Thursday, September 20, 2018

සුදු කබර බෝ නොවේ (බස් කතා 7)

මේ සිදුවීම වුනේ මීට දින කීපයකට පෙර බත්තරමුල්ලේ සිට මා ගිය 177 බසයක.

බසයේ එතරම් සෙනඟ හිටියේ නැහැ. මා සිටි අසුනට වම් පස අසුනේ හිඳ සිටියේ ප‍්‍රකට සමාගමක සේවය කරන යුවතියක් (යුනිෆෝම් එකෙන් කිව්වෙ). ඇය හිඳගත් වෙලාවේ සිට ජීවත්හි වුනේ ජංගම දුරකථනය සමගින් (මමත් හිටියෙ එහෙම උනත්, වටපිට වෙන දේ ගැන අවධානය තිබුනා).

ටික දුරක් ගිය පසුව ඉදිරි අසුනක සිටි පියෙක් සිය කුඩා දියණිය වඩාගෙන මා සිටි අසුනට ඉදිරි අසුනෙන් හිඳ ගත්තා. ඔහු සුදු කබර රෝගියෙක්. ඔහුගේ සාමාන්‍ය සම අඳුරු පැහැ නිසා රෝගී සම කැපී පෙනෙනවා.

දැන් ඔහු සිටින්නේ අර තරුණියට ආසන්නට, සමාන්තරව අනෙක් පසින් අසුන් ගෙන. අර තරුණිය වරක් ඔහු දෙස බැලුවා පමණයි... වහාම ජනේලයෙන් අනෙක් පස බලාගත්තා. ඇය සිටින්නේ ඔහු සිටින අසුනෙහිත් නොවේ. එහෙත් ඇයට එම දසුන ප‍්‍රිය දසුනක් නොවූ බව පැහැදිලි වූනේ ඇය ඉන් පසුවද නෙත් කොනින් වරින් වර ඔහු දෙස බැලූ බැල්මෙන්... ඇයට ජංගම දුරකථනයේ ජීවිතය අමතකම උනා.

සුදු කබර ඇති වන්නේ සමේ සෙෙලවල වර්ණය ඇති කිරීමට හේතුවන මෙලනින් ජනනයේ ඇති වන ගැටලුවක් මතයි. එය බෝ වන රෝගයක් නොවේ. එහෙත් ඇතැමුන් මේ රෝගීන් දෙස වපර ඇසින් බලන ආකාරය කණගාටුදායකයි.

Wednesday, September 12, 2018

බීම බට පිළිබඳ කතිකාවෙන් මතුවන පුද්ගලික වගකීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 05.09.2018, පි.9 (Vidusara)

http://www.vidusara.com/2018/09/05/feature2.html



ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව කටයුතු කරන එක්‌ ෆේස්‌බුක්‌ පිටුවක පළ වූ අපූරු දැන්වීමක්‌ මේ සමඟ ඇති ඡායාරූපයේ දැක්‌වෙයි. පෙනෙන ආකාරයට විදේශීය රටක අලෙවි සලක දැකිය හැකි වූ දැන්වීමක්‌ බව පෙනෙයි. එහි සඳහන් වැකියෙහි සිංහල අරුත මෙසේ ය.

"මෙය එක්‌ බීම බටයක්‌ පමණයි"
බිලියන 8ක ජනතාවක්‌ එසේ පැවසූ හ.

මේ වැකියෙන් දැක්‌වෙන්නේ සැලකිය යුතු පිරිසක්‌ අතර ඇති එක්‌තරා පොදු හැඟීමකි. වරක්‌ භාවිතයෙන් පසුව ඉවත ලන ප්ලාස්‌ටික්‌ බීම බට (ස්‌ට්‍රෝ) එසේ ඉවත දැමීම නිසා සැලකිය යුතු පරිසර දූෂණයක්‌ ඇති වෙයි. මේ පිළිබඳ සාමාන්‍ය ජනතාව අතර ඇති හැඟීමක්‌ වන්නේ මා භාවිත කරන්නේ එක බීම බටයක්‌ පමණයි යන අදහසයි. එහෙත් බොහෝ දෙනා එසේ සිතා ප්ලාස්‌ටික්‌ බීම බට භාවිත කරන විට පරිසරයට එකතු වන බීම බට ප්‍රමාණය අති විශාල ය. තම තමන් පෞද්ගලික ව පරිහරණය කරනු ලබන්නේ එකක්‌ පමණක්‌ වුව ද, සියලු දෙනා එසේ පරිහරණය කිරීමෙන් සමස්‌තයක්‌ ලෙස පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය ගැන අවබෝධයක්‌ නොමැති වීම මෙයට නිදසුනකි. මෙය අදාළ වන්නේ ප්ලාස්‌ටික්‌ බීම බටවලට පමණක්‌ නො වෙයි. වරක්‌ භාවිතයෙන් පසු ඉවත ලන බොහෝ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනවලට ද මෙය අදාළ ය.

