Wednesday, July 10, 2019

කංසා භාවිතයේ පැරැණි ම සාධක නූතන චීනයෙන්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.07.03 පි. 11 (Vidusara)

http://www.vidusara.com/2019/07/03/feature6.html






කංසා හෙවත් ගංජා යනු බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ ව තිබෙන ශාකයකි. Cannabis sativa යනුවෙන් විද්‍යාත්මකව හඳුන්වනු ලබන මේ ශාකයෙන් ලබාගන්නා ද්‍රව්‍ය විවිධ භාවිත සඳහා යොදාගැනෙයි. කෙඳි ලබාගැනීම, තෙල් ලබාගැනීම, ඔසුවක්‌ ලෙස මෙන්ම මනෝ සක්‍රියකාරක සංඝටකයක්‌ (psychoactive compound) ලෙස ද කංසා ශාක භාවිත වෙයි. මෙය මත්ද්‍රව්‍යයක්‌ ලෙස භාවිත වන බැවින් ඒවා වගා කිරීම නීතියෙන් තහනම් ය.

කංසා භාවිතය කුමන කාලයක දී ආරම්භ වී ද යන්න පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ කලක පටන් ය. මෙතෙක්‌ හෙළි වී තිබෙන කරුණු අනුව වර්තමාන චීනයේ හෙවත් නැගෙනහිර ආසියාවේ මුලින් ම කංසා භාවිත කර තිබෙන බව සැලකෙයි. පොදු වර්ෂ පූර්ව 4000 පමණ ඉහත කාලයක දී එසේ භාවිත වී තිබෙන බවට පුරාවිද්‍යා ස්‌ථානවලින් සාධක ලැබී ඇතත් ඒවා කුමන භාවිතයක්‌ සඳහා යොදාගත්තේ ද යන්න ගැන එමගින් අනාවරණය වී නැත. නැගෙනහිර ආසියාවේ මුලින් ම කංසා භාවිත කර හා වගා කරන්නට ඇත්තේ එහි තෙල් සහිත බීජ හා කෙඳි සඳහා ය. මීට වසර කීපයකට පෙර සුසානයක වළ දමන ලද ශරීරයක්‌ හරහා දැමූ සළුවක්‌ ලෙස කංසා ශාක තබා තිබෙනු අනාවරණය විය.

මේ අතර බටහිර චීනයේ සුසානයක්‌ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකින් මනෝ සක්‍රිය කාරක සංඝටකයක්‌ ලෙස කංසා භාවිතය පිළිබඳව මෙතෙක්‌ අප දන්නා පැරැණිතම සෘජු සාධක ලැබී තිබෙයි. එම අධ්‍යයනයට අනුව අදින් වසර 2,500කට පමණ පෙර කාලයක දී කංසා ඒ අයුරින් භාවිත කර තිබෙයි.

සුසානයකින් ලැබුණු සාධක




මේ කරුණු අනාවරණය වී ඇත්තේ බටහිර චීනයේ පාමීර් (Pamir) කඳුකරයේ සානුවක පිහිටා තිබෙන ජිර්සන්කල් (Jirzankal) නම් සුසාන භූමියේ කැණීම්වලින් හමු වූ අඟුරු කබලක්‌ වැනි දැවමුවා බඳුන් (brazier) පිළිබඳව සිදු කරන ලද වැඩිදුර පරීක්‌ෂණවලිනි.

දැව කැබැල්ලක සිදුරක්‌ සාදා තනා තිබූ මෙවැනි බඳුන් 10ක්‌ සුසාන 8කින් ලැබී තිබෙයි. ඒවා තුළ තිබී හමු වූ ගල් කැබැලි අතීතයේ දී ඉහළ උෂ්ණත්වයකට රත් කර ඇති බව හෙළි විය. රත් කළ ගල් කැබැලි එතුළට දමා කිසියම් ද්‍රව්‍යයක්‌ උණුසුම් කිරීමට යොදාගන්නා ලද බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙයි. ඒ කිසියම් සුවඳ ද්‍රව්‍යයක්‌ හෝ වෙනත් ශාකමය ද්‍රව්‍යයක්‌ හෝ විය හැකි බව ඔවුහු අනුමාන කළ හ.

