Showing posts with label ඉස්කෝලෙ කතා. Show all posts
Showing posts with label ඉස්කෝලෙ කතා. Show all posts

Tuesday, January 31, 2023

එදා අපේ සෝෂල් නෙට්වර්ක් සයිට් එක...

අවුරුදු තිහකටත් එහා අතීතයේ අපේ "සෝෂල් නෙට්වර්ක්" සයිට් එකක් අද පෙනෙන හැටියි මේ.

මේ නුගේගොඩ හන්දියේ, නාවල පාර පටන්ගන්න තැන ඇති කඩ පෙළයි. අද මේ පාර අයිනේ වැටක් ගහලා තිබ්බත් එදා කරගම්පිටිය පැත්තෙන් එන 176 හෙට්ටියාවත්ත බස් නැවැත්තුවේ මෙතන පේන කඩ ඉදිරියේයි. නුගේගොඩින් හරවන ඒවා පොටෝ එකේ දකුණු පැත්තට වෙන්න ඇති අද නවත්වන තැනම නැවැත්තුවා. ඒ කාලේ තිබ්බ අංක 173 තොටළඟ හා අංක 4 කොටුව (කොළකවය) බස් නැවැත්තුවේ ඊට ටිකක් ඉදිරියට වෙන්නයි.


මේ පරණ තාලේ තනිමහල් කඩ පේළියේ එදා කඩ කාමර හතරක් තිබ්බා. දකුණු අත පැත්තේ කෙලවරේ පිහිටයේ අදත් තියන 'දොඩම්පේ ස්ටෝර්ස්' එක. වම් කෙලව‌රේ තිබුනේ 'විජය ඔසුසල' - ඒකත් අද තියනවා 'නව විජය ඔසුසල' නමින් (පරණ ගොඩනැගිල්ලෙම වගේ). විජය ඔසුසල අසලම ඇති අනෙක් කඩේ තට්ටු දෙකකට හදලා. ඒ කාලෙත් වහලා තිබ්බා වගේ මතක එක් කඩ කාමරයක් අද වන විට කැඩිලා.

පාරෙ හා පේමන්ට් එක‌ට වඩා පොඩ්ඩක් පහළින් තමයි මේ කඩ කාමර ටික තිබ්බේ. පොඩ්ඩක් වලක් ව‌ගේ. මා දුටු විිිදියට අදත් ඒක එහෙමයි. ඒකට හේතුව මේ ගොඩනැගිලි හැදුවට පස්සේ කාලෙක පාර උස්සපු එක වෙන්න ඕන. ඉතින් ඒ කාලෙ "වල බහිනව" කියපු එකට නියම අර්ථය ඒක!

ඉතින් මේක අපි ලාවට වල බැහැපු සෝෂල් නෙට්වර්ක් සයිට් එක... ඒක උනේ මෙහෙමයි -

ඒ 1989-1992 අතර කාලය. උදේ පාසැල් ගිහින් එහෙමම වගේ හවස රොටරියේ උසස් පෙළ පන්ති ඇරිලා ආවම අපි නවතින්නේ මෙතන... මගේ පංතිවලින් තුනක් විතර තිබ්බේ සතියේ දවස්වල. සඳුදා පාලිත දේවරාජා සර්ගේ බොටනි පංතිය. බ්‍රහස්පතින්දා දෙව්රුවන් සර්ගේ කෙමිස්ට්‍රි පංතිය. සිකුරාදා පිසික්ස් පංතිය.

ඉතින් අපි මෙතන රැඳී ඉන්න හේතුව තමයි සීසන් එකෙන් ලංගම බස්වල යන්න අපට සිදු වීම. ඒ කාලෙ ලංගම බස් අඩුයි වගේම, ඉස්කෝල ළමයි ගොඩක් හිටියම කරගම්පිටියෙ ඉදල එන බස් සමහර විට මෙතන නවත්වන්නේ නැහැ. ඒ නිසා සමහර දවස්වල අපි පැය කාලක් බාගයක් මෙතන ඉන්නවා. මෙතන ඉදලා බස් හෝල්ට් තුනක් ඈත තියන විජයබා මාවතට යන්න ඕන මමත් පැය බාගෙ මෙතන හිටපු දවස් තියනවා. පයින් ගියා නං මට යන්නේ මිනිත්තු පහළොවයි. ඒ උනාට නාවල, රාජගිරිය වගේම ඊටත් එහා යන යාලුවො දාල යන්න බෑනෙ...

ඉතින් අපි එතන ඉන්න උන්ට මචං කියලා සෙට් වෙනවා - ඒක ඉතින් කවුරු හරි ඇක්ටිව් ඉන්නව දැක්කම, හේතුවක් නැතිවත් Hi කියලා චැට් කරන්න සෙට් වෙනවා හා සමානයි.

