Tuesday, August 22, 2017

නොඉඳුල් නිවර්තන වනාන්තර යනු හිතලුවක්‌ ද ?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.08.2017, පි. 05 (Vidusara)

http://www.vidusara.com/2017/08/16/feature1.html



වසර 45,000ක අතීතයක පටන් වැසි වනාන්තර වෙනස්‌ කළ මිනිස්‌සු නිවර්තන වනාන්තර එළිපෙහෙළි කිරීම හා වනාන්තරවල සෙසු වෙනස්‌කම් මිනිසුන් විසින් සිදු කරන්නේ මෑත කාලයේ පටන් බව සාමාන්‍ය පිළිගැනීම වේ. වඩාත් නිශ්චිතව පවසන්නේ නම් ඒ නූතන කෘෂිකර්මාන්තයේ හා කාර්මීකකරණයේ ආරම්භයේ සිට ය. එයට පෙර කාලයේ මේ වනාන්තර මිනිස්‌ වාසයට නොසුදුසු සේ සැලකුණු බැවින් ඇතැම් විට හරිත කාන්තාර (green deserts) ලෙස හඳුන්වා තිබේ. නූතන සංරක්‌ෂණ වැඩපිළිවෙළේ ද මූලික පදනම වන්නේ ද මේ වෙනස්‌කම් මෑත කාලයේ දී සිදු ව ඇත්තේ ය යන්න ය.

කෙසේ වෙතත් මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මිනිසුන් වනාන්තර භාවිත කිරීම හා වනාන්තරවල වෙනස්‌කම් සිදු කිරීම පිළිබඳ කතාව බොහෝ ඈත අතීතයකට දිව යයි. ඒ අනුව අඩු ම වශයෙන් වසර 45,000ක්‌ තරම් වත් ඈත කාලයක සිට මිනිසුන් නිවර්තන වනාන්තර වෙනස්‌ කිරීම සිදු කොට ඇත. ඒ සඳහා මිනිසුන් යොදාගෙන ඇති උපක්‍රම අතර, වනාන්තර පාලිත ගිනි තැබීම් සිදු කිරීම හා ශාක හා සතුන් කළමනාකරණය හා වනාන්තරවල ශාක වැස්‌ම මුළුමනින් ඉවත් කිරීම වැනි උපක්‍රම භාවිත වී තිබේ. අප්‍රිකාවෙන් පිට වූ මානවයා විසූ බොහෝ නිවර්තන වනාන්තරවල මෙවැනි කරුණු වාර්තා වී තිබේ.

මේ කරුණු හෙළි ව ඇත්තේ මිනිසුන් ඈත අතීතයේ සිට ජගත් මට්‌ටමින් නිවර්තන වනාන්තරවලට සිදු කර ඇති බලපෑම් පිළිබඳව සිදු කරන ලද පුළුල් විමර්ශනයක දී ය. මෙවැනි බලපෑම් සම්බන්ධව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතත්, මේ අධ්‍යයනයේ දී ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති ඇති දත්ත සමාලෝචනයට ලක්‌ කර තිබීම නිසා එය වැදගත් වේ. මෙහි දී මිනිසුන් නිවර්තන වනාන්තරවලට බලපෑම් සිදු කළ අවධි තුනක්‌ සම්බන්ධව අවධානය යොමු කර ඇත. ඒ දළ වශයෙන් ගත හොත් දඩයක්‌කාර-ඵල වැල රැස්‌ කරන්නන් (hunter-gatherers) ලෙස ක්‍රියා කළ කාලය, කුඩා පරිමාණයෙන් කෘෂිකාර්මික කටයුතුවල නියෑළුණු කාලය හා මහා පරිමාණ නාගරික ජනාවාස පැවැති කාලය යනුවෙනි.

දඩයක්‌කාර-ඵලවැල රැස්‌ කරන්නන් ගේ කටයුතු


මිනිසුන් දඩයක්‌කරුවන් හා ඵල වැල රැස්‌ කරන්නන් වශයෙන් සිටි කාලයේ, අඩු වශයෙන් අදින් වසර 45,000කට පමණ පෙර සිට මිනිසුන් මේ ආකාරයෙන් වනාන්තරවල වෙනස්‌කම් සිදු කර ඇති බව හෙළි වී ඇත. එම වෙනස්‌කම් සැලකිය යුතු බරපතළ තත්ත්වයේ වෙනස්‌කම් වීම මෙහි දී අනාවරණය වී ඇති වැදගත් කරුණකි. මේ පිළිබඳව දැනට ඇති