මේ බඳුන්වල ශේෂ වී තිබූ ද්‍රව්‍ය යොදාගනිමින් ඒ අයුරින් රත් කළ ද්‍රව්‍ය මොනවා දැයි හඳුනාගැනීම විද්‍යාඥයන්ගේ මීළඟ පියවර විය. ඒ ද්‍රව්‍ය නිස්‌සාරණය කිරීමෙන් පසුව ඒවා පිළිබඳව වායු වර්ණලේඛ ශිල්පය හා ස්‌කන්ධ වර්ණාවලිමිතික (gas chromatography-mass spectrometry) ක්‍රමවේද අනුව පරීක්‌ෂා කරන ලද්දේ ඒවා හඳුනාගැනීම පිණිස ය. එමඟින් හෙළි වූයේ එම දැවමය බඳුන් දහයෙන් නවයක ම තිබී ඇත්තේ ඒවා කංසාවල ඇතුළත් කැනබිනොයිඩ (Cannabinoids) නම් රසායනික ද්‍රව්‍ය කාණ්‌ඩයට අයත් වූ ද්‍රව්‍ය බවයි.

ඒ අනුව කංසා කොළ හා රත් වූ ගල් සහිත බඳුන්වල දමා එමගින් පිට වන දුම ආඝ්‍රාණය කරන්නට ඇති බව විද්‍යාඥයන්ගේ අදහස වෙයි. මෙසේ කංසා දුම භාවිත කරන්නට ඇත්තේ කිසියම් අභිචාර විධි ක්‍රමයක්‌ සඳහා හෝ ආගමික ක්‍රියාකාරකම්වල දී විය හැකි ය. මෙහි දී හමු වූ ද්‍රව්‍ය අවමංගල්‍ය ආශ්‍රිත කිසියම් අභිචාරයක්‌ සඳහා යොදාගත්තක්‌ වීමට ද ඉඩක්‌ පවතී.

ඒ අනුව මනෝ සක්‍රිය බව ලබාගැනීම සඳහා කංසා ආඝ්‍රාණය භාවිත කළ බවට ඇති පැරැණි ම පැහැදිලි සාධකය ලැබෙන්නේ මේ ස්‌ථානයෙනි. එය සිදු ව ඇත්තේ අදින් වසර 2500කට පමණ පෙර දී ය.




රසායනික සංඝටක තැනින් තැනට වෙනස්‌


ජිර්සන්කල් සුසානයෙන් හමු වූ කංසාවල රසායනික ස්‌වභාවය හා කිලෝමීටර් 1600ක්‌ පමණ නැගෙනහිරට වන්නට පිහිටා තිබෙන ජියාහි නම් සුසානයකින් හමු වී තිබෙන කංසාවල රසායනික ස්‌වභාවය සංසන්දනය කිරීමේ දී පර්යේෂකයන්ට අපූරු කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ ජියාහි හමු වූ කංසාවල THC හෙවත් ටෙට්‌රාහයිෙඩ්‍රාකැනබිනෝල් නම් (tetrahydrocannabinol) රසායනිකය නො තිබූ බවයි. ඒ කංසාවල දැකිය හැකි මනෝ සක්‍රියකාරක බව ඇති කිරීමට හේතු වන ප්‍රධානතම රසායනික සංයෝගයයි. ඒ අනුව ජියාහි සුසානයෙන් හමු වූ කංසා භාවිත කරන්නට ඇත්තේ කෙඳි හා පෝෂක බහුල ඇට ලබාගැනීම වෙනුවෙන් විය හැකි ය. ජියාහි පිහිටි සුසානය පොදු වර්ෂ පූර්ව 8-6 ශතවර්ෂ අතර කාලයකට දින නියම කර ඇත.

