Tuesday, February 5, 2019

දන්ත මැලියම්වලින් හෙළි වූ අත්පිටපත් තැනීම සඳහා කාන්තා දායකත්වය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 30.01.2019, පි. 10  (Vidusara)

http://www.vidusara.com/2019/01/30/feature4.html





මුද්‍රණ ශිල්පය නො පැවැති මධ්‍යතන යුරෝපයේ පොත්පත් සකස්‌ කරන ලද්දේ අතින් ලිවීමෙනි. වෙන වෙන ම සකස්‌ කරන ලද මේ ලේඛන නිර්මාණය කිරීම සඳහා අධික කාලයක්‌ මෙන් ම අධික මුදලක්‌ ද වැය වන්නට ඇත. එබැවින් පොත් දුර්ලභ දෙයක්‌ වූ අතර, මෙසේ නිපදවන ලද පොත් භාවිත කරන ලද්දේ ආගමික සංස්‌ථාවල සාමාජිකයන් හා ප්‍රභූවරුන් වැනි කණ්‌ඩායම් පමණකි. එමෙන් ම එම කෘති බොහෝ විට ආගමික ග්‍රන්ථ ද විය. බොහෝ විට විශ්වාස කරන ලද්දේ පොත් නිපදවීම සඳහා වැඩි දායකත්වයක්‌ ලබා දුන්නේ පිරිමින් බවයි.

කෙසේ වෙතත් මධ්‍යතන යුගයේ මෙවැනි අත්පිටපත් ලේඛන සකස්‌ කිරීමේ දී කාන්තාවන් ගෙන් ලැබුණු දායකත්වය පිළිබඳ ව පැහැදිලි කරන පර්යේෂණ වාර්තාවක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඒ අනුව කාන්තාවන් ද මේ අත්පිටපත් ලේඛන සකස්‌ කිරීමේ දී සැලකිය යුතු දායකත්වයක්‌ ලබා දී ඇත. එමෙන් ම මේ පර්යේෂණය සඳහා යොදාගත් ද්‍රව්‍ය සහ ඒ සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේදය ද සුවිශේෂ වැදගත්කමක්‌ ගනියි.

දන්ත මැලියම්වල රැඳුණු නිල් පැහැයක්‌


මේ අධ්‍යයනය සඳහා පදනම වන්නේ ජර්මනියේ ඩැල්හෙයිම් (Dalheim) නම් ප්‍රදේශයේ පිහිටා තිබූ ආරාමයකි. එය පිළිබඳ ලිත සාධක ඇත්තේ අඩු වශයෙන් වන අතර, එම ස්‌ථානය පිළිබඳ ව කියෑවෙන පැරැණි ම ලේඛන, දහ තුන් වැනි සියවසට පමණ අයත් ය. එම ආරාමය ආරම්භ කළ දිනය පිළිබඳ පැහැදිලි සාධක නොමැති අතර, දහවැනි සියවසේ පමණ සිට එහි කාන්තාවන් සඳහා වෙන් වූ ආරාම සංකීර්ණයක්‌ පැවැති බව විශ්වාස කරනු ලැබේ.

මේ ආරාමයේ සුසාන භූමියෙහි වළ දමා තිබූ කාන්තා සිරුරු ගණනාවක්‌ කැණීම්වලින් සොයාගෙන ඇත. ඒ අතර එහි වූ එක්‌ කාන්තාවකගේ හිස්‌ කබලකින් මේ අධ්‍යයනයට වස්‌තු විෂය වූ සොයාගැනීම සිදු කිරීමට පුරාවිද්‍යාඥයන්ට හැකියාව ලැබිණ. පොදු වර්ෂ 1000 - 1200 අතර කාලයේ දී මිය ගිය බවට කාල නිර්ණය කර ඇති එම තැනැත්තිය ඒ වන විට වයස අවුරුදු 45 - 60 අතර කාන්තාවකි. පූජකවරියක බව සැලකෙන එම කාන්තාවගේ ඇටසැකිල්ලෙන් පෙනී ගිය ආකාරයට ඇය අස්‌ථි සම්බන්ධ රෝගාබාධ හෝ විෂබීජවලින් හෝ පීඩා විඳි බවක්‌ හෝ තුවාල හෝ දැකිය හැකි වී නැත. එම ඇටසැකිල්ලෙහි පැවැති විශේෂත්වය වූයේ ඇයගේ හිස්‌කබලේ යටි හනුවේ දත් අතර රැඳී තිබූ දන්ත මැලියම්වල කැල්සනීභූත ව තිබූ කිසියම් නිල් පැහැති ද්‍රව්‍යයකි.