පැරැණිතම කාල වකවානු ව වාර්තා වන්නේ අදින් වසර 45,000කට පමණ පෙර අග්නිදිග ආසියාවෙනි. ඒ නූතන මිනිසා මේ කලාපයට පැමිණි මුල් කාලයේ දී පමණ ය. එසේ ම ඔස්‌ටේ්‍රලියාවේ හා නව ගිනියාව වැනි රටවලින් ද මෙවැනි ගිනිතැබීම් පිළිබඳව සාධක ලැබේ. මේ ආකාරයෙන් වනාන්තතර එළි කිරීමෙන් මිනිසුන්ට ලැබුණු ප්‍රතිලාභය වූයේ ඔවුන් ආහාරයට ගැනීමට ප්‍රිය කරන සතුන් හා ශාක බහුල වූ පරිසර වැඩි වශයෙන් ඇති කරගැනීමට හැකියාවක්‌ ලැබීම ය. ඒ 'වන වාටි' (forest edge) ලෙස ද හඳුන්වන වනාන්තරයට යාබද වූ පරිසරයක්‌ ඇති කරගැනීමෙනි. මේ සම්පත් ප්‍රදේශ (resource patches) ආශ්‍රිත ව විශේෂිත එහෙත් තිරසර ආකාරයේ දඩයම් ක්‍රමවේද යොදාගෙන තෝරාගත් සතුන් දඩයම් කර ඇති බව විශ්වාස කරනු ලැබේ. මීට ප්‍රයිමේටාවන් වැනි සත්ත්ව කාණ්‌ඩ ඇතුළත් විය.

එසේ ම මේ ආකාරයෙන් සිදු කරන ලද කටයුතුවල දී අපර ප්ලයිස්‌යොසීන (Late Pleistocene) යුගයේ දී වනාන්තරවල විසූ විශාල සතුන් ගේ වඳ වී යැම සඳහා මිනිසුන් ගේ මේ කටයුතු හේතු වූ බවට සාධක ඇතත් එම මතය තවමත් විවාදිත ය. මේ ආකාරයෙන් වඳ වී ගිය සතුන් අතර විවිධ විශාල ප්‍රමාණයේ සතුන් ඇත. මේ සඳහා මිනිසුන් ගේ බලපෑමක්‌ තිබිණි නම් එය වැදගත් වන්නේ මේ සතුන් ගේ වඳ වීමෙන් ඇති වූ වෙනස්‌ වීම් නිසා ය. ඒ නිසා වන ඝනත්වයේ, ශාක විශේෂ ව්‍යාප්තියේ, ශාක ප්‍රජනන යාන්ත්‍රණවල හා වනාන්තරවල ජීවන චක්‍රය වැනි කරුණුවලට සැලකිය යුතු බලපෑමක්‌ සිදු වූ බව මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

වනාන්තරවල ගොවිතැන් කිරීම


නිවර්තන වනාන්තර තුළ ගොවිතැන් කිරීම සම්බන්ධව පැරැණිතම සාධක ලැබී ඇත්තේ නව ගිනියාවෙනි. ඒ අදින් වසර 10,000කට පමණ පෙර පැවැති මුල් මධ්‍ය හොලෝසීන (Early-Mid Holocene) යුගයේ දී සිදු කරන ලද වගා කිරීම් ය. එසේ වගා කළ ශාක අතර විවිධ අල වර්ග හා කෙසෙල් වැනි භෝග වර්ග විය. මිනිසුන් මෙසේ වනාන්තරවල වගා කිරීමේ යෙදුණේ දඩයම හා ඵල වැල රැස්‌ කිරීම ද සිදු කරන අතර ය. මෙමගින් සැලකිය යුතු වැදගත් ප්‍රතිඵල ඇති වූ බව පැහැදිලි ය.

මිනිසුන් විසින් බොහෝ වනාන්තරවල වැවුණු ශාක හා ජීවත් වූ සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම ඇති වන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. මෙමගින් වනාන්තර පරිසර විද්‍යාව වෙනස්‌ වූ අතර එසේ ගෘහාශ්‍රිතකරණය කළ ශාක හා සතුන් මේ දක්‌වා මිනිසුන් ගේ ආහාර වේලට අයත් වේ.

කෙසේ වෙතත් එදා එම මිනිසුන් යොදාගත්තේ එම ප්‍රදේශයේ ම පැවැති ශාක හා සතුන් භාවිත කරගන්නා කෘෂි කාර්මික උපායමාර්ගයකි. ඒ නිසා ඉන් සැලකිය යුතු හා දිගු කල් පවත්නා ආකාරයේ පාරිසරික හානියක්‌ සිදු වී නොමැති බව විද්‍යාඥයන් ගේ අදහස වේ. එසේ ම මේ ජන කණ්‌ඩායම් කුඩා වූ අතර ඔවුන් වාසය කළ පරිසරයට ගැළපෙන ආකාරයේ යෑපුම් මට්‌ටමේ පද්ධති ඇති කරගෙන තිබීම මීට දායක වන්නට ඇත.

