්නේ ලෝකය මේ විනාශයෙන් ගලවාගැනීමයි. එය එසේ සිදු වනු ඇති ද යන්න වැඩි දවසක්‌ යැමට පෙර අපට දැනගත හැකි වනු ඇත.

අවසන් වශයෙන් එක්‌ ලේඛකයකු පැවසූ කරුණක්‌ සඳහන් කළ හැකි ය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය නම් ජනාධිපති වූ පසුව ඇමෙරිකානු නීති වෙනස්‌ කළ හැකි ය. එහෙත්, දේශගුණ වෙනස්‌ වීමට ඇමෙරිකානු නීති අදාළ නො වේ. ඊට අදාළ වන්නේ භෞතික විද්‍යාවේ නීති ය.

http://www.vidusara.com/2016/11/16/feature2.html

Friday, November 11, 2016

විදුලි අර්බුදය හා ඒ සඳහා වන විකල්ප

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.11.2016, පි. 2 

(Vidusara, 02.11.2016, Power crisis and alternatives for that)

http://www.vidusara.com/2016/11/02/news1.html

පසුගිය දා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අක්‍රිය වීම නිසා රට පුරා විදුලිය අත්හිටුවීමට සිදු වන බවට අනතුරු හැගවීම් නිකුත් කරන ලදි. එම බලාගාරය බිඳ වැටීමත් සමග මෙරට ජාතික විදුලිබල පද්ධතියට සැපයුණු මෙගවොට්‌ 900ක ධාරිතාවක්‌ අහිමි වීම ඊට හේතු විය. කෙසේ වෙතත්, අදාළ විදුලි කප්පාදුව ඇති වන කාලය පසුව අඩු කරන ලද අතර, එය ක්‍රියාත්මක වූයේ දින කීපයක්‌ පමණි. එසේ ම ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක්‌ සිදු කරන ලද්දේ ද නැත.

විදුලි සැපයුමට සම්බන්ධ එක්‌ බලාගාරයක්‌ හෝ කිහිපයක්‌ හෝ අක්‍රිය වීමත් සමග රටේ විදුලි ඉල්ලුමට අවශ්‍ය විදුලිය සැපයීමට වෙනත් විදුලි බලාගාර තිබීම අඛණ්‌ඩ විදුලි සැපයුමක්‌ සඳහා අවශ්‍ය බව මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වන සැම විටක ම පැහැදිලි වේ. එවැනි සැපයුමක්‌ නොමැති අවස්‌ථාවක දී විදුලි කප්පාදුවක්‌ සිදු විය හැකි ය.

පාරිභෝගික විදුලි ඉල්ලුම ඉහළ යැමත් සමග රටේ විදුලි සැපයුම ද ඊට සාපේක්‌ෂව ඉහළ යා යුතු වේ. එය ප්‍රමාණවත් විදුලි ධාරිතාවක්‌ සහිත නව බලාගාර හා නව විදුලි බල ප්‍රභව යොදාගනිමින් මනාව සැලසුම් කළ යුතු දෙයකි. මෙරට විදුලි බලධාරීන් විසින් කලක පටන් එවැනි සැලසුම් සකස්‌ කරන ලද නමුත්, ඒවායේ ඇතුළත් යෝජිත බලාගාර ඉදි කිරීම විවිධ හේතු මත ප්‍රමාද වීම නිසා රටේ විදුලිය ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක්‌ ලබා දිය නොහැකි තත්ත්ව කලින් කල ඇති වී තිබේ. ජල විදුලි බලය නිපදවීම සීමා සහිත වන වියළි කාලවල දී මේ තත්ත්වය වඩාත් උග්‍ර වේ.