එම දන්ත මැලියම් දිය කර හැරීමේ දී කුඩා නිල් පැහැති අංශු විශාල ප්‍රමාණයක්‌ නිදහස්‌ වී ඇත. විවිධ වූ වර්ණාවලීමාන (Spectrographic) ක්‍රම යොදාගනිමින් එම නිල් පැහැති ද්‍රව්‍යය කුමක්‌ දැයි හඳුනාගැනීමට පර්යේෂකයන් උත්සාහ කර තිබේ. ඒ අනුව අනාවරණය වී ඇත්තේ ඒවා ලැපිස්‌ ලසූලි (lapis lazuli) නම් ඛනිජමය ද්‍රව්‍යය බවයි.

දුර්ලභ හා මිලෙන් අධික ද්‍රව්‍යයක්‌ වූ ලැපිස්‌ ලසූලි පාෂාණය අතීතයේ සිට යොදාගන්නා ලද්දේ අල්ට්‍රාමරයින් (Ultramarine) ලෙස ද හඳුන්වන වර්ණකය තැනීම සඳහා ය. අතීතයේ සිට ලැපිස්‌ ලසූලි ලබාගන්නා ලද්දේ හා අදට ද වැඩි ම නිෂ්පාදනයක්‌ සිදු කරනු ලබන්නේ ඇෆ්ඝනිස්‌ථානයේ ය.

ලැපිස්‌ ලසූලි දත්වලට පැමිණියේ කෙසේ ද?


මෙහි දී ඇති වූ ගැටලුව වූයේ මේ කාන්තාවගේ දන්ත මැලියම්වල නිල් පැහැති වර්ණකය ලබා දුන් ලැපිස්‌ ලසූලි පැමිණියේ කෙසේ ද යන්නයි. වර්ණක සංයෝගය දත්වල පැතිරී තිබූ ආකාරය පිළිබඳ ව සැලකිල්ලට ගත් විද්‍යාඥයන් එවැන්නක්‌ සිදු විය හැකි විවිධ ආකාර පිළිබඳ ව අවධානය යොමු කළ අතර එවැනි විය හැකි එක්‌ සිදුවීමක්‌ හඳුනාගැනීමට හැකි විය.

ඔවුන් යෝජනා කරන පරිදි මේ කාන්තාව අදාළ වර්ණක යොදාගනිමින් චිත්‍ර අඳින්නට ඇති අතර එසේ චිත්‍ර අඳින අතරතුර තීන්ත සහිත බුරුසුව දිවෙන් ලෙවකෑම සිදු කර තිබේ. අමුතු සිරිතක්‌ වූ එය කාලයක්‌ සිදු කරන විට දන්ත මැලියම්වල නිල් පැහැති එම වර්ණකය තැන්පත් ව කැල්සනීභූත වී ඇත.