කෙසේ වෙතත් කෘෂිකාර්මික නිෂ්පාදනවල අවශ්‍යතාව ඉහළ ගිය විට තත්ත්වය වෙනස්‌ විය. විශේෂයෙන් බාහිරයෙන් හඳුන්වා දුන් කෘෂි පිළිවෙත් නිසා නිවර්තන වනාන්තර හා දූපත් පරිසර පද්ධතිවල දැඩි වෙනස්‌කම් ඇති වී තිබේ. අදින් වසර 2,400ක්‌ තරම් ඈත කාලයක දී අප්‍රිකාවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශවලට ඇතැම් ධාන්‍ය වර්ග හා ගව පාලනය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දැඩි පාංශු ඛාදනයක්‌ ඇති වීම හා වනාන්තර ගිනි තැබීම් විශාල ලෙස සිදු වීම දැකිය හැකි ය. වී, කුරක්‌කන් හා මෙනේරි වැනි වගා කිරීම් හඳුන්වා දෙන ලද අදින් වසර 4000කට පමණ පෙර කාලයේ දී පමණ අග්නිදිග ආසියාවේ ද මෙවැනි වෙනස්‌කම් ඇති වී තිබේ. එහි දී ද විශාල නිවර්තන වනාන්තර ප්‍රදේශ ගිනි තබා හෙළි පෙහෙළි කොට ඇත. මෙය මෑත කාලයේ දී පාම් තෙල් ශාක වගා කිරීම සඳහා නිවර්තන වනාන්තර එළි පෙහෙළි කිරීම හා සමාන කළ හැකි ය. එයට ද හේතු වී ඇත්තේ ඉහළ ගොස්‌ ඇති ඉල්ලුමයි. මෙවැනි ක්‍රියාකාරකම් නිසා වනාන්තර ගිනි තැබීම පමණක්‌ නො ව ජෛව විවිධත්වය අඩු වීම, පාංශු ඛාදනය වේගවත් වීම හා අදාළ භූමි ප්‍රදේශය වන ගිනිවලට වඩාත් පහසුවෙන් ලක්‌ විය හැකි තත්ත්වයකට පත් වීම සිදු ව තිබේ. මෙය නිවර්තන වනාන්තර මුහුණ දෙන ඉතා බරපතළ තත්ත්වයකි.

වනාන්තර තුළ නගර බිහි වීම


නව තාක්‌ෂණික ශිල්ප ක්‍රම යොදාගනිමින් මෑත දී සිදු කර ඇති අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මිනිසුන් නිවර්තන වනාන්තර ඇතුළත සැලකිය යුතු තරම් විශාල නාගරික ජනාවාස ඇති කර තිබෙන බවයි. මීට පෙර අනුමාන කර නො තිබූ තරම් විශාල ප්‍රමාණයේ එවැනි ජනාවාස ඇමෙරිකාවෙන් හා අග්නිදිග ආසියාවෙන් හමු වී තිබේ. විශාල ලෙස ව්‍යාප්ත වූ මේ ජනාවාස ජාල ඇමසෝනියාව, මධ්‍යම ඇමෙරිකාව හා අග්නිදිග ආසියාවෙන් හමු වී ඇත. ඒවා නූතන යුගයේ මෙවැනි ජනාවාස හා නාගරික ජනාවාස පැවැතී ඇති කාලයට වඩා වැඩි කාලයක්‌ පුරා පැවැතී තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

මේ පැරැණි නාගරික මධ්‍යස්‌ථානවලින් ඉගෙනගත හැකි දේ ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ දැනුම වර්තමාන නගර මුහුණ දෙන පාරිසරික අභියෝග ජයගැනී ම සඳහා ද යොදාගත හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, පාංශු ඛාදනය හා විශාල ජනගහනයකට අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදනය කිරීමේ දී කෘෂිකාර්මික පද්ධතිවල අසාර්ථකත්වය අතීතයේ දී මෙන් ම අද දවසේ ද දැකිය හැකි වූ ගැටලු වේ. මායාවරුන් විසූ ඇතැම් ප්‍රදේශවල විසූ ජනතාව අතිරේක ආහාර භෝග ලෙස යොදාගත් ශාක වර්ග සමහරක්‌ වනාන්තර හෙළි පෙහෙළි කිරීමකින් තොර ව, පවත්නා වනාන්තරය ඇතුළත ම වගා කර ඇති බවට සාධක ලැබී ඇත. මෙය වනාන්තර වගා කිරීමක්‌ හෙවත් කිසියම් උදාහරණයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවල සිදු ව ඇත්තේ මීට වෙනස්‌ දෙයකි. එහි දී පරිසරයට දරාගත නොහැකි තරම් ප්‍රමාණයෙන් ඒක භෝග වගා කිරීම හා වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා ඉන්පසු දේශගුණයේ පවා වෙනස්‌කම් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ එම ප්‍රදේශයේ ජනගහනයේ පැහැදිලි අඩු වීමක්‌ සිදු වීම ය.

