Showing posts with label Historical Notes - ඉතිහාස සටහන්. Show all posts
Showing posts with label Historical Notes - ඉතිහාස සටහන්. Show all posts

Sunday, May 12, 2024

අධික උණුසුම නිසා සිදු වන මරණ

Historical Notes - ඉතිහාස සටහන් 04
Climate Diary - දේශගුණ දිනපොත 05

ධනේෂ් විසුම්පෙරුම

2024-05-12

අධික උෂ්ණත්වය නිසා සිදුවූ මරණ කීපයක් පසුගිය දිනවල යාපනයෙන් වාර්තා වී තිබේ. මෙවැනි මරණ වරින්වර ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇතත්, කෙටි කාලයක් තුළ මරණ කීපයක් වාර්තා වීම එතරම් සුලබ නොවේ.

ගතවන 2024 වර්ෂයේ මේ දක්වා ගත වූ මාස කිහිපය අධික උෂ්ණත්වයක් සහිත අවුරුද්දකි. සමස්තයක් ලෙස  එය ලෝකයටම ‌පොදු වූ කරුණකි. එවැනි අධික උෂ්ණත්වයක් ඇතිවන තත්ත්වය හමුවේ අපේ රටේ ඇතැම් ප්‍රදේශ හා ප්‍රජාවගේ ඇතැම් කණ්ඩායම් (වැඩිහිටියන්, රෝගීන් හා කුඩා ළමුන්) වැඩි අවදානමකට ලක් විය හැකිය. මේ පිරිස් හා එළිමහනේ කටයුතු කරන පිරිස් විසින් ගත යුතු පියවර කාලගුණ විද්‍යා හා සෞඛ්‍ය අංශ දක්වා ඇත්තේ සැලකිය යුතු කලක සිටය. ඒ අධික උෂ්ණත්වය නිසා පුද්ගලයින්ට ඇති විය හැකි තාප ආඝාතය වැළැක්වීම පිණිසය.

අතීත වාර්තා


මේ තත්ත්වයට අතීතයේ දී ලක් වූ විදේශිකයන් ගැන ද වාර්තා වී ඇත. එසේ මියගිය සමහරුන්ගේ සුසාන ස්මාරක ද රටේ කිහිප ස්ථානයක හමුවේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පුවේ පරණ ලන්දේසි බලකොටු භූමියේ කෙලවරක පිහිටා ඇති සුසානයි.

චාල්ස් ලේස්ගේ සුසානය (1878)


SACRED
TO THE
MEMORY OF
CHAELES LEYS
OF THE
ORIENTAL BANK CORPORATION
WHO DIED OF SUNSTROKE
AT
MARISIKADDI
ON THE 14TH APRIL, 1878
AGED 35 YEARS

මෙහි වැඩි විස්තර සඳහන් කරන ජේ.පී. ලුවිස්ට [1, පි. 249] අනුව, චාල්ස් ලේස් මරිච්චිකඩ්ඩි වෙත පැමිණ ඇත්තේ දඩයම් චාරිකාවකය. පෙර දින යාපනයේ සිට මරිච්චිකඩ්ඩියට ඔහු පැමිණ ඇත්තේ ද ආවරණයක් නොමැති යාත්‍රාවකය. එදින උදෑසන මරිච්චිකඩ්ඩි සිට සැතපුම් හතක් දුර ප්‍රදේශයක දඩයමේ ගොස් ඇති අතරතුර රෝගාතුර වූ බැවින් ආපසු පැමිණ තිබේ. එහෙත් ඔහු මරිච්චිකඩ්ඩි තානායමේ දී එදිනම සවස මියගිය අතර, අරිප්පුවට ගෙන ගිය සිරුර මරණ පරීක්ෂණයකින් පසු අරිප්පුවේ තානායම් භූමියේ කෙලවරක භූමදානය කර ඇත. එහි ‌මේ සුසානය ගොඩ නගා තිබේ (අරිප්පුවේ ඕලන්ද කොටුව පසුකලක තානායමක් ලෙස භාවිත කරන ලදි. තානායම් ගොඩනැගිල්ල ලෙස භාවිත කර ඇති කොටුවේ පිහිටා තිබූ ගොඩනැගිල්ලේ හා අට්ටාලවල නටබුන් එහි ඇත.)

