Tuesday, August 18, 2026

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නාගරික බස් සේවාවල ඉතිහාසයක්

ධනේෂ් විසුම්පෙරුම


(අවසන් යාවත්කාලීන කිරීම: 2026 අගෝස්තු 18)

බස් රථ යනු රටක ආර්ථිකයට මෙන්ම ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා ද වැදගත් වන ප්‍රවාහන මාධ්‍යයකි. ශ්‍රී ලංකාවේ බස් මගී ප්‍රවාහනය ආරම්භයේ පටන් 1958 දක්වා මූලික වශයෙන් පෞද්ගලික අංශය යටතේ විය.  1958 වර්ෂයේ දී සිට 1979 පමණ දක්වා බස් සේවා රාජ්‍ය අංශය යටතේ පමණක් ක්‍රියාත්මක විය. ඉන්පසු මේ දක්වා රාජ්‍ය හා පෞද්ගලික අංශය යටතේ මෙරට මගී බස් සේවා ක්‍රියාත්මක වේ.

මෙම බස් සේවා ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා බස් රථවල ගුණාත්මක තත්ත්වය හෝ සුවපහසුව ද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත. මෙය නාගරික සේවා, කෙටි දුර සේවා හා දුරගමන් සේවා ආදි සියලු ආකාරයේ සේවාවලට පොදු ය.

එතෙක් ක්‍රියාත්මක වූ සාමාන්‍ය සේවාවලින් වෙනස්ව, වායු සමීකරණය කළ අන්තර් නගර බස් සේවා 1990 දශකයේ දී පමණ ආරම්භ විය. ඒවා සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් පමණ ගාස්තුවකින් යුක්ත විය. එසේම සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාර ගුණයක් වන අර්ධ සුඛෝපභෝගී බස් සේවා ඉන් පසුව ආරම්භ විය. අධි සුඛෝපභෝගී සේවා ඇතැම්ක් මාර්ගවල මාර්ගවල ක්‍රියාත්මක ය. 2011 වර්ෂයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු 2012 ජනවාරි මාසයේ දී අධිවේගී මාර්ගවල බස් මගී සේවා සඳහා සුඛෝපභෝගී බස් සේවා ආරම්භ කරන ලදි.

සුඛෝපභෝගී නාගරික බස් සේවා

නාගරික ප්‍රදේශවල සුඛෝපභෝගී බස් සේවා පිහිටුවීම සඳහා ඒ ඒ රජයයන් විසින් 2009 වර්ෂයේ පමණ සිට සිව් වරක් පමණ උත්සාහ කර ඇත. මේ ප්‍රයත්න දරා ඇත්තේ මූලිකවම කොළඹ හා තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගනිමිනි.

මේ බස් සේවා ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වූයේ නාගරිකව දැකිය හැකි රථවාහන තදබදය අඩු කිරීම ය. එය සිදුකිරීමට අපේක්ෂා කළේ, දිනපතා නගරයට පැමිණිමට සිය පෞද්ගලික වාහන භාවිත කළ පිරිස් මෙම බස් රථ භාවිතයට පෙළඹවීම මගිනි. එය අප පහත විස්තර කර ඇති සියලු ප්‍රයත්න පිළිබඳව සඳහන් වන පුවත්වල සඳහන් වන කරුණකි. සුවපහසු බස් සේවාවක් සැපයීම මේ පෙළඹවීම සඳහා යොදාගන්නා ලද්දකි.


(1) City Liner Coach Service (2009)


2009 වර්ෂයේ මාර්තු මස 12 දින මෙම City Liner සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කරන ලද්දේ එවකට ප්‍රවාහන අමාත්‍යවරයා වූ ඩලස් අලහප්පෙරුමගේ සහභාගිත්වයෙන් කටුබැද්ද (එවකට) ලංගම පුහුණු පාසල් භූමියේ පැවති උත්සවයකිනි. 

ප්‍රවාහන අමාත්‍යාංශය හා ජාතික ප්‍රවාහන කොමිසම මගින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වන මේ සේවාව  සඳහා කොමිසමේ නිර්දේශ මත පෞද්ගලික සමාගමක් සඳහා (E.C.D. Global Pvt Ltd) සඳහා අවසර ලබා දී තිබිණි. 

