Sunday, June 23, 2019

තහනම් කළ යුත්තේ වඩු මඩු ද, ජංගම ලී මෝල් ද, නැතිනම්...?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.06.2019, පි. 5 (Vidusara)

Vidusara: http://www.vidusara.com/2019/06/19/feature2.html





වඩු මඩු හා ලී මෝල් තහනම් කිරීම හා සම්බන්ධ ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ආන්දොaලනාත්මක කතාවක්‌ පසුගිය සතියක රටේ මාතෘකාවක්‌ විය. මේ ප්‍රකාශය ඔහු සිදු කළේ පරිසර දිනය නිමිත්තෙන් පැවැති උත්සවයක දී ය. එහි දී ගස්‌ කපන යන්ත්‍ර පිටරටින් ගෙන ඒම සම්පූර්ණයෙන් ම තහනම් කරන බවත්, වඩු මඩු තහනම් කිරීමට අවශ්‍ය චක්‍රලේඛයක්‌ නිකුත් කරන බව හා ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීම සඳහා වසර පහක කාලයක්‌ ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ගෘහභාණ්‌ඩ හා ඒවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැව පිටරටින් ගෙන ආ යුතු බව ද ඔහු පැවසී ය.

මේ කතාවේ දැක්‌වුණු පියවරවල අරමුණ වශයෙන් සඳහන් වූයේ වන සංරéණයයි. එය අගය කළ යුතු අදහසක්‌ වුවත් මෙහි ඇති ප්‍රායෝගික පැත්ත විමසා බලන විට දැකිය හැක්‌කේ වඩා වෙනස්‌ චිත්‍රයකි.

උක්‌ත ප්‍රකාශය ගැන සමාජයේ විවිධ පුද්ගලයන් අදහස්‌ දක්‌වා තිබූ අතර සමාජ ජාල මඟින් ද ඉහත ප්‍රකාශය විවේචනයට ලක්‌ විය. නිදසුනක්‌ ලෙස මේ නිසා ගෘහභාණ්‌ඩ හා දැව මිල ඉහළ යා හැකි බව එක්‌ පාරිභෝගික සංවිධානයක්‌ දක්‌වා තිබිණි. ඒ දැව ආනයනය කිරීමට පියවර ගන්නේ නම් ය. වඩු මඩු තහනම් කිරීමක්‌ සිදු වුව හොත් සිය පාරම්පරික වෘත්තිය තර්ජනයට ලක්‌ විය හැකි යෑයි සිතූ වඩු කාර්මිකයන් උද්ඝෝෂණය කළ අතර, මොරටුව ප්‍රදේශයේ උපවාසයක්‌ ද ආරම්භ වූ බව වාර්තා විය. එමෙන් ම වඩු මඩු තහනම් කිරීමෙන් වඩු කාර්මිකයන්ගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සඳහන් කරමින් එක්‌ සංවිධානයක්‌ සහ වඩු කාර්මිකයන් කිහිපදෙනෙක්‌ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිලි කර ඇත. ඒ වඩු මඩු තහනම් කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ එන තමන්ට අභිමත වෘත්තියක නියෑළීමේ අයිතිය උල්ලංඝනය වන බව පවසමිනි.

ඇත්තෙන් ම සිදු වන්නේ කුමක්‌ ද?


