Sunday, February 24, 2019

රැකගත යුතු ඓතිහාසික වීදි ලාම්පු කණු

ධනේෂ් විසුම්පෙරුම


දිවයින, 24.02.2019, විශේෂාංග පිටුව. IX (Divaina)

http://divaina.com/sunday/index.php/visheshanga2/8490-03-78?fbclid=IwAR3Ld0id1sfsjBEVxJour_-uHqgqdkGCjx8wUXoNwuhiaz523Xy1q0XKerc



සති කීපයකට පෙර සිදු වූ මාර්ග අනතුරු දෙකකින් මෙරට නගර දෙකක පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති විසිතුරු වීදි ලාම්පු කණු දෙකකට බරපතළ හානි සිදුවිය. ඉන් එකක් පිහිටියේ මාතලේ නගරයේ වන අතර අනෙක පිහිටා ඇත්තේ පාදුක්ක නගරයේය.

එම ලාම්පු කණු ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයට යටත්ව තිබූ කාලයේ සිදු වූ වැදගත් සිදුවීම් දෙකක් සිහිපත් කිරීමේ අරමුණ ඇතිව පිහිටුවන ලද සමරු ලාම්පු කණු දෙකකි. එබැවින් ඒවාට ඓතිහාසික වැදගත්කමක් ඇත.

මාතලේ වික්ටෝරියා ජුබිලි ලාම්පුව


මාතලේ නගර ශාලාව අසල පිහිටි අනතුරට ලක්වූ ලාම්පු කණුව ඉදිකරන ලද්දේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා රැජින රාජප‍්‍රාප්තියට පැමිණ වසර 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. ඒ 1897 වර්ෂයේදීය. 1837 දී සිදුවූ ඇයගේ රාජ්‍යත්වයට පැමිණීමේ 50 වැනි සංවත්සරය 1887දී ද 60 වැනි සංවත්සරය 1897 වර්ෂයේදී ද උත්සවාකාරයෙන් සමරා ඇත. ඒ සඳහා වූ ජුබිලි උත්සව එවකට බි‍්‍රතාන්‍යයේ යටත්විජිත වූ ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක පැවතියේය.

ඒ වෙනුවෙන් වූ උත්සව ගණනාවක් මෙරට විවිධ නගරවල පවත්වා ඇත. මාතලේ නගරයේ පැවැති ජුබිලි උත්සවය සඳහා අවශ්‍ය වියදම සපයා ගන්නා ලද්දේ පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කිරීමෙනි. උත්සවයට එකතු කළ මුදල් වැය කර ඉතිරි වූ මුදල ද යෙදවීමෙන් මෙම ලාම්පුව ඉදිකරන ලද්දේ 1897 වර්ෂයේ දී බව වාර්තාවල සඳහන් වේ. එම ලාම්පුව සවිකර ඇති පාදස්ථයේ Victoria 1837-1897 යන වදන් පෙළ දැක ගත හැකිය.


පාදුක්කේ පිහිටි සාම සමරු ලාම්පුව


පාදුක්ක නගරයේ පිහිටි ලාම්පු කණුව 1919 වර්ෂයේ දී පිහිටවූවකි. එමගින් සමරනු ලබන්නේ පළමු ලෝක මහා සංග‍්‍රාමය අවසානයේ දී 1919 වර්ෂයේ ජුලි මස සාම ගිවිසුමකට එළැඹීමය. පාදස්ථ පුවරුවේ සඳහන්වන අන්දමට එය ඉදිකර ඇත්තේ සාම අනුස්මරණ කමිටුව (The Peace Memorial Committee) විසිනි.

1914 දී ආරම්භ වී 1918 වර්ෂයේ දී අවසන් වූ පළමු ලෝක මහා සංග‍්‍රාමයේ දී ජර්මනිය ප‍්‍රමුඛ මධ්‍යම බලවතුන්ට එරෙහිව මිත‍්‍ර බලවතුන් සටන් කරන ලදි. එවකට මෙරට පාලනය කළ බි‍්‍රතාන්‍යය මිත‍්‍ර බලවතුන් අතර ප‍්‍රමුඛ රටක් විය. මෙරට සේවය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයන් විශාල පිරිසක්ද ස්වදේශිකයන් පිරිසක්ද බි‍්‍රතාන්‍ය හමුදාවට බැඳී සටන්බිමට ගියහ. ඉන් හාරසිය හතළිහකට අධික පිරිසක් එහිදී මිය ගියහ. එසේම යුද්ධය මෙරට ආර්ථිකයට ද යම් බලපෑමක් සිදුකළේය.

