Showing posts with label Environmental Conservation. Show all posts
Showing posts with label Environmental Conservation. Show all posts

Wednesday, December 30, 2020

Crudia zeylanica - දුලබ ආවේණික ශාකයක කතාව

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.30, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/12/30/feature1.html
(විදුසර මුල් ලිපිය යාවත්කාලීන කර ඇත.)



Crudia zeylanica යනු ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි හෙවත් අපේ රටට ආවේණික ශාකයකි. එයට ප්‍රකට සිංහල නාමයක් නොමැති අතර, එය සුලභ ශාකයන් නොවීම ද මීට හේතුවක් වූ බව පෙනෙයි. (මෙම ශාකයට පණු කරඳ ලෙස  නමක් භාවිත වන බව භාතිය ගොපල්ලව මෑත දී සඳහන් කර ඇත.) මේ වන විට ඊට Sri Lanka Legume නම්‍ ඉංග්‍රීසි නම භාවිත වෙයි. කලක් මෙරටින් මෙන්ම ලෝකයෙන් ද වඳ වී ගොස් ඇති බව සිතූ මේ ශාකය යළිත් මෑතක දී හමු විය. එසේ අනාවරණය කරගන්නා ලද මේ විශේෂයේ ශාකයක් පිහිටා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවදානමකට ලක්ව ඇති නිසා අද වන විට මේ ගැන ගැන යම් සාකච්ඡාවක් ඇති වී තිබෙයි.

ශාකය පිළිබඳ අතීත වාර්තා


මේ ශාකය පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි ජී. එච්. කේ. ත්වේටේස් සංග්‍රහ කරන ලද, 1864 වර්ෂයේ දී පළ වූ, Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants නම් කෘතියේ සඳහන්ය. ඒ Detarium zeylanicum නම් උද්භිද විද්‍යාත්මක නාමයෙනි. මේ ශාකය කළුතරට නුදුරු ගල්පාත ප්‍රදේශය බව ඔහු කියයි.

(රූපය - Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants, 414-15 පිටු)

මෙම ශාකයේ ලක්ෂණ අනුව Crudia zeylanica ලෙස නම් කරන ලද්දේ 1866 දී ජෝර්ජ් බෙන්තම් විසිනි. ඒ රනිල ශාක කුලයේ නිවර්තන කලාපීය නව ගණ හා විශේෂ සම්බන්ධව Transactions of the Linnean Society of London සඟරාවට රචනා කරන ලද ලිපියකය. 

මේ පිළිබඳව තවත් උද්භිද විද්‍යාත්මක ප්‍රකාශන කීපයක සඳහන් වෙයි. ඒ අතර ඇති 1872 දී ප්‍රකාශිත Flora Sylvatica on Southern India නම් කෘතියේ පළමු වෙළුමේ ඇති නිදර්ශකයක රූපයක් මේ ලිපියේ ඉහළ දැක්වෙයි. එහි කර්තෘ රිචඩ් හෙන්රි බොඩොමි එම ශාකය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ගල්පාත ප්‍රදේශයෙන් පමණක් බව කියයි. 

1879 දී පළ වූ Flora of British India හි දෙවැනි වෙළුමේ මේ ශාකය ගැන සඳහන් කරන ජේ. ජී. බේකර් එය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ප්‍රදේශයකින් බව සඳහන් කරයි. 

(රූපය - Flora of British India, 2 වෙළුම, 271 පිටුව)


1880 සිට 1896 දක්වා කාලයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි හෙන්රි ට්‍රයිමන් තමා මේ ශාකය නිරීක්ෂණය කළේ 1861 හා 1863 වර්ෂවල දී කළුතර දිස්ත්‍රික්කෙය් ගල්පාත ප්‍රදේශයෙන් ලබාගන්නා ලද නිදර්ශක දෙකෙන් පමණක් පවසයි. ඒ ඔහුගේ Handbook to the Flora of Ceylon කෘතියේ 1894 වර්ෂයේ දී පළ වූ දෙවන වෙළුමේය. මෙම ශාකය ඉතා දුර්ලභ බවත් ආවේණික ශාකයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

(රූපය - Flora of Ceylon, 2 වෙළුම, 113 පිටුව)


Revised Handbook to the Flora of Ceylon කෘතියේ හත්වැනි වෙළුමේ සඳහන් වන අන්දමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයෙන් ලබාගත් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේ ඇත. එය 1911 පෙබරවාරි 20 දින එකතුකරන ලද බව ද සඳහන් වෙයි. මේ පත්‍රිකාව මත පසුව යමෙකු විසින් කපා දමන ලද බවට අරුත් දෙන 'cut down' යනුවෙන් සඳහන් කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ අනුව පෙනෙන්නේ මේ ශාකය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වවා තිබී පසුව කිසියම් හේතුවක් නිසා කපා දමන ලද බවයි. එය එම ශාකය මිය යෑම නිසා හෝ කඩාවැටීම නිසා වීමට ඉඩ තිබෙයි.

මේ ශාකයේ නිදර්ශක කීපයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තිබී ඇති බව පෙනෙයි. Loris සඟරාවේ 6වන වෙළුමේ අංක 2 කලාපයට 1982 දී මහාචාර්ය සී.වී.එස්. ගුණතිලක හා මහාචාර්ය ඩී.එස්.ඒ. විජේසුන්දර විසින් ‘ශ්‍රී ලංකාවේ කාෂ්ඨීය ශාක විශේෂවල විතැන් සංරක්ෂණය (Ex-situ conservation of woody plant species in Sri Lanka) යන මාතෘකාවෙන් රචනා කරන ලද ලිපියේ දැක්වෙන පරිදි ලංකාවේ දැකිය හැකි ආවේණික ශාක පහකම වාර්තා වී ඇති අවසන් වාසස්ථානය වී ඇත්තේ පේරාදෙණිය උද්භිද උද්‍යානයයි. මේ ශාක අතරින් එකක් වන්නේ අප සඳහන් කරන Crudia zeylanica ශාකයයි. (එම ලිපියේම සඳහන් පරිදි ඉන් එක් ශාකයක් වන Mesua stylosa ශාකය ඒ කාලයේදීම බුලත්සිංහල වගුරු වනාන්තරයෙන් නැවත සොයාගැනීමට හැකි විය.). මෙම ලිපියේ විතැන් සංරක්ෂණයේ වැදගත්කම හා උද්භිද උද්‍යාන සතු කාර්යභාරය පැහැදිලි කර දී ඇති ලිපියකි.

ශාකයේ සංරක්ෂණ තත්ත්වය


19 වැනි සියවසේ දෙවන භාගයේ දී ට්‍රයිමන් විසින් දුර්ලභ ශාකයක් ලෙස සදහන් වූ මේ ශාකය පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නේ පසුකාලයක දී ය. 1993 වර්ෂයේ තාවකාලික ලේඛනයේ දී මේ ශාකය තර්ජනයට පත් ශාකයක් ලෙස ද, 1999 දී IUCN Sri Lanka මගින් ප්‍රකාශිත 1999 List of Threatened Fauna and Flora of Sri Lanka ට අනුව ඉහළ තර්ජනයක් ඇති ශාක විශේෂයක් ලෙස ද නම් කර ඇත.

අන්තර්ජාතික රතු ලයිස්තුවේ දත්ත අනුව මේ ශාකය වඳ වී ගිය ශාකයක් ලෙස නම් කරන ලද ඇගැයීම 1998 වර්ෂයේ දී සිදු කර ඇති එකකි.

2007 වර්ෂයේ දී IUCN Sri Lanka හා පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka වාර්තාවේ මෙම ශාකය ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය ශාකයක් ලෙස සඳහන් වෙයි. 2012 ජාතික රතු ලැයිස්තුවේ ද (National Red List 2012 of Sri Lanka) මෙය සඳහන් වන්නේ වඳ වී ගිය ශාකයක් ලෙසය.


නැවත සොයාගැනීම


මේ ශාකය පසුගිය වර්ෂයේදී අනාවරණය කරගෙන ඇත්තේ සැලකිය යුතු කාලයකට පසුව බව පෙනෙයි. දැනගැනීමට ඇති ආකාරයට මෙහි ශාකයේ පැළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරගැනීමට  මේ වන විට හැකියාව ලැබී තිබෙයි. එබැවින් එය යෝග්‍ය පරිසර තත්ත්ව ඇති ස්ථානවල සංරක්ෂණය සඳහා පියවර ගත හැකිිිය. මේ ශාකය වාර්තා වන ප්‍රදේශවලින් ද හමුු වී ඇති බව ඒ පිළිබඳ අධයයනය කළ පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. ඒ පිළිබඳ සිදුකරන ලද ගවේෂණ ගැන ඉදිරියේදී අපට අසන්නට ලැබෙනු ඇත.


විදුසර මුල් ලිපිය මෙහි දී යාවත්කාලීන කර ඇත. අවසන් යාවත්කාලීන කිරීම 2021.01.20 දින දීය.

Saturday, November 28, 2020

තල්මහ රැකගැනීමට නැව් ගමන්මග වෙනස්‌ කරමු ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 26.08.2015 - Vidusara

http://www.vidusara.com/2015/08/26/feature1.html


සාගරයේ විශාලතම සත්ත්ව විශේෂ අතරට ගැනෙන්නේ තල්මහ විශේෂ ය. මේ අතරින් නිල් තල්මහ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු වී ඇත්තේ ලෝකයේ වෙසෙන විශාලතම සත්ත්වයා ද වන නිසා ය. ශ්‍රී ලංකාව අවට ඇති සුවිශේෂ තත්ත්ව නිසා මෙරට අවට සාගරයේ ද තල්මහ විවිධත්වය ඉහළ මට්‌ටමක පවතී. නිල් තල්මහ, බ්‍රයිඩ් ගේ තල්මහ, මන්ද තල්මහ වැනි තල්මහ විශේෂ දැකිය හැකි සාගර ප්‍රදේශ ගණනාවක්‌ අපේ රට අවට මුහුදේ පවතියි. මේ ආශ්‍රිතව තල්මහ නැරඹීම අද වන විට සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු ආදායම් ලබන අංශයක්‌ ලෙස වර්ධනය වී තිබේ. එසේ ම නිල් තල්මහ නැරඹීම සඳහා ලෝකයේ සුදුසු ම ස්‌ථානයක්‌ ලෙස ශ්‍රී ලංකාව ඇතැම් විට හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත් තල්මහ ගෙන් ගහන වූ අපේ රටේ දකුණු මුහුදු තීරය තරමක්‌ කාර්යබහුල නාවික ගමන් මාර්ගයක්‌ වේ. මේ හේතුව නිසා ඇතැම් විට තල්මහ නැව්වල ගැටුණු අවාසනාවන්ත අවස්‌ථා සම්බන්ධව අපට විටින් විට අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව මෙරට වෙරළ වෙත ගොඩගසන තල්මහ දේහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ නැව්වල ගැටී තුවාල වී මිය ගිය සතුන් ගේ දේහ වේ. එසේ ම මෙසේ නැව්වල ගැටුණු තල්මහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ නිල් තල්මහ බව වාර්තා වී තිබේ. මේ අනුව තල්මහ ඝනත්වය ඉහළ වීම හා ඉහළ නැව් ගමනාගමනයක්‌ තිබීම නිසා අපේ රටට දකුණින් වූ මුහුදු ප්‍රදේශය තල්මහ හා නැව් අතර ගැටුම් ඇති වීමට අවස්‌ථාව ඉහළ වූ ප්‍රදේශයකි. මෙසේ නැව් සමග ගැටීමෙන් මිය යන සතුන් ගේ මරණ සියල්ල ම නිසි ලෙස වාර්තා නො වන බැවින් සත්‍ය වශයෙන් පවත්නා තත්ත්වය මීට වඩා බරපතළ විය හැකි ය.

නැව්වල ගැටීම නිසා තල්මහ මිය යැම හුදෙක්‌ ඉන්දීය සාගර කලාපයට පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස තල්මහ සතුන් දැකිය හැකි බොහෝ ප්‍රදේශවලට පොදු වූ ගැටලුවකි. මේ නිසා ජාත්‍යන්තර සාගර සංවිධානය (IMO) සිටේසියානුවන් හා ගැටීම් වැළැක්‌වීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් සඳහන් වන ලේඛනයක්‌ ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ නැව් ගමනාගමනයේ දී යොදාගැනීම පිණිස ය.

මේ අතර ශ්‍රී ලංකාව අවට කලාපයේ පවත්නා නැව්-තල්මහ ගැටුම සම්බන්ධව ජාත්‍යන්තර තල්මහ කොමිසමේ (IWC) විද්‍යාත්මක කමිටුවේ අවධානය වසර කිහිපයකට පෙර පමණ යොමු වූ අතර, එමගින් මෙරට රජයේ අවධානය මේ කෙරෙහි යොමු කිරීමට ක්‍රියා කරන ලදි. එසේ ම නාවික ගැටුම් නිසා තල්මහ ගහනයට ඇති වන බලපෑම් සම්බන්ධව ජාත්‍යන්තර මට්‌ටමේ අධ්‍යයනයක්‌ කිරීම පිළිබඳව සැලකිල්ලක්‌ යොමු වූයේ ද මේ තත්ත්වයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. ඒ අනුව මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයක්‌ Regional Studies in Marine Science නම් ප්‍රකාශනයෙහි පළ වීම සඳහා පිළිගෙන ඇත (DOI: 10.1016/j.rsma.2015.08.002). එහි දී අනාවරණය වී ඇති කරුණු අපේ අද අවධානයට ලක්‌ වේ.

අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වූ කරුණු

මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වූ ප්‍රධාන කරුණු දෙකක්‌ මෙහි දී හඳුනාගත හැකි ය. ඉන් පළමුවැන්න වන්නේ ශ්‍රී ලංකාවට දකුණින් වූ සාගර කලාපයේ නිල් තල්මහ ව්‍යාප්තිය පිළිබඳව කරුණු අනාවරණය කරගැනීම ය. දෙවැනි වැදගත් කරුණ වන්නේ මේ තල්මහ ව්‍යාප්තව ඇති ප්‍රදේශයේ හා ඉන් එපිට මුහුදු ප්‍රදේශය හරහා වැටී ඇති නාවික ගමන් මාර්ගයේ නාවික කටයුතු පිළිබඳව සොයා බලා ඉන් තල්මහ සතුන් ගේ ව්‍යාප්තියට බලපාන අකාරය අනාවරණය කරගැනීම ය.

2014 පෙබරවාරි හා 2015 අප්‍රේල් කාලය අතර විවිධ දේශගුණ තත්ත්ව පැවැති කාලවකවානුවල දී (අන්තර්මෝසම්, ඊසානදිග මෝසම් හා නිරිතදිග මෝසම්) දින 29ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ සාගරයේ තල්මහ දෘෂ්‍ය හා වනි රේඛා අනුච්ඡදයක්‌ ඔස්‌සේ තල්මහ නිරීක්‌ෂණය කිරීම මෙහි දී මූලික වශයෙන් සිදු කර තිබේ. මෙහි දී උතුරු අක්‌ෂාංශ 5° 28' හා 5° 53' අතර කලාපයේ නැව් ගමනාගමනයට සාපේක්‌ෂව තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව සලකා බලා ඇති බව පෙනේ. එA අනුව මේ අධ්‍යයන ප්‍රදේශයට නාවික ගමනාගමන මාර්ගයට උතුරින් නාවික සැතපුම් තුනක්‌ ද, දකුණින් නාවික සැතපුම් 15ක්‌ ද ලෙස එය සම්පූර්ණයෙන් ම ආවරණය වී තිබේ.

මේ අනුව කිලෝමීටර් 3268ක්‌ පමණ දීර්ඝ ප්‍රදේශයක්‌ පුරා සිදු කරන ලද නිරීක්‌ෂණවලින් පෙනී ගොස්‌ ඇති ආකාරයට නිල් තල්මහ කණ්‌ඩායම් 193ක්‌ පමණ නිරීක්‌ෂණය කර ඇති අතර, මේ එක්‌ කණ්‌ඩායම දැකිය හැකි සතුන් ගේ මධ්‍යන්‍යය 1.46ක්‌ පමණ වී ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, නිරීක්‌ෂණය කර ඇති මළු තල්මහ ගණන 281ක්‌ පමණ වේ. මේ අතර නිල් තල්මහ ඉහළ ම ඝනත්වයක්‌ හමු වී ඇත්තේ වර්තමාන නාවික ගමන් මාර්ග පිහිටා ඇති ප්‍රදේශවල ම වීම විශේෂත්වයකි. එය ඇතැම් විට කිලෝමීටරයකට 0.1ක්‌ පමණ තරම් උපරිමයක්‌ දක්‌වා ළඟා වී තිබීම වැදගත් ය. එය වාර්තා වී ඇත්තේ බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගයේ ය.

නැව් ගමන් මාර්ග සම්බන්ධව ගත් විට බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය හා නැෙගනහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය යන දෙක ම ලෝකයේ ඇති වඩාත් කාර්යබහුල හා නැව් ඝනත්වයෙන් ඉහළ ම නාවික මාර්ග අතර වේ. ඒ අනුව මේ නැව් ගමන්මාර්ග දෙකේ පිළිවෙළින් වසරකට කිලෝමීටරයකට 1090ක්‌ හා 810ක්‌ පමණ නැව් ඝනත්වයක්‌ දැකිය හැකි ය. මේ නැව් මාර්ගයේ නැව් ගමනාගමනය මෑත කාලයේ දී ඉහළ ගොස්‌ තිබේ. 1993-2002 අතර කාලයේ මේ ප්‍රදේශයේ පැවැති නැව් ගමනාගමනයට වඩා 2003-2012 අතර කාලයේ දී නැව් ගමනාගමනය 300%කින් පමණ ඉහළ ගොස්‌ ඇති බව වාර්තා වේ. මේ වර්ධනය අත්ලාන්තික්‌ හා පැසිෆික්‌ යන සාගර ප්‍රදේශවලට වඩා ඉහළ මට්‌ටමක පවතී.

පිළියමක්‌ සෙවීම

මේ අනුව නිල් තල්මහ ඉහළ ඝනත්වයක්‌ ශ්‍රී ලංකාවට දකුණින් පිහිටා ඇති අධික නැව් ගමනාගමනයක්‌ ද ඇති නාවික ගමන් මාර්ගයක දැකිය හැකි ය. එය මේ සතුන් හා නැව් අතර ගැටුම් ඇති වීම කෙරේ බලපාන කරුණකි. මේ නිසා මේ තත්ත්වය විසඳීම සඳහා යෝග්‍ය පිළියමක්‌ සොයාබැලීම ද වැදගත් ය.

තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව තත්ත්වය හඳුනාගෙන ඇති බැවින් මේ තත්ත්වයට කිසියම් පිළියමක්‌ ද මේ අධ්‍යයනය තුළින් ම පැහැදිලි වී තිබීම වැදගත් කරුණකි. උක්‌ත පර්යේෂකයන් විසින් යෝජනා කෙරෙන පරිදි වර්තමාන නැව් ගමන් මාර්ගය තවත් නාවික සැතපුම් 15ක්‌ පමණ දකුණු දෙසට ගෙන යැමෙන් මේ තත්ත්වයට පිළියමක්‌ ලැබේ. එසේ කළ හැකි නම්, වර්තමානයේ දී නිල් තල්මහ මුහුණ දී ඇති අවදානම 95%ක්‌ පමණ තරම් අඩු කරගත හැකි ය. එහෙත් එවැනි පියවරක්‌ ගත හොත් නැව් ගමනාගමනයට කිසියම් ආර්ථික බලපෑමක්‌ ද ඇති වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ නිසා ප්‍රධාන නාවික ගමනාන්තවලට ඇති දුර ප්‍රමාණය ඉහළ යයි. නැව් ගමන් මාර්ගය වෙනස්‌ කළ හොත් රතු මුහුද දෙසට හා එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 5කින් පමණ ද, ඉන්දියාවේ බටහිර වෙරළට හා අරාබියේ ගල්ෆ් ප්‍රදේශයට යන එන නැව්වල මුළු දුර නාවික සැතපුම් 9කින් ද ඉහළ යා හැකි ය. අනෙක්‌ අතට කොළඹට යන හෝ එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 12කින් පමණ ඉහළ යා හැකි ය. මේ දුර ඉහළ යැම සාපේක්‌ෂව අඩු බව පෙනේ. මේ පර්යේෂකයන් යෝජනා කරන විසඳුම කෙතෙක්‌ දුරට ජගත් මට්‌ටමේ නාවික අධීකාරීන් විසින් අනුමත කෙරෙනු ඇති ද යන්න අපට අනාගතයේ දී දැකිය හැකි වනු ඇත.

එසේ ම මේ සාගර ප්‍රදේශයේ දැකිය හැකි වෙනත් තල්මහ විශේෂ සම්බන්ධව ද වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන තවත් කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ ප්‍රදේශයේ දී බ්‍රයිඩ් ගේ තල්මහ (Bryde's whale) හා මන්ද තල්මහ (Sperm whale) මෙවැනි තවත් විශේෂ අතර වේ.

අනෙක්‌ අතට මෙසේ තල්මහ නැව්වල ගැටීම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්‌ ද මේ වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව පැටවුන් හා තරුණ වියේ පසු වන සතුන් ගේ ගැටීම් ඉහළ යැම එවැනි එක්‌ තත්ත්වයකි. මීට හේතු විය හැකි කරුණු අතර නැව් නිසා ඇති වන අනතුරු සම්බන්ධව මේ සතුන්ට එතරම් අවබෝධයක්‌ නොමැති වීම හෝ වැඩි කාලයක්‌ සාගරය මතුපිටට ආසන්නව ගත කිරීම දැක්‌විය හැකි ය.

මේ පර්යේෂණය සඳහා තිලක්‌ ප්‍රියදර්ශන හා සමීර සධුසංඛ රන්දගේ යන ශ්‍රී ලාංකික පර්යේෂකයන් ද, අබිගේල් ආලිංග්, සුසානා කල්දේරාන්, ජොනතන් ගෝඩන්, රසල් ලීපර් හා ලින්ඩ්සේ පෝටර් යන විදේශීය පර්යේෂකයන් පිරිස ද සම්බන්ධ වී ඇත.

http://www.vidusara.com/2015/08/26/feature1.html 

Thursday, July 23, 2020

රැකගත යුතු අවශේෂ කැලෑ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.07.22, පි. 4 (Vidusara)



පසුගියදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව කටයුතු සිදුවුවහොත් රටේ වනාන්තර අතරින් සැලකිය යුතු ප්‍රමාණයක අනාගත පැවැත්ම සඳහා යම් තර්ජනයක් ඇති වී තිබෙන බවට වන සාකච්ඡාවක් මේ වන විට දැකිය හැකිය. මේ සඳහා පරිසරවේදීන්, පරිසර සංවිධාන, විද්වතුන් මෙන්ම රජයේ ආයතන වෘත්තීය සමිති ද සම්බන්ධ වී ඇත.

2020 ජුලි මස 01 වන දා පැවති කැබිනට් රැස්වීමේදී “රජයේ අවශේෂ කැලෑ වශයෙන් සලකනු ලබන ඉඩම් දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමේ අවශ්‍යතාව” යන මැයෙන් සඳහන් වන අමාත්‍ය මණ්ඩල තීරණයේ සාරාංශය මෙසේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනයට නියම කර ඇති රජයේ අවශේෂ කැලෑ වශයෙන් හඳුන්වනු ලබන ඉඩම්, පරිසර හා වනජීවී කටයුතුවලට බාධාවක් නොවන පරිදි හා ඉඩම්වල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් තාවකාලිකව වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි ඒ සඳහා වන බලතල දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා දීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස පරිසර සහ වනජීවී සම්පත් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටීම එදා ගත් තීරණයයි. මෙවැනි ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ලෙස දක්වා ඇත්තේ චක්‍රලේඛයේ විධිවිධාන පරිදි එම ඉඩම් කිසියම් වෙනත් පරිහරණ කටයුත්තක් සඳහා යොදා ගත යුතු වන්නේ නම් ඒ සඳහා දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බැවින් එකී අවශේෂ කැලෑවල හේන් ගොවිතැන් වැනි කටයුතුවල යෙදෙන ගොවීන් දැඩි අපහසුතාවන්ට පත් වී ඇති අතර එකී ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට බාධාවක් වී තිබීමය.

