Thursday, November 26, 2015

පැරිස්‌ දේශගුණ සමුළුවෙන් ප්‍රශ්නය විසඳේ ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 25.11.2015, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2015/11/25/feature1.html




නොවැම්බර් 30 වැනි ඉරිදා ප්‍රංශයේ පැරිස්‌ නුවර දී ආරම්භ වන ජගත් දේශගුණ සමුළුව යනු සැම වසරක ම අවසානයේ දී පවත්වනු ලබන දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) තවත් එක්‌ පාර්ශ්වකරුවන් ගේ සමුළුවක්‌ (COP) පමණක්‌ නො වේ. එය ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක එකකි. වර්තමාන ලෝකයේ දැකිය හැකි බරපතළ ම (එහෙත් මේ බරපතළකම අවබෝධ කරගෙන නොමැති) පාරිසරික ගැටලුව සේ සැලකෙන දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ කිසියම් සාධනීය පියවරක්‌ අපේක්‌ෂාවෙන් සිදු වන්නකි.

දේශගුණ වෙනස්‌ වීමේ බරපතළකම වටහාගත් දින පටන්, මෙවැනි ගිවිසුමක්‌ අපේක්‌ෂාවේ තිබුණු අතර, 2009 වර්ෂයේ දී කෝපන්හේගන් දේශගුණ සමුළුවේ දී එවැන්නක්‌ අපේක්‌ෂා කරන ලදි. එහෙත් කිසිවකු අපේක්‌ෂා නො කළ ආකාරයෙන් එම සමුළුව කිසිදු එකඟතාවක්‌ නොමැති ව අවසන් විය. ඉන් පසුව, 2011 වර්ෂයේ දී පැවැති ඩර්බන් දේශගුණ සමුළුවේ දී ලෝකය එකඟ වූයේ, 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නෛතික බලපෑමක්‌ ඇති එකඟතාවකට 2015 වර්ෂයේ දී එළැඹීමට ය. විශේෂයෙන් හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ දී ගිවිසුමකට ලෝකයේ සියලු රටවල් සම්බන්ධ විය යුතු බවට ද එකඟතාවක්‌ ඩර්බන්හි දී පොදුවේ ඇති වී තිබිණි. ලෝකයේ සැම රටකට ම හරිතාගාර විමෝචන සීමා කිරීමේ පොදු එහෙත් එකිනෙකට වෙනස්‌ මට්‌ටමේ වගකීම් ලැබිය යුතු බව මින් අදහස්‌ විය.

ඉන් පෙර දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ක්‍රියාක්‌මක වූ එක ම පිළියම වූයේ 1997 දී අත්සන් තබන ලද කියෝටෝ සන්ධානයයි. ඒ අනුව, දියුණු කාර්මික රටවල් පමණක්‌ සිය හරිතාගාර වායු විමෝචන සීමා කළ යුතු විය. ආර්ථික කරුණුවලට ප්‍රමුඛතාව ලබා දුන් ඇතැම් රටවල් කියෝටෝ සන්ධානයට මුල පටන් ම විරුද්ධ වූ අතර, එවකට ලෝකයේ වැඩි ම හරිතාගාර වායු විමෝචකයා වූ ඇමෙරිකාව ද කියෝටෝ සන්ධානයට අත්සන් තැබීම ප්‍රතික්‌ෂේප කළේ ය. තවත් රටවල් සන්ධානයට එක්‌ වීම පමා වූ බැවින් එය බලාත්මක තත්ත්වයට පත් වූයේ ද 2005 වර්ෂයේ දී පමණ ය. අවසානයේ දී 2012 වර්ෂයේ දී එහි මුල් ඉලක්‌කගත කාලසීමාව අවසන් වන විට, සන්ධානය අසාර්ථක එකක්‌ බව පැහැදිලි ව පෙනෙන්නට තිබිණි. කාර්මික රටවල් ස්‌වකීය හරිතාගාර වායු විමෝචන 1990 මට්‌ටමට සාපේක්‌ෂව විවිධ ප්‍රමාණවලින් (සාමාන්‍යයක්‌ ලෙස ගත හොත් 5.5%කින්) අඩු කළ යුතු වුව ද, ඒ බොහෝ රටවල වායු විමෝචන ඉහළ ගොස්‌ තිබිණි.

2012 සිට ගත වූ කාලයේ දී මේ සම්බන්ධව සාකච්ඡා ඇති වූ අතර ලබන සතියේ පැරිස්‌ සමුළුව අවසානයේ දී ඇති කරගැනීමට නියමිත ව ඇත්තේ මේ ගිවිසුමයි. මේ ගිවිසුම තුළ ලෝකයේ රටවල් සියල්ලට ම පොදු වගකීමක්‌ හා නෛතික බැඳීමක්‌ සහිත ආකාරයේ එකක්‌ වනු ඇතැයි අපේක්‌ෂිත ය.

ගැටලුවේ තරම


මේ වන විට ලෝකයේ විමෝචනය වන හරිතාගාර වායු විමෝචන ඉහළ යමින් තිබේ. මෙහි දී වැඩි වශයෙන් බලපෑමක්‌ සිදු වන්නේ කාබන් ඩයොක්‌සයිඩ් වායුවෙන් වුව ද, සෙසු හරිතාගාර වායුවල සාන්ද්‍රණය ද ඉහළ ගොස්‌ ඇත. ලෝක කාලගුණවිද්‍යා සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට 2014 දී ලෝකයේ සාමාන්‍ය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 397.7ක්‌ (ppm) පමණ වූ අතර මේ අගය 2016 වන විට කොටස්‌ 400 ඉක්‌මවා යනු ඇත. මෙය වාර්තාගත වැඩි වීමක්‌ වන අතර පූර්ව කාර්මික අවධියේ පැවැති මට්‌ටමට වඩා 143%ක වර්ධනයකි.