මේ හැර අධික උෂ්ණත්වය නිසා මියගිය බවට සුසාන පුවරුවල සඳහන් වන දෙදෙනෙක් පිළිබඳව ජේ. පී. ලුවිස් සිය List of inscriptions on tombstones and monuments in Ceylon කෘතියේ සඳහන් කරයි. ඒ අය මියගිය දින හා සුසාන පිහිටා ඇති ස්ථාන මෙසේය.

  1. ඇන්ඩෘ මැක්ගිල් (36) - මොහු තාප ආඝාතය නිසා අඹගමුවේ, රොසැල්ල වත්තේ දී මියගියේ 1873.11.13 දිනය (මහනුවර ගැරිසන් සුසාන භුමියේ පිහිටි සුසානයකි, ලුවිස්, පි.319)
  2. ඇලිස් මෝඩ් මේසි ස්වින්නර්ටන් (ළදැරියකි) - දැරියගේ සුසානයේ ඇති පාඨයක් මත ඇය තාප ආඝාතයෙන් මියගිය බව ලුවිස් පෙන්වා දෙයි. ඒ 1876 මාර්තු 7 දින දීය. (පුස්සැල්ලාවේ ශුද්ධ ත්‍රිත්ව සුසානභූමියේ ඇති සුසානයකි, ලුවිස් පි. 348)
මේ ගැන විමසනවිට පෙනී ගියේ 1876-78 කාලය මෙන්ම 1873 ද එල් නිනෝ තත්ත්වය පැවති වර්ෂයක් වූ බවයි. ඒ අතරින් 1876-78 කාලය ඉතා බරපතළ එල් නිනෝ තත්ත්වයක් පැවති බව මයික් ඩේවිස්ගේ කෘතියේ ක්වා තිබේ [2]. අනෙක් අතට පසුව සඳහන් මරණ දෙකම ඇති වී තිබෙන්‌නේ උණුසුම අඩු දේශගුණයක් ඇති කඳුකර ප්‍රදේශවලය.

අධික උෂ්ණත්වය නිසා සිදු වූ ඉහත මරණ අප දන්නේ සුසාන පුවරුවල ඒ පිළිබඳව සඳහන් වන නිසාය. එසේ සඳහන් නොවන, ඒත් අධික උෂ්ණත්වය නිසා ඇති වූ මරණ කෙතරම් සිදුවන්නට ඇත්දැයි අපි නොදනිමු. වඩා ශීත දේශගුණයකට හුරු විදේශිකන්ට මෙන්ම මෙරට වැසියන්ට ද කලින් කල ඇති වන ඒ අධික උෂ්ණ තත්ත්වයට දරාගැනීමට අපහසු වන්නට ඇත.

මූලාශ්‍රය 

[1] Lewis, J. P. (1913) List of inscriptions on tombstones and monuments in Ceylon, of historical or local interest, with an obituary of persons uncommemorated, Colombo: (Printed by) H. C. Cottle. (සබැඳිය - වෙබ් පිටුව, PDF ගොනුව (‌26MB))

[2] Davis, Mike (2001) Late Victorian holocausts: El Niño famines and the making of the third world, London, New York: Verso (සබැඳිය - ඇතැම් කොටස් සහිත වෙබ් පිටුව)

Thursday, March 14, 2024

සූදුවට ඇති ආසාව - The passion for gambling

ඉතිහාස සටහන් - 2

ධනේෂ් විසුම්පෙරුම 


සූදුවට ඇති ආසාවේ තරම කියැවෙන අපුරු කතාවක් මෙරට පාර්ලිමේන්තු විවාද අතර කියැවී තිබේ. ඒ, 1956 මාර්තු මාසයේ පමණ සූදු ආඥාපනතට සංශෝධනයක් (Gaming Bill) ගෙන ආ අවස්ථාවේ දී පැවති විවාදයේ දීය.

මෙය සවිස්තරව පවසන්නේ කෝට්ටේ මන්ත්‍රී ඩී.බී.ආර්. ගුණවර්ධනය (රොබට් ගුණවර්ධන). එය හැන්සාඩ් වාර්තාවෙන් උපුටා දන්වන්නේ නම් මෙසේය.