ඉතින් අපි ඒවට චැට් ගෘප් කියමු. මෙතන සමහර දවස්වලට චැට් ගෘප් කීපයක් ඇක්ටිව් උනා. කොල්ලෝ ඉන්න ඒව තමයි වැඩිම. ඒ වගේම කෙල්ලන්ගෙත් චැට් ගෘප් තිබ්බ දවසුත් තිබ්බා - ඒත් ඉතින් සීසන් කෙල්ලො ටික. මේ ගැවසෙන්නේ එකම සෙට් එක. හැබැයි හැමෝම හැමදාම නෑ - මොකද පංති වෙනස් වන නිසා. මං හිටියේ සඳුදා හා බ්‍රහස්පතින්දා තමයි වැඩි වශයෙන් (සිකුරාදා පංතියෙ මේ පැත්තට එන යාලුවො හිටියෙ නැති තරම්).

ඉතින් අපේ මේ සෝෂල් නෙට්වර්ක් එකේ අද තියන සෝෂල් නෙට්වර්ක්වල තියන දේවල්ම තිබ්බා. ඒක එක දේවල් ගැන අපි කතා කරනවා. සමහර ඒවා සීරියස් කතා. සමහර ඒවා ඕපදූප. ඒව ඉතින් දැන් තියන ගෘප්වල මාතෘකා වගේම තමයි. යන්නෙ කොහෙහෙමල්ලෙ පොල් කතාත් ඕන තරම්!

ඒ වයසෙදි විය යුතු විදියටම වැඩි කතා බහක් තිබ්බේ බඩු හෙවත් කෑලි හෙවත් කෙල්ලෝ ගැනයි. මොකද එතැනින් අපේ පංතිවල වගේම වෙන පංතිවලට යන ළමයිනුත් යනවනේ.

ඉතින් ඔතන දී අපිත් හරියට සෝෂල් මීඩියා ප්‍රොපයිල් වගේනේ. එතනින් යන එන, බස් නැවතුමේ ඉන්න ගෑණු ළමයිනුත් ප්‍රොපයිල් තමයි. ඉතින් ලස්සන ප්‍රොපයිල් එකක් (ගෑණු ළමයෙක්) දැක්කම ඒ දිහා බලනවා - එයාලට එයාලව ලොක් කරන්න බැරි නිසා ප්‍රොපයිල් පොටෝ එක ඉතින් පබ්ලික් තමයි. ලයික් දානවා, හාට් රියැක්ෂන් දානවා. වොයිස් මැසේජ්වවලින් (විසිල් හෝ ඇහෙන්න දාන සූ සද්ද) රියැක්ට් කරන අවස්ථාත් තියනවා. හැබැයි ඒ ප්‍රොපයිල් එක ‌නොදන්න එකක් නම් එන්නේ ඇන්ග්‍රි රියැක්ෂන්. බ්ලොක් වෙන්නත් පුළුවන් - අනිත් හෝල්ට් එකෙන් බස් එකට නගිනවා එතකොට එයාලා. සමහර කාන්තා ‌ප්‍රොපයිල්වල පිරිමි හිමිකරුවන් හෝ ට්‍රයි කරන වෙන්න ‌හිමිකරුවන් ඒ වෙලාවට ඇන්ග්රි රියැක්ෂන් දානවා. අද භාෂාවෙන් කියනවා නම් 'ටිපර් වෙනවා'.

ඉතින් ඒ වගේ ප්‍රොපයිල් එකකට ෆ්‍රෙන්ඩ් රික්වේස්ට එකක් දාලා ෆ්‍රෙන්ඩ් වෙන්නත් පුළුවන්. ඕන නං ඉන් පස්සේ පුද්ගලිකව චැට් කරන්නත් සෙට් වෙන්න පුළුවන්. එහෙම උනාම ඒ ප්‍රොපයිල් එකේ පාස්වර්ඩ් එක අදාළ කොල්ලට ලැබෙනවා. සමහර වෙලාවට ඌ ඉන්පස්සේ අපේ නෙට්වර්ක් එකේ නෑ. අනිත් ෆ්‍රෙන්ඩ්ලා අන්ෆ්‍රෙන්ඩ් කරලා, අන්ෆලෝ කරලා වෙනම කතාවක් පටන් ගන්නවා. (ඌ වලෙන් ගොඩ ගියාද, වලට වැටුන ද කියලා කියන්න කල් වැඩි ඒ කාලෙ)

සමහරු ඉතින් එකම ප්‍රොපයිල් එකමයි ෆලෝ කරන්නේ. වෙන පෝස්ට් දිහා බලන්නේවත් නෑ. අපි නං එහෙමම හිටියෙ නෑ ඉතින්... තෝරාගත් ප්‍රොපයිල් ෆේවරිට්වලට ඇඩ් කරන් ෆලෝ කරන අතර, නෙට්වර්ක් එකේ එහා මෙහා ගියා අනෙක් ‌ප්‍රොපයිල් හා පෝස්ට් බලබලා. අර "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද" කියලා පස්සේ කාලෙක සින්දුවකුත් තිබ්බේ!

