Saturday, January 19, 2019

ඇමෙරිකා-මෙක්‌සිකෝ දේශ සීමා තාප්පයෙන් ජෛව විවිධත්වයට තර්ජනයක්‌?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.01.2019 පි. 13 (Vidusara)

http://www.vidusara.com/2019/01/16/feature3.html


මෙක්‌සිකෝවේ සිට ඇමෙරිකාවට සිදු වන නීති විරෝධී ජන සංක්‍රමණ වළක්‌වා ලීම සඳහා දෙරට අතර දේශසීමාව දිගේ බාධක තාප්පයක්‌ ඉදි කරන්නට ඇමෙරිකාව පියවර ගෙන දැන් කලක්‌ ගත වී ඇත. එරට දේශපාලන අරමුණු වෙනුවෙන් ඉදි කරනු ලබන මේ තාප්පය උතුරු ඇමෙරිකාවේ ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බව විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දී තිබෙයි.

ඇමෙරිකාවට නීති විරෝධී ව සිදු වන ජන සංක්‍රමණ නිසා බරපතළ සමාජයීය හා ආර්ථික ගැටලු ඇති වීමට පිළියමක්‌ ලෙස මේ දේශ සීමා තාප්පය ගොඩනැඟීම ආරම්භ වන්නේ 2005 පමණ කාලයේ දී ය. ඇමෙරිකාවේ නව මෙක්‌සිකෝ, ටෙක්‌සාස්‌ හා කැලිෆොaනියා යන ප්‍රාන්තවල දකුණු සීමාව ඔස්‌සේ මේ දේශ සීමාව පිහිටා ඇත. සැතපුම් 1,953ක්‌ (කිලෝ මීටර් 3,200ක්‌) පමණ දිගු වන එම දේශ සීමාවෙහි ඉදි වන බාධක තාප්පයේ සැතපුම් 600ක්‌ පමණ මේ වන විට ඉදි කර ඇති අතර, තවත් සැලකිය යුතු කොටසක්‌ ඉදි කිරීමට නියමිත ය. පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී එරට වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් එක්‌ මැතිවරණ පොරොන්දුවක්‌ වූයේ එරට දකුණුදිග දේශ සීමාව ඔස්‌සේ මහා තාප්පය ඉදි කිරීම සම්පූර්ණ කිරීමයි. ඒ සඳහා අරමුදල් සපයාගැනීම සඳහා මේ වන විට විවිධ පියවර ගෙන තිබෙයි.

ඇමෙරිකා-මෙක්‌සිකෝ දෙරටෙහි දේශ සීමාව ඔස්‌සේ ඉදි කෙරෙමින් පවත්නා මේ තාප්පය පිළිබඳ ව වැඩි වශයෙන් සාකච්ඡා වී ඇත්තේ ජන සංක්‍රමණ පාලනය සහ දේශපාලනය යන මාතෘකා ඔස්‌සේ ය. මේ ඉදිකිරීම පිළිබඳ ව මෙක්‌සිකෝව එතරම් කැමැත්තක්‌ දක්‌වා නොමැත. කෙසේ වෙතත් එම බාධකය මඟින් උතුරු ඇමෙරිකාවේ ජෛව විවිධත්වය සම්බන්ධ ව ඇති විය හැකි අහිතකර බලපෑම ගැන මෑතක දී පළ වූ ලිපියකින් පෙන්වා දී ඇත. පසුගිය වර්ෂයේ ඔක්‌තෝබර් මාසයේ දී BioScience සඟරාවේ පළ වූ එම ලිපිය ලෝකය පුරා රටවල් 43ක විද්‍යාඥයන් 2,370ක්‌ පමණ දෙනාගේ එකඟතාවෙන් ප්‍රකාශයට පත් කරන ලදි. දේශ සීමා තාප්පය මඟින් ඇති විය හැකි පාරිසරික බලපෑම සැලකිය යුතු තරම් බව පෙන්වා දෙන මේ වාර්තාවට අනුව එම තාප්පය කලාපයේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් 'ව්‍යසනයක්‌' විය හැකි බවට අනතුරු හඟවා තිබෙයි.

දේශ සීමාව ආශ්‍රිත ජෛව විවිධත්වය


මෙසේ අවධානය යොමු වූ ප්‍රදේශය සැලකූ විට එය අධික පරිසර පද්ධති විවිධත්වයකින් යුක්‌ත භූ දර්ශනයක්‌ පවත්නා භූමි ප්‍රදේශයකි. මේ පාරිසරික විවිධත්වය ආන්තික කාන්තාර තත්ත්වවල සිට අධික වර්ෂාපතනයක්‌ ලැබෙන තෙත්බිම් දක්‌වා විවිධ ආකාරයේ වෙයි. මේ ප්‍රදේශයේ ඉහළ ජෛව විවිධත්වයක්‌ පවත්නා බව අධ්‍යයනවලින් හෙළි ව ඇති, අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන කරුණකි.