කෙසේ වෙතත් ඉන්පසුව පැවැති කැබිනට් රැස්වීම්වලදී මේ ගැන යළි සාකච්ඡාවක් ඇති වූ බවක් වාර්තා මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. කෙසේ වෙතත් ආරක්ෂිත ප්‍රදේශ හා මුඩු ඉඩම් පිළිබඳ සොයා බැලීම සඳහා කිසියම් කමිටුවක් පත් කර ඇති බවක් පසුගිය සතියේ ඉරිදා පුවත්පතක වාර්තා වී තිබිණි.


රජයේ අවශේෂ කැලෑ යනු


මේ කියන අවශේෂ කැලෑ හෙවත් වෙනත් රජයේ වනාන්තර (other state forests) යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය ආඥා පනත් යටතේ පාලනය නොකරන ලද කැලෑය. වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් 2001.08.10 දින නිකුත් කරන ලද අංක 05/2001 චක්‍රලේඛයේ විධිවිධාන පරිදි මේ අවශේෂ කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලදි. 

අපේ රටේ වනාන්තරවල පාලනය කලින් කල වෙනස් වූ ආකාරය වන සම්පත් සංරක්ෂකයින්ගේ වෘත්තීය සංවිධානය විසින් පැහැදිලි කර ඇත. නූතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1887 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාව පාලනය වූ කාලයේදීය. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් 1904 වර්ෂයේ දී මෙරට සියලුම වනාන්තරවල භාරකාරිත්වය වන සංරක්ෂකට යටතට පත් කරන ලදි. එහෙත් 1934 දී එය වෙනස් කරන ලද අතර, දිසාපති හා වන සංරක්ෂක යන දෙපාර්ශ්වයම කැලෑ පාලනය පවරන ලද අතර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම ඒ පාර්ශ්ව දෙකම සිදු කළේය. ඉන්පසු 1952 වර්ෂයේ දී වියළි කලාපයේ අක්කර 500කට (හෙක්ටයාර 200) හා අනිකුත් ප්‍රදේශවල අක්කර 50කට (හෙක්ටයාර 20) වඩා ප්‍රමාණයෙන් අඩු අවශේෂ කැලෑ පාලනය කිරීම දිසාපතිවරුන් යටතේ රදවා ඉතිරි සියලු කැලෑ වන සංරක්ෂකගේ පාලනයට යටත් කරන ලදි. එහෙත් 1998 පමණ වන විට වනාන්තර පාලනයේ දී ඇති වූ තිබූ ගැටලු නිසා ජනාධිපතිනියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ ඇති කැලෑ බිම් ප්‍රමාණය සීමා කරන ලදි. ඒ අනුව වියළි කලාපයේ අක්කර 200කට (‌හෙක්ටයාර් 80) හා තෙත් කලාපයේ අක්කර 20 (හෙක්ටයාර් 8) කට වඩා ප්‍රමාණයෙන් අඩු වනාන්තර පමණක් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට පත් කරමින් අංක 05/98 දරණ චක්‍රලේඛය, 1998.07.01 දින වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය නිකුත් කළේය. මේ තීරණය වෙනත් රාජ්‍ය ආයතනවල දැනුවත්ව සිදුකරන ලද්දකි.

වනාන්තරවල ආරක්ෂාව උදෙසා 5/2001 චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ පැවති සියලු අවශේෂ වනාන්තරවල කළමනාකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරමිනි. ඒ අනුව එම අවශේෂ කැලෑ ජාතික වන ප්‍රතිපත්තියට අදාළව කළමනාකරණය කිරීම, වැඩිදියුණු කිරීම හා ආරක්ෂා කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලදි. ඒ වනාන්තරවල විද්‍යාත්මක කළමනාකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද නමුත්, ඒවායේ ආරක්ෂාව සඳහා දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට වන ආඥා පනත යටතේ පැවරී ඇති බලතල ක්‍රියාත්මක කළ හැකි විය. එසේම යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සදහා ඒවාට අයත් යම් ඉඩමක් නිදහස් කරගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාපිළිවෙතක් ද හදුන්වා‌දෙන ලැබ තිබිණි.

ඉන් අනතුරුව 2006 වර්ෂයේදී නිකුත් කරන ලද 02/2006 චක්‍රලේඛය මගින්, සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති, එහෙත් වනාන්තර ලක්ෂණ නොදරන ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දීමේ නව ක්‍රමවේදයක්ද පවතී. එබැවින් 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පවතී ද යන්න ගැටලුවකි.


මේවා රැකගත යුත්තේ ඇයි?


ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් වනාන්තරවලින් ආවරණය වී ඇත්තේ 29.7%ක් පමණ ප්‍රදේශයක් පමණකි. එය හෙක්ටයාර ලෙස ගතහොත් මිලියන දෙකක් පමණ වේ. වන සංරක්ෂණ ආඥා පනත හා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත ප්‍රදේශ ලෙස පවත්නා වනාන්තර හැර තවත් වනාන්තර හෙක්ටයාර 694,000ක් පමණ මීට අයත් වෙයි. අප මාතෘකා කරගත් අවශේෂ හෙවත් වෙනත් වනාන්තර අයත් වන්නේ මේ ප්‍රමාණයටය. එම ප්‍රමාණය ලංකාවේ මුළු වනාන්තර බිම් ප්‍රමාණය අතරින් තුනෙන් පංගුවක් පමණ වෙයි.
මේ අවශේෂ වනාන්තර අතර බෙහෙවින් වැදගත් පරිසර පද්ධති පවතී. විද්‍යාත්මක පර්යේසණවලින් හඳුනාගෙන ඇති පරිදි ඇතැම් ස්ථානීය ආවේණික විශේෂ පවා මේ අවශේෂ කැලෑවල දැකිය හැකිය. එබැවින් මේ කැලෑවල වැදගත්කම ගැන ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ පිරිස් දැනුම්වත් වී ඇත. 

මේ චක්‍රලේඛයේ නෛතික භාවය තහවුරු වූ හා ඒ නිසාම ආරක්ෂා කරගත හැකි වූ වෙනත් රජයේ වනාන්තර පිළිබඳව මෑත කාලීනව ලැබුණු අධිකරණ තීන්දු කීපයක්ද තිබෙයි. නිදසුනක් ලෙස ගතහොත් මින්නේරියට නුදුරුව පිහිටා ඇති පටපිලිකන්ද ප්‍රදේශයේ අවශේෂ වනාන්තරයක දේශපාලන මැදිහත්වීමක් සහිතව ඉදිකරන ලද ඉදිකිරීමක් නීත්‍යනුකූල නොවන බවට තීරණය කරන ලද්දේ මේ චක්‍රලේඛයේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නොතිබූ නිසාය. (එම ඉදිකිරීම අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දී තිබෙයි.) එමෙන්ම කෝකිලායි ප්‍රදේශයේ රජයේ වනාන්තරයක මහවැලි බලධාරින්ගේ අනුමැතිය ඇතිව සිදුකරමින් තිබූ දැව හෙලීමක් සඳහා ද උක්ත චක්‍රලේඛය අනුව නිසි අවසර ලබා ගෙන නොතිබූ බව අධීකරණය හමුවේ හෙළි වීමෙන් පසුව ඒ කටයුත්තද නවතා දැමීමට සිදුවිය. ඇතැම් වාණිජ සමාගම්වලට ඉඩම් ලබාදීමට එරෙහිව අධිකරණයට ගිය පසුව ඒවා නිත්‍යානුකූල නොවූ බවත් ඒ ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතට පත් කිරීමටත් තීරණය වූයේ ද මේ චක්‍රලේඛය නිසාය. 

මේ කරුණු අනුව පෙනෙන්නේ මේ අවශේෂ කැලෑවල ආරක්ෂාව සඳහා 5/2001 චක්‍රලේඛය වැදගත් වන බවයි. ඒ දේශපාලන හා නිලධාරි මැදිහත්වීම් ඇතිව සිදුකරන ඉඩම් පැවරීම්වලට මේ චක්‍රලේඛය බාධා වන නිසාය.
අනෙක් අතට මේ චක්‍රලේඛය ඉවත් කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන සාධාරණ බියක් ඇති වීම වැළැක්විය නොහැකිය. එය හුදෙක් හේන් වගාවට හෝ ඉඩම් නැති ජනතාවට පදිංචිවීමට හා වගා කිරීමට ඉඩම් ලබාදීම පමණක් විය හැකිද? අපේ රටේ කටයුතු සිදුවන ආකාරයට ඒ ගැන සැක ඇතිවීම පුදුමයක් නොවේ. මේවායේ අවසාන අපේක්ෂාව රටේ ඉඩම් මහා පරිමාණ සමාගම්වලට ලබාදීම විය නොහැකිද? මේවා අපැහැදිලි තැන්ය. එබැවින් වඩාත් හොඳම දේ වන්නේ මේ චක්‍රලේඛය අහෝසි කිරීම වළක්වා ලීමය. ලබන මාසයට යෙදෙන මහමැතිවරණයෙන් පසුව රජය මේ ගැන කුමන පියවරක් ගනු ඇතිදැයි අවදියෙන් සිටීම පරිසර හිතැති සැමගේ වගකීම වෙයි. පරිසරයට හානිකර විය හැකියැයි විරෝධයට ලක් වූ ඇතැම් ව්‍යාපෘති නතර කරන බවට පොරොන්දු දී බලයට පැමිණි පාර්ශ්ව පවා මද කලකින් ඒවාට අනුමැතිය ලබාදුන් හැටි අපි දුටුවෙමු. එමෙන්ම ඒවා තමන්ගේ නමට ලියාගන්නට උත්සාහ කළ හැටි ද අපි දුටුවෙමු. කොළඹ වරාය නගරය පිළිබඳ සිදුවීම මීට හොදම නිදසුන වෙයි.


රජයේ පරිසර ප්‍රතිපත්තියට මෙය එකඟ ද?


වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දස වැදෑරුම් ප්‍රතිපත්තිවල නව වැන්න වන්නේ “තිරසාර පරිසර කළමනාකරණය” යන්නයි. ඒ යටතේ මෙසේ සඳහන් වෙයි. 

“ගහකොළ, ඇළදොළ සහ සතා සීපාවා මුල් කරගත් පරිසරය බැඳී ඇත්තේ අපගේ සුසුමත් සමඟ ය. එබැවින් අනාගත පරම්පරාව වෙනුවෙන් අප පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතු ය. අලුත් වන වගා සංග‍්‍රාමයක් මෙන් ම සියලූ වනාන්තර ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතු ය. යල්පිනූ නීති රාමුව වෙනස් කර සියලූ පරිසර අවභාවිතයන් නිමා කිරීම සඳහා අවශ්‍ය නීති රාමුවක් ස්ථාපනය කළ යුතු ය.” (පිටුව 3)

“භූමි පරිභෝජන ප‍්‍රතිපත්ති හා ජල කළමණාකරන ප‍්‍රතිපත්ති වල තිරසාර බව තහවුරු කරන අතරතුරම ජාතික වන වැස්ම (forest cover) 30% දකවා ඉහළ දැමීමට ක‍්‍රියාමාර්ග ගනු ලැබේ. ඒ සඳහා යලි වන වගාවන් සිදුකිරීමට සුදුසු පරිසර නිසියාකාරව හඳුනා ගැනීමට නිශ්චිත ක‍්‍රියාමාර්ග ගනු ලැබේ.” (පිටුව 64 හා 66)

අවාසනාවකට මෙන් ඉහත කී ආකාරයට 5/2001 චක්‍රලේඛය අහෝසි කළහොත් සිදුවනු ඇත්තේ මේ වන විට යම් තරමකින් හෝ ආරක්ෂිතව ඇති වනාන්තර භූමි එළි කිරීමට අවස්ථාවක් ලැබීමය. වන වගා යනු ස්වාභාවික වනාන්තරවලට විකල්පයක් නම් නොවේ. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ස්වාභාවික වනාන්තරයකින් ලැබෙන ප්‍රයෝජනය වන වගාවකින් නොලැබෙයි. එමෙන්ම, පරිසර පද්ධති සේවා සම්බන්ධයෙන්ද වන වගාවකට වඩා විශාල සේවයක් ස්වාභාවික වනාන්තරවලින් ලැබෙයි. 

මේ කරුණු අනුව පෙර සඳහන් චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය කටයුතු කළහොත් එය වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ප්‍රතිපත්තිවලට ද එකඟ නොවන බව ද පැහැදිලිය. එබැවින් මේ යෝජනාව අත්හැර දැමීම වර්තමාන රජයේ පරිසර සලකුණ යහපත්ව තබාගැනීමට වැදගත් වනු ඇත.

Tuesday, March 10, 2020

ජාතිකවාදී රාජ්‍ය හා පරිසර සංරක්‌ෂණය...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.03.04, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/03/04/feature1.html


ජාතිකවාදය (Nationalism) හා පරිසර ආරක්‌ෂාව යනු එකට යන ගමන් නො කරන සංකල්ප දෙකක්‌ බව සාමාන්‍යයෙන් පිළිගත් කරුණකි. මේ සඳහා බොහෝ දෙනා දක්‌වන නිදසුනක්‌ වන්නේ ජාතිකවාදී මතවාදයක්‌ සහිත රජයයක්‌ බලයට පත් වූ රටවල පරිසර ප්‍රතිපත්ති වෙනස්‌ වන අන්දමයි.

මේ සඳහා ඇති ආසන්න ම ජගත් මට්‌ටමේ උදාහරණය වන්නේ නූතන ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ එරට ඇති වී තිබෙන වෙනස්‌කම් ය. ඔහු බලයට පත් වීමට පෙර අට වසරක කාලයක්‌ එරට පාලනය කළ ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික ජනාධිපති බැරැක්‌ ඔබාමාගේ කාලයේ දී, ඊට පෙර ඇමෙරිකාව ගෙන ගිය පරිසර ප්‍රතිපත්තිවල යම් වෙනස්‌කම් ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව අවශ්‍ය පියවර ගැනීමට ඇමෙරිකාව ප්‍රමාද වීම දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ලෝකය ගත් උත්සාහයට බරපතළ ගැටලුවක්‌ වී තිබිණි. එහෙත් ඔබාමා පාලනය යටතේ ඒ තත්ත්වය තරමක්‌ වෙනස්‌ වී සුබවාදී ප්‍රවේශයක්‌ දැකිය හැකි විය. අවාසනාවකට මෙන් ඔබාමා පාලනය යටතේ ගත් පරිසර හිතකාමී පියවර ගණනාවක්‌ ම ආපසු හැරවීමට හෝ නවතා දැමීම සඳහා හෝ ඉන්පසුව බලයට පැමිණි ට්‍රම්ප් ක්‍රියා කළේ ය. දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව මේ වන විට ඇති වැදගත් ම එකඟතාව වන පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීම සඳහා ද ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකාව තීරණය කළේ ය. දේශීය වශයෙන් ද ඔහු ගත් ඇතැම් පියවර ද පාරිසරික වශයෙන් අහිතකර වූ බව ප්‍රකට කරුණකි.

සාමාන්‍යයෙන් ජාතිකවාදී මෙන්ම දක්‌ෂිණාංශික දේශපාලන ව්‍යාපාර පරිසරය හා සම්බන්ධව අසුබවාදී එකක්‌ බව පිළිගැනෙයි. එයට හේතුව දක්‌ෂිණාංශික පක්‌ෂ පරිසර කරුණු දෙස බලන්නේ ද ජාතික වූ හා සංස්‌කෘතික ඇසින් මෙන්ම භූමිය පිළිබඳ ඇසින් ද යන දෙකෙන් ම වන නිසා ය. මේ නිසා ඔවුන් පාරිසරික ගැටලු සම්බන්ධ ව ගන්නා ප්‍රවේශය දේශීය එකක්‌ වන අතර ජගත් මට්‌ටමේ එකක්‌ නො වේ.


ජාතික දේශසීමා ඉක්‌මවා ගිය පරිසර ගැටලු


එහෙත් සමහර පාරිසරික ගැටලු ජාතික මට්‌ටමෙන් ඔබ්බට ගිය ඒවා වෙයි. ඒවාට මිනිසුන් විසින් සකස්‌ කරගනු ලැබ ඇති දේශසීමා වලංගු නො වේ. මෙවැනි තත්ත්ව ලෝකයේ දැකිය හැකි වූයේ බොහෝ කලක පටන් ය. අම්ල වැසි මෙන්ම රටවල් හරහා ගලා යන ගංගාවල දැකිය හැකි ජල දූෂණය වැනි අර්බුද සමඟ ජාතික රාජ්‍ය ම`ගින් පාලනය කළ නොහැකි පාරිසරික ගැටලු ඇති බව ලෝකයට පැහැදිලි විය. ඒ ගැටලුවලින් පරිසරය හා ඒ ඒ රටවල ජනතාව ආරක්‌ෂා කරගැනීමට නම් ජාතික මට්‌ටමින් ඔබ්බට ගිය විසඳුම් අවශ්‍ය විය. එවැනි අවස්‌ථාවක දී ජගත් මට්‌ටමේ උත්සාහයක්‌ අවශ්‍ය විය. එම ගැටලු විසඳීමේ අරමුණ ඇති ව ගත් ප්‍රයත්න නිසා නූතන ජගත් පරිසර ව්‍යාපාරය ද ක්‍රමයෙන් වර්ධනය වූයේ ය. එහි දී බොහෝ රාජ්‍ය ස්‌වකීය දේශපාලන ප්‍රතිපත්ති කෙසේ වෙතත් ජගත් මට්‌ටමේ ක්‍රියාමාර්ගවලට අනුගත වූයේ එම ගැටලුවල බරපතළ තත්ත්වය නිසා ය.

අද දැකිය හැකි බරපතළ පාරිසරික ගැටලු වන දේශගුණ වෙනස්‌ වීම හා ඕසෝන් ස්‌තරය විනාශ වීම වැනි ගැටලු මේ සඳහා හොඳ ම නිදසුන් වෙයි. ඕසෝන් ස්‌තරය ආරක්‌ෂා කරගැනීම ලෝකයේ සියලු ම රාජ්‍ය එක්‌ ව ගත් ජගත් මට්‌ටමේ උත්සාහයක ප්‍රතිඵලයකි. ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්ති අතර ම ජගත් මට්‌ටමෙන් ඇති කරගත් එකඟතා සමඟ කටයුතු කිරීම අවශ්‍ය විය. අද වන විට දේශගුණ වෙනස්‌ වීම සඳහා ද ගෝලීය මට්‌ටමේ ක්‍රියාකාරිත්වයක්‌ අවශ්‍ය ව තිබෙයි. ඒ වර්තමාන දේශගුණ වෙනස්‌ වීමේ අහිතකර බලපෑම් ලෝකයේ සියලු රටවලට එක ලෙස බලපාන බැවිනි. එය ඒ ඒ රටවල් සිදු කරන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත ර`දා පවතින්නක්‌ නම් නො වේ. (තවමත් දැකිය හැකි දේශගුණ සංශයවාදීන් විවිධ රටවල සිටිය ද, හරිතාගාර වායු විමෝචනය වීම, මිහිතල උණුසුම් වීම හා දේශගුණ වෙනස්‌ වීම මේ වන විට පිළිගත් බරපතළ පාරිසරික අර්බුදයකි). අද අපේ රට වුව ද අද මුහුණ පා ඇති තත්ත්වය එබඳු ය - අපේ හරිතාගාර වායු දායකත්වය කෙබඳු වුවත් අපට එහි බලපෑමට ලක්‌ වීමට සිදු වෙයි. මෙවැනි තවත් ගැටලුවක්‌ ලෙස ආසියානු දුඹුරු වලාව ලෙසින් හඳුන්වන ලද ආසියානු කලාපයේ දැකිය හැකි පරිසර දූෂක වායුවලින් සමන්විත වලාව දැක්‌විය හැකි ය.


ජාතිකවාදී පරිසරවාදයක්‌?


කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ හඳුනාගෙන ඇති ප්‍රවණතා අතර පරිසර හිතවාදී ලක්‌ෂණ සහිත ජාතිකවාදී ප්‍රවණතා පිළිබඳව ද සඳහන් වේ.

පරිසර ජාතිකවාදය (Eco-nationalism) යනුවෙන් හඳුන්වනු ලබන්නේ එවැනි ලක්‌ෂණ සහිත මතවාදයකි. එය හරිත ජාතිකවාදය (Green nationalism) හෙවත් පාරිසරික ජාතිකවාදය (Ecological nationalism) යනුවෙන් ද ඇතැම් විට හඳුන්වනු ලැබේ. එහි දැකිය හැකි ලක්‌ෂණ වන්නේ ජාතිකමය ලක්‌ෂණ සහිත පරිසර දෘෂ්ටියක්‌ තිබීම ය. නිදසුනක්‌ ලෙස විදේශීය රටවලින් ආනයනය කරනු ලබන ඉන්ධන හා බලශක්‌තිය වෙනුවට විකල්පය ලෙස තම රට ඇතුළත ප්‍රමාණවත් තරම් බලශක්‌තියක්‌ ජනනය කිරීම දැක්‌විය හැකි ය. මෙසේ තම රටේ දී බලශක්‌තිය ජනනය කිරීම ම`ගින් බලශක්‌තියෙන් ස්‌වයංපෝෂිත වූ රටක්‌ ලෙස බ්‍රසීලය දක්‌වනු ලැබේ. කෙසේ වෙතත් බලශක්‌තිය ම රටේ ම නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය සඳහා ලෝකයේ සෙසු රටවල් ද උත්සාහ කර ඇතත්, එය අසාර්ථක වූ අවස්‌ථා ද දැකගත හැකි ය.

එමෙන් ම මේ ආකාරයෙන් සිදු කරන තවත් ජාතිකවාදී හා පරිසර හිතවාදී ක්‍රියාවක්‌ වන්නේ දේශීය ව දැකිය හැකි ජීවී විශේෂ හා භූදර්ශනවල වැදගත්කම හා සංකේතාත්මකව හුවා දැක්‌වීමයි. සංරක්‌ෂණ කටයුතුවල දී එවැනි දේශීය ජීවී විශේෂ හා භූ දර්ශන සඳහා ප්‍රමුඛතාව ලබා දීම දැකිය හැකි ය. මෙතෙක්‌ කල් වන වගා වැනි කටයුතු සඳහා යොදාගත් විදේශීය ශාක වෙනුවට දේශීය ශාක පමණක්‌ යොදාගැනීම දැක්‌විය හැකි ය. මෙය දේශපාලන දෘෂ්ටියකින් කෙසේ වෙතත්, පාරිසරික දෘෂ්ටියකින් සමහර රටවල් ම`ගින් ක්‍රියාත්මක කරනු ලබන්නකි. එහි පාරිසරික ප්‍රයෝජන ද බෙහෙවින් ඇත. මේ ආකාරයෙන් පාරිසරික වශයෙන් වැදගත් භූ දර්ශන ජාතිකමය වැශයෙන් වැදගත් සේ දක්‌වන අවස්‌ථා සඳහා නිදසුන් බොහෝ රටවලින් අපට ලැබේ. නිදසුනක්‌ ලෙස ඕස්‌ටේ්‍රලියාවේ පිහිටා ඇති මහා බාධක පරය දැක්‌විය හැකි ය. එය එරට විසින් සලකනු ලබන්නේ ජාතික වශයෙන් වැදගත් වූ සම්පතක්‌ ලෙස ය. එමෙන් ම සමහර රටවල් විසින් තම රටවල ජෛව විවිධත්වයෙහි සංකේතයක්‌ බඳු ජීවී විශේෂ හා පරිසර පද්ධති සඳහා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සංරක්‌ෂණ ප්‍රයත්න පවා මෙවැනි ක්‍රියාවලි සඳහා සාධක වෙයි.