අපි මෙතන චැට් කළේ පෞද්ගලික ඕපා දූප විතරක් නම් නෙවි. අද සෝෂල් මීඩියාවල වාගෙම දේශපාලනයත් කතා කළා... 1989 නොවැම්බර් 13 දින රෝහණ වීජේවීර ඝාතනය උන පුවත දැනගෙන අපි පංති ඇරිලා ආවෙ මෙතනට - එතන හිටිය හැම පැත්තටම සහාය දුන් අය. ඒ වගේම ඉදහිට දේශපාලන චරිතත් මෙතන ඉද්දි දැක්කා - කෝට්ටේ නගරසභා ඡන්දයට 1991 දී ඉදිරිපත් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාව මම මුලින්ම දුටුවෙ මෙතන දි වෑන් එකක ඉදන් නගර සභා කැම්පේන් එක කරනකොටයි. ඒකත් මට හොඳටම මතකයි.

ඉතින් ඔය නෙට්වර්ක් එකේ රස්තියාදුව ඉවර වෙන්නේ හෙවත් ඩේටා ඉවරවෙන්නේ ලංගම බස් එකක් ආවම. ඒ සාමාන්‍යයෙන්176 හෙට්ටියාවත්ත බස් එකක්. ඒ කාලෙ නුගේගොඩ හරහා ගිය අංක 4 (කොටුව) කොළ කවය හා 173 (තොටළඟ) ලංගම බස් තිබ්බට ඒකෙ යන්න හිටියෙ කීප දෙනෙක් විතරයි. ඒ, ඒ බස් දෙක නාවල හන්දියෙන් නාරාහේන්පිට පැත්තට හරවන නිසා. ඒකෙ මට යන්න පුළුවන් නිසා මම යනවා, සමහර දවස්වලට... (හරියටම කිව්වොත් සීරියස්ලි ෆලෝ කරපු එක්තරා ප්‍රොපයිල් එකක් ඒ බස්වල යන දවස්වලට). එහෙම නැති වෙලාවට ඉතින් 176 ලංගමයක් එනකම් චැට් කර ඉන්නවා අනෙක් යාලුවො එක්ක.

ඒ මතක ඉතා සුන්දරයි. මෙතනින් යන හැම මොහොතකම මම ඒ අතීතයට යනවා...

එදා හිටපු උන් සමහරකගේ නම් එක්ක උනත් කියන්න පුළුවන්. ඒත් සමහර උන් නම් කියනවට කැමති වෙයිද දන්නේ නැති නිසා නිහඬ ‌වෙන්නම්.

මට ඒ ගැන මෙහෙම හිතෙනවා. එදා සෝෂල් නෙට්වර්ක් එක පිසිකල් එකක්. හැබැයි අපට ඒක දැනුනා, තවමත් හොඳටම මතකයි. ඒ හා සමාන වූ දේ අද පරම්පරාව කරන්නේ වර්චුවල්. ඒත් දැන් ටිකකට කලින් චැට් කරපු දේවල් දැන් මතකයි ද?

ධනේෂ් විසුම්පෙරුම

2023.01.30

Thursday, August 12, 2021

"අනේ නාවල යටවෙලා ඇති..."



මේක මට මතක විදියට මම පහළ බාලාංශ පංතියෙදි වූ දෙයක්. ඒ කියන්නේ අද නම් 1 වැනි ශ්‍රේණිය. වයස අවුරුදු 6ක් වන ළමයි ඉන්න පංතියක්.

ඒ කාලෙ අපි හිටියෙ නාවල සේනානායක මාවතේ කුලී නිවසකයි. මේ සේනානායක මාවත ප්‍රධාන පාරට වැටෙන්නේ නාවල හන්දියේ මදක් රාජගිරිය පැත්තට වන්නටයි.

ඒ පාර වැටෙන තැන ඒ කාලෙදි වැස්සට ටිකක් යටවෙනවා. වතුරෙ බැහැල තමයි යන්න ඕන. වතුර පිරුණම මාව පොඩ්ඩක් උස්සලා තියන්නෙ මං පුංචි නිසා.

ඉතින් මේ කියන දව‌සෙ මං පාසලේ ඉද්දි මහා වැස්සක් වැටුනා. ඒ පාසල අවසන් වන්නට ආසන්න වෙලාවෙ වගේ. ඉතින් ඉස්කෝල දැන් ඇරිලා, ඒත් එළියෙ වහිනවා. මාව එක්කන් යන්න එන්න ඕන අම්මා තවම නෑ. පරක්කුයි. මං එළිය දිහා බලමින් හිටියෙ - ඒ දර්ශනය මතක නිසා තමයි මං හිටපු පංතිය මතක් වන්නේ.

පංතියෙ ටීචර්ත් ඉන්නවා. ළමයිත් කීප දෙනෙක් ඉන්නවා. 

දැන් මට දරාගන්න බෑ. බයයි. මං ඇඬුවා හොඳටම... මෙන්න මෙහෙම කියමින්...

"අනේ නාවල යටවෙලා ඇති... අම්මා ගිලිලද දන්නෙ නෑ" කියලා.

මේ කතාව අම්මා ආවම ටීචර් කිව්වා. අම්මත් මං දිහා බලලා හිනා උනා වගෙ මතකයි.