හරිතාගාර වායු සාන්ද්‍රණය මෙන්ම ලෝකයේ උෂ්ණත්වය ද මෑත කාලයේ දී වාර්තාගත අන්දමින් ඉහළ යමින් ඇති බව මේ වන විට පැහැදිලි කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ම වර්ෂ 11න් 10ක්‌ ම වාර්තා වන්නේ 2000 වර්ෂයෙන් පසුව වේ. (අනෙක්‌ උෂ්ණත්වයෙන් අධික වර්ෂය 1998 ය). මේ වන විට වාර්තා වී ඇති උෂ්ණත්වයෙන් අධික ම වර්ෂය වන්නේ ගත වූ 2014 ය.

මෙවැනි තත්ත්වයක ප්‍රතිඵලයක්‌ ලෙස ඉදිරියේ දී ඇති විය හැකි බලපෑම් පිළිබඳව අපට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබේ. මේවා සම්බන්ධව විවිධ පුරෝකථන මෙන්ම ඒ ගැන සවිස්‌තර වශයෙන් ද අප මින් පෙර සාකච්ඡා කර ඇත. දැන් අවශ්‍ය ව ඇත්තේ මේ තත්ත්වය වඩාත් බරපතළ තත්ත්වයකට පැමිණීමට පෙර පාලනය කරගැනීම ය. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්මුතියක්‌ ඇති වූයේ 1992 වර්ෂයේ දී පමණ ය. ඒ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියයි (UNFCCC). එහෙත් එමගින් මේ තත්ත්වය වැළැක්‌වීමට හෝ පාලනය කිරීමට හෝ පැහැදිලි ඉලක්‌කයක්‌ නො තිබූ අතර, එවැන්නත් ඇති කරගත්තේ 1997 දී ය. ඒ කියෝටෝ සන්ධානයයි. පෙර සඳහන් කළ ආකාරයට ඉන් අපේක්‌ෂිත ඉලක්‌ක වෙත ළඟා වීම අපහසු කරුණක්‌ වුව ද දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා මෙතෙක්‌ ක්‍රියාත්මක වූ එක ම වැඩසටහන වන්නේ කියෝටෝ සන්ධානයයි. පැරිස්‌ සාකච්ඡාවල පසුබිම සැකසෙන්නේ මේ තත්ත්වය පසුබිමේ තබාගනිමිනි.

මතභේදාත්මක කරුණු


අද වන විට පවත්නා තත්ත්වය අනුව ඇතැම් කරුණු සම්බන්ධව මතභේද ඇති බව පැහැදිලි ය. ඉන් එකක්‌ වන්නේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම කළ හැක්‌කේ කවර ප්‍රමාණයකින් ද යන්න ය. මේ වන විට ලෝකයේ රටවල් 168ක්‌ පමණ ප්‍රමාණයක්‌ ස්‌වකීය රටවලට සිදු කළ හැකි වායු සීමා කිරීම හා වෙනත් කරුණු පිළිබඳ පොරොන්දු (INDC) ලබා දී තිබේ. එහෙත් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම් ඇති විය හැකි යෑයි සැලකෙන උෂ්ණත්ව ඉහළ යැමේ සීමාව වන සෙල්සියස්‌ අංශක දෙකක සීමාව ඉක්‌මවා යා නො දී තබාගැනීමට මේවායින් හැකි ද යන්න වැදගත් ම කරුණ වේ. මේ රටවල් ලබා දී ඇති ඉලක්‌ක සියල්ල සම්පූර්ණ කළ ද ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2 ඉක්‌මවා යැම වළක්‌වාගත නොහැකි බව පෙන්වා දී තිබේ. (මේ පිළිබඳව ගණන් බැලීමකට අනුව උක්‌ත පොරොන්දු ඒ අයුරින් ම ඉටු වුව ද, ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2.7ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. එහෙත් මෙය කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නො ගැනීමෙන් ඇති විය හැකි ප්‍රතිඵලවලට වඩා යහපත් තත්ත්වයකි.)

කෙසේ වෙතත් මේ විමෝචන සීමා කිරීමේ ඉලක්‌ක කරා ළඟා වීම ස්‌වෙච්ඡාවෙන් අත්පත් කරගන්නා ඉලක්‌ක වුව හොත් එහි දී යම් ගැටලුවක්‌ ඇති වේ. ඒවා යම් නෛතික බැඳීමක්‌ සහිත වුව හොත් පමණක්‌ ඉන් යම් ප්‍රතිඵලයක්‌ අපේක්‌ෂා කළ හැකි ය. මෙය දියුණු හා දියුණු වන රටවල් අතර සාකච්ඡාවල කිසියම් මතභේදයක්‌ ඇති තැනකි. පසුගිය සතිය වන විට පෙනී ගොස්‌ තිබූ ආකාරයට ඇතැම් රටවල අපේක්‌ෂාව වන්නේ නෛතික බැඳීමක්‌ සහිත ගිවිසුමක්‌ ඇති නො වනු ඇතැයි යන්න ය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙවැනි අදහසක්‌ පළ කර තිබිණි. එහෙත් ප්‍රංශය මෙන්ම ලෝකය ද අපේක්‌ෂා කරන්නේ නෛතික බැඳීමක්‌ සහිත ශක්‌තිමත් වූ ගිවිසුමකි.

එකඟතාවක්‌ නොමැති අනෙක්‌ වැදගත් කරුණ වන්නේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමට හා ඊට අනුහුරු වීමට අදාළ කටයුතු සඳහා දියුණුවන රටවලට ලබා දීමට නියමිත ව ඇති ආධාර මුදල් ප්‍රමාණයයි. මේ පිළිබඳව ඇති අපේක්‌ෂාව වන්නේ ඩොලර් බිලියන 100ක අරමුදලක්‌ වාර්ෂිකව ප්‍රදානය කිරීම ය. එහෙත් මේ දක්‌වා දියුණු රටවල් ඒ ඉලක්‌කය සඳහා දායක වන ආකාරය පැහැදිලි නැත. මේ අධාර මුදල් සැම දියුණු වන රටකට ම වැදගත් වන්නේ පිරිසිදු තාක්‌ෂණය, අනුහුරු වීම ආදි බොහෝ කරුණු සම්බන්ධව ඔවුන් ගේ රටවල ඇති ආර්ථික තත්ත්වය සීමාකාරී බලපෑමක්‌ වන නිසා ය.