මොරටුව (කටුබැද්ද) සිට කොළඹ දක්වා වූ මේ සේවාව මගින් පෙ.ව. 6.30 හා 8.30 අතර සෑම පැය භාගයකටම වරක් බස් රථයක් ධාවනය කිරීමට නියමිත විය. කොළඹ සිට ප.ව. 4.30 සිට 7.30 දක්වා බස් රථ පිටත් වීමට නියමිත විය. මෙය Park & Ride (පාක් ඇන්ඩ් රයිඩ්) හෙවත් මගීන්ගේපෞද්ගලික වාහන නියමිත ස්ථානයක නවතා තබා බස් සේවාව ලබැගැනීමේ පහසුකමෙන් යුක්ත වූ අතර කටුබැද්දේ වාහන 150ක් පමණ නවතා තැබීමට ආරක්ෂිත පහසුකම් සපයා තිබේ. මේ බස්රථ සේවා සැලසුම් කරන ලද්දේ අතරමගින් මගීන් ලබාගැනීමක් සිදු නොකිරීමටය. එසේම මේ ක්‍රමවේදය මත කඩවත, තලංගම හා වේරහැර යන ස්ථානවල සිට ද City Liner සේවාව ආරම්භ කිරීමට යන බව මුල් වාර්තාවල සඳහන් විය. 

2011 පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාවේ (Ministry of Private Transport Services 2011 Performance Report, පි.14) මේ බස් සේවාව ආරම්භ කිරීමේ අරමුණු ප්‍රකාශ කරයි. ඒවා නම්, 
1. කොළඹ නගරයට පැමිණෙන පෞද්ගලික වාහන ප්‍රමාණය 20,000 සිට 15,000 දක්වා අඩු කිරීම
2. කොළඹ නගරයේ ඇති අධික වාහන තදබදය අඩු කිරීම
3. පෞද්ගලික වාහන භාවිත කරන පුද්ගලයින්ට වඩා ආකර්ෂණීය පොදු ප්‍රවාහන සේවාවක් සැපයීම
4. මගීන්ගේ මානසික ආතතිය අඩු කිරීම
5. මගීන්ගේ කාලය නාස්ති වීම අවම කිරීම

2009 මහ බැංකු වාර්තාවේ ද මෙම සේවය හඳුන්වා දීම සඳහන් වන්නේ කොළඹ නගරයට පෞද්ගලික වාහන ඇතුළු වීම අඩු කිරීමට ගත් ප්‍රයත්නයක් ලෙසය (Central Bank of Sri Lanka Annual Report - 2009, Ch 3, p. 64).

ආරම්භ කර මාස හයකට පමණ පසුව මේ ව්‍යාපෘතියේ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට මාර්ගස්ථ මගී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න දුන් පිළිතුර 2009 සැප්තැම්බර් මස 11 දින හැන්සාඩ් වාර්තාවේ ඇත. ඔහුට අනුව, මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා දිනපතා කාර් රථ 12ක් මොරටුවේ නවතා මේ බස් සේවය භාවිතයට ගත් බවත්, වැඩි ප්‍රචාරණයක් ලබාදුන් පසු ඊට පෙර දිනයේ (සැප් 10) කාර් රථ 40ක් පමණ මොරටුවේ නවතා එම බස් භාවිතයට ගෙන ඇත (හැන්සාඩ් වාර්තාව, 2009-09-11, 184 කාණ්ඩය, 12 කලාපය, තීරු 2521-22). 

මුල් කාලයේ දී මෙහි භාවිතයට දැක්වූ උනන්දුව අඩු නිසා ධාවනය වූයේ එක් බසයක් බව Review of Sri Lanka Transport Sector Final Report වාර්තාව (පි. 2-17) පෙන්වා දෙයි. මේ වාර්තාවේ මේ රථයක ඡායාරූපයක් ද පළ වී ඇත. මෙහි සඳහන් පරිදි ඉහත පැවසෙන ප්‍රචාරණ වැඩසටහනෙන් පසුව කාර්යබහුල වේලාවල භාවිතය 100% දක්වා ඉහළ ගොස් ඇති බව දැක්වේ. එසේම, එම වාර්තාවේ උපුටා දැක්වෙන පරිදි 2010 වර්ෂය මුල දී සිදු කළ සමීක්ෂණයකට අනුව මේ සේවය භාවිත කළ අයගෙන් 82%ක් කලින් පෞද්ගලික වාහන භාවිත කළ අය බව දැක්වේ. ඒ වන විට මේ සේවය වෙනත් මාර්ගවලට පුළුල් කිරීමට තීරණය කර තිබේ (Amal Kumarage, 2010, Review of Sri Lanka Transport Sector Final Report).

පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ 2011 කාර්යසාධන වාර්තාවේ දැක්වෙන  දැක්වෙන ආකාරයට 2011 වන විට අඟුලාන කොළඹ අතර අධි සුඛෝපභෝගී රථ 5ක් ධාවනය වී තිබේ. එහෙත්, කෙසේ වෙතත් මේ සේවාවේ වියදම ආවරණය කරන ලද්දේ සහනාධාර ලෙස බව සඳහන් කරන ඒ වාර්තාව, එය මුළු වියදමින් 50%ක් තරම් වූ බවත් මෙය සුළු පිරිසකට ගෙවන ලද බවත් කියයි. මේ නිසා මේ සේවය තවදුරටත් දීර්ඝ නොකිරීමට 2011 දී තීරණය කර ඇත (Ministry of Private Transport Services 2011 Performance Report, පි. 14-15).

2009 මාර්තු සිට ක්‍රියාත්මක වූ City Liner Coach Service සේවය 2012 අප්‍රේල් මාසයේ දී නවතා දමන ලද බව 2012 ඔක්තෝබර් මස ඉදිරිපත් කළ Interim Report from Committee on Public Enterprises (Parliamentry Series No 179) වාර්තාවේ සඳහන් වේ (පි. 34).

[පුවත්පත් වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 12-03-2009 (First ever vehicle park opens: "City Liner" coach service launch today - මෙතැනින් පිවිසෙන්න);  Daily News 13-03-2009 (No response for National Transport Policy Still - Minister - මෙතැනින් පිවිසෙන්න (මෙහි මුද්‍රිත කලාපයේ බස් රථයක් තුළ ගත් ඡායාරූපයක් ඇත)); Daily News 16-03-2009 (Park and Ride City Liner coach service launched - මෙතැනින් පිවිසෙන්න (මෙහි බස් රථයක ඡායාරූපයක් ඇත).]


(2) Super Luxury Low Floor City Bus Service (2012)


ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධි සුඛෝපභෝගී පත්ල පහත් නාගරිික බස් සේවාවක් 2012 වර්ෂයේ දී ආරම්භ කරන ලදි. මේ සඳහා වූ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර සාර්ථකව ක්‍රියාත්මක කර තිබූ ඇති බව 2012 පෙබරවාරි මාස 2 වැනි දා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන පුවතක පළ වී ඇතඒ මොරටුව - පිටකොටුව හා මීගමුව - පිටකොටුව මාර්ග ඔස්සේ ය. මගී ඉල්ලුම අනුව බස් රථ අටක් මේ මාර්ගයේ ධාවනය සඳහා සූදානම් කර තිබී ඇත. 

චීනයේ නිෂ්පාදිත මේ Micro Cars Ltd සමාගම මගින් ආනයනය කර ඇති අතර මේ සේවාව ඒ සමාගම මගින්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ. එහි සාර්ථකත්වය අනුව මාර්ග 6ක මේ සේවාව ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් ඇති බව ද  සඳහන් වේ.  

2012 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ අප ගිය කෙටි ගමනකට ලබාගෙන ඇති පහත දැක්වෙන ටිකට්පත මේ වර්ගයේ බස් රථයකින් නිකුත් කරන ලද්දකි. 



[පුවත්පත් වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 02-02-2012 (Wheels move for new super luxury low-floor city bus service - මෙතැනින් පිවිසෙන්න)]


(3) City Bus Service (2012)


2012 මාර්තු මාස 7 වන දින ආරම්භ කරන ලද මේ අධි සුඛෝපභෝගී බස් සේවාව, තෝරාගත් මාර්ගවල බස් රථ 100ක් සහිතව ශ්‍රීලංගම විසින් දියත් කරන ලද්දකි. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම‌ගේ සහභාගිත්වයෙන් යුතුව මොරටුවේ දී මේ සේවාව ආරම්භ කරන ලදි. 

මේ සඳහා තෝරාගෙන තිබූ මාර්ග වූයේ මොරටුව-කොළඹ, මීගමුව-කොළඹ, නිට්ටඹුව-කොළඹ, හංවැල්ල-කොළඹ, කඩුවෙල-කොළඹ, හෝමාගම-කොළඹ හා කැස්බෑව-කොළඹ යන මාර්ගය. මේ සේවාවේ ගමන් ගාස්තුව සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් විය.

මේ බස්රථ නඩත්තු කටයුතු සඳහා කටුබැද්දේ ඩිපෝවක් පිහිටුවීමට කටයුතු සූදානම් කර තිබිණි. 

[පුවත්පත් වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 07-03-2012 (One hundred new super luxury buses for main routes - මෙතැනින් පිවිසෙන්න)]


(4) City Bus (2021)


2021 ජනවාරි මස 15 වැනි දින මෙම City Bus සේවය ආරම්භ කරන ලද්දේ කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී (Makumbura Multimodal Center) එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ද සහභාගිත්වයෙන් පැවති උත්සවයක දී ය. ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ ද ඊට සහභාගි විය. මේ අවස්ථාවේ දී ඇප් එකක් ද හඳුන්වා දී ඇත.