1980 දශකයේ දී මහා පරිමාණ ජලවිදුලි බලාගාර ඉදි කරන ලද කාලයේ ලංකාවේ විදුලි ධාරිතාව වේගයෙන් ඉහළ ගියේ ය. අපට ඉන්දියාවට ද විදුලිය දිය හැකි යෑයි පැවසෙන ප්‍රකට කියමන පවසන ලද්දේ මේ කාලයේ දී බව කියෑවේ. ඒ ජල විදුලිය මගින් ඒ වන විට මෙරට පැවැති විදුලි ඉල්ලූම සැපයීමෙන් පසුව අතිරික්‌ත විදුලියක්‌ ජනනය කළ හැකි වෙතැයි යන විශ්වාසය නිසා ය. එහෙත් කාලයත් සමග මෙරට විදුලි ඉල්ලුම ඉහළ ගිය අතර, සැපයුම ඊට සාපේක්‌ෂව සැලසුම් කළ ආකාරයෙන් ඉහළ නො ගියේ ය. පෙර සඳහන් කළ පරිදි බලාගාර ඉදි කිරීම පමා විය. මේ තත්ත්වය හමුවේ විදුලි ඉල්ලුම සැපයීම සඳහා තාප විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට රජයට සිදු වූ අතර, එමගින් විදුලි ඒකකයක මිල ඉහළ ගියේ ය. එසේ ම, ඒ වියදම විදුලිබල මණ්‌ඩලයට දරාගැනීමට සිදු වූ බැවින්, මණ්‌ඩලය ණය වූ අතර පාඩු ද ලැබුවේ ය. මේ තත්ත්වය යම්තාක්‌ හෝ විසඳුණේ ගල්අගුරු බලාගාරය ඉදි කළ පසු ව ය. නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක වන විට මෙරට විදුලි සැපයුමෙන් ආසන්න වශයෙන් හරි අඩක්‌ පමණ සැපයෙන්නේ එම ගල්අගුරු බලාගාරයෙන් බව පෙනේ.

මේ අතර ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිය ලබා දීමට සූදානම් ය යන ප්‍රකාශය පසුගිය දා ඉන්දියාවෙන් අසන්නට ලැබිණි.

ඉන්දියාවෙන් විදුලිය ලබාගැනීමේ යෝජනාව


ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලිය සැපයීම පිළිබඳව ඉන්දියාවේ මධ්‍යම රජයේ බලශක්‌ති අමාත්‍යංශය විසින් සලකා බැලෙමින් ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ ඉකුත් ඔක්‌තෝබර් මස මුල දී ය. ඒ අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය ව ඇති මෙගවොට්‌ 500ක විදුලි සැපයුම ලබා දීම සඳහා ඉන්දියාවට හැකියාව තිබේ. ඒ සඳහා මුහුද යටින් දිවෙන කේබල් මාර්ගයක්‌ ස්‌ථාපිත කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබිණි. එම නිලධාරියාට අනුව, මීට පෙර මේ යෝජනාව පිළිබඳව සලකා බලන ලද නමුත් කේබල් යෙදීම පිළිබඳ තාක්‌ෂණය ශක්‍ය නො වූ නිසා එම යෝජනාව ක්‍රියාත්මක කර නොමැත. මේ වන විට ඒ සඳහා නව තාක්‌ෂණයක්‌ සොයාගෙන ඇති බැවින් එය ඉදි කළ හැකි එකක්‌ බව ද මේ හින්දු පුවත්පතේ වාර්තාවේ සඳහන් වේ.

එහෙත් මේ පිළිබඳව ශ්‍රී ලංකාව පැත්තෙන් කිසිදු නිල ප්‍රතිචාරයක්‌ වාර්තා නො වූ තරම් ය.

බොහෝ දෙනාට මේ කතාව අලුත් දෙයක්‌ වූ බව මේ සම්බන්ධව සමාජ ජාල ඔස්‌සේ ඇති වූ සංවාද අනුව පෙනේ. මෑත භාගයේ දී සාකච්ඡා නො වූ බැවින් බොහෝ දෙනාට මෙය අලුත් දෙයක්‌ වුව ද, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලිය හුවමාරු කිරීම පිළිබඳ යෝජනාවට සැලකිය යුතු අතීතයක්‌ තිබේ. මේ යෝජනාව මුලින් ම ඉදිරිපත් වන්නේ 1970 දශකයේ දී පමණ බව වාර්තා වෙතත් ඊට මූලාශ්‍රයක්‌ නොමැති බව ද 2002 USAID වාර්තාවේ සඳහන් වේ. (මේ පිළිබඳව 2002 වර්ෂයේ දී ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්‌සත් ජනපද නියෝජිතායතනය (USAID) ආයතනය මගින් Viability of developing a transmission
system interconnection between India and Sri Lanka: Technical options and investment requirements නමින් පූර්ව-ශක්‍යතා වාර්තාවක්‌ සකස්‌ කර තිබේ). 2006 වර්ෂයේ දී ඉන්දියානු සමාගමක්‌ වන Power Grid Corporation India Limited මගින් එම අධ්‍යයනය සමාලෝචනය කර යාවත්කාලීන කර තිබේ.