මේ කරුණු දෙක සම්බන්ධව කිසියම් සාධනීය විසඳුමක්‌ හෝ එකඟතාවක්‌ ඇති නො වුව හොත් පැරිස්‌ සාකච්ඡා පමණක්‌ නො ව, එහි දී ඇති විය හැකි ගිවිසුමකින් වුව ද ලෝකයට එතරම් යහපතක්‌ අපේක්‌ෂා කළ නොහැකි වනු ඇත.

ලෝකයේ අපේක්‌ෂාව


කෙසේ වෙතත් ලෝකයේ අනාගතය සුරක්‌ෂිත කිරීම සඳහා අවශ්‍ය වන එක්‌ ප්‍රධාන කරුණක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම්වලට ලෝකය ලක්‌ නො වන ආකාරයේ තත්ත්වයක්‌ ඇති කරගැනීම ය. ඉදිරි දිනවල පැරිසියට රැස්‌ වන ඒ ඒ රටවල නියෝජිතයන් ගේ, විද්‍යාඥයන් ගේ, සමාජ හා පාරිසරික ක්‍රියාකාරීන් ගේ අරමුණ වන්නේ දේශගුණ සමුළුවේ සාකච්ඡා කිසියම් ආකාරයක සාධනීය අවසානයක්‌ දක්‌වා යොමු වනු දැකීම ය.

එහෙත් අවාසනාවකට මෙන් පැරිස්‌ නගරයේ පසුගිය දා සිදු වූ ත්‍රස්‌ත ප්‍රහාරය නිසා එහි ආරක්‌ෂක තත්ත්වය දැඩි කිරීමට ප්‍රංශ රජය කටයුතු කර තිබේ. දේශගුණ සමුළුව අතරතුර දී පා ගමන්, විරෝධතා හා වෙනත් කටයුතු තහනම් කිරීමට රජය තීරණය කර ඇත. මෙය දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව අවධානය යොමු කිරීමේ අටියෙන් විවිධ සමාජ ක්‍රියාකාරීන් සංවිධානය කරන්නට ගිය විරෝධතාවලට ද බලපානු ඇත. විශේෂයෙන් ම අප්‍රිකානු රටවල්, කුඩා දූපත් රාජ්‍ය ආදි හඬක්‌ නොමැති පිරිස්‌වලට තම හඬ ලෝකයට ගෙන යැමට තිබූ අවස්‌ථාවක්‌ වන්නේ මේ වීදි විරෝධතා ය.

පැරිස්‌ සමුළුවට සහභාගි වන රාජ්‍ය නායක මට්‌ටමේ පිරිස්‌වල සහභාගිත්වය අඩු වන බව ද දැනගැනීමට ඇත. ඊට හේතුව වී ඇත්තේ ද පෙර කී ත්‍රස්‌ත ප්‍රහාරය නිසා ඇති වී තිබෙන ආරක්‌ෂාව පිළිබඳ ගැටලු ය. සාමාන්‍යයෙන් මෙවැනි තීරණාත්මක සමුළුවක දී රාජ්‍ය නායකයන් ගේ සහභාගිත්වය කිසියම් ධෛර්යයක්‌ හා ගම්‍යතාවක්‌ එක්‌ කිරීමට හේතු වන බැවින්, රාජ්‍ය නායකයන් ගේ සහභාගිත්වය අඩු වීම ද පැරිස්‌ සාකච්ඡාවලින් සාධනීය ප්‍රතිඵලයක්‌ අත්පත් කරගැනීම සඳහා බලපාන කරුණක්‌ විය හැකි ය.

ලෝකයේ අනාගත සුරක්‌ෂිතතාව පිළිබඳ තීරණ ගන්නා සමුළුවක්‌ වන පැරිස්‌ සමුළුවේ දී වර්ධනය වන ප්‍රවණතා සම්බන්ධව අපට ඉදිරියේ දී දැකගත හැකි ය.

http://www.vidusara.com/2015/11/25/feature1.html

Friday, November 20, 2015

තෙල් සමාගම්වල සටකපට උපක්‍රම හෙළිදරව් වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 11.11.2015 (Vidusara)

(Topic: Tactics used by oil companies revealed)

http://www.vidusara.com/2015/11/11/feature3.html




දේශගුණ වෙනස්‌ වීම සත්‍යයක්‌ නො වන බව හෝ ඒ පිළිබඳ විද්‍යාත්මක දැනුමේ අඩුපාඩු ඇති බව පවසමින් ලෝකයේ විවිධ ඛනිජතෙල් සමාගම් කටයුතු කරන ආකාරය ප්‍රකට රහසකි. කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන අධික ලෙස නිකුත් කරන ෆොසිල ඉන්ධන භාවිත සීමා වීමෙන් උක්‌ත සමාගම්වල ආදායම් අහිමි විය හැකි නිසා ඔවුන් මේ ආකාරයෙන් සත්‍ය තොරතුරු නො සලකාහරිමින් කටයුතු කරන බව පෙනේ. ලෝකයේ ධනවත් ම සමාගම් අතර සිටින, මුදල් බලයෙන් මෙන්ම දේශපාලන බලයෙන් ද ශක්‌තිමත් තෙල් සමාගම්වලට මෙවැනි කටයුතු එතරම් අලුත් දේ නො වේ.