ප්ලාස්‌ටික්‌ බීම බට යනු අපේ රටේ ජනතාව අතර ද එදිනෙදා අධික ලෙස භාවිත වන්නකි. බීම බෝතල්, කිරි පැකට්‌ ආදිය පමණක්‌ නො ව, තැඹිලි ගෙඩියක්‌ පානය කිරීමේ දී පවා දැන් දැන් මේ බීම බට භාවිත වෙයි. බීම බෝතලයක්‌ පානය කරන ඇතැම් අවස්‌ථාවක දී අප බීම බටයක්‌ ප්‍රතිෙක්‌ෂේප කරන විට එම වෙළෙන්දන් විස්‌මයට පත් වන බවක්‌ ද පෙනෙයි. ඒ තරමට බීම බට අත්‍යවශ්‍ය දෙයක්‌ වී ඇත.

ප්ලාස්‌ටික්‌ බීම බට පිළිබඳ ව හා ඉන් ඇති වන බලපෑම පිළිබඳ ව මඳක්‌ සාකච්ඡා කිරීමට සිතුවේ මේ නිසා ය.

ප්ලාස්‌ටික්‌ බීම බටවල කතාව


බීම බට භාවිතයට සැලකිය යුතු අතීතයක්‌ ඇත. ඈත අතීතයේ පැවැති සුමේරියානු ශිෂ්ටාචාරයේ විසූවන් මත්පැන් පානය සඳහා විවිධ ලෝහවලින් කළ බීම බට භාවිත කර ඇති බවට සාධක පවතී. පසු කාලයක ඇමෙරිකාවේ බීම වර්ග පානය කිරීම සඳහා රයි තෘණවල බටයක්‌ වැනි කොටස යොදාගත් බව සඳහන් වෙයි. කඩදාසිවලින් තැනූ බීම බට සඳහා පළමු ව පේටන්ට්‌ බලපත්‍රයක්‌ ලබාගෙන ඇත්තේ 1888 වර්ෂයේ දී පමණ ය. ඒ ඇමෙරිකානු ජාතික මාර්වින් ස්‌ටෝන් නමැත්තා ය. භාවිතයේ පහසුව සඳහා මැදින් නැමුණු බීම බට භාවිතය ආරම්භ වන්නේ 1930 දශකයේ දී පමණ ය.

ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන ජනප්‍රිය වීමත් සමඟ ප්ලාස්‌ටික්‌ බීම බට නිෂ්පාදනය ආරම්භ වෙයි. 1960 දශකයේ දී පමණ ප්ලාස්‌ටික්‌ බීම බට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ වී ඇත. කඩදාසි බීම බටවලට වඩා කල් පැවතීම, ලාභදායක වීම වැනි කරුණු නිසා මේවා නිෂ්පාදනය බෙහෙවින් වේගයෙන් වර්ධනය වූයේ ය. මේවායෙන් ඇති විය හැකි පරිසර බලපෑම පිළිබඳ ව මෑතක්‌ වන තුරු කිසිවකු අවධානය යොමු කළේ නැත.

ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය පිළිබඳ ව ඇති සංඛ්‍යාලේඛන අපගේ අවධානයට යොමු විය යුතු ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇමෙරිකාවේ එක්‌ දිනයක දී භාවිත වන ප්ලාස්‌ටික්‌ බීම බට ප්‍රමාණය මිලියන 500ක්‌ පමණ බව එක්‌ ගණන් බැලීමකින් හෙළි ව ඇත (මේ ප්‍රමාණය පිළිබඳ ව ඊට වඩා අඩු වෙනත් ගණනය කිරීම් ද වෙයි). එසේ ම බ්‍රිතාන්‍යයේ එක්‌ වර්ෂයක දී භාවිත වන බීම බට ප්‍රමාණය බිලියන 8.5ක්‌ පමණ බවට ගණන් බලා ඇති අතර, එය ඊට වඩා අධික විය හැකි බවට ද අදහස්‌ පළ වී ඇත. කෙසේ වෙතත් මෙහි ගැටලුව මතු වන්නේ ප්‍රමාණයේ නො ව ඒවා භාවිතයෙන් පසු ඉවත දැමීම හා ඒවා දිරා යැමට දිගු කාලයක්‌ අවශ්‍ය වීම නිසා බව පොදුවේ පිළිගැනෙන කරුණකි.