මේ වනගත උපනාගරික ප්‍රදේශ නූතන නගර සඳහා තිරසර ආකෘතියක්‌ ලෙස යොදාගැනීමට ඇති හැකියාව ගැන ද අවධානයක්‌ මේ වන විට යොමු වී ඇත. මේ වනාත්තර ආශ්‍රිත නාගරික ප්‍රදේශ දේශගුණ වෙනස්‌ වීම වැනි තත්ත්ව හමුවේ ඇතැම් අවස්‌ථාවල දී ආහාර සුරක්‌ෂිතතාව තහවුරු කරමින් ස්‌වාරක්‌ෂක කලාපයක්‌ සේ ක්‍රියා කර තිබීම මීට හේතුවයි. මේවායේ දැකිය හැකි ලක්‌ෂණ වන විවිධාංගීකරණය, විමධ්‍යගතකරණය හා නාගරික කෘෂිකාර්මික දිවි පෙවෙත මේ පද්ධතිවල දැකිය හැකි වූ ඔරොත්තු දීමට හේතුව විය හැකි බව මේ පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

සමස්‌තයක්‌ ලෙස ගත් විට මේ අධ්‍යයනයට සම්බන්ධ කරගත් ජගත් මට්‌ටමේ දත්ත අනුව කරුණු කීපයක්‌ පැහැදිලි ය. ඉන් එකක්‌ වන්නේ, නොඉඳුල් නිවර්තන වනාන්තර පද්ධති සේ සැලකිය හැකි වනාන්තර නොමැති විය හැකි බවයි. එසේ ම දැනට වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මිනිසුන් මේ වනාන්තරවලට කළ බලපෑම සිදු වී ඇති බවයි. ඒ අනුව සංරක්‌ෂණ ඉලක්‌ක තීරණය කිරීමේ දී භාවිත කළ හැකි එවැනි දර්ශීය වනාන්තර නොමැති තරම් වේ. අනෙක්‌ අතට නූතන සංරක්‌ෂණ උත්සාහයට ප්‍රයෝජනවත් වන වෙනත් කරුණක්‌ මෙහි දී හඳුනාගත හැකි ය. එනම්, නිවර්තන වනාන්තරවල පුරාවිද්‍යාත්මක ඉතිහාසය හා ඒවා අතීතයේ දී මිනිසුන් විසින් කෙසේ උපයෝගී කරගන්නා ලද්දේ ද යන්න ය.

(මූලාශ්‍රය: Nature Plants, DOI: 10.1038/nplants.2017.93)

http://www.vidusara.com/2017/08/16/feature1.html

Tuesday, August 8, 2017

ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන්ට නරක කාලයක්‌?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.08.2017, පි. 5 (Vidusara)


සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගැනීම සඳහා සිදු කරනු ලබන කටයුතු හේතුවෙන් ලෝකය පුරා පරිසරය තර්ජනයට ලක්‌ ව තිබේ. මේවායින් ඇති විය හැකි විවිධ පරිසර පද්ධතිවලට සිදු වන හානි, ඛණිජ හා වෙනත් සම්පත් සූරාකෑම, පරිසර දූෂණය, භූමියේ අයිතිය අහිමි වීම හා ජනතාව අවතැන් වීම වැනි විවිධ ගැටලුවලට එරෙහි ව ලෝකය පුරා සැම රටක ම පාහේ පරිසර ක්‍රියාකාරීහු සටන් කරති. මේ අරගල හෙවත් පාරිසරික ගැටුම්වල දී ඔවුන්ට ඇතැම් විට මුහුණ දීමට සිදු වන්නේ බරපතළ අභියෝගවලට ය. ඔවුන් ගේ හඩ නිහඩ කිරීමේ අරමුණින් එල්ල වන විවිධ තර්ජන මේ අභියෝග අතර වේ. මේ තර්ජන එල්ල වන පාර්ශ්ව ගණනාවක්‌ ද හඳුනාගත හැකි ය. අදාළ රටේ රාජ්‍ය තන්ත්‍රය හා ආරක්‌ෂක අංශ මේ අතර වේ. එසේ ම අදාළ පරිසර අපරාධවලට දායක වන සමාගම් හා ව්‍යාපාරිකයන් ගේ ආරක්‌ෂකයන් මෙන්ම ඔවුන් විසින් මෙහෙයවනු ලබන මැර කණ්‌ඩායම් මගින් ද මේ ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වේ. මේ තර්ජනවල අවසානය වන්නේ පරිසරය වෙනුවෙන් සටන් කළ ඇතැම් පරිසර ක්‍රියාකාරිකයන් මරාදැමීමයි. අතීතයේ සිදු වූ මෙවැනි ඇතැම් ඝාතන ඉතිහාසගත වී ඇත. බ්‍රසීලයේ ජීවත් වූ ෆ්‍රeන්සෙස්‌කෝ චිකෝ මෙන්ඩෙස්‌ ගේ ඝාතනය (1988), නයිජීරියානු බලධාරීන් විසින් කෙන් සාරෝ විවා එල්ලා මරනු ලැබීම (1995) එවැනි මතකයේ රැඳුණු සිදුවීම් කිහිපයකි.

