Tuesday, August 8, 2017

ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන්ට නරක කාලයක්‌?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.08.2017, පි. 5 (Vidusara)


සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගැනීම සඳහා සිදු කරනු ලබන කටයුතු හේතුවෙන් ලෝකය පුරා පරිසරය තර්ජනයට ලක්‌ ව තිබේ. මේවායින් ඇති විය හැකි විවිධ පරිසර පද්ධතිවලට සිදු වන හානි, ඛණිජ හා වෙනත් සම්පත් සූරාකෑම, පරිසර දූෂණය, භූමියේ අයිතිය අහිමි වීම හා ජනතාව අවතැන් වීම වැනි විවිධ ගැටලුවලට එරෙහි ව ලෝකය පුරා සැම රටක ම පාහේ පරිසර ක්‍රියාකාරීහු සටන් කරති. මේ අරගල හෙවත් පාරිසරික ගැටුම්වල දී ඔවුන්ට ඇතැම් විට මුහුණ දීමට සිදු වන්නේ බරපතළ අභියෝගවලට ය. ඔවුන් ගේ හඩ නිහඩ කිරීමේ අරමුණින් එල්ල වන විවිධ තර්ජන මේ අභියෝග අතර වේ. මේ තර්ජන එල්ල වන පාර්ශ්ව ගණනාවක්‌ ද හඳුනාගත හැකි ය. අදාළ රටේ රාජ්‍ය තන්ත්‍රය හා ආරක්‌ෂක අංශ මේ අතර වේ. එසේ ම අදාළ පරිසර අපරාධවලට දායක වන සමාගම් හා ව්‍යාපාරිකයන් ගේ ආරක්‌ෂකයන් මෙන්ම ඔවුන් විසින් මෙහෙයවනු ලබන මැර කණ්‌ඩායම් මගින් ද මේ ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වේ. මේ තර්ජනවල අවසානය වන්නේ පරිසරය වෙනුවෙන් සටන් කළ ඇතැම් පරිසර ක්‍රියාකාරිකයන් මරාදැමීමයි. අතීතයේ සිදු වූ මෙවැනි ඇතැම් ඝාතන ඉතිහාසගත වී ඇත. බ්‍රසීලයේ ජීවත් වූ ෆ්‍රeන්සෙස්‌කෝ චිකෝ මෙන්ඩෙස්‌ ගේ ඝාතනය (1988), නයිජීරියානු බලධාරීන් විසින් කෙන් සාරෝ විවා එල්ලා මරනු ලැබීම (1995) එවැනි මතකයේ රැඳුණු සිදුවීම් කිහිපයකි.

එහෙත් මෑත කාලයේ දී පරිසර ක්‍රියාකාරීන්ට එවැනි තර්ජනයක්‌ නොමැත්තේ යෑයි සිතිය නොහැකි ය. ඇත්ත වශයෙන් ම මෑත කාලයේ දී ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන්ට ඇති වී තිබෙන තර්ජනය ඉහළ ගොස්‌ තිබේ. පසුගිය දා ඒ සම්බන්ධව පළ වූ අධ්‍යයනයකින් හෙළි වන ආකාරයට පරිසරය ආරක්‌ෂා කිරීම සඳහා ඉදිරිපත් වී ඇති පරිසර ක්‍රියාකාරීන් ඝාතනය කිරීම මෑත වසර කිහිපයේ දී වාර්තාගත අන්දමින් ඉහළ ගොස්‌ ඇත.

මිහිතලයේ ආරක්‌ෂකයෝ වාර්තාව


Global Witness නම් කණ්‌ඩායම මේ පිළිබඳව අවධානය යොමු කර සිදු කරන ලද මේ අධ්‍යයනයේ වාර්තාව 'මිහිතලයේ ආරක්‌ෂකයෝ' (Defenders of the Earth) නමින් නිකුත් ව තිබේ. එම වාර්තාවට අනුව 2016 වර්ෂයේ දී පරිසර ක්‍රියාකාරීන් 200ක්‌ පමණ මරා දමා තිබේ. ඔවුහු තමන් වාසය කරන පරිසරය ආරක්‌ෂා කිරීම උදෙසා කටයුතු කළ හා ප්‍රජාවට නායකත්වය ලබා දුන් අය වෙති. මේ අනුව 2016 වර්ෂය ඇතුළත එක්‌ සතියක දී ලෝකය පුරා එවැනි ක්‍රියාකාරීන් හතර දෙනකු පමණ සාමාන්‍යයෙන් ඝාතනය කර ඇති බව පෙනේ.