"... කොටුවේ පසුගිය කාලයේ ඇති වුණු සිද්ධියක්. උසස් ධනපති පංතියේ දෙදෙනෙක් - රේස් අශ්වයන් පවා තබාගෙන සිටින දෙදෙනෙක් - ගහක වහලා සිටි කපුටන් දෙන්නෙකු දෙස බලා ඉස්සර වෙලා ඉගිලෙන කපුටාට රුපියල් 10000ක ඔට්ටුවක් ඇල්ලුවා"

විවාදයට පෙර ඔහු මේ කතාව රුවන්වැල්ල මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට ද පවසා ඇති බව පෙනෙන්නේ රොබට්ගේ කතාවට පෙර ඇන්. ඇම්. සිදුකරන කතාවේ දී ඒ ගැන සැකෙවින් පවසන නිසාය. ඔහු ඉන්පසුව පවසන මේ ප්‍රකාශය අගනා එකකි.

“අහඹු දේ හෙවත් වාසනාව වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා ගැනීම සඳහා මිනිසුන් දක්වන අධික උනන්දුව හා ශූරත්වයට සීමාවක් නොමැත. නීති මගින් හෝ කිසිදු ව්‍යවස්ථාදායක/ නෛතික අරමුණකින් ඔබට එය වැළැක්විය නොහැක.” (There is no limit to the anxiety of and ingenuity of man to stake his life on chance and you cannot prevent that by law or any legislative intention.)

මූලාශ්‍රය - හැන්සාඩ් (පාර්ලිමේන්තු විවාද), 1956 මාර්තා 21 (තීරු 2263 හා 2254)

ඉංග්‍රීසි කොටසේ පරිවර්තනය මගෙනි.

Thursday, August 3, 2023

ඇතුන් හා කුමරියක නිසා ඇති වූ ඓතිහාසික සංග්‍රාමය

The Historical Invasion Caused by Tuskers and a Princess

Historical Notes - ඉතිහාස සටහන් - 2

ධනේෂ් විසුම්පෙරුම

ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු ඇතෙකු ගිලන් වීමෙන් පසු ආපසු එරටට ගෙන යෑම සමඟ ඇති වූ තත්ත්වය අලි-මිනිස් සම්බන්ධතාවය පිළිබඳව මෙන්ම ඒ හා සම්බන්ධ අන්තර් ජාතික සම්බන්ධතා ගැන ද සාකච්ඡාවක් ඇති කළේය.

අතීතයේ පටන්ම අලි ඇතුන් අපේ රට තුළ වැදගත් වූයේ හා අලි මිනිස් සම්බන්ධතාවය ප්‍රබල වූයේ [1] අලින්ගෙන් ලබාගත් විවිධ ප්‍රයෝජන නිසාය. ඒ අතර,  යුද, ප්‍රවාහන හා වෙනත් බර වැඩ සඳහා යොදාගැනීම දැකිය හැකි අතර, ආගමික හා සංස්කෘතික ප්‍රයෝජන ද කැපී පෙනේ [2]. මේ නිසා අලි ඇතුන් වෙළෙඳ භාණ්ඩයක් ලෙස ද වැදගත් විය..  

ශ්‍රී ලංකාවේ අලින් අතර ඇතුන් හමු වන්නේ අඩු ප්‍රතිශතයකිනි. අතීතයේ සිට විදේශවලින් ඇතුන් ත්‍යාග ලෙස හා මිල දී ගැනීම සිදු කර ඇත්තේ මේ නිසා විය හැකිය. මේ සඳහා සාධක මහාවංසයෙහි ඇති අතර, ඇතුන් ලබා දීම  නැවැත්වීම හා මිල දී ගැනීමට බාධා කිරීම නිසා මෙරට හමුදා විසින් ආසන්න රාජ්‍යයක් ආක්‍රමණය කළ අවස්ථාවක් ද ඉතිහාසයේ සඳහන් වේ. මහාවංසයේ 76 වන පරිච්ඡේදයේ මේ පිළිබඳ විස්තර ඇත[3,4]. එහි 10 සිට 35 දක්වා ගාථාවල රාමඤ්ඤ රජු විසින් සිදු කළ මෙම ආක්‍රමණයට හේතු වූ කටයුතු ද, 36 සිට 75 දක්වා ගාථාවල රාමඤ්ඤ දේශය ආක්‍රමණය කිරීම පිළිබඳව ද සඳහන් වේ. මෙම ලිපිය සඳහා මූලික වශයෙන් යොදාගෙන ඇත්තේ මහාවංස විස්තරයයි.