එහෙත් මෑත කාලයේ දී පරිසර ක්‍රියාකාරීන්ට එවැනි තර්ජනයක්‌ නොමැත්තේ යෑයි සිතිය නොහැකි ය. ඇත්ත වශයෙන් ම මෑත කාලයේ දී ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන්ට ඇති වී තිබෙන තර්ජනය ඉහළ ගොස්‌ තිබේ. පසුගිය දා ඒ සම්බන්ධව පළ වූ අධ්‍යයනයකින් හෙළි වන ආකාරයට පරිසරය ආරක්‌ෂා කිරීම සඳහා ඉදිරිපත් වී ඇති පරිසර ක්‍රියාකාරීන් ඝාතනය කිරීම මෑත වසර කිහිපයේ දී වාර්තාගත අන්දමින් ඉහළ ගොස්‌ ඇත.

මිහිතලයේ ආරක්‌ෂකයෝ වාර්තාව


Global Witness නම් කණ්‌ඩායම මේ පිළිබඳව අවධානය යොමු කර සිදු කරන ලද මේ අධ්‍යයනයේ වාර්තාව 'මිහිතලයේ ආරක්‌ෂකයෝ' (Defenders of the Earth) නමින් නිකුත් ව තිබේ. එම වාර්තාවට අනුව 2016 වර්ෂයේ දී පරිසර ක්‍රියාකාරීන් 200ක්‌ පමණ මරා දමා තිබේ. ඔවුහු තමන් වාසය කරන පරිසරය ආරක්‌ෂා කිරීම උදෙසා කටයුතු කළ හා ප්‍රජාවට නායකත්වය ලබා දුන් අය වෙති. මේ අනුව 2016 වර්ෂය ඇතුළත එක්‌ සතියක දී ලෝකය පුරා එවැනි ක්‍රියාකාරීන් හතර දෙනකු පමණ සාමාන්‍යයෙන් ඝාතනය කර ඇති බව පෙනේ.

මෙහි ඇති තවත් වැදගත්කමක්‌ වන්නේ පරිසර ක්‍රීයාකාරීන් ඝාතනය කරනු ලබන ගණන මෑත කාලයේ දී වර්ධනය වෙමින් ඇති බවයි. 2016 වර්ෂයේ දී මරා දැමුණු ක්‍රියාකාරීන් ගණන මීට වසර පහකට පමණ පෙර වර්ෂයක දී ඝාතනය කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ පමණ වේ. එසේ ම 2014 වර්ෂයේ දී ක්‍රියාකාරීන් 114ක්‌ පමණ ද, 2015 වර්ෂයේ දී 185ක්‌ පමණ ද මරා දමා ඇත. මෙසේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම වර්ධනය වන ප්‍රවණතාව මේ වන විට තවදුරටත් දැකිය හැකි බව ද ගාඩියන් පුවත්පත පෙන්වා දෙයි. එම පුවත්පතේ පළ වූ සංඛ්‍යාලේඛන අනුව 2017 වර්ෂයේ මුල් මාස පහක කාලය ඇතුළත ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන් 98 දෙනකු මරා දමා ඇත.

මෙසේ මිය යන්නේ කවුරුන් ද?


මෙසේ මරා දමා ඇති පිරිස්‌ අතර පරිසර ක්‍රියාකාරීහු, රාජ්‍ය නිලධාරීහු හා ස්‌වදේශික ජනතාව ගේ නායකයෝ සිටිති. වැඩි ම පරිසර ක්‍රියාකාරීන් පිරිසක්‌ මරුමුවට පත් ව ඇත්තේ බ්‍රසීලයේ ය. 2015 වර්ෂය ආරම්භයේ සිට මේ දක්‌වා බ්‍රසීලයේ පරිසර හා භූමිය පිළිබඳ ක්‍රියාකාරීන් 132ක්‌ පමණ විවිධ පිරිස්‌ විසින් මරා දමනු ලැබ ඇත. මෙසේ මිය ගිය වැඩි දෙනා ඇමසන් වනාන්තරයේ සිදු වන වනාන්තර විනාශයට එරෙහි ව සටන් කළවුන් ය. මේ ලයිස්‌තුවේ දෙවැනි තැනට එන්නේ කොලොම්බියාව බව පෙනේ. එහි මේ දක්‌වා මරා දමා ඇති පරිසර ක්‍රියාකාරිකයන් ගණන 85ක්‌ පමණ වේ. ක්‍රියාකාරීන් 75ක්‌ පමණ මරා දමා ඇති පිලිපීනය තෙවැනි තැන ගනියි. කෙසේ වෙතත්, පරිසර ක්‍රියාකාරීන් සඳහා වඩාත් ම භයානක රට වන්නේ හොන්ඩුරාස්‌ රාජ්‍යය බව පෙන්වා දී ඇත. ඒ, එරටේ සිදු ව ඇති ඝාතන සංඛ්‍යාව රටේ ජනගහනයට සාපේක්‌ෂව ගත් විට ඉහළ ම අගය ගැනීම නිසා ය. ලෝකයේ භූගෝලීය කලාපයක්‌ ලෙස ගත හොත් ලතින් ඇමෙරිකාව, පරිසර ක්‍රියාකාරීන් ගේ අවදානම ඉහළ ම කලාපයයි.