පසුව මේ පිළිබඳ ව වැඩිදුර පැහැදිලි කරමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් නිවේදනයක්‌ නිකුත් කරන ලදි. එහි සඳහන් වන පරිදි සාම්ප්‍රදායික දැව මඩු සඳහා නිකුත් කර ඇති බලපත්‍රවලට මුවා වී වනාන්තරවල ගස්‌ කැපීම සිදු කෙරෙන බව බව හෙළි වී ඇති අතර ඉන් සිදු වන පරිසර විනාශය ද විශාල ය. ඒ අනුව කරුණු සලකා ගත් තීරණයක්‌ පරිදි ඉදිරියේ දී ජංගම ලී මෝල් තහනම් කිරීමට කටයුතු කරන බව නිවේදනයේ සඳහන් වෙයි. එවැනි ලී මෝල් 300ක්‌ පමණ ලියාපදිංචි කර තිබෙන බව ද දැක්‌වෙයි. මේ සඳහා 2014.12.03 දිනැති අංක 1891රැ26 දරන 'දැව මඩු ලියාපදිංචි කිරීම සහ දේපළ සලකුණු' නියෝග පිළිබඳ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය සංශෝධනය කිරීමට නියමිත ය. එම සංශෝධනය තුළින් සාම්ප්‍රදායික වඩු මඩු තහනම් නො වන අතර, 2022 දෙසැම්බර් 31 වැනි දායින් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යැම තහනම් වනු ඇත. ඒ ජංගම ලී මෝල් පවත්වාගෙන යැම සඳහා දැනට නිකුත් කරනු ලබන වාර්ෂික අවසර පත්‍ර 2022 දෙසැම්බර් 31 දිනෙන් පසුව නිකුත් නො කරන බැවිනි. එවිට එවැනි දැව ව්‍යාපාර සඳහා වන ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු වෙයි.

උක්‌ත නිවේදනයේ වැඩිදුරටත් දැක්‌වෙන පරිදි නීත්‍යනුකූල ක්‍රමයට ලී ලබාගන්නා අයට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට බාධාවක්‌ නැත. නීත්‍යනුකූල ව පවත්වාගෙන යන දැව මඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යා යුතු අතර, එක්‌ එක්‌ මාසය අවසානයේ සහතික කළ පිටපතක්‌ අදාළ ප්‍රදේශයේ වන අඩවි නිලධාරීවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යෑවිය යුතු වෙයි.

වරද ජංගම ලී මෝල්වල ද?


මේ අනුව බලධාරීන්ගේ අවධානය යොමු ව තිබෙන්නේ ජංගම ලී මෝල් පිළිබඳ ව බව පෙනෙයි. තැනින් තැනට ගෙන යා හැකි අත්ට්‍රැක්‌ටරයක ටේ්‍රලරයකට සවි කර තිබෙන උපකරණවලින් යුක්‌ත ජංගම ලී මෝල් ලියාපදිංචි කිරීම සඳහා ඉහත සඳහන් 2014.12.03 දින නිකුත් වූ ගැසට්‌ නිවේදනයෙන් ප්‍රතිපාදන සැලසී ඇත. 2015 පමණ සිට ඒවා ලියාපදිංචි කිරීම ආරම්භ විය.

පසුගිය දා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්‌වෙන පරිදි මේ වන විට දිවයින පුරා ජංගම ලී මෝල් 300ක්‌ පමණ ලියාපදිංචි කර ඇත. එහෙත් මේ සමඟ ඇති වගුවේ දැක්‌වෙන පරිදි වන සංරéණ දෙපාර්තමේන්තුවේ 2017 වන විට ලියාපදිංචි කර ඇති ක්‍රියාත්මක ජංගම ලී මෝල් ගණන 800කට ආසන්න ය.

2017 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට ක්‍රියාත්මක ලියාපදිංචි කරන ලද ජංගම ලී මෝල් ගණන 794ක්‌ ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණය අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ද (278), දෙවැනි තැන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ද (241) ක්‍රියාත්මක ය. කෑගල්ල, බදුල්ල හා මාතර ද ජංගම ලී මෝල් තරමක්‌ දැකිය හැකි ය. සෙසු දිස්‌ත්‍රික්‌කවල අඩු ප්‍රමාණවලින් ක්‍රියාත්මක අතර දිවයිනේ දිස්‌ත්‍රික්‌ 12ක ජංගම ලී මෝල් ලියාපදිංචි කර නැත.