මේ සමාගම් ජනතාව ගේ හා ලෝකයේ සුබසිද්ධිය නො සලකා කටයුතු කර ඇත්තේ කෙතරම් වගකීමකින් තොර ආකාරයෙන් ද යන්න, පසුගිය සති කිහිපයක කාලය ඇතුළත ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ අනාවරණය වී ඇති මෙවැනි එක්‌ සිදුවීමක්‌ සම්බන්ධව විස්‌තරවලින් පැහැදිලි වේ. මේ සිදුවීම් ජාලය සම්බන්ධ වන්නේ එක්‌සොන් (Exxon) ලෙස අතීතයේ හන්වන ලද, අද වන විට Exxon Mobil ලෙස හඳුන්වනු ලබන ලෝකයේ විශාලතම තෙල් හා ගෑස්‌ සමාගම සමග ය.

මේ කරුණු අනාවරණය වී ඇත්තේ InsideClimateNews නම් ආයතනයක්‌ විසින් මාස ගණනාවක්‌ තිස්‌සේ සිදු කරන ලද කරුණු සොයාබැලීමක දී ය. ඔවුන් ඒ සඳහා මේ ආයතනයේ සේවය කළ පිරිස්‌, විද්‍යාඥයන් හා පෙඩරල් නිලධාරීන් ආදී පිරිස්‌ රැසකින් තොරතුරු ලබාගෙන ඇති අතර, වැඩි වශයෙන් 1977-1986 අතර කාලයට අයත් එක්‌සොන් සමාගමේ ලියෑවිලි විශාල ප්‍රමාණයක්‌ද පරීක්‌ෂාවට ලක්‌ කර තිබේ.

දේශගුණ වෙනස්‌ වීම දැනගත්තේ 1977 දී


එහි දී අනාවරණය වී ඇති ආකාරයට එක්‌සොන් සමාගම 1977 ජුලි මාසය තරම් ඈත කාලයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව දැන සිටියේ ය. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වූ ඡේම්ස්‌ බ්ලැක්‌ මේ පිළිබඳව සමාගමට අනාවරණය කර ඇත්තේ මේ මාසයේ දී ය. සමාගමේ කළමනාකාරීත්වයට ඔහු පෙන්වා දී ඇත්තේ ලෝක දේශගුණය සම්බන්ධව මිනිසුන් විසින් සිදු කරනු ලබන ප්‍රමුඛතම බලපෑම ෆොසිල ඉන්ධන දහනය කිරීම හරහා වායුගෝලයට කාබන් ඩයොක්‌සයිඩ් නිකුත් කිරීම බවයි. මේ සිදුවීමෙන් වසරකට පමණ පසුව ඔහු සමාගමට අනාවරණය කර ඇත්තේ වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය දෙගුණයකින් ඉහළ යැමෙන් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2-3 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි.

මේ සිදුවීම් සිදු වන්නේ දේශගුණ වෙනස්‌ වීම පුළුල් මාතෘකාවක්‌ බවට පත් වීමට වසර 11ක්‌ තරම් ඉහත කාලයේ දී ය. මේ කරුණු අනාවරණය වීමත් සමඟ ම එක්‌සොන් සමාගම ඒ පිළිබඳව දැන සිටියා පමණක්‌ නො ව, සමාගමේ විද්‍යාඥයන් යොදාගනිමින් මාස කිහිපයක්‌ ඇතුළත මේ පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් එහි ඉහළ ම විද්‍යාඥයන් කාබන්ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය ගැන පර්යේෂණ කර ඇති අතර, දේශගුණ ආකෘති පවා ගොඩනගා අධ්‍යයන සිදු කර තිබේ. එසේ ම කාබන් ඩයොක්‌සයිඩ් වායුව අවශෝෂණය කරගැනීම සඳහා සාගරයට ඇති හැකියාව පිළිබඳව නෞකාවක්‌ යොදාගනිමින් සිදු කළ අධ්‍යයනයක්‌ සඳහා වරක්‌ ඩොලර් මිලියනයක පමණ මුදලක්‌ වැය කර ඇත. කෙසේ වෙතත් මේ පර්යේෂණ කටයුතු 1980 ගණන්වල මුල දී අඩාළ වූ අතර එතැන් සිට සමාගමේ කටයුතු වෙනස්‌ මගක්‌ ගත් බවක්‌ පෙනේ.

කෙසේ වෙතත් මේ චෝදනා ප්‍රතික්‌ෂේප කිරීමට එක්‌සොන් සමාගම කටයුතු කර ඇති අතර ඔවුන් පවසන්නේ අදාළ සමාගමෙන් මහජනතාවට විවෘත කර ඇති ලේඛන සමූහයක්‌ යොදාගනිමින් මේ චෝදනා එල්ල කර ඇති බවයි.

දේශගුණ සංශයවාදයට උදව් කිරීම


කෙසේ වෙතත් එක්‌සොන් සමාගමේ පසුකාලීන ක්‍රියාකාරකම් වඩාත් ආන්දෝලනාත්මක ය. සමාගම මේ ගැටලුව පිළිබඳව දැනුවත් ව සිටිය ද, දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ යථාර්ථය ඔවුන් දශක කිහිපයක්‌ යන තෙක්‌ පිළිගත්තේ නැත. නිදසුනක්‌ ලෙස ගත හොත් 1988 වර්ෂයේ දී ඇමෙරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ කමිටුවක්‌ අමතමින් ඡේම්ස්‌ හැන්සන් නම් නාසා ආයතනය හා සම්බන්ධ ව සිටි ප්‍රකට විද්‍යාඥයා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යමින් තිබෙන බව පවසමින් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව පළමුවරට අවධානය යොමු කළ අවස්‌ථාවේ දී පවා එක්‌සොන් සමාගම සිටියේ වෙනස්‌ මතයක ය - සමාගම පවසා සිටියේ මේ පිළිබඳව ඇති විද්‍යාත්aමක දැනුම මතභේදාත්මක බවයි.