මෙහි ඇති තවත් වැදගත්කමක්‌ වන්නේ පරිසර ක්‍රීයාකාරීන් ඝාතනය කරනු ලබන ගණන මෑත කාලයේ දී වර්ධනය වෙමින් ඇති බවයි. 2016 වර්ෂයේ දී මරා දැමුණු ක්‍රියාකාරීන් ගණන මීට වසර පහකට පමණ පෙර වර්ෂයක දී ඝාතනය කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ පමණ වේ. එසේ ම 2014 වර්ෂයේ දී ක්‍රියාකාරීන් 114ක්‌ පමණ ද, 2015 වර්ෂයේ දී 185ක්‌ පමණ ද මරා දමා ඇත. මෙසේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම වර්ධනය වන ප්‍රවණතාව මේ වන විට තවදුරටත් දැකිය හැකි බව ද ගාඩියන් පුවත්පත පෙන්වා දෙයි. එම පුවත්පතේ පළ වූ සංඛ්‍යාලේඛන අනුව 2017 වර්ෂයේ මුල් මාස පහක කාලය ඇතුළත ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන් 98 දෙනකු මරා දමා ඇත.

මෙසේ මිය යන්නේ කවුරුන් ද?


මෙසේ මරා දමා ඇති පිරිස්‌ අතර පරිසර ක්‍රියාකාරීහු, රාජ්‍ය නිලධාරීහු හා ස්‌වදේශික ජනතාව ගේ නායකයෝ සිටිති. වැඩි ම පරිසර ක්‍රියාකාරීන් පිරිසක්‌ මරුමුවට පත් ව ඇත්තේ බ්‍රසීලයේ ය. 2015 වර්ෂය ආරම්භයේ සිට මේ දක්‌වා බ්‍රසීලයේ පරිසර හා භූමිය පිළිබඳ ක්‍රියාකාරීන් 132ක්‌ පමණ විවිධ පිරිස්‌ විසින් මරා දමනු ලැබ ඇත. මෙසේ මිය ගිය වැඩි දෙනා ඇමසන් වනාන්තරයේ සිදු වන වනාන්තර විනාශයට එරෙහි ව සටන් කළවුන් ය. මේ ලයිස්‌තුවේ දෙවැනි තැනට එන්නේ කොලොම්බියාව බව පෙනේ. එහි මේ දක්‌වා මරා දමා ඇති පරිසර ක්‍රියාකාරිකයන් ගණන 85ක්‌ පමණ වේ. ක්‍රියාකාරීන් 75ක්‌ පමණ මරා දමා ඇති පිලිපීනය තෙවැනි තැන ගනියි. කෙසේ වෙතත්, පරිසර ක්‍රියාකාරීන් සඳහා වඩාත් ම භයානක රට වන්නේ හොන්ඩුරාස්‌ රාජ්‍යය බව පෙන්වා දී ඇත. ඒ, එරටේ සිදු ව ඇති ඝාතන සංඛ්‍යාව රටේ ජනගහනයට සාපේක්‌ෂව ගත් විට ඉහළ ම අගය ගැනීම නිසා ය. ලෝකයේ භූගෝලීය කලාපයක්‌ ලෙස ගත හොත් ලතින් ඇමෙරිකාව, පරිසර ක්‍රියාකාරීන් ගේ අවදානම ඉහළ ම කලාපයයි.

පරිසරය ආරක්‌ෂා කිරීම සිය රාජකාරිය සේ ගෙන කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සැලකූ විට පසුගිය වසර 10ක පමණ කාලයේ දී ලෝකය පුරා 800ක්‌ පමණ නිලධාරීන් පිරිසක්‌ සිය රාජකාරිය නිසා මරා දමා තිබේ. ඒ විශේෂයෙන් ම වනාන්තර ආශ්‍රිත ව සිදු වන දඩයම් හා වෙනත් පරිසර අපරාධවල යෙදෙන්නවුන් අතිනි. මේ ආකාරයෙන් 2016 වර්ෂයේ දී මරාදැමුණු අඩවි ආරක්‌ෂකයන් (rangers) අතරින් වැඩි ම පිරිස හෙවත් 60%ක්‌ පමණ මිය ගොස්‌ ඇත්තේ ආසියාවේ ය. ඉන් වැඩි ම ප්‍රමාණය අපේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