පරිසර ජාතිකවාදය යම් ආකාරයකින් දේශපාලන වශයෙන් වැදගත් වූ අවස්‌ථා ඇති බව පෙන්වා දී තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් සෝවියට්‌ දේශය බිඳවැටීම සඳහා එහි සාමාජිකත්වය දැරූ විවිධ රටවල් තුළ පෙලඹවීමක්‌ ඇති කළ එක්‌ කරුණක්‌ ලෙස මෙය දක්‌වා ඇත. සෝවියට්‌ දේශය යටතේ පැවැති සමූහාණ්‌ඩු වූ එස්‌තෝනියාව, ලිතුවේනියාව හා යුකේ්‍රනය වැනි රටවල ඇති වූ නිදහස්‌ අරගල සඳහා සැලකිය යුතු බලපෑමක්‌ පාරිසරික විරෝධතා නිසා ඇති වූ බව සඳහන් වෙයි. ඒ වැඩි වශයෙන් න්‍යෂ්ටික බලයට විරෝධය පාමින් සිදු කරන ලද විරෝධතා ය. කෙසේ වෙතත් රුසියානුවන් විසින් සෝවියට්‌ සමූහාණ්‌ඩුවල සම්පත් කොල්ලකෑම හා ඒ රටවල ස්‌වාභාවික පදනම විනාශ කිරීමට කටයුතු කිරීම ද සෝවියට්‌ පාලනය Rජු ව සිදු කළ බව පෙනේ. ඒ නිසා ඇති වූ පරිසර හායනය එම සමූහාණ්‌ඩුවල ඇති වූ නිදහස්‌ ව්‍යාපාරවලට උත්තේජනයක්‌ සපයා ඇත.

කෙසේ වෙතත් පරිසර ජාතිකවාදය යන්නෙන් පරිසරය හෙවත් සොබාදහම සංස්‌කෘතික පරිසරයෙන් පිටත පවතින ව්‍යqහයක්‌ ලෙස සැලකීමක්‌ ද දැකිය හැකි ය. ඒ අනුව එය මානව සංස්‌කෘතියෙන් බාහිර වූ දෙයක්‌ වන අතර, හැකි හැම විට ම නොඉඳුල් ව හා ආරක්‌ෂිත ව තැබීමට කටයුතු කළ යුතු බවක්‌ මෙහි දී කියෑවේ. මෙවැනි ක්‍රියාවලියක්‌ දැකිය හැකි රටවල් සඳහා නිදසුන් ලෙස ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය වැනි රටවල් දක්‌වා ඇත.

මේ පරිසර ජාතිකවාදය දේශපාලන ප්‍රතිපත්ති හා සම්බන්ධ වූ වැදගත් අවස්‌ථාවක්‌ ලෙස ඇතැම් දේශපාලන පක්‌ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති දක්‌වා ඇත. ඒ සඳහා නිදසුනක්‌ ලෙස බ්‍රිතාන්‍ය ජාතික පක්‌ෂය විසින් 2005 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද එක්‌ ප්‍රතිපත්තියක්‌ දැක්‌විය හැකි ය. ඒ අනුව ඔවුන් බලයට පත් වුව හොත් එරටට පැමිණෙන මහා පරිමාණ විදේශක සංක්‍රමණ නැවැත්වීම සඳහා කටයුතු කරන බව පොරොන්දුවක්‌ විය. එම`ගින් එරට තුළ ඇති එක ම සැබෑ පරිසරවාදී 'හරිත' පක්‌ෂය ඔවුන් බව ද දක්‌වා තිබිණි. ඒ, සංක්‍රමණ නැවතීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වැනි කටයුතු සඳහා අවශ්‍ය සම්පත් හා අවකාශය ඉතිරි වන නිසා ය.


බටහිර පරිසර වාදය හා පෙරදිග අපි


කෙසේ වෙතත් අපේ රට වැනි පෙරදිග රටවල අනාදිමත් කාලයක සිය පැවතියේ පරිසරය හා සහජීවනයෙන් එකට ජීවත් වූ ජීවන ක්‍රමයකි. පරිසරය හා බැඳුණු සංස්‌කෘතියකින් යුක්‌ත මේ රටවල චින්තනය එය මානවකේන්ද්‍රීය වූ බටහිර චින්තනයට වඩා වෙනස්‌ වූවකි. එහෙත් අවාසනාවකට මෙන්, සියවස්‌ ගණනාවක යටත්විජිත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද අප විසින් අනුගමනය කරනු ලබන්නේ බටහිර සංවර්ධන ආකෘතියයි. එවැනි තත්ත්වයක්‌ ඇතුළත බටහිර පරිසරවාදය ම මෙරට තුළ ද අද වන විට ඇති වී තිබීම පුදුමයක්‌ නො වේ.

අද අප වැනි රටවල් හමුවේ ඇති අභියෝගය වන්නේ අපේ සංස්‌කෘතික වටිනාකම් තුළ පැවැති පරිසර හිතකාමී ජීවන රටාව නැවතත් ස්‌ථාපිත කිරීමට හැකි සංවර්ධන ආකෘතියක්‌ සකස්‌ කිරීම ය. එහෙත් මෙහි දී බටහිර සංවර්ධන ආකෘතියෙන් හා බටහිර විද්‍යාවෙන් ගත යුතු දේ තිබිය හැකි බව පැහැදිලි ය. ජාතිකවාදී මතවාදයක්‌ තුළ මෙය සිදු කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව පෙනේ.

Sunday, June 23, 2019

තහනම් කළ යුත්තේ වඩු මඩු ද, ජංගම ලී මෝල් ද, නැතිනම්...?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.06.2019, පි. 5 (Vidusara)

Vidusara: http://www.vidusara.com/2019/06/19/feature2.html





වඩු මඩු හා ලී මෝල් තහනම් කිරීම හා සම්බන්ධ ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ආන්දොaලනාත්මක කතාවක්‌ පසුගිය සතියක රටේ මාතෘකාවක්‌ විය. මේ ප්‍රකාශය ඔහු සිදු කළේ පරිසර දිනය නිමිත්තෙන් පැවැති උත්සවයක දී ය. එහි දී ගස්‌ කපන යන්ත්‍ර පිටරටින් ගෙන ඒම සම්පූර්ණයෙන් ම තහනම් කරන බවත්, වඩු මඩු තහනම් කිරීමට අවශ්‍ය චක්‍රලේඛයක්‌ නිකුත් කරන බව හා ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීම සඳහා වසර පහක කාලයක්‌ ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ගෘහභාණ්‌ඩ හා ඒවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැව පිටරටින් ගෙන ආ යුතු බව ද ඔහු පැවසී ය.

මේ කතාවේ දැක්‌වුණු පියවරවල අරමුණ වශයෙන් සඳහන් වූයේ වන සංරéණයයි. එය අගය කළ යුතු අදහසක්‌ වුවත් මෙහි ඇති ප්‍රායෝගික පැත්ත විමසා බලන විට දැකිය හැක්‌කේ වඩා වෙනස්‌ චිත්‍රයකි.

උක්‌ත ප්‍රකාශය ගැන සමාජයේ විවිධ පුද්ගලයන් අදහස්‌ දක්‌වා තිබූ අතර සමාජ ජාල මඟින් ද ඉහත ප්‍රකාශය විවේචනයට ලක්‌ විය. නිදසුනක්‌ ලෙස මේ නිසා ගෘහභාණ්‌ඩ හා දැව මිල ඉහළ යා හැකි බව එක්‌ පාරිභෝගික සංවිධානයක්‌ දක්‌වා තිබිණි. ඒ දැව ආනයනය කිරීමට පියවර ගන්නේ නම් ය. වඩු මඩු තහනම් කිරීමක්‌ සිදු වුව හොත් සිය පාරම්පරික වෘත්තිය තර්ජනයට ලක්‌ විය හැකි යෑයි සිතූ වඩු කාර්මිකයන් උද්ඝෝෂණය කළ අතර, මොරටුව ප්‍රදේශයේ උපවාසයක්‌ ද ආරම්භ වූ බව වාර්තා විය. එමෙන් ම වඩු මඩු තහනම් කිරීමෙන් වඩු කාර්මිකයන්ගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සඳහන් කරමින් එක්‌ සංවිධානයක්‌ සහ වඩු කාර්මිකයන් කිහිපදෙනෙක්‌ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිලි කර ඇත. ඒ වඩු මඩු තහනම් කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ එන තමන්ට අභිමත වෘත්තියක නියෑළීමේ අයිතිය උල්ලංඝනය වන බව පවසමිනි.

ඇත්තෙන් ම සිදු වන්නේ කුමක්‌ ද?


පසුව මේ පිළිබඳ ව වැඩිදුර පැහැදිලි කරමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් නිවේදනයක්‌ නිකුත් කරන ලදි. එහි සඳහන් වන පරිදි සාම්ප්‍රදායික දැව මඩු සඳහා නිකුත් කර ඇති බලපත්‍රවලට මුවා වී වනාන්තරවල ගස්‌ කැපීම සිදු කෙරෙන බව බව හෙළි වී ඇති අතර ඉන් සිදු වන පරිසර විනාශය ද විශාල ය. ඒ අනුව කරුණු සලකා ගත් තීරණයක්‌ පරිදි ඉදිරියේ දී ජංගම ලී මෝල් තහනම් කිරීමට කටයුතු කරන බව නිවේදනයේ සඳහන් වෙයි. එවැනි ලී මෝල් 300ක්‌ පමණ ලියාපදිංචි කර තිබෙන බව ද දැක්‌වෙයි. මේ සඳහා 2014.12.03 දිනැති අංක 1891රැ26 දරන 'දැව මඩු ලියාපදිංචි කිරීම සහ දේපළ සලකුණු' නියෝග පිළිබඳ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය සංශෝධනය කිරීමට නියමිත ය. එම සංශෝධනය තුළින් සාම්ප්‍රදායික වඩු මඩු තහනම් නො වන අතර, 2022 දෙසැම්බර් 31 වැනි දායින් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යැම තහනම් වනු ඇත. ඒ ජංගම ලී මෝල් පවත්වාගෙන යැම සඳහා දැනට නිකුත් කරනු ලබන වාර්ෂික අවසර පත්‍ර 2022 දෙසැම්බර් 31 දිනෙන් පසුව නිකුත් නො කරන බැවිනි. එවිට එවැනි දැව ව්‍යාපාර සඳහා වන ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු වෙයි.

උක්‌ත නිවේදනයේ වැඩිදුරටත් දැක්‌වෙන පරිදි නීත්‍යනුකූල ක්‍රමයට ලී ලබාගන්නා අයට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට බාධාවක්‌ නැත. නීත්‍යනුකූල ව පවත්වාගෙන යන දැව මඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යා යුතු අතර, එක්‌ එක්‌ මාසය අවසානයේ සහතික කළ පිටපතක්‌ අදාළ ප්‍රදේශයේ වන අඩවි නිලධාරීවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යෑවිය යුතු වෙයි.

වරද ජංගම ලී මෝල්වල ද?


මේ අනුව බලධාරීන්ගේ අවධානය යොමු ව තිබෙන්නේ ජංගම ලී මෝල් පිළිබඳ ව බව පෙනෙයි. තැනින් තැනට ගෙන යා හැකි අත්ට්‍රැක්‌ටරයක ටේ්‍රලරයකට සවි කර තිබෙන උපකරණවලින් යුක්‌ත ජංගම ලී මෝල් ලියාපදිංචි කිරීම සඳහා ඉහත සඳහන් 2014.12.03 දින නිකුත් වූ ගැසට්‌ නිවේදනයෙන් ප්‍රතිපාදන සැලසී ඇත. 2015 පමණ සිට ඒවා ලියාපදිංචි කිරීම ආරම්භ විය.

පසුගිය දා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්‌වෙන පරිදි මේ වන විට දිවයින පුරා ජංගම ලී මෝල් 300ක්‌ පමණ ලියාපදිංචි කර ඇත. එහෙත් මේ සමඟ ඇති වගුවේ දැක්‌වෙන පරිදි වන සංරéණ දෙපාර්තමේන්තුවේ 2017 වන විට ලියාපදිංචි කර ඇති ක්‍රියාත්මක ජංගම ලී මෝල් ගණන 800කට ආසන්න ය.

2017 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට ක්‍රියාත්මක ලියාපදිංචි කරන ලද ජංගම ලී මෝල් ගණන 794ක්‌ ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණය අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ද (278), දෙවැනි තැන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ද (241) ක්‍රියාත්මක ය. කෑගල්ල, බදුල්ල හා මාතර ද ජංගම ලී මෝල් තරමක්‌ දැකිය හැකි ය. සෙසු දිස්‌ත්‍රික්‌කවල අඩු ප්‍රමාණවලින් ක්‍රියාත්මක අතර දිවයිනේ දිස්‌ත්‍රික්‌ 12ක ජංගම ලී මෝල් ලියාපදිංචි කර නැත.

තහනම් කරන්නට යන්නේ ජංගම ලී මෝල් පමණක්‌ නම් එය මේ ප්‍රශ්නයට විසඳුමක්‌ වේ ද යන්න ද විමසා බැලිය යුතු ය. ජංගම ලී මෝල් භාවිතය ප්‍රචලිත වන්නට පෙර ද, වන විනාශය තිබිණි. එය දැව අවශ්‍යතාව මත මෙන් ම දැව ජාවාරම්කරුවන් නිසා ද වර්ධනය වෙයි. දැව ජාවාරම්කරුන්ට වැඩි අවස්‌ථාවක්‌ ලැබෙන්නේ ජංගම ලී මෝල් නිසා ද, නැතිනම් පොදුවේ සියලු ලී මෝල් නිසා ද යන්න විමසිය යුතු කරුණකි. මේ පිළිබඳ ව නීතිය ක්‍රියාත්මක කරන වන සංරéණ දෙපාර්තමේන්තුවේ 2011 සිට 2017 දක්‌වා වූ කාර්යසාධන වාර්තා පිළිබඳ ව සැලකූ විට ලී මෝල්, දැව අලෙවි මධ්‍යස්‌ථාන මෙන් ම වඩු මඩු ද යන සියල්ලේ ම සංඛ්‍යාව මේ කාලය තුළ වර්ධනය වී ඇති බවක්‌ පෙනෙයි. ඇතැම් වර්ෂ තුළ යම් යම් අඩු වැඩි වීම් සිදු වී ඇතත් සමස්‌තයක්‌ ලෙස සිදු ව තිබෙන්නේ වර්ධනයකි. ඒ අනුව දැව සඳහා සිදු වන වන සංහාරයට ජංගම ලී මෝල් පමණක්‌ චෝදනාවට ලක්‌ වීම කෙතරම් සාධාරණ ද යන්න නම් ගැටලුවකි (වගුව බලන්න).



මේ දත්ත අනුව හුදෙක්‌ ජංගම ලී මෝල් තහනම් වූ පමණින්, වන සංහාරය නවතින්නේ ද යන්න අවධානය යොමු විය යුතු කරුණකි. ජංගම ලී මෝල්වල අමතක කරන පැත්තක්‌ ද තිබෙයි. එනම්, සාමාන්‍ය වැසියකුට සිය ඉඩම තුළ ඇති ගසක්‌ කපා ලී ඉරාගැනීමේ දී මේ ජංගම ලී මෝල් මඟින් සැලසෙන සේවය හා පහසුවයි. එවැනි අවස්‌ථාවක දී අදාළ ගස කැපීම හා ඉරීම පිළිබඳ ව මෙන් ම, ජංගම ලී මෝල ක්‍රියාත්මක කිරීම සඳහා පැමිණීම සඳහා ද බලධාරීන්ගේ අවසරය හා දැනුවත් බව අවශ්‍ය වෙයි. එහෙත් ජංගම ලී මෝල් නොමැති නම්, කැපූ ගසකට ප්‍රවාහන බලපත්‍ර ගෙන ලී මෝලකට ගෙන ගොස්‌, ඉරා ආපසු ගෙන ඒමට සිදු වෙයි. මේ ක්‍රියාවලිය තුළ වංචා සිදු වීමට තිබෙන අවස්‌ථා ද ඉහළ ය. අනෙක්‌ අතට ප්‍රවාහන පිරිවැය අඩු වීම, ලිපිලේඛන කටයුතු සඳහා වන කාලය නාස්‌ති වීම අඩු වීම වැනි කටයුතු නිසා ජනතාව සිය දැව අවශ්‍යතාව සඳහා ගෙවත්තේ ගස්‌ වැවීම දිරිමත් වීමට මෙය හේතුවකි. මෙසේ සිය දැව අවශ්‍යතාව නීත්‍යනුකූලව ගෙවත්තෙන් සැලසෙන්නේ නම් ස්‌වාභාවික වනාන්තරවලට එල්ල වන දැව පීඩනය අඩු වනු ඇත.

ජංගම ලී මෝල් ක්‍රියාත්මක වීම පිළිබඳ රෙගුලාසි ගණනාවක්‌ ම තිබෙයි. එමඟින් ඉරනු ලබන දැව පෞද්ගලික ඉඩමකින් ලබාගත් දැව බවට සහතිකයක්‌ අදාළ බලධාරීන් වෙතින් ලබාගත යුතු ය. මේ ලී මෝලකින් ලී ඉරීම සිදු කරන ඉඩමේ සිට රජයේ වනයක හෝ වන වගාවකට පවත්නා අවම ගුවන් දුර මීටර් 200කට අඩු නො විය යුතු ය. එමෙන් ම මේවා ක්‍රියාත්මක කළ හැක්‌කේ පෙ.ව. 6 සිට ප.ව. 6 දක්‌වා කාලය තුළ පමණකි. එසේ ම ජංගම ලී මෝල හා ඊට අදාළ වාහනය පිළිබඳ ව මෙන් ම එහි පවත්නා උපකරණවල ප්‍රමාණය ගැන ද රෙගුලාසි පවතී. මේ අනුව රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වේ නම් ජංගම ලී මෝල්වලින් දැවමය ශාක තම ගෙවත්තේ වගා කරන සාමාන්‍ය ජනතාවට පහසුවක්‌ ද සැලසෙයි.

වන වගාව ප්‍රවර්ධනය


දැව සඳහා වැඩි ඉල්ලුමක්‌ තිබීම හා දැව සැපයීමේ ජාවාරම වනාන්තර ආරක්ෂාවට බලපාන මූලික කරුණ ලෙස සැලකීම වඩාත් සාධාරණ බවක්‌ අපට සිතෙයි. එසේ නම් සිදු කළ යුත්තේ ස්‌වාභාවික වනාන්තරවලින් දැව සපයාගැනීම වෙනුවට වගා කරනු ලබන දැවමය ශාකවලින් දැව ලබාගැනීම වඩාත් ප්‍රවර්ධනය කිරීම ය. එය සිදු කළ හැක්‌කේ ගෙවතුවල දැවමය ශාක වගා කිරීම, පෞද්ගලික අංශයේ දැවමය වන වගා මඟින් දැව ලබාගැනීම හා රාජ්‍ය අංශයේ දැවමය වන වගාවලින් දැව ලබාගැනීම මඟිනි. දැවමය වගා සඳහා යොමු වූ සමාගම් මෙන් ම, වතු වගාවේ නිරත වැවිලි සමාගම් ද අද වන විට දැවමය ශාක වගා කිරීමේ යෙදෙන අයුරු දැකගත හැකි ය. එහි අරමුණ වගා කරනු ලබන දැවමය ශාක මෙරට ඉල්ලුම සැපයීම සඳහා අලෙවි කිරීම හා භාවිත කිරීම ය.

මේ නිසා පුද්ගලයන් ගෙවතුවල කරන දැව වගා මෙන් ම පෞද්ගලික අංශය විසින් මහා පරිමාණයෙන් සිදු කෙරෙන දැවමය ශාක වගාවලින් අස්‌වනු ලබාගැනීම සඳහා පහසු ක්‍රමවේදයක්‌ තිබීම අවශ්‍ය ය. ඒ සඳහා පෞද්ගලික ඉඩමක වැවූ දැවමය ශාකවල අස්‌වනු නෙළීම ද පහසු කටයුත්තක්‌ විය යුතු වෙයි. ක්‍රමානුකූල පාලනයකින් යුක්‌ත ව ක්‍රියාත්මක වන ජංගම ලී මෝල් මෙහි දී වැදගත් ය.

දැව ආනයනය පිළිබඳ ව සැලකුව හොත් මෙරට දැව අවශ්‍යතාව සපුරාගැනීම සඳහා එය සාර්ථක විසඳුමක්‌ ද යන්න ගැටලුවකි. ලෝකයේ ක්‍රියාත්මක දැව සහතික කිරීම නිසා ආනයනික දැව මිල අධික වනු ඇත. එමෙන් ම දැව ආනයනය මෙරටින් පිටරටට තවදුරටත් විදේශ විනිමය පිට ව යැමට ද හේතුවක්‌ වෙයි. මෙරට ආර්ථික තත්ත්වය අනුව අප විදේශ විනිමය පිටකිරීම අඩු කළ යුතු බව නොරහසකි. මේ නිසා වඩාත් සුදුසු වන්නේ මෙරට දැව අවශ්‍යතාව හැකි තාක්‌ මෙරට නිෂ්පාදනය කිරීම බව අපගේ අදහස ය.

Saturday, January 19, 2019

ඇමෙරිකා-මෙක්‌සිකෝ දේශ සීමා තාප්පයෙන් ජෛව විවිධත්වයට තර්ජනයක්‌?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.01.2019 පි. 13 (Vidusara)

http://www.vidusara.com/2019/01/16/feature3.html


මෙක්‌සිකෝවේ සිට ඇමෙරිකාවට සිදු වන නීති විරෝධී ජන සංක්‍රමණ වළක්‌වා ලීම සඳහා දෙරට අතර දේශසීමාව දිගේ බාධක තාප්පයක්‌ ඉදි කරන්නට ඇමෙරිකාව පියවර ගෙන දැන් කලක්‌ ගත වී ඇත. එරට දේශපාලන අරමුණු වෙනුවෙන් ඉදි කරනු ලබන මේ තාප්පය උතුරු ඇමෙරිකාවේ ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බව විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දී තිබෙයි.

ඇමෙරිකාවට නීති විරෝධී ව සිදු වන ජන සංක්‍රමණ නිසා බරපතළ සමාජයීය හා ආර්ථික ගැටලු ඇති වීමට පිළියමක්‌ ලෙස මේ දේශ සීමා තාප්පය ගොඩනැඟීම ආරම්භ වන්නේ 2005 පමණ කාලයේ දී ය. ඇමෙරිකාවේ නව මෙක්‌සිකෝ, ටෙක්‌සාස්‌ හා කැලිෆොaනියා යන ප්‍රාන්තවල දකුණු සීමාව ඔස්‌සේ මේ දේශ සීමාව පිහිටා ඇත. සැතපුම් 1,953ක්‌ (කිලෝ මීටර් 3,200ක්‌) පමණ දිගු වන එම දේශ සීමාවෙහි ඉදි වන බාධක තාප්පයේ සැතපුම් 600ක්‌ පමණ මේ වන විට ඉදි කර ඇති අතර, තවත් සැලකිය යුතු කොටසක්‌ ඉදි කිරීමට නියමිත ය. පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී එරට වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් එක්‌ මැතිවරණ පොරොන්දුවක්‌ වූයේ එරට දකුණුදිග දේශ සීමාව ඔස්‌සේ මහා තාප්පය ඉදි කිරීම සම්පූර්ණ කිරීමයි. ඒ සඳහා අරමුදල් සපයාගැනීම සඳහා මේ වන විට විවිධ පියවර ගෙන තිබෙයි.