පරිසරය ආරක්‌ෂා කිරීම සිය රාජකාරිය සේ ගෙන කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සැලකූ විට පසුගිය වසර 10ක පමණ කාලයේ දී ලෝකය පුරා 800ක්‌ පමණ නිලධාරීන් පිරිසක්‌ සිය රාජකාරිය නිසා මරා දමා තිබේ. ඒ විශේෂයෙන් ම වනාන්තර ආශ්‍රිත ව සිදු වන දඩයම් හා වෙනත් පරිසර අපරාධවල යෙදෙන්නවුන් අතිනි. මේ ආකාරයෙන් 2016 වර්ෂයේ දී මරාදැමුණු අඩවි ආරක්‌ෂකයන් (rangers) අතරින් වැඩි ම පිරිස හෙවත් 60%ක්‌ පමණ මිය ගොස්‌ ඇත්තේ ආසියාවේ ය. ඉන් වැඩි ම ප්‍රමාණය අපේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

සමස්‌තයක්‌ ලෙස 2016 වර්ෂයේ දී සිදු වූ මරණ සම්බන්ධ දත්ත අනුව වැඩි ම මරණ ප්‍රමාණයක්‌ ඇති වී තිබෙන ගැටුම් වන්නේ තෙල් සඳහා සිදු කරන කැණීම් නිසා ඇති වී තිබෙන ගැටුම් ය. දෙවැන්න වී ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් සිදු කරන දැව හෙළීම් නිසා ඇති වී තිබෙන ගැටුම් ය. තෙවැනි තැන හිමි වන්නේ කෘෂිකාර්මික කටයුතු ය. කෙසේ වෙතත් ගත වන 2017 වර්ෂයේ දී මේ රටාව වෙනස්‌ වී ඇති අතර, මෙතෙක්‌ සිදු ව ඇති ඝාතන අතරින් වැඩි ප්‍රමාණයකට හේතු වී ඇත්තේ කෘෂි ව්‍යාපාර කටයුතු නිසා ඇති වූ ගැටුම් ය.

නො සලකා හැරෙන අපරාධ


මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම එතරම් බරපතළ ප්‍රතිවිපාක ඇති කරන අපරාධයක්‌ නො වන බවට හැගීමක්‌ ඇති වී තිබීම බව මේ පිළිබඳව අධ්‍යයනය කරන කණ්‌ඩායම් පෙන්වා දී ඇත. විශේෂයෙන් මෙසේ පරිසර අපරාධවලට එරෙහි ව පෙනී සිටින ක්‍රියාකාරීන් ආන්තික ජන කණ්‌ඩායම්, දේශපාලන වශයෙන් නො සලකා හැර ඇති ජනතාව හා නීතිමය පිළිසරණ අඩු වූවන් ය. ස්‌වදේශික ජනකොටස්‌ වැනි පිරිස්‌ මෙන්ම, ස්‌වාභාවික පරිසරය මත යෑපෙන ජන කණ්‌ඩායම්වල නියෝජිතයන් මීට නිදසුන් වේ. ඔවුන් තමන් ගේ රටේ හෝ තමන් ජීවත් වන ප්‍රදේශයේ සිදු කරන ඛණිජ හා තෙල් කැණීම්, වාණිජමය කෘෂිකර්මය, නීති විරෝධී වනාන්තර එළි කිරීම් හා වේලි තැනීම වැනි කටයුතුවලට එරෙහි ව කටයුතු කරන්නවුන් වන අතර ඔවුන් මේ අවදානමට දැඩි ලෙස පාත්‍ර ව තිබේ. එසේ ම මේ මරණවලින් පැවසෙන්නේ පවත්නා තර්ජනයේ මතුපිටින් පෙනෙන දෙය පමණකි. පරිසර විනාශයට එරෙහි ව හඩ නගන ප්‍රජා මේ වන විට පසු වන්නේ ඒවා සිදු කරන පාර්ශ්වවලින් දිගින් දිගටම එල්ල වන තර්ජනවලට ලක්‌ වෙමිනි. මේ පිරිස්‌වලට නිරන්තරව ඇති වන තර්ජනය මහත් ය. එසේ ම ඔවුන් ගේ සම්පත් අහිමි වීමේ අවදානමක්‌ ද ඇති අතර, එය පරිසරයට ද තර්ජනයක්‌ වේ.

