Tuesday, June 3, 2014

මේ වැස්ස අමුතුද?

නිරිත දිග මෝසම සක්‍රිය වෙමින් තිබේ. මේ නිසා අධික වැසි, නායයෑම් හා ගංවතුර තත්ත්ව රටේ තැනින් තැන ඇති වී ඇත. මැයි මස අග හා ජුනි මස මුල කාලයේදී මෙබඳු තත්ත්ව ඇතිවීම එතරම් අමුත්තක් නොවේ. එය හුදෙක් මෝසම් වැස්සේ ප්‍රබලතාව මත තීරණය වේ. එහෙත් ඇතැම් අය අදහස් දක්වන්නේ මෙවැන්නක් කිසිදා අත් නොවින්දාක් සේය.

මේ ගැන අදින් වසර 10කට පෙර 2004 ජුනි 23 දින මා විදුසර පුවත්පතට ලියූ ලිපියක කොටසක් උපුටා දක්වනු කැමැත්තෙමි. (http://www.vidusara.com/2004/06/23/feature3.html - කපුටා අකුරින් පළ වේ)

“සෑම වසරක ම පරිසර දිනයට ටික දවසකට පෙර අපේ රටේ පරිසරය රැකීමේ තත්වයට නිදසුන් සපයන සිදු වීමක් දැකිය හැකි වේ. ඒ මැයි මාසය අවසානයේ හෝ ජූනි මස මූල හටගන්නා ගංවතුර සහ නාය යෑම් ය. මෙවර ද ගංවතුර ඇති වුණු අතර එය වෙනත් වසරවලට වඩා අඩු විය. (ඒ ඇතැම්විට වර්ෂාපතනය අඩූ වූ නිසා ද විය හැකි ය.)“

මේ ලිපිය සමග පළ කරන ලද, ප්‍රවීන කාටූන් ශිල්පී විජේසෝමයන් විසින් 1991 වර්ෂයේදී දිවයින පුවත්පතට අඳින ලද කාටූනයෙන් මේ කාලයේ වැස්ස කෙතරම් සුලභද යන්න පැහැදිලි වේ. ඒ සඳහා මා ලියූ උදෘතය මෙසේය
“දිවයින පූවත්පතේ ප්‍රවීණ කාටූන් ශිල්පී ඩබ්ලිව්. විජේසෝම 1991 වසරේදී පළ කළ කාටූනයක් මේ සමඟ දැක්වේ. ඉන් වසරකට පසුව 1992 වර්ෂයේ ජූනි මස 5 වන දා කොළඹ හා තදාසන්න පෙදෙස්වලට ඇති වූ ඓතිහාසික මහා ගංවතුර අපි අපේ පරිසරය පිළිබඳ ව නොසලකා හැර ඇති ආකාරය පෙන්වා දුන්නේ ය“
 (මෙවැනි මහා ගංවතුරක් 1992න් පසුව කොළඹට යළිත් බලපෑවේ මතකයේ හැටියට 2003දී පමණය)






අවාසනාවකට මෙන් අධික වැස්ස නිසා ඇතිවන මේ ගංවතුර දරුණු කිරීම සඳහා හේතුවන මිනිස් කටයුතු මේ කාලය ඇතුළත තවත් උග්‍රවී ඇති බවට සැකයක් නැත. 2004 විදුසර ලිපියේ මම මෙසේ සඳහන් කළෙමි.

“මේ (ගංවතුර) සඳහා මූල් වන හේතු අතර වනාන්තර විනාශ කිරීම, දළ බෑවූම් සහිත කඳුවල වගා කිරීම, නිසි ආරක්ෂිත උපක්‍රම රහිතව කෙරෙන වගා නිසා සිදු වන පාංශු ඛාදනය ආදිය වේ. මේවා අප විසින් ම කර ගන්නා ලද දේ වේ. ... තෙත් බිම් ගොඩ කිරීම හා පොලිතීන් ආදියෙන් ජලය බැස යන මාර්ග අවහිර වීම ඊට මූලික හේතුව වූ බව පැවසිනි. එහෙත් මේ දක්වාත් තෙත් බිම් ගොඩ කිරිම හෝ පොලිතීන් භාවිතය පාලනය කිරීම සාර්ථක වී නැත.“ 

මේවා අවම කර ගැනීමට අප සමත්ව නොමැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.


තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා පහසුවෙන් පැරණි පුවත්පත් අන්තර්ජාලයෙන් සොයාගත හැකි දිවයින පුවත්පතේ පසුගිය වසර 4ක නිදසුන් දක්වනු කැමැත්තෙමි.

2013 වැස්ස
- ජුනි 01 - රට පුරාම මහවැසි (http://www.divaina.com/2013/06/01/news02.html)

2012 වැස්ස
- මැයි 28 - දක්‌ෂිණ අධිවේගී මාර්ගය දෙපස ගම්බිම් ජලයෙන් යටවේ (http://www.divaina.com/2012/05/28/news07.html)

2011 වැස්ස
- මැයි 30 - විපතට පත් පිරිස 24,000 කට අධිකයි- වැසි විපත්වලින් පුද්ගල මරණ 8ක්‌ (http://www.divaina.com/2011/05/30/news01.html)
- මැයි 28 දිවයිනේ තැනින් තැන මහ වැසි (http://www.divaina.com/2011/05/28/news01.html)

2010 වැස්ස
- මැයි 22 - ගංවතුර සහ නායයැම් හේතුවෙන් මියගිය ගණන 20 දක්‌වා නගී (http://www.divaina.com/2010/05/22/news01.html)