එබැවින් 1918 නොවැම්බර් මාසයේ ඇති වූ සටන් විරාමය හා 1919 ජුලි මාසයේ දී අත්සන් කළ සාම ගිවිසුම සැමරිය යුතු සිදුවීමක් විය. ඒ සඳහා වූ සමරු උත්සව ලංකාවේද පවත්වා ඇත. ඉන්පසු ඉදි වූ යුද ස්මාරක මෙන්ම සාම සමරු ස්මාරක ද මෙරට දැකිය හැකිය. වැවිලි ආර්ථිකය තුළ එවකට වැදගත් මධ්‍යස්ථානයක් වූ පාදුක්ක නගරයේ ද සෙසු නගරවල මෙන්ම සමාජයීය වශයෙන් වැදගත් උත්සව අවස්ථා සමරා ඇත. යුද්ධයේ අවසානය සමරා උක්ත ලාම්පු කණුව එවැනි සාම සමරු ස්මාරකයකි. 

     


මේ ස්මාරකවල ආරක්ෂාව


චීනච්චට්ටි ලෝහයෙන් කළ මෙම කණු, ශිලාමය පාදස්ථයක් මත ඉදිකර ඇත. ඒවායේ ඉහළින් පිහිටි ලාම්පු සහිත කණු කොටස් අනතුරුවලින් බිඳී ගොසිනි. මේ ලාම්පු කණු කොටස් නැවත ප‍්‍රතිසංස්කරණය කළ හැකි යැයි අපි සිතමු. කෙසේ වෙතත් නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වුවද මෙවැනි අනතුරකට යළිත් ලක් වීමේ අවදානමක් නැතිවා නොවේ.

එයට හේතුව එම ලාම්පු කණු දෙකම පිහිටා ඇත්තේ ප‍්‍රධාන මාර්ගවල මංසන්ධිවල වීමය. මේ වනවිට එම කණු පිහිටා ඇත්තේ පාර මධ්‍යයේය. ඒවා වටා වටරවුමක් හෝ වෙනත් එවැනි ආරක්ෂිත ප‍්‍රදේශයක් නැත. ඒනිසා මෙම සිහිවටන කණු දෙකම යළිත් අනතුරුවලට ලක්වීමේ අවදානමක පවති. (මාතලේ නගරයේ ්-9 මාර්ගය අසල වටරවුමක පිහිටි වෙනත් ලාම්පු කණුවක් වටරවුමක් මැද පිහිටි ආරක්ෂිත ලාම්පු කණුවකට නිදසුනකි. එය 1920 දශකයේ ඉදිකරන ලද්දකි.*

ඒනිසා මහාමාර්ග මැද හෝ ආසන්නයේ ඇති සිහිවටනවල අනාගතය යළිත් සලකා බැලිය යුතු බව පෙනේ. අතීතයේදී ඒවා මුලින්ම පිහිටුවන ලද දැනටත් ඇති ස්ථානවලම මෙම සිහිවටන ආරක්ෂිතව පවත්වා ගැනීමට හැකි නම් එයට ප‍්‍රමුඛතාවය හිමිවිය යුතු බවට සැකයක් නැත. එහෙත් මාර්ග පුළුල් කිරීම හා රථවාහන ධාවනයෙන් ඇතිවිය හැකි අනතුරුවලට ලක්වීමේ අවදානමක්වේ නම් ඒ ගැන නැවත සිතා බැලිය යුතු වේ.

එවැනි අවස්ථාවකදී ස්මාරක එම ස්ථානයෙන් ඉවත් කොට වඩාත් ආරක්ෂිත සහ වඩාත් සුදුසු ස්ථානයක එම සිහිවටන නැවත ස්ථාපිත කිරීම යෝග්‍යය. නිදසුනක් ලෙස ගතහොත් උක්ත ලාම්පු කණු සඳහා ප‍්‍රමාණවත් අවකාශයක් ඇති ස්ථාන මෙම නගරවල සොයාගත හැකි බවට සැකයක් නැත. එවැනි තැනක අදාළ ස්මාරකයේ අතීතය පිළිබඳ සටහනක් සහිතව නැවත ස්ථාපිත කිරීම කළ හැකිය.

යටත්විජිත සමය සිහිපත් කරන සිහිවටන බව සත්‍යයක් වුවද මෙම ලාම්පු කණු දැන් මෙරට ඉතිහාසයට අයත් සිහිවටන වේ. එබැවින් මෙම ලාම්පු කණු ප‍්‍රතිසංස්කරණය කර ආරක්ෂා කරගැනීම සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි සිතමු.

ඡායාරූප - භූෂණ කල්හාර හා බන්දුල සිසිර කුමාර

No comments:

Post a Comment