ඇමෙරිකා-මෙක්‌සිකෝ දෙරටෙහි දේශ සීමාව ඔස්‌සේ ඉදි කෙරෙමින් පවත්නා මේ තාප්පය පිළිබඳ ව වැඩි වශයෙන් සාකච්ඡා වී ඇත්තේ ජන සංක්‍රමණ පාලනය සහ දේශපාලනය යන මාතෘකා ඔස්‌සේ ය. මේ ඉදිකිරීම පිළිබඳ ව මෙක්‌සිකෝව එතරම් කැමැත්තක්‌ දක්‌වා නොමැත. කෙසේ වෙතත් එම බාධකය මඟින් උතුරු ඇමෙරිකාවේ ජෛව විවිධත්වය සම්බන්ධ ව ඇති විය හැකි අහිතකර බලපෑම ගැන මෑතක දී පළ වූ ලිපියකින් පෙන්වා දී ඇත. පසුගිය වර්ෂයේ ඔක්‌තෝබර් මාසයේ දී BioScience සඟරාවේ පළ වූ එම ලිපිය ලෝකය පුරා රටවල් 43ක විද්‍යාඥයන් 2,370ක්‌ පමණ දෙනාගේ එකඟතාවෙන් ප්‍රකාශයට පත් කරන ලදි. දේශ සීමා තාප්පය මඟින් ඇති විය හැකි පාරිසරික බලපෑම සැලකිය යුතු තරම් බව පෙන්වා දෙන මේ වාර්තාවට අනුව එම තාප්පය කලාපයේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් 'ව්‍යසනයක්‌' විය හැකි බවට අනතුරු හඟවා තිබෙයි.

දේශ සීමාව ආශ්‍රිත ජෛව විවිධත්වය


මෙසේ අවධානය යොමු වූ ප්‍රදේශය සැලකූ විට එය අධික පරිසර පද්ධති විවිධත්වයකින් යුක්‌ත භූ දර්ශනයක්‌ පවත්නා භූමි ප්‍රදේශයකි. මේ පාරිසරික විවිධත්වය ආන්තික කාන්තාර තත්ත්වවල සිට අධික වර්ෂාපතනයක්‌ ලැබෙන තෙත්බිම් දක්‌වා විවිධ ආකාරයේ වෙයි. මේ ප්‍රදේශයේ ඉහළ ජෛව විවිධත්වයක්‌ පවත්නා බව අධ්‍යයනවලින් හෙළි ව ඇති, අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන කරුණකි.

මේ දෙරටෙහි දේශ සීමාව ප්‍රදේශයේ සත්ත්ව විශේෂ 1,077ක ප්‍රමාණයක්‌ ද, ශාක විශේෂ 429ක ප්‍රමාණයක්‌ වාසය කරන බව මේ වන විට හඳුනාගෙන තිබෙයි. අදාළ ප්‍රදේශයේ පවත්නා පාරිසරික තත්ත්වවලට එහි වෙසෙන මේ ජීවී විශේෂ හැඩගැසී ඇත. දේශ සීමාව හරහා ද වැටී ඇති ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග ඔස්‌සේ එහා මෙහා ගමන් කිරීමෙන් ආහාර සොයාගැනීමට මෙන් ම ආන්තික තත්ත්ව ඇති කාල වකවානු ගත කිරීමට ද ඔවුන් හැඩගැසී ඇත. ලෝක සංරක්‌ෂණ සංගමය (IUCN) මඟින් ප්‍රකාශිත දැඩි තර්ජිත (Critically Endangered), තර්ජිත (Endangered) හා අවදානම් (Vulnerable) යන තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ අයත් ප්‍රධාන කාණ්‌ඩ තුනට මේ අතරින් විශේෂ හැට දෙකක්‌ (62) පමණ අයත් වෙයි.

තාප්පයේ බලපෑම


දැනටමත් ඉදි කර හා ඉදි කෙරෙමින් ඇති තාප්පය මඟින් ඉහත කී ජීවී විශේෂවල වාසභූමිය හෙවත් අඩවිය බෙදී යයි. පියැඹිය නොහැකි ජීවී විශේෂ 346කට පමණ තරණය කළ නොහැකි බාධකයක්‌ බවට මේ දේශ සීමා තාප්පය පත් වී ඇත. එමඟින් උක්‌ත ජීවීන් දැනට හැසිරෙන අඩවියෙන් 50%ක්‌ පමණ අහිමි වීමේ අවදානමක්‌ ඇති වෙයි. එසේ ම එතරම් උසට පියැඹිය නොහැකි පක්‌ෂි විශේෂවලට පවා මේ තාප්පය බාධකයක්‌ වන බව දක්‌වා ඇත.

කලින් එක ම භූමියක්‌ ව පැවැති ප්‍රදේශයේ ජීවත් වන ජීවී විශේෂවල වාසස්‌ථාන අන්තරාදායක ලෙස කඩ කඩ වීම (fragmentation) මඟින් මේ ජීවී විශේෂවල ප්‍රවේණික ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව අඩු වෙයි. එනම් ජීවී විශේෂවල ගහන අතර ප්‍රවේණික ද්‍රව්‍ය හුවමාරුවට බරපතළ බලපෑමක්‌ ඇතිවිය හැකි ය. මේ නිසා එක ම ගහනය තුළ අන්තර් අභිජනනය කිරීමෙන් ජාන කිටුව සීමා වී ප්‍රවේණික වශයෙන් දුර්වල සත්ත්ව විශේෂ ඇති විය හැකි ය. අද වන විට අප්‍රිකාවේ වෙසෙන චීටා සතුන් මුහුණ දී ඇති මෙවැනි ම ප්‍රවේණික ගැටලුව එම සතුන්ගේ පැවැත්මට තීරණාත්මක ලෙස බලපාන්නකි. එවැනි තත්ත්ව ඇමෙරිකා-මෙක්‌සිකෝ දේශ සීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ද ඇති විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙයි.

එදිනෙදා පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර හා ජලය වැනි සම්පත්වලට ප්‍රවේශ වීමට ද මේ තාප්පය නිසා එහි වෙසෙන ජීවීන්ට -විශේෂයෙන් සතුන්ට - අවහිරතා ඇති වෙයි. එමෙන් ම වසරේ ඇතැම් කාල වකවානුවල දී ඇති වන ගංවතුර තත්ත්ව සඳහා ද මේ දේශ සීමා තාප්පයෙන් බලපෑමක්‌ ඇති වේ. ගංවතුර බැස නො ගොස්‌ රදා පැවතීමට තාප්පය හේතු වන අතර ඇතැම් ප්‍රදේශවල දී මෙය වනජීවීන්ට සහ වෘක්‌ෂලතාවලට හානිකර ලෙස බලපානු ඇති බවට අනතුරු හඟවා ඇත. ගංවතුරට යට වීම නිසා මේ ජීවී විශේෂ මිය යැමේ අවස්‌ථාව ඉහළ යයි. එසේ ම දැඩි නියඟය හා තාප ප්‍රවාහ වැනි ස්‌වාභාවික ව්‍යසන අවස්‌ථාවල දී එයට ලක්‌ වන ජීවී විශේෂවල ජීවිත පවත්වාගැනීමට වැදගත් වන ආහාර සහ ජලය සීමා තාප්පයේ අනෙක්‌ පස පැවතිය ද එය තරණය කළ නොහැකි ජීවීන්ට සිදු වන්නේ විනාශයට පත් වීමට ය.

අනෙක්‌ අතට එම දේශ සීමා තාප්පය හුදෙක්‌ භෞතික තාප්පයක්‌ පමණක්‌ නො වේ. එය ඉදි කිරීම සඳහා යොදාගන්නා විශාල ඉදිකිරීම් වාහන මේ සංවේදී සහ පරිසර පද්ධතියට හා එහි වෙසෙන ජීවී විශේෂවලට බාධා ඇති කරයි. එසේ ම ආලෝකය සහ ශබ්දය දූෂණය මඟින් දිවා කාලයේ මෙන් ම රාත්‍රී කාලයේ හැසිරෙන ජීවී විශේෂවලට ද යම් බලපෑමක්‌ ඇති වෙයි. එමෙන් ම බාධක තාප්පය ඉදි කිරීමෙන් පසුව එම තාප්පය අසල ප්‍රදේශයේ ගමන් කරන ආරක්‌ෂක වාහන සහ මාර්ගවල ඇති වන තත්ත්වය ද මේ ජීව විශේෂවල පැවැත්මට බලපෑමක්‌ කළ හැකි එකකි. 2017 වර්ෂය වන විට ඉදි කර ඇති සීමා තාප්ප සඳහා කිලෝ මීටර් 8,000ක පමණ මාර්ග පද්ධතියක්‌ ඉදි කර ඇති බව ද සඳහන් වෙයි. එසේ ම මේ කාණ්‌ඩයට නො වැටෙන තවත් දුෂ්කර වූ මාර්ග විශාල ප්‍රමාණයක්‌ ද පවතියි.

මේ තර්ජනය හමුවේ ඇතැම් ජීවී විශේෂ වඳ වී යැමට තරම් හැකි තත්ත්ව ඇති විය හැකි ය.

අවධානය අඩු ඇයි?


මේ කරුණ පිළිබඳ ව අවධානය අඩු වීම සඳහා හේතුවක්‌ වී ඇත්තේ 2005 දී සම්මත වූ Real ID Act නම් පනතකිනි. එමඟින් ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම් වළක්‌වා ලීමට උපකාර විය හැකි තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ පිළිබඳ පනත (Endangered Species Act) හා ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (National Environmental Policy Act) යටතේ පවත්නා ඇතැම් ප්‍රතිපාදන නො සලකා හැරීමට එරට ආරක්‌ෂක අංශවලට හැකියාව ලබා දී තිබෙයි. මෙය දේශ සීමා තාප්පයේ ඉදිකිරීම් කටයුතු නිසා පරිසරයට හා ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව අවධානයට ලක්‌ වීම හා මහජන මැදිහත් වීමක්‌ සිදු කිරීමට ඇති අවස්‌ථාව අහිමි කර ඇත. මෙසේ පරිසරය සහ මහජන සෞඛ්‍යයේ ආරක්‌ෂාව වෙනුවෙන් පෙර පැවැති ඇමෙරිකානු රජයයන් විසින් සම්මත කරන ලද වැදගත් නීති නො සලකා හැරීම ද ගැටලුවකි.

මේ කරුණු අනුව පෙනෙන්නේ ඉහළ ජෛව විවිධත්වයක්‌ පවත්නා ප්‍රදේශයක ජීවීන්ගේ පැවැත්ම මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් එක්‌ පරම්පරාවක කාලයක්‌ ඇතුළත දී වෙනස්‌ කරන්නට ඉඩ ඇති බවයි. මේ ජෛව විවිධත්වය වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේ පරිණාමයට ලක්‌ වූවක්‌ වන බැවින් ඒ ගැන ආඩම්බර විය නොහැකි බව ඒ පිළිබඳ ව පළ වූ ලිපියක තවදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ ව අවධානය යොමු කරන්නේ නම් එය නතර කිරීමට ද හැකියාවක්‌ ඇත. ඒ මේ සීමා තාප්පය ඉදිකිරීම සඳහා ඇති ප්‍රතිපාදන නතර කිරීම මඟිනි. එරට දේශපාලනඥයන්ට ඒ සඳහා අවස්‌ථාවක්‌ හා හැකියාව ඇති බව පෙන්වා දී තිබෙයි. එසේ ම අවශ්‍ය නම් සංක්‍රමණ පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රමාණවත් දියුණු තාක්‌ෂණයක්‌ පවත්නා බව ද වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ඇමෙරිකාව සිය ජාතික ආරක්‌ෂාව පිළිබඳ දේශපාලන අවශ්‍යතාව සඳහා එරට මෙන් ම මෙක්‌සිකෝවේ ද ජෛව විවිධත්වය අවදානමකට ලක්‌ කර ඇති බව මේ අනුව පෙනෙයි. මෙය මානව මූලික අරමුණු නිසා පාරිසරික ප්‍රමුඛතා අවතක්‌සේරු වූ තවත් අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකි ය. එමෙන් ම ඇමෙරිකාවේ නූතන පාලනය වෙනත් කරුණු පිළිබඳ ව ගෙන ඇති පියවර හා සංසන්දනය කරන විට එය එතරම් පුදුමයට කරුණක්‌ ද නො වෙයි.

මූලාශ්‍රය : BioScience, DOI: 10.1093/biosci/biy063

Tuesday, July 17, 2018

මිනිසුන් හා වන සතුන් අතර ගැටුමට පිළියම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 04.07.2017, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2018/07/04/feature4.html



පසුගිය දිනවල දී අපේ රටෙන් වාර්තා වූ වනජීවීන් පිළිබඳ සිදුවීම් කිහිපයක්‌ මඟින් මිනිසුන් හා වනජීවීන් අතර ඇති ගැටුමේ ස්‌වභාවය පිළිබඳව පෙන්වා දෙයි. සිංහරාජයේ වාසය කරන අලින් දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙන යැමට ගත් උත්සාහය, කිලිනොච්චිය ප්‍රදේශයේ දී මරා දමන ලද දිවියා පිළිබඳ සිදු වීම හා බඹරකැළේ දී මිනිසුන් විසින් අල්ලාගෙන නිදහස්‌ කරන ලද ගෝනාගේ සිදු වීම මෙරට වන සතුන් හා මිනිසුන් අතර ඇති ගැටුමේ පැති කිහිපයක්‌ පෙන්වා දෙයි.

මේ පිළිබඳව වාර්තා වන පරිදි මේ සිදු වීම් සංක්‌ෂිප්ත කළ හැක්‌කේ මෙසේ ය.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ව ජීවත් වන අවසන් අලින් දෙදෙනා එම ප්‍රදේශයෙන් ඉවත් කරන මෙන් එම ප්‍රදේශයේ ඇතැම් පිරිස්‌ විසින් සිදු කරන ලද ඉල්ලීමක්‌ මත ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් පියවර ගන්නා ලදි. ඒ සඳහා ගැනීමට යෝජිත පියවර වූයේ අදාළ අලින් හොරොව්පතානේ පිහිටා ඇති අලි රැඳවුම් මධ්‍යස්‌ථානය වෙත ගෙන යැම ය. එහෙත් මේ පිළිබඳ ව පරිසරවේදීන් වෙතින් දැඩි විරෝධයක්‌ එල්ල විය. අවසානයේ දී ජනාධිපතිවරයාගේ නියෝගයක්‌ මත එම ප්‍රයත්නය අත්හිටුවීමට පියවර ගත් බව සැළ විය. එය එක්‌තරා ආකාරයකින් සතුටට කරුණකි. තෙත් කලාපයේ වාසය කරන තෙත් කලාපීය ආහාර රටාවකට හුරු වී ඇති මේ අලින් වියළි කලාපයේ දේශගුණයට හෝ එම ආහාරවලට හුරු වෙතැයි අපේක්‌ෂා කළ නොහැකි ය. අනෙක්‌ අතට මේ අලින් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව ඇත්තේ කවර පිරිස්‌වලට ද යන්න පිළිබඳව ද ගැටලු ඇති වී තිබෙයි.

මේ අතර කිලිනොච්චියට නුදුරු ප්‍රදේශයක දී ගමකට පිවිසුණු දිවියකු හෙවත් කොටියකු මිනිසුන් විසින් පහර දී මරා දමනු ලැබීම පිළිබඳ වීඩියෝ දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්‌සේ ප්‍රචාරය වීමෙන් පරිසර අංශවල විශාල කලබැගෑනියක්‌ ඇති විය. විශේෂයෙන් මේ සිදු වීමේ දී අදාළ දිවියා ඇල්ලීම සඳහා වනජීවී අංශවලට බාධා කළ බව ද වාර්තා විය. එය කණගාටුදායක සිදු වීමකි. එසේ ම මේ දිවියා මරා දමන ලද අමානුෂික ක්‍රියාවලිය හා එය සමාජ ජාල ඔස්‌සේ ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු කිරීම අතිශයින් කණගාටුදායක තත්ත්වයකි. මීට පෙර ඇතැම් අවස්‌ථාවල දී පක්‌ෂින් හා වෙනත් සතුන් දඩයම් කිරීමේ දී ද මෙසේ එය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන පිරිස්‌ සමාජ ජාලවල අපි දැක ඇත්තෙමු. එහි ඇති අමානුෂික ස්‌වභාවය සමාජයේ පරිහානියක්‌ නිරූපණය කරන්නක්‌ ද යන්න විටක අපට සිතෙයි.

එසේ ම නුවරඑළිය බඹරකැළේ වතු යායේ ඇළක තුවාල සහිත ව වැටී සිටි ගෝනකු නිරීක්‌ෂණය කළ වතු කම්කරුවන් පිරිසක්‌ ඒ පිළිබඳ ව වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ව එම ගෝනාට ප්‍රතිකාර ලබා දී පිදුරුතලාගල රක්‌ෂිතයට නිදහස්‌ කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. ඒ පසුගිය ජුනි මස අවසන් සතියේ දී වූ සිදු වීමකි. මෙය සිදු විය යුතු දේ පෙන්වා දෙන්නකි. ඇතැම් විට වගා බිම්වලට පවා හානි කළ හැකි ගෝනකු වැනි සතකු ගම් වැදුණු අවස්‌ථාවක දී එම වතුවල කම්කරුවන්ගේ මේ හැසිරීම අගය කළ යුත්තක්‌ බව පැහැදිලි ය.

ගැටුමේ ඉතිහාස කතාව


වනජීවී-මිනිස්‌ ගැටුම (human-wildlife conflict) ලෙස හඳුන්වනු ලබන්නේ මිනිසුන් හා වනසතුන් අතර ඇති අන්තර් ක්‍රියා සහ එමඟින් මිනිසුන් හා මිනිසුන්ගේ සම්පත් සඳහා හෝ වනසතුන් හා ඔවුන්ගේ වාසස්‌ථාන සම්බන්ධ ව හෝ ඇති වන නිෂේධනාත්මක බලපෑමයි.

වනජීවීන් හා මිනිසුන් අතර මෙවැනි ගැටුම් ඇති වීම ඈත අතීතයේ සිට සිදු වන සිදු වීමකි. එහි ආරම්භය මානව ප්‍රාග් ඉතිහාසය ලෙස දැක්‌විය හැකි ය. එකල ඇති වූ මිනිස්‌-වනජීවී ගැටුම ප්‍රාථමික තත්ත්වයේ වූවක්‌ විය. කෙසේ වෙතත් මිනිසා ශිෂ්ටාචාරගත වීමෙන් පසුව මේ මිනිස්‌-වනජීවී ගැටුම වඩා සංකීර්ණ ස්‌වභාවයක්‌ ගත් බව පෙනෙයි. විශේෂයෙන් මිනිසුන් වගා කටයුතු ආරම්භ කිරීමෙන් හා පශු පාලනය ආරම්භ කිරීමෙන් අනතුරු ව මිනිස්‌-වනජීවී ගැටුම වඩා සංකීර්ණ වූවක්‌ විය. වන සතුන් වෙතින් මිනිසුන් වෙත ඇති වන හානිකර බලපෑම් මෙන් ම මිනිසුන් වෙතින් වන සතුන්ට ඇති වන හානිකර බලපෑම ද සුලබ ව දැකිය හැකි වූයේ ඒ සමඟ ය. මිනිස්‌ ජනගහනයේ වර්ධනයත් සමඟ මේ තත්ත්වය වඩාත් බරපතළ විය.

අපේ රටේ වුවත් මිනිස්‌-වනජීවී ගැටුම සම්බන්ධ ව නො දන්නා කරුණු බෙහෙවින් තිබෙයි. විශේෂයෙන් වන සතුන් ගෙන් මිනිසුන්ට සිදු වන හානි පිළිබඳ මෙන් ම මිනිසුන් වෙතින් වනසතුන්ට සිදු වන අමානුෂික ක්‍රියා පිළිබඳ ඉතිහාසය ද බොහෝ දෙනා අමතක කර ඇති දෙයකි.

නිදසුනක්‌ ලෙස ගත හොත් අලි මිනිස්‌ ගැටුම ඈත අතීතයේ සිට ම පැවත එන්නක්‌ බව පැහැදිලි ය. මිනිසුන් විසින් වගා කරනු ලබන බෝග වර්ග අලින් හා වෙනත් සතුන්ගේ ආහාර විය. එබැවින් අලි ඇතුන් පිළිබඳ ව මිනිසුන් අතර පළිබෝධයකු හා සමාන ආකල්පයක්‌ තිබීම පුදුමයක්‌ නො වේ. මේ නිසා අලින් ගෙන් සිදු වන හානිවල දී අලින්ට එරෙහි ව මිනිසුන් විසින් යම් යම් ක්‍රියාමාර්ග ගනු ලබන්නට ඇත. අලි ඇතුන්ට එරෙහි ව ක්‍රෑර ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ වාර්තා අපට අවම වශයෙන් පෘතුගීසින් මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ සිට හමු වේ. ඒ අනුව අලින්ට වෙඩි තැබීම සිදු කළ අවස්‌ථා, නිවස තුළට යොමු කළ හොඬවැලට උණු තෙල් දැමීම, අලින් මතට ගිනි අඟුරු දැමීම වැනි සිදු වීම් පිළිබඳ වාර්තා මේ කාලයේ දී අපට හමු වේ. ඊට පෙර එවැනි උපක්‍රම යොදාගත්තේ ද යන්න අපි නො දනිමු.

අලි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු වූ අවස්‌ථාවල දී ඉන් පීඩාවට පත් වූ ජනතාව ඒ සම්බන්ධ ව ප්‍රතිචාර දක්‌වා ඇති බව ද මේ පිළිබඳව ඇති වාර්තා අනුව පෙනේ. පෘතුගීසි සමයේ අලි ඇල්ලීම ආදායම් මාර්ගයක්‌ වූ අතර, අලි ගහනය වැඩි වූ ප්‍රදේශ පිළිබඳව පෘතුගීසි නිලධාරීන්ට ගම්වැසියන් විසින් දැනුම් දෙන ලද අවස්‌ථා පිළිබඳව සඳහන් වෙයි. අලි ඇතුන් ගෙන් සිදු වන ගැහැටවලට විසඳුම් ඉල්ලා මිනිසුන් වීදි බැස පාරවල් වසාගෙන අද සිදු කරන උද්ඝෝෂණය මීට සමාන වෙයි.

බ්‍රිතාන්‍ය පාලන සමය පිළිබඳව සැලකූ විට අලින් ගෙන් සිදු වන වගා හානි හා වෙනත් ගැහැට පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කරන්නේ ද ප්‍රදේශවාසී ජනතාව බව පෙනෙයි. ඒ පිළිබඳව පරීක්‌ෂා කිරීමෙන් පසුව අදාළ ප්‍රදේශයේ අලින් ඇල්ලීමට හෝ වෙඩි තැබීමට හෝ නියෝග කරනු ලැබෙයි. ඇතැම් විට ඒ සඳහා වූ බලපත්‍රය ලබා දෙන්නේ නොමිලේ ම ය. එහි දී ඉදිරිපත් වන්නේ දඩයමට රුචිකමක්‌ දක්‌වන 'ක්‍රීඩාලෝලී' සුදු ජාතිකයන් හෝ දේශීය ප්‍රභූන් ය. මොවුන්ට මඟපෙන්වන්නේ අදාළ ප්‍රදේශයේ ගමේ ප්‍රධානීන් හා ගම්වැසියන් ය. ප්‍රශ්නකාරී අලි ඇතුන් ගෙන් මිදීම එදා ජනතාවගේ වගා බිම්වල හා ජීවිතවල ආරක්‌ෂාව සඳහා අවශ්‍ය වූ දෙයකි. අප මෙය තේරුම්ගත යුත්තේ එදා පැවැති සන්දර්භය සමඟ ය.