තහනම් කරන්නට යන්නේ ජංගම ලී මෝල් පමණක්‌ නම් එය මේ ප්‍රශ්නයට විසඳුමක්‌ වේ ද යන්න ද විමසා බැලිය යුතු ය. ජංගම ලී මෝල් භාවිතය ප්‍රචලිත වන්නට පෙර ද, වන විනාශය තිබිණි. එය දැව අවශ්‍යතාව මත මෙන් ම දැව ජාවාරම්කරුවන් නිසා ද වර්ධනය වෙයි. දැව ජාවාරම්කරුන්ට වැඩි අවස්‌ථාවක්‌ ලැබෙන්නේ ජංගම ලී මෝල් නිසා ද, නැතිනම් පොදුවේ සියලු ලී මෝල් නිසා ද යන්න විමසිය යුතු කරුණකි. මේ පිළිබඳ ව නීතිය ක්‍රියාත්මක කරන වන සංරéණ දෙපාර්තමේන්තුවේ 2011 සිට 2017 දක්‌වා වූ කාර්යසාධන වාර්තා පිළිබඳ ව සැලකූ විට ලී මෝල්, දැව අලෙවි මධ්‍යස්‌ථාන මෙන් ම වඩු මඩු ද යන සියල්ලේ ම සංඛ්‍යාව මේ කාලය තුළ වර්ධනය වී ඇති බවක්‌ පෙනෙයි. ඇතැම් වර්ෂ තුළ යම් යම් අඩු වැඩි වීම් සිදු වී ඇතත් සමස්‌තයක්‌ ලෙස සිදු ව තිබෙන්නේ වර්ධනයකි. ඒ අනුව දැව සඳහා සිදු වන වන සංහාරයට ජංගම ලී මෝල් පමණක්‌ චෝදනාවට ලක්‌ වීම කෙතරම් සාධාරණ ද යන්න නම් ගැටලුවකි (වගුව බලන්න).



මේ දත්ත අනුව හුදෙක්‌ ජංගම ලී මෝල් තහනම් වූ පමණින්, වන සංහාරය නවතින්නේ ද යන්න අවධානය යොමු විය යුතු කරුණකි. ජංගම ලී මෝල්වල අමතක කරන පැත්තක්‌ ද තිබෙයි. එනම්, සාමාන්‍ය වැසියකුට සිය ඉඩම තුළ ඇති ගසක්‌ කපා ලී ඉරාගැනීමේ දී මේ ජංගම ලී මෝල් මඟින් සැලසෙන සේවය හා පහසුවයි. එවැනි අවස්‌ථාවක දී අදාළ ගස කැපීම හා ඉරීම පිළිබඳ ව මෙන් ම, ජංගම ලී මෝල ක්‍රියාත්මක කිරීම සඳහා පැමිණීම සඳහා ද බලධාරීන්ගේ අවසරය හා දැනුවත් බව අවශ්‍ය වෙයි. එහෙත් ජංගම ලී මෝල් නොමැති නම්, කැපූ ගසකට ප්‍රවාහන බලපත්‍ර ගෙන ලී මෝලකට ගෙන ගොස්‌, ඉරා ආපසු ගෙන ඒමට සිදු වෙයි. මේ ක්‍රියාවලිය තුළ වංචා සිදු වීමට තිබෙන අවස්‌ථා ද ඉහළ ය. අනෙක්‌ අතට ප්‍රවාහන පිරිවැය අඩු වීම, ලිපිලේඛන කටයුතු සඳහා වන කාලය නාස්‌ති වීම අඩු වීම වැනි කටයුතු නිසා ජනතාව සිය දැව අවශ්‍යතාව සඳහා ගෙවත්තේ ගස්‌ වැවීම දිරිමත් වීමට මෙය හේතුවකි. මෙසේ සිය දැව අවශ්‍යතාව නීත්‍යනුකූලව ගෙවත්තෙන් සැලසෙන්නේ නම් ස්‌වාභාවික වනාන්තරවලට එල්ල වන දැව පීඩනය අඩු වනු ඇත.