අප මේ ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදි, මධ්‍යතන යුගයේ නිකුත් කරන ලද ග්‍රන්ථ අතර සිතුවම් රැසකින් සමන්විත වූ ග්‍රන්ථ ද විය. විවිධ කුඩා රූප, පිටු මායිම් ආදිය දිළිසෙන වර්ණවලින් යුක්‌ත ව මේ ග්‍රන්ථවල වර්ණගන්වා තිබිණි. ඉතා ආකර්ෂණීය වූ ඒවා හඳුන්වනු ලබන්නේ දීප්තිමත් අත්පිටපත් (Illuminated Manuscripts) ලෙස ය. එකින් එක පිටපතේ සිතුවම් අඳිමින් මේ පොත් සකස්‌ කිරීම බෙහෙවින් කාලය ගත වන අධික වෙහෙසක්‌ දැරිය යුතු කටයුත්තක්‌ විය. මේ සිතුවම් වර්ණ ගැන්වීම සඳහා රන්, රිදී වැනි දේ මෙන් ම වෙනත් ද්‍රව්‍යවලින් ලබාගත් දිළිසෙන වර්ණ භාවිත කර ඇත. ලැපිස්‌ ලසූලි යනු දිළිසෙන නිල් පැහැය ලබාගැනීම සඳහා යොදාගත් එවැනි ද්‍රව්‍යයකි. ලැපිස්‌ ලසූලි දුර්ලභ හා රන් හා සමාන වටිනා ද්‍රව්‍යයක්‌ විය. එමඟින් නිෂ්පාදනය කරන වර්ණකය හා රන් හා රිදී වැනි මිල අධික ද්‍රව්‍ය යොදාගනු ලැබූයේ ඉතා වටිනා ග්‍රන්ථ අත්පිටපත් නිපදවීම සඳහා ය.

ග්‍රන්ථ නිෂ්පාදනයේ ලා කාන්තාවගේ දායකත්වය


ග්‍රාමීය ප්‍රදේශයක පිහිටා ඇති මෙවැනි ආරාමයකින් මිල අධික වූ වර්ණක භාවිතය පිළිබඳ ව සාධක ලැබීම මෙන් ම ඒවා කාන්තාවකගේ මුඛය තුළින් හමු වීම ඉතා දුර්ලභ නො සිතූ විරූ සිදුවීමකි. එවැනි වටිනා මිල අධික අත්පිටපත් නිර්මාණය කිරීමේ අවස්‌ථාව ලැබෙන්නේ සාමාන්‍ය ශිල්පියකුට වඩා කැපී පෙනෙන සුවිශේෂී හැකියාවක්‌ තිබූ ග්‍රන්ථ ලියන්නන්ට සහ චිත්‍ර අඳින්නන්ට විය යුතු ය. එසේ නම් මේ කාන්තාව එවැනි ශිල්පීය දක්‌ෂතා තිබූ අයකු විය යුතු බවට නිගමනය කර ඇත. එසේ ම එම කාන්තාව මේ බෙහෙවින් චිත්‍ර අඩංගු ආගමික අත්පිටපත් සකස්‌ කිරීමේ ක්‍රියාවලියේ යෙදුණු බව පෙනෙයි.

ජර්මනිය මෙවැනි ග්‍රන්ථ නිෂ්පාදනය පිළිබඳ ව මධ්‍යස්‌ථානයක්‌ වූ බවට සාධක ඇතත් ඒ කාර්යයේ දී කාන්තාවන් දැක්‌වූ දායකත්වය පිළිබඳ ව ඇති සාධක විරල ය. එම කාලයේ දී ග්‍රන්ථ නිර්මාණය කිරීමේ නිරත වූ ලියන්නන් සහ චිත්‍ර ශිල්පීන් ඒවායේ අත්සන් තැබීමක්‌ සිදු නො කළ අතර, එය විශේෂයෙන් කාන්තාවන්ට අදාළ විය. ඒ ආකාරයෙන් ම කාන්තාවන් ග්‍රන්ථ සැකසීමේ කර්මාන්තයේ යෙදුණු බවට ඇති සාධක අඩු බැවින් විද්වතුන් සිතන්නේ මේ කර්මාන්තයේ කාන්තාවන් නියෑළුණේ ඉතා අඩු වශයෙන් බව ය.