දිවියා හෙවත් කොටි සමඟ මිනිසුන්ගේ ගැටුම් ඇති වීම ද කලක්‌ තිස්‌සේ වාර්තා වෙයි. මිනිසුන් විසින් දිවියන් කෙරෙහි සතුරු ආකල්පයක්‌ දක්‌වනු ලැබ ඇත්තේ මේ සතුන් විසින් ගවයන්, එළුවන් හා බල්ලන් වැනි සතුන් ආහාරයට ගනු ලැබීම නිසා පමණක්‌ නො වේ. (මෙවැනි සිදු වීම් පිළිබඳව වාර්තා බ්‍රිතාන්‍ය සමයේ සිට ම ඇත.) මිනිසුන් තුළ දිවියන් පිළිබඳව ඇති බිය ද මේ ගැටුම සඳහා හේතු වෙයි. එම බියට හේතු වී ඇත්තේ දිවියන් විසින් පහර දෙනු ලැබෙතැයි යන බියයි. එහෙත් ඇත්තෙන් ම දිවියකු විසින් මිනිසුන්ට පහර දෙන ලද අවස්‌ථා වාර්තා වන්නේ කලාතුරකිනි. නිදසුනක්‌ ලෙස ගත හොත්, අපගේ අධ්‍යයනවලින් දැනට අනාවරණය වී ඇති ආකාරයට 19 වැනි සියවස මුල, මාතරට නුදුරු ප්‍රදේශවලින් පවා එවැනි සිදු වීම් වාර්තා වී ඇත. මිනිසුන් මරා දැමූ අවස්‌ථා පිළිබඳව ඇති නිදසුන වන්නේ 1920 දශකයේ නැඟෙනහිර පළාතේ පුනානි දිවියාගේ සිදු වීමයි. එහෙත් අප දන්නා පරිදි දිවි ප්‍රහාර වළක්‌වාගත හැකි ඒවා ය. මේ සඳහා අවශ්‍ය වන්නේ වගකීමකින් හා අවබෝධයකින් යුතු ව කටයුතු කිරීමයි.

කුරුල්ලන් වැනි සතුන් දඩයම් කිරීම පිළිබඳ වාර්තා ද මෑත කාලයේ අසන්නට ලැබිණි. මස්‌ පිණිස දඩයමට වඩා එහි දැකිය හැකි වූයේ විනෝදය පිණිස කළ දඩයමකි. මස්‌ ලබාගැනීම සඳහා දඩයම් කිරීම පිළිබඳ වාර්තා අතීතයේ සිට අසන්නට ලැබෙයි. මන්නාරම ප්‍රදේශයේ පක්‌ෂින් දඩයම් කර, වියළා අලෙවි කිරීම පාලනය කිරීමට උත්සාහ ගැනීම පිළිබඳ වාර්තා බ්‍රිතාන්‍ය සමයේ වාර්තා අතර වෙයි. මෙරට වනජීවී නීති වර්ධනය හා විකාශය වීම සඳහා මෙවැනි අපරාධ පාලනය කිරීම සඳහා ගත් පියවර වැදගත් වී ඇත. එසේ ම වඳුරන්, රිලවුන් හා කිඹුලන් සමඟ ඇති වූ ගැටුම් පිළිබඳව ද සැලකිය යුතු කලක පටන් වාර්තා තිබෙයි.

මැද මාවතේ විසඳුමක්‌ සොයා


මිනිස්‌-වනජීවී ගැටුමට පිළියම් යෙදීමේ දී මිනිsසුන් අමතක කර, ඇති කරගන්නා විසඳුමකින් එතරම් ප්‍රයෝජනයක්‌ ලබාගත නො හැකි බව පැහැදිලි ය. වන සතුන්ගේ ජීවිත මෙන් ම මිනිසුන්ගේ ජීවිත ද වැදගත් ය. අප පිළිගැනීමට කැමැති වුව ද අකැමැති වුව ද මේ වන විට ලෝකයේ ඇත්තේ මානව කේන්ද්‍රීය සමාජයකි. මේ අනුව මිනිස්‌-වනජීවී ගැටුමට විසඳුම් ලබා දීමේ දී මිනිස්‌ අවශ්‍යතා පිළිබඳව ද සැලකිල්ලට ගත යුතු වෙයි. මානව අවශ්‍යතා ද සම්පූර්ණ කරන, වනජීවීන් ද ආරක්‌ෂා කරන ආකාරයේ විසඳුමක්‌ සොයාගැනීම අද දවසේ අවශ්‍යතාව වෙයි.

වරක්‌ අප සහභාගි වූ අලි-මිනිස්‌ ගැටුම පිළිබඳ එක්‌තරා වැඩසටහනක දී ප්‍රදේශවාසීන් පැවසූ කරුණක්‌ මෙහි දී අපට සිහි වෙයි. ඔවුන් මුහුණ දී තිබූ අලි-මිනිස්‌ ගැටුමට ආසන්න විසඳුමක්‌ නොමැති තත්ත්වයක්‌ තුළ ඔවුන්ගේ අදහස වූයේ 'එක එක සතා අඩු වෙලා හරි මේ ප්‍රශ්නෙ ඉවර වෙයි' යන අදහසයි. එම ප්‍රදේශයේ පසුගිය හැත්තෑ (70) වසරක පමණ කාලයේ අලි ගහනය අඩු වී ඇති අතර මිනිස්‌ ජනගහනය ඉහළ ගොස්‌ වන ගහනය අඩු වී ඇත. එසේ ම සිංහරාජ ප්‍රදේශයේ අලින්ට අද සිදු ව ඇත්තේ මෙයයි. එහි අතීතයේ සැලකිය යුතු තරමක්‌ සිටි අලි රංචුවකින් මේ වන විට ඉතිරි ව ඇත්තේ අලින් දෙදෙනකු පමණකි. එහෙත් මෙය පිළිගත හැකි තර්කයක්‌ නො වේ. ඇතැම් බිම් පෙදෙසක හුදකලා වී ඇති වනජීවීන් රැකගැනීමට මෙවැනි ආකල්ප වෙනස්‌ කළ යුතු බව පැහැදිලි ය.

Saturday, March 10, 2018

වසර 16කදී ඔරං උටං 100,000ක් මරා දමලා

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.02.2018 පි. 07 (Vidusara - Not available online)



අගේ‍්‍රෂයන් හෙවත් ප‍්‍රයිමේටාවන් යනු මිනිසාද අයත් වන, එසේම මිනිසාට වඩාත් සමීප සත්ත්ව විශේෂ වන වානරයන් හා වඳුරන් ආදි සතුන් ඇතුළත් වන සත්ත්ව ගෝත‍්‍රයයි. මේ අතරින් මහා වානරයන් ලෙස සැලකෙන ඔරං උටන්, ගොරිල්ලන් හා චිම්පන්සින් පරිණාමික වශයෙන් මිනිසාට වඩාත් සමීප වෙයි. ගෝත‍්‍රයේ සෙසු සාමාජිකයින්ට වඩා මේ මහා වානරයෝ බුද්ධියෙන්ද ඉහළ මට්ටමක පසුවෙති.

කෙසේ වෙතත්, බුද්ධියෙන් ඉහළම මට්ටමක පසුවන මිනිසාගේ ක‍්‍රියාකාරිත්වය නිසා ඔහුගේ සමීප ඥාතියකු වන ඔරං උටං පත්ව ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව පසුගියදා අසන්නට ලැබිණි. එ් අනුව වසර දහසයක කාලයක් ඇතුළත ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපතේ වෙසෙන ඔරං උටං සතුන් 100,000කට අධික පිරිසක් විවිධ හේතු නිසා මරුමුවට පත්ව ඇත.

මේ බව හෙළිව ඇත්තේ විද්‍යාඥයින් පිරිසක් විසින් වසර 16ක කාලයක් තිස්සේ එම දූපතේ ඔරං උටං සතුන් පිළිබඳව සිදුකරන ලද සමීක්ෂණයක් මගිනි. මෙම අධ්‍යයනයේදී අවධානය යොමුකර ඇත්තේ ඔරං උටං සතුන් තනන කූඩු ප‍්‍රමාණය කාලය හා සමඟ වෙනස් වී ඇති ආකාරය සම්බන්ධවයි. ඔරං උටං සතුන් තනනු ලබන කූඩු ප‍්‍රමාණය එම සතුන්ගේ ගහනයේ විශාලත්වය පැවසීම සඳහා යොදාගන්නා උපක‍්‍රමයකි. උක්ත අධ්‍යයනයේදී කූඩු ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා භූමියෙන් සිදුකරන ලද නිරීක්ෂණ මෙන්ම හෙලිකොප්ටර් යොදාගනිමින් සිදුකරන ලද නිරීක්ෂණද සමීක්ෂණ උපක‍්‍රම ලෙස යොදාගෙන තිබෙයි.

පර්යේෂණයේ ප‍්‍රතිඵල


මේ අධ්‍යයනයේදී ගණන් බලා ඇති ආකාරයට 1999 වර්ෂයත් 2015 වර්ෂයත් අතර කාලයේදී බෝර්නියෝ දූපතේදී මරුමුවට පත්ව ඇති ඔරං උටං සතුන්ගේ ප‍්‍රමාණය 100,000 ඉක්මවයි. එ් අනුව 1999-2015 අතර කාලයේදී ඔරං උටං සතුන්ගේ ගහනය අඩකින් පමණ ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව පෙනී ගොස් තිබේ.

එසේම මේ දූපතේ එකිනෙකට වෙනස් ඔරං උටං කණ්ඩායම් 64ක් හඳුනාගෙන ඇති අතර, ඉන් සියයකට අධික සතුන් පිරිසක් දැකිය හැක්කේ කණ්ඩායම් 38ක පමණකි. මෙම සත්ත්ව කණ්ඩායමක් ශක්‍ය එකක් වීම සඳහා එම කණ්ඩායමේ සියයකට අධික සාමාජිකයින් පිරිසක් සිටිය යුතු බව සැලකෙයි.

මේ ආකාරයෙන් ඔරං උටං සතුන් අකාලයේ මිය යෑම සඳහා හේතු වී ඇති ප‍්‍රධානම හේතුව වී ඇත්තේ වනාන්තර විනාශයයි. මේ දූපතේ වනාන්තර විනාශය සඳහා බලපා ඇති මූලික සාධකය වී ඇත්තේ දැව සඳහා ගස් කැපීම, කටු පොල් වගාව, කැනීම් හා කඩදාසි කර්මාන්තය වැනි මානව මූලික ක‍්‍රියාවලිය. ඉන්දුනීසියාවේ ඇතැම් ප‍්‍රදේශවල ප‍්‍රධාන ආදායම් මාර්ග වී ඇත්තේ මෙම කර්මාන්තය. මේ නිසා ඇතැම් විට පවත්නා නීති රීතිවලට ගරු නොකරමින් වනාන්තර හෙළි පෙහෙළි කරමින් මේ ක‍්‍රියාවලිවල යෙදෙන ආකාරය දැකිය හැකිය.

මේ හේතු නිසා බෝර්නියෝ දූපතේ වනාන්තර බෙහෙවින් කැබලිකරණය වී ඇති අතර, ඒ නව වැවිලි වගා සහ ගොඩනැගිලි ව්‍යාපෘති ආදිය නිසාය. එසේම, මෙවැනි ප‍්‍රදේශවල ඔරං උටං ගහනය 75%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව හෙළි වී තිබේ.

එහෙත් දූපතේ ඝන වනාන්තරගත ප‍්‍රදේශවල ඔරං උටං ගහනයද 50%කින් පමණ අඩු වි ඇති බව උක්ත අධ්‍යයනයෙන් හෙළිව ඇත. මෙහි ඇති වැදගත් කරුණ වන්නේ වනාන්තරගත ප‍්‍රදේශවල වැඩි සතුන් ප‍්‍රමාණයක් වෙසෙන බැවින් මේ අඩුවීම යනු වැඩි සතුන් ප‍්‍රමාණයක් මියගොස් ඇති බවක් වීමයි. එ් අනුව අධ්‍යයන කාලය තුළ මියගොස් ඇති ඔරං උටං සතුන් අතරින් 70%ක් පමණ ප‍්‍රමාණයකගේ මරණ වනාන්තරවල සිදුව ඇති බව පැහැදිලිය. වනාන්තර ලෙසින් පවත්නා පරිසරයේද මේ සතුන් විශාල වශයෙන් මියයෑනේ පෙනී යන්නේ සැලකිය යුතු ඔරං උටං සතුන් ප‍්‍රමාණයක් හුදෙක් දඩයම මගින් ඝාතනය කරනු ලබන බවක් විය හැකි යැයි පර්යේෂකයන්ගේ අදහස වෙයි. මෙය මීට පෙර එතරම් අවධානයට ලක් නොවූ තර්ජනයක් ලෙස සඳහන්ය.

මෙසේ ඔරං උටං සතුන් මරා දැමීම දඩයක්කරුවන් විසින් සිදුකරනු ලබන්නේ කරුණු කීපයක් නිසාය. ආහාර සොයා පැමිණෙන ඔරං උටං සතුන් මිනිසුන්ගේ භෝග වගා බිම්වලට හානි කරනු ලැබීම නිසා එරෙහිව දඩයම් කිරීම සිදුකරනු ලැබිය හැකි බව ඉන් එකකි. වගාබිමක් ආසන්නයේ ඇති පරිසරයකදී මිනිසුන් සමඟ ගැටුමක් ඇතිකරගත් විට හැම අවස්ථාවකදීම මේ සතුන් පරාජයට පත් වන බව පැහැදිලිය. එසේම වනාන්තරවලට සතුන් දඩයම් කිරීම සඳහා පිවිසෙන දඩයක්කරුවන් ඔරං උටං වැනි සතුන් ආහාරය පිණිස දඩයම් කිරීමද දැකගත හැකි කරුණකි. එසේම සුරතල් සතුන් ලෙස ඇතිකිරීම සඳහා යොදාගැනීම පිණිස පැටවුන් ලබාගැනීම සඳහා ඔරං උටං ගැහැණු සතුන් මරාදැමීමද සිදු වෙයි. එක් පැටවකු ලබාගැනීම සඳහා වැඩිහිටි ගැහැණු සතෙකු මරාදැමීම සිදු කෙරෙයි. වනාන්තර ලෙස පවත්නා පරිසරයක මෙවැනි තත්ත්වයක් පවත්නා බවක් මීට පෙර නොසිතූ බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. මේ අනුව දඩයම බරපතළ ගැටලූවක් බව පැහැදිලි වන බව ඔවුන්ගේ අදහසයි.

සංරක්ෂණයේ අනාගතය


අද වන විට බෝර්නියෝ දූපතේ වාසය කරන ඔරං උටං සතුන්ගේ ගණන 70,000-100,000 අතර ගණනක් බව ගණන් බැලා තිබෙයි. මේ අධ්‍යයනයේදී තවදුරටත් ගණන් බලා ඇති පරිදි වන විනාශය නිසා ඇතිවන වාසස්ථාන අහිමිවීම නිසා ඇති වන බලපෑම් අනුව ඉදිරි වසර 35ක කාලය ඇතුළත තවත් ඔරං උටං සතුන් 45,300ක් පමණ ප‍්‍රමාණයක් පමණ මරණයට පත් විය හැකිය. මෙහිදී ඔරං උටං සතුන්ට රුක් ආවරණයක් නොමැති ප‍්‍රදේශවල ජීවත් වීමට නොහැකිය යන්න උපකල්පනය කර තිබෙයි. එසේම මෙම ගණන් බැලීමේදී අදාළ සතුන් ආරක්ෂා කිරීම සඳහා කිසිදු උත්සාහයක් නොගතහොත් යන තත්ත්වයද සැලකිල්ලට ගෙන ඇත. කෙසේ වෙතත් මෙම පුරෝකථනයට ආහාරය සඳහා හෝ මිනිසුන් සමඟ ඇති කරගන්නා ගැටුම් නිසා හෝ දඩයම් කිරීමෙන් මරා දමනු ලබන සතුන්ගේ ගණන අයත් නොවෙයි. මෙම කරුණුද ඇතුළත් වූ පසුව මෙම අගය තවත් ඉහළ යා හැකිය.

මෙම පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ඔරං උටං මරණ ගණන මෙතරම් ඉහළ වෙතැයි ඔවුන් මුලින් අපේක්ෂා නොකළ තරම්ය. එහෙත් එය එසේ වී තිබේ. මේ තත්ත්වය වළක්වා ගෙන ඔරං උටං ගහනය ස්ථාවර තත්ත්වයකට ගෙන එ්මට නම් කළ යුතු කාර්යය රාශියක් ඇති බව පැහැදිලිය. මෙහිදී වනාන්තර විනාශය වළක්වාලිම පිණිස කාර්යක්ෂම ලෙස මැදිහත් වීම මෙන්ම වගා පාලූ කිරීම හැර අන් හානියක් නොමැති මෙම සතුන් නිකරුනේ ඝාතනය කිරීම වළක්වාලීම සඳහා ඍජු මැදිහත්මක් සිදුකිරීම වැදගත් වෙයි. මේ සඳහා ගත යුතු විවිධ පියවර ඇති බව මේ පර්යේෂකයන්ගේද අදහස් වෙයි. විශේෂයෙන් අභිජනන වේගය අඩු මට්ටමක පැවතීම ඔරං උටං ගහනය යහපත් මට්ටමක පවත්වා ගැනීමේදී සැලකිල්ලට ලක්විය යුතු කරුණක් වේ.

මේ අනුව මිනිසුන් විසින් තිරසර නොවන ආකාරයට ස්වාභාවික සම්පත් භාවිත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් සිදුව ඇති හානියේ තරම බෝර්නියෝ දූපතේ ඔරං උටං සතුන් මුහුණදී ඇති තත්ත්වයෙන්ද පෙනේ. මානවයින් ස්වකීය ළගම ඥාතීන් පිළිබඳව මීට වඩා සැලකිලිමත්ව සිතිය යුතු බව පැහැදිලිය. මේ අධ්‍යයනය පැහැදිලි අනතුරු හැඟවීමක් සිදුකරන්නක් වන අතර, කඩිනමින් පියවර ගැනීමේ ඇති වැදගත්කමද අවධාරණය කරයි.

මූලාශ්‍රය - Current Biology, DOI: 10.1016/j.cub.2018.01.053

සටහන - ඔරං උටං

ඔරං උටං යනුවෙන් හඳුන්වනු ලබන ප‍්‍රයිමාටා ගෝත‍්‍රයට අයත් වානර විශේෂ තුනක් මිහිමත ජීවත් වෙති. Pongo ගණයට අයත් ඔරං උටං සතුන් අතරින් Pongo pygmaeus විශේෂය බෝර්නියෝ දූපතේද, Pongo abelii හා Pongo tapanuliensis නම් අනෙක් විශේෂ දෙක සුමාත‍්‍රා දූපතේ ප‍්‍රදේශ දෙකකදීද දැකිය හැකිය. බෝර්නියෝ දූපතේ ජීවත්වන විශේෂයේ උප විශේෂ තුනක් ජීවත් වන බව හඳුනාගෙන තිබේ.

බුද්ධිමත් මහා වානරයන් අතර සිටින ඔරං උටං විවිධ දේ සරල උපකරණ ලෙස භාවිතයට ගැනීම සිදුකරන අතර රාත‍්‍රී කාලය ගත කිරීම සඳහා ගස් මත කූඩුවක් වැනි ව්‍යුහයක් තැනීම සිදුකරයි. එසේම මේ සත්ත්වයා ප‍්‍රයිමේටා සතුන් අතර වෙසෙන වඩාත්ම රුක්වාසි ජීවිතය ගත කරන ප‍්‍රයිමේටාවා සේ සැලකෙයි. එයද වැදගත් කරුණකි.

ඔරං උටං මුහුණ දී ඇති තර්ජනය මහත්ය. වාසස්ථාන විනාශ වීම, දඩයම් කිරීම, සුරතල් සතුන් ලෙස ඇතිකිරීම වැනි කටයුතු මේ සතුන් මුහුණ දී ඇති ප‍්‍රධාන තර්ජන අතර වෙයි. මේ තත්ත්වය හේතුවෙන් ලෝක සංරක්ෂණ සංගමය මගින් 2016 වර්ෂයේදී මෙම සත්ත්ව විශේෂ තුනම දැඩි අන්තරායක (Critically Endangered) තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් ලෙස නම් කරන ලදි.

Tuesday, January 16, 2018

සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනය අඩු වීම සඳහා හේතු වූ අතීත දේශගුණ වෙනස්‌ වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 10.01.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/01/10/feature4.html




ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ හා බෝර්නියෝ දූපතේ වාසය කරන සුමාත්‍රානු රයිනෝසිරස්‌ (Sumatran Rhinoceros) ලෙස හැඳින්වෙන රයිනෝසිරස්‌ විශේෂය ලෝකයේ ජීවත් වන රයිනෝ විශේෂ පහ අතරින් කුඩා ම විශේෂය වෙයි. Dicerorhinus sumatrensis ලෙස සත්ත්ව විද්‍යාත්මක ව හැඳින්වෙන මේ සත්ත්ව විශේෂය Dicerorhinus ගණයට අයත් වන එක ම විශේෂයයි. එම විශේෂයේ උප විශේෂ තුනක්‌ පිළිබඳ ව වාර්තා වන අතර, එක්‌ විශේෂයක්‌ මේ වන විට වඳ වී ගොස්‌ ඇති සේ සැලකේ.

සුමාත්‍රානු රයිනෝසිරස්‌ කෙතරම් දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇත්තේ ද යත්, IUCN රක්‌ත ලේඛනයේ 'දැඩි අන්තරායක' (Critically Endangered) තත්ත්වයේ ලා සැලකෙන සත්ත්ව විශේෂයකි. 2011 වර්ෂය වන විට ස්‌වාභාවික පරිසරයේ මේ විශේෂයට අයත් රයිනෝ සතුන් 216ක්‌ පමණ හමු වූ බව වාර්තා වෙයි. එහෙත් ඇතැම් මෑතකාලීන ගණන් බැලීම්වලට අනුව දැන් මේ ගණන සියයකටත් වඩා අඩු ය. අතීතයේ දී මේ සතුන් ගේ ව්‍යාප්තියේ උතුරු සීමාව ඉන්දියාව සිට ලාඕසය දක්‌වා වූ අතර, දකුණු සීමාව ඉන්දුනීසියානු දූපත් විය. එහෙත් අද වන විට මේ සතුන් වාසය කරන්නේ සුමාත්‍රා දූපතේ හා බෝර්නියෝ දූපතේ පමණකි. මැලේසියානු අර්ධද්වීපයේ මේ සතුන් ජීවත් වන්නේ ද යන්න සැකසහිත බව පෙන්වා දී තිබෙයි. මේ සතුන් පත් ව ඇති බරපතළ ම තර්ජනය වන්නේ අං ලබාගැනීම සඳහා දඩයම් කිරීමයි. එසේ ම මේ සත්ත්වයා ගේ දේහ කොටස්‌ විවිධ ඖෂධීය අවශ්‍යතා සඳහා යොදාගැනීම ද දැකිය හැකි ය. ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ සිදු වූ මේ දඩයම් කිරීම නිසා සුමාත්‍රානු රයිනෝසිරස්‌ අද වන විට වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති බව පිළිගැනෙයි.

කෙසේ වෙතත්, මේ සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය සම්බන්ධ ව මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් අපූරු කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ අනුව, මේ රයිනෝ විශේෂයේ ගහනය අඩු වීමට බලපෑ හේතු ආරම්භ වූයේ අද ඊයේ නො ව, අදින් වසර මිලියනයකට පමණ කාලයකට පෙර පැවැති ප්ලයිස්‌ටොසීන යුගයේ මැද භාගයේ දී පමණ ය.

ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඇමෙරිකාවේ සින්සිනාටි සත්ත්වෝද්‍යානයේ වාසය කළ සුමාත්‍රානු රයිනෝසිරස්‌ සතෙකු ගෙන් ලබාගත් නිදර්ශකයකින් උකහාගත් ගෙනෝමයකි. ඉපු (Ipuh) නමින් හැඳින්වුණු එම සත්ත්වයා වසර 22ක්‌ පමණ කාලයක්‌ එම සත්ත්වෝද්‍යානයේ වාසය කර 2013 වර්ෂයේ දී මිය ගොස්‌ ඇත. එම සතා ගෙන් පැවත එන රයිනෝ සත්තු මේ වන විට ඉන්දුනීසියාවේ අභය භූමිවල වාසය කරති.