එසේ ම මේ ආකාරයෙන් පරිසරය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් ඝාතනය කළවුන් නීතියේ රැහැනට හසු නො වන තරම් ය. මේ ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන හෝ චෝදනා කර හෝ නොමැති වීම ද විශේෂයකි. මේවා සමහරක්‌ කුලී ඝාතන වන අතර, විවිධ සමාගම් හෝ ඇතැම් විට රාජ්‍ය ආයතන ඔවුන් මේ සඳහා යොදවාගෙන ඇත. මේ නිසා පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම ඇතැම් රටවල එතරම් තැකීමක්‌ නො කරන බවක්‌ පෙනේ. එසේ ම රාජ්‍ය ආරක්‌ෂක අංශ සමග සිදු කරනු ලබන ගැටුම්වල දී මිය යන පිරිස ද සැලකිය යුතු තරම් ය.

පරිසර ක්‍රියාකාරීන් වෙනුවෙන් හඩක්‌


මේ වන විට ලෝකය පුරා විවිධ ස්‌ථානවල පාරිසරික ගැටුම් 2,000ක්‌ පමණ පවත්නා බව පර්යේෂකයන් හඳුනාගෙන ඇත. මේවා ජලය, භූමිය, පරිසර දූෂණය, තම වාසභුමියෙන් පිටමං කිරීම හා ඛනිජමය සම්පත් සඳහා සිදු කරන කැණීම් නිසා ඇති වූ ඒවා ය. එසේ ම මේ ආකාරයේ ගැටුම් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාර්තා නො වන නිසා සමස්‌ත ගැටුම් ප්‍රමාණය මීට වඩා අධික බව ඔවුන් ගේ අදහස වේ.

පරිසරය පිළිබඳ මෙවැනි ගැටුම් ව්‍යාප්ත වීමට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ දුප්පත් රටවල පිහිටා ඇති භූමිය හා සම්පත් වෙත විවිධ ධනවත් සමාගම් හා බලවත් රටවල අවධානය යොමු වීම ය. මෙය ගෝලීයකරණය නිසා දැනටමත් ව්‍යාප්ත වී යමින් ඇති ප්‍රවණතාවකි. එවැනි දුප්පත් රටවල දූෂණය රජයන පාලන තන්ත්‍රය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති දුර්වලතා නිසා මෙවැනි කටයුතු පහසු වී ඇත. එවැනි කටයුතු නිසා එම රටවල ඇති වන ජනතා විරෝධය මර්දනය කිරීමට එම සමාගම් හා ආණ්‌ඩු පෙලඹෙන අතර, ඔවුන් ගේ හඩ නිහඩ කිරීමට මිනිසුන් මරා දැමීමට පවා පෙලඹී තිබේ.

මේ තත්ත්වය හමුවේ පරිසර ක්‍රියාකාරිකයන් වෙනුවෙන් හඩනගන්නට හා ලෝකයේ අවධානය යොමු කරවන්නට හෝ සංවිධාන හා කණ්‌ඩායම් කිහිපයක්‌ ඉදිරිපත් ව ඇත. අප ඉහත කී වාර්තාව පළ කළ 'ග්ලෝබල් විට්‌නස්‌' නම් කණ්‌ඩායම එවැන්නකි. තවත් එවැනි කණ්‌ඩායම් ද මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කරයි.

ද ගාඩියන් පුවත්පත හා 'ග්ලෝබල් විට්‌නස්‌' කණ්‌ඩායම නව ව්‍යාපෘතියක්‌ දියත් කර ඇත. එහි අරමුණ වන්නේ මීළග වර්ෂය ඇතුළත දී පරිසරය ආරක්‌ෂා කිරීමට ඉදිරිපත් ව මිය යන්නවුන් ගේ මරණ පිළිබඳව වාර්තා කිරීම ය. එහි දී වනගත ව ඇති නොදියුණු යෑයි සම්මත රටවල් හා ප්‍රදේශ මෙන්ම කාර්මිකකරණය වූ රටවල සිදු වන සිදුවීම් ද වාර්තා කරන බව ඔවුන් පවසා තිබේ. එමගින් ජගත් මට්‌ටමින් යම් ජනමතයක්‌ ඇති කිරීමට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කරන බව පෙනේ. 'ආරක්‌ෂකයෝ' (The Defenders) නමින් දියත් කර ඇති මේ කටයුත්ත පිළිබඳ වැඩි විස්‌තර www.theguardian.com/environment/series/the-defenders වෙබ් ලිපිනයෙන් ලබාගත හැකි ය.