එක්‌සොන් සමාගයේ කටයුතු එතැනින් නැවතුණේ නැත. ඔවුන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව වැරදි තොරතුරු ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක්‌ දක්‌වමින් කටයුතු කර ඇති බව වාර්තා වී තිබේ. මේ සඳහා යොදාගත් එක්‌ ක්‍රමයක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීම අවතක්‌සේරු කරන කටයුතු සඳහා විවිධ පිටස්‌තර කණ්‌ඩායම්වලට අරමුදල් ලබා දීමයි. නිදසුනක්‌ ලෙස, දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ විද්‍යාත්මක දැනුම ප්‍රශ්න කළ ගෝලීය දේශගුණ සමූහය (Global Climate Coalition) නම් එකතුව පිහිටුවීම සඳහා 1989 වර්ෂයේ දී මේ සමාගම මුල් වී ඇත. (මෙවැනි කණ්‌ඩායම් සඳහා අනුග්‍රහය ලබා දීමට විවිධ තෙල් සමාගම් කටයුතු කළ බව වාර්තා වී ඇත). එසේ ම ඇමෙරිකාව කියෝටෝ සන්ධානයට අත්සන් තැබීම වැළැක්‌වීම සඳහා ද එක්‌සොන් සමාගම කටයුතු කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. එතැනින් නො නැවතී කියෝටෝ සන්ධානයට වෙනත් රටවල් එක්‌ වීම වැළැක්‌වීමට පවා කටයුතු කර ඇති බව බව මේ වන විට හෙළි ව ඇත.

එපමණක්‌ නො ව මේ සමාගම මෙන්ම තවත් සමාගම් ගණනාවක්‌ එකතුව සකස්‌ කළ දේශගුණ සැකය මහජනතාව අතරට සන්නිවේදනය කිරීමේ වැඩපිළිවෙළක්‌ සම්බන්ධව කරුණු අනාවරණය කරගැනීමට මීට මාස කිහිපයකට පෙර සැලකිලිමත් විද්‍යාඥයන් ගේ සංගමය (UCS) නම් එකමුතුව විසින් නිකුත් කර ඇති සොයා බැලීමකින් හෙළි වී ඇත. ඔවුන් ගේ අරමුණ වී ඇත්තේ ජනතාව එක්‌ එක්‌ පුද්ගලයා ලෙස දේශගුණ වෙනස්‌ වීම සැක කරනු ලබන තත්ත්වයක්‌ කරා කටයුතු කිරීම බව පැහැදිලි ය. මෙවැනි කටයුතු සඳහා එක්‌සොන් සමාගම විශාල මුදලක්‌ වැය කර ඇති බව ගී්‍රන්පීස්‌ ජාත්‍යන්තරය වැනි සංවිධාන පවා කලක පටන් පෙන්වා දී තිබේ.

මෙහි ඇති වැදගත් ම කරුණ වන්නේ මෙවැනි නොමග යෑවීම් නිසා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව කටයුතු කිරීම ප්‍රමාද වී ඇති බවයි. මේ නිසා අපතේ ගොස්‌ ඇති කාලය බොහෝ ය. 1988 වර්ෂයෙන් පසු, මේ කරුණු සම්බන්ධව වාද කරමින් ගත කර ඇති කාලය දශක තුනකට ආසන්නය. එහෙත් ලෝකයේ ප්‍රමුඛතම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව සාධනීය පිළියමක්‌ තවමත් දැකිය නොහැකි ය.

මේ දුම්කොළ සමාගම්වල උපක්‍රමයමයි


මේ අතර එක්‌සොන් සමාගමේ කටයුතු පිළිබඳව නීතිමය පරීක්‌ෂණයක්‌ අවශ්‍ය බව පාරිසරික ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත. ඒ සඳහා ම සකස්‌ කරන ලද අන්තර්ජාල පෙත්සමක්‌ අත්සන් කිරීම සඳහා ග්‍රීන්පීස්‌ සංවිධානය පසුගිය කාලයේ දී කටයුතු කළේ ය. පසුගිය සතියේ දී වාර්තා වූ පරිදි නිව්යෝක්‌ නීතිපතිවරයා පසුගිය දා මේ කරුණු පිළිබඳව පරීක්‌ෂණයක්‌ දියත් කර ඇති බව ද වාර්තා විය. ඒ අනුව මේ සමාගම දේශගුණ වෙනස්‌ වීමේ අවදානම සම්බන්ධව ජනතාවට ද, තෙල් ව්‍යාපාරයට ද බලපාන ආකාරය ගැන ආයෝජකයන්ට ද අසත්‍ය ප්‍රකාශ කළේ ද යන්න පිළිබඳව අවධානය යොමු ව ඇති බව පෙනේ.

මෙවැනි අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වැදගත් පූර්වාදර්ශයක්‌ තිබේ. තම නිෂ්පාදනවලින් ඇති විය හැති අනතුරුදායක තත්ත්වය හෙළිදරව් වීමෙන් ව්‍යාපාරවලට ඇති විය හැකි තර්ජනය නිසා දුම්කොළ සමාගම් ද අතීතයේ දී මේ හා සමාන ආකාරයකින් කටයුතු කර තිබේ.

1950 හා 60 දශකවල දී දුම්කොළ සමාගම් දුම්කොළවල ඇති හානිකර හා ඇබ්බැහි කරනසුලු බව පිළිබඳ කරුණු දැන දැන ම ඒවා වසන් කරමින් වෙනත් කරුණු පෙන්වා දෙන්නට හා පසුකාලීනව සැක සහිත වූ පර්යේෂණ සඳහා අරමුදල් ලබා දෙන්නට කටයුතු කර ඇත. එහි අරමුණ වූයේ මහජන මතය වෙනස්‌ කිරීම ය. මේ පිළිබඳව ගත් නීතිමය පියවරක දී ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණයක්‌ පෙන්වා දුන්නේ දුම්කොළ සමාගම් විද්‍යාත්මක කරුණු වසන් කිරීම සඳහා කටයුකු කර ඇති බවයි. ඒ ඔවුන් ගේ ආර්ථික වාසි සඳහා ය.