පරිසරය දූෂණය වීම


ප්ලාස්‌ටික්‌ බීම බට අතරින් වැඩි ප්‍රමාණයක්‌ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ඒවා ය. එහෙත් ඒවා ප්‍රතිචක්‍රිකරණය කිරීම නිසි ලෙස සිදු නො වේ. මේ නිසා වෙරළ පිරිසිදු කිරීම්වල දී (beach clean-up) හමු වන ප්‍රධාන ම ද්‍රව්‍ය දහය අතර ප්ලාස්‌ටික්‌ බීම බට ද වෙයි. කෙසේ වෙතත් බර අනුව ගත් විට බීම බටවල ප්‍රමාණය අඩු ය. අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට වාර්ෂික ව සාගරයට එකතු වන ටොන් මිලියන 8ක්‌ පමණ වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතර ප්ලාස්‌ටික්‌ බීම බට ඇත්තේ 0.025%ක්‌ තරම් අඩු ප්‍රමාණයකි.

ප්ලාස්‌ටික්‌ බීම බට නිසා ඇති වන පරිසර දූෂණය සමස්‌ත ප්ලාස්‌ටික්‌ පරිසර දූෂණයෙන් සුළු කොටසකට පමණක්‌ දායක වන බව සැබෑවකි. එහෙත් එය වරක්‌ භාවිතයෙන් පසු ඉවත දමන නිෂ්පාදනයක්‌ වීම පාරිසරික ක්‍රියාකාරිකයන් අතර මෙවැනි විරෝධයක්‌ ජනනය කිරීම සඳහා වැදගත් වී ඇති බව පෙනෙයි. එය එක්‌ වරක්‌ භාවිත කර ඉවත ලන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන පාලනය කිරීමෙහි දී ඉදිරි පියවරක්‌ වී ඇත. එබැවින් ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කිරීම සඳහා පුළුල් ආකාරයේ ව්‍යාපාරයක්‌ මේ වන විට ක්‍රියාත්මක වෙයි. ඒ වැඩි වශයෙන් දියුණු රටවල ය.

ප්ලාස්‌ටික්‌ බීම බට යොදාගනිමින් පානය කරන බොහෝ නිෂ්පාදන ඒවා යොදා නො ගනිමින් පානය කිරීමට හැකි ය. ඒවා අත්හැරීමට අපේ හැසිරීමේ විශාල වෙනසක්‌ සිදු කළ යුතු නො වීම මේ සඳහා ඇති එක්‌ සාධනීය තත්ත්වයකි. එහෙත් මෙවැනි දේ සාගරයට හා පරිසරයට එක්‌ වීම වැළැක්‌වීමට අපද්‍රව්‍ය එකතු කිරීම විධිමත් කිරීම තුළින් හැකියාව ඇති බව කර්මාන්ත අංශයේ අදහස වෙයි. ඒ බොහෝ බීම බට ප්‍රතිචක්‍රිකරණය කළ හැකි නිසා ය. එහෙත් ඊට වැඩි දෙයක්‌ කළ යුතු ය යන අදහස මේ ගැන උනන්දුවක්‌ දක්‌වන්නවුන් අතර ඇති බව පෙනෙයි. ප්ලාස්‌ටික්‌ බීම බට සම්පූර්ණයෙන් තහනම් කිරීමක්‌ පිළිබඳ ව යෝජනා කරනු ලබන්නේ මේ නිසා ය.

විකල්ප තිබේ ද?


ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කළ හොත් ඒ වෙනුවට භාවිත කළ හැකි විකල්පය කවරේ ද යන්න ගැන කලක සිට අවධානය යොමු ව ඇත. විශේෂයෙන් තිරසර විකල්පයක්‌ සොයාගැනීම තරමක අභියෝගයක්‌ වී ඇති බව පෙනෙයි. උණුසුමට හා සිසිලට ඔරොත්තු දෙන නිෂ්පාදනයක්‌ සොයාගැනීම ඉන් එකකි. එසේ ම ඇතැම් විශේෂිත තත්ත්ව යටතේ බීම බට අත්‍යවශ්‍ය වෙයි. නිදසුනක්‌ ලෙස ආබාධිතයන් දැක්‌විය හැකි ය. එසේ ම පැකට්‌ කරන ලද බීම වර්ග පානය සඳහා බීම බට අවශ්‍ය බව පැහැදිලි ය. පසුගිය මාසයේ National Geographic වෙබ් අඩවියේ පළ වූ ලිපියකට අනුව ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය අවසන් කිරීම තරමක්‌ සංකීර්ණ කාර්යයකි.