මේ ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් Pairwise Sequential Markovian Coalescent (PSMC) නම් අණුක විද්‍යාත්මක තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ යොදාගනිමින් එම සතුන් ගේ ප්‍රවේණික ඉතිහාසයක්‌ ගොඩනැංවීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. මෙහි දී එක්‌ ජීවියකු ගේ ගෙනෝම අනුක්‍රමයක්‌ (genome sequence) යොදාගනිමින් එම ජීවියා අයත් විශේෂයේ ගහනයේ විශාලත්වයේ ඉතිහාසය ගොඩනැංවීමට හැකියාව ලැබෙයි. මෙය දුර්ලභ හෝ වඳ වී ගිය හෝ විශේෂ අධ්‍යයනය කිරීමේ දී විශේෂයෙන් වැදගත් වන ක්‍රමවේදයකි. උක්‌ත අධ්‍යයනයේ දී ද මේ ක්‍රමවේදයෙන් ලබාගත් දත්ත හා පාරිසරික නිෙ€ත ආකෘතියක්‌ සම්බන්ධ කරමින් අතීතයේ සිදු වූ දේශගුණ වෙනස්‌ වීම් මේ සතුන් ගේ ගහනයේ විශාලත්වයට බලපා ඇති ආකාරය අවබෝධ කරගැනීමට මේ පර්යේෂකයෝ උත්සාහ කළ හ.

සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනයේ වෙනස්‌ වීම්


සුමාත්‍රානු රයිනෝ ගහනය ඉතිහාසයේ දී උච්චාවචනය වූ ආකාරය මේ ප්‍රවේණික දත්ත අනුව පැහැදිලි වී තිබෙයි. මේ සතුන් ගේ ගහනයේ උපරිම ප්‍රමාණය දැකිය හැකි වී ඇත්තේ සුන්ඩාලන්තය නමින් හඳුන්වනු ලබන බිම් ප්‍රදේශය පැවැති කාල සීමාවේ ය. සුන්ඩාලන්තය යනු අදින් වසර මිලියන 2.6ක පමණ කාලයකට පෙර පටන් මුහුදු මට්‌ටම පහළ ගොස්‌ තිබූ කාලයේ දී අග්නිදිග ආසියාවේ දැකිය හැකි වූ විශාල ගොඩබිම් ප්‍රදේශයකි. ඊට මලයාසියානු අර්ධද්වීපය, සුමාත්‍රා, ජාවා හා බෝර්නියෝ යන වර්තමානය වන විට දූපත් බවට පත් ව ඇති ප්‍රදේශ ඇතුළත් විය. මේවා එක ම ගොඩබිමක්‌ ලෙස සම්බන්ධ වී තිබූ අතර ඒ අනුව මේ දූපත් ආසියා මහාද්වීපයට ද සම්බන්ධ ව තිබිණි. මේ අනුව මේ ප්‍රදේශවල සත්ත්ව සංක්‍රමණ සිදු වූ බව පැහැදිලි වෙයි. පසුව මුහුදු මට්‌ටම ඉහළ යැමේ දී මේ ප්‍රදේශ සමහරක්‌ දූපත් බවට පත් වූ අතර විශාල ප්‍රදේශයක්‌ මුහුදුබත් විය. (සිතියම බලන්න) මේ කලාපය ජෛවභූගෝල විද්‍යාත්මක ව (biogeographically) වැදගත් කලාපයක්‌ සේ සැලකේ.

සුන්ඩාලන්තය පැවැති කාලයේ දී, එනම් අදින් වසර 950,000ක්‌ පමණ කාල සීමාවකට පෙර සුමාත්‍රානු රයිනෝ ගහනය එහි උපරිම විශාලත්වයට ළඟා වූ බව ප්‍රවේණික දත්ත අනුව මේ විද්‍යාඥයන් ගේ අදහස වෙයි. එහි උපරිම ප්‍රමාණය ඇස්‌තමේන්තුගත කර ඇත්තේ සතුන් 57,800ක්‌ පමණ ලෙස ය. මේ ප්‍රමාණය සඵල ගහන විශාලත්වය (Effective population size) ලෙස හැඳින්වෙයි. එමඟින් අදහස්‌ වන්නේ යම් ගහනයක අභිජනනය කරන සතුන් ගේ ප්‍රමාණය, වැඩිහිටි සතුන් ගේ ප්‍රමාණය, පිළිබඳ සංඛ්‍යාවකි. සතුන් ගේ ගහනයේ මේ වර්ධනය සිදු වී ඇත්තේ මුල් ප්ලයිස්‌ටොසීන යුගයේ සිට මධ්‍ය ප්ලයිස්‌ටොසීන යුගය දක්‌වා වූ කාලයේ දී ය.

එහෙත් අයිස්‌ යුගයේ අවසානයේ දී මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා පෙර කී සුන්ඩාලන්තයෙන් විශාල කොටසක්‌ මුහුදුබත් විය. එයට අයත් භූමි ප්‍රදේශයේ කොටස්‌ සමහරක්‌ දූපත් බවට පත් ව මහාද්වීපයෙන් වෙන් විය. බෝර්නියෝ, ජාවා, සුමාත්‍රා දූපත් මෙසේ මලයාසියානු අර්ධද්වීපයෙන් වෙන් වීම සිදු විය. ඒ සමඟ අදින් වසර 12,000ක්‌ පමණ කාලයකට පෙර කාලය වන විට මේ කලාපයේ විශාල ක්‌ෂීරපායින් පීඩා විඳින්නට පටන්ගෙන තිබිණි. සුමාත්‍රානු රයිනෝසිරස්‌ ද ඉන් එක්‌ විශේෂයක්‌ විය.

සුමාත්‍රානු රයිනෝ වැනි සතුන් දූපත්වලට කොටු වූ අතර ඒ සමඟ මේ සතුන්ට ජීවත් වීම සඳහා යෝග්‍ය වූ පරිසරය විශාල ලෙසින් අඩු වීම හා වාසස්‌ථාන කඩ කඩ වීමෙන් ගහන වෙන් වීම දැකිය හැකි විය. අදින් වසර 9,000ක්‌ පමණ වන විට මේ සතුන් ගේ සඵල ගහන විශාලත්වය 700ක්‌ පමණ ප්‍රමාණයක්‌ දක්‌වා අඩු වී තිබූ බව මේ අධ්‍යයනයේ ප්‍රවේණික සාධක මඟින් හෙළි වෙයි. මේ සඳහා බලපෑ සාධකය වූයේ දේශගුණ වෙනස්‌ වීමයි.

ගහනයේ විශාලත්වය අඩු වීම නිසා සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනයේ ප්‍රවේණික විවිධත්වය අඩු වීම සිදු වී ඇත. ඒ සමඟ එදා අඩු වූ රයිනෝ ගහනය කිසිදු දිනයක යථා තත්ත්වයකට පත් වූ බවක්‌ නො පෙනෙන බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. මේ අනුව සුමාත්‍රානු රයිනෝ විශේෂය බොහෝ කාලයක්‌ තිස්‌සේ වඳ වී යැමේ මාවතේ ගමන් කරමින් සිට ඇති බව මේ විද්‍යාඥයන් ගේ අදහස වෙයි.

මානව බලපෑම


රයිනෝ සතුන් ගේ වාසස්‌ථාන වූ වනාන්තර බිම් විනාශ කිරීම හා රයිනෝ දඩයම් කිරීම වැනි මෑත කාලයේ දී මිනිසුන් විසින් සිදු කරන ලද කටයුතු ඒ වන විටත් ජාන විවිධත්වයෙන් පිරිහීමට පත් ව තිබූ මේ රයිනෝ සතුන් වඳ වී යැමේ අවදානම තවදුරටත් වර්ධනය කිරීම සඳහා හේතු වූ බව ද පැහැදිලි ය. ප්‍රවේණික විවිධත්වය අඩු සත්ත්ව විශේෂයක්‌ මිනිසුන් ගේ දඩයමට ලක්‌ වීම නිසා දැඩි අවදානමකට ලක්‌ වීමට අවස්‌ථාවක්‌ ඇත.

හොලෝසීන යුගයේ දී වනාන්තර හෙළි කිරීම මෙන් ම රයිනෝ සතුන් දඩයම් කිරීම ද මිනිසුන් විසින් සිදු කරන ලද බවට සාධක පවතියි. නිදසුනක්‌ ලෙස බෝර්නියෝ දූපතේ නියා ගුහාව වැනි ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්‌ථානවලින් ලැබී ඇති සාධක දැක්‌විය හැකි ය. ඒ අපර ප්ලයිස්‌ටොසීන සමයේ දී ය. මේ අනුව මෑත අතීතයේ දී රයිනෝ ගහනය අඩු වීම සඳහා මානව ක්‍රියාකාරිත්වය ද බලපා ඇති බව පැහැදිලි ය.

මේ කරුණු අනාවරණය වීම රයිනෝ සංරක්‌ෂණය පිළිබඳ ව වර්තමානයේ ඇති වී තිබෙන උත්සාහය අසාර්ථක විය හැකි යෑයි අවතක්‌සේරු කරනු නො ලැබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනය අද මුහුණ පා ඇති තර්ජන වැළැක්‌වීම කළ නොහැකි යෑයි අවතක්‌සේරු කිරීමක්‌ ඉන් අදහස්‌ නො වෙයි. එහෙත් මේ විශේෂයේ ගහනයේ තත්ත්වය වඩා පුළුල් වූ පාරිසරික හා පරිණාමික සන්දර්භයක පිහිටුවනු ලැබීමට මේ අධ්‍යයනය මඟින් උපකාරයක්‌ ලැබෙන බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි. එසේ ම පරිණාමීය වශයෙන් ඇති ප්‍රවණතා හඳුනාගනු ලැබීම සංරක්‌ෂණ උත්සාහය සාර්ථක කරගැනීම සඳහා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වෙතත් සුමාත්‍රානු රයිනෝසිරස්‌ සංරක්‌ෂණය පෙරටත් වඩා අභියෝගයක්‌ බව නම් පැහැදිලි ය.

මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2017.11.021

Tuesday, September 26, 2017

අලි-මිනිස්‌ ගැටුම වැළැක්‌වීමට අලින් අල්ලා විකිණීම විසඳුමක්‌ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.09.2017. පි. 11 (Vidusara)

http://www.vidusara.com/2017/09/20/feature3.html


අලි පිළිබඳව කිසියම් දේශපාලනමය කතාබහක්‌ යළිත් ආරම්භ වී තිබේ.

'කැළෑ ප්‍රමාණයේ හැටියට ලංකාවට අවශ්‍ය අලි හාර දාහයි' යනුවෙන් හා අලි බෝ වීම පාලනය කිරීමට කටයුතු කළ යුතු යෑයි පාලක පක්‌ෂයේ දේශපාලනඥයකු පැවසූ කතාවක්‌ මේ සාකච්ඡාව සඳහා මූලික හේතුව විය. ඒ සමග තවත් අදහස්‌ සමූහයක්‌ මතු ව ඇත්තේ වනජීවී-මිනිස්‌ ගැටුමට හේතු වන හානි කරන ඌරන්, රිලවුන් වැනි වෙනත් සතුන් සම්බන්ධව ද ගත යුතු පියවර ද මේ ප්‍රකාශයට ඈඳීමත් සමග ය.

මේ ප්‍රකාශය පිළිබඳව විවිධ අදහස්‌ පළ වී ඇත. ඉන් සමහරක්‌ පළ වී ඇත්තේ ඉහත කී ප්‍රකාශයට පක්‌ෂ ව ය. සමහරක්‌ ඊට විපක්‌ෂ ව ය. මේ අදහස්‌ මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම සමාජ ජාලවල හා වෙනත් වෙබ් අඩවිවල ද පළ වී තිබේ. මේ සමහර අය ගේ අදහස්‌ හාස්‍යජනක වන්නේ ඉන් ඔවුන් ගේ අලින් හා වනජීවීන් පිළිබඳ දැනුම ද ප්‍රශ්න කෙරෙන නිසා ය. නිදසුනක්‌ ලෙස ඇතැමුන් අලි රංචුවක නායකත්වය දරන ඇත් රජු ගැන ද කතා කර තිබිණි. ආසියානු අලි රංචුවක නායකත්වය දරන්නේ වැඩිමහල් ගැහැනු අලියකු බව නො දන්නා අය තවමත් සිටිති. තවත් සමහරුන්ට අනුව ලංකාවේ අලින් ඉන්නේ 2000-2500ක්‌ අතර ප්‍රමාණයක්‌ පමණි.

මෙරට අලි ගහනය කොපමණ ද?


මෙරට වෙසෙන අලි ගහනය පිළිබඳව ද ගැටලුවක්‌ ඇති බව පෙනේ. මෙරට අලි ගහනය පිළිබඳව ඇති වඩාත් පිළිගත හැකි ගණනය කිරීම වන්නේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් ව 2011 වර්ෂයේ දී සිදු කරන ලද අලි සංගණනයයයි. එහි වාර්තාව The First Island Wide National Survey of Elephants in Sri Lanka 2011 යනුවෙන් 2013 වර්ෂයේ දී පළ විය. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට මේ වන විට අලි 5,879ක්‌ පමණ මෙරට වාසය කරති. අප මාතෘකා කරගත් ඉහත කී දේශපාලනඥයා ගේ කතාවේ දී ඔහු මෙරට අලි 6,000ක්‌ සිටිනවා යෑයි පවසන්නේ මේ මත පදනම් ව විය යුතු ය.

මේ ගණන විශාල සංඛ්‍යාවක්‌ බැවින් ඇතැම් අය මේ සංගණනය පිළිබඳව සැක කරන ආකාරයක්‌ ද දැකිය හැකි ය. එහෙත් ස්‌වාධීන ව සිදු කර ඇති අධ්‍යයනවලින් ද ඇතැම් ප්‍රදේශවල අලි ගහන සම්බන්ධව හෙළි වී ඇති සංඛ්‍යාලේඛන මීට සමාන ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ශර්මින් ද සිල්වා සහ තවත් අය විසින් 2011 දී Biological Conservation සගරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව උඩවලව ජාතික වනෝද්‍යානය පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව එහි වාසය කරන අලින් ගණන 804-1,160 අතර බව ගණන් බලා ඇත. (DOI: 10.1016/j.biocon.2011.03.011) කෙසේ වෙතත් 2011 දෙපාර්තමේන්තු සංගණනයේ දී උඩවලව පමණක්‌ නො ව, රුහුණ, ලුණුගම්හෙහෙර හා බුන්දල යන ජාතික උද්‍යාන මෙන්ම ඉන් පිටත ප්‍රදේශ ද ඇතුළත් දකුණු වනජීවී කලාපයෙන් ම (එවකට දකුණු කලාපය) වාර්තා වන, වන අලින් ගණන 1,086ක්‌ පමණි.

අනෙක්‌ අතට මෙරට වාසය කළ හැකි අලින් කොපමණ ප්‍රමාණයක්‌ ද යන්න පිළිබඳව ප්‍රාමාණික අධ්‍යයන සිදුව තිබේ ද යන්න සැකසහිත ය. එසේ සිදු ව ඇතත්, 'අවශ්‍ය' යෑයි අලින් ප්‍රමාණයක්‌ නියම කිරීමට මිනිසුන්ට සදාචාරාත්මක අයිතියක්‌ තිබේ ද යන්න ගැටලුවකි. අලින් යනු ද ස්‌වාභාවික පරිසරයේ මිනිසුන් මෙන්ම ජීවත් වීමේ අයිතියක්‌ ඇති ජීවීන් කොට්‌ඨාසයකි.

පර්යේෂකයන් පෙන්වා දී ඇති ආකාරයට මෙරට අලි ගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාසය කරන්නේ ආරක්‌ෂිත ප්‍රදේශවලින් බාහිර ව ය. ඇතැම් විට කැළෑවලින් ද බැහැර ව යමිනි.

අලි ඉන්නේ කැළෑවල පමණක්‌ ද?


ඇතැමුන්ට අනුව අලින් ඉන්නට ඕනෑ කැළේ හෝ ආරක්‌ෂිත ප්‍රදේශවල පමණකි. එහෙත් මිනිසුන් මෙසේ සීමා පනවා ඇති බව අලින් දන්නේ නැත. එසේ ම අලින් ගේ වාසස්‌ථාන වූ ප්‍රදේශ මේ වන විට මිනිසුන් සිය වගා කටයුතු හා ජනාවාස සඳහා යොදාගෙන ඇත. ආහාර මෙන්ම ජලය ද අලින් ගේ අවශ්‍යතාවකි. ජල මාර්ග සොයා ඇතැම් අවස්‌ථාවල දී මානව ජනාවාස සහිත ප්‍රදේශ හරහා ගමන් කිරීමට අලින්ට සිදු ව තිබේ. එසේ ම දික්‌ගැසුණු නියගය වැනි සුවිශේෂ තත්ත්වවල දී ආහාර හා ජලය පිළිබඳ ගැටලුව තවදුරටත් උග්‍ර වේ.

පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි අලි ඇත්තු ආහාර සොයා හේන් ආශ්‍රිත ව මෙන්ම වැව් පිටි ආශ්‍රිත ව ගැවසෙති. අලි හේන්වල භෝග අස්‌වැන්න නෙළාගත් පසුව ඉතිරි භෝග හා ඉන්පසුව වැවෙන ශාකවලට රුචිකත්වයක්‌ දක්‌වති. රුහුණ ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති නිමලව ප්‍රදේශයට උතුරින් පිහිටි හේන් වගා කළ ප්‍රදේශ ආශ්‍රිත ව සිදු වූ සිදුවීම මේ සඳහා දැක්‌විය හැකි යෝග්‍යතම නිදසුනකි. එහි දී පෙනී ගිය පරිදි රුහුණ ජාතික වනෝද්‍යානයේ වාසය කළ අලින් වියළි කාලයේ දී යාබදව පිහිටා ඇති හේන් පිහිටා තිබූ ප්‍රදේශවලට පැමිණ අස්‌වනු නෙළාගෙන තිබූ හේන්වල ඉතිරි ව තිබූ භෝග ශේෂ හා සෙසු ශාක ආහාරයට ගැනීම සිදු කර ඇත. එහෙත් යළි වර්ෂා සමය එළැඹීමත් සමග මේ අලින් අතරින් වැඩි ප්‍රමාණයක්‌ යළිත් වනෝද්‍යානය තුළට හා වෙනත් වගා නොකරන ප්‍රදේශවලට පිවිසි බව රේඩියෝ කොලර් යොදාගනිමින් කළ අධ්‍යයනයකින් හෙළි වූ බව ඊ. ඩී. වික්‍රමනායක හා තවත් අය පළ කර ඇති පර්යේෂණ වාර්තාවකින් දක්‌වා ඇත. මෙය වැදගත් වන්නේ වර්ෂා සමයේ දී මේ ප්‍රදේශවල හේන් වගාව සිදු කරන නිසා ය. ඒ කාලයේ දී අලින් ගේ ගැවසීම අඩු වීම නිසා අලි-මිනිස්‌ ගැටුම් අවම වීමට මේ තත්ත්වය හේතු විය. මේ නිසා සාම්ප්‍රදායික ජීවනෝපාය ක්‍රම මනා පාලනයකින් යුක්‌ත ව භාවිත කිරීම අලි සංරක්‌ෂණය මෙන්ම අලි-මිනිස්‌ ගැටුම අවම කිරීම සඳහා යොදාගත හැකි උපක්‍රමයක්‌ බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, 2000 වර්ෂයෙන් පසුව පමණ මෙසේ, කලින් කලට ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් දිවි ගෙවූ අලින් රුහුණු ජාතික උද්‍යාන ප්‍රදේශයට සීමා කරමින් විදුලි වැටක්‌ ඉදි කිරීමෙන් පසුව එම අලින් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ අකාලේ මිය ගිය බව වාර්තා වී තිබේ.

අලින් සමග දිවි ගෙවීම


මිනිසුන් හා අලින් අතර සහයෝගී පැවැත්මක්‌ පිළිබඳව යම් අදහසක්‌ පවත්වාගත නොහැකි ද යන්න සිතා බැලිය යුතු දෙයකි. ඒ සඳහා බහු පාර්ශ්වීය ප්‍රවේශයක්‌ අවශ්‍ය බව සැබෑ ය. සංවර්ධනය හා මිනිසුන් ගේ අවශ්‍යතා සොයාබැලීම හා ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීම මෙන්ම වනජීවීන් උදෙසා අවශ්‍ය බිම් ප්‍රමාණය තබාගැනීම රටක්‌ ලෙස වැදගත් ය. වනජීවී කළමනාකරණය මෙහි දී වැදගත් වේ. මේ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීමට සිදු විය හැකි ය. විදුලි වැට, ජීව වැට, අගල්, ගැටලුකාරී අලින් ඇල්ලීම, අලින් එළවීම ආදි විවිධ උපක්‍රම මේ සඳහා භාවිත වේ. මේ අතරින් වඩාත් වැදගත් වන්නේ මිනිසුන් හා අලින් අතර සහයෝගී පැවැත්මක්‌ සිදු කළ හැකි ආකාරයේ විසඳුම් ය. එවැනි විසඳුම් සාර්ථකව ක්‍රියාත්මක කළ අවස්‌ථා තිබේ. අලින් ගේ සංචරණයට ද අවස්‌ථාව ලබා දෙමින් ගම් වටා විදුලි වැට යෙදවූ අවස්‌ථා මේ සඳහා නිදසුනකි.

අනාදිමත් කාලයක සිට පැවත එන අලි-මිනිස්‌ ගැටුම අලින් ගේ හා මිනිසුන් ගේ මරණවලට මෙන්ම දේපොළ හා වගාහානිවලට හේතු වන කරුණක්‌ බව සැබෑවකි. මෙය කඩිනමින් විසඳුමක්‌ සෙවිය යුතු ගැටලුවක්‌ ද වේ. එසේ ම මෙය රටේ සැම තැනකට ම එක ම ආකාරයේ විසඳුමක්‌ ලබා දිය හැකි ගැටලුවක්‌ නො වේ. එයට හේතුව ගැටලුවට බලපා ඇති හේතු විවිධ ප්‍රදේශවල දී වෙනස්‌ වීම ය. මේ අනුව මෙය විවිධ ආකාරයේ විසඳුම් ලබා දිය යුතු ආකාරයේ ගැටලුවක්‌ බව බලධාරීන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් ද වටහාගත යුතු වේ. එහෙත් මේ ගැටලුවට විසඳුම අලි ඇල්ලීම හෝ විකිණීම නම් නො වේ.

හීලෑ අලින් අවශ්‍ය කුමකට ද?

අලි-මිනිස්‌ ගැටුමට විසඳුම් ලෙස ඉදිරිපත් වන යෝජනාව අතරට අලින් අල්ලා විකිණීම නම් ඇතුළත් විය යුතු යෑයි ක්‌ෂේත්‍රයේ කිසිදු විද්වතකු පවසනු ඇතැයි අප සිතන්නේ නැත. ඉන් පළමු කරුණ වන්නේ අලින් අද අවශ්‍ය වන්නේ කුමක්‌ සඳහා ද යන්නයි. සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා විදේශ රටවලට යෑවූ අලින් පත් ව ඇති ඉරණම විදේශීය මාධ්‍ය ඔස්‌සේ වාර්තා වේ.

සාම්ප්‍රදායික දැනුමක්‌ ලෙස සැලකිය හැකි අලි හීලෑ කිරීම පිළිබඳ මෙරට ඉතිහාසය බොහෝ පැරැණි ය. එහෙත් අද වන විට හීලෑ අලින් අවශ්‍ය වන්නා වූ ප්‍රධානතම කාර්යය වන්නේ සංස්‌කෘතික වශයෙන් වැදගත්කමක්‌ ඇති පෙරහැර පමණකි. ඇතැමුන් ඊට විරුද්ධ වුව ද පෙරහැර යනු අනාදිමත් කාලයක සිට පැවත එන සංස්‌කෘතික අංගයකි. මෙය බුදුදහම මෙරටට හඳුන්වා දුන් කාලයේ සිට පැවත එන්නක්‌ බව මහාවංසය අනුව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මෙරට පළමු ස්‌තූපය වන ථූපාරාමය නිර්මාණය කළ අවස්‌ථාවේ දී එහි තැන්පත් කිරීම සඳහා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා සංවිධානය කරන ලද පෙරහැරේ දී ධාතූන් වහන්සේලා වැඩමවීම සඳහා ඇතකු යොදාගැනීම මීට නිදසුනකි.