මේ දෙරටෙහි දේශ සීමාව ප්‍රදේශයේ සත්ත්ව විශේෂ 1,077ක ප්‍රමාණයක්‌ ද, ශාක විශේෂ 429ක ප්‍රමාණයක්‌ වාසය කරන බව මේ වන විට හඳුනාගෙන තිබෙයි. අදාළ ප්‍රදේශයේ පවත්නා පාරිසරික තත්ත්වවලට එහි වෙසෙන මේ ජීවී විශේෂ හැඩගැසී ඇත. දේශ සීමාව හරහා ද වැටී ඇති ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග ඔස්‌සේ එහා මෙහා ගමන් කිරීමෙන් ආහාර සොයාගැනීමට මෙන් ම ආන්තික තත්ත්ව ඇති කාල වකවානු ගත කිරීමට ද ඔවුන් හැඩගැසී ඇත. ලෝක සංරක්‌ෂණ සංගමය (IUCN) මඟින් ප්‍රකාශිත දැඩි තර්ජිත (Critically Endangered), තර්ජිත (Endangered) හා අවදානම් (Vulnerable) යන තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ අයත් ප්‍රධාන කාණ්‌ඩ තුනට මේ අතරින් විශේෂ හැට දෙකක්‌ (62) පමණ අයත් වෙයි.

තාප්පයේ බලපෑම


දැනටමත් ඉදි කර හා ඉදි කෙරෙමින් ඇති තාප්පය මඟින් ඉහත කී ජීවී විශේෂවල වාසභූමිය හෙවත් අඩවිය බෙදී යයි. පියැඹිය නොහැකි ජීවී විශේෂ 346කට පමණ තරණය කළ නොහැකි බාධකයක්‌ බවට මේ දේශ සීමා තාප්පය පත් වී ඇත. එමඟින් උක්‌ත ජීවීන් දැනට හැසිරෙන අඩවියෙන් 50%ක්‌ පමණ අහිමි වීමේ අවදානමක්‌ ඇති වෙයි. එසේ ම එතරම් උසට පියැඹිය නොහැකි පක්‌ෂි විශේෂවලට පවා මේ තාප්පය බාධකයක්‌ වන බව දක්‌වා ඇත.

කලින් එක ම භූමියක්‌ ව පැවැති ප්‍රදේශයේ ජීවත් වන ජීවී විශේෂවල වාසස්‌ථාන අන්තරාදායක ලෙස කඩ කඩ වීම (fragmentation) මඟින් මේ ජීවී විශේෂවල ප්‍රවේණික ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව අඩු වෙයි. එනම් ජීවී විශේෂවල ගහන අතර ප්‍රවේණික ද්‍රව්‍ය හුවමාරුවට බරපතළ බලපෑමක්‌ ඇතිවිය හැකි ය. මේ නිසා එක ම ගහනය තුළ අන්තර් අභිජනනය කිරීමෙන් ජාන කිටුව සීමා වී ප්‍රවේණික වශයෙන් දුර්වල සත්ත්ව විශේෂ ඇති විය හැකි ය. අද වන විට අප්‍රිකාවේ වෙසෙන චීටා සතුන් මුහුණ දී ඇති මෙවැනි ම ප්‍රවේණික ගැටලුව එම සතුන්ගේ පැවැත්මට තීරණාත්මක ලෙස බලපාන්නකි. එවැනි තත්ත්ව ඇමෙරිකා-මෙක්‌සිකෝ දේශ සීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ද ඇති විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙයි.

එදිනෙදා පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර හා ජලය වැනි සම්පත්වලට ප්‍රවේශ වීමට ද මේ තාප්පය නිසා එහි වෙසෙන ජීවීන්ට -විශේෂයෙන් සතුන්ට - අවහිරතා ඇති වෙයි. එමෙන් ම වසරේ ඇතැම් කාල වකවානුවල දී ඇති වන ගංවතුර තත්ත්ව සඳහා ද මේ දේශ සීමා තාප්පයෙන් බලපෑමක්‌ ඇති වේ. ගංවතුර බැස නො ගොස්‌ රදා පැවතීමට තාප්පය හේතු වන අතර ඇතැම් ප්‍රදේශවල දී මෙය වනජීවීන්ට සහ වෘක්‌ෂලතාවලට හානිකර ලෙස බලපානු ඇති බවට අනතුරු හඟවා ඇත. ගංවතුරට යට වීම නිසා මේ ජීවී විශේෂ මිය යැමේ අවස්‌ථාව ඉහළ යයි. එසේ ම දැඩි නියඟය හා තාප ප්‍රවාහ වැනි ස්‌වාභාවික ව්‍යසන අවස්‌ථාවල දී එයට ලක්‌ වන ජීවී විශේෂවල ජීවිත පවත්වාගැනීමට වැදගත් වන ආහාර සහ ජලය සීමා තාප්පයේ අනෙක්‌ පස පැවතිය ද එය තරණය කළ නොහැකි ජීවීන්ට සිදු වන්නේ විනාශයට පත් වීමට ය.