(මේ සමඟ දැක්වෙන 2015 ඔක්තෝබර් ගත් Google Earth ඡායාරූපයේ දැක්වෙන්නේ සේනානායක මාවත ප්‍රධාන මාර්ගයට එක්වන හන්දියයි. නාවල හන්දිය දෙසට ද රාජගිරිය දෙසටද ඇති මාර්ග උස් බැවින් මෙතැන වම් පස බස් නැවතුම අසල එකල වැසි දිනවල දී වතුර එකතු විය. දැන් තත්ත්වය නොදනිමි)

ධනේෂ් විසුම්පෙරුම 

12.08.2021

Wednesday, June 30, 2021

ගස්ලබු ගහ දිගේ ඉස්කෝලෙන් පැනිල්ල (ඉස්කෝලෙ කතා 8)


මේක අපේ පාසලේදි 1980 ගණන්වල මුල සිදු වූ කතාවක්. මට කීවෙ ඒ කතානායකයාමයි!

ඕනම පාසලක පාසල් භුමියෙන් එළියට යන්න ක්‍රම කීපයක් තියනවනේ.  

එකක් තමයි නිසි අවසරයක් ලබාගෙන ගේට්ටුවෙන් බැහැර යෑම (ඒකට ව්‍යාජ අත්සන් දැමීම වෙනම කාරණයක්)

දෙවැන්න තමයි ගේට්ටුවෙන් නොවන ක්‍රමවලින් බැහැර යෑම (තාප්පයෙන් පැනීම, තාප්පෙ කැඩුණු තැන්වලින්, පූල් ‌ගේට්ටුවෙන් වගේ)

***

ඉතින් දවසක් මං කියන කතාවේ කතානායකයා ඔය දෙවන ක්‍රමයට පාසලෙන් එළියට යෑමට හිතුවා. (මොකටද යන්න ගියෙ කියල නං කීවෙ නෑ)

ඒකට එයා තෝරගත්තෙ විශේෂ තැනක්. අපේ පාසල අසලින් යන, පාසලේ නමින්ම තියන අතුරු පාරෙ මහ ගස් තියන නිසා මේ කියන තැන එතරම් පේන්නෙ නෑ. අනෙක මේ ස්ථානය ප්‍රධාන ගේට්ටු දෙකටත් ටිකක් ඈතයි.

හැබැයි එතන තාප්පෙ ටිකක් උසයි. ඒත් වාසනාව කියන්නෙ තාප්පෙ අයිනේ පාසල ඇතුළෙ ගස්ලබු ගහක් තිබිලා. ගහේ ආධාරයෙන් තාප්පෙ උඩට නැගලා එළියට යන්නයි තියෙන්නෙ. 

ඉතින් දවසක් මේ කියන තරුණයා ඇතුළු කීප දෙනෙක් පාසලෙන් කලින් යන්න හිතිලා ගහ අල්ලන් තාප්පෙට නැගලා අනිත් පැත්තට පැන්නලු.

පැනල පාර පැත්තට හැරුණ විතරයි එතන නියෝජ්‍ය විදුහල්පති තුමාලු! මදැයි... පුදනකොටම කාපි ....කිව්වලු.

එතුමා දුන්න දඬුවම තමයි අපූරු... 

එතුමාගෙ අණ තමයි "තමුන් ආපු විදියටම ඇතුළට යනව" කියන එක. මදැයි කළා...දැන් ඒ පැත්තෙන් ආපසු යන්න පාර පැත්තේ සපෝට් එකට ගහක් ගලක් නෑ. 

මොකක් කරන්නද ඉතින් දඬුවමක්නෙ... අපි එක්ක කියපු විදියට, අපේ කතා නායකයා එදා අත පයත් හූරගෙන තමයි ඇතුළට ගිහින් තියෙන්නේ...

පසු සටහන - අද එතුමා විශිෂ්ටයෙක්. අර විදියෙ වැඩක් කළා කියල දන්න කෙනෙක් හිතන්නෙ නෑ!

(ඡායාරූපයේ දකුණු පැත්තෙ පේන හරියෙ තමයි ේ සිදුවීම වුන බව කියන්නෙ)

Tuesday, June 22, 2021

අම්මලා දූලා කරන්න සබන්වලට බැරි උනත්... (කට කැඩිච්ච කතා 06)



සබන් කතාවක් මතක් උනා... මේක මං අහපු එකක්.

අපි අනූ ගණන්වල මුල හරියෙ වගෙ එක්තරා සුවඳ සබන් වර්ගයකට අපූරු දැන්වීමක් තිබ්බා. 

ඒ දැන්වීමෙ කියන විදියට ඒ සබන් වර්ගය පාවිච්චි කරනව නම් අම්මයි දූයි කවුද කියලා අඳුනගන්න බැරි වෙනවා... මොකද ඒ තරමට අම්මගෙ පෙනුම තරුණව තියාගන්න පුළුවන්ලු ඒ සබන් ගෑවොත්! මං හිතන්නෙ ඒ නිසා ඒ සබන් එකත් ටිකක් නැගලා ගියා. 