මේ අතර දෙරට අතර විදුලිබල පද්ධති සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්‌ සිදු කිරීම සඳහා 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්‌ ද අත්සන් කර ඇත. ඒ මෙගවොට්‌ 1000ක විදුලිබල පද්ධති සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම අරමුණු කරගත්තකි. එම අධ්‍යයනය සිදු කරන ලද්දේ ලංකා විදුලිබල මණ්‌ඩලය හා ඉන්දියාවේ Power Grid Corporation India Limited ආයතනය විසිනි. පසුගිය පෙබරවාරි මාසය වන විට මේ වාර්තාව සකස්‌ කර අවසන් බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා පුවත්පත්වලට පවසා තිබිණි.

ඒ අනුව ඉන්දියාවේ මදුරයි සිට ශ්‍රී ලංකාවේ අනුරාධපුරය දක්‌වා වූ සම්ප්‍රේෂණ මාර්ගයක්‌ ඉදි කිරීමට යෝජනා විය. එය ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් හා මුහුද යටින් දිවෙන කිලෝමීටර් 50ක්‌ දිග කේබල් මාර්ගකින් ද යුක්‌ත ය. එය මෙගවොට්‌ 500ක්‌ සඳහා සැලසුම් කර තිබුණ ද, මෙගවොට්‌ 1000ක්‌ දක්‌වා දියුණු කළ හැකි ලෙස සැලසුම් කර තිබේ. කිලෝ වොට්‌ 400ක විදුලියක්‌ සම්ප්‍රේෂණය කරන මේ සම්ප්‍රේෂණ මාර්ග අධි වෝල්ටීයතා සරල ධාරා (highvoltage, direct current - HVDC) ක්‍රමයට අයත් ය. මෙය දිගු දුරක්‌ විදුලිය සම්ප්‍රේෂණය සඳහා යොදාගන්නා ක්‍රමවේදයකි.

2015 වර්ෂයේ දී ලංකා විදුලිබල මණ්‌ඩලය මගින් ප්‍රකාශයට පත් කර ඇති දිගුකාලීන උත්පාදන ව්‍යාප්ති සැලසුම 2015-2034 (Long Term Generation Expansion Plan 2015-2034) නම් වාර්තාවේ ද සම්මත උත්පාදන විකල්ප (Conventional Generation Options) අතර ඉන්දියා-ශ්‍රී ලංකා විදුලිබල පද්ධති සම්බන්ධතාවක්‌ ඇති කරගැනීමේ විකල්පය පිළිබඳව සඳහන් කර ඇත.

රටවල් දෙක අතර මෙවැනි සම්බන්ධතාවක්‌ ඇති විට ශ්‍රී ලංකාවට අඩු මිලට විදුලිය ලබාගැනීමට මෙන්ම අතිරික්‌ත විදුලියක්‌ ඉන්දියාවට විදුලිය අපනයනය කිරීමට ද හැකි ය. මේ ගැන මහජන උපයෝගිතා කොමිසන් සභාවේ නිලධාරියකු මාධ්‍යවලට පවසා තිබුණේ එමගින් අපේ රට විශාල බලශක්‌ති වෙළෙඳපොළකට විවෘත කරන බව හා තරගකාරී මිලකට විදුලිය මිල දී ගැනීමට හැකි වන බවයි.

ජාත්‍යන්තර විදුලි වෙළෙඳාම හා ඉන්දියාව


මේ ආකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් විදුලිය වෙළෙඳාම් කිරීම ලෝකයේ රටවල් අතර දැකිය හැකි ය. එහි දී විදුලි අවශ්‍යතාව ඇති රටට වෙනත් රටකින් විදුලිය අලෙවි කිරීම සිදු වේ. යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවල ද මෙය දැකිය හැකි ය. ඉන්දියාව මේ වන විට නේපාලයට, බංග්ලාදේශයට හා මියන්මාරයට විදුලිය අපනයනය කරන අතර භූතානයෙන් විදුලිය ලබාගනියි. සාක්‌ රටවල් සියල්ල ම පාහේ එක්‌ව පිහිටුවනු ලබන සාක්‌ විදුලිබල පද්ධතියක්‌ සම්බන්ධව ද මේ පිළිබඳ විශේෂඥයන් ගේ අදහස්‌ ප්‍රකාශ වී ඇත. එහි අරමුණ මේ රටවල් අතර අවශ්‍යතාව අනුව විදුලිය වෙළෙඳාම් කිරීම ය. එය දූපත් රාජ්‍ය අතර පවා සිදු වන්නේ මුහුද යටින් දිවෙන කේබල් මාර්ගයෙනි.