මේ අනුව තෙල් සමාගම් භාවිත කර අත්තේ දුම්කොළ සමාගම් අතීතයේ දී යොදාගත් උපක්‍රම හා සමාන උපක්‍රම බව පෙනේ. දුම්කොළ සමාගම්වල කටයුතු නිසා තර්ජනයට ලක්‌ වූයේ මානව සෞඛ්‍යය වීම ය. තෙල් සමාගම්වල කටයුතු නිසා තර්ජනයට ලක්‌ ව ඇත්තේ සමස්‌ත ලෝකයේ අනාගතය වීම ය. එය මිනිසුන් ගේ ද සියලු ජීවී සංහතියේ ද අනාගතය ද වේ. විද්‍යාව වැනි විශ්වසනීයත්වයෙන් යොදාගත යුතු මෙවලමක්‌ පවා අවශ්‍ය ආකාරයට වෙනස්‌ කර යොමු කරමින් ව්‍යාපාරික අවශ්‍යතා සඳහා යොදාගැනීමට සමාගම් කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි.

http://www.vidusara.com/2015/11/11/feature3.html

Wednesday, November 11, 2015

නූතන මානවයා අප්‍රිකාවෙන් කලින් ම නික්‌මුණු බවට චීනයෙන් ලැබුණු සාධක

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 28.10.2015 (Vidusara)

(Topic: Evidence from China for an early Out of Africa date)

http://www.vidusara.com/2015/10/28/feature2.html




නූතන මානවයා හෙවත් Homo sapiens මානවයා අප්‍රිකා මහාද්වීපයෙන් නික්‌මුණේ අදින් වසර 60,000ක පමණ කාලයකට (වඩා පුළුල් ලෙස ගත හොත් වසර 50,000ත් 75,000ත් අතර කාලයකට) පෙර බව වර්තමානයේ පුළුල් ව පිළිගැනෙන මතය වේ. නූතන මානවයා මිහිතලයේ ජනිත වූයේ අදින් වසර 100,000ත් 200,000ත් අතර කාලයකට පෙර සේ සැලකෙන බැවින් මේ මතය සත්‍ය වීමට වැඩි බරක්‌ තිබේ. මේ මතය 'මෑත දී අප්‍රිකාවෙන් නිකAමීමේ' කල්පිතය (recent Out of Africa hypothesis) ලෙස ද හැඳින්වේ.

මෙසේ පැමිණි මිනිසුන් ගෙන් අප්‍රිකා මහාද්වීපයෙන් පිටත ලෝකයේ වෙනත් ප්‍රදේශවල වර්තමානයේ වාසය කරන මිනිස්‌සු පැවත එති. මේ බව පුරාවිද්‍යාත්මක මෙන්ම ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයන තුළින් හෙළි වී ඇති කරුණකි. එහෙත් මෑතක දී චීනයේ ගල් ගුහාවකින් හමු වී ඇති මිනිස්‌ දත් සමූහයක්‌ යොදාගනිමින් නූතන මානවයා අප්‍රිකාවෙන් පිටතට පැමිණි දිනය හා ඉන් පසුව ඔහු ගේ ව්‍යාප්තිය සිදු වූ ආකාරය පිළිබඳව පෙර සඳහන් මත අභියෝගයකට ලක්‌ කරන්නට හැකි වැදගත් කරුණු රැසක්‌ අනාවරණය වී තිබේ.

පසුගිය දා Nature සඟරාවේ පළ වූ මේ අධ්‍යයනයට අනුව මෙතෙක්‌ විශ්වාස කළ කාලය වන වසර 60,000ක කාලයට පෙර දිනයක නූතන මිනිසුන් අප්‍රිකාවෙන් පිට ව ගොස්‌ ඇති බවත් ඔවුන් මෙතෙක්‌ විශ්වාස කළ කාලයට වඩා පෙර ආසියාව වෙත ළඟා වී ඇති බවටත් තොරතුරු ලැබේ. මේ අනුව අදින් වසර 80,000ක්‌ හෝ ඊටත් පෙර කාලයක දී නූතන මානවයන් දකුණු චීනයේ විසූ ව සිතිය හැකි ය. මේ දිනය අප්‍රිකාවෙන් මිනිසුන් පිට වූ දිනය සේ සැලකෙන දිනයට වඩා අවම වශයෙන් වසර 20,000ක්‌ පමණ ඈත දිනයකි. මේ හේතුවෙන් උක්‌ත පර්යේෂණයෙන් හෙළි වන කරුණු පසුගිය දශකයක කාලයේ දී ආසියාවෙන් මේ විෂයය සම්බන්ධව ලැබුණු වැදගත් ම සොයාගැනීමක්‌ සේ සැලකේ.

හුනුගල් ගුහාවකින් ලැබුණු මිනිස්‌ දත්

මේ මානව ෆොසිල සොයාගෙන ඇත්තේ දකුණු චීනයේ හුනාන් පළාතේ ඩාඕක්‌සියාන් (Daoxian) ප්‍රදේශයේ ඇති ෆුයාන් (Fuyan) නම් හුනුගල් ගුහාවකිනි. මෙය වර්ග කිලෝමීටර් 3ක්‌ පමණ ප්‍රදේශයක්‌ තරම් විහිද යන ගුහා පද්ධතියකි. මෙහි මෑත දී සිදු කරන ලද කැණීම්වලින් හමු ව ඇති ෆොසිල අතර මිනිස්‌ දත් 47ක්‌ පමණ තිබී ඇත.

මේ දත්වල රූපවිද්‍යාත්මක (morphological) ලක්‌ෂණ හා ප්‍රමාණය වැනි කරුණු අනුව ඒවා නූතන මානවයාට අයත් බව පෙනී ගොස්‌ තිබේ. මේ දත් ප්‍රමාණයෙන් වෙනත් මානවයන්ට වඩා කුඩා ය. දන්ත මූල සිහින් අතර, දන්ත මස්‌තකය පැතැලි ය. මේ සියලු ලක්‌ෂණ අනුව උක්‌ත ෆොසිල දත් කිසිදු සැකයක්‌ නොමැති ව නූතන මානවයා ගේ දත් හා සමාන ය.