ඉතින් එක්තරා උසස් පෙළ පන්තියක* ඉතාම ජනප්‍රිය සර් කෙනෙක් දවසක් මේ දැන්වීම විවේචනය කළා...

"ඔය සබන් ජාති ගාල අම්මලා දූල වගෙ කරන්න පුළුවන්ද? බෑනෙ.

හැබැයි දූල අම්මල කරන්න නම් ලේසියෙන් පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙ නෑ. 

සබන් ඕනත් නෑ"

එදා ඒ පංතියෙ හිටපු දූලා ගෙදර ගිහින් අම්මලාට කීවද දන්නෙ නෑ ඒ කතාව.

* මේක උනේ විද්‍යාව පංතියක නම් නෙමෙයි.


ධනේෂ් විසුම්පෙරුම

2021.06.22

Wednesday, January 13, 2021

"ලස්සන රස විඳින්න පුරුදුවෙයව් යකුනේ!" (ඉස්කෝලෙ කතා 7)

අපට 10-11 වසරවල සිංහල ඉගැන්වූ ටීචර් සුදුයි, හැඩයි, ලස්සනයි. ඒ කාලෙ වයස අවුරුදු තිස් ගණන්වල වගෙ ඉන්න ඇති. 

එතුමිය උගන්වනකොට අපේ පංතියෙ සමහර උන් එක එක එව්ව කියනව (මං ඒ කාලෙ නං එහෙම නෑ හොඳේ). මිස්ටත් මේක අවුල්. දවසක් එතුමියට ඒක ටිකක් වැඩියෙන් දැනුනා.

අපෙ පංති භාර ගුරුතුමිය පහුවදා උදෙන් ඇවිත් ‘‘තොපිලට තෙරෙන්නෙ නැද්ද යකුනෙ යමක් රස විදින්න’’ කියල කිව්ව. අපි තුෂ්නිම්භූත උනා. 

"හැම එකම දිහා වල්කමින් බලන්න එපා යකුනෙ... ලස්සන රසවිදින්න පුරුදු වෙයව්" කියල, සාහිත්‍ය පොතේ තිබූ සැළලිහිණියේ එන "නිසි පුළුලුකුළ රිය සකයුරු තිසර තන" කියන කවි පදය ලියල, සරල කාන්තා රුපයකුත් ඇඳලා ගියා.

අපේ උන් එදා ඉඳන් සිංහල ටීචර්ට මුකුත් කිව්වෙ නැහැ. ලස්සන රස විඳින්න ඇති. අපි එදා ඉගෙන ගත්ත පාඩම තමයි "ලස්සන රස විදින්න" කියන එක. ඒක තමයි අපි තාමත් කරන්නෙ.

වසර විසිගණනකට පස්සෙ දැනට දශකයකට පමණ පෙර එතුමිය යළි මට හමු වුනා. එක්තරා සමිතියක රැස්වීමකදි. ඒ වන විට විශ්‍රාම ගොස් සිටි එතුමිය සතුව තරුණ කාලෙ තිබූ සුන්දරත්වයේ සේයාව එහෙමම තිබ්බා. ඉතින් එදා මට මේ කතාවත් මතක් උනා. 


ධනේෂ් විසුම්පෙරුම

2021.01.13

Wednesday, December 9, 2020

සුරදූත ප්‍රේමය - "Angel Love" (ඉස්කෝලෙ කතා 6)

 


මේක ඉස්කෝලෙ කතාවකට වඩා ටියුෂන් පංතියක කතාවක්. 1988 වර්ෂයේ 11 වසරෙ ඉන්න කාලෙ මම ගිය ගණන් පංතියෙ වූ සිදුවීමක්. ඒක නුගේගොඩ නාවල පාරෙ තිබ්බ ප්‍රසිද්ධ පංතියක්. ළමයි තුන්හාරසීයක් හිටිය ඒ පංතියෙ ඉගැන්වූ හා ආයතනය හිමි වූ සර් ටිකක් සැරයි. කොල්ලො කෙල්ලො යාලු වීම වළක්වන්න අවංකවම ලොකු උත්සාහයක් ගත්තා. ගොඩක් දවස්වල ගෑණු ළමයි ටික යවලා මිනිත්තු දහයකට විතර පස්සෙ තමයි කොල්ලන්ව යවන්නෙ. ඒත් ඉතින් අර "සැබෑ උවමනාව" තියන, "ඇත්තටම ආදරය කරන" ගෑණු ළමයි එතැන තිිබුණු ළිදෙන් වතුර එහෙම බීලා, හෙමින් ගිහින් අතරමගදි අදාළ පුද්ගලයා එනකම් ඉන්නවා. කොල්ලන්ව මුලින් යැව්වෙ එකම එක දවසයි!