අනෙක්‌ අතට එම දේශ සීමා තාප්පය හුදෙක්‌ භෞතික තාප්පයක්‌ පමණක්‌ නො වේ. එය ඉදි කිරීම සඳහා යොදාගන්නා විශාල ඉදිකිරීම් වාහන මේ සංවේදී සහ පරිසර පද්ධතියට හා එහි වෙසෙන ජීවී විශේෂවලට බාධා ඇති කරයි. එසේ ම ආලෝකය සහ ශබ්දය දූෂණය මඟින් දිවා කාලයේ මෙන් ම රාත්‍රී කාලයේ හැසිරෙන ජීවී විශේෂවලට ද යම් බලපෑමක්‌ ඇති වෙයි. එමෙන් ම බාධක තාප්පය ඉදි කිරීමෙන් පසුව එම තාප්පය අසල ප්‍රදේශයේ ගමන් කරන ආරක්‌ෂක වාහන සහ මාර්ගවල ඇති වන තත්ත්වය ද මේ ජීව විශේෂවල පැවැත්මට බලපෑමක්‌ කළ හැකි එකකි. 2017 වර්ෂය වන විට ඉදි කර ඇති සීමා තාප්ප සඳහා කිලෝ මීටර් 8,000ක පමණ මාර්ග පද්ධතියක්‌ ඉදි කර ඇති බව ද සඳහන් වෙයි. එසේ ම මේ කාණ්‌ඩයට නො වැටෙන තවත් දුෂ්කර වූ මාර්ග විශාල ප්‍රමාණයක්‌ ද පවතියි.

මේ තර්ජනය හමුවේ ඇතැම් ජීවී විශේෂ වඳ වී යැමට තරම් හැකි තත්ත්ව ඇති විය හැකි ය.

අවධානය අඩු ඇයි?


මේ කරුණ පිළිබඳ ව අවධානය අඩු වීම සඳහා හේතුවක්‌ වී ඇත්තේ 2005 දී සම්මත වූ Real ID Act නම් පනතකිනි. එමඟින් ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම් වළක්‌වා ලීමට උපකාර විය හැකි තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ පිළිබඳ පනත (Endangered Species Act) හා ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (National Environmental Policy Act) යටතේ පවත්නා ඇතැම් ප්‍රතිපාදන නො සලකා හැරීමට එරට ආරක්‌ෂක අංශවලට හැකියාව ලබා දී තිබෙයි. මෙය දේශ සීමා තාප්පයේ ඉදිකිරීම් කටයුතු නිසා පරිසරයට හා ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව අවධානයට ලක්‌ වීම හා මහජන මැදිහත් වීමක්‌ සිදු කිරීමට ඇති අවස්‌ථාව අහිමි කර ඇත. මෙසේ පරිසරය සහ මහජන සෞඛ්‍යයේ ආරක්‌ෂාව වෙනුවෙන් පෙර පැවැති ඇමෙරිකානු රජයයන් විසින් සම්මත කරන ලද වැදගත් නීති නො සලකා හැරීම ද ගැටලුවකි.

මේ කරුණු අනුව පෙනෙන්නේ ඉහළ ජෛව විවිධත්වයක්‌ පවත්නා ප්‍රදේශයක ජීවීන්ගේ පැවැත්ම මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් එක්‌ පරම්පරාවක කාලයක්‌ ඇතුළත දී වෙනස්‌ කරන්නට ඉඩ ඇති බවයි. මේ ජෛව විවිධත්වය වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේ පරිණාමයට ලක්‌ වූවක්‌ වන බැවින් ඒ ගැන ආඩම්බර විය නොහැකි බව ඒ පිළිබඳ ව පළ වූ ලිපියක තවදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ ව අවධානය යොමු කරන්නේ නම් එය නතර කිරීමට ද හැකියාවක්‌ ඇත. ඒ මේ සීමා තාප්පය ඉදිකිරීම සඳහා ඇති ප්‍රතිපාදන නතර කිරීම මඟිනි. එරට දේශපාලනඥයන්ට ඒ සඳහා අවස්‌ථාවක්‌ හා හැකියාව ඇති බව පෙන්වා දී තිබෙයි. එසේ ම අවශ්‍ය නම් සංක්‍රමණ පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රමාණවත් දියුණු තාක්‌ෂණයක්‌ පවත්නා බව ද වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ඇමෙරිකාව සිය ජාතික ආරක්‌ෂාව පිළිබඳ දේශපාලන අවශ්‍යතාව සඳහා එරට මෙන් ම මෙක්‌සිකෝවේ ද ජෛව විවිධත්වය අවදානමකට ලක්‌ කර ඇති බව මේ අනුව පෙනෙයි. මෙය මානව මූලික අරමුණු නිසා පාරිසරික ප්‍රමුඛතා අවතක්‌සේරු වූ තවත් අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකි ය. එමෙන් ම ඇමෙරිකාවේ නූතන පාලනය වෙනත් කරුණු පිළිබඳ ව ගෙන ඇති පියවර හා සංසන්දනය කරන විට එය එතරම් පුදුමයට කරුණක්‌ ද නො වෙයි.

මූලාශ්‍රය : BioScience, DOI: 10.1093/biosci/biy063

No comments:

Post a Comment