කෙසේ නමුත් තම රටේ තවමත් විදුලිය නොමැති විශාල ජනතාවක්‌ සිටිය දී වෙනත් රටවලට විදුලිය අපනයනය කරන්නට යන ඉන්දියාව සමග විදුලිය ගනුදෙනු කිරීමේ දී සැලකිල්ලෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. ඉන් පළමු කරුණ වන්නේ මිල දී ගන්නා විදුලිය ලාබදායක විය යුතු ය යන්න ය. එහෙත් ඒ හැර තවත් වැදගත් කරුණක්‌ තිබේ. ඒ ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේ දී එරට හුදෙක්‌ වාණිජමය පරමාර්ථයෙන් පමණක්‌ කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම ය. ඉන්දියාවේ වෙළෙඳ කටයුතුවලට එරට විදේශ ප්‍රතිපත්තිය ගාවාගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති බව අප අමතක නො කළ යුතු ය. නේපාලයත් සමග ඉන්දියාව ගැටලු ඇති කරගත් 2015 වර්ෂයේ අගභාගයේ දී ඉන්දියාවෙන් නේපාලයට තෙල් හා වෙනත් භාණ්‌ඩ සැපයීම පමා වීමක්‌ සිදු වූ අවස්‌ථාව මීට නිදසුනකි. ඊට තම රජයේ සම්බන්ධයක්‌ නැතැයි ඉන්දියාව නිල වශයෙන් කියා සිටිය ද, බොහෝ විචාරකයන් ගේ මතය අනුව නේපාලයේ නව ව්‍යවස්‌ථාව සම්මත කිරීමේ දී ඉන්දියාව දැක්‌වූ අසතුට හා නේපාලයට ඉන්දියාවේ සිට භාණ්‌ඩ සැපයීමේ ඇති වූ අවහිරතාව ඇති වූ කාලවකවානුව අතර මනා ගැලපීමක්‌ තිබේ.

ඉන්දියාව සමග අපේ අත්දැකීම් ද එතරම් යහපත් ඒවා නො වේ. එය නිදහසින් පසු හැම දා ම පාහේ දැකිය හැකි විය. 1980 දශකයේ ශ්‍රී ලංකාවේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය කෙරේ ඉන්දියාව දැක්‌වූ අකැමැත්ත මත මෙරට පැවැති ඊනියා ජනවාර්ගික ගැටලුව කෙරේ ඉන්දියාවේ මැදිහත් වීම තීරණය වූ ආකාරය බොහෝ දුරට සාකච්ඡා වී ඇත. එසේ ම ඉන්දීය ධීවරයන් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ මසුන් මැරීම සම්බන්ධව ඉන්දියාව දරන්නේ අධිපතිවාදී ආකල්පයකි. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරය වූ අබ්දූල් කලාම් ඒ සඳහා විසඳුමක්‌ ලෙස වරක්‌ යෝජනා කළේ ඉන්දීය ධීවරයන්ට සතියකට දින තුනක්‌ ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට අවසර දිය යුතු බවකි. ඉන්දියානු මානසිකත්වය තේරුම්ගැනීමට එය මනා නිදසුනකි. මේ වන විට ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ඇති කරගැනීමට උත්සාහ කරන ආර්ථික හා වෙළෙඳ ගිවිසුම (එට්‌කා) සම්බන්ධව ඔවුන් දරන ආකල්ප ද අපේ අවධානයට යොමු විය යුතු කරුණු වේ.

විශේෂයෙන් විදුලිබලය වැනි අත්‍යවශ්‍ය අංශයක්‌ සම්බන්ධව අප කෙතෙක්‌ දුරට මෙවැනි අසල්වැසි රාජ්‍යයක්‌ මත යෑපිය යුතු ද යන්න සිහිනුවණින් විමසා බැලිය යුතු කරුණකි. ඒ, තීරණාත්මක අවස්‌ථාවක රටේ විදුලිය බිඳවැටීමක්‌ සිදු වුව හොත් එය අංශ ගණනාවක ම කඩා වැටීම විය හැකි නිසා ය. මේ නිසා අපේ රටේ විදුලිබල ඉල්ලුම සපුරාලීමට මෙරට තුළ ම බලශක්‌තිය නිපදවීම සඳහා ප්‍රමුඛතාව දීම අවශ්‍ය ය. ඒ සඳහා වන සැලසුම් පිළිබඳව බලධාරීන් ගේ අවධානය යොමු විය යුත්තේ බලශක්‌ති සුරක්‌ෂිතභාවය හා ස්‌වෛරීභාවය ද රටකට වැදගත් වන බැවිනි.

http://www.vidusara.com/2016/11/02/news1.html