මේ පංතියෙ එක විශේෂ චරිතයක් හිටියා. ඒ පංතියේ සිටි අයගෙන් මට තවමත් නමින් මතක ඔහු පමණයි. ධනවත් පවුලක එකම පුතා වූ ඔහුු කොළඹ ප්‍රධානම පාසලක ඉගෙනගත්තෙ (මගේ පාසලේ නෙමෙයි. ඒ ගැනත් කියන්න වෙන කතාවක් තියනවා). මතක විදියට අම්මා නෑ. තාත්තා විතරයි හිටියෙ. හොඳටම නිදහස භුක්ති වින්ද, ටිකක් සෙල්ලක්කාර, පොෂ් පෙනුමක් තියන හාදයෙක්. 

මෑන් තමයි පංතියෙ එකට හිටපු කොල්ලො සෙට් එකේ අප්‍රකාශිත නායකයා. මාත් ඉතින් ඒ සෙට් එකේ හිටියා. අපි හත් අට දෙනෙක් තමයි නාවල දිහාට පයින් ගෙදර එන්නෙ (වෙන යන්න ගමන් එහෙම තිබ්බෙ නැත්තං හොඳේ...).

අපේ කතා නායක මිත්‍රයා ඒ වෙනකොට කෙල්ලො කීප දෙනෙක් හිටපු කෙනෙක්. ඒත් ඒ කිසිවක් සීරියස් ඒව උනේ නෑ. ඒ පංතියෙ කලින් අවුරුද්දෙත් කෙල්ලො කීප දෙනෙක් එක්ක යාළුවෙලා හිටියාලු. (අපේ මිත්‍රයගෙ පෙනුමට අකමැති වන කෙල්ලෙක් නැති තරම් කියතෑකි)

ඒ අලුත් අවුරුද්දෙ මෑන් ටිකක් පස්සෙන් ගිහින් යාළු වුණ කෙල්ලෙක් හිටියා - එයා අහිංසක ඇස් දෙකක් තිබ්බ, සුදු, ටිකක් උස ලස්සන කෙල්ලක්. පැහැදිලිව කැපී පෙනෙන සෙමින් ගමනක් තිබූ කෙනෙක්. නුගේගොඩට කිට්ටුව පදිංචිව සිටි ඈ යමක් කමක් ඇති පවුලක බව පෙනේනනට තිබ්බා. වැල්වටාරම් නැතිව කීවොත් යාලුවුනොත් සිරාවටම ලව් කරන්න හිතෙන කෙල්ලෙක්.

ඉතින් ඒ ආදර කතාවෙ මුල් කාලෙ ඒ කෙල්ල එවූ ලිපියක් අපේ සෙට් එකේ හැමෝම වගේ කියෙව්වා. ඒ‌කත් එක්ක අමුණලා තිබ්බා "Angel Love" කියා සඳහන් වූ මුද්‍රිත ටැග් එකක්. කළු-සුදු එකක් වූ එහි කපල් එකක් සරල නැටුමක ඉන්න චිත්‍රයක් තිබ්බෙ... එයා ලිපියෙත් කියලා තිබ්බෙ එයාලගෙ ආදරය "ඒන්ජල් ලව්" එකක් බව... වචනයෙන් වචනය මතක නැතත්, ඒක මං කියෝපු ලස්සනම පෙම් හසුනක් බව නම් මතකයි. අවුරුදු 16ක විතර කෙල්ලෙක් ලියූ එකක් ද කියලත් හිතෙන තරම්. එදා අපේ කට්ටිය යාලුවට දුන්න උපදෙස උනේ "ඒකි පව් බං", "ඒක සිරාවට කරපන්" කියලයි.

මොන විකාරද? ඒ ආදරයත් වැඩි කාලයක් තිබ්බෙ නෑ. අපේ සෙල්ලක්කාරයගෙ සාමාන්‍ය ක්‍රමයටම වගේ ඒ ආදරය නැවතුනා. පංතියෙ අන්තිම දවස්වල ඒ කෙල්ල දුකෙන් හිටි බව කාටත් පෙනෙන්න තිබ්බා. ඒ තමයි සුරදූත ආදරයකට වූ දේ...

ඒ ටැග් එක මට නම් කවදාවත් අමතක නොවන ටැග් එකක්. මේ සමඟ ඇති රූපය ඊට කිට්ටු කරන්වත් බෑ! ඒ ගෑණු ළමයටත් තිබ්බෙ අමතක නොවන මූණක්. පසුකාලයක අපි උසස්පෙළ කරද්දි වගේම මම සරසවි යන කාලෙදි නුගේගොඩ නගරයෙදි ඒ ගෑණු ළමයාව ඉදහිට දැක්කා - 2000 වර්ෂය විතර වනතුරු. ඉන් පස්සෙ දැක්කෙ නෑ.

තාමත් මට මතකයි ඒ මූණ... දැන් දැක්කොත් හඳුනාගන්න පුළුවන් ද කියලා නම් කියන්න බෑෑ.

(පසු සටහන - මෙහිඑන පොෂ්, සෙට් එක වැනි වදන් අප එකල භාවිත කළේ නැත.)