කෙසේ වෙතත් පෙරහැර සඳහා අලින් ලබාගැනීම සඳහා වුව ද පෞද්ගලික අයිතියට ලබා දීම ප්‍රවර්ධනය කිරීම නො කළ යුතු බව අප ගේ අදහසයි. ඉහත කී ආකාරයට පෙරහැර සඳහා අලි ඇතුන් සැපයීම රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් සිදු කළ හැකි ය. එවැන්නක්‌ සඳහා යම් ආරම්භයක්‌ පසුගිය දිනක පැවැත්වුණු බවක්‌ වාර්තා විය. එය යම් ආකාරයකින් සතුටට හේතු වන කරුණකි.

පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය නො කළ යුතු යෑයි අප සඳහන් කරන්නේ එමගින් අලින් යොදාගෙන මුදල් ඉපැයීම අරමුණු කරගත් නව ධනපති පංතිය නිසා අලින් පත් ව ඇති අසරණ තත්ත්වය අද අප ගේ ඇස්‌ හමුවේ දිස්‌ වන නිසා ය. මෙරට තුළ අලින් යොදාගෙන වැඩ ගැනීම දැන් අවම මට්‌ටමකට පත් ව තිබේ. එය තවදුරටත් අඩු වෙමින් පවතින්නකි. සෆාරි සඳහා යොදාගැනීම අලින් පත් විය හැකි දරුණුතම තත්ත්වයක්‌ වන්නේ එය හුදෙක්‌ මුදල් අරමුණු කරගෙන කරන්නක්‌ බව පෙනෙන නිසා ය. සංචාරක අධිකාරීන් ඒ සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා මේ වන විට සෆාරි කාර්යයේ යොදාගන්නා අලින් සම්බන්ධව ක්‍රියාත්මක නො වන බව ක්‌ෂේත්‍රයට සමීප පිරිස්‌වල මතය වේ. අලින් ගේ සුබසාධනය සම්බන්ධව මේ පිරිස්‌වල අවධානය අවම ය. මේ නිසා පෞද්ගලික අයිතියට අලින් ලබා දීම නො කිරීම වඩාත් හොඳ ය.

http://www.vidusara.com/2017/09/20/feature3.html

Tuesday, August 22, 2017

නොඉඳුල් නිවර්තන වනාන්තර යනු හිතලුවක්‌ ද ?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.08.2017, පි. 05 (Vidusara)

http://www.vidusara.com/2017/08/16/feature1.html



වසර 45,000ක අතීතයක පටන් වැසි වනාන්තර වෙනස්‌ කළ මිනිස්‌සු නිවර්තන වනාන්තර එළිපෙහෙළි කිරීම හා වනාන්තරවල සෙසු වෙනස්‌කම් මිනිසුන් විසින් සිදු කරන්නේ මෑත කාලයේ පටන් බව සාමාන්‍ය පිළිගැනීම වේ. වඩාත් නිශ්චිතව පවසන්නේ නම් ඒ නූතන කෘෂිකර්මාන්තයේ හා කාර්මීකකරණයේ ආරම්භයේ සිට ය. එයට පෙර කාලයේ මේ වනාන්තර මිනිස්‌ වාසයට නොසුදුසු සේ සැලකුණු බැවින් ඇතැම් විට හරිත කාන්තාර (green deserts) ලෙස හඳුන්වා තිබේ. නූතන සංරක්‌ෂණ වැඩපිළිවෙළේ ද මූලික පදනම වන්නේ ද මේ වෙනස්‌කම් මෑත කාලයේ දී සිදු ව ඇත්තේ ය යන්න ය.

කෙසේ වෙතත් මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මිනිසුන් වනාන්තර භාවිත කිරීම හා වනාන්තරවල වෙනස්‌කම් සිදු කිරීම පිළිබඳ කතාව බොහෝ ඈත අතීතයකට දිව යයි. ඒ අනුව අඩු ම වශයෙන් වසර 45,000ක්‌ තරම් වත් ඈත කාලයක සිට මිනිසුන් නිවර්තන වනාන්තර වෙනස්‌ කිරීම සිදු කොට ඇත. ඒ සඳහා මිනිසුන් යොදාගෙන ඇති උපක්‍රම අතර, වනාන්තර පාලිත ගිනි තැබීම් සිදු කිරීම හා ශාක හා සතුන් කළමනාකරණය හා වනාන්තරවල ශාක වැස්‌ම මුළුමනින් ඉවත් කිරීම වැනි උපක්‍රම භාවිත වී තිබේ. අප්‍රිකාවෙන් පිට වූ මානවයා විසූ බොහෝ නිවර්තන වනාන්තරවල මෙවැනි කරුණු වාර්තා වී තිබේ.

මේ කරුණු හෙළි ව ඇත්තේ මිනිසුන් ඈත අතීතයේ සිට ජගත් මට්‌ටමින් නිවර්තන වනාන්තරවලට සිදු කර ඇති බලපෑම් පිළිබඳව සිදු කරන ලද පුළුල් විමර්ශනයක දී ය. මෙවැනි බලපෑම් සම්බන්ධව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතත්, මේ අධ්‍යයනයේ දී ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති ඇති දත්ත සමාලෝචනයට ලක්‌ කර තිබීම නිසා එය වැදගත් වේ. මෙහි දී මිනිසුන් නිවර්තන වනාන්තරවලට බලපෑම් සිදු කළ අවධි තුනක්‌ සම්බන්ධව අවධානය යොමු කර ඇත. ඒ දළ වශයෙන් ගත හොත් දඩයක්‌කාර-ඵල වැල රැස්‌ කරන්නන් (hunter-gatherers) ලෙස ක්‍රියා කළ කාලය, කුඩා පරිමාණයෙන් කෘෂිකාර්මික කටයුතුවල නියෑළුණු කාලය හා මහා පරිමාණ නාගරික ජනාවාස පැවැති කාලය යනුවෙනි.

දඩයක්‌කාර-ඵලවැල රැස්‌ කරන්නන් ගේ කටයුතු


මිනිසුන් දඩයක්‌කරුවන් හා ඵල වැල රැස්‌ කරන්නන් වශයෙන් සිටි කාලයේ, අඩු වශයෙන් අදින් වසර 45,000කට පමණ පෙර සිට මිනිසුන් මේ ආකාරයෙන් වනාන්තරවල වෙනස්‌කම් සිදු කර ඇති බව හෙළි වී ඇත. එම වෙනස්‌කම් සැලකිය යුතු බරපතළ තත්ත්වයේ වෙනස්‌කම් වීම මෙහි දී අනාවරණය වී ඇති වැදගත් කරුණකි. මේ පිළිබඳව දැනට ඇති

පැරැණිතම කාල වකවානු ව වාර්තා වන්නේ අදින් වසර 45,000කට පමණ පෙර අග්නිදිග ආසියාවෙනි. ඒ නූතන මිනිසා මේ කලාපයට පැමිණි මුල් කාලයේ දී පමණ ය. එසේ ම ඔස්‌ටේ්‍රලියාවේ හා නව ගිනියාව වැනි රටවලින් ද මෙවැනි ගිනිතැබීම් පිළිබඳව සාධක ලැබේ. මේ ආකාරයෙන් වනාන්තතර එළි කිරීමෙන් මිනිසුන්ට ලැබුණු ප්‍රතිලාභය වූයේ ඔවුන් ආහාරයට ගැනීමට ප්‍රිය කරන සතුන් හා ශාක බහුල වූ පරිසර වැඩි වශයෙන් ඇති කරගැනීමට හැකියාවක්‌ ලැබීම ය. ඒ 'වන වාටි' (forest edge) ලෙස ද හඳුන්වන වනාන්තරයට යාබද වූ පරිසරයක්‌ ඇති කරගැනීමෙනි. මේ සම්පත් ප්‍රදේශ (resource patches) ආශ්‍රිත ව විශේෂිත එහෙත් තිරසර ආකාරයේ දඩයම් ක්‍රමවේද යොදාගෙන තෝරාගත් සතුන් දඩයම් කර ඇති බව විශ්වාස කරනු ලැබේ. මීට ප්‍රයිමේටාවන් වැනි සත්ත්ව කාණ්‌ඩ ඇතුළත් විය.

එසේ ම මේ ආකාරයෙන් සිදු කරන ලද කටයුතුවල දී අපර ප්ලයිස්‌යොසීන (Late Pleistocene) යුගයේ දී වනාන්තරවල විසූ විශාල සතුන් ගේ වඳ වී යැම සඳහා මිනිසුන් ගේ මේ කටයුතු හේතු වූ බවට සාධක ඇතත් එම මතය තවමත් විවාදිත ය. මේ ආකාරයෙන් වඳ වී ගිය සතුන් අතර විවිධ විශාල ප්‍රමාණයේ සතුන් ඇත. මේ සඳහා මිනිසුන් ගේ බලපෑමක්‌ තිබිණි නම් එය වැදගත් වන්නේ මේ සතුන් ගේ වඳ වීමෙන් ඇති වූ වෙනස්‌ වීම් නිසා ය. ඒ නිසා වන ඝනත්වයේ, ශාක විශේෂ ව්‍යාප්තියේ, ශාක ප්‍රජනන යාන්ත්‍රණවල හා වනාන්තරවල ජීවන චක්‍රය වැනි කරුණුවලට සැලකිය යුතු බලපෑමක්‌ සිදු වූ බව මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

වනාන්තරවල ගොවිතැන් කිරීම


නිවර්තන වනාන්තර තුළ ගොවිතැන් කිරීම සම්බන්ධව පැරැණිතම සාධක ලැබී ඇත්තේ නව ගිනියාවෙනි. ඒ අදින් වසර 10,000කට පමණ පෙර පැවැති මුල් මධ්‍ය හොලෝසීන (Early-Mid Holocene) යුගයේ දී සිදු කරන ලද වගා කිරීම් ය. එසේ වගා කළ ශාක අතර විවිධ අල වර්ග හා කෙසෙල් වැනි භෝග වර්ග විය. මිනිසුන් මෙසේ වනාන්තරවල වගා කිරීමේ යෙදුණේ දඩයම හා ඵල වැල රැස්‌ කිරීම ද සිදු කරන අතර ය. මෙමගින් සැලකිය යුතු වැදගත් ප්‍රතිඵල ඇති වූ බව පැහැදිලි ය.

මිනිසුන් විසින් බොහෝ වනාන්තරවල වැවුණු ශාක හා ජීවත් වූ සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම ඇති වන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. මෙමගින් වනාන්තර පරිසර විද්‍යාව වෙනස්‌ වූ අතර එසේ ගෘහාශ්‍රිතකරණය කළ ශාක හා සතුන් මේ දක්‌වා මිනිසුන් ගේ ආහාර වේලට අයත් වේ.

කෙසේ වෙතත් එදා එම මිනිසුන් යොදාගත්තේ එම ප්‍රදේශයේ ම පැවැති ශාක හා සතුන් භාවිත කරගන්නා කෘෂි කාර්මික උපායමාර්ගයකි. ඒ නිසා ඉන් සැලකිය යුතු හා දිගු කල් පවත්නා ආකාරයේ පාරිසරික හානියක්‌ සිදු වී නොමැති බව විද්‍යාඥයන් ගේ අදහස වේ. එසේ ම මේ ජන කණ්‌ඩායම් කුඩා වූ අතර ඔවුන් වාසය කළ පරිසරයට ගැළපෙන ආකාරයේ යෑපුම් මට්‌ටමේ පද්ධති ඇති කරගෙන තිබීම මීට දායක වන්නට ඇත.

කෙසේ වෙතත් කෘෂිකාර්මික නිෂ්පාදනවල අවශ්‍යතාව ඉහළ ගිය විට තත්ත්වය වෙනස්‌ විය. විශේෂයෙන් බාහිරයෙන් හඳුන්වා දුන් කෘෂි පිළිවෙත් නිසා නිවර්තන වනාන්තර හා දූපත් පරිසර පද්ධතිවල දැඩි වෙනස්‌කම් ඇති වී තිබේ. අදින් වසර 2,400ක්‌ තරම් ඈත කාලයක දී අප්‍රිකාවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශවලට ඇතැම් ධාන්‍ය වර්ග හා ගව පාලනය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දැඩි පාංශු ඛාදනයක්‌ ඇති වීම හා වනාන්තර ගිනි තැබීම් විශාල ලෙස සිදු වීම දැකිය හැකි ය. වී, කුරක්‌කන් හා මෙනේරි වැනි වගා කිරීම් හඳුන්වා දෙන ලද අදින් වසර 4000කට පමණ පෙර කාලයේ දී පමණ අග්නිදිග ආසියාවේ ද මෙවැනි වෙනස්‌කම් ඇති වී තිබේ. එහි දී ද විශාල නිවර්තන වනාන්තර ප්‍රදේශ ගිනි තබා හෙළි පෙහෙළි කොට ඇත. මෙය මෑත කාලයේ දී පාම් තෙල් ශාක වගා කිරීම සඳහා නිවර්තන වනාන්තර එළි පෙහෙළි කිරීම හා සමාන කළ හැකි ය. එයට ද හේතු වී ඇත්තේ ඉහළ ගොස්‌ ඇති ඉල්ලුමයි. මෙවැනි ක්‍රියාකාරකම් නිසා වනාන්තර ගිනි තැබීම පමණක්‌ නො ව ජෛව විවිධත්වය අඩු වීම, පාංශු ඛාදනය වේගවත් වීම හා අදාළ භූමි ප්‍රදේශය වන ගිනිවලට වඩාත් පහසුවෙන් ලක්‌ විය හැකි තත්ත්වයකට පත් වීම සිදු ව තිබේ. මෙය නිවර්තන වනාන්තර මුහුණ දෙන ඉතා බරපතළ තත්ත්වයකි.

වනාන්තර තුළ නගර බිහි වීම


නව තාක්‌ෂණික ශිල්ප ක්‍රම යොදාගනිමින් මෑත දී සිදු කර ඇති අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මිනිසුන් නිවර්තන වනාන්තර ඇතුළත සැලකිය යුතු තරම් විශාල නාගරික ජනාවාස ඇති කර තිබෙන බවයි. මීට පෙර අනුමාන කර නො තිබූ තරම් විශාල ප්‍රමාණයේ එවැනි ජනාවාස ඇමෙරිකාවෙන් හා අග්නිදිග ආසියාවෙන් හමු වී තිබේ. විශාල ලෙස ව්‍යාප්ත වූ මේ ජනාවාස ජාල ඇමසෝනියාව, මධ්‍යම ඇමෙරිකාව හා අග්නිදිග ආසියාවෙන් හමු වී ඇත. ඒවා නූතන යුගයේ මෙවැනි ජනාවාස හා නාගරික ජනාවාස පැවැතී ඇති කාලයට වඩා වැඩි කාලයක්‌ පුරා පැවැතී තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

මේ පැරැණි නාගරික මධ්‍යස්‌ථානවලින් ඉගෙනගත හැකි දේ ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ දැනුම වර්තමාන නගර මුහුණ දෙන පාරිසරික අභියෝග ජයගැනී ම සඳහා ද යොදාගත හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, පාංශු ඛාදනය හා විශාල ජනගහනයකට අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදනය කිරීමේ දී කෘෂිකාර්මික පද්ධතිවල අසාර්ථකත්වය අතීතයේ දී මෙන් ම අද දවසේ ද දැකිය හැකි වූ ගැටලු වේ. මායාවරුන් විසූ ඇතැම් ප්‍රදේශවල විසූ ජනතාව අතිරේක ආහාර භෝග ලෙස යොදාගත් ශාක වර්ග සමහරක්‌ වනාන්තර හෙළි පෙහෙළි කිරීමකින් තොර ව, පවත්නා වනාන්තරය ඇතුළත ම වගා කර ඇති බවට සාධක ලැබී ඇත. මෙය වනාන්තර වගා කිරීමක්‌ හෙවත් කිසියම් උදාහරණයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවල සිදු ව ඇත්තේ මීට වෙනස්‌ දෙයකි. එහි දී පරිසරයට දරාගත නොහැකි තරම් ප්‍රමාණයෙන් ඒක භෝග වගා කිරීම හා වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා ඉන්පසු දේශගුණයේ පවා වෙනස්‌කම් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ එම ප්‍රදේශයේ ජනගහනයේ පැහැදිලි අඩු වීමක්‌ සිදු වීම ය.

මේ වනගත උපනාගරික ප්‍රදේශ නූතන නගර සඳහා තිරසර ආකෘතියක්‌ ලෙස යොදාගැනීමට ඇති හැකියාව ගැන ද අවධානයක්‌ මේ වන විට යොමු වී ඇත. මේ වනාත්තර ආශ්‍රිත නාගරික ප්‍රදේශ දේශගුණ වෙනස්‌ වීම වැනි තත්ත්ව හමුවේ ඇතැම් අවස්‌ථාවල දී ආහාර සුරක්‌ෂිතතාව තහවුරු කරමින් ස්‌වාරක්‌ෂක කලාපයක්‌ සේ ක්‍රියා කර තිබීම මීට හේතුවයි. මේවායේ දැකිය හැකි ලක්‌ෂණ වන විවිධාංගීකරණය, විමධ්‍යගතකරණය හා නාගරික කෘෂිකාර්මික දිවි පෙවෙත මේ පද්ධතිවල දැකිය හැකි වූ ඔරොත්තු දීමට හේතුව විය හැකි බව මේ පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

සමස්‌තයක්‌ ලෙස ගත් විට මේ අධ්‍යයනයට සම්බන්ධ කරගත් ජගත් මට්‌ටමේ දත්ත අනුව කරුණු කීපයක්‌ පැහැදිලි ය. ඉන් එකක්‌ වන්නේ, නොඉඳුල් නිවර්තන වනාන්තර පද්ධති සේ සැලකිය හැකි වනාන්තර නොමැති විය හැකි බවයි. එසේ ම දැනට වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මිනිසුන් මේ වනාන්තරවලට කළ බලපෑම සිදු වී ඇති බවයි. ඒ අනුව සංරක්‌ෂණ ඉලක්‌ක තීරණය කිරීමේ දී භාවිත කළ හැකි එවැනි දර්ශීය වනාන්තර නොමැති තරම් වේ. අනෙක්‌ අතට නූතන සංරක්‌ෂණ උත්සාහයට ප්‍රයෝජනවත් වන වෙනත් කරුණක්‌ මෙහි දී හඳුනාගත හැකි ය. එනම්, නිවර්තන වනාන්තරවල පුරාවිද්‍යාත්මක ඉතිහාසය හා ඒවා අතීතයේ දී මිනිසුන් විසින් කෙසේ උපයෝගී කරගන්නා ලද්දේ ද යන්න ය.

(මූලාශ්‍රය: Nature Plants, DOI: 10.1038/nplants.2017.93)

http://www.vidusara.com/2017/08/16/feature1.html

Tuesday, August 8, 2017

ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන්ට නරක කාලයක්‌?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.08.2017, පි. 5 (Vidusara)


සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගැනීම සඳහා සිදු කරනු ලබන කටයුතු හේතුවෙන් ලෝකය පුරා පරිසරය තර්ජනයට ලක්‌ ව තිබේ. මේවායින් ඇති විය හැකි විවිධ පරිසර පද්ධතිවලට සිදු වන හානි, ඛණිජ හා වෙනත් සම්පත් සූරාකෑම, පරිසර දූෂණය, භූමියේ අයිතිය අහිමි වීම හා ජනතාව අවතැන් වීම වැනි විවිධ ගැටලුවලට එරෙහි ව ලෝකය පුරා සැම රටක ම පාහේ පරිසර ක්‍රියාකාරීහු සටන් කරති. මේ අරගල හෙවත් පාරිසරික ගැටුම්වල දී ඔවුන්ට ඇතැම් විට මුහුණ දීමට සිදු වන්නේ බරපතළ අභියෝගවලට ය. ඔවුන් ගේ හඩ නිහඩ කිරීමේ අරමුණින් එල්ල වන විවිධ තර්ජන මේ අභියෝග අතර වේ. මේ තර්ජන එල්ල වන පාර්ශ්ව ගණනාවක්‌ ද හඳුනාගත හැකි ය. අදාළ රටේ රාජ්‍ය තන්ත්‍රය හා ආරක්‌ෂක අංශ මේ අතර වේ. එසේ ම අදාළ පරිසර අපරාධවලට දායක වන සමාගම් හා ව්‍යාපාරිකයන් ගේ ආරක්‌ෂකයන් මෙන්ම ඔවුන් විසින් මෙහෙයවනු ලබන මැර කණ්‌ඩායම් මගින් ද මේ ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වේ. මේ තර්ජනවල අවසානය වන්නේ පරිසරය වෙනුවෙන් සටන් කළ ඇතැම් පරිසර ක්‍රියාකාරිකයන් මරාදැමීමයි. අතීතයේ සිදු වූ මෙවැනි ඇතැම් ඝාතන ඉතිහාසගත වී ඇත. බ්‍රසීලයේ ජීවත් වූ ෆ්‍රeන්සෙස්‌කෝ චිකෝ මෙන්ඩෙස්‌ ගේ ඝාතනය (1988), නයිජීරියානු බලධාරීන් විසින් කෙන් සාරෝ විවා එල්ලා මරනු ලැබීම (1995) එවැනි මතකයේ රැඳුණු සිදුවීම් කිහිපයකි.

එහෙත් මෑත කාලයේ දී පරිසර ක්‍රියාකාරීන්ට එවැනි තර්ජනයක්‌ නොමැත්තේ යෑයි සිතිය නොහැකි ය. ඇත්ත වශයෙන් ම මෑත කාලයේ දී ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන්ට ඇති වී තිබෙන තර්ජනය ඉහළ ගොස්‌ තිබේ. පසුගිය දා ඒ සම්බන්ධව පළ වූ අධ්‍යයනයකින් හෙළි වන ආකාරයට පරිසරය ආරක්‌ෂා කිරීම සඳහා ඉදිරිපත් වී ඇති පරිසර ක්‍රියාකාරීන් ඝාතනය කිරීම මෑත වසර කිහිපයේ දී වාර්තාගත අන්දමින් ඉහළ ගොස්‌ ඇත.

මිහිතලයේ ආරක්‌ෂකයෝ වාර්තාව


Global Witness නම් කණ්‌ඩායම මේ පිළිබඳව අවධානය යොමු කර සිදු කරන ලද මේ අධ්‍යයනයේ වාර්තාව 'මිහිතලයේ ආරක්‌ෂකයෝ' (Defenders of the Earth) නමින් නිකුත් ව තිබේ. එම වාර්තාවට අනුව 2016 වර්ෂයේ දී පරිසර ක්‍රියාකාරීන් 200ක්‌ පමණ මරා දමා තිබේ. ඔවුහු තමන් වාසය කරන පරිසරය ආරක්‌ෂා කිරීම උදෙසා කටයුතු කළ හා ප්‍රජාවට නායකත්වය ලබා දුන් අය වෙති. මේ අනුව 2016 වර්ෂය ඇතුළත එක්‌ සතියක දී ලෝකය පුරා එවැනි ක්‍රියාකාරීන් හතර දෙනකු පමණ සාමාන්‍යයෙන් ඝාතනය කර ඇති බව පෙනේ.

මෙහි ඇති තවත් වැදගත්කමක්‌ වන්නේ පරිසර ක්‍රීයාකාරීන් ඝාතනය කරනු ලබන ගණන මෑත කාලයේ දී වර්ධනය වෙමින් ඇති බවයි. 2016 වර්ෂයේ දී මරා දැමුණු ක්‍රියාකාරීන් ගණන මීට වසර පහකට පමණ පෙර වර්ෂයක දී ඝාතනය කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ පමණ වේ. එසේ ම 2014 වර්ෂයේ දී ක්‍රියාකාරීන් 114ක්‌ පමණ ද, 2015 වර්ෂයේ දී 185ක්‌ පමණ ද මරා දමා ඇත. මෙසේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම වර්ධනය වන ප්‍රවණතාව මේ වන විට තවදුරටත් දැකිය හැකි බව ද ගාඩියන් පුවත්පත පෙන්වා දෙයි. එම පුවත්පතේ පළ වූ සංඛ්‍යාලේඛන අනුව 2017 වර්ෂයේ මුල් මාස පහක කාලය ඇතුළත ලෝකය පුරා පරිසර ක්‍රියාකාරීන් 98 දෙනකු මරා දමා ඇත.