සමස්‌තයක්‌ ලෙස 2016 වර්ෂයේ දී සිදු වූ මරණ සම්බන්ධ දත්ත අනුව වැඩි ම මරණ ප්‍රමාණයක්‌ ඇති වී තිබෙන ගැටුම් වන්නේ තෙල් සඳහා සිදු කරන කැණීම් නිසා ඇති වී තිබෙන ගැටුම් ය. දෙවැන්න වී ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් සිදු කරන දැව හෙළීම් නිසා ඇති වී තිබෙන ගැටුම් ය. තෙවැනි තැන හිමි වන්නේ කෘෂිකාර්මික කටයුතු ය. කෙසේ වෙතත් ගත වන 2017 වර්ෂයේ දී මේ රටාව වෙනස්‌ වී ඇති අතර, මෙතෙක්‌ සිදු ව ඇති ඝාතන අතරින් වැඩි ප්‍රමාණයකට හේතු වී ඇත්තේ කෘෂි ව්‍යාපාර කටයුතු නිසා ඇති වූ ගැටුම් ය.

නො සලකා හැරෙන අපරාධ


මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම එතරම් බරපතළ ප්‍රතිවිපාක ඇති කරන අපරාධයක්‌ නො වන බවට හැගීමක්‌ ඇති වී තිබීම බව මේ පිළිබඳව අධ්‍යයනය කරන කණ්‌ඩායම් පෙන්වා දී ඇත. විශේෂයෙන් මෙසේ පරිසර අපරාධවලට එරෙහි ව පෙනී සිටින ක්‍රියාකාරීන් ආන්තික ජන කණ්‌ඩායම්, දේශපාලන වශයෙන් නො සලකා හැර ඇති ජනතාව හා නීතිමය පිළිසරණ අඩු වූවන් ය. ස්‌වදේශික ජනකොටස්‌ වැනි පිරිස්‌ මෙන්ම, ස්‌වාභාවික පරිසරය මත යෑපෙන ජන කණ්‌ඩායම්වල නියෝජිතයන් මීට නිදසුන් වේ. ඔවුන් තමන් ගේ රටේ හෝ තමන් ජීවත් වන ප්‍රදේශයේ සිදු කරන ඛණිජ හා තෙල් කැණීම්, වාණිජමය කෘෂිකර්මය, නීති විරෝධී වනාන්තර එළි කිරීම් හා වේලි තැනීම වැනි කටයුතුවලට එරෙහි ව කටයුතු කරන්නවුන් වන අතර ඔවුන් මේ අවදානමට දැඩි ලෙස පාත්‍ර ව තිබේ. එසේ ම මේ මරණවලින් පැවසෙන්නේ පවත්නා තර්ජනයේ මතුපිටින් පෙනෙන දෙය පමණකි. පරිසර විනාශයට එරෙහි ව හඩ නගන ප්‍රජා මේ වන විට පසු වන්නේ ඒවා සිදු කරන පාර්ශ්වවලින් දිගින් දිගටම එල්ල වන තර්ජනවලට ලක්‌ වෙමිනි. මේ පිරිස්‌වලට නිරන්තරව ඇති වන තර්ජනය මහත් ය. එසේ ම ඔවුන් ගේ සම්පත් අහිමි වීමේ අවදානමක්‌ ද ඇති අතර, එය පරිසරයට ද තර්ජනයක්‌ වේ.

එසේ ම මේ ආකාරයෙන් පරිසරය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් ඝාතනය කළවුන් නීතියේ රැහැනට හසු නො වන තරම් ය. මේ ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන හෝ චෝදනා කර හෝ නොමැති වීම ද විශේෂයකි. මේවා සමහරක්‌ කුලී ඝාතන වන අතර, විවිධ සමාගම් හෝ ඇතැම් විට රාජ්‍ය ආයතන ඔවුන් මේ සඳහා යොදවාගෙන ඇත. මේ නිසා පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම ඇතැම් රටවල එතරම් තැකීමක්‌ නො කරන බවක්‌ පෙනේ. එසේ ම රාජ්‍ය ආරක්‌ෂක අංශ සමග සිදු කරනු ලබන ගැටුම්වල දී මිය යන පිරිස ද සැලකිය යුතු තරම් ය.