මේ දත් සිර වී තුබුණේ ගුහාවේ කැල්සයිට්‌ පොළොව මත වන අතර ඒ නිසා ඒවා තදින් සිර වී තැන්පත් ව තිබිණි. එම දත් අදාළ කැල්සයිට්‌ ස්‌තරයට වඩා පැරැණි විය යුතු වේ. මේ මත තිබූ අවක්‌ෂේප හුනුගල් ටැඹ (stalagmite) යුරේනියම්-තෝරියම් කාලනිර්ණ සමස්‌ථානික මගින් කාල නිර්ණය කරන ලද අතර, ඒ අනුව ඒවා අදින් වසර 80,000ක්‌ පමණ පැරැණි බව අනාවරණය විය. එසේ නම් ඊට වඩා යටින් හමු වූ ෆොසිල දත් වසර 80,000කට වඩා පැරැණි විය යුතු බව පැහැදිලි ය. මේ පර්යේෂණයේ යෙදුණු විද්‍යාඥයන් පවසන පරිදි ඒවා උපරිම වශයෙන් වසර 120,000ක්‌ පමණ තරම් පැරැණි විය හැකි බව අනුමාන කළ හැකි ය. එසේ ම මේ දත් සමග හයිනාවන්, වඳ ව ගොස්‌ ඇති යෝධ පැන්ඩාවන් හා වෙනත් සත්ත්ව විශේෂ ගණනාවක ශේෂ හමු ව තිබේ. මේ සතුන් ජීවත් වී ඇත්තේ පශ්චාත් ප්ලයිස්‌ටොසීන යුගයේ වන අතර ඒ කාලය අදාළ කාලනිර්ණයෙන් ලැබුණු දින වකවානු හා සමගාමී වේ. මේ දත් අයත් මිනිසුන් එම ලෙනෙහි විසූ බවට සාධක සේ සැලකිය හැකි ගල් ආයුධ හමු නො වූ බැවින් විලෝපීයයන් මේ ශේෂ ගුහාවට ගෙන එන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව පර්යේෂකයන් ගේ අදහස වේ.

මිනිසා අප්‍රිකාවෙන් කලින් ම නික්‌මුණේ ද? දෙවරක්‌ පිට වූයේ ද?

මේ පර්යේෂණය පෙර ආසියාවෙන් ලැබී ඇති නූතන මානවයාට අයත් බවට නිශ්චිතව හඳුනාගෙන ඇති හා කාලනිර්ණය කර ඇති පැරැණි ම ෆොසිල සාධක අදින් වසර 45,000ක්‌ පමණ පැරැණි ඒවා ය. එම සාධක වසර 50,000 - 75,000 අතර කාලයකට පෙර මිනිසුන් අප්‍රිකාවෙන් පිටතට පැමිණියේ ය යන පුළුල් ව පිළිගැනෙන මතය හා සමගාමී වේ. ඉහත සඳහන් කළ පරිදි අද ජීවත් වන මිනිසුන් පැවත එන්නේ මේ මානවයන් ගෙන් ය යන්න පොදු පිළිගැනීම ය.

එහෙත් චීනයෙන් ලැබුණු මේ ෆොසිල සාධකවලින් පෙනෙන්නේ නූතන මානවයන් මෙතෙක්‌ විශ්වාස කළ කාලයට පෙර සමයක අප්‍රිකාවෙන් පිටතට පැමිණි බවයි. මෙවැනි අදහසක්‌ ඉදිරිපත් වූ ප්‍රථම අවස්‌ථාව මෙය නො වේ. මීට පෙර සිදු කරන ලද පර්යේෂණවලින් ද මේ පිළිබඳ අදහස්‌ ඉදිරිපත් කර තිබේ. මීට පෙර අප්‍රිකාවට පිටත ප්‍රදේශවලින් ලැබී ඇති මෙවැනි ෆොසිල සාධක ද වර්තමාන මැදපෙරදිගට අයත් ලෙවන්ට්‌ ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශය (වර්තමාන සිරියාව, ලෙබනනය හා ජොර්දානය ඇතුළත් මධ්‍යධරණී මුහුදට නැෙගනහිරින් පිහිටි ප්‍රදේශය) වෙත නූතන මානවයන් අදින් වසර 125,000කට පමණ ඉහත දී ළඟා වී ඇති බවට සාධක තිබේ. නිදසුනක්‌ ලෙස ඊශ්‍රායලයේ ස්‌ඛූල් (Skhul) හා කෆ්සේ (Qafzeh) වැනි ගුහාවලින් ලැබෙන නූතන මානවයාට අදාළ සාධක වසර 100,000ක්‌ පමණ පැරැණි වේ. එහෙත් මේ මුල් අවස්‌ථාවේ දී අප්‍රිකාවෙන් පිටතට පැමිණි මානවයන් පසු ව ඈත ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවට සාධක ලැබී නොමැති බැවින් ඔවුන් වඳ වී ගිය බවට සැක කරනු ලැබේ. ඒ නිසා මේ සංක්‍රමණය අසාර්ථක වූ බව මේ වන විට වැඩි පිළිගැනීමකට ලක්‌ ව ඇති මතය වේ.