මෙසේ මිය යන්නේ කවුරුන් ද?


මෙසේ මරා දමා ඇති පිරිස්‌ අතර පරිසර ක්‍රියාකාරීහු, රාජ්‍ය නිලධාරීහු හා ස්‌වදේශික ජනතාව ගේ නායකයෝ සිටිති. වැඩි ම පරිසර ක්‍රියාකාරීන් පිරිසක්‌ මරුමුවට පත් ව ඇත්තේ බ්‍රසීලයේ ය. 2015 වර්ෂය ආරම්භයේ සිට මේ දක්‌වා බ්‍රසීලයේ පරිසර හා භූමිය පිළිබඳ ක්‍රියාකාරීන් 132ක්‌ පමණ විවිධ පිරිස්‌ විසින් මරා දමනු ලැබ ඇත. මෙසේ මිය ගිය වැඩි දෙනා ඇමසන් වනාන්තරයේ සිදු වන වනාන්තර විනාශයට එරෙහි ව සටන් කළවුන් ය. මේ ලයිස්‌තුවේ දෙවැනි තැනට එන්නේ කොලොම්බියාව බව පෙනේ. එහි මේ දක්‌වා මරා දමා ඇති පරිසර ක්‍රියාකාරිකයන් ගණන 85ක්‌ පමණ වේ. ක්‍රියාකාරීන් 75ක්‌ පමණ මරා දමා ඇති පිලිපීනය තෙවැනි තැන ගනියි. කෙසේ වෙතත්, පරිසර ක්‍රියාකාරීන් සඳහා වඩාත් ම භයානක රට වන්නේ හොන්ඩුරාස්‌ රාජ්‍යය බව පෙන්වා දී ඇත. ඒ, එරටේ සිදු ව ඇති ඝාතන සංඛ්‍යාව රටේ ජනගහනයට සාපේක්‌ෂව ගත් විට ඉහළ ම අගය ගැනීම නිසා ය. ලෝකයේ භූගෝලීය කලාපයක්‌ ලෙස ගත හොත් ලතින් ඇමෙරිකාව, පරිසර ක්‍රියාකාරීන් ගේ අවදානම ඉහළ ම කලාපයයි.

පරිසරය ආරක්‌ෂා කිරීම සිය රාජකාරිය සේ ගෙන කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සැලකූ විට පසුගිය වසර 10ක පමණ කාලයේ දී ලෝකය පුරා 800ක්‌ පමණ නිලධාරීන් පිරිසක්‌ සිය රාජකාරිය නිසා මරා දමා තිබේ. ඒ විශේෂයෙන් ම වනාන්තර ආශ්‍රිත ව සිදු වන දඩයම් හා වෙනත් පරිසර අපරාධවල යෙදෙන්නවුන් අතිනි. මේ ආකාරයෙන් 2016 වර්ෂයේ දී මරාදැමුණු අඩවි ආරක්‌ෂකයන් (rangers) අතරින් වැඩි ම පිරිස හෙවත් 60%ක්‌ පමණ මිය ගොස්‌ ඇත්තේ ආසියාවේ ය. ඉන් වැඩි ම ප්‍රමාණය අපේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

සමස්‌තයක්‌ ලෙස 2016 වර්ෂයේ දී සිදු වූ මරණ සම්බන්ධ දත්ත අනුව වැඩි ම මරණ ප්‍රමාණයක්‌ ඇති වී තිබෙන ගැටුම් වන්නේ තෙල් සඳහා සිදු කරන කැණීම් නිසා ඇති වී තිබෙන ගැටුම් ය. දෙවැන්න වී ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් සිදු කරන දැව හෙළීම් නිසා ඇති වී තිබෙන ගැටුම් ය. තෙවැනි තැන හිමි වන්නේ කෘෂිකාර්මික කටයුතු ය. කෙසේ වෙතත් ගත වන 2017 වර්ෂයේ දී මේ රටාව වෙනස්‌ වී ඇති අතර, මෙතෙක්‌ සිදු ව ඇති ඝාතන අතරින් වැඩි ප්‍රමාණයකට හේතු වී ඇත්තේ කෘෂි ව්‍යාපාර කටයුතු නිසා ඇති වූ ගැටුම් ය.

නො සලකා හැරෙන අපරාධ


මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම එතරම් බරපතළ ප්‍රතිවිපාක ඇති කරන අපරාධයක්‌ නො වන බවට හැගීමක්‌ ඇති වී තිබීම බව මේ පිළිබඳව අධ්‍යයනය කරන කණ්‌ඩායම් පෙන්වා දී ඇත. විශේෂයෙන් මෙසේ පරිසර අපරාධවලට එරෙහි ව පෙනී සිටින ක්‍රියාකාරීන් ආන්තික ජන කණ්‌ඩායම්, දේශපාලන වශයෙන් නො සලකා හැර ඇති ජනතාව හා නීතිමය පිළිසරණ අඩු වූවන් ය. ස්‌වදේශික ජනකොටස්‌ වැනි පිරිස්‌ මෙන්ම, ස්‌වාභාවික පරිසරය මත යෑපෙන ජන කණ්‌ඩායම්වල නියෝජිතයන් මීට නිදසුන් වේ. ඔවුන් තමන් ගේ රටේ හෝ තමන් ජීවත් වන ප්‍රදේශයේ සිදු කරන ඛණිජ හා තෙල් කැණීම්, වාණිජමය කෘෂිකර්මය, නීති විරෝධී වනාන්තර එළි කිරීම් හා වේලි තැනීම වැනි කටයුතුවලට එරෙහි ව කටයුතු කරන්නවුන් වන අතර ඔවුන් මේ අවදානමට දැඩි ලෙස පාත්‍ර ව තිබේ. එසේ ම මේ මරණවලින් පැවසෙන්නේ පවත්නා තර්ජනයේ මතුපිටින් පෙනෙන දෙය පමණකි. පරිසර විනාශයට එරෙහි ව හඩ නගන ප්‍රජා මේ වන විට පසු වන්නේ ඒවා සිදු කරන පාර්ශ්වවලින් දිගින් දිගටම එල්ල වන තර්ජනවලට ලක්‌ වෙමිනි. මේ පිරිස්‌වලට නිරන්තරව ඇති වන තර්ජනය මහත් ය. එසේ ම ඔවුන් ගේ සම්පත් අහිමි වීමේ අවදානමක්‌ ද ඇති අතර, එය පරිසරයට ද තර්ජනයක්‌ වේ.

එසේ ම මේ ආකාරයෙන් පරිසරය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් ඝාතනය කළවුන් නීතියේ රැහැනට හසු නො වන තරම් ය. මේ ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන හෝ චෝදනා කර හෝ නොමැති වීම ද විශේෂයකි. මේවා සමහරක්‌ කුලී ඝාතන වන අතර, විවිධ සමාගම් හෝ ඇතැම් විට රාජ්‍ය ආයතන ඔවුන් මේ සඳහා යොදවාගෙන ඇත. මේ නිසා පරිසර ක්‍රියාකාරීන් මරා දැමීම ඇතැම් රටවල එතරම් තැකීමක්‌ නො කරන බවක්‌ පෙනේ. එසේ ම රාජ්‍ය ආරක්‌ෂක අංශ සමග සිදු කරනු ලබන ගැටුම්වල දී මිය යන පිරිස ද සැලකිය යුතු තරම් ය.

පරිසර ක්‍රියාකාරීන් වෙනුවෙන් හඩක්‌


මේ වන විට ලෝකය පුරා විවිධ ස්‌ථානවල පාරිසරික ගැටුම් 2,000ක්‌ පමණ පවත්නා බව පර්යේෂකයන් හඳුනාගෙන ඇත. මේවා ජලය, භූමිය, පරිසර දූෂණය, තම වාසභුමියෙන් පිටමං කිරීම හා ඛනිජමය සම්පත් සඳහා සිදු කරන කැණීම් නිසා ඇති වූ ඒවා ය. එසේ ම මේ ආකාරයේ ගැටුම් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාර්තා නො වන නිසා සමස්‌ත ගැටුම් ප්‍රමාණය මීට වඩා අධික බව ඔවුන් ගේ අදහස වේ.

පරිසරය පිළිබඳ මෙවැනි ගැටුම් ව්‍යාප්ත වීමට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ දුප්පත් රටවල පිහිටා ඇති භූමිය හා සම්පත් වෙත විවිධ ධනවත් සමාගම් හා බලවත් රටවල අවධානය යොමු වීම ය. මෙය ගෝලීයකරණය නිසා දැනටමත් ව්‍යාප්ත වී යමින් ඇති ප්‍රවණතාවකි. එවැනි දුප්පත් රටවල දූෂණය රජයන පාලන තන්ත්‍රය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති දුර්වලතා නිසා මෙවැනි කටයුතු පහසු වී ඇත. එවැනි කටයුතු නිසා එම රටවල ඇති වන ජනතා විරෝධය මර්දනය කිරීමට එම සමාගම් හා ආණ්‌ඩු පෙලඹෙන අතර, ඔවුන් ගේ හඩ නිහඩ කිරීමට මිනිසුන් මරා දැමීමට පවා පෙලඹී තිබේ.

මේ තත්ත්වය හමුවේ පරිසර ක්‍රියාකාරිකයන් වෙනුවෙන් හඩනගන්නට හා ලෝකයේ අවධානය යොමු කරවන්නට හෝ සංවිධාන හා කණ්‌ඩායම් කිහිපයක්‌ ඉදිරිපත් ව ඇත. අප ඉහත කී වාර්තාව පළ කළ 'ග්ලෝබල් විට්‌නස්‌' නම් කණ්‌ඩායම එවැන්නකි. තවත් එවැනි කණ්‌ඩායම් ද මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කරයි.

ද ගාඩියන් පුවත්පත හා 'ග්ලෝබල් විට්‌නස්‌' කණ්‌ඩායම නව ව්‍යාපෘතියක්‌ දියත් කර ඇත. එහි අරමුණ වන්නේ මීළග වර්ෂය ඇතුළත දී පරිසරය ආරක්‌ෂා කිරීමට ඉදිරිපත් ව මිය යන්නවුන් ගේ මරණ පිළිබඳව වාර්තා කිරීම ය. එහි දී වනගත ව ඇති නොදියුණු යෑයි සම්මත රටවල් හා ප්‍රදේශ මෙන්ම කාර්මිකකරණය වූ රටවල සිදු වන සිදුවීම් ද වාර්තා කරන බව ඔවුන් පවසා තිබේ. එමගින් ජගත් මට්‌ටමින් යම් ජනමතයක්‌ ඇති කිරීමට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කරන බව පෙනේ. 'ආරක්‌ෂකයෝ' (The Defenders) නමින් දියත් කර ඇති මේ කටයුත්ත පිළිබඳ වැඩි විස්‌තර www.theguardian.com/environment/series/the-defenders වෙබ් ලිපිනයෙන් ලබාගත හැකි ය.

Global Witness මගින් ප්‍රකාශිත 'මිහිතලයේ ආරක්‌ෂකයෝ' නම් සම්පූර්ණ වාර්තාව පහත සබැඳියෙන් භාගත කරගත හැකි ය. www.globalwitness.org/en/campaigns/environmental-activists/defenders-earth/

http://www.vidusara.com/2017/08/02/feature1.html

Friday, April 14, 2017

අනාගත ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම හා උෂ්ණත්වය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 12.04.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/04/12/feature3.html




ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සඳහා මූලික හේතුව මිනිසුන් විසින් විමෝචනය කරනු ලබන හරිතාගාර වායු විමෝචන බවට මේ වන විට ඉතා පුළුල් පිළිගැනීමක්‌ ඇත. ඒ පිළිබඳව විද්‍යාඥයන් අතරින් අතිශය බහුතරයක්‌ තුළ කිසිදු සැකයක්‌ නොමැති තරම් ය. වර්තමානයේ පවත්නා තත්ත්වය යටතේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම කෙතරම් වේ ද යන්න ගැන ද බොහෝ දුරට පැහැදිලි අදහසක්‌ පවතී. ඒ අනුව පවත්නා අධ්‍යයන අනුව මේ සියවස අවසන් වන විට සෙල්සියස්‌ අංශක 1.5ත් 4.8ත් අතර ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ යා හැකි බව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලයේ (IPCC) පස්‌වැනි ඇගැයීම් වාර්තාවේ සඳහන් විය. මේ පරාසයේ කුමන මට්‌ටමක්‌ ඇති වේ ද යන්න තීරණය වන්නේ ලෝකය කටයුතු කරන ආකාරය අනුව වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ තරම කොපමණ ප්‍රමාණයක්‌ වනු ඇති ද යන්න මත ය. නිදසුනක්‌ ලෙස ගත හොත් උෂ්ණත්වය අංශක 4.8ක්‌ දක්‌වා ඉහළ යනු ඇත්තේ වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම මිලියනයකට කොටස්‌ 1,000ක සීමාව ඉක්‌මවා ගිය තත්ත්වයක දී ය. (වර්තමානයේ දී ඒ ප්‍රමාණය කොටස්‌ 400 ඉක්‌මවා තිබේ).

එසේ ම, මේ වන විට දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ජගත් මට්‌ටමින් සම්මත කරගෙන ඇති පැරිස්‌ දේශගුණ ගිවිසුම යටතේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ පවත්වාගැනීමට අදහස්‌ කෙරේ. එසේ ම අවස්‌ථාවක්‌ තිබේ නම් උෂ්ණත්වය ඉහළ යැම අංශක 1.5ක සීමාවේ පවත්වා ගැනීමට ද උත්සාහ ගැනීම සඳහා ද එකඟ වී ඇත්තේ එම අගයයන් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම් වැළැක්‌වීම සඳහා හේතු වන බවට විද්‍යාඥයන් අතර පිළිගැනීමක්‌ ඇති බැවිනි. කෙසේ වෙතත් මේ තත්ත්වය අපට අපේක්‌ෂා කළ හැක්‌කේ ලෝකය අපේක්‌ෂා කරන අන්දමින් ලෝකයේ කටයුතු සුබවාදී ලෙස සිදු වුව හොත් පමණකි.

එසේ නො වුව හොත් විය හැක්‌කේ කුමන ආකාරයේ දෙයක්‌ ද යන්න තරමක්‌ ගැටලු සහිත කරුණකි. එවැනි තත්ත්ව ගැන සිදු කරනු ලබන අධ්‍යයන ද කලින් කල වාර්තා වේ. පසුගිය දා ප්‍රකාශයට පත් වූ එක්‌ අධ්‍යයනයකට අනුව, දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා ලෝකය සැලකිය යුතු පියවරක්‌ නො ගත හොත්, වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය හා උෂ්ණත්ව වර්ධනය මෙතෙක්‌ සිතුවාට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බව පෙන්වා දී තිබේ. ඒ අනුව අදින් වසර මිලියන 200කට පෙර පැවැති ට්‍රයාසික යුගයෙන් පසුව පැවැති ඉහළ ම කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණයට අදින් වසර 100-200 අතර කාලයේ දී ළගා විය හැකි ය. එසේ ම 23 වැනි සියවසේ දී ඇති විය හැකි දේශගුණ තත්ත්වය හමුවේ ඇති වන උෂ්ණත්වය හා සමාන තත්ත්වයක්‌ ගත වූ වසර මිලියන 420ක කාලය තුළ දැකිය නොහැකි තරම් ය. එහෙත් එසේ වන්නේ මිනිසුන් මේ වන විට ඇති සියලු ෆොසිල ඉන්ධන දහනය කළ හොත් ය.

පැරැණි වායුගෝලීය කාබන් සාන්ද්‍රණය ගැන අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනය අපූරු අධ්‍යයනයකි. එහි දී පර්යේෂකයන් අතීතයේ වායුගෝලයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය පිළිබඳව ගණනය කිරීම් 1,241ක්‌ පමණ ප්‍රමාණයක්‌ යොදාගනිමින් වසර මිලියන 420ක්‌ පමණ විශාල කාල පරාසයක්‌ සඳහා කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය පිළිබඳ අඛණ්‌ඩ වාර්තාවක්‌ සකස්‌ කර ඇත. ඒ සඳහා ඔවුන් නව පර්යේෂණ සිදු කර නොමැති අතර මේ දක්‌වා ප්‍රකාශිත අධ්‍යයන 112ක්‌ පමණ ප්‍රමාණයකින් අනාවරණය කරගෙන ඇති දත්ත යොදාගෙන තිබේ. සමස්‌තයක්‌ ලෙස ගත වූ වසර මිලියන 420ක පමණ කාලය මේ දත්ත මගින් ආවරණය වී තිබේ.

අතීතයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය මෙතරම් යෑයි දැන් Rජු ව මැනීම කළ නොහැකි ය. ඒ නිසා යොදාගනු ලැබෙන්නේ ඒ සඳහා වූ වක්‍ර සාධක (proxy) ක්‍රමවේදයකි. ඒ පාෂාණීභූත වී ඇති ශාක සත්ත්ව ෆොසිල ආශ්‍රයෙන් ලබාගන්නා දත්ත යොදාගැනීමකි. ෆොසිලගත ශාක, ෆොසිල බවට පත් වූ බෙල්ලන්, පසේ හා සාගරයේ කාබන් සමස්‌ථානික සංයුතිය වැනි දත්ත මෙවැනි සාධක අතර වේ. ඒවා ආශ්‍රයෙන් අතීතයේ සිට මේ දක්‌වා වූ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ගණන් බැලීමට හැකියාවක්‌ ලැබී ඇත. මෙයින් අනාවරණය වන වැදගත් කරුණක්‌ වන්නේ වසර මිලියන ගණනක්‌ වන මේ කාලසීමාවේ දී කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ස්‌වාභාවිකව විචල්‍ය වූ බවයි. සිසිල් තත්ත්ව පැවැති 'හිමාගාර' (icehouse) කාලවකවානුවල දී වායුගෝලයේ මේ වායු සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 200-400 අතර වූ බව දැක්‌වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, කාබොනිෙµරස්‌ යුගයේ (වසර මිලියන 300කට පෙර) හා පශ්චාත් ක්‍රීටේසීය යුගයේ දී (වසර මිලියන 80කට පෙර) පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය පූර්ව කාර්මික අවධියේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය තරම් අඩු මට්‌ටමකට ආසන්න විය. උණුසුම් 'හරිතාගාර' (greenhouse) කාලවකවානුවල දී ඇතැම් විට මිලියනයකට කොටස්‌ 3,000 තරම් වූ අධික කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ දක්‌වා කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය වෙනස්‌ වී තිබේ. ඩෙවෝනියන් යුගයේ (වසර මිලියන 400කට පෙර) හා ට්‍රයාසික යුගයේ දී (වසර මිලියන 220-200කට පෙර) පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 2,000ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. වසර මිලියන 215ක්‌ පමණ පෙර එක්‌ අවස්‌ථාවන මිලියනයකට කොටස්‌ 3,700ක්‌ පමණ ඉහළ මට්‌ටමකට ඉහළ ගිය අවස්‌ථාවක්‌ වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, වසර මිලියන ගණනක්‌ ඈත අතීතයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය අධික තත්ත්වයක්‌ තිබූ අවස්‌ථාවල දී වුව ද ලෝකයේ උෂ්ණත්වය ඉහළ ගියේ අඩුවෙනි. වෙනත් තාරකා මෙන්ම සූර්යයා දීප්තිමත් වී ඇත්තේ ක්‍රමයෙන් බව පෙන්වා දී තිබේ. ඒ නිසා කාබන් ඩයොක්‌සයිඩ් වායුවේ හා සූර්යාලෝකයේ ශුද්ධ තාප බලපෑම ඈත අතීතයේ දී වඩා අඩු විය. මේ තත්ත්වය හේතුවෙන් පෘථිවියේ ජීවයේ පැවැත්ම සඳහා යෝග්‍ය වූ තත්ත්වයක්‌ පැවතී තිබේ. සූර්යයා ගේ ප්‍රතිදානය ඉහළ යද්දී දිගුකාලීනව දේශගුණයේ උණුසුම් වීමක්‌ ඇති නො වූයේ මේ නිසා බව දක්‌වා ඇත. ශුද්ධ දේශගුණ බලපෑම (net climate forcing) ඇති වූ වෙනස්‌ වීම බෙහෙවින් අඩු වීම නිසා ලෝකයේ දේශගුණය සාපේක්‌ෂව ස්‌ථාවර ව පැවතී ඇති අතර, එය ජීවයේ පැවැත්මට හිතකර වූ තත්ත්වයක්‌ ද වී තිබේ.

මේ පර්යේෂකයන් පවසන පරිදි, සමස්‌තයක්‌ ලෙස ගත් විට පසුගිය වසර මිලියන 420ක කාලය ඇතුළත දිගුකාලීන කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය වසර මිලියනයකට කොටස්‌ 3.4ක්‌ පමණ ප්‍රමාණයක්‌ බැගින් අඩු වී තිබේ.

අනාගතය පිළිබඳ දැක්‌ම භයානකයි?


කෙසේ වෙතත් ලෝකය මේ වන විට පවතින්නේ සාපේක්‌ෂව සිසිල් සමයක වුවත් මේ වන විට දැකිය හැකි දේශගුණ වෙනස්‌ වීමේ වේගය ඉතා අසාමාන්‍ය වූවක්‌ වීම මෙහි දී අනාවරණය වූ තවත් වැදගත් කරුණකි. එබැවින් මේ පර්යේෂණය මගින් අනාගතය සම්බන්ධව ඇති කර ඇත්තේ එත්කරා ආකාරයක අනතුරු හැගවීමකි.

ඉහළ යන කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම පාලනය කිරීමට මිනිසුන් අසමත් වේ නම් හා මේ වන විට ඇති ෆොසිල ඉන්ධන සියල්ල දහනය කළ හොත්, වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය 2250 වර්ෂය වන විට මිලියනයකට කොටස්‌ 2,000ක්‌ පමණ ප්‍රමාණයක්‌ දක්‌වා ඉහළ යා හැකි ය. ඒ කාබන් ඩයොක්‌සයිඩ් මට්‌ටම ළගා විය හැකි උපරිම මට්‌ටම බව මේ අධ්‍යයනයේ සඳහන් වේ. මෙවැනි ඉහළ මට්‌ටමක පැවැති කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණයක්‌ අවසන් වරට දැකිය හැකි වූයේ අදින් වසර මිලියන 220-200 අතර කාලයකට ඉහත පැවැති ට්‍රයාසික යුගයේ දී ය.

එසේ ම අදින් වසර මිලියන 200කට පෙර සූර්යයා ගේ ආලෝකය මීට වඩා අඩු හෙවත් ඇඳිරි වූවක්‌ විය. එහෙයින් එදා පැවැති ශුද්ධ දේශගුණ බලපෑම ප්‍රමාණය අනාගතයේ එවැනි තත්ත්වයක දී අප අත්විඳින මට්‌ටමට වඩා අඩු විය. එහෙත් අද තත්ත්වය වෙනස්‌ ය. එබැවින් මෙවැනි තත්ත්වයක්‌ ඇති වුව හොත් 23 වැනි සියවස වන විට ලෝකයේ දේශගුණ තත්ත්වය අදින් වසර මිලියන 420කින් මෙපිට ඇති වී නොමැති තරම් වූ ඉහළ උෂ්ණත්වයක්‌ වෙත ළගා වීමේ අවදානමක්‌ ඇත. මෙය ලෝකයට සිදු කරන ලද එක්‌තරා අනතුරු හැගවීමකි. කෙසේ වෙතත් එවැන්නක්‌ සිදු වන්නේ කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන පාලනය සඳහා කිසිදු පියවරක්‌ නො ගෙන, ෆොසිල ඉන්ධන සියල්ල දහනය කර අවසන් වුව හොත් බව මේ පර්යේෂකයන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

මූලාශ්‍රය: Nature Communications, DOI: 10.1038/NCOMMS14845

http://www.vidusara.com/2017/04/12/feature3.html