ධනේෂ් විසුම්පෙරුම

2020.12.09    

Saturday, December 5, 2020

රාජකාරි ලිපි ලිවීමේ කොලිටිය! (ඉස්කෝලෙ කතා 5)



මේක උනේ 8 ශ්‍රේණියෙදි - හරියටම කීවොත් 1986දි. එදා අපේ සිංහල පාඩම උනේ ලිපි ලිවීම. මැදිවයසෙ හිටපු සිංහල සර් උගන්වන්න පටන් අරන් මුලින්ම රාජකාරි ලිපියක් නිසි ලෙස ලිවීමේ වැදගත්කම කීවා.

"දවසක් මම කරවල කඩෙන් කරවල වගයක් ගෙනාවා. ඒවා ඔතන් ආපු කොලේ තිබ්බ අකුරු මට හුරුයි. ඉතින් ඒක මොකද්ද කියලා බැලුවම ඒක මම කලින් දවසක කාර්යාලයකට යවපු ලියුමක්. මටම ලැජ්ජා හිතුනා ඒක ලියල තිබ්බ හැටි දැකලා. ඒ කියන්නේ ඒ ලියුම වැඩක් නෑ කියලා ඒ අය විසි කරලා"

අපේ උන් කීදෙනෙක් මේක විශ්වාස කළා ද කියලා මං දන්නේ නෑ. එකෙක් නං පස්සෙ මෙහෙම කිව්වා - 

"එතකොට සර්ත් ලියුම් ලියන්න ඉගෙනගෙන තියෙන්නෙ ළඟදි ද?"

(පින්තූරය අන්තර්ජාලයෙනි. පෙළ පොතක එන්නක් විය යුතුය.)

ධනේෂ් විසුම්පෙරුම


2020.12.05

Friday, October 16, 2020

ඉස්කෝලෙ කතා 04 - දුම්රියෙන් ගිහින් දා ගැනීම

මේ අපි උසස් පෙළ කරන කාලෙ වූ සිදුවීමක්. 1991 අප්‍රේල් නිවාඩු කාලෙ එක් දවසක් අපට ඉස්කෝලෙ අතිරේක පංතියක් තිබුණා. ඒකට බයෝ පංති කීපයක ළමයි සහභාගි වුනා. අපට උගැන්වූ ගුරුවරියකගෙ පියාගේ මළගෙදර ගැන ආරංචි වූ පසු, එදා එක පංතියක් අවසන් වී එහි යන්න ළමයි පිරිසක් තීරණය කළා. එතැන ළමයි 20ක් විතර ඉන්න ඇති.

අපි කට්ටිය මරදානට ගිහින් දුම්රියකට නැග්ගා. අපිට යන්න ඕන වුනේ පල්ලෙවෙලට උනත්, එදා උදේ වරුවෙ නිසා දුම්රිය අඩුයි. අපි ඒ නිසා වේයන්ගොඩ දක්වා දිවෙන දුම්රියකට නැග්ගා. වේයන්ගොඩ දුම්රියපොළෙන් බැහැලා ඉතිරි ටික යන හැටි වේදිකාවෙ සිට අපි කට්ටියක් කතා වෙන අතරෙ මෙන්න තුන් හතරදෙනෙක් දුම්රිය වේදිකාව දිගේ දුම්රිය එන්ජිම පැත්තට යනවා. අපි ඇහුවාම කියනවා එන්ජින් ඩ්‍රයිවර්ගෙන් අහන්න යනවලු ඒ ස්ටේෂන් තුන හතර අපව ගිහින් දාගන්න පුළුවන්ද කියලා...

එතැන උන් සමහරු කෝච්චියක ගියෙත් පළවෙනි වතාවටම වෙන්න පුළුවන්. අපේ ඉස්කෝලෙ අයනෙ! ඒ නිසා අර බබාලට ආපහු එන්න කියලා, ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් එල්ෆ් වෑන් එකක් හයර් එකට අරන් මළගෙදර ගියා. වැඩිය කෝච්චිවල නොගියට ඒව එහෙම හිතූ හිතූ ලෙස දුවන්න බැරිබව මමත් තව අයත් දැනගෙන හිටියා.

මේ දවසෙ ආපසු එද්දි සිදු වූ සිදුවීමක් නිසා එක් ගීතයක් අමතක නොවන ලෙස අදත් මතකයේ රැදිලා. ඒක පසුවට.

ධනේෂ් විසුම්පෙරුම
2020.10.16

Sunday, July 19, 2020

ඉස්කෝලෙ කතා 03 - "Come Down To The..."

ඉස්කොලෙ යන කාලෙ PT කියලා පීරියඩ් එකක් තිබ්බනෙ. සතියකට දවසක් එන ඒ පීරියඩ් එකෙදි ඉතින් අපි බලන්නෙ සෙල්ලම් කරන්නනෙ. (අපි කිව්වට ඉතිං මං නං එච්චර සෙල්ලම් කළේ නෑ.)
ගොඩක් දවස්වල ඒ පීරියඩ් එකට සර් ආවෙත් නෑ. 