පෞද්ගලික වාහන රථ ගාලක නවතා තබා මේ බස්රථවල ගමන් කිරීමට සූදානම් කර තිබූ බැවින් මේ සේවය 'Park & Ride City Bus Service' නමින් ද හඳුන්වා දී ඇතත් එය City Bus ලෙස වඩා ප්‍රකට විය. 

මෙම සේවාවේ ද බස් ගාස්තුව සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයකි. පෙ.ව. 6 සිට 9 දක්වාත් ප.ව. 4 සිට 9 දක්වා සෑම මිනිත්තු 15කට වරක් බසයක් ධාවනය විය. එසේම, පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා කාලය තුළ මිනිත්තු 30කට (තවත් වාර්තාවකට අනුව මිනිත්තු 25කට) වරක් බස් රථයක් ධාවනය වීමට නියමිත විය. දිනකට බස් ගමන් වාර 64කි. බස් ගමන් මාර්ග හතරක් සැලසුම් කර තිබිණි. සීමිත නැවතුම් ප්‍රමාණයක පමණක් නැවැත්වීම ද විශේෂත්වයකි.

එසේම මේ බස් රථවලට මොබිටෙල් සමාගම මගින් වයිෆයි පහසුකම් ලබාදීමට ද සැලසුම් කර තිබී ඇත. 

මේ සේවාව ද තවත් මාර්ගවලට පුළුල් කිරීමට යෝජනා වී තිබිණි. කෙසේ වෙතත් එය ද පසුව නවතා දමන ලදි.

[පුවත්පත්/ විද්‍යුත් මාධ්‍ය වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 16-01-2021 (Park and Ride City Bus Service first stage launched - මාර්ගගතව නොමැත); Daily News 20-01-2021 (SLT-Mobitel Powers 'Park & Ride' city bus service - මාර්ගගතව නොමැත); Ada Derana, 15-01-2021 (Park & Ride city bus service launched to ease traffic congestion in Colombo - මෙතැනින් පිවිසෙන්න); Daily Mirror, 15-01-2021 (President launches ’’Park & Ride” bus service - මෙතැනින් පිවිසෙන්න]


අතිරේක සටහන - අධිවේගී මාර්ගවල සුඛෝපභෝගී බස් රථ සේවා


2011 නොවැම්බර් මාසයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට පින්නදූව දක්වා වූ කොටස විවෘත විය. ඊට සති කිහිපයකට පසුව මහරගම සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථ ධාවනය ආරම්භ විය. මුලින්ම ධාවනයට යොදවන ලද්දේ ශ්‍රීලංගම යටතේ වන අතර, ඒ 2012 ජනවාරි මස 3 දා ය. 

මේ සේවාව ආරම්භයේ දී මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රු. 400ක් වූ අතර, කොට්ටාවේ සිට රු. 380ක් විය. එමෙන්ම එම මාර්ගයේ බස් රථ අතරින් 40%ක් ශ්‍රීලංගම මගින් යෙදවීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මේ නිමිත්තෙන් මහරගම දී පැවති උත්සවයක දී පවසා ඇත. අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් ධාවනය ද ඊට දින කිහිපයකට පසුව ආරම්භ කරන ලදි.

[පුවත්පත් වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 04-01-2012 (Super luxury bus service begins operations on Expressway - මෙතැනින් පිවිසෙන්න & Photo on the cover page - මෙතැනින් පිවිසෙන්න); Daily News 03-01-2012 (Toning Southern Expressway - Luxury bus service starts today - මෙතැනින් පිවිසෙන්න]


සටහන - මේ පළකිරීමේ ඇතුළත් වන, පුවත්පත්වල පළ වී ඇති සියලුම පුවත්පත් වාර්තා, පුවත්පත් කියැවීමෙන් ලබාගෙන ඇත. ඒ වාර්තාවල ස්කෑන් පිටපත් ලේඛකයා සතුව තිබේ. මාර්ගගතව ඇති අවස්ථාවල දී අදාළ වෙබ් සබැඳි, අදාළ වෙබ් අඩවිවලට පිවිස අදාළ දිනවල පුවත් සෙවීමෙන් ලබාගන්නා ලදි. ඊට හේතුව වන්නේ ඒවා වැඩි ප්‍රමාණයක් සෙවුම් යන්ත්‍රවලිින් හමු නොවීම ය. වෙබ් පුවත්වලට අවසන් වරට ප්‍රවේශ වන ලද්දේ 2026-08-18 දින දී ය.

2026-08-18