මේ සිදුවීම සිදුවන්නේ පළමු පරාක්‍රමබාහු රජ සමයේය. මහාවංසය දක්වන ආකාරයට ඒ රජුගේ රාජප්‍රාප්තියෙන් 11/12 රාජවර්ෂයේ දී මෙය සිදු වූ බවයි. මේ අනුව මේ ආක්‍රමණය පොදුවර්ෂ 1164 හෝ 1165 දී සිදු වී ඇති බව සී. ඩබ්ලිව්. නිකලස් සඳහන් කරයි[5]. එහෙත්, සිරිමල් රණවැල්ල පවසන්නේ එය 1168 හෝ 1169 වර්ෂයේ සිදු වී ඇති බවයි. ඒ සඳහා සාධකය ලෙස ඔහු යොදාගන්නේ මේ ආක්‍රමණය ගැන සිදු වූයේ පරාක්‍රමබාහු රජු පොලොන්නරුවේ රජ පැමිණ දොලොස්වන වර්ෂයේ දී ලෙස දෙවනගල ගිරිලිපියේ සඳහන් වන නිසාය[6]. කෙසේ වෙතත්, දෙවනගල ලිපිය පිළිබඳ සිය ලිපියේ දී පරණවිතාන ද මේ ආක්‍රමණය 1164 හෝ 1165 දී සිදුව ඇති බව සඳහන් කරන්නේ පරක්‍රමබාහු රජ පැමිණි වර්ෂය 1153 ලෙස ගණන් ගැනීමෙනි[7]. 

ආක්‍රමණයට හේතුව

ලංකාව හා රාමඤ්ඤ හෙවත් අරමණ රට (පහළ බුරුමයේ පේගු රට) අතර ඇති සමාන ආගමික සමනාතාවය නිසා භේද නොමැතිව සුහද සම්බන්ධතා පැවැත්වූ අතර, රටවල් දෙකේම රජවරුන් අතර විශ්වාසයක් විය. මේ නිසා එකිනෙකා අතර වටිනා පඬුරු තෑගි භෝග හුවමාරු කරමින් බොහෝ කාලයක් තිස්සේ අඛණ්ඩව සමගිව සම්බන්ධතා පවත්වාගෙන පැමිණ තිබේ.  

එහෙත් එවකට සිටි රාමඤ්ඤ රජු වූ අලවුංසිතු රජුගේ කාලයේ මේ සිරිත වෙනස් වූ ආකාරය මහාවංස සිංහල පරිවර්තනයේ මෙසේ සඳහන් වේ. "මේ ලක්දිවින් ගිය කණෙහි කොඳුරන්නා වූ කිසි දූත කෙනෙකුන්ගේ බස් අසමින් තමන් වෙත ගිය ලංකේශ්වරයාගේ දුතයන්ට පුරාණ සිරිත් වූ දෙනු ලබන්නා වූ වැටුප් පිරිහෙලී." ඒ අනුව ලංකාවෙන් රාමඤ්ඤ දේශයට තෑගිභෝග රැගෙන යන නැවකට එක් ඇතෙකු බැගින් තෑගි දෙන පුරාණ සිරිතක් රාමඤ්ඤ රජු විසින් පවත්වා ඇති අතර ඒ ඇත් පඬුර දීම ඒ රජු විසින් නවත්වා ඇත. 