ජංගම ලී මෝල් ක්‍රියාත්මක වීම පිළිබඳ රෙගුලාසි ගණනාවක්‌ ම තිබෙයි. එමඟින් ඉරනු ලබන දැව පෞද්ගලික ඉඩමකින් ලබාගත් දැව බවට සහතිකයක්‌ අදාළ බලධාරීන් වෙතින් ලබාගත යුතු ය. මේ ලී මෝලකින් ලී ඉරීම සිදු කරන ඉඩමේ සිට රජයේ වනයක හෝ වන වගාවකට පවත්නා අවම ගුවන් දුර මීටර් 200කට අඩු නො විය යුතු ය. එමෙන් ම මේවා ක්‍රියාත්මක කළ හැක්‌කේ පෙ.ව. 6 සිට ප.ව. 6 දක්‌වා කාලය තුළ පමණකි. එසේ ම ජංගම ලී මෝල හා ඊට අදාළ වාහනය පිළිබඳ ව මෙන් ම එහි පවත්නා උපකරණවල ප්‍රමාණය ගැන ද රෙගුලාසි පවතී. මේ අනුව රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වේ නම් ජංගම ලී මෝල්වලින් දැවමය ශාක තම ගෙවත්තේ වගා කරන සාමාන්‍ය ජනතාවට පහසුවක්‌ ද සැලසෙයි.

වන වගාව ප්‍රවර්ධනය


දැව සඳහා වැඩි ඉල්ලුමක්‌ තිබීම හා දැව සැපයීමේ ජාවාරම වනාන්තර ආරක්ෂාවට බලපාන මූලික කරුණ ලෙස සැලකීම වඩාත් සාධාරණ බවක්‌ අපට සිතෙයි. එසේ නම් සිදු කළ යුත්තේ ස්‌වාභාවික වනාන්තරවලින් දැව සපයාගැනීම වෙනුවට වගා කරනු ලබන දැවමය ශාකවලින් දැව ලබාගැනීම වඩාත් ප්‍රවර්ධනය කිරීම ය. එය සිදු කළ හැක්‌කේ ගෙවතුවල දැවමය ශාක වගා කිරීම, පෞද්ගලික අංශයේ දැවමය වන වගා මඟින් දැව ලබාගැනීම හා රාජ්‍ය අංශයේ දැවමය වන වගාවලින් දැව ලබාගැනීම මඟිනි. දැවමය වගා සඳහා යොමු වූ සමාගම් මෙන් ම, වතු වගාවේ නිරත වැවිලි සමාගම් ද අද වන විට දැවමය ශාක වගා කිරීමේ යෙදෙන අයුරු දැකගත හැකි ය. එහි අරමුණ වගා කරනු ලබන දැවමය ශාක මෙරට ඉල්ලුම සැපයීම සඳහා අලෙවි කිරීම හා භාවිත කිරීම ය.

මේ නිසා පුද්ගලයන් ගෙවතුවල කරන දැව වගා මෙන් ම පෞද්ගලික අංශය විසින් මහා පරිමාණයෙන් සිදු කෙරෙන දැවමය ශාක වගාවලින් අස්‌වනු ලබාගැනීම සඳහා පහසු ක්‍රමවේදයක්‌ තිබීම අවශ්‍ය ය. ඒ සඳහා පෞද්ගලික ඉඩමක වැවූ දැවමය ශාකවල අස්‌වනු නෙළීම ද පහසු කටයුත්තක්‌ විය යුතු වෙයි. ක්‍රමානුකූල පාලනයකින් යුක්‌ත ව ක්‍රියාත්මක වන ජංගම ලී මෝල් මෙහි දී වැදගත් ය.

දැව ආනයනය පිළිබඳ ව සැලකුව හොත් මෙරට දැව අවශ්‍යතාව සපුරාගැනීම සඳහා එය සාර්ථක විසඳුමක්‌ ද යන්න ගැටලුවකි. ලෝකයේ ක්‍රියාත්මක දැව සහතික කිරීම නිසා ආනයනික දැව මිල අධික වනු ඇත. එමෙන් ම දැව ආනයනය මෙරටින් පිටරටට තවදුරටත් විදේශ විනිමය පිට ව යැමට ද හේතුවක්‌ වෙයි. මෙරට ආර්ථික තත්ත්වය අනුව අප විදේශ විනිමය පිටකිරීම අඩු කළ යුතු බව නොරහසකි. මේ නිසා වඩාත් සුදුසු වන්නේ මෙරට දැව අවශ්‍යතාව හැකි තාක්‌ මෙරට නිෂ්පාදනය කිරීම බව අපගේ අදහස ය.

No comments:

Post a Comment