එහෙත් චීනයෙන් ලැබුණු මේ නවතම සාධක අනුව පෙනෙන්නේ නූතන මිනිසුන් මෙතෙක්‌ විශ්වාස කළ කාලයට පෙර කාලයක දී අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ ආසියාවේ ඈත ප්‍රදේශ කරාද ළඟා වූ බවකි. ඔවුන් වසර 80,000ත් 120,000ත් අතර කාලයක දී දකුණු චීනයේ වාසය කර තිබේ. එය මෙතෙක්‌ පිළිගත් දිනයට වඩා අවම වශයෙන් වසර 30,000ක්‌ පමණ ඈතට ගෙන යැමකි. මේ නව පර්යේෂණයෙන් අනාවරණය වන දත්ත අනුව මුල් සංක්‍රමණය හෝ සංක්‍රමණ අවස්‌ථා අසාර්ථක වූ අප්‍රිකාවෙන් පිට ව ගිය අවස්‌ථා නො වේ. මෙය දකුණුදිග මාර්ගයක්‌ ඔස්‌සේ මිනිසුන් කලකට පෙර ආසියාව දෙසට සංක්‍රමණය වූ බවට ඇති මතය හා ගැලපෙන්නකි. මේ අනුව පෙනෙන කරුණක්‌ වන්නේ නූතන මානවයා එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ ඇත යන අදහස තවදුරටත් තහවුරු වන බවයි. පැවැති පාරිසරික තත්ත්ව අනුව මෙවැනි පිට ව යැම් එකකට වඩා සිදු වන්නට බොහෝ සේ අවස්‌ථාව තිබේ. එසේ ම මේ මුල් සංක්‍රමණවලින් පැවත ආ මිනිසුන් පසුකාලීනව සිදු වූ පුළුල් ව පිළිගැනෙන සංක්‍රමණයෙන් හා වෙනත් සංක්‍රමණවලින් පැමිණි මිනිසුන් සමඟ මිශ්‍ර වන්නට ද යම් අවස්‌ථාවක්‌ තිබේ. මේ වන විට ඇති සාධක අනුව වර්තමාන නැෙගනහිර ආසියානුවන් පැවත එන්නේ බටහිර ආසියාවේ දී නියෑන්ඩර්තාල් මිනිසුන් ද සමග මිශ්‍ර වූ නූතන මානවයන් ගෙනි. මේ අනුව පසුව පැමිණි මිනිසුන් නිසා ඉහත කී මුල් සංක්‍රමණිකයන් වඳ වී යන්නට ඇති බවක්‌ ද පෙනේ. ඔවුන් ගේ ප්‍රවේණික දායකත්වය හඳුනාගැනීම අපහසු වී ඇත්තේ එවැන්නක්‌ සිදු වූයේ නම් එය සිදු ව ඇත්තේ බොහෝ ඈත කාලයක විය හැකි නිසා ය. කෙසේ වෙතත්, නූතන මිනිසුන් පැවත එන්නේ පෙර සඳහන් පරිදි වසර 50,000ත් 75,000ත් අතර කාලයක සිදු වූ මෑත දී අප්‍රිකාවෙන් නික්‌මුණු මානවයන් ගෙන් ය යන මතය බැහැර කළ නොහැක්‌කේ ප්‍රවේණික සාධක ඒ සඳහා ශක්‌තිමත් සාක්‌ෂියක්‌ සපයන බැවිනි.

යුරෝපයට යැම පමා වූයේ ඇයි?

කෙසේ වෙතත් මෙහි දී ඇති වන තවත් ගැටලුවක්‌ වන්නේ චීනයට වසර 80,000ක්‌ හෝ ඊට පෙර ළඟා වූ නූතන මිනිසුන් යුරෝපයට ළඟා වූයේ ඊට වඩා බොහෝ මෑත කාලයක දී වීමයි. මේ වන විට ලැබී ඇති සාධක අනුව නූතන මානවයන් පිළිබඳ සාධක යුරෝපයෙන් ලැබෙන්නේ අදින් වසර 45,000ක්‌ පමණ කාලයකට ඉහත දී ය. එසේ නම් චීනයට මිනිසුන් ළඟා වූ සංක්‍රමණ අවස්‌ථාවේ දී, ඔවුන් පෙරදිගට පමණක්‌ පැමිණියේ ඇයි ද යන ගැටලුව මෙහි දී ඇති වේ.

මීට හේතුව ලෙස යම් තර්කානුකූල අදහසක්‌ උක්‌ත පර්යේෂකයන් ඉදිරිපත් කර තිබේ. ඒ කාලය වන විට යුරෝපයේ පදිංචි ව සිටි නියෑන්ඩර්තාල් මානවයන් ගෙන් එල්ල වූ තරගය මේ සඳහා හේතු වන්නට ඇත. මේ තරගය යනු හුදෙක්‌ මේ දෙපිරිස අතර ඇති වූ ගැටුමක්‌ ම නො ව, පරිසරයේ ඇති සම්පත් භාවිත කරන්නට ඇති දක්‌ෂතාව නිසා ඇති වූ තරගයකි. නියෑන්ඩර්තාල් මානවයන් ඒ වන විට යුරෝපා පරිසරයට මනාව හැඩගැසී සිටින්නට ඇති බවත්, නිවර්තන කලාපීය පරිසරයකින් පැමිණි නූතන මානවයා ගේ අතීත නෑදෑයන්ට නියෑන්ඩර්තාල් මානවයන් හා තරග කරන්නට අපහසු වූ බවත් සිතිය හැකි ය. එසේ ම යුරෝපයේ පැවැති ශීත දේශගුණික තත්ත්වයට මේ නූතන මානවයන් එතරම් නො ගැළපෙන්නට ඇත. මේ නිසා නියෑන්ඩර්තාල් මානවයන් ගේ ගහනය අඩු වන තෙක්‌ ම නූතන මිනිසුන්ට බටහිර ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම අසීරු වන්නට ඇත. නියෑන්ඩර්තාල් මානවයන් ගේ ප්‍රවේණික ගැටලු නිසා ඔවුන් ගේ ගහනය අඩු ව ගිය කාලයේ දී නූතන මිනිසුන් යුරෝපයේ ස්‌ථාවර වූ බව පැහැදිලි ය.

මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature15696

http://www.vidusara.com/2015/10/28/feature2.html