මේ පර්යේෂණයෙන් අනාවරණය වන කරුණු දිගු කලක්‌ තිස්‌සේ පැවැති මේ අදහස අභියෝගයට ලක්‌ කරයි. එපමණක්‌ නො ව අදාළ කාන්තාවකගේ පුද්ගල පැවැත්ම පිළිබඳව මෙමඟින් සාධක සපයා දෙයි. විශේෂයෙන් බොහෝ ඈතින් පිහිටා ඇති ඇෆ්ඝනිස්‌ථානයෙන් ලබාගත් ලැපිස්‌ ලසූලි ජර්මනියේ මේ ග්‍රාමීය ප්‍රදේශය වෙත ළඟා වූයේ කෙසේ ද යන්න වැදගත් කරුණකි. එම ඛනිජ ඊජිප්තුව හා කොන්ස්‌තන්තිනෝපලය හරහා වැටුණු වෙළෙඳ මාර්ගයක්‌ ඔස්‌සේ මධ්‍යතන ජර්මනියට ළඟා වූ අතර ඒවා මේ ආරාමය පිහිටා තිබූ ග්‍රාමයේ දී ද ලබාගත හැකි විය. එමඟින් පෙනෙන්නේ සංකීර්ණ වූ ගෝලීය වෙළෙඳ ජාලය එවකට පැවැති බව ය. එකොළොස්‌ වැනි සියවසේ පමණ වර්ධනය වෙමින් තිබූ යුරෝපීය ආර්ථිකය ඇතුළත මේ කාන්තාවට සිය නිර්මාණ සඳහා මේ වටිනා ඛනිජ ද්‍රව්‍ය යොදාගැනීමට අවස්‌ථාව ලැබේ. එසේ ම මෙමඟින් පෙනෙන්නේ යුරෝපයේ මේ වර්ණය සඳහා ඉහළ යන ඉල්ලුමක්‌ පැවැති බව ය. එය වැදගත් අනාවරණයකි.

මේ කරුණු අනුව සිතුවම්වලින් විචිත්‍ර කරන ලද අත්පිටපත් නිර්මාණයේ දී කාන්තාවන් සැලකිය යුතු කාර්යභාරයක්‌ ඉටු කළ බවට පළමු ඝෘජු සාධකය ලැබී ඇත. එය වැදගත් සොයාගැනීමක්‌ වන්නේ කාන්තාවන් එම කාලයේ දී ද සැලකිය යුතු කාර්යයක්‌ ඉටු නො කළ බවට පවත්නා මතයට මෙමඟින් අභියෝග කරන නිසා ය.

මූලාශ්‍රය : Science Advances, DOI: 10.1126/sciadv.aau7126



ලැපිස් ලසූලි (Lapis lazuli)


ඈත අතීතයේදී නූතන ඇෆ්ඝනිස්ථානයෙන් පමණක් ලබාගත් ලැපිස් ලසූලි යනු එක්තරා පාෂාණ වර්ගයකි. එ්වා යොදාගනිමින් අල්ට‍්‍රාමැරයින් (ultramarine) ලෙසින් හඳුන්වනු ලබන දිලිසෙන නිල් පැහැ වර්ණකය නිපදවීම අතීතයේ පටන් සිදු කර තිබේ. ඒවා වෙළෙඳ මාර්ග ඔස්සේ බොහෝ දුර ඈත ප‍්‍රදේශ වලට අලෙවි කිරීමද සිදු කර ඇත.

ලංකාවේ ද ලැපිස් ලසූලි භාවිතා කරන බවට සාධක තිබේ. එකල මේවා හඳුන්වා ඇත්තේ වේළුරිය බව විශ්වාස කෙරේ. මෙහි ඇති වැදගත්කම වන්නේ මෙවැනි අගනා ද්ව‍රව්ල‍යවලට කිසියම් අඩවි විශාල ඉල්ලීමක් මෙරට තිබූ බවය. මෙම ඛනිජය වෛදූර්ය යනුවෙන් ඉන්දීය මූලාශ‍්‍රයවල හඳුන්වා ඇත.
මෙම ඛනිජය යොදාගනිමින් වර්ණක උපදවනු ලබන්නේ ලැපිස් ලසූලි අඹරා කුඩා කොටස් බවට පත් කිරීමෙනි. 19වන සියවසේදී කෘත‍්‍රිම ක‍්‍රමයකට මේ හා සමාන වූ අල්ට‍්‍රාමැරයින් වර්ණක සොයාගන්නා තෙක් මේවා ඉතා මිල අධික විය.


No comments:

Post a Comment