දහයෙ හෝ එකොලහෙ පන්තියෙ හිටියද දවසක් අපිට ඒ පීරියඩ් එකට සර් ආවා. සර්ට ඕන උනා අපිව ගෙන්න ගන්න පිට්ටනියෙ තිබ්බ සියඹලා ගස් දෙක ළඟට. සර් ඉංග්‍රීසියෙන් කතාව පටාන් අරන් සිංහලෙන් මෙහෙම ඉවර කළා

"Come Down to the සියඹලා ගස් දෙක යටට"

සර් මේක විහිළුවට කිව්වද, නැත්තං තිබ්බ හදිසියට සියඹලා ගස්වල ඉංග්‍රීසි නම අමතක උනාද කියල අද වන තුරු මම නං දන්නෙ නෑ. ඒත් එදා අපි ගහ යටට යද්දි සර් ආවා මතකයි. ඒත් PT කළාද අපි සෙල්ලං කළාද කියල නං මතකයක් නෑ.

පසු සටහන - පහුගිය දවසක විද්‍යාලෙ කණ්ඩායමක් මේ ගස් දෙක තිබ්බ තැන දියුණු කරලා තිබෙනවා. පහත ලින්ක් එකේ කියන්නෙ ඒ ගැනයි. එහි සඳහන් වන පරිදි 1950 ගණන්වල "මම ඔබව සියඹලා ගහ යටදි හමුවෙන්නම්" (I’ll meet you under the Tamarind tree) කියලා කොල්ලෙක් තව කොල්ලෙක්ට කියන්නෙ අභියෝගයක් කරද්දි.

Monday, March 9, 2020

ඉස්කොලෙ කතා 2 - පස්සෙන් යන්න එපා කී ‌දෙක

මේ සිද්ධිය අපි 10 ‌හෝ 11 පන්තියෙ හිටිය කාලෙ වූ දෙයක්.

දවසක් කිසියම් රැස්වීමක් සඳහා අපේ පංතිවල ළමුන් ශාලාවට කැඳවූවා. කාරණය නම් මට මතක නෑ. එදා අපේ විදුහල්පති තුමා අපූරු කාරණයක්  සිහිකළා. (ඒක කීවෙ අපේ යාළුවෙක් බස් එකෙන් වැටිලා තුවාලයක් කරගෙන හිටි නිසාද කියලා නම් මතක නෑ)

"ළමයි පස්සෙන් පන්නන්න ඕන නැති දේවල් දෙකක් තියනවා."

"එකක් තමයි බස්. අනෙක තමයි ගෑණු ළමයි."

"මොකද කියලා දන්නවද?" දැන් ‌කොල්ලො ටික හරිම උනන්දුවෙන් අහගෙන ඉන්නවා.

"මොකද ඕව එකක් ගියාට ඊට පස්සෙන් තව ඒවා එනවා."

අපි ඉතින් විදුහල්පතිතුමා වගෙම ගුරුවරුත් දුන්නු අනෙක් අවවාද පිළිගත්තට, අපේ ගොඩක් කොල්ලො අඩුවෙන්ම සැලකිල්ලට ගත් අවවාදය ‌මේක වෙන්න ඕන. ඒ ‌නොපිළිගැනීම බස් සම්බන්ධයෙන් වගෙම ගෑණු ළමයි සම්බන්ධයෙනුත් ‌පොදුයි!

මගෙම අත්දැකීමෙන් කියන්නෙ. 138 බස් එකක් පස්සෙන් එල්ලෙන්න ගිහින් වැටුනෙ නුගේගොඩ ‌බෝ ගහ ළඟදි. 173 බස් එකකින් බහින්න ගිහින් වැටුනෙ කුරුඳුවත්තෙ ‌පොලිසිය ඉස්සරහදි.

අනිත් කාරණය ගැන උදාහරණ කියන්න ඕන නෑනෙ!

ධනේෂ් විසුම්පෙරුම
2020.03.09

Sunday, February 23, 2020

ඉස්කොලෙ කතා 1 - ‌දොර ඇරල තිබ්බට...

දවසක් අපේ ඉස්කෝලෙ රැස්වීමක් තිබ්බා. මොකක් හරි වැරද්දක් කරල තිබ්බ එකක්. මොකද පංතී කීපයක් විතරයි හිටියෙ. රැස්වීම තිබ්බෙ නවරඟහලේ. මං හිටියෙ 10න් පහළ පන්තියක වෙන්න ඕන.

ඒකට ආපු විදුහලේ ජ්‍යේෂ්ඨ ගුරුමහතෙක් ‌මෙහෙම කතාවක් කීවා.

"රෝයල් එකේ ළමයෙක් ඕන තැනකදි අඳුනගන්න පුළුවන්"

"කොහොමද?" ඔහු ඇහුවා. සභාව මීයට පිම්බා වගෙයි.

"දොර ඇරල තියෙන කාමරයකින් ජනේලෙන් පැනල යන කොල්ලෙක් ඉන්නව නං ඒ රෝයල් එකේ ළමයෙක්!"

(ඉස්කෝලෙ මේ වගේ සිද්ධි තව තියනවා. කියන්නම්කො.)