එම තත්ත්වය යටතේ ප්ලාස්‌ටික්‌ බීම බට සඳහා විවිධ පරිසර හිතකාමී විකල්ප ගණනාවක්‌ ඉදිරිපත් ව ඇති බව පෙනෙයි. ඒ ඉක්‌මනින් දිරා යන, ජෛවහායනයට ලක්‌ වන නිෂ්පාදන වෙයි. මේ අතරින් වඩාත් ම වේගයෙන් ව්‍යාප්ත වන්නේ කඩදාසිවලින් කළ බීම බට ය. ඒ හැරුණු විට පැස්‌ටා, උණ හා පිදුරුවලින් තනන ලද බීම බට පිළිබඳව ද මේවා නිෂ්පාදනය කරන සමාගම්වල අවධානය යොමු වී ඇත. කෙසේ වෙතත් මේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක නිෂ්පාදන වියදම ප්ලාස්‌ටික්‌ බටවලට වඩා අධික වනු ඇත.

ප්ලාස්‌ටික්‌ බීම බට තහනම


පෙර සඳහන් කර ඇති පරිදි ප්ලාස්‌ටික්‌ බීම බටවලට එරෙහි ව යම් සමාජ මතයක්‌ තැනීමට බටහිර දියුණු රටවලට හැකි වී තිබෙයි. මේ අනුව සැලකිය යුතු ඉදිරි පියවර ද එම රටවල දැකිය හැකි ය. ඇතැම් ආයතන හා නගරවල මේ වන විට ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය සීමා කිරීමට පියවර ගෙන තිබීම මීට නිදසුන් ය.

ඇමෙරිකාවේ ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කරන ලද පළමු ප්‍රධාන නගරය වන්නේ සිsයෑටල් නගරයයි. නිව්යෝක්‌ හා වොෂින්ටන් ඩී.සී. ප්‍රදේශවල ද ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් ව ඇත. මියාමි බීච් හා මලිබු වැනි නගරවල කිසියම් සීමිත තහනමක්‌ ක්‍රියාත්මක වෙයි. මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ ද බීම බට තහනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක්‌ තිබෙයි.

එසේ ම ඇතැම් ප්‍රකට ආයතන ඉදිරියේ දී ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය අවසන් කරන බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර මැරියට්‌ හෝටල, ඇලස්‌කා එයාර්ලයින් හා ඇමෙරිකන් එයාලයින් වැනි ආයතන ද තවත් අවන්හල් ජාල කිහිපයක්‌ ද වෙයි. බ්‍රිතාන්‍යයේ මැක්‌ඩොනල්ඩ් ආයතන ද ලබන සැප්තැම්බර් සිට ප්ලාස්‌ටික්‌ බීම බට වෙනුවට කඩදාසි බට භාවිතයට ගන්නා බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් විචාරකයන් පෙන්වා දී ඇති පරිදි ප්ලාස්‌ටික්‌ බීම බට සීමා කිරීමට පියවර ගෙන ඇති ආයතන බොහොමයක්‌ මේ වන විට ද පාරිසරික වගකීම පිළිබඳ ව අවධානයක්‌ යොමු කර ඇති ආයතන වෙයි. එසේ ම මේ නගර ද කිසියම් ආකාරයකට වාමවාදී දේශපාලන නැඹුරුවක්‌ ඇති නගර සේ දක්‌වා ඇත.

මේ ඇතැම් ආයතන මේ තීරණය ගැනීම සඳහා පෙලඹුණේ බීම බට විරෝධී කණ්‌ඩායම් හා පොදුවේ ජනතාව වෙතින් ආ ඉල්ලීම් නිසා ය. තවත් ආයතනවල එය ඉහළ නිලධාරීන් විසින් ගන්නා ලද තීරණයක්‌ විය. එහෙත් ඒ සියල්ලට හේතු වූයේ ප්ලාස්‌ටික්‌ බීම බට සම්බන්ධ ව ඇති වූ කතිකාවයි. විශේෂයෙන් ප්ලාස්‌ටික්‌ බීම බට පිළිබඳ ප්‍රකාශයට පත් වූ සංඛ්‍යාලේඛන හා එමඟින් ඇති වන බලපෑම් මේ වෙනස සිදු කිරීමට දායක වී ඇති බව පෙනෙයි. නූතන සමාජයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්‌ ලෙස සැලකුණ ද, ප්ලාස්‌ටික්‌ බීම බට අත්‍යවශ්‍ය නැති බව හා ඒවාට විකල්ප ඇති බව ලෝකය අද වන විට පිළිගනිමින් තිබීම තිරසරභාවය සම්බන්ධ ව වැදගත් ය.