එසේම විදේශවලට යැවීම සදහා ඇතුන් විකිණීම සිදුකරන වෙළෙන්දෝ ඒ රටේ සිටියහ. එහෙත් මේ රජු ""ඇත්තු නොවිකිණියමය"යි සම්මතයකුදු කරවී" යනුවෙන් ඇතුන් විකිණීම රජුගේ ඒකාධිකාරයක් කර තිබේ. එසේම  එහෙත් ඇතෙකු විකිණූ මිල මෙන් දෙතුන් ගුණයක් මිලට විකිණිය යුතු යැයි මිල ඉහළ නංවා ඇත. මේ බව මහාවංසයේ දැක්වෙන්නේ "යම් ඇත්කෙනෙක් වනාහී රිදී තිකල් සියයට හෝ වැලි දහයට හෝ පූර්වයෙහි එහි විකුණනු ලබන්නෝ "සහස්‍රද්වයට හෝ සහසත්‍රවයට හෝ වික්ක යුත්තාහයි"" මිල නියම කර තිබේ (ගයිගර් මේ කාසි නොදන්නා කාසියක් බව පවසයි. නික්කල් ලෙස සඳහන් කරයි).

එසේම මෙරටින් ස්වර්ණමය හසුන් රැගෙන ඒ රටට ගිය දූත පිරිසක් "කාම්බෝජ රට" යන්නේ යැයි ව්‍යාජ චෝදනාවන් නගා අනිසි අයුරින් සලකා ඇති අතර, ඔවුන්ගේ ධනය, මිල දී ගත් ඇතුන් හා නැව් ආදිය පැහැර ගෙන ඇත්තේ රාමඤ්ඤ දේශයෙන් මෙරටට එවූ දූතයෙකුට ලංකාවේ රජු විසින් කරන ලද උසස් සංග්‍රහ පිළිබඳව දැන දැනමය. මෙරටින් ගිය දූත පිරිස මුලින් සිරගෙවල දමා ඇති බව ද සඳහන් වේ. එසේම මෙරටින් ගිය දූත පිරිසක් කැඳවා යළිත් මෙරටින් දූතයන් එරටට නොඑවිය යුතු බවත්, එවුවහොත් ඔවුන් මරා දැමීමට වුව ද හැකි බවත් පවසා එසේ වුවහොත් ඒ රට අත වරදක් නැති බවක් සඳහන් ගිවිසුමකට අත්සන් තබන්නට පවසා තිබේ. තවත් වරක් මෙරට වැසියන් සිදුරු සහිත නැවකින් මුහුදට යවා තිබේ. යළිත් වරක් ඇතුන් මිල දී ගැනීමට මෙරට රජු විසින් යවන ලද දූතයින්ගේ පඬුරු හා භාණ්ඩ පිළිගෙන ඇතුන් දහහතරක් හා රිදියෙන් මුදලක් දීමට පොරොන්දු වී ඇතුන් හා මුදල් නොදී දූත පිරිස ආපසු එවා තිබේ. අවසානයේ දී මෙරටින් කාම්බෝජය බලා යවන ලද රජ කුමරියක ද පැහැරගෙන තිබේ.


ආක්‍රමණය

මේ තත්ත්වය නිසා පරාක්‍රමබාහු රජු රාමඤ්ඤ රජු අල්වාගැනීම හෝ මැරීම වහා කළ යුතු බව පවසා සටන් සඳහා සූදානම් විය. ඒ සඳහා මාස පහක කාලයක් ගත කර නැව් තනා තිබේ. නැව් මෙන්ම රැගෙන ගිය ආයුධ සන්නාහ ආදිය ද මහාවංසයේ  විත්ර කර ඇත්තේ මෙසේය. 

"නොයෙන් සියගණනින් නැව් විශේෂයෝ වහා සම්පාදනය කටයුත්තාහ"යි නියෝග කෙළේයි. එකල්හි මොනවට පටන්ගන්නා ලද නැව් කර්මාන්තයෙන් ආකූල වූ (ලක්දිව) හාත්පස මුහුදුබට දේශයෝ එක් කර්මාන්ත ශාලාවක් බඳුවූහ. පසුව පස් මසෙකින් ඒ සියලු නැව්කම් නිමවා දළුවක් නම් කො‌ට යුහුව රැස් කරවී." 

ආක්‍රමණය සඳහා රගෙන ගිය දෑ මෙසේ සඳහන් වේ.