එම ස්‌ථාන දෙකෙහි එවැනි වෙනස්‌කමක්‌ දැකිය හැකි වූයේ කෙසේ ද යන්න ද පර්යේෂකයන් පැහැදිලි කර තිබෙයි. මුල් කාලයේ වගා කරන ලද කංසා ශාකවල මෙන්ම ඒවායේ වල් දර්ශවල ද පෙර කී මනෝ සක්‍රියකාරක රසායන සංයෝග පැවතුණේ අඩු ප්‍රමාණවලිනි. එසේ නම් ජිර්සන්කල් සුසානයෙන් හමු වූ කංසාවල ආඝ්‍රාණය කිරීමට තරම් එeවැනි සංයෝග පැවැතියේ කෙසේ ද යන්නට පිළිතුරක්‌ තිබෙයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශවල දී කංසා ශාකයේ THC මට්‌ටම ස්‌වාභාවිකව ම ඉහළ යන බවයි. එවැනි ප්‍රදේශයක පවත්නා අඩු උෂ්ණත්වය, අඩු පෝෂක සහිත පස වැනි ඉහළ උන්නතාංශයක්‌ සහිත පරිසර තත්ත්වවල දී මෙවැනි දෙයක්‌ සිදු විය හැකි බවට මේ වන විට විද්‍යාඥයන් දන්නා කරුණකි. ජිර්සන්කල් සුසානය පිහිටා තිබෙන ප්‍රදේශය අඩි 10000ක්‌ පමණ උස්‌ වූ ප්‍රදේශයකි.

අනෙක්‌ අතට මේ ප්‍රදේශයේ වාසය කළ මිනිසුන් වල් දර්ශ වෙනුවට වැඩි THC ප්‍රමාණයක්‌ තිබෙන කංසා වගා කළා වන්නට ද හැකි ය. නැතිනම් පරිසරයෙන් එවැනි පැළෑටි හඳුනාගෙන භාවිතයට ගත්තා විය හැකි ය. එමෙන් ම මේ සානුව පිහිටි ප්‍රදේශය හරහා අතීතයේ මිනිසුන් විශාල ලෙස ගමන් කළ මාර්ග වැටි තිබූ බැවින් වෙනත් ප්‍රදේශවල වවන ලද කංසා පැළ හා එම පළාතේ වවන ලද කංසා පැළ අතර යම් මුහුම් වීමක්‌ පවා සිදු වන්නට ඉඩක්‌ තිබූ බව ද පෙන්වා දී ඇත. මෙවැනි ඉහළ අගයකින් THC හමු වන කංසා සමකාලීන වෙනත් ස්‌ථානයකින් මෙතෙක්‌ හමු වී නොමැත.

කංසා භාවිතය පැතිරීම


ඉහත කැණීමෙන් ලද දින වකවානු හා මෙතෙක්‌ සුසානවලින් කංසා හමු වූ ස්‌ථාන පිළිබඳව ඇති සෙසු සාධක හා ගැළපෙයි. එවැනි ස්‌ථාන දෙකක්‌ ජිර්සන්කල්වලට වඩා උතුරින් පිහිටි චීනයේ සිංජියැන් කලාපයෙන් හා රුසියාවේ අල්ටායි ක`දුකරයෙන් හමු වී තිබෙයි.

කංසා එහි මනෝ සක්‍රියකාරක රසායනික සංයෝග සඳහා මුලින් ම භාවිත වන්නට ඇත්තේ මධ්‍යම ආසියාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශවල බවට හා එය පසු කලක ලෝකයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වන්නට ඇති බවට පවත්නා මතයට මේ පර්යේෂණයේ ප්‍රතිඵල සාධක ලෙස ගත හැකි ය.

අදින් වසර 2500කට පෙර කාලයක විසූ මිනිසුන් ඔවුන් හඳුනාගත් විශේෂිත පැළෑටි ඒවායේ අඩංගු රසායනික සංයෝග නිසා වැදගත් කොට සැලකූ ආකාරය මෙහි දී හෙළි වන වැදගත් කරුණකි. එමගින් පෙනෙන්නේ මිනිසුන් තමන් අවට පරිසරයේ ජෛව සම්පත් සමඟ කෙතරම් බැඳී සිටියා ද යන්නයි. එමෙන් ම තමන් අවට ශාකවලට කෙතරම් පරිණාමීය පීඩනයක්‌ මිනිසුන් එල්ල කර තිබෙන්නේ ද යන්න පෙන්වා දෙන අවස්‌ථාවක්‌ ලෙස ද පර්යේෂකයන් මේ අධ්‍යයනය හඳුනාගෙන ඇත.

මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aaw1391

No comments:

Post a Comment