Global Witness මගින් ප්‍රකාශිත 'මිහිතලයේ ආරක්‌ෂකයෝ' නම් සම්පූර්ණ වාර්තාව පහත සබැඳියෙන් භාගත කරගත හැකි ය. www.globalwitness.org/en/campaigns/environmental-activists/defenders-earth/

http://www.vidusara.com/2017/08/02/feature1.html

රටට ඔවුන් අහිමි වී වසර 25යි

ධනේෂ් විසුම්පෙරුම


1992 අගෝස්තු මස 8 වැනි දිනය මට කිසිදා අමතක නොවන්නකි. එ් අදින් (08.08.2017) වසර 25කට පෙර සිදු වූ සිදුවීමක් නිසාය. එවකට මෙරට සිටි දක්ෂතම යුදහමුදා නිලධාරියකු වූ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා තවත් නිලධාරින් කිහිප දෙනෙකු යාපනයේ කයිට්ස් දූපතේ, අරාලි පොයින්ට් නම් ස්ථානයේදී බෝම්බයකට හසුව මිය ගියේ එදින නිසාය.

ඒ සිදුවීම එදා රටේ සිටි, රටට ආදරය කළ සැමදෙනා හැඩ වූ දිනයක් විය. ලුතිනන් ජනරාල් කොබ්බෑකඩුවගේ හා එම බෝම්බයෙන්ම මියගිය මේජර් ජනරාල් විජය විමලරත්නයන්ගේ අවසන් කටයුතු සඳහා කොළඹ කනත්තට පැමිණි මහ සෙනඟින් එ් බව පැහැදිලිව පෙනිණි. අවමගුලට පැමිණි මහජනතාව එවකට පැවැති පාලනයට හා එහි නියෝජිතයන්ට දැඩි විරෝධයක් පළ කළ අාකාරයද දැකිය හැකි විය. එහිදී ඇති වූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට කඳුළු ගෑස් හා බැටන් ප‍්‍රහාර එල්ල කරන්නටද සිදු විය.

මට මතක ඇති ආකාරයට කොබ්බෑකඩුවගේ අවසන් කටයුතු සිදු වූයේ සඳුදා දිනයේය. විමලරත්නගේ අවසන් කටයුතු සිදු වූයේ 12 වනදා හෙවත් බදාදා දිනදීය. එදින මා උසස් පෙළ විභාගයේ අවසන් ප‍්‍රශ්න පත‍්‍රයට (භෞතික විද්‍යාව විය යුතුය) පෙනී සිටි දිනය විය. විභාගයට පෙනී සිටි අප කිහිප දෙනෙකු එතැනින් විමලරත්නගේ අවසන් කටයුතුවලට සහභාගි වීමට ගියෙමු. කනත්ත ඇතුළටද අප ගිය අතර එහි ඇති වූ කලබලය අපටද යන්තමින් දැක ගත හැකි විය. එහෙත් ආපසු එද්දී කඳුළු ගෑස් ප‍්‍රහාරයට අපිද ලක්වීමු. (එ් මා මෙන්ම මා සමඟ සිටි ඉන්දික බැද්දේගමද කඳුළු ගෑස් ප‍්‍රහාරයක් අත් විඳි පළමු අවස්ථාව විය.) කනත්තේ ප‍්‍රධාන දොරටුව දෙසින් බොරැල්ල දෙසට වූ පාරේ යා නොහැකි වූ බැවින් අප ආපසු එද්දී රාජගිරිය දක්වා පා ගමනින් පැමිණීමට අපට සිදුවිය.

එ් දිනය සිහි වන විට ඩෝල්ටන් අල්විස්ගේ 'උඩඟු ලියන්' ගීතයේ එන මලක පැතුම නිතැතින්ම සිහි වේ.

'රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්
රණවිරුවෙකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්...
මගේ පරම පැතුම එයයි...
එ මඟට මා විසි කරන්න..."


කොබ්බෑකඩුව-විමලරත්න වැනි රණවිරුවන් සටන් කළ අරමුණ සාක්ෂාත් කරගැනීමට අපට තවත් වසර ගණනාවක් ගත විය.

කියවන්න - 

1. ඒ විරුවන් සම්බන්ධව මේජර් ජනරාල් ලලින් ප‍්‍රනාන්දු (විශ‍්‍රාමික) විසින් 2006 වර්ෂයේදී Daily News පුවත්පතට ලියන ලද ලිපියක් - http://archives.dailynews.lk/2006/08/08/fea01.asp

2. එ් දින දෙකේ ඇති වූ තත්ත්වය විස්තර කරන UPI වාර්තාවක් - https://www.upi.com/Archives/1992/08/12/Violence-erupts-at-funerals-for-Sri-Lankas-top-brass/5170713592000/