  1. අවුරුද්දකට ප්‍රමාණයත් තරම් සහල් සහ වෙනත් ද්‍රව්‍ය මාර්ගෝපකරණ
  2. සන්නාහ ආදි නොයෙක් යුද්ධෝපකරණ
  3. තියුණු අගිස් ඇති හී ආදිය වළකනු පිණිස අයෝමය සන්නාහ 
  4. ගෝණ සමින් කළ සන්නාහ
  5. ගෝන අංවල බහාලන ලද විවිධ වර්ගවල බෙහෙත් වර්ග (විෂ යෙදූ ඊතලවලින් ආරක්ෂා වීමට හා විෂ සහිත ජලයෙන් සුවපත් කිරීමට ද)
  6. ඊහිස් ඉවත් කිරීම සඳහා යොදාගත යුතු යකඩින් කළ උපකරණ

ඉහත අංක 3 හා 4 එක්ව ගෙන ගෙයිගර් පවසා ඇත්තේ ගෝකණ්නක නම් තියුණු හිස් ඇති ඊතළ ලෙසය. ඒවා ඇතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා බව සඳහන් වේ.

මේ සමඟ තියුණු බුද්ධි ඇති වෙඳුන් ද, සප්පායකර ස්ත්‍රීන් ද රාමඤ්ඤ දේශය වෙත යැවූ බව සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් මේ මුහුදු ගමන පහසු එකක් වී නැත. ඒ ඇතැම් නැව් මුහුදේ දීම විනාශ වී ඇති අතර, තවත් නැව් වෙනත් රටකට සෙන්දු වී ඇත. 

එහෙත් කිර්ති නගරගිරි සෙනෙවි ප්‍රධාන කොටගත් නැව් පහක සෙබළුන් රාමඤ්ඤ දේශයේ කුසුමිතොටට ගොඩ බැස ඇති අතර, ඒ රට හමුදා වනසා, ගම් ගිනිලමින් රාජ්‍යයෙන් අඩක් විනාශ කර තිබේ. එරට පිහිටි පප්ඵාළ නම් තොටට ගොඩබට ආදිත්‍ය ද්‍රවිඪාධිකාරී නම් සෙනෙවියාගේ සේනාව ද එරටට මහත් විනාශයක් සිදු කර තිබේ. මහාවංසයට අනුව, එරට රජු උක්කම පුරයේ දී මරණයට පත් කර තිබේ. ඒ රට ජයගෙන ලංකාධීශ්වරයාගේ ආඥායෙන් එහි අණබෙර කර තිබේ. රාමඤ්ඤ රට වැසියෝ එක්ව සාකච්ඡා කර, "මෙතැන් පටන් අවුරුදු පතා අප අතින් කැමති තෙක් සුංකම් පිණිස ඇත්තු ගෙන යා යුත්තාහ." යනා දී වශයෙන් හසුන්පත් ‌ගත් දූතයන් ලංකාවේ භික්ෂූන් වෙත එවා ඇත. සංඝයා වහන්සේලාගේ බසින් මෘදු බවට පත් පරාක්‍රමබාහු රජු හා සමථයකට පැමිණීමට එරට වැසියන්ට හැකියාව ලැබී තිබේ.  එතැන් සිට අවුරුදු පතා බොහෝ ඇතුන් මෙරටට එවා ඇති බව ද මහාවංසයේ සඳහන්ය.

කෙසේ වෙතත්, මේ රජු මරණයට පත් වූ බවක් එරට මූලාශ්‍රයවල සඳහන් නොවන අතර, ඔහුගේ මරණය සිදුව ඇත්තේ පසුව වඩා වෙනස් අයුරකිනි. ඊට පෙර ඒ අලවුංසිතු රජුම මහා පරාක්‍රමබාහු රජු සමඟ සමථයකට පැමිණි බව එරට මූලාශ්‍රයවල සඳහන් බව පැවසේ. බුරුම රජු මෙරට දූතයන්ට හා වෙළෙඳුන්ට පෙර ලබා දී තිබූ වරප්‍රසාද ලබා දීමට  එකඟ වී තිබේ. [5]

ආක්‍රමණය තහවුරු කරන සෙල්ලිපිය

මේ ආක්‍රමණය පිළිබඳව තහවුරු කරන ප්‍රබල සමකාලීන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලට නොදුරුව පිහිටා ඇති දෙවනගල විහාර භූමියෙන් හමුවන ගිරි ලිපියකි. එම සෙල්ලිපිය මගින් අරමණ දේශයේ භුවනදත්ත රජුට එරෙහිව කළ ආක්‍රමණය පිළිබඳව හා කිත්නුවරගල් සෙනවියා ගැන සඳහන් කරමින් ඔහුට ලබාදුන් පමුනු දීමනාවක් ගැන සඳහන් කරයි. [6, 7] එහි රාමඤ්ඤ ‌රට ආක්‍රමණය පිළිබඳ සඳහන් වන්නේ මෙවැන්නකි.

"... ලංකාජීපයෙහි එකචචත්‍ර කොට පුල[ස්තිපුරව]රෙහි රජ ශ්‍රී වළන්ද සමාහි දොළොස්වනු පොසොනැ පුර දස වකැ අරමණ[ධිප]ති භුවනාදිත්ත නම් කෙනෙකුන් රජ කරන කලැ ලක්දිවු සන්තාන නො කරම්හ යී කී හෙයින් නැවු දහස්ගණනකට පිරිස් නඟා යවා අරමණය පාරනේ වදාළ කලැ කිත් නුවරගලුන් කුසුමිය යැයි යව නුවරක් පැහැරැ පස්මසක් ර .. .. .. .. [ගත්] කලැ අරමණයන් සන්තාන කරම්හ යි දූතයන් එවූ හෙයින්..." [7] 

මේ ලිපියේ මුල දී සඳහන් කර ඇති ආකරයට ම මේ ආක්‍රමණය සිදු වූ දිනය පිළිබඳව සහ රාමඤ්ඤ‌ දේශයේ රජුගේ නම "භුවනාදිත්ත" ලෙස අනාවරණය කර ඇත්තේ මේ සෙල්ලිපිය මගිනි. මෙය විරුද නාමයක් විය හැකි බව පරණවිතාන දක්වා තිබේ [7].

දෙවනගල හමුවන ගිරි ලිපි අතරින් මේ ගිරි ලිපිය අපට වැදගත් වන්නේ අපේ රටේ ඓතිහාසික වංසකතාවේ සඳහන් පුවතක් තහවුරු කිරීමට උපකාර වන නිසා පමණක් නොවේ. ඒ සිදුවීම සම්බන්ධව අරමණ හෙවත් රාමඤ්ඤ රටේ මූලාශ්‍ර බොහෝ දුරට නිහඬ වන නිසාය.

  

පාදක සටහන්

[1] Wisumperuma, Dhanesh, 2004, Human-elephant relationships in Sri Lanka: An historical and archaeological perspective, in Endangered elephants, past present and future, Proceedings of the Symposium on Human Elephant Relationships and Conflicts, J. Jayawardene (ed.), pp. 6-12

[2] Wisumperuma, Dhanesh, 2012, Religious Use of Elephants in Ancient Sri Lanka, Gajah, Vol.37,pp.16-21 (සබැඳි 1 හෝ සබැඳි 2 තුළින් )

[3] සුමංගල හිමි, හික්කඩුවේ හා බටුවන්තුඩාවේ ඩී. ඒ. ද සිල්වා (පරි.), 1912, මහාවංසය දෙවන භාගය, සිංහල පරිවර්තනය, (නැවත මුද්‍රණය 1996)

[4] Geiger, W. (Tr) 1953, Culavamsa, Part II. (1930 මුද්‍රණය සඳහා සබැඳිය)

[5] නිකලස්, සී.ඩබ්ලිව්, 1972, I පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය, ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය I කාණ්ඩය,  II භාගය, 438-461පිටු (බුරුම රට ආක්‍රමණය කිරීම, පි. 449-451)

[6] Ranawella, G.S., 2007, Inscriptions of Ceylon, Vol. VI, pp. 42-45

[7] Paranavitana, S. 1933, Devanagala Rock Inscription, of Parakramabahu I, in Ehigraphia Zeylanica, Vol III,  pp.312-325 (සම්පූර්ණ වෙළුම සඳහා සබැඳිය)

Saturday, October 1, 2022

ලිපිනයක් තේරීමේ තරම - Sorting an address

Historical Notes - ඉතිහාස සටහන් 01

ධනේෂ් විසුම්පෙරුම


තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ 1935 වර්ෂය සඳහා වූ පාලන වාර්තාවේ හයවැනි පිටුවේ, එවකට සිටි තැපැල්පතිවරයා වූ ජේ. ආර්. වෝල්ටර්ස් අපූරු කෙටි සටහනක් තබයි. ඒ තැපැල් තේරීම පිළිබඳවය. තැපැල් තේරීමේ කාර්යය සිදු කරනු ලබන්නේ තැපැල්කරුවන් විසින්ම බව පවසන ඔහු ඒ සඳහා ඔවුන්ට අතිරේක ගෙවීමක් කරනු ලබන බව කියයි. එය මාසයකට රු. 5ක් වන අතර වසර දහයක් සම්පූර්ණ වූ පසුව ඒ ගාස්තුව රු. 10 දක්වා ඉහළ නංවනු ලැබේ. විශේෂ අධ්‍යාපන සුදුසුකමක් නොමැති වුවත්, ඔවුන් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා තුනෙන්ම කටයුතු කරන අතර ඔවුන්ගේ කාර්යය ඉතා ප්‍රශංසනීය බව පවසන තැපැල්පතිවරයා වැරදි ලිපිනවලට ලිපි බෙදීම ගැන ඇති පැමිණිලි අඩු බව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔවුන්ට තේරීමට සිදු වන ඇතැම් කාර්යයක් පිළිබඳව නිදසුනක් ලෙස ඔහු දක්වා ඇත්තේ එක්වරම ‌තෝරාගත නොහැකි වූ ලිපිනයක් නිවැරදි ලෙස තේරුම්ගැනීමයි. ඒ අනුව ලිපියක සඳහන් වී තිබූ ලිපිනය මෙසේය.

U. R. Kittarpiya
Pyan Bangas
Paccata Road
Bambalapitiya

තැපැල් ‌තෝරන්නවුන්ගේ දක්ෂතාවය නිසා මේ ලිපිය ද නිසි ලෙස තෝරා නිවැරදි ලිපිනයට බාර දුන් බව සඳහන් කරන තැපැල්පතිවරයා නිවැරදි ලිපිනය වාර්තාවේ වෙනත් තැනක සඳහන් කරන බව කියන්නේ පාලන වාර්තාව කියවන්නා තුළ කුතුහලයක් ජනනය කරමිනි. ලිපි තෝරන්නවුන් විසින් පැහැදිලි කරගත් නිවැරදි ලිපිනය වාර්තාවේ 24 වන පිටුවේ මෙසේ සඳහන් වේ.

U.R. Kittarpiya (servants name)
C/O P. N. Banks (DIG Police CID)
Paget Road
Bambalapitiya


කෙසේ ද ඒ තේරීම?

අදාළ සම්පූර්ණ ඉංග්‍රීසි සටහන මෙසේය.

"As in other countries, the sorting staff has difficulty occasionally in deciphering the addresses on letters. The work of sorting is done by postmen who are paid an extra sorting allowance of Rs. 5 per month, rising to Rs. 10 after ten years service and considering that they have to deal with addresses in English, Sinhalese and Tamil and that their educational attainments are by no means high the work they do is very creditable and the complaints of misdelivery are few. A letter was recently received addressed to:
U. R. Kittarpiya,
Pyan Bangas
Paccata Road
Bambalapitiya

It was correctly deciphered and delivered. Readers may wish to try their hand at interpreting it. The correct solution will be found on page E24."

"The address on the letter referred to in paragraph 18 was correctly deciphered as-
U R Kittarpiya (a servant's name)
C/o P. N. Banks Esqr (Deputy Inspector General of Police CID)
Paget Road
Bambalapitiya"

මූලාශ්‍රය - Annual Report of Post and Telegraph, 1935. p. E6, E24 

++++++++++++++++++++++++++
Historical Notes - ඉතිහාස සටහන්:- වෙනත් කාර්යයක් සඳහා කියැවීමේ දී හමුවන, සටහන් කළ යුතු වැදගත් සිදුවීම් හා සටහන් ආදිය මේ තේමාව යටතේ සඳහන් කර ඇත. මේ සඳහා විශ්වසනීය හා සමකාලීන ලේඛන යොදාගෙන ඇත. ඇතැම් මූලාශ්‍ර (උදා - පුවත්පත්) වෙනත් මූලාශුයකින් තහවුරු කරගෙන තිබේ.