පරිසර ක්‍රියාකාරීන් වෙනුවෙන් හඩක්‌


මේ වන විට ලෝකය පුරා විවිධ ස්‌ථානවල පාරිසරික ගැටුම් 2,000ක්‌ පමණ පවත්නා බව පර්යේෂකයන් හඳුනාගෙන ඇත. මේවා ජලය, භූමිය, පරිසර දූෂණය, තම වාසභුමියෙන් පිටමං කිරීම හා ඛනිජමය සම්පත් සඳහා සිදු කරන කැණීම් නිසා ඇති වූ ඒවා ය. එසේ ම මේ ආකාරයේ ගැටුම් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාර්තා නො වන නිසා සමස්‌ත ගැටුම් ප්‍රමාණය මීට වඩා අධික බව ඔවුන් ගේ අදහස වේ.

පරිසරය පිළිබඳ මෙවැනි ගැටුම් ව්‍යාප්ත වීමට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ දුප්පත් රටවල පිහිටා ඇති භූමිය හා සම්පත් වෙත විවිධ ධනවත් සමාගම් හා බලවත් රටවල අවධානය යොමු වීම ය. මෙය ගෝලීයකරණය නිසා දැනටමත් ව්‍යාප්ත වී යමින් ඇති ප්‍රවණතාවකි. එවැනි දුප්පත් රටවල දූෂණය රජයන පාලන තන්ත්‍රය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති දුර්වලතා නිසා මෙවැනි කටයුතු පහසු වී ඇත. එවැනි කටයුතු නිසා එම රටවල ඇති වන ජනතා විරෝධය මර්දනය කිරීමට එම සමාගම් හා ආණ්‌ඩු පෙලඹෙන අතර, ඔවුන් ගේ හඩ නිහඩ කිරීමට මිනිසුන් මරා දැමීමට පවා පෙලඹී තිබේ.

මේ තත්ත්වය හමුවේ පරිසර ක්‍රියාකාරිකයන් වෙනුවෙන් හඩනගන්නට හා ලෝකයේ අවධානය යොමු කරවන්නට හෝ සංවිධාන හා කණ්‌ඩායම් කිහිපයක්‌ ඉදිරිපත් ව ඇත. අප ඉහත කී වාර්තාව පළ කළ 'ග්ලෝබල් විට්‌නස්‌' නම් කණ්‌ඩායම එවැන්නකි. තවත් එවැනි කණ්‌ඩායම් ද මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කරයි.

ද ගාඩියන් පුවත්පත හා 'ග්ලෝබල් විට්‌නස්‌' කණ්‌ඩායම නව ව්‍යාපෘතියක්‌ දියත් කර ඇත. එහි අරමුණ වන්නේ මීළග වර්ෂය ඇතුළත දී පරිසරය ආරක්‌ෂා කිරීමට ඉදිරිපත් ව මිය යන්නවුන් ගේ මරණ පිළිබඳව වාර්තා කිරීම ය. එහි දී වනගත ව ඇති නොදියුණු යෑයි සම්මත රටවල් හා ප්‍රදේශ මෙන්ම කාර්මිකකරණය වූ රටවල සිදු වන සිදුවීම් ද වාර්තා කරන බව ඔවුන් පවසා තිබේ. එමගින් ජගත් මට්‌ටමින් යම් ජනමතයක්‌ ඇති කිරීමට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කරන බව පෙනේ. 'ආරක්‌ෂකයෝ' (The Defenders) නමින් දියත් කර ඇති මේ කටයුත්ත පිළිබඳ වැඩි විස්‌තර www.theguardian.com/environment/series/the-defenders වෙබ් ලිපිනයෙන් ලබාගත හැකි ය.

Global Witness මගින් ප්‍රකාශිත 'මිහිතලයේ ආරක්‌ෂකයෝ' නම් සම්පූර්ණ වාර්තාව පහත සබැඳියෙන් භාගත කරගත හැකි ය. www.globalwitness.org/en/campaigns/environmental-activists/defenders-earth/

http://www.vidusara.com/2017/08/02/feature1